Monday 5 January 2015

එඩාර්ඩ් 14


අරුණෝදයේ මන්දාළෝකය ඔහුගේ කවුළු තුළින් එබෙද්දී අසු කුර ගැටෙන හඬක් විසින් එඩාර්ඩ් ස්ටාර්ක් ගේ කෙටි, විඩාබර නින්ද බිඳ දමන්නට සමත් විය. මේසය මතින් හිස එසවූ ඔහු පහළ අංගනය දෙස එබී බැලීය. පදම් කල සමින්, වානේ සන්නාහයෙන් හා ලේ රතු පැහැ සළුවෙන් ගත වැසූ සෙබළු සිය උදෑසණ සරඹ පුරුදු වෙමින් සිටියෝය. සැන්ඩෝර් ක්ලිගේන් විසින් පිම්මේ අසුපන්නා ගොස් සිය පුහුණු ලන්සයෙන් පඹයකුගේ හිස සිදුරු කරන අයුරු නෙඩ් බලා සිටියේය. කැන්වස් රෙදි ඉරී යද්දී, පිදුරු දසත විහිදෙද්දී ලැනිස්ටර් සෙබළු විහිළු කරමින්, අවලාද නගමින්, සාප කරමින් දිගටම සරඹ පුහුණුවේ යෙදුනෝය.

'මේ මාව බය කරන්ට කරන බොරු සෙල්ලමක්ද?' නෙඩ් මවිතයෙන් කල්පනා කලේය. එසේනම් සෙර්සි ඔහු සිතුවාටත් වඩා මෝඩියකි. 'ඒකි යකාටම ගියා‍වෙ!' ඔහු සිතුවේය‍. 'ඇයි මේ ගෑනි තාමත් පැනලා ගියේ නැත්තෙ? මම ඒකිට අවස්ථා පිට අවස්ථා දුන්නා පැනලා යන්ට...'

උදෑසණ වැහි අඳුරින් පිරි පාලු, මූසල ස්වභාවයක් ගත්තේය. නෙඩ් සිය දූවරුන් හා සෙප්ටා මෝර්ඩේන් සමගින් පාතරාසයට වාඩි විය. තවමත් දුකින් පසු වූ සන්සා බුම්මාගත් මුහුණින් යුතුව සිය පිඟාන දෙස බලා සිටියා මිස ආහාරයට අතවත් නොතැබීය. එනමුදු ආර්යා ඇය අබියස තිබුනු සෑම දෙයක්ම මහත් රුචියකින් යුතුව ගිල දැමුවාය. "සිරියෝ කියනවා අද හැන්දෑවෙ නැවු නගින්ට කලින් අපට තව එක පාඩමක් කරන්ට පුළුවන් කියලා. මම යන්ටද තාත්තෙ? ම‍ගේ හැම දෙයක්ම අඩුක් කරලයි තියෙන්නෙ."

"බොහොම පොඩි එකක් එහෙනම්. හැබැයි මතක තියාගන්ට නාන්ටයි, ඇඳුම් මාරුකරගන්ටයි තියෙන නිසා ඉක්මනින් ආපහු එන්ට. අද දවල් කාලෙ වෙද්දි ඔයාලා ලෑස්තිවෙලා ඉන්ටයි මට ඕන. තේරුනාද?"

"ඔවු තාත්තෙ." ආර්යා කීය.

සන්සා සිය පිඟානෙන් හිස ඔසවා බැලුවාය. "එයාට එයාගෙ නැටුම් පාඩම් කරන්ට පුළුවන් නම් ඇයි ඔයා මට ඉඩ දෙන්නෙ නැත්තෙ ගිහින් ජොෆ්රි කුමාරයාට ආයුබෝවන් කියලා එන්ට?"

"මමත් බොහොම සන්තෝසෙන් එයත් එක්ක යන්නම් එඩාර්ඩ් උතුමානනි." සෙප්ටා මෝර්ඩේන් ඉදිරිපත් වූවාය. "එයාට නැව මග ඇරගන්ට මම කිසිම අවස්ථාවක් දෙන්නෙ නෑ."

"මේ වෙලාවෙ ජොෆ්රිව මුන ගැහෙන්ට යන එක එච්චර ඥානවන්ත දෙයක් නෙවෙයි සන්සා. මට කණගාටුයි."

සන්සා ගේ දෑස් කඳුළින් පිරී ගියේය. "ඒ වුනත් ඇයි ඒ?"

"සන්සා, ඔයාගෙ තාත්තා දන්නවා මොකක්ද හොඳම දේ කියලා." සෙප්ටා මෝර්ඩේන් පැවසුවා ය. "ඔයා එයාගෙ තීරණ ඔහොම ප්‍රශ්න කරන එක වැරැදියි."

"ඒක සාධාරණ නෑ." සිය පුටුව පසුපසට වැටෙන සේ ක්ෂණිකව මේසයෙන් නැගී සිටි සන්සා හඬමින් කාමරයෙන් පිටතට දිවගියාය.

සෙප්ටා මෝර්ඩේන් ද නැගිට සිටියද නෙඩ් ඇයට නැවත අසුන් ගන්නැයි සන්කලේය. "එයාට යන්ට දෙන්ට සෙප්ටා. අපි හැමෝම ආයෙමත් ආරක්ෂාකාරීව වින්ටර්ෆෙල්වලදි මුනගැහුනම මම එයාට තේරුම් කරලා දෙන්ට උත්සාහ කරන්නම්." හිස නැමූ සෙප්ටා සිය පාතරාසය නිමකිරීම පිණිස අසුන් ගත්තාය.

