Monday, 15 December 2014

ටිරියන් 06


කඳුකර මාර්ගයෙන් මඳක් ඔබ්බට වන්නට පිහිටා තිබුනු ඇස්පන් ලැහැබක ඔවුහු කඳවුරු බැඳගත්හ. සිය අසුන් කඳුකර දිය පහරකින් පවස නිවාගන්නා අතරේ ටිරියන් වියළි දැව දඬු එකතුකරන්නට විය. බිම වැටී තිබුනු වියළි ගිය අතු කැබැල්ලක් අහුලාගන්නට පෙර ඔහු එය හොඳින් පිරික්සා බැලීය. "මේක හොඳයිද? මට ගිනිමැල අවුලවලා පුරුද්දක් නෑ. මොරෙක් තමා හැමදාමත් මං වෙනුවෙන් ඒක කලේ."

"ගින්නක්?" බ්‍රොන් ඇසුවේ ඉවතට කෙල ගසමිනි. "උඹ මැරෙන්ට ඔච්චරටම ආසද කුරුමිට්ටො? එහෙමත් නැත්තං උඹට ඔල්මා‍දෙ හැදිලද? මෙතන ගින්නක් ඇවුලුවොත් හැතැප්මක දුරින් ඉන්න කඳුකර ගෝත්‍රිකයො හැමෝම මෙතනට කඩන් පනියි. මම හිතාගෙන ඉන්නෙ පණපිටින් මේ ගමන අහවරයක් කරන්ට."

"ඉතින් උඹ කොහොමද ඒක කරන්ට යන්නෙ?" ටිරියන් ඇසීය. දර අත්ත කිහිල්ලේ ගසාගත් ඔහු තවත් දැවදඬු සෙවීම සඳහා අවට පිරික්සා බැලීය. ඔවුහු දිනය උදාවේ සිට නොනවත්වාම අසුන් ධාවනය කර තිබුනු අතර දර අහුලාගැනීමට බිමට නැවෙන අතර ඔහු ගේ කොන්ද ඇදුම්කන්නට විය. එදින උදෑසන ලේ වාහල්කඩ දක්වා ඔවුන් දෙදෙන කැඳවාගෙන පැමිණි සෙර් ලින් කෝබ්‍රේ නැවත කෙදිනකවත් මෙහි නොඑන්නැයි අණකරමින් ඔවුන්ව පිටුවහල් කර තිබින.

"අපට සටන් කරලා බේරිලා යන්ට කිසිම විදියක අවස්ථාවක් නෑ. ඒ වුනත් දහදෙනෙකුට වඩා දෙන්නෙකුට පුළුවන් නිශ්ශබ්දව වැඩිදුරක් යන්ට. අපි මේ කඳුකරේ ගතකරන දවස් ගාන අඩුවෙන්ට අඩුවෙන්ට අපට පණපිටින් ගංගා නිම්නයට යාගන්ට තියෙන අවස්ථාව වැඩියි. මං කියන්නෙ අපි පුළුවන් උපරිම වේගෙන් යන්ට ඕන. රෑ තිස්සෙ ගමන් කරලා දවල්ට ඔය‍ කොහෙට හරි වෙලා හැංගිලා ඉන්ට ඕන. පුළුවන් තරං පාරෙන් අයින්වෙලා ඉන්ට ඕන‍. පුළුවන් තරං සද්ද නොකර, ගිනි අවුලුවන්නෙ නැතුව ඉන්ට ඕන."

ටිරියන් ලැනිස්ටර් සුසුමක් හෙලීය. "ඒකනං මාරම මාර සැලැස්මක් බ්‍රොන්. උඹ කැමැතිනං ඒක උත්සාහ කරලා බලපං... හැබැයි උඹ මලාම වලදාන්ට මම සුනංගු වෙවී හිටියෙ නැත්තං ඒ ගැන මට දොස් කියන්ට එපා."

"උම හිතන්නෙ මට වඩා කල් ජීවත්වෙන්ටද කුරුමිට්ටො?" කුලී හේවායා නියවීය. සෙර් වාර්ඩිස් ඊගන් ගේ පලිහ වැදීමෙන් දතක් කැඩුනු තැන සැදුනු අඳුරු විවරය පැහැදිලිවම දැක ගත හැකි විය.

ටිරියන් දෙවුර ඇකිළීය. "රෑ තිස්සෙ පුළුවන් උපරිම වේගෙන් අශ්වයො පදිනවා කියන්නෙ කකුල පැටලිලා, කන්දක් පල්ලෙ දෙරිගැහිලා බෙල්ල කඩාගන්ට ලේසිම ක්‍රමයක්. මම ඊට වඩා කැමැතියි හෙමින් සැරේ පහසුවෙන් මේ ගමන යන්ට. මං දන්නවා උඹ අශ්වයින්ගෙ පිටේ ගමනට කැමැතියි කියලා බ්‍රොන්. ඒ වුනත් ඔහොම වේගයෙන් යන්ට ගිහිල්ලා අපේ අශ්වයො මැරුනොත් අපට කඳු සිංහයො පිටේ තමා සෑදල ගැටගහගන්ට වෙන්නෙ... අනිත් එක, ඇත්තම කියනවා නම් අපි මොනවා කලත් මේ කඳුකර ගෝත්‍රිකයො අපි දෙන්නව හොයාගන්නවා. ඒක සහතිකයි. මේ අවට හැමතැනම උන්ගෙ ඇස් තියෙනවා." ඔවුන්ව වටකරමින් නැගී සිටි උස් පර්වත කූට පෙන්වමින් ඔහු කීවේය.

බ්‍රොන් ගේ මුහුණ පුළුටු වී ගියේය. "ඒ කියන්නෙ අපි දෙන්නා මලා වගේ තමා ලැනිස්ටර්."

"එහෙනම් ඉතින් මම කැමැතියි සැප පහසුවෙන් මැරෙන්ට. අපට ගින්නක් ඕන. මෙහෙ රෑට සීතලයි. උණුවෙන් කෑම ටිකක් කන්ට ලැබුනොත් අපේ ඇඟත් උණුසුම් වෙයි. අපේ ආත්ම ශක්තියත් වැඩි වෙයි. උඹ හිතනවද මොකක් හරි දඩයමක් කරගන්ට පුළුවන් වෙයි කියලා? ලයිසා ආර්යාව බොහොම කරුනාවෙන් අපට ලුණු දාපු හරක් මසුයි, හයිය චීසුයි, ගල්වෙච්ච පානුයි දීලා තියෙනවා. ඒ වුනත් මේ ළඟපාත මේස්ටර් කෙනෙක් හොයාගන්ට නැති‍ වෙලාවෙ දත් කඩාගන්ට මට ඕනකමක් නෑ."

"මට පුළුවන් මසක් හොයාගන්ට." බ්‍රොන් ගේ කළු පැහැ දෑස් සැකසහිත බැල්මකින් ටිරියන් වෙත එල්ලවිනි. "උඹට ගිනිමැලේ ගහගන්ට ඉඩ දීලා මං යන්නම්. මං උඹේ අශ්වයත් අරන් ගියොත් මෙතනින් පණපිටින් පිටවෙලා යන්ට මට දෙගුණයක අවස්ථාවක් තියෙනවා. එහෙම වුනොත් උඹ මොකක්ද කරන්ට යන්නෙ කුරුමිට්ටො?"

"මැරෙයි. මං හිතන්නෙ." ටිරියන් තවත් දර කැබැල්ලක් අහුලාගත්තේ ය.

"මං එහෙම දෙයක් කරයි කියලා උඹ හිතන්නෙ නැද්ද?"

"ඒකෙන් උඹේ ජීවිතේ බේරෙනවා නම් උඹ කිසිම පරක්කුවක් නැතුව ඒක කරනවා. උඹේ යාළුවා චිගන්ගෙ බඩට අර ඊතල පාර වැදුනම ඌව මරලා දාන්ට උඹ දෙපාරක් හිත හිතා හිටියෙ නෑ." චිගන් ගේ කෙහෙරොදින් අල්ලා හිස පසුපසට නැමූ බ්‍රොන් ඔහු ගේ කණට පහළින් සිය සිරිය ඇතුළුකලේ ය. ඔහු පසුව කැට්ලින්ට කියා සිටියේ අනිත් කුලී හේවායා සිය තුවාල නිසා මළ බවකි.

