Friday 9 January 2015

ආර්යා 04-2


තැතිගැන්මෙන් අන්ධ වූ දෑස් ඇති ආර්යා කුස්සිය හා බටර් පත්ගාන කාමරය හරහා කෝකියන්, අත් උදවුකාර කොල්ලන් පසු කරමින් හැරෙමින් දිව යන්නට වූවාය. ලී බන්දේසියක් අතින් ගත් බක්කර කෙල්ලක් ඇය ඉදිරියේ ප්‍රාදුර්භූත විය. ආර්යා ඇයව තල්ලු කර දැමූයේ අලුත පිලිස්සූ පාන් දසත විසිර ගියේය. මස් කපන දැවැන්ත පිහියක් අතින් ගෙන ඇය දෙස මුව අයා බලාසිටි, වැලිමිටට යනතෙක්ම රත් පැහැ වූ දෑත් ඇති මස් මරන්නෙක් වටා කරකැවී හැරෙද්දී ඇය පසුපසින් කෑ ගැසීම් ඇසෙන්නට විය.

සිරියෝ ඇයට ඉගැන්වූ සියල්ල අසුරු සැනින් ඇගේ හිසට නැංගේය. 'මුවෙක් වගේ වේගවත් වෙන්ට.' 'හෙවනැල්ලක් වගේ නිහඬ වෙන්ට.' 'බය කඩුවට වඩා යටට කැපෙනවා.' 'සර්පයෙක් වගේ ක්ෂණික වෙන්ට.' 'නිශ්චල ජලය වගේ සන්සුන් වෙන්ට.' 'බය කඩුවට වඩා යටට කැපෙනවා.' 'වලහෙක් වගේ ශක්තිමත් වෙන්ට.' 'වුල්වරින් එකෙක් වගේ සාහසික වෙන්ට.' 'බය කඩුවට වඩා යටට කැපෙනවා.' 'පැරදෙන්ට බය මිනිහා දැනටමත් පැරදිලා.' 'බය කඩුවට වඩා යටට කැපෙනවා.' 'බය කඩුවට වඩා යටට කැපෙනවා.' 'බය කඩුවට වඩා යටට කැපෙනවා.' ඇගේ අතේ තිබුනු ලී අසිපතේ මිට දහදියෙන් පෙඟී තිබුනි. සර්පිලාකාර පඩිපෙළ අසලට ළඟාවද්දී ඇය හති දමමින් උන්නාය. ඇය මොහොතකට ගල් ගැසුනාය. උඩට ද නැත්තම් පහළට ද? උඩට ගියහොත් හස්තයේ කුළුණ හා අර කුඩා අංගනය යා කරන ආවරණය කල පාලම වෙතට යා ගත හැකි වනු ඇත. එනමුදු නිසැකයෙන්ම ඇය ඒ පාරෙන් පැමිණෙනු ඇතැයි ඔවුන් බලාපොරොත්තුවෙන් සිටිනු ඇත. 'කවදාවත් එයාලා බලාපොරොත්තු වෙන දේ කරන්ට එපා,' සිරියෝ වරක් කියා තිබුනි. පඩි දෙක තුන පනිමින්, වටයට වටයට යමින් පඩිපෙළ පහළට දිවගිය ඇය අන්තිමේදී බිංගෙයක් වැනි අඳුරු ගබඩා කාමරයකට පිවිසියා ය. කාමරය පුරා අඩි විස්සක් උසට එකිනෙක මත ගොඩ ගැසූ ඒල් පීප්ප පිරී තිබින. බිත්තියේ ඉහළින් වූ කුඩා ආනති කවුළුවක් තුළින් කාමරයට වැටුනු එකම ආළෝකය පිවිසියේ ය.

ගබඩා කාමරයෙන් පාර කෙලවර විය. ඇය පැමිණි දොර හැර පිටවීමට වෙනත් මඟක් නොවීය. නැවතත් අර පඩිපෙළ දිගේ ආපසු නැගීමට තරම් ඇය නිර්භීත නොවීය. එනමුදු ඇයට මෙහි නැවතී සිටීමට ද නොහැක. ඇය සිය පියාව සොයාගෙන සිදු වූ සියල්ලක්ම ඔහුට පැවසිය යුතුය. පියා ඇයව ආරක්ෂා කරනු ඇත.

ලී අසිපත ඉණපටියේ රුවා ගත් ආර්යා ඉහළ නැගීමට පටන්ගත්තා ය. පීප්පයෙන් පීප්පය අල්ලාගෙන ඉහළටම ඇදුනු ඇය අන්තිමේදී කවුළුව වෙත ළඟා වුවාය. ගල් බිත්තිය දෑතින්ම අල්ලාගත් ඇය කවුළුව තුළින් උඩට ඇදුනාය. මේ කවුළුව ඇළයට හැරී ඉහළට හා පිටතට ඇරුණු උමගයක් වැනි විය. එහි බිත්තිය අඩි තුනක් ඝනකම විය. ආර්යා සෙමින් බඩගාමින් මෙන් ඉදිරියට ඇදුනේ දිවාකල හිරු එළියට පිවිසියාය. බිම් මට්ටමට ළඟා වූ පසු ඇය පිටතට හිස පොවා බැලුවේ හස්තයේ කුළුණට විවර වන අංගනය දුටුවාය.

හස්තයේ කුළුණේ දැවැන්ත දැවමුවා ඉදිරි දොර පියන් දෙක වැදුනු පොරෝ පහර නිසා පළුදු වී, කැඩී ගොස් එහි සරනේරුවලින් එල්ලෙමින් තිබුනි. මියගිය සෙබළෙක් මුනින් තලා වී පඩිපෙළ පාමුල හතරගාතයෙන් වැටී සිටියේය. ඔහුගේ සළුව සිරුරට යටින් ඇඹරී ගොස් තිබුනු අතර මුදු දම්වැල් වානේ සන්නාහය පිටුපසින් මුලුමනින්ම රත් පැහැයෙන් ගැවසී ගත්තේය. මේ මළකඳේ සළුව සුදු පැහැ සේදයෙන් පෝරු දැමූ අළු පැහැ ලොම් රෙද්දක් බැව් ආර්යා ත්‍රාසයෙන් යුතුව නිරීක්ෂණය කලාය. එනමුදු ඒ කවරෙක්දැයි ඇයට හරියටම හඳුනාගන්නට නොහැකි විය.