ඊ‍ට පැයකට පමණ පසු ප්‍රධාන මේස්ටර් පයිසෙල් නෙඩ් හමුවීම පිණිස කාමරයට පැමිණියේ ය‍. ඔහුගේ උරහිස් දෙක කිඳා බැස තිබුනේ හරියටම ප්‍රධාන මේස්ටර්වරයා ගේ දම්වැලේ බර උසුලා සිටීමට ඒ ශරීරයට තවදුරටත් හැකියාවක් නොමැති අයුරිනි. "මගේ උතුමානනි. රොබර්ට් රජතුමා මියගියා. දෙවි‍යො එයාට ශාන්තිය ලබාදුන්නා."

"නෑ." නෙඩ් පිළිතුරු දුනි. "එයා ශාන්තිය පිළිකුල් කලා. දෙවියො එයාට ආදරෙයි හිනාවයි දුන්නා.ඒ වගේම ධාර්මික යුද්ධයක සතුට ලබාදුන්නා." ඔහුට මහත් හිස් බවක් දැනෙන්නට විය. ඔහු මේ පැමිණිම බලාපොරොත්තුවෙන් සිටියද, මේ පණිවුඩය බලාපොරොත්තුවෙන් සිටියද ඒ වදන් සමගින් ඔහු තුළ තිබුනු යම් දෙයක් මියගියාක් වැනි හැඟීමක් දැනෙන්නට විය. නිදහසේ හැඬීම වෙනුවෙන් තමා සතු සියළුම තනතුරු අත් හරින්නට පවා ඔහුට උවමනා විය... එනමුදු ඔහු රොබර්ට් ගේ හස්තය විය. ඔහු ඉමහත් බියෙන් බලාසිටි මොහොත පැමිණ ඇත. "කරුනාකරලා රාජසභාව කැඳවන්ට. එයාලාට මේ කාමරේට එන්ටයි කියන්ට." හස්තයේ කුළුණ ඔහු හා ටොමාර්ඩ් ගේ අණ යටතේ උපරිම ආරක්ෂාවකට යටත් කර තිබුනි. එනමුදු රාජසභා ශාලාව ද එවැනිම ආරක්ෂාවක් සපයතියි බලාපොරොත්තු වීම මෝඩකමක් විය.

"මගේ උතුමානනි." පයිසෙල් ඇසිපිය ගැසුවේය. "රාජ්‍යයේ කටයුතු අපට හෙට වෙනකම් කල්දාන්ට පුළුවන් නේද? එතකොට අපේ කණගාටුව මීට වඩා අඩුවෙලා තියෙයි."

නෙඩ්ගේ ස්වරය මෘදු නමුදු තිර විය. "බොහොම කණගාටුයි. ඒත් අපි මේ වැඩේ දැන්මම කරන්ට ඕන."

පයිසෙල් හිස නැමීය. "ඔබතුමා කියන විදියක්." සිය සේවකයින් කැඳවූ ඔහු පණිවුඩය පිටත් කර හැරියේය. ඉන්පසු නෙඩ්ගේ ආරාධනය පිළිගෙන පුටුවක වාඩි වී මිහිරි බියර් බඳුනක රස බලන්නට වූයේය.

කැඳවීමට මුල්ම ප්‍රතිචාරය ලැබුනේ සෙර් බැරිස්ටාන් සෙල්මිගෙනි. ඔහු පුරුදු පරිදි සුදු සළුවෙන් හා සුදු පැහැ කොරපොතු සන්නාහයකින් සැරසී සිටියේය. "මගේ උතුමනි." ඔහු කීය. "මම මේ වෙලාවෙ ඉන්ට ඕන අපේ අලුත් රජතුමාගෙ පැත්තකින්. කරුනාකරලා අවසර දෙන්ට මට රාජකාරියට යන්ට."

"ඔබේ තැන මෙතැනයි සෙර් බැරිස්ටාන්." නෙඩ් කීවේය.

සුළැඟිල්ලා ඊළඟට පැමිණි‍යේ ය. ඔහු තවමත් පෙරදා රැයේ පැළැඳ සිටි නිල් පැහැ විල්ලූදයෙන් හා රිදී පැහැ කබායෙන් සැරසී සිටියේය. නිරන්තර ගමනාගමනය නිසා ඔහුගේ බූට්ස් සපත්තු ධූලියෙන් වැසී ගොස් තිබුනි. "මගේ උතුමනි." කිසිදු හේතුවක් නොමැතිව සිනාසුනු ඔහු ඉන්පසු නෙඩ් දෙසට හැරුනේය. "ඔබ අර මට කියාපු පොඩි වැඩේ කරලයි තියෙන්නෙ එඩාර්ඩ් උතුමානනි."

රෝස පැහැති වන තෙක් දිය නා, මුහුණට හොඳින් පුයර දමා, සැහැල්ලු පාවහන් පැළැඳි වාරිස් දසතම ලැවැන්ඩර් සුවඳින් පුරවමින් පැමිණියේ ය. "පුංචි කුරුල්ලො අද බොහොම දුක්මුසු සින්දුවක් ගායනා කරන්නෙ." අසුන් ගන්නා අතරේ ඔහු කීවේය. "මුලු රාජධානියම වැළපෙනවා. අපි පටන් ගමුද‍?"

