Wednesday 30 July 2014

බ්‍රැන් - 02-1


දඩයක්කාර නඩය උදෑසනින් ම වින්ටර්ෆෙල් වෙතින් පිටත් වී තිබින.

රජතුමාට අද රාත්‍රියේ පැවැත්වෙන භෝජන සංග්‍රහය වෙනුවෙන් වල් ඌරු මස් උවමනා වී තිබින. ජොෆ්රි කුමරාද සිය පියා සමග පිටත් වූ අතර එනිසාම රොබ්ට ද කණ්ඩායමට එක්වීමට අවසර ලැබින. බෙන්ජින් බාප්පා, ජොරී, තියන් ග්‍රේජෝයි, සෙර් රඩ්‍රික් හා රැජිණ ගේ අඟුටුමිටි සොහොයුරා පවා ඔවුන් සමග පිටත් වූහ. මේ අවසන් දඩයම් සවාරිය වූ අතර හෙට උදෑසන ඔවුන් සියලු දෙනාම දකුණුකරය බලා පිටත් වීමට නියමිතව තිබින.

කෙසේ වෙතත් බ්‍රැන්ට ඔවුන් සමග නොගොස් ගැහැණු ළමයින් හා පුංචි රිකන් - සහ අනිවාර්යයෙන්ම ජොන් - සමග මාලිගයේ නතර වීමට සිදු විය. එනමුදු රිකන් පුංචි බබෙක් වූ අතර ගැහැණු ළමයින් ගැහැණු ළමයින්ම වූ නිසා බ්‍රැන්ට ඔවුන් සමග සෙල්ලමට යාම කොහෙත්ම කල හැක්කක් නොවී ය. ජොන් හා ඔහු ගේ වෘක පැටවා ඇසට හසුවන මානයේ නොසිටි අතර බ්‍රැන් එතරම් උනන්දුවෙන් ඒ ගැන සොයා බැලීමටද සිතුවේ නැත. මේ දවස්වල ජොන් හැමදෙනාම සමග අමනාපයෙන් පසු වන නමුදු ඒ ඇයි දැයි සිතා ගැනීමට බ්‍රැන්ට හැකි වූයේ නැත. ඔහු නිශා රැකුමට බැඳීම පිනිස බෙන් බාප්පා සමග ප්‍රාකාරය වෙත යාමට නියමිතව තිබින. එය රජතුමා සමග දකුණුකරයට යෑම හා සමානම හොඳ දෙයකි. ඔවුන් මෙහි තනිකර දමා යන්නේ රොබ්ව මිස ජොන්ව නොවේ.

දවස් ගනනාවක් පුරා බ්‍රැන් පුල පුලා බලා සිටියේ පිටත්වන දිනය පැමිණෙන තෙක් ය. ඔහු සිය සුපුරුදු පෝනියා වෙනුවට ඇත්තම ඇත්ත අශ්වයකු පිට නැගී රජමාවතේ ගමන් කරන්නට යයි. සිය පියා රජතුමා ගේ හස්තය බවට පත්වීමට නියමිත අතර ඔවුහු කින්ග්ස් ලෑන්ඩින්ග්හි රතු බලකොටුවේ ජීවත්වීමට යති. මේ බලකොටුව මකරාධිපතියන් විසින් ‍ගොඩ නැගූවකි. නාකි ආයම්මා කියන අන්දමට නම් එය හොල්මන්, දඟගෙවල් හා බිත්ති දිගට එල්ලූ මකර හිස්වලින් පිරී ඇත. මේ ගැන සිතද්දී පවා සිය සිරුර වෙවුලා යනු බ්‍රැන්ට දැනින. සිය පියාට අමතරව රජතුමා ද ඔහු ගේ සියලුම නයිට්වරුන් ද රජුට පක්ෂපාතී සියලුම සෙබළුන් ද යන සැවොම එහි සිටිති.

බ්‍රැන් ද කෙදිනක හෝ නයිට්වරයකු වීමට සිතා ගෙන සිටියි. රාජ්‍යාරක්ෂක බලකා‍යේ නයිට්වරයකු නම් වඩාත් හොඳය. නාකි ආයම්මා කියන්නේ මුළු රාජධානියේම සිටින දක්ෂතම සටන්කරුවන් ඔවුන් බවය. ඔවුන් සෑමවිටම සුදු පැහැ සන්නාහ පැළැඳි සත් දෙනෙකු‍ගෙන් යුත් කණ්ඩායමක් විය. ඔවුන් කිසිදා විවාහ නොවූ අතර රජුට සේවය කිරීම වෙනුවෙන්ම පමණක් ජීවත්වූවෝ වූහ. ඔවුන් ගැන ලියැවුනු හැම කතාවක්ම පාහේ බ්‍රැන් දැන සිටියේ ය. ඔවුන් ගේ නම් ඔහු ගේ කණට සංගීතයක් බඳු විය. දර්පණ පලිහේ සර්වින්, සෙර් රයම් රෙඩ්වින්, මකර නයිට්වර ඒමන් කුමරා, කවීන් විසින් 'මකර නැටුම' යනුවෙන් හඳුන්වනු ලබන වසර සිය ගණනකට පෙර සිදුවුනු ඒ යුද්ධයේ දී එකිනෙකාට එරෙහිව සටන් වැද මියගිය නිවුන්නු දෙදෙනා සෙර් එරික් හා සෙර් ඇරික්. සුදු ගොනා - සෙර් ජෙරල්ඩ් හයිටවර්, උදෑසනේ අසිපත - සෙර් ආතර් ඩේන්, නිර්භීත බැරිස්ටාන්.

රාජ්‍යාරක්ෂක බලකායේ සෙබළුන් දෙදෙනෙක් රොබර්ට් රජු සමග උතුරට පැමිණ සිටියහ. බ්‍රැන් වශීකරණයකින් මෙන් ඔවුන් දෙදෙනා දෙස බලා සිටි මුත් ඔහුට ඔවුන් සමග කතා කිරීමට තරම් ධෛර්යයක් උපදවා ගත නොහැකි විය. සෙර් බො‍රෝස් මහත ගෙලකින් යුතු තට්ට හිසැත්තෙකු වූ අතර සෙර් මෙරින්ට මැලවුනු දෑසක් හා මලකඩ පැහැ රැවුලක් තිබින. මේ සැමටම වඩා පුරාණ කතාවල සිටි නයිට්වරුන්ට වඩාත්ම සමාන වූයේ සෙර් ජේමි ලැනිස්ටර් ය. ඔහු ද රාජ්‍යාරක්ෂක බලකායේ සේවය කල නමුත් රොබ් කියා සිටියේ ඔහුව ගණන් ගත නොහැකි බවය. මක්නිසාද යත් ඔහු කලින් සිටි පිස්සු රජතුමා සිය දෑතින්ම මරා දමා තිබුනු බැවිනි. එනමුදු දැනට ජීවතුන් අතර සිටින ශ්‍රේෂ්ටතම නයිට්වරයා වන්නේ රාජ්‍යාරක්ෂක බලකායේ අන දෙන නිළධාරී, නිර්භීත බැරිස්ටාන් ලෙසින් හඳුන්වන සෙර් බැරිස්ටාන් සෙල්මි ය.

ඔවුන් කින්ග්ස් ලෑන්ඩින්ග්වලට ළඟා වූ පසු සෙර් බැරිස්ටාන් මුන ගස්සවන බවට පියා ඔහුට පොරොන්දු වී තිබින. බ්‍රැන් පුල පුලා බලා සිටියේ මෙතෙක් කල් ඔහු සිහිනයෙන් පමණක් දුටු මේ නව ලෝකය සැබැවින්ම දකින්නට ය, එහි ජීවත් වන්නට ය. නමුත් දැන් ඒ දවස ළඟා වී ඇති මොහොතේ බ්‍රැන්ට හදිසියේම අතරමං වූ බවක් දැනෙන්නට විය. ඔහු හැමදාමත් දැන සිටි එකම නිවහන වින්ටර්ෆෙල් පමනක්ම විය.

සිය සමුගැනීම් සියල්ලක්ම අද දවස ඇතුළත නිමා කරන්නැයි පියා ඔහුට පවසා තිබුනු අතර ඔහු ඒ වෙනුවෙන් උත්සාහයක් දරා තිබින. දඩයක්කාර පිරිස පිටව ගිය පසු ඔහු සිය වෘක පැටවාද සමග බලකොටුව පුරා අයාලේ ගි‍යේ ඔවුන් මෙහි දමා යන සැමට ආයුබෝවන් කියන අදහසිනි. නාකි ආයම්මා, ගේජ් නමැති කෝකියා, කම්මල්කරු මික්කන්, ඉස්තාලය බලාගන්නා හොඩෝර් සහ තවත් බොහෝ අය.

නමුත් එය එතරම් පහසු කටයුත්තක් නොවී ය. ඔහු පළමු‍වෙන්ම ඉස්තාලය බලා ගියේ තම පෝනියාට කතා කරන්නට නමුත් ඔහුට මතක් වූයේ තව දුරටත් ඌ තම පෝනියා නොවන බවත්, තමා ඇත්ත අශ්වයකු පිට නැගී හෙට උදෑසන පිටවී යන බවත් ය. මෙම සිතුවිල්ලත් සමග වෙන කිසිදු දෙයකට වඩා ඔහුට උවමනා වූයේ බිම වාඩිවී ඉකිබිඳ හඬන්නට ය. ඔහු වහා ආපසු හැරී දොරින් එළියට දිව ගියේ හොඩෝර් හා අනෙකුත් ඉස්තාල සේවකයින්ට සිය කඳුළු නොපෙනෙනු පිනිස ය. ආයුබෝවන් කීමේ අවසානය එය වූ අතර ඔහු මුළු උදය කාලයම ‍ගෙවුවේ දෙව්වනය තුළ සිය වෘක පැටවා හා සමාගමයෙනි.

ඔහු තවමත් සිය වෘක පැටවාට නමක් තබා තිබුනේ නැත. රොබ් සිය පැටවාට 'ග්‍රේ වින්ඩ්' කියා නම් තැබුවේ ඌ වේගයෙන් දුවන බැවිනි. සන්සා ගේ පැටවා 'ලේඩි' නම් වූ අතර ආර්යා පරණ කතන්දර වල කියැවෙන කවුදෝ මායාකාර රැජිණකගේ නමක් සිය පැටවාට තබා තිබින. රිකන් ගේ පැටවා නිකම්ම නිකං 'ෂැගී ඩෝග්' වූ අතර එය වෘක පැටවෙකුට නොගැලපෙන මහ මෝඩ නමකැයි බ්‍රැන් සිතුවේ ය. තමා මුලින්ම 'ගෝස්ට්' යන නම නොසිතුවේ මන්දැයි ඔහු කල්පනා කලේ ය. පසුගිය සති දෙක තුළ ඔහු නම් සිය ගණනක් සිතා තිබුනු නමුත් ඒ එකක්වත් සිතට ගැලපුනේ නැත.

අන්තිමේදී දෙව්වනයේ සිටීම එපා වූ බ්‍රැන් වහළට නැගීමට තීරණය කලේ ය. බිඳවැටුනු කුළුණට නැගීමට ඔහුට සති ගණනාවකින් නොහැකි වූයේ මෙතෙක් දවස් මාලිගයේ පැවැති කලබලය නිසා ය. මේ ඔහුට ලැබෙන අවසාන අවස්ථාව විය හැක.

ඔහු දෙව්වනය හරහා දිව ගිය අතර වෘක පැටවාද ඔහු ගේ දෙපා අසලින්ම ලුහුබැඳ ආවේ ය. ආයුධ ගබඩාවේ බිත්තිය අසල මුරකරු වෘක්ෂය පාමුල නැවතුනු ඔහු වෘක පැටවාට කතා කලේ ය. "ඔයා මෙතන ඉන්ට. බිම වාඩිවෙන්ට, අන්න හරි. ඔහොමම ඉන්ට."

වෘක පැටවා අණට කීකරු විය. උගේ කණ පිටුපස කැසූ බ්‍රැන් ආපසු හැරී උඩ පැන ගසේ පහතම අත්ත අල්ලාගෙන ඉහළට ඇදුනේ ය. ඔහු ඉතා පහසුවෙන් අත්තෙන් අත්ත අල්ලාගෙන ගසේ අඩක් පමන නැග්ග පසු නැගිට සිටි වෘක පැටවා උඩුබුරලන්නට පටන් ගති. බ්‍රැන් පහත බැලුවේ ය. පැටවා නිහඬ වූ නමුත් සිය දිදුලන කහ පැහැති දෑසින් දිගටම ඔහු දෙස බලා සිටින්නට විය. අමුතු සීතලක් සිය සිරුර පුරා දිව යනු බ්‍රැන්ට දැනුනි. ඔහු නැවත නැගීම ඇරඹූ අතර පැටවාද නැවත උඩුබුරලන්නට විය. "සද්ද කරන්ට එපා." බ්‍රැන් ඌට තරවටු කලේ ය. "වාඩි වෙන්ට. වාඩි වෙලා ඔහොමම ඉන්ට. ඔයා අම්මටත් වඩා හපන් නෙ." එනමුදු ඔහු ගසේ ඉහළටම නගින තුරුත්, එයින් ආයුධ ගබඩාවේ වහළට නැග උගේ දර්ශන පථයෙන් නොපෙනී යන තුරුත්  ඒ උඩුබුරලෑම ඔහු පසුපසින් හඹා ආවේ ය.

වින්ටර්ෆෙල්හි වහළවල් හා පියැසි බ්‍රැන් ගේ දෙවැනි නිවහන මෙන් විය. සිය මව නිතරම පැවසූ දෙයක් වූ‍යේ බ්‍රැන් ඇවිදින්නට පෙර නගින්නට පටන් ගත් බවයි. තමා ඇවිදින්නට පටන්ගත්තේ කවදාදැයි බ්‍රැන්ට මතක නැත. එලෙසම තමා ‍මෙසේ නගින්නට පටන්ගත්තේ කවදාදැයි කියාද ඔහුට මතක නැත. සමහරවිට මව කියන කතාව සත්‍යයක් විය හැක.

ඔහු වැනි කුඩා පිරිමි ළමයෙකුට වින්ටර්ෆෙල් යනු සතර අතටම විහිදී ගිය ගලින් නිමවුනු බිත්ති, කුළුණු, අංගන හා උමං පිරි වංකගිරියක් බඳු විය. මාලිගයේ පැරණිතම කොටස්වල ශාලාවන් කෙතරම් ඉහළ පහළ විහිදී ගියාදැයි කිවහොත් තමා සිටින්නේ කුමන තට්ටුවේදැයි පවා යමෙකුට සිතා ගැනීම අසීරු විය. මේස්ටර් ලුවින් වරක් ඔහුට කියා ඇති පරිදි මේ මාලිගය සියවස් ගණනාවක් පුරා ගලින් කල වෘක්ෂයක් මෙන් සෙමින් සෙමින් වැඩුනකි.

නමුදු මේ වංකගිරියෙන් මිදී ඉහළ නැගුනු පසු බ්‍රැන්ට මුළු වින්ටර්ෆෙල් මාලිගයම එකවර දැක ගත හැකි විය. ඔහුට පහළින් මාලිගයේ ජීවිතය පුරුදු පරිදි ගලා යද්දී ඔහුට ඉහළින් සිටියේ කුරුල්ලන් පමණි. මේ දෙස බලමින් පළමු බලකොටු‍වේ වහළ මතට වී පැය ගණන් ගතකිරීමට ඔහුට හැකියාව තිබින. සෙබළුන් සෙණ්ඩුවාලුවේ යුධ සරඹ පුරුදු වෙන අයුරු, වීදුරු උද්‍යානයේ එළවළු පැළවලට සාත්තු කරන කෝකියන්, බලු කූඩු තුළ නිනවුවක් නැතිව මෙන් එහා මෙහා දුවන බල්ලන්, ළිඳ ලඟ ඕපාදූප දොඩවන වැඩකාර කෙල්ලන්. මෙසේ ඉහළ සිට බලා සිටිද්දී ඔහුට හැඟුනේ තමා රොබ්ට පවා කිසිදා සිතා ගැනීමටවත් නොහැකි අන්දමකින් වින්ටර්ෆෙල්වල පාලකයා වී ඇති බවයි.

යම් දිනයක බ්‍රැන් වහළකින් ලිස්සා බිම වැටී මිය යනු ඇතැයි ඔහු ගේ මව දැඩි බියකින් සිටියා ය. එය කවදාවත් සිදු නොවන දෙයක් බව ඔහු ඇයට පුන පුනා කියූවත් ඇය එය විශ්වාස නොකලා ය. වරක් ඇය ඔහුගෙන් පොරොන්දුවක් ගන්නට ද සමත් වූවා ය. ඔහු සති දෙකක් පමණ ඉතා අමාරුවෙන් මෙම පොරොන්දුව රැක්කද අන්තිමේදී එක්තරා රාත්‍රියක සිය සොයුරන් සුව නින්දේ පසුවෙද්දී ජනේලයෙන් පිටව ගියේ ය.

වරදකාරී හැඟීම නිසාම පසුදින ඔහු සිය අපරාධය පාපොච්චාරණය කලේ ය. එඩාර්ඩ් උතුමානන් ඔහුව දෙව්වනයට යැවුවේ දෙවියන් ඉදිරියේ හිඳ සිය අකීකරුකම ගැන පශ්චාත්තාප වීම පිණිස ය. ඔහුට මුළු රාත්‍රියම එසේ සිටීමට නියම වුනු අතර ඔහු පිටව ඒම වැළැකීමට දොරටු වලට මුර සෙබළුන් යෙදවිනි. පසුදින උදයේ ඔහු කොතැනකවත් දකින්නට නොසිටි අතර අන්ති‍මේදී ඔහුව සොයාගත්තේ වනවදුලේ තිබුනු උසම මුරකරු වෘක්ෂයේ උඩම අත්තක සුව නින්දේ පසුවෙද්දී ය.

කෙතරම් තදින් කේන්ති ගොස් තිබුනද ඔහු ගේ පියාට සිනාව නවතා ගත නොහැකි වින. "උඹ නං මගෙ පුතෙක් නෙවෙයි." ඔහු බ්‍රැන්ට කීවේ ය. "උඹ ලේනෙක්. වෙන කරන්ට දෙයක් නෑ. උඹට උඩ නගින්ට ඕනම නං නැගපං. ඒත් දෙයියන්ගෙ නාමෙට අම්ම‍ගෙ ඇස්වලට පේන්ට එ‍හෙම කරන්ට එපා."

බ්‍රැන් ඔහුට හැකි උපරිම අයුරින් මේ අවවාදය පිළිපැද්ද ද සිය මව මුලා කල හැකි විනැයි ඔහු කිසිදා නොසිතී ය. පියා එය තහනම් නොකල බැවින් ඇය උදවු පතා අන් අය වෙත හැරුනා ය. නාකි ආයම්මා ඔහුට වරක් කතාවක් කියා දුන් අතර එහි වූයේ ඉහළ නගින්නට ආශා කල නරක පිරිමි ළම‍යෙකු අකුණක් වැදීමෙන් බිම පතිත වූ සැටි ය. ඔහු වැටුනු පසු කපුටන් ඔහු ගේ දෑස් උගුල්ලාගත් අයුරුද ඇය විස්තර කලා ය. බිඳුනු කුළුණේ ඉහළ ඇත්තෙන්ම කපුටු කූඩු තිබුනු අතර සමහර දිනවල බ්‍රැන් ඔවුන් වෙනුවෙන් සිය සාක්කු ඉරිඟු ඇටවලින් පුරවා ගති. කපුටන් මේ ඉරිඟු ඇට ඔහු ගේ අතින්ම අනුභව කල නමුදු කිසිදු දවසක ඔහු ‍ගේ දෑස් උගුල්ලා ගැනීමට තැත් කලේ නැත.

පසු දිනෙක මැටියෙන් කුඩා පිරිමි ළමයෙකු ගේ රුවක් ඇඹූ මේස්ටර් ලුවින් එයට බ්‍රැන් ගේ පරණ ඇඳුමක් අන්දවා පවුර මුදුනේ සිට එය බිමට අත හරිනු ලැබුවේ බිම වැටුනොත් කෙසේ විය හැකිදැයි බ්‍රැන්ට පෙන්වා දීම පිනිස ය. එය ඇත්තටම විනෝද ජනක දෙයක් වූ අතර මේස්ටර් දෙස බැලු බ්‍රැන් මෙසේ කීය. "මාව හැදිලා තියෙන්නෙ මැටියෙන් නෙවෙයි. අනෙක කොහොම වුනත් මම කවදාවත් වැටෙන්නෙ නෑ."