"අයියෝ!" ඇය භීතියෙන් මිමිනුවා ය. මෙහි කුමක් සිදුවී ද? ඇගේ පියා කොහි ද? ලැනිස්ටර් සෙබළුන් ඇය සොයා පැමිණියේ ඇයි? ඇය අර යක්ෂයින් දුටු දිනයේ අර කහ පැහැ දෙබල් රැවුලා පැවසූ දේ ඇයට මෙනෙහිවන්නට විය. 'එක හස්තයකට මැරෙන්ට පුළුවන් නම් ඇයි තව හස්තයකට බැරි?' සිය දෑසට කඳුළු පුරා එනු ඇයට දැනුනි. හුස්ම අල්ලාගත් ඇය වටපිටාවට හොඳින් කණ් දුන්නාය. හස්තයේ කුළුණේ කවුළු තුළින් ගලා ආ මිනිසුන් සටන් කරන හඬ, කෑ ගැසීම් හඬ, වානේ ආයුධ එකිනෙක ගැටෙන හඬ, වේදනාවෙන් මොරගසන හඬ ඇයට ඇසෙන්නට විය.

ඇයට ආපසු යා නොහැක. ඇගේ පියා...

ආර්යා දෑස් පියාගත්තා ය. එක් මොහොතකට ඇයට සෙලවීමටවත් බැරි තරමේ භීතියක් දැනෙන්නට විය. උන් ජොරී, විල් හා හේවර්ඩ්ව මරා දැමූහ. පඩිපෙළේ වැටී සිටින අර නමක් නොදන්නා සෙබළාව මරා දැමූහ. උන් ඇගේ පියාවද මරා දැමුවා වන්නට ඇත. උන්ට ඇයට අසුවුනහොත් ඇයවද මරා දැමෙනු ඇත. "බය කඩුවට වඩා යටට කැපෙනවා." ඇය හයියෙන් තමාටම කියාගත්තා ය. එනමුදු තමා දිය නැට්ටුවෙකියි සිතාගැනීම තවදුරටත් එතරම් ප්‍රතිඵලදායක නොවීය. සිරියෝ දක්ෂ දිය නැට්ටුවෙකු වූ නමුදු අර ධවල නයිට්වරයා අනිවාර්යයෙන්ම ඔහුව මරා දමන්නට ඇත. අනික ඇය ලී කැබැල්ලක් අතේ ඇති කුඩා දැරියක පමණි. තනිවූ, බියෙන් ත්‍රස්ත වී ගිය, අසරණ දැරියක පමණි. ඇය පණුවකු මෙන් බඩගාගෙන අංගනයට ඇදී පරීක්ෂාවෙන් වටපිට බලමින් නැගිට දෙපයින් සිටගත්තා ය. බලකොටුව මුලුමනින්ම පාළු වී ගොස් තිබින. රතු බලකොටුව වනාහි කෙදිනකවත් පාළු වී ගිය ස්ථානයක් නොවීය‍. සියළුම මිනිසුන් දොරගුළු දමාගෙන ඇතුළට වී සැංගී සිටිනවා වන්නට ඇත. ඇය හිස ඔසවා මහත් ආසාවෙන් සිය නිදන කාමරය පිහිටි තැන දෙස බැලුවාය. ඉන්පසු සෙවනැල්ලකින් තවත් සෙවනැල්ලකට මාරු වෙමින්, සෑමවිටම බිත්තියකට මුවා වන්නට වග බලා ගනිමින් හෙමිහිට හස්තයේ කුළුණෙන් ඈත් වූවාය. තමා බළලුන් ඇල්ලීමෙහි නිරතව සිටින්නී යැයි තමාටම ඒත්තු ගන්වන්නට ඇය යත්න දැරුවාය... එනමුදු මේ වතාවේ බැළලිය ඇය වූ අතර උන්ට අසුවුවහොත් උන් ඇයව මරා දමනු ඇත.

මෙසේ ගොඩනැගිල්ලකින් ගොඩනැගිල්ලකට මාරු වෙමින්, කිසිවෙකුටත් තමා පසුපසින් පැමිණිය නොහැකි වන සේ සෑමවිටම තමාට පසුපසින් බිත්තියක් තබා ගනිමින්, ආර්යා කිසිදු අන්තරායයක් නොමැතිව ඉස්තාල පෙළ වෙත ළඟා වූවාය. ඇය හෙමිහිට ඇතුළත අංගනය හරහා ඇදෙද්දී සන්නාහ සන්නද්ධ වූ නගරාරක්ෂකයින් දුසිමක් පමණ ඇයව පසුකොට දිවගියහ. එනමුදු ඔවුන් කාගේ පැත්තේදැයි හරියටම නොදන්නා බැවින් අවදානමක් ගැනීමට නොසිතූ ඇය වහා සෙවනැල්ලක මුවාවේ වකුටු වී ඔවුන් පිටව යනතෙක් බලා සිටියාය.

ආර්යාට මතක ඇති කාලයේ පටන් වින්ටර්ෆෙල්හි අසුන් බාරකරුවා වූ හලන් ඉස්තාල දොර අභිමුව බිම වැටී සිටියේය. ඔහුට කෙතරම් වාරයක් අසිපතින් ඇන තිබුනි ද යත් ඔහුගේ කමිසය රතු පැහැ මලින් වැඩ දැමුවාක් මෙන් දිස් විය. ඔහු මියගොස් ඇති බැව් ආර්යාට සහතික විය. එනමුදු ඇය දොර සමීපයට ලඟාවද්දී ඔහු දෑස් හැරියේය. "ආර්යා..." ඔහු මිමිනුවේ ය. "ඔයා... ඔයා අනතුරු අඟවන්ට... ඔයාගෙ තාත්තාට..." රත් පැහැ පෙන මුසු කෙළ බිඳිති ඔහුගේ මුවින් පිටතට විසිවිය. සිය දෙනෙත් පියාගත් හලන් තවත් කිසිවක් නොදෙඩීය.

