Wednesday 28 January 2015

ඩනේරිස් 06-2


වංගුවකින් හැරුනු ඔවුහු කුඩා දිදාල ප්‍රමාණයේ කෝප්පවල බහාලූ වයින් මග යන එන්නවුන්ට රස බලන්නට දෙමින් සිටි වයින් වෙළෙන්දෙකු අභිමුවට පැමිණියෝය. "රස රතු වයින්." ඔහු ව්‍යක්ත ඩොත්රැකිවලින් කෑගැසීය. "මගේ ගාව තියෙනවා රස රතු වයින්. ලයිස්වලින් ගෙනාපුවා. වොලැන්ටිස්වලින් ගෙනාපුවා. ආර්බර්වලින් ගෙනාපුවා. ලයිස්වල සුදු වයින්. ටයිරෝෂිවල පෙයාර් බ්‍රැන්ඩි. ෆයර්වයින්. පෙපර්වයින්. ම(ර්)වල ලා කොළ පාට පැණිරස එවුවා. ස්මොක්බෙරි දුඹුරුපාට එවුවා. අන්දලීෂ් ඇඹුල් වයින්. මගේ ගාව තියෙනවා. මගේ ගාව තියෙනවා." ඔහු කෙට්ටු, කඩවසම්, කුඩා මිනිසකු විය. ඔහුගේ හණ වැනි කෙහෙරැළි ලයිස්වල විලාසිතාව අනුව කැරැළි ගස්වා සුවඳ ගල්වා තිබුනි. ඩැනී ඔහුගේ සල්පිල ඉදිරියේ නැවතුනු යිට ඔහු හිස පහත් කලේය. "ඛලීසිට රස බලන්ට චුට්ටක් දෙන්ටද? මගේ ගාව තියෙනවා ඩෝර්න්වලින් ගෙනාපු හොඳ රස රතු වයින් එකක් මගේ ආර්යාවනි. ඒකෙ තියෙනවා හොඳ මිදියි චෙරියි රහකුයි එක්ක එකතුවෙච්ච තද ඕක් කහට රහක්. පීප්පයක් බොමුද, කෝප්පයක් බොමුද, උගුරක් බොමුද? එක උගුරක් බීලා බැලුවොත් ඔබේ ඔය කුසේ ඉන්න දරුවා මගේ නමින් නම් කරනවා සහතිකයි."

ඩැනී සිනාසුනාය. "මගේ පුතාට දැනටමත් නමක් තියෙනවා. ඒ වුනත් මම ඔබේ සමර්වයින් චුට්ටක් බීලා බලන්නම්." ඇය වැලීරියන් බසින් - නිදහස් වෙළෙඳ නගරවල භාවිත වන වැලීරියන් බසින් - වෙළෙන්දාට කීවාය. මෙතරම් කලකට පසු මේ වදන් තෙපලීමේ නුහුරු බවක් ඇගේ මුවට දැනුනි. "පුංචි උගුරක් දෙන්ටකො රස බලන්ට."

වෙළෙන්දා ඇය ඩොත්රැකියකු කොට සිතූ බවකි. ඇය හැඳ සිටි ඇඳුම් ද, තෙල් ගැල්වූ කෙහෙරැළි ද, අවුවට පිච්චී ගිය සම ද නිසා එය මහ අරුමයක් නොවීය. ඇගේ කතාව ඇසූ ඔහු විමතියෙන් මුව අයාගත්තේ ය. "මගේ ආර්යාවනි, ඔබතුමී... ටයිරෝෂි ද? ඒක වෙන්ට පුළුවන් ද?"

"මගේ කතාව ටයිරෝෂි වෙන්ට ඇති. මගේ ඇඳුම් ඩොත්රැකි වෙන්ට ඇති. ඒ වුනත් මම වෙස්ටෙරොස්වල රාජධානි සප්තකයේ." ඩැනී ඔහුට කීවාය.

ඩෝරියා ඉදිරියට පැමිණ ඇය පසෙකින් සිටගත්තා ය. "උඹ මේ කතා කරන්නෙ ටාර්ගේරියන් වංශයේ ඩනේරිස්ට. ඩනේරිස් ස්ටෝර්ම්බෝර්න්ට. අශ්වාරෝහකයින්ගෙ ඛලීසිට. රාජධානි සප්තකයේ කුමාරිට. උඹට මේක ලොකු ගෞරවයක්."

වයින් වෙළෙන්දා දණින් වැටුනේය. "කුමරියනි." ඔහු හිස නැමීය.

