Wednesday 12 November 2014

එඩාර්ඩ් 08


"රොබර්ට්, කරුනාකරලා." නෙඩ් අයැද සිටියේ ය. "ඔබ මොකක්ද මේ කියන්නෙ කියලා හිතලා බලන්ට. ඔබ මේ දරුවෙක් මරන්ටයි කතා කරන්නෙ."

"මේ බැල්ලි බඩදරු වෙලා!" රජතුමා මිට මෙලවූ අතින් මේසයට වැරෙන් පහරක් දුන්නේ ය. "මම උඹට කිවුවා මේක මේ විදියට වෙයි කියලා ‍නෙඩ්. එදා අර උතුරෙ සොහොන් බිමේදී මම උඹට කිවුවා නෙඩ්. ඒ වුනත් උඹ මට ඇහුම්කණ් දුන්නෙ නෑ. ඉතින් ඒක නිසා දැන්වත් මට ඇහුම්කණ් දීපන්. මට ඕන උන්ව මරන්ට. අම්මවයි දරුවවයි දෙන්නම. ඒත් එක්කම අර විසේරිස් කියන බූරුවවත් මරන්ට ඕන. ඒක පැහැදිලිද? මට ඕන උන් ඔක්කොම මරන්ට."

අනිකුත් රාජසභිකයින් සියලුදෙනාම හරියටම ඔවුන් මෙහි නැතැයි හඟවන්නට මෙන් වෙනතක බලමින් හෝ කිසිදු හැඟීමක් නොපෙන්වන මුහුණින් යුතුව හෝ සිටියහ. ඔවුන් සියලුදෙනාම ඔහුට වඩා ඥානවන්ත වූ බවට කිසිදු සැකයක් නැත. එඩාර්ඩ් ස්ටාර්ක්ට මෙවැනි තනිකමක් මීට පෙර කිසිදු දිනෙක දැනී නොතිබින. "ඔබ මේ දේ ක‍ලොත් ඔබේ නම හැමදාටම අපකීර්තියට පත්වෙයි."

"එහෙමනම් එහෙම වෙච්චාවෙ. මේ වැඩේ කෙරෙනවානම් මට ඒ ඇති. මගේ බෙල්ල කෙලින් එල්ලවෙලා තියෙන පොරොවක හෙවනැල්ල නොදැක ඉන්ට තරම් මම අන්ධයෙක් නෙවෙයි."

"එහෙම කිසිම පොරොවක් නෑ." නෙඩ් රජතුමාට කීවේය. "ඔබ ඔය දකින්නෙ මීට අවුරුදු විස්සකට කලින් නැතිකරලා දාපු හෙවනැල්ලකත් හෙවනැල්ල... එහෙම එකක් තියෙනවා නම්."

"තියෙනවා නම්?" වාරිස් සිය පුයර දැමූ දෑත් එකට අඹරවමින්, මෘදු ස්වරයෙන් ඇසීය. "මගේ උතුමානනි, ඔබ හිතන්නෙ මම වැරැදියි කියලයි, එහෙම නේද? මම රජතුමාටයි රාජ සභාවටයි වැරැදි ආරංචි ගේනවද?"

‍නෙඩ් පණ්ඩකයා දෙස නොපහන් බැල්මක් හෙලීය. "ඔබ අපට ගේන්නෙ ලෝකෙ අනිත් පැත්තෙ ඉන්න රාජද්‍රෝහියෙකුගෙ ‍කෙඳිරීම් මගේ උතුමානනි. සමහරවිට මෝර්මන්ට් වැරැදි ඇති. සමහරවිට ඌ බොරු කියනවා වෙන්ට ඇති."

"සෙර් ජෝරා මාව රවට්ටන්ට හිතන්නෙ නෑ." වාරිස් කපටි සිනහවක් රැඳුනු මුවින් යුතුව කීවේය. "ඒක ගැන අවිශ්වාස කරන්ට එපා මගේ උතුමානනි. කුමාරි ඉන්නෙ දරුවෙක් ලැබෙන්ටයි."

"ඔබ කියන විදියට. ඔබ වැරැදි නම් අපට බයවෙන්ට හේතුවක් නෑ. මේ දැරිවිට ගබ්සාවක් වුනොත් අපට බයවෙන්ට හේතුවක් නෑ. එයා පුතෙක් වෙනුවට දුවෙක් ප්‍රසූත කලොත් අපට බයවෙන්ට හේතුවක් නෑ. ඒ උපදින දරුවා බිළිඳු කාලෙම මැරුනොත් අපට බයවෙන්ට හේතුවක් නෑ."

"ඒත් ඌ පිරිමි දරුවෙක් වු‍නොත්? ඌ ජීවත් වුනොත්?" රොබර්ට් විරෝධාත්මක හඬින් ඇසුවේ ය.

"ඒ වුනත් පටු මුහුද අපි දෙගොල්ල අත‍රේ තියෙනවා. ඩොත්රැකියො උන්ගෙ අශ්වයින්ට වතුර උඩ ඇවිදින්ට පුරුදු කරපු දාට තමා මම බයවෙන්නෙ."

වයින් උගුරක් තොල ගෑ රජතුමා මේසයේ අනෙක් පස සිටි නෙඩ් දෙස රවා බැලුවේ ය. "ඒ කියන්නෙ, උඹ මට කියන්නෙ මකරපැටියා මගේ රටේ වෙරළට ගොඩබහිනකම් මම මොකුත් නොකර කට ඇරන් බලන් ඉන්ට ඕනයි කියලද?"

"‍මේ මකරපැටියා තාම ඉන්නෙ එයාගෙ අම්මගෙ බඩ ඇතුළෙ." නෙඩ් කීය. "අඩුම ගානෙ ජයග්‍රාහක ඒ‍ගොන්වත් කිරිවරනකම් කිසිම දෙයක් කරන්ට හැදුවෙ නෑ."

'දෙයියම්පා! උඹ නම් ඔරොක්ස් එකෙක් වගේ මුරණ්ඩුයි ස්ටාර්ක්." රජතුමා මේසය වටා පිරික්සා බැලීය. "උඹලා අනිත් එවුන්ගෙ දිවවල් නැති වෙලාද? මේ මොළේ ගල්වෙච්චි මෝඩයගෙ ඔළුවට හරි නුවණ දාන්ට එකෙක් නැද්ද?"

වාරිස් රජතුමා දෙසට චාටු සිනහවක් පෑවේ නෙඩ් ගේ කමිස අතින් ඇල්ලී ය. "ඔබතුමාගෙ මනස්තාපය මට තේ‍රෙනවා එඩාර්ඩ් උතුමානනි. ඇත්තෙන්ම මට තේරෙනවා. මේ කණගාටුදායක ප්‍රවෘත්තිය රාජසභාවට ගෙනාවා කියලා මට දැනෙන කිසිම සන්තෝසයක් නෑ. අපි මේ කරන්ට අදහස් කරන්නෙ බොහොම නරක වැඩක් තමා. හරිම අධම දෙයක්. ඒ වුනත් අපි මේ රාජධානිය පාලනය කරනවා නම්, රාජධානියේ යහපත වෙනුවෙන් අධම දේවල් වුනත් කරන්ට අපට සිද්දවෙනවා, ඒක අපේ හිතට කොච්චර වේදනාවක් දුන්නත්."

