Friday 14 November 2014

කැට්ලින් 06-1

ඒරින් මිටියාවත

"මගේ ආර්යාවනි, ඔබතුමී එනවා කියලා අපට දැනුම් දෙන්ට තිබුනනෙ." සිය අසුන් කඳුකර කපොල්ල නගින අත‍රේ සෙර් ඩොනල් වේන්වුඩ් කීය. "එහෙමනං අපට තිබුනා පරිවාර සේනාවක් ඉස්සරහට එවන්ට. මේ වගේ පොඩි පිරිසකට උස් මාවත දැන් ඉස්සර තරම් ආරක්ෂාකාරී නෑ."

"බොහොම කණගාටුදායක විදියට අපටත් ඒක තේරුම්ගන්ට හම්බවුනා සෙර් ඩොනල්." කැට්ලින් කීවාය. සිය හදවත ගලක් බවට පත් වී ඇත්දැයි ඇය සමහර වේලාවලදී විමතියෙන් කල්පනා කලාය. ඇයව මෙ‍තෙක් දුර කැඳවාගෙන ඒම පිණිස නිර්භීත මිනිසුන් සයදෙනකු සිය දිවි පුදකර තිබුනු නමුදු ඔවුන් වෙනුවෙන් කඳුළක් සැලීමේ හැකියාවක් පවා ඇය තුළ නොවීය. ඔවුන් ගේ නම් පවා මතකයෙන් මැකී යමින් තිබින. "ගෝත්‍රිකයො රෑ දවල් දෙකේම අපට කරදර කලා. පළවෙනි ප්‍රහාරයෙන් අපට මිනිස්සු තුන්දෙනෙක් නැතිවුනා. දෙවෙනි ප්‍රහාරයෙන් තව දෙන්නෙක්. ඒත් එක්කම ලැනිස්ටර් සේවකයා එයාගෙ තුවාල පැසවලා ඒ උණෙන් නැතිවුනා. ඔබේ මිනිස්සු එන සද්දෙ අපට ඇහුනම මම හිතුවා මෙදා පාර නම් අපි ඉවරෙටම ඉවරයි කියලා." සිය අසිපත් සුරතට ගත් ඔවුහු ගල් පර්වතයකට හේත්තු වී, 'මියෙම්වා රැකෙම්වා' යැයි සිතමින්, අවසාන බලාපොරොත්තු විරහිත ප්‍රහාරයට සූදාණම් වී සිටියහ. කුරුමිට්ටා සිය පොරොව මුවහත් කරමින්, අව්‍යක්ත විහිළුවක් කරමින් සිටියදී, අසරුවන් පිරිස ඔවුන් ඉදිරියෙන් ඔසවාගෙන පැමිණි ධජය බ්‍රොන් විසින් නිරීක්ෂණය කරන ලදී. අහස් නිල් පැහැයෙන් හා සුදු පැහැයෙන් ගෙත්තම් කෙරුනු ඒරින් වංශයේ ලාංඡනය වන අඩ සඳ හා උකුස්සා මීට පෙර කිසිදු විටෙක ‍නොදැනුනු තරම් සැනසීමක් කැට්ලින් ගේ සිතට ගෙන එන්නට සමත් වී තිබින.

"ජොන් උතුමානන් නැතිවුනාට පස්සෙ මේ ගෝත්‍රිකයින්ගෙ බයසැක තවත් අඩුවෙලා." සෙර් ඩොනල් කීය. ඔහු විසිවැනි වියෙහි පසුවූ, පුළුල් නාසයකින් හා ඝනකම් දුඹුරු පැහැ කේශකලාපයකින් හෙබි, අවංක චාම් තරුණයකු විය. "මට හැකියාවක් තිබ්බානං මම මිනිස්සු සීයක් අරන් යනවා කඳුකරයට. ගිහිල්ලා උන්ගෙ කඳවුරුවලට පහර දීලා උන්ට හොඳ මතක හිටින පාඩමක් උගන්නනවා. ඒ වුනත් ඔබේ සහෝදරී ඒ වැඩේ තහනම් කරලයි තියෙන්නෙ. එයා අඩුම ගානෙ එයාගෙ නයිට්වරුන්ට අවසර දුන්නෙ නෑ හස්තයේ තරගාවලියට සහභාගි වෙන්ටවත්. එයාට ඕන අපේ සෙබළු ඔක්කොම කිට්ටුවෙන් තියාගන්ටයි, මිටියාවත ආරක්ෂා කරගන්ට කියලා... ඒත් ඒ කාගෙන් ආරක්ෂා කරගන්ටද කියලා කවුරුවත් දන්නෙ නෑ. සමහරු කියනවා හෙවනැලිවලින් ලු." ඇය කවුරුන්දැයි හදිසියේම සිහිපත් වුනාක් මෙන් ඔහු ඈ දෙස වියවුල් බැල්මක් ‍හෙලීය. "මම හිතනවා මගේ කටින් මොකුත් වැරැදි දෙයක් කියැවුනේ නැහැයි කියලා ම‍ගේ ආර්යාවනි. මම කාටවත් විරුද්ධ වෙන්ට හිතුවෙ නෑ."