"රෙන්ලි උතුමානන් ආපුවහම." නෙඩ් පිළිතුරු දුන්නේය.

වාරිස් ඔහු දෙස දුක්මුසු බැල්මක් හෙලීය. "බොහොම කණගාටුයි, ඒත් රෙන්ලි උතුමානන් නගරෙන් පිටවෙලා ගියා."

"නගරෙන් පිටවෙලා ගියා?" නෙඩ් රෙන්ලි ගේ උපකාරය ගැන මහත් බලාපොරොත්තු තබා තිබුනි.

"එයා එළිය වැටෙන්ට පැයකට කලින් රහස් දොරටුවකින් පිටවෙලා ගියා. එයාත් එක්ක සෙර් ලෝරාස් ටිරලුයි, සෙබළු පනහකුයි ගියා." වාරිස් කීවේය. " අන්තිමට දකිද්දි එයාලා හැකි උපරිම වේගයෙන් දකුණු දිශාවට යමිනුයි හිටියෙ. කිසිම සැකයක් නෑ, එක්කො ස්ටෝර්ම්ස් එන්ඩ්වලට නැත්තම් හයිගාර්ඩ්න්වලට."

ඒ වනාහි රෙන්ලි හා ඔහුගේ සෙබළුන් සියය විය. මේ සිදුවීම සම්බන්ධයෙන් නෙඩ්ගේ සිතේ කිසිදු කැමැත්තක් නොමැති වුවද ඒ වෙනුවෙන් ඔහුට කල හැකි දෙයක් නොවීය. ඔහු රොබර්ට් ගේ අන්තිම ලිපිය එළියට ගත්තේය. "රජතුමා ඊයෙ රෑ මාව එයාගෙ ඇඳ ළඟට කැඳවලා එයාගෙ අන්තිම කැමැත්ත ලියන්ටයි කියලා අණ කලා. රොබර්ට් මේ ලියුමට මුද්‍රා තියද්දි රෙන්ලි උතුමානනුයි මේස්ටර් පයිසෙලුයි සාක්කිකාරයො විදියට එතැන හිටියා. එයාගෙ මරණෙන් පස්සෙ රාජසභාවෙදි ඒක ඇරලා බලන්ටයි කියලා නියෝග කලා. සෙර් බැරිස්ටාන්, ඔබ සතුටුනම්."

රාජ්‍යාරක්ෂක බලකායේ අණදෙන නිළධාරියා ලිපිය පිරික්සා බැලීය. "රජතුමාගෙ මුද්‍රාව හරි. ඒක කැඩිලත් නෑ." ලිපිය විවෘත කල ඔහු එය කියැවීය. "මේකෙ තියෙන විදියට එඩාර්ඩ් ස්ටාර්ක් උතුමානන් රාජධානියේ ආරක්ෂකයා විදියට නම් කරලා තියෙනවා. රජතුමාගෙ උරුමක්කාරයා නිසි වයස එනකම්‍."

'හරි විදියට නම් එයා දැනටමත් නිසි වයසට ඇවිල්ලා.' නෙඩ් කල්පනා කලේය. එනමුදු මේ සිතුවිලි වදනට නොපෙරලන්නට ඔහු පරිස්සම් විය. ඔහු පයිසෙල් හෝ වාරිස් දෙදෙනාවම විශ්වාස නොකලේය. එමෙන්ම සෙර් බැරිස්ටාන් ඔහු විසින් තමාගේ නියම රජු වශයෙන් විශ්වාස කරන කොලුවා රැකීමට දිවි හිමියෙන් බැඳී සිටියේය. මේ මහලු නයිට්වරයා එතරම් පහසුවෙන් ජො‍ෆ්රිව අතහැර දමනු ඇතැයි සිතිය නොහැකි විය. තමන් වංචාවකට හසු වූ බව දැනගැනීම ඔහුට අමිහිරි දෙයක් වනවා ඇත. එනමුදු ඔහුව නම්මා ගැනීම හෙමිහිට, මෘදු අයුරින් කලයුත්තක් බැව් නෙඩ් දැන සිටියේය. ඔහු උපරාජයා වශයෙන් තම තත්ත්වය තහවුරු කරගන්නා තුරු සිය රාජසභාව සමග ප්‍රවේශමෙන් කටයුතු කලයුතු යැයි ඔහු තේරුම් ගෙන සිටියේය. ආර්යා හා සන්සා ආරක්ෂාකාරීව නැවත වින්ටර්ෆෙල් බලා පිටව ගිය පසු, ස්ටැනිස් උතුමානන් සිය හමුදාවත් සමග කින්ග්ස් ලෑන්ඩින්ග්වලට පැමිණි පසු මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම වඩා ආරක්ෂාකාරී බැව් ඔහු වටහාගෙන සිටියේය.

"මම කැමැතියි මේ රාජසභාවෙන් ඉල්ලන්ට, රොබර්ට් බලාපොරොත්තු වුන විදියට මාව උපරාජයා විදියට ස්ථිර කරන්ටයි කියලා." නෙඩ් ඔවුන් ගේ මුහුණු දෙස බලමින් කීවේය. පයිසෙල් ගේ අඩක් පියැවුනු දෑස්, සුළැඟිල්ලා ගේ අලස සිනහව හා වාරිස් ගේ ඇඟිලි තුඩු වෙවුලීම පසුපස කුමන සිතුවිලි සැඟවී ඇත්දැයි ඔහු විමතියෙන් කල්පනා කලේය.