රෙන්ලි උතුමානන් දෙවුර ඇකිළීය. "මේක බොහොම සරල ප්‍රශ්නයක් වගෙයි මට නම් පේන්නෙ. හරි නම් අපි මීට අවුරුදු ගානකට කලිනුයි විසේරිසුයි එයාගෙ සහෝදරීවයි මරලා දාන්ට තිබුනෙ. ඒ වුනත් අපේ රජතුමා, මගේ සහෝදරයා බොහොම ලොකු අත්වැරැද්දක් කලා ජොන් ඒරින්ට කණ් දීලා."

"සමාව දීම කියන්නෙ අත්වැරද්දක් නෙවෙයි රෙන්ලි උතුමානනි." නෙඩ් පිළිතුරු දුන්නේ ය. "මෙතන ඉන්න සෙර් බැරිස්ටාන්, ත්‍රිශූලයේ සට‍නෙදි රොබර්ට්ගෙයි මගෙයි හොඳ යාළුවො කී දෙනෙක් කපලා බිම දැම්මද? හොඳටම තුවාලවෙලා මරනාසන්න වෙලා හිටපු එයාව අපි ගාවට අරන් ආවහම රූස් බෝල්ටන් ‍බලකරලා අපට කිවුවා එයාගෙ බොටුව කපලා දාන්ටයි කියලා. ඒ වුනත් ඔබේ සහෝදරයා මොකක්ද දන්නවද කිවුවෙ? 'කෙනෙකුගෙ පක්ෂපාතීභාවය නිසා හරි එයා යුද්ධයෙදි දක්ෂ විදියට සටන් කරපු නිසා හරි එයාව මරලා දාන්ට මට ඕන නෑ.' කියලයි. ඊටපස්සෙ එයා, එයාගෙම මේස්ටර්ව යැවුවා සෙර් බැරිස්ටාන්ගෙ තුවාල වලට සාත්තු කරන්ට." ඔහු රජතුමා දෙසට දිගු බැල්මක් ‍හෙලුවේ ය. "ඒ මනුස්සයා අද මෙතැන හිටිය නම්?"

ලැජ්ජාව නිසා ‍රොබර්ට් ගේ මුහුණ රතු වී ගියේය. "ඒක වෙනස් දෙයක්." ඔහු පැමිණිලි ස්වරයෙන් කීය. "සෙර් බැරිස්ටාන් එතකොටත් රාජ්‍යාරක්ෂක බලකායෙ සෙබළෙක්."

"ඒ වගේම ඩනේරිස් කියන්නෙ අවුරුදු දාහතරක පුංචි කෙල්ලක්." තමා ඕනෑවටත් වඩා මේ සම්බන්ධයෙන් රජුට බලකරමින් සිටින බැව් නෙඩ් දත්තේ ය. එනමුදු ඔහුට නිහඬව සිටීමට හැකියාවක් නොවීය. "රොබර්ට්, මම ඔබෙන් අහන්නෙ, මේ වගේ පුංචි දරුවො මරන එක නවත්තන්ට නෙවෙයි නම්, මොකක් නිසාද අපි ඒරිස් ටාර්ගේරියන්ට විරුද්ධව නැගී හිටියෙ?"

"ටාර්ගේරියන්වරු නවත්තන්ට." රොබර්ට් ගුගුලේ ය.

"මගේ ස්වාමිනී, මම කවදාවත් දැනගෙන හිටියෙ නෑ ඔබ රේගාර්ට මෙච්චර බයයි කියලා." සිය ස්වරයේ ඇති අවඥාව මකා දැමීමට නෙඩ් අසීරු උත්සාහයක නිරත විය. "තාම ඉපදුනේවත් නැති දරුවෙකුගෙ හෙවනැල්ල දැකලා බයෙන් වෙවුලන්ට තරම් මේ අවුරුදු ගාන ඇතුළත ඔබේ පිරිමිකම නැතිවෙලා ගිහිල්ල ද?"

කේන්තිය නිසා රොබර්ට් දම් පැහැ ගති. "තව වචනයක්වත් කතා කරන්ට එපා නෙඩ්." ඔහු ඇඟිල්ල උරුක් කරමින් තර්ජනය කලේය. "තව එක වචනයක්වත් කතා කරන්ට එපා. උඹට අමතක වුනාද කවුද මෙතන රජ්ජුරුවො කියලා?"

"නෑ මගේ ස්වාමිනී." නෙඩ් පිළිතුරු දුන්නේ ය. "ඔබතුමාට අමතක වුනාද?"

"ඇති!" රජතුමා බිරුසන් දුන්නේ ය. "මේ කතා කිරිල්ල මට තිත්ත වෙලා. මේක ඉවරයක් කරලා දාමු නැත්තං සේරමල්ලා යකාට යමු. උඹලා මොකද කියන්නෙ?"

"ඒකිව මරන්ට ඕනමයි." රෙන්ලි උතුමානන් නිවේදනය කලේය.

"අපට වෙන විකල්පයක් නෑ." වාරිස් මිමිනුවේ ය. "බොහොම කණගාටුයි, ‍බොහොම කණගාටුයි..."

සෙර් බැරිස්ටාන් සෙල්මි මෙතෙක් වේලා මේසය ‍වෙත ඇලී තිබුනු සිය ලා නිල් පැහැ දෑස් එසෙවුවේ ය. "මගේ ස්වාමිනී, සතුරෙකුව යුද්ධභූමියෙදි මුනගැහෙන එකේ ගෞරවනීය බවක් තියෙනවා. ඒ වුනත් එයාව අම්මගෙ බඩේ ඉන්දැද්දිම මරලා දාන එක එහෙම නෙවෙයි. මට සමාවෙන්ට, ඒ වුනත් මෙතැනදි මම ඉන්නෙ එඩාර්ඩ් උතුමානන්ගෙ පැත්තෙ."

ප්‍රධාන මේස්ටර් පයිසෙල් මිනිත්තු කිහිපයක් යනතෙක් සිය උගුර පෑදුවේය. "මගේ නිකාය සේවය කරන්නෙ රාජධානියටයි. රජතුමාට නෙවෙයි. මම දැන් රොබර්ට් රජතුමාට උපදෙස් දෙනවා වගේම වරක් ඒරිස් රජතුමාටත් උපදෙස් දුන්නා. ඒ නිසා එයාගෙ මේ පුංචි ගෑනු දරුවා ගැන මගේ හිතේ කිසිම කහටක් නෑ. ඒ වුනත් මම මේක ඔබලාගෙන් අහන්ට ඕන. ආයෙමත් පාරක් යුද්ධයක් ආවොත්, සොල්දාදුවො තව කී දාහක් මැරෙයිද? තව නගර කීයක් ගිනිබත් වෙයිද? තව දරුවො කී දෙනෙක් තමන්ගෙ අම්මලාගෙ තුරුල්ලෙන් උදුරලා අරන් හෙලිවල අමුනයිද?" ඔහු මුවට නගාගත් කණගාටුදායක හා වෙහෙසකාරී පෙනුමක් සහිතව හෙමින් හෙමින් තම දිගු රැවුල පිරිමැද්දේ ය. "ඒක වඩා ඥානවන්ත නැද්ද, වඩා කරුනාවන්ත නැද්ද ඩනේරිස් ටාර්ගේරියන් දැන් මැරිලා ඒක නිසා තවත් දසදහස් ගානකගෙ ජීවිත බේරෙනවා නම්?"