"නැගිටින්ට." ඩැනී ඔහුට අණකලාය. "මම තාමත් කැමැතියි ඔබ අර කියාපු සමර්වයින් චුට්ටක් රස බලන්ට."

මිනිසා දඩිබිඩියේ නැගිටගත්තේ ය. "ඒක? අර ඩෝර්නිෂ් ජරාව? ඒක කුමාරියකට තරම් නෑ. මගේ ගාව තියෙනවා බොහොම හොඳ වියළි රතු ආර්බර් වයින් එකක්. බොහොම ප්‍රසන්නයි. බොහොම මනෝහරයි. කරුනාකරලා, මට ඉඩදෙන්ට ඔබතුමීට ඒකෙන් පීප්පයක් දෙන්ට."

නිදහස් නගර වෙත නිරන්තරයෙන් කෙරුනු ඛාල් ඩ්‍රෝගෝගේ සංචාර විසින් ඔහු තුළ හොඳ වයින් කෙරෙහි මහත් ඇල්මක් ඇති කොට තිබින. මෙවැනි අගනා පැරැණි වයින් වර්ගයක් ලැබුනහොත් ඔහු අමන්දානන්දයට පත්වනු ඇති බැව් ඩැනී දැන සිටියාය. "ඔබ මට ගෞරව කරනවා සෙර්." ඇය මධුර ස්වරයෙන් මිමිනුවාය.

"ගෞරවය අයිති මටයි." සිය සල්පිලේ පසුපසට ගිය වෙළෙන්දා ඕක් ලීයෙන් කල කුඩා පීප්පයක් රැගෙන ආයේය. මේ පීප්පයේ ලීය මතුපිට මිදි පොකුරක සලකුණක් හංවඩු ගසා තිබුනි. "රෙඩ්වින් සලකුණ." ඔහු එයට ඇඟිල්ල දිගු කරමින් කියා සිටියේය. "ආර්බර්වල සලකුණ. මේකට ගහන්ට පුළුවන් බීමක් වෙන කොහෙවත් නෑ."

"ඛාල් ඩ්‍රෝගෝයි මමයි ඒක ඉවර කරන්නම්. අග්ගෝ. කරුනාකරලා මේක මගේ දෝලාවට අරන් යන්ට." ඩොත්රැකියා වයින් පීප්පය ඔසවා ගනිද්දී වයින් වෙළෙන්දා සතුටින් පිනා ගියේය.

සෙර් ජෝරාගේ කටහඬ ඇසෙන තෙක් නයිට්වරයා තම පිරිසට යළි එකතු වී ඇති බවක් ඇය නොදත්තාය. "එපා!" ඔහුගේ ස්වරයට අමුතු පරුෂ බවක් එක් වී තිබුනි. "අග්ගෝ. ඔය පීප්පෙ බිමින් තියාපන්."

අග්ගෝ ඩැනී දෙස බැලීය. ඇය දෙගිඩියාවකින් මෙන් ඔවු කියන්නට හිස සැලුවාය. "සෙර් ජෝරා. මොකක් හරි ප්‍රශ්නයක් ද?"

"මට පොඩි තිබහක් ආවා. වයින් වෙළෙන්දා, මේ පීප්පෙ ඇරපන්."

වෙළෙන්දා රවා බැලීය. "මේ වයින් එක ඛලීසිට. උඹලා වගේ එවුන්ට නෙවෙයි සෙර්."

සෙර් ජෝරා සල්පිල වෙත තවත් ලංවිය. "උඹ ඒක ඇරියෙ නැත්තම්, මම උඹේ ඔළුවෙ ගහලා ඒක අරිනවා." මේ පූජනීය නගරය තුළ ඔහු කිසිදු ආයුධයක් අත නොදැරීය. සිය දෑත් හැරෙන්නට වෙනත් කිසිදු ආයුධයක් ඔහු අත නොවීය. එනමුදු ඒ විසල්, හැඩිදැඩි, දළ ලොමින් ගැවසීගත් දෑත් උවමනාවටත් වඩා වැඩි ආයුධයක් විය. වයින් වෙළෙන්දා මොහොතක් අතීරණයෙන් පෙලෙන්නාක් මෙන් පෙනින. එනමුදු ඊළඟ මොහොතේ ඔහු සිය මිටිය අතට ගෙන පීප්පයේ ඇබයට ගසා එය විවර කලේය.

"වක්කරපන්." සෙර් ‍ජෝරා නියෝග කලේය. ඩැනීගේ ඛාස් එකේ තරුණ සෙබළුන් සිවුදෙනා ඔහු පිටුපසින් පෙළ සැදුනහ. ඔවුන් ගේ රවුම් ආමන්ඩ් හැඩැති දෑස් රවන්නට පටන් ගත්හ.

