Wednesday 7 January 2015

ආර්යා 04-1


"උඩින්." සිරියෝ ෆොරල් කෑගසමින් ඇගේ හිසට පහරක් එල්ල කලේය. ආර්යා පහර වැළැකූ අතර ලී කඩු දෙක හඬ නගමින් එකට ගැටුනි.

"වමෙන්." ඔහු කෑගැසූ අතර අසිපත සියුරුහඬ නංවමින් ඇදී ආයේය. එය සම්මුඛ වීම පිණිස ඇගේ අසිපත ඉදිරියට ගියේය. අසිපත් දෙක එකට ගැටෙද්දී ඔහු ටික් ටික් හඬ නංවමින් දත් එකට ගැටීය.

"දකුණෙන්." ඔහු කීය. "පහතින්." නැවතත් "වමෙන්." තවත් වරක් "වමෙන්." වඩ වඩාත් වේගවත්ව. ඉදිරියටම. ඔහුගේ සෑම පහරක්ම වළකන අතරේ ආර්යා සෙමෙන් පසුබැස්සා ය.

"ඉස්සරහට පැනලා." ඔහු අනතුරු අඟවමින් ඉදිරියට පැන අසිපතෙන් ඇන්නේය. එනමුදු පසෙකට පැන අසිපත් තලය පිසදා හැරිය ඇය ඔහුගේ උරහිසට පහරක් එල්ල කලාය. අන්තිම මොහොතේ ඔහු සිය අසිපත ඔසවා පහර වැළැකීය. එය කෙතරම් ආසන්න අවස්ථාවක් වූවාද යත් ඇගේ මුවේ සිනාවක් නැගුනි. දහදියෙන් පෙඟුනු කෙස් රොදක් ඇගේ දෑස් ඉදිරියේ නැටීය. ඇය එය පිටිඅත්ලෙන් පිසදා හැරියාය.

"වමෙන්." සිරියෝ දිගටම කෑගැසුවේ ය. "පහතින්." ඔහුගේ පහරවල් කෙතරම් වේගවත්ද යත් අසිපත බොඳ වූවාක් මෙන් දිස්විය. කුඩා ශාලාව තුළ 'ක්ලැක් ක්ලැක් ක්ලැක්' හඬ රැවු දුන්නේය. "වමෙන්. වමෙන්. උඩින්. වමෙන්. දකුණෙන්. වමෙන්. පහතින්. වමෙන්."

ලී අසිපත ඇගේ ළපැත්තේ ඉහළ සිපගත්තේ ය. එය දැඩි, තියුණු වේදනාවක් ගෙන දුන් අතර ඇයට වඩාත්ම රිදුනේ පහර පැමිණියේ වැරැදි පැත්තෙන් බැවිනි. "ආවු!" ඇය කෑගෑවාය. අද නින්දට යන වේලාව වන විට ඇගේ සිරුරේ තවත් අලුත් තැල්මක් දැකිය හැකිවනු ඇත. 'තැල්මක් කියන්නෙ පාඩමක්.' ඇය තමාටම කියාගත්තා ය. 'ඒ වගේම හැම පාඩමක් ගානෙම අපි තව තවත් හොඳ වෙනවා.'

සිරියෝ අඩියක් පසුපසට තැබීය. "දැන් ඔයා මැරිලා."

ආර්යා මුහුණ ඇදකලාය. "ඔයා වංචා කලා." ඇය වාදාත්මක ස්වරයෙන් කීවාය. "ඔයා කිවුවෙ වමෙන් කියලා, ඒත් පාර ආවෙ දකුණෙන්."

"එහෙම වෙන්ට ඇති. ඒ කොහොම හරි ඔයා දැන් මැරිච්ච කෙල්ලක්."

"ඒ වුනත් ඔයා බොරු කිවුවා!"

"මගේ වචන බොරු කිවුවා තමා. ඒ වුනත් මගේ ඇහැ, මගේ අත ඇත්ත කියලා කෑගැහුවා. ඒත් ඔයා ඒක දැක්කෙ නෑ."

"මම දැක්කා." ආර්යා කීවාය. "මම හැම තත්පරයක් ගානෙම ඔයා දිහා බලාගෙනයි හිටියෙ."

