Wednesday 17 December 2014

එඩාර්ඩ් 11

යකඩ සිංහාසනය

රතු බලකොටුවේ සුවිසල් සිහසුන් කාමරයේ වූ උස්, පටු කවුළු තුළින් ගලා ආ සැඳෑ හිරු රැස් බිම මත අලංකාර කැටයම් අඳිමින් තිබින. ඒ හිරු රැස් විසින් කලෙකට පෙරදී දැවැන්ත මකර හිස්කබල් එල්ලා තිබුනු එහි ගල් බිත්ති මත තද රත් පැහැ තීරු රටා නිමවා තිබින. මකර හිස්කබල් වෙනුවට මේ ගල් බිත්ති මත දැන් එල්ලී තිබුනේ කොළ, නිල් හා දුඹුරු පැහැයෙන් වර්ණවත් කෙරුනු දඩයම් දර්ශනයන්ගෙන් හැඩවුනු තිර රෙදි විය‍. එනමුදු නෙඩ්ට සිතුනේ මේ ශාලාව පුරා පැතිර පැවතුනු එකම වර්ණය ලේ රතු පැහැය පමණක් බවයි.

ශාලාව කෙලවරක උස් වේදිකාවක් මත පනවා තිබුනු ජයග්‍රාහක ඒගොන් ගේ පෞරාණික, උත්තුංග යකඩ සිංහාසනය මත ඔහු අසුන් ගෙන සිටියේ ය. එය ඇත්තෙන්ම අශෝභන ලෙස එකට ගෙතුනු යකඩ උල් හා තියුණු දාරවලින් සමන්විත දැවැන්ත යකඩ පුටුවක් විය. රොබර්ට් ඔහුට අනතුරු අඟවා තිබූ පරිද්දෙන්ම එය කිසිදු සැපපහසුකමක් නැති, කටුක භාණ්ඩයක් වූ අතර අන් කවරදාටත් වඩා අද ඔහුට එහි කටුක බව දැනෙමින් තිබුනි. ගතවන සෑම මොහොතක් පාසාම ඔහු ගේ බිඳනු පාදය වඩවඩාත් වේදනා ගෙනදෙමින් තිබුනි. ගතවන සෑම පැයක් පාසාම ඔහුට යටින් තිබුනු ලෝහ ගොඩ දරදඬුවෙමින් තිබුනු අතර පිටුපසින් වූ යකඩ උල් නිසා අසුනේ පසුපසට ඇලවීමට ද හැකියාවක් නොවිනි. 'රජෙකු කිසිවිටෙකත් සැපපහසුවෙන් අසුන් නොගත යුතුය', ජයග්‍රාහක ඒගොන් එසේ පවසා තිබුනේ සිය සතුරන් විසින් අතහැර දමන ලද අසිපත් සමූහය එක් කොට, එකට පාස්සා දැවැන්ත සිහසුනක් නිමවන්නැයි සිය කම්මල්කරුවන්ට අණ දුන් දවසේය. 'ජයග්‍රාහක ඒගොන් යකාටම ගියාවේ!', නෙඩ් බුම්මාගත් මුහුණින් යුතුව සිතුවේය. 'රොබර්ටුයි එයාගෙ මේ මලඉලවු දඩයම් සවාරිත් යකාටම ගියාවේ!'

"උඹලාට හොඳටම විශ්වාසද මේ නිකංම නිකං මංකොල්ලකාර පල්හොරු නෙවෙයි කියලා?" සිහසුනට පහළින් තිබුනු රාජසභා මේසයේ අසුන් ගෙන සිටි වාරිස් ඇසීය. ඔහු පසෙකින් සිටි ප්‍රධාන මේස්ටර් පයිසෙල් නොසන්සුන් අයුරින් සිය අසුන මත ඇඹරෙද්දී සුළැඟිල්ලා අතැඟිලි අතර පෑනක් කරකවමින් සිටියේය. අද දින රාජසභාවට සහභාගි වී සිටි රාජසභිකයින් වූයේ ඔවුන් තිදෙන පමණකි. රජවනයේ සුදු පැහැ ගෝනකු සැරිසරන බවට ආරංචියක් පැතිර ගොස් තිබුනු අතර රෙන්ලි උතුමානන් හා සෙර් බැරිස්ටාන් ඌව දඩයම් කිරීම පිණිස රජු විසින් සංවිධානය කෙරුනු දඩයම් සවාරියට එක්ව සිටියහ. ඔවුන් සමගින් ජොෆ්රි කුමරා, සැන්ඩෝර් ක්ලිගේන්, බේලන් ස්වෝන් හා රාජසභාවෙන් බාගයක් පමණම පිටව ගොස් තිබින. ඉදින් රජතුමා වෙනුවට නෙඩ්ට යකඩ සිහසුනේ අසුන් ගැනීමට සිදුවී තිබින.

අඩුම තරමේ ඔහුට අසුන් ගැනීමට හෝ හැකියාව තිබින. මේ ශාලාව තුළදී රාජසභිකයින් හැරෙන්නට අනිත් සියල්ලන්ම නැගිට සිටීම හෝ බිම දණ නමා සිටීම චාරිත්‍රය විය. දොරවල් අසල පෙත්සම්කරුවෝ පොදිකමින් සිටියහ. නයිට්වරු, වංශාධිපතියෝ හා ආර්යාවෝ තිරරෙදි යට පේළි ගැසී සිටියහ. සාමාන්‍ය මිනිස්සු පිටත සක්මනෙහි රැඳී සිටියහ. සන්නාහ ලූ මුරභටයෝ - රන්වන් පැහැ සළු පැළැඳූ නගරාරක්ෂකයන් හෝ අළු පැහැ සළු පැළැඳූ ස්ටාර්ක් සෙබළුන් - සිය ආයුධ අතින් දරා මුරකාවලේ යෙදී සිටියහ. එනමුදු මේ සියල්ලන්ම නැගිට සිටීම අනිවාර්ය දෙයක් විය.

ඔහු ඉදිරියේ වූ ගැමියන් පිරිස බිම දණ නමා සිටියහ. පිරිමින්, ගැහැණුන් හා කුඩා දරුවන්, වෙහෙසින් මිරිකී ගිය, තුවාල වුනු, බියෙන් ඇලලී ගිය මුහුණින් යුතු මේ පිරිස ඇත්තෙන්ම දුක්ඛදායක දසුනක් විය. ඔවුන්ව මෙහි කැඳවාගෙන පැමිණි නයිට්වරුන් තිදෙනා ඔවුන් පසුපසින් සිටගෙන සිටියහ. "මංකොල්ලකාර පල්හොරු කියලද කිවුවෙ වාරිස් උතුමානනි?" සෙර් රේමන් ඩැරී ගේ ස්වරයේ අවඥාව හා පරිභවය ගැබ්ව තිබින. "ආහ්! ඔවු. කිසිම සැකයක් නෑ, උං පල්හොරු තමා. ලැනිස්ටර් පල්හොරු."

මේ කතාවට සවන් දීම පිණිස වංශාධිපතීන් හා ඔවුන් ගේ සේවකයන් ඇතුළු සියල්ලෝම මහත් උනන්දුවෙන් එදෙසට එබී බලද්දී ශාලාව තුළ පැතිර ගිය නොසන්සුන් බව නෙඩ්ට හොඳින් වැටහී ගියේය. කැට්ලින් විසින් ටිරියන්ව පැහැරගත් දා සිට මුළු බටහිර පළාතම ගිනි ඇවිලෙන්නට ඔන්න මෙන්න කියා තිබෙන ගිනිපුළුන් ගුලියක් මෙන් විය. රිවර්රන් හා කාර්ස්ටලී රොක් යන දෙකොටසම සිය ධජ කැඳවා තිබුනු අතර ගෝල්ඩන් ටූත්වලට පහළින් වූ කපොල්ල දෙපස හමුදා රැස්වෙමින් තිබින. රුධිර ගංගා ගලායන යුද්ධයක් ඇරඹෙන්නට යන බව නිශ්චිත කරුනක් වූ අතර එය කවදා කෙසේ ඇරඹේද යන්න පමණක් අවිනිශ්චිත විය. තිබුනු එකම ප්‍රශ්නය වූයේ මේ රුධිරය ගලායාම අඩු කල හැකි හොඳම ක්‍රමය කුමක්ද යන්නයි.