"කරුනාවන්තයි." වාරිස් එකඟ විය. "ආහ්! ඔබතුමා නියම විදියටම කතා කලා ප්‍රධාන මේස්ටර්තුමනි. ඒකනම් ඇත්තම ඇත්තයි. දෙයියො ‍ඩනේරිස් ටාර්ගේරියන්ට පුතෙක් දුන්නොත් මේ රාජධානිය ආයෙමත් පාරක් ලේ වලින් පෙඟිලා යයි."

අන්තිමටම කතා කල තැනැත්තා සුළැඟිල්ලා විය. නෙඩ් එදෙස බලද්දී ඔහු ආයාසයෙන් ඈනුමක් වළක්වා ගැනීමට තැත් කලේය. "ඔබට කැත ගෑනියෙක් එක්ක ඇඳට නගින්ට සිද්දවුනොත් කරන්ට තියෙන හොඳම දේ තමා ඇස් දෙක පියාගෙන වැඩේ අහවරයක් කරලා දාන එක." ඔහු තම මතය ප්‍රකාශ කලේය. "නැවතිලා බලන් හිටියා කියලා ඒ ගෑනි ලස්සන වෙන්නෙ නෑ. ඒකිව ඉඹලා වැඩේ ඉවරයක් කරලා දාන්ට."

"ඒකිව ඉඹලා?" සෙර් බැරිස්ටාන් ත්‍රස්තවෙමින් ඇසුවේ ය.

"වානේවලින් හදාපු හාදුවක්." සුළැඟිල්ලා පිළිතුරු දුන්නේ ය.

රොබර්ට් සිය හස්තය දෙසට හැරුනේය. "හරි, ඔන්න තියෙනවා නෙඩ්. මේ ප්‍රශ්නෙදි අනිත් පැත්තට ඉන්නෙ උඹයි සෙල්මියි විතරයි. දැන් අපට තියෙන එකම ප්‍රශ්නෙ කාවද යවන්නෙ මේකිව මරන්ට කියන එක විතරයි."

"මෝර්මන්ට් රාජකීය සමාවක් බලාපොරොත්තුවෙන් ඉන්නවා." ‍රෙන්ලි ඔහුට සිහිපත් කර දුන්නේ ය.

"බොහොම ‍ලොකු ඕනෑකමකින්." වාරිස් කීය. "ඒ වුනත් එයා එයාගෙ ජීවිතේටත් ඒ වගේම ලොකු ආදරයක් තියෙනවා. මේ වෙන‍කොට කුමාරි වයෙස් ඩොත්රැක්වලට ලංවෙලයි ඉන්නෙ. ඒක ඇතුළෙදි ආයුධයක් අදිනවා කියන්නෙ මැරුම් කන වැඩක්. තමන්ගෙ ඛලීසිව මරන්ට ආයුධයක් අදින එකාට උන් කරන්නෙ මොකක්ද කියලා මම කිවුවොත් ඔබලා කාටවත් අද රෑ නිදාගන්ට ලැබෙන එකක් නෑ." ඔහු පුයර දැමූ කම්මුලක් පිරිමැද්දේ ය. "වස කොහොමද... අපි හිතමු 'ලයිස්වල කඳුළු' කියලා. ඒක සාමාන්‍ය මරණයක් නෙවෙයි කියලා ඛාල් ඩ්‍රෝගෝට දැනගන්ට ලැබෙන්ට ඔන නෑ."

ප්‍රධාන මේස්ටර් පයිසෙල් ගේ නිදිමත දෑස් සැනෙන් විවර විය. ඔහු පණ්ඩකයා දෙස සැකමුසු බැලුම් හෙලන්නට විය.

"වස කියන්නෙ බයගුල්ලෙකුගෙ ආයුධයක් නේ." රජතුමා පැමිණිලි කලේය.

නෙඩ්ට තවත් ඉවසා සිටිය නොහැකි විය. "අවුරුදු දාහතරක පුංචි කෙල්ලක් මරන්ට කුලී මිනීමරුවො යවන්ට සූදාණම් වෙන අත‍රේ ඔබලා ගෞරවය ගැනත් වදවෙනවද?" සිය පුටුව පසුපසට කල ඔහු නැගී සිටියේ ය‍. "ඒක ඔබම කරන්ට රොබර්ට්. මරණ දඬුවම නියම කරන ‍කෙනාම කඩුව වනන්ටත් ඕන. ඒකිව මරන්ට ඉස්සෙල්ලා ඒකිගෙ ඇස් දෙක දිහා කෙලින් බලන්ට. ඒකිගෙ ඇස්වල තියෙන කඳුළු දකින්ට, ඒකිගෙ අවසාන වාක්‍යය අහන්ට. ඔබ අඩුම ගානෙ ඒ ටික කරන්ටවත් බැඳිලා ඉන්නවා."

"දෙයියම්පා!" රජතුමා අවලාද ස්වරයෙන් කෑගැසුවේ ය. ඔහුට සිය වියරුව තවත් ඉවසා දරා සිටීමට ‍නොහැකි සෙයක් පෙනින. "උඹ ඇත්තටමද ඔය කිවුවෙ? උඹ යකාටම පලයං." සිය වැලමිට සමීප‍යේ තිබුනු වයින් කුසලාණ වෙතට නැඹුරු වූ ඔහු එය හිස් බව දුටුවේ කුසලාණ ඔසවා බිත්ති‍යේ වැදෙන සේ විසි කර දැමීය. "මගේ වයිනුත් ඉවරයි, ඉවසීමත් ඉවරයි. මේ ඇති. මේක අහවරයක් කරලා දාපල්ලා."

"මිනීමැරුමක කොටස් කාරයෙක් වෙන්ට මට ඕනකමක් නෑ රොබර්ට්. ඔබට ඕන දෙයක් කරන්ට. ඒ වුනත් ම‍ගේ මුද්‍රාව ඕකට තියන්ටයි කියලා නම් කියන්ට එපා."

නෙඩ් පැවසූයේ කුමක්දැයි රජතුමාට මො‍හොතක් යනතෙක් වැටහී ගිය බවක් නොපෙනින. විරෝධය පෑම වනාහී ඔහු නිතර මුහුණදෙන්නට පුරුදුව සිටි දෙයක් නොවීය. අවබෝධය පැමිනෙද්දී ඒ මුහුණ කෙමෙන් වෙනස් විය. ඔහු ගේ දෑස් පටු වී ගිය අතර ගෙල රත් පැහැ වී ගියේය‍. ඔහු කේන්තියෙන් නෙඩ් දෙසට ඇඟිල්ලක් දිගු කලේය. "උඹ රජතුමාගෙ හස්තය ස්ටාර්ක් උතුමානනි. මම උඹට අණකරන දේ උඹ කරන්ට ඕන. එහෙම බැරිනම් කරන්ට පුළුවන් ජාතියෙ හස්තයක් මම හොයාගන්නම්."

