Monday, 10 November 2014

ආර්යා 03-2


"උඹ මට මොනවද කරන්ට කියන්නේ?" සමින් කල අඩ කබායක් හැඳ සිටි තරබාරු පන්දම්කරු ඇසීය. බරැති බූට්ස් සපත්තු පැළැඳ සිටියද ඔහුගේ පියවර හඬක් නොනගාම පොළොව මත ගලා යන්නාක් මෙන් පෙනින. අඳුරු රැවුල් කොටවලින් වැසුනු රවුම් කැළැල් සහිත මුහුණක් ඔහු පැළැඳ සිටි වානේ තොප්පියට යටින් දිස්විය. පදම්කල සම් ආවරණ උඩින් සන්නාහයක් පැළඳ සිටි ඔහු ගේ ඉණේ කිනිස්සක් හා කෙටි කඩුවක් විය. ඔහු කොහේදී හෝ තමා විසින් දැක පුරුදු අයෙකු බැව් ආර්යාට හැඟින.

"එක හස්තයකට මැරෙන්ට පුළුවන් නම් තව එකෙකුට බැරි මොකද?" කහ පැහැ දෙබල් රැවුලක් හිමි අමුතු උච්චාරණයක් ඇත්තා පිළිතුරු දුන්නේ ය. "උඹ ඔය නැටුම මීට කලිනුත් නටලා තියෙනවා, මගේ මිත්‍රයා." ඔහු තමා විසින් මින් පෙර නොදුටුවකු බව ආර්යාට සහතික විය. ඔහු අධික ලෙස තරබාරු වුවද දිය නැට්ටුවකු මෙන් සැහැල්ලුවෙන්, විළුඹට බරදෙමින් ගමන් කලේය. ඔහු සෑම ඇඟිල්ලකම පාහේ - ඇතැම් ඇඟිලිවල දෙක බැගින්ද - මුදු පැළැඳ සිටියේ ය. රතු කැට, නිල්කැට හා වෛරෝඩි ඔබ්බවා නිමවා තිබුනු මේ මුදු පන්දම් එළියෙන් රතු රන් හා රිදී පැහැයෙන් බැබලින.

"මේ කාලේ කියන්නේ ඒ කාලේ නෙවෙයි. මේ හස්තය කියන්නෙ පරණ හස්තය නෙවෙයි." ශාලාවට ඇතුල් වෙමින් කැළැල් මුහුණා පැවසීය. 'ගලක් වගේ නිසොල්මන් වෙන්ට ඕන', ආර්යා තමාටම කියාගත්තා ය. 'හෙවනැල්ලක් වගේ නිහඬ වෙන්ට ඕන.' තමන් ගේ පන්දමේ දීප්තියෙන් ගිනිකණ වැටුනු ඔවුහු අඩි කිහිපයක් දුරින් බිත්තියට ඇලී සිටි ආර්යාව නොදුටුවෝ ය.

"සමහර විට එහෙම වෙන්ට පුළුවන්." දිගු ඉහළ නැග්මෙන් පසු හුස්මක් ගැනීම සඳහා නතරවෙමින් දෙබල් රැවුලා පැවසීය. "කොහොම වුනත් අපට කාලය ඕන. කුමාරි ඉන්නෙ දරුවෙක් ලැබෙන්ට. එයාගේ පුතා ඉපදෙන කල් ඛාල් ක්‍රියාකාරී වෙන එකක් නෑ. උඹ දන්නවනේ මේ ම්ලේච්ජයන්ගේ හැටි."

පන්දම්කරු යමක් තල්ලු කලේය. යම් කිසි දෙයක් තවත් කුමක හෝ ගැටෙන ගැඹුරු ගෙරවිලි හඬක් ඇයට ඇසින. පන්දම් එළියේ රතු පැහැයෙන් දිලිසුනු දැවැන්ත ගල් කැබැල්ලක් සිවිලිමේ සිට මහත් හඬක් නගමින් බිමට පහත් වූ අතර ත්‍රාසය නිසා ආර්යාට කෑගැසෙන්නට ගියේය. පතලයට ඇතුළුවන විවරය ඝන, නොකැඩුනු ගලකින් වැසී ගොස් තිබින.

