Friday 5 December 2014

එඩාර්ඩ් 10


ඔහු නැවතත් පැරැණි සිහිනයක් දකිමින් හුන්නේය. සුදු සළුවෙන් ගත වැසූ නයිට්වරුන් තිදෙනෙක්, කැඩී බිඳී ගිය කුළුනක් හා ලෙයින් ‍පෙඟී ගිය සයනයක් මත මරණය බලාපොරොත්තුවෙන් බලා සිටින ලියානා එම සිහිනයේ වූහ.

සැබෑ ජීවිතයේදී හා සමානවම මේ සිහිනය තුළදී ද ඔහු ගේ මිතුරු කැළ ඔහු හා අසුන් විහිදුවමින් උන්හ. මාන්නක්කාර මාර්ටින් කසල් හෙවත් ජොරී ගේ පියා. විශ්වාසවන්ත තියෝ වල්. බ්‍රැන්ඩන් ගේ සහචරයාව සිටි ඊතන් ග්ලවර්. මෘදු වදන් දොඩන, කරුනාවන්ත හදවතක් ඇති සෙර් මාර්ක් රයිස්වෙල්. වගුරු මිනිසා හොව්ලන්ඩ් රීඩ්. සිය දැවැන්ත යුධ සෛන්ධවයා පිට නැගුනු ඩස්ටින් උතුමානන්. එක්තරා කාලයකදී නම් ඔවුන් ගේ මුහුණු නෙඩ්ට සිය මුහුණ තරම් හොඳින් මතක තිබුනි. එනමුදු වසර ගනනාවක කාලය විසින් දැන් ඒවා කෙමෙන් කෙමෙන් මතකයෙන් ගිලිහී යමින් තිබුනි. ඔහු කිසිදා අමතක නොකරන්නෙමියි සපථ කල මුහුණු පවා මතකයෙන් ගිලිහී යමින් තිබුනි. ඔහු ගේ සිහිනය තුළ මේ සැමදෙනාම සෙවනැලි පමණක්ම විය. මීදුමින් සැදුනු අසුන් පිට නැගුනු අඳුරු අවතාර බඳු වූහ.

එහි ඔවුහු සත්දෙනෙකු වූහ. තිදෙනෙකුට එදිරිව සත්දෙනෙක්! සිහිනය තුළදී මෙන්ම සැබෑ ජීවිතයේදීත් එය එසේම විය. එනමුදු ඒ සාමාන්‍ය පුද්ගලයින් තිදෙනෙකු නොවීය. ඔවුහු රවුම් කුළුණ ඉදිරිපිටට වී ඔවුන් පැමිණෙන තෙක් බලා හුන්හ. ඩෝර්න්හි රත් පැහැ කඳුකරය ඔවුන් පිටුපසින් උත්තුංගව නැගී සිටියේය. ඔවුන් ගේ සුදු පැහැ සළු සුළඟේ ලෙලදෙමින් තිබින. එමෙන්ම ඔවුන් කිසිවෙකුත් සෙවනැලි නොවූහ. මේ දැන් පවා ඒ මුහුණු ඔහු ඉදිරියේ මැවී පෙනෙන්නට විය. දැවෙන ගිනිදළු මෙන් පැහැදිලිව මැවී පෙනෙන්නට විය. දුක්මුසු සිනහවක් තොල්පෙති මත තවරාගත් සෙර් ආතර් ඩේන් හෙවත් උදෑසනේ අසිපත. 'උදෑසන' නමින් හැඳින්වුනු ඔහු ගේ දැවැන්ත අසිප‍තේ මිට දකුණු උරහිසට ඉහළින් එබී බලන්නට විය. එක් දණක් නමා බිම වාඩිගත් සෙර් ඔස්වෙල් වෙන්ට් ගිනිගලකින් සිය අසිපත මුවහත් කරමින් හුන්නේ ය. ඔහු ගේ සුදු පැහැ ශිරස්කය මත සිය වංශ සලකුණ වූ කළු වවුලා පියාපත් විදහා බලා සිටියේ ය. ඔවුන් දෙදෙන මැදින් මහලු එනමුදු සාහසික, සෙර් ජෙරල්ඩ් හයිටවර් හෙවත් සුදු ගොනා, රාජ්‍යාරක්ෂක බලකායේ ප්‍රධානියා සිටගෙන සිටියේ ය.

"මම ඔබලාව ගංගා ත්‍රිශූලයේ හෙවුවා." නෙඩ් ඔවුන්ට පැවසීය.

"අපි එහෙ නෙවෙයි හිටියෙ." සෙර් ජෙරල්ඩ් පිළිතුරු දුන්නේ ය.

"අපි එහෙ හිටියා නම් රජකම පැහැරගත්තු එකාට දෙයියන්ගෙම පිහිට තමා." සෙර් ඔස්වෙල් කීය.

"කින්ග්ස් ලෑන්ඩින්ග් වැටෙද්දී සෙර් ජේමි එයාගෙ රත්තරන් කඩුවෙන් ඔබලාගෙ රජතුමාගෙ බෙල්ල කපලා මරලා දැම්මා. මම පුදුමයෙන් කල්පනා කලා ඔබලා කොහෙද කියලා."