"ඇත්ත කතා කරන අය ගැන මගේ කිසිම විරුද්ධත්වයක් නෑ සෙර් ඩොනල්." සිය සොයුරිය බිය වී සිටින්නේ කුමකටදැයි කැට්ලින් දැන සිටියා ය. 'හෙවනැලිවලට නෙවෙයි, ලැනිස්ටර්ලට,' ඇය සිතුවේ ආපසු හැරී බ්‍රොන් සමීපයෙන් ගමන් කරන කුරුමිට්ටා දෙස බලමිනි. චිගන් මියගිය දා සිට ඔවුන් දෙදෙනා බෙහෙවින් සමීප වී තිබින. කුරුමිට්ටා ඇය සිතුවාට වඩා බො‍හෝ කපටි මිනිසකු විය. ඔවුන් කඳුකරයට ඇතුළුවන මොහොතේ දී ඔහු දෑත් දෙපය බැඳ දැමූ, හිස වැසූ, කිසිදු පිළිසරණක් නැති සිරකරුවකු විය. දැන්? ඔහු තවමත් ඇගේ සිරකරුවකු බව සැබැවි. එහෙත් දැන් ඔහු අසු පිට නැගී, ඉණපටියෙහි ඇමිනූ සිරියක් ද, සෑදලයේ රුවා තිබුනු පොරොවක් ද ඇතිව, චිගන් ‍ගේ මළසිරු‍රෙන් ගලවා ගත් මුදු දම්වැල් කවචයෙන් හා දූ කෙලියෙහි යෙදී ගායකයා වෙතින් දිනාගත් ‍ලොම් සළුවෙන් සැරසී සිටියේ ය. සිය සොයුරිය ලයිසා හා ජොන් ගේ ළදරු පුත්‍රයා ගේ සේවයේ නියුතු නයිට්වරුන් හා සෙබළුන්ගෙන් සැදි පිරිසක් විසින් වටකර ගමනේ යෙදුනේ වී නමුදු ටිරියන් ගේ මුහුණේ බියක සේයාවකුදු ‍නොවීය. 'මම ඇත්තටම වැරැදිද?' කැට්ලින් විමතියෙන් කල්පනා කලේ පළමු වතාවට නොවීය. බ්‍රැන් හා ජොන් ඒරින් හා අනිකුත් සෑම දෙයක්ම සම්බන්ධයෙන් ඔහු සැබැවින්ම අහිංසකද? එසේ වී නම් ලෝකයා ඇයට කුමක් කියනු ඇත් ද? ඔහුව මෙහි ගෙන එන්නට මිනිසුන් සයදෙනකු සිය දිවි පුද දී තිබින.

ඇය තිරසාර අයුරින් මේ අවිනිශ්චිතභාවයන් සිය සිතෙන් ඈත් කර දැමුවාය. "අපි ඔබේ බලකොටුවට ළඟාවුනාට පස්සෙ හැකි ඉක්මනින් මේස්ටර් කෝල්මන්ට එන්ටයි කියලා පණිවුඩයක් යවන්ට පුළුවන් නම් බොහොම කරුනාවයි‍. සෙර් රඩ්‍රික්ගෙ තුවාල නිසා එයාට හොඳටම උණ." මේ නිර්භීත මහලු නයිට්වරයා ගමන කෙලවර වනතෙක් ජීවත් නොවනු ඇතැයි ඇය කිහිපවිටකම බියපත් වී තිබුනා ය. ගමනේ අවසානය ලංවද්දී ඔහු සිය අසු පිට වාඩි වී සිටිය නොහැකි තත්ත්වයට පත් වී තිබින. ඔහුව මියයන්නට හැරදා යමු යැයි බ්‍රොන් කිහිපවරක්ම පැවසූවද කැට්ලින් ඒ ගැන සිතන්නටවත් අකැමැති විය. ඒ වෙනුවට ඔවුන් ඔහුව සෑදලයට තබා ගැට ගැසූ අතර ඔහු ගැන ඇස ගසාගෙන ඉන්නැයි කැට්ලින් විසින් මැරිලියන්ට අණ කලාය.

සෙර් ඩොනල් මොහොතක් දෙගිඩියාවෙන් මෙන් තැතනුවේ ය. "ලයිසා ආර්යාව අණ කරලා තියෙන්නෙ මේස්ටර් කෝල්මන්ට හැම‍වෙලාවෙම ඉයරීවලට වෙලා ඉන්ට කියලයි. රොබර්ට් උතුමානන් ගැන හොයාබලන්ට උවමනා නිසා. අපේ වාහල්කඩ ඉන්නවා සප්තක පූජකයෙක් තුවාල වෙච්ච අය ගැන බලන්ට. එයාට පුළුවන් වෙයි ඔබේ තුවාලකාරයා ගැන බලන්ට."

