Friday 31 October 2014

එඩාර්ඩ් 07-3


එදා රාත්‍රියේ පැවැති භෝජන සංග්‍රහය අතරතුරේදී එඩාර්ඩ් ස්ටාර්ක් අන් කවරදාටත් වඩා බලාපොරොත්තු සහගතව උන්නේය‍. රොබර්ට් ඉතා ඉහළ මට්ටමේ ම‍නෝභාවයකින් සිටි අතර සෑමකෙනෙකු සමගම විහිළු කරමින් සිනාසෙමින් කාලය ගෙවීය. කිසිදු ලැනිස්ටර්වරයකු පෙනෙනතෙක් මානයේ වත් නොසිටි අතර ඔහු ගේ දූවරුන් දෙදෙනද යහපත් හැසිරීමෙන් යුක්ත වූහ. ජොරී විසින් ආර්යා කැටුව පැමිණි අතර සන්සා ඇයත් සමග සුහදව පිළිසඳරේ යෙදුනා ය. "තරගාවලිය වචනෙන් කියලා ඉවරකරන්ට බැරිතරම් ලස්සනයි." ඇය සුසුමක් හෙලුවා ය. "අපරාදෙ, ඔයත් එන්ටයි තිබු‍නෙ. ඔයාගෙ නැටුම් පාඩම් කොහොමද?"

"ම‍ගේ ඇඟේ ගන්ට දෙයක් නෑ." ආර්යා සතුටින් පැමිණිලි කලාය. ඇය සිය පාදයේ වූ දම්පැහැ ගැන්වුනු විශාල තැලුමක් ඔවුන්ට පෙන්වූවා ය. "ඔයා බොහොම නරක නැට්ටුවෙක් වෙන්ට ඇති." සන්සා සැකසහිත ස්වරයෙන් කීවාය.

භෝජන සංග්‍රහයෙන් පසුව, සන්සා ගායක කණ්ඩායමක් විසින් ගයන්නට යෙදුනු 'මකර නැටුම' නමින් හැඳින්වෙන සැහැල්ලකට සවන් දෙමින් සිටියදී නෙඩ් ආර්යා‍ ගේ තැල්ම පිරික්සා බැලීය. "ෆො‍රෙල් ඕනෑවටත් වඩා ඔයාව මහන්සි කරන්නෑ කියලා මම හිතනවා." ඔහු කීය.

ආර්යා තනි කකුලෙන් සිටගත්තා ය. ඇය මේ වනවිට මනා අයුරින් සමබරතාව රැකගැනීමට උගෙන සිටියා ය. "සිරියෝ කියන්නෙ හැම වේදනාවක්ම පාඩමක් කියලා. හැම පාඩමකින්ම මාව තව තවත් හොඳ වෙනවා කියලා."

නෙඩ් බැම ඇකිළීය. සිරියෝ ෆොරල් වනාහි ඉහළම තත්ත්වයේ නමක් සාදාගෙන තිබුනු සුපිරි සටන් ශිල්පියෙකු විය. එමෙන්ම ඔහු ගේ විචිත්‍ර බ්‍රාවොසි සටන් විලාසය ආර්යා ‍ගේ කෙට්ටු අසිපත හා මනාව ගැලපින. එසේ වුව... දින කිහිපයකට පෙර ඇය කළු පැහැ රෙදි පටියකින් දෑස් බැඳගෙන සෑම තැනම ඇවිදිමින් සිටියා ය. සිරියෝ තමාට කණින්, නාසයෙන් හා සමින් දකින්නේ කෙසේදැයි උගන්වමින් සිටින බැව් ඒ ගැන විමසූ විට ඇය කීවාය. ඊට පෙර ඇය වටයට කරකැවීම් හා පසු පිනුම් පුහුණුවෙමින් සිටියා ය. "ආර්යා, ඔයාට හොඳටම විශ්වාසද ඔයාට මේක දිගටම කරගෙන යන්ට ඕන කියලා?"

ඇය හිස වැනුවා ය. "හෙට අපි යනවා බළල්ලු අල්ලන්ට."

"බළල්ලු!" නෙඩ් සුසුමක් හෙලුවේ ය. "සමහරවිට මේ බ්‍රාවොසියාව ගෙන්නගත්ත එක අත්වැරැදීමක් වෙන්ට ඇති. ඔයා කැමැතිනම් මම ජොරීට කියන්නම් ඔයාට උගන්නන්ටයි කියලා. එහෙමත් නැත්තං මම හෙමින් සැ‍රේ සෙර් බැරිස්ටාන්ගෙන් අහලා බලන්නම්. එයා තරුණ කාලෙ මේ රාජධානි සප්තකයෙම හිටපු දක්ශම කඩුහරඹ කාරයා."

"මට ඒ කවුරුවත් ඕන නෑ. මට ඕන සිරියෝ."

නෙඩ් සිය කෙහෙරැළි අතරින් ඇඟිලි දිවෙවුවේ ය. ඕනෑම හොඳ සටන් පුහුණුකරුවකු මේ විකාර ‍වෙනුවට ආර්යාට පහරදීම් හා පහර වැළැක්වීම් උගන්වනු ඇත. එනමුදු සිය බාල දියණියව මනාව දැන සිටි ඔහු ඒ මුරණ්ඩු මුහු‍ණින් කියැවෙන්නේ කුමක්දැයි හොඳින් වටහාගත්තේ ය. "ඔයාගෙ කැමැත්තක් එ‍හෙනම්." අනිවාර්ය‍යෙන්ම ඇයට ටික දිනක් යනවිට මේවා එපා වනු ඇත. "ඒ වුනාට ඔයා පරිස්සම් වෙන්ට වස්තුවෙ."

"මම එහෙම කරන්නම්." ඇය උඩ පැන දකුණු පයින් වම් පයට මාරු‍වෙමින් පැවසුවා ය.

බොහෝ වේලාවකට පසුව, සිය දියණියන් දෙ‍දෙනාව නැවත ආරක්ෂාකාරීව නිවෙසට කැඳවාගෙන විත් ඔවුන්ව නින්දට යැවූ පසු නෙඩ් ඉහළම මාල‍යේ වූ සිය කාමරය වෙත පිළිපන්නේ ය. දවස උණුසුම් වූ අතර කාමරය තුළ වාතාශ්‍රය මඳ විය. කවුළුව වෙතට ගිය නෙඩ් බරැති පැලැලි පසෙකට කරදැමුවේ කාමරය තුළට සීතල සුළං බිඳක් ලබාගැනීමේ අරමුනිනි. විශාල අංගනයට එහායින් සුළැඟිල්ලා ‍ගේ කාමරවල දිදුලන ඉටිපන්දම් දැල්ල ඔහුට දිස්විය. මේ වනවිට මධ්‍යම රාත්‍රියත් පසුවී තිබුනු අතර ගංඉවුරේ මධුපානෝත්සවය අවසන් වීම ඇරඹී තිබින.

නැවත කිනිස්ස එළියට ගත් ඔහු එය අධ්‍යයනය කලේය. සුළැඟිල්ලාගේ සිරිය, ඔට්ටුවකින් ටිරියන් ලැනිස්ටර් විසින් දිනාගත් සිරිය, බ්‍රැන්ව නින්දේදීම මරා දැමීම පිණිස යැවූ සිරිය. ඇයි? කුරුමිට්ටාට බ්‍රැන් මියයනු දැකීම අවශ්‍ය වූයේ ඇයි? කවරෙකුට හෝ බ්‍රැන් මියයනු දැකීම අවශ්‍ය වූයේ ඇයි?

මේ සිරිය, බ්‍රැන් ගේ වැටීම, මේ සියල්ල කෙසේ හෝ ජොන් ඒරින් ගේ මරණය හා සම්බන්ධකමක් තිබිය යුතුය. ඔහුට එය ඉවෙන් මෙන් හැඟින. එනමුදු ජොන් ඒරින් ගේ මරණය තවමත් අභිරහසක්ව පවතී. ඔහු තවමත් පටන්ගත් තැනමය. ස්ටැනිස් උතුමානන් තරගාවලිය වෙනුවෙන් කින්ග්ස් ලෑන්ඩින්ග්වලට නොපැමිණියේ ය. ලයිසා ඒරින් ඉයරීහි උස් ප්‍රාකාර පිටුපසට වී නිහඬව සැඟවී සිටියි. ජොන් ගේ සහචරයා මියගියේය. ජොරී තවමත් ගනිකා මඩම් පිරික්සමින් සිටියි. රජු ගේ අවජාතකයා හැර ඔහුට තවත් කිසිවක් වෙත්ද?

අර ආයුධ වෙළෙන්දා ගේ බුම්මාගත් ආධුනිකයා රජු ‍ගේ පුතෙකු බවට නෙඩ්ට කිසිදු සැකයක් නොවීය. බරතියන් පෙනුම ඒ මුහුණේ, ඒ දෑසේ, ඒ හණුවල, ඒ තද කළු පැහැ කේශ කලාපයේ හොඳින්ම සටහන් වී ඇත. ඒ වයසේ කොලුවකුට පියා වීමට රෙන්ලි තරුණ වැඩිය. ස්ටැනිස් එවැනි නොහොබිනා ක්‍රියාවක් කිසිදිනෙකත් සිදු නොකරනු ඇත. ‍ජෙන්ඩ්‍රි අනිවාර්ය‍යෙන්ම රොබර්ට් ගේ පුතකු විය යුතුය.

එනමුදු මෙය දැනගත්තා කියා ඔහු සොයාගත් රහස කුමක්ද? රජු ගේ තවත් අවජාතකයින් රැසක් රාජධානි සප්තකය පුරා විසිරී සිටිති. ඔහු විවෘතව පිළිගත්, ඔහු නිසා උසස් කුලීන කාන්තාවකගේ කුසින් බිහිවූ, බ්‍රැන් ගේ වයසේ වූ අවජාතක පුතෙකු මේ වනවිට ‍රෙන්ලි උතුමානන් ගේ නිවාස භාරකරු ‍ගේ රැකවරණය යටතේ ස්ටෝර්ම්ස් එන්ඩ් හි හැදී වැඩෙයි.

රොබර්ට් ගේ පළමු අවජාතක දරුවාද නෙඩ්ට හොඳින් මතකය. ඒ රොබර්ට් කොලුවකුට වඩා යාන්තම් වැඩිමල් වූ වියේදී ඒරින් මිටියාවතේ ඉපදුනු දැරිවියකි. ඇය කෙතරම් සුන්දර සුකොමළ දැරිවියක් වූවාද යත් රොබර්ට් දිනපතාම පාහේ ඇයත් සමග ‍‍සෙල්ලම් කිරීම පිණිස යාම පුරුද්දක් කරගෙන තිබින. දැරිය ගේ මවත් සමග ඔහු ගේ ඇසුර නැවතීමෙන් පසුව පවා ඔහු එහි යාම පුරුද්දක් කරගෙන සිටි‍යේ ය. කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ නෙඩ්ටද මේ ගමන්වලට සහභාගි වීමට සිදු වී තිබින. දැරියට මේ වනවිට දහහතක් හෝ දහඅටක් විය යුතු බැව් ඔහුට මතක් විය. රොබර්ට් ඇයට පිය පදවිය පුදකරන විට ඔහු ඊටත් වඩා ලාබාල වියේ පසුවිය.

පැහැදිලිවම සෙර්සි සිය සැමියා ගේ අවජාතක දරුවන් නිසා සිත කරදර කරගන්නට ඇත. එනමුදු ඔහුට අවජාතකයින් එකකු සිටියද දහසක් සිටියද එයින් කිසිදු අනතුරක් වන්නේ නැත. නීතිය හා චාරිත්‍ර වාරිත්‍ර අනුව අවජාතකයින්ට සමාජයේ හිමිවූයේ ඉතා පහත් ස්ථානයකි. ජෙන්ඩ්‍රි, මිටියාවතේ දැරිය, ස්ටෝර්ම්ස් එන්ඩ්හි සිටින කොලුවා, මේ කිසි‍වෙකු රොබර්ට් ගේ සහජාත දරුවන්ට තර්ජනයක් වන්නේ නැත.

ඔහු ගේ කල්පනාවලිය බිඳ දමමින් දොරට පිටතින් කෙරුනු මෘදු තට්ටු කිරීමක් ඇසින. "මිනිහෙක් ඇවිල්ලා ඉන්නවා ඔබතුමාව මුනගැහෙන්ට ම‍ගේ උතුමානනි." හාර්වින් කීය. "එයා නම කියන්නෙ නෑ."

"එයාව ඇතුළට එවන්ට."

මේ අමුත්තා තර, අබලන් මඩ තැවරුනු බූට්ස් සපත්තු දෙකකින් දෙපා වසාගත්, රළු දුඹුරු පැහැ ලෝගුවක් හැඳියකු විය. ඔහු ‍හිස වසා ජටාවක් පැළැඳ සිටි අතර ලෝගු‍වේ දිගැති අත් අ‍‍තරේ දෑත් සැඟවී ගොස් තිබින.

"උඹ කවුද?" නෙඩ් ඇසීය.

"යාළුවෙක්." අමුත්තා අමුතු පහත් ස්වරයකින් පිළිතුරු දුන්නේ ය. "අපි තනියම කතා කරන්ට අවශ්‍යයි ස්ටාරක් උතුමානනි."

සුපරීක්ෂාකාරීබව මැඩ කුතුහලය නැග ආවේය. "හාර්වින්, පිටවෙන්ට." ඔහු අණ කලේය. ඔවුන් දෙදෙනා දොර පිටුපස තනිවන තෙක් අමුත්තා සිය ජටාව ගැලවූයේ නැත.

"වාරිස් උතුමානනි." නෙඩ් විමතියෙන් කීවේය.

"ස්ටාර්ක් උතුමානනි." වාරිස් කීවේ අසුනකට බර දෙමිනි. "තරහ නැතුව මට බොන්ට මොනවා හරි දෙනවද?"

කුසලාන දෙකකට සමර්වයින් පිරවූ නෙඩ් එකක් වාරිස් අතට දුන්නේ ය. "ඔබට අඩියක් දුරින් පියමං කරලා ගියත් මම ඔබව අඳුරගන්න එකක් නෑ." ඔහු පුදුම‍යෙන් කීය. පණ්ඩකයා සේද, විල්ලූද හා දමස්ක හැරෙන්නට අන් කිසිවකින් සැරසී සිටිනු ඔහු කිසිදා දැක නොතිබින. නිතරම ඔහු ‍වෙතින් හැමූ ලයිලැක් සුවඳ වෙනුවට දැන් ඔහු වෙතින් දහදිය ගඳ හමමින් තිබින.
"ඒක තමා මගේ බලාපොරොත්තුව වුනෙත්. අපි දෙන්නා මෙහෙම රහසේ කතා කලා කියලා සමහර උදවිය දැනගන්න එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. රැජිණ බො‍හොම තදින් ඔබ ගැන ඇහැ ගහගෙනයි ඉන්නෙ. මේ වයින් ‍බොහොම හොඳයි. බොහොම ස්තූතියි!‍"

"ඔබ ‍කොහොමද මගේ අනිත් ආරක්ෂකයින්ගෙන් ගැලවිලා ආවෙ?" නෙඩ් ඇසීය. පෝර්තර් හා කේය්න් ප්‍රධාන දොරටුවට පිටතිනුත්, ඇලන් පඩිපෙළත් රකිමින් සිටින බැව් ඔහු දැන සිටි‍යේ ය.

"රතු බලකොටුව ඇතුළෙ තියෙනවා හොල්මනුයි මකුළුවොයි විතරක් දන්න පාරවල්." වාරිස් සමාව අයැදින අන්දමේ සිනහවක් පෑවේය. "මම වැඩි වෙලාවක් ගන්නෙ නෑ මගේ උතුමානනි. ඔබ දැනගතයුතු දේවල් කීපයක් තියෙනවා. ඔබ රජතුමාගෙ හස්තය. අනිත් එක, රජතුමා මහ මෝඩයෙක්. මම දන්නවා එයා ඔබේ යාළුවා, ඒ වුනත් එයා මහ ‍මෝඩයෙක්... ඒ වගේම එයා විනාශයට කිට්ටු වෙලයි ඉන්නෙ. ඔබ එයාව බේරගත්තෙ නැත්තම්. අද එයා බොහොම කිට්ටුවට ගියා. උං බලාපොරොත්තු වෙලා හිටියෙ මිශ්‍රසටන අතරෙදි රජතුමාව මරන්ට."

සන්ත්‍රාසය නිසා නෙඩ්ට මොහොතක් ගතවන තෙක් කතා කරගත නොහැකි විය. "කවුද?"

වාරිස් සිය වයින් බඳුන තොලගෑවේය. "මම ඔබට ඒකත් කියන්ට ඕනනම් ඔබ රොබර්ට්ටත් වඩා මෝඩ‍යෙක්. ඒ වගේම මම ඉන්නෙ වැරැදි පැත්තෙ."

"ලැනිස්ටර්ලා? රැජිණ? නෑ.... මම ඒක විශ්වාස කරන්නෙ නෑ. සෙර්සි වුනත් එහෙම කරයි කියලා මම හිතන්නෙ නෑ. එයා රොබර්ට්ට කිවුවා සටනට යන්ට එපයි කියලා."

"එයා රොබර්ට්ට තහනම් කලා සටනට යන්ට. එයාගෙ ස‍හෝදරයයි, එයාගෙ නයිට්වරුයි, එයාගෙ රාජසභාවෙන් බාගයකුයි ඉස්සරහා. මට කියන්ට, රොබර්ට්ව මිශ්‍ර සටනට යවන්ට බලකරන්ට ඊට වඩා හොඳ විදියක් තියෙනවද?"

නෙඩ් ගේ බඩ දඟලන්නාක් මෙන් දැනින. පණ්ඩකයා හරියටම නියම ඇණයට මිටිපහර ගසා තිබින. යමක් කල නොහැකියැයි, කිරීම සුදුසු නැතැයි, කල යුතු නැතැයි කවරෙකු හෝ රොබර්ට් බරතියන්ට කියන්නේ නම් ඔහු ඒ වැඩය අනිවාර්යයෙන්ම කරනු ඇත. "එයා සටන් වැදුනත් කවුද එඩිතර වෙන්නෙ රොබර්ට්ට පහරදෙන්ට?"

වාරිස් දෙවුර ඇකිලීය. "එතන සටන්කරුවො හතලිහක් හිටියා. ලැනිස්ටර්ලාට හැමතැනම යාළුවො ඉන්නවා. අර ඔක්කොම කලබල අස්සෙ, අශ්වයො කෑ ගහන අස්සෙ, ඇටකටු පොඩිවෙන අස්සෙ, තොරෝස් මිනිහගෙ අර විකාර ගිනිකඩුව වනන අස්සෙ කා‍‍ගෙ හරි පහරකින් රජතුමා මළොත් කාටද කියන්ට පුළුවන් ඒක මිනීමැරුමක් කියලා? වැඩේ වුනාට පස්සෙ මිනීමරුවා බොහොම ලස්සනට රඟපායි. මට ඇහෙනවා ඇහෙනවා වගේ මිනිහා දුකෙන් වැළපෙන සද්දෙ. ඒ වුනත් මට කිසිම සැකයක් නෑ රජතුමාගෙ දුප්පත් වැන්දඹුව ඒ අහිංසකයට සමාව දෙයි. අපේ හොඳ රජතුමා ජොෆ්රි ඒ අහිංසකයාට රාජකීය සමාවක් ප්‍රදානය කරයි. එ‍හෙමත් නැත්තං සෙර්සි සෙර් ඉලියන්ට කියයි අරූගෙ බෙල්ල කපන්ටයි කියලා. ඒක ලැනිස්ටර්ලාගෙ අවදානම තවත් අඩු කරනවා. එයාලගෙ අහිංසක යාළුවටනම් ඒක ලොකු පුදුමයක් වෙයි."

සිය කේන්තිය නැග එනු නෙඩ්ට දැනින. "ඔබ මේ කුමන්ත්‍රණය ගැන දැනගෙන හිටියා. ඒ වුනත් ඔබ කිසිම දෙයක් කලේ නෑ."

"මම අණදෙන්නෙ රහස් කොඳුරන එවුන්ට. රණකාමීන්ට නෙවෙයි."

"ඔබ මීට කලින් මාව මුනගැහෙන්ට එන්ට තිබුනා."

"හරි මම එ‍‍හෙම කලා කියමුකො. එතකොට ඔබ මොකක්ද කරන්ට යන්නෙ? ඔබ පණිවුඩෙත් අරන් දුවලා යයි රජතුමා ගාවට. ඔවු නේද? රොබර්ට්ට මේක අහන්ට ලැබුනහම එයා මොනා කරයිද?"

නෙඩ් මොහොතක් සිතා බැලීය. "එයා කියයි උං හැමෝම යකාට ගියාවෙ කියලා. ඊටපස්සෙ එයා සටනට යයි එයා උංට බය නෑ කියලා පෙන්නන්ට."