"බලනවා කියන්නෙ දකිනවා කියන එක නෙවෙයි මැරිච්ච කෙල්ලෙ. දිය නැට්ටුවො වුනාම හැම දෙයක්ම දකින්ට ඕන. එන්ට. ඔය කඩුව පැත්තකින් දාන්ට. දැන් අහන් ඉන්ට ඕන වෙලාව."

ඇය ඔහු පසුපසින් ගොස් බිත්තිය අද්දර තිබුනු බංකුවක වාඩි වූවාය. "සිරියෝ ෆොරල් බ්‍රාවොස්වල ප්‍රධාන නැවු හිමියාගෙ නායක සෙබළා වෙලා හිටියා. ඔයා දන්නවද කොහොමද ඒක සිද්දවුනේ කියලා?"

"ඔයා තමා නගරයෙ හිටපු හොඳම කඩුහරඹ සූරයා." ආර්යා කීවාය.

"එහෙම වෙන්ට ඇති. ඒත් ඇයි? තවත් මිනිස්සු හිටියා ශක්තිමත්, වේගවත්, තරුණ උදවිය. ඇයි සිරියෝ ෆොරල් හොඳම එක්කෙනා වෙන්නෙ? මම දැන් ඔයාට කියලා දෙන්නම්." ඔහු සුළැඟිලි තුඩින් සිය ඇහිබැම ස්පර්ශ කලේය. "පෙනීම. නියම පෙනීම. ඒක තමා ඒකට ප්‍රධානම හේතුව වුනේ."

"හොඳට අහගන්ට. හුළං හමන්නෙ කොයි පැත්තටද, ඒ හැමතැනටම බ්‍රාවොසි නැවු යනවා. ලෝකෙ කෙලවරටම, කවදාවත් සාමාන්‍ය මිනිස්සු දැකලාවත් නැති අමුතු, පුදුමාකාර රටවල්වලට යනවා. ඉතින් මේ නැවු ආපහු එනකොට ඒවායෙ කපිතාන්ලා නායක නැවු හිමියාගෙ පෞද්ගලික සත්තු වත්තට එක එක ජාතියෙ අමුතු සත්තු ගෙනල්ලා දෙනවා. ඔයා කවදාවත් දැකලා තියා අහලාවත් නැති සත්තු. ඉරි වැටිච්ච අශ්වයො, බොරුකකුල් වගේ දිග බෙලි තියෙන පුල්ලි වැටිච්ච සත්තු, හරකෙක් තරම් විශාල, ලොම් පිරිලා තියෙන ඌරො වගේ මීයො, විස මැන්ටිකෝරයො, බඩේ තියෙන මල්ලක තමන්ගෙ පැටවු දාගෙන යන ව්‍යාඝ්‍රයො, උල් පිහි වගේ නිය තියෙන භයානක කටුස්සො. සිරියෝ ෆොරල් මේ හැමජාතියෙම එවුන් දැකලා තියෙනවා."

"මම මේ කියන්ට යන දවසෙ ප්‍රධාන නැවු හිමියා මට එන්ටයි කියලා පණිවුඩයක් එවුවා. එයාගෙ නායක සෙබළා ඊට ටික දවසකට කලින් මැරුනා. ගොඩක් බ්‍රාවොසියො ආවා එයාව හම්බවෙන්ට, ඒ තනතුරට ඉල්ලන්ට. ඒත් එයා ඒ හැමෝම ආපහු හරවලා ඇරියා. කාටවත් හිතාගන්ට බැරිවුනා හේතුව මොකක්ද කියලා. මම එයා ඉස්සරහට යනකොට, එයා පුටුවක වාඩි වෙලා, උකුළ උඩ මහත කහපාට බළලෙක් තියාගෙන හිටියා. එයා මට කිවුවා නැවක කපිතාන් කෙනෙක් තමා ඉර නගින්නෙවත් නැති කොහෙද දූපතකින් එයාට ඒ සතා ගෙනල්ලා දුන්නෙ කියලා. 'ඔබ මේ බැළලි වගේ එකෙක් කවදාවත් දැකලා තියෙනවද?' එයා මගෙන් ඇහුවා."