ඉස්තාලය ඇතුළත තවත් බොහෝ මළමිනී විය. ඇයත් සමග සෙල්ලම් කරන්නට පුරුදුව සිටි ඉස්තාල කොලුවෙක්. ඇගේ පියාගේ ගෘහාරක්ෂක බලකායේ සෙබළුන් තිදෙනෙක්. ලෑලි පෙට්ටි හා පෙට්ටගම් පිරවූ කරත්තයක් දොර අසල අතැර දමා තිබුනි. මේ මියගියවුන්ට පහර වදිද්දී ඔවුන් නැවට ගෙනයාම පිණිස බඩු පටවමින් සිටියා වන්නට ඇත. ආර්යා සෙමින් සෙමින් තවත් ලංවූවාය. එක් මළමිනියක් ඩෙස්මන්ඩ් විය. සිය දිගු අසිපත කොපුවෙන් ඇද ඇයට පෙන්වා ඇගේ පියා රකින්නෙමියි ඇයට පිළිණ දුන් ඩෙස්මන්ඩ් විය. ඔහු මුනින් තලා බිම වැටී කිසිවක් නොදකින දෑසින් සිවිලිම දෙස බලා සිටිද්දී ඔහුගේ මුහුණ වටා මැස්සන් පියෑඹූහ. ඔහු සමීපයේ ලැනිස්ටර් සෙබළෙකු ගේ මළ සිරුරක් විය. එනමුදු ඒ එකම එක මළ සිරුරක් පමණක් විය. උතුරුකරයේ සෑම මිනිසකුම දකුණේ සෙබළුන් දහයකට වඩා වටිනා බැව් ඩෙස්මන්ඩ් ඇයට කියා තිබුනි. "උඹ බොරුකාරයා." ඇය කීවේ හදිසි වියරුවෙන් ඔහුගේ මළකඳට පා පහරක් දෙමිනි.

ලේ ගඳ නිසා අශ්වයින් වියරුවෙන් හේෂාරවය කරමින්, නොසන්සුන්ව දඟලමින් සිටියෝය. අසෙකුට සෑදල පළන්දා මේ බලකොටුවෙන් හා නගරයෙන් ඈතට පලා යාම ඇගේ එකම බලාපොරොත්තුව විය. ඇය මතක තබාගත යුතු එකම දෙය රජමාවතට නුදුරින් ගමන් කිරීම වන අතර එය ඇයව නැවත වින්ටර්ෆෙල් කරා රැගෙන යනු ඇත. ඇය බිත්තියේ එල්ලා තිබුනු කටකලියාවක් හා අසු පිට දමන රෙද්දක් මුදා ගත්තාය.

අශ්ව කරත්තය පිටුපසින් ගමන් කරද්දී බිම වැටී තිබුනු පෙට්ටගමක් ඇගේ ඇසට හසුවිය. එය සටනේදී හෝ පටවන අතරේදී හෝ බිම වැටෙන්නට ඇත. ලීය පළුදු වී පියන ඇරී තිබුනු අතර එහි වූ දෑ බිම දසත විසිර තිබුනි. සේද හා පටරෙදි හා විල්ලූද ඇඳුම් - ඇය කිසිදා අඳින්නට තබා අතවත් තබන්නට නොසිතූ ඇගේ ඇඳුම් - ඇය හඳුනාගත්තා ය. ඇයට රජමාවතේදී උණුසුම් ඇඳුම් උවමනා වනු ඇත... අනික...

ආර්යා වහා බිම විසිර තිබුනු ඇඳුම් කැඩුම් අතර දණ ඇනගත්තා ය. ඇය ඝනකම ලොම් සළුවක්, විල්ලුද සායක්, සේද කබායක් හා යට ඇඳුම් කිහිපයක් සොයාගත්තා ය. එමෙන්ම මව විසින් ඇය වෙනුවෙන් මැසූ ගෙත්තම් කල ඇඳුමක් ද විකුණා මුදල් කරගත හැකිවෙතැයි ඇය සිතූ කුඩා රිදී වළල්ලක් ද සොයාගත්තා ය. බිඳුනු පියන පසෙකට තල්ලු කර දැමූ ඇය පෙට්ටිය තුළට අත රුවා ඉදිකට්ට සොයන්නට විය. ඇය එය පෙට්ටිය පතුලේම අන් සෑම දෙයකටම යටින් සඟවා තැබූවද පෙට්ටිය බිම වැටෙද්දී ඇඳුම් සියල්ල එකට මිශ්‍ර වී තිබුනි. කාට හෝ එය හමු වී හොරකම් කරන්නට ඇතැයි ඇය මොහොතකට බියපත් වූවාය. එහෙත් ඊළඟ මොහොතේ පටරෙදි ගවොමකට යටින් වානේ වල තද ගතිය ඇගේ අතට දැනුනි.

"අන්න ඉන්නවා ඒකි." ඇයට පිටුපසින් ඇයට නුදුරින් කටහඬක් ඇසුනි.

තිගැස්සුනු ආර්යා වහා කරකැවී ආපසු හැරුනාය. ඉස්තාල කොලුවෙක් මුහුණේ විරිත්තීමක්ද ඇතිව ඇයට පිටුපසින් සිටගෙන සිටියේය. ඔහුගේ කුණු ගෑවි තිබුනු කබායට යටින් ජරාජීර්ණ වූ සුදු පැහැ කමිසයක් පෙනෙන්නට තිබුනි. ඔහුගේ බූට්ස් සපත්තුවල ගොම ගෑවී තිබුනු අතර එක් අතෙක මුල්ලුවක් විය. "උඹ කවුද?" ආර්යා ඇසුවාය.

"ඒකි මාව දන්නෙ නෑ." කොලුවා කීය. "ඒ වුනත් මං ඒකිව දන්නවා. ආ ඔවු! වෘක කෙල්ල."