"අපි හිටියෙ බොහොම ඈත." සෙර් ජෙරල්ඩ් කීය‍. "එහෙම නොවුනා නම් ඒරිස් තවමත් යකඩ සිංහානයේ වාඩි වෙලා ඉන්නවා. එහෙම වුනා නම් අපේ බොරු සහෝදරයා මෙලහට අපා හතේ පැහෙනවා."

"මම පහළට ආවා ස්ටොර්ම්ස් එන්ඩ්වල වැටලීම අහවර කරන්ට." නෙඩ් ඔවුන්ට කීය. "ටිරල් උතුමානනුයි රෙඩ්වින් උතුමානනුයි එයාලගෙ ධජ අකුලගත්තා. එයාලගෙ යටත් නයිට්වරු සේරම දණ නවලා අපට පක්ෂපාතීත්වය ප්‍රකාශ කලා. මට බොහොම ලොකු විශ්වාසයක් තිබුනා ඔබලාත් එතැන ඉඳියි කියලා."

"අපේ දණහිස් එහෙම ලේසියෙන් නැමෙන්නෙ නෑ." සෙර් ආතර් ඩේන් පැවසීය.

"සෙර් විලම් ඩැරී ඔබලාගෙ රැජිණයි, විසේරිස් කුමාරයයි එක්ක ඩ්‍රැගන්ස්ටෝන්වලට පැනලා ගියා. මම හිතුවා සමහරවිට ඔබලාත් එයාත් එක්ක යාත්‍රා කරන්ට ඇති කියලා."

"සෙර් විලම් හොඳ මිනිහෙක්. අවංක මිනිහෙක්." සෙර් ඔස්වෙල් කීය.

"ඒ වුනත් එයා රාජ්‍යාරක්ෂක බලකායෙ කෙනෙක් නෙවෙයි." සෙර් ජෙරල්ඩ් පෙන්වා දුන්නේ ය. "රාජ්‍යාරක්ෂක බලකාය එහෙම ලේසියෙන් පැනලා යන්නෙ නෑ."

"එදත් නෑ අදත් නෑ." සෙර් ආතර් ඩේන් සිය ශිරස්කය පැළැඳගත්තේ ය.

"අපි දිවුරුමක් දිවුරලයි තියෙන්නෙ." සෙර් ජෙරල්ඩ් පැහැදිලි කලේය.

සෙවනැලි අසිපත් සුරතින් දැරූ නෙඩ් ගේ අවතාර සගයෝ ඔහු වටා රැස් වූහ. එතැන තිදෙනෙකුට එරෙහිව සත්දෙනෙක් වූහ.

"ඉතින් දැන් ඒක පටන්ගන්ටයි යන්නෙ." සෙර් ආතර් ඩේන් පැවසීය. ඔහු සිය අසිපත, උදෑසන, කොපුවෙන් පිටතට ගෙන දෑතින් අල්ලා ගත්තේ ය. එහි තලය කිරිවීදුරු මෙන් සුදුමැලි පැහැයෙන් බැබලින. එය හිරුඑළියේ සජීවී වස්තුවක් මෙන් නැටීය.

"නෑ." නෙඩ් ශෝකය තැවරුනු ස්වරයෙන් කීය. "දැන් ඒක ඉවරවෙන්ටයි යන්නෙ." වානේ හා සෙවනැලි මහා හදිසියකින් එකිනෙක ගැටෙද්දී ලියානා කෑගසන හඬ ඔහුට ඇසුනි. "එඩාර්ඩ්!" ඇය කෑගැසුවා ය. මරණයේ දෑස් මෙන් නිල් පැහැ වූ ආකාශය හරහා, ලේ වැකි අහස හරහා රෝස පෙති කුණාටුවක් හමා ගියේය.

"එඩාර්ඩ් උතුමානනි." ලියානා නැවතත් කෑගැසුවා ය.

"මම පොරොන්දු වෙනවා." ඔහු මිමිනුවේ ය. "ලියා, මම පොරොන්දු වෙනවා."

"එඩාර්ඩ් උතුමානනි." අඳුරේ සිටි මිනිසකු පුනරුච්චාරණය ක‍ලේය.

එඩාර්ඩ් ස්ටාර්ක් කෙඳිරිගාමින් සිය දෑස් විවර කලේය. හස්තයේ කුළුණේ වූ උසැති කවුළු හරහා සඳ රැස් කාමරයට වැටී තිබින.

"එඩාර්ඩ් උතුමානනි." සෙවනැල්ලක් ඇඳ සමීපයේ සිටගත්තේ ය.

"කොච්චර... කොච්චර කාලයක්ද?" ඔහු ගේ පාදය වෙළුම්පටිවලින් ඔතා, ලී පතුරු තබා ගැටගසා තිබින. ඔහු ගේ සිරුරේ පැත්තකින් වේදනාවක් නැග එන්නට විය.

"දවස් හයක්, රෑ හතක්." ඒ කටහඬ වයොන් පූල් ගේ විය. ඔහු නෙඩ් ගේ දෙතොලට කෝප්පයක් ලංකලේය. "බොන්ට මගේ උතුමානනි."