"ඉතින් එයාට මම කිවුවා, 'හැම රෑකම බ්‍රාවොස්වල පටු මංමාවත්වල මම මේ වගේ එවුන් දාස්ගණන් දකිනවා' කියලා. ප්‍රධාන නැවු හිමියා මහ හයියෙන් හිනාවුනා. එදා ඉඳන් මම තමා එයාගෙ නායක සෙබළා වුනේ."

ආර්යා මුහුණ බෙරි කරගත්තා ය. "මට තේරුනෙ නෑ."

සිරියෝ නැවත වරක් 'ටික් ටික්' හඬින් දත් එකට ගැටීය. "ඒ බළලා සාමාන්‍ය බළලෙක්. විශේෂ එකෙක් නෙවෙයි. අනිත් මිනිස්සු බලාපොරොත්තු වුනේ අසාමාන්‍ය සතෙක්. ඒකයි එයාලා ඌව අසාමාන්‍ය සතෙක් විදියට දැක්කෙ. ‍‍'ඌ කොච්චර විශාල ද!' එයාලා කිවුවා. ඒ වුනත් මේ බළලා අනිත් එවුන්ට වඩා විශාල එකෙක් නෙවෙයි. කම්මැලිකම නිසා ටිකක් වැඩිපුර මහත්වෙලා විතරයි. මොකද ප්‍රධාන නැවු හිමියා ඌව තමන්ගෙ කෑම මේසෙ ගාවම තියාගෙන කෑම දුන්න නිසා. 'කොච්චර පුදුමාකාර පුංචි කණ් ද!' එයාලා කිවුවා. එහෙම වුනේ අනිත් බළල්ලු එක්ක කා ගන්නකොට උගෙ කණ් දෙක තුවාල වෙලා කැඩිලා ගිහිල්ලා නිසා. අනික ඌ බළලෙක්. ඒ වුනත් නැවු හිමියා හිතාමතාම 'බැළලි' කියලා කිවුවා. ඉතින් අනිත් අය දැක්කෙ එහෙමයි. ඔයා අහගෙනද ඉන්නෙ?"

ආර්යා මොහොතක් ඒ ගැන කල්පනා කලාය. "ඔයා දැක්කා ඇත්තටම එතැන තිබුනෙ මොකක්ද කියලා."

"අන්න හරි. ඔයාගෙ ඇස් දෙක හොඳින් ඇරලා තියාගන්න එක තමා වැදගත්ම දේ. හදවත අපට බොරු කියන්ට පුළුවන්. මොළය අපට එක එක විකාර කියන්ට පුළුවන්. ඒ වුනත් ඇස් දෙක ඇත්ත දකිනවා. ඔයාගෙ ඇස් දෙකෙන් දකින්ට. ඔයාගෙ කණ් දෙකෙන් අහන්ට. ඔයාගෙ දිවෙන් රහ බලන්ට. ඔයාගෙ නහයෙන් ගඳ-සුවඳ විඳින්ට. ඔයාගෙ හමෙන් හඟින්ට. අන්න එතකොට එනවා සිතීම. ඊටපස්සෙ මේ සිතීම පත්වෙනවා දැනුම බවට. එහෙමයි ඔයා ඇත්ත දැනගන්නෙ."

"එහෙම වෙන්ට ඇති. "ආර්යා විරිත්තමින් කීවාය.

සිරියෝ ෆොරල් මුවට සිනහවක් නගාගත්තේ ය. "මම මේ කල්පනා කරන්නෙ, අපි ඔයාගෙ ඔය වින්ටර්ෆෙල්වලට ගියාට පස්සෙ ඔයාගෙ ඔය කඩුව, ඉදිකට්ටෙන්ම ඔයාට පුහුණුවෙන්ට ඇරියා නම් හොඳයි කියලා."

"ඔවු!" ආර්යා උනන්දුවෙන් කීවාය. "ඉන්ටකො, මම ජොන්ට පෙන්නනකං-"

ඇයට පිටුසින් කුඩා ශාලාවේ දැවැන්ත දොර පියන් මහ හඬක් නගමින් ඇරුනේය. ආර්යා වහා කරකැවී බැලුවාය.