දොර ඇරුනි. මහත ටොම් කාමරයට ඇතුළු විය. "සමාවෙන්ට මගේ උතුමනි. ඒ වුනත් රජතුමාගෙ නිවාස බාරකාරයා බලකරනවා..."

රාජකීය නිවාස බාරකරුවා කාමරයට ඇතුළු වී හිස නැමීය. "ගරු කටයුතු උතුමනි, රජතුමා අණ කරනවා එතුමාගෙ රාජසභාවට වහාම සිහසුන් කාමරයට එන්ටයි කියලා."

සෙර්සිගේ මෙවැනි ඉක්මන් ප්‍රහාරයක් නෙඩ් බලාපොරොත්තුවෙන් සිටියේය. මේ කැඳවීම ඔහුට පුදුමයක් නොවීය. "රජතුමා මැරිලා. ඒ වුනත් අපි දැන් ඔබත් එක්ක යා යුතුයි. ටොම් කරුනාකරලා පරිවාර සේනාවක් ලෑස්ති කරන්ට."

පඩිපෙළ බැසීම පිණිස සුළැඟිල්ලා ගේ අත්වාරුව නෙඩ්ට ලැබින. වාරිස්, පයිසෙල් හා සෙර් බැරිස්ටාන් ඔවුන් සමීපයෙන් පසුපසින් ආවෝය‍. මුදු දම්වැල් සන්නාහයෙන් හා වානේ ශිරස්කයෙන් සන්නද්ධ වූ අට දෙනෙකුගෙන් යුතු සෙබළ මුලුවක් කුළුණට පිටතින් ඔවුන් වෙනුවෙන් බලා සිටියහ. අළු පැහැ සළු සුළඟේ ලෙලදෙද්දී සෙබළ මුලුව විසින් ඔවුන්ව අංගනය හරහා කැඳවාගෙන ගියහ. කිසිදු තැනෙක ලැනිස්ටර් ලේ රතු පැහැය දකින්නට නොහැකි විය. එනමුදු පවුරු අටලුවල හා දොරටුවල මුරකාවලෙහි නියැලී සිටි නගරාරක්ෂකයින් නිසා නෙඩ්ගේ සැක බිය දුරුවී ගියේය.

කැටයම් සහිත කළු හා රන් පැහැ ඵලක සන්නාහයෙන් සැරසී, ශිරස්කයක් කිහිල්ලේ ගන්වාගෙන සිටි ජේනස් ස්ලින්ට් සිහසුන් කාමරයට පිවිසෙන දොරටුව අබියසදී ඔවුන්ට මුනගැසුනේ ය. ඔහු දරදඬු අයුරින් ඔවුන්ට හිස නැමීය. ඔහුගේ සෙබළුන් විසින් අඩි විස්සක් උසැති, ලෝකඩයෙන් සවිමත් කරන ලද දැවැන්ත ඕක් දොරපලු විවෘත කලෝය.

රාජකීය නිවාස බාරකරුවා ඔවුන්ව ඇතුළට කැඳවාගෙන ගියේය. "අන්දාල් වරුන්ගේ ද, රොයිනාර් වරුන්ගේ ද, මුල් මිනිසුන්ගේ ද රජු වන, රාජධානි සප්තකයේ ස්වාමියා හා ආරක්ෂකයා වන, බරතියන් වංශයේ ජොෆ්රි නම් වූ එම නමින් යුත් පළමු රජතුමාගේ නාමයට දිගාසිරි වේවා!" ඔහු නිවේදනය කලේය.

ජොෆ්රි යකඩ සිහසුන මත අසුන්ගෙන සිටි ශාලාවේ එහා කෙලවර වෙත දිගු දුරක් ඇවිද යා යුතු විය. නෙඩ් ස්ටාර්ක් සුළැඟිල්ලා ගේ සහයද ඇතිව ඒ දෙසට සෙමින් සෙමින් නොණ්ඩි ගසමින් ගමන් කරන්නට විය. අනිකුත් පිරිස ඔවුන් පිටුපසින් පියමැන්නහ. මුල්ම වරට මේ ගමන ආ වේලාවේ ඔහු අසිපතක් අතැතිව අසුපිට සිටි බැව් ඔහුට සිහිපත් විය. එදා ඔහු විසින් ජේමි ලැනිස්ටර්ව සිහසුනෙන් බිමට බස්සද්දී ටාර්ගේරියන් මකර හිස්කබල් රැස ඔවුන් එල්ලී සිටි බිත්තිවල සිට ඔහු දෙස බලා සිටියහ. එතරම්ම පහසුවෙන් ජොෆ්රි ද සිහසුනෙන් බසිනු ඇත්දැයි නෙඩ් විමතියෙන් කල්පනා කලේය.