"මේ වගේ හොඳ වයින් එකකට නියම විදියට හුළං වදින්ට දෙන්නෙ නැතුව එකපාරටම බොන එක මහ අපරාධයක්." වයින් වෙළෙන්දා තවමත් සිය මිටිය පහත හෙලා නොතිබින.

ජෝගෝ සිය ඉණපටියේ රුවා තිබුනු කසය වෙත අත යැවීය. එනමුදු මුදු ලෙස ඔහුගේ අත ස්පර්ශ කල ඩැනී ඔහුව නැවැත්වීය. "සෙර් ජෝරා කියාපු විදියට කරපන්." ඇය වෙළෙන්දාට අණදුනි. මග යන එන්නෝද සිදුවන්නේ කුමක්දැයි බලනු පිණිස රැස් කන්නට වූහ.

මිනිසා ඇය වෙත කෙටි බුම්මාගත් බැල්මක් හෙලීය. "කුමරියගෙ කැමැත්තක්." මිටිය පසෙකින් තැබූ ඔහු පීප්පය ඔසවාගත්තේ ය. ඉන්පසු බිඳකුදු අපතේ නොයන සේ පරෙස්සමින් දිදාලයක ප්‍රමාණයේ රස බලන කෝප්ප දෙකකට වයින් වත්කලේය.

කෝප්පය එසවූ සෙර් ජෝරා රවාගත් මුහුණින් යුතුව එය ඉවකර සුවඳ බැලීය.

"ප්‍රසන්නයි නේද?" වයින් වෙළෙන්දා සිනාසෙමින් කීවේය. "ඔබට පළතුරු සුවඳ දැනෙනවද සෙර්? ඒ තමා ආර්බර්වල සුවඳ විලවුන් සුවඳ. රහ බලන්ට මගේ උතුමානනි. රහ බලලා මට කියන්ට මෙච්චර කාලෙකට ඔබේ දිවේ ගෑවුන හොඳම ප්‍රණීතම වයින් එක මේක නෙවෙයිද කියලා."

සෙර් ජෝරා කෝප්පය ඔහු දෙසට දිගුකලේය. "උඹ ඉස්සෙල්ලා රහ බලපන්."

"මම?" මිනිසා සිනාසුනේය. "මේ හොඳ වයින් එක බොන්ට තරම් මම සුදුස්සෙක් නෙවෙයි මගේ උතුමානනි. අනික තමන්ගෙ වෙළෙඳ බඩුවලින් වයින් බොන වෙළෙන්දා හොඳ වෙළෙන්දෙක් නෙවෙයි." ඔහුගේ මුවේ නැගුනු සිනහව ආදරණීය මිත්‍රශීලී එකක් වුවද ඔහුගේ නළලේ නැගි දහදිය බිඳු ඩැනී මනාව දුටුවාය.

"උඹ මේක බොන්ටම ඕන." ඩැනී සීතල ස්වරයෙන් කීවාය. "ඔය කෝප්පෙ බීලා ඉවරකරපන්. එහෙම නොකලොත් මම කියනවා මගේ මිනිස්සුන්ට උඹව අල්ලගෙන ඉන්න අතරෙ සෙර් ජෝරාට ඔය වයින් පීප්පෙම උඹේ උගුරෙන් පහළට යවන්ටයි කියලා."

දෙවුර ඇකිළූ වෙළෙන්දා කෝප්පය වෙත නැඹුරු විය... එහෙත් සැනින් වයින් පීප්පය දෑතින් ගත් ඔහු එය ඩැනී වෙත දමා ගැසීය. සෙර් ජෝරා ගොනෙකු මෙන් ඇය දෙසට කඩා පිනූයේ ඇයව ඉවතට තල්ලු කර හැරියේය. ඔහුගේ උරහිසේ වැදුනු පීප්පය බිම වැටී වයින් දසත විසිර ගියේය. පා පැකිළුනු ඩැනී වැටෙන්නට ගියාය. "අයියෝ!" වැටීම වලක්වනු වස් අත් දිගු කරමින් ඇය කෑගැසුවාය... ඇගේ අතකින් අල්ලාගත් ඩෝරියා ඇයව පසුපසට ඇද්දාය. එනයින් ඩැනී සිය උදරය මත නොව ඩෝරියා ගේ පාද මත ඇද වැටුනාය.