"මොනවද...?"

"වතුර. මේස්ටර් පයිසෙල් කිවුවා ඔබට පිපාසෙ දැනෙයි කියලා."

නෙඩ් දිය උගුරක් බීවේය. ඔහු ගේ දෙතොල් වියළී, ඉරිතලා තිබින. දිය මී පැණි මෙන් ප්‍රණීත විය.

"රජතුමා නියෝගයක් දුන්නා." දිය බී හමාර වූ පසු වයොන් පූල් පැවසී ය. "එතුමාට ඔබත් එක්ක කතා කරන්ට ඕනලු මගේ උතුමානනි."

"හෙට බලමු. එතකොට මම මීට වඩා ශක්තිමත් වෙලා ඉඳියි." ඔහුට මේ මොහොතේ රොබර්ට්ට මුහුණ දිය නොහැක. දුටු සිහිනය විසින් ඔහුව බළල් පැටවෙකු මෙන් දුබල කර දමා තිබින.

"මගේ උතුමානනි. එතුමා නියෝග කලා ඔබතුමා ඇස් ඇරිය ගමන්ම එතුමාව බැහැ දකින්ට එවන්ටයි කියලා." පූල් ඇඳ පසෙකින් ඉටිපන්දමක් දැල්වූයේ ය.

නෙඩ් සිහින් හඬින් අවලාදයක් නැගුවේ ය. රොබර්ට් කිසිදා ඉවසීම යනු කුමක්දැයි දත්තෙකු නොවීය. "එයාට කියන්ට එයා ගාවට යන්ට තරම් මම දුර්වල වැඩියි කියලා. එයාට මගෙත් එක්ක කතා කරන්ට ඕන නම් මම සතුටුයි මෙතනදි එයාව මුන ගැහෙන්ට. මම හිතන්නෙ ඔබට එයාව හොඳ නින්දකින් නැගිට්ටවන්ට වෙයි. ඒත් එක්කම එන්ට කියන්ට..." ඔහු කියන්නට ගියේ ජොරී කියා නමුදු ඔහුට හදිසියේම සියල්ල සිහිපත් විය. "එන්ට කියන්ට මගේ ගෘහාරක්ෂක බලකායෙ ප්‍රධානියාට."

මඳ වේලාවකට පසු ඇලන් කාමරයට ප්‍රවිශ්ට විය. "ම‍ගේ උතුමානනි."

"පූල් කියනවා ඒක දවස් හයක් ලු. මට දැනගන්ට ඕන දැන් තත්ත්වය මොකක්ද කියලා."

"රජුන් මරන්නා නගරයෙන් පැනලා ගිහිල්ලා. අහන්ට ලැබෙන කතාවල හැටියට නම් එයා කාස්ටර්ලී රොක්වලට, එයාගෙ තාත්තා ගාවට ගිහිල්ලා. කැට්ලින් ආර්යාව පුංචි යකාව අත්අඩංගුවට ගත්ත එක තමා දැන් හැම කෙනාගෙම කටේ තියෙන්නෙ. ඔබතුමා සතුටු ඇති දැනගන්ට, මම අමතර ආරක්ෂාව යොදවලයි තියෙන්නෙ."

"ඒක හොඳයි. මගේ කෙල්ලො දෙන්නා?"

"ඒ දෙන්නා හැමදාම ඔබව බලන්ට ආවා ම‍ගේ උතුමානනි‍. සන්සා සද්ද බද්ද නැතුව යාඥා කර කර ඉන්නවා. ඒ වුනත් ආර්යා..." ඔහු මඳක් පැකිලුනේ ය‍. "ඔබව මෙහාට ගෙනාපු දා ඉඳන් ආර්යා වචනයක්වත් කතා කලේ නෑ. එයා හරිම බිහිසුණු පුංචි කෙල්ලක් මගේ උතුමානනි. මම කවදාවත් දැකලා නෑ ගෑනු ළමයෙක් එච්චර කේන්තියෙන් ඉන්නවා."

"මොන දේ සිද්දවුනත් මට ඕන මගේ කෙල්ලො දෙන්නව ආරක්ෂා කරගන්ට. මම හිතනවා, ඇත්තටම කියනවා නම් මට බයයි, මේක පටන්ගැන්ම විතරයි කියලා."

"එයාලට අනතුරක් වෙන්ට දෙන්නෙ නෑ එඩාර්ඩ් උතුමානනි. මම මගේ ජීවිතේ පරදුවට තියලා හරි එයාලාව රැක ගන්නවා."

"ජොරීයි අනිත් අයයි?"

"මම එයාලගෙ මළකඳන් නිහඬ සහෝදරියන්ට බාරදුන්නා. වින්ටර්ෆෙල්වලට අරන් යන්ටයි කියලා. ජොරී කැමැති වෙයි එයාගෙ සීයා ගාවින් මිහිදන් වෙන්ට."