"එයා දැන්මම ක්‍රියාකාරී වුනේ නැත්නම් පස්සේ පමා වැඩිවෙන්ට පුලුවන්." මහත, වානේ තොප්පිකාරයා පැවසීය. "මේක තවදුරටත් දෙන්නෙක්ගේ තරගයක් නෙවෙයි. ඒක කවදාවත් එහෙම තිබුනා කියලා මම හිතන්නෙත් නෑ. ස්ටැනිස් බරතියනුයි ලයිසා ඒරිනුයි මගේ අතට අහුවෙන මානෙන් පිටට පැනලා ගිහින්. ඇහෙන කතාවලට අනුව නම් එයාලා තමන් වටේ සෙබළු රැස් කරනවා. කුසුම් නයිට්වරයා හයිගාර්ඩ්න්වලට ලියනවා, එයාගෙ තාත්තාට ආයාචනා කරනවා එයාගෙ සහෝදරීව රාජ සභාවට යවන්ට කියලා. මේ කෙල්ල අවුරුදු දාහතරක මිහිරි, සුන්දර, හීලෑකරගන්ට පුළුවන් ජාතියෙ කෙල්ලක්. රෙන්ලි උතුමානනුයි සෙර් ලෝරාසුයි හිතන්නේ රොබර්ට් එයාව කසාද බැඳලා, ඇඳට අරන් අලුත් රැජින කරගන්ට ඕනයි කියලා. එතකොට සුළැඟිල්ලා.... දෙයියෝම තමා දන්නේ සුළැඟිල්ලා මොන සෙල්ලමක්  කරනවද කියලා. ඒ වුනත් මගේ නින්දට බාධා කරන්නේ මේ කවුරුවත් නෙවෙයි, ස්ටාර්ක් උතුමානන්. එයා අවජාතකයව හොයාගත්තා, පොත හොයාගත්තා. එයා ඉක්මනින්ම ඇත්තත් හොයාගනී. සුළැඟිල්ලගේ ඇඟිලි ගැහිල්ලට පින්සිද්ධවෙන්ට එයාගෙ බිරිඳ ටිරියන් ලැනිස්ටර්ව පැහැරගෙන ගිහින්. ටයිවින් උතුමානන් මේක ලොකු අවනම්බුවක් විදියට සලකයි. අනිත් එක ජේමිගෙත් විකාර ආදරයක් තියෙනවා පුංචි යකා ගැන. ලැනිස්ටර්ලා උතුරට හමුදා මෙහෙයෙවුවොත් ටලීවරුනුත් මේකට පැටලෙනවා. උඹ කියනවා පරක්කු කරපං කියලා. මම කියනවා ඉක්මන් කරන්ට ඕනැයි කියලා. හොඳම විජ්ජාකාරයෙකුටත් බෑ බෝල සීයක් හැමදාම අහසේ රඳවන් ඉන්ට. "

"උඹ විජ්ජාකාරයෙකුටත් වඩා දක්ෂයෙක් මගේ මිත්‍රයා. උඹ ඇත්තම ඇත්ත මන්තරකාරයෙක්. මම උඹෙන් ඉල්ලන්නේ ඔය මායා බන්ධන වැඩ ටික තව ටික කාලෙකට කරගෙන යන්ට කියලයි." ඔවුහු ශාලාව හරහා යක්ෂයන් සිටි කාමරය පසුකොට ආර්යා පැමිණි දිශාවට පිය නගන්නට වූහ.

"මට කරන්ට පුලුවන් දෙයක් තියෙනවා නම් මම කරනවා." පන්දමා මෘදු ස්වරයෙන් පැවසීය. "මට තව රත්තරන් ඕන. ඒ වගේම තව කුරුල්ලෝ පනහක් විතරවත්."