පූජකයා ගේ යාඥාවලට වඩා මේස්ටර් ගේ ඖෂධ ගැන කැට්ලින් තුල විශ්වාසයක් විය. ඇය මේ බැව් පැවසීමට සූදාණම් වද්දී තමන්ට ඉදිරියෙන් නැගී සිටි බලකොටු ද්වාරය දුටුවාය. ඔවුන්ට දෙපසින් වූ කඳුගැට දෙක යා කරමින් ගලින් කල දිගැති ප්‍රාකාර දෙකක් නිමවී තිබින. ඒ මැද වූ පටු ‍දොර කපොල්ල මිනිසුන් සිවුදෙනකුට අසු පිට නැගී යාන්තමින් මෙන් පෙළට ගමන් කල හැකි තරමේ කුඩා එකක් විය. දෙපස කඳු බැවූම් දෙකේ ගලින් කල මුර කුළුණු දෙකක් සාදා තිබුනු අතර මාවතට ඉහළින් ආරුක්කුවක් මෙන් නිමැවුනු, ආවරණය කෙරුනු ගල් පාලමක් මගින් මේ කුළුණු දෙක සම්බන්ධ කෙරින. නිහඬ මුහුණු සමූහයක් මේ මුර කුළුණු දෙකේ පිහිටි ඊ විවරවලින් ද, පවුරු මුර අට්ටාල මතින් ද, ගල් පාලමේ සිට ද ඔවුන් දෙස එබිකම් කරන්නට වූහ. ඔවුන් ද්වාරය වෙත ළඟාවෙද්දී ඔවුන් මුනගැසීම පිණිස නයිට්වරයෙක් ඉදිරියට පැමිණියේ ය. ඔහු ගේ සන්නාහය අසු මෙන්ම අඳුරු අළු පැහැති වූ නමුදු පැළැඳ සිටි සළුව රිවර්රන්හි නිල් හා රතු පැහැයෙන් ඉරි වැටී තිබින. රනින් හා ඔබ්සිඩියන් වලින් නිමැවුනු කළු පැහැ දිදුලන මාළුවෙකු මගින් මේ සළුව උරහිස අසලින් අමුනා තිබින. "කවුද මේ රතු වාහල්කඩ පහුකරන් යන්ට එන්නෙ?" ඔහු ඇසීය.

"සෙර් ඩොනල් වේන්වුඩ්, කැට්ලින් ස්ටාර්ක් ආර්යාව හා එයාගෙ පිරිස." තරුණ නයිට්වරයා පිළිතුරු දුනි.

වාහල්කඩ නයිට්වරයා සිය ශිරස්කයේ දෑස් ආවරණය එසවීය. "මං හිතුවා, මේ ආර්යාව මට හොඳට දැකලා පුරුදුයි. ඔයා ගෙදරින් බොහොම ඈත පුංචි කැට්."

"ඔයත් එහෙමයි බාප්පේ." ඇය කීවාය. මෙතෙක් විඳි දුක්ගැහැට සියල්ලක්ම මධ්‍යයේ වුව ඇගේ මුවට සිනාහවක් නැගුනේය. මේ ගොරෝසු බැරෑඬි කටහඬ විසින් ඇයව වසර විස්සකට එහා ඇ‍ගේ ළමා කාලයට නැවත කැඳවාගෙන ගොස් තිබින.

"මගේ ගෙදර තමා මගේ පිටිපස්සෙන් තියෙන්නෙ." ඔහු කර්කශ අයුරින් කීය.

"ඔයාගෙ ගෙදර තියෙන්නෙ මගේ හදවත ඇතුළෙ." කැට්ලින් ඔහුට කීවාය. "ඔයාගෙ ශිරස්කය ගලවන්ට බාප්පෙ. මට ආයෙමත් ඔයාගෙ මූන බලන්ට ඕන."

සෙර් ඩොනල් වේන්වුඩ්
"අවුරුදු ගානක් ගිහිල්ලත් ඒක ලස්සන වෙලා නම් නෑ." බ්‍රින්ඩන් ටලී කීවේය. එනමුදු ඔහු සිය ශිරස්කය ගලවද්දී එය බොරුවක් බැව් කැට්ලින්ට වැටහින. ඔහු ගේ මුහුණ ඇදී ගොස් අවුවෙන් වැස්සෙන් බැ‍ට කෑමෙන් පදම් වී තිබුනු අතර කාලය විසින් ඒ කෙහෙරැළිවල රතු-දුඹුරු පැහැය සොරාගෙන ඔහුට අළු පැහැය පමණක් ඉතුරු කර තිබින. එනමුදු ඒ සිනහව බිඳක් වත් වෙනසක් නැති ඇය දැන හඳුනන ඒ පුරුදු සිනහවම විය. එමෙන්ම දළඹුවන් මෙන් මහත් වූ ඒ ගොරෝසු ඇහිබැම ද, ඒ තද නිල් පැහැ දෑසේ වූ සිනහවද එලෙසින්ම විය. "ලයිසා දන්නවද ඔයා එනවා කියලා?"

"කලින් පණිවුඩයක් එවන්ට තරම් වෙලාවක් තිබුනෙ නෑ බාප්පෙ." කැට්ලින් පිළිතුරු දුන්නා ය. මේ වනවිට අනිකුත් පිරිස ඔවුන්ට ලං වී සිටියහ. "කණගාටුයි කියන්ට, ඒත් අපි ලොකු හදිසියකිනුයි ආවෙ. අපේ පිටිපස්සෙන් සැර කුණාටුවක් හමන්ට ඔන්න මෙන්න."

"අපි මිටියාවතට ඇතුළුවෙන්ටද?" සෙර් ඩොනල් ඇසීය.

"ඉයරීහි උතුමානන් වන, මිටියාවතේ ආරක්ෂකයානන් වන, නැගෙනහිර දිශාවේ සත්‍ය අධිපතියා වන රොබර්ට් ඒරින් ගේ නාමයෙන් ඔබට මෙහි ඇතුළුවීමට අවසර ලබාදෙන අතර එතුමන්ගේ සාමයට බාධා නොකරන මෙන් අණකරමි." සෙර් බ්‍රින්ඩන් පැවසීය. "එන්ට."