ඒ ඔහු ගේ සීයා අසල විය යුතුය. මන්ද, ඔහු ගේ පියා මිහිදන් වී තිබු‍නේ ඈත දකුණේ විය. මාර්ටින් කසල්ද අනිකුන් සමගින් දිවි පුදා තිබින. සටනින් පසු කුළුණ බිඳ හෙලූ නෙඩ් එහි වූ ගල් භාවිත කර කඳුවැටිය පාමුළ සොහොන් අටක් ගොඩ නැංවීය. ප්‍රවාදවලට අනුව නම් රේගාර් මෙම ස්ථානයට 'ප්‍රීතියේ කුළුණ' යනුවෙන් නම් තබා තිබින. එනමුදු නෙඩ්ට නම් එය තිත්ත, කටුක මතකයක් පමණි. ඔවුන් සත්දෙනෙක් තිදෙනෙකුට එරෙහිව සටන් වැද තිබින. එනමුදු පණපිටින් එතැනින් පිටව යන්නට හැකියාව ලැබුනේ දෙදෙනකුට පමණි. එඩාර්ඩ් ස්ටාර්ක් හා ඔහු ගේ වගුරු මිතුරා හොව්ලන්ඩ් රීඩ්ට පමණි. මෙතරම් වසර ගනනාවකට පසුව නැවතත් එම සිහිනය දුටුවේ කිසියම් අසුබ නිමිත්තක් වශයෙන්දැයි ඔහුට සිතාගත නොහැකි විය.

"ඔබ බොහොම හොඳට වැඩ ටික කරලා තියෙනවා ඇලන්." වයොන් පූල් නැවත කාමරයට පැමිණියේ ය. "රජතුමා ඇවිල්ලා ඉන්නෙ මගෙ උතුමානනි. ඒ එක්කම රැජිණත් ඇවිල්ලා ඉන්නවා."

නෙඩ් ඇඳ වියනට හේත්තු වූයේ පාදයෙන් නැගුනු වේදනාව නිසා ඇකිළුනේ ය. සෙර්සිද මේ වෙලාවේ මෙහි පැමිණේයැයි ඔහු කිසිසේත් බලාපොරොත්තු නොවීය. එය එතරම්ම හොඳ දෙයක් නොවේ. "එයාලව ඇතුළට එවන්ට. ඊටපස්සෙ මෙතනින් පිටවෙලා යන්ට. අපි කතාකරන දේවල් මේ කාමරයෙන් පිටට යන්ට බෑ." හිස නැමූ පූල් නිහඬවම පිටව ගියේය.

රොබර්ට් සාමාන්‍ය ඇඳුමකින් සැරසෙන්නට අමතක කර නොතිබින. ඔහු, පපුවේ රන් නූලෙන් වැඩ දැමූ කිරුළු ලූ ගෝනකුගේ රුව සහිත කළු විල්ලුද කමිසයකින් හා රන්වන් පිට කබායකින් සැරසී සිටි අතර පැළැඳ සිටි සළුව රන් පැහැ හා කළු පැහැ කොටු මෝස්තරයකින් සමන්විත විය. ඔහු ගේ සුරතේ වයින් ගුරුලේත්තුවක් තිබුනු අතර දැනටමත් ඒ මුහුණ වෙරිමතින් රත් පැහැ වී තිබින. සෙර්සි ලැනිස්ටර් ඔහු පසුපසින් කාමරයට ඇතුළු වූ අතර ඇය මැණික් ඇල්ලූ කුඩා ඔටුන්නක් හිස පැළැඳ සිටියා ය.

"මගේ ස්වාමිනි. මට සමාවෙන්ට. ඒ වුනත් මට නැගිටගන්ට බෑ." නෙඩ් කීය.

"කිසි ප්‍රශ්නයක් නෑ. වයින් චුට්ටක් ගන්නවද? මේවා ආර්බර් වයින්. බොහොම හොඳ පරණ වයින් එකක්."

"පොඩි කෝප්පයක් ගමු එහෙනම්. මේ පොපි යුෂ නිසා මගේ ඔළුවත් ටිකක් බරයි‍."

"උඹේ තත්ත්වෙ ඉන්න මිනිහෙක් සන්තෝස වෙන්ට ඕන ඔය ඔළුව තාමත් උරහිස් දෙක උඩ තියෙන එක ගැන." රැජිණ කීවාය.

"කට වහපං ගෑනියෙ." රජතුමා කඩා පැන්නේය. ඔහු නෙඩ් වෙත වයින් කුසලානක් රැගෙන ආවේය. "කකුල තාමත් රිදෙනවද?"

"ටිකක්." නෙඩ් කීය. වේදනාව නිසා ඔහු ගේ හිස තෝන්තුවාවෙන් බර වී තිබින. එනමුදු රැජිණ ඉදිරියේ සිය දුබලතාව පෙන්වීමට ඔහුට උවමනා නොවීය.

"පයිසෙල් දිවුරලා කියනවා ඒක තිබුනු විදියටම සනීප වෙයි කියලා." රොබර්ට් බැම ඇකිළීය. "මම හිතන්නෙ උඹ දන්නවා කැට්ලින් ‍කරපු දේ ගැන?"