"ඌ මැරුනා වගේම තමා. අනික උගෙ කෑ ගැහිල්ලා නිසා අරුන්ට අපි ඉන්න තැන හොයාගන්ට පුළුවන් වෙනවා. චිගන් වුනත් ඒ දේම මටත් කරයි... අනික ඌ මගෙ යාළුවෙක් නෙවෙයි. මගෙත් එක්ක එකට ගමන්කරන එකෙක් විතරයි. වරද්දගන්ට එපා කුරුමිට්ටො. මං උඹ වෙනුවෙන් සටන් කලා තමා. ඒ වුනත් මම උඹට ආදරේ නෑ."

"උඹේ ආදරේ මට බම්බු ගහගන්ටද? උඹේ කඩුව තමා මට ඕන කලේ." ටිරියන් අහුලාගත් දර ගොඩ බිම හෙලීය.

බ්‍රොන් නියවීය. "උඹ වෙන ඕනම කුලී හේවායෙක් තරම්ම නිර්භීතයි. ඒක කියන්ට ඕන. උඹ කොහොමද දැනගත්තෙ මම උඹේ පැත්ත ගනියි කියලා?"

"දැනගත්තෙ?" ටිරියන් උක්කුටියෙන් වාඩිගත්තේ ගිනිමැලය දැල්වීම සඳහා සූදාණම් විය. "දැනගත්තා නෙවෙයි, මම දාදු කැටේ හරියට විසි කලා. එදා අර තානායමේදී උඹයි චිගනුයි මාව අල්ලගන්ට උදවු වුනා. ඇයි? අනිත් එවුන් ඒක දැක්කෙ තමන්ගෙ රාජකාරියක් විදියට. තමතමන් සේවය කරන වංශාධිපතියන්ට කරන ගෞරවයක් විදියට. ඒ වුනත් උඹලා දෙන්නා එහෙම නෙවෙයි. උඹලාට වංශාධිපතියො නෑ. රාජකාරියක් නෑ. ගෞරවයක් කියලා දේකුත් නෑ. එහෙමනම්, ඇයි උඹලා දෙන්නා ඔය අවුලට අතදාන්ට ලෑස්ති වුනේ?" සිය පිහිය ඇද ගත් ඔහු දර කැබැල්ලකින් කුඩා සිහින් පතුරු කිහිපයක් කපාගත්තේ ය. "හොඳයි. ඇයි කූලී හේවායො මොකක් හරි දෙයක් කරන්නෙ? සල්ලි වලට. රත්තරන් වලට. උඹලා හිතුවෙ කැට්ලින් ආර්යාව උඹලා කරපු උදවුව වෙනුවෙන් මොකක් හරි ලොකු තෑග්ගක් දෙයි කියලා. සමහරවිට උඹලාව එයාගෙ සේවයට බඳවගනියි කියලා. හරි! ඔන්න දර ටික හරි මම හිතන්නෙ. උඹ ගාව ගිනිගලක් තියෙනවද?"

සිය ඉණපටියේ වූ පසුම්බියට ඇඟිලි දෙකක් රුවා ගිනිගලක් එළියට ගත් බ්‍රොන් එය ටිරියන් දෙසට විසිකලේ ය. අත දිගුකල ටිරියන් එය අහසේදීම අල්ලාගත්තේ ය.

"බොහොම ස්තූතියි! වැඩේ කියන්නෙ උඹලා දන්නෙ නෑ ස්ටාර්ක්ලා ගැන. එඩාර්ඩ් උතුමානන් කියන්නෙ බොහොම මාන්නක්කාර, ගෞරවනීය, අවංක මනුස්සයෙක්. එයාගෙ බිරිඳ ඊට අන්තයි. ආහ්! කිසිම සැකයක් නෑ මේ ඔක්කොම ඉවරවුනාට පස්සෙ එයා උඹලාට දෙන්ට කාසි කීපයක් හොයාගනීවි. ඒ වගේම බොහොම අප්‍රසන්න බැල්මකින් උඹලා දිහා බලලා, ආචාරශීලී වචන ටිකක් දොඩවලා ඒ කාසි ටික උඹලගෙ අත මිට මොලවාවි. ඒ වුනත් උඹලට හම්බවෙන ලොකුම තෑග්ග තමා ඒ. ස්ටාර්ක්ලා තමන්ට සේවය කරන්ට තෝරගන්න මිනිස්සුන්ගෙන් ධෛර්‍යය, පක්ෂපාතීත්වය, ගෞරවනීය බව වගේ දේවල් බලාපොරොත්තු වෙනවා. ඇත්තම කියනවා නම් උඹයි චිගනුයි කියන්නෙ බොහොම පහත් ජන්මයක් තියෙන කුණුකන්දල් දෙකක් විතරයි‍." ටිරියන් ගිනි පුලිඟුවක් මතුකරගැනීමේ අටියෙන් ගිනිගල සිය සිරියේ ගැටීය. එනමුදු කිසිවක් සිදුනොවීය.

බ්‍රොන් උගුරෙන් නොරිස්සුම් හඬක් පිටකලේය‍. "උඹට බොහොම නිර්භීත දිවක් තියෙන්නෙ පුංචි එකෝ. දවසක කවුරුහරි ඕක කපලා උඹටම කවයි."

"හැමෝම ඕක කියනවා." ටිරියන් කුලී හේවායා දෙස බැලීය. "මම උඹව තරහ ගැස්සුවද? එහෙමනම් සමාවෙයන්... ඒ වුනත් උඹ කුණුගොඩක්ම තමා. වරද්දගන්ට එපා බ්‍රොන්. රාජකාරිය, ගෞරවය, මිත්‍රත්වය, මොකක්ද මේවායින් උඹට ඇති වැඩේ? නෑ. ඒ ගැන හිතන්ට මහන්සිවෙන්ට එපා. අපි දෙන්නම දන්නවා ඒකට උත්තරේ මොකක්ද කියලා. ඒ කොහොමවුනත් උඹ මෝඩයෙක් නෙවෙයි. අපි මිටියාවතට ළඟාවුනාට පස්සෙ ස්ටාර්ක් ආර්යාවට උඹෙන් ඇති වැඩක් නෑ... ඒ වුනත් මට වැඩක් තියෙනවා. ලැනිස්ටර්ලාට කවදාවත් මදිපාඩුවක් නොවෙච්ච දෙයක් තියෙනවා නම් ඒ තමා රත්තරන්. ඉතින්, දාදු කැටේ දාන්ට වෙලාව ආවහම මම කල්පනා කලා උඹ වඩාත්ම හොඳින් ගැලපෙන්නෙ කොතැනටද කියලා තේරුම්ගන්ට තරම් උඹට මොළේ තියෙනවා කියලා. මට බොහොම සන්තෝස හිතුනා උඹට එහෙම මොළයක් තියෙනවා කියලා දැනගත්තහම." ඔහු නැවත වරක් ප්‍රතිඵලයක් රහිතව ගිනිගල හා සිරිය එකට ගැටීය.

"මෙහෙ දියං ඕක. මං කරන්නම්." බ්‍රොන් උක්කුටියෙන් ඉඳගනිමින් පැවසීය. ගිනිගල හා සිරිය ටිරියන් ගේ දෑතින් ගත් ඔහු පළමු උත්සාහයේදීම සාර්ථක ප්‍රතිඵල නෙලාගන්නට සමත් විය. කුඩා පතුරු කැබැල්ලක් දුම් දමමින් ඇවිලෙන්නට විය.

"නියමයි." ටිරියන් කීය. "උඹ කුණුගොඩක් වෙන්ට පුළුවන්. ඒ වුනත් උඹ හරිම ප්‍රයෝජනවත්. කඩුවක් අතේ තියෙනකොට උඹ මගේ අයියා ජේමි තරම්ම හොඳයි. උඹට මොනවද ඕන බ්‍රොන්? රත්තරන්? ඉඩකඩම්? ගෑනු? මාව පණපිටින් තියාගනින්. උඹට ඒ හැමදෙයක්ම ලැබෙයි."