රාජ්‍යාරක්ෂක බලකායේ නයිට්වරයෙකු හා ඔහුට පසුපසින් ලැනිස්ටර් සෙබළුන් පස්දෙනෙක් දොර උළුවස්ස අසල සිටගෙන සිටියෝය‍. ඔහු සම්පූර්ණ සන්නාහයෙන් සැරසී සිටි නමුදු ශිරස්කයේ මුව වැස්ම ඉහළට ඔසවා තිබුනි. රජතුමා සමගින් වින්ටර්ෆෙල්වලට පැමිණි ඔහුගේ මැලවුනු දෑස් හා මළකඩ පැහැ රැවුල ආර්යා විසින් හඳුනාගත්තා ය. සෙර් මෙරින් ට්‍රැන්ට්. ලැනිස්ටර් සෙබළු මුදු දම්වැල් සන්නාහ කමිස හැඳ මුදුනේ සිංහයකු සවි කල වානේ ශිරස්ක පැළැඳ සිටියහ. "ආර්යා ස්ටාර්ක්." නයිට්වරයා කීය. "අපිත් එක්ක එන්ට දරුවො."

ආර්යා දෙගිඩියාවෙන් දෙතොල් විකීය. "ඔයාට මොනවද ඕන?"

"ඔයාගෙ තාත්තාට ඔයාව මුනගැහෙන්ට ඕනලු."

ආර්යා පියවරක් ඉදිරියට තැබුවාය. එනමුදු සිරියෝ ෆොරල් වහා ඇගේ අතකින් අල්ලා ඇයව නැවැත්වීය. "මම කල්පනා කරන්නෙ, ඇයි එඩාර්ඩ් උතුමානන් එයාගෙ මිනිස්සු එවන්නෙ නැතුව ලැනිස්ටර් සෙබළු එවන්නෙ?"

"උඹ උඹේ වැඩක් බලාගනින් නැටුම් ගුරුතුමෝ." සෙර් මෙරින් කීවේය. "මේක උඹට අයිති වැඩක් නෙවෙයි."

"මගේ තාත්තා ඔයාලාව එවන්නෙ නෑ." ආර්යා කීවාය. ඇය සිය ලී අසිපත අහුලා ගත්තා ය. ලැනිස්ටර් සෙබළු සිනහවෙන්නට වූහ.

"ඔය ලී කෑල්ල විසි කරහන් කෙල්ලෙ." සෙර් මෙරින් ඇයට කීය. "මම රාජ්‍යාරක්ෂක බලකායෙ දිවුරුම් දුන්න සහෝදරයෙක්. ධවල අසිපතක්."

"පරණ රජතුමාව මරද්දි රජුන් මරන්නාත් එහෙම දිවුරුම් දීපු සාමාජිකයෙක් වගේ තමා හිටියෙ." ආර්යා කීය. "මට යන්ට උවමනාවක් නැත්තං මම ඔයාලත් එක්ක එන්ට ඕන නෑ."

සෙර් මෙරින් ගේ ඉවසීම සිඳී ගියේය. "ඒකිව අල්ලගනිල්ලා." ඔහු සිය සෙබළුන්ට කීවේ ශිරස්කයේ මුව වැස්ම පහතට දමා ගනිමිනි.

තබන පියවරක් පාසා මුදු දම්වැල් නද දෙවමින් ඔවුන් තිදෙනෙක් ඉදිරියට පිය මැන්නෝය‍. ආර්යාට හදිසියේම දැඩි බියක් දැනෙන්නට විය. 'බය කඩුවට වඩා ගැඹුරට කැපෙනවා.' ඇය තමාටම කියාගත්තේ සිය හදගැස‍්මේ වේගය අඩු කරලීමේ අටියෙනි.

අතැති ලී අසිපතෙන් සෙමින් සිය බූට්ස් සපත්තුවට තට්ටු කරමින් සිරියෝ ෆොරල් වහා ඔවුන් මැද්දට පැන්නේය. "උඹලා ඔතැනම නැවතියල්ලා. උඹලා මිනිස්සු ද නැත්තම් බල්ලො ද, මෙහෙම පුංචි දරුවෙකුට තර්ජනය කරන්ට?"