සෙර් කේරිල් වාන්ස් බිම දණනමා සිටි ගැමියන් දෙසට අත දිගුකලේ ය. "මේ තමා ෂෙරර් ගමෙයි බලකොටුවෙයි ඉතුරුවෙලා ඉන්න එකම පිරිස එඩාර්ඩ් උතුමානනි. අනිත් උං ඔක්කොම මරලා දාලා. ඒ වගේම වෙන්ඩිෂ් ටවුන්වලයි, මමර්ස් ෆෝර්ඩ්වලයි මිනිස්සු හැමෝමත් මරලා දාලා."

"නැගිටපල්ලා." නෙඩ් ගැමියන්ට විධාන කලේය. බිම දණ ඇනගෙන සිටින කිසිවෙකු කියන්නක් විශ්වාස නොකල යුතු බැව් ඔහු අත්දැකීමෙන් දැන සිටියේ ය. "උඹලා හැමෝම නැගිටපල්ලා."

ෂෙරර්හි ගැමියෝ එකා දෙන්නා බැගින් නැගී සිටින්නට වූහ. එක් මහල්ලෙකුව නැගිට්ටුවීමට අනිකුන් ගේ සහය අවශ්‍ය වූ අතර ලෙයින් පෙඟී ගිය ගවොමක් හැඳ සිටි දැරියක් තවමත් බිම දණ ඇනගෙන කිසිත් නොදකින හිස් දෑසින් සෙර් ඒරිස් ඕක්හාර්ට් දෙස බලාගත්වනම සිටියාය.

"ජොස්." සෙර් රේමන් ඩැරී මහත, තට්ට හිසැති මිනිසකුට කතාකලේ ය. "ෂෙරර්වල මොකක්ද සිද්දවුනේ කියලා රජතුමා‍ගෙ හස්තයට කියපං."

ජොස් හිස වැනීය. "මගේ ස්වාමීනි, ඔබතුමා සතුටුනං-"

"උඹේ ස්වාමීන් ගඟට එහා පැත්තෙ කැලේ දඩයම් කරනවා." නෙඩ් කීවේ රතු බලකොටුවේ සිට දවස් කිහිපයක දුරින් වෙසෙන්නෙකු පවා තමන් ගේ රජතුමා කවරාකාරයේ පුද්ගලයකුදැයි නොදැන සිටීම ගැන පුදුමවෙමිනි. "මම එඩාර්ඩ් ස්ටාර්ක්, රජතුමාගෙ හස්තය. මට කියපන් උඹ කවුද, මේ අශ්වාරෝහකයො ගැන උඹ මොනවද දන්න විස්තර කියලා."

"මයෙ උතුමානනි, මම ෂෙරර්වල ගල්පාලම ගාව තැබෑරුමක් පවත්වගෙන යනවා... පවත්වගෙන ගියා. බෙල්ලෙන් පහළ දකුණුකරේ තියෙන හොඳම ඒල්. හැමෝම කිවුවෙ එහෙමයි මයෙ උතුමානනි. මට සමාවෙන්ට මයෙ උතුමානනි. ඒකත් දැන් අනිත් හැමදෙයක්ම වගේ නැතිවෙලා ගිහිල්ලා මයෙ උතුමානනි. උං ඇවිල්ලා උංට ඇතිපදං බීලා අනිත් ඔක්කොම ටික හලලා දැම්මා මයෙ උතුමානනි. ඊටපස්සෙ උං තැබෑරුමට ගිනිතිබ්බා. උංට මාව අහුවුනානං මාවත් ඉවරයි මයෙ උතුමානනි."

"උං හැමතැනම ගිනිතිබ්බා." ඔහු පසෙකින් සිටි ගොවියෙක් කීය. "උං ආවෙ රෑ අන්ධකාරෙට මුවා වෙලා, දකුණුකරේ ඉඳන්. උං ගොවිපලවලටයි, ගෙවල්වලටයි හැමතැනටම ගිනිතිබ්බා. උංව නවත්තන්ට හදන එවුන්ව මරලා දැම්මා. ඒ වුනත් උං මංකොල්ලකාරයො නෙවෙයි මයෙ උතුමානනි. උංට අපේ සත්තු පැහැරගන්ට කිසිම උවමනාවක් තිබ්බෙ නෑ. උං මගේ කිරි එළදෙන එතැනම කපලා මරලා දැම්මා. ඊටපස්සෙ මළකඳ එහෙම්මම දාලා යන්ට ගියා."

"උං මගේ පුහුණුවෙන කොල්ලාව යටකරලා මරලා දැම්මා." කම්මල්කරුවකු ගේ දැවැන්ත මාංශ පේශීන්ගෙන් හෙබි, නළල වටා වෙළුම් පටියක් ඔතාගෙන සිටි තරබාරු මිනිසෙක් කතාකලේය. "උං අස්සයො පිටේ නැගලා, ලන්සවලින් ඇන ඇන ඒ කොල්ලාව ගොවිපලේ එහාටයි මෙහාටයි පැන්නුවා. ඌ වේදනාවෙන් කෑ ගගහා, බිම වැටී වැටී, එහාට මෙහාට දුවද්දි උං මේක නිකං සෙල්ලමක් වගේ අරන් මහ හයියෙන් හිනාවෙවී ඌ පස්සෙන් පැන්නුවා. අන්තිමේදි අර මහ දැවැන්ත මිනිහා කොල්ලාව මැරෙන්ටම ඇන්නා."

බිම දණ නමාගෙන සිටි දැරිය ඇයට ඉහළින් සිහසුනේ අසුන් ගෙන සිටින නෙඩ් දෙස ගෙල දිගුකර බැලුවාය. "උං මගේ අම්මාවත් මරලා දැම්මා මගේ ස්වාමිනී. ඊටපස්සෙ උං... උං..." ඇගේ හඬ බිඳී ගියේ කියන්නට සිටි දෙය අමතක වූවාක් මෙනි. ඇය ඉකිබිඳින්නට පටන්ගත්තා ය.

සෙර් රේමන් ඩැරී ඔවුන් කතාව නැවතූ තැනින් පටන්ගත්තේ ය. "වෙන්ටිෂ් ටවුන්වල මිනිස්සු හැමෝම උංගෙ බලකොටුව අස්සට රිංගගත්තා. ඒ වුනත් ඒ බලකොටු ප්‍රාකාර හදලා තිබුනෙ ලී වලින්. මංකොල්ලකාරයො ඒ ප්‍රාකාරවලට පිදුරු මිටි හේත්තුකරලා ගිනිතිබ්බා. බාගෙට බාගයක් මිනිස්සු ඇතුළෙම පිච්චිලා මලා. අනිත් එවුන් ගින්නෙන් බේරෙන්ට ගේට්ටු කඩාගෙන එළියට පනිනකොට අරුන් ඊතලවලින් විදලා මිනිස්සු මැරුවා. කිරිදෙන ළමයි ඉන්න ගෑනියෙක්වවත් උන් ඉතුරු කලේ නෑ."

"කොච්චර භයංකාරද." වාරිස් මිමිනීය. "මිනිස්සු කොහොමද මෙච්චර කුරිරු වෙන්නෙ?"

"උං අපිටත් ඒකම තමා කරන්ට හැදුවෙ. ඒ වුනත් අපේ බලකොටු ප්‍රාකාරෙ හදලා තියෙන්නෙ ගල්වලින්." ජොස් කීවේය. "සමහර එවුන්ට ඕන වුනා ‍මොකක් හරි කරලා අපිව බලකොටුවෙන් එළියට ගන්ට. ඒ වුනත් අර දැවැන්ත මිනිහා කිවුවා මීට වඩා හොඳ ඒවා ගඟ ඉහළ තියෙනවා කියලා. ඊටපස්සෙ උං මමර්ස් ෆෝර්ඩ්වලට ගියා."