"මට මේ අශ්වයාට සෑද‍ලේ දාන්ට උදවු කරපන්." ආර්යා ආයාචනාත්මක ස්වරයෙන් කීවාය. නැවත පෙට්ටියට අත දැමූ ඇය ඉදිකට්ට වෙත අත යැවුවාය. "මගේ තාත්තා තමා රජතුමාගෙ හස්තය. එයා උඹට ලොකු තෑග්ගක් දෙයි."

"තාත්තා මැරිලා." කොලුවා කීය. ඔහු හෙමිහිට ඈ දෙසට පියවර මනින්නට විය. "රැජිණ තමා මට ලොකු තෑග්ගක් දෙන්ට යන්නෙ. මෙහාට වරෙං කෙල්ලෙ."

"අහකට වෙලා හිටපන්." ඇගේ අත ඉදිකට්ටේ මිට වටා තදින් වෙලී ගියේය.

"මං කිවුවෙ වරෙං කියලා." ඔහු වැරෙන් ඇගේ අතින් අල්ලාගත්තේ ය.

එක් හද ගැස්මක මොහොතකදී සිරියෝ ෆොරල් විසින් ඇයට උගන්වා තිබුනු සියළුම දෑ මතකයෙන් මැකී ගියේය. මේ ත්‍රාසයෙන්පිරි හදිසි මොහොතේදී ඇයට මතක් වුනු එකම පාඩම ජොන් ස්නොව් විසින් ඇයට කියා දුන් මුල්ම පාඩම විය. ඇය වියරු, උන්මාදනීය ශක්තියකින් යුතුව අසිපතේ උල් පැත්තෙන් කොලුවාට දමා ඇන්නාය. ඝනැති සම් කබායත් සුදු පැහැ උදර මාංශපේශිනුත් පසා කරගෙන ගිය ඉදිකට්ට ‍කොලුවා ගේ පිට පලාගෙන මතුවිය. කොලුවා මුල්ලුව බිම අතහැරිය අතර ඔහුගේ මුවින් මවිතයෙන් මෙන් හුස්මක් ඉහළට ඇදුනි. ඔහුගේ දෑත් තරයේ අසිපත් තලය මිරිකා ගත්තේය. "අනේ දෙයියනේ!" සිය සුදු පැහැ යටි කමිසය කෙමෙන් රත් පැහැ වෙද්දී කොලුවා වේදනාවෙන් කෙඳිරිගෑවේ ය. "ඒක එළියට ගනිං."

ආර්යා අසිපත පිටතට ඇද්ද අතර ඊළඟ මොහොතේ කොලුවා මියගියේ ය.

අසුන් සියල්ලෝම බියෙන් කෑ ගසන්නට වන්හ. තම දෑස් අභියස සිදුවුනු මරණය නිසා බියෙන් මුසපත් වුනු ආර්යා මළකඳ අසල සිටගත්වනම බලා සිටියාය.කොලුවා වැටෙද්දී ඔහුගේ මුවින් රුධිරය වෑහෙන්නට වූ අතර උදර‍යේ වූ සිදුරෙන් උල්පතකින් මෙන් තවත් රුධිරය ගලා ආ‍යේය. අසිපත් තලය මිරිකා ගැනීම නිසා ඔහුගේ දෙඅත්ල කැපී ගොස් තිබුනි. රත් පැහැ වී ගිය ඉදිකට්ට තරයේ මිරිකා ගනිමින් ඇය සෙමින් පසුපසට ඇදුනාය. ඇය මෙතැනින් පලා යා යුතුය. මෙතැනින් බොහෝ ඈතකට පලා යා යුතුය. මේ ඉස්තාල කොලුවා ගේ දෑසින් මිදී කොහේ හෝ ඈතකට පලා යා යුතුය.

නැවතත් කටකලියාව හා ‍පොරෝණය ඔසවාගත් ඇය අසු වෙත දිව ගියාය. එනමුදු අසු පිටට සෑදලය දමන්නට ඔන්න මෙන්න තිබියදී ඇගේ සිතේ ඉමහත් භීතියට මෙන් ඇයට සිහිපත් වූයේ මේ වනවිට බලකොටු දොරටු වසා දමා ඇතිය යන කරුනයි. රහස් පැති දොරටුවල පවා මුරකාවල් දමා තිබෙනු ඇත. සමහරවිට මුර සෙබළුන් ඇයව හඳුනා නොගන්නවා ඇත. ඇය කොල්ලෙකු යැයි ඔවුන් සිතුවොත් සමහරවිට ඔවුන් ඇයට යන්නට දෙනවා ඇත... නැත. කිසිවෙකුටත් පිටව යන්නට නොදෙන්නැයි ඔවුන්ට අණ ලැබී ඇතුවා නිසැකය. ඔවුන් ඇයව දන්නවා හෝ නොදන්නවා හෝ එයින් ඵලක් නොවනු ඇත.

එනමුදු බලකොටුවෙන් පිටතට යා හැකි තවත් මාර්ගයක් තිබේ...

ඇගේ අතැඟිලි අතරින් ගිලිහුනු සෑදලය තම්ප් හඬක් හා ධූලි වලාවක් නංවමින් බිම වැටුනේය. ඇයට නැවත වතාවක් අර යක්ෂයින් සිටින කාමරය සොයාගත හැකිවේද? ඇය මොහොතක් අතීරණයෙන් පෙලුනාය. එනමුදු ඒ වෙනුවෙන් උත්සාහයක් දැරිය යුතු බැව් ඇය වටහා ගත්තාය.