ඉදින් ඇය ඔහු පසුපසින් රතු වාහල්කඩ පසුකර, වීරයින් ගේ යුගයේදී හමුදාවන් දුසිම් ගණනක් සුනුවිසුනු වී ගිය ඒ චිරප්‍රසිද්ධ රතු වාහල්ක‍ඩේ සෙවනැල්ල පසුකර මිටියාවතට ඇතුළු වූවාය‍. මේ ශෛලමය ප්‍රාකාර පසුකර මඳක් තැන් ගිය පසු දෙපස කඳු බැවූම් හිටි අඩියේම නැතිව ගොස් කොළ පැහැයෙන් දිදුලන ගොඩිබිම්වලින් ද නිල් පැහැ අහසින් ද හිමෙන් වැසුනු මුදුන් සහිත කඳු පන්තීන්ගෙන් ද යුතු මනරම් දසුනක් දෑස් ඉදිරියේ මැවී ගියේය. ඒරින් මිටියාවත උදෑසන හිරු එළියේ නැහැවෙමින් තිබින. මේ දර්ශනය කෙතරම් සුන්දර ද, කෙතරම් මනෝඥ ද යත් කැට්ලින්ට හුස්ම ගැනීම පවා අමතකව ගියේය.

එය සරුසාර කළු පසින් පිරුනු, සෙමින් ගලන්නා වූ පුළුල් ගංගාවන් ගහන, හිරු එළියේ කැඩපත් මෙන් දිදුලන කුඩා විල් සිය ගණනකින් සමන්විත, සෑම අතින්ම උස් කඳු පන්තීන්ගෙන් ආරක්ෂා වූ සන්සුන් නිසල භූමියක් විය. එහි වූ ගොවිබිම්වල තිරිඟු, ඉරිඟු හා බාර්ලි සරුවට වැවී තිබින. එහි වැවුනු එළවළු හා පළතුරු හයිගාර්ඩ්න්වල වැවෙන ඒවාටද වඩා රසවත් හා ප්‍රමාණයෙන් විශාල විය. ඔවුන් සිටගෙන සිටියේ මිටියාවතේ බටහිර අන්ත‍යේ ය. සිය අවසන් කපොල්ල මෙහිදී පසුකරන උස් මාවත, මෙතැන් පටන් පුළුල් වෙමින්, ක්‍රමයෙන් පහළට බෑවුම් වෙමින් සැතපුම් දෙකක් පමණ පහළින් තිබුනු නිම්නය ‍දෙසට ඇදී ගියේය. මේ අන්තයේදී නිම්නය පටු වූ අතර අඩ දවසක ගමනකින් එය තරණය කල හැකි විය. උතුරුදිග කඳු පන්තීන් මෙහිදී ‍කෙතරම් සමීපව දිස් වූවාද යත් තම අත දිගු කලේ නම් ඒවා ඇල්ලිය හැකියැයි කැට්ලින්ට සිතෙන්නට විය. එනමුදු මේ සියල්ලම පරයමින් ඔවුන් ඉදිරියේ නැගී සිටි 'යෝධයා ගේ ලන්සය' නමින් හැඳින්වෙන කන්ද කෙතරම් උස් වීද යත් සෙසු කඳු සියල්ලම ඒ හමුවේ කුරුමිට්ටන් බඳු විය. නිම්න භූමියේ සිට සැතපුම් තුන හමාරක් උසට නැගුනු එහි මුදුන මීදුමින් වැසී ගොස් තිබින. එහි දැවැන්ත බටහිර බෑවුමේ ඇදහැලෙන 'ඇලයිසා ගේ කඳුළු' නම් දියඇල්ල මෙතරම් ඈතක සිට පවා කළු පැහැ පසුබිමේ රිදී ඉරක් මෙන් කැට්ලින්ට නිරීක්ෂණය කල හැකි විය.

ඇය නැවතුනු බව දුටු ඇගේ බාප්පා සිය අසු ඈ අසලට මෙහෙයවීය. "ඒක තියෙන්නෙ අතන, ඇලයිසාගෙ කඳුළුවලට පැත්තකින්. ඉරඑළිය හොඳට වැටිලා ඒකෙ ප්‍රාකාර දිලි‍සෙන කොට ඔයාට මෙතන ඉඳන් ඒ එළිය දකින්ට පුළුවන් යාන්තමට." ඔහු ඇඟිල්ල දිගු කොට පෙන්වීය.

නෙඩ් ඇයට කියා තිබුනු පරිදි එහි අහස් කුසට අනින ලද කිනිසි හතක් වැනි උසැති කුළුණු හතක් විය. ඒවා කෙතරම් උස් වී ද යත් එහි ප්‍රාකාර මත සිට කෙනෙකුට පහතින් ඇති වළාකුළු දෙස බැලිය හැකි විය. "ගමනට කොච්චර වෙලාවක් යනවද?" ඇය ඇසුවාය.

"අපට අද හැන්දෑ වෙද්දි කඳු පාමුලට ළඟාවෙන්ට පුළුවන්. ඒ වුනාට කන්ද නගින්ට තවත් දවසක් යනවා."