'මම කිවුවා නේද' යි අසන්නාක් මෙන් වාරිස් දෑත් දිගහැරියේ ය. "මම තව කාරණයක් කියන්නම් එඩාර්ඩ් උතුමානනි. මට කුතුහලයක් තිබුනා ඔබ මොකක් කරයිද කියලා බලාගන්ට. ඔබ මගෙන් ඇහුවා 'ඇයි කලින් මගේ ගාවට ආ‍වෙ නැත්තෙ' කියලා. ඒ මොකද කියනවා නම් මම ඔබව විශ්වාස කලේ නැහැ මගේ උතුමානනි."

"ඔබ මාව විශ්වාස කලේ නෑ?" නෙඩ් අවංකවම තුශ්නීම්භූත වී ගියේය.

"රතු බලකොටුවෙ ජාති දෙකක මිනිස්සු ඉන්නවා එඩාර්ඩ් උතුමානනි. රාජධානියට පක්ෂපාතී අයයි, තමන්ට විතරක් පක්ෂපාතී අයයි. අද උ‍දේ වෙනකම් මම දැනගෙන හිටියෙ නෑ ඔබ කොයි ජාතියෙ කෙනෙක්ද කියලා... ඉතින් ඒ නිසා මම නැවතිලා බලන් හිටියා... ඉතින් දැන් මම සැකයක් නැතුවම දන්නවා." ඔහු පුළුල් සිනහවක් පෑවේය. "මට තේරුම් යන්ට පටන් අරන් තියෙනවා ඇයි රැජිණ ඔබට මෙච්චර බය කියලා."

"ඇය වැඩියෙන්ම බයවෙන්ට ඕන ඔබටයි." නෙඩ් කීය.

"නෑ. මම මම විතරයි. රජතුමා මාව පාවිච්චි කරනවා. ඒත් එයා ඒ ගැන ලැජ්ජා වෙනවා. අපේ රොබර්ට් කියන්නෙ බොහොම ප්‍රබල රණශූරයෙක්. ඒ වගේ කෙනෙක් ඔත්තුකාරයින්ටයි, රහස් කෙඳිරිලිවලටයි, නපුංසකයින්ටයි කැමැත්තක් දක්වන්නෙ නෑ. එක දවසක සෙර්සි කෙඳිරිගෑවොත් 'අරූව මරන්ට' කියලා ඊළඟ තත්පරේ ඉලියන් පේය්න් මාව හොයන් ඇවිත් මගේ ඔළුව රිටක අමුනයි. එතකොට කවුද මේ දුප්පත් වාරිස් ගැන කණගාටු වෙන්නෙ? උතුරෙවත් දකු‍ණෙවත් කවුරුවත් මකුළුවො ගැන සින්දු කියන්නෙ නෑ." අත දිගු කල ඔහු නෙඩ්ව ස්පර්ෂ කලේය. "ඒ වුනත් ඔබ ස්ටාර්ක් උතුමානනි... මම හිතනවා... නෑ, මම සහතිකෙන්ම දන්නවා... එයා කොහොමවත් ඔබව මරන්නෙ නෑ. එයාගෙ රැජිණ වෙනුවෙන් වත්. අන්න එතැනයි අ‍පේ ගැලවීම තියෙන්නෙ."

මේ සෑම දෙයක්ම ඔනෑවටත් වඩා වැඩිවිය. එක් මොහොතකට එඩාර්ඩ් ස්ටාර්ක්ට නැවත උතුර බලා යාමට සිතින. සරල, චාම්, අවංක, ශීතකාලය හා ප්‍රාකාරයෙන් එහා වසන වනචාරීන් පමණක් තමන් ගේ සතුරන් වන ආදරණීය උතුර. "කිසි සැකයක් නෑ රොබර්ට්ට තවත් ළඟ යාළුවො ඇති." නෙඩ් විරෝධය පෑවේය. "එයාගෙ ස‍හෝදරයො, එයාගෙ-"

"-බිරිඳ?" වාරිස් උපහාසාත්මක සිනහවකින් යුතුව වාක්‍යය අවසන් කලේය. "ඇත්ත, එයාගෙ සහෝදරයො ලැනිස්ටර්ලාට වෛර කරනවා. ඒ වුනත් රැජිණට වෛර කරනවා කියන එකයි රජතුමාට ආදරය කරනවා කියන එකයි දෙකක්. එහෙම නේද? සෙර් බැරිස්ටාන් එයාගෙ ගෞරවයට ආදරය කරනවා. ප්‍රධාන මේස්ටර් පයිසෙල් එයාගෙ තනතුරට ආදරය කරනවා. සුළැඟිල්ලා සුළැඟිල්ලාට ආදරය කරනවා."

"රාජ්‍යාරක්ෂක බලකාය?"

"ඒක නිකංම නිකං කඩදාසිවලින් හදාපු පලිහක් විතරයි. ඔච්චරම පුදුමවෙන්ට එපා ස්ටාර්ක් උතුමානනි. ජේමි ලැනිස්ටර් කියන්නෙත් දිවුරුම් දුන්න සුදු සළුවක්. ඒ වුනත් අපි හැමෝම දන්නවා එයාගෙ දිවුරුම කොච්චර වටිනවද කියලා. රයම් රෙඩ්වින් නැත්තං මකර නයිට්වර ඒමන් කුමාරයා වගේ අය සුදු සළු ඇඳපු කාලෙ ගියා. දැන් එහෙම අය ඉන්නෙ සින්දුවල විතරයි. මේ හත්දෙනාගෙන් සෙර් බැරිස්ටාන් සෙල්මි විතරයි හරිහමන් රාජ්‍යාරක්ෂක නයිට්කෙනෙක් කියන්ට ඉන්නෙ. ඒ වුනත් සෙල්මි දැන් නාකියි. සෙර් බොරෝසුයි සෙර් මෙරිනුයි ඇටකටුවලට යනකම්ම රැජිණගෙ මිනිස්සු. අනිත් අය ගැනත් මට ලොකු සැක තියෙනවා. නෑ ම‍ගේ උතුමානනි, අන්තිමේදී කට්ටියම කඩු ඇදගන්න වෙලාව ආවහම ඔබ විතරයි රොබර්ට් බරතියන්ට ඇත්ත යාළුවෙක් කියලා ඉන්නෙ."

"මේ දේවල් රොබර්ට්ට කියන්ට ඕනමයි. ඔබ කියන මේ ‍දේවල් ඇත්තක් නම්, ඔබ කියන දේවලින් කොටසක් හරි ඇත්ත නම්, රජතුමා මේ ගැන දැනගන්ටම ඕන."

"මොනාද අපි එයා ඉස්සරහට අරන් යන සාක්කි? එයාලට විරුද්ධව මගේ වචනද? රැජිණටයි, රජුන් මරන්නාටයි, රජතුමාගෙ සහෝදරයින්ටයි, රාජසභාවටයි, බටහිරයි නැගෙනහිරයි ආරක්ෂකයින්ටයි, කාර්ස්ටලී රොක්වල බලයටයි විරුද්ධව මගේ පුංචි කුරුල්ලො දාන්ටද? ඊට වඩා හොඳයි කෙලින්ම ඉලියන් පේය්න්ට එන්ට කියලා යවනවා. ඒකෙන් අපි හැමෝටම කා‍ලෙ ඉතිරි ‍වෙයි. මම දන්නවා ඔය පාර ‍කොහෙන්ද ඉවර වෙන්නෙ කියලා."

"ඒ වුනත්, ඔබ කියපු දේවල් ඇත්තනම් උං කල් මර මර ඉඳලා තවත් උත්සාහයක් ගනියි."

"අනිවාර්යයෙන්ම. වැඩිකල්යන්ට කලින්ම ඒක වෙයි කියලා මට බයයි. ඔබ නිසා උං දැන් තවත් නොසන්සුන් වෙලයි ඉන්නෙ එඩාර්ඩ් උතුමානනි. ඒ වුනත් මගේ පුංචි කුරුල්ලො කණ් දීගෙනයි ඉන්නෙ. අපි දෙන්නා එකතුවුනොත් උං හැරෙනකොට අපට කියන්ට පුළුවන් ‍වෙයි." නැගී සිටි ඔහු නැවත ජටාව පැළැඳ ගත්තේ ය. "වයින් වලට ‍‍බොහොම ස්තූතියි! අපි ආයෙමත් වෙලාවක කතා කරමු. ඊළඟ පාර රාජසභාවෙදි මාව මුනගැහුනම ඔබ හැමදාම කරන විදියට අවඥාවෙන් මා දිහා බලන්ට. ඒක ඔබට අමාරුවක් වෙන එකක් නෑ."

ඔහු දොර අසලට යද්දී නෙඩ් කතා කලේය. "වාරිස්." පණ්ඩකයා ආපසු හැරින. "කොහොමද ජොන් ඒරින් මැරුනෙ?"

"මම කල්පනා කර කර හිටියෙ ඔබ කොයිවෙලාවෙ ඔතැනට එයිද කියලා."

"කියන්ට."

"ඒකට කියන්නෙ 'ලයිස් වල කඳුළු' කියලයි. බොහොම දුර්ලභ, බොහොම මිල අධික වස වර්ගයක්. වතුර වගේ, පාටක් නෑ රසක් නෑ. කිසිම සලකුණක් ඉතුරු කරන්නෙත් නෑ. මම ඒරින් උතුමානන්ගෙන් බැගෑපත්ව ඉල්ලලා හිටියා කෑම පරීක්ෂා කරන කෙනෙක් පත්කරගන්ටයි කියලා. මේ කාමරේ ඉඳන්ම මම ඉල්ලා හිටියා. ඒ වුනත් ඒ ගැන හිතන්ටවත් එයා කැමැති වුනේ නෑ. එයා කිවුවෙ මිනිහෙකුට වඩා බොහොම පහත් එ‍කෙක් ඇරෙන්ට වෙන ‍කෙනෙක් එහෙම දෙයක් ගැන හිතන්නෙ නෑ කියලයි."

නෙඩ්ට සෑම සෙයක්ම දැනගැනීමට අවශ්‍ය විය. "කවුද එතකොට එයාට වස දුන්නෙ?"

"කිසිම සැකයක් නෑ, එයත් එක්ක එකට කෑම කාපු, එකට බීම බීපු ළඟම යාළුවෙක්. ආහ්! ඒත් කවුද? එහෙම අය ගොඩක් හිටියා. ඒරින් උතුමානන් කියන්නෙ බොහොම කරුනාවන්ත, හැමදෙනාවම විශ්වාස කරපු කෙනෙක්." පණ්ඩකයා සුසුමක් ‍හෙලීය. "එක කොල්ලෙක් හිටියා. එයාට තිබුනු හැම දෙයක්ම වෙනුවෙන් එයා ජොන් ඒරින්ට ණයගැතියි. ඒ වුනත් වැන්දඹු ඒරින් ආර්යාව එයාගෙ සේවකයින් එක්ක ඉයරිවලට පැනලා යද්දී එයා කින්ග්ස් ලෑන්ඩින්ග්වල නැවතුනා. එයා බොහොම ඉහළට ගියා. මේ ලෝකෙ තරුණ‍යො ඉහළ නගින එක දැකීම මට හැමවෙලාවෙම ලොකු සතුටක්." ඔහු ගේ සෑම වදනක්ම කස පහරක් මෙන් ලෙලදුනි. "එයා තරගාවලියෙදි බොහොම නිර්භීත විදියට සටන් කරන්ට තිබුනා. එයාගෙ අලුත් දිලිසෙන සන්නාහයයි, අර අඩසඳවල් ගෙත්තම් කරපු සළුවයි. ඔබ එයාට කතා කරන්ට කලින් එයා නොහිතපු විදියට මැරුන එක ‍‍බොහොම ලොකු කනගාටුවට කාරණයක්..."

තමාටත් වස දී ඇත්තාක් මෙන් නෙඩ්ට දැනින. "එයාගෙ සහචරයා. ‍සෙර් හියු." ඇතුළත් ගැට, පිටත් ගැට. ‍මේ සැම වටකරමින් තවත් ගැට. ඔහු ‍ගේ හිස බමන්නට විය. "ඇයි? ඇයි දැන්? ජොන් ඒරින් අවුරුදු දාහතරක් තිස්සෙ රජතුමාගෙ හස්තය වෙලා හිටියා. උංට එයාව මරලා දාන්ට තරම් එයා මොකක්ද කලේ?"

"එයා ඕන නැති ප්‍රශ්න අහන්ට පටන්ගත්තා." වාරිස් කීවේ ‍දොරින් පිටවෙමිනි.


Eddard Stark: “None of us is ever ready.”
Barristan Selmy: “For knighthood?”
Eddard Stark: “For death.”

Wednesday 29 October 2014

එඩාර්ඩ් 07-2

දඩබල්ලා - සැන්ඩෝර් ක්ලිගේන්

මේ සුබදායක සිතුවිලි විසින් අද උදෑසන ආහාරය එඩාර්ඩ් ස්ටාර්ක් බොහෝ කලකට පසු ගත් රසවත්ම අහර වේලක් බවට පත්කලේ ය. ඔහු‍ ගේ සිනාවද පෙරට වඩා ප්‍රබෝධවත් හා නිතර දැකිය හැක්කක් විය. අඩුම ගනනේ තරගාවලිය ඇරඹෙන තෙක් වත් එය එසේ විය.

නෙඩ් රජුත් සමග තරග පිටියට ඇවිද ගියේය. අවසන් සටන් කිහිපය නැරඹීමට ඇය හා එක්වන බවට ඔහු සන්සාට පොරොන්දු වී තිබින. සෙප්ටා මෝර්ඩේන් අසනීප තත්ත්වයෙන් සිටි අතර අසරු පොරයේ අවසානය කෙසේ හෝ නැරඹීමට සන්සා දැඩිව අදිටන් කරගෙන තිබින. රජතුමාව ඔහුට හිමි ආසනය වෙත කැඳවාගෙන යන අතර අද දිනයේ තරග නැරඹීමට සෙර්සි ලැනිස්ටර් පැමිණ නොමැති බැව් ඔහු නිරීක්ෂණය කලේය. රජු ගේ අසුනට අනිත් පසින් වූ අසුන හිස්ව තිබින. මෙයද නෙඩ් ගේ සිතේ යහපත් බලාපොරොත්තු ඇතිකරලීමට සමත් විය.

සෙනග පීරාගෙන සිය දියණිය අසුන් ගෙන සිටි ස්ථානයට පිවිසුනු නෙඩ් අසුනේ වාඩි වෙද්දීම වාගේ දිනයේ පළමු අසරු පොරය සඳහා හොරණෑ නාද විය. සන්සා ගේ සිත කෙතරම් දුරට තරගය කෙරෙහි ඇදී ගොස් තිබුනාදැයි කිවහොත් ඔහු ගේ පැමිණීම පවා ඇය නොදත්තා ය.

සැන්ඩෝර් ක්ලිගේන් පළමුව පිටියට අවතීර්ණ විය. සිය දැළි පැහැති සන්නාහයට උඩින් ඔහු ඔලිව් කොළ පැහැ සළුවක් පැළැඳ සිටියේ ය. එය සහ ඔහු ගේ සුනඛ හිස් ශිරස්කය හැරෙන්නට අන් කිසිදු අලංකරණ ආයිත්තමක් ඔහු පැළැඳ නොසිටියේ ය.

"රජුන් මරන්නා වෙනුවෙන් රන්කාසි සීයයි!" සිය උත්තුංග ලේ රතු පැහැ සෛන්ධවයා පිට නැගුනු ජේමි ලැනිස්ටර් තරග පිටියට ඇතුළුවෙද්දී සුළැඟිල්ලා මහහඬින් නිවේදනය කර සිටියේ ය. ඔහු ගේ සෛන්ධවයා රන් ආලේපිත මුදු දම්වැල් සන්නාහයකින් සරසා තිබූ අතර ජේමි හිසේ සිට දෙපතුල දක්වාම රන් පැහැයෙන් බැබලින. ඔහු ගේ ලන්සය පවා ගිම්හාන දූපත්වලින් ගෙන්වන ලද රන් පැහැ දැවයෙන් නිම කෙරුනක් විය.

"ඔට්ටුයි!" රෙන්ලි උතුමානන් අභියෝගය බාරගත්තේ ය. "දඩබල්ලාගෙ අද උදේ බොහොම බඩගිනිකාර පෙනුමක් තියෙන්නෙ."

"බඩගිනිකාර බල්ලො වුනත් දන්නවා තමන්ට කන්ට දෙන අත හපාකන්ට හොඳ නෑ කියලා." සුළැඟිල්ලා ඇනුම්පද ස්වරයෙන් පිළිතුරු දුන්නේ ය.

හඬක් නැගෙන අයුරින් සිය දෑස්වැස්ම පහත හෙලාගත් දඩබල්ලා සිය තරගාරම්භක ස්ථානයට ප්‍රවිශ්ට විය. නරඹන්නන් අතර සිටි කවු‍රුන් හෝ කෙල්ලකට චුම්බනයක් පා කර හැරි සෙර් ජේමි සෙමෙන් සිය දෑස්වැස්ම පහත් කරගත්තේ තමා ගේ අන්තය ගත්තේ ය. මිනිසුන් දෙදෙනාම සිය ලන්ස තිරස්ව හරවා ගත්තෝ ය.

ඔවුන් දෙදෙනාම පරදිනු දැකීම තරම් අන් සතුටක් නෙඩ් ගේ සිතේ නොවීය. එනමුදු සන්සා තෙත් වූ දෑසින් හා දැවෙන උද්‍යෝගයකින් යුතුව සටන දෙස ඇසිපිය නොහෙලා බලා සිටියා ය. සෛන්ධවයින් දෙදෙනා කෙමෙන් සිය වේගය වැඩිකර ගනිමින් පිම්මේ ඉදිරියට ඇදෙද්දී සිය අසුන් අග්ගිස්සෙහි කෙලින් වාඩි වී, නිය සපමින් නොසන්සුන්ව බලා හුන් ප්‍රේක්ෂක ජනතාව අතර වෙවුලීමක් පැතිර ගියේය. නොසැලෙන දැඩි අතකින් සිය ලන්සය තිරස්ව තබා ගත් දඩබල්ලා මඳක් ඉදිරියට නැඹුරු වූ මුත් ගැටුමට ඔන්න මෙන්න කියා තිබියදී ජෙමී සිය අසු මත මඳක් එහා මෙහා වූයේය. ක්ලිගේන් ගේ ලන්සය කිසිදු අනතුරක් නොකොට සිංහ රුවකින් සැරසුනු පලිහ මතින් ලිස්සා යද්දී ජේමි ගේ ලන්සය හරි ඉලක්කයටම වැදුනේ ය. දැවයෙන් නිම වූ තරග ලන්සය කීතු කීතු වී යද්දී සිය අසු මත රැඳී සිටීම සඳහා දඩබල්ලාට මහත් වෙහෙසක් දැරීමට සිදු විය. සන්සා අමාරුවෙන් හුස්මක් අල්ලාගත් අතර සාමාන්‍ය ජනයා අතර ඔල්වරසන් හඬ පැතිර ගියේය.

"මම මේ කල්පනා කරන්නෙ කොහොමද ඔබේ රන්කාසි ටික වියදම් කරන්නෙ කියලා." සුළැඟිල්ලා රෙන්ලි උතුමානන්ට ඇසෙන්නට කීවේය.

කෙසේ වුවද සිය අසු මත රැඳී සිටීමට දඩබල්ලා සමත් විය. වැරෙන් සිය අසු හරවාගත් ඔහු දෙවන වටය සඳහා තරගාරම්භක ස්ථානයට ප්‍රවිශ්ට විය. කැඩුනු ලන්සය වීසිකර දැමූ ජේමි ලැනිස්ටර් සිය සහචරයා සමග විහිළු කරමින් අලුත් ලන්සයක් ලබා ගත්තේ ය. දඩබල්ලා මෙවර වේගවත් පිම්මකින් අසු ඉදිරියට මෙහෙයවීය. ලැනිස්ටර් ඔහු හමුවීමට ඉදිරියට ගියේය. මෙවර ජේමී සිය අසුනේ එහා මෙහා වූ විට දඩබල්ලා ඒ අනුව සිය ලන්සයද එහා මෙහා කලේය. ලන්ස දෙකම එකිනෙක ඉලක්කය මත හැප්පුනේ මහත් හඬක් නැගීය. අසු කුර මගින් නැගුනු දුහුවිල්ල මැකී යද්දී දක්නට ලැබුනේ ලේ රතු පැහැ අසෙකු ඉවතට දිවයද්දී සෙර් ජේමි ලැනිස්ටර් බිම වැතිර සිටින ආකාරයයි.

"මම දැනන් හිටියා දඩබල්ලා දිනනවා කියලා." සන්සා උද්දාමයෙන් කෑගැසුවා ය.

සුළැඟිල්ලාට මෙය ඇසින. "ඔබ දන්නවානම් කවුද දෙවෙනි තරගෙන් දිනන්ට යන්නෙ කියලා, දැන්ම කියන්ට. නැත්තං රෙන්ලි උතුමානන් මාව සුද්ද කරයි." ඔහු ඇයට කීවේය. නෙඩ් සිනහවක් පෑවේය.

"පුංචි යකා අද මෙතැන නැති එක කණගාටුවට කාරණයක්." රෙන්ලි උතුමානන් කීය. "එහෙමනං මට දෙගුණයක් සල්ලි හොයන්ට තිබුනා."