ඇය ඔවුන්ට තරමක් දුර යෑමට ඉඩ හැර, සෙවනැල්ලක් මෙන් නිහඬව ඔවුන් පසුපසින් බඩගෑවා ය. 'හෙවනැල්ලක් වගේ නිහඬ වෙන්ට ඕන.'

"එච්චර ගොඩක්?" ආළෝකය අඩුවන්නා හාම ඔවුන් ගේ කටහඬවල්ද දුර්වල විය. "උඹට උවමනා උන් නම් හොයාගන්ට අමාරු වෙයි... ලාබාල, අකුරු දන්න එවුන්... කොහොමද ටිකක් වයස වැඩි උන්... ලේසියෙන් මැරෙන්නෙ නැති එවුන්..."

"නෑ. ලාබාල එවුන් වඩා ආරක්ෂාවයි... උන්ට අනුකම්පාවෙන් සලකන්ට..."

"... උන් කට මැත නොදොඩා ඉන්නවනං..."

"...අවදානම..."

ලුහුබඳින්නට ඇරයුම් කරන දුම් දමන තරුවක් බඳු පන්දම් එළිය ඔවුන් ගේ කටහඬවල් මැකී ගොස් බොහෝ වෙලාවක් ගතවනතුරුත් ආර්යාට දිස් විය. දෙවරක්ම මේ එළිය මැකී ගියද කෙලින්ම ඉදිරියට ගිය ආර්යා පටු සෝපානයකින් බැස පහළට ගමන් කරමින් තිබුනු එළිය සොයා ගත්තී එය ලුහුබැඳ පහළටම ගියාය. වරෙක ගලක පය පැකිලී වැටෙන්නට ගොස් බිත්තියට අත තැබූ ඇයට වැටහුනේ මුලදී ඔපමට්ටම් කල ගලින් සැදී තිබුනු උමං බිත්තිය මේ වනවිට දැවයෙන් සුරක්ෂිත කල පසින් සෑදී ඇති බවය.

ඇය ඔවුන් පසුපසින් සැතපුම් ගණනක් ගමන් කර ඇති සෙයකි. අන්තිමේදී පන්දම් එළිය ද නොපෙනී ගියේය. එහෙත් ඉදිරිය හැර යා හැකි අන් මගක් නොතිබින. නැවතත් බිත්තිය අල්ලා ගත් ඇය අඳුරේම, තමා පසෙකින් නයිමේරියාගේ සුමුදු පා හඬ නැගෙන්නේ යැයි සිතින් මවා ගනිමින් ඉදිරියටම ගියාය. උමගේ අවසානය වන විට ඇයට දණක් උස පල් ගඳ ගසන ජලයේ බැස යාමට සිදුවිය. සිරියෝට මෙන් තමාටද මේ ජලය මතින් ඇවිදීමට හැකි විනි නම් යැයි ඇය පැතුවාය. නැවත කිසිදිනෙක හිරු එළිය දක්නට නොලැබෙතැයි ඇය සිතුවාය. අන්තිමේදී ඇය නැවුම් වාතය සහිත එළිමහනට පැමිණෙන විට රාත්‍රී අන්ධකාරය වැටී තිබින.

ගඟට වැටෙන කුණු කානුවක මුවවිට තමා සිටගෙන සිටින බව ඇයට වැටහින. තමා ගේ සිරුරින් නිකුත්වන කුණුගඳ උහුලා ගත නුහුනු ඇය එතැනම ඇඳුම් ගලවා දමා ගැඹුරු අඳුරුවන් ගංදියට පැන්නාය. පිරිසිදු යැයි හැඟෙන තෙක් ගංදියේ පිහිනූ ඇය සීතල නිසා වෙවුලමින් ගොඩට බඩගෑවාය. ඇඳුම් සෝදමින් සිටින අතරතුර ඇය පසු කර අසරුවන් කිහිප දෙනෙකු ගමන් කලද, සඳඑළියේ කඩමලු සෝදමින් සිටින නිරුවත් කැහැටු කෙල්ලක ගැන සොයා බැලීමට ඒ කිසිවෙකුටත් උවමනාවක් නොවීය.