"මම දන්නවා." නෙඩ් වයින් ස්වල්පයක් තොල ගෑවේය. "මගේ බිරිඳට දොස් කියන්ට බෑ මගේ ස්වාමිනී. එයා කරපු හැමදේම කලේ මගේ අණ නිසයි."

"ඒ ගැන මට සතුටු වෙන්ට බෑ නෙඩ්."

"මගේ ලේ නෑයින්ට අත තියන්ට තරම් උඹට ඔච්චර හයියක් ආවෙ කොහෙන්ද?" සෙර්සි කඩා පැන්නා ය. "උඹ කවුරුයි කියලාද උඹ හිතන් ඉන්නෙ?"

"රජතුමාගෙ හස්තය කියලා." නෙඩ් මවාගත් ආචාරශීලීත්වයකින් ඇයට කීවේය. "රජතුමාගෙ සාමය රකින්ටයි රජතුමාගෙ යුක්තිය පසිඳලන්ටයි කියලා ඔබතුමීගෙ සැමියාගෙන් ලැබුන අණ නිසා."

"උඹ හස්තය වෙලා හිටියා." සෙර්සි පටන්ගත්තා ය. "ඒ වුනත් දැන්-"

"කටවහගනින්!" රජතුමා ගුගුලේය. "උඹ ප්‍රශ්නයක් ඇහුවා, ඌ ඒකට උත්තර දුන්නා. එච්චරයි." කෝපයෙන් වියරු වැටී ගියද රැජිණ නිහඬවූවා ය. රජතුමා නැවතත් නෙඩ් දෙසට හැරුනි. "රජතුමාගෙ සාමය රකින්ටයි කියලා උඹ කිවුවෙ ඒ. මෙහෙමද උඹ රජතුමාගෙ සාමය රකින්නෙ නෙඩ්? මිනිස්සු හත්දෙනෙක් මැරිලා..."

"අටදෙනෙක්." රැජිණ ඔහුව නිවැරැදි කලාය. "ට්‍රෙගාර් අද උදේ මැරුනා. ස්ටාර්ක් උතුමානන් එයාට එල්ලකරපු පහර නිසා."

"රජමාවතේ මිනිස්සු පැහැරගන්න ඒවායි නගරෙ වීදිවල බීමතින් මරාගන්න ඒවායි. මට බෑ එහෙම දේවල් වෙන්ට දෙන්ට නෙඩ්." රජතුමා කීය.

"කැට්ලින්ට සාධාරණ හේතු තිබුනා පුංචි යකාව පැහැරගන්ට-"

"මම කිවුවෙ, එහෙම දේවල් වෙන්ට දෙන්ට බෑ කියලයි නෙඩ්. උඹ එයාට අණක් යවහං ඉක්මනටම කුරුමිට්ටාව නිදහස් කරන්ටයි කියලා. ඒ එක්කම උඹ ජේමිත් එක්ක සමාදාන වෙන්ට ඕන."

"මගේ මිනිස්සු තුන්දෙනෙක් මගේ ඇස් ඉස්සරහදිම මරලා දැම්මා. මොකද ජේමි ලැනිස්ටර්ට ඕන වුනා මට දඬුවම් කරන්ට. ඒක අමතක කරලා දාන්ට කියලාද මට කියන්නෙ?"

"මේ හුටප‍ටේට හේතුව මගේ සහෝදරයා නෙවෙයි." සෙර්සි රොබර්ට්ට කීවාය. "ස්ටාර්ක් උතුමානන් ගනිකා මඩමක ඉඳලා බීගෙන ආපහු එන අතරමගදි උගෙ මිනිස්සු ජේමිටයි එයාගෙ සෙබළුන්ටයි පහර දුන්නා. හරියටම උගෙ ගෑනි ටිරියන්ට රජමාවතෙදි පහර දුන්නා වගේම."

"ඔබ ඊට වඩා හොඳට මා ගැන දන්නවා රොබර්ට්." නෙඩ් කීය. "මාව සැක නම් බේලිෂ් උතුමානන්ගෙන් අහන්ට. එයාත් එතන හිටියා."

"මම දැනටමත් සුළැඟිල්ලාට කතා කරලයි තියෙන්නෙ." රොබර්ට් පැවසීය. "ඌ කියනවා සටන පටන්ගන්ට කලින් ඌ නගරාරක්ෂකයො එක්කරන් එන්ට කියලා එතැනින් පිටවෙලා ආවයි කියලා. ඒ වුනත් ඌ පිළිගන්නවා උඹ ඔය කොහේදෝ ගණිකා මඩමක ඉඳන් තමා ආවෙ කියලා."

"කොහේදෝ ගණිකා මඩමක ඉඳලා? උඹේ ඇස් දෙකට හෙණ ගහපං රොබර්ට්. මම එතැනට ගියේ ඔබේ දුවව බලන්ටයි. එයාගෙ අම්මා එයාට නම දාලා තියෙන්නෙ බරා කියලා. එයා හරියටම ඔබේ පළවෙනි දරුවා වගේමයි. මතකද අපි කොල්ලො කාලෙ මිටියාවතේ ඉන්නකොට ඉපදුන කෙල්ල?" කතාව අතරතුර රැජිණ ගේ ප්‍රතික්‍රියාවන් කෙසේ වේදැයි දැනගන්නට මෙන් නෙඩ් ඇය දෙස බැල්මක් හෙලීය. ඇගේ මුහුණ වෙස් මුහුණක් මෙන් නිසල හා සුදුමැලි වූ අතර එයින් ඇගේ සිත තුළ ඇති කිසිදු හැඟීමක් පාවා නොදුන්නේ ය.