ජේමි ලැනිස්ටර් දෙපයින් නැගිට සිටියේ ය. එනමුදු වැටීම නිසා ඔහු ගේ සිංහ හිස්  ශිරස්කය තැලී ඇදවී ගොස් තිබුනු අතර එය ගලවාගැනීම කල හැක්කක් නොවීය. සාමාන්‍ය ජනතාව එදෙසට ඇඟිලි දිගුකරමින් හූ තලමින් සිනාසුනු අතර වංශාධිපතීන් හා වංශාධිපතිනියන් සිය සිනා මැඩගැනීමට අසාර්ථක උත්සාහයක නිරත වූහ. මේ සියලු හඬවල් අභිබවමින් රොබර්ට් රජතුමා කොක්හඬලා සිනාසෙන අන්දම නෙඩ්ට අසන්නට ලැබින. අන්තිමේදී ඔවුන්ට ලැනිස්ටර් සිංහයා කම්මල්කරුවකු වෙත කැඳවාගෙන යාමට සිදුවිය.

මේ වනවිට සෙර් ග්‍රෙගර් ක්ලිගේන් සිය තරගාරම්භක ස්ථානයට වාර්ථා කර තිබින. ඔහු දැවැන්ත, එඩාර්ඩ් ස්ටාර්ක් මෙතෙක් කලකට දැක ඇති දැවැන්තම මිනිසා විය. රොබර්ට් බරතියන් හා ඔහු ගේ සොයුරන් සැවොම දැවැන්ත මිනිසුන් වූහ. දඩබල්ලාද දැවැන්තයෙකු විය. වින්ටර්ෆෙල්හි සිටින හොඩෝර් නමැති මන්දමානසික ඉස්තාල කොලුවා මේ සැවොම පරදවන දැවැන්තයකු විය. එනමුදු 'අසු පිට යන කන්ද' යන නමින් හැඳින්වෙන මේ නයිට්වරයා හොඩෝර්ටද වඩා උසැති යෝධයකු විය. ඔහු අඩි අටකට ආසන්න උසකින් යුතු, උත්තුංග දසරුවකින් හා ගස් කඳන් සිහි ගන්වන අන්දමේ අතපය ඇති යෝධයකු විය. ඔහු ගේ ප්‍රමාණය කෙතරම්ද යත් ඔහු නැග සිටි යුධ සෛන්ධවයා පෝනියකු මෙන් දිස් වූ අතර සුරතේ රැඳි ලන්සය කොසුමිටක් මෙන් දිස් විය.

ග්‍රෙගර් ක්ලිගේන්

සෙර් ග්‍රෙගර් ඔහු ගේ සොයුරු සැන්ඩෝර් මෙන් රාජසභාවේ දිවි ගෙවූවකු නොවීය. යුද්ධ හා තරගාවලින්ට සහභාගි වීම පිණිස හැර සිය වතුපිටිවලින් බැහැර නොගිය ඔහු හුදෙකලා මිනිසකු විය. කින්ග්ස් ලෑන්ඩින්ග් වැටෙද්දී ඔහු ටයිවින් උතුමානන් සමීපයේ සේවය කල දහහත් හැවිරිදි නවක නයිට්වරයකු වූ අතර ඒ වනවිටද සිය ශරීර ශක්තිය, ශරීර ප්‍රමාණය හා සාහසික රෞද්‍රභාවය නිසා නමක් දිනා සිටියකු විය. ‍රේගාර් ගේ බිළිඳු පුත් කුමරුවා වූ ඒගොන් ටාර්ගේරියන් දෙකකුලින් ගෙන බිත්තියක ගසා හිස සුනුවිසුනු කර දැම්මේ ග්‍රෙගර් බව මිනිසුන් අතර පැවැති කතාබහ විය. එයින් පසු රේගාර් ගේ බිරිඳ හා කුඩා කුමරුවා ගේ මව වූ ඩෝර්නිෂ් කුමරියක වන ඊලියා මාර්ටෙල්ව දූෂණය කල ඔහු ඇගේ ගෙල කපා මරා දැමූ බවද මිනිසුන් අතර කතාකෙරුනු පොදු ඕපාදූපයක් විය. කෙසේ වුවද මේ කිසිවක් ග්‍රෙගර්ට ඇසෙන මානයේ දී කතානොකිරීමට මිනිස්සු පරෙස්සම් වූහ.

මේ මිනිසා සමග තමා කිසිදා කතාබහ කර ඇති බවක් නෙඩ් ගේ මතකයේ නොවීය. බේලන් ග්‍රේජෝයි ගේ කැරැල්ල සමයේ ඔවුන් එක්ව යුධ පිණිස ගොස් තිබුනද ග්‍රෙගර් යනු දහසක් නයිට්වරුන් අතරින් එක් අයකු පමණක් විය. ඔහු ග්‍රෙගර් දෙස නොඉවසිලිවන්ත බැල්මක් හෙලීය. නෙඩ් සාමාන්‍යයෙන් ඕපාදූපවලට සවන් දෙන්නකු නොවූවද සෙර් ග්‍රෙගර් සම්බන්ධයෙන් පැවසූනු බොහෝ දේ සාමාන්‍ය අසුභ කතාවලට වඩා වැඩි දෙයක් විය. ඔහු නුදුරු අනාගතයේදීම තෙවන වතාවටද විවාහ වීමට නියමිතව සිටි අතර ඔහු ගේ මුල් බිරින්දෑවරුන් දෙදෙනා ගේ මරණ පිළිබඳ නපුරු රහස් කෙඳිරීම් රැසක් අසන්නට ලැබී තිබින. ඔහු ගේ බලකොටුව ක්‍රෑර භයානක ස්ථානයක් වූ අතර එහි විසූ සමහර සේවකයින් හදිසියේම අතුරුදන් වීම සාමාන්‍ය දෙයක් විය. ඔහු ගේ ප්‍රධාන ශාලාවට ඇතුළුවීමට නිවැසි සුනඛයින් පවා බිය වූහ. ඔහු ‍ගේ සොයුරිය ලාබාල වියේදීම මියගොස් තිබුනේ අස්වාභාවික තත්ත්ව යටතේ විය. එමෙන්ම ඔහු ගේ බාල සොයුරාව විරූපී කල ඒ ගින්න ගැන මෙන්ම ඔවුන් ගේ පියා මියගිය, දඩයම් සවාරියක් අතරතුරේදී සිදු වූ ඒ අනතුර ගැනද සැක මතුවී තිබින. පියා ගේ වියොවත් සමගින් ග්‍රෙගර්ට බලකොටුවද, රත්රන්ද, වතුපිටි සියල්ලද උරුම විය. එදිනම සිය නිවෙසින් පිට වූ ඔහු ගේ බාල සොයුරා සැන්ඩෝර් ලැනිස්ටර්වරුන් සමීපයේ සේවයට බැඳුනේ ය. එදා එදායින් පසු ඔහු මේ වනතෙක්, අඩුම තරමේ සංචාරයක් සඳහාවත් සිය නිවෙසට ගොඩ නොවැදුනු බව ප්‍රසිද්ධ රහසකි.

කුසුම් නයිට්වරයා සිය තරග අන්තය වෙත අසු මෙහෙයවද්දී නරඹන්නන් අතර මුනුමුනුවක් පැතිර ගියේය. "අනේ! එයා හරිම ලස්සනයි!" සන්සා ගේ උද්‍යෝගීමත් මිමිනීමද නෙඩ්ට ඇසින. සෙර් ලෝරාස් ටිරල් බටගසක් මෙන් හීන්දෑරී වූ අතර එකට ගෙතුනු වයින් රිකිලි හා කුඩා ෆොර්ගෙට්-මී-නොට් මල්වලින් අලංකාර කල අනන්තයටම ඔප දැමූ සුන්දර රජතමය සන්නාහයකින් සැරසී සිටියේ ය. මේ නිල් පැහැ මල් සැදී තිබුනේ සිය ගණනක් ඉඳුනිල් මිණෙන් බැව් නෙඩ් මෙන්ම අනිකුත් ජනයාද එකවර වටහාගත්තේ දහසක් මුවින් එකවර අසීරු හුස්මක් ඉහළට ඇදින. මේ කොලුවා ගේ උරහිසේ දැවටී තිබුනු බරැති සළුව නිමාවී තිබුනේ ඝනකම් ලොම් රෙද්දකට තබා මසන ලද සිය ගණනක් වූ සැබෑ ෆොර්ගෙට්-මී-නොට් මල්වලිනි.

ඔහු නැගී සිටියේද අසරුවා මෙන්ම හීන්දෑරී, වේගය වෙනුවෙන්ම නිර්මානය කෙරුනු, සුන්දර අළු පැහැ වෙළඹක් මත විය. ඇගේ ඉව වැටුනු සෙර් ග්‍රෙගර් ගේ දැවැන්ත යුධ සෛන්ධවයා මහ හඬින් හේෂාරවය කරන්නට විය. හයිගාර්ඩ්න්හි සිට පැමිණි කොලුවා වෙළඹට පයින් ඇන සන් කල අතර ඇය සුන්දර නර්තන ලීලාවකින් උජාරු අඩි තබමින් පැත්තෙන් පැත්තට ඇවිද යන්නට වූවාය. සන්සා නෙඩ් ගේ සුරතේ එල්ලුනා ය. "අනේ තාත්තෙ, සෙර් ග්‍රෙගර්ට එයාට හානියක් කරන්ට දෙන්ට එපා." ඇය කීවාය. සෙර් ලෝරාස් විසින් ඇයට පුදදුන් රතු රෝසමල ඇය අද දිනයේ පැළැඳගෙන සිටින බැව් ඔහු නිරීක්ෂණය කලේය. ජොරී මේ සෑම විස්තරයක්ම ඔහුට පවසා තිබින.

"මේවා තරගවලට පාවිච්චි කරන ලන්ස. ඒවා හැප්පුනාම පතුරු යන්ටයි හදලා තියෙන්නෙ. ඒ නිසා කාටවත් හානියක් වෙන්නෙ නෑ." එනමුදුඅද උදෑසන කරත්තයේ බහා තිබුනු, අඩසඳ හැඩ‍වලින් හැඩ කෙරුනු සළුවකින් වැසුනු, තරුණයා ගේ මළකඳ ඔහුට සිහිපත් වූ අතර වදන් උගුරේ සිරවී ගියේය.

සෙර් ග්‍රෙගර් මේ වනවිට සිය අසු පාලනය කරගැනීමේ අසීරුතාවකින් පෙළෙමින් සිටියේ ය. සෛන්ධවයා මහහඬින් හේෂාරවය කරමින්, හිස දෙපසට වනමින්, කුරයෙන් බිම පහුරුගාමින් සිටියේ ය. නයිට්වරයා සිය අසුට සන්නාහය ලූ පයින් වැරෙන් පහරක් දුන් අතර අසු ඇකිළී ගියේ ඔහුව පිටමතින් වීසිකර දැමීමට තැත් කලේය.

රජුට ආචාර කල කුසුම් නයිට්වරයා තරගපිටියේ ඈත කොණට ගොස් සිය ලන්සය පහත් කරගත්තේ ය. සෙර් ග්‍රෙගර් තවමත් සිය අසු පාලනය කරගන්නට දඟලමින් උන්නේ ඌව සටන් පථයට රැගෙන ආවේය. ඊළඟ මොහොතේ සටන ඇරඹින. ග්‍රෙගර් ගේ සෛන්ධවයා චණ්ඩ අයුරින් පිම්මේ ඉදිරියට පිනූ අතර ලෝරාස් ගේ වෙළඹ සේද මෙන් සුමුදුව අඩි තබමින් පියාඹා ආවාය. සෙර් ග්‍රෙගර් සිය පලිහ නියමිත අයුරින් ස්ථානගත කරගෙන ලන්සය ඉදිරියට දිගු කරගෙන හුන් නමුදු සිය වියරු වැටුනු අසු තනි රේඛාවක ධාවනය කරවීමට නොතිත් උත්සාහයක් දරමින් හුන්නේ ය. ඊළඟ මොහොතේ ලෝරාස් ටිරල් ඔහු මත කඩාපැන්නේ සිය ලන්ස තුඩ හරියටම නියමිත ඉලක්කය මත ස්ථානගත ක‍ල අතර ඇසිපිය ගසන පමාවෙන් කන්ද කඩා හැලෙන්නට විය. සෙර් ග්‍රෙගර් කෙතරම් විසල් දැවැන්තයෙකු වීද යත් ඔහු බිම වැටුනේ තනිවම නොවීය. ඒ සමගින් ඔහු ගේ අසුද සන්නාහය හඬ නංවමින් දැවැන්ත මාංශ පොදියක් මෙන් බිම පතිත විය.

අත්පොළසන්, ඔල්වරසන්, ප්‍රීත්‍රිඝෝෂා, සියුරුහඬලෑම්, මිමිනීම් මේ සියල්ලෙන් තරගපිටිය වැසී ගියේය. එනමුදු මේ සැමට ඉහළින් දඩබල්ලා ගේ ගොරෝසු සිනාහඬ පැහැදිලිව ඇසෙන්නට විය. කුසුම් නයිට්වරයා පිටියේ සිය තරග අන්තයේ අසු නවත්වා නරඹන්නන්ට ආචාර කලේය. ඔහු ගේ පහරදීම කෙතරම් හුරුබුහුටි වීද යත් පහර නිසා ලන්සයට කිසිදු හානියක් සිදු වී නොතිබින. ඔහු සිනාසෙමින් සිය දෑස් ආවරණය ඉවත් කරද්දී ගත පැළැඳි ඉඳුනිල් මිණි හිරු එළියේ බැබලින. සාමාන්‍ය ජනතාව වියරුවෙන් මෙන් ඔහුට සුබ පතන්නට, ඔහු වෙනුවෙන් ජයඝෝෂා නගන්නට වූහ.

තරග පිටිය මැද්දේ අසුට යටවී සිටි සෙර් ග්‍රෙගර් අසුගෙන් සිය දෙපා මුදවා ගත්තේ නැගිට සිටියේ ය. සිය ශිරස්කය ගැලවූ ඔහු එය වැරෙන් බිම ගැසීය. ඔහු ගේ මුහුණ ක්‍රෝධය නිසා කළු පැහැ ගැන්වී තිබින, ඔහු ගේ කෙහෙරැළි වියරු වෙසින් දෑස වසමින් මුහුණට වැටී තිබින. "මගේ කඩුව ගෙනෙං." ඔහු සිය සහචරයාට කෑගැසූ අතර කොලුවා අසිපතත් රැ‍ගෙන ඔහු වෙත දිව ගියේය. මේ වනවිට බිම වැටුනු ඔහු ගේ යුධ සෛන්ධවයාද නැවත සිවුපා මතින් නැගිට සිටියේ ය.

ග්‍රෙගර් ක්ලිගේන් සිය අසුට එල්ල කල එකම එක පහර කෙතරම් දරුණු කෙතරම් ප්‍රබල එකක් වීද යත් අසු ගේ ගෙල අඩක් කැපී වෙන්වී ගියේය. එක් හදගැස්මක කාලය තුල ප්‍රීතිඝෝෂා සියල්ල භීතියෙන් කල කෑගැසීම් වලට පෙරැලින. අසු දණින් වැටුනේ වේදනාවෙන් කෑගසමින් මියයන්නට විය. ඒ වනවිටත් සෙර් ග්‍රෙගර් ලේ වැකුනු අසිපත සුරතින් දරා දිගු පියවර තබමින් සෙර් ලෝරාස් ටිරල් වෙත යමින් සිටියේ ය. "ඌව නවත්තපල්ලා!" නෙඩ් කෑගැසීය. එනමුදු පිටිය පුරා නැගෙමින් තිබුනු ඝෝෂාව මධ්‍යයේ ඔහු ගේ හඬ ගිලී ගියේය. සෑමදෙනාම කෑගසන්නට පටන්ගෙන තිබින. සන්සා හඬන්නට පටන් ගත්තාය.

සෑම දෙයක්ම විදුලි වේගයෙන් සිදු විය. කුසුම් නයිට්වරයා සිය අසිපත ඉල්ලා කෑගසද්දී ඔහු ගේ සහචරයා පසෙකට වීසිවන සේ පහරක් දුන් සෙර් ග්‍රෙගර් වෙළඹ ගේ තෝන් ලණුව අල්ලාගැනීමට උත්සාහ කලේය. ලේ ගඳ දැනුනු සත්ත්වයා පස්සෙන් පස්සට ගියාය. ලෝරාස් ටිරල් තවමත් සිය වෙළඹ මත රැඳී සිටියද තත්ත්වය අවදානම් විය. දෑතින්ම සිය අසිපත එසවූ සෙර් ග්‍රෙගර් දරුණු පහරක් එල්ල කල අතර කොලුවා ගේ පපුවට වැදුනු එම පහරින් ඔහු අසු පිටින් විසි වී බිම පතිත විය. සෙර් ලෝරාස් තෝන්තුවාවෙන් මෙන් බිම වැටී සිටියදී ඔහු ගේ වෙළඹ තැතිගත්තී ඉවත දිව ගියාය. මාරාන්තික පහර එල්ල කිරීම සඳහා සෙර් ග්‍රෙගර් අසිපත එසවීය.

"ඌට ඉන්ට දීපං." ගොරෝසු හඩක් කෑගැසීය. සන්නාහයෙන් වැසුනු හස්තයක් විසින් සෙර් ග්‍රෙගර්ව ලෝරාස් වෙතින් ඇද ඉවත දැමීය.

කන්ද, උතුරාගිය වියරුවෙන් වටයක් කරකැවුනේ, සිය සිරුරේ මුලුමහත් අමානුෂික ශක්තිය යොදවා මාරාන්තික අසිපත් ප්‍රහාරයක් එල්ල කලේය. එනමුදු පහර වැළැකූ දඩබල්ලා ප්‍රති පහරක් එල්ල කලේය. අනන්තයක් මෙන් දිස් වූ කාලාන්තරයක් තුළ සොයුරන් දෙදෙනා එකිනෙකා සමගින් මෙසේ ඇනකොටා ගනිද්දී කිහිපදෙනෙක් එකතුව තෝන්තුවාවෙන් වැටී සිටි ලෝරාස් ටිරල්ව ආරක්ෂිත ස්ථානයක් කරා රැගෙන ගියහ. තෙවතාවක්ම සෙර් ග්‍රෙගර් විසින් දඩබල්ලා ගේ ශිරස්කයට දරුණු පහර එල්ල කලද සැන්ඩෝර් එක්වරක් වත් සිය සොයුරා ගේ අනාරක්ෂිත හිසට පහර එල්ල කිරීමට තැත්කරනු නෙඩ් නොදිටී ය.


අන්තිමේදී මේ සටනට නැවැතීමේ තිත තැබීමට රජු ගේ අණට හැකිවිය... රජ අණට හා තවත් අසිපත් විස්සකට හැකිවිය. ජොන් ඒරින් වරක් ඔවුන්ට උගන්වා තිබුනු පරිදි හොඳ අණදෙන නිළධාරියකුට සුපිරි මට්ටමේ යුධබිම් හඬක් තිබිය යුතු විය. රොබර්ට් ඒ බැව් ගංගා ත්‍රිශූලයේදී ඔප්පු කර තිබින. ඔහු මේ මොහොතේද ඒ සුපිරි හඬ භාවිතයට ගත්තේ ය. "මේ විකාරෙ නවත්තපියවු දැන්මම!" ඔහු ගිගුම් දුන්නේ ය. "තොපේ රජතුමායි මේ අණ කරන්නෙ."

දඩබල්ලා අඩදණින් වැටුනේ ය. සෙර් ග්‍රෙගර් එල්ල කල පහර ඔහු ගේ හිසට ඉහළින් වාතය කපාගෙන ඇදී ගියේය. අන්තිමේදී කන්දට ප්‍රකෘති සිහිය ලැබින. සිය අසිපත පහත් කල ඔහු රාජ්‍යාරක්ෂක බලකාය හා තවත් දුසිමක් පමණ නයිට්වරුන් සහ සෙබළුන් පිරිවරා සිටි රජතුමා දෙස රවා බැලීය. වදනකුදු නොදෙඩූ ඔහු අනිත් පස හැරී සෙර් බැරිස්ටාන් සෙල්මි ගේ සිරුරේ හැපීගෙන ඉක්මන් ගමනින් එතැනින් ඉවත් වූයේය. "ඌට යන්ට දීපල්ලා." රොබර්ට් කීය. එතැනින් ඒ නාටකය හමාර විය.

"දැන් එතකොට දඩබල්ලාද තරගාවලියෙ ජයග්‍රාහකයා වෙන්නෙ?" සන්සා නෙඩ්ගෙන් ඇසුවා ය.

"නෑ. තව අවසාන වටයක් තියෙනවා. දඩබල්ලයි ලෝරාසුයි අතරේ."

එනමුදු සන්සා නිවැරැදි වූවාය. මඳ වේලාවකට පසු සාමාන්‍ය ඇඳුමින් සැරසී පිටියට බට සෙර් ලෝරාස් ටිරල් දඩබල්ලා වෙත ගමන් කලේය. "මම ඔබට මගේ මුලු ජීවිතයෙන්ම ණයගැතියි. අද දවසේ ජයග්‍රාහකයා ඔබයි සෙර්."