ඇය මේ වනවිට බලකොටුවෙන් සැතපුම් ගණනක් ඈත්ව සිටියා ය. එනමුදු කිංග්ස් ලෑන්ඩින්ග්හි ඕනෑම තැනකට දිස්වන ඒගොන් ගේ කඳුගැටයේ පිහිටි රතු බලකොටුව නිසා ඇයට මග වරදින්නට හැකියාවක් නොතිබින. වාහල්කඩ සමීපයට ළඟා වනවිට ඇගේ ඇඳුම් බොහෝ සෙයින් වියළී තිබින. කටු දොරටුව පහත දමා සියලු ගේට්ටු වසා දමා තිබුනු බැවින් ඇය පැති දොරක් කරා හැරුනා ය. ඇතුළට යන්නට දෙන්ට යැයි ඇය ඉල්ලූ විට මුරය භාරව සිටි නගරාරක්ෂකයෝ ඇයට එරවූහ. "පලයන් යන්ට මෙතනින්. කුස්සියේ ඉතුරු ඔක්කොම ඉවරයි. අනික මෙහෙ රෑ වෙලා හිඟා කන්ට දෙන්නේ නෑ."

"මම හිඟන්නියක් නෙවෙයි. මම මෙහෙ තමා ඉන්නේ." 

"දැන් එක පාරක් කීවාම පලයන්. කණ පැලෙන්ට දෙකක් දෙන්ට කලින්." 

"මට මගේ තාත්තව මුනගැහෙන්ට  ඕන."

නගරාරක්ෂයකයෝ මුහුණින් මුහුණ බලාගත්හ. "ඉතින් මොකද? මට රැජිණව ඇඳට ගන්ට ඕන. ඔය හිතලුවලින් කාටවත් වැඩක් වෙනවද? පලයන් යන්ට."තරුණ භටයා පැවසීය.

"දැන් කවුද තොගේ ඔය තාත්තා කොල්ලො? කාණුවල මීයෝ අල්ලන එකාද?"

"රජ්ජුරුවන්ගේ හස්තය." ආර්යා පැවසුවා ය.

මිනිසුන් දෙදෙනා සිනහවූහ. බල්ලෙකුට නිකමට පහරක් එල්ල කරන්නාක් මෙන් වැඩිමහලු මිනිසා ඇය වෙත පහරක් එල්ල කළේය. එනමුදු පහර පටන් ගන්නටත් පෙර එය එන බව දුටු ආර්යා නර්තනකාරී ඉරියවුවකින් මෙන් එමගින් ඉවත්වූවා ය. "මම කොල්ලෙක් නෙවෙයි." ඇය ඔවුන් වෙත කඩා පැන්නා ය. " මම වින්ටෙර්ෆෙල්වල ආර්යා ස්ටාර්ක්. මගේ ඇඟට අතක් තිබ්බොත් මගේ තාත්තා උඹලගේ ඔලු රිටි දෙකක ගහයි. මාව විශ්වාස නැත්තම් හස්තයේ කුළුණෙන් ජොරී කසල් හරි වයොන් පූල් හරි එක්ක වරෙන්." දෑත ඉණේ ගසාගත් ඇය බෙරිහන් දුන්නාය. "දැන් ඔය දොර ඇරපන් කණ පැලෙන්ට දෙකක් දෙන්ට කලින්."

හාර්වින් සහ මහත ටොම් ඇයව පියා අබිමුවට පමුනුවන විට ඔහු පුස්තකාල කාමරයේ තනිව අසුන් ගෙන සිටියේ ය. මේසය මත දැල්වෙමින් තිබුනු පහනක එළියෙන් ඔහු ආර්යා සිය ජීවිතයට දුටු ලොකුම පොත දෙසට නැඹුරුව එය කියවමින් උන්නේ ය. පාට වියැකී ගිය ඝන හම් කවරයෙන්, කහ පැහැ ගැහුණු කොළවලින් සහ රළු අකුරින් යුතු පොත වසා දමා හාර්වින් ගේ වාර්ථාවට සවන් දුන් ඔහු මිනිසුන් දෙදෙනාට ස්තුතිකර පිටත්කර හැරියේ ය. ඉන්පසු දැඩි බවක් ආරූඪ කරගත් මුහුණින් යුතුව ආර්යා දෙසට හැරුනේ ය.