රොබර්ට් ගේ මුහුණ රතු වී ගියේය. "බරා!" ඔහු ගුගුලේය. "ඒකෙන් මාව සතුටු කරන්ටද? ඒ කෙල්ල යකාට ගියාදෙන්. මම හිතුවා ඒකිට ඔයිට වඩා මොළේ තියෙයි කියලා."

"ඒකිට පහළොවකට වඩා වැඩි නෑ. ගණිකාවක්. ඔබ හිතනවා ඒකිට මොළේ තියෙයි කියලා." නෙඩ් මවිතයෙන් කීය. ඔහු ගේ පාදය තවතවත් වේදනා ගෙනදෙන්නට පටන්ගෙන තිබින. සිය කේන්තිය පාලනය කරගැනීම ඔහුට තවදුරටත් අසීරු කරුණක් විය. "මේ මෝඩ කෙල්ල ඔබත් එක්ක ආදරෙන් බැඳිලා ඉන්නෙ ‍රොබර්ට්."

රජතුමා සෙර්සි දෙසට බැල්මක් හෙලීය. "මේ මාතෘකාව රැජිණගෙ කණ්දෙකට වැටෙන්ට තරම් සුදුසු නෑ."

"එතුමිය මම කියන කිසිම දේකට කැමැති වෙන එකක් නෑ. මට අහන්ට ලැබුනා රජුන් මරන්නා නගරයෙන් පැනලා ගිහිල්ලායි කියලා. එයාව ආපහු නීතිය ඉදිරියට ගේන්ට යන්ට මට අවසර දෙන්ට."

සිය වයින් කුසලාණ මඳක් සෙලවූ රජතුමා ඉන් උගුරක් බීවේය. "නෑ. මට ඕන නෑ මේක තවත් දුරදිග යනවා දකින්ට. ජේමි උඹේ මිනිස්සු තුන්දෙනෙක් මැරුවා. උඹ උගේ පස්දෙනෙක් මැරුවා. දැන් ඒක ඉවරයි."

"ඒකද ඔබේ යුක්තිය?" නෙඩ් ඇවිස්සුනු තරහින් යුතුව ඇසීය. "එහෙමනම් මට බොහොම සන්තෝසයි මම තවදුරටත් ඔබේ හස්තය නොවෙන එක ගැන."

රැජිණ සිය සැමියා දෙස බැලුවා ය. "මේ මිනිහා ඔබට කතාකරන විදියට වෙන මිනිහෙක් ටාර්ගේරියන්ලාට කතා කලා නම්-"

"උඹ හිතන්නෙ මම ඒරිස් කියලද?" රොබර්ට් ඇයට බාධා කලේය.

"මම හිතන්නෙ ඔබ රජෙක් කියලයි. ජේමියි ටිරියනුයි ඔබේ සහෝදරයො වගේ. ඔක්කොම කසාද නීතිත්, අපේ අනිත් බැඳීමුත් එක්ක ගත්තහම ඒක එහෙමයි. ස්ටාර්ක්ලා එයින් එක්කෙනෙක්ව පන්නලා දාලා අනිත් එක්කෙනාව හිරබාරයට අරන්. මේ මිනිහා ගන්න හුස්මක් හුස්මක් ගානෙ ඔබට අගෞරව කරනවා. ඒ වුනත් ඔබ මෙතනට වෙලා කිසිම දෙයක් කියන්නෙ නැතුව බුම්මට්ටා වගේ බලන් ඉන්නවා. උගෙ කකුල රිදෙනවද, තව වයින් ටිකක් දෙන්ටද කියලා අහ අහා."

කේන්තිය නිසා රොබර්ට් ගේ මුහුණ කළු පැහැ වී ගියේය. "උඹට කී පාරක් කියන්ට ඕනද කට වහගෙන ඉඳින් කියලා ගෑනියෙ?"

සෙර්සි ගේ මුහුණ සිදු වූ මදිපුංචිකම නිසා ඇකි‍ළී ගියේය. "දෙයියො අපි දෙන්නට ලොකු සරදමක් කරලා තියෙන්නෙ. මේ හැම දෙයක්ම දිහා බැලුවම මට හිතෙනවා ඔබ ගවුම් අඳින්ට ඕන, මම සන්නාහය අඳින්ට ඕන කියලා."