එයින් පසු ටික කාලයක් යනතෙක් ඔහු වහළ උඩ සිටින බව දුටහොත් සෙබළු ඔහුව හඹා ඒමට හා එයින් බිමට බස්සවා ගැනීමට යත්න දැරූහ. ඒ නම් නියමම කාලයක් වූ අතර එය හරියටම සිය සොයුරන් හා හැංගිමුත්තම් සෙල්ලම් කරනවා වැනි විය. කිසිම සෙබළෙකුට බ්‍රැන් තරම් හොඳින් ඉහළ නැගීමට නොහැකි විය. අනෙක බොහෝ අවස්ථාවල ඔවුන් ඔහුව දැක්කේම නැත. මිනිස්සු සාමාන්‍යයෙන් කිසිවිටෙකත් උඩ නොබලති. බ්‍රැන්ට දැනුනේ හරියටම තමා අදෘශ්‍යමාන පුද්ගලයකු වැනි හැඟීමකි.


Jaime Lannister: "Give me honorable enemies rather than ambitious ones, and I’ll sleep more easily by night."

Monday 28 July 2014

ආර්යා - 01-2


යුධ ආයුධ ගබඩාව හා මාලිගාවේ ප්‍රධාන බලකොටුව අතර ඉදිකර තිබුනු ආවරණය කල පාළමේ වූ එක් කවුළුවක් තුළින් මුළු සෙණ්ඩුවාලුවම මනාව නිරීක්ෂණය කල හැකි විය. ආර්යා වෘක පැටවාද සමග දිව ගියේ මේ කවුළුව වෙතට ය.

රතු වූ මුහුණින් යුතුව හතිලමින් දිව ආ ඔවුන් දුටුවේ ජොන් ජනෙල් පඩිය මත වාඩි වී දණ නමා ඒ මත නිකට රුවාගෙන පහළ බලා සිටින ආකාරය යි. ඔහු කෙතරම් තදින් සටන් කෙරෙහි අවධානය යොමු කර තිබුනාදැ යි කිවහොත් සුදු වෘක පැටවා නැගිට ඔවුන් පිළිගන්නට ඉදිරියට එනතෙක් ඈ පැමිණි බව ඔහු නොදත්තේ ය. නයිමේරියා සෙමින් ඉදිරියට ඇදුනු අතර ඈ වෙතට පැමිණ ඇයව ඉව කර බැලූ ගෝස්ට් නැවත පෙර සිටි තැනට ගොස් වක ගසා ගත්තේ ය. ජොන් ඈ දෙස විමර්ශනාත්මක බැල්මක් හෙලී ය. "ඔයා මේ වෙලාවෙ මැහුම් කාම‍රේ නෙවෙයිද ඉන්ට ඕන පුංචි නංගී?"

ආර්යා මුහුණ ඇද කලා ය. "මට ඕන වුනා එයාලා සටන් කරනවා බලන්ට."

ඔහු සිනාසුනේ ය. "එහෙනං ඉතින් එන්ට."

ජනෙල් පඩිය මතට නැගුනු ආර්යා ඔහු පසෙකින් වාඩි ගත්තා ය. නොයෙකුත් ගැටුම් හා ගෙරවිලි හඬ පහළින් ඇසෙන්නට විය.

ඇගේ බලාපොරොත්තු බිඳ දමමින් මේ වෙලාවේ සරඹ පුරුදු වෙමින් සිටියේ බාල දරුවන් විය. බ්‍රැන් ගේ සිරුර වසා කෙතරම් ආරක්ෂක කොට්ට ඔතා තිබුනා දැයි කිවහොත් හරියට ඔහුව පිහාටු මෙට්ටයක එතුවා වැනි විය. මහත ඇඟක් ඇති ටමෙන් කුමාරයා මේ කොට්ට නිසා බෝලයක් මෙන් දිස් විය. ඔවුන් හතිලමින් ලී කඩුවලින් එකිනෙකාට කොටා ගනිමින් සිටි‍යේ විභූතිමත් සුදු පැහැ උඩු රැවුලක් ඇති, දැවැන්ත පීප්පයක් මෙන් තරබාරු හා ශක්තිමත් වූ මාලිගයේ සටන් පුහුණු ආචාර්යවරයා වන නාකි රඩ්‍රික් කසල් ගේ අධීක්ෂණය යටතේ ය. ළමුන් හා වැඩිහිටියන්ගෙන් සැදි දුසිමක් පමණ වූ ප්‍රේක්ෂකයින් පිරිසක් ඔවුන්ට අනුබල දෙමින් බලා සිටියහ. සියල්ලන්ටම වඩා හයියෙන් කෑ ගසමින් සිටි රොබ් පසෙකින් තියන් ග්‍රේජෝයි සිටගෙන සිටිනු ආර්යා දුටුවා ය.

"මැහුම් වැඩවලට වඩා බොහොම අමාරු වැඩක්." ජොන් කීවේ ය.

"මැහුම් වැඩවලට වඩා බොහොම විනෝදජනක වැඩක්." ආර්යා ඔහුට පිළිතුරු දුන්නා ය. සිනාසුනු ජොන් ඈ දෙසට නැඹුරු වී ඇගේ කෙහෙරැළි අවුල් කර දැම්මේ ය. ආර්යා ගේ මුහුණ රතු වී ගියේ ය. ඔවුන් දෙදෙනා සැමවිටම එකිනෙකාට බෙහෙවින් සමීප විය. ඈට මෙන්ම ජොන්ටද තිබුනේ සිය පියා ගේ මුහුණුවර වූ අතර ඒ අතින් ඔවුන් දෙදෙනා අනෙකුන්ගෙන් වෙනස් වූහ. රොබ්, සන්සා හා බ්‍රැන් පමනක් නොව පුංචි රිකන් පවා ගොස් තිබුනේ ටලී ආරට ය. මේ වෙනස නිසා තමාද අවජාතකයකු වන්නට ඇතැයි කියා ආර්යා පුංචි කාලයේ බියපත් වූවා ය. ඒ ගැන විචාරන්නට ඇය තෝරාගත්තේ ජොන් වූ අතර ඔහු ඇගේ බිය නැති කර දැමී ය.

"ඇයි ඔයා පහළ සටන් පුහුණුවට යන්නෙ නැත්තෙ?" ආර්යා විචාලා ය.

ජොන් අඩ සිනාවක් පෑවේ ය. "ලාබාල කුමාරවරුන්ව තුවාල කරන්ට අවජාතකයන්ට අවසර නෑ. සරඹ පිටියෙදි එයාලට වෙන හැම තුවාලයක්ම වෙන්ට ඕන සහජාත කඩුවලින්."

"ආහ්!" ආර්යා ට ලැජ්ජාවක් දැනුනි. ඇය එය තේරුම් ගත යුතුව තිබින. දවසේ දෙවෙනි වතාවටත් ආර්යා තේරුම් ගත්තේ ජීවිතය සාධාරණ නොවන බවයි.

සිය සොහොයුරා ටමෙන්ට තලන ආකාරය දෙස ඇය බලා සිටියා ය. "මටත් පුළුවන් බ්‍රැන් තරම්ම හොඳින් සටන් කරන්ට. එයාට හතයි. මට නවයක්."

ජොන් ඈ දෙස බැලී ය. "ඔයා කෙට්ටු වැඩියි." ඇගේ අතක් අල්ලාගත් ඔහු එහි මාංශපේශීන් පිරික්සා බැලී ය. ඉන්පසු සුසුමක් හෙලා හිස වැනී ය. "මං හිතන්නෙ නෑ ඔයාට පුළුවන් වෙයි කියලා අඩුම ගානෙ දිග කඩුවක් උස්සන්ටවත් පුංචි නංගී. ඉතින් කොහොමද ඔයා ඒකෙන් සටන් කරන්නෙ?"

සිය අත ඇදගත් ආර්යා ඔහු දෙස රවා බැලුවා ය. ජොන් නැවත වතාවත් ඇගේ කෙහෙරැළි අවුල් කර දැමු අතර ඔවුන් දෙදෙනා නැවතත් සටන කෙ‍රෙහි සිය අවධානය යොමු කලහ.

"ඔයා දැක්කද ජොෆ්රි කුමාරයා?" ජොන් ඇසී ය.

ආර්යා මුලින්ම ඔහුව දුටුවේ නැත. නමුත් නැවත වතාවක් පරීක්ෂාවෙන් බලද්දී පිරිස පිටුපසට වී ගල් බිත්තියකට හේත්තු වී සිටින ඔහුව ඇය දුටුවා ය. ඔහුව වටකර‍ගෙන සිටියේ ඇය නාඳුනන, ලැනිස්ටර් හා බරතියන් නිළ ඇඳුමින් සැරසුනු තරුණ සහචරයින් විසිනි. ඒ අතර සිටි වැඩිමහලු පිරිමින් කිහිපදෙනා නයිට්වරුන් වන්නට ඇතැයි ඇය අනුමාන කලා ය.

"එයාගෙ උඩුකබායෙ තියෙන ලාංඡනය දිහා බලන්ටකො." ජොන් කී‍වේ ය.

ආර්යා එදෙස බැලුවා ය. ජොෆ්රි ගේ උඩු කබායේ අලංකාර පලිහක් ගෙත්තම් කොට තිබින. එහි එක් පසෙක බරතියන් නිල ලාංඡනය වූ කිරුළු ලූ ගෝනා ද අනෙක් පස ලැනිස්ටර් නිල ලාංඡනය වූ සිංහයා ද ගෙත්තම් කර තිබින.

"ලැනිස්ටර්ලා කියන්නෙ බොහොම ආඩම්බර සත්තු ජාතියක්. ඔයාට හි‍තෙන්ට පුළුවන් රාජකීය සලකුණ ඇතියි කියලා. නෑ. ඒ වෙනුවට එයා එයාගෙ අම්මගෙ වංශයත් රාජකීය වංශය මට්ටමටම උසස් කරලා."

"ගැහැණු කියන්නෙ වැදගත් ජාතියක් තමා." ආර්යා විරෝධය පෑවා ය.

ජොන් කෙකර සිනාවක් පෑවේ ය. "ඔයත් ඒ වැඩේම කලොත් හොඳ නැද්ද පුංචි නංගී? ඔයාගෙ සලකුණේ ටලීවරුයි ස්ටාර්ක්වරුයි එකතු කරන්ට."

"මාළුවෙක් කටින් ගත්ත වෘකයෙක්?" ඇයට සිනහ පහල විය. "ඒක මහ මෝඩ ‍පෙනුමට හිටියි. අනෙක ගෑනු ළමයෙකුට සටන් කරන්ට බැරි නම් මොකටද එයාට වංශ සලකුණක්?"

ජොන් දෙවුර ඇකිලී ය. "ගෑනු ළමයින්ට වංශ සලකුණ ලැබෙනවා ඒත් එයාලට කඩු ලැබෙන්නෙ නෑ. අවජාතකයින්ට කඩු ලැබෙනවා ඒත් එයාලට වංශ සලකුණ ලැබෙන්නෙ නෑ. නීති හදන්නෙ මම නෙවෙයි පුංචි නංගී."

පහළ සෙණ්ඩුවාලුවෙන් කෑ ගැසීමක් ඇසෙන්නට විය. ටමෙන් කුමරා බිම වැටී නැවත නැගී සිටීමට උත්සාහ කරමින් සිටි අතර ඔහුව පෙනුනේ උඩු බැලි අතට පෙරලුනු කැස්බෑවෙකු මෙනි. බ්‍රැන් ඔහුට උඩින් ලී අසිපත අමෝරා බලා සිටියේ නැවත නැගී සිටිය වහා ඔහුට තැලීමට ය. මිනිස්සු සිනාසීමට පටන් ගති.

"ඇති." සෙර් රඩ්‍රික් කීවේය. ඔහු කුමරාට නැගී සිටීමට අත දිගුකලේ ය. "හොඳට සටන් කලා. ලූ, ඩොනිස් මෙයාලගෙ සන්නාහ අයින් කරන්ට උදවු කරන්ට." ඔහු වටපිට බැලී ය. "ජොෆ්රි කුමරුනි, රොබ්, ඔයාලා ආයෙමත් වටයක් යන්ට කැමැතිද?"

පෙර සටන නිසා තවමත් දහඩියෙන් පෙඟී සිටි රොබ් උනන්දු‍වෙන් ඉදිරියට පිය මැනී ය. "මම ලෑස්තියි."

සෙර් රඩ්‍රික් ගේ කැඳවීම අනුව ජොෆ්රි ඉදිරියට පැමිණියද ඔහු ගේ මුහුණේ තිබුනේ උදාසීන ‍පෙනුමකි. "මේක ළමයින්ගෙ සෙල්ලමක් ‍සෙර් රඩ්‍රික්."

තියන් ග්‍රේජෝයි මහ හඬින් සිනාසුනේ ය. "ඔයාලා තාම ළමයි තමා." ඔහු සරදම් විලාසයෙන් කීය.

"රොබ් නං ළමයෙක් වෙන්ට ඇති. මම කුමාරයෙක්. සෙල්ලං කඩුවකින් ස්ටාර්ක්ලව තලලා මට එපා වෙලා තියෙන්නෙ."

"තැලුවට වඩා ඔයා ගුටි කෑවනෙ ජොෆ්." රොබ් කීය. "ඔයා බයේ ද?"

"අපොයි ඔවු. මං මේ බයේ වෙවුලනවා. ඔයා මට වඩා කොච්චර වයසද." ලැනිස්ටර්වරුන් කිහිප දෙනෙක් සිනා පහල කලෝ ය.

ජොන් මේ සිදුවීම දෙස බලා සිටියේ රවා ගත් මුහුණිනි. "අර ජොෆ් නං ඇත්තටම මහ කක්කා ගොඩක්." ඔහු ආර්යාට කීය.

‍සෙර් රඩ්‍රික් කල්පනාකාරීව සිය උඩුරැවුල අත ගෑ‍වේ ය. "ඔයා මොකක්ද දැන් කියන්ට හදන්නෙ?" ඔහු ජොෆ්රිගෙන් ඇසී ය.

"ඇත්ත කඩු."

"හරි." රොබ් කීවේ ය. "ඔයාට කණගාටු වෙන්ට වෙයි."

සෙර් රඩ්‍රික් රොබ් ගේ උරහිස මත අත තැබුවේ ඔහුව සන්සුන් කිරීමට ය. "ඇත්ත කඩු භයානකයි. මම අවසර දෙනවා තරගවලට පාවිච්චි කරන මොට්ට කඩුවලින් සටන් කරන්ට."

ජොෆ්රි කිසිවක් කීවේ නැත. නමුත් ආර්යා නාඳුනන, කළු පැහැ හිසකෙස් හා මුහුණේ පිළිස්සුම් කැළැල් ඇති උස නයිට්වරයෙක් ඉදිරියට පැමිණි‍යේ ය. "මේ ඉන්නෙ ඔබේ කුමාරයා. එයාගෙ කඩුවෙ මුවහත ඇති නැති එක ගැන කතාකරන්ට ඔබ කවුද?"

"මම වින්ටර්ෆෙල්වල සටන් පුරුදු කරන ගුරුවරයා. ක්ලිගේන්, ඔබ ඒක අමතක කරන්ට එපා."

"ඔබලා මෙතන ගෑනුන්වද පුරුදු කරන්නෙ?"

"මම පුරුදු කරන්නෙ නයිට්වරුන්ව." සෙර් රඩ්‍රික් පිළිතුරු දුනි. "එයාලා නියම වයසට ආවාහම එයාලට ඇත්ත කඩු ලැබෙයි."

පිළිස්සුනු මුහුණ ඇත්තා රොබ් දෙසට හැරුනි. "ඔයාට වයස කීයද කොල්ලො?"

"දාහතරයි."

"මම වයස දොළහෙදි මිනිහෙක් මැරුවා. ඒක මොට්ට කඩුවක් නෙවෙයි."

මේ වදනින් රොබ් කිපෙනු ආර්යා දුටුවා ය. ඔහු සෙර් රඩ්‍රික් දෙසට හැරුනි. "මට ඒක කරන්ට ඉඩ දෙන්ට. මට එයාව පරද්දන්ට පුළුවන්."

"එහෙමනං මොට්ට කඩුවකින් එයාව පරද්දන්ට." සෙර් රඩ්‍රික් පිළිතුරු දුනි.

ජොෆ්රි දෙවුර ඇකිලී ය. "නියම වයස ආපුවම ඇවිත් මාව හම්බ‍වෙන්ට ස්ටාර්ක්." ලැනිස්ටර් මිනිසුන් අතරින් සිනහ හඬ නැගුනි.

රොබ් ගේ සාපකිරීම්වල හඬ මුළු සෙණ්ඩුවාලුව පුරාම රැවු දුනි. බියපත් ආර්යා අතකින් මුව වසා ගත්තා ය. තියන් ග්‍රේජෝයි රොබ් ගේ අතින් අල්ලා ගත්තේ ඔහුව කුමරාගෙන් ඈත් කර තබා ගැනීම පිණිසය. සෙර් රඩ්‍රික් සිතේ කැළඹීම වසන් කරන්නට මෙන් රැවුල් ගස්වලින් අදින්නට විය.

ජොෆ්රි ඈනුමක් යටපත් කරගෙන සිය බාල සොහොයුරා දෙසට හැරුනි. "එන්ට ටමෙන්. සෙල්ලං කලා ඇති. පුංචි ළමයින්ට එයාලගෙ සෙල්ලං කරගන්ට ඉඩදෙන්ට."

මේ වදන් නිසා ලැනිස්ටර් සිනා හඬ තවත් උස්ව නැගෙන්නට විය. රොබ් ගේ මුවින් තව තවත් සාප කිරීම් පිටවන්නට විය. කේන්තිය නිසා සෙර් රඩ්‍රික් ගේ මුහුණ රත් පැහැ විය. තියන් සිය යකඩ වැනි ග්‍රහනයෙන් රොබ්ව අල්ලාගෙන සිටියේ කුමරා හා පිරිස ප‍‍රෙස්සම් සහිත දුරකට යන තුරුය.

‍ජොන් ඔවුන් පිටව යන දෙස බලා සිටි අතර ආර්යා ජොන් දෙස බලා සිටියා ය. අන්තිමේ දී ඔහු ජනෙල් පඩිය උඩින් බිමට බැස්සේ ය. "නාටකේ ඉවරයි." පහතට නැඹුරු වුනු ඔහු ගෝස්ට් ගේ කණ පිටුපස කැසී ය. නැගිට සිටි වෘක පැටවා ඔහු ‍ගේ ඇඟේ වෙලුනේ ය. "ඔයත් ආපහු ඔයාගෙ කාමරේට දිවුවනං හොඳයි පුංචි නංගී. සෙප්ටා මෝර්ඩේන් අනිවාර්යයෙන්ම රැකගෙන ඇති ඔයා එනකං. ඔයා හැංගිලා ඉන්න කාලෙ වැඩි වෙන්ට වැඩි වෙන්ට ඔයාගෙ දඬුවමත් වැඩි වෙනවා. ඔයාට මුළු සීත කාලෙ පුරාම මහ මහ ඉන්ට වෙයි. වසන්තය ආවහම එයාලා ඔයාගෙ මලකඳ හොයාගනියි ගල් වෙච්ච ඇඟිලි අතරේ හිරවුන ඉදිකට්ටත් එක්කම."

මෙය විහිළුවක් බව ආර්යාට සිතුනේ නැත. "මම ආසා නෑ මැහුම් වැඩවලට. ඒක කොහෙත්ම සාධාරණ නෑ."

"කිසිම දෙයක් සාධාරණ නෑ." ජොන් කීවේ ය. නැවත වරක් ඇගේ කෙහෙරැළි අවුල් කල ඔහු ඇයට පිටුපා යන්නට විය. ගෝස්ට් නිහඬවම ඔහු පසුපසින් යන්නට විය. නයිමේරියා ද ඒ පසුපස යන්නට සැරසුනද ආර්යා නොඑන බව දුටු විට නැවතී ආපසු හැරුනා ය.

නොකැමැත්තෙන් මෙන් ආපසු හැරුනු ආර්යා විරුද්ධ දිශාවට පිය මැන්නා ය.

තත්ත්වය ජොන් කිවුවාටත් වඩා නරක එකක් විය. ඇය එනතෙක් ඇගේ කාමරයේ බලා සිටියේ සෙප්ටා මෝර්ඩේන් පමණක් නොවේ. ඇගේ මවද ඒ සමග බලා සිටියා ය.


Arya Stark: "If a girl can’t fight, why should she have a coat of arms?"

Friday 25 July 2014

ආර්යා - 01-1


ආර්යා ගේ මැහුම නැවත වතාවක් අවුල් ජාලයක් විය.