සල්පිල හරහා පිනූ වෙළෙන්දා අග්ගෝ හා රඛාරෝ අතරින් ඊයක් මෙන් විද්දේය. තමා අත නොමැති අරඛ් එකක් වෙනුවෙන් ක්වාරෝ සුරත යොමද්දී මිනිසා ඔහුව පසෙකට තල්ලු කර දැම්මේය. ඔහු වීථිය දිගේ දුවන්නට වන්නේය. ඊළඟ මොහොතේ ඩැනීට ජෝගෝගේ කසයේ හඬ ඇසුනි. සර්පයකු මෙන් ඉදිරියට පිනූ සම් කසය වෙළෙන්දා ගේ වළළුකර වටා එතී ගියේය. මිනිසා මුහුණ ඉදිරියට සිටින සේ වීථිය මැද හතරගාතයෙන් වැටුනේය.

තවලම් මුරභටයින් දුසිමක් පමණ එදෙසට දිව එන්නට වූහ. තවලමේ නායකයා වූ කපිතාන් බයන් ‍වොටිරිස් ද ඒ අතර විය. මේ කුඩා නොර්වොෂියා පදම්කල සමක් මෙන් වියළී ගිය දෙකණ් දක්වා විහිද ගිය දැවැන්ත නිල් පැහැ උඩු රැවුලක් ඇත්තෙකු විය. වදනකුදු කතා නොකරම සිදුව ඇත්තේ කුමක්දැයි වහා වටහාගන්නට ඔහු සමත් විය. "මේකාව අරන් ගිහින් ඛාල්ට බාර දීපන් කැමැත්තක් කරගන්ටයි කියලා." බිම හොත් මිනිසා දෙස අතක් දිගු කරමින් ඔහු අණකලේය. මුරභටයින් දෙදෙනෙක් වයින් වෙළෙන්දා දෙපයින් සිටවූහ. "උගේ බඩු ඔක්කොම මම තෑග්ගක් විදියට ඔබතුමීට දෙනවා කුමරියනි." කපිතාන් දිගටම කතාකලේය. "මගේම මිනිහෙක් මෙහෙම දෙයක් කලැයි කියලා හිතනකොට මට ඇතිවෙන පසුතැවීම කණගාටුව වෙනුවෙන් පුංචි සංකේතයක්."

ඩෝරියා හා ජික්වි එක්ව ඩැනිව අල්ලා පරෙස්සමින් ඇයව නැවත නැගිට්ටෙවුවෝ ය. බිම වැටී පලුදු වූ වයින් පීප්පයේ වූ විසමුසු වයින් පොළොවට කාන්දු වන්නට විය. "ඔබ කොහොමද දැනගත්තෙ?" ඇය වෙවුලමින් සෙර් ජෝරාගෙන් විමසුවාය. "කොහොමද?"

"මම දැනගෙන හිටියෙ නෑ ඛලීසි. මේ මිනිහා වයින් බොන එක ප්‍රතික්ෂේප කරනකම්ම මම දැනගෙන හිටියෙ නෑ‍. ඒ වුනත් මැජිස්ටර් ඉල්ලීරියෝගෙ ලියුම කියෙවුවට පස්සෙ මට පොඩි බයක් ඇතිවුනා." ඔහුගේ අඳුරු දෑස් වෙළෙඳපලෙහි වූ නාඳුනන මුහුණු පිරික්සා බැලීය. "එන්ට අපි යමු. මෙතැන ඉඳන් ඒ ගැන කතාකරන එක එච්චර හොඳ වැඩක් නෙවෙයි."

ඔවුන් ඇයව නැවත ඔසවාගෙන යද්දී ඩැනී හැඩුම් එන්නට ආසන්නව සිටියාය. ඇගේ මුවේ වූ ඒ අමිහිරි රසය ඇය මින් පෙරද දැන සිටි දෙයක් විය. බිය! වසර ගනනාවක් තිස්සේ ඇය විසේරිස් කෙරෙහි ඇති භීතියෙන් යුතුව කල් ගෙවුවාය. මකරාව අවදි වේයැයි බියෙන් කල් ගෙවුවාය. මෙය ඊටත් වඩා නරක දෙයක් විය. ඇය දැන් බියපත් වූයේ තමා වෙනුවෙන් පමණක් නොවේ. සිය කුස තුළ වැඩෙන බිළිඳා ගැනද බියපත් වූවාය. ඔහුටද ඇගේ බිය දැනුනා වන්නට ඇත. මක්නිසාද යත් ඔහු නොසන්සුන් අයුරින් ගැබ තුළ පෙරලෙන අයුරු ඇයට දැනුනු බැවිනි. ඩැනී හෙමින් සීරුවේ සිය පිරුනු උදරය පිරිමැද්දා ය. තමාට ඔහු වෙත ළඟා විය හැකිනම්, ඔහුව ස්පර්ෂ කල හැකිනම්, ඔහුව සැනසිය හැකිනම් යැයි ඇය දුකින් කල්පනා කලාය. "ඔයා මකරාගෙ රුධිරය පුංචි පැටියෝ." තිරරෙදි තදින් පහතට ඇදදමා තිබුනු සිය දෝලාව සෙමින් පැද්දෙද්දී ඇය මිමිනුවාය. "ඔයා මකරාගෙ රුධිරය. මකරු බයවෙන්නෙ නෑ."