"මම සෙර් කෙනෙක් නෙවෙයි." දඩබල්ලා පිළිතුරු දුනි. එනමුදු ඔහු ජයග්‍රහනය බාරගත් අතර ජයග්‍රාහකයා ගේ තෑගි මල්ලද ඔහුට හිමිවිය. එමෙන්ම - සමහරවිට ඔහු ගේ දිවියේ පළමුවරට - ඔහුට පොදුජනයා ගේ ආදරයද හිමිවිය. ඔහු තරග පිටියෙන් නික්ම සිය මණ්ඩපය බලා යද්දී සාමාන්‍ය ජනයා ඔහු වෙනුවෙන් ජයඝෝෂා නැගූහ.

නෙඩ් සන්සාත් සමග දුනුපිටිය වෙත ගමන් කරද්දී සුළැඟිල්ලා, ‍රෙන්ලි උතුමානන් හා තවත් කිහිප දෙනෙක් ඔවුන්ට එක් වූහ. "ටිරල් අනිවාර්ය‍යෙන්ම දැනගෙන ඉන්ට ඇති ඒ වෙළඹ මදකිපෙන කාලෙ ඉන්න එකියක් කියලා." සුළැඟිල්ලා පැවසීය. "මම දිවුරලා කියන්නම්, ඒ කොල්ලා මේ හැමදේම සැලසුම් කරලයි කරන්ට ඇත්තෙ. ග්‍රෙගර් හැමවෙලාවෙම වගේ සිහිබුද්ධිය තියෙන අශ්වයින්ට වඩා ප්‍රචණ්ඩ අශ්වයින්ට කැමැතියි."

සෙර් බැරිස්ටාන් සෙල්මි මෙයින් සතුටට පත් වූයේ නැත. "වංචා කරලා දිනන එකේ කිසිම ගෞරවනීය බවක් නෑ." ඔහු දරදඬු ස්වරයෙන් කීය. "ගෞරවයක් නැතිවුනාට එතන රන්කාසි විසිදාහක් තියෙනවනෙ." රෙන්ලි උතුමානන් සිනාසුනේ ය.

ඩෝරිනිෂ් වගුරුබිම් වලින් පැමිණි, මින් පෙර කිසිදා කිසිවෙකු නම අසා නොතිබුනු, ඇන්ගයි නම් වූ සාමාන්‍ය තරුණයෙක් දුනුවායන් ගේ තරගය ජයග්‍රහනය කලේය. අන්තිම වටයට පැමිණි අනිත් තරගකරුවන් දෙදෙනා වූ සෙර් බේලන් ස්වෝන් හා ජලබාර් ෂෝ ඉක්මවා පියවර සියයක දුරකින් තරගය දිනන්නට ඔහුට හැකිවිය. නෙඩ් විසින් හස්තයේ ආරක්ෂක බලමුළුවේ තනතුරක් වෙනුවෙන් ඔහුව බඳවාගනු පිණිස ඇලන්ව ඔහු සොයා පිටත්කර හැරිය නමුදු වයින් මතින් හා ජයග්‍රහනයෙන් උද්දාම වී සිටි මේ කොළුවා ඔහුව නොතකා හැරියේ ය.

මිශ්‍ර සටන තුන් පැයක් පුරා ඇදීගියේය. හතලිහක් පමණ වූ නිදහස් අසරුවන්, දෙවන පෙළ නයිට්වරුන් සහ අලුත පත්කෙරුනු සහචරයින් සිය වාසනාව උරගාබැලීමේ හා තමන් ගේ නම පතළ කරගැනීමේ අරමුණින් යුධ වැදී සිටියහ. ඔවුහු මොට්ට ආයුධ රැගෙන, වරෙක කුඩා කණ්ඩායම් සාදාගෙන අන් කණ්ඩායම්වලට විරුද්ධව ද, ඉන්පසු එකම කණ්ඩායමේ සාමාජිකයින් අතර ද වශයෙන් ‍නොනවතින සටනක නියෑලී හුන්හ. ඔවුහු මිත්‍ර සන්ධාන ඇතිකර ගනිමින්, නැවත ඒවා බිඳ දමමින් අන්තිමේදී එක් මිනිසකු ඉතිරිවන තුරු එකාට එකා මරාගත්හ‍. මේ තරගයේ ජයග්‍රාහකයා වූයේ හිස මුඩුකොට, ජ්වලිත අසිපතක් රැගෙන උමතුවෙන් මෙන් සටන් වැදි රණකාමී රතු පූජකයකු වූ මර්හි තො‍රෝස් විය. ඔහු මීට පෙරද මිශ්‍ර සටන් දිනා පුරුදු ඇත්තෙකු විය. ඔහු ගේ ගිනිඇවි‍ලෙන අසිපත නිසා අන් තරගකරුවන් ගේ අසුන් බිය වූ අතර ඔහු කිසිවෙකුටත් බිය නැත්තෙකු විය. කැඩුනු ඉළඇට තුනක්, බිඳුනු අකුඇටයක්, තැලී පොඩිවී ගිය අතැඟිලි දුසිමක් පමණ, තුවාල සිදුවීම නිසා මරාදැමිය යුතු වූ අසුන් දෙදෙනෙක් සහ ගිනිය ‍නොහැකි තරම් වූ කැපුම්, කෙටුම්, තැලීම් පෙලීම්, සීරීම් උළුක්කු වීම් මේ සට‍නේ අවසාන ගණනය විය. රජතුමා මේ සටනට සහභාගි නොවීම නෙඩ් ගේ ඉමහත් අස්වැසිල්ලට හේතු විය.


Varys: “The Red Keep shelters two sorts of people, those who are loyal to the realm, and those who are loyal only to themselves.”

Monday 27 October 2014

එඩාර්ඩ් 07-1


"එයාගෙ අවසාන කටයුතු මගෙ අතින්ම සිද්ද කරලා දැම්මා." ඔවුන් දෙදෙනා එක්ව කරත්තය පසුපස හොවා තිබුනු මළකඳ පිරික්සා බලන අතරේ සෙර් බැරිස්ටාන් සෙල්මි කීවේය. "ඒක කරන්ට වෙන කවුරුවත් හිටියෙ නෑ. මට අහන්ට ලැබුන විදියට එයාගෙ අම්මා ඉන්නෙ ඒරින් මිටියාවතේ."

අරුණෝදයේ ආලෝකයෙන් මේ තරුණ නයිට්වරයා දිස් වූයේ නිදාගෙන සිටින්නාක් මෙනි. ඔහු එතරම් කඩවසම් තැනැත්තකු නොවූවද මරණය විසින් ඒ දරදඬු විලාසය අඩු කොට ඔහුව මෘදු තැනැත්තෙක් බවට පෙරලා තිබින. නිහඬ සොයුරියන් විසින් ඔහු සතුව තිබුනු හොඳම විල්ලූද කබායෙන් සිරුර සරසා තිබුනු අතර ලන්සය මගින් ගෙලේ ඇති වූ තුවාලය උස් කොලරයක් මගින් වසා දමා තිබින. ඔහු ගේ මුහුණ දෙස බැලූ එඩාර්ඩ් ස්ටාර්ක්, මේ කොලුවාට මරණයට මුහුණ දීමට තමා හේතුවක් විනිදැයි කල්පනා කලේය. ඔහුට කතා කරන්නට නෙඩ්ට අවස්ථාවක් ලැබෙන්නට පෙර ලැනිස්ටර් ධජ දරන්නෙකු අතින් මියයාම අහඹු සිද්දියක්ද? එය ඔහුට කිසිදා දැනගන්නට නොලැබෙනු ඇතැයි නෙඩ් කල්පනා කලේය.

"හියු අවුරුදු හතරක් ජොන් ඒරින්ගෙ සහචරයා වෙලා හිටියා." සෙල්මි දිගටම කකා කලේය. ජොන්ට කරන උපහාරයක් විදියට රජතුමා උතුරට යන්ට කලින් මේ කොල්ලාව නයිට්වරයට එසෙවුවා. මේ කොල්ලාට ඒ ගෞරවය තදින්ම උවමනා කරලා තිබුනා. ඒ වුනත් මම හිතන්නෙ නෑ එයා ඒකට ලෑස්තිවෙලා හිටියයි කියලා."

පසුගිය රැයේ නෙඩ්ට හරිහැටි නින්දක් නොලැබුනු අතර ඔහුට වයසට වඩා වෙහෙසක් දැනෙන්නට විය. "අපි කිසිකෙනෙක් කවදාවත් ලෑස්තිවෙලා ඉන්නෙ නෑ."

"නයිට්වරයට ද?"

"මරණයට." නෙඩ් හෙමිහිට කොලුවා ගේ සළුවෙන් ඔහු ගේ සිරුර වසා දැමීය. ඔහු මියගියේ මන්දැයි ඔහු ගේ මව ඇසූ විට රජතුමා ගේ හස්තය වන එඩාර්ඩ් ස්ටාර්ක්ට ගරු බුහුමන් දක්වනු පිණිස ඔහු සටන් වැදුනා යැයි ඔවුන් කියනු ඇත. "මේක මහ අපරාධයක්. යුද්ධය කියන්නෙ මේ වගේ සෙල්ලමකට ගන්ට ඕන දෙයක් නෙවෙයි." නෙඩ් කරත්තය පසෙකින් සිටගෙන සිටි කාන්තාව දෙසට හැරුනේය. ඇය අඳුරු පැහැ ඇඳුමින් සැරසී, දෑස් හැරෙන්නට මුලු මුහුණම වසා සිටියාය. නිහඬ සොයුරියන් යනු මළසිරුරු සකස්කරන්නියන් වූ අතර ඔවුන් ගේ මුහුණ බැලීම අසුභ දෙයක් මෙන් සැලකින. "එයාගෙ සන්නාහය මිටියාවතට යවන්ට. එයාගෙ අම්මට ඒක ඕන වෙයි."

"ඒක රිදී බරගානක් වටිනවා." සෙර් බැරිස්ටාන් කීවේය. "මේ කොල්ලා ඒක තරගාවලිය වෙනුවෙන්ම විශේෂයෙන්ම හදවගත්ත එකක්. චාම්, ඒත් හොඳට හදලා තියෙනවා. මම දන්නෙ නෑ එයා කම්මල්කාරයට නියමිත ගාස්තුව ගෙවලා ඉවරද කියලාවත්."

"එයා ඊයෙ ඒකට ගෙවුවා මගේ උතුමානනි. එයා බොහොම නොවටිනා විදියට ඒකට ගෙවුවා." නෙඩ් පිළිතුරු දුන්නේ ය. "අම්මට සන්නාහය යවන්ට. කම්මල්කාරයත් එක්ක මම බලාගන්නම්." ඔහු නිහඬ සොයුරියට කීවේය. ඇය හිස නැමුවා ය.

මේ සියළු රාජකාරි අවසන් වූ පසු සෙර් බැරිස්ටාන් නෙඩ් සමගින් රජතුමා ගේ මණ්ඩපය වෙතට ඇවිද ගියේය. කඳවුර මේ වන විට නිදිගැට හැර අවදි වීමට පටන්ගෙන තිබින. ගිනිඋඳුන්වලට උඩින් සොසේජස් නටමින් බැදුනේ මුලු කඳවුර පුරාම සුදුලූණු හා ගම්මිරිස් සුවඳ පතුරන්නට විය. අලුත් දිනයකට මුහුණ දීම පිණිස සිය ස්වාමියන් නිදි ඇඳෙන් නැගිට, ඇඟමැලි කඩමින්, ඈනුම් යවමින් සූදාණම් වෙද්දී ඔවුන් ගේ තරුණ සහචරයෝ දහසකුත් එකක් කුදුමහත් රාජකාරි ඉටු කිරීම පිණිස කඩිසරව එහා මෙහා දිවගියහ. සිය කිහිල්ල යට පාත්තයෙකු රඳවාගත් සේවකයෙක් මේ උතුමන් දෙදෙන දුටුවේ දණක් නමා ඔවුන්ට ආචාර කලේය. සෑම කූඩාරමකම පිටතින් එහි හිමිකරුවා ගේ පලිහ රඳවා තිබින. සීගාර්ඩ්හි රජත රාජාලියා, බ්‍රයිස් කැරන් ගේ නයිටින්ගේල් කුරුලු රංචුව, රෙඩ්වින්ලා ගේ මිදිපොකුර, වයිරම් වැටුනු වල් ඌරා, රතු නරියා, ගිනිගත් වෘක්ෂය, සුදු බැටළුවා, සර්පිල ත්‍රිත්වය, දම්පැහැ කඟවේනා, නර්තනයේ යෙදෙන කන්‍යාව, බලකොටු ද්විත්වය, අං සහිත බස්සා සහ රාජ්‍යාරක්ෂක බලකායේ තනි සුදු පැහැ පලිස්. මේ සියල්ලක්ම උදාවන හිරු මෙන් දිස්නය දෙමින් තිබින.

"රජතුමා බලාපොරොත්තු වෙනවා අද මිශ්‍ර සටනෙදි තරග වදින්ට." සෙර් මෙරින් ගේ පලිහ පසු කරමින් යන අතරේ සෙර් බැරිස්ටාන් කීවේය. ඊයේ දිනයේදී වැදුනු සෙර් ලෝරාස් ටිරල් ගේ ලන්ස පහර නිසා ඔහු ගේ පලිහ ගැඹුරටම තුවාල වී තිබින.

"ඔවු." නෙඩ් කීවේය. ඊයේ රෑ ඔහුව අවදි කල ජොරී මේ පුවත ඔහුට දැනුම් දී තිබින. ඔහුට නින්ද නොයාම පුදුමයක් නොවේ.

බැරිස්ටාන් සෙල්මි
සෙර් බැරිස්ටාන් ගැටළුවකට මැදි වී ඇති සෙයක් පෙනෙන්නට තිබින. "කතාවටනම් කියන්නෙ 'රාත්‍රියෙ ලස්සන උදේ වෙනකොට මැකෙනවා, වයින් මතෙන් දෙන පොරොන්දු උදේ වෙනකොට කැඩෙනවා' කියලයි."

"එහෙම කියනවා තමා. ඒ වුනත් රොබර්ට්ට ඒක අදාල නෑ." වෙරිමතේ තමන් විසින් කල කතා හා දුන් පොරොන්දු ගැන අන් මිනිසුන් දෙවරක් සිතා බැලූවද රොබර්ට් යනු එවන් මිනිසෙකු නොවීය. ඔහුට තමා කල කී දේ සියල්ල මතක තිබෙන අතර එයින් පලා යාමටද නොසිතන්නේ ය.

රජතුමා ගේ මණ්ඩපය ගඟට සමීපයෙන්ම අටවා තිබුනු අතර උදෑසන ගංදිය මීදුම විසින් එය වටලා තිබින. රන්වන් සේද රෙද්දෙන් නිමවුනු එය කඳවුරේ තිබුනු විශාලතම මෙන්ම අලංකාරම මණ්ඩපය විය. මණ්ඩප දොරටුව පසෙකින් බරතියන් වංශ ලාංඡනය වන කිරුළ ලූ ගෝනා කැටයම් කල දැවැන්ත යකඩ පලිහක් හා රොබර්ට් ගේ යමුගුර ප්‍රදර්ශනය කර තිබින.

වයින් මතින් තවමත් නිදාසිටින රජතුමා ගේ දර්ශනය දැකීම නෙඩ් ගේ බලාපොරොත්තුව වූ නමුදු වාසනාව ඔහු සමග නොවීය. ඒ වෙනුවට ඔවුන්ට දැකගත හැකි වූයේ තමන්ට සන්නාහය පැළැඳවීමට තැත් දරන තරුණ සහචරයින් දෙදෙනෙකුට බැන වදිමින්, ඔප දැමූ අඟකින් බීර පානය කරමින් සිටින රජතුමා විය. "මගේ ස්වාමිනී," එක් සහචරයෙක් කීවේය. ඔහු ගේ ස්වරය හැඬුම්බර විය. "ඒක හරියන්නෙ නෑ. ඒක බොහොම පුංචියටනෙ හදලා තියෙන්නෙ." ඔහු අදක්ෂ අයුරින් අතපත ගෑ අතර රජතුමා ගේ මහත ගෙල වටා පැළඳවීමට තැත් කරමින් සිටි ශිරස්ක පටිය ගිලිහී බිම වැටින.

"අපා හතටම පලයං!" රොබර්ට් අවලාද නැගීය. "ඒක මගෙ අතින්ම කරගන්ටද ඕන? තොපි දෙන්නම යකාට පලයවු! ඒක අහුල ගනිං. ඔතන ඔහොම කට ඇරන් බලා ඉන්ට එපා ලැන්ස්, ඒක අහුල ගනිං!" කොලුවා උඩ වීසිවුනු අතර තමා හමුවට පැමිණ සිටින සමාගමය රොබර්ට් දුටුවේ ය. "මේ මෝඩ බූරුවො දෙන්නා දිහා බලාපං නෙඩ්. මගේ ගෑනි බලකරනවා මේ ගොබ්බයො දෙන්නා ගන්ටයි කියලා මගේ සහචරයො විදියට. ඒ වුනාට මුං දෙන්නා කිසිම වැඩකට ඇති එවුන් නෙවෙයි. හරියකට මිනිහෙකුගෙ සන්නාහය පළන්දන්ටවත් දන්නෙ නෑ. සහචරයො. ආච්චිගෙ රෙද්ද! මුං දෙන්නා සේද ඇඳුම් ඇඳපු ඌරුකොටු කාරයො දෙන්නෙක්."

ප්‍රශ්නය කුමක්දැයි නෙඩ් එක් බැල්මකින්ම වටහාගත්තේ ය‍. "ඒ කොල්ලන්ගෙ වැරැද්දක් නෑ. ඔබ ඔබේ සන්නාහයට වඩා මහත් වෙලා රොබර්ට්."

ලොකු බිර උගුරක් පානය කල රොබර්ට් බරතියන්, හිස් අඟ සිය ඇඳ ඇතිරිලි මතට විසිකර පිටි අත්ලෙන් මුව පිසදැමීය. "මහතයි? මහතයි? ඔහොමද උඹ උඹේ රජතුමාට කතා කරන්නෙ?" ඔහු ගිගිරුම් කුණාටුවක් මෙන් මහහඬින් සිනාසුනි. "ආහ්! යකාටම පලයං නෙඩ්! ඇයි හැමවෙලාවම උඹ හරි?"

සහචරයින් දෙදෙන බයාදු අයුරින් සිනාසුනු අතර රජතුමා ඔවුන් දෙසට හැරින. "තොපි. ඔවු යකෝ, තොපි දෙන්නම තමයි. උඹලාට ඇහුනා නෙව හස්තයේ උතුමානන් කියාපු ‍දේ. තොපේ රජතුමා එයාගෙ සන්නාහයට වැඩිය මහත් වෙලාලු. ගිහින් හොයාගනින් සෙර් ආරොන් සැන්ටගාර්ව. එයාට කියාපං මට සන්නාහයෙ පපු තහඩුව ලොකු කරන අඬුව ඕනයි කියලා. දැන්මම පලයවු. තවත් මොනාද බලා ඉන්නෙ."

කූඩාරමෙන් කඩිමුඩියේ පිටවීමට ගත් උනන්දුව නිසා ‍කොලුවන් දෙදෙනා පා පැකිළී එකා පිට එකා වැටුනහ. ඔවුන් දෙදෙන පිටව යන තෙක් රොබර්ට් සිය පරුෂ මුහුණ රඳවා ගැනීමට සමත් විය. ඊළග මොහොතේ ඔහු මහහඬින් සිනාවෙමින් පුටුවකට බර දුන්නේ ය.

සෙර් බැරිස්ටාන් සෙල්මි ද රජු හා එක්ව මහහඬින් සිනාසෙන්නට විය. එඩාර්ඩ් ස්ටාර්ක්ට පවා යාන්තම් සිනාවක් ගියේය. එනමුදු, සෑම විටෙකම මෙන් දැනුදු ඔහු ගේ සිතට නපුරු සිතුවිලි ගලා ඒම නැවැත්විය නොහැකි විය. රජු ගේ සහචරයින් දෙදෙනා වූ අර කඩවසම්, වැදගත් පවුලක හැදුනු වැඩුනු බව පෙන්වන කොලුවන් දෙදෙන ඔහු ගේ සිතේ හොල්මන් කරන්නට විය. එකෙකු රන්වන් හිසකෙසින් යුතු, සන්සා ගේ වයසේ වූවෙකු වූ අතර අනිකා පහළොස් හැවිරිදි පමණ වූ, ලා දුඹුරු පැහැ හිසකෙස් හා රැජිණ ගේ මෙන් මරකත කොළ පැහැ දෙනෙතක් හිමි යෞවනයෙකු විය.

"ආහ්! සැන්ටගාර්ගෙ මූන දකින්ට මට එතන ඉන්ට තිබුනා නං." රොබර්ට් කීවේය. "ඌටත් හොඳ හාස්‍ය රසයක් තියෙනවානං ඌ මේ කොල්ලො දෙන්නව තව කා ගාවට හරි යවයි. උන් දෙන්නව දවස පුරාම එහාටයි මෙහාටයි දුවවන්ට තිබ්බා නං තමා වැඩේ."

"මේ කොල්ලො දෙන්නා ලැනිස්ටර්ලා ද?" නෙඩ් ඇසීය.