බ්‍රොන් ගිනිදළුවලට සෙමින් පිම්බ අතර ගින්න තවත් ඉහළට නැගී ආයේය. "එතකොට උඹ මළොත්?"

"ඇයි වදේ! එතකොට මගේ මරණය වෙනුවෙන් අවංකවම වැළපෙන, අවංකවම දුක්වෙන එකෙක් හරි ඉතිරිවෙයි." ටිරියන් නියවීය. "මම නෑ කියන්නෙ රත්තරනුත් නෑ කියන එකයි."

ගින්න මේ වනවිට හොඳින් ඇවිලෙමින් තිබින. නැගී සිටි බ්‍රොන් සිය ගිනිගල නැවත පසුම්බියේ රුවාගෙන සිරිය ටිරියන් දෙසට විසි කලේය. "බොහොම හොඳයි. මගේ කඩුව උඹ වෙනුවෙන් සටන්කරයි එහෙනම්... ඒ වුනත් උඹ බලාපොරොත්තු වෙන්ට එපා මම දණනමලා, 'මයෙ උතුමානනි' වගේ විකාර කිය කියා උඹට ආචාර කරයි කියලා. මම කාගෙවත් පන්දම් කාරයෙක් නෙවෙයි."

"ඒ වගේම කාගෙවත් යාළුවෙකුත් නෙවෙයි. මට කිසිම සැකයක් නෑ උඹ කැට්ලින් ආර්යාව පාවාදුන්නා වගේම කොයිවෙලාවක හරි මාවත් පාවලා දෙයි කියලා. උඹට ඒකෙන් ලාබයක් වෙනවා නම් උඹ දෙපාරක් හිතන්නෙ නෑ. මාව සල්ලිවලට පාවලා දෙන්ට උඹට කවදාහරි හිතුනොත්, මෙන්න මේකත් මතක තියාගනිං බ්‍රොන්. උන් උඹට කීයක් දෙනවා කිවුවත්, මටත් ඒ ගානම උඹට දෙන්ට පුළුවන්. ඒක මොකක්වුනත් කමක් නෑ, මටත් ඒකම දෙන්ට පුළුවන්. මම කැමැතියි ජීවත්වෙන්ට. හොඳයි, දැන් උඹ හිතනවද අපට රෑට කන්ට යමක් හොයාගන්ට උඹට මොකුත් කරන්ට පුළුවන් වෙයි කියලා?"

"අශ්වයො ටික බලාගනින්." බ්‍රොන් කීවේ සිය උණේ පැළැඳ සිටි දිගු කිණිස්ස කොපුවෙන් පිටතට අදිමිනි. ඊළඟ මොහොතේ ඔහු දිගු පියවර තබමින් ගස් අතර නොපෙනී ගියේය.

පැයකට පමණ පසු අශ්වයින්ට හොඳින් කවා පොවා සාත්තුකර තිබුනු අතර ගිනිමැලයද යහමින් දැල්වෙමින් තිබින. ගිනිදළුවලට ඉහළින් කරකැවෙමින් පැළහෙමින් තිබුනු එළු ගාතය ගිනි රස්නය නිසා පුපුරමින් 'හිස්' හඬ නංවමින් තිබින. "අපට දැන් ඕන මේ ටික උගුරෙන් පල්ලෙහාට යවාගන්ට හොඳ වයින් ටිකක් විතරයි." ටිරියන් කීය.

"ඒකයි, ගෑනියෙකුයි, තව සෙබළු දුසිමකුයි විතරයි." බ්‍රොන් කීය. ඔහු දෙපා හරස්කර ගිනිමැලය පසෙකින් වාඩි වී, තෙල් ගලකින් සිය දිගු අසිපත මුවහත් කරමින් සිටියේය.  ඒ දිගු ඒකතානමය හඬේ කුමක්දෝ ආරක්ෂණකාරී ස්වරයක් ගැබ් වී තිබින. "තව ටිකකින් හොඳටම කළුවර වැටෙයි. මං පළවෙනි මුරේ කරන්නම්... ඒක වඩා හොඳ වෙයි. උං අපිව නින්දෙදිම මැරුවොත් ඒක ලොකු කරුනාවක් වෙයි."

"ආහ්! මම හිතන්නෙ අපට නින්ද යන්ට ගොඩක් වෙලාවකට කලින් උන් මෙකනට එයි." පැළහෙන මාංශයේ සුවඳ නිසා ටිරියන් ගේ තොල කට තෙත් වන්නට විය.

බ්‍රොන් ගිනිදළු හරහා ඔහු දෙස බැලීය. "උඹට මොකක් හරි සැලැස්මක් තියෙනවා වගේ." අසිපත මුවහත්කිරීම නොනවත්වාම ඔහු ඇසීය.

"මම ඒකට කියන්නෙ බලාපොරොත්තුවක් කියලා. දාදුකැටේ තව පාරක් උඩ දානවා."

"පරදුවට තියන්නෙ අපේ ජීවිත වෙන්ටැති."

ටිරියන් දෙවුර ඇකිළීය. "අපට වෙන මොකක් හරි තේරීමක් තියෙනවද?" ඉදිරියට නැමුනු ඔහු එළු ගාතයෙන් මස් පෙත්තක් කපාගත්තේ ය. "ආහ්හ්හ්!" පළමු කට රස බලන අතරේ ඔහු සතුටින් සුසුමක් හෙලීය. මසෙහි වූ තෙල් ඔහු ගේ නිකට දිගේ රූරා හැලෙන්නට විය. "මම කැමැති ගානට වඩා චුට්ටක් විතර හයියයි. අනික මේකට කුළුබඩුත් නෑ. ඒ වුනත් මම ඒ ගැන වැඩිය පැමිණිලි කරන්ට යන්නෙ නෑ. ඉයරිවලදි තම්බපු බෝංචි ටිකක් හම්බවෙනවා නම් මම කඳු පල්ලමක වුනත් සන්තෝසෙන් උඩ පැනලා නටන්ට තිබුනා."

"ඒ වුනත් උඹ අර මුරකාරයට උඹේ රත්තරන් ටික දුන්නා?"

"ලැනිස්ටර්ලා හැමවෙලාවම තමන්ගෙ ණය ගෙවනවා."

ටිරියන් විසින් සිය මුදල් පසුම්බිය මෝඩ් වෙත විසිකල අවස්ථාවේ මේ මුග්ධ මුරභටයාට පවා එය විශ්වාස කිරීම අසීරු විය. පසුම්බිය විවර කර දිදුලන රන්කාසි රැස දෙස බලද්දී ඔහු ගේ දෑස් පීරිසි දෙකක් තරම් විසල් විය. "මම රිදී කාසි ටික තියාගත්තා." ටිරියන් සිය සුපුරුදු වංචාකාරී සිනහවත් සමගින් ඔහුට පැවසීය. "ඒ වුනත් මම උඹට පොරොන්දු වුනේ රත්තරන්. ඉතින් ඔන්න තියෙනවා රත්තරන්." මෝඩ් වැනි මිනිසකුට එය සිය ජීවිතකාලය පුරාවටම උපයාගැනීමට තබා සිතන්නටවත් නොහැකි තරමේ ධනයක් විය. "ඒ වගේම මම කියාපුවත් මතක තියාගනින්. මේ වස්තුවෙන් කොටසක් විතරයි. උඹට කවදාහරි ඒරින් ආර්යාවට සේවය කිරිල්ල එපාවුනොත්, එදාට වරෙන් කාර්ස්ටලී රොක්වලට. උඹට ගෙවන්ට තියෙන වස්තුවෙ ඉතුරු ටික මම උඹට ගෙවන්නම්." සිය දෑතේ පුරවාගත් රන්කාසි ඇඟිලි අතරින් රූරා වැටෙද්දී දණින් වැටුනු මෝඩ් තමා එය කරන බවට සපත කලේය.