සෙර් ‍ජේමි හා සෙර් බැරිස්ටාන් හැරෙන්නට රාජ්‍යාරක්ෂක බලකායේ අනිත් නයිට්වරු පස්දෙනා සිහසුන පාමුල අඩසඳාකාරයට විසිර සිටියෝය. ඔවුහු හිස සිට දෙපතුළ දක්වාම වානේ සන්නාහයෙන් සැරසී, දිගු සුදු සළු උරහිසට උඩින් පොරවාගෙන, වම‍තේ ඈඳූ දිදුලන සුදු පැහැ පලිස් දරා සිටියහ. සෙර්සි ලැනිස්ටර් හා ඇගේ බාල දරුවන් දෙදෙනා සෙර් බොරෝස් හා සෙර් මෙරින් පිටුපසින් සිටගෙන සිටියහ. රැජිණ සුදු පැහැ ම'රිෂ් රේන්දවලින් වැඩ දැමූ මුහුදු කොළ පැහැයේ දිගු ගවොමක් හැඳ සිටියාය. ඇගේ අතැඟිල්ලක පරෙවි බිජුවක් තරම් විශාල මරකත මිණක් සවිකල රන් මුදුවක් බැබලුනි. ඇගේ හිසේ එයටම ගැලපෙන අන්දමේ කුඩා ඔටුන්නක් විය.

මේ සැමටම ඉහළින් රන්වන් කමිසයකින් හා ලේ රතු පැහැ සේද කබායකින් සැරසුනු ජොෆ්රි යකඩ සිහසුනේ අසුන්ගෙන සිටියේය. සිහසුනට වහාම පහළින් වූ පටු පඩිය මත මුදු දම්වැල් හා අළු පැහැ ඵලක සන්නාහයෙන් සැරසී සිය සුනඛ හිසකින් යුත් ශිරස්කය පැළැඳි සැන්ඩෝර් ක්ලිගෙන් ස්ථානගත වී සිටියේය.

සිහසුනට පිටුපසින් දිගු අසිපතින් සන්නද්ධ වූ ලැනිස්ටර් සෙබළුන් විසිදෙනෙක් මුරකාවලෙහි නියැලී සිටියහ. ඔවුන් ගේ උරහිස්වල ලේ රත් පැහැ සළු ගැවසී තිබුනු අතර ඔවුන් ගේ ශිරස්ක යකඩින් කල සිංහයින්ගෙන් සැරසී ගත්තේය. එනමුදු සුළැඟිල්ලා සිය පොරොන්දුව මනාව ඉටු කොට තිබින. කාමරයේ බිත්ති දිගටම පාහේ, රොබර්ට් ගේ අලංකාර දඩයම් සිතුවම් සහිත තිර රෙදිවලට ඉදිරියෙන් රන් සළුවෙන් ගත වැසූ නගරාරක්ෂක සෙබළු සීරුවෙන් සිටගෙන සිටියහ. ඔවුන් සැමෙකකුගේම අත කළු යකඩින් කල තලයකින් හෙබි අඩි අටක් දිගු හෙල්ලයක් විය. ඔවුහු ගණනින් එකට පහක් වශයෙන් ලැනිස්ටර් සෙබළුන් පැරැද්දූහ.

ඇවිදීම නවතන මොහොත වන විට නෙඩ්ගේ පාදය වේදනාවෙන් ඇදුම්කමින් තිබුනි. සිය බර දරාගැනීම හා සමබරතාව රැකගැනීම සඳහා ඔහු සුළැඟිල්ලා ගේ උරහිසට වාරුවිය.

ජොෆ්රි නැගිට සිටියේය. ඔහුගේ රත් පැහැ සේද කබාය රන් නූලෙන් වැඩ දමා තිබින. එහි එක් පසෙක ගොරවමින් නැගී සිටින සිංහයින් පනසක් ද අනිත් පස උඩඟු ලීලාවෙන් හිස ඔසවාගෙන සිටින ගෝනුන් පනසක් ද ගෙත්තම් කොට තිබින. "මම අණ කරනවා උපදේශක සභාවට මගේ අභිෂේකය වෙනුවෙන් අවශය හැම පියවරක්ම ගන්ටයි කියලා." කොලුවා නිවේදනය කර සිටියේය. "සති දෙකක් ඇතුළත ඔටුනු පළඳන්ට මම අදහස් කරන් ඉන්නවා. අද මම මගේ උපදේශක සභාවෙ සාමාජිකයින්ගෙන් පක්ෂපාතී දිවුරුම් ගන්නම්."

නෙඩ් රොබර්ට් ගේ ලිපිය සුරතට ගත්තේය. "වාරිස් උතුමානනි. කරුනාකරලා මේ ලියුම අපේ ලැනිස්ටර් ආර්යාවට පෙන්නනවද?"

පණ්ඩකයා ලිපිය රැජිණ වෙත රැගෙන ගියේය. රැජිණ එහි ලියා ඇති දෑ උඩින් පල්ලෙන් කියවා බැලුවාය. "රාජධානියේ ආරක්ෂකයා. මේකද උඹේ ආරක්ෂක පලිහ මගෙ උතුමානනි? නිකංම නිකං කඩදාසි කෑල්ලක්?" කඩදාසිය දෙකට ඉරූ ඇය එය නැවත හතරට ඉරුවාය. කොළ කැබැලි ඇගේ පය පාමුල බිම වැටුනි.

"ඒ තිබුනෙ රජතුමාගෙ වචන. එයාගෙ අණ." සෙර් බැරිස්ටාන් ත්‍රස්ත වූ ස්වරයෙන් කීය.