සිහසුන අල්ලාගෙන ඉදිරියට නැඹුරුවෙද්දී සීතල වානේවල පහස සිය අතැඟිලිවලට දැනෙනු නෙඩ්ට හැඟින. සෑම අතැඟිල්ලක්ම අතරින් අසිපත් තුඩක් මතුව තිබුනි. එකට අඹරා පාස්සන ලද අසිපත් සමූහයේ තුඩු නියපහුරු මෙන් සිහසුනේ අත්වාරුවලින් පිටට නෙරා තිබුනි. සියවස් තුනකට පසුව අද පවා මේ සමහර අසිපත් තුඩු අතක් පයක් කපාදැමීමට තරම් තියුණු මුවහතකින් යුතු විය. අපරීක්ෂාකාරී පුද්ගලයෙකුට යකඩ සිහසුන වනාහී මර උගුලක්ම විය. ගී සැහැලිවල කියැවෙන අන්දමට මේ සිහසුන තැනුනේ බැලේරියන් හෙවත් කළු රෞද්‍රයා ගේ මකරාග්නියෙන් උණුකර එකට පෑස්සූ අසිපත් දහසකිනි. ඒවා එකට තබා මිටිපහර ගසා පාස්සන්නට පනස් නව දවසක් ගතවී තිබින. එහි අවසන් ප්‍රතිඵලය වූයේ එකට ගෙතුනු යකඩ තුඩු, තියුණු දාරයන්, හා යකඩ පටිවලින් නිර්මිත මේ කළු පැහැ, බොකු ගැහුනු දැවැන්තයා විය. මේ පුටුවට මිනිසකු මරාදැමිය හැකි විය. ප්‍රවාද විශ්වාස කල හැකි නම් එය එසේ මිනිසුන් මරා දමා තිබුනි.

එඩාර්ඩ් ස්ටාර්ක් මේ මරඋගුලේ අසුන්ගෙන කුමක් කරන්නේදැයි යන්න ඔහුටද තේරුම්ගත නොහැකි ප්‍රහේලිකාවක් විය. එනමුදු ඔහු එහි අසුන්ගෙන සිටින අතර මේ මිනිස්සු ඔහුගෙන් යුක්තිය අපේක්ෂා කර සිටිති. "මේ මිනිස්සු ලැනිස්ටර්ලායි කියන්ට මොකක්ද උඹලාට තියෙන සාක්කිය?" ඔහු ඇසීය. සිය කේන්තිය සඟවාගනු පිණිස ඔහුට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය. "උන් ලේ රතුපාට සළු ඇඳන් හිටියද නැත්තම් සිංහ කොඩියක් උස්සගෙන ආවද?"

"ලැනිස්ටර්ලා වුනත් එච්චරටම මෝඩයො වෙයි කියලා හිතන්ට බෑ." සෙර් මාර්ක් පයිපර් කීවේය. ඔහු තරුණ මදයෙන් මත් වූ, වහා කිපෙන, ලේ රත්වනසුළු පුද්ගලයකු විය. නෙඩ් ගේ සිතේ මොහු ගැන එතරම් කැමැත්තක් නොතිබුනු නමුදු සෙර් මාර්ක් කැට්ලින් ගේ සොයුරා, එඩ්මුයර් ටලී ගේ අඹ යහළුවකු විය.

"ඒ හැම මිනිහෙක්ම අශ්වයො පිටේ නැගලා සන්නාහ ඇඳලයි හිටියෙ මගේ උතුමානනි." සෙර් කේරිල් සන්සුන් ස්වරයෙන් කීය. "උන් දිග කඩුයි, වානේ තල තියෙන ලන්සයි අරන් හිටියෙ. ඒ වගේම මිනිස්සු මරලා දාන්ට යුද්ධ පොරෝ අරන් ඇවිත් හිටියෙ." ඔහු ගැමියන් පිරිස අතර සිටි එක් පුද්ගලයකුට සංඥා කලේය. "ඒයි උඹ. ඔවු උඹ තමා. කවුරුවත් මෙතැන උඹට හිරිහැර කරන්ට යන්නෙ නෑ. උඹ මට කියාපු දේ රජතුමාගෙ හස්තයටත් කියපං."

මහලු මිනිසා හිස නැමීය. "උංගෙ අස්සයො. උං නැගලා ආවෙ යුද්ධ අස්සයො පිටේ. මම නාකි සෙර් විලම්ගෙ ඉස්තාලවල අවුරුදු ගානක් වැඩකරලා තියෙනවා. ඒක නිසා මට පුළුවන් දැක්ක ගමන් වෙනස අඳුරගන්ට. මේ ආපු එක අස්සයෙක්වත් කවදාවත් නගුලක් ඇදපු එකෙක් නෙවෙයි. මං වැරැදිනං දෙයියොම බලාගන්ට ඕන."

"යුධ අශ්වයො පිටේ නැගපු මංකොල්ලකාරයො." සුළැඟිල්ලා නිරීක්ෂණය කලේය. "සමහරවිට උන් මංකොල්ලකාපු අන්තිම තැනින් මේ අශ්වයො පැහැරගන්ට ඇති."

"මේ මංකොල්ල කණ්ඩායමේ කොච්චර විතර මිනිස්සු හිටියද?" නෙඩ් විමසීය.

"අඩුම ගානෙ මිනිස්සු සීයක්වත්." ජොස් පිළිතුරු දුනි. ඒ සමගින්ම වෙළුම්පටියකින් නළල වැසූ කම්මල්කරුවාද පිළිතුරු දුනි. "පනහක් විතර." ඊට පිටුපසින් සිටි මැහැලියද කට ඇරියාය. "උං සියගානක් මයෙ උතුමානනි. උං හමුදාවක්."

"ඔබ හිතනවාටත් වඩා ඔබ හරි, මගෙ හොඳ අම්මෙ." එඩාර්ඩ් ඇයට කීය. "උඹලා කියනවා උන් කිසිම ධජයක් අරන් ආවෙ නෑ කියලා. උං ඇඳලා හිටිය සන්නාහ කොහොමද? උඹලා කවුරුහරි දැක්කද මොකක්හරි සලකුණක්? උංගෙ පලිහවල හරි උංගෙ ශිරස්කවල හරි?"

ජොස් හිස සැලීය. "සමාවෙන්ට මයෙ උතුමානනි. එහෙම එකක් තිබුනෙ නෑ. උංගෙ සන්නාහවල කිසිම සලකුණක් තිබ්බෙ නෑ. ඒ වුනත්... උංගෙ නායකයා. ඌත් ඇඳලා හිටියෙ අනිත් එවුන්ගෙ වගේ සන්නාහම තමා. ඒ වුනත් ඌව හොඳටම වෙන්කරලා අදුරගන්ට පුළුවන් වුනා. ඌ මහ විසාල දැවැන්තයෙක් මයෙ උතුමානනි. දැන් කාලෙ වෙනකොට යෝධයො ඔක්කොම මැරිලා කියන එවුන් මේකාව දකින්ට තිබ්බෙ. මම දිවුරනවා. ඌ කුළු හරකෙක් වගේ විසාලයි. උගෙ කටහඬ නිකං ගල් පෙරලෙනවා වගේ ගොරෝසුයි."

"කන්ද!" සෙර් මාර්ක් මහ හඬින් කීවේය. "කාටවත් ඒ ගැන සැකයක් තියෙනවද? මේක ග්‍රෙගර් ක්ලිගේන්ගෙ වැඩක්."

ශාලාවේ සෑම දෙසින්ම නැග ආ කටුකුටු හඬ නෙඩ්ට ඇසෙන්නට විය. පිටත සක්මනේ පවා නොසන්සුන් කෙඳිරීම් ඇසෙන්නට විය. සෙර් මාර්ක් පයිපර් කී දේ සැබෑවක් නම් සිදුවිය හැකි දේ උසස් වංශාධිපතිවරුන් මෙන්ම සාමාන්‍ය ජනයාද දැන සිටි දෙයක් විය. සෙර් ග්‍රෙගර් ක්ලිගේන් වනාහි ටයිවින් ලැනිස්ටර් උතුමානන් ගේ ධජ දරන්නෙකු විය.