ඒ ‍දෙස වරක් රවා බැලූ ඇය සිය සොයුරිය සන්සා අනිකුත් ගැහැණු ළමයින් සමග වාඩි වී ඉන්නා දෙස බැලුවා ය. සන්සා ගේ මැහුම උත්කෘෂ්ට එකක් විය. හැමදෙනාම ඒ ගැන ඈට පැසසූහ. "සන්සාගෙ වැඩ එයා වාගෙම ලස්සනයි." සෙප්ටා මෝර්ඩේන් වරක් ඇගේ මවට පැවසුවා ය. "එයාට තියෙන්නෙ හොඳ සියුමැලි අත් දෙකක්." කැට්ලින් ආර්යාව ආර්යා ගැන විමසූ විට සෙප්ටා කීවේ මෙපමනකි. "ආර්යාට තියෙන්නෙ කම්මල්කාරයෙක්ගෙ අත් දෙකක්."

ආර්යා හෙමින් සැරේ කාමරය හරහා බැලුවේ ඇගේ සිතුවිලි සෙප්ටාට ඇසුනාදැයි යන සැකයෙනි. එනමුදු අද දවසේ සෙප්ටාට ඇය ගැන නිනවුවක් වත් නැති සේය. ඇය මර්සෙලා කුමරිය සමග වාඩි වී සිටියේ සිනහ පිරි මුහුණින් හා අගයකිරීම පිරි දෑසින් යුතුව ය. මැහුම් ගෙතුම් වැඩ ගැන රාජකීය කුමරියකට උපදෙස් දීමට සෙප්ටාට හැමදාම ඉඩ ලැබෙන්නේ නැත. මර්සෙලා ගේ මැහුම ද මඳක් අවුල් වී ඇතැයි ආර්යා සිතුවත් සෙප්ටා එය වර්ණනා කල අන්දමට එවැන්නක් සිතා ගැනීමට වත් නොහැක.

ඇය සිය මැහුම දෙස නැවතත් බැලුවේ කුමක් හෝ දෙයක් කර එය ගොඩ දා ගැනීමට හැකිවෙතැයි යන බලාපොරොත්තුවෙනි. එනමුදු සුසුමක් හෙලා එය පසෙකින් තැබූ ඇය දුර්මුඛ මුහුණින් සිය සොයුරිය දෙස බැලුවා ය. සන්සා ගෙත්තම් කරන අතරේම බුහුටි ලෙස දෙඩුවා ය. සෙර් රඩ්‍රික් ගේ පුංචි කෙල්ල බෙත් කසල් ඇගේ දෙපා අසලින් වාඩි වී ඇය කියන සෑම දේකටම ඇහුම්කණ් දෙමින් සිටි අතර ජේන් පූල් සන්සා ගේ කණට ලංව ඇයට රහසක් කොඳුරමින් සිටියා ය.

"ඔයාලා මොනා ගැනද ඔය කතා කරන්නෙ?" ආර්යා හදිසියේම ඇසුවා ය.

ගැස්සී ඇය දෙස බැලූ ජේන් කැකිරි පලන්නට වූවා ය. සන්සා ලැජ්ජා සහගත බැල්මක් හෙලූ අතර බෙත් ගේ මුහුණ රතු විය. එනමුදු කිසිවෙකු පිළිතුරක් නොදුන්හ.

"මටත් කියන්ට." ආර්යා නැවත ඇසීය.

ජේන් හිස හරවා බැලුවේ සෙප්ටා මෝර්ඩේන් ඔවුන් ගේ කතාවට ඇහුම්කණ් නොදෙන බව සැක හැර ගැනීමට ය.

"අපි කතා කර කර හිටියෙ කුමාරයා ගැන." සන්සා ඇගේ මෘදු ස්වරයෙන් කීවා ය.

ඒ මොන කුමාරයාදැයි ආර්යා සැනෙන් වටහා ගත්තා ය. ජොෆ්රි, අනිවාර්යයෙන්ම. උස් කඩවසම් කෙනා. භෝජන සංග්‍රහය අතරතුරේ දී සන්සා ඔහු අසලින් වාඩි වී සිටි අතර විය යුතු පරිද්දෙන්ම ආර්යාට වාඩි වීමට සිදු වූයේ පුංචි මහත ටමෙන් සමග ය.

"ජොෆ්රි ඔයාගෙ අක්කට කැමැතියි." ජේන් ආඩම්බරයෙන් මිමිනුවේ හරියට ඈ ඒ සම්බන්ධයෙන් යම් වැදගත් කාර්යභාරයක් ඉටු කලා ලෙසිනි. ජේන් වින්ටර්ෆෙල්හි නිවාස බාරකරු ගේ දියණිය වූ අතර සන්සා ගේ හොඳම මිතුරියද වූවා ය. "එයා කිවුවා සන්සා හරි ලස්සනයි කියලා."

"එයා සන්සාව බඳින්ටයි යන්නෙ." බෙත් කීවේ සිහින ලොවක සැරිසරන්නාක් මෙනි. "එතකොට සන්සා තමා මේ රාජධානියෙ රැජිණ වෙන්නෙ."

සන්සා ඉතා සුන්දර අන්දමින් මුහුණ රතු කර ගත්තා ය. ඇත්තෙන්ම කිවහොත් ඇය හැම දෙයක්ම ඉතා සුන්දර අයුරින් කිරීමට දැන උන්නා ය. "බෙත්, ඔයා ඔය වගේ කතා කියන්ට හොඳ නෑ." සන්සා කුඩා දැරියට කීවේ යාන්තමින් ඇගේ කෙහෙරැළි පිරිමදිමිනි. ඇය ආර්යා දෙස බැලුවා ය. "ඔයා මොකක්ද ජොෆ් කුමාරයා ගැන හිතන්නෙ නංගී? එයා හරි නිර්භීතයි, එහෙම නේද?"

"ජොන් කියන්නෙ එයා හරියට කෙල්ලෙක් වගේ කියලා." ආර්යා කීවා ය.

සන්සා සුසුමක් හෙලුවා ය. "දුප්පත් ජොන්. එයා ඊරිසියා කරනවා එයා අවජාතකයෙක් නිසා."

"එයා අපේ සහෝදරයා." ආර්යා කීවේ මඳක් උස් ස්වරයෙනි. නිහඬතාවයේ ගැලී තිබුනු කාමරය තුළ ඇ‍ගේ කටහඬ තියුණු අන්දමින් රැවු දුනි.

සෙප්ටා මෝර්ඩේන් රැවුම් මුහුණින් යුතුව හිස ඔසවා බැලුවා ය. "ඔයාලා මොකක් ගැනද කතා කරන්නෙ ළමයිනේ?"

"අපේ අර්ධ සහෝදරයා." සන්සා මෘදු ස්වරයෙන් කීවා ය. ඉන්පසු සෙප්ටා දෙසට හැරී සුන්දර සිනහවක් පෑවා ය. "ආර්යායි මායි කතා කර කර හිටියෙ කුමාරි අද අපිත් එක්ක එකතු වෙච්ච එක කොච්චර හොඳ දෙයක්ද කියලයි."

සෙප්ටා හිස වැනුවා ය. "ඇත්තෙන්ම. අපට ලොකු ගෞරවයක්. ආර්යා, ඇයි ඔයා වැඩ කරන්නෙ නැත්තෙ?" නැගී සිටි ඇය සාය හරිගස්සාගෙන කාමරය හරහා ඇවිද ආවාය. "කෝ බලන්ට මට ඔයා‍ගෙ මැහුම."

ආර්යාට යටිගිරියෙන් කෑ ගැසීමට සිතින. ඔය සන්සා ඔහොම්මයි, මොකක් හරි කරලා සෙප්ටාගෙ අවධානය හරවා ගන්නවා. "මෙන්න." ඇය සිය මැහුම දෙමින් කීවා ය.

සෙප්ටා රෙදි කැබැල්ල අධ්‍යයනය කලාය. "ආර්යා ආර්යා ආර්යා. මේක නං හරියන්නෙ නෑ. මේක නං කොහෙත්ම හරියන්නෙ නෑ."

සැමදෙනාම ඇය දෙස බැලූහ. සිය සොයුරියට වුනු අකරතැබ්බය ගැන සිනා නොවී සිටීමට තරම් සන්සා හොඳ පුරුදු ඇති කරගෙන සිටි නමුත් ඇයටත් හරියන්නට මෙන් ජේන් නියෙවුවා ය. මර්සෙලා කුමරිය පවා ඈ දෙස හෙලුවේ අනුකම්පාසහගත බැල්මකි. සිය දෑසේ කඳුළු පුරාගෙන එනු ආර්යාට දැනින. පුටුවෙන් නැගී සිටි ඇය ඊයක් මෙන් දොර දෙසට දිව ගියා ය.

සෙප්ටා මෝර්ඩේන් ඇය පසුපසින් කෑ ගෑවාය. "ආර්යා වහාම ආපහු එන්ට. තව එක අඩියක්වත් තියන්ට එපා. ඔයාගෙ අම්මට මේ ඔක්කොම දැනගන්ට ලැබෙයි. අපේ රාජ කුමාරිය ඉස්සරහ ඔයා අපි හැමෝවම ලැජ්ජාවට පත් කරනවා."

දොරකඩ නැවතුනු ආර්යා තොල විකාගෙන ආපසු හැරුනා ය. මේ වනවිට ඇගේ කම්මුල් දිගේ කඳුළු වැල් ගලායමින් තිබින. ඇය යාන්තමින් හිස නමා මර්සෙලා කුමරියට ආචාර කිරීමට සමත් වූවා ය. "පිටව යන්ට ඔබේ අවසරය මගේ ආර්යාවෙනි."

ඇසිපිය ගැසූ මර්සෙලා උපදෙසක් පතා ඇගේ පරිවාර කාන්තාවන් දෙස බැලී ය. "ඔයා හිතන්නෙ ඔයා ඔය කොහෙ යනවා කියලද ආර්යා?" සෙප්ටා කෑ ගැසුවා ය.

ආර්යා ඇය දෙස රවා බැලුවා ය. "මට අශ්වයෙකුට ලාඩමක් ගහන්ට තියෙනවා." ඇය මිහිරි ස්වරයෙන් කීවේ ලද පිළිතුර නිසා සෙප්ටා ගේ මුහුණේ ඇඳුනු කම්පන‍යෙන් කුරිරු සතුටක් ලබමිනි. ආපසු හැරුනු ඇය සිය දෙපයට හැකි උපරිම වීරියෙන් පඩිපෙළ පහළට දිවුවා ය.

එය කොහෙත්ම සාධාරණ නැත. සන්සාට හැමදෙයක්ම හිමිව තිබින. සන්සා වසර දෙකක් වැඩිමහලු වූ අතර සමහරවිට ආර්යා ඉප‍දෙන කල වන විට ඈට දෙන්නට කිසිම දෙයක් ඉතිරි වී නොතිබෙන්නට ඇත. සන්සාට ලස්සනට මහන්නට, නටන්නට, ගී ගයන්නට හැක. ඇය කවිද ලියයි. ඇය ලස්සනට අඳින්නට පළඳින්නට ද දනී. ඇයට වීනාව වයන්නට ද හැක. මේ හැමටම වඩා ඇය රූමත් ය. සන්සාට ඔවුන් ගේ මවට මෙන් උස් දෙකම්මුල් හා ටලීවරුන් සතු රතු දුඹුරු කෙ‍හෙරැළි හිමිව තිබින. අනිත් අතට ආර්යා සිය පියා ගේ විලාසය පෑ ය. ඇයට තිබුනේ කිසිදු ප්‍රභාවක් නැති දුඹුරු පැහැ කෙස් කළඹක් හා දිගැටි මුහුණකි. ජේන් ඇයට 'අශ්ව මුහුණක් ඇති ආර්යා' කියා කියූ අතර ඇය අසලකට එන සැමවිටම හේශාරවය කරන්නට පුරුදුව සිටියා ය. එය ඇයට වඩාත් රිදුම් දුන්නේ සිය සොයුරියට වඩා හොඳින් ඇයට කල හැකි වූ එකම දෙය අසුන් පිට යාම පමණක් වූ බැවිනි. එය සහ නිවසක් පාලනය කිරීම. සන්සාට කවදාවත් ගනන් මිනුම් ගැන තේරුම් ගන්නට තරම් මොළයක් නොතිබුනු අතර ඇය ජොෆ් කුමරා හා විවාහ වන්නේ නම් ඔහු සතුව හොඳ නිවාස බාරකරුවෙකු සිටීම මැනවැයි ආර්යා කල්පනා කලා ය.

පඩිපෙළ පාමුල මුරකුටියට වී නයිමේරියා ඇය එනතෙක් බලා සිටියා ය. ආර්යා දුටු සැනින් ඇය නැගිට සිටි අතර ආර්යා සතුටින් සිනාසුනා ය. වෘක පැටවා ඇයට සැබැවින්ම ආදරය කලා ය. ඔවුන් දෙදෙනා යන යන සෑම තැනකම එකටම සිටි අතර නයිමේරියා නිදාගත්තේ ඇගේ කාමර‍යේ ඇ‍ගේ ඇඳ පාමුල ය. ඇගේ මව විසින් තහනම් නොකරන්නට ආර්යා ඇයව මැහුම් කාමරයටත් රැගෙන යනවා නිසැක ය. එසේනම් සෙප්ටා මෝර්ඩේන් ඇගේ මැහුම් වැඩ ගැන කෙතරම් පැමිණිලි කලත් ඇයට කම් නැත.

ආර්යා ඇයව බැඳ තිබුනු බැම්ම ලිහද්දී නයිමේරියා ඇගේ අත ලෙව කෑවා ය. ඇයට කහ පැහැ දෑසක් තිබුනු අතර හිරු එළියේ දී ඒවා රන්කාසි දෙකක් මෙන් බැබලිනි. ආර්යා ඇයට නම තබා තිබුනේ මුහුදින් මෙතෙරට සිය ජනතාව මෙහෙයවූ රණකාමී රයිනාර් රැජිණ අනුව ය. විය යුතු පරිද්දෙන්ම සන්සා ඇගේ පැටවාට නම් තබා තිබුනේ 'ලේඩි' කියා ය.  සිනහවක් පෑ ආර්යා වෘක පැටවා තදින් බදාගත් අතර ඌ ඇගේ කණ ‍ලෙව කෑවා ය.

මේ වනවිට සෙප්ටා මෝර්ඩේන් නිසැකවම සිය මව වෙත පණිවුඩය යවා ඇති අතර ඇය සිය කාමරයට ගියහොත් ඔවුන් ඇයව සොයා ගනු ඇත. එනිසා ඇය ඊට වඩා හොඳ උපායක් ගැන කල්පනා කලා ය. පිරිමි ළමයින් සෙණ්ඩුවාලු‍වේ සරඹ පුරුදු වෙමින් සිටි අතර රොබ් විසින් අර නිර්භීත ජොෆ් කුමරා බිම හෙලනු දැකීමට ඇයට උවමනා විය. "එන්ට." වෘක පැටවාට කොඳුල ඇය නැගිට එළියට දිව ගියා ය.


Arya Stark: “I hate needlework! It’s not fair!”
Jon Snow: “Nothing is fair.”

Wednesday 23 July 2014

කැට්ලින් - 02-2


නෙඩ් ඇගේ බාහු මුදා හැරිය අතර ඇඟිලි වලට තද වීම නිසා ඇතිවුනු දීප්තිමත් රතු පැහැ පැල්ලම් එහි දැකිය හැකි විය. "දෙයියනේ!" ඔහු කෙඳිරුවේ ය. "ඔයාගෙ සහෝදරී දුක නිසා පිස්සු වැටිලයි ඉන්නෙ. එයා කියන්නෙ මොනාද කියලා එයාම දන්නෙ නෑ."

"එයා දන්නවා.. ඇත්ත, ලයිසා ආවේගශීලී තමයි. ඒත් මේ පණිවුඩය බොහොම හොඳින් සැලසුම් කරලා, බොහොම හොඳට හංගලා එවපු එකක්. එයා දැනගෙන හිටියා මේක වැරැදි අත්වලට ගියොත් ඒකෙ අවසාන ප්‍රතිඵලය මරණය කියලා. මෙච්චර අවදානමක් ගන්ට එයාට සාමාන්‍ය සැකයකට වඩා වැඩි හේතුවක් තියෙන්ට ඕන." කැට්ලින් ඇගේ සැමියා දෙස බැලී ය. "ඇත්තෙන්ම, දැන් අපිට වෙන කිසිම තෝරාගැනීමක් නෑ. ඔයා රොබර්ට් ගෙ අත වෙන්ට ඕන. ඔයා එයත් එක්ක දකුණට ගිහිල්ලා මේකෙ ඇත්ත මොකක්ද කියලා හොයාගන්ට ඕන."

"මං දන්න ඇත්ත සේරම තියෙන්නෙ මෙහෙ. දකුණ කියන්නෙ වංචාකාරයොයි බොරුකාරයොයි පිරිච්ච කූඩුවක්. ඒක මග ඇරලා ඉන්ටයි මට ඕන."

ලුවින් සිය ගෙල වටා ඇති දම්වැල අතපත ගෑවේ ය. "රජතුමා‍ගෙ හස්තය කියන්නෙ බොහොම බලසම්පන්න තනතුරක් මගෙ උතුමානෙනි. ඒරින් උතුමානන්ගෙ මරණය ගැන ඇත්ත හොයාගන්ට, එතුමාගෙ මිනීමරුවො නීතිය ඉදිරියට ගෙනියන්ට ඔබතුමාට ඒ බලතල පාවිච්චි කරන්ට පුළුවන්. වැඩේ නරකම අතට හැරුනොත් ඒරින් ආර්යාවයි එතුමියගෙ පුතාවයි ආරක්ෂා කරන්ට ඔබතුමාට ඒ බලතල පාවිච්චි කරන්ට පුළුවන්."

නෙඩ් පිළිසරණක් සොයන්නාක් වැනි බැල්මෙන් කාමරය සිසාරා බැලී ය. කැට්ලින්ට ඔහු ගැන දුක සිතුන නමුත් ඔහුව සැනසීමට වේලාව තවම පැමිණ නැති බව ඇය දැන සිටියා ය. පළමුව සිය දරුවන් වෙනුවෙන් ජයග්‍රහණය අත්පත් කරගෙන සිටිය යුතුය. "ඔයා කිවුවා ඔයා රොබර්ට්ට සහෝදරයෙකුට ව‍ගේ ආදරෙයි කියලා. ඔයා ඔයාගෙ සහෝදරයාව ලැනිස්ටර්ලාත් එක්ක තනි කරනවද?"

"අනික් එවුන් උඹලා ‍දෙන්නවම අරන් යන්ට ඕන." ඔවුන්ගෙන් ඉවතට හැරුනු ඔහු කවුළුව වෙතට ගියේ ය. කැට්ලින් හෝ මේස්ටර් හෝ වදනකුදු නොදෙඩී ය. එඩ්ඩාර්ඩ් ස්ටාර්ක් විසින් තමා ආදරය කල භූමියට නිශ්ශබ්ද සමුගැන්මක් පිළිගන්වන ආකාරය දෙස ඔවුන් දෙදෙනා නිහඬවම බලා සිටියහ. අන්තිමේදී ඔහු කවුළුව වෙතින් මෑත්වී ඔවුන් දෙසට හැරුනු විට ඔහු ගේ කටහඬ වෙහෙසකාරී බවින් හා දුකින් පිරී තිබුනු අතර ඒ දෑස් අග කඳුළු බිඳු රැඳී තිබින. "රජෙකුගෙ නියෝගයට උත්තර දෙන්ට මගේ තාත්තා එක පාරක් දකුණට ගියා. එයා ආයෙ කවදාවත් ගෙදර ආවෙ නෑ."

"ඒ වෙනත් කාලයක්." මේස්ටර් ලුවින් කීවේ ය. "වෙනත් රජ කෙනෙක්."

"ඔවු." නෙඩ් ගිනිඋඳුන අසල තිබුනු පුටුවේ වාඩි වුනේ ය. "කැට්ලින්, ඔයා වින්ටර්ෆෙල් වල නතර වෙන්ට ඕන."

ඒ වදන් ඇගේ හදවත හරහා ගිය පිහි පහරවල් වැනි විය. "නෑ." ඇයට හදිසියේම බියක් දැනින. මේ ඇගේ දඬුවම ද? නැවත කිසිදා ඔහු ගේ මුහුණ නොදකින්නට, සිය බඳ වටා එතෙන ඒ දෑතේ පහස නැවත කිසිදා නොලබන්නට?

"ඔවු." නෙඩ් කීවේ කිසිදු විවාදයකට ඉඩ නොතබන අන්දමේ ස්වරයකිනි. "මං රජතුමාගෙ වැඩ ගැන හොයලා බලන අතරේ ඔයා මං වෙනුවෙන් උතුර පාලනය කරන්ට ඕන. වින්ටර්ෆෙල්වල හැම ‍මො‍හොතකම ස්ටාර්ක් කෙනෙක් ඉන්ට ඕන. රොබ්ට දැන් දාහතරයි. බොහොම ඉක්මනට එයා වැඩුනු මිනිහෙක් වෙනවා. එයා ඉගෙනගන්ට ඕන කොහොමද පාලනය කරන්නෙ කියලා. ඒක එයාට උගන්නන්ට මං මෙහෙ ඉන්නෙ නෑ. ඒ නිසා එයාවත් ඔයාගෙ මන්ත්‍රණ සභාවෙ කොටස් කාරයෙක් කරගන්ට. එයාගෙ නිසි වයස එනකොට එයා මේ හැම දේකටම සූදාණම් වෙලා ඉන්ට ඕන."