ලැන්සල් ලැනිස්ටර්
රොබර්ට් ඔවු කියන්නට මෙන් හිස වැනුවේ දෙනෙතේ කඳුළු පිස දමමිනි. "ඥාතියො. ටයිවින් උතුමානන්ගෙ සහෝදරයාගෙ පුතාලා. එයාගෙ මැරුන සහෝදරයින්ගෙ. එහෙමත් නැත්තං ජීවත්වෙන එක්කෙනාගෙ. මට දැන් හරියටම මතක නෑ. මගේ ගෑනි එන්නෙ බොහොම ලොකු පවුලකින් නෙඩ්."

'බොහොම ලොකු අපේක්ෂා තියෙන පවුලකින්', නෙඩ් සිතුවේ ය. මේ සහචරයින් දෙදෙනා ගැන නෙඩ් ගේ සිතේ කිසිදු කහටක් නැති වුවද, රොබර්ට් නිදන, අවදියෙන් සිටින සෑම විටෙකම ලැනිස්ටර්වරුන් විසින් වටකරනු ලැබ සිටීම ඔහු ගේ සතුටට හේතු වුයේ නැත. තනතුරුවලට හා ගෞරවයට ලැනිස්ටර්වරුන් තුළ ඇති කෑදරකමෙහි සීමාවක් නොවීය. "කට්ටිය කියනවා ඊයෙ රෑ ඔබයි රැජිණයි අතර පොඩි වචන හුවමාරුවක් වුනාලු."

රොබර්ට් ගේ මුවෙහි වූ සරදම් සිනහව මැකී ගි‍යේය. "මේ ගෑනි හැදුවා මම මිශ්‍ර සටනට සහභාගි වෙන එකෙන් වළක්වන්ට. දැන් ඒකි බලකොටුවට වෙලා බුම්මගෙන ඇති. ඒකි යකාටම ගියාදෙන්. උඹේ නංගි නං කවදාවත් මාව එහෙම ලැජ්ජාවට පත් කරන්නෙ නෑ."

"ඔබ කවදාවත් මං තරම් හොඳින් ලියානාව දැනන් හිටියෙ නෑ රොබර්ට්. ඔබ දැක්කෙ එයාගෙ ලස්සන විතරයි. ඒ වුනාට ඒ ලස්සන පිටිපස්සෙ හිටිය යකඩ කෙල්ල ඔබ දැකලා නෑ. එයා ඔබට කියයි මිශ්‍ර සටනට සහභාගි වෙන්ට ඔබට කිසිම අයිතියක් නෑ කියලා."

"උඹත්?" රජතුමා රවා බැලුවේ ය. "උඹ මහ ඇඹුල් මිනිහෙක් ස්ටාර්ක්. උඹ උතුරුකරේ හිටිය කාලෙ බොහොම වැඩියි. උඹෙ ඇඟේ සාරය ඔක්කොම මිදිලා ගිහිල්ලා. ඒ වුනාට ම‍ගේ ඇඟේ නං සාරය තාම දුවනවා." ඔහු සිය පපුවට දැඩි අතුල් පහරක් දී ගත්තේ ය.

"ඔබයි රජතුමා." නෙඩ් ඔහුට සිහිපත් කර දුන්නේ ය.

"අර මලඉලවු යකඩ පුටුවෙ වාඩිවෙලා ඉන්ට ඕන නං මම ඒක කරනවා. ඒ වුනාට ඒකෙන් කියවෙනවද මට අනිත් මිනිස්සුන්ට තියෙන ආසාවන් නැහැයි කියලා? ඉඳලා හිටලා වයින් ටිකක් බොන්ට. හොඳ හුරුබුහුටි කෙලි පොඩිත්තියක් ඇඳට ගන්ට. අශ්වයෙක්ගෙ පිටේ නැගලා යන්ට. අපා හතටම පලයං! නෙඩ්, මට ඕන කාටහරි ගහන්ට."

"මගේ ස්වාමිනී." සෙර් බැරිස්ටාන් සෙල්මි කතා කලේය. "රජතුමා මිශ්‍ර සටනට සහභාගි වෙන්ට යන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. එතකොට ඒක සාධාරණ සටනක් වෙන්නෙ නෑ. කවුද එඩිතර වෙන්නෙ ඔබතුමාට පහර දෙන්ට?"

රොබර්ට් අවංකවම පුදුමයට පත් වූ බැව් පෙනින. "ඇයි? උං හැම එකාම එයි. යකාට පලයං. උන්ට පුළුවන් නං උං එයි. අන්තිමට සටන දිනන එකා..."

"...වෙන්නෙ ඔබයි." නෙඩ් කීවේය. සෙල්මි ඉලක්කයටම පහර දී ඇති බැව් ඔහු සැනෙන් වටහා ගත්තේ ය. මිශ්‍ර සටනේ ඇති අනතුරුදායක බව රොබර්ට්ව එහි කැඳවන මී බඳුනක් වැන්න. එනමුදු මේ ඔහු ගේ ආත්මාභිමානය පිළිබඳ ගැටළුවකි. "සෙර් බැරිස්ටාන් හරි. මේ රාජධානි සප්තකයේ කිසිම මිනිහෙක් නෑ ඔබට රිද්දලා ඔබේ අප්‍රසාදයට පත්වෙන්ට කැමැති."

රජතුමා නැගිට සිටියේ ය. ඔහු ගේ මුහුණ කේන්තියෙන් රතු වී ගොස් තිබින. "උඹ කියන්නෙ එතකොට මේ ජේත්තුකාර බයගුල්ලො මට තරගෙ දිනන්ට ඉඩ දෙයි කියලද?"

"අනිවාර්යයෙන්ම." නෙඩ් කීවේය. සෙර් බැරිස්ටාන් නිහඬ එකඟවීමකින් හිස නැමීය.

රොබර්ට් ගේ සිතේ පැනනැගුනු කේන්තිය කෙතෙක් වීද යත් මොහොතක් යනතුරු ඔහුට කතාකර ගැනීමටවත් නොහැකි විය. ඔහු කළු කරගත් මුහුණින් යුතුව කූඩාරමේ එහා මෙහා වේගයෙන් ඇවිද්දේ ය. බිම වැටී තිබුනු පපු තහඩුව අහුලාගත් ඔහු එයින් සෙර් බැරිස්ටාන් සෙල්මිට දමා ගැසීය. සෙල්මි වහා පහත් විය. "පලයල්ලා. මම උඹලාව මරන්ට කලින් මෙතනින් පිටවෙලා පලයල්ලා."

සෙර් බැරිස්ටාක් සැනෙන් පිටව ගියේය. නෙඩ් ද ඔහු අනුව යන්නට සැරසුනු අතර රජතුමා නැවතත් කටහඬ අවදි කලේය. "නෑ, උඹ නැවතියං නෙඩ්."

නෙඩ් ආපසු හැරුනේ ය. බිම වැටී තිබුනු අඟ අහුලාගත් රොබර්ට් මුල්ලක තිබුනු පීප්පයකින් ඊට බීර වත් කර නෙඩ් අතට දුන්නේ ය. "බීපං." ඔහු දඩබ්බර ස්වරයෙන් කීය.

"මට තිබහක් නෑ-"

"ඕක බීපං. උඹේ රජතුමා අණ කරනවා."

අඟ අතට ගත් නෙඩ් බීර ස්වල්පයක් තොල ගෑවේය. බීර කළු පැහැ ඉතා සැර එකක් වූ අතර ඔහු ගේ දැසට කඳුළු පුරා ආවේය.

රොබර්ට් නැවතත් පුටුවේ වාඩිවිය. "යකාටම පලයං නෙඩ් ස්ටාර්ක්! උඹයි ජොන් ඒරිනුයි දෙන්නම. මම උඹලා දෙන්නටම ආදරේ කලා. උඹලා මොකක්ද මට මේ කලේ? උඹයි රජවෙන්ට තිබුනෙ. උඹ හරි ජොන් හරි."

"ඔබට අපට වඩා වැඩි උරුමයක් තිබුනා මගේ ස්වාමිනී."

"මම උඹට කිවුවෙ බොන්ට කියලා. වාද කරන්ට කියලා නෙවෙයි. උඹයි මාව රජ කෙනෙක් කලේ. යකාටම පලයං! අඩුම ගානෙ මම කතාකරන කොට අහන් ඉන්ට තරම්වත් ආචාරශීලී වෙයං. බලපං මං දිහා නෙඩ්. බලපං මේ රජකම මට කරලා තියෙන දේ. මගේ සන්නාහයටත් වඩා මං මහත් වෙලා. දෙයියනේ! කොහොමද මම මෙහෙම තත්ත්වෙකට පත්වුනේ?"

"රොබර්ට්..."

"කට වහගෙන ඕක බීපං. උඹේ රජතුමයි මේ කතා කරන්නෙ. මම මේ උඹට දිවුරලා කියන්නෙ නෙඩ්, මම සිංහාසනේ දිනුව දා තරං වෙන කිසිමදාක එච්චර සන්තෝස වෙලා නෑ. දැන් මම ඒකෙ වාඩිවෙලා ඉන්නකොට තරං වෙන කිසිමදාක මෙච්චර මට ජීවිතේ එපා වෙලා නෑ. එතකොට සෙර්සි... ඒකට ස්තූති කරන්ට ඕන ජොන් ඒරින්ටයි. ලියානාව මගෙන් උදුරගත්තට පස්සෙ ආයෙමත් කසාද බඳින්ට මගේ අදහසක් තිබුනෙ නෑ. ඒ වුනත් ජොන් තමා කිවුවෙ රාජධානියට උරුමක්කාරයෙක් ඉන්ට ඕනයි කියලා. ඌ කිවුවා සෙර්සි ලැනිස්ටර් මට හොඳට ගැලපෙනවා කියලා. විසේරිස් ටාර්ගේරියන් උගෙ තාත්තගෙ සිංහාසනේ ආපහු ගන්ට ආවොත් සෙර්සි නිසා ටයිවින් ලැනිස්ටර් මට බැඳෙයි කියලා ඌ කිවුවා." රජතුමා හිස දෙපසට වැනීය. "මම දිවුරලා කියන්නෙ, මම ඒ නාකියාට ආදරේ කලා. ඒ වුනත් මට දැන් හිතෙනවා ඌ මූන් බෝයිටත් වඩා ලොකු මෝඩයෙක් කියලා. ආහ්! ඇත්තටම සෙර්සි පිටින් බලනකොට ලස්සනයි තමා. ඒ වුනාට ඒකි හරිම උදාසීනයි, ඇල් මැරිලා... ඒකි ඒකිගෙ *** ආරක්ෂා කරන්නෙ හරියට කාර්ස්ටලී රොක්වල තියෙන තරම් රත්තරන් ඔක්කොම ඒකිගෙ කකුල් දෙක මැද්දෙ හංගලා තියෙනවා වගෙයි. උඹ ඔය බීර එක බොන්නෙ නැත්තං ඕක මෙහෙ දියං." අඟ අතට ගත් ඔහු හිස පසුපසට ඇල කලේ, බීර සියල්ල එක උගුරට බී මුව පිස දැමීය. "මට උඹේ කෙල්ල ගැන හරිම කණගාටුයි නෙඩ්. ඇත්තටම. මම කියන්නෙ අර වෘකයා ගැන. මගේ පුතා බොරු කිවුවා. ඒ ගැන සැකයක් නෑ, ඕනනං මම මගෙ ආත්මෙ උකසට තියන්නම්. ‍මගේ පුතා... උඹ උඹේ දරුවන්ට ආදරෙයි. එහෙම නේද?"

"මගේ මුලු හදවතින්ම."

"මම උඹට පොඩි රහසක් කියන්නං නෙඩ්. ගොඩාක් සැරයක් මම හීන දැකලා තියෙනවා මේ රජකම අත ඇරලා දාන්ට. මගේ අශ්වයයි මගේ යගදාවයි අරන් නැවක නැගලා නිදහස් නගරවලට යන්ට. මගේ ඉතුරු ජීවිත කාලෙ යුද්ධ කර කර, ගෑනු පස්සෙ ගිහිල්ලා ගෙවලා දාන්ට. මම ඉපදිලා තියෙන්නෙ ඒකටයි. කොහොමද ගායකයො මං ගැන සින්දු හදනකොට. 'කුලී හේවා රජතුමා', උං මට එහෙම කියයි නේද? උඹ දන්නවද මොකක්ද මාව ඒකෙන් නවත්තන්නෙ කියලා. මගේ පුතා ජොෆ්රි සිංහාසනේ වාඩිවෙලා ඉන්නවා කියන සිතුවිල්ල. එයාගෙ කණට කොඳුරලා උපදෙස් දෙන්ට සෙර්සි ඉන්නවා නේද කියන සිතුවිල්ල. මගේ පුතා! කොහොමද මට ඒ වගේ පුතෙක් හම්බවුනේ නෙඩ්?"

"එයා තාම කොල්ලෙක්නෙ." නෙඩ් කීය. ජො‍ෆ්රි කුමරා ගැන ඔහු ගේ සිතේ කිසිදු පැහැදීමක් නොවීය. එහෙත් රොබර්ට්ගේ වදන්වල, ඒ ස්වරයේ තිබුනු වේදනාව ඔහු හඳුනාගත්තේ ය. "ඔබට අමතකද ඔය වයසෙදි ඔබ කොච්චර නම් දඩබ්බරයෙක්ද කියලා."

රොබර්ට් බරතියන්
"මේ කොල්ලා දඩබ්බරයෙක් නම් ඒක මෙච්චර මගේ හිතට වද දෙන්නෙ නෑ නෙඩ්. මං ඌව දන්න තරම් උඹ ඌව දන්නෙ නෑ." දිගු සුසුමක් හෙලූ ඔහු හිස දෙපසට වැනීය. "ආහ්! සමහරවිට උඹ හරි වෙන්ට ඇති. ජොන් මං නිසා කොච්චර නම් බලාපොරොත්තු නැති තත්ත්වෙට පත් වුනාද. ඒ වුනත් මම හොඳ රජෙක් වුනා නෙව." නෙඩ් දෙස බැලූ රොබර්ට් ඔහු ගේ නිහඬතාව නිසා මුහුණ පැඟිරි කරගත්තේ ය. "උඹ දන්නවද, දැන් උඹට කරන්ට තියෙන්නෙ කට ඇරලා ඔවු කියලා මගෙත් එක්ක එකඟ වෙන එකයි."

"මගේ ස්වාමිනී..." නෙඩ් පරෙස්සමින් කතාව ඇරඹී ය.

රොබර්ට් නෙඩ් ගේ පිටට අතුල් පහරක් දුන්නේ ය. "ආහ්! කියපං මම අඩුගානෙ ඒරිස්ට වඩා හොඳ රජ කෙනෙක් නේද කියලා. මම දන්නවා උඹ කවදාවත් බොරු කියන්ට අකැමැතියි කියලා නෙඩ් ස්ටාර්ක්. මම තාම තරුණයිනෙ. අනිත් එක දැන් උඹත් මගෙ ගාව ඉන්න එකේ තත්ත්වය ඉස්සරහට වෙනස් වෙයි. අපි දෙන්නා එකතුවෙලා මේ රාජ්‍ය කාලය සුඛිත මුදිත එකක් කරමු. එතකොට කවියො ඒ ගැන සිංදු ලියයි. ගායකයො ඒ ගැන සිංදු කියයි. අර මලඉලවු ලැනිස්ටර්ලා ටික අපායටම එලවලා දාමු. හ්ම්ම්ම්..... මට බේකන් සුවඳක් එනවා. අද කවුරු ජයග්‍රාහකයා වෙයි කියලද උඹ හිතන්නෙ? උඹ දැක්කද අර මේස් ටිරල්ගෙ කොල්ලා සටන් කරන හැටි? උං එයාට කියන්නෙ කුසුම් නයිට්වරයා කියලා. අන්න ඉන්නවා පුතෙක් ඕනෑම තාත්තා කෙනෙකුට ආඩම්බර වෙන්ට පුළුවන් ජාතියෙ. පහුගිය තරගාවලියෙදි ඌ ජේමිව තට්ටමෙන් ඉන්දවෙන්ට බිම වැට්ටුවා. උඹ දකින්ට තිබුනෙ ඒ වෙලාවෙ සෙර්සිගෙ මූනෙ හැටි. හිනාවෙලා හිනාවෙලා මගෙ ඉළඇටත් රිදෙන්ට ගත්තා. රෙන්ලි කියනවා ඌට ඉන්නවාලු නංගි කෙනෙක්. උදේ වැටුන පින්නක් වගේ ලස්සන අවුරුදු දාහතරක කෙල්ලක්..."

ඔවුහු ගඟ අද්දර සූදාණම් කරන ලද මේසයකට වාඩි වී උදෑසන ආහාරය වෙනුවෙන් කළු පාන්, තැම්බූ පාත්ත බිත්තර, බේකන් සහ ලූණුත් සමග බැදපු මාළු අනුභව කලහ. රජතුමා ගේ සිතේ පිරී තිබුනු උකටලී බව උදෑසන පින්නත් සමගින් අතුරුදන්ව ගොස් තිබින. වැඩිවේලා යන්නට පෙර රොබර්ට් දොඩම් ගෙඩියක් රස විඳිමින් කොලු කාලයේ ඔවුන් ඉයරිහි ගතකල අවධිය ගැන මහත් අභිරුචියෙන් කතා කරමින් හුන්නේ ය. "...ජොන්ට දොඩම් පිරිච්ච පීප්පයක් ගෙනත් දුන්නා උඹට මතකද? එකම වැරැද්ද ඒවා නරක් වෙලා තිබ්බ එකයි. ඉතිං මම මගේ දොඩම් ගෙඩිය මේසේ හරහා එල්ල කරා කෙලින්ම ඩැක්ස්ගෙ නාහෙට. මතකනෙ ඩැක්ස්? අර රෙඩ්ෆෝර්ට්ගෙ සහචරයා. ඌත් අනිත් පැත්තට මට එකක් එවුවා. ජොන්ට පඩයක් අරින්ටවත් වෙලාවක් යන්ට කලින් ප්‍රධාන ශාලාව පුරාම එහාටයි මෙහාටයි දොඩම් ගෙඩි පියාඹන්ට පටන්ගත්තා." ඔහු කොක්හඬලමින් සිනාසෙන්නට විය. මේ සුන්දර මතකයන් නෙඩ් ගේ ද මුවේ සිනාවක් මතුකරන්නට සමත් විය.

මේ වනාහි ඔහුත් සමග හැදුනු වැඩුනු කොලුවා විය. මේ වනාහි ඔහු ආදරය කල, ඔහු දැන සිටි නියම රොබර්ට් බරතියන් විය. බ්‍රැන්ට සිදු වූ ප්‍රහාරය පිටුපස ලැනිස්ටර්වරුන් ඇති බව ඔප්පු කරගත හැකි වුවහොත්, ඔවුන් විසින් ජොන් ඒරින් මරා දමන ලද බව ඔප්පු කරගත හැකි වුවහොත් මේ මිනිසා ඊට ඇහුම්කන් දෙනු ඇත. එවිට සෙර්සි ලැනිස්ටර් ‍ගේ බලපරාක්‍රමය බිඳී යනු ඇත. ඇයත් සමගින් රජුන් මරන්නාද බිඳවැටෙනු ඇත. ටයිවින් ලැනිස්ටර් බටහිර පැත්තේ කැරැළි ගැසීමට සූදාණම් වුවහොත් ගංගා ත්‍රිශූලයේදී රේගාර් ටාර්ගේරියන්ව පාගා දැමුවාක් මෙන් රොබර්ට් විසින් ඔහුවද පාගා චප්ප කර දමනු ඇත. මේ සියල්ල නෙඩ් ගේ සිතේ පැහැදිලිව ඇඳී ගියේය.


Petyr Baelish: “Even hungry dogs know better than to bite the hand that feeds them.”

Friday 24 October 2014

සන්සා 02-2


සේවකයින් මුලු රැය පුරාම ඔවුන් ගේ කුසලාණ පිරවූහ. එනමුදු තමා කෙතරම් වයින් බිවුවාද නැතිනම් නොබිවුවාද යන්න සන්සාට සිතා ගත නොහැකි කරුනක් විය. ඇයට සැබැවින්ම මත් වීම පිණිස වයින් අවශ්‍ය නොවීය. අද රාත්‍රියේ තිබුනු මායාවී බව නිසාම ඈ මත් වී සිටියා ය. එහි අලංකාරය නිසාම තෝන්තු වී සිටියා ය. සිය ජීවිත කාලය පුරාම සිහින දුටු එහෙත් කිසිදා තමාට සහභාගි වීමට අවස්ථාවක් ලැබේයැයි නොසිතූ මේ ආනන්දජනක උත්කර්ෂය නිසා මෝහනය වී සිටියා ය. රජතුමා ගේ මණ්ඩපය ඉදිරියේ වාඩිගත් ගායකයෝ හා වාදකයෝ සන්ධ්‍යාව මධුර මනෝහර සංගීතයෙන් පුරවාලමින් හුන්හ. විජ්ජාකරුවෙක් ගිනි පන්දම් රැසක් උඩ දමමින් වටයට කරකවමින් සිටියේ ය. රජතුමා ගේ විහිළුකාරයා වන නොවැඩුනු මනසකින් යුත් මූන් බෝයි, බම්මනෙකු ගේ ඇඳුමකින් සැරසී සැමටම විහිළු කරමින් සිටියේ ය. ඔහු කෙතරම් නිපුන අන්දමින්, කෙතරම් කුරිරු අන්දමින් මිනිසුන්ව සරදමට ලක් කලේද යත් ඔහු ඇත්තටම මන්දබුද්ධිකයෙකුදැයි සන්සා සැක කලාය. සෙප්ටා මෝර්ඩේන් පවා ඔහු ගේ විකාර නිසා විනෝද වූවාය. ඔහු නායක පූජකතුමා ගැන කී විහිළු සින්දුව අසා ඇය කෙතරම් තදින් සිනාසුනාද යත් සුරතෙහි වූ වයින් කුසලාණද සිරුර මත හලාගත්තා ය.