සිය සිරිය ඇදගත් බ්‍රොන් මස්ගාතය ගින්නෙන් බාගත්තේ ය. ඔහු මස්කුට්ටි කපන අතරේ ටිරියන් පාන් ගෙඩි දෙකක් අතට ගෙන මස් පිරවීම පිණිස ඒවා සූදාණම් කරන්නට විය. "අපි ගංගාවට ලංවුනොත්, ඊටපස්සෙ උඹ මොකක්ද කරන්ට බලාපොරොත්තු වෙන්නෙ?" මස් කපන අතරේ කුලී හේවායා විමසී ය.

"ආහ්! මුලින්ම වේස ගෑනියෙකුයි, පිහාටු ඇඳකුයි, වයින් ගුරුලේත්තුවකුයි හොයාගන්නවා." ටිරියන් සිය පාන් ගෙඩිය දිගු කල අතර බ්‍රොන් එය මසින් පිරෙවුවේ ය. "ඊට පස්සෙ මම හිතන්නෙ කාර්ස්ටලී රොක්වලට හරි කින්ග්ස් ලෑන්ඩින්ග්වලට හරි යනවා. මට තියෙනවා ප්‍රශ්න වගයක් උත්තර හොයාගන්ට, කිනිස්සක් ගැන."

කුලී හේවායා අහර කටක් සපා ගිල්ලේය. "ඒ කියන්නෙ උඹ ඇත්තම තමා කියලා තියෙන්නෙ? ඒ කිනිස්ස උඹේ නෙවෙයි?"

ටිරියන් සිහින් සිනහවක් නැගුවේ ය. "මම බොරුකාරයෙක් වගේද උඹට පේන්නෙ?"

ඔවුන් ගේ කුස් පිරෙන අතරේ තරු එකින් එක අහසේ එබිකම් කරන්නට වූ අතර කඳුවැටියට ඉහළින් අඩසඳක් පායා ආවේය. සිය ඝනකම් ලොම් සළුව බිම අතුල ටිරියන් සෑදලය හිසට තබාගෙන බිම වැතිරුනේ ය. "අපේ යාළුවො එන්ට බොහොම පරක්කු වෙනවා වගෙයි."

"මම උං නං මම බයවෙනවා මේක මොකක් හරි උගුලක් කියලා. උංව උපායෙන් මෙ‍තැනට ඇදගන්ට නෙවෙයිනං අපි මොකටද මෙච්චර විවෘතව ඉන්නෙ?"

ටිරියන් කෙකර සිනහවක් පලකලේය. "එහෙම නම් ඉතින් අපි සිංදුවක් කාරිය කියලා උංව බයකරලා පන්නලාම දාමු." ඔහු ගීයක් සියුරුහන් කිරීමට පටන්ගත්තේ ය.

"උඹටනං පිස්සුම තමා කුරුමිට්ටො." සිය නිය අග්ගිස්සේ රැඳි තෙල්, කුණු, ධූලි කිනිසි තුඩින් සුද්දකරන අ‍තරේ බ්‍රොන් පැවසීය.

"කෝ උඹේ සංගීත රසය බ්‍රොන්?"

"උඹට සංගීතය ඕනනං අර ගායකයාගෙන් අහන්ට එපායැ උඹ වෙනුවෙන් සටන්කරන්ටයි කියලා."

ටිරියන් නියවීය. "ඒක හරිම ෂෝක් දෙයක් වෙයි ‍නේද? මට නිකං මැවිලා පේනවා වගේ ඌ උගේ අර වීණාවත් අතින් අරන් සෙර් වාර්ඩිස් එක්ක සටන් කරනවා." ඔහු නැවතත් සියුරුහඬලෑමට පටන්ගත්තේ ය. "උඹ දන්නවද මොකක්ද මේ සින්දුව කියලා?"

"එහෙන් මෙහෙන් අහන්ට ලැබිලා තියෙනවා, තැබෑරුම්වලයි ගනිකා මඩම්වලයි."

"ම'රිෂ්. ඒකට කියන්නෙ 'මගේ ආද‍රයේ සෘතුන්' කියලා. හරිම ලස්සනයි, හරිම දුක්මුසුයි. උඹට වචන තේරුම්ගන්ට පුළුවන් නම්. මගෙත් එක්ක ඇඳට නැගපු මුල්ම කෙල්ල මේ සින්දුව නිතරම කියන්ට පුරුදුවෙලා හිටියා. එදායින් පස්සෙ මේ සින්දුව කවදාවත් මගේ ඔළුවෙන් අහක් වුනේ නෑ." ටිරියන් හිස ඔසවා අහස දෙස බැලීය. එය පැහැදිලි, සීතල රැයක් වූ අතර කඳුවැටියට ඉහළින් අහසේ තාරකාවෝ සත්‍යය මෙන් දීප්තිමත්ව, අකරුනාවන්ත අයුරින් දිදුලන්නට වූහ. "මට ඒකිව මුනගැහුනෙත් මේ වගේ රෑක තමා." ඔහු නොදැනුවත්වම මුවින් වදන් ගිලිහෙන්නට විය. "ජේමියි මායි ලැනිස්පෝර්ට්වල ඉඳලා ආපහු එන අතරේ අපට කෑගැහිල්ලක් ඇහුනා. එක පාරටම මේකි පාරට දුවගෙන ආවා. ඒකි පස්සෙන්ම වගේ මිනිස්සු දෙන්නෙකුත් දුවගෙන ආවා, ඒකිට කෑ ගහ ගහ. මගේ අයියා කඩුව ඇදගෙන උන් දෙන්නා පස්සෙන් පන්නගෙන ගියා. මම අශ්වයා පිටින් බැහැලා කෙල්ලව ආරක්ෂා කලා. ඒකි මට වඩා ඕන නම් යාන්තං අවුරුද්දක් වැඩිමල් ඇති. කළු පාට කොණ්ඩෙ, කෙට්ටුයි. ඒකිගෙ මූන දැක්කම ඕන කෙනෙක්ගෙ හදවත කඩන් හැලෙනවා. ඒක ඇත්තටම මගේ හදවත බින්දා. ඒකි පහත්, බාගෙට බඩගින්නෙ ඉන්න, දවස් ගානකින් නාලා නැති කෙල්ලක්... ඒ වුනාට ලස්සනයි. ඒකි ඇඳන් හිටපු වැරහැලිත් අරුන් දෙන්නා බාගෙට ඉරලා දාලයි තිබුනෙ. ඉතින් ඒක නිසා මම මගේ සළුව අරන් ඒකිව වැහුවා. ඔය අතරේ ජේමි අරුන් දෙන්නව කැලෑව ඇතුළටම පන්නගෙන ගියා. එයා ආපහු එන අතරේ මට පුළුවන් වුනා කෙල්ල ගැන විස්තර ටිකක් දැනගන්ට. ඒකි ඔය පොඩි කුඹුරුහිමියෙක්ගෙ දුවක්. තාත්තා උණ හැදිලා මැරිලා ගියාට පස්සෙ මේකි අනාථ වෙලා. ඉබාගාතේ ඇවිද ඇවිද ඉඳලා තියෙන්නෙ."

"ජේමිට හොඳටම ඕනකමක් තිබුනා මේ මිනිස්සු දෙන්නාව දඩයම් කරන්ට. කාර්ස්ටලී රොක් ළඟටම ඇවිල්ලා මංකොල්ලකාරයො මෙහෙම පාරෙ යන මිනිස්සුන්ට අඩම්තේට්ටම් කරන එක හැමදාම වෙන දෙයක් නෙවෙයි. ඒක ලොකු අවනම්බුවක් කියලයි ජේමි හිතුවෙ. ඒ වුනත් තනියම ආයෙමත් පාර දිගේ යවන්ට බැරි තරම් කෙල්ල බයෙන් ගැහිගැහියි හිටියෙ. ඉතින් ඒක නිසා මම කිවුවා ජේමි කාර්ස්ටලී රොක්වලට ගිහිල්ලා උදවුවට සෙබළු අඬගහගෙන එනකම් මම ඒ කෙල්ලව ළඟම තියෙන තානායමට එක්කරන් ගිහිල්ලා ඒකිට කෑම ටිකක් අරන් දෙන්නම් කියලා."