වයෙස් ‍ඩොත්රැක්වල ඇගේ නිවහන වූ උමගක් සහිත පස් ගොඩැල්ල තුළට පිවිසි පසු ඩැනී සෙර් ජෝරා හැරෙන්නට අන් සැවොම ඉවත යැවුවාය. "මට කියන්ට." සිය කොට්ට මත හාන්සි වෙන අත‍රේ ඇය අණකලාය. "ඒ රජකම පැහැරගත්තු එකාගෙ වැඩක්ද?"

"ඔවු." නයිට්වරයා නැමූ කඩදාසියක් පිටතට ඇදගත්තේ ය. "මැජිස්ටර් ඉල්ලීරියෝගෙන් විසේරිස්ට ලියුමක්. ඔබේ හරි ඔබේ සහෝදරයාගෙ හරි මරණය වෙනුවෙන් රොබර්ට් බරතියන් වංශාධිපති තනතුරක් ප්‍රදානය කරනවා."

"මගේ සහෝදරයා?" ඇගේ ඉකිබිඳුම අඩ සිනහවක් බවට පෙරැලින. "එයා තාම ඒ ගැන දන්නෙ නෑ. එහෙම නේද? රජකම පැහැරගත්තු එකා ඩ්‍රෝගෝට වංශාධිපති තනතුරක් දෙන්ට ඕන." මෙවර ඇගේ සිනහව අඩ ඉකිබිඳුමක් විය. ඇය තමාව ආරක්ෂා කරගන්නට මෙන් තමාවම වැළැඳගත්තා ය‍. "ඒ වගේම මාත් කියලා ඔබ කිවුවා. මම විතරද?"

"ඔබයි දරුවයි දෙන්නම." සෙර් ජෝරා දරුණු ස්වරයෙන් කීය.

"නෑ. ඌට බෑ මගේ පුතාව ගන්ට." තවදුරටත් වැලපිය යුතු නැතැයි ඇය තීරණය කලාය. තවදුරටත් බියෙන් වෙවුලිය යුතු නැත. 'රජකම පැහැරගත්තු එකා දැන් මකරාව නැගිට්ටෙවුවා.' ඇය තමාටම කියාගත්තා ය... අඳුරු පැහැ විල්ලූද මත තැන්පත්ව ඇති මකර බිත්තර දෙස ඇගේ දෑස් ඇදීගියේය. එහා මෙහා දඟලන පහන් දැල්ල මේ බිත්තරවල ශෛලමය කොරපොතු මත නැටීය. දිදුලන ජේඩ් කොළ පැහැ, ලේ රතු පැහැ හා රන් පැහැ ධූලි අංශු මේ බිත්තර වටා වූ වාතය තුළ පිහිනුවේය. එය හරියටම රජෙකු වටා ඉච්ඡාකාරයින් රෑනක් දඟලන්නාක් මෙන් විය.

ඊළඟ මොහොතේ තමා තුළ මතුව ආයේ බිය නිසා උපන් එක්තරා අන්දමක පිස්සුවක් ද? එසේත් නැතිනම් ඇගේ මකර රුධිරය තුළ සැඟවී තිබුනු කිසියම් අන්දමක ප්‍රඥාවක් ද? ඩැනීට ඒ කුමක් නිසාදැයි කිව නොහැකි විය. එනමුදු සිය මුවින් මෙවදන් පිටවනු ඇයට ඇසුනි. "සෙර් ජෝරා. ගිනිකබල පත්තු කරන්ට."

"ඛලීසි?" නයිට්වරයා ඇය දෙස විස්මයෙන් බැලීය. "මෙතැන හරිම රස්නෙයි. ඔබට හොඳටම විශ්වාස ද?"

ඇයට මින් පෙර කෙදිනකවත් මෙවැනි විශ්වාසවන්ත බවක් දැනී නොතිබුනි. "ඔවු. මට... මට පොඩි සීතලක් දැනුනා. ගිනිකබල පත්තු කරන්ට."

ඔහු හිස නැමීය. "ඔබේ කැමැත්තක්."