"අහකට වෙයන් නාකියො." එක් සෙබළෙක් කීය.

විදුලියක් මෙන් ඉහළ නැගුනු සිරියෝ ගේ ලී අසිපත සෙබළා ගේ ශිරස්කය මත පතිත වින. "මම සිරියෝ ෆොරල්. උඹලා දැන්වත් මට ටිකක් ගරුනම්බු දීලා කතා කලොත් හොඳයි."

"තට්ට අවජාතකයො." සෙබළා සිය දිගු අසිපත ඇදගත්තේ ය. ලී අසිපත නැවත වරක් අකුණුසරක වේගයෙන් ඉහළ නැගුනි. ආර්යාට යමක් බිඳෙන හඬක් ඇසුනු අතර දිගු අසිපත රැවුදෙමින් ගල් පොළොව මත පතිත විය. "මගේ අත." සිය බිඳුනු අතැඟිලි මිරිකා ගනිමින් සෙබළා වේදනාවෙන් කෑ ගැසුවේය.

"උඹ බොහොම වේගවත්. නැටුම් ගුරුවරයෙකුට ගැලපෙන තරමටත් වඩා." සෙර් මෙරින් කීවේය.

"උඹ බොහොම මන්දගාමියි. නයිට් කෙනෙකුට ගැලපෙන තරමටත් වඩා." සිරියෝ පිළිතුරු දුන්නේය.

"ඔය බ්‍රාවොසියාව මරලා දාලා මට කෙල්ලව අරන් වරෙල්ලා." නයිට්වරයා විධාන කලේය.

ලැනිස්ටර් සෙබළුන් සිවුදෙනෙක් සිය දිගු අසිපත් ඇදගත්තෝ ය. බිඳුනු අතැඟිලි ඇති පස්වැන්නා සිය වමතින් සිරියක් ඇදගත්තේ ය.

සිරියෝ ෆොරල් සිය සුපුරුදු දිය නැටුම් ඉරියවුවට පැමිණෙමින් 'ටික් ටික්' හඬින් දත් එකට ගැටීය. ඔහු පැති ඉරියුවවකින් සිය සතුරාට මුහුණ දුන්නේය. "ආර්යා දරුවො." ඔහු සතුරු ලැනිස්ටර් සෙබළුන් වෙතින් දෑස් ඉවතට නොගෙන, ඇය දෙස නොබලාම ඇයව ඇමතුවේ ය. "අද දවසට අපේ නැටුම් පාඩම් ඉවරයි. ඔයා දැන් ගියානම් හොඳයි. ඔයාගෙ තාත්තා ගාවට දුවලා යන්ට."

ආර්යාට ඔහුව දමා යෑමට උවමනා නොවීය. එනමුදු තමා කියන්නක් කරන්නැයි ඔහු ඇයට උගන්වා තිබුනි. "මුවෙක් වගේ වේගවත් වෙන්ට." ඇය කොඳුලාය.

"අන්න හරි." ලැනිස්ටර් සෙබළුන් සෙමෙන් සෙමෙන් ඔහු වටා ලංවද්දී සිරියෝ කීවේය.

සිය ලී අසිපත තරයේ අල්ලාගත් ආර්යා සෙමෙන් පසුපසට ඇදුනාය. සිරියෝ ගේ ඉරියවු දුටු ඇයට වැටහී ගියේ තමා සමග ද්වන්ද්ව සටන් කරද්දී ඔහු කලේ විහිළුවක් පමණක් බවයි. සෙබළු ඔහුව තුන් පැත්තකින් වටකලෝය. ඔවුන් ගේ පපු හා බාහු මුදු දම්වැල් සන්නාහයෙන් වැසී තිබුනි. ඔවුන් ගේ කලිසම්වලට තබා මැසූ වානේ පතුරුවලින් කළවා ආරක්ෂා විය. එනමුදු ඔවුන් ගේ පාද ආරක්ෂා කිරීමට තිබුනේ පදම් කල සම් පමණි. එමෙන්ම ඔවුන් ගේ අත් නිරාවරණය වී තිබුනි. ඔවුන් පැළැඳ සිටි ශිරස්කවල නාසය ඉදිරියෙන් වානේ තීරුවක් තිබුනු නමුදු දෑස්වල ආරක්ෂාවට මුව වැස්මක් නොතිබුනි.