ඔවුන්ට පසුපසින් සෙර් රඩ්‍රික් හඬ අවදි කලේය. "මගේ ආර්යාවනි. අද දවසේ මට මීට වඩා නම් යන්ට පුළුවන් වෙයි කියලා හිතන්ට බෑ." ඔහු ‍ගේ අලුත වැවුනු රැවුලට යටින් ඒ මුහුණ එල්ලා වැටී තිබින. ඔහු ‍කෙතරම් දුබල වී ද යත් මේ දැන් අසු පිටින් ඇද වැටෙතැයි කැට්ලින් බියපත් වූවාය.

"ඔබ එහෙම ගමන් කරන්ට ඕනත් නෑ." ඇය කීවාය. "ඔබෙන් බලාපොරොත්තු වුනාටත් වඩා සිය ගුනයක් ඔබ මේ වෙනකොට ඉෂ්ටකරලා තියෙනවා. ඉයරිවලට යන්ට තියෙන ඉතුරු දුර මගේ බාප්පා මාව එක්ක යයි. ලැනිස්ටර් මගෙත් එක්ක එයි. ඒත් අනිත් අය මගෙත් එක්ක එක්කරන් යන්ට හේතුවක් නෑ. එයාලට පුළුවන් මෙහෙ නතරවෙලා ඉන්ට, නැතිවෙලා ගිය ශක්තිය ආපහු ලැබෙනකං."

"එයාලව ආගන්තුකයො විදියට බාරගන්ට ලැබෙන එක අපට ලොකු ගෞරවයක්." සෙර් ඩොනල් ආචාරශීලී අයුරින් පැවසීය. මංසන්ධි තානායමෙන් ඇයත් සමග පිටත් වූ පිරිසෙන් මේ වනවිට ඉතුරුව සිටියේ සෙර් රඩ්‍රික් හැරුනු විට, බ්‍රොන්, සෙර් විලීස් වෝඩ් හා මැරිලියන් පමණි.

"මගේ ආර්යාවනි." මැරිලියන් කීවේ සිය අසු ඉදිරියට මෙහෙයවමිනි. "ඔබතුමීත් එක්ක ඉයරිවලට එන්ට මටත් ඉඩ දෙන්ටයි කියලා මම බැගෑපත්ව ඉල්ලනවා. මේ කතාවෙ මුල දැක්කා වගේ අවසානයත් දකින්ට මට ඉඩදෙන්ට." මේ කොලුවා අන්තයටම වෙහෙසී සිටි නමුදු ඒ දීප්තිමත් දෑසේ දැඩි අධිෂ්ටානයක් දැකිය හැකි විය.

ඔවුන්ට එක්වන්නැයි කැට්ලින් විසින් කිසිවිටෙකත් ඔහුගෙන් අසා නොතිබුනු අතර එය තනිකරම ඔහු ගේ තීරණයක් විය. මෙතරම් නිර්භීත හැඩිදැඩි මිනිසුන් මියයද්දී මේ කොලුවා ගමනාන්තය වන තෙක් කෙසේ පණ රැකගත්තාදැයි යන්න ඇයට කොහෙත්ම සිතාගත නොහැකි කරුණක් විය. සමහරවිට ඇයත් සමග මෙ‍තෙක් දුර පැමිණීම වෙනුවෙන් ඇය ඔහුට ණයගැති වූවා වන්නට ඇත. "හොදයි. එන්ට." ඇය කීවාය.

"මාත් එනවා." බ්‍රොන් නිවේදනය කලේය.

මේ ගැන ඇගේ වැඩි කැමැත්තක් නොවීය. ඔහු නොමැති වී නම් ඇයට කෙදිනකවත් මිටියාවතට ලංවීමට නොහැකි වනු ඇති බැව් ඇය හොඳින්ම දැන සිටියා ය. මේ කුලී හේවායා ඇය දැක ඇති නිර්භීතම සටන් කරුවකු වූ අතර සතුරන් පරදා මෙතෙක් දුරක් ඇයව රැගෙන ඒමට ඒ අසිපත මහඟු මෙ‍හෙයක් ඉටු කොට තිබින.

එනමුදු මේ සියල්ල තිබියදී පවා කැට්ලින් මේ මිනිසාට අකැමැති වූවාය. ධෛර්‍යය හා ශූරවීරභාවය කෙතරම් අධික වූ නමුදු ඔහු ‍ගේ කරුනාවන්ත කම හෝ පක්ෂපාතීත්වය ගැන එ‍ලෙසින්ම සිතිය නොහැකි විය. එමෙන්ම ඔහු නිතරම ලැනිස්ටර් සමීපයෙන් ගමන් කරමින්, ඔහු හා පහත් හඬින් දොඩමින්, ඔවුන් දෙදෙනා අතර කෙරුනු ‍කිසියම් විහිළුවකට ඔහු හා එක්ව සිනාසෙමින් සිටිනු ඇය නිරීක්ෂණය කර තිබින. ඔහුව මේ මොහොතේ සිට කුරුමිට්ටාගෙන් වෙන් කිරීමට ඇය වඩා කැමැත්තෙන් සිටියා ය. එනමුදු මැරිලියන්ට තමාත් සමග ඉයරිවලට පැමිණීමට අවසර දුන් පසු බ්‍රොන්පගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට සුදුසු හේතුවක් ඇයට සිතා ගත නොහැකි විය. "ඔබේ කැමැත්තක්." ඇය කීවාය. එනමුදු, ඔහු නිසි අයුරින් ඇගේ අවසරය ඉල්ලා නොසිටි බව ඇය නිරීක්ෂණය කලාය.