එමෙන්ම ජොෆ්රි සංග්‍රහශීලීත්වයේ උල්පත බඳු විය. ඔහු සන්සා සමග කතා කරමින් මුලු රැයම ගෙවා දැමීය. ඇයව ප්‍රශංසා සහ වර්ණනාවලින් නහවමින්, ඇයව සිනා ගස්සමින්, රාජසභාවේ ඕපාදූප ඇයට කියමින්, මූන් බෝයි ගේ විහිළුවල අරුත ඇයට පහදමින් ඇයව කුල්මත් කලේය‍. මේ සියල්ල අතරට මැදි වූ සන්සාට සිය ආචාරශීලීත්වය පවා අමතකව ගොස් තිබුනු අතර තමාට වම්පසින් අසුන් ගෙන සිටි සෙප්ටා මෝර්ඩේන්ව මුලුමනින්ම මෙන් නොතකා හැරියා ය.

මේ සියල්ල අතරමැද ආහාර බඳුන් එකින් එක යමින් එමින් තිබින. බාර්ලි හා මුව මස්වලින් සැදුනු සූපයක්. ස්වීට්ග්‍රාස්, නිවිති හා වියළි මිදි මිශ්‍ර කර ඒ මත්තෙහි රටකජු කුඩු ඉස සකස්කල සලාදයක්. මී පැණියෙහි හා සුදුලූණුවල බහා ලූ ගොළුබෙල්ලන්. සන්සා මීට පෙර කිසිදිනෙක ගොළුබෙල්ලන් අනුභව කර නොතිබින. ගොළුබෙල්ලාව කටුවෙන් වෙන් කරගන්නේ කෙසේදැයි ජොෆ්රි ඇයට පෙන්වා දුන් අතර පළමු රසවත් කට සියතින්ම ඇයට කැවුවේ ය. මැටිවල බහා පිළිස්සූ ගඟෙන් අල්ලාගත් ට්‍රවුට් මසුන් ඉන්පසු පැමිණියේ ය. ඝනකම් වූ පිටත මැටි කටුව බිඳ ඇතුළත සුදු මස පාදාගැනීමට ඇගේ කුමරුවා ඇයට උදවු කලේය. අන්තිමේදී මාංශ පලංගාන පැමිණිවිට සියතින්ම කැපූ විශාල මස් කුට්ටියක් ඔහු සිනාසෙමින් ඇගේ පිඟානට බෙදුවේ ය. ඔහු ගේ දකුණු අත තවමත් හොඳින් සුව වී නොමැති බව ඔහු සුරත පාවිච්චි කරන ආකාරයෙන් ඇය වටහා ගත්තා ය. එනමුදු ඒ ගැන ඔහු වදනකිනුදු පැමිණිලි නොකලේ ය.

මේ හැමටම පසුව අතුරුපස පැමිණියේ ය. සීනි තැවරූ ලෙමන් කේක්, කුරුඳු යොදා සුවඳවත් කරන ලද පැළහූ ඇපල්, පරෙවි පයි සහ තවත් නොයෙකුත් දේ ඒ අතර විය. එනමුදු මේ වනවිට සන්සාගේ උදරය කෙතරම් පිරී තිබුනේද යත්, ඇය කෙතරම් ආසා කලද කුඩා ලෙමන් කේක් දෙකකට වඩා යමක් ඇයට අනුභව කල නොහැකි විය. තවත් ලෙමන් කේක් කැබැල්ලකට වග කියම්දෝ නොකියම්දෝයි දෙගිඩියාවෙන් මෙන් ඇය වදවෙමින් සිටියදී රජතුමා කෑ ගසන්නට පටන් ගති‍.

පැමිණෙන සෑම ආහාර වේලක් පාසාම රොබර්ට් රජතුමා ගේ හඬ වඩවඩාත් උස් වෙමින් පැවතිනි. විටින් විට ඔහු කිසියම් විහිළුකට මහහඬින් සිනාසෙන හඬ හෝ යම් අණක් නිකුත් කරන හඬ හෝ පිඟන් මත හැඳි ගෑරුප්පු ගැටෙන හඬ හෝ සන්සාට ඇසී තිබින. එනමුදු ඔහු කියන දෙය වටහාගැනීමට තරම් ළඟක ඇය නොසිටියේ ය.

එසේ වුවද, දැන් ඔහුව සෑම දෙනාටම ඇසින. "නෑ." අන් සියළු හඬවල් මැකී යන ගර්ජනාවකින් ඔහු බිරුසන් දුන්නේ ය. රතු වී ගිය මුහුණින් යුතුව, දෙපසට වැනෙමින් දෙපයින් සිටගෙන සිටි රජතුමා දුටු සන්සා ත්‍රාසයට පත් වූවාය. ඔහු ගේ එක් අතක වයින් පූකුරුවක් තිබුනු අතර ඔහු මිනිසකුට විය හැකි උපරිම අන්දමින් බීමත්ව සිටියේ ය. "මං කරන්ට ඕන මොකක්ද කරන්ට ඕන නැත්තෙ මොකක්ද කියලා උඹ කියලා දෙන්ට ඕන නෑ ගෑනියෙ." ඔහු සෙර්සි රැජිණට කෑ ගැසුවේ ය. "මමයි මෙතන රජා. උඹට තේරුනාද? මමයි මෙතන පාලනය කරන්නෙ. මම කියනවානං මම හෙට සටන් කරනවා කියලා මම හෙට සටන් කරනවා!"

සෑමදෙනාම ඒ දෙස බලා සිටියහ. සෙර් බැරිස්ටාන්, රජු ගේ සොහොයුරා රෙන්ලි, ඇයට අද සවස අමුතු අන්දමින් කතා කල අර කොට මිනිසා ආදීන් එහි වුවද ඒ කිසිවෙකුත් සිද්දියට මැදිහත් වන්නට සිතූ බවක් නොපෙනින. රැජිණ ගේ මුහුණ හිමෙන් කල කැටයමක් පරිද්දෙන් ‍ලේ සිඳී ගොස් සුදුමැලිව ගොස් තිබින. මේසයෙන් නැගිට සිටි ඇය සිය දිගු සායද ඔසවාගෙන, පිටුපසින් පිරිවරාගත් සේවකයින්ද කැටුව, නිහඬවම පිටව ගියාය.

ජේමි ලැනිස්ටර් රජතුමා ගේ උරහිස මත අතක් තැබූ අතර රජතුමා ඔහුව වැරෙන් තල්ලු කර දැමීය. පා පැකිළුනු ලැනිස්ටර් බිම ඇද වැටින. රජතුමා කොක්හඬලා සිනාසුනේ ය. "මහ ලොකු නයිට්වරයා. මට තාමත් උඹව බිම දාන්ට පුළුවන්. ඒක මතක තියාගනිං රජුන් මරන්නො." ඔහු අතේ තිබුනු පූකුරුවෙන් පපුවට ගසාගත් අතර පටරෙදි කමිසය පුරා වයින් ඉහිර ගියේය. "මගේ යගදාව අතට ගත්තොත් මේ මුලු රාජධානියෙම ඉන්න එකෙකුටවත් බෑ මගෙත් එක්ක හැප්පෙන්ට!"

නැගිට සිටි ජේමි ලැනිස්ටර් සිය ඇඳුම්වල වූ දූවිලි පිස දා හැරියේ ය. "එහෙමයි මගේ ස්වාමිනී." ඔහු දරදඬු ස්වරයෙන් පිළිතුරු දුන්නේ ය.

රෙන්ලි උතුමානන් සිනාසෙමින් ඉදිරියට පැමිණියේ ය. "වයින් ටික ඔක්කොම හැලිලා ගිහිල්ලා රොබර්ට්. දෙන්ට මං අලුත් පූකුරුවක් ගේන්නං."

ජොෆ්රි ඇගේ බාහුව මත අත තැබූ අතර අනපේක්ෂිතව සිදු වූ මේ දේ නිසා සන්සා තැති ගත්තා ය. "පරක්කු වෙනවා." කුමරා කීවේය. ඔහු ගේ මුහුණේ අසාමාන්‍ය පෙනුමක් විය. හරියටම ඔහු ඇයව කිසිසේත්ම නොදකින්නාක් මෙනි. "ඔබව ආපහු බලකොටුවට එක්කන් යන්ට කවුරුහරි එවන්ටද?"

"ඕන නෑ." සන්සා කීවාය. ඇය සෙප්ටා මෝර්ඩේන් දෙස හැරී බැලුවද, මේසය මත හිස ගසාගෙන සිහින් හඬින් ගොරවමින් නිදා සිටි සෙප්ටා දුටු විට බියෙන් ගැස්සුනා ය. "මම කියන්ට හැදුවෙ... ඔවු. බොහොම ස්තූතියි! ඒක හරිම කරුනාවන්තයි. මට මහන්සියි. ඒ වගේම පාර කරුවලයි. මට මොකක් හරි ආරක්ෂාවක් තිබ්බනං හොඳයි."

ජොෆ්රි කෑ ගැසුවේ ය. "බල්ලෝ!"

එසැනින් සැන්ඩෝර් ක්ලිගේන් ප්‍රාදූර්භූත විය. ඔහු සිය සන්නාහය ඉවත් කර ඒ වෙනුවට පපුවේ බල්ලෙකු ගේ හිසක් ගෙත්තම් කර තිබුනු රතු ලොම් කංචුකයක් හැඳ සිටියේ ය. පන්දම් එළිය නිසා ඔහු ගේ පිළිස්සුනු මුහුණ රතු පැහැයකින් බැබලින. "මගේ ස්වාමිනී‍."

"මගේ කුමාරිකාව පරිස්සමෙන් බලකොටුවට එක්කන් පලයං. එයාට කිසිම අනතුරක් වෙන්ට දෙන්ට එපා." කිසිදු සමුගැනීමේ වදනකුදු නොමැතිව නැගී සිටි ජොෆ්රි කුමරා ඇයව එතැන තනිකර දමා පිටව ගියේය.

දඩබල්ලා තමා දෙස බලා සිටින'යුරු සන්සාට දැනින. "ඔබ හිතුවද ජොෆ් එයාම ගිහිල්ලා ඔබව ඇරලයි කියලා?" ඔහු සිනාසුනි. "ඒක වෙයි කියලා මමනං හිතන්නෙ නෑ." ඔහු ඇයව අතින් ඇද නැගිට්ටෙවුවේ ය. "එන්ට. නිදාගන්ට ඕනකරන එකම එක්කෙනා ඔබ විතරක් නෙවෙයි. මම බිවුවා හොඳටෝම වැඩියි. අනෙක සමහරවිට හෙට මට මගේ සහෝදරයාව මරලා දාන්ටත් වෙයිද දන්නෙ නෑ." ඔහු නැවතත් සිනාසුනි.

හදිසියේම සිතේ බියක් හටගත්තෙන් සන්සා සෙප්ටා මෝර්ඩේන්ව අවදි කරන අටියෙන් ඇගේ උරහිසෙන් අල්ලා සෙලවූවා ය. එනමුදු ඇය වඩාත් හයියෙන් ගොරවන්නට වීම හැර අන් යමක් සිදු වූයේ නැත. රොබර්ට් රජතුමාද වැනී වැනී යන්නට ගොස් තිබුනු අතර බංකුවලින් අඩක්ම මේ වන විට හිස්ව තිබින. භෝජන සංග්‍රහය අවසන් වී තිබුනු අතර ඇගේ සුන්දර සිහිනයද ඒ සමගින් අවසන් වී තිබින.

සිය මාර්ගය එළිය කරනු වස් දඩබල්ලා පන්දමක් ගලවා ගත්තේ ය. සන්සා ඔහු පිටුපසින් ඔහුට සමීපයෙන් ගමන් ගත්තා ය. භූමිය අසමතුලිත හා ගලින් ගහන වූ අතර සුළඟට සැලෙන පන්දම් දැල්ල නිසා ගමන තවත් ව්‍යාකූල විය. ඇය දෑස් බිමට හරවාගත්තී තබන තබන පියවරක් පාසා සුපරීක්ෂාකාරී වුවාය. ධජපතාක වලින් සරසා තිබුනු මණ්ඩප පසුකරමින් ඔවුන් ඉදිරියට ඇදෙන්නට වූ නමුදු සෑම මොහොතක්ම තව තවත් නිහඬතාවයෙන් බර විය. දඩබල්ලා ගේ දර්ශනය සන්සාට ඉවසා සිටිය නොහැකි තරම් විය. ඔහු ඇයව බිය ගැන්වූයේ ය. එනමුදු ඇය හැදී වැඩී තිබුනේ සියළුම ආකාරයේ ආචාරශීලීත්වයන් මැද්දේ වූ අතර නියම කුලීන ආර්යාවක් නම් කිසිවිටෙකත් ඔහු ගේ මුහුණේ අවලස්සන ගැන තැකීමක් නොකරතියි ඇය තමාටම කියා ගත්තා ය. "ඔබ අද බොහොම නිර්භීත විදියට පොර වැදුනා සෙර් සැන්ඩෝර්." ඇය අමාරුවෙන් මෙන් කියාගත්තා ය.

සැන්ඩෝර් ක්ලිගේන් දත් නියෙවුවේ ය. "උඹේ ඔය මෝඩ ප්‍රශංසා නවත්තගනින් කෙල්ලෙ... ඔය 'සෙර්' කෑල්ලත් නවත්තගනින්. මම නයිට් කෙනෙක් නෙවෙයි. මම නයිට්වරුන්ටයි උංගෙ අර මලඉලවු දිවුරුමටයි කෙල ගහනවා. මගේ සහෝදරයානං නයිට් කෙනෙක්. උඹ දැක්කද අද එයා පොර වදිනවා?"

"ඔවු." සන්සා වෙවුලමින් මිමිනුවා ය. "එයා හරිම..."

"නිර්භීතයිද?" දඩබල්ලා වාක්‍යය අවසන් කලේය.

ඔහු තමාට සමච්චල් කරන බැව් ඇය වටහා ගත්තාය. "එයාගෙ ශක්තිය ඉදිරියෙ බිඳ වැටෙන්නෙ නැතුව ඉන්ට කාටවත් බෑ." ඇය අන්තිමේදී කියා ගත්තාය.

සැන්ඩෝර් ක්ලිගේන් හදිසියේම අන්ධකාරය මැද්දේ එතැනම නතර විය. ඔහු පසෙකින් නතරවනු හැර ඇයට අන් විකල්පයක් නොවීය. "සෙප්ටා උඹව බොහොම හොඳට පුරුදු කරලා තියෙනවා. උඹත් හරියට අර ගිම්හාන දූපත්වල ඉන්න ලස්සන කුරුල්ලෙක් වගෙයි. එහෙම නේද? කතාකරන පුංචි ලස්සන කුරුල්ලෙක්. උං උඹට උගන්නපු ලස්සන ලස්සන වචන තේරුමක් නැතුව දොඩව දොඩව ඉන්න ලස්සන පුංචි කුරුල්ලෙක්."

"ඒක හරිම නපුරුයි." සිය හදවත පපුව තුළ වේගයෙන් ගැහෙන අයුරු ඇයට දැනින. "ඔබ මාව බය කරනවා. මට දැන් ගෙදර යන්ට ඕන."

"එයාගෙ ශක්තිය ඉදිරියෙ බිඳ වැටෙන්නෙ නැතුව ඉන්ට කාටවත් බෑ." දඩබල්ලා අමිහිරි ස්වරයෙන් කීවේය. "ඒක ඇත්ත. කිසිම කෙනෙකුට කවදාවත් ග්‍රෙගර් ඉස්සරහදි බිඳ වැටෙන්නෙ නැතුව ඉන්ට බැරිවුනා. අද අර කොල්ලා, එයාගෙ දෙවෙනි පොරය. ආහ්! ඒකනං හරිම ලස්සන වැඩක්. උඹත් ඒක දැක්කා එහෙම නේද? මෝඩ කොල්ලෙක්. ඌට කිසිම අයිතියක් නෑ මේ ව‍ගේ සමාගමකට වැටිලා පොර අල්ලන්ට. සල්ලි නෑ, සහචරයෙක් නෑ, සන්නාහය හරියට අන්දන්ට කවුරුවත් නෑ. පටිය හරියට තද වෙලා තිබුනෙ නෑ. උඹ හිතනවද ග්‍රෙගර් ඒක දැක්කෙ නෑ කියලා? උඹ හිතනවද සෙර් ග්‍රෙගර්ගෙ ලන්සෙ එතනට වැදුනෙ අහම්බෙන් කියලා? ලස්සන පුංචි දොඩවන කෙල්ල. උඹ ඒ කතාව විශ්වාස කරනවා. උඹනං ඇත්තටම කුරුල්ලෙක් වගේම මැටි ඔළුවක් තියෙන කෙනෙක්. ග්‍රෙගර්ගෙ ලන්සෙ යන්නෙ ග්‍රෙගර්ට ඕන තැනට. මා දිහා බලපන්. මා දිහා බලපන්!" සිය සුවිසල් අත්ල ඇගේ නිකට යටින් තැබූ ඔහු බලෙන්ම ඒ මුහුණ එසවූයේ ය. ඔහු ඇය ඉදිරියේ උක්කුටියෙන් හිඳ ගත්තේ පන්දම තවත් ලං කර ගත්තේ ය. "මෙන්න තියෙනවා උඹට ලස්සන මූනක්. හොඳට බලාගනින්. මම දැක්කා උඹ රජමාවත දිගටම මගේ මූන දිහා නොබලා අහක බලන්ට ලොකු උත්සාහයක් දරන විදිය. යකාට පලයං. හොඳට බලාගනින්."

ඔහු ගේ අතැඟිලි යදඬු මෙන් ඇගේ හණුවලින් තරයේ අල්ලාගෙන සිටියේ ය. ඒ දෑස් ඇගේ දෑස් අධ්‍යයනය කලේය. බීමත් දෑස්, කේන්තියෙන් පිරුනු දෑස්. ඇයට ඒ දෙස බලා සිටීම හැර වෙනත් කල හැක්කක් නොවින.

ඔහු ගේ මුහුණේ දකුණු පස වෑරී ගොස් තිබින. උස් කම්මුල් ඇට හා ඝනකම් ඇහිබැම යට අඳුරු අළු පැහැ ඇසක් පිහිටා තිබින. ඔහු ගේ නාසය වක් වූ ලොකු නාසයක් විය. ඔහු ගේ තුනී හිසකෙස් කළු පැහැයක් ගත්තේ ය. ඔහු දිගට වැවූ හිසකෙස් පැත්තට පීරා තිබුනේ හිසේ වම්පස කිසිදු හිසකෙසක් වැවී නොතිබුනු බැවිනි.

ඔහු ගේ මුහුණේ වම් පස නටඹුන් වී තිබින. වම් කණ සම්පූර්ණයෙන්ම පිළිස්සී ගොස් තිබුනු අතර එහි ඉතිරිව තිබුනේ කණ් කුහරය පමණි. වම් ඇස හොඳින් ක්‍රියා කලද ඒ වටා වූ මස වියළී ගිය සමක් මෙන් කළු පැහැ හා දැඩි වූයේය. එහි තිබුනු ආවාට හා ගැඹුරු පැළුම් ඔහු සෙලවෙන විට රත් පැහැයෙන් දිස්නය දුනි. හණුවේ මස් පිළිස්සී ගිය තැනක ඇටකටුව යාන්තමින් දැකිය හැකි විය.