"දෙයියන්ගෙ පිහිටෙන් ඒකට වැඩි කාලයක් යන්නෙ නෑ." මේස්ටර් ලුවින් මිමිනී ය.

"මේස්ටර් ලුවින්, මගේ ලේ ඥාතියෙක්ව විශ්වාස කරන තරමටම මං ඔබවත් විශ්වාස කරනවා. ලොකු පුංචි හැම දේකදිම ඔබේ අනුශාසනාව මගේ බිරිඳට දෙන්ට. මගේ පුතාට උගන්නන්ට එයා දැනගන්ට ඕන හැම දෙයක්ම. ශීත කාලය එනවා."

මේස්ටර් ලුවින් බැරෑරුම් අන්දමින් හිස වැනුවේ ය. අන්තිමේදී දිරි වඩා ගත් කැට්ලින් ඇයව වඩාත්ම බියපත් කරන ප්‍රශ්නය ඇසීමට නිහඬතාව බින්දා ය. "එතකොට අනිත් ළමයින්ට මොකද වෙන්නෙ?"

නැගී සිටිය නෙඩ් ඇයව දෝතින් වැළඳගෙන ඇගේ මුහුණ සිය මුහුණට ලං කර ගත්තේ ය. "රිකන් තාම පුංචි බබෙක්. එයා මෙහෙ හිටපුවාවෙ ඔයයි රොබුයි එක්ක. අනිත් ළමයි මං අරන් යනවා."

"මට ඒක දරාගන්ට බෑ." කැට්ලින් වෙවුලුවා ය.

"ඔයාට එහෙම කරන්ට වෙනවා. සන්සා ජොෆ්රිව බඳින්ටම ඕන, ඒක බොහොම පැහැදිලියි. අපේ එයාලට තියෙන ඇල්ම ගැන සැකයක් උපද්දවගන්ට අපි කිසිම අවස්ථාවක් දෙන්ට නරකයි. දකුණුකරයේ ඇවතුම් පැවතුම් ගැන ඉගෙනගන්ට ආර්යාට දැනටමත් කාලෙ පහු වෙලා. තව අවුරුදු කීපෙකින් එයත් කසාද බඳින වයසට එනවා."

දකුණුකරයේ දී සන්සා සුවඳැති මලක් මෙන් දීප්තිමත්ව පිබි‍දෙනු ඇති බව කැට්ලින් සිතුවා ය. අනිත් අතට ආර්යාට ශිෂ්ට සම්පන්න ලෝකයේ ගති පැවතුම් ගැන ඉගෙනගැනීමට අවශ්‍ය බව දෙවියන් පවා දනියි. අසීරුවෙන් වුවද ඇයට ඔවුන්ව සිය හදවතින් ඉවත් කල හැක. එහෙත් බ්‍රැන්, ඇගේ ආදරණීය බ්‍රැන්! "ඔවු ඔයා හරි. ඒත් නෙඩ්, කරුනාකරලා අපි දෙන්නගෙ ආදරේ වෙනුවෙන් වත් බ්‍රැන්ව වින්ටර්ෆෙල්වල තියලා යන්ට. එයාට තාම හතයි."

"මගේ තාත්තා මාව ඉයරිවල හදාගන්ට යවනකොට මට අවුරුදු අටයි. "සෙර් රඩ්‍රික් මට කිවුවා රොබුයි, ජොෆ්රි කුමාරයයි අතරේ ඒ තරම් හොඳ හැඟීමක් නැහැයි කියලා. ඒක එච්චර ගුණදායක දෙයක් නෙවෙයි. බ්‍රැන්ට පුළුවන් ඒ පරතරය පියවන්ට. එයා හරිම හොඳ දරුවෙක්, හැම වෙලාවෙම හිනා වෙලා ඉන්න, හැම දෙනාම ආදරේ කරන කෙනෙක්. එයාට මේ තරුණ කුමාරවරුත් එක්ක එකට වැ‍ඩෙන්ට ඉඩ දෙන්ට. හරියට ‍රොබර්ට් මගේ යාළුවා වුනා වගේ එයාත් කුමාරයින්ගෙ යාළුවෙක් වෙයි. ඒකෙන් අපේ වංශයට යහපතක් වෙයි."

ඔහු නිවැරැදි බව කැට්ලින් දැන සිටියා ය. එනමුදු වේදනාව අඩු කිරිමට එම දැනීම සමත් වූයේ නැත. ඇයට ඔවුන් සිවුදෙනාම අහිමි වී යනු ඇත. නෙඩ්, දැරියන් දෙදෙනාම සහ ඇගේ ආදරණීය පුංචි බ්‍රැන්. ඇයට ඉතිරිවනු ඇත්තේ රොබ් හා ලාබාල රිකන් පමණී. ඇයට දැනටමත් තනිකම දැනෙන්නට පටන්ගෙන තිබින. වින්ටර්ෆෙල් යනු සුවිසල් ස්ථානයකි. "එහෙනං එයාව තාප්ප බිත්ති වලින් ඈත් කරලා තියාගන්ට. ඔයා දන්නවනෙ බ්‍රැන් උස තැන්වලට නගින්ට කොච්චර ආසද කියලා."

ඇගේ දෑසේ නැගුනු කඳුළු බිඳු බිම වැටෙන්නට පෙර ‍නෙඩ් ඒවා සිප ගත්තේ ය. "ඔයාට ගොඩක් ස්තූතියි මගේ ආර්යාවෙනි. මම දන්නවා මේක බොහොම අමාරු දෙයක් විත්තිය."

"ජොන් ස්නෝව් ගැන මොකද මගේ උතුමානෙනි?" මේස්ටර් ලුවින් ඇසී ය.

ඒ නම ඇසීමත් සමගම කැට්ලින් දරදඬු වී ගියා ය. ඇගේ කේන්තිය දැනුනු නෙඩ් ඇගෙන් මඳක් ඉවත් විය.

ඕනෑ තරම් මිනිසුන් අවජාතකයින් බිහි කර තිබේ. කැට්ලින් හැදුනේ වැඩුනේ ඒ අවබෝධයත් සමග ය. එම නිසා සිය විවාහයේ පළමු වසර තුළදී ම නෙඩ් යුධ මෙහෙයුමක් අතරතුරේදී අහම්බෙන් මුනගැසුනු කිසියම් කෙල්ලක හා එක්ව අවජාතක දරුවෙකුට පියා වීම යන ආරංචිය ඇයට එතරම් විස්මයක් ගෙන දුන්නේ නැත. මිනිසුන්ට ඔවුන් ගේ අවශ්‍යතා ඇත. අනිත් අතට ඒ අවුරුද්ද දෙදෙනා දෙපසක - ඔහු දකුණේ යුධ බිමේත්, ඇය රිවර්රන්හි සිය පියා ගේ බලකොටුවේත් - ගත කලෝය. ඇයට තාමත් හරිහැටි හඳුනාගන්නටවත් නොලැබුනු සිය සැමියාට වඩා ඇගේ සිතුවිලි අතර රැඳුනේ තම උකුළේ හිඳ කිරි උරා බොන අත දරුවා, රොබ් ගැනය. සටන් අතර ලැබෙන විවේක‍ය ඔහුට රිසි අයුරින් ගත කරන්නට ඔහුට අවසර ඇත. ඉදින් අවජාතක දරුවෙකු බිහි වුවහොත් ඒ දරුවා ගේ ඕනෑ එපා කම් ගැන සොයා බලන්නටද ඔහුට අයිතියක් ඇත. කැට්ලින් සිතුවේ එලෙසිනි.

එහෙත් ඔහු ඊට වඩා වැඩි දෙයක් කලේ ය. ස්ටාර්ක්වරුන් යනු අන් මිනිසුන් වැනි අය නොවේ. නෙඩ් සිය අවජාතකයා ඔහුත් සමගම ගෙදර ගෙනා අතර මුළු උතුරුකරයටම පෙනෙන පරිදි ඔහුට 'පුතා' කියාද ඇමතී ය. අන්තිමේදී යුද්ධය අවසන් වී කැට්ලින් වින්ටර්ෆෙල් කරා ළඟා වූ විට ජොන් හා ඔහු ‍ගේ කිරි මවු ඒ වනවිටත් එහි පැලපදියම් වී හමාර ය.

එය ඇයට වැදුනු දරුණුම පහරක් විය. නෙඩ් ඔහු ගේ මවු කවුද යන වග කිසිදා නොකීවේ ය, අඩුම ගනනේ ඇය ගැන වචනයක්වත් ‍නොකීවේ ය. නමුත් බලකොටුවක් තුළ රහස් නොමැති අතර ඇගේ සේවිකාවන් සිය සැමියා ගේ සෙබළුන් මාර්ගයෙන් දැනගත් ඕපාදූප එකිනෙකා අතර රහසේ කොඳුරනු ඇයට ඇසී තිබින. එම ඕපාදූප අතරේ ඔවුන් ගේ තරුණ උතුමානන් විසින් තනිව සටන් කර සෙර් ආතර් ‍ඩේන් හෙවත් උදෑසනේ අසිපත හෙවත් ඒරිස් රජතුමා ගේ රාජ්‍යාරක්ෂක නයිට්වරුන් හත්දෙනා අතරින් බිහිසුණුම නයිට්වරයාව මරා දැමූ අයුරු විශේෂයෙන්ම කියැවින. එපමණක්ද නොව සටනින් පසු සෙර් ආතර් ගේ අසිපත රැගත් නෙඩ් ඔහු ගේ සුන්දර තරුණ සොයුරිය වූ මනබඳිනා දම් පැහැ දෑසින් යුත් අශාරා ඩේන් ආර්යාව වෙත එම අසිපත බාර දීම සඳහා ගිම්හාන මුහුදු තීරයේ පිහිටි ස්ටාර්ෆෝල් බලකොටුව වෙත ගිය අන්දමත් කැට්ලින්ට අහුලා ගත හැකි විය. ඇගේ ධෛර්යය වඩවා ගැනීමට ඇයට සති දෙකක් පමණ ගත වූ මුත් අන්තිමේදී එක්තරා රැයක නිදි ඇඳේ දී කැට්ලින් ඇගේ සැමියාගෙන් කෙලින්ම මේ ගැන විමසා සිටියා ය.

ඔවුන් ‍ගේ මුළු විවාහ දිවිය තුළදී නෙඩ් ඇයව බියපත් කල එකම මොහොත එය විය. "කවදාවත් මගෙන් ජොන් ගැන අහන්ට එපා." ඔහු පිළිතුරු දුන්නේ හිම මෙන් සීතල ස්වරයෙනි. "එයා මගේ ලේ. එච්චරයි ඔයා දැනගන්ට ඕන. ඉතින් දැන් මට කියන්ට ඔයා කොහෙන්ද ඔය නම දැනගත්තෙ කියලා මගේ ආර්යාවෙනි." ඇය එය ඔහුට කී අතර එදායින් පසු මාලිග‍යේ සියළුම රහස් කීම් හා ඕපාදූප නැවතින. අශාරා ඩේන් ගේ නම නැවත කිසිදා වින්ටර්ෆෙල්හි නොකියවින.

‍ජොන් ගේ මව කවුරු වූවත් නෙඩ් ඇයට අසීමිතව ආදරය කල බව නම් නිසැක ය. මක්නිසාද යත් කැට්ලින් පැවසූ කිසිම දෙයක් මේ දරුවා බලකොටුවෙන් පිටකර හරින්නට සමත් නොවූ බැවිනි. ඇය ඔහුට කිසිදා සමාවක් නොදුන් එකම එක දෙය එය විය. සිය සැමියාට මුළු හදින්ම පෙම් කරන්නට කැට්ලින් සමත් වුවත් ජොන්ට ආදරය කරන්නට ඇයට කිසිදා නොහැකි විය. නෙඩ්ට ඇති ආදරය නිසා සිය ඇසට නොපෙනෙන මානයේ සිටීනම් අවජාතකයින් දුසිමක් වුවත් අමතක කරන්නට ඇය සූදාණම් වුවද ජොන් කිසිදා ඇගේ ඇස් මානයෙන් පිට ගියේ නැත. අනිත් අතට ඔහු වයසින් වැඩෙද්දී නෙඩ්ට දාව උපන් අනෙකුත් සියළුම සහජාත දරුවන්ට වඩා ඔහු පියා ‍ගේ විලාසයට සමානකම් පෑ අතර තත්ත්වය මේ නිසා තවත් දරුණු අතට හැරින.

"ජොන් මෙහෙන් යන්ට ඕන." ඇය කීවාය.

"එයයි රොබුයි හරිම කිට්ටුයි." නෙඩ් කීය. "මං හිතුවේ...."

"එයාට මෙහෙ නවතින්ට බෑ." කැට්ලින් ඔහුව කපා හැරියා ය. "එයා ඔයාගෙ පුතා. මගෙ පුතා නෙවෙයි. ම‍ට එයාව තියාගන්ට බෑ." එය දැඩි පහරක් බව ඇය දැන සිටියා ය. එනමුදු ජොන්ව වින්ටර්ෆෙල්හි දමා යෑම ඔහුට කරන කරුනාවක්ද නොවේ.

නෙඩ් ඇය දෙස හෙලූ බැල්ම ඔහු ගේ කටුක වේදනාව මැනවින් ‍පෙන්වී ය. "ඔයා දන්නවනෙ මට එයාව දකුණට අරන් යන්ට බෑ කියලා. රාජසභාවෙ එයාට ඇති තැනක් නෑ. අවජාතක නමක් ඇති ළමයෙකුට... ඔයා දන්නවනෙ මිනිස්සු එයා ගැන මොනවා කියයිද කියලා. හැමෝම එයාව මග අරියි."

සිය සැමියා ගේ බැල්මේ ඇති නිහඬ ආයාචනයට එදිරිව ඇය සිය හදවත ගල් කරගත්තා ය. "මිනිස්සු කියන්නෙ ඔයාගෙ යාළුවා රොබර්ට් අවජාතකයො දුසිමක් විතර බිහි කලා කියලයි."

"ඒ වුනාට ඒ එක්කෙනෙක් වත් රාජසභාවට ගෙනල්ලා නෑ. ලැනිස්ටර් ගෑනි ඒකට අවශ්‍ය පියවර අරන් තියෙන්නෙ. ඔයා කොහොමද මෙච්චර නපුරු වෙන්නෙ කැට්ලින්? එයා තාම පුංචි ළමයෙක්. එයා-"

දැඩි කේන්තිය නිසා ඔහු තවත් ‍බොහෝ දේ, තවත් නරක දේ පැවසීමට ඉඩ තිබුනත් මේස්ටර් ලුවින් මැද්දට පැන්නේ ය. "තවත් උත්තරයක් තියෙනවා. ඔබේ ස‍හෝදරයා බෙන්ජින් ටික දවසකට කලින් මගේ ගාවට ආවා ජොන් ගැන අහන්ට. ‍පේන හැටියට මේ දරුවා කළු අඳින්ට කැමැත්තෙන් ඉන්නවා."

නෙඩ් දිස් වූයේ හදිසි කම්පනයකට ලක් වූවෙක් මෙනි. "එයා නිශා රැකුමට බැඳෙන්ට ඇහුවා?"

කැට්ලින් කිසිත් නොකීවා ය. නෙඩ් මේ ප්‍රශ්නය විසඳා ගත්තාවේ. එනමුදු ඇයට දැනුනේ මේස්ටර්ව අල්ලා සිපගත හැකි තරමේ ප්‍රීතියකි. මෙය ප්‍රශ්නයට කදිම පිළිතුරකි. බෙන්ජින් ස්ටාර්ක් යනු දිවුරුම් දුන් කළු සහෝදරයෙකි. ‍ජොන් ඔහුට පුතකු මෙන් - ඔහු‍ට කිසිදා ලබන්නට බැරි පුතා මෙන් - වනු ඇත. නිසි කල පැමිණි විට කොලුවාද දිවුරුම් දෙනු ඇත. මතුයම් දවසක කැට්ලින් ගේ මුණුබුරන් හා හරි හරියට වින්ටර්ෆෙල්වලට උරුමකම් කියන්නට හැකි පුතුන් ලබන්නට ඔහුට කිසිදා නොහැකි වනු ඇත.

"ප්‍රාකාරයෙ සේවය කරනවා කියන්නෙ බොහොම උසස් ගෞරවයක් මගෙ උතුමානෙනි." මේස්ටර් ලුවින් කීය.

"අනික නිශා රැකුම් බලකායෙදි අවජාතකයෙකුට වුනත් ඉහළ නගින්ට පුළුවන්." නෙඩ් සිතා බැලූ නමුත් ඒ ස්වරය ගැහැටට පත් වූ එකකි. "ජොන් තාම පොඩි වැඩියි. එයා ලොකු මිනිහෙක් වුන දාක මේ ගැන ඇහුවනං ඒක වෙනම දෙයක්. ඒත් අවුරුදු දාහතරක දරුවෙක්..."

"ඒක අමාරු පරිත්‍යාගයක්." මේස්ටර් ලුවින් එකඟ විය. "ඒ වුනත් ‍මේක අමාරු කාලයක් මගේ උතුමානෙනි. ඔබතුමා හරි ආර්යාව හරි ගන්න මාර්ගයට වඩා එයා ගන්න මාර්ගය කටුක වෙන එකක් නෑ."

ඔවුන්ගෙන් ඉවතට හැරුනු නෙඩ් ‍ජනේලයෙන් පිටත බැලී ය. මුහුණින් පෙනුනේ ඔහු දැඩි කල්පනාවක නිමග්න වී ඇති බවයි. අන්තිමේදී සුසුමක් හෙලූ ඔහු ආපසු හැරුනේ ය. "බොහොම හොඳයි." ඔහු මේස්ටර් ලුවින් ඇමතී ය. "මං හිතන්නෙ හැම දේම වෙන්නෙ හොඳකටයි කියලා. මං බෙන්ට කතා කරන්නං."

"අපි කවදද ජොන්ට කියන්නෙ?"

"ඒක කියන්ට ඕන දවස ආවහම. ගොඩක් දේවල් ලෑස්ති කරන්ට තියෙනවා. අපට පිටත් වෙන්ට ලෑස්ති වෙන්ට තව සති දෙකක්වත් යාවි‍. ජොන් මේ අන්තිම දවස් ටිකේ සතුටින් හිටියාවෙ. ඉක්මනටම ගිම්හානය ඉවර වේවි. ඒ එක්කම ළමා කාලෙත් ඉවර වේවි. නියම කාලෙ ආවහම මමම එයාට කියන්නං."


Eddard Stark: “I never asked for this cup to pass to me.”
Catelyn Stark: “Perhaps not, but the cup has passed, and you must drink from it, like it or not.”

Monday 21 July 2014

කැට්ලින් - 02-1


වින්‍ටර්ෆෙල්හි මහ බලකොටුවේ සියළුම කාමර අතරින් උණුසුම්ම කාමර පෙළ වූයේ කැට්ලින් ගේ නිදන කාමරය යි. මේ කාමරය උණුසුම් කිරීම සඳහා ගින්නක් දැල්වීමට සිදුවූයේ ඉතා කලාතුරකිනි. බලකොටුව තනා තිබුනේ ස්වභාවික උණු දිය උල්පත් මත වූ අතර එයින් නැගුනු උණුසුම් වතුර බලකොටුවේ බිත්ති අතරින් දිව ගියේ හරියටම මිනිසකු ගේ සිරුරේ රුධිරය ගලන්නාක් මෙනි. මේ උණු දිය මගින් ගලින් කල කාමර හා ශාලා බිත්තිවල සහ ගෙබිමේ සීතල පලවා හැරිනි. උණුසුම් ගිම්හාන‍යේ දී මෙය එතරම් වැදගත් දෙයක් නොවූවද ශීත කාලයේ දී එය ජීවිතයත් මරණයත් අතර වෙනස තීරණය කරන්නක් විය.

කැට්ලින් ගේ නාන බාල්දිය සෑම විටම උණු දි‍යෙන් පිරී තිබුනු අතර ඇගේ කාමරයේ බිත්ති ඇල්ලූ විට උණුසුම අතට දැනින. මේ උණුසුම ඇයට සිහිපත් කලේ රිවර්රන්හි හිරු එළියේ ලයිසා හා එඩ්මුයර් සමග ඈ ගතකල අතීතය යි. නමුත් නෙඩ් කිසිමදාක මේ උණුසුමට ඔරොත්තු දුන්නේ නැත. ස්ටාර්ක්වරුන් නිර්මිතව ඇත්තේ සීතල වෙනුවෙන් බව ඔහු ඈට නිතරම කී දෙයක් වූ අතර එවිට ඇය සිනාසෙමින් කියන්නේ එසේනම් ඔවුන් සිය බලකොටුව ගොඩනංවා ඇත්තේ වැරැදි භූමිභාගයක බවයි.