"එයා කවුරු වුනත් එයාගෙ වැඩ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්ටයි කියලා මම ප්‍රාර්ථනා කරනවා." සිය තනතුර හුවා දක්වනු පිණිස සළු ‍දෙපොට එක්කර ගසා තිබුනු අතක හැඩය ගත් රජතමය හාරිච්චිය ඔහු ගලවා අතට ගත්තේ ය. නෙඩ් ස්ටාර්ක් ඒ හාරිච්චිය රජතුමා ඉදිරිපිට මේසය මතින් තැබුයේ එය ඔහු ‍වෙත පුදකල මිනිසා, තමා ආදරය කල තම ප්‍රාණසම මිත්‍රයා ගැන ඇති මතකය නිසා සි‍තේ උපන් සොවින් යුතුවය. "මම හිතාගෙන හිටි‍යෙ ඔබ මීට වඩා උසස් මිනිහෙක් කියලයි රොබර්ට්. මම හිතාගෙන හිටියෙ අපි උදාර උත්තම රජකෙනෙක් පත්කර ගත්තා කියලයි."

රොබර්ට් ගේ මුහුණ දම් පැහැ ගැන්වින. "පලයං." දැඩි වියරුව නිසා ඔහු ගේ වදන් උගුරේ හිරවින. "පලයං. යකාටම පලයං. උඹත් එක්ක මට ඇති‍වෙලයි තියෙන්නෙ. තවත් මොනාද නැවතිලා බලන් ඉන්නෙ? පලයං. උඹේ මහලොකු වින්ටර්ෆෙල්වලටම ආපහු දුවපං. ආයෙ කවදාවත් ඔය මූන මට පෙන්නන්නෙ නැතුව ඉන්ට ප‍රෙස්සම් වෙයං. එහෙම වුනොත් මම උඹේ ඔළුව කපලා රිටක අමුනනවා!"

ඔහුට හිස නැමූ නෙඩ් වදනකුදු නොදොඩා ආපසු හැරින. තමා පිටුපසින් එල්ල වී ඇති රොබර්ට් ගේ දෑස් ඔහුට දැනෙන්නට විය. ඔහු රාජසභා ශාලාවෙන් පිටවෙද්දී සාකච්ඡාව නැවත ආරම්භ විය. "බ්‍රාවොස්වල ඉන්නවා කණ්ඩායමක් 'මූන නැති මිනිස්සු' කියලා." ප්‍රධාන මේස්ටර් පයිසෙල් කතාව ඇරඹීය.

"ඔබ දන්නවාද උන්ගෙ වැඩ කොච්චර ගනන්ද කියලා?" සුළැඟිල්ලා පැමිණිලි ස්වරයෙන් කීය. "ඒ ගානෙන් බාගෙකට සාමාන්‍ය කුලී හේවායො හමුදාවක් ගන්ට පුළුවන්. අනික ඒ ගාන අහන්නෙ සාමාන්‍ය වෙළෙන්දෙක් මරන්ට. කුමාරියක් මරන්ට උං කොච්චරක් ඉල්ලයිද කියලා හිතාගන්ටවත් බෑ."

ඔහුට පිටුපසින් දොර වැසුනු අතර හඬ නෑසී ගියේය. රාජ්‍යාරක්ෂක බලකායේ සුදු පැහැ සළුවකින් හා සන්නාහයකින් සැරසුනු සෙර් බොරෝස් බ්ලොන්ට් ශාලාවට පිටතින් මුරකරමින් සිටියේ ය. ඔහු නෙත් කොණින් නෙඩ් දෙස කුතුහලයෙන් පිරි බැල්මක් හෙලූ නමුදු කිසිවක් නොවිමසී ය.

අංගනය පසුකර නැවත හස්තයේ කුළුණ වෙත යද්දී අද දවස දුෂ්කර පීඩාකාරී එකක් ලෙස ඔහුට හැඟෙන්නට විය. වාතයේ ඇති වැහිබර ගතිය ඔහුට දැනී ගියේය. නෙඩ් මේ වර්ෂාව ඉතසිතින් බලාපොරොත්තු විය. ඒ නිසා තමා ගේ කුණු, ධූලි, පවු සියල්ල සේදී පෙඟී යනු ඇතැයි ඔහු සිතන්නට විය. සිය කාමරයට වැදුනු ඔහු වයොන් පූල්ව කැඳවීය. නිවාස බාරකරුවා සැනෙන් ඔහු අභිමුවට පැමිණියේ ය. "ඔබතුමා මාව කැ‍ඳෙවුවද මගේ හස්තයේ උතුමානනි?"

"මම තවදුරටත් හස්තය නෙවෙයි. රජතුමායි මායි දබරවුනා. අපි ආපහු වින්ටර්ෆෙල්වලට යනවා."

"මම දැන්මම සූදාණම් වෙන්ට පටන් ගන්නම් මගෙ උතුමානනි. ගමනට උවමනා කරන හැමදේම ලෑස්ති කරන්ට අපට අඩුගානෙ සුමාන දෙකක්වත් යයි."

"අපට සුමාන දෙකක් තියෙන එකක් නෑ. සමහරවිට අපට දවසක්වත් තියෙනවද දන්නෙ නෑ. රජතුමා කිවුවා ම‍ගේ ඔළුව රිටක අමුනන කතාවක්." නෙඩ් බැම ඇකිළීය. රොබර්ට් ඔහුට හානියක් කරනු ඇතැයි ඔහු කොහෙත්ම විශ්වාස නොකලේ ය. ඔහු දැන් කේන්තියෙන් සිටියද නෙඩ් ආරක්ෂාකාරීව දෑසට නො‍පෙනෙන දුරින් සිටින විට අන් සෑමවිටෙකම මෙන් ඔහු ගේ වියරුව නිවී යනු ඇත.

සෑම විටෙකම මෙන්? හදිසියේම ඔහුට රේගාර් ටාර්ගේරියන් සිහිපත් විය. ඔහු මියගොස් දැනට වසර පහළොවක් ගෙවී ගොස් ඇති නමුදු රොබර්ට් එදා තරමටම අදත් ඔහුට වෛර කරයි. එය ඔහු ගේ සිතේ නොසන්සුන්කමක් ඇතිකරලන්නට සමත් වූ සිතුවිල්ලක් විය... එමෙන්ම මේ අනිත් ගැටළුව. යොරේන් විසින් පෙරදා රෑ ඔහුට දැනුම් දුන් කැට්ලින් හා කුරුමිට්ටා සමබන්ධ ගැටළුව. මෙය වැඩි කල් නොයවාම එළියට එනු ඇත. එය හිරු උදාව තරමටම සහතික කල හැකි දෙයකි. එ‍මෙන්ම රජතුමා දැඩි වියරුවෙන් සිටින මේ මොහොතේ... රොබර්ට් ගේ සිතේ ටිරියන් ලැනිස්ටර් ගැන ඉඳිඇටයක තරම්වත් ඇල්මක් නැති බැව් ඔහු දත්තේය. එහෙත් මේ සිදුවීම ඔහු ගේ ආත්මාඩම්බරයට හානි පමුනුවනු ඇත. අනිත් අතට, මේ සම්බන්ධයෙන් රැජිණ කුමක් කරනු ඇත්දැයි දන්නේ දෙවියන්ම පමණි.

"මම අනිත් අයට කලින් පිටත්වුනොත් ඒක වඩා ආරක්ෂාකාරී වෙයි." ඔහු පූල්ට කීය. "මම දුවලා දෙන්නවයි ආරක්ෂක භටයො කීපදෙනෙකුයි අරන් යන්නම්. අනිත් කට්ටියට ලෑස්තිවෙලා ඉවරවුනාම පිටත්වෙන්ට පුළුවන්. ‍ජොරීට කියන්ට, ඒත් වෙන කාටවත් කියන්ට එපා. ඒ වගේම මායි කෙල්ලො දෙන්නයි පිටත්වෙලා යනකම් මොකුත් ලෑස්ති කරන්ට පටන්ගන්ට එපා. මේ බලකොටුවෙ හැමතැනම ඇස් කණ් තියෙනවා. මගේ සැලසුම් කාගෙවත් කණට යන්නෙ නැත්තම් මම කැමැතියි."