තමා එකතුකරගත් ඇඳුම් පොදිය සොයාගත් ආර්යා සළුව පොරොවාගෙන එහි රැළි අතරේ ඉදිකට්ට සඟවාගත්තා ය. ඉතුරු දේවල් සියල්ල පොදියක් කොට ඔතාගත්තා ය. මේ පොදිය කිහිල්ලේ ගසාගත් ඇය ඉස්තාලයේ පසුපස කෙලවර වෙත ළඟාවූවාය. හෙමිහිට පසුපස දොර විවර කල ඇය වියවුල් සිතින් අවට පරීක්ෂා කර බැලුවාය. ඈත අසිපත් එකට ගැටෙන හඬත් අංගනයට එහායින් මිනිසෙකු වේදනාවෙන් කෑ ගසන හඬත් ඇයට ඇසුනි. ඇය දැන් සර්පිලාකාර පඩිපෙළ පහළට බැස ගොස් කුඩා කුස්සිය හා ඌරු කොටු පසු කර යා යුතු විය‍. පසුගිය වතාවේ අර කළු බළලා ලුහුබැඳ ඇය දිවගියේ ඒ මාර්ගයෙනි... එනමුදු ඒ මාර්ගයෙන් ගියහොත් ඇයට නගරාරක්ෂකයින් ගේ බැරැක්ක පසුකර යාමට සිදුවනු ඇත. නැත, එය නුවණට හුරු වැඩක් නොවේ. ආර්යා තවත් මඟක් ගැන සිතන්නට වෑයම් කලාය. ඇය බලකොටුවේ අනිත් පසට පැනගතහොත් ගංගාවට යාබද ප්‍රාකාරය දිගේම ගොස් දෙව්වනය ඔස්සේ යා හැකිවනු ඇත... එහෙත් එසේ කිරීමට නම් ඇය ප්‍රාකාරවල සිටින මුර සෙබළුන්ට පෙනි පෙනී අංගනය හරහා යා යුතු විය.

ප්‍රාකාර හා මුර අට්ටාලවල මෙතරම් සංඛ්‍යාවක් මුර සෙබළුන් සිටිනු ඇය කිසි දිනෙක දැක නොතිබින. ඒ බොහෝ දෙනෙකුන් හෙලිවලින් සන්නද්ධ වූ නගරාරක්ෂක සෙබළු වූහ. ඔවුන්ගෙන් සමහරකු ඇයව දුටු මනතින් හඳුනා ගන්නවා ඇත. ඇය අංගනය හරහා දිව යනු දුටුවහොත් ඔවුන් කුමක් කරනු ඇත්ද? එතරම් ඉහළක සිට බලද්දී ඇයව ඉතා කුඩාවට පෙනෙනු ඇත. ඇය කවරෙකුදැයි හඳුනාගැනීමට ඔවුන්ට හැකිවනු ඇත්ද? ඔවුන් එය නොතකා හරිනු ඇත්ද?

'කුමක් වුවද දැන් මෙතැනින් පිටව යා යුතුය.' ඇය තමාටම කියාගත්තා ය. එනමුදු ඒ මොහොත පැමිණි විට ඇය කෙතරම් බියෙන් ගල්ගැසුනාදැයි කිවහොත් ඉදිරියට අඩියක්වත් තැබීමට ඇයට නොහැකි විය.

'නිශ්චල ජලය වගේ සන්සුන් වෙන්ට.' සිහින් කටහඬක් ඇගේ කණට කොඳුලේය. ආර්යා කෙතරම් තැතිගත්තාද යත් රෙදි පොදිය ඇගේ අතින් ගිලිහී වැටෙන්නටම ගියේය. ඇය වහ වහා ඉස්තාලය සිසාරා බැල්මක් හෙලූ මුත් ඇයත්, අශ්වයිනුත්, මළ මිනිසුනුත් හැරෙන්නට එහි අන් කිසිවෙකු නොවීය.

'සෙවනැල්ලක් වගේ නිහඬ වෙන්ට.' ඇයට නැවත ඇසුනි. ඒ ඇගේම කටහඬ ද නැතිනම් සිරියෝ ද යන්න ඇයට තෝරා‍බේරා ගත හැකි නොවීය. කෙසේවුවද මේ නිසා ඇගේ බිය තුනී වී ගියේය.

ඇය ඉස්තාලයෙන් පිටට පා තැබුවාය.

මේ ඇය සිය ජීවිත කාලය තුළදී සිදු කල බියජනකම දේ විය. අංගනය හරහා වහා දිවගොස් කොතැනක හෝ සැඟවෙන්නට ඇයට තදින්ම උවමනා විය. එනමුදු බියවීමට කිසිදු හේතුවක් නැතියෙකු මෙන් සෙමින් සෙමින් එක් එක් පියවර තබමින් අංගනය හරහා පිය මනින්නට ඇය දැඩි උත්සාහයකින් පසු සමත් වූවාය. මුර සෙබළුන් ගේ දෑස් තමා වෙත එල්ල වී ඇති අයුරු තමාට දැනෙන්නේ යැයි ඇය සිතුවාය. එය හරියටම ඇඳුම්වලට යටින් සම මත කුරුමිණියන් නලියන්නාක් වැනි හැඟීමක් විය. කිසි විටෙකත් හිස ඔසවා ඉහළ නොබැලීමට ඇය පරිස්සම් වූවාය. ඔවුන් ඇය දෙස බලා සිටින ආකාරය දුටුවහොත් තමා තුළ ගොඩනැංවී ඇති ධෛර්‍යය සැනෙන් නැති වී යනු ඇති බව ඇය දැන සිටියාය. එසේ වුවහොත් ඇය රෙදි පොදිය බිම දමා කුඩා එකෙකු මෙන් හඬමින් දිව යනු ඇති අතර සෙබළුන් සැනෙන් ඇය මත පැන ඇයව අල්ලාගනු ඇත. එබැවින් ඇය දිගටම බිම බලාගෙන ඉදිරියට පිය මැන්නාය. අංගනයේ එහා කෙලවරේ වූ රාජකීය සප්තක දේවස්ථානයේ සෙවනැල්ල යටට ළඟාවන විට ඇගේ සියොළඟම දහදියෙන් පෙඟී ගොස් තිබුනි. නමුත් වැදගත්ම දේ වූයේ සෙබළුන් කිසිවෙකුත් අනතුරු ඇඟවීමේ කෑ ගැසීමක් නොකිරීමයි.