කැට්ලින් ගේ සිරුර මතින් ඉවත්ව ඇඳ මත රෝල් වී ගිය නෙඩ් එයින් බිමට බැස්සේ ය. කාමරය හරහා ඇවිද ගිය ඔහු ඝනකම් තිර රෙදි දෙපසට ඇද දමා උස් පටු කවුළු එකින් එක විවෘත කලේ රාත්‍රියේ සීතල වාතයට කාමරය තුළට වැදීමට අවකාශ සලසමිනි.

සීතය දුරු කරනු වස් සිය ලොම් පොරෝණාව නිකට තෙක් ඇදගත් කැට්ලින් නිහඬවම නෙඩ් දෙස බලා සිටින්නට විය. නිරුවතින් කවුළුව අසල සිට පිටත අන්ධකාරය දෙස බලා සිටි ඔහුව පෙනුනේ පමණට වඩා කුඩා දුර්වල පුද්ගලයකු, හරියටම මීට වසර පහළොවකට පෙර රිවර්රන්හි සප්තක දේවස්ථන‍යේ දී ඇගේ අතිනත ගත් තරුණයා මෙනි. ඔහු ගේ ඉක්මන් අනුරාගී හැසිරීම නිසා ඇගේ යටිකය තවමත් රිදුම් දුනි. එනමුදු එය මිහිරි වේදනාවක් විය. ඔහු ගේ දරුවකු කුස පිළිසිඳගන්නේ නම් යැයි ඇය ප්‍රාර්ථනා කලා ය. රිකන් ලැබී දැන් තුන් වසරකි. ඇය තවමත් වියපත් වී නැත. ඔහුට තවත් පුතෙකු ලබා දීමේ හැකියාව තවමත් ඇය සතුය.

"මං එයාගෙ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා." නෙඩ් පැවසූයේ ඇය දෙසට හැරෙමිනි.

කැට්ලින් ඇඳ මත වාඩි වූවා ය. "ඔයාට එහෙම කරන්ට බෑ. ඔයා එහෙම කරන්ට ඕනත් නෑ."

"මගේ රාජකාරි තියෙන්නෙ මේ උතුරේ. මට රොබර්ට් ගෙ අත වෙන්ට ඕනකමක් නෑ."

"එයා ඒක තේරුම් ගන්න එකක් නෑ. එයා දැන් රජ කෙනෙක්. රජවරු කියන්නෙ අනිත් මිනිස්සු වගේ ජාතියක් නෙවෙයි. ඔයා එයාගෙ යෝජනාව ප්‍රතික්ෂේප කලොත් එයා කල්පනා කරයි ඒ ඇයි කියලා. ඊට පස්සෙ එයා සැක කරන්ට පටන් ගනියි ඔයා එයාට විරුද්ධයි කියලා. ඔයාට පේන්නෙ නැද්ද එහෙම වුනොත් ඔයා අපි හැමෝවම කොච්චර ‍ලොකු අනතුරකටද ඇදලා දාන්නෙ කියලා?"

නෙඩ් හිස වැනුවේ ඇය කියන දේ විශ්වාස නොකරන අන්දමිනි. "රොබර්ට් කවදාවත් මට වත්, ඔයාට වත්, අපේ ළමයින්ට වත් හානියක් කරන්නෙ නෑ. අපි දෙන්නා සහෝදරයො දෙන්නෙකුටත් වඩා ළඟින් ආශ්‍රය කලේ. මිනිහා මට ආදරෙයි. මං ඒ යෝජනාව ප්‍රතික්ෂේප කලොත් මිනිහා පොඩ්ඩක් ගොරවයි, මට සාප කරයි. ඒත් සතියකට පස්සෙ මිනිහා මගෙත් එක්කම හිනාවෙයි වෙච්ච වැඩේට. මං මිනිහව දන්නවා."

"ඔයා ඒ මිනිහව දැනගෙන හිටියා. ඒ වුනාට රජතුමා කියන්නෙ ඔයා නොදන්න අමුත්තෙක්." උගුරේ ඇනුනු මුව අං කැබැල්ලක් සහිතව හිම මත මියගොස් සිටි ඝෝරවෘකයා ඇයට සිහි විය. ඔහුට සත්‍යය වටහා දීම ඇගේ යුතුකමයි. "ආත්මාඩම්බරය කියන්නෙ රජෙකුට බොහොම වටිනා දෙයක් මගෙ උතුමානෙනි. රොබර්ට් මෙච්චර දුරක් ‍ගෙවාගෙන ආවෙ ඔයාව දැකලා ඔයාට මේ ගෞරවය ලබාදෙන්ට. ඔයාට ඒක ආපහු එයාගෙ මූනට දමලා ගහන්ට බෑ."

"ගෞරවය?" නෙඩ් කටුක සිනහවක් පෑවේ ය.

"එයාට පේන විදියට ඒක ගෞරවයක් තමා."

"ඔයාට පේන්නෙ?"

"මටත් එහෙම තමා පේන්නෙ." කැට්ලින්ට මේ වනවිට කේන්ති එන්නට පටන් ගෙන තිබින. ඔහු මෙය හරිහැටි නොදකින්නේ ඇයි? "එයා එයාගෙ පුතා අපේ දුවට විවාහ කරලා දෙන්ට යෝජනා කරනවා. ඔයාට ඒක ගෞරවයක් වගේ නෙවෙයිද පේන්නෙ? සන්සා දවසක මේ රාජධානියෙ රැජිණ වෙයි. එයාගෙ පුතාලා දවසක මේ රාජධානිය පාලනය කරයි උතුරේ ප්‍රාකාරෙ ඉඳන් දකුණේ ඩෝර්න්වලට යනකං. මොකක්ද ඒකෙ තියෙන වැරැද්ද?"

"දෙයියම්පා කැට්ලින්, සන්සාට තාම එකොළහයි. අනික ජො‍ෆ්රි... ජොෆ්රි කියන්නෙ..."

ඇය ඔහු වෙනුවෙන් වාක්‍යය සම්පූර්ණ කලාය. "ඔටුන්න හිමි කුමාරයා. යකඩ සිංහාසනයේ උරුමක්කාරයා. අනික මගේ තාත්තා මාව ඔයාගෙ සහෝදරයා බ්‍රැන්ඩන්ට පොරොන්දු වෙනකොට මට යාන්තං අවුරුදු දොළහයි."

මේ මතකය ඔහු ගේ මුවට තිත්ත රසක් ගෙන ආවේය. "බ්‍රැන්ඩන්. හරි බ්‍රැන්ඩන් නං දන්නවා මොකක්ද දැන් කරන්ට ඕන කියලා. එයා හැමදාමත් දැනගෙන හිටියා මොකක්ද කරන්ට ඕන කියලා. මේ හැම දෙයක්ම එයාටයි ලැබෙන්ට තිබුනෙ. ඔයා, වින්ටර්ෆෙල්, මේ හැම දෙයක්ම. එයා ඉපදුනේම රජෙකුගෙ හස්තය වෙන්ට, රැජිණකට තාත්තා කෙනෙක් වෙන්ට. මං කවදාවත් ඉල්ලුවෙ නෑ මේ කුසලාණ මට දෙන්ටයි කියලා."

"සමහරවිට නොඉල්ලන්ට ඇති. ඒත් දැන් බ්‍රැන්ඩන් මැරිලා. කුසලාණ ඔයාගෙ අතට ලැබිලා. ඔයා කැමැති වුනත් නැතත් දැන් ඒකෙන් බොන්ට ඕන."

නෙඩ් ඇයගෙන් ඉවතට, නැවතත් රාත්‍රිය දෙසට හැරුනේ ය. එසේ සිටගත්වනම පිටත අන්ධකාරය දෙස - සමහරවිට සඳ, තරු හෝ පවුරු මත සිටින මුර සෙබළුන් දෙස හෝ - බලා සිටින්නට විය.

ඔහු පෙලන වේදනාව තේරුම්ගත් කැට්ලින් ගේ සිත මොලොක් විය. චාරිත්‍රය විසින් නියම කෙරුනු අන්දමට බ්‍රැන්ඩන් වෙනුවට එඩ්ඩාර්ඩ් ස්ටාර්ක් ඈ හා විවාහ වූවද තවමත් ඔවුන් දෙදෙනා අතරට ඔහු ගේ මියගිය සොයුරා ගේ සෙවනැල්ල වැටී තිබින. ඔහු ගේ සෙවනැල්ල සහ අනෙක් කාන්තාව‍ ගේ, ඔහු කිසිදා නම නොපවසන කාන්තාව‍ ගේ, ඔහුට සිය අවජාතක පුත්‍රයා ලබා දුන් කාන්තාව ගේ සෙවනැල්ල වැටී තිබින.

ඔහු වෙතට යාමට ඇය සිතනවාත් සමග දොරට තට්ටු කරන අනපේක්ෂිත හඬ ඇසින. නෙඩ් රවාගත් මුහුණින් ආපසු හැරුනේ ය. "මොකක්ද ඒ ගමන?"

දොරට පිටින් ඩෙස්මන්ඩ් ගේ කටහඬ ඇසින. "මගේ උතුමානෙනි, මේස්ටර් ලුවින් ඇවිල්ලා ඉන්නවා ඉතාම ලොකු හදිසියකට ඔබතුමාව බැහැ දකින්ට අවශ්‍යයි කියලා."

"උඹ එයාට කිවුවද මට බාධා කරන්ට එපයි කියලා නියෝගයක් දීලා තියෙන්නෙ කියලා?"

"එහෙමයි මගෙ උතුමානෙනි. ඒත් එයා බල කර සිටිනවා."

"හොඳයි. එයාව ඇතුළට එවන්ට."

ඇඳුම් අල්මාරිය වෙත ගිය නෙඩ් ඝනකම් ලෝගුවක් හැඳ ගත්තේ ය. ශීතය කෙතරම් අධික වීදැයි හදිසියේ තේරුම් ගත් කැට්ලින් ඇඳ මත හිඳගෙන සිය ලොම් පොරෝණය නිකට තෙක් උස්සා ගත්තා ය. "අර ජනෙල් ටික වැහුවොත් හොඳ නැද්ද?" ඇය යෝජනා කලාය.

ඔහු නිහඬවම හිස සැලූ අතර මේස්ටර් ලුවින් කාමරය තුළට පිවිසියේ ය.

තමා පසුපසින් දොර වැසෙන තෙක් මේස‍්ටර් වදනකුදු තෙපලූයේ නැත. "මගේ උතුමා‍නෙනි. ඔබතුමාගෙ විවේකයට බාධා කලාට සමාවෙන්ට. මට පණිවුඩයක් ලැබිලා තියෙනවා."

නෙඩ් ගේ මුහුණේ වූයේ පීඩාකාරී පෙනුමකි. "ලැබිලා තියෙනවා? කාගෙන්ද? අශ්වාරෝහකයෙක් ආවද? මට කවුරුවත් කිවුවෙ නෑ."

"අශ්වාරෝහක‍යෙක් ආවෙ නෑ මගේ උතුමානෙනි. මට පොඩි නින්දක් ගිහින් තියෙන අතරේ මගේ නිරීක්ෂණාගා‍රෙ මේසයක් උඩ කැටයම් කපපු ලී පෙට්ටියක් දාලා ගිහිල්ලා තියෙනවා. මගේ සේවකයො කවුරුවත් එනවා දැකලත් නෑ. ඒ වුනත් ඒක ගෙනල්ලා තියෙන්නෙ රජතුමාගෙ පිරිවරත් එක්ක ආපු කවුරු හරි වෙන්ට ඕන. අපට දකුණුකරෙන් වෙන අමුත්තො කවුරුවත් ආවෙ නෑ."

"ලී පෙට්ටියක්?" කැට්ලින් ඇසුවා ය.

"ඒක ඇතුළෙ තිබුනෙ නිරීක්ෂණාගාරයට උවමනා කරන අලුත් වීදුරු කාචයක්. පේන හැටියට නං ම(ර්) වලින් ගෙනාපු එකක්. ම(ර්) වල කාච හදන්නො තමා දැනට ඉන්න සුපිරිම වීදුරු වැඩකරුවො."

"කාචයක්? මොකක්ද මට ඒකෙන් ඇති වැඩේ?" නෙඩ් ඇසී ය.

"මාත් ඒ ප්‍රශ්නෙම ඇහුවා." මේස්ටර් ලුවින් පැවසී ය. "පැහැදිලිවම මේ‍කෙ මතුපිටින් පේන දේට වඩා යමක් තියෙනවා."

ඝණකම් ලොම් රෙද්ද යට සිටියදී පවා කැට්ලින් වෙවුලුවා ය. "කාචයක් කියන්නෙ අපට බලන්ට උපකාරී වෙන ‍දෙයක්."

"අනිවාර්යයෙන්ම." මේස්ටර් සිය කබා‍යේ කර වටා ඇඟිල්ල කරකැවී ය. සිය නිකායේ සම්ප්‍රදායට අනුව එකිනෙකට වෙනස් ලෝහ වර්ග ගනනාවකින් සැදුනු පුරුක් ඇමිනූ ඝනකම් දම්වැලක් ඔහු ගේ ගෙල වටා විය.

සිය සිරුර පුරා භීතිය දිව යනු නැවතත් කැට්ලින්ට දැනින. "අපි මොකක් දිහා පැහැදිලිව බලන්ටද එයාලට ඕන?"

"ඒකම තමා මාත් ඇහුවෙ." මේස්ටර් සිය කබා අතේ රහස් සාක්කුවකින් දැඩිව රෝල් කල කඩදාසියක් පිටතට ගත්තේ ය. "ඒ කාචය දාපු පෙට්ටියෙ රහස් පතුලක හංගලා තිබිලා ඇත්ත පණිවුඩේ මට හම්බවුනා. ඒත් ඒක ම‍ගේ ඇස්වලට නෙවෙයි."

නෙඩ් අත දිගු කලේය. "මෙහෙ දෙන්ට ඒක."

මේස්ටර් සෙලවුනේ නැත. "සමාවෙන්ට ම‍ගෙ උතුමානෙනි. ඒත්, ඒ පණිවුඩය ඔබටත් නෙවෙයි‍. ඒකෙ සටහන් කරලා තියෙන්නෙ කැට්ලින් ආර්යාවගෙ ඇස්වලට පමණයි කියලා. මම ඒක දෙන්ටද ආර්යාවෙනි?"

වචනයක්වත් කියා ගත නුහුනු කැට්ලින් හිස වැනුවා ය‍. ඇඳ අසල වූ කුඩා මේසය මත පණිවුඩය තැබූ මේස්ටර් ඇයට හිස නමා නැවත පිටව යාමට සැරසුනේ ය. පණිවුඩය මුද්‍රා තබා තිබුනේ නිල් පැහැ ඉටි වලින් බව කැට්ලින් දුටුවා ය.

"නවතින්ට." මේස්ටර්ට කී නෙඩ් කැට්ලින් දෙස බැලී ය. "මොකක්ද ඒක? මගේ ආර්යාවෙනි, ඔයා වෙවුලනවා."

"මට බයයි!" කැට්ලින් කීවා ය. මේසය දෙසට නැඹුරු වූ ඈ වෙවුලන ඇඟිලි තුඩින් පණිවුඩය ගත්තා ය. නිල් පැහැ ඉටි මත මුද්‍රා තබා තිබුනු ඒරින් වංශයේ සලකුණ වන අඩ සඳ හා උකුස්සා දුටු ඈ සිය සැමියා දෙස බැල්මක් හෙලුවා ය. "ඒක ලයිසාගෙන්. මේක අපට සතුටුවෙන්ට පුළුවන් දෙයක් නෙවෙයි. මේ පණිවුඩයෙ බොහොම කණගාටුදායක දෙයක් හැංගිලා තියෙනවා නෙඩ්. මට ඒක දැනෙනවා."

නෙඩ් ගේ දෙබැම ඇකිළුනි. ඔහු ගේ මුහුණ අඳුරු විය. "ඒක කඩන්ට."

කැට්ලින් මුද්‍රාව කැඩුවා ය. වදන් පේළි අතර ඇගේ දෑස් දිවුවත් මුලදී ඒ කුමක්දැයි ඇයට වටහා ගත නොහැකි විය. ඊළඟ මොහොතේ ඇයට සියල්ල මතක් විය. "ලයිසා කිසිම අවදානමක් අරන් නෑ. අපි දෙන්නා පොඩි ළමයි කාලෙ අපට තිබුනා අපේම රහස් බාසාවක්, අපි දෙන්නට විතරක් තේරෙන බාසාවක්."

"ඔයාට ඒක කියවන්ට පුළුවන්ද?"

"ඔවු."

"ඉතිං එහෙනං අපට කියන්ට ඒ මොකක්ද කියලා."

"සමහරවිට මං මෙතනින් ගියා නං හොඳ වෙයි." මේස්ටර් ලුවින් කීය.

"නෑ. අපට ඔබේ අනුශාසනා ඕන මේ ‍වෙලාවෙ‍." සිය පොරෝණය පසෙකට දැමූ කැට්ලින් ඇඳෙන් බැස්සා ය. සොහොන් ගැබක මෙන් සීතල සුළං සිය නිරුවත් සම මත දැවටෙනු ඇයට දැනුනි.

මේස්ටර් ලුවින් සිය දෑස් ඉවතට හරවා ගත්තේය. නෙඩ්ගෙන් පෙනුනේ ද තිගැස්සුනු බවකි. "ඔයා මොකක්ද ඔය කරන්නෙ?" නෙඩ් ඇසී ය.

"ගිනි මැලයක් ගහන්ටයි යන්නෙ." රාත්‍රී නිදන ඇඳුමක් සොයාගෙන එය තුළට රිංගාගත් ඇය උඳුන අසල බිම දණ නමා ගත්තා ය.

"මේස්ටර් ලුවින්-" නෙඩ් පටන් ගත්තේ ය.

"මේස්ටර් ලුවින් තමා මගේ හැම දරු ප්‍රසූතියක්ම කලේ. මේක බොරු ලැජ්ජාවට වෙලාවක් නෙමේ." කැට්ලින් කීවා ය. කුඩා දර පතුරු අතරේ පණිවුඩය ලියූ කඩදාසිය  ඇතිරූ ඈ ඊට උඩින් ලොකු දර කොට කිහිපයක් තැබීය. කාමරය හරහා ගිය නෙඩ් ඇගේ අතින් අල්ලා ඇද ඇයව දෙපයින් සිටවී ය. ඇගේ බාහුවලින් අල්ලා ගත් ඔහු ඇගේ මුහුණට අඟල් කිහිපයක් ලං වන තෙක් එබුනේ ය. "මගේ ආර්යාවෙනි. මට කියන්ට. මොකක්ද මේ පණිවුඩය?"

"අනතුරු ඇඟවීමක්." ඇය සෙමින් තෙපලා ය. "අපට ඒක අහන්ට තරම් ධෛර්යයක් තියෙනවානං."

ඔහු ගේ දෑස් ඇගේ මුහුණ පුරා දිවගියේ ය. "කියන්ට."

"ලයිසා කියනවා ජොන් ඒරින්ගෙ මරණය මිනීමැරුමක් කියලා."

ඇගේ බාහු වටා වූ ඔහු ගේ අතැඟිලි තද විනි‍. "කවුද මිනීමරුවා?"

"ලැනිස්ටර් ලා. රැජිණ."


Eddard Stark: “My father went south once, to answer the summons of a king. He never came home again.”

Friday 18 July 2014

ජොන් - 01-2


"රැජිණත් තරහින් ඉන්නෙ." ජොන් සිය බාප්පාට කෙඳිරුවේ ය. "තාත්තා අද දවල් රජතුමා එක්කරන් ගියා පහළ සොහොන් ගෙවල් බලන්ට. රැජිණ ඒකට එච්චර කැමැති වුනේ නෑ."

බෙන්ජින් ජොන් ‍දෙස පරීක්ෂාකාරී මැන බලන අන්දමේ බැල්මක් හෙලී ය. "උඹට කිසිම දෙයක් ‍ලේසියෙන් මග ඇරෙන්නෙ නෑ නේද ජොන්? උඹ වගේ එකෙක් අපට ප්‍රාකාරෙදි ‍ගොඩක් ප්‍රයෝජනවත් වෙයි."

ජොන් ආඩම්බරයෙන් පිරී ගි‍යේ ය. "‍රොබ් ලන්සෙන් සටන් කරද්දි මට වඩා ‍ගොඩක් ඉස්සරහින් ඉන්නෙ. ඒ වුනා‍ට මං තමා කඩු හරඹෙට දක්ශයා. අනික හලන් කියනවා මං බලකොටුවෙ අනිත් ඕන කෙනෙක් තරම්ම හොඳින් අශ්වයා පිටේ යනවා කියලා."