"මම හිතුවාටත් වඩා ඒකි බඩගින්නෙ ඉඳලා තියෙන්නෙ. අපි කුකුළො දෙන්නෙක් කාලා තුන්වෙනි එකාගෙත් බාගයක් විතර ඉවරකලා. කතා කර කර වයින් ගුරුලේත්තුවකුත් ඉවර කලා. මට එතකොට දහතුනක්. මං හිතන්නෙ මට වයින් බිවුවා වැඩිවුනා. මට මතක තියෙන ඊළඟ දේ මම ඒකිත් එක්ක ඇඳට නගිනවා. ඒකි ලැජ්ජාවෙන් හිටියෙ. මම ඊටත් වඩා ලැජ්ජාවෙන් හිටියෙ. මම දන්නෙ නෑ කොහොමද ඒ වෙලාවෙ මට එච්චර ධෛර්‍යයක් ආවෙ කියලා. ඒකිගෙ කන්‍යභාවය මගේ අතින් නැතිවුනාම ඒකි ඇඬුවා. ඒ වුනත් පස්සෙ ඒකි මාව ඉඹලා ඔය ලස්සන සින්දුව කියන්ට පටන්ගත්තා. ඉතින්, උදේ වෙද්දි මම ආදරෙන් වෙලිලා ඉවරයි."

"උඹ?" බ්‍රොන් ගේ ස්වරය විස්මයෙන් ඇලලී ගොස් තිබින.

"හරිම හාස්‍යජනකයි නේද?" ටිරියන් නැවත වතාවක් සින්දුව සියුරුහඬලෑමට පටන්ගත්තේ ය. "මම ඒකිව බැන්දා." ඔහු අන්තිමේදී පිළිගත්තේ ය.

"කාර්ස්ටලී රොක්වල ලැනිස්ටර් කෙනෙක් මේ සාමාන්‍ය ගොවියෙකුගෙ දුවක් බැන්දා? උඹ කොහොමද ඒ වගේ දෙයක් කලේ?"

"අයියෝ! පුංචි බොරු දෙකතුනකුයි, රිදී කාසි පනහකුයි, බේබදු පූජකයෙකුයි හොයාගන්ට පුළුවන් නම් පොඩි කොල්ලෙකුට කරන්ට පුළුවන් දේවල් ඇහුවොත් උඹ උඩ යයි. ඒ වුනත් මගේ මනමාලිව කාර්ස්ටලී රොක්වලට එක්කරන් යන්ට තරම් මම නිර්භීත වුනේ නෑ. ඉතින් මම පොඩි පැල්පතක් හොයාගෙන ඒකිව එහාට එක්කන් ගියා. අපි සති දෙකක් විතර මෙහෙම ගෑනියි මිනිහයි වගේ හිටියා. ඊටපස්සෙ අර පූජකයාගෙ වෙරි හිඳිලා, ඌ මගේ තාත්තා ගාවට ගිහින් සිද්දවෙච්ච හැම දෙයක්ම පාපොච්චාරණය කලා." මෙතරම් වසර ගනනාවකට පසුව වුවද මේ විස්තරය පවසද්දී තමාට දැනෙමින් තිබුනු අසරණ, අනාථ බව පිළිබඳ ටිරියන්ට පුදුමයක් ඇති විය. සමහරවිට ඔහු දැඩි විඩාවෙන් පෙලෙමින් සිටිනවා විය හැක. "ඉතින්, ඒ තමා මගෙ කසාදෙ අවසානය." නැගිට වාඩිගත් ඔහු ගිනිමැලයේ පණ අදිමින් සිටින ගිනිදළු දෙස ඇසිපිය ගසමින් බලාසිටින්න‍ට විය.

"එයා කෙල්ලව පන්නලා දැම්මද?"

"එයා ඊට වඩා හොඳ දෙයක් කලා. ඉස්සෙල්ලාම එයා මගේ අයියාට කිවුවා ඇත්ත සිද්දිය මොකක්ද කියලා මට කියලා දෙන්ටයි කියලා. ඒ කෙල්ල වේසියක්. ජේමි තමා ඒ ඔක්කොම සූදාණම් කරලා තියෙන්නෙ. අපේ ගමන, අර මංකොල්ලකාරයො දෙන්නා, හැමදේම. එයා හිතුවා මට ගෑනියෙක් එක්ක ඉන්ට කාලෙ හරි කියලා. ඒ මගේ මුල්ම වතාව නිසා එයා දෙගුණයක් ගෙවලා වැඩේට කන්‍යාවක්ම හොයාගත්තා."

"ජේමි මේ විස්තරේ කිවුවට පස්සෙ, ඇත්ත මොකක්ද කියලා මගේ මෝඩ මොළේට ගියාට පස්සෙ, ටයිවින් උතුමානන් මගේ බිරිඳව එක්කරන් ඇවිල්ලා එයාගෙ සෙබළුන්ගෙ පාවිච්චියට දුන්නා. උනුත් එයාට හොඳ ගානක් ගෙවුවා. එකාට රිදී කාසියක් ගානෙ. එච්චර ලොකු ගානක් කියන්ට පුළුවන් වේසියො කීයෙන් කී දෙනාද ඉන්නෙ? මේ වැඩේ ඉවරවෙනකම් බැරැක්කෙ කොණක වාඩිවෙලා ඒ දිහා බලන් ඉන්ටයි කියලා එයා මට නියම කලා. අන්තිමේදි ඒකිට කොච්චර රිදී කාසි ලැබුනද කිවුවොත් ඒවා ඒකිගෙ ඇඟිලි අතරින් රූටලා බිම වැටිලා රෝල්වෙන්ට පටන්ගත්තා. ඒකි..." දුම නිසා ඔහු ගේ දෑස් දැවෙන්නට පටන්ගති. උගුර පෑදු ටිරියන් ගිනිමැලයෙන් ඉවතට දෑස් හරවාගෙන රාත්‍රියේ අන්ධකාරය දෙස බලා සිටින්නට විය. "ටයිවින් උතුමානන් අන්තිමේදී මටත් අවස්ථාවක් දුන්නා." ඔහු මෘදු ස්වරයෙන් කීය. "එයා මට රත්තරන් කාසියක් දුන්නා ඒකිට ගෙවන්ටයි කියලා. මොකද මම ලැනිස්ටර් කෙනෙක් නිසා සෙබළුන්ට වඩා මම ගෙවන්ට ඕන කියලා."

මඳ වේලාවකට පසු බ්‍රොන් නැවතත් සිය අසිපත මුවහත් කරන හඬ ඔහුට ඇසෙන්නට විය. "දහතුනක් හරි තිහත් හරි තුනක් හරි, වයස කීයක් වුනත් කමක් නෑ. මට ඒ වගේ දෙයක් කලානං මම ඒ මිනිහව මරනවා."

වහා හිස හැරවූ ටිරියන් ඔහු දෙස බැලීය. "උඹට ඒකට දවසක අවස්ථාවක් එයි. මම කියාපු දේ මතක තියාගනින්. ලැනිස්ටර්ලා හැමදාමත් තමන්ගෙ ණය ගෙවනවා." ඔහු ඈනුමක් හැරියේ ය. "මම හිතන්නෙ මම දැන් නිදාගන්ට පොඩි උත්සාහයක් දාලා බලන්නම්. අපි මැරෙන්ට කිට්ටුවුනාම මාව ඇහැරවපං."

සිය සළුව මත දිග ඇදී හරිබරි ගැහුනු ඔහු දෑස් පියාගත්තේ ය. පොළොව සීතල හා විෂම වුවද මඳ වේලාවකට පසු නිදි දෙව්දුව ටිරියන් ලැනිස්ටර් සොයා ආවාය. ඔහු නැවත වතාවක් අහස් සිරකුටිය සිහිනෙන් දිටීය. එනමුදු මේ වතාවේ ඔහු සිරකරුවා නොව මුරභටයා විය. දැවැන්ත සිරුරකින් හෙබි, සම්පටියක් අතින් ගත් ඔහු සිය පියාට පහරදෙමින් සිරකුටියේ සීමාවට, කිසිවක් නැති හිස් ආකාශයට ඔහුව පන්නමින් සිටියේය.