"ඔබ කියන විදියකට මගේ උතුමානනි."

පූල් පිටව ගිය පසු කවුළුව අසලට ‍ගොස් වාඩිගත් නෙඩ් කල්පනාවේ නිමග්න විය. පෙනෙන අන්දමින් නම් රොබර්ට් ඔහුට අන් කිසිදු විකල්පයක් ඉතුරු කර නොමැත. ඇත්තෙන්ම ඔහු රොබර්ට්ට ස්තූතිවන්ත විය යුතුය. වින්ටර්ෆෙල් වෙත නැවත යාම හොඳ දෙයක් වනු ඇත. ඔහු කිසිදින එයින් පිටමං නොවූයේ නම් වඩාත් හොඳය. ඔහු ‍ගේ පුතුන් ඔහු එන‍තෙක් එහි බලාසිටිනු ඇත. නැවත ගියපසු සමහරවිට ඔහුටත් කැට්ලින්ටත් එක්ව තවත් පුතෙකු සදන්නට හැකි වනු ඇත. ඔවුන් දෙදෙනාම තවමත් වයස්ගත වූවන් නොවේ. මෑතක සිට ඔහු හිම ගැනත්, රාත්‍රිකාල‍යේදී වෘකවනයේ ඇති දැඩි නිහඬතාව ගැනත් සිහින දකින්නට පුරුදුව සිටියේ ය.

එනමුදු ‍මේ පිටව යාමේ සිතුවිල්ල ඔහුව කේන්ති ගස්වන්නටද සමත් වී තිබින. අහවර කර දැමිය යුතු වූ රාජකාරි බොහොමයක් විය. කිසිවෙකු මැදිහත් නොවන්නේ නම් රොබර්ට් සහ බියගුල්ලන් හා වංචාකාරයන් පිරි ඔහු ගේ රාජසභාව මේ රාජධානිය සිඟමනට ඇද දමනු ඇත... නැතහොත්, ඊටත් වඩා නරක අන්දමින්, ලැනිස්ටර්වරුන්ට ගෙවිය යුතු ණය පියවීම ‍වෙනුවෙන් රාජධානිය ඔවුන්ට විකුණා දමනු ඇත. එමෙන්ම ජොන් ඒරින් ‍‍ගේ මරණයද තවමත් ඔහු ගේ සිතේ හොල්මන් කලේය. ඇත්ත, ඔහු මේ ප්‍රහේලිකාවේ යම් යම් කොටස් කිහිපයක් ‍‍සොයාගත් බව සැබැවි‍. ජොන් ඒරින් සැබැවින්ම මරා දැමුනු බැව් එයින් තහවුරු වූ බව සැබැවි. එහෙත් එය වනයේ සරන සතෙකු ගේ ඉවපාර දැනුනා හා සමානය. ඔහු තවම සතා දැක නොතිබුනු අතර ඌ වනයේ සැඟවී, කල්මරමින්, ප්‍රයෝගකරමින් සිටින බව පමණක් දැන සිටියේ ය.

‍හදිසියේම ඔහුට සිතුනේ වින්ටර්ෆෙල් බලා යන ගමන මුහුදු මාර්ග‍යෙන් කලොත් යෙහෙකිය යනුවෙනි.

නෙඩ් මුහුදු යාත්‍රිකයෙකු නොවූ අතර සාමාන්‍යයෙන් නම් ගමන වෙනුවෙන් කැමැත්තෙන්ම රජමාවත තෝරාගනු ඇත. එනමුදු මුහුදු මාර්ගය තෝරාගතහොත් ඔහුට ඩ්‍රැගන්ස්ටෝන්හි නැවතී ස්ටැනිස් බරතියන් හා කතා කිරීමේ අවස්ථාවක් හිමිවනු ඇත. ස්ටැනිස් උතුමානන්ට නැවත කින්ග්ස් ලෑන්ඩින්ග්වලට පැමිණ ඔහුට හිමි රාජසභික ධූරයේ වැඩ කරගෙන යන මෙන් ආචාරශීලීව ඉල්ලා සිටිමින් නෙඩ් විසින් ලියන ලද පණිවුඩයක් පයිසෙල් විසින් පක්ෂියකු මාර්ගයෙන් යවා තිබින. එසේ වුවද එයට තවමත් පිළිතුරක් ලැබී නොතිබුනු අතර මේ නිහැඬියාව නෙඩ් ගේ සැක තවතවත් වැඩි කරවන්නට සමත් විය. ජොන් ඒරින් සිය දිවි පුද දුන් ඒ අභිරහස ස්ටැනිස් විසින්ද දැන සිටින බව නෙඩ්ට නිසැක විය. ඔහු විසින් හඹා යන මේ ප්‍රහේලිකාවේ විසඳුම මේ පුරාණ ටා‍ර්ගේරියන් දූපත් බලකොටුවේ ඔහු එනතෙක් බලාසිටිනු විය හැක.

එහෙත්, ඔහු ඒ විසඳුම ‍සොයාගත්තාට පසු? ඉන්පසු කුමක් කරන්ටද? සමහර රහස් සඟවා තැබීම වඩා සුදුසු වනු ඇත. සමහර රහස් අනෙකුන්ට පැවසීම, ඒ ඔබ ආදරය කරන විශ්වාස කරන අය වුව, අනතුරුදායක වනු ඇත. කැට්ලින් විසින් ඔහු වෙත ගෙන එනු ලැබූ කිනිස්ස ඔහු සිය බඳ පටියෙන් ඇදගත්තේ ය. පුංචි යකා ගේ කිනිස්ස. කුරුමිට්ටාට බ්‍රැන් මියයනු දැකීම අවශ්‍ය වූයේ ඇයි? අනිවාර්යයෙන්ම ඒ ඔහුව නිහඬ කිරීමට විය යුතුය. මේ තවත් රහසක් ද නැතිනම් විශාල මකුළු දැළේම තවත් එක් පොටක් ද?