"සැලකිය යුතු මට්ටමේ දෙයක්."

"ඔයා ආයෙමත් ප්‍රාකාරෙට යනකොට මාවත් එක්කරන් යන්ට. ඔයා ඇහුවොත් තාත්තා බෑ කියන එකක් නෑ. මං දන්නවා."

බෙන්ජින් ඔහු ගේ මුහුණ දෙස පරීක්ෂාවෙන් බැලී ය. "ප්‍රාකාරෙ කියන්නෙ කොල්ලෙකුට හරිම අමාරු තැනක් ජොන්."

"මං දැන් ගොඩක් දුරට වැඩුන මිනිහෙක්." ජොන් විරෝධය පෑවේ ය. "ඊළඟ උපන්දිනේට මට පහළොව ලබනවා. මේස්ටර් ලුවින් කියන්නෙ අවජාතකයො අනිත් සාමාන්‍ය ළමයින්ට වඩා ඉක්මනින් වැඩෙනවා කියලයි."

"ඒක ඇත්ත." මේසය මත තිබුනු ජොන් ගේ කුසලාණ අතට ගෙන නැවත වයින් පුරවා ගත් බෙන්ජින් ලොකු උගුරක් බී‍වේ ය.

"ඩෝර්න් යටත් කරද්දි ඩේරන් ටාර්ගේරියන්ට අවුරුදු දාහතරයි‍." ජොන් කීය. මේ තරුණ මකරා ජොන් ගේ ලෝකයේ එක් වීරයකු විය.

"මුළු ගිම්හානයක් පුරාවටම සිද්ධ වෙච්ච යුද්ධයක්. ඩෝර්න් අල්ලන්ට එයා මිනිස්සු දහදාහක් බිල්ලට දුන්නා. ඒක රැකගන්ට එයාට තව පනස්දාහක් බිලිදෙන්ට වුනා. කවුරු හරි එයාට කියන්ට තිබුනා යුද්ධය කියන්නෙ සෙල්ලමක් නෙවෙයි කියලා." ඔහු තවත් වයින් උගුරක් බී‍වේ ය. "අනිත් එක, ඩේරන් ටාර්ගේරියන් මැරෙද්දි එයාට යාන්තං දහඅටක් වුනා විතරයි. උඹට ඒ කෑල්ල අමතක වුනාද?"

"මට ‍මොකුත් අමතක වෙලා නෑ." ජොන් කීය. පානය කරන්නට යෙදුනු වයින් විසින් ඔහුව එඩිතර කර ඇත. ඔහු කොන්ද කෙලින් කර හිඳගත්තේ වඩාත් උස් බවක් පෙන්වීමට ය. "මට නිශා රැකුම් බලකායෙ සේවය කරන්ට ඕන බාප්පෙ."

රාත්‍රියේ සිය සොයුරන් ඔහු අවට නිදා සිටිද්දී නිදි ඇඳේ සිටි ජොන් බොහෝ වාරයක් මේ ගැන තදින් සිතා බලා තිබින‍. මතු යම් දිනෙක රොබ් වින්ටර්ෆෙල්හි හිමිකරුවා වනු ඇත. උතුරේ අධිපතියා වශයෙන් ඔහු සුවිසල් හමුදාවන්ට අණ දෙනු ඇත. බ්‍රැන් හා රිකන් රොබ් ගේ ධජ ඔසවාගෙන යනු ඇති අතර ඔහු ගේ නමින් බලකොටු පාලනය කරනු ඇත. ඔහු ගේ සොයුරියන්, ආර්යා හා සන්සා, වෙනත් උසස් වංශවත් පවුල්වල උරුමක්කරුවන් හා විවාහ වී දකුණේ පිහිටි එම බල‍කොටුවල ස්වාමි දූන් මෙන් යනු ඇත. නමුදු ඔහු වැනි අවජාතකයෙකුට කවර නම් ස්ථානයක් හිමි වනු ඇත්ද?

"උඹ ඔය අහන්නෙ මොකක් ගැනද කියලා උඹට තවම හරියට තේරුමක් නෑ ජොන්. නිශා රැකුම කියන්නෙ දිවුරුම් දුන්න සහෝදරත්වයක්. අපට පවුල් නෑ. අපේ කිසිම කෙනෙකුට කවදාවත් ළමයෙකුට තාත්තා කෙනෙක් වෙන්ට බෑ. රාජකාරිය කියන්නෙ අපේ ගෑනි. ගෞරවය කියන්නෙ අපේ හොර ගෑනි."

"අවජාතකයෙකුට වුනත් ගෞරවයක් ලබන්ට පුළුවන්. මං සූදාණම් නිශා රැකුම වෙනුවෙන් දිවුරන්ට."

"උඹ අවුරුදු දාහතරක කොල්ලෙක්. උඹ මිනිහෙක් නෙවෙයි. තාම මිනිහෙක් නෙ‍වෙයි. උඹ ගෑනියෙක් එක්ක එකතු වෙනකං උඹට තේරෙන්නෙ නෑ උඹ ඔය මොකක්ද නැති කරගන්ට යන්නෙ කියලා."

"මං ඒ ගැන වදවෙන්නෙ නෑ."

"උඹ වදවෙයි, උඹ දන්නවනං මොකක්ද ඒකෙ තේරුම කියලා." බෙන්ජින් කීය. "ඒ දිවුරුම නිසා උඹට මොනා මොනා නැති වෙනවද කියලා උඹ දන්නවනං උඹ ඒකට ඔච්චර උනන්දු වෙන්නෙ නෑ පුතා."

සිය සිරුර තුළ කේන්තිය නැග එනු ජොන්ට දැනුනි. "මං උඹේ පුතා නෙවෙයි."

බෙන්ජින් ස්ටාර්ක් නැගිට්ටේ ය. "ඒක බොහොම කණගාටුවට කාරණයක්." ඔහු ජොන් ගේ උරහිස මත අතක් තැබී ය. "උඹේම අවජාතක‍යො කීප දෙනෙකුට තාත්තා වුනාට පස්සෙ ආයෙමත් ඇවිත් මාව හම්බ වෙයං. එතකොට අපි බලමු උඹට කොහොමද හිතෙන්නෙ කියලා."

ජොන් වෙවුලා ගියේ ය. "මං කවදාවත් අවජාතකයෙකුට තාත්තා වෙන්නෙ නෑ. කවදාවත් නෑ." ඔහු ගේ වදන් විෂ මෙන් පිටතට විද්දේ ය.

හදිසියේම ජොන්ට පෙනී ගියේ මුළු මේසයම සිය කතා නවත්වා ඔහු දෙස බලා සිටින බවයි. සිය දෑස් අගින් කඳුළු උනනු ඔහුට දැනුනු අතර ඔහු නැගී සිටියේ ය.

"මට සමාවෙන්ට." සිය අවසාන ගරුත්වය කැටි කර ගනිමින් ජොන් කීය. සැනෙන් ආපසු හැරුනු ඔහු ඉදිරියට යාමට පියවර එසෙවුවේ ඔවුන් ඔහු ගේ කඳුළු දකිනු ඇතැයි යන බියෙනි. සිතුවාට වඩා වැඩිපුර ඔහු වයින් බී ඇති සේ ය. දෙපා පැටලුනු ඔහු පැත්තකට ඇලවී ගොස් සේවිකාවක ගේ සිරුරේ හැපීම නිසා ඈ අත තිබුනු වයින් ගුරුලේත්තුවක් විසි වී ගොස් බිම වැටී බිඳුනි. ඔහු වටකර දසතින්ම සිනා හඬ ඇසෙන්නට වූ අතර සිය කම්මුල් දිගේ කඳුළු වැල් ගලා යනු ජොන්ට දැනින. කවුරුන් හෝ කෙනෙකු ඔහුව කෙලින් කිරීමට උත්සාහ කල අතර ඔහු ගේ ග්‍රහනයෙන් මිදුනු ජොන් අඩක් නොපෙනෙන දෑසින් යුතුව දොර දෙසට දිව ගියේ ය. ගෝස්ට් ද ඔහු පසුපසින් පිටත රාත්‍රී අන්ධකාරය වෙතට දිව ගියේ ය.

පිටත අංගනය හිස් සහ නිශ්ශබ්ද වූ අතර ඇතුළත ප්‍රාකාරය මුදුනේ තනි මුර ‍සෙබළෙක් පමණක් මුරකාවලෙහි යෙදී සිටි‍යේ ය. ඒ හැරෙන්නට බලකොටුව අඳුරු හා පාළු එකක් මෙන් පෙනින. ජොන් වරක් අත හැර දැමුනු බලකොටුවක් දැක තිබුනු අතර ඔහුට අද රාත්‍රියේ වින්ටර්ෆෙල් දුටු විට සිහි වූයේ එම බලකොටුව ය.

ඔහුට පිටුපසින් තිබුනු ජනේල‍යෙන් සංගීතය හා අනෙකුත් ශබ්ද පිටතට ගලා ආවේ ය. ජොන්ට අසන්නට අවශ්‍ය වූ අවසානම දෙය එය වූ අතර සිය කමිස අතින් දෑසේ කඳුළු පිස දැමූ ඔහු ආපසු යන්නට හැරුනි.

"කොල්ලා." කවුදෝ ඔහු ඇමතී ය. ජොන් හඬ ආ දෙසට හැරුනි.

ප්‍රධාන ශාලාවට ඇතුළුවන දොරටුවට ඉහළින් වූ ගැටිය මත ටිරියන් ලැනිස්ටර් වාඩි වී සිටියේ ය. කුරුමිට්ටා ඔහු දෙස බලා සිනාසුනි. "ඔය සතා වෘකයෙක්ද?"

"ඝෝරවෘකයෙක්. උගේ නම ගෝස්ට්." ඔහු කුඩා මිනිසා දෙස බලාගත්වනම සිටියේ ය. "ඔබ මොකද ඔතනට වෙලා කරන්නෙ? ඇයි ඔබ භෝජන සංග්‍රහයට සහභාගි වෙන්නෙ නැත්තෙ?"

"ඇතු‍ළෙ හරි රස්නෙයි. සද්දෙත් වැඩියි. අනෙක මං ඕනවටත් වඩා වැඩිපුර වයින් බිවුවා. බොහොම කාලෙකට ඉස්සර මං ඉගෙනගත්ත දෙයක් තමා තමන්ගෙ සහෝදරයගෙ ඇඟට වමනෙ දාන එක හරිම අශෝබන දෙයක් කියලා. මට උඹේ වෘකයව ළඟට කිට්ටුවෙලා බලන්ට පුළුවන්ද?"

ජොන් තැතනුවේ ය. ඊට පසු හෙමිහිට හිස සැලීය. "ඔබට බිමට බහින්ට පුළුවන්ද? නැත්තං මං ඉණිමගක් අරන් එන්ටද?"

"අනේ පලයං බං යන්ට." කුඩා මිනිසා කීවේ ය. ඊළඟ මොහොතේ ඔහු හිඳ සිටි ගැටියෙන් පිටතට පැන්නේ ය. තිගැස්සුනු ජොන් මවිතයෙන් බලා සිටියේ බෝලයක් මෙන් වක ගැසී ගුවනට පිනූ ටිරියන් ලැනිස්ටර් සැහැල්ලු අන්දමින් සිය දෑත් මතින් පොළවට පතිත වී ඒ සැනින් දෙපයින් සිටගන්නා අන්දමය.

ගෝස්ට් නොසන්සුන් අයුරින් ඔහුගෙන් ඈත් වුනි.

සිය ඇඳුම්වල දූවිලි ගසා දැමූ කුරුමිට්ටා සිනාසුනි. "මං හිතන්නෙ මං උඹේ වෘකයා බය කලයි කියලා. මට සමාවෙන්ට."

"ඌ බය වෙලා නෑ." ජොන් පිළිතුරු දුන්නේ ය. බිම දණගැසූ ඔහු වෘකයා ඇමතී ය. "ගෝස්ට්. මෙහෙ වරෙන් හොඳ එකා වගේ. ආන්න එහෙම."

වෘක පැටවා හෙමිහිට විත් සිය හොම්බ ජොන් ගේ මුහුණේ ඇතිල්ලුවේ ය. එහෙත් ඌ ටිරියන් ලැනිස්ටර් දෙස පරීක්ෂාකාරී ඇසක් යොමාගෙන සිටියේ ය. කුරුමිට්ටා ඌ සුරතල් කිරීමට අත දිගු කල විට සැනෙන් පසුපසට ගිය ඌ නිහඬවම දත් විලිස්සී ය. "ඌ කුලෑටියි නේද?" ලැනිස්ටර් කීය.

"ඉඳගනිං ගෝස්ට්." ජොන් අණ ක‍ලේ ය. "ආන්න හරි. හොඳ එකා. දැන් ඔහොම හෙල්ලෙන්නෙ නැතුව ඉඳපං." ඔහු කුරුමිට්ටා දෙස බැලුවේ ය. "ඔබට දැන් ඌව අල්ලන්ට පුළුවන්. ඌ මං කියනකං හෙල්ලෙන්නෙ නෑ. මං ඌ පුහුණු කරනවා."

"මට පේනවා." ලැනිස්ටර් කීය. ඔහු වෘක පැටවා ගේ හිස පිරිමැද්දේ ය. "හොඳ වෘකයා."

"මං මෙතන හිටියෙ නැත්තං ඌ ඔබේ බෙල්ල ඉරලා දාවි‍‍." ජොන් කීවේ ය‍. එය තවමත් සිදු විය නොහැකි දෙයක් වුවද පැටවා වැඩුන පසු අනිවාර්යයෙන්ම සිදු විය හැකි දෙයකි.

"එහෙමනං උඹ මගෙ කිට්ටුවෙන් ඉන්න එක කෝකටත් හොඳයි." කුරුමිට්ටා කීය. හිස පසෙකට ඇල කල ඔහු සිය අසමාන දෑසින් ජොන් දෙස බැලී ය. "මං ටිරියන් ලැනිස්ටර්."

"මං දන්නවා." ජොන් නැගිට්ටේ ය. ඔහු කුරුමිට්ටාට වඩා උස් වූ අතර එය ඔහු ගේ සිතේ අමුතුම හැඟීමක් ඇති කලේ ය.

"උඹ නෙඩ් ස්ටාර්ක්ගෙ අවජාතකයා නේද?"

සිය සිරුර පුරා සීතලක් දිව යනු ජොන්ට දැනුනි. සිය දෙතොල් තද කරගත් ඔහු කිසිවක් නොකීවේ ය.

"මං උඹේ හිත රිද්දුවද? සමාවෙන්ට, කුරුමිට්ටො එච්චර නුවණෑති එවුන් නෙවෙයි. පරම්පරා ගානක බම්මන්නො කරපු දේවල් නිසා මට කිසිම බයක් නැතුව ඕන කබල් ඇඳුමක් අඳින්ට පුළුවන්. කටට එන දෙයක් කියන්ට පුළුවන්." ඔහු නියෙවුවේ ය. "කොහොමවුනත් උඹ තමා අවජාතකයා නේද?"

"එඩ්ඩාර්ඩ් ස්ටාර්ක් උතුමාණන් කියන්නෙ මගෙ තාත්තා තමා." ජොන් පිළිගත්තේ ය.

ලැනිස්ටර් ඔහු ගේ මුහුණ අධ්‍යයනය කරන්නට විය. "ඔවු. මට ඒක පේනවා. උඹේ ස‍හෝදරයන්ට වඩා උඹේ මූනෙ උතුරුකරේ පෙනුම තියෙනවා."

"මගේ අර්ධ සහෝදරයො." ජොන් ඔහුව නිවැරැදි කලේ ය. කුරුමිට්ටා කී දේ නිසා ඔහු ගේ සිතේ සතුටක් ඇතිවුවද ඒ බැව් නොපෙන්වීමට ඔහු තැත් කලේ ය.

"මං උඹට පොඩි අවවාදයක් දෙන්නං අවජාතකයො. උඹ කවුද කියන එක කවදාවත් අමතක කරන්ට එපා. මොකද අනිවාර්යයෙන්ම ලෝකයා ඒක අමතක කරන්නෙ නෑ. ඒක උඹේ ශක්තිය කරගනිං. එතකොට ඒක කවදාවත් උ‍‍ඹේ දුර්වල කම වෙන්නෙ නෑ. ඒකෙන් සන්නද්ධ වෙයං. එතකොට උඹට රිද්දන්ට ඒක පාවිච්චි කරන්ට පුළුවන් වෙන්නෙ නෑ."

‍ජොන් සිටියේ කිසිවෙකු ගේ අවවාදයක් පිළිගත හැකි මට්ට‍මේ මනෝභාවයක නොවේ. "ඔබ මොනාද දන්නෙ අවජාතකයෙක් වෙන එක ගැන?"

"හැම කුරුමිට්ටෙක්ම එයාගෙ තාත්තගෙ ඇස් දෙකට පේන්නෙ අවජාතකයෙක් වගේ."

"ඔබ ඔ‍බේ අම්මාගෙ බඩෙන් නියම ආකාරයට ඉපදුන ලැනිස්ටර් කෙනෙක්."

"එහෙමද?" ටිරියන් පිළිතුරු දුන්නේ කර්කශ උපහාසයෙනි. "අනේ කරුනාකරලා ඒක ගිහිං කියපංකො මගෙ වංශාධිපති තාත්තට. මං ඉපදුනු ගමන් ම‍ගේ අම්මා මැරුනා. තාත්තා කවදාවත් ඒ කාරනේ ගැන විශ්වාසයක් තිබ්බෙ නෑ."

"මං දන්නෙ නෑ කවුද මගෙ අම්මා කියලවත්." ජොන් කීවේ ය.

"කවුරුහරි ගෑනියෙක්. කිසිම සැකයක් නෑ." ඔහු ජොන්ට දුක්ඛිත සිනහවකින් සංග්‍රහ කලේ ය. "මේක මතක තියාගනිං කොල්ලො. හැම කුරුමිට්ටෙක්ම අවජාතකයෙක් වෙන්ට පුළුවන්, ඒත් හැම අවජාතකයෙක්ම කුරුමිට්ටෙක් වෙන්ට ඕන නෑ." ඊළඟ මොහොතේ ආපසු හැරුනු ඔහු උරුවම් බාමින් අලස ලෙස ශාලාව දෙසට ඇවිද යන්නට විය. ඔහු ශාලාවේ දොර ඇරිය විටදී ඇතුළත ආලෝකය විසින් පිටත සෙණ්ඩුවාලුව පුරා ඔහු ගේ ඡායාව ඇඳ දැක්වී ය. එකම එක මොහොතකට ටිරියන් ලැනිස්ටර් රජෙකු තරම්ම උසට නැගී සිටියේ ය.


Tyrion Lannister: "All dwarfs may be bastards, yet not all bastards need be dwarfs."

Wednesday 16 July 2014

ජොන් - 01-1


සිය අවජාතක භාවය පිළිබඳ ජොන් සතුටු වූ අවස්ථාවන් වේ නම් ඒ අතේ ඇඟිලි වලින් ගණනය කල හැකි තරම් ස්වල්පයකි. වයින් ගුරුලේත්තුවකින් තවත් වයින් වඩියක් සිය කුසලාණට වත් කරගන්නා අතරේ ඔහු කල්පනා කලේ මෙයත් නිසැකයෙන්ම එවැනි අවස්ථාවක් බවයි. නයිට්වරුන් ගේ තරුණ සහචරයන් අතරට වී බංකුවක වාඩි ගෙන පානය කරමින් සිටි වයින් බඳුන ඔහු ගේ දිවට සුමිහිරි රසයකුත් මුවට සිනාවකුත් ගෙන ආවේ ය.

වින්ටර්ෆෙල්හි ප්‍රධාන ශාලාව ගිනිමැලවල දුමින් පිරී පැවති අතර වාතය පිළිස්සෙන මස් සුවඳින් හා උණු පාන් සුවඳින් බර වී තිබින. එහි අඳුරු ගල් බිත්ති සුදු පැහැ, රන් පැහැ, රතු පැහැ ධජවලින් සහ ස්ටාර්ක් ඝෝරවෘකයා, බරතියන් ගෝනා හා ලැනිස්ටර් සිංහයා ගෙත්තම් කල පතාක වලින් වැසී තිබින‍. ගායකයකු සිය වීණාව වාදනය කරමින් සැහැල්ලක් ගායනා කලද බුර බුරා නැගෙන ගිනිදළුවල හඬත්, පිඟන් කෝප්ප එකිනෙක ගැටෙන හඬත්, බීමතින් කෙ‍රුනු සංවාද සිය ගණනක මුනුමුනුවත් අත‍රේ ශාලාවේ මෙහා කොණට ඒ ගායනය ඇසුනේ යන්තමිනි.