වියරුවෙන් දම් පැහැ වී ගිය රොබර්ට් ඇය වෙත කඩාපැන්නේ ඇගේ හිසේ පැත්තකට කුරිරු අතුල් පහරක් දුන්නේය. පා පැකිලී මේසයේ හැපුනු ඇය බිම ඇද වැටුනි. එනමුදු සෙර්සි ලැනිස්ටර් සිහින් කෙඳිරියකුදු නොනැගුවා ය. සිය සුමුදු කම්මුල දැනටමත් රතුවන්නට පටන්ගෙන තිබුනු තැන ඇය සිහින් අතැඟිලි වලින් අතගෑවාය. හෙට වන විට මේ තැල්ම මුහුණෙන් අඩක් පුරා විහිදෙනු ඇත. "මම මේක බොහොම ගෞරවනීය සලකුණක් විදියට පළඳින්නම්." ඇය කීවාය.

"කට වහගෙන ඒක පැළැඳගෙන හිටපං. නැත්තං මම උඹට ආයෙමත් ගෞරව දක්වයි." රොබර්ට් දිවුලේය. ඔහු සෙබළෙකුට අඬගැසූ අතර සෙර් මෙරින් ට්‍රෙන්ට් කාමරයට ඇතුළු විය. "රැජිණට මහන්සියි. එයාව එයාගෙ නිදන කාමරේට එක්කන් යන්ට." වදනකුදු නොදෙඩූ නයිට්වරයා රැජිණව දෙපයින් නැගිට්ටුවා ඇයත් සමග කාමරයෙන් පිට විය.

වයින් ගුරුලේත්තුව වෙත ළඟා වූ රොබර්ට් නැවත වරක් සිය කුසලාණ පුරවා ගත්තේ ය. "බලහං ඒකි මට කරලා තියෙන දේ නෙඩ්. මගේ ආදරණීය බිරිඳ. ම‍ගේ දරුවන්ගෙ අම්මා." ඔහු ගේ වියරුව ‍මේ වනවිට නැතිව ගොස් තිබින. ඒ වෙනුවට ඔහු ගේ දෑසේ ශෝකයක් හා බියක් දකින්නට තිබින. "මම ඒකිට ගහන්නෙ නැතුව ඉන්ට තිබුනා. ඒක... ඒක කරුනාවන්ත නෑ."ඔහු සිය දෑත් දෙස බැලීය. "මම හැමදාමත් ශක්ති සම්පන්නයි. මගෙත් එක්ක හැප්පෙන්ට කාටවත් බෑ. කාටවත්ම බෑ. උඹට කෙනෙකුට ගහන්ට බැරි නම් උඹ කොහොමද ඌත් එක්ක සටන් කරන්නෙ?" රජතුමා වියවුල් සිතින් හිස වැනීය. "රේගාර්... රේගාර් දිනුවා. ඌ යකාටම ගියාවෙ. මම ඌව මැරුවා නෙඩ්. උගෙ කළු පාට සන්නාහය පසාකරගෙන උගෙ කළු පාට හදවත කුඩුවෙන්ට මම යගදාවෙන් ගැහුවා නෙඩ්. ඌ මගේ කකුල් දෙක ගාව මැරුනෙ. උං ඒ ගැන සින්දුත් හැදුවා. ඒ වුනත් කොහොම හරි ඌයි අන්තිමට දිනුවෙ. දැන් ලියානා ඉන්නෙ ඌ ගාව. මට මේකිව ඉතුරු වුනා." ඔහු සිය වයින් කුසලාණ එක හුස්මට බී හමාර කලේය.

"මගේ ස්වාමිනී, අපි කතා කරන්ට ඕන..."

රොබර්ට් සිය ඇඟිලි තුඩු නළලට තබා තදකලේය. "කතා කරලා කරලා මම දැන් මැරෙන්ට තරම් මහන්සි වෙලා ඉන්නෙ නෙඩ්. හෙට මම රජවනයට යනවා දඩයම් කරන්ට. උඹට මොනා කියන්ට තිබුනත් මම ආපහු එනකම් ඒවාට බලාඉන්ට වෙනවා."

"දෙයියො කරුනාවන්ත වුනොත් ඔබ ආපහු එනකොට මම මෙහෙ ඉන්නෙ නැතිවෙන්ට පුළුවන්. ආපහු වින්ටර්ෆෙල්වලට යන්ටයි කියලා ඔබ මට අණ කලා. මතකද?"

රොබර්ට් නැගිට සිටියේ තමාව වාරු කරගැනීම සඳහා ඇඳ කකුලක් අල්ලා ගත්තේ ය. "දෙයියො එහෙම ලේසියෙන් කරුනාවන්ත වෙන්නෙ නෑ නෙඩ්. ඉඳා, මෙන්න මේක උඹේ." සිය කබායේ සාක්කුවකින් රජතමය හස්තයේ හාරිච්චිය පිටතට ඇදගත් ඔහු එය ඇඳ මතට විසි කලේය. "උඹ කැමැතිවුනත් නැතත් උඹ තමා මගෙ හස්තය. යකාටම පලයං. මම උඹට තහනම් කරනවා මේ නගරෙන් පිටවෙන්ට."