"අපට දැන් අලුත් රජෙක් ඉන්නවා." සෙර්සි ලැනිස්ටර් පිළිතුරු දුන්නාය. "එඩාර්ඩ් උතුමානනි, මතකද අපි අන්තිමට කතා කරපු වෙලාවෙ උඹ මට පුංචි උපදෙසක් දුන්නා. මටත් ඒ කරුනාවම උඹටත් පෙන්නන්ට ඉඩදෙන්ට. දණ නවාපන් මගේ උතුමානනි. දණ නවලා මගේ පුතාට පක්ෂපාතීයි කියලා දිවුරපන්. එතකොට අපි උඹට අවස්ථාවක් දෙන්නම් ඔය තනතුරෙන් ගෞරවනීය විදියට සමුඅරන් ගිහිල්ලා උඹ අර ගෙදරයි කියලා කියන පාලු සීතල කාන්තාරෙට වෙලා සැපෙන් ඉන්ට."

"එහෙම කරන්ට පුළුවන් නම් කොච්චර හොඳද." නෙඩ් සැරපරුස ස්වරයෙන් කීය. මෙය මෙතැන, මේ පිරිස ඉදිරියේ තව දුරටත් ඇදගෙන යන්නට ඇය අදිටන් කරගෙන ඉන්නේ නම් ඔහුට වෙනත් විකල්පයක් ඉතුරුව නැත්තේය. "ඔබේ පුතාට ඔය සිංහාසනේ වාඩිවෙලා ඉන්ට කිසිම සුදුසුකමක් නෑ. රොබර්ට් රජතුමාගෙ නියම උරුමක්කාරයා ස්ටැනිස් උතුමානනුයි."

"බොරුකාරයා." ජොෆ්රි රතු වී ගිය මුහුණින් යුතුව මොරගෑවේය.

"අම්මා, මොකක්ද ඒකෙන් කියැවෙන්නෙ?" මර්සෙලා කුමරිය දුක්මුසු ස්වරයෙන් රැජිණගෙන් විමසුවා ය. "දැන් එතකොට ජොෆ් නෙවෙයිද රජ්ජුරුවො?"

"උඹ උඹේ කට නිසාම විහින් විනාසවෙනවා ස්ටාර්ක් උතුමානනි." සෙර්සි කීවාය. "සෙර් බැරිස්ටාන්, මේ ද්‍රෝහියාව අත්අඩංගුවට ගනින්."

රාජ්‍යාරක්ෂක බලකායේ ප්‍රධානියා මොහොතක් අතීරණයෙන් පසුවීය. ඇසිපිය හෙලන පමාවෙන් ආයුධ ඇදගත් ස්ටාර්ක් සෙබළුන් විසින් ඔහුව වටකරගන්නා ලදී.

"දැන් ඉතින් ද්‍රෝහිකම වචනවලින් විතරක් නෙවෙයි ක්‍රියාවෙන්ම පෙන්නුවා." සෙර්සි කීවාය. "උඹ හිතන්නෙ සෙර් බැරිස්ටාන් විතරක් තනියම ඉන්නවා කියලද මගෙ උතුමානනි?" දඩබල්ලා අමිහිරි හඬක් නංවමින් සිය දිගු අසිපත කොපුවෙන් පිටතට ඇදගත්තේ ය. රාජ්‍යාරක්ෂක බලකායේ නයිට්වරුන් ද ලැනිස්ටර් සෙබළුන් විසිදෙනාද ඔහුට සහාය පිණිස ඉදිරියට ඇදුනහ.

"ඌව මරපන්." යකඩ සිහසුනේ අසුන්ගෙන සිටි කොලුවා කෑගැසුවේ ය. "උන් ඔක්කොමල්ලා මරපන්. මම අණ කරනවා."

"ඔබ මට වෙන කිසිම විකල්පයක් දෙන්නෙ නෑ." නෙඩ් සෙර්සි ලැනිස්ටර්ට කීවේය. ඔහු ජේනස් ස්ලින්ට් දෙසට හැරුනේය.

"අණදෙන නිළධාරියා. රැජිණයි එයාගෙ දරුවනුයි අත්අඩංගුවට ගන්ට. එයාලට කිසිම හානියක් කරන්ට එපා. එයාලව ආපහු රාජකීය නවාතැනට එක්කරන් ගිහිල්ලා මුර පිට රඳවලා තියන්ට."

"මුර සෙබළුනි." සිය ශිරස්කය දමා ගනිමින් ජේනස් ස්ලින්ට් හඬගෑවේය. සිය හෙලි පහත් කරගත් නගරාරක්ෂක මුර සෙබළු සියයක් ඔවුන් වටා රැස් වූහ.

"මට මෙතැන කිසිම ලේ හැලීමක් කරන්ට ඕන නෑ." නෙඩ් රැජිණට කීවේය. "ඔබේ මිනිස්සුන්ට ආයුධ බිමින් තියන්ටයි කියලා කියන්ට. අනික කිසිම කෙනෙක්-"

නුදුරින්ම සිටි නගරාරක්ෂක සෙබළා එකම එක ක්ෂණික පහරකින් සිය හෙල්ලය ටොමාර්ඩ් ගේ පිටකොණ්දට බැස්සුවේ ය. ලෙයින් පෙඟී රත් පැහැ වූ හෙලි තලය පදම්කල සම් ආවරණ හා මුදු දම්වැල් පසාකරමින් ඔහුගේ ඉළඇට අතරින් පිටතට එද්දී මහත ටොම්ගේ අප්‍රාණික අතැඟිලි වලින් අසිපත ගිලිහී ගියේය. අසිපත බිම වැටෙන්නටත් පෙර ඔහු මියගොස් සිටියේය.