සප්තකය මිනිසුන්ගෙන් ‍තොර වූ අතර එහි ඇතුළත ඉටිපන්දම් අඩ සියයක් පමණ සුඝන්ධය පතුරවමින් නිසන්සලේ දැල්වෙමින් තිබින. එයින් දෙකතුනක් නැතිවුනද දෙවිවරුන් කෝප නොගනී යැයි ආර්යා බලාපොරොත්තු විය. ඉටිපන්දම් කිහිපය සිය කමිස අතක් අස්සේ ගසාගත් ඇය පසුපස වූ කවුළුවකින් එළියට පැන්නාය. අර කණක් කොට කළු බළලා කොටු කරගත් පටු මාවත වෙතට හෙමින් සැරේ රිංගා ගැනීම ඇයට අසීරුවක් නොවීය. එනමුදු ඊට පසු ගමන්ගත් මාර්ගය ඇයට නිනවුවක් නොමැති විය. ඇය කවුළුවලින් ඇතුළට හා පිටතට බඩගෑවාය, තාප්ප උඩින් පැන්නාය, අඳුරු ගුහා වැනි ගබඩා කාමර තුළින් අතගාමින් ගියාය. 'හෙවනැල්ලක් වගේ නිහඬ වෙන්ට.' එක් වරක් ඇයට කොහේ හෝ ස්ත්‍රියක හඬන හඬක් ඇසුනි. අන්තිමේදී ඇය අර රාක්ෂයින් සිටින දඟගෙට ආනති වී ගිය පටු කවුළුව සොයා ගන්නා විට හෝරාවක් පමණ ගතවී තිබුනි.

සිය පොදිය කවුළුවෙන් එහාට තල්ලු කර දැමූ ඇය ඉටිපන්දමක් දල්වාගැනීම සඳහා නැවත ආපසු දිවගියාය. එය අහඹු වාසනාවක් විය. යන අතරමගදී දැල්වෙමින් තිබුනා යැයි ඇය දුටු ගිනිදළු මේ වනවිට නිවී ගොස් ගිනිඅඟුරු පමණක් ඉතුරු වී තිබින. ගිනිඅඟුරුවලට මුවින් පිඹින අතරේ කාමරය වෙත ළඟාවන කිසිවකු ගේ කටහඬ ඇයට ඇසුනි. ඒ පැමිණි තැනැත්තා කවරෙකු හෝ වේවා ඔවුන් දොරින් ඇතුළුවෙද්දී ඉටිපන්දම් දැල්ල නොනිමෙන සේ අතකින් මුවාකරගෙන වහා කවුළුවකින් පිටතට පැනගන්නට ඇය සමත් වූවාය.

මේ වතාවේ නම් ඇයව බිය වැද්දීමට රාක්ෂයින් පිරිස අසමත් වූහ. ඔවුන් පැරැණි මිතුරන් මෙන් ඇයට හැඟුනි. ඇය ඉටිපන්දම හිසට ඉහළින් සිටින සේ ඔසවා ගත්තාය. තබන තබන පියවරක් පාසා සෙවනැලි බිත්ති මත නැටූයේ ඇය යන දෙස හැරී බැලීමට මෙනි. "මකරු" යි මිමිනූ ඇය සිය සළුව තුළ සඟවාගෙන සිටි ඉදිකට්ට අතට ගත්තාය. මේ අති දැවැන්ත මකරුන් හමුවේ කෙට්ටු අසිපත ඉතා කුඩා එකක් මෙන් පෙනුන ද ආයුධයක් අතැතිව සිටීම නිසා ඇයට වඩා ආරක්ෂාකාරී හැඟීමක් දැනෙන්නට විය.

දොරට එහායින් වූ කිසිදු කවුළුවක් නැති, දිගු, අඳුරු ශාලාව ඇයට මතක ඇති අයුරින්ම විය. ඇය වමතේ - ඇගේ හුරු අතේ - ඉදිකට්ට ද, මිටිකරගත් දකුණතේ ඉටිපන්දම ද රඳවා ගත්තාය. උණු ඉටිකිරි ඇගේ අතැඟිලි දිගේ පෙරෙන්නට විය. ශාලාවේ ආරම්භය වම්පස බැව් මතක තිබුනු ආර්යා දකුණු පසට පිය මැන්නාය. ඇවිද යන්නට වඩා දිවයන්නට ඇගේ සිත ඇයට බල කල නමුදු එසේ කලහොත් ඉටිපන්දම නිවී යතැයි ඇය බියගත්තා ය. මීයන් ගේ සිහින් නාදය ඇයට ඇසුනු අතර ආලෝක සීමාවේ දිදුලන උන්ගේ කුඩා දෑස් ඇය දුටුවාය. එනමුදු ඇය මීයන්ට බිය නොවූවාය. බියවීමට ඊට වඩා වැඩි දේ තිබුනි. ඇය අර මන්තරකාරයාගෙන් හා දෙබල් රැවුලාගෙන් සැංගී සිටියාක් මෙන් කෙනෙකුට මෙහි සැඟවී සිටීම අතිශයින්ම පහසු කරුනක් විය. සිය අතුල්වල ඇති ගැඹුරු කැපුම්වලින් තවමත් ලේ ගලමින් අර ඉස්තාල කොලුවා උමං බිත්තියකට හේත්තු වී සිටින්නාක් මෙන් ඇයට මැවී පෙනින. ඇය පියමං කර යනවිට අල්ලාගැනීමට ඔහු සමහර විට බලා සිටිනවා වන්නට ඇත. ඇගේ ඉටිපන්දම් දැල්ල බොහෝ දුරක සිට නිරීක්ෂණය කිරීමට ඔහුට හැකිවනු ඇත. සමහරවිට ආළෝකයක් නොමැතිව ගමන් කිරීම වඩා ගුණදායක වන ඇත...