"ටිරියන්." බ්‍රොන් ගේ අනතුරු ඇඟවීම ක්ෂණික, සිහින් කෙඳිරිල්ලක් විය.

ඇසිපිය ගසන පමාවෙන් ටිරියන් අවදිවිය. ගිනිමැලය නිවී ගොස් ගිනිඅඟුරු පමණක් ඉතුරුව තිබුනු අතර ඔවුන් වටා සෑම තැනම සෙවනැලි එහා මෙහා යමින් තිබින. එක් අතකින් අසිපත ද අනිත් අතින් සිරිය ද ගත් බ්‍රොන් බිම දණක් නවා වාඩි වී සිටියේ ය. ටිරියන් අතක් එසවීය. 'සද්ද නොකර ඔහොම ඉන්ට', එයින් කියැවිනි. "වරෙල්ලා. ඇවිත් අපේ ගිනිමැලයෙන් උණුහුම් වෙයල්ලා. අද රෑ සීතලයි." ඔහු සෙවනැලිවලට කතා කලේය. "මට බොහොම කණගාටුයි උඹලාට දෙන්ට අපි ළඟ වයින් නම් නෑ. ඒත් එළුවෙක් ඉන්නවා, උඹලාට බඩකට පුරවගන්ට පුළුවන්."

සියළු චලනයන් වහා නැවතින. ලෝහ මත සඳඑළිය වැටී දිලිසෙන ආකාරය ටිරියන් දිටීය. "අපේ කඳුකරය." ගස් අතර අන්ධකාරය මැදින් කටහඬක් කතාකලේය. එය ගැඹුරු, ගොරතර, කිසිසේත්ම මිත්‍රශීලී නොවන හඬක් විය. "අපේ එළුවා."

"ඔවු. උඹලාගෙ එළුවා තමා." ටිරියන් එකඟවිය. "කවුද උඹලා?"

"උඹලාට උඹලගෙ දෙයියො මුනගැහුනම," වෙනත් කටහඬක් පිළිතුරු දුන්නේ ය. "කියාපල්ලා, ගල් කපුටන්ගෙ ගෝත්‍රයේ ගර්න් ගෙ පුතා ගන්තර් තමා උඹලාව එහාට එවුවෙ කියලා." පයට පෑගුනු වියළි කෝටු කැබැල්ලක් බිඳී ගිය අතර සෙවනැල්ල ආළෝකයට පිළිපන්නේ ය. ඒ, මුදු‍නේ උලක් සහිත ශිරස්කයක් පැළැඳ, දිගු පිහියකින් සන්නද්ධ වූ කෙසඟ මිනිසකු විය.

"ඒ වගේම ඩොල්ෆ් ගෙ පුතා ෂග්ගාත් එතැන හිටියයි කියපං." ඒ අර මුලින් ඇසුනු ගොරතර, ගැඹුරු කටහඬ විය. ඔවුන්ට වම්පසින් තිබුනු ගල් පර්වතයක් සෙලවුනු අතර ඒ පර්වතයක් නොව මිනිසකු බව පෙනින. ඔහු දැවැන්ත, මන්දගාමී නමුදු ශක්තිමත් මිනිසකු විය. මුලුමනින්ම පාහේ සම්වලින් ගත වසාගෙන සිටි ඔහු ගේ දකුණතේ මුගුරක් ද වමතේ පොරොවක් ද විය. ඔවුන් වෙත සෙමින් සෙමින් ලංවන අතරේ ඔහු ඒ දෙක එකට ගැටුවේ ය.

තවත් කටහඬවල් තවතවත් නම් හඬගා කියන්නට වූහ. කොන් සහ ටොරෙක් සහ ජැගට් සහ ඇසූ සැනින් ටිරියන්ට අමතකව ගිය තවත් නම් බොහෝ ගණනක් දසතින්ම ඇසෙන්නට විය. එතැන අඩුම තරමේ දසදෙනෙක් වත් වූහ. සමහරුන් අත අසිපත් හා පිහියා ද, තවත් අය අත මුල්ලු, දෑකැති හා ලී හෙලි ද විය. ඔවුන් සැවොම තම නම් හඬගා අවසන්වන තුරු ටිරියන් නිහඬව සිටියේ ය. "මම ටයිවින් ගෙ පුතා ටිරියන්. ලැනිස්ටර් ගෝත්‍රයේ. අපි කාර්ස්ටලී රොක්වල සිංහයො. අපි කාපු එළුවා වෙනුවෙන් බොහොම සතුටින් අපි මිලක් ගෙවන්නම්."

"උඹට මොනවයින්ද අපට ගෙවන්ට පුළුවන්, ටයිවින් ගෙ පුතා ටිරියන්?" ගන්තර් ඇසීය. ඔහු මෙම පිරිසේ නායකයා බැව් පෙනින.

"මගේ පසුම්බියේ රිදී කාසි තියෙනවා. මම මේ ඇඳගෙන ඉන්න කබාය මට ලොකු වැඩියි. ඒත් මම හිතන්නෙ ඒක කොන්ට හොඳට ගැලපෙනවා. ඒ වගේම ෂග්ගා ඔය උස්සගෙන ඉන්න ලී පොරොවට වඩා මගේ මේ යුද්ධ පොරොව හොඳට ඒ අතට ගැලපෙනවා."

"මේ කුරුමිට්ටා අපේ සල්ලිවලින් අපටම ගෙවන්ට හදනවා." කොන් පැවසීය.

"කොන් කියන්නෙ ඇත්ත." ගන්තර් කීය. "උඹේ රිදී අපේ. උඹේ අස්සයො අපේ. උඹේ කබාය, උඹේ පොරොව, උඹේ පිහිය, උඹේ ඉණපටිය, ඔය ඔක්කොම අපේ. උඹලාගෙ ජීවිත ඇර වෙන මොකුත් නෑ අපට ගෙවන්ට. උඹ කොහොමද මැරෙන්ට කැමැති, ටයිවින් ගෙ පුතා ටිරියන්?"

"අවුරුදු අසූවක් නාකිවෙලා. මගේ ඇඳේ. හොඳ උණුසුම් වයින් බඩේ පිරිලා තියෙද්දි. හොඳ ලස්සන කෙල්ලක් මට තුරුල් වෙලා ඉන්දැද්දි." ටිරියන් පිළිතුරු දුන්නේ ය.

දැවැන්තයා, ෂග්ගා මහහඬින් සිනාසුනේ ය. අනිකුත් එතරම්ම විනෝදමත් වූ බවක් නොපෙනින. "කොන්, උංගෙ අස්සයො ගනින්." ගන්තර් අණකලේ ය. "අර අනිත් එකාව මරලා කුරුමිට්ටාව උස්සගනින්. ඌ හොඳයි එළුවන්ගෙන් කිරි දොවන්ටයි නාකි ආච්චිලා ටික විනෝදෙන් තියන්ටයි."

බ්‍රොන් විගසින් දෙපා මතින් නැගී සිටි‍යේ ය. "මොකාටද ඉස්සෙල්ලාම මැරෙන්ට ඕන?"

"එපා!" ටිරියන් කෑගැසීය. "ගර්න් ගෙ පුතා ගන්තර්, මම කියන එක අහපන්. මගේ වංශය බොහොම බලසම්පන්නයයි, බොහොම පොහොසත්. ගල් කපුටන්ට පුළුවන් නම් අපි දෙන්නාව බොහොම පරිස්සමින් මේ කඳුකරයෙන් එහාට එක්කරන් යන්ට, මගේ තාත්තා උඹලාට නාන්ට තරම් රත්තරන් දෙයි."

"ඔය පහත්බිමේ උත්තමයින්ගෙ රත්තරන් මේ කුරුමිට්ටාගෙ පොරොන්දු වගේම තමා." ගන්තර් කීය.

"මම කුරුමිට්ටෙක් වෙන්ට පුළුවන්. ඒ වුනත් මට මගේ සතුරන්ට මූනදෙන්ට තරම් පිරිමිකමක් තියෙනවා. ඒ වුනත් ගල් කපුටො මොකද කරන්නෙ? මිටියාවතේ නයිට්වරු මේ පාරෙන් යනකොට උන් ගල්කුළු අස්සෙ හැංගිලා බයෙන් ගැහෙනවා."