රොබර්ටුත් මේ අභිරහ‍සේ කොටස් කරුවෙක් ද? එය ඔහුට විශ්වාස කිරීමට අසීරු කරුනක් විය. එහෙත් රොබර්ට් විසින් ගැහැණූන් හා කුඩා දරුවන් මරා දැමීමට අණ දෙනු ඇතැයි යන්නද ඔහු එක් කලෙක නම් විශ්වාස නොකල, කරුනු හරිහැටි ‍නොදන්නේ නම් දැන් පවා විශ්වාස නොකරනු ඇති කාරනයක් විය. කැට්ලින් ඔහුට අනතුරු ඇඟවීමට උත්සාහයක් දරා තිබින. 'ඔයා ඒ මිනිහව දැනගෙන හිටියා. ඒත් රජතුමා කියන්නෙ ඔයා නාඳුනන ආගන්තුකයෙක්.' ඇය එසේ පවසා තිබින. කින්ග්ස් ලෑන්ඩින්ග්වලින් හැකිතරම් ඉක්මනින් පිටව යන තරමට වඩා හොඳ වනු ඇත. උතුර බලා යාත්‍රා කරන නැවක් හෙට වුව පිටත්වන්නේ නම් එයට නැගීම ගුණදායක වනු ඇත. නැවතත් වයොන් පූල්ව කැඳවූ ඔහු වරාය වෙත ගොස් හෙමින් සීරුවේ එහෙත් හැකි ඉක්මනින් නෞකාවක් ගැන තොරතුරු සොයා එන්නැයි ඔහුව පිටත් කර හැරියේ ය. "හොඳ දක්ෂ කපිතාන් කෙනෙක් ඉන්න වේගවත් නැවක් ‍හොයාගන්ට. නැවේ කාමර ලොකුද ඒවායෙ තත්ත්වය ‍හොඳද වගේ අනවශ්‍ය විස්තර ගැන වදවෙන්ට එපා. ඒක වේගවත් නම්, ආරක්ෂාකාරී නම් එච්චරයි‍. මට හැකි ඉක්මනින් පිටත් වෙලා යන්ට ඕන."

පූල් පිටව ගිය සැනින්ම වාගේ ටොමාර්ඩ් අමුත්තකු ගේ පැමිණිම ගැන දැන්වූයේ ය. "බේලිෂ් උතුමානන් ඔබතුමාව මුනගැහෙන්ට ඇවිල්ලා ඉන්නවා ම‍යෙ උතුමානනි."

ඔහුව ආපසු හරවා යැවීමට නෙඩ්ට මොහොතකට සිතුනද ඔහු නැවත ඒ සිතුවිල්ල වෙනස් කරගත්තේ ය. ඔහු තවමත් මේ මකුළුදැළෙන් නිදහස් වී නැත. එසේ වනතුරු ඔවුන් ‍ගේ සෙල්ලමට සහභාගි වී ඔවුන් රැවටීම වඩා සුදුසුය. "එයාට එන්ට කියන්ට ටොම්."

අද උදෑසන අමුතු කිසිත් සිදු නොවූවාක් වැනි සාමාන්‍ය අන්දමින් සුළැඟිල්ලා කාමරයට ඇතුළු විය. ඔහු ක්‍රීම් හා රිදී පැහැ ඉරි වැටුනු විල්ලුද පිට කබායක්, කළු පැහැ නරි ලොමින් පෝරු දැමූ අළු පැහැ සේද සළුවක් හා සුපුරුදු වංචාකාරී සිනාව පැළැඳ සිටියේ ය.

නෙඩ් නොපහන් අන්දමින් ඔහුව පිළිගත්තේ ය. "මේ පැමිණීමට හේතුව මොකක්ද කියලා මට දැනගන්ට පුළුවන්ද බේලිෂ් උතුමානනි?"

"මම ඔබව ගොඩක් වෙලා පොරොත්තු කරන්ට බලාපොරොත්තු වෙන්නෙ නෑ. මම මේ ටන්ඩා ආර්යාවත් එක්ක භෝජන සංග්‍රහයකට සහභාගි වෙන්ට යන ගමන්. ආඳා මාළු පයි එකකුයි බැදපු ඌරු පැටවුනුයි. එයාගෙ අදහසක් තියෙනවා මාව එයාගෙ බාල දුවට බන්දලා දෙන්ට. ඉතිං එයාගෙ කෑම මේසෙ හැම වෙලාවෙම වගේ හරිම විස්මයජනකයි. ඇත්තම කියනවා නම් එයාගෙ දුව බැඳගන්නවාට වඩා මම කැමතියි ඊරියෙක්ව බැඳගන්ට. ඒ වුනත් එයාට ඒක කියන්ට එපා, මම හරිම ආසයි ආඳා මාළු පයි එකට."

"මං හින්දා ඔබේ ආඳා මාළු පයි එක පරක්කු කරගන්ට උවමනා නෑ මගේ උතුමානනි." නෙඩ් අවඥාවෙන් යුතුව කීය. "‍මේ වෙලාවෙ ඔබේ සමාගමයට වඩා එපා කරපු ‍වෙන කිසිම සමාගමයක් මට හිතාගන්ට බෑ."

"ආහ්! ඇත්තෙන්ම ඔබ ටිකක් හොඳින් කල්පනා කලොත්, නම් දෙකතුනක් හිතාගන්න එක එච්චර අමාරු වෙන්නෙ නෑ. අපි කියමු වාරිස්.. නැත්තම් සෙර්සි, නැත්තම් රොබර්ට්. අපේ මහරජතුමානන්ට ඔබත් එක්ක බොහොම සැරේට කේන්ති ගිහිල්ලයි තියෙන්නෙ. ඔබ අද උදේ අපිව දාලා පිටවෙලා ආවට පස්සෙ එතුමා සෑහෙන වෙලාවක් යනකම් ඔබ ගැන කියෙවුවා. මට මතක විදියට එතුමා 'අහංකාර' 'ගුනමකු' වගේ වචන සෑහෙන්න පාවිච්චි කලා‍."

නෙඩ් මෙයට කිසිදු පිළිතුරක් දෙන්නට නොසිතී ය. එමෙන්ම සිය අමුත්තාට අසුන්ගන්නට යැයිද නොකීවේ ය. එනමුදු එය නොතැකූ සුළැඟිල්ලා අසුනකට බර දුන්නේ ය. "ඔබ පිටවෙලා ආවට පස්සෙ මා පිටට තමා වැටුනෙ එයාලට ඒත්තු ගන්නන්ට 'මූනු නැති මිනිස්සු' කුලියට ගන්න එක එච්චර හොඳ වැඩක් නෙවෙයි කියලා.ඒ වෙනුවට වාරිස් ‍හෙමින් සීරුවේ ආරංචියක් පතුරලා අරියි ටාර්ගේරියන් කෙල්ල මරන කවුරුහරි කෙනෙකුට අපි වංශාධිපති පදවියක් පිරිනමනවා කියලා."

නෙඩ් බලවත් සේ කලකිරුනේ ය‍. "ඒ කියන්නෙ අපි දැන් කුලියට මිනීමරන එවුන්ටත් පදවි තානාන්තර දෙනවා?"

සුළැඟිල්ලා දෙවුර ඇකිළී ය. "පදවි තානාන්තර කියන්නෙ බොහොම ලාබ දෙයක්. මූනු නැති මිනිස්සු කියන්නෙ බොහොම මිල අධික දෙයක්. ඇත්තම කියනවා නම් ඔබේ අර ගෞරවය ගැන කරපු කතාවට වඩා මම කරපු දෙයින් ටාර්ගේරියන් කෙල්ලට හොඳක් වුනා. වංශාධිපතිකමක් ගැන හීන මවන ඔය කොහෙ හරි ඉන්න මෝඩ කුලී හේවායෙක් ඒකිව මරන්ට හදයි. කිසිම සැකයක් නෑ ඌ වැඩේ වල් කරගනියි. ඊටපස්සෙ ඩොත්රැකියො කෙල්ලට දාලා තියෙන මුරකාවල් තවත් වැඩි කරයි. අපි මූනු නැති මිනිහෙක් ඒ කෙල්ල පස්සෙන් යැවුවා කියන්නෙ ඒකි මැරුනා වගේ තමා."