සන්සා හඬන්නට පටන්ගත්තා ය. ඔහු ඇයව අත හැර පන්දම පොළොවේ ඔබා නිවා දැමුවේ ය. "ඒ ගැන කියන්ට මොකුත් ලස්සන වචන නැද්ද කෙල්ලෙ? සෙප්ටා උඹට උගන්නලා නැද්ද ඒ වගේ වෙලාවට කියන්ට මොකක් හරි බොරු ප්‍රශංසාවක්?" පිළිතුරක් නොමැති තැන ඔහු නැවත කතාව පටන් ගත්තේය. "ගොඩක් එවුන් හිතන්නෙ ඒක යුද්ධෙකදි ඇති වුන එකක් කියලා. වැටලීමක්, ගිනිගන්න කුළුණක්, සතුරෙකුගෙ පන්දමක්. එක මෝඩයෙක් එක පාරක් ඇහුවා ඒ මකරාග්නියද කියලත්." ඔහු ගේ සිනහව මෙවර වඩා මෘදු වුවද එහි තවමත් පෙර පරිදිම අමිහිරි ගතිය තැවරී තිබින. "මං උඹට කියන්නං ඒක වුනේ කොහොමද කියලා කෙල්ලෙ." ඔහු ඇයට කෙතරම් සමීප වී සිටියාද යත් ඔහු ගේ ප්‍රශ්වාසයේ ඇති අමිහිරි වයින් පුසුඹ පවා ඇයට දැනින. "මම එතකොට උඹටත් වඩා ලාබාලයි. හයක් නැත්තං හතක් විතර ඇති. ලී කැටයං කාරයෙක් අපේ ගමේ ‍පොඩි සාප්පුවක් ඇරියා. මගේ තාත්තගෙ බලකොටුවට පහළින්. තාත්තගෙ ප්‍රසාදය දිනාගන්ට ඕන හින්දා මිනිහා අපට තෑගි එවුවා. ඒ නාකි මිනිහා බොහොම ලස්සන සෙල්ලම් බඩු හදන්ට දක්ශයා. මට මතක නෑ හරියටම මොකක්ද මට හම්බවුනේ කියලා. ඒත් මට ඕන වුනේ ග්‍රෙගර්ට හම්බවෙච්චි සෙල්ලම් බඩුව ගන්ටයි. ඒක ලීයෙන් හදාපු නයිට් කෙනෙක්. ලස්සනට පාට ගාලා. ඇඟේ හැම කොටසක්ම වෙන වෙනම හදලා නූල්වලින් පුරුද්දලා. හරියට රූකඩයක් වගේ, සෙල්ලම් කරන්ට පුළුවන්. ග්‍රෙගර්ට මට වඩා අවුරුදු පහක් වයසයි. මේ සෙල්ලම් බඩුවෙන් එයාට එතකොට ඇති වැඩක් නෑ. එයා එතකොටත් නයිට්වරයෙක්ගෙ සහචරයෙක්. එතකොටත් අඩි හයකට කිට්ටුවෙන්ට උසයි, ගොනෙක් වගේ මස්පිඬු හැදිලා, ගොනෙක් වගේ ශක්තිමත්. ඉතින් මං එයාගෙ අර සෙල්ලම් නයිට්ව ගත්තා. ඒ වුනත් ඒකෙ කිසිම සතුටක් තිබුනෙ නෑ. මම හොඳටම බයවෙලයි හිටියෙ, මං කරපු වැඩේ එයාට අහුවෙයි කියලා. ඒ වගේම එයාට මාව අහුවුනා. ග්‍රෙගර් වචනයක්වත් කිවුවෙ නෑ. මාව බෙල්ලෙන් අල්ලගෙන, කාමරේ උණුහුම් කරන්ට කියලා තියලා තිබ්බ ගිනිඅඟුරු කල්දේරම ගාවට මාව ඇදගෙන ගියා. ගිහිල්ලා මගේ මූන එබුවා අර ගිනිගන්න ගල්අඟුරු ගොඩේ. ඔබලා මාව එහෙමම අල්ලගෙන හිටියා. මම කෑ ගැහුවා, කෑ ගැහුවා. උඹ දැක්කනෙ එයා කොච්චර ශක්තිමත්ද කියලා. ඒ කාලෙත් එහෙමයි. මාව එයාගෙන් ගලවගන්ට වැඩුනු මිනිස්සු තුන්දෙනෙක් ඕන වුනා. පූජකයො බොරුවට කෑ ගහනවා අපා හතක් ගැන. උං මොනාද දන්නෙ? ඇත්තටම ගින්නෙන් පිච්චුන මිනිහෙක් විතරයි ඇත්තටම අපාය කොහොම එකක්ද කියලා."

"මගේ තාත්තා හැමෝටම කිවුවෙ මගේ නිදන කාමරේ ගිනි ගත්තා කියලයි. අපේ මේස්ටර් මගේ තුවාලවල තෙල් ජාති ගාලා සාත්තු කලා. තෙල් සාත්තුව! ග්‍රෙගර්ටත් එයාගෙ තෙල් සාත්තුව හම්බවුනා. අවුරුදු හතරකට පස්සෙ උං එයාව සප්තාලේපයෙන් අභිෂේක කලා. එයා එයාගෙ නයිට් දිවුරුම කියෙවුවා. රේගාර් ටාර්ගේරියන් එයාගෙ උරහිසේ කඩුව තියලා මෙහෙම කිවුවා. ' නැගිටින්ට සෙර් ග්‍රෙගර්'."

ඔහු ගේ ගොරෝසු හඬ බිඳී ගියේය. ඔහු නිහඬවම ඇය ඉදිරියේ උක්කුටියෙන් වාඩි වී බලා සිටියේ ය. ඇගේ දෑසෙන් වසන්වුනු දැවැන්ත කළු පැහැ ඡායාවක් මෙන් බලා සිටියේ ය. ඔහු හුස්ම ගන්නා හඬ ඇයට ඇසෙන්නට විය. තමා තුළ ඔහු ගැන අනුකම්පාවක් ඇතිවෙමින් තිබෙන බැව් ඇයට තේරුම් ගියේය. ඇගේ සිතේ පෙර පැවති බිය නැතිවී ගොස් අනුකම්පාවක් නැග එන්නට විය.

නිහඬතාව දිගින් දිගටම ඇදී ගියේය. එය කෙතරම් දිගු වේලාවක් ඇදී ගියාදැයි කිවහොත් ඈ තුළ නැවතත් බියක් මතු වන්නට විය. එහෙත් ඒ බිය ඇය ගැන ඇති වූ බියක් නොව ඔහු ගැන ඇතිවූ බියක් විය. අත දිගු කල ඇය ඔහු ගේ සද්දන්ත උරහිස මත අත තැබුවා ය. "එයා නියම නයිට් කෙනෙක් නෙවෙයි." ඇය ඔහුට මිමිනුවා ය.

හිස පසුපසට ගැස්සූ දඩබල්ලා මහහඬින් සිනාසෙන්නට විය. පැකිළුනු සන්සා ඔහුගෙන් ඈත් වූවාය. එනමුදු ඔහු ඇගේ අතින් අල්ලා නවත්වා ගත්තේ ය. "නෑ. නෑ පුංචි කිරිල්ලියේ. ඌ නියම නයිට් කෙනෙක් නෙවෙයි."

ගමනේ ඉතුරු කොටසේදී සැන්ඩෝර් ක්ලිගේන් වදනකුදු නොදෙඩීය. කරත්ත නවතා ඇති ස්ථානයට ඇය කැටුව ගිය ඔහු, ඇයව කරත්තයක නංවා ඔහුද එයට ඇතුළු වූයේ තමන් රතු බලකොටුව කරා රැගෙන යන මෙන් රියැදුරුට අණ කලේය. ඔවුහු නිහඬවම රාජ ද්වාරය තුළින් හා රාත්‍රී පහන් දැල්වුනු වීථි ඔස්සේ ගමන් කලහ. බලකොටුවේ කුඩා රහස් දොරක් හරහා ඊට ඇතුළු වූ ඔහු හස්තයේ කුළුණ දක්වාත්, ඇගේ නිදන කාමරවලට පිවිසෙන කොරිඩෝරය දක්වාත් ඇය පසුපසින්ම පැමිණියේ ආරක්ෂාකාරීව ඇයව නිවෙසට ඇරලුවේ ය.

"ඔබට බොහොම ස්තූතියි මගේ උතුමානනි!" ඇය බයාදු අන්දමින් මිමිනුවාය.

ඇගේ අතින් අල්ලාගත් දඩබල්ලා ඇයට සමීප විය. "අද රෑ මම උඹට කියාපු දේවල්..." ඔහු ගේ කටහඬ සාමාන්‍ය අවස්ථාවන්ටත් වඩා ගොරෝසු විය. "උඹ කවදාහරි ඒ කතාව ජොෆ්රිට හරි.. උඹේ නංගිට හරි.. උඹේ තාත්තට හරි.. වෙන කාටහරි කියලා තිබ්බොත්..."

"මම එහෙම කරන්නෙ නෑ." සන්සා කෙඳිරුවාය. "මම දිවුරලා පොරොන්දු වෙනවා."

එනමුදු ඔහුට එය ප්‍රමාණවත් නොවීය. "උඹ කවදාහරි කාටහරි කියලා තිබුනොත් මම උඹව මරනවා."


Petyr Baelish: “Your mother was my queen of beauty once, you have her hair.”

Wednesday 22 October 2014

සන්සා 02-1


සන්සා, සෙප්ටා මෝර්ඩේන් සහ ජේන් පූල් සමගින් හස්තයේ තරගාවලිය නැරඹීම පිණිස පිටත් වූවාය. දෝලාව ආවරණය කර තිබුනු කහ පැහැ සේද තිර රෙදි කෙතරම් සිනිඳු වූවාද යත් ඇයට ඒ හරහා පිටත බැලිය හැකි විය. අවට බැලූ ඇයට මුලු ලෝකයම රනින් නිමවා ඇත්තාක් මෙන් පෙනෙන්නට විය. නගර ප්‍රාකාරවලට පිටින් ගංඉවුරේ මණ්ඩප සිය ගණනක් ගොඩනංවා තිබුනු අතර සාමානය වැසියන් දහස් ගණනක් පොදි කමින් තරග නැරඹීමට පැමිණ සිටියහ. මේ සියල්ලේ විභූතිය විසින් සන්සාට හුස්ම ගැනීමට පවා අමතක කර තිබින. ඉරඑළියේ දිදුලන සන්නාහ, රනින් හා රිදියෙන් අලංකෘත සෛන්ධවයන්, නරඹන්නන් ගේ ඔල්වරසන්, සුළඟේ ලෙලදෙන ධජපතාක... සහ නයිට්වරුන්. අන් සියල්ලටම වඩා නයිට්වරුන් ගේ දර්ශනය ඇයව වශීකෘත කොට තිබින.

"ඒක සින්දුවල කියැවෙනවාටත් වඩා ලස්සනයි." සිය පියා විසින් උසස් වංශවතුන් හා වංශාධිපතිනියන් අතරේ ඔවුන්ට වෙන් කර තිබුනු අසුන් මත තැන්පත් වෙමින් ඇය මිමිනුවා ය. සිය කෙහෙරැළිවල රතු-දුඹුරු පැහැය කැපී පෙන්වන අන්දමේ අලංකාර කොළ පැහැ ගවුමකින් ඇය එදින සැරසී සිටි අතර සැමදෙනාම තමා දෙස බලන බව වැටහුනු ඇය සතුටින් පිනා ගියාය. එකෙකුට එකෙක් නොපරදින තරමේ වීරයන්, ගී සැහැලි සිය ගණනක නම් කියැවෙන වීරයන් රැසක් පිටියට බසිනු ඔවුහු බලා සිටියහ. රාජ්‍යාරක්ෂක බලකායේ නයිට්වරුන් සත් දෙනාගෙන් ජේමි ලැනිස්ටර් හැරෙන්නට අන් සියල්ලෝම කිරි පැහැ කොරපොතු සන්නාහයෙන් හා අලුත වැටුනු හිම මෙන් සුදෝ සුදු පැහැ වූ සළුවලින් සැරසී උන්හ. සෙර් ජේමිද සුදු පැහැ සළුවක් පැළැඳ සිටි නමුදු හිසේ සිට දෙපතුලටම යනතෙක් රන් පැහැයෙන් සැරසී සිටියේ ය. ඔහු ගේ ශිරස්කය සිංහ හිසක හැඩයට සාදා තිබුනු අතර ඔහු ගේ අසිපත පවා රනින් නිමවී තිබින.

අසු පිට යන කන්ද හෙවත් සෙර් ග්‍රෙගර් ක්ලිගේන් ගිරිහිම නිපාතයක් මෙන් ගිගිරුම් දෙමින් ඔවුන් පසුකර ගියේය. මීට වසර දෙකකට පෙරාතුව වින්ටර්ෆෙල්හි ආගන්තුකයෙක් වශයෙන් පැමිණි යොන් රොයිස් උතුමානන් හෙවත් ලෝකඩ යොන් හඳුනාගැනීමට සන්සාට හැකි විය. "එයාගෙ සන්නාහය හදලා තියෙන්නෙ ලෝකඩින්. ඒක අවුරුදු දාස් ගානක් පැරණියි. ඒකෙ මායාකාරී අකුරු වගයක් කොටලා තියෙනවා එයාට සිද්දවෙන විපත්වලින් ආරක්ෂාව ලබා දෙන්ට." ඇය ජේන්ට කෙඳිරුවා ය. ඇඟිල්ල දිගු කල සෙප්ටා මෝර්ඩේන් රිදී හා දම් පැහැයෙන් සැරසුනු, සිය ශිරස්කයේ රාජාළි පියාපත් දෙකක් සවි කරගත් ජේසන් මැලිස්ටර් උතුමානන්ව ඔවුන්ට පෙන්වූවා ය. ගංගා ත්‍රිශූලය අසල සටනේදී ඔහු විසින් රේගාර් ගේ ධජ දරන්නන් තිදෙනෙකු කපා බිම හෙලා තිබින. මුඩු කල හිසකින් යුත් සුළඟේ ලෙලදෙන රතු ලෝගුවකින් සැරසුනු රණකාමී පූජකයකු වූ ම(ර්)හි තොරෝස් දුටු දැරියන් දෙදෙනා කැකිරි පලන්නට වූහ. එහෙත් වරක් ජ්වලිත අසිපතක් අතින් ගත් ඔහු පයික් හි ප්‍රාකාර මත සිට සිය සතුරන් සමූල ඝාතනය කල අයුරු විස්තර කල සෙප්ටා ඔවුන් දෙදෙනාව නිහඬ කරන්නට සමත් වූවාය.

එහි ගමන්ගත් තවත් බොහෝ අසරුවන් සන්සා කොහෙත්ම දැන සිටියවුන් නොවූහ. අතැඟිලි සහ හයිගාර්ඩ්න් සහ ඩෝර්න් හි කඳුකරයේ සිට පැමිණි දෙවන පන්තියේ නයිට්වරුන්, නම නොදන්නා නිදහස් අසරුවන් හා අලුත උසස් කෙරුනු සහචරයින්, උසස් වංශාධිපතීන් ගේ බාල පුතුන් හා පහළ මට්ටමේ වංශාධිපති පවුල්වල උරුමක්කරුවන්. තරුණ මිනිසුන්. මේ අතරින් බොහොමයක් දෙනා මේ වනතෙක් තම නම කියැවෙන අන්දමේ දෙයක් කර නොතිබුනවුන් වූහ. එහෙත් මතු යම් දිනෙක රාජධානි සප්තකය පුරා ඔවුන් ගේ නම් කියැවෙනු ඇති බවට සන්සා හා ජේන් එකඟවූහ.

ග්‍රෙගර් ක්ලිගේන්
සෙර් බේලන් ස්වෝන්, බ්‍රයිස් කැරන් උතුමානන්, ලෝකඩ යොන් ගේ උරුමක්කරු වන සෙර් ඇන්ඩාර් රොයිස් හා ඔහු ‍ගේ බාල සොයුරු සෙර් රොබාර්. සිය පියාණන් ගේ සන්නාහය හැඩ කල ඒ පුරාණ මායා අක්ෂර ඔවුන් දෙදෙනා ගේ රජතමය සන්නාහ මතද ලෝකඩින් කොටා තිබින. රෙඩ්වින් වංශ සලකුණ වන නිල් පසුබිමේ දම් පැහැ මිදි පොකුරකින් හැඩ කෙරුනු පලිස් දැරූ නිවුන් සොයුරන් දෙදෙනා, සෙර් හොරාස් සහ සෙර් හොබර්. ජේසන් උතුමානන් ‍ගේ පුතණුවන් වන සෙර් පැට්‍රික් මැලිස්ටර්. ක්‍රොසින්ග් සිට පැමිණි ෆ්‍රේ වරුන් සයදෙනෙක්; සෙර් ජැරඩ්, සෙර් හොස්ටීන්, සෙර් ඩැන්වෙල්, සෙර් එමන්, සෙර් තියෝ සහ සෙර් පර්වින්. මේ සියලු දෙනාම වෝල්ඩර් ෆ්‍රේ උතුමානන් ගේ පුතුන් හා මුණුබුරන් වූහ. ඔහු ගේ අවජාතක පුතු මාර්ටින් රිවර්ස්ද ඒ අතර වූහ.

ගිම්හාන දූපත්වලින් පිටුවහල් කෙරුනු කුමරෙකු වන ජලබාර් ක්ෂෝ දුටු ජේන් පූල් බියපත් වූවාය. රාත්‍රිය මෙන් කළු පැහැ සිරුරකින් හෙබි ඔහු කොළ හා ලේ රතු පැහැ පිහාටුවලින් කෙරුනු කබායක් හැඳ සිටියේ ය. එනමුදු, කළු පසුබිමේ අකුණක සලකුණක් ඇති පලිසක් දැරූ, රතු රන් පැහැ හිසකෙසින් යුතු කඩවසම් තරුණ බෙරික් ඩොන්ඩරියන් උතුමානන් දුටු ඈ එසැනින් ඔහු හා පෙමින් බැඳුනේ අද මේ මොහොතේ වුව ඔහු හා විවාහ වීමට තමා සූදාණම් බැව් විලියෙන් රතුවෙමින් කියා සිටියා ය.

දඩබල්ලා ද තරගාවලියට ඇතුළත්ව සිටියේ ය. එමෙන්ම රජු ගේ සොයුරා වන ස්ටෝර්ම් එන්ඩ්හි උරුමක්කරු කඩවසම් රෙන්ලි බරතියන් උතුමානන්ද ඊට සහභාගි වූයේය. ජොරී, ඇලන් හා හාර්වින් වින්ටර්ෆෙල් සහ උතුර නියෝජනය කරමින් ඊට සහභාගි වූහ. "මේ අනිත් අයත් එකක් බලපුවහම ජොරී නිකං හිඟන්නෙක් වගේ." ඔහු ඔවුන් ඉදිරියෙන් යද්දී සෙප්ටා මෝර්ඩේන් හැඬුම් ස්වරයෙන් කීවාය. සන්සාට ඊට එකඟ නොවීමට හැකියාවක් නොවීය. ජොරී කිසිදු අලංකාරයක් හෝ ආයිත්තමක් නොමැති චාම් නිල්-අළු පැහැ සන්නාහයක් පැළැඳ වැරහැල්ලක් මෙන් දිස් වූ සිනිඳු අළු පැහැ සළුවක් උරහිසේ දවටාගෙන සිටියේ ය. එනමුදු ඔහු මනාව සටන් වැදුනු අතර තම පළමු අසරු පොරයේදී සෙර් හොරාස් රෙඩ්වින් ද, දෙවන වටයේදී ෆ්‍රේ වරයෙක්ද අසුපිටින් බිම හෙලන්නට සමත් වූවේය. තෙවන වටයේදී ඔහු නිදහස් අසරුවෙකු වූ ලොතෝර් බෘන් හා තෙවරක් පොර වැටුනේ ය. දෙදෙනාගෙන් කිසිවෙකුත් තරගය පරාද නොවූ නමුදු ලොතෝර් ගේ ලන්ස පහරවල් වඩා හොඳින් ස්ථානගත වී තිබුනු බැවින් රජතුමා ඔහුට ජයග්‍රහණය පිරිනැමුවේ ය. ඇලන් හා හාර්වින් එතරම් සාර්ථකත්වයක් ලබන්නට සමත් වී නොතිබින. රාජ්‍යාරක්ෂක බලකායේ සෙර් මෙරින් විසින් මුල් වටයේදීම හාර්වින්ව අසුපිටින් බිම දැමූ අතර ඇලන් සෙර් බේලන් ස්වොන් හමුවේ පරාද විය.

අසරු පොරය මුලු දවස පුරාමත් සන්ධ්‍යාකාලය දක්වාත් ඇදී ගියේය. දැවැන්ත යුධ සෛන්ධවයින් ගේ කුර පහරට හසුවූ තරග පිටිය දිනය නිමාවේදී මඩ ගොහොරුවක් මෙන් දිස් විය. අසරුවන් එකිනෙකාට එරෙහිව පොර වදිද්දී, ඔවුන් ‍ගේ ලන්ස කැබලි වී යද්දී සන්සා හා ‍ජේන් කිහිප වරක්ම එකාවන්ව බියෙන් කෑ ගැසූහ. තරගකරුවකු අසු පිටින් බිම වැටෙන සෑමවිටෙකම ජේන් කුඩා දැරියක මෙන් බියෙන් සිය සුරතින් දෑස් මුවා කරගත්තා ය. එනමුදු සන්සා සෑදි තිබුනේ ඊට වඩා දැඩි හැදියාවකින් වූ අතර උසස් කුලීන වංශාධිපතිනියක තරගාවලියකදී හැසිරිය යුත්තේ කෙසේදැයි ඇය දැන උන්නා ය. ඇගේ මේ තැන්පත් බව සෙප්ටා මෝර්ඩේන් ගේ පවා නිරීක්ෂණයට ලක් වී තිබුනු අතර ඇය ඊට අනුකූලතාව දක්වන අයුරින් හිස වැනුවා ය.