කේන්තියෙන් මුර ගෑ ෂග්ගා සිය මුගුර හා පොරොව එකට ගැටීය. ජැගට් ගින්නෙන් පදම්කල උල් තලයකින් යුත් ලී හෙල්ලක් ටිරියන් ගේ මුහුණට තබා තදකලේ ය. වේදනාවෙන් නොඇකිළී ඉන්නට ටිරියන්ට උපරිම උත්සාහය දැරීමට සිදුවිය. "උඹලාට හොරකම් කරගන්ට පුළුවන් වුන හොඳම ආයුධ ද මේ?" ඔහු ඇසීය. "බැටළුවො මරන්ට නම් හොඳා... ඒකත් බැටළුවො ආපහු සටන්කරන්නෙ නැතුව ඔහේ බලන් හිටියොත් මිසක්. මගේ තාත්තගෙ කම්මල්කාරයො වැසිකිලි ගියත් ඔයිට වඩා හොඳ වානේ පිටවෙනවා."

"පුංචි කොලු-මිනිහො." ෂග්ගා ගෙරවීය. "මම උඹේ පිරිමි ඇඟ කපලා එළුවන්ට කන්ට දැම්මාට පස්සෙත් උඹ මගේ පොරොව ගැන ඔහොම සමච්චලේට කතාකරයිද කියලා බලමු."

එනමුදු ගන්තර් අතක් එසවීය. "නෑ. මං හිතන්නෙ අපි ඌ කියන එක අහන්ට ඕන. අම්මලා ඉන්නෙ බඩගින්නෙ. අනික රත්තරන්වලට වඩා වානේවලින් පුළුවන් ගොඩ දෙනෙක්ගෙ බඩවල් පුරවන්ට. උඹලාගෙ ජීවිත බේරුවොත් ඒ වෙනුවට උඹ අපට මොනාද දෙන්නෙ, ටයිවින් ගෙ පුතා ටිරියන්? කඩු? ලන්ස? සන්නාහ?"

"ඒ හැම දෙයක්ම. ඒ වගේම තවත් ගොඩක් දේවල්, ගර්න් ගෙ පුතා ගන්තර්." ටිරියන් ලැනිස්ටර් සිනහවක් රැඳි මුවින් යුතුව පිළිතුරු දුන්නේය. "මම උඹලාට දෙන්නම් මුලු ඒරින් මිටියාවතම."


Bronn: “Thirteen or thirty or three, I would have killed the man who did that to me.”
Tyrion : “You may get that chance one day. Remember what I told you. A Lannister always pays his debts.”

38 comments:

  1. oh...!!!
    its going to be ....../????
    what.............???
    how do i know
    blah

    ReplyDelete
    Replies
    1. උදේ පාන්දර මේවා දැක්කාම ඉන්න තැනත් අමතක වෙනවා...:D

      Delete
  2. Replies
    1. Good Tyrion...
      Bad Tyrion...
      Stupid Tyrion...
      Crazy Tyrion...

      :-D

      Delete
  3. යකෝ ටිරියන් අවුරුදු 13 දී ලොකු ළමයෙක් වෙලානේ...:D

    ReplyDelete
    Replies
    1. ඇයි බොලා ලොකු ළමයෙක් වුනේ ඒ වයසෙදි නෙවෙයිද? :-P

      Delete
    2. ඒ විදියෙන් බැලුවොත් මම තවමත් පොඩි එකෙක්...:D

      Delete
    3. කට්ටිය තාම වඩාගන්නවා ඇතිනේ..:P

      Delete
  4. "ඇයි වදේ! එතකොට මගේ මරණය වෙනුවෙන් අවංකවම වැළපෙන, අවංකවම දුක්වෙන එකෙක් හරි ඉතිරිවෙයි." කොටාගේ කියුං තමා කියුං.. :D

    කියන්න කණගාටුයි.. එකතු වෙලා තිබුන ඔක්කෝම කතා ටික කියවලා අහවරයි.. දැන් ඉතිං වෙන කරන්න දෙයක් නැහැ.. පරිවර්ථක ඩබොලට පොඩි විවේකයක් දෙන්න හිතුවට ඒක කරන්න වෙන්නේ නැහැ.... හා හා ඊ ළඟ... :D

    ReplyDelete
    Replies
    1. අපිත් කල්පනා කලා ‍පොඩි පහේ විවේකයක් ගම්මුද කියලත්.. මේ දවස්සොල කට්ටිය නිවාඩු පිට, නත්තල් කමින්, ඡන්දෙට වැඩකරමින් බිසී වෙලා ඉන්න වෙලාවනෙ කියලා.. ඒත් පස්සෙ තීරණය කලා ඔන්න ඔහෙ ඕන නෑ, මේ ඇදිල්ල ඉවරවෙනකම්ම ඇදගෙන යමු කියලා.. විවේකයක් ගත්තොත් කම්මැලි හිතෙනවා ආයෙමත් පටන්ගන්ට.. බ්ලොග් ලියාපු දැන් නැවතිලා තියෙන ගොඩදෙනෙකුට ඒක තමා වුනේ..

      Delete
    2. අද කොටස කුට්ටි කරල නෑ :D
      //විවේකයක් ගත්තොත් කම්මැලි හිතෙනවා ආයෙමත් පටන්ගන්ට..//

      ආන්න ඔගෙට තේරුනා කාරණාව. තමුන්නැහැ යමක් කමක් තේරෙන සතා වෙච්චි, නවත්වන්න එපා. දිගටම ඇදලා දාලා, මේක ඉවර වෙන කොටම තව එකක් පටා..න් ගන්න විට්නරයි තියෙන්නෙ . අර " ටයිගර්ර්ර් බයි ද ටේල්" කියන එක වුනත් නරකම නෑ

      පොං, පොං, නාග රාජ, වලිගය අහිමි වූ දෙපා, සිව්පා ,සියලු පාත්‍ර වර්ගයා වෙත:

      ඕං මං මයෙ යුතුකම ඉස්ට කොලා, හා බොලාත් දැන් සම්මාදන් වෙයල්ලා :)

      Delete
    3. බලන් හිටහං දත කට මැද‍ගෙන..... :-P

      Delete
    4. සහතික ඇත්ත දඩි නරිස්. ඔය කඩල කාරයො සාරවිට කාරයො සංගීතෙ නොබැලුවට ඒකෙන් කීයක් හරිහම්බුකොරගන්නව වගේ තමයි අපට මේකත්.

      අහරෙ මරාගෙන කාගෙන නටන්න ඕන පදන් තැන් තිබ්බට,මේක වෙච්චිකොට සීරියස් විද්වත් සාර ගර්භ කතිකාවතක් කොරන්ට ඉතුරුවෙලා තීන එකම තැන , නවත්තන්න හිතන්නනං එපා බොල දෙන්න.

      Delete
    5. පොත් සෙට් එකම පරිවර්තනේ කොරනවා නම් ඉතින් එළකිරි තමයි ඈ
      (මේක එළකිරි නැතුව නෙවෙයි)
      මේ මගුල හරියට වැටහෙන්නේ පොත් ඔක්කොම කියවලා මාස දෙකක් විතර එව්වා ගැන හිතපුහම තමයි. ඒ කරලා තවත් අපි වගේම පිස්සෙක් හොයාගන මේකේ අස්සක් මුල්ලක් නෑර තර්ක කොරන්ට ඔනෑ. නැතුව මේකේ ෆුල් ෆන් එක ගන්නවා බොරු ඔන්න.

      Delete
    6. පොත් සෙට් එකම පරිවර්තනේ කරනවා නම් එළකිරි තමා.. ඒ වුනත් ඒකට සපෝර්ට් එකක් ඉල්ලුවහම කට්ටිය ඒක මේක කියලා මඟ ඇරියා නොවැ.. :-)

      Delete
    7. ඔව්.. මං මේ අවස්ථාවේදී මොටා මහතාගේ යෝජනාවට තරයේ එකගවෙමින් එය ස්ථිර කොරනවා.. ඔව්..