ගැමියන් ගේ බියෙන් මිරිකී තිබුනු මුහුණු නෙඩ් නිරීක්ෂණය කලේය. ඔවුන් මෙසේ බියෙන් ඇලලී සිටීම මහ පුදුමයක් නොවේ. ටයිව්න් උතුමානන් ම්ලේච්ඡ මිනීමරුවකු බව ඔහු ගේ බෑණා වන රජතුමා ඉදිරිපිටදී ප්‍රකාශ කිරීමට තමන්ව මෙහි කැඳවාගෙන ආ බව ඔවුහු දැන සිටියහ. මේ නයිට්වරුන් ඔවුන්ට වෙනත් තෝරාගැනීමක් දුන්නාදැයි යන්න සැකසහිත විය.

ප්‍රධාන මේස්ටර් පයිසෙල් මහත් බරපතල අයුරින් රාජසභා මේසයෙන් නැගිට සිටගත්තේ ය. ඔහු ගේ ගෙලෙහි වූ මේස්ටර් දම්වැල ක්ලින්ග් හඬින් නද දෙන්නට විය. "සෙර් මාර්ක්, මෙහෙම කියනවට අමනාපවෙන්ට එපා. ඔබට හරියටම කියන්ට බෑ මේ පල්හොරා සෙර් ග්‍රෙගර් කියලා. මේ රාජධානියෙ තවත් ඕන තරම් දැවැන්ත මිනිස්සු ඉන්නවා."

"අශ්වයා පිටේ යන කන්ද තරම් දැවැන්ත මිනිස්සු?" සෙර් කේරිල් ඇසීය. "මටනං මෙච්චර කාලෙකට එහෙම කෙනෙක් මුනගැහිලා නෑ."

"මෙතන ඉන්න කිසිම මිනිහෙක් දැකලා නෑ." සෙර් ‍රේමන් ද උණුසුම් අයුරින් වාදයට එක් විය. "ඌත් එක්ක බලද්දි උගෙ සහෝදරයා වුනත් නිකං බලු පැටියෙක් ගානයි. මගේ උතුමනි, ඔබලාගෙ ඇස් ඇරලා බලන්ට‍. ඔබලා බලන් ඉන්නෙ මේ මලකඳන්වල උගෙ වංශ සලකුණ පේනකම්ද? මේක ග්‍රෙගර්ගෙ වැඩක්."

"මොකටද සෙර් ග්‍රෙගර් මංකොල්ලකාරයෙක් වෙන්නෙ?" පයිසෙල් ඇසීය. "එයාගෙ වංශාධිපති උතුමානන්ගෙ අණසක යටතේ එයා බලකොටුවක් පාලනය කරනවා. එයාට එයාගෙම වතුපිටි තියෙනවා. මේ මනුස්සයා සප්තාලේපනයෙන් අභිෂේක ලබාපු නයිට්වරයෙක්."

"ඌ බොරු නයිට්වරයෙක්." සෙර් මාර්ක් ගෙරෙවුවේ ය. "ටයිවින් උතුමානන්ගෙ පිස්සු බල්ලා."

"මගේ හස්තයේ උතුමානනි," පයිසෙල් දරදඬු ස්වරයෙන් කතාව ඇරඹීය. "මම ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා අපේ මේ හොඳ නයිට්වරයාට මතක්කරලා දෙන්ටයි කියලා ටයිවින් ලැනිස්ටර් උතුමානන් කියන්නෙ අපේ කරුනාභරිත රාජෝත්තමියගෙ තාත්තා කියන එක."

"බොහොම ස්තූතියි මේස්ටර් පයිසෙල්!" නෙඩ් කීය. "ඔබ ඒක මේ වෙලාවෙ මතක්කරලා දුන්නෙ නැත්තම් අපට ඒ බව අමතක වෙන්ටත් තිබුනා."

ඉහළ වේදිකාවක තිබුනු සිංහාසනයේ සිටි නෙඩ්ට ශාලාවේ ඈත කොණේ සිටි සමහර මිනිසුන් හෙමින් සීරුවේ දොරින් ලිස්සා යන අයුරු නිරීක්ෂණය කල හැකි විය. 'ඔත්තු බලන හා පැටවු ආපහු දුවනවා', ඔහු සිතුවේය... එහෙමත් නැත්තම් 'රැජිණගෙ කේජු කෑල්ල ලෑටිගාන්ට දුවන මීයො.' පිටත සක්මනෙහි සිය දියණිය සන්සා සමග සිටින සෙප්ටා මෝර්ඩේන් ඔහු ගේ නිරීක්ෂණයට හසුවිය. මෙය නෙඩ් ගේ කෝපයට හේතුවක් විය. මෙය කුලීණ ගැහැණු ළමයෙකුට මෙහි පැමිණීමට සුදුසු අවස්ථාවක් නොවීය. එනමුදු සාමාන්‍යයෙන් සිදුවන පෙත්සම් ඉදිරිපත් කිරීම්, ඉඩම් ආරාවුල් විසඳීම් වැනි දේ හැරෙන්නට අද දිනයේ මෙවන් විශේෂ සිදුවීමක් සිදුවෙතැයි යන්න ඇය නොසිතූ, නොදැන සිටි කරුනක් විය.

පහළින් වූ රාජසභා මේසයෙහි අසුන්ගෙන සිටි පෙටයර් බේලිෂ් සිය පිහාටු පෑන වෙත ‍යොමු කර තිබුනු අවධානය බැහැර කර ඉදිරියට නැමුනේ ය. "සෙර් මාර්ක්, සෙර් කේරිල්, සෙර් රේමන්, මටත් පොඩි ප්‍රශ්නයක් අහන්ට තියෙනවා. මේ බලකොටු හැම එකක්ම ඔබලාගෙ ආරක්ෂාව යටතෙයි තිබුනෙ. මේ මිනීමැරීම්, ගිනිතැබීම් සිද්ද වෙද්දි ඔබලා කොහෙද ගිහිල්ලා හිටියෙ?"

සෙර් කේරිල් වාන්ස් පිළිතුරු දුන්නේ ය. "මම ගෝල්ඩන් ටූත්වලට පහළින් තියෙන කපොල්ලෙ හිටපු මගේ තාත්තාව මුනගැහෙන්ට ගිහිල්ලයි හිටියෙ. සෙර් මාර්කුත් මගෙත් එක්කයි හිටියෙ. මේ සිද්දවෙච්චි විනාසෙ ගැන ඇහුවහම සෙර් එඩ්මුයර් ටලී අපට පණිවුඩයක් එවුවා සෙබළු ටිකක් අරන් හනිකට ගිහිල්ලා බේරිලා ඉන්න මිනිස්සු ඉන්නවානම් උන්ව හොයාගෙන ඉක්මන් කරලා රජතුමා ගාවට යන්ටයි කියලා."

සෙර් රේමන් ඩැරී කතාකරන්නට විය. "සෙර් එඩ්මුයර් මාව රිවර්රන්වලට කැඳෙවුවා මගේ සම්පූර්ණ ශක්තියත් එක්කම. මම ගඟට එහායින් රිවර්රන් ප්‍රාකාරවලට පිටින් කඳවුරු බැඳගෙන හිටියෙ එතුමාගෙ නියෝග ලැබෙනකම්. එතකොට තමා මට පණිවුඩේ ලැබුනෙ. මම හැකි උපරිම වේගෙන් ආපහු ගියත් ඒ වෙනකොටත් ග්‍රෙගර් උගෙ මඩපණුවො ටිකත් එක්ක රතු ගංගාවෙන් එතෙර වෙලා ලැනිස්ටර් කඳු පැත්තට යනවා."

සුළැඟිල්ලා කල්පනාකාරීව සිය උල් රැවුල පිරිමැද්දේ ය. "උන් ආයෙමත් ආවොත් ඔබ මොකක්ද කරන්ට හිතාගෙන ඉන්නෙ සෙර්?"