ඔවුන් තමා වෙත කඩා පනින තෙක් බලා නොසිටි සිරියෝ වහා තම වම් පසට කරකැවුනේ ය. මිනිසෙකු මෙතරම් වේගයෙන් චලනය වනු ආර්යා මින් පෙර කිසි දිනෙකත් දැක නොතිබින. එක් අසිපත් පහරක් සිය ලී අසිපතින් පිසදා හැරි ඔහු තවත් අසිපත් පහරක් වැළැකීමට පසෙකට පැන්නේය. පහර වැරැදීම නිසා අසමතුලිත වූ දෙවන සෙබළා පළමුවැන්නා ගේ සිරුරේ හැපුනි. සිරියෝ ඔහුගේ පසුපසට පයක් තමා තල්ලු කල අතර සෙබළුන් දෙදෙනාම බිම පෙරැලී ගියහ. ඔවුන් දෙදෙනාට ඉහළින් පිනූ තෙවැන්නා සිරියෝ ගේ හිසට කෙටීය. එනමුදු ඒ අසිපතට යටින් නැමුනු සිරියෝ සිය ලී අසිපතින් ඉදිරියට ඇන්නේය. සෙබළා ගේ වම් ඇස තිබුනු තැනින් රුධිරය විදිද්දී ඔහු වේදනාවෙන් කෑ ගසමින් බිම වැටුනේය.

මේ වනවිට බිම වැටුනු සෙබළුන් දෙදෙන නැවත නැගිටිමින් සිටියෝය. සිරියෝ එකෙකුගේ මුහුණට පා පහරක් එල්ල කර අනිකා ගේ ශිරස්කය ඩැහැගත්තේ ය. සිරිය දැරූ සෙබළා ඔහුට දමා ඇන්නේය. එනමුදු අතැති වානේ ශිරස්කයෙන් එම පහර පහසුවෙන්ම වැළැකූ සිරියෝ ලී අසිපත් පහරකින් සෙබළා ගේ දණහිස බිඳ දැමුවේය. අවලාදයක් නැගූ අවසාන සෙබළා සිය අසිපත දෑතින්ම ඔසවා පහරක් එල්ල කලේය. එනමුදු සිරියෝ වහා දකුණට කරකැවුනු අතර අසිපත් පහර මේ වනවිට දණින් නැගී සිටි ශිරස්කය අහිමි සෙබළා ගේ ගෙලත් උරහිසත් අතරින් පතිත විය. වානේ මුදු දම්වැල්, පදම් කල සම් හා මස් කපා දමමින් අසිපත ඇතුළට කිඳා බැස්සේය. දණින් වැටී සිටි සෙබළා වියරුවෙන් කෑ ගැසුවේය. ඔහුගේ මරුවා සිය අසිපත් තලය ආපසු ඇදගන්නට පෙර ඉදිරියට පිනූ සිරියෝ සෙබළා ගේ උගුරු ඇටයට අසිපතින් ඇන්නේය. මැඩුනු කෑ ගැසීමකින් හා කළු වී ගිය මුහුණින් යුතු සෙබළා සිය බෙල්ල දෑතින් බදා ගනිමින් පසුපසට වැටුනේය.

කුස්සිය වෙතට ඇරෙන පසුපස දොර වෙතට ආර්යා ළඟාවන මොහොත වනවිටත් මිනිසුන් පස්දෙනෙක් බිම වැටී මිය ගොස් හෝ මියයමින් හෝ සිටියහ. සෙර් මෙරින් ට්‍රැන්ට් ගේ මුවින් නැගුනු අවලාදය ඇයට පැහැදිලිවම ඇසුනි. "පල් බූරුවෝ!" සිය දිගු අසිපත කොපුවෙන් අදිමින් ඔහු සාපකලේය.

නැවත සිය දිය නැටුම් ඉරියවුවට පැමිණි සිරි‍යෝ 'ටික් ටික්' හඬින් දත් එකට ගැටීය. "ආර්යා දරුවෝ." ඇය දෙස බලන්නටවත් වෙහෙස නොවෙමින් ඔහු ඇයව ඇමතීය. "ඔයා දැන් ගියොත් හොඳයි."