රජුන් මරන්නා අතිදක්ෂ අන්දමින් සිය අසු මෙහෙයෙවුවේ ය. ඔහු පුහුණුවීම්වල නියැලී සිටින්නාක් තරම් පහසුවෙන් සෙර් ඇන්ඩාර් රොයිස් හා බ්‍රයිස් කැරන් උතුමානන්ව අසු පිටින් බිම දැම්මේ ය. තෙවන වටයේදී ඔහුට මුනගැසුනේ පෙර වටයන්හිදී තමාට වඩා වසර තිහ හතලිහක් ලාබාල තරුණයන් පහසුවෙන්ම පරදවා තිබුනු සෙර් බැරිස්ටාන් සෙල්මි විය. තරගය තියුණු මුහුණුවරක් ගත් නමුදු අවසන සෙර් ජේමි ජය ලබන්නට සමත් විය.

ජේමි ලැනිස්ටර්
සැන්ඩෝර් ක්ලිගේන් හා ඔහු ගේ දැවැන්ත සොයුරා සෙර් ග්‍රෙගර්ද කිසිවෙකුටත් නැවැත්විය නොහැකි තරගකරුවන් දෙදෙනෙකු වූහ. ඔවුන් දෙදෙනාම එකෙකුට එකෙක් නොපරදින තරම් දරුණු චණ්ඩ අයුරින් සිය ප්‍රතිවාදීන් බිම දැමීමට සමත් වී තිබින. දිනයේ අවාසනාවන්තම සිදුවීම සෙර් ග්‍රෙගර් ගේ දෙවන තරගයේදී සිදුවිය. ඔහු ගේ ලන්සය සිය ප්‍රතිවාදියා වූ මිටියාවතේ සිට පැමිණි තරුණ නයිට්වරයෙකු ගේ ශිරස්ක පටියට යටින් එල්ල වූ අතර පහරේ දැඩිකම කෙතරම් වීද යත් ගෙල පසා කරගෙන ගිය ලන්සය ඔහුට ක්ෂණික මරණයක් ගෙන දුන්නේ ය. තරුණයා ඇදවැටුනේ සන්සා අසුන් ගෙන සිටි තැනට අඩි දහයක වත් නොවූ දුරකිනි. සෙර් ග්‍රෙගර් ගේ ලන්සයේ කැඩුනු තුඩ ඔහු ගේ ගෙලේ ඇමිනී තිබුනු අතර හෘද ස්ඵන්දනය කෙමෙන් වියැකී යද්දී ඔහු ගේ ජීවන රුධිරය ඒ හා සමගාමීව සෙමින් පිටතට ගලා ආවේය. අලුතෙන්ම වැඩ නිමකල ඔහු ගේ සන්නාහය ගිනිදළු මෙන් හිරු එළියේ දිදුලන්නට වූයේය. ඔහු ගේ සළුව ගිම්හානයේ අහසක් මෙන් තද නිල් පැහැ වූ අතර එහි වාටි සුදු පැහැ අඩසඳ හැඩවලින් වැඩ දමා තිබින. එනමුදු කෙමෙන් රුධිරයෙන් තෙත්වද්දී මේ සළුව අඳුරු පැහැ ගැන්වුනු අතර අඩසඳවල් එකින් එක රත් පෑ ගැන්වින.

ජේන් පූල් කෙතරම් තදින් හඬා වැටුනාද යත් ඇයව සැනසීම පිණිස පිටතට රැගෙන යන්නට සෙප්ටා මෝර්ඩේන්ට සිදු විය. එනමුදු සිය උකුළ මත දෑත් බැඳගත් සන්සා වශීකරණයකින් මෙන් ඒ දෙස බලා සිටින්නට විය‍. මිනිසකු මිය යන ආකාරය ඇය මින් පෙර කිසිදා දැක නොතිබින. තමාද හැඬිය යුතුයැයි ඇයට කල්පනා වුවද සිය දෑසට කඳුළු පුරවා ගන්නට ඇය අසමත් විය. සමහරවිට සිය කඳුළු සියල්ල ඇය ලේඩි හා බ්‍රැන් වෙනුවෙන් වැය කර තිබුනා වන්නට ඇත. සමහරවිට ඒ ජොරී හෝ සෙර් රඩ්‍රික් හෝ සිය පියා වූවා නම් තත්ත්වය වෙනස් වන්නට තිබුනු බැව් ඇය තමාටම කියා ගත්තා ය. මේ තරුණ නයිට්වරයා ඇය නොදන්නා ආගන්තුකයකු විය. ඔහු ගේ නම පවා ඇයට අමතකව ‍ගොසිනි. හෙට වන විට මුලුමහත් ලෝකයටම ඒ නම අමතකව යන බැව් සන්සා වටහා ගත්තා ය. ඔහු ගේ නමින් කිසිවෙකු කවදාවත් ගීයක් නොලියනු ඇත. ඔහු ගේ නමින් කිසිවකු කවදාවත් ගීයක් නොගයනු ඇත. එය සැබැවින්ම දුක්බර අවසානයක් විය.

සේවකයින් විසින් මළකඳ ඉවත ගෙන ගිය පසු ඉස්කෝප්පයක් රැගෙන පැමිණි කොලුවකු විසින් ඔහු වැටී සිටි තැන රුධිර පැල්ලම් මැකෙන සේ ඒ උඩින් පස් දමන ලදී. ඉන්පසු සුපුරුදු පරිදි අසරු තරග නැවත ආරම්භ කෙරින.

සෙර් බේලන් ස්වෝන්, ග්‍රෙගර්ට ගොදුරු වුනු අතර රෙන්ලි උතුමානන් දඩබල්ලාට පරාද විය. රෙන්ලි කෙතරම් තදින් තම අසු පිටින් වැටුනාද යත් ඔහු පසුපසට පියාඹා යන්නාක් මෙන් දිස් විය. ඔහු ගේ හිස යමක් බිඳී යන 'ක්‍රැක්' හඬක් නගමින් බිම වැදුනු අතර නරඹන්නෝ ඉහළට ඇදගත් හුස්ම පහළ හෙලා ගැනීමට නොහැකිව ත්‍රාසයෙන් ඒ දෙස බලා සිටියහ. එනමුදු ඒ කැඩී ගොස් තිබුනේ ඔහු ගේ ශිර්ස්කයේ සවි කර තිබුනු රන්වන් ගෝන අඟක් පමණක් වූ අතර ඔහු දෙපයින් නැගී සිටිද්දී තරග නැරඹීමට පැමිණ සිටි සාමාන්‍ය ජනයා ප්‍රීතියෙන් ඔල්වසරන් දුන්හ. රොබර්ට් රජු ගේ කඩවසම් බාල සොයුරා මිනිසුන් අතර බෙහෙවින් ජනප්‍රිය අයකු විය. කැඩී ගිය රන්වන් අං දළුව ඔහු දයාන්විත හිස නැමීමක් සමගින් ජයග්‍රාහී දඩබල්ලාට පිරිනැමූයේ ය. උගුරෙන් හඬක් නැගූ දඩබල්ලා ඒ අං දළුව මිනිසුන් අතරට වීසි කර දැමූයෙන් එය අහුලා ගැනීම සඳහා නරඹන්නන් අතර ගැටුමක් ඇති විය. අන්තිමේදී රෙන්ලි උතුමානන්ටම ඔවුන් අතරට ගොස් ඒ ගැටුම සන්සිඳවන්නට සිදු විය. මේ වනවිට සෙප්ටා මෝර්ඩේන් නැවතත් පැමිණ සිටියා ය. ජේන් ගේ තත්ත්වය අයහපත් වූයෙන් ඇයව නැවත බලකොටුව වෙත පිටත් කර හැරීමට සිදුව තිබින. එනමුදු මේ වනවිට සන්සාට ජේන්ව සහමුලින්ම අමතකව ගොස් තිබින.

තොරෝස්
බෙරික් ඩොන්ඩරියන් ගේ අසු දෙවන පෙළ නයිට්වරයකු අතින් මරණයට පත් වූ අතර ඒ නිසා ඔහු අවමානයට පත් වූ අතර තරගාවලියෙන් ඉවත් කර දැමිනි. සිය සෑදලය නව අසකු පිටට මාරු කරගත් බෙරික් උතුමානන් නැවත තරග බිමට ප්‍රවිශ්ට වූ නමුදු ම(ර්)හි තොරෝස් අතින් පරාජයට පත් විය. සෙර් ආරොන් සැන්ටගාර් හා ලොතෝර් බෘන් ජයපැරදුමක් නොමැතිව තෙවරක් පොර වැටුනහ. ඉන්පසු වටයේදී සෙර් ආරොන්, ජේසන් මැලිස්ටර් උතුමානන් අතින් පැරදුනු අතර ලොතෝර් බෘන් යොන් රොයිස් ගේ බාල පුතණුවන් වන රොබාර්ට ගොදුරු විය. අවසානයේදී තරගකරුවන් සිවුදෙනෙක් ඉතිරි වූහ; දඩබල්ලා සහ ඔහු ගේ දැවැන්ත සොහොයුරා ග්‍රෙගර්, සෙර් ජේමි ලැනිස්ටර් හා සෙර් ලෝරාස් ටිරල් ඒ සිවුදෙනා වූහ.

කුසුම් නයිට්වරයා නමින් හැඳින්වෙන සෙර් ලෝරාස් වනාහි හයිගාර්ඩ්න්හි උතුමානන් සහ දකුණේ ආරක්ෂකයා වන මේස් ටිරල් ගේ බාලම පුතණුවන් විය. දහසය වැනි වියේ පසු වූ ඔහු පිටියට බට තරගකරුවන් අතරින් ලාබාලතමයා වුවද එදා උදෑසන සිය පළමු තරග වට තුනේදීම රාජ්‍යාරක්ෂක බලකායේ නයිට්වරුන් තිදෙනෙකු පරදවන්නට සමත්ව තිබින. මෙතරම් ලස්සන තරුණයකු සන්සා මින් පෙර කිසිදිනෙක දැක නොතිබින. ඔහු ගේ සන්නාහය සංකීර්ණ ලියවැලින් හා මල්කමින් සරසා තිබුනු අතර ඔහු ගේ හිම මෙන් සුදු පැහැ සෛන්ධවයා රතු හා සුදු පැහැ රෝස මල් ගවසා හැඩ කල පොරෝණයකින් ආවරණය කර තිබින. සෑම තරග ජයග්‍රහනයකින්ම පසුව සිය ශිරස්කය ඉවත් කල සෙර් ලෝරාස් සෙමින් පිටිය වටා ගොස් අන්තිමේදී පිරිස අතර සිටින තෝරාගත් රූමත් තරුණියකට එයින් ගලවාගත් සුදු පැහැ රෝස මලක් පරිත්‍යාග කලේය.

ඔහු ගේ අවසන් ප්‍රතිවාදියා වූයේ රොබාර් රොයිස් විය. සෙර් රොබාර් ගේ සන්නාහයේ කොටා තිබුනු පුරාණ මායා අක්ෂර ලෝරාස් ‍ගේ ප්‍රහාරයෙන් ඔහුව ගලවා ගන්නට අසමත් විය. ඔහු ගේ පලිහ දෙපළු කල සෙර් ලෝරාස් ඔහුව කෙතරම් තදින් අසු පිටින් ඇද දැමුයේද යත් රොබාර් මහත් හඬක් නගමින් බිම හොත්තේ ය. ලෝරාස් සිය සුපුරුදු වටය යාම ඇරඹූ අතර රොබාර් කෙඳිරිගාමින් බිම වැටී සිටියේ ය. අන්තිමේදී ගිලන් මැස්සක හොවා ඔහුව සිය කූඩාරමට ඔසවාගෙන යාමට සේවකයින්ට සිදු විය. සන්සා මේ කිසිවක් නොදුටු අතර ඇගේ දෑසේ වශියකින් මෙන් සෙර් ලෝරාස් මත ඇලී තිබින. අන්තිමේදී සුදු පැහැ සෛන්ධවයා ඈ ඉදිරිපිට නතර වූ විට සිය හදවත පුපුරා යන්නට එතැයි ඇය බියපත් වූවාය.

අනිකුත් තරු‍ණියන්ට සුදු රෝස මල් තිලිණ කල නමුදු මෙවර ඇය වෙනුවෙන් ඔහු තෝරාගත්තේ රතු රෝස මලකි. "ආදරණීය ආර්යාවනි, මේ කිසිම ජයග්‍රහණයක් ඔබෙන් අඩක් තරම්වත් ලස්සන නෑ." ඔහු ගේ නිර්භීත බව නිසා ගොළු වී ගිය මුවින් යුතු සන්සා බයාදු ලෙසින් රෝස මල අතට ගත්තා ය. ඔහු ගේ කැරැළි ගැසුනු කෙහෙරැළි දුඹුරු පැහැයෙන් දිදුල අතර ඒ දෑස් රන්වන් දියරයක් මෙන් බැබලින. සෙර් ලෝරාස් පිටව ගොස් බොහෝ වේලාවක් යනතුරුත් ඇය රෝස මලේ සුවඳ විඳිමින් උන්නා ය.

ලෝරාස් ටිරල්
අන්තිමේදී සන්සා හිස එසවූ විට මිනිසෙක් ඇය අසලින් සිටගෙන ඈ දෙස බලා සිටියේ ය. ඔහු කොට, උල් යටි රැවුලක් ඇති, හිසකෙස් මත රිදී පැහැ වයිරමක් සහිත සිය පියා තරම් වයස්ගත පුද්ගලයකු විය. "ඔබ එයාගෙ දුවෙක් වෙන්ට ඕනමයි." ඔහු කීවේ ය. ඔහු සිනාසුනු නමුදු ඒ අළු-කොළ පැහැ දෑසේ එම සිනාවේ සේයාවකදු දැකිය නොහැකි විය. "ඔබට තියෙන්නෙ ටලී පෙනුම."

"මම සන්සා ස්ටාර්ක්." ඇය නොසන්සුන් ස්වරයෙන් කීවාය. මේ මිනිසා පැළැඳ සිටි ලොම් කොලරයක් සහිත ඝනකම් සළුව රිදියෙන් කල කවට කුරුල්ලකු ගේ රූපයක් මගින් උරහිසේ රඳවා තිබින. එමෙන්ම ඔහුට උසස් වංශාධිපතියකුට අනායාසයෙන්ම හිමිවන අන්දමේ ගාම්භීර පෙනුමක්ද හිමිව තිබින. එනමුදු මේ කවුදැයි සන්සා නොදැන සිටියා ය. "මට සමාවෙන්ට. ඒ වුනත් ඔබතුමාව මුනගැහීමේ ගෞරවය මට හිමිවෙලා නෑ උතුමානනි."

සෙප්ටා මෝර්ඩේන් විගසින් ඇයව ගලවා ගත්තා ය. "ඇයි දරුවෝ, මේ ඉන්නෙ රජතුමාගෙ උප‍දේශක සභාවෙ පෙටයර් ‍බේලිෂ් උතුමානන්."

"ඔබේ අම්මා වරක් මගේ සුන්දරත්වයේ රැජිණ වෙලා හිටියා." මිනිසා මෘදු ස්වරයෙන් කීවේය. "ඔබට තියෙන්නෙත් එයාගෙ කෙස් කළඹමයි." ඇගේ දුඹුරු පැහැ කෙස් රොදක් ස්පර්ශ කරද්දී ඔහු ගේ අතැඟිලි කම්මුලේ ගැටින. හිටි අඩියේම ආපසු හැරුනු ඔහු පිටව ගියේ ය.

මේ වනවිට සඳ නැග තිබුනු අතර නරඹන්නෝ වෙහෙසට පත්ව සිටියහ. එමනිසා අවසන් අසරු තරග තුන හෙට උදෑසන මිශ්‍ර සටනට පෙරාතුව පැවැත්වෙන බැව් රජතුමා නිවේදනය කලේය. සාමාන්‍ය ජනතාව අද දවසේ අසරු පොර හා හෙට පැවැත්වීමට නියමිත සටන් ගැන කතාබහ කරමින් නිවෙස් බලා යද්දී වංශාධිපතීන් ගංඉවුරේ රාත්‍රී භෝජන සංග්‍රහය වෙනුවෙන් රැස් වූහ. දැවැන්ත ඔරොක්සයන් සයදෙනෙකු පැය ගනනාවක් තිස්සේ සෙමින් සෙමින් බැදෙමින් තිබුනු අතර සේවකයෝ ඒ මත බටර් හා අනිකුත් සුවඳකාරකයන් තවරමින් සිටියහ. මණ්ඩපවලට පිටතින් දිග මේස හා බංකු පෙළ ගස්වා තිබුනු අතර ඒ මත අලුත බදින ලද පාන්, ස්ට්‍රෝබෙරි, ස්වීට්ග්‍රාස් සහ තවත් නොයෙකුත් දෑ ගොඩගසා තිබින.

රජතුමා සිය රැජිණ සමගින් අසුන් ගෙන සිටි උස් වේදිකාවේ ඔවුන්ට වම්පසින් සන්සා හා සෙප්ටා මෝර්ඩේන් වෙනුවෙන් අසුන් පිළියෙල වී තිබින. ඇ‍ගේ දකුණුපසින් ජොෆ්රි කුමරා අසුන් ගත් විට සිය හුස්ම හිරවී යන්නාක් මෙන් ඇයට දැනින. ගංගා ත්‍රිශූලයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් ඔහු තවමත් ඇය හා එක වදනක්වත් දොඩා නොතිබුනු අතර ඔහුට කතා කිරීමට තරම් දිරි වඩා ගැනීමට ඇයට හැකියාවක් නොවීය. ඔවුන් ලේඩිට සිදු කල දේ නිසා කමා ඔහුට වෛර කරන්නේ යැයි සන්සා මුලින් සිතුවා ය. එනමුදු සිය දෑසේ කඳුළු සිඳී යනතෙක් හැඬූ පසු සිදු වූ දේ සම්බන්ධයෙන් ජොෆ්රි අත වරදක් නැතැයි ඇය තමාටම කියා ගත්තා ය. ඇත්තෙන්ම ඔහු අත වරදක් නැත. ඒ සැමෙකක්ම රැජිණ විසින් සිදු කරන ලද ඒවාය. වෛර කල යුත්තේ ජොෆ්රිට නොව රැජිණටය. ඇයට හා ආර්යාට ය. ආර්යා නොසිටියා නම් මේ කිසිවක් සිදු වන්නේ නැත.

අද රෑ නම් ඇයට කෙසේවත්ම ජොෆ්රිට වෛර කරන්නට හැකියාවක් නොතිබින. ඔහු එතරම්ම ලස්සන වූයේය. ඔහු අද රෑ රන්වන් සිංහ හිස් ගෙත්තම් කොට අලංකාර කරන ලද තද නිල් පැහැ කබායක් හැඳ සිටියේ ය. ඔහු ගේ හිස වටා රනින් හා ඉඳුනිල් මිණෙන් නිමවූ කුඩා ඔටුන්නක් විය. ඔහු ගේ කෙහෙරැළි ඔප දැමූ වානේ මෙන් දීප්තිමත් විය. ඔහු දෙස බැලූ සන්සා වෙවුලා ගියේ, ඔහු තමාව නොතකා හරිනු ඇතැයි හෝ තමාට නැවතත් නපුරු අයුරින් සලකනු ඇතැයි හෝ යන බියෙනි.

එහෙත් ජොෆ්රි, ගී සැහැලි වල කියැවෙන අනිත් ඕනෑම කුමරුවෙකු තරම්ම නිර්භීත අයුරින් සිනාසී ඇගේ අත සිපගත්තේ ය. "සෙර් ලෝරාස්ට ලස්සන දකින්ට පුළුවන් බොහොම හොඳ ඇහැක් තියෙනවා මගේ ආදරණීය ආර්යාවනි."

"එයා ඕනවටත් වඩා කරුනාවන්ත වුනා." සන්සා විරෝධාත්මක ස්වරයෙන් මෙන් කීවේ විනීත වීමට උත්සාහ දරමිනි. එනමුදු ඇගේ හදවත ගී ගයමින් නටමින් සිටියේ ය. "සෙර් ලෝරාස් නියමම නයිට්වරයෙක්. ඔබ හිතනවාද හෙට තරගයෙන් එයා දිනාවි කියලා ම‍ගේ ස්වාමිනී?"

"නෑ." ජොෆ්රි කීවේය. "මගේ බල්ලා එයාව පරද්දයි. නැත්තං මගේ මාමා ජේමි. තව අවුරුදු කීපයක් ගියාම, මටත් තරගවලට ඇතුළුවෙන්ට පුළුවන් වුනාම මම ඔය හැමෝවම පරද්දනවා." අත ඔසවා සේවකයෙකුට සන් කල ඔහු සමර්වයින් ගුරුලේත්තුවක් ගෙන්වාගෙන ඇය වෙනුවෙන් කුසලාණක් පිරෙවුවේ ය. ඇය වියවුල් සිතින් සෙප්ටා මෝර්ඩේන් දෙස බැලුවා ය. එනමුදු ඈ දෙසට නැඹුරු වූ ජොෆ්රි ඇගේ කුසලාණද පිරවූයෙන් සෙප්ටා ජොෆ්රිට ස්තූති කර අන් කිසිවක් නොකියා නිහඬ වූවාය.


Sandor Clegane: “I am no knight. I spit on them and their vows.”