මේ ගෙවී යමින් තිබුනේ රජතුමා පිළිගනිමින් පැවැත්වෙන භෝජන සංග්‍රහයේ සිවු වන පැය යි. රජතුමා හා බිසව සහ ස්ටාර්ක් උතුමානන් හා එම ආර්යාව වෙනුවෙන් තැනුනු උස් වේදිකාව ශාලාවේ එක් කොණක විය. ඒ පසෙකින් ජොන් ගේ සොයුරු සොයුරියෝ රාජකීය දරුවන් සමග මේසයට වාඩි වී සිටියහ. උත්සව අවස්ථාවට සුදුසු අන්දමින් ඔහු ගේ පියා විසින් තම දරුවන්ට වයින් වීදුරුවක් පානය කිරීමට අවකාශ දී තිබුනද එයින් එහාට ඔවුන්ට යාමට බැරි බව ජොන් දැන සිටියේ ය. එනමුදු මේ බංකු අතරේ සිය පිපාසය නිවෙන තෙක් වයින් බිවුවද ඔහුව එයින් වලකන්නට කිසිවෙකුත් පැමිණියේ නැත.

ඔහු මුසු වී සිටියේ නියමම සමාගමකටය. ඔවුන් ගේ දිරිගැන්වීම් මධ්‍යයේ වයින් කුසලාණකට පසු තවෙකක් වශයෙන් හිස් කරමින් ඔහු ඔවුන් ගේ කතාවලට - යුද්ධ ගැන, ගැහැණුන් ගැන, දඩයම් ගැන කෙරුනු කතාවලට - ආසාවෙන් සවන් දෙමින් සිටියේ ය. සිය සගයින් රජතුමා ගේ දරුවන්ට වඩා හොඳ විනෝදකාමීන් බව ඔහුට නිසැක විය. අමුත්තන් ශාලාවට ප්‍රවිශ්ට වූයේ ඔහු සිටි බංකුවට අඩි කිහිපයක දුරකින් නිසා ඔවුන් සියල්ලම හොඳින් දැක බලා ගැනීමේ වරම ඔහුට හිමි වුනි.

රැජිණ පිරිවරා ඔහු ගේ පියා මුලින්ම පැමිණියේ ය. මිනිසුන් කියන්නාක් පරිදිම ඇය අතිශයින් සුන්දර විය. ඇගේ දිගු කෙහෙරැළි අතර කුඩා මිණිකිරුළක් බැබලුනි. එහි සවි කර තිබුනු මරකත මැණික් වල කොළ පැහැය ඇගේ දෑසේ පැහැයට හරියටම ගැලපුනි. ඈ කිසිවිටෙකත් ඔහු ගේ පියා දෙස නොබැලූ අතර වසර දහහතරක කොලුවකු වූ නමුදු ඇගේ සිනා මුහුණට යටින් ඇති සැබෑ මුහුණ හඳුනා ගැනීමට ඔහුට අපහසු නොවී ය.

ඉන්පසු පැමිණියේ ස්ටාර්ක් ආර්යාව සමග අතිනත ගත් රොබර්ට් රජතුමා ය. රජතුමා ගේ දර්ශනය ජොන් ගේ බලාපොරොත්තු බිඳ දමන්නක් විය. ඔහු ගේ පියා රජතුමා ගැන නිතරම කතා කියා දී තිබින. අද්විතීය රොබර්ට් බරතියන්, ත්‍රිශූලයේ යක්ෂයා, රාජධානියේ සිටින බිහිසුණුම රණශූරයා, කුමරුන් අතර යෝධයා. නමුත් ජොන් දුටුවේ රතු වූ මුහුණින් යුතු දහඩියෙන් පෙඟී ගිය මහත මිනිසකු පමණි. ඔහු ඇවිද්දේ ද බාගෙට බීගත් මිනිසෙකු පරිද්දෙනි.

ඔවුන් පසුපසින් දරුවෝ පැමිණියහ. මුලින්ම පැමිණියේ වසර තුනක දරුවකුට හැකි උපරිම විලසින් උදාරම් අඩි තබමින් පිය නැගූ පුංචි රිකන් ය. ඒ පසුපසින්ම වාගේ ස්ටාර්ක් වර්ණ වන අළු පැහැ හා සුදු පැහැ ලොමින් සැරසුණු රොබ් සහ ඔහු ගේ අතේ එල්ලුනු අට වියැති මර්සෙලා කුමරිය පැමිණියහ. ඔහු ‍ගේ අර්ධ සොයුරියෝ රාජකීය කුමරුවන් පිරිවරා - ආර්යා තරබාරු ටමෙන් කුමරු සමගත් ඇයට වඩා දෑවුරුද්දක් වැඩිමල් සන්සා කිරුළ හිමි ජොෆ්රි බරතියන් සමගත් - පිය නැගූහ. දොළොස් හැවිරිදි වූ ජොෆ්රි ජොන් හා රොබ් දෙදෙනාටම වඩා වයසින් බාල වුවද ඔවුන් දෙදෙනාටම වඩා උසින් වැඩි වූ අතර මෙය ජොන් ගේ සිතේ විශාල කැළඹීමක් ඇති කලේ ය. ඔහු ට රන් පැහැ කෙස් හා සිය මවට මෙන්ම කොළ පැහැ දෑසක් හිමිව තිබින. ඔහු ගේ පසෙකින් පිය නැගූ සන්සා කාන්තිමත්ව බබලන්නට වූ නමුදු ජොෆ් ගේ අමනාපයෙන් මෙන් උල් කරගත් දෙතොලත් වින්ටර්ෆෙල්හි ප්‍රධාන ශාලාව දෙස ඔහු හෙලූ අවඥාසහගත බැල්මත් ජොන් ගේ සිත් ගත්තේ නැත.

මේ හැමටම වඩා ඔහු උනන්දුවෙන් බැලුවේ ඔවුන්ට පසුපසින් පිය නැගූ දෙදෙනා දෙසය. රැජිණ ගේ සොයුරන් දෙදෙනා, කාර්ස්ටලී ‍රොක්හි ලැනිස්ටර්වරුන් දෙදෙනා, සිංහයා සහ පුංචි යකා. ඔවුන් දෙදෙනා වෙන් කර හඳුනා ගැනීමට කිසිදු අපහසුවක් නොවී ය. සෙර් ජේමි ලැනිස්ටර් සෙර්සි රැජිණ ගේ නිවුන් සොයුරා වූ අතර ඔහු උස, රන් පැහැ හිසකෙස්, දිදුලන කොළ පැහැ දෑස් හා තියුණු සිනාවක් ඇත්තෙකු විය. ලේ රතු පැහැ ‍සේද ඇඳුමින් සැරසී කළු පැහැ උස් සපත්තු යුගලක් හා කළු පට රෙද්දෙන් කල සළුවක් පැළඳ සිටි ඔහු ගේ කබායේ පපුව මත රන් පැහැ නූලින් සිය වංශයේ සලකුණ වූ ගොරවන සිංහයා ගෙත්තම් කොට තිබින. මිනිස්සු ඔහු ගේ මුහුණට 'ලැනිස්ටර් සිංහයා' යැයි කියූ අතර ඔහුට පසුපසින් 'රාජඝාතකයා' යැයි කෙඳිරූහ.

ඔහු ගේ දර්ශනයෙන් දෑස් ඉවතට ගැනීම ජොන්ට අසීරු විය. රජෙකු සිටිය යුත්තේ ‍මෙන්න මෙපරිද්දෙන් යැයි ඔහුට සිතින.

සිය සොයුරා පසෙකින් බාගෙට සැඟවී බකල ගසමින් යන අනිකා ජොන් මීලඟට දිටී ය. ටිරියන් ලැනිස්ටර්, ටයිවින් උතුමානන් ගේ දරුවන් අතරින් බාලම හා අවලස්සනම කෙනා. දෙවියන් විසින් සෙර්සිට හා ජේමිට ලබා දුන් හැම දෙයක්ම ටිරියන්ගෙන් වසන් කර තිබින. ඔහු සිය සොයුරාගෙන් අඩක් පමණ උස ඇති අඟුටුමිට්ටකු විය. ඔහු ගේ හිස සිරුරට සාපේක්ෂව විශාල වූ අතර මෘගයකු ගේ වැනි මුහුණක් ද, සුදු පැහැයට හුරු කෙස් රොදට යටින් එබිකම් කල එකක් කොළ පැහැ හා අනෙක කළු පැහැ වූ අසමාන දෑසක් ද ඔහුට හිමිව තිබින. ජොන් ඔහු දෙස බලා සිටියේ වශී වූවාක් මෙනි.

අවසානයටම පැමිණි වංශාධිපතියන් දෙදෙනා වූයේ ඔහු ගේ බාප්පා, නිශා රැකුමේ බෙන්ජින් ස්ටාර්ක් සහ සිය පියා ගේ භාරකාරත්වය යටතේ වැඩෙන තියන් ග්‍රේජෝයි වූහ. ජොන්ව පසුකරද්දී බෙන්ජින් ඔහුට උණුසුම් සිනාවකින් සංග්‍රහ කල අතර පුරුදු පරිදි තියන් ඔහුව නොදැක්කා සේ සිටියේ ය. මේ සියල්ලන්ම වාඩි ගත් පසු, කෙලවරක් නැති සවුදිය පිරීම් හා ස්තූති කතා වලින් පසු සාදය ආරම්භ විය.

ජොන් සිය මධු පානය ඇරඹූයේ ඒ අවස්ථා‍වේ දී වූ අතර ඔහු තවමත් නවත්වා නොමැත.

‍මේසයට යටින් යමක් ඔහු ගේ පාදයේ දැවටුනි. පහත බැලූ ජොන් දුටුවේ ඔහු දෙස බලා සිටින රතු පැහැ දෑසකි. "උඹට ආයෙමත් බඩගිනි වෙලාද?" ඔහු ඇසීය. මේසය මත තිබුනු බදින ලද කුකුළා සිය පිහියා තුඩින් ගත් ජොන් එය දෙපා අතරින් බිම හෙලූ අතර ගෝස්ට් නිහඬවම තම සංග්‍රහය භුක්ති විඳින්නට විය. ඔහු ගේ සොයුරු සොයුරියන්ට සිය වෘකයන්ව සාදයට කැඳවාගෙන ඒමට අවසර ලැබී නොතිබින. එනමුදු ශාලාවේ මෙම අන්තයේ මේස අතර ඕනෑ තරම් පර බල්ලන් ‍සැරිසැරූ අතර ජොන් ගේ වෘක පැටවා ගැන කිසිවෙකුත් කිසිවක් නොකී ය. ඒ අතිනුත් තමා වාසනාවන්ත බව ඔහු තමාටම කියා ගති.

දුම නිසා ඔහු ගේ දෑස් දැවෙන්නට වූ අතර අල්ලෙන් දෑස් පොඩි කර තවත් වයින් උගුරක් ගිල දැමූ ජොන් දිගටම සිය වෘක පැටවා කුකුළාව ගිල දමන දෙස බලා සිටින්නට විය.

මේස අතර සැරිසරමින් සිටි කහ පැහැ දෑසින් යුතු කළු බැල්ලකට කුකුළා ගේ ඉව දැනින. නැවතුනු ඌ බංකුවට යටින් රිංගුවේ පහසු සංග්‍රහයක් භුක්ති විඳීමේ බලාපොරොත්තුවෙනි. කිසිවක් නොකල ජොන් මේ ඝට්ඨනය දෙස බලා සිටින්නට විය. උගුරට යටින් පහත් ගෙරවුම් හඬක් පිට කල බැල්ල සිය ගොදුරට කිට්ටු කලාය. ඉහළ බැලූ ගෝස්ට් නිහඬවම රත් පැහැ දෑසින් සිය ප්‍රතිමල්ලවයා මැන බැලී ය. ඌට වඩා තුන් ගුණයක් විශාල වූ බැල්ල අභියෝගාත්මක ගෙරවීමක් කලද ගෝස්ට් සෙලවුනේවත් නැත. ඒ වෙනුවට නැගිට සිටි ඌ මුව අයා දත් විලිස්සුවේ ය. තිගැස්සුනු බැල්ල, මේ සටන ගැන නැවත වරක් සිතා බලා දෝ ආපසු හැරී පරාජිත ලීලාවෙන් පසු බසින්නට වූ අතර ගෝස්ට් නැවතත් සිය ආහාරය වෙත අවධානය යොමු කලේ ය. සතුටින් නියවූ ජොන් පහතට නැඹුරු වී වෘක පැටවා ගේ සුදු පැහැ ලොම් පිරිමැද්දේ ය. හිස උස්සා ඔහු ගේ අත ලෙව කෑ පැටවා නැවත කෑම කන්නට විය.

"මේ ඉන්නෙ මට අහන්ට ලැබුන ඝෝරවෘකයෙක්ද?" සුපුරුදු හඬක් ඔහු අසලින් නැගුනි.

ඔහු වෘක පැටවා ගේ හිස අත ගෑ පරිද්දෙන්ම බෙන්ජින් ඔහු ගේ හිස අතගාද්දී ජොන් සතුටින් හිස ඔසවා බැලී ය. "ඔවු. උගේ නම ගෝස්ට්."

කකුල් දෙපසට දමා බංකුව මත වාඩි වුනු බෙන්ජින් ස්ටාර්ක් ජොන් ගේ අතේ තිබුනු වයින් කුසලාණ උදුරා ගත්තේ ය. "සමර්වයින්." උගුරක් තොල ගෑ ඔහු තෙපලී ය. "මේකට ගහන්ට දෙයක් නෑ. උඹ කෝප්ප කීයක් බිවුවද ජොන්?"

කිසිවක් නොකී ‍ජොන් සිනාසුනි.

බෙන් ස්ටාර්ක් ද සිනහවක් පෑවේ ය. "හා! මං හිතුවා හරි එහෙනං. කොහොමවුනත් මට මතක හැටියට මං ඉස්සෙල්ලාම කණ පැලෙන්ට බීවෙ උඹටත් වඩා ලාබාල වයසෙදි." අසල තිබුනු පිඟානකින් බදින ලද ළූණු ගෙඩියක් ගත් ඔහු එය හපන්නට විය.

ඔහු ගේ බාප්පා තියුණු පෙනුමකින් යුත් කෙට්ටු පුද්ගලයකු විය. ඔහු ගේ අළු-නිල් පැහැ දෑසේ නිතරම සිනහවක සේයාවක් දක්නට හැකි විය. නිශා රැකුමේ සෙබළෙකුට ගැලපෙන පරිද්දෙන් ඔහු සම්පූර්ණ කළු පැහැ ඇඳුමින් සැරසී සිටියේ ය. කළු විල්ලූද, උස් හම් සපත්තු හා රිදී ගාංචුවක් සහිත පුළුල් ඉණ පටියක් පැළඳ සිටි ඔහු ගේ කරේ ඝණකම් රිදී දම්වැලක් එල්ලී තිබින. බෙන්ජින් විමතියෙන් මෙන් ගෝස්ට් ‍දෙස බලා සිටින්නට විය. "බොහොම නිශ්ශබ්ද වෘකයෙක්."

"ඌ අනිත් එවුං වගේ නෙවෙයි. ඌ කවදාවත් සද්ද කරන්නෙ නෑ. ඒකයි මං ඌ ‍ගෝස්ට් කියලා නම දැම්මෙ. අනික ඌ සුදු පාට නිසා. අනිත් එවුං සේරම තද පාටයි, කළු නැත්තං අළු."

"ප්‍රාකා‍රෙන් එහා පැත්තෙ තාමත් ඝෝරවෘකයො ඉන්නවා. අපි මුරසංචාර යද්දී ඇහෙනවා උං කෑ ගහන සද්දෙ. උඹ සාමාන්‍යයෙන් උ‍ඹේ සහෝදරයොත් එක්ක මේසෙට වාඩි වෙලා නේද කන්නෙ?"

"ගොඩක් වෙලාවට. ඒ වුනාට අද රෑ ස්ටාර්ක් ආර්යාව හිතුවා අවජාතකයෙක් එයාලත් එක්ක එක මේසෙ වාඩිවෙන එක රජ පවුලට අවනම්බුවක් වෙයි කියලා"."

"මට තේරුනා." ඔහු ගේ බාප්පා උරහිසට උඩින් හිස හරවා ශාලාවේ ඈත ‍කොණේ ඇති උස් වේදිකාව දෙස බැලී ය. "මගේ සහෝදරයා අද රෑ එච්චර උත්සවශ්‍රීයෙන් ඉන්නවා වගේ පේන්නෙ නෑ."

ජොන් මෙයද නිරීක්ෂණය කර තිබින. අවජාතකයෙකු හැම දෙයක්ම නිරීක්ෂණය කරන්නට ඉගෙන ගත යුතුය. මිනිසුන් ගේ දෑස් පිටුපස සැඟවී ඇති සත්‍යය වටහා ගැනීමට ඉගෙන ගත යුතුය. ඔහු ගේ පියා ආගන්තුක සත්කාර සියල්ලක් ගැනම සොයා බැලූ නමුදු ජොන් ඔහු ‍වෙතින් කලාතුරකින් දැක ඇති අන්දමේ දැඩි ගතියක් අද රෑ ඔහු වෙතින් විද්‍යාමාන විය. ඔහු වචන ස්වල්පයක් දෙඩූ අතර කිසිවක් නොදුටු දෑසින් ශාලාවට ඉහළින් බලා සිටින්නට විය.

ආසන දෙකකට එහායින් සිටි රජතුමා මුළු රෑ පුරාවටම නොනවත්වා සුරා පානය කරන්නට විය. ඔහු බොහෝ වාරයක් සවුදිය පිරූ අතර සෑම විහිළුවකටම මහ හඬින් සිනාසෙමින් හා කුසගින්නේ සිටින මිනිසෙකු මෙන් අතට එන සෑම කෑම පිඟානක්ම ගිල දමමින් සිටි නමුත් ඔහු පසෙකින් සිටි රැජිණ සීතල අයිස් ප්‍රථිමාවක් පරිද්දෙන් බලා සිටියා ය.


Jon Snow: “What do you know about being a bastard?”

Monday 14 July 2014

එඩාර්ඩ් - 01-2


මඳ වේලාවකට පසු නෙඩ් නිහඬ බව බිඳී ය. "අපට ආපහු යන්ට වෙලාව හරි මගේ ස්වාමිනී. බිසව ඔබතුමා එනකං බලාගෙන ඇති."

"අනික් එවුං මගේ බිසව අරං ගියාවෙ." නොරිස්සුම් ස්වරයෙන් මෙසේ කීවද ආපසු හැරුනු රොබර්ට් ඔවුන් පැමිණි මග දිගේ පිය මනින්නට විය. "අනිත් එක, උඹ තව එකපාරක් හරි ඔය 'මගේ ස්වාමිනී' කතාව කියනවා මට ඇහුනොත් මං උඹේ බෙල්ල කපලා රිටක හිටවනවා. අපි දෙන්නගෙ ආශ්‍රය ඊට වඩා බොහොම ළඟයි."

"ඒ බව මට අමතක වෙලා නෑ." නෙඩ් සෙමින් පිළිතුරු දුනි. "මට කියන්ට ජොන් ගැන."

රොබර්ට් හිස වැනුවේ ය. "ඔය තරං ඉක්මනින් මිනි‍හෙක් ලෙඩින් වැටෙනවා මං කවදාවත් දැකලා නෑ. මගෙ පුතාගෙ උපන්දිනේ වෙනුවෙන් අපි තරගාවලියක් තිබ්බා.උඹ එදා ජොන්ව දැක්කනං සැකයක් නෑ උඹ කියයි '‍මේ මිනිහා තව අවුරුදු සීයක් ජීවත්වෙනවා' කියලා. සති දෙකකට පස්සෙ මෙන්න මිනිහා මැරුනා‍. අසනීපය හරියට ඇවිලෙන ගින්නක් වගේ මිනිහගෙ ඇඟ ඇතුළෙ පැතිරුනා." ඔහු කුළුණක් අසල මඳක් නැවතින. "මං ඒ නාකියට කොච්චර ආදරේ කලාද."

"අපි දෙන්නම එයාට ආදරේ කලා." ‍නෙඩ් මොහොතකට නිහඬ විය. "කැට්ලින් එයාගෙ සහෝදරී ගැන වද වෙනවා. ලයිසා කොහොමද එච්චර දුකක් දරාගත්තෙ?"