ගල්අඟුරු ගිනිගෙන දැල්වෙන්නට වූ විට ඇය සෙර් ජෝරාව ඉවත යැවුවාය. දැන් මේ සිදුකරන්නට යන දෙය ඇය විසින් තනිවම කල යුත්තක් විය. 'මේක මහ පිස්සුවක්!' කළු හා ලේ රතු පැහැ මකර බිත්තරය විල්ලූද මතින් ඔසවද්දී ඇය තමාටම කියාගත්තා ය. 'ඒක නිකම්ම පිපිරිලා පිච්චිලා යයි. අනික ඒක කොච්චර ලස්සන ද. මම ඒක විනාස කරලා දැම්මොත් සෙර් ජෝරා මට මෝඩියෙක් කියලා කියයි. ඒ වුනත්, ඒ වුනත්...'

දෑතින්ම බිත්තරය ඔසවාගත් ඇය ගිනිකබල වෙතට පිය මැන්නී එය ගිනිගන්නා ගල්අඟුරු මත තැන්පත් කලාය. කළු පැහැ කොරපොතු තාපය උරාගනිද්දී දිදුලන්නට විය. රතු පැහැ දිවවල් මෙන් වූ ගිනිදළු බිත්තරය වැළඳගන්නට විය. ඩැනී ඉතුරු බිත්තර දෙකද කළු බිත්තරය පසෙකින් ගිනිකබලේ අඟුරු මත තැන්පත් කලාය. ගිනිකබල වෙතින් මෑත්වද්දී සිය හුස්ම උගුරේ හිරවන්නාක් මෙන් ඇයට දැනුනි.

ගල්අඟුරු දැවී අළු බවට පත්වන තෙක්ම ඇය එදෙස බලා හුන්නාය. ඉහළට නැගුනු ගිනිපුපුරු දුම් පිටකරන සිදුරෙන් එළියට ඇදී ගියේය. තාප ධාරා බිත්තර වටා නැටීය. එපමණකි.

'ඔබේ සහෝදරයා රේගාර් තමා අන්තිම මකරා.' සෙර් ජෝරා ඇයට වරක් කියා තිබුනි. ඩැනී දුක්මුසු බැල්මක් දෙනෙතේ රඳවාගෙන සිය බිත්තර දෙස බලා හුන්නාය. ඇය වෙන කුමක් බලාපොරොත්තු වන්නට ද? මීට වසර දහස් ගණනකට එහානම් මේ බිත්තර සජීවී ඒවා වන්නට ඇත. එනමුදු දැන්... ඒවා නිකංම නිකං ලස්සන ගල් තුනක් පමණි.

'ඒවාට බෑ මකරෙක් උපද්දන්ට. මකරෙක් කියන්නෙ ගින්දරයි වාතයයි. මකරෙක් කියන්නෙ ජීවත්වෙන මාංශයක්. මැරිච්ච ගලක් නෙවෙයි.'

* * *

ඛාල් ඩ්‍රෝගෝ නැවත පැමිණෙන මොහොත වනවිට ගිනිකබල ද සීතල වී ගොස් තිබුනි. කො‍හොල්ලෝ තමාට පසුපසින් බර අදින අසෙකු දක්කාගෙන ආවේය. මේ අසු පිට සුදු පැහැ දැවැන්ත සිංහයකු ගේ මළ සිරුරක් හොවා තිබුනි. ඉහළ අහසේ තරු පායා එමින් තිබුනි. සිනාසෙමින් අසුපිටින් බට ඛාල් හ්රක්කාර් විසින් සිය කලිසම හරහා පහුරු ගා පාදයේ ඇති කල තුවාල ඇයට පෙන්වීය. "මම උගේ හමෙන් ඔබට ලස්සන සළුවක් මස්සලා දෙන්නම්, මගේ ජීවිතේ හඳ." ඔහු දිවුලේය.

අද දිනයේ වෙළෙඳපලේදී සිදුවූ සිද්දීන් ඩැනී ඔහුට පැවසූ විට මේ සියළු සිනා නැවතුනි. ඛාල් ඩ්‍රෝගෝ ගැඹුරු නිහඬතාවක වෙලී ගියේය.

"මේ තමා පළවෙනියා." සෙර් ජෝරා ඔහුට අනතුරු ඇඟවීය. "ඒ වුනත් ඌ අන්තිමයා වෙන එකක් නෑ. වංශාධිපති තනතුරක් වෙනුවෙන් මිනිස්සු ඕනම දෙයක් කරයි."