"උන් ආයෙමත් ආවොත් උන් ගිනි තියාපු ඉඩම් ටිකට වතුර දාන්ට උන්ගෙම ලේ ටික ගන්නවා." සෙර් මාර්ක් පයිපර් උණුසුම් ස්වරයෙන් කීය.

"වසම් මායිමේ ඉඳන් දවසක දුරින් තියෙන හැම ගමකටම, හැම බලකොටුවකටම සෙර් එඩ්මුයර් සෙබළු පිටත්කරලා ඇරියා." සෙර් කේරිල් පැහැදිලි කලේය. "ඊගාවට එන මංකොල්ල කණ්ඩායමට කලින් වතාවෙ වගේ ලේසි වෙන්නෙ නෑ."

'ඒක තමා මෝඩයො ටයිවින්ට ඕනකරලා තියෙන්නෙත්.' නෙඩ් තමාටම කියාගත්තේ ය. 'රිවර්රන්වල ශක්තිය තුනී කරලා දාන්ට. තමන්ගෙ සෙබළු හතරදිග්බාගෙටම යවලා විසුරුවලා දාන්ට මේ මෝඩ කොල්ලව පොළඹවන්ට.' ඔහු ගේ බිරිඳ ගේ සොහොයුරා තරුණ, ප්‍රඥාවට වඩා සාහසික බව ඇත්තෙකු විය. ඔහු සිය වසමේ සෑම බිම්අඟලක්ම රැකගන්නට, තමාගේ යටත්වැසියන් සියල්ලන්ම - පිරිමින්, ගැහැණුන්, ළමයින් - රැකගන්නට උත්සාහ දරනු ඇත. මේ බැව් දැනගන්නට තරම් ටයිවින් ලැනිස්ටර් කපටි ඥානය ඇත්තෙකු විය. "ඔබලාගෙ ගොවිබිමුයි, බලකොටුයි දැන් ආරක්ෂා සහිතනම්," සුළැඟිල්ලා ඇසීය. "ඔබලා දැන් මොනවද රජතුමාගෙන් ඉල්ලන්නෙ?"

"ගංගා නිම්නයේ වංශාධිපතියො රජතුමාගෙ සාමය රකිනවා." සෙර් රේමන් ඩැරී පැවසීය. "ලැනිස්ටර්ලා තමා සාමය කඩ කලේ. අපට අවසර ඕන ඒකට ප්‍රති-උත්තර දෙන්ට. ලෙයට-ලෙය, ආයුධවලට-ආයුධ. අපි ඉල්ලන්නෙ ෂෙරර්වලයි, වෙන්ඩිෂ් ටවුන්වලයි, මමර්ස් ෆෝර්ඩ්වලයි මිනිස්සු වෙනුවෙන් සාධාරණය."

"එඩ්මුයර් අපිත් එක්ක එකඟවෙනවා. අපි ග්‍රෙගර් ක්ලි‍ගේන්ට උගේ ක්‍රමයෙන්ම ආපහු ගෙවන්ට ඕන." සෙර් මාර්ක් නිවේදනය කලේය. "ඒ වුනත් නාකි හස්ටර් උතුමානන් අපට අණකලා ආපිට පහර දෙන්ට කලින් මෙහාට ඇවිල්ලා රජතුමාගෙ අවසරය ඉල්ලා හිටින්ටයි කියලා."

'නාකි හස්ටර් උතුමානන් වෙනුවෙන් දෙවියන්ට ස්තූති වේවා!' නෙඩ් සිතුවේය. ටයිවින් ලැනිස්ටර් වනාහි සිංහයෙකු මෙන්ම කපටි නරියකුද විය. ඔහු සැබැවින්ම රිවර්රන් ගම්මාන විනාශ කිරීම සඳහා සෙර් ග්‍රෙගර් එවුවානම් - ඔහු එසේ එවූ බව ගැන නෙඩ් තුළ කිසිදු සැකයක් නොවීය - ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පරෙස්සම ඔහු සපුරා තිබුනි. ඔවුන් පැමිණියේ රාත්‍රියේ අන්ධකාරයට මුවා වී, කිසිදු හඳුනාගැනීමේ සලකුණක් නොමැතිව, සාමාන්‍ය පල්හොරු කණ්ඩායමක් වශයෙනි. රිවර්රන් පෙරලා පහරදුන්නොත් සෙර්සිත් ඇගේ පියාත් දිවුරා පවසනු ඇත්තේ රජතුමා ගේ සාමය මුලින් කඩවූයේ ටලීවරුන් අතින් බවයි. ලැනිස්ටර්වරුන් අහිංසක බවයි. රොබර්ට් කාට කණ් දී කාව විශ්වාස කරනු ඇතිදැයි දන්නේ දෙවියන්ම පමණි.

ප්‍රධාන මේස්ටර් පයිසෙල් නැවතත් නැගී සිටියේය. "මගේ හස්තයේ උතුමානනි. මේ හොඳ මිනිස්සු විශ්වාස කරනවානම් සෙර් ග්‍රෙගර් එයාගෙ ශුද්ධ දිවුරුම පැත්තකට විසිකරලා දාලා මංකොල්ල කන්ටයි, බලහත්කාරකම් කරන්ටයි ගියා කියලා, එයාලට යන්ට කියන්ට සෙර් ග්‍රෙගර්ගෙ වංශාධිපති උතුමානන් ඉස්සරහට. එහෙට ගිහින් පැමිණිලි කරන්ටයි කියන්ට. මේ අපරාධ රජතුමාගෙ ඉදිරියට ගේන්ට අවශ්‍ය නෑ. එයාලා ටයිවින් උතුමානන්ගෙන් යුක්තිය ඉල්ලාගත්තාවෙ."

"මේ හැමදෙයක්ම රජතුමාගෙ යුක්තිය තමා." නෙඩ් ඔහුට කීවේය. "උතුර, දකුණ, නැගෙනහිර, බටහිර. මේ හැමතැනම අපි යමක් කරන්නෙ රජතුමාගෙ නාමෙන්."

"රජතුමාගෙ යුක්තිය." මේස්ටර් පයිසෙල් කීය. "එහෙමනම් එහෙම වෙච්චාවෙ. ඉතින්, අපි මේ ගැටළුව පැත්තකට දාමු රජතුමා ආපහු-"

"රජතුමා ගඟෙන් එහා පැත්තෙ දඩයමේ ගිහිල්ලා. එතුමා තව දවස් ගානකට ආපහු එන එකක් නෑ." එඩාර්ඩ් පැවසීය. "රොබර්ට් මාව මෙතන තියලා තියෙන්නෙ එයා වෙනුවෙන් පාලනය කරන්ට. එයාගෙ කණ් දෙකෙන් අහන්ට. එයාගෙ කටහඬින් අණදෙන්ට. ඒක නිසා මම ඒක තමා දැන් කරන්ට යන්නෙ... ඒ වුනත් මම එකඟවෙනවා අපි එයාට මේ විස්තරේ දැනුම් දෙන්ට ඕනයි කියලා." වංශවතුන් අතරේ හුරුපුරුදු මුහුණක් දුටු ඔහු කතා කලේය. "සෙර් රොබාර්."

ඉදිරියට පැමිණි සෙර් රොබාර් රොයිස් හිස නැමීය. "මගේ උතුමානනි."

"ඔබේ තාත්තා රජතුමාත් එක්ක දඩයමේ යෙදෙනවා. අද මෙතැන කතා වුන දේ ගැනයි, සිද්ද වෙච්ච දේ ගැනයි පණිවුඩයක් එයාලා ගාවට අරන් යන්ට පුළුවන්ද?"

"මම දැන්ම යන්නම් මගේ උතුමානනි."

"අපට සෙර් ග්‍රෙගර්ගෙන් පලිගන්ට යන්ට අවසර ලැබෙනවද?" මාර්ක් පයිපර් ඇසීය.