'ඔයාගෙ ඇස්වලින් දකින්ට.' ඔහු කියා තිබුනි. ඇය බැලුවාය, ඇය දුටුවාය. නයිට්වරයා හිස සිට දෙපතුළටම යන තෙක් සන්නාහයෙන් සැරසී සිටියේය. ඔහුගේ පාද, ගෙල හා දෑත් වානේවලින් ආවරණය වී තිබින. ඔහුගේ දෑස් වානේ ශිරස්කයෙන් හා මුව වැස්මෙන් ආරක්ෂා වී තිබින. ඔහුගේ සුරතේ සුපිරි වානේ අසිපතක් විය. මේ සියල්ලටම එදිරිව සිරියෝ ෆොරල්, සම් කබායකින් සැරසී ලී අසිපතක් අත දරා සිටියේය. "සිරියෝ දුවන්ට." ඇය කෑ ගැසුවාය.

"බ්‍රාවොස්වල නායක සෙබළා කවදාවත් දුවන්නෙ නෑ." නයිට්වරයා තමා මත කඩා පනිද්දී ඔහු කීවේය. සිරියෝ නර්තන ලීලාවෙන් අසිපත් පහර මගහැරියේ ය. එක් හද ගැස්මක මොහොතකදී ඔහුගේ අසිපත නයිට්වරයා ගේ නළල, වැලිමිට හා ගෙල සිපගත්තේ ය. අසිපත අකුණු සරින් නයිට්වරයා ගේ ශිරස්කය, අත්වැසුම් හා ග්‍රීවාවරණය මත හැපෙද්දී ලී හා වානේ එකිනෙක ගැටෙන හඬ කාමරය පුරා රැවු දුන්නේය. ආර්යා ගල්ගැසී බලා හුන්නාය. සෙර් මෙරින් නැවතත් ඉදිරියට පිනීය. සිරියෝ පසු බැස්සේය. ඔහු නයිට්වරයා ගේ පළමු පහර වළකා, දෙවන පහරින් ඉවතට කරකැවී, තෙවන පහර පිසදා හැරියේය.

එනමුදු සිවුවන පහරින් ඔහුගේ අසිපත දෙකඩ කැඩී ගියේය. ලී පතුරු දසත විහිද ගිය අතර අසිපත් තලය මැද්දේ වූ ඊයම් කැඩී ඇඹරී ගියේය.

ඉකිබිඳිමින් ආපසු හැරුනු ආර්යා දුවන්නට වන්නීය.


Syrio Forel: “The first sword of Braavos does not run'”

29 comments:

  1. හය්යෝ සිරියො....
    එයා ඉවරයි......
    ඒක එහෙම වෙන්ට තිබ්බ දෙයක්....
    මක් කොරන්ටද...
    එතකොට අර සත්තුන්ට කියන්ට නං ටිකක් තිබ්බ නැති එක ගැන නං හරි කණගාටුයි අප්ප

    ReplyDelete
    Replies
    1. හයියො සිරියෝ.. හැබැයි ඉවරයි කිවුවට ඉවරම නෑ මෙයා.. ‍ජෝර්ජ් අන්කල් පොතේ හරියටම කියන්නෙ නෑ සිරියෝ මලාද නැද්ද කියලා.. ඔය ගැනත් මහ විසාල වාද-විවාද ගොඩාරියක් තියෙනවා.. :-D

      Delete
    2. hmmmmmmmmmmmmmm owwow
      theory nam hata huta hamarak thibe

      Delete
  2. සිරියෝ ............
    හපොයි වෙච්චි දෙයක්.

    ReplyDelete
    Replies
    1. for popular entertainment dude
      cant spoil stuff here

      Delete
    2. No worries dude.. no worries... :-)

      Delete
    3. All hail POM, a very egalitarian Prince , always thinking of the welfare of the masses.

      Delete
    4. I would love to see him fight
      1. Jamie lannister
      2. Arthur dayne
      3. Khal drogo
      4. Red viper
      5. The mountain

      Wat do u guys think?

      Delete
    5. I would love to see Khal Drogo vs Ser Gregor..