නෙඩ් බැම ඇකිළී ය. "ඔබ රාජසභාවෙ වාඩිවෙලා කැත ගෑනුයි වානේ හාදුයි ගැන කතා කරනවා. දැන් ඔබ මට කියන්නෙ ඔබ ඒ කෙල්ලව ආරක්ෂා කරන්ට උත්සාහ කලා කියන එක විශ්වාස කරන්ටයි කියලද? ඔබ හිතන්නෙ මම කොච්චර විතර ලොකු මෝඩයෙක් කියලද?"

"ඇත්තෙන්ම කියනවා නම් බොහොම ලොකු දැවැන්ත මෝඩයෙක් විදියට." සුළැඟිල්ලා සිනාසුනේ ය.

"මිනීමැරීම කියන්නෙ බොහොම හාස්‍යජනක දෙයක් කියලද ඔබ හැම වෙලාවෙම හිතන්නෙ බේලිෂ් උතුමානනි?"

"මට හාස්‍යජනක දෙයක් විදියට ‍පේන්නෙ මිනීමැරීම නෙවෙයි ස්ටාර්ක් උතුමානනි. ඔබවයි. ඔබ වැඩ කරන්නෙ හරියට දිය වෙවී යන අයිස් කුට්ටියක් උඩ නටන මිනිහෙක් වගේ. මම මේ කියන්නෙ ඔබ බොහොම ලස්සන 'ජබුඃ' සද්දයකුත් එක්ක වතුරට වැටෙයි. මං හිතන්නෙ, අද උදේ මට අහන්ට ලැබුනා අයිස් කුට්ටිය කැඩෙන පළවෙනි සද්දෙ."

"පළවෙනි එක වගේම අන්තිම එකත්. මට දැන් ඇතිවෙලයි තියෙන්නෙ."

"ඔබ කවදද ආපහු වින්ටර්ෆෙල්වලට යන්ට හිතන් ඉන්නෙ මගේ උතුමානනි?"

"මට හැකි ඉක්මනින්. ඔබට මොකක්ද ඒකෙ තියෙන වැඩේ?"

"මොකුත් නෑ... ඒත් බැරිවෙලාවත් අද හැන්දෑ වෙනකනුත් ඔබ මෙහෙ ඉන්නවානම්, මම බොහොම සන්තෝසෙන් ඔබව එක්කරන් යන්නම් ඔබේ ඔය ජොරී කිසිම ප්‍රතිඵලයක් නැතිව හොය හොයා යන ඒ ගනිකා මඩමට." සුළැඟිල්ලා මඳ සිනහවක් පෑවේය. "බයවෙන්ට එපා, මම ඒ ගැන කැට්ලින් ආර්යාවට නොකියා ඉන්නම්."


Varys: “Yet we who presume to rule must do vile things for the good of the realm, however much it pains us.”

49 comments:

  1. මගුලයි මේ මොන සෙද්දක්ද
    විකාරයි මාන්දමිකයි... කුජීතයි නෙඩා අද නැවතුනොත් ඌ ඉවරයි...
    ඒත් කොහොම එහෙම වෙන්නද ඌ හින්දනෙ කතාව තියෙන්නෙ උමැරුණොත් අර වීරය මැරුණ පිචැැර් එකක් වගේ වෙයි එතනිංම ඉවරයි
    සැක්කේ

    ReplyDelete
    Replies
    1. විකාරයි වගේද? මාන්දමිකයි වගේද? චුට්ටිත්තක් ඉන්ටකො ඉවසලා.. :-D

      Delete
  2. Who has an axe over their head? King or the khaleesi?

    ReplyDelete
  3. ඔය වගේ රාජ සභාවක් මෙහෙත් තියෙන්න ඇති නේද?

    අහන්න දෙයක්ද ඕවා තවත් සිද්ධවෙන එක ගැන... නෙඩ්ලා වගේ අය ඉන්නේ හරිම කලාතුරකින්... ඌටත් හැමෝම මැටි මෝලා කියලා බනිනවා...

    ReplyDelete
    Replies
    1. රාජසභාවේ ගිනිකෙලි.. :-)

      Delete
  4. නෙඩා නම් කොහොමත් මැටි තමා ඒ උනාට සාදාරණ කොල්ලෙක්... සාදාරණ වැඩි නිසාමද කොහෙද මැටි මෝල් වෙලා තියෙන්නේ......

    අර ඔරොක්ස් කතාව නම් වැඩිපුර ගැලපෙන්නේ රජා ටම තමා...

    ReplyDelete
    Replies
    1. //නෙඩා නම් කොහොමත් මැටි තමා ඒ උනාට සාදාරණ කොල්ලෙක්.//

      පව් නේ කොල්ලා :D

      Delete
    2. අනේ හැබෑට ලොකු ළමයි පස් දෙනෙක් ඉන්න තාත්තා කෙනෙකුටනේ මේ කොල්ලා කියන්නේ :P

      Delete
    3. ඉතින් මොකද? අපි ආන්ටිලට මෙහෙ පොඩ්ස් කියන්නෙ

      Delete
    4. @පොම්
      ඉතිං මිනිහා ලොකු කොලුවා හදනකොට වයස කීයක් කියලද ඔහේ හිතන්නේ... අනික දැනුත් මිනිහා සිහින මවන්නේ කැට් එක්ක තව කොල්ලෙක් හදාගන්නනේ...
      ( ඇත්ත දැනගෙනත් ඔය විදියට කමෙන්ට් කලේ ඊට උඩින් කමෙන්ට් කල කෙනාගේ හිත ගන්න වගේ නම් මං මේක අතෑරලා දාන්නම් :ප් )

      @ප්‍රා.
      ඒක නොවෙන්නම්..එව්වා එහෙම නම් මෙව්වා මොනා උනාම මොකද නෙහ්..

      Delete
    5. යන තැනකින් යාලුවන්ට රහාආආආආආ චොක්ලට් එක්ක වයින් ගේනවා. ගවුම් කෑලි ඇඳගෙන නටන පොඩි එවන්ට අලු පාට සාලු තියෙනවා කියන දුෂ්ට අයට, ගිනිකඳු පිපිරෙන්ට ඔන්න මෙන්න ලඟ උදවියට මුකුත් හම්බ වෙන්නේ නෑ. ඔය පොඩි බඩාත් පරිස්සමින්. :P

      ටටා...

      Delete
    6. //යන තැනකින් යාලුවන්ට රහාආආආආආ චොක්ලට් එක්ක වයින් ගේනවා//

      ආන්ති ආන්ති මතාත් මතාත් ගේන්ත හොඳේ.

      ත තා

      Delete
    7. අනෙ මගේ තුදුම තුදු නැන්දිනේ ඔයා...

      Delete
    8. සාධාරණ වැඩිවුනාමත් ජීවත්වෙන්ට අමාරු නැද්ද චූලා.?

      Delete
    9. අත්තලටයි , මාමලටයි චොක්ලට් හොඳ නැහැ නේද පොඩ්ඩි. නංගිලටයි මල්ලිලටයි විතරක් ගෙනාවම ඇති :)

      Delete
  5. //කළු පැහැ නරි ලොමින් පෝරු දැමූ අළු පැහැ සේද සළුවක් හා සුපුරුදු වංචාකාරී සිනාව පැළැඳ සිටියේ ය.
    //

    එහෙනම් මේකයි මොටා පේන්ට නැත්තේ... බුල් කෝට් එක නැතුව දැන් හෙළුවෙන් වගේ ඇති නෙහ්....