ඩ්‍රෝගෝ බොහෝ වේලාවක් නිහඬව සිටියේය. අන්තිමේදී ඔහු කටහඬ අවදි කලේය. "මේ වස විකුනපු එකා මගේ ජීවිතේ හඳෙන් ඈතට දුවලා ගියා. වඩා හොඳයි ඌ එයා පස්සෙන් දිවුවොත්. ඒක එහෙමම වෙයි. ජෝගෝ, අන්දාල් ජෝරා. මම මේ උඹලා දෙන්නටමයි කියන්නෙ. මගේ අශ්වයො රංචුවෙන් උඹලා කැමැති ඕනෑම අශ්වයෙක් ගානෙ තෝරගනිල්ලා. උං උඹලාට අයිතිවෙයි. මගේ රතු අශ්වයයි, මගේ ජීවිතේ හඳට මම මනාලි තෑග්ගක් විදියට දීපු රිදීයි ඇරෙන්ට වෙන ඕනෑම අශ්වයො දෙන්නෙක් තෝරගනිල්ලා. උඹලා දෙන්නා අද දවසේ කරපු උපකාරෙ වෙනුවෙනුයි මේ තෑගි දෙන්නෙ."

"ඩ්‍රෝගෝගෙ පුතා රේගෝට, මේ ලෝකය පාලනය කරන්ට යන සෛන්ධවයාට, එයාටත් මම තෑග්ගක් දෙනවා. එයාට මම තෑගි දෙනවා එයාගෙ අම්මාගෙ තාත්තා වාඩිවෙලා හිටපු යකඩ පුටුව. එයාට මම දෙනවා රාජධානි සප්තකය. මම, ඩ්‍රෝගෝ, ඛාල් මේක කරනවාමයි." ඔහුගේ හඬ උස් වන්නට වූ අතර මිටිකරගත් සිය අත ඔහු ආකාශය දෙසට එසෙවුවේය. "මගේ ඛලසාර් එක අරන් මම යනවා බටහිරට. මම යනවා ලෝකාන්තයට. මීට කලින් කිසිම ඛාල් කෙනෙක් කරපු නැති විදියට මම ලී අශ්වයො පිටේ නැගලා කළුපාට ලුණු වතුරෙන් එහා පැත්තට යනවා. මම යකඩ ඇඳුම් ඇඳලා ඉන්න මිනිස්සු මරලා උංගෙ ගල් කූඩාරම් විනාශකරලා දානවා. මම උංගෙ ගෑනු දූෂණය කරනවා. උංගෙ දරුවො වහල්කමට ගන්නවා. උංගෙ බිඳිච්චි දෙයියො ඇදගෙන එනවා වයෙස් ඩොත්රැක් වලට. ගෙනල්ලා කඳු මාතාවට උං ලව්වා නමස්කාර කරවනවා. මේක මම දිවුරනවා. මම, බාර්බෝගෙ පුතා ඩ්‍රෝගෝ. මම මේක දිවුරනවා කඳු මාතාව ඉදිරියේ. අහසෙ තරු මට සාක්කි දෙයි."

දවස් දෙකකට පසු ඔහුගේ ඛලසාරය වයෙස් ඩොත්රැක් වෙතින් පිටවූයේය. ඔවුහු තැනිතලාව හරහා බටහිරට බරව දකුණු දෙසට ගමන් කරන්නට වූහ. සිය රතු පැහැති දැවැන්ත සෛන්ධවයා පිට නැගුනු ඛාල් ඩ්‍රෝ‍ගෝ ඔවුන්ව මෙහෙයවීය. රිදී පිට නැගුනු ඩැනී ඔහු පසෙකින් විය. ගෙලට හා මැණික්කටුවලට යදම් දැමූ, නිරුවත් වයින් වෙළෙන්දා ඔවුන් පසුපසින් දිව ආයේය. ඔහුව බැඳ තිබූ දම්වැල් ඩැනීගේ වෙළඹ, රිදී‍ගේ ඉස්පටියට ඈඳා තිබුනි. ඇය අසු ධාවනය කරන අතරේ ඔහු ඈ පසුපසින් දිව ආවේය. නිරුවත් දෙපයින් යුතුව, පා පැකිලෙමින් දිව ආවේය. ඔහුට කිසිදු අනතුරක් සිදු නොවනු ඇත... සිය වේගය පවත්වා ගන්නා තෙක් කිසිවක්ම සිදු නොවනු ඇත.


Jorah Mormont: “The Dothraki do things in their own time, for their own reasons.”