      Delete
    8. //සපෝර්ට් එකක් ඉල්ලුවහම කට්ටිය ඒක මේක කියලා මඟ ඇරියා...//

      හෑ, කොයි එකාද? අම්මපා නෙලන්න හිතෙනව අතට අහු වුනු එකකින්, තඩි ඇට ක‍ටුවක් වුනත් කාරි නෑ. මේ ඒක නෙමෙයි බුරෝ, දැං ගුගල් ට්‍රාන්ස්ලේට තියෙන එකේ බැයිද ඒකෙන් පොඩි සපෝට් එකක් ගන්න, ඔය නැට්ට නැති ව... ආඩම්බර බලන්නෙ නැතුව?

      මං දන්නවා ගූගල් ට්‍රාන්ස්ලේට් ටිකක් මඤ්ඤං කියලා. මං කියන්නෙ ඒක සැකිල්ල විදිහට අරගෙන, කොහොමත් ඔබතුමා සෝදුපත් බලන නිසා, එහෙම බැරිද කියලයි?

      පොං, නාග, සිංහ පාත්ත වර්ගයා වෙත මගේ නරි ආචාරය

      Delete
    9. GRRM :
      “She was hungrier than I would have believed. We finished two whole chickens and part of a third, and drank a flagon of wine, talking. I was only thirteen, and the wine went to my head, I fear. The next thing I knew, I was sharing her bed. If she was shy, I was shyer. I’ll never know where I found the courage. When I broke her maidenhead, she wept, but afterward she kissed me and sang her little song, and by morning I was in love.”

      Google:
      "ඇය මට විශ්වාස ඇත වඩා hungrier විය. අපි දෙදෙනා මුළු කුකුළන් සහ තෙවන කොටසක් අවසන්, කතා, වයින් flagon පානය කළහ. මම බිය, මම වසර දහතුනක් වූ අතර, වයින් මගේ හිස ගියා. මම දැනගෙන හිටියා ඊළඟ දෙයක්, මම ඇය ඇඳ බෙදා විය. ඇය ලැජ්ජාශීලී නම්, මම shyer විය. මම ධෛර්යය සොයා කියාවත් මම දන්නේ නැහැ කරන්නම්. මම ඇය maidenhead කඩා විට, ඇය හඬා, නමුත් ඊට පස්සේ ඇය මට සිප හා ඇගේ කුඩා ගීතය ගායනා, උදය විසින් මම ආදරය විය. "

      DGM Bassa:

      හුටා! ඔය කෙලල තියෙන්නෙ තාප්පෙට

      Delete
    10. හොඳට තියෙයි ඔහොම කතා ට්‍රාන්ස්ලේට් කලොත් :D

      Delete
    11. හුටා නේන්නං.

      වඳුරන් සරණං ගච්චා......මි

      Delete
    12. මගේ හුස්මත් හිර වුනා බස්සාගේ පරිවර්තනය දැකලා. බූරාට දැන් කවුරුත් ඕනිවෙන එකක් නෑ. :D:D


      Delete
    13. බකුස් ප්‍රමුඛ සත්ව වරිගයා සහ ටයනි නෝනා ඇතුළු බලවත් උන්දැලා වෙත,

      අපි දවසට දහය ගානෙවත් වැලිඩේට් ගෝ ට්‍රාන්ස්ලේට් කරොත් ගූගල් ට්‍රාන්ස්ලෙන් වැඩක් ගන්න හැකි මට්ටමට දියුණු කරන එක අමාරු නෑ. මේ වෙනකොට මම 61 ට්‍රාන්ස්ලේට් කරල 126 වැලිඩේට් කරල තීනව. මේකට අපි උදව් නොකරොත් වෙන්නෙ බයිස්කෝප් සිංහලෙන් පෙන්නන දරුවො වගේ අය ගිහිල්ල අල කරන එකයි.

      Delete
    14. @ඉන්දික උපශාන්ත

      හොඳ අදහසක්. මම නිකමට A Clash of Kings එකේ කොටසක් අරගෙන පරිවර්තනය කරන්න හැදුවා. හනේ අම්මේ , ඒක ඉල ඇදෙන වැඩක් ලොක්කා.

      මට එක දැයක් නං කලෑකි, ඒත් බුරා මාව බාල්කෙ තනි තට්ටෙන් එල්ලලා බොක්සිං ගහන්නෙ නෑ කියල පොරොන්දු වෙනව නං විතරයි, දැන් මේ අපේ පරිවර්ථක ඩබොල මහන්සි වෙලා කරපු A Game of Thrones කොටස් තියනවා නෙව. මට එව්වා Google Translate එකේ කොපි පේස්ට් කලෑකි :)

      Delete
  5. පහුගිය දිනවල කරදර ගොඩක් තිබුනා. ඒ නිසා මේ පැත්තේ එන බැරිවුනා. මගහැරුණු කොටස් ටිකත් කියෙව්වා. මේ විස්තර වලින් ඉතා හොඳින් නිරූපණය වෙනවා, ඒකාලේ සමාජ රටාව සහ රජුගේ/රදලයන්ගේ පාලනයේ ස්වභාවය මෙන්ම, සාමාන්‍ය මිනිසා සමාජයේ කෙබඳු තැනකද හිටියේ කියන එක.

    ReplyDelete
    Replies
    1. විචාරක මේ පැත්තේ කාලෙකින් තමා.. බ්ලොග් එකෙත් සෑහෙන දවසකින් ‍හොඳ රසවත් ලිපියක් ලියැවුනෙත් නෑ නේද..

      ඒ කාලෙ සාමාන්‍ය ජනතාව කියන්නෙ නිකං පයට පෑගෙන කැරපොත්තො ගානයි නේද..

      Delete
    2. විචාරකගේ පෝස්ට් එකක දැක්කා. හරිම කණගාටුයි විචාරක.:(

      Delete
  6. මේ කුරුමිට්ටා ආදරය විශ්වාසය වගේ දේවල් වලට මේ තරම් හිනාවෙන හැම දෙයක්ම සල්ලි වලට ගන්න බලාගෙන ඉන්න එකෙක් වුනේ ඇයි කියලා මට ප්‍රශ්නයක් තිබුණා... කුරුමිට්ටෙක් වීම විතරක්ම ඒකට හේතුවක් වෙන්න බෑනේ... අද තමයි ඒකට හේතුව පැහැදිලි වුනේ...

    ReplyDelete
    Replies
    1. හේතුව හා ඵලය...

      Delete
    2. කොට්ටු කවදත් පොලවේ පයගහලා ඉන්න එල කොල්ලෝ...

      Delete
  7. මම නං පොඩි නිවාඩුවක් අරං, ඇවිත් කතන්දර ටිකත් කියවලා ඉවර කලා... ඒ අතර තුන් වෙනි පොත පටන් ගත්තා... :)

    ReplyDelete
    Replies
    1. මෙන්න ඉන්නවා හොඳ දරුවෙක්... :-)

      Delete
    2. හී හී නිදාගත්තාම තව හොඳයිලු...

      Delete
  8. අයියෝ කොච්චර කාලෙකට පස්සෙද මේ පැත්තෙ එන්න ලැබුණේ . පොඩ්ඩිට පින්සිද්ද වෙන්න කලින් කොටස් දෙක කියෙව්වා.ඒත් ඉතින් කමෙන්ට් කරන්න නම් කොහොමටත් විදිහක් තිබ්බෙ නැහැ :(

    ReplyDelete
    Replies
    1. හපොයි මේ ඉන්නේ....මම බය වුනා එන අවුරුද්ද වෙනකල් දකින්ට බැරිවෙයි කියලා...:D

      Delete
  9. බලාගෙන යද්දි කොටා කියන්නෙත් මග පුදුම මිනිහෙක් තමයි. බලමුකො බලමුකො ඉස්සරහට මොකද වෙන්නෙ කියලා.

    මේ දවස් වල් කියවන්න පරක්කු වෙන්නෙ අසනිප තත්වය හන්දා. කොහොමහරි පුලුවන් වෙලාවට බලනවා එකතු උනාම කරදර හන්දා.

    ReplyDelete
    Replies
    1. තාමත් අසනීපද දිනේශ්? :(

      Delete