නෙඩ්ගේ කෑගැසීම පමා වැඩි විය. ජේනස් ස්ලින්ට් සියතින්ම වාර්ලි ගේ ගෙල සිඳ දැමීය. සැනෙන් ආපසු හැරුනු කේන් දැඩි අසිපත් පහර කිහිපයකින් තමාට නුදුරින්ම සිටි නගරාරක්ෂක සෙබළා පිටුපසට පලවා හැරියේය. එක් මොහොතකට දිස් වූයේ ඔහුට මේ සංහාරයෙන් මිදී පලායාමට අවස්ථාවක් සැලසෙනු ඇති බවයි. එනමුදු ඊළඟ මොහොතේ දඩබල්ලා ඔහු මතට පිනීය. සැන්ඩෝර් ක්ලිගේන් ගේ පළමු අසිපත් පහරින් කේන්ගේ අසිපත දැරූ සුරත මැණික්කටුව අසලින් වෙන් වී ගියේය. දෙවන පහර ඔහුව දණින් ඉන්දවීමට සමත් වූ අතර ඔහු උරහිසේ සිට පපු ඇටය දක්වාම දෙපළුව ගියේය.

ඔහු වටා ඔහුගේ මිනිසුන් මෙසේ එකිනෙකා මියයද්දී නෙඩ්ගේ ඉණපටියේ රැඳි කිනිස්ස පිටතට ඇදගත් සුළැඟිල්ලා එය ඔහුගේ නිකට යටින් තබා තදකලේය. ඔහුගේ මුවේ සමාව යදිනාකාරයේ සිනහවක් තැවරී තිබුනි. "ඔබට මතකනෙ, මම ඔබට කිවුවා මාව විශ්වාස කරන්ට එපයි කියලා."




Cersei Lannister: “We have a new king now.”

47 comments:

  1. there, the idiot has done it finally

    all hail Joffrey Baratheon, King of the Andals and the First Men,Lord of the Seven Kingdoms
    and the Protector of the Realm.

    ReplyDelete
    Replies
    1. You forgot the Rhoynar... :-P

      Delete
    2. Yep that's my bad. :)
      Btw its a wonder the Rohynar are even a part of his title. Guess a certain lord in a wheelchair is responsible eh?

      Delete
    3. Dorne is part of the seven kingdoms eh? That certain lord bend his knees (I'm not 100% sure whether he is still capable of bending his knees btw) to the iron throne eh?

      Delete
    4. no i meant if it weren't for the unbent knees of that lord, dorne would have gone their own way a long ago. think who will be in command eh?
      my fav character in the whole damn series
      I LOVE SERPENTS .

      Delete
    5. Really?
      U live in homeland of serpents though :P

      Delete
    6. Sorry PoM, but if Dorne ever tried to go in their own way, do you think that Robert would allow them to do so? That'll be another 'Balon Greyjoy moment' eh?

      Delete
    7. are you kidding me right now?
      comparing the feeble navy (only navy) of iron islands to the might of dorne ( which took a whole damn summer to conquer by the young dragon no less ) ?
      and balon greyjoy to the red viper of dorne ??

      Delete
    8. Might of Dorne!!?? Ahem, what kinda might are u talking here my lord? Dorne is scarcely populated with only light cavalry for the defence. Their only advantage is the Dornish mountains. With Highgarden, Arbour & Oldtown to their west and Crowlands & Stannis' naval power to their east, they are just like roaches under the foot of an elephant..

      Delete
    9. he is called the red VIPER for a reason. i think wen he is done, king Robert would smell like another great lord , and then who will take command? stannis?
      we all know the way he fights.

      Delete
  2. මී හරකෙක් විදියට නෙඩ් ගෙ කැරැක්ටර් එක හැදුවෙ ඇයි කියල මම තාම කල්පනා කරනව
    සැන්ඩො කොල්ල අඩුගානෙ 50 ක් වත් අපායට යවයි

    ReplyDelete
    Replies
    1. සැන්ඩො , ඇයි ඌ විතරක්?

      Delete
    2. කතාවක මී හරකෙකුත් ඉන්ට ඕනැයි කියලා හිතුවද දන්නෙ නෑ නෙව.. :-D

      Delete
    3. නෙඩ් නැතුවට තව කොච්චර මීහරක් කතාවේ ඉන්නවද? :P

      Delete
  3. අක්කන්ඩි මට තවම කතාව අවුල් මගදි සෙට්වෙච්ච නිසාද මන්දා
    මුල් ටිකත් කියවලා එන්නම්.

    ReplyDelete
    Replies
    1. මැදින් පට්ටාං ගත්තොත් නං කොල්ලො ඔක්කොම මොළේ කොලොප්පං වෙලාම යයි.. මුල කොටසේ ඉඳලාම එන්ට..

      Delete
    2. හොඳමයි මලයන්ඩි. ඔයා එනකල් බලා ඉන්නම්...:D

      Delete
  4. හුටා,කියවාගෙන ඇවිල්ලා මඟ හැරුණු ඒවා මාර තැනකදි නේ ආයෙමත් සෙට් වුනේ.