සෙර් විලීස් වෝඩ් ද සෙර් රඩ්‍රික් හා නැවැතුනු අතර සප්තක පූජකයකු විසින් ඔවුන් ගේ තුවාල ගැන සොයා බලන්නට විය. අන්තයටම කැහැටු ගැසී සිටි ඔවුන් ‍ගේ අශ්වයින් ද මෙහි අතහැර දැමුනු අතර ගමනට වඩාත් සුදුසු, ලොමින් වැසී ගිය කඳුකර අශ්වයින් ඉස්තාලවලින් ලබාගන්නා ලදී. ඔවුන් ගේ පැමිණීම ගැන දන්වා ඉයරීවලට හා චන්ද්‍ර වාහල්කඩට කපුටන් අතේ පණිවුඩ යවන්නෙමැයි සෙර් ඩොනල් පොරොන්දු විය. පැයක් ඇතුළත ඔවුන් නැවතත් ගමනට පිටත් වී තිබින. මිටියාවත කරා පහළ බසිද්දී කැට්ලින් සිය බාප්පාත් සමග ගමන් කල අතර ඔවුන් පසුපසින් බ්‍රොන්, ටිරියන් ලැනිස්ටර්, මැරිලියන් හා බ්‍රින්ඩන් ‍ගේ මිනිසුන් සයදෙනෙක් ගමන් ගත්හ.

බ්‍රින්ඩන් ටලී
කඳුකර මාර්ගයේ ගමනින් තුනෙන් එකක් පමණ ගෙවූ පසු, ඔවුන් දෙදෙන අනිකුන්ට ඇසෙන මානයේ නැතැයි සැකහැර ගත් පසු බ්‍රින්ඩන් ටලී සිය ලේලිය දෙසට හැරුනේය. "ඉතින් දරුවො, මට කියන්ට මොකක්ද ඔයාගෙ මේ කුණාටුව කියලා."

"මට අවුරුදු බර ගානකින් කවුරුවත් දරුවෙක් කියලා කතා කරලා නෑ බාප්පෙ." ඇය සිනාසුනාය. එනමුදු ඇය ඔහුට සියල්ල පැවසුවා ය. ලයිසා ගේ ලිපිය, බ්‍රැන් ගේ වැටීම, මිනීමරුවා ගේ කිනිස්ස, සුළැඟිල්ලා, මංසන්ධි තානායමේදී සිදුවු ටිරියන් ලැනිස්ටර් ගේ අහඹු හමුවීම. මේ සියල්ලම කියා නිමවනවිට ඇය සිතුවාටද වඩා වැඩි ‍වේලාවක් ගතවී තිබින.

ඇගේ බාප්පා මේ මුලු කාලය තුළදීම නිහඬව ඇයට සවන් දුන්නේ ය. බ්‍රින්ඩන් ටලී සෑමවිටම හොඳ සවන් දෙන්නකු විය... ඇගේ පියාට හැරෙන්නට අන් සෑම දෙනකුටම හොඳ සවන් දෙන්නකු විය. ඔහු හස්ටර් ටලී උතුමානන් ගේ බාල සොහොයුරා විය. බ්‍රින්ඩන් ඔහුට වඩා වසර පහක් බාල වූ අතර කැට්ලින්ට මතක ඇති කාලයේ සිටම ඔවුන් දෙදෙනා එකිනෙකාට එරෙහිව ගැටුනහ. කැට්ලින් අට හැවිරිදි වි‍යේ වූ කාලයේ ඇති වූ මෙවැනි එක් දරුණු වාග් හුවමාරුවක් අවසානයේ කේන්තියෙන් පුපුරා ගිය හස්ටර් උතුමානන් බ්‍රින්ඩන්ට 'ටලී රංචුවේ කළු එළුවා' කියා බැන වැදුනේය. බ්‍රින්ඩන් සිනාසෙමින් ඔහුට කියා සිටියේ ඔවුන් ගේ වංශ සලකුණ ට්‍රවුට් මාළුවකු මිස එළුවකු නොවන අතර, එමනිසා වඩාත් ගැලපෙන නම 'කළු මාළුවා' බවය‍. එදා පටන් ඔහු ගේ අන්වර්ථ නාමය කළු මාළුවා විය.

ඇය සහ ලයිසා විවාහ වූ දිනය දක්වාම හස්ටර් හා බ්‍රින්ඩන් අතර වූ මේ ගැටුම් පැවතින. විවාහමංගලෝත්සව භෝජන සංග්‍රහ‍ය අතරතුරේදී බ්‍රින්ඩන් සිය සොයුරාට කියා සිටියේ තමා රිවර්රන්වලින් පිටවී ලයිසා හා ඇගේ නව සැමියා වන ඉයරීහි උතුමානන්ට සේවය කිරීම පිණිස පිටව යන බවයි. ඇගේ සො‍හොයුරා එඩ්මුයර් විසින් ඇයට එවන්නට යෙදුනු ලිපි අනුව එදා පටන් හස්ටර් උතුමානන් සිය සොහොයුරා ගේ නම මුවින් පිට නොකලේ ය.