"ඔයා දන්නවද මගේ ආරක්ෂක බලකායෙන් බාගයක්ම ඔයාව හොයන්ට යැවුවා කියලා? සෙප්ටා මෝර්ඩේන් බයෙන් පිස්සු වැටිලා ඔයා ගැන හිතලම. එයා අන්න සප්තක දේවස්ථානයේ යාඥා කරනවා ඔයාව පරෙස්සමින් ආයෙත් හම්බවෙන්ටයි කියලා. ආර්යා, මගේ අවසරයක් නැතුව බලකොටු ගේට්ටුවෙන් පිටට යන්ට තහනම් කියලා ඔයා දන්නවා නේද?"

"මම ගේට්ටුවෙන් පිටට ගියේ නෑ " ඇය දෙඩෙවුවා ය. "මම ඒක හිතල කලේ නෑ . මම පහළ බිංගේ හිටියේ, ඒත් උන් උමගකට හැරුනා. ඒක හරිම කළුවරයි. මගේ ළඟ පන්දමක්වත්, ඉටිපන්දමක්වත් තිබුනේ නෑ. ඉතින් මට ඒ පස්සෙන් යන්ට වුනා. අර යක්ෂයෝ හින්ද මට ගිය පාරෙන් ආපහු එන්ටත් බෑනේ. තාත්තෙ, උන් කතා කර කර හිටියේ ඔයාව මරන හැටි! නෑ නෑ, යක්ෂයෝ නෙවෙයි, මිනිස්සු දෙන්නා. උන් මාව දැක්කේ නෑ . මම ගලක් වගේ හෙලවෙන්නෙ නැතුව හෙවනැල්ලක් වගේ සද්ද නැතුව හිටියා. එත් මට උන් දෙන්නව ඇහුනා. උන් කීවා ඔයා ළඟ පොතක් තියනවලු, අවජාතකයෙක් ඉන්නවලු. එක හස්තයක් මැරුනානම් තව හස්තයක් මැරෙන්ට බැරි නැහැල්ලු. අරකද පොත? මං හිතන්නෙ ජොන් වෙන්ට ඇති අවජාතකයා."

"ජොන්? ආර්යා මොනවද ඔයා මේ දොඩවන්නෙ? කවුද ඕවා කිවුවේ?"

"උන් තමා කීවේ. එතන හිටියා කහපාට දෙබල් රැවුලක් එක්ක  මහත එකෙක්, මුදු ගොඩාක් දාගත්තු. තව හිටියා මුදු සන්නාහයක් ඇඳලා වානේ තොප්පියක් දා ගත්ත එකෙක්. මහත එකා කීවා තව පරක්කු කරන්ට ඕනලු. ඒත් අනිකා කීවා හැමදාම බෝල උඩ දදා ඉන්ට බැරිලු. වෘකයයි සිංහයයි එකාට එකා කා ගනීලු. ඒක විකාර ගොඩක්ලු." ඇය සියල්ල මතක් කර ගැනීමට ය උත්සාහ කලාය. අසන්නට ලැබුනු සියල්ල ඇයට හරියටම නොතේරුනු අතර දැන් සියල්ලම හිස තුල පැටලී ගොස් ඇති සෙයකි. "මහත එකා කීවා කුමාරිට දරුවෙක් ලැබෙන්ට ඉන්නවලු. තොප්පිය දාගෙන හිටපු එකා - එයා අතේ තමා පන්දම තිබ්බේ - කීවා වැඩේ ඉක්මන් කරන්ට ඕනලු. මම හිතන්නේ එයා මන්තරකාරයෙක්."