33 comments:

  1. ඌප්ස්
    ඕ ඩැනී.....
    හය්යූ සල්ලි

    ReplyDelete
    Replies
    1. වයින් වලට සල්ලි දුන්නෙ නෑ නෙව.. :-D

      Delete
    2. @මහේෂ්,

      ඌප්ස් සල්ලි, හය්යෝ ඩැනී...:P

      Delete
  2. දිවුරුම නම් සුපිරි ඈ
    ඕක තමා කියන්නේ පෙරේතකමට බොන්ට එපා කියල නිකන් දුන්නත් :P

    ReplyDelete
    Replies
    1. නිකං දීල බලන්නකො පොම්

      Delete
    2. ඔවු ඔවු.. ඔය පොම්ගෙ අරිෂ්ටෙ එහෙම නිකං දෙන්ට හදයි.. කටේ තියාන්ට එපා.. :-P

      Delete
    3. @පොම්,

      මෙයා දිවුරන ඒවට කැමතියි වගේ...:O

      Delete
    4. ඔය බොන ජාති වලට අපිත් මනාපයි ලු..

      Delete
    5. බඩ දැක්කහම කියන්ට පුළුවන්.. :-P

      Delete
  3. අගෙයි.................. දිගට ම කතාව කියවනවා.............

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැමදාමත් වගේ!

      Delete
    2. හී හී...මෙයාට නම් කියන්ට දෙයක් හිතට එන්නෙත් නෑ.

      Delete
  4. මේ මට පොඩි ප්‍රශ්නයක් තියේ කොහොමද ඩැනී ඒ වයින් වෙළෙන්දා ගාවටම ගියේ.සමහර විට කිහිප දෙනෙක්ම ඇවිල්ලාද දන්නේ නැහැ ඩැනීට වැඩේ දෙන්න.

    ReplyDelete
    Replies
    1. නිවුස් එක දන්න මිනිස්සු අවස්ථාවක් ආවොත් ට්‍රයි එකක් දෙන්ට කියලා බඩු ලෑස්ති කරන් ඉන්නවා වෙන්ටැති නේද? ඕන කෙනෙකුට උත්සාහයක් දරලා බලන්ට පුළුවන් නෙව.. :-D

      Delete
    2. ඇයි මනෝජ් කියලා තියෙන්නේ කට්ටියක් ලෑස්ති වෙලා ඉන්නවා කියලා...:D

      Delete
    3. මාර්ටින් ලොක්කට ඕන නිසා ඒක එහෙම තමයි ලු...

      Delete
  5. ඔන්න කතාව ආවා සන්ධිස්ථානයකට

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනෙ ඒකමයි :)

      Delete
    2. මටත් ඒකමනෙ හිතුනෙ.. :-D

      Delete
    3. @සරත්,

      දැන් ඉතින් කොයි පැත්තට යයිද දන්නේ නෑ...:)

      Delete
  6. ඩැනීට කරගන්න ඕනේ දේ ඉබේටම වෙන්නද යන්නේ ????

    ReplyDelete
    Replies
    1. බලමු බලමු..

      Delete
    2. ඩැනීට මොනවද කරගන්ට ඕනි? :O

      Delete
    3. ඩැනිට කරගන්න ඕන දේ කෙරිලා නේද තියෙන්නේ.....

      Delete
  7. හම්මේ පෝස්ට් 11ක් මග ඇරිල... අදයි එන්න හම්බුනේ... ඔක්කොම එක දිගට කියවගෙන යන එකත් එක අතකට හොඳා...

    ReplyDelete
    Replies
    1. හප්පොච්චියේ! මෙයාව දැක්ක කල්...

      Delete
    2. ඔයා නැතුව අපි හැමෝම හරිම දුකෙන් හිටියේ. බලන්ට අද බ්ලොග් එකම එලිය වැටිලා තියෙන හැටි...:)

      Delete
    3. බෝනික්කෙක් වගේ ගෑණු ළමයෙක් ආවහම තියෙන පිළිගැනීම බලන්ටකෝ....

      Delete
    4. අසාධාරණේ මේ මිනීමෝරු වාගේ... :-)

      Delete
  8. අනේ මගේ අහිංසක ඩැනී... ;)

    ReplyDelete
    Replies
    1. අනේ පව් ඔයාගේ අහිංසක ඩැනී...;-)

      Delete
    2. ශෝක් කෙළි පොඩ්ඩ නෙහ්...

      Delete
  9. කාලෙකට පස්සේ ඔන්න බලලා යන්න වෙලාවක් අහු උනේ.. බර ගානක් තියේ එකතු වෙලා. අදමනං බැරි වෙයි ඉස්සරහට බලමු ටික ටිකවත්...

    ReplyDelete