"පලිගන්ට?" නෙඩ් ඇසුවේය. "මම හිතුවෙ අපි කතා කර කර හිටියෙ යුක්තිය ඉටුකිරීම ගැන කියලයි. ක්ලිගේන්ගෙ කුඹුරු ගිනිතියලා, එයාගෙ මිනිස්සු මැරුවා කියලා රජතුමාගෙ යුක්තිය ඉෂ්ටවෙන්නෙ නෑ. ඒකෙන් වෙන්නෙ ඔබලාගෙ තුවාලවෙච්ච ආත්මාඩම්බරය ආයෙමත් ලැබෙන එක විතරයි." තරුණ නයිට්වරයා කෝපය නිසා නුසුදුසු යමක් කියා විරෝධය දැක්වීමට ප්‍රථම ඉවත බැලූ ඔහු ගැමියන් පිරිස ඇමතීය. "ෂෙරර්වල මිනිස්සුනේ. මට උඹලාගෙ ගෙවල් ආපහු දෙන්ට බෑ. උඹලාගෙ විනාශ වෙච්චි බවබෝග ආපහු දෙන්ට බෑ. උඹලාගෙ මැරිච්ච එවුන්ට ආපහු පණ දෙන්ටත් බෑ. ඒ වුනත් මට අපේ රජතුමා වෙන රොබර්ට්ගෙ නාමයෙන් යුක්තිය ඉෂ්ට කරන්ට පුළුවන් වෙයි සමහරවිට."

ශාලාව තුළ වූ සෑම දෑසක්ම ඔහු වෙත එල්ල වී බලාසිටින්නට විය. දෑතින් පුටු ඇන්දට බරදුන් නෙඩ් සෙමින් සිය දෙපා මතින් නැගිට සිටියේය. ඔහු ගේ කැඩුනු පාදය වේදනා ගෙන දෙන්නට විය. එනමුදු සිය වේදනාව මුහුණින් නොපෙන්වා සිටීමට ඔහු හැකි උපරිම උත්සාහය ගත්තේ ඔහු ගේ දුබලකම ඔවුන්ට පෙන්වීමට මෙය අවස්ථාවක් නොවූ බැවිනි. "මුල් මිනිස්සු විශ්වාස කලා මරණ දන්ඩණය නියම කරන විනිශ්චයකාරයාම කඩුව අතට අරන් මරණ දන්ඩණය දෙන්ටත් ඕන කියලා. උතුරේ ඉන්න අපි තාමත් ඒක විශ්වාස කරනවා. මා වෙනුවෙන් කෙනෙක්ව මරන්ට තවත් කෙනෙක් යවන්ට මම කොහෙත්ම කැමැති නෑ... ඒ වුනත් පේන විදියට නම් මට වෙන විකල්පයක් නෑ." ඔහු කැඩුනු පාදය වෙත අත දිගුකලේය.

"එඩාර්ඩ් උතුමානනි." ශබ්දය නැගුනේ ශාලාවේ බටහිර පැත්තෙනි. කඩවසම් තරුණ කොලු ගැටයෙක් නිර්භීත අන්දමින් ඉදිරියට පිය මැන්නේය. සන්නාහය නැති මේ මොහොතේ සෙර් ලෝරාස් ටිරල් වෙතින් දිස්වූයේ වසර දහසයටත් වඩා අඩු ලාබාල පෙනුමකි. ඔහු ලා නිල් පැහැ සේද ඇඳුමින් සැරසී රන් රෝසවලින් නිමකල දම්වැලක් ඉණ පැළැඳ සිටියේය. "මම ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා ඔබතුමා වෙනුවට යුක්තිය ඉෂ්ට කරන්ට මට යන්ට දෙන්ටයි කියලා. මම දිවුරලා පොරොන්දු වෙනවා මම ඔබතුමාව අසමත් කරන්නෙ නෑ කියලා."

සුළැඟිල්ලා කෙකර සිනහවක් පෑවේය. "සෙර් ලෝරාස්, අපි ඔබව තනියම යැවුවොත් සෙර් ග්‍රෙගර් ඔබේ ඔය ලස්සන කටේ රටඉඳි ගෙඩියක් ගහපු ඔළුව විතරක් ආපිට එවයි. කන්ද කියන්නෙ කිසිම මිනිහෙක්ගෙ යුක්තියට නැවෙන ජාතියෙ කෙනෙක් නෙවෙයි."

"මම ග්‍රෙගර් ක්ලිගේන්ට බය නෑ." සෙර් ලෝරාස් උදාරම් ස්වරයෙන් කීය.

නෙඩ් නැවතත් හෙමින් සීරුවේ සිහසුන මත වාඩිවිය. ඔහු ගේ දෑස් ශාලාවේ සිටි මුහුණු දෙස විපරමින් බලන්නට විය. "බෙරික් උතුමානනි." ඔහු තමන්ට  අවැසි මිනිසුන් කැඳවන්නට විය. "ම'ර් වල තොරෝස්. සෙර් ග්ලැඩන්. ලෝතර් උතුමානනි." මේ නම් කියැවුනවුන් එකිනෙකා ඉදිරියට එන්නට විය. "ඔබලා එක් එක්කෙනා මිනිස්සු විස්සක් ගානෙ රැස්කරගන්ට. ඔබලා මගේ පණිවුඩයත් අරන් ග්‍රෙගර්ගෙ බලකොටුවට යන්ට ඕන. මම මගේ මිනිස්සු විස්සකුත් දෙන්නම්. බෙරික් ඩොන්ඩරියන් උතුමානනි, ඔබේ තත්ත්වයේ හැටියට ඔබ තමා මේ කණ්ඩායමේ නායකත්වය දරන්ට ඕන."

රතු-රන් හිසකෙසින් යුතු තරුණ උතුමානන් හිස නැමීය. "ඔබතුමා කියන විදියකට එඩාර්ඩ් උතුමානනි."

ශාලාවේ අන්තිම කෙලවරටද ඇසෙන සේ නෙඩ් සිය ස්වරය උස් කලේය. "අන්දාල් වරුන්ගේ ද, රොයිනාර් වරුන්ගේ ද, මුල් මිනිසුන්ගේ ද රජු වන, රාජධානි සප්තකයේ ස්වාමියා හා ආරක්ෂකයා වන, බරතියන් වංශයේ රොබර්ට් නම් වූ එම නමින් යුත් පළමු රජතුමාගේ නාමයෙන්, එතුමන් ගේ හස්තය වන ස්ටාර්ක් වංශයේ එඩාර්ඩ් වන මම නුඹලාට මෙසේ අණකරමි. නුඹළා රජතුමා ගේ ධජය යටතේ හැකි උපරිම වේගයෙන් බටහිර දෙසට ගමන්කර, ගංගා ත්‍රිශූලයේ රතු ගංගාවෙන් එතෙර වී, ව්‍යාජ නයිට්වරයකු වන ග්‍රෙගර් ක්ලිගෙන් හා ඔහුත් සමග අපරාධ කිරීමට හවුල්කාරයන් වූ සැමට රජතුමා ගේ යුක්තිය ඉෂ්ට කල යුතුය. මම ඔහුට ප්‍රසිද්ධියේ චෝදනාකර සිටින අතර ඔහුට හිමි සියළු ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කරමි. ඔහු ගේ සියළුම බලතල ද තනතුරු ද අහෝසි කරන අතර ඔහු සතු සියළුම ඉඩකඩම් ද, වස්තුව ද, ආදායම් මාර්ග ද ඔහුගෙන් ඉවත් කරමි. ඔහුට මරණ දණ්ඩනය ප්‍රකාශ කරමි. දෙවියන් ඔහු ගේ ආත්මයට සමාදානය ගෙන ඒවා!"

ඔහු ගේ කටහඬේ දෝංකාරය බිඳී යද්දී කුසුම් නයිට්වරයා වික්ෂිප්ත අයුරින් ඔහු දෙස බැලීය. "එඩාර්ඩ් උතුමානනි, මම මොකක්ද කරන්ට ඕන?"