"මන්තරකාරයෙක් ඈ!" සිනහවකින් තොරව නෙඩ් ඇසුවේ ය. "ඉතින් එයාට දිග සුදු රැවුලකුයි, තරු වැටුන උල් තොප්පියකුයි තිබ්බේ නැද්ද?"

"නෑ! ඒක අර නාකි ආයම්මගේ කතන්දරයක් වගේ නෙවෙයි. එයා මන්තරකාරයෙක් වගේ පෙනුනේ නෑ. ඒත් මහත එකා එහෙම තමයි කිවුවෙ."

"ආර්යා, ඔයා මේ මහා බොරු ගොඩක් නේද ඇද බාන්නේ?"

" නෑ, මම ඔයාට කිවුවනෙ. ඒක උනේ බිංගේ ඇතුළෙදි. අර රහස් දොරක් තියන තැන. මම හිටියේ බළලෙක් පස්සේ පන්න පන්නා. ඊට පස්සේ..." ඇය මුහුණ ඇඹුල් කරගත්තාය. ටමන් කුමරා පෙරලාගෙන දිවූ සැටි කිවුවොත් ඔහුට සැබැවින්ම තරහ යනු ඇත. "...ඊට පස්සේ, මම කවුළුවකින් රිංගල ගියා. එතන තමයි අර යක්ෂයෝ ටික හිටියේ."

"යක්ෂයොයි මන්තරකාරයොයි!" පියා පැවසීය. "ඔයා හොඳ ත්‍රාසජනක ගමනක් ගිහින් වගේ. ඔයා කීවා මේ මිනිස්සු දෙන්න බෝල උඩ දාන ඒවයි සෙල්ලම් ගැනයි කතා කලා කියලා?"

"ඔවු." ආර්යා පිළිගත්තා ය. "ඒ වුනත්..."

"ආර්යා උන් නාට්‍යකාරයෝ. තරගාවලිය බලන්ට එන මිනිස්සුන්ගෙන් ගානක් කඩා ගන්ට ආපු ඒ වගේ කාණ්ඩ දුසිමක් විතර මේ දවස්වල නගරයේ ඉන්නවා. උන් දෙන්නෙක් බලකොටුවේ මොනවා කරනවද මම දන්නේ නෑ. සමරවිට රජ්ජුරුවෝ සංදර්ශනයක් බලන්ට ඕන කියන්ට ඇති."

"නෑ." ඇය මුරණ්ඩු ලෙස පැවසුවා ය. "එහෙම නෙවෙයි."

"ඔයා මිනිස්සු පස්සේ ගිහින් ඔත්තු බලන එක නතර කරන්ට ඕනේ වහාම. මගේ දුව ඉබාගාතෙ යන බළල්ලු පස්සෙ පන්නලා අනුන්ගෙ කවුළුවලින් රිංගනවටත් මම කැමැති නෑ. බලන්ට පැටියෝ ඔයාගෙ හැටි. අතපය හූරගෙන, තුවාල කරගෙන. මේක දැන් දුරදිග ගියා හොඳටම ඇති. සිරියෝ ෆොරෙල්ට කියන්ට මට එයත් එක්ක කතා කරන්ට ඕනේ කියලා-"

හදිසි දොරට ගසන හඬකින් ඔහු ගේ කතාව අතරමග නැවතින. "මට සමාවෙන්ට උතුමානනි." දොර යාන්තමින් විවර කල ඩෙස්මන්ඩ් කීවේය. "කළු සහෝදරයෙක් ඔබතුමාව හමුවන්ට ඇවිත්. හදිසි කාරණයක්ලු."

"නිශා රැකුම් බලකායට මගේ දොර හැම තිස්සෙම ඇරලා." පියා පැවසුවේ ය.

හැඩපළු ගෙතුනු රැවුලකින් යුතු, කිලිටි ඇඳුමෙන් සැරසුනු, කුදු ගැසුනු අවලස්සන මිනිසකුව ඩෙස්මන්ඩ් විසින් කැඳවාගෙන ආවේය. එනමුදු සුහද ලෙස ඔහුව පිළිගත් ඇගේ පියා ඔහුගේ නම විමසීය.