    ReplyDelete
    Replies
    1. ඒක නෙවැ කියන්නෙ මඟ ඇරගන්ට එපා කියලා‍.. දැක්කනෙ ආවෙ නැති ටිකට වෙලා තියෙන දේවල්.. :-D

      Delete
    2. ඒකනේ ජන්ද වැඩ වගේද මේවා...:)

      Delete
  5. සුළැඟිල්ලා නෙඩ් එක්ක "ආප්ප" කැවද දන්නේ නැහැනෙහ්.

    ReplyDelete
    Replies
    1. කියන්ට බෑ තමා.. ඕක තමා කියන්නෙ 'එකට කෑවත් බොක්ක වෙනස්' කියලා..

      Delete
    2. ඒ කාලේ ආප්ප තිබ්බලුද? :O

      Delete
  6. මෙවැනි කථාවක් ලියන්න ඉතා කල්පනාකාරීව සකසාගත් කථා සැකිල්ලක් අවශ්‍යයි. ඉතා දීර්ඝව ඇදී යාමේදී, අවස්ථා සම්බන්ධය සහ කාලීනව ඒ ඒ චරිතයේ ඇතිවන වෙනස්වීම් ආදිය, අපේ රටේ මෙගා ටෙලි ගහනවා වගේ එදාට එදාට කරන්න බැහැ. මෙය වෙහෙසකර අභ්‍යාසයක්. කියවන්නා විමතියට, භ්‍රාන්තියට, පත්කරමින් ඔහුගේ කුතුහලය නොනැසී පවත්වාගැනීම සුළුපටු ක්‍රියාවක් නොවේ.

    ReplyDelete
    Replies
    1. ටෙලි සීරීස් එක තාම සම්පූර්ණයෙන්ම බලාගන්ට ලැබුනෙ නැද්ද විචා?

      Delete
    2. @විචාරක,

      මට වෙලාවකට හිතෙනවා මාර්ටින් ගොය්යට මොලේ අමාරුවක් කියලා. නැත්නම් මෙහෙම කතාවක් ලියන්ට අමාරුයි.

      Delete
    3. LOTR all the way dude :D
      mother of all fantasy

      Delete
  7. ඔය කර ගත්තෙ වැඩක් , අනේ මන්දා.......

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා නෙඩ්, ඔයා මේ ‍මොනවා කරනවාද මන්දා.‍. අන්න සෝන්යාත් අහනවා ඔයාට මඤ්ඤංද කියලා.. ;-)

      Delete
    2. මොකෝ මේ සෝන්යාට "අන්න සෝන්යාත් අහනවා" කියලා තියෙන්නේ. මට පේන්නේ ඔක්කොමලාටම මඤ්ඤං වගේ...:P

      Delete
  8. "ගීත ලොවේ මෙන්න අලුත් සෙල්ලම - සිනා සිසී බෙල්ල කැපිල්ල" කියන මේරියන්ස් සින්දුව මතක් උනා අර අන්තිම පින්තූරෙ දැක්කම.

    ReplyDelete
    Replies
    1. වෙස්ටෙරොසේ මෙන්න ජනප්‍රියම සෙල්ලම - සිනාසිසී බෙල්ල කැපිල්ල..
      මොකද බයද නෙඩ් ලොක්කා කඩුව වැනුවම - ගැස්සෙනවද යකඩ සිහසුන..

      සිංදුව කියන්නෙ මේරියන්ස්ලා ද? සන්ෆ්ලවර්ස්ලා නෙවෙයි ද?

      Delete
    2. නෑ බන් මේරියන්ස්. ඕක මුලිම්ම උන් කිව්වෙ 91 දි "තාරුකා" කියන කැසට් එකට. ඒකෙම තමයි අර "එන්න මල්ලී...එන්න නංගී...ගී අසාලා ප්‍රීති වීලා" සින්දුවත් උන් කිව්වෙ.

      Delete
    3. අපරාදේ එතනට ඒ සිංදුව දාලා කතාව හදන්ට තිබ්බේ...:P

      Delete
  9. ඔන්න පට්ටාන් ගත්තා...

    ReplyDelete
    Replies
    1. හැමදාම ඇහුවෙ කෝ ෆයිට් කියලා නෙවැ.. ඔන්න දැන් ඉතින් සිංදු ඉවරයි.. මීට පස්සෙ හැමදාම ෆයිට් තමා.. :-D

      Delete
    2. ෆයිට් කරන එක හොඳයි. ඒවා ගැන ලියන එක තමා අමාරු. :(

      Delete
  10. සුළැඟිල්ලා කරපු වැඩේ කැතයි.....

    ReplyDelete
    Replies
    1. මෙන්න තිසර ඇවිත්...:)

      Delete
    2. ඡන්ද වැඩ ඉවරයිනෙ ඊයෙ මධ්‍යම රාත්‍රියේ ඉඳන්.. :-P

      Delete
  11. හොඳම වැඩේ මැටි මී හරකට...

    හා හා ඊ ළඟ... :D

    ReplyDelete
    Replies
    1. හොඳම වැඩේ නේන්නං.. දැන්වත් ඇස් ඇරෙයිද බලමු.. :-D

      Delete
  12. නෙඩ් වගේ මොඩ චරිතයක් මම මේ කතාවක කියවනමද මන්දා.. බලමුකො මොකද වෙන්නේ කියලා..

    ටික දවසකින් හිත නිදහසේ මේ පැත්තේ ගොඩ වෙන්න පුළුවන් උනේ..

    ReplyDelete
    Replies
    1. බලමු බලමු නේහ්.. ඔන්න අද කොටසත් දැම්මා..

      Delete