නෙඩ් ඔහු දෙස පහළ බැලුවේය. මේ උස් ආසනයේ සිට බලන විට ඔහු රොබ් තරම්ම ලාබාල අන්දමින් දිස්විය. "ඔබේ නිර්භීතකම ගැන අපට කිසිම සැකයක් නෑ සෙර් ලෝරාස්. ඒ වුනත් අපි මෙතන කතාකරන්නෙ යුක්තිය ඉෂ්ට කිරීම ගැන. ඔබ ඔය හොයන්නෙ පලිගන්ට විදියක්." ඔහු නැවතත් බෙරික් උතුමානන් දෙස බැලුවේය. "හෙට උදේ එළිය වැටෙද්දීම පිටවෙන්ට. මේ දේවල් හැකි ඉක්මනින් කරපු තරමට හොඳයි." ඔහු අත එසවීය. "රාජසභාව අද දවසට වෙන මොකුත් පෙත්සම් බාරගන්නෙ නෑ."

පඩිපෙළ උඩට නැංග ඇලන් හා පෝර්තර් ඔහුට නැවත බිමට බැසීමට උදවු වූහ. ඔවුන් සෙමින් සෙමින් පඩිපෙළ බසිද්දී සෙර් ලෝරාස් බුම්මාගත් මුහුණින් යුතුව ඔහු දෙස බලා සිටින'යුරු ඔහුට දැනෙන්නට විය. එනමුදු නෙඩ් කාමරයේ බිමට බසින්නට පෙර කොලුවා එතැනින් පිටව ගොස් තිබින.

යකඩ සිහසුන පාමුල වාරිස් රාජසභා මේසය මත වූ ලිපිගොනු එක්රැස් කරමින් සිටියේය. සුළැඟිල්ලා හා මේස්ටර් පයිසෙල් මේ වනවිටද පිටව ගොස් තිබින. "ඔබ මට වඩා බොහොම නිර්භීත මිනිහෙක් මගේ උතුමානනි." පණ්ඩකයා මෘදු ස්වරයෙන් කීය.

"ඒ මොකද වාරිස් උතුමානනි?" ඔහු ගේ පාදය ඇදුම් කමින් තිබුනු අතර මෙවැනි වාග් සටන්වලට මුහුණ දීමට තරම් කැමැත්තක් ඔහු තුළ නොවීය.

"යකඩ සිංහාසනයේ වාඩිවෙලා හිටියෙ මම නම් ඔය ගමනට මම යවන්නෙ සෙර් ‍ලෝරාස්වයි. එයාට බොහොම තදින් උවමනාව තිබුනා යන්ට... අනික මිනිහෙක් ලැනිස්ටර්ලාව තරහ කරගන්ට ලෑස්තිවෙනවා නම් එයා ටිරල්ලත් එක්ක යාළුකම් හදාගන්න එක ඇඟට ගුනදායක දෙයක්."

"සෙර් ලෝරාස් කියන්නෙ පොඩි කොල්ලෙක්. මිනිහා ඔය කලකිරීමෙන් ඉක්මනටම ගොඩ එයි."

"එතකොට සෙර් ඉලියන්?" පණ්ඩකයා පුයර දැමූ සිය කම්මුලකට තට්ටු කලේය. "කොහොම වුනත්, එයා තමා රජතුමාගෙ ප්‍රධාන චෝදකයා. එයාගෙ රාජකාරිය කරන්ට වෙව මිනිස්සු යවන එක... සමහරු හිතයි ඒක ලොකු අවනම්බුවක් කියලා."

"මෙතැන එහෙම කිසිම මදිපුංචිකමක් කරන්ට අදහස් කරලා නෑ." ඇත්තෙන්ම කියන්නේ නම් නෙඩ් මේ ගොළු නයිට්වරයා කෙරෙහි විශ්වාසයක් තැබූයේ නැත. සමහරවිට ඒ ඔහු පොදුවේ අළුගෝසුවන් කෙරෙහි අකැමැත්තක් දැක්වූ බැවින් වන්නට ඇත. "මම මතක්කරලා දෙන්ට කැමැතියි පේය්න්ලා කියන්නෙත් ලැනිස්ටර්ලාගෙ කොඩි උස්සන උදවිය කියලා. මම කල්පනා කලා ටයිවින් උතුමානන්ට කිසිම ස්වාමිභක්තියක්, පක්ෂපාතීත්වයක් නැති කෙනෙක් යවන එක හොඳයි කියලා."

"බොහොම දූරදර්ශීයි, කිසිම සැකයක් නෑ. ඒ වුනත් මට දකින්ට ලැබුනා ශාලාවෙ පිටිපස්සෙ ඉඳන් සෙර් ඉලියන් අපි දිහා බලන් ඉන්න විදිය. එයාගෙ කොහෙත්ම සතුටට පත්වෙච්චි පෙනුමක් තිබුනෙ නෑ. ඇත්තම කියනවා නම් අපේ ගොළු නයිට්වරයාගෙ හිතේ මොකක් තියෙනවාද කියන්ට අපි හරියටම දන්නෙ නෑ. මම ප්‍රාර්ථනා කරනවා එයත් ඔය කලකිරීමෙන් ඉක්මනට ගොඩ එයි කියලා. එයා හරි ආදරෙයි එයාගෙ රස්සාවට..."


Eddard Stark: “Vengeance? I thought we were speaking of justice.”

49 comments:

  1. ඔහ්
    නෙඩ් අනාගනී වගේ
    කිසි සැකයක් නැතිවම

    ReplyDelete
    Replies
    1. නෙඩ් අනා ගනී වගේ ද? :-D

      Delete
    2. ඇයි දැන් ඉන්නේ අනාගෙන නෙවෙයිද??

      Delete
    3. දැන් ඉන්නෙ නාගෙන නෙවෙයි ද? :-D

      Delete
  2. Such a wonderful king this Robert of house Baratheon :P his kingdom is like an eye waiting to cry , he's off hunting white deer.

    Westeros wala ehema unath lankawe ehema wenne naa :P

    ReplyDelete
    Replies
    1. රට පාලනය කරන එක පැත්තක දාලා දඩයමේ ගිය රජවරු තව ඉන්නව ද? :-O

      Delete
    2. දඩයමේ නං මන්දා සෙල්ලමේ ගිය ඈයෝ නං හිටියලු....... ඒ කාලේ..

      Delete
    3. සෙල්ලමට දඩයමේ ගිය පුත් කුමාරවරු එහෙම...!? :-O

      Delete
    4. හිටියලු.. හිටියලු..
      ඔය දඩ කෙලියද කෙලි දඩයමද මොකක්දලු නේ කොරා කියන්නේ..

      Delete
    5. ඔය දෙකම කරන රජවරුයි, පුත් කුමාරවරුයි විතරක් නෙවෙයි ,පුරෝහිත , මැති ඇමති ගොල්ලො දැනුත් ඉන්නෙ :P

      Delete
  3. රජවරු එක්ක වැඩකරන එක නම් ලේසි නැහැ , රජාගෙ හස්තය වෙනව කියන්නෙත් උගුලක්ම තමා. මේ ක්‍රමය එදත් එහෙමයි අදත් එහෙමයි........

    ReplyDelete
    Replies
    1. එහෙමෙයි..? අනේ අපට නම් ඔය රජවරු එක්ක වැඩකරලා පුරුද්දක් නෑ අනේ.. ඔයා ඔය අත්දැකීමෙන් වෙන්ටැති නේද කියනවා ඇත්තෙ.. මේ දවස්සොල වැඩිය පේන්ටත් නැත්තෙ රජවරු එක්ක වැඩ කරන්ට ගිහිල්ලා ද? :-)

      Delete
    2. අමාරුයි ලු හිටං...

      Delete
    3. @Buratheno ,

      අනේ අනේ දැන් නේ හොයන්නෙ , ඉන්ටර්නෙට් නැතිව දුක්වින්ඳ හැටි මමනෙ දන්නෙ ..... මේ ඔය රජවරු එක්ක මගේ ගණු+දෙනු නැහැ හොඳේ :)

      Delete
    4. @චුලෝදර,


      //අමාරුයි ලු හිටං...//


      කාටද අප්පේ ??????????

      Delete
    5. ගනු+දෙනු නැතිවුනාට ගනු-දෙනු, ගනු/දෙනු, ගනුxදෙනු එහෙම ඇති නේද?