    ReplyDelete
    Replies
    1. හරි. මොට්ස්ගෙන් ලොම් ගත්තා, අපේ ආන්ටිගෙන් වෙන්න ඇති අළු පැහැ සේද සළුව.
      වංචාකාරී සිනාව කාගෙන්ද එතකොට? පොං කුමාරයටනම් එක් කනක සිට අනෙක දක්වා දිලිසෙන හිනාවක් තියනව. ඒත් ඒක අහිංසකයි කියල තමයි Mt Fuji කියන්නෙ.

      //පෝරු දැමූ// ?
      "පෝර "නම් අපිත් දානව මෙතන වලියක් එහෙම හියොත්. කුඹුරුනම් "පෝරු" ගානව.
      පෝරුදානව කියන්නෙ මොකක්ද? Lined? Frills? Edged?

      Delete
    2. lined.
      fur lined.
      ඔය වචනේ ඉගන ගත්තේ හිම කබාය එකෙන් ඔන්න. අකාකි ගේ හිම කබායේ පෝරු ඔක්කොම ඉරිලා කියනවනේ.

      Delete
    3. අකාකිත් ජපන්ද?

      Delete
    4. හිම කබාය ගොගොල් ගෙ නේ.. ඒ කියන්නේ එයත් පොම් කුමාරයා වගේ ජපන් නැඹුරුවක් තියෙන කෙනෙක්ලුද??

      Delete
    5. අකාකි රුසියන් :P

      Delete
    6. මොටා හැබැයි රතුපාටයි චූලා.. ;-)

      @පොම්,

      අකාකි අකාකියෙවිච් ද.?

      Delete
    7. එරියා නනෝ :)

      ඉඳන් ආවෙ වින්ටර් වුඩ් වනන්තරේ
      ගමරාළෙගෙ කුකුළු කො‍ටුවෙ නිරන්තරේ
      හොර ගල් ඇහුලුවා නිතරම සැරින් සැරේ
      හඳ ඇති රෑක නරි බජව්ව දාමු දොරේ

      රෝස් කරපු ව‍ටුවොන්ටයි මං කැමතී
      හත වැදුනම, රෝස්ට් චිකන් උනත් ඇතී
      පොං, පොං සමඟ අපේ ගෝරිලි සබඳ මැතී
      ඉඳලා හිටලා , ලඟ, ලඟ නමා ගතී

      Delete
  6. //මම බොහොම සන්තෝසෙන් ඔබව එක්කරන් යන්නම් ඔබේ ඔය ජොරී කිසිම ප්‍රතිඵලයක් නැතිව හොය හොයා යන ඒ ගනිකා මඩමට." සුළැඟිල්ලා මඳ සිනහවක් පෑවේය. "//

    මූනං ඉන්ඳන්න වටින්නෙ නැහැ :(

    ReplyDelete
    Replies
    1. ග් ර් ර් ....නේද? ඌව "ඉන්ඳුවත්" වතුර පෝර දාන්නනම් වටින්නෙ නෑ

      ඒක නෙමෙයි මාටින් ලොක්කත් තම නම ඉස්සරහට ග්. ර්. ර්. කියල දාගෙන තියෙන්නෙ එයත් සිංහ වංශෙද?

      Delete
    2. මේ ඔහෙලයි අහ හිටොවන්නේ නැතෙයි??

      Delete
    3. ආ චූලෝ හිටවන පළාතේද?
      බස් හෙම හිටවනවා ඇති එකසිය ගානට :P

      Delete
    4. අපි ඉතිං ටයනු රටට අල්ලපු රටේ උදවිය නොවැ අය්යේ..

      Delete
    5. @ සොන්යා,

      අනිවා ඉන්දන්ට වටින්නෙ නෑ. හිටෝලාම තියන්ට ඕන. :-D

      Delete
  7. කතාවෙ හොඳ හොඳ හරිය දැන් තමා එන්නෙ , ඩැනීව නම් මරණව බොරු හැබැයි......

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සේර් ජෝරා එහෙම ඉන්නවනේ ආරක්ෂාවට නේද?

      Delete
    2. වාරිස් ට ඔත්තු දෙන මොර්මන්ට් ටුයි මේ සේර් ජෝරා කියන්නෙයි එක්කෙනෙක් නේද??

      Delete
    3. @ සොන්යා,

      හොඳ හොඳ සෙල්ලං සීත කාලෙට ලු.. :-P

      @ චූලා,

      ඔවු එයා තමයි. සෙර් ජෝරා මෝර්මන්ට්.

      Delete
  8. නෙඩ් ආපහු ගියා නම් හොඳා වගේ. නැත්නම් ඉතින් සුලැඟිල්ලා කියපු එක ඇත්තක් වෙයි... රජාට දුර තියන පොරව මිස ළඟ තියන එක පේන්නෙ නෑ නෙව

    ReplyDelete
    Replies
    1. රජාට කොහොමත් කෙල්ලො මිසක් වෙන මොකුත් පේන්නෙ නැහැ නේ.. :-)

      Delete
  9. සුළඟිල්ලා ගේ පුදුම ආදරයක් නේද තියෙන්නේ නෙඩ් ලොක්කට.

    ReplyDelete
    Replies
    1. ඇයි වයිෆ්ට

      Delete
    2. සුළැඟිල්ලා හැමෝටම ආදරෙයි. රජාට, නෙඩ්ට, කැට්ට, ලයිසාට... ;-)

      Delete
  10. වයිප්ට නෙවී වයිප්ගෙ අම්මගෙ ආදො සුප් පයි එකට

    ReplyDelete
  11. ඒ අස්සෙත් යන්න හදනවා ස්ටැනිස්ට ගතු කිය කිය කාලේ කන්න.. යන්න හම්බ උන වෙලේ සුරුස් ගාලා යන්නේ නැතිව...

    ReplyDelete
    Replies
    1. යන එකේ හතරවටේ ගිනි තියාගෙන යන්ට එපායැ.. ;-)

      Delete
  12. ඒ ඩැනී බඩින්ද :P ? එළ පොරක් කියලා හිතුව වාරිස් චාටර් අප්පා.

    ReplyDelete
    Replies
    1. ඩැනී බඩින් ද අහන්නෙ? ඔය ළමයා මෙච්චර කල් කතාව කියෙවුවෙ නැත.!? :-P

      Delete
    2. මට නිච්චියක් නැහැ නේ ඩැනී බඩ බවක්,ඒ ළමයා කන්ට අසා මොනවාද දන්නේ නැහැ.

      Delete
    3. කන්ට ආසා දේ ආසා නැති විදිහට කාලා තමයි බඩේ ලෙඩේ හැදුණේ

      Delete
  13. කලකට පස්සේ වෙලකට බැස්සේ .. ලිය ලියා බලන්ට ගියොත් කියවන්ට වෙන්නෙ නෑ. ඒ හින්දා කියවාගෙන යනවා ඉස්සරහට අන්තිම එකේ විතරක් ලියන්නං. බ්ලොග් ලියන්නවත් කියවන්නවත් වෙලාවක් නැතත් වෙහෙස වෙලා ඔබ දෙදෙනා ලියන මේ කෘතිය නොකියවීම මහා වරදක් වගේ මගෙ හිතට දැනෙනවා..

    ReplyDelete