කෙසේවුවද, ඇගේ ළමා කාලය පුරාවටම හස්ටර් ටලී උතුමානන් ගේ දරුවන් සිය ගැටළු, කඳුළු, කතන්දර සියල්ලක්ම රැගෙන ගියේ බ්‍රින්ඩන් ටලී හමුවට විය. ඔවුන් ගේ පියා සෑමවිටම පාහේ වැඩ රාජකාරිවලට මැදිවී සිටි අතර මව ගිලන්ව සිටියා ය. කැට්ලින්, ලයිසා, එඩ්මුයර් පමණක් නොව පියා ගේ භාර‍යේ හැදුනු වැඩුනු පෙටයර් බේලීෂ් පවා. මේ දැන් ඇයට සවන් දෙමින් සිටින්නාක් මෙන් ඔහු එකලද ඔවුන් සියල්ලන්ටම ඉවසිල්ලෙන් සවන් දුන්නේ ය. ඔවුන් ‍ගේ ජයග්‍රහණ හමු‍වේ ඔවුන් හා එක්ව සිනාසුනේ ය. පරාජයන් හා අවාසනාවන් හමු‍වේ ඔවුන් හා එක්ව කඳුළු සැලුවේය.

ඇගේ කතාව නිමවූ පසු ඔහු බොහෝ වේලාවක් තිස්සේ නිහඬව කල්පනාවේ ගැලී හුන්නේ ය. "ඔයාගෙ තාත්තට මේක කියන්ට ඕනමයි." අන්තිමේදී ඔහු හඬ අවදි ක‍ලේය. "ලැනිස්ටර්ලා හමුදාවත් එක්ක පාරට බැස්සොත් වින්ටර්ෆෙල් තියෙන්නෙ ගවු ගානක් ඈත. මිටියාවත ඒකෙ කඳුපන්තිවලින් ආරක්ෂා වෙලයි තියෙන්නෙ. ඒත් රිවර්රන් ති‍යෙන්නෙ ඒකට අතේ දුරින්."

"මටත් ඒ බයම තියෙනවා." කැට්ලින් එකඟ වූවාය. "අපි ඉයරිවලට ගියාට පස්සෙ මම මේස්ටර් කෝල්මන්ට කියන්නම් පණිවුඩයක් යවන්ටයි කියලා." ඇයට තවත් බොහෝ පණිඩුව යැවීමට තිබින. නෙඩ් විසින් ඇයට කියූ පරිදි ඔහු ගේ ධජ දරන්නන් වෙත උතු‍‍රේ ආරක්ෂාව තර කරන්නැයි ඉල්ලා පණිවුඩ යැවිය යුතුව තිබින. "මොකක්ද මිටියාවතේ තත්ත්වය? එයාලා මොනාද හිතන්නෙ?"

"හැමෝම කේන්තියෙනුයි ඉන්නෙ. ජොන් උතුමානන්ට හැමෝම ආදරේ කලා. ඒත් එක්කම ඒරින්වරුන් අවුරුදු තුන්සීයක් තිස්සෙ දරාපු තනතුරකට රජතුමා ජේමි ලැනිස්ටර්ව පත්කලාම ඒ අපහාසෙ මේ හැ‍මෝටම තදින්ම දැනුනා. ලයිසා අපට අණකරලා තියෙන්නෙ එයාගෙ පුතාට 'නැ‍ගෙනහිර දිශාවේ සත්‍ය ආරක්ෂකයා' කියලා කතා කරන්ටයි කියලා. ඒ වුනත් මිනිස්සු මෝඩයො නෙවෙයි. අනික ඔයාගෙ සහෝදරී විතරක් ‍නෙවෙයි ජොන් උතුමානන්ගෙ මරණය සිද්දවුන විදිය ගැන සැක කරන්නෙ. කවුරුවත් එළිපිට කියන්නෙ නෑ එයාව මරා දැම්මා කියලා. ඒ වුනත් සැකය බොහොම ගැඹුරට මුල් බැහැලයි තියෙන්නෙ." ඔහු තදින් පියැවුනු දෙතොලින් යුතුව කැට්ලින් දෙස බැල්මක් හෙලුවේ ය. "ඒත් එක්කම මේ ‍කොලුවා."

"කොලුවා? ‍මොකක්ද එයාගෙ වැරැද්ද?"


Catelyn Stark: “I was born a Tully and wed to a Stark, I do not frighten easily.”

---------------------------------------------------------------------

ps: my ladies & my lords,

පොඩ්ස් ආර්යාව රාජකාරි කටයුත්තක් සඳහා Pentos බලා විදේශගත වී ඇත. බුරාධිපතිතුමා ද සති අන්තයේ 'ප්‍රත්‍යන්ත බලකොටු පරීක්ෂාවක්' සඳහා බැහැර යනු ඇත. එමනිසා, ඔබතුමන්ලා ගේ/ ඔබතුමියන්ලා ගේ කමෙන්ටු වලට පිළිතුරු නොලැබුනහොත් ඒ පිළිබඳ සිත් අමනාපකම් ඇති කරනොගන්නා මෙන් කාරුණිකව ඉල්ලාසිටිමු.

ස්තූතියි!