නෙඩ් රජතමය හාරිච්චිය අහුලාගත්තේ ය. පෙනෙන හැටියට නම් ඔහුට වෙනත් විකල්පයක් නොවීය. ඔහු ගේ පාදය තවත් තදින් රිදුම් දෙන්නට වූ අතර තමා දරුවකු තරම් අනාරක්ෂිත යැයි ඔහුට හැඟෙන්නට විය. "ටාර්ගේරියන් කෙල්ල-"

රජතුමා කේන්තියෙන් ගෙරෙවුවේ ය. "අපා හතටම පලයං. ඒකි ගැන ආයෙමත් පටන්ගන්ට එපා. ඒක ඉවරයි. ආයෙමත් ඒ ගැන කතාකරන්ට එපා."

"මගේ උපදෙස්වලට කණ් දෙන්නෙ නැත්තම් ඇයි ඔබට මාව ඕන හස්තය විදියට?"

"ඇයි?" රොබර්ට් සිනාසුනේය. "ඇයි නැත්තෙ? කවුරුහරි එකෙක් මේ මලඉලවු රාජධානිය පාලනය කරන්ට ඕන. ඕක දාගනින් නෙඩ්. ඒක උඹට ගැලපෙනවා. උඹ ආයෙමත් ඕක මගෙ මූනට දමලා ගැහුවොත්.. මම මේ දිවුරලා කියන්නෙ.. මම ඔය බඩකඩුත්තුව දෙනවා ජේමි ලැනිස්ටර්ට."


Cersei Lannister: “A man in your place should count himself fortunate that his head is still on his shoulders.”

22 comments:

  1. මාත් හරි ආසයි බඩකඩිත්තු කන්න බැරි වෙයිද දන්නැ මටත් ටිකක් ඉල්ල ගන්ට...
    හිහි

    ReplyDelete
    Replies
    1. හැලපෙ ඉතුරු කලොත් තමයි අපිට

      Delete
    2. බඩකඩිත්තු නං පොඩ්ඩක් දෙන්න බැරුවයි,දෙන්නටම.

      Delete
    3. අද රහ කෑම මොකුත් නෑ නෙවද... :-D

      Delete
    4. බඩකඩිත්තු රහද කියල තාම දන්නෙ නෑ බුර්තුමනි

      Delete
    5. අර රොබර්ට් ආර්බර් ගෝල්ඩ් ගුරුලේත්තුවක් ගෙනල්ලා තිබුනා නේද? ඒකෙන් ටිකක්වත් වක්කරගත්තා නං..

      Delete
  2. තැන් තැන් වල ඇවිදින්න ගියෙ නැත්නම් මෙලහට වින්ටර්ෆෙල් වලට ගිහිල්ල... දැන් ඉතින් ඔය කතාවකුත් අහ ගන්න වෙලානෙ

    ReplyDelete
    Replies
    1. අර අහිංසක පොං කුමරුටත් නරක සත්තු කතා හදනවනෙ

      Delete
    2. මොනාද මේ කතා කිවුවලු.. යන්ට වෙලාව ආපු වෙලාවෙ පැනගන්නෙ නැතුං යනවා රහස් පරීක්ෂක වැඩ කොරාන්ට.. :-)

      Delete
  3. නෙඩ්ට තියෙන්නේ පොදු අපේක්‍ෂක කමට ඉල්ලන්න.ආ ඒ ජන්ද නැහැනේ.

    ReplyDelete
    Replies
    1. පොදු අපේක්ෂක කම දෙමු සුළැඟිල්ලාට...

      Delete
    2. නෑ නෑ ඉඳිකට්ටාට දෙමු...:D:D

      Delete
  4. මොනා මොනා වෙන්න යනවද මන්දා .......

    ReplyDelete
    Replies
    1. කුච් කුච් හෝතා හේ... :-D

      Delete
  5. බොහොත් අච්චාහේ :)

    ReplyDelete
    Replies
    1. අච්චාරු දැම්මෙ නෑ හේ... ;-)

      Delete
  6. අම්මපා මෙහෙමත් රජෙක්.. රාජධානිය පාලනය කරන්න මොකෙක් හරි ඉන්න ඕන කියලා ඒක වෙන කෙනෙක්ට පවරන රජෙක් මම දැක්කමයි මේ..

    හා හා ඊලඟ... ( අද මාරයියා පේන්න නැති හන්දා මම දැම්මා )

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ.. මෙවුවා හැමදාම නෑ හැමතැනම නෑ..

      මාරෙ මේ දවස්සොල චුට්ටිත්තක් විතර බිසී ලු.. :-D

      Delete
    2. ආවා ආවා.. :D පරක්කු වෙලා හරි කියෙව්වා.. සමහර විට මේ මාසේ අග ඉදලනං කියවන්න වෙන්නේ නැති වෙයි.. ඒත් ජනවාරි නවයෙන් පස්සේ එක දිගට කියවලා දාඤ්ඤං :P

      හා හා ඊ ළඟ.... :D

      Delete
    3. අපිත් ඔය ජන්ද කාලේ අල්ලලා පොඩි විවේකයක් ගත්තානම් හරි. බූරාගෙන් අහලා බලන්ට ඕනි. :P

      Delete
  7. ඊලඟ කොටසත් කියවලම දිග කොමෙන්ට් එකක් දාඤ්ඤං

    ReplyDelete