'බය කඩුවට වඩා ගැඹුරට කැපෙනවා.' ඇගේ හිස තුළ වූ අර කටහඬ මතක් කර දුන්නේය. හදිසියේම ආර්යාට වින්ටර්ෆෙල්වලට යටින් වන සොහොන් ගුහා සිහිපත් විය. 'ඒවයෙදි මීට වඩා බය හිතෙනවා' ඇය තමාටම කියා ගත්තාය. එහි ගිය පළමු වතාවේ ඇය කුඩා දැරියක විය. ඇගේ අයියා රොබ් විසින් ඇයත්, සන්සාත්, දැන් රිකන් ගේ වයසේ තරම් වූ බ්‍රැනුත් එහි කැඳවාගෙන ගියේය. ඔවුන් සතුව තිබුනේ එකම එක ඉටිපන්දමක් පමණකි. සිය දෙපා අසල නිදන වෘකයින් හා උකුළ මත ඇති යකඩ අසිපත් සමගින් ඔවුන් දෙස බලා සිටි පුරාණ ශීත රජවරුන් දුටු බ්‍රැන්ගේ දෑස් පීරිසි තරම් විසල් විය.

ඔවුන් වෙනුවෙන් තැනුනු සොහොන් ගැබ් පෙන්වනු වස් රොබ් ඔවුන් කැටුව සොහොන් ගෙයි කෙලවරටම, සීයාත්, බ්‍රැන්ඩනුත්, ලියානාත් පසුකරමින් ඈත කෙලවරටම ගියේය. සන්සා නිතරම වියවුල් සිතින් ඉටිපන්දම් කොටය දෙස බැලුවේ කොයි වෙලාවේ හෝ එය නිවී යතැයි බියෙනි. මෙහි මකුළුවනුත්, බල්ලන් තරම් විසල් මීයනුත් වෙසෙතැයි නාකි ආයම්මා ඇයට කියා තිබින. එනමුදු ඇය එය පැවසූ විට රොබ් ඇයට සිනාසුනේය. "මකුළුවන්ටයි මීයන්ටයි වඩා භයානක දේවල් තියෙනවා නංගී." ඔහු කොඳුළේය. "මේ තමා මැරිච්ච එවුන් ඇවිදින තැන." ඒ මොහොතේ ඔවුන්ට ශබ්දයක් ඇසුනි. ගැඹුරු, ඇඟ වෙවුලවනසුළු පහත් කෙඳිරියක් ඇසුනි. පුංචි බ්‍රැන් ආර්යා ගේ අතක් තරයේ අල්ලාගත්තේ ය.

ඊළඟ මොහොතේ ඔවුන් ගේ රුධිරය ඉල්ලා කෙඳිරි ගෑ සුදුමැලි අවතාරයක් විවෘත සොහොන් ගැබෙන් පිටතට මෑත් විය. සන්සා යටිගිරියෙන් කෑ ගසමින් පඩිපෙළ සොයා දිවගිය අතර පුංචි බ්‍රැන් ඉකිබිඳිමින් රොබ්ගේ කකුලක එල්ලුනේය. එනමුදු නොබියව සිටි පියවර සිටි ආර්යා අවතාරයට මුෂ්ටි ප්‍රහාරයක් එල්ල කලාය. ඒ සියොලඟම පිටි තවරාගත් ජොන් මිස අනිකෙකු නොවීය. "උඹ මෝඩයා. උඹ මේ පුංචි එකාව බයකරනවා." ඇය ඔහුට බැන වැදුනාය. එනමුදු ජොන් හා රොබ් කොක් හඬලමින් නොනැවතීම සිනාසෙන්නට වූහ. වැඩි වේලාවක් යන්නට මත්තෙන් ආර්යා හා පුංචි බ්‍රැන්ද ඒ සිනාවට හවුල් වූහ.

මේ සොඳුරු මතකය නිසා ආර්යා ගේ මුවට සිනහවක් නැගුනි. එයින් පසු අන්ධකාරය තවදුරටත් ඇයව බියපත් කරන්නට සමත් නොවීය. අර ඉස්තාල ‍කොලුවා මිය ගොසිනි. ඇය ඔහුව මරා දැම්මාය. ඔහු නැවතත් ඇය වෙත කඩා පැන්නොත් ඇය නැවත වරක් ඔහුව මරා දමනු ඇත. ඇය ගෙදර යනු ඇත. ඉන්පසු මේ සියල්ලක්ම නැවත හොඳ අතට පෙරලෙනු ඇත. වින්ටර්ෆෙල්හි අළු පැහැ කළුගල් ප්‍රාකාර ඇතුළට වන්පසු නැවත සියල්ලක්ම හොඳ අතට හැරෙනු ඇත.

ආර්යා තව තවත් අන්ධකාරය තුළට වැදෙද්දී ඇගේ පියවර හඬ මෘදු දෝංකාරයක් නංවමින් ඇයට ඉදිරියෙන් පියාඹා යන්නට විය.


Syrio Forel: “The heart lies and the head plays tricks with us, but the eyes see true.”

35 comments:

  1. Replies
    1. පොම් තාම ජන්ද ප්‍රතිපල බලනවා ඇති. :P

      අද මේ පෝස්ට් දැම්මේ අපරාදේ. :(

      Delete
    2. කවුරු බැලුවත් නොබැලුවත් පෝස්ට් එක දානවා.. අද බලන්නෙ නැත්තං හෙට බලයි.. ඒත් නැත්තං අනිද්දාට බලයි.. එහෙමත් නැත්තං සඳුදාට කොටස් දෙකම එකපාර බලයි.. ඡන්දයක් තිබුනා කියලා අපේ අනිත් වැඩ නවත්තන්ට ඕන නෑ නෙව.. :-D

      Delete
    3. Very well done your highness. Showed some hill country spirit this time around eh?

      Delete
    4. Hill country spirit it is :P
      Really thought u guys wudnt post today :(
      I don't like this parts. Only read them once

      Delete
    5. Well, the lady didn't want to publish.. But I insisted.. ;-)

      Delete
  2. මංනං ඔන්න ආවා කතන්දරේ බලන්න. ආර්යා පොඩි කෙල්ලට මං හරි ආදරෙයි. පොඩි කාලේ මට වෙන්න ඕනෙ වෙලා හිටියේ අන්න එයා වගේ එක්කෙනෙක්. :)

    ReplyDelete
    Replies
    1. ඔයාලා වෙනුවෙන්ම තමා අද කොටස නොදා නොසිටියෙ.. :-)

      ඉතින් ඔයා එයා වගේ එක්කෙනෙක් වුනැයි?