      Delete
    6. me too man
      how abt young king robert Vs gregor ?

      Delete
    7. Anyone wonder how is Ned's fighting capabilities.?? He should be one of the best in his youth.. But now......

      Delete
    8. Everyone think ned is a badass fighter on one phrase. Abt him beating dayne in single combat. But ned himself admits that Reed helped him a lot. The nature of his help is controversial.

      Delete
    9. Any idea what kinda man is this Reed my lord? According to the descriptions in the books, an African Bushman or a Pigmy comes into my mind every time I hear Howland Read.. :-)

      Delete
    10. amen to that
      a green seer may be

      Delete
    11. more like a Druid or a priest-chieftain of stone and bronze age

      Delete
  3. අයියෝ නෙද් ට තිබුනෙ ලැනිස්ටර්,බැරතියන්,ටිරල් ඔක්කොටම ගැලපෙන පොදු රජ කෙනෙක් හරි රජ මණ්ඩලයක් හරි පත්කරන්න .. එහෙනම් ඔය කරදර මුකුත් නෑ.පොඩ්ඩක් පරක්කු උනා.පොඩ්ඩි, බූරා ඇතුලු ‍යටත් වාසී සියලු දෙනාත්ටම සුභ අලුත් අවුරූද්දක් වෙවා..

    ReplyDelete
    Replies
    1. සුබම සුබ 2015ක් වේවා සෙර් වල්ටත්!

      Delete
  4. පව්නේ ආර්යා :(

    එයාට කඩුව පුරුදුකල කෙනා නම් නියම ගුරුවරයෙක්......

    ReplyDelete
    Replies
    1. පවු තමා.. ඒ වුනත් කා‍ගෙද වැරැද්ද? එයා‍ගෙම තාත්තගෙ.. එයා තමන්ගෙ දරුවො ගැන හිතලා වැඩ කලා නම් ඔහොම නොවෙන්ට තිබුනා.. කොහෙද, බුවා ඊට කලින් අනුන්ගෙ ළමයි ආරක්ෂා කරන්ට ගියා නෙව.. ඔය කොරගත්තෙ..

      Delete
  5. අනේ මම මේ බ්‍රාවෝසියාට හරි කැමැත්තෙන් හිටියේ... සැකයක් ඉතුරු කළ එක හොඳයි... ජෝර්ජ් අන්කල් දක්ශයා,,,

    ReplyDelete
    Replies
    1. ජෝර්ජ් අන්කල් හැමතැනම සැක ඉතුරු කර කර යනවා.. අර Pra Jay කියන්නා වගේ ඔය ඔක්කොම ගැට ලිහන්ට තව ‍පොත් පහක්වත් ඕන.. :-D

      Delete
    2. තව ටික කාලෙකින් ජෝර්ජ් අංකල්ගෙ මතකය දුර්වල වෙනවා, පොරට 66 දැන්... ඊට පස්සෙ ලංකාවේ මෙගා නාට්‍යයක් වගේ වෙයිද දන්නේ නෑ. පටන් ගත්ත කතාව, චරිත කිසි දෙයක් අග හරියට යනකොට නෑ....

      Delete
    3. පොර හයවෙනි පොත එළියට දාන්ට මෙච්චර පරක්කු වෙන්නෙ, දැනටමත් කතාව අමතක වෙලාද දන්නෙ නෑ.. :-O

      Delete
    4. මට තියන සිරාම බයක් තමයි ඔය මනුස්පයා පොත් හතම ලියන්ට කලින් සප්තක දෙවියෝ ගාවට යයි කියන එක

      Delete
  6. අයියෝ දැන් මොකක්ද වෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. මොනා කරන්ටද අයියෝ! අපි ඔහේ බලන් ඉම්මු මොනවා වෙයිද කියලා‍‍‍..

      Delete
  7. දෙසැම්බර් ජනවාරි ඔක්කොම අදයි කියෙව්වෙ.. එකින් එකේ අදහස් ලියන්ට වෙලාවක් තිබ්බෙ නෑ..

    ReplyDelete
    Replies
    1. මම දැක්කා සරත් පරණ පෝස්ට්වලට කමෙන්ට්ස් දාගෙන එනවා.. :-)

      Delete