රොබර්ට් ගේ දෙ‍තොල් ඇඹරී ගියේය. "ඇත්තම කියනවනං එච්චර හොඳට නෙවෙයි. මං හිතන්නෙ ජොන් නැතිවුන එකෙන් ගෑනි පිස්සු වැටුනා නෙඩ්. එයා පුතාවත් අරන් ආයෙමත් ඉයරි වලටම ගියා. මගේ අකැමැත්තවත් සලකන්නෙ නැතුව. මං හිතාගෙන හිටියෙ ‍පොඩි එකා කාර්ස්ටලී රොක් වල ටයිවින් ලැනිස්ටර් ගාව හදාගන්ට යවන්ට. ජොන්ට වෙන සහෝදරයොත් නෑ වෙන පුතාලත් නෑ. ඒ පොඩි එකා ගෑනු අස්සෙ හැදෙන්ට අරින්ටද මට කියන්නෙ?"

කුඩා දරුවකු ටයිවින් ලැනිස්ටර් සමීපයේ හැදී වැඩෙන්නට යවනවාට වඩා විසකුරු පොළඟෙකු සමීපයට යැවීම මැනවැයි නෙඩ් දැන සිටි නමුත් තම සිතුවිලි වදනට පෙරලන්නට ඔහු තැත් කලේ නැත. සමහර පරණ තුවාල කිසිදා සුව නොවන අතර පුංචිම පුංචි වචන වැරැදීමකින් පවා ඒවා නැවත ඇවිස්සීමට පුළුවන. "එයාට සැමියා නැතිවුනා. එයා බයවෙන්ට ඇති ළමයත් නැති වෙයි කියලා. ඒ ළමයා තාම බොහොම පුංචියිනෙ."

"අවුරුදු හයයි. අනික ලෙඩ ගානෙ. ඉයරි වල වංශාධිපතියා‍. දෙයියොම බලාගන්ට ඕන." රජතුමා කීවේ ය. "ටයිවින් මීට කලින් කිසිමදාක ළමයෙක් හදාගන්ට බාර අරන් නෑ. ලයිසාට ඒක ඇත්තටම ගෞරවයක්. ලැනිස්ටර්ලා කියන්නෙ බොහොම උදාර වංශවත් පවුලක්. ඒ වුනාට මෙයා ඒ ගැන අහන්ටවත් සතුටු වුනේ නෑ. මෙන්න ඊට පස්සෙ එයා කාටවත් කියන්නෙවත් නැතුවම මහ රෑක පිටත් වෙලා ගිහිල්ලා. සෙර්සිට හොඳටම කේන්ති ගිහිල්ලයි හිටියෙ ඒ ගැන." රොබර්ට් ගැඹුරු සුසුමක් හෙලී ය. "උඹ දන්නවද? ඒ ළමයට තියලා තියෙන්නෙ මගෙ නමමයි. රොබර්ට් ඒරින්. එයාව ආරක්ෂා කරනවා කියලා මං දිවුරුම් දීලා පොරොන්දු වෙලා ඉන්නෙ. ඒත් දෙයියනේ මං කොහොමද ඒක කරන්නෙ අම්මා ළමයව හොරකං කරගෙන යන‍කොට?"

"ඔබ කැමැති නං මං ඒ ළමයව හදාගන්ට බාර ගන්නං." නෙඩ් කීය. "ලයිසා ඒකට එකඟ වෙයි. එයයි කැට්ලිනුයි එදා වගේම තාමත් හරිම සමීපයි. අනික එයාට ඕන වෙලාවක මෙහෙ ඇවිත් යන්ට පුළුවන්නෙ."

"ඒක නං හරිම කරුණාවන්ත ‍යෝජනාවක් යාළුවා‍." රජතුමා කීවේ ය. "ඒ වුනත් දැන් පරක්කු වැඩියි. ටයිවින් උතුමානන් දැනටමත් ඒකට කැමැත්ත දීලයි තියෙන්නෙ. ළමයව වෙන කොහේ හරි හදාගන්ට දෙන එක එයාට මූනට දමලා ගැහුවා වගේ වෙයි."

"ලැනිස්ටර්ලාගෙ ආඩම්බරේ ගැන වද වෙනවට වැඩිය මට වැදගත් මගේ බෑනගෙ සුබසිද්ධිය ගැන හිතන එක."

"උඹට එහෙම හිතෙන්නෙ උඹ ලැනිස්ටර් කෙනෙක් එක්ක නිදාගන්නෙ නැති නිසා." රොබර්ට් සිනාසුනි. "ආහ් නෙඩ්! උඹ තාමත් ඕවා බැරෑරුම් විදියට ගනන් ගන්නවානෙ." ඔහු සිය දැවැන්ත අතක් නෙඩ් ‍ගේ උරහිස වටා යැවී ය. "මං හිතන් හිටියෙ තව දවස් කීපයක් ගිහිල්ලා උඹට ‍මේක කියන්ටයි. ඒත් මට දැන් පේනවා එහෙම කරන එකේ තේරුමක් නෑ කියලා. යමු, මගෙත් එක්කම ඇවිදන් යමු."

ඔවුන් නැවතත් කුළුණු පේළි අතරින් ආපසු ගමන ඇරඹූ අතර රජතුමා සිය අත දිගටම නෙඩ් ගේ උරහිස මත රඳවාගෙන සිටියේ ය. "උඹ කල්පනා කරන්ට ඇති මං මෙච්චර කාලෙකට පස්සෙ වින්ටර්ෆෙල්වලට ආවෙ ඇයි කියලා?"

නෙඩ් ගේ සිතේ යම් යම් සැකයන් මතු වී තිබුන ද ඔහු මේ අවස්ථාවේ දී ඒවා ප්‍රකාශ කරන්නට සිතුවේ නැත. "අනිවාර්යයෙන්ම මාව මුන ගැහෙන්ට වෙන්ට ඕන." ඔහු සැහැල්ලු ස්වරයෙන් කීය. "අනික ප්‍රාකාරෙ. ඔබ ඒක දකින්ටම ඕන මගේ ස්වාමිනී. ඒකෙ බලකොටුවල පොඩ්ඩක් ඇවිදලා ඒ මිනිස්සුත් එක්ක ටිකක් කතා කරන්ට ඕන. නිශා රැකුම දැන් ඉස්සර තිබ්බ විදියෙන් බාගයක් වත් නෑ. බෙන්ජින් කියනවා-"

"කිසිම සැකයක් නෑ, මට උ‍ඹේ ස‍හෝදරයා කියන ඒවා ඉක්මනටම අහන්ට ලැ‍බෙයි." රොබර්ට් හරස් කැපී ය. "ප්‍රාකාරෙ අවුරුදු අටදාහක් කෙලින් තිබ්බා. ඒකට තව දවස් කීපයක් බලන් ඉන්ට පුළුවන්. මට ඊට වඩා වැදගත් කාරනා ගැන හිතන්ට වෙලා තියෙනවා. මේක හරිම අමාරු කාලයක්. මට ඕන මගේ වටේ හොඳ මිනිස්සු ටිකක්. ජොන් ඒරින් වගේ මිනිස්සු. එයා ‍සේවය කලා ඉයරිවල වංශාධිපතියා විදියට, නැගෙනහිර පලාතෙ ආරක්ෂකයා විදියට, රජ්ජුරුවන්ගෙ 'අත' විදියට. එයා වගේ කෙනෙක් හොයාගන්න එක ලේසි නෑ."

"එයාගෙ පුතා..." නෙඩ් කතාව ඇරඹී ය.

"එයා‍ගෙ පුතාට ඉයරියි, ඒකෙන් එන ආදායම ඔක්කොමයි උරුමයෙන් ලැබෙයි." රොබර්ට් පරුෂ ලෙසින් කීය. "එයාට ඊට වඩා ලැබෙන්නෙ නෑ."

නෙඩ් මෙයින් විමතියට පත් විය. තිගැස්සුනු ඔහු ගමන නවත්වා රජු දෙස බැලීමට හැරුනු අතර අනාරාධනාත්මකවම ඔහු ගේ මුවින් වචන ගලන්නට විය. "ඒරින්ලා තමා හැමදාමත් නැගෙනහිර ආරක්ෂක‍යො වුනේ. ඒක ඒ වසමත් එක්ක යන තනතුරක් නෙ."

"සමහරවිට ළමයා නිසි වයසට ආවහම එයාට ඒ ගෞරවේ දෙන්ට පුළුවන් වෙයි." රොබර්ට් කීවේ ය. "මට ඒ ගැන හිතන්ට මේ අවුරුද්දයි ඊළඟ අවුරුද්දයි තියෙනවා. අවුරුදු හයක දරුවෙක් කියන්නෙ යුධ නායක‍යෙක් නෙවෙයි නෙඩ්."

"සාම කාලෙදි ඒ තනතුර නිකංම නිකං ගෞරව නාමයක් විතරනෙ. ළමයට ඒක තියාගන්ට ‍දෙන්ට. එයා වෙනුවෙන් නෙවෙයි නං අඩුම ගානෙ එයාගෙ තාත්තා වෙනුවෙන්වත්. ජොන් කරපු සේවයට ඔබ ඒ තරම්වත් ණය ගැතියි."

මේ කතාව නිසා රජතුමා සතුටට පත් වූයේ නැත. ඔහු නෙඩ් ගේ උරහිස මතින් සිය අත ඉවතට ගත්තේ ය. "ජොන් ගෙ සේවය කියන්නෙ එයා එයා‍ගෙ රජතුමාට කරන්ට බැඳිලා තිබුන දෙයක්. මං කලගුණ නොසලකා ඉන්නෙ නෑ නෙඩ්. අනිත් මිනිස්සු හැමෝටම වඩා උඹ ඒ ගැන දැනගෙන ඉන්ට ඕන. ඒ වුනාට පුතා කියන්නෙ එයා‍ගෙ තාත්තා නෙ‍වෙයි. නිකංම නිකං පුංචි ළමයෙකුට බෑ නැගෙනහිර පාලනය කරන්ට." ඔහු ගේ ස්වරය මෘදු විය. "මේ ගැන කතා කලා ඇති දැන්. ඊට වඩා වැදගත් දේවල් තියෙනවා සාකච්ඡා කරන්ට. අනික මට උඹත් එක්ක වාද විවාද කරන්ට බෑ." ඔහු නෙඩ් ගේ වැළමිටෙන් අල්ලා ගත්තේ ය. "මට දැන් උඹේ උදවු ඕන නෙඩ්."

"ඔබට අවශ්‍ය දේ කියන්ට මගේ ස්වාමිනී. මම හැමදාමත් ඔබේ සේවයේ." නෙඩ් සැකමුසු වෙමින් පැවසී ය.

"අපි දෙන්නා ඉයරිවල ගතකරපු කාලෙ... දෙයියම්පා ඒක නං නියමම කාලයක් තමා. උඹ ආයෙමත් මගේ පැත්තකින් ඉන්නවා මට දකින්ට ඕන නෙඩ්. මට ඕන උඹ කින්ග්ස් ලෑන්ඩින්ග්වලට එනවා දකින්ට. උඹ මේ ඈත කෙලවරකට වෙලා ඉන්නවා කාටවත් වැඩක් නැති විදියට." රොබර්ට් අන්ධකාරය දෙසට බැල්මක් හෙලී ය. "මං දිවුරන්නං, සිංහාසනයක් දිනනවට වඩා දාස් ගුණයක් අමාරුයි ඒකෙ දිගටම වාඩි වෙලා ඉන්න එක. නීති ක්‍රියාත්මක කරනවා කියන්නෙ ඔළුවෙ කැක්කුම හැ‍දෙන වැඩක්. රට කරවන්ට සල්ලි හොයනවා කියන්නෙ ඊටත් වඩා අමාරු දෙයක්. එතකොට මිනිස්සු... මිනිස්සුන්ගෙ ඕනෑඑපාකම්වල කෙලවරක් නෑ. මං අර මලමගුල් යකඩ පුටුවෙ වාඩිවෙලා පස්ස හිරි වැටෙනකං, මොළේ කොලොප්පං වෙනකං මිනිස්සුන්ගෙ පැමිණිලි අහන් ඉන්ට ඕන. ඒ හැමෝටම මොකක් හරි දෙයක් ඕන, සල්ලි නැත්තං ඉඩකඩම් නැත්තං යුක්තිය. ඒ මදිවට උං කියන බොරු... මගේ වංශාධිපතියොයි ආර්යාවොයි ඊට හපන්. මාව වටකරන් ඉන්නෙ චාටුකාරයො යි මෝඩයො යි. මේ දේවල් ඇති මිනිහෙක්ව පිස්සු වට්ටන්ට නෙඩ්. උංගෙන් බාගෙට බාගයක් මට ඇත්ත කියන්ට බයයි, අනිත් බාගෙට ඇත්ත මොකක්ද කියලා හොයාගන්ට බෑ. සමහර දාට රෑට  මට හි‍තෙනවා අපි ත්‍රිශූලෙ ළඟ යුද්ධෙ පැරදුනානං කියලත්. ඇත්තටම ඒ විදියටම නෙවෙයි, ඒ වුනත්...."

"මට ඔබව තේරෙනවා." නෙඩ් මෘදු ස්වරයෙන් පැවසී ය.

රොබර්ට් ඔහු දෙස බැලීය. "මං හිතනවා උඹට තේරෙනවා කියලා. උඹට තමා මාව හරියටම තේරුම් ගන්ට පුළුවන්. මගේ පරණ මිත්‍රයා." ඔහු සිනාසුනේ ය. "එඩ්ඩාර්ඩ් ස්ටාර්ක් වංශාධිපතියා‍නනි, මම ඔබව 'රජතුමාගේ හස්තය' ලෙසින් පත් කරමි."

නෙඩ් දණ බිම නැමීය. මේ පිරිනැමීම ඔහු බලාපොරොත්තු නොවූවක් නොවීය. රොබර්ට් මේ තාක් දුර ගෙවා ඔහු බැහැ දැකීමට පැමිණීමට වෙනත් හේතුවක් ඇද්ද? රජතුමා ගේ හස්තය යනු රාජධානි සප්තකයේ සිටිනා දෙවෙනි බලවත්ම පුද්ගලයා ය. ඔහු රජු ගේ නමින් ජනතාවට කතා කරයි, රජු ගේ හමුදාවන්ට අණ දෙයි, රජු ගේ නීති කෙටුම්පත් කරයි. සමහර අවස්ථාවලදී - රජතුමාට පැමිණීමට නොහැකි වූ විට, රජතුමා අසනීප වූ විට, රජතුමා පැමිණීමට අකැමැති වූ විට - ඔහු යකඩ සිංහාසනයේ වාඩි වී රජතුමා ගේ යුක්තිය පවා පසිඳලයි. රොබර්ට් මේ ඔහුට පවරන්නේ රාජධානිය තරමටම විශාල වගකීමකි.

මුළුමහත් ලෝකයෙන්ම නෙඩ්ට උවමනා වන අවසානම දෙය මේ තනතුර යි.

"මගේ ස්වාමිනී, මම ‍මේ ගෞරවයට සුදුසු නෑ."

රොබර්ට් නොඉවසිල්ලෙන් මෙන් නමුත් හාස්‍යජනක අන්දමින් ගෙරෙවුවේ ය. "මට ඕන නං උඹට ගෞරවයක් දක්වන්ට, මං කරන්නෙ උඹව විශ්‍රාම යවන එකයි. මට ඕන කරන්නෙ උඹ මං වෙනුවට මේ රට පාලනය කරන්ට යි මගේ යුද්ධ මෙහෙයවන්ට යි. එතකොට මට පුළුවන් මං කැමැති විදියට කාලා බීලා ගෑනු පස්සෙ ගිහිල්ලා මගේ ජීවිතේ විඳින්ට." සිය උදරයට අල්ලෙන් පහරක් දුන් ඔහු සිනහවක් පෑවේ ය. "උඹ දන්නවනෙ, රජ්ජුරුවොයි එයාගෙ අතයි ගැන තියෙන කියමන."

"රජතුමා සිහින දකිද්දී රජතුමාගේ හස්තය ඒ සිහින සැබෑ කරයි."

"එක පාරක් මගෙත් එක්ක ඇඳට නැග්ග මාළු කාරයෙක්ගෙ ගෑනියෙක් ඔයිට වඩා හොඳ විදියකට මට ඕක කියලා දුන්නා. උං කියන විදියට 'රජතුමා කද්දී රජතුමාගෙ අත පස්ස හෝදයි'." රොබර්ට් හිස පසුපසට ඇළ කර කොක් හඬලා සිනාසුනේ ය. අන්ධකාරය පුරා ඔහුගේ සිනා හඬ රැවු දුන් අතර ඔවුන් වටා සිටි වින්ටර්ෆෙල්හි මලගිය මී මූත්තෝ සීතල නොපහන් දෑසින් ඔවුන් දෙස බලා සිටියහ.

අන්තිමේ දී සිනා හඬ නතර විනි. නෙඩ් තවමත් දණ බිම ඇන හිස ඔසවා ඉහළ බලා සිටියේ ය. "උඹ නං යකාට යන්ට ඕන නෙඩ්. පොඩ්ඩක් හිනා වෙයංකො."

"අපේ කියමනක් තියෙනවා, මේ උතුරේ සීත කාලෙ කොච්චර දරුණුද කියනවනං මිනිහෙක්ගෙ හිනාව උගුරෙම ගල් වෙලා ඒ මිනිහා හුස්ම හිර වෙලා මැරෙන්ට පුළුවන් කියලා." නෙඩ් කීය. "සමහරවිට ඒක වෙන්ට ඇති ස්ටාර්ක්වරු එච්චර හිනාවෙන්නෙ නැත්තෙ."

"මාත් එක්ක දකුණට වරෙන්. මං උඹට උගන්නන්නං කොහොමද ආයෙමත් හිනාවෙන්නෙ කියලා." රජතුමා පොරොන්දු විය. "උඹ මට උදවු කලා මේ මලඉලවු සිංහාසනේ දිනන්ට. දැන් මට උදවු කරපං ඒක පාලනේ කරන්ට. අපි දෙන්නා ඉපදිලා ඉන්නෙ එකට එක්කහු වෙලා පාලනේ කරන්ටයි. ලියාන්නා ජීවත් වෙලා හිටියානං අපි මේ වෙනකොට ලේ වලින් එකට බැඳිච්ච සහෝදරයො නෙඩ්. අනිත් එක අපි තවම ඒකට එච්චරම පරක්කුත් නෑ. උඹට දුවෙක් ඉන්නවා. මගේ ජොෆුයි උඹේ සන්සායි අපේ පෙළපත් දෙක එකට එක්කහු කරයි, හරියට මායි ලියාන්නායි එක පාරක් කරන්ට හිටියා වගේ."

මේ යෝජනාව ඔහුව පුදුමයට පත් කලේය. "සන්සාට තාම එ‍කොළහයි."

රොබර්ට් නොඉවසිල්ලෙන් අතක් වැනී ය. "විවාහ ගිවිසගන්ට තරම් ඒ හොඳටම වයස ඇති. විවාහ උත්සවය තව අවුරුදු කීපෙකට කල්දාන්ට පුළුවන්. දැන් වත් දෙයියංගෙ නාමෙට නැගිටලා 'ඔවු' කියලා කියපං."

"මීටත් වඩා සතුටක් මට තවත් නෑ මගේ ස්වාමිනී." නෙඩ් පිළිතුරු දුනි. ඔහු මඳක් තැතනුවේ ය. "මේ ගෞරව හැම එකක්ම මං කොහෙත්ම බලාපොරොත්තු නූන එකක්. මට ‍මේ ගැන හිතා බලන්ට පොඩි කාලයක් දෙන්ට පුළුවන්ද? මට මගේ බිරිඳට මේ ගැන කියන්ට...."

"ඔවු ඔවු. අනිවාර්යයෙන්ම. කැට්ලින්ට කියන්ට. උඹට ඕන තරං ඒ ගැන හිතා බලපං." පහතට නැඹුරු වූ රජතුමා නෙඩ් ගේ අතකින් අල්ලා ඇද ඔහුව දෙපයින් සිටවී ය. "හැබැයි මට ගොඩක් කල් බලන් ඉන්ට සිද්ධ කරන්ට එපා. මං ‍එච්චර ඉවසිලිවන්ත මිනිහෙක් නෙවෙයි."

එක් මොහොතකට එඩාර්ඩ් ස්ටාර්ක්ට අනතුරක පෙර නිමිත්තක් පෙනී නොපෙනී ගියේ ය. වින්ටර්ෆෙල් යනු ඔහුට හිමි ස්ථානය යි. තමා වටා නැගී සිටින ශෛලමය පිළි රූ දෙස මොහොතක් බලා සිටි ඔහු සොහොන් ගැබ තුළ සීතල නිහඬතාව මධ්‍යයේ ගැඹුරු හුස්මක් ඉහළට ඇද්දේය. මලගිය මුතුන් මිත්තන් ගේ සීතල දෑස් ඔහු දෙස බලා සිටින ආකාරය ඔහුට දැනුනි. ඔවුන් සියල්ලෝම කණ් දී ගෙන සිටිති. ශීත කාලය පැමිණෙයි.


Robert Baratheon: "I swear to you, sitting a throne is a thousand times harder than winning one."