      ඉන්ට+නෙට් නැතුව දුක් වින්දා කියන්නෙ ඇයි ඔයාව සෑහෙන්න මදුරුවො කෑවද? :-P

      Delete
    6. රජවරුත් එක්ක වැඩ කරන ඈයින්ට..

      Delete
  4. යකෝ ග්‍රෙගර්ගේ ප්‍රජා අයිතියත් අහෝසි කරලා නේ.:D
    අපෙත් ඕවා කරන්නේ එහෙන් බලං වෙන්න ඇතිනේ ?

    ReplyDelete
    Replies
    1. නෑ මම නම් හිතන්නේ ඕක හොයාගත්තේ ලංකාවේ :D

      Delete
    2. පොඩි පර්යේෂණයක් කරලාම බලන්ට ඕන එහෙන් මෙහාට ආවද නැත්තං මෙහෙන් එහාට ගියාද කියලා.. :-D

      Delete
  5. අපි නම් ක්‍රිස්මස් , ඉලෙක්ෂන් ඔක්කොම ඉවරවෙනකල් ආයේ මේ පැත්තේ එන්නේ නෑලු. :P

    ReplyDelete
    Replies
    1. ඇයි ඔයා චන්දෙ ඉල්ලන්ට එනවළුද මෙහෙ? :P

      Delete
    2. ක්‍රිස්මස් නම් කෝ අපිට නත්තල්....:P

      Delete
    3. මෙදා පාර සැන්ටා වෙනුවට තෑගි අරන් එන්නෙ මෙයැයි ලු.. කට්ටිය රෙඩි පිට ඉන්ටලා.. හොඳට හිටිය ළමයින්ට විතරලු තෑගි දෙන්නෙ.. ;-)

      Delete
    4. එතකොට මේ පාර සැන්ටා වෙන්නේ අපේ ලස්සන චුටි නගා ද??

      Delete
    5. කරත්තෙ බඳින්ට පිනිමුවෝ නැති හන්දා වෙන වෙන සත්තු හොයනවලු මේ දවස්සොල.. ඔය නරි, ගෝරිල්ලො, බස්සො, සිංහයො, නාගරාජයො එහෙම චුට්ටක් පරිස්සම් වෙන්ටලා ලු.. ;-)

      Delete
    6. විශේෂයෙන් ගොරිල්ලොයි, සිංහයෝයි පරිස්සම් වෙන්ටලා...

      Delete
    7. තෑගිවලට පිනෝකියෝල එහෙමත් දෙනවද දන්නෙ නැහැ :P

      Delete
    8. දෙන තෑගි ගැන අහලා වැඩක් ඇත්ද අනේ, ඔයා මේ අවුරුද්දෙ හොඳ ළමයෙක් වගේ හිටියද? අර බස්සත් එක්ක රණ්ඩු වෙන එකමයි වැඩේ.. :-P

      Delete
    9. මම නම් ඉතින් හොඳ අ අ අ අ අ ලමයා හින්දා මේ පාර ලොකූඌඌඌ තෑග්ගක් ඕනේ ලු

      Delete
    10. @ Buratheno,

      බස්සා කියන ඒවට මොනාහරි කියන්නමයි හිතෙන්නේ අනේ :D

      Delete
    11. @ Prince of Moonshine ,

      අනේ මෙයා හුරතල් වෙන්නෙ මොකෝ මේ :)

      Delete
    12. ඒකනේ... පොම් මොකටෙයි චූටි නගා එක්ක හුරතල් වෙන්නේ.. වෙන අය ඉද්දි...

      Delete
    13. තෑගි දෙනවා කිව්වහම අපි වගේ ලමයි හොඳ වෙනවලු

      Delete
    14. And bur if u can remember " so Mr. clause , I m afraid I have been rather naughty this year. But you are a businessman and I am a businessman , can't we solve this problem amicably"

      Who said this and where?

      Delete
    15. hmmmm.... can't remember actually who was that.. was it Pra Jay.?? ;-)

      Delete
    16. මටත් මතක තියෙන්නේ එහෙම තමයි...:P

      Delete
    17. @PoM,

      කට්ටිය ඔක්කොමලාම පොඩ්ඩිට මනාපේ දෙන්ට. ලකුණ නිල් මානෙල් මල...:P

      Delete
    18. @මනෝජ්,

      මේ අවුරුද්දේ කරපු හොඳ වැඩ කියලා කවුරුත් තාම මේල් එවලා නෑ. ඒ හන්දා මේ අවුරුද්දේ තෑගි නැතිවෙයි ලු. :P

      Delete
    19. @ my lady of TA
      . huh ewwa koheda API Nam kapuwath ............ Hariya :P

      @ bur
      . Stewart Gilligan griffin :)
      who else would bribe Santa eh?,

      Delete
  6. මං මේ කම්පනා කලේ , මුං දෙන්නා මේක කම්මුතු කොරලා දැම්මොත් එහෙම වෙන සැන්තෑසිය.. තව චැප්ටර් තිහයි, සති දහයයි.

    මට නං ඔය යලට එකයි , මහට එකයි පෝස්ට් වැටෙන බ්ලොග් , පුරන් වෙච්චි කුඹුරු ගානයි.මං අහන්නෙ න, අල වගේද ගෝව? සතියකට තුන් වතාවක් පෝස්ට් වැටෙනව. ආපු ගමන් කෑම මේසෙ ඇරලා. බැදපු ව‍ටුවො, බේකන් සහ චීස් , එව්වා හෝදලා යවන්න වයින් පූකුරු.. තව, ඉයරි වල තියෙනවාලු , සොසේජස් ගස්. හැදෙන්නෙ කරල් විදිහටලු. එහෙන් ආපු කොටලුවෙක් තමා කිව්වෙ. මං මේ කිව්වෙ, කන්නම බලාගෙන මෙතෙන්ට එන ඈයොම කී දෙනෙක්ද?

    සෑහෙන ගාණක් සත්තු හොම්ලස් වෙනවා. මෙහෙම ගියොත්, නයි, මුගටි, නරි, බස්සෝ, සිංහ, වානර, හප්පේ කී දෙනෙක්ද? කවුරු හරි පිංවතෙක්ට බැයිද අපට ඉන්න තැනක් හදලා දෙන්න

    ReplyDelete
    Replies
    1. තව සති 10කින් කම්මුතුද? අනේ එහෙම කරන්ට එපා මෙයාල. මේ සත්තු වත්තෙ තියන වැඩක් පොලක් කරගෙන අපිටත් ඉන්ට දෙන්ටකෝ.

      Delete
    2. මේ ජීවයෙන් පිරි තරුණ ජෝඩුව අපිව එහෙම අනාත කොරන එකක් නෑ මයේ හිතේ...

      කොරහේ කිඹුල්ලු දකින් නැතුව ඉන්ට මොටා..

      Delete
    3. .............................. :-D :-P

      Delete
    4. @Choola,

      මේ ජීවයෙන් පිරිච්ච අයට කරන්ට වෙන වැඩ නෑලුද? :P

      Delete
    5. @මොටා,

      බස්සා මොනාවත් කීවද? :D

      Delete
    6. @චුලෝදර

      // ජීවයෙන් පිරි තරුණ ජෝඩුව..//

      ඔය කිව්වෙ අර බුරුත උන්නාන්සෙ ගැන වෙන්ටෑ? උඹ දන්නෙ නෑ, ඕකා මහ ගල් ආඳා, සු‍ටුස් ගාලා ලිස්සලා යාවි, ගියා කියලවත් නොතේරෙන්න :)

      Delete
  7. @චුලෝදර

    කොරහේ කිඹුල්ලු ?? හහ්, බලාගෙන හිටපං :) ආං අරුන්දෑ යන්න බෑග් පැක් කරලත් ඉවරයි :)

    කුතුහලය නැගීඑන විට මහදේ
    මුං යන්න ගියා ........ආආආ..
    අප හෙලා මෙ, ඝණ අන්ධකාරේ..

    ReplyDelete
  8. මං යනවා ඊ ළග එක කියවන්ට...

    ReplyDelete