21 comments:

  1. හහ් හහ් හා.........................
    එතකොට ඒක එහෙමයි උනේ ඇ...............
    පොඩ්ස් ආරියාව තමන්නෙ හෙලවෙන දත් ටික ගැන බලං හිටිය නං හරි.............
    එකක් හරි වැටුනොත් එහෙම...............
    බූරා බලාගෙන හෙවණැලි ඇවිත් ඊතල වලින් විදියි...
    හිහි

    ReplyDelete
  2. ආරියාව පෙන්ටොස් ගිහින් ද?
    එනකොට අපිටත් ඔය mussel, cockles එහෙම ටිකක් අරන් එන්ටෝ :p

    ReplyDelete
  3. චීස් දමා ඩෙචල් කරන ලද වටු මස් <- මේන් මේක දෙන්න හැල පයියට ගිය සතියෙත් තිබුනෙ කඳුලු දැමූ වයින් විතරයිනෙ පවු අනේ එයා බඩගින්නෙ ඇත් තේ ...

    ReplyDelete
  4. සේර් බූයි ආරියාවයි නැති නිසා අපට වැදගත් විදියට කමෙන්ටුවක් දෙකක් දාන්ට පුළුවන්...

    ReplyDelete
    Replies
    1. ආ ඒ දේපල ඉන්න කොට බොලා දාන්නේ අහවල් විදිහේ කමෙන්ට් වෙන්ට ඇති එහෙනම්. කොයි අර අනික් අන්කල් අද ?:P

      Delete
    2. ගේ දොර බලාගන්ට දීලා ගියේ ඔහේටද සිකියුරිටි අංකල්?? :P

      අනික අර අහවල් විදියේ කමෙන්ට් කියන්නේ මොනාද??

      Delete
    3. හපොයි ඔය වලව්වේ ඉන්නවා කියන්නේ එක එක විදිහේ බුවාලා.
      අපි මොකටද ?
      :P

      Delete
    4. අනේ ඉතින් POMට සිකියුරිටි අංකල් කියන්න එපා චූලෝදර මාමේ . සිකියුරිටි මල්ලි කියන්නකෝ

      Delete
    5. @සිංහ සීවලී..

      පොම් අංකල් කෙනෙක් කියලා දැනගත්තම දුක හිතුනෙයි??.. ඔහේ කියනවනම් ඉතිං මං පව් කියලා ඔන්න ඔහේ සික්කා අය්යා කියලවත් කියන්නම්....

      සික්කා කිව්වම වෙන කවුරුවත් වලිගෙ පාගගන්නවා එහෙම නෙවෙයි ඕන්...

      Delete
    6. අර අහවල් විදියේ කමෙන්ට් එකක් දාන්ට තරම් දෙයක් අද කතාවේ නැති එක ගැන මගේ විරෝධය..:(

      Delete
    7. පොඩි බඩා,

      ඔය සිංහයගෙ උන්දැ සිංහ සීවලී උනාට, පස්සෙන් පහු සීවලී කියන නම තියෙන්නෙම පිරිමි උන්දැලටනේ බං!

      එහෙව් එක්කෙනෙක් ඊයෙ පෙරේද වැළිගම්පිටිත් ගියෙ. අර ගෝරිලි හපුවටවත් එහෙම නැත්තන් කා;බෑ සිංහල ගුරු උත්තමයටවත් නැතිද දන්නෙ නෑ මේ ගැන අදහසක්!

      Delete
    8. ඒක එහෙම වෙලා තියෙන්නේ සිංහ සිවලිටත් කලින් හිටියයි කියන අපි දන්න එකම පිරිමි සීවලී (හාමුදුරුවෝ) නිසා නේද?

      Delete
  5. මේ අද කවුරුත් දඟ කරන්නෙ, වලි දාගන්නෙ නැහැ හොඳද . කට්ටියම සීරුවට මාරුවට ඉන්න ඕනේ :)

    ReplyDelete
  6. අද කතාව කියෙව්වම හිතුනෙත් , කැට්ලීන් ආර්යාවගේ එඩිතරකම කොච්චරද කියල.

    ReplyDelete
    Replies
    1. ඒකට කියන්නේ එඩිතරකම කියලා නෙවේ.. ඕක මෝඩකම..

      Delete
  7. කතාව පොඩ්ඩක් පැත්තකින් තියමු.. දැන් මේ පාලකයෝ දෙන්නා රස්තියාදුවේ ගියාම අපි රටවැසියෝ හැටියට පිස්සු නැටුවට කමක් නෑ නේද?

    ReplyDelete
  8. පාලකයො දෙන්න නැතිවුනා කියල , පාඨකයො නෑවිත් ඉන්න එකනම් හරි නරකයි නේ :)

    ReplyDelete
  9. ප්‍රත්‍යන්ත බලකොටු පරීක්ෂා කරලා,සංචාර ගිහින් එනකොට අපි මේ බලකොටුව අල්ලා ගන්ට බලමුද ?

    ReplyDelete
    Replies
    1. දෙන්නගෙන් එක්කෙනෙක් හරි සඳුදටවත් නාවොත් අපි මේ බලකොටුව අල්ලගමු මනෝජ් :D

      Delete
    2. එහෙනම්,එහෙනම් දැන්ම කඩු මුවාත් තියන්න ගන්ට..:D

      Delete