      Delete
    2. ඉතින් ඔයා ඒ වගේ එක්කෙනෙක් වුනාලුද? :P

      මේක දැම්ම එක හොඳයි කියලා පස්සේ හිතුනා. ජන්දේ ගැනම අහලා ඔලුව මඤ්ඤං වෙලා හිටියේ අනික ජිම් යාගන්ටත් බැරි වුනා. :D

      Delete
  3. චන්දෙ කියල අනිත් වැඩ නතරකරන්න ඕනේ නැහැ තමා :)

    අනේ ආර්යා හරි නිර්භීතයි නේ.....

    ReplyDelete
    Replies
    1. ඒක නෙවැ.. ඡන්දෙ කියන්නෙත් සාමාන්‍ය දෙයක් නෙවැ..

      ඔයා කිරිබත් හැදුවැයි?

      Delete
    2. ඔව් අද උදේට කිරිබත් තමා කෑවේ ,මගෙ යාලුවෙක් ඉන්නවා , කිරිබත් රෑටත් දුන්නොත් ඒත් අසාවෙන් කනවා :D

      Delete
    3. ඇයි රෑට කිරිබත් කන්ට ‍හොඳ නැද්ද? මමත් උ‍දේ දවල් රෑ කියලා වෙනසක් නෑ, ඕන වෙලාවක ඇදලා අරිනවා.. :-)

      Delete
    4. @සෝන්යා,

      ඔයා කිරිබත් හදනබව අනෙක් අය දැනගත්තේ කොහොමද? මේවා රාජ්‍ය රහස්. මේ විදියට එලියට එන එක හරි නෑ.:P

      කවුද ඔය රෑට කිරිබත් කන්ට ආසා යාලුවා? :O

      Delete
    5. ඔය සෝන්යාගෙ ෆයිල්ස් තියෙනවා මගේ ගාව.. මම ඒවා එළියට අදින්නෙ නෑ.. :-P

      Delete
    6. කිරිබත් රෑට කෑවම හොඳට දොයියන්න පුළුවන් කියන්නේ :D

      Delete
    7. @ Buratheno,

      හුහ් මගෙ ලඟත් නැති ෆයිල්ස් ඔයා ලඟ ? කොහෙද ඕවා තියල තියෙන්නෙ ඈ :P

      Delete
    8. @ Manoj Fernando,

      මම නම් ගොඩක් ආස නැහැ කිරිබත් වලට , ඒ නිසා කෑවත් උදේට විතරමයි :)

      Delete
    9. ඒවා බොහොම පරිස්සමට අරන් තියලා තියෙන්නෙ ඈ.. බයවෙන්ට එපා ඈ.. :-P

      Delete
  4. This happens wen children are allowed sharp toys. :P
    Beginning of a weird path.

    ReplyDelete
    Replies
    1. Indeed my lord.. Children should allow only Guns.. No sharp toys.. :-P

      Delete
    2. // Children should allow only Guns//

      and bombs, rockets and warships...:P

      Delete
  5. ඊලඟට වෙනදෙ දැනගන්නකල් ආතතියෙන්..හරියට හිටපු මැතිවරණ කොමසාරිස් වගේ මං ඉන්නෙ !

    ReplyDelete
    Replies
    1. ඩිංගිත්තක් ඉවසලා ඉන්ට පින්වත.. තව දවස් දෙකකින් දෙනවා ඊළඟ කොටස.. :-D

      Delete
    2. @සරත්,

      හී හී මැතිවරණේ අමතක කරන්ට බෑ වගේනේ.

      Delete
  6. අම්මප පට්ට
    ආර්ය තමා දවසකටත් කෙල්ල
    ඔහොම යං ඔහොම යං
    ජයවේවා

    ReplyDelete
  7. කුරුල්ලනේ වරෙල්ලා , කොබෙයියනේ වරෙල්ලා
    හැලප කන්න කැලේ පැන්න හිවල් මොටා ඇවිල්ලා.

    මෙන්න මං කැමති හරිය. හා හා ඔහොම යං :)

    වෙස්ටරෝස් වල කැබිනට් එකේ රිලවෙක් හිටිය කියල රට්‍ටු කියන්නෙ? නරියෙක් නං ඉන්නවා, චෑන්ස් එකක් නැහ්ද?

    ReplyDelete
    Replies
    1. අඩෝ, උඹ දන්නෙ නැද්ද වෙස්ටෙරෝස්වල පාලනේ මාරු වුනා කියලා.?? පාලනයේ හිටපු බරතියන් පවුල් සමාගම බලයෙන් පහවෙලා.. දැන් ඇවිල්ලා ඉන්නෙ ලැනිස්ටර් පවුල.. දැන් ඉතින් අං දිග ගෝනුන්ට, ඉබ්බන්ට, හංසයින්ට තැනක් නෑ.. සිංහයින්ට, බල්ලන්ට, වල් ඌරන්ට, මුගටියන්ට එහෙම තමා තැනක් තියෙන්නෙ.. ආ බස්සන්ටත් තැනක් තියේවි.. :-D

      නරින්ට චෑන්ස් එකක් ගන්ට ඉතින් ටිරල්ලාම බලේට එන්ට ඕන.. :-P

      Delete
    2. නරිය් මොටා ආවේ නිල් පාට ඇඳුමක් දාගෙනද? :P

      Delete
    3. නරි මොටාගෙ ඇඳුමත් අර කව්ද දේදුන්න වගේ වෙනස් වෙනව කිව්වෙ, ඒ වගේ නිතරම වෙනස් වෙනවා පොඩ්ඩි :D

      Delete
  8. ආර්යා එල කෙල්ලෙක් ඈ.
    හරියට අපේ පොඩ්ඩි වාගේ නෙහේ :D

    ReplyDelete
    Replies
    1. හුටා! එයැයි ගාවත් කඩුවක් තියෙනවද? :-O

      Delete