"මම යොරේන් උතුමානනි. මේ අවෙලාවේ ආවට සමාවෙන්ට." ඔහු ආර්යා දෙසට හිස නැමීය. "මේ ඔබතුමා ගේ පුතා වෙන්ට ඇති. ඔබතුමාගෙ පෙනුමමයි තියෙන්නෙ."

"මම කෙල්ලෙක්!" ආර්යා කෑ ගැසුවාය. මේ මිනිසා ප්‍රාකාරයේ සිට පැමිණියා නම් වින්ටෙර්ෆෙල් හරහා එන්නට ඇත. "ඔබ මගේ සහෝදරයන්ව දන්නවද?" ඇය උනන්දුවෙන් විමසුවා ය. "රොබුයි, බ්රැනුයි ඉන්නේ වින්ටෙර්ෆෙල් වල, ජොන් ඉන්නේ ප්‍රාකාරේ. ජෝන් ස්නොව්. එයත් ඉන්නේ නිශා රැකුම් බලකායේ තමා. ඔබ එයාව දන්නවා ඇති. එයාට සුදු පාට ඝෝරවෘකයෙකුත් ඉන්නවා. ජොන් තාම මුර සංචාරකයෙක් වුනේ නැද්ද? මම ආර්යා ස්ටාර්ක්." ගඳ ගසන ඇඳුමින් යුත් මහල්ලා ඇය දෙස අමුතු බැල්මක් හෙලාගෙන සිටියේය. එහෙත් ආර්යාට සිය කතාව නවතා ගැනීමට හැකි නොවින. "මම ලියුමක් ලියලා දුන්නොත් ඔබ ආපහු ප්‍රාකාරේට යනකොට ඒක ජොන්ට ගිහින් දෙන්ට පුලුවන්ද?" ජොන් දැන් මෙහි සිටියා නම් යැයි ඇය සිතුවා ය. ඔහු සිටියා නම් බිංගෙවල් ගැන ද, වානේ තොප්පි දැමූ මන්තරකාරයන් ගැන ද විශ්වාස කරනු ඇත.

"මගේ දුවට ගොඩක් වෙලාවට හොඳ හැසිරීම් අමතක වෙනවා." මඳ සිනාවකින් යුතුව එඩාර්ඩ් ස්ටාර්ක් පැවසුවේ ය. "මට සමාවෙන්ට යොරේන්, ඔබව එවුවේ මගේ මල්ලි බෙන්ජින් ද?"

"නාකි මෝර්මන්ට් ඇරෙන්ට වෙන කවුරුවත් මාව එවුවේ නෑ උතුමානනි. මම මෙහෙ ආවේ ප්‍රාකාරේට මිනිස්සු එකතු කරන්ට. ඊළඟ රාජ සභාවේදී මම දණ ගහල රජතුමා‍ගෙන් ඉල්ලා හිටිනවා අපේ ඕනෑකම. එතුමාටයි එතුමාගෙ හස්තයටයි පුළුවන්ද හිරගෙවල් වල ඉන්න ජරා ගොඩවල් ටිකක් අපිට දෙන්ට කියලා. අපි දැන් කතා කරන්නේ බෙන්ජින් ස්ටාර්ක් ගැන නම් එයාගෙ ලේ කළු පාටයි, මගේ වගේම. ඒ නිසා එයා ඔබතුමාගෙ වගේම මගෙත් සහෝදරයෙක්. ඒ හින්ද තමයි මම අස්සයව මැරෙන තරමට වේගෙන් ආවේ අනික් උනුත් මග දාල."

"අනික් උන්?"

"කුලී හේවායෝ, නිදහස් අසරුවෝ වගේ වැඩකට නැති උන්. උන්ගෙන් අර තානායම පිරිලයි තිබ්බේ. මට පෙනුනා උන් ඉව අල්ලන හැටි. ලේ සුවඳට හරි රත්තරන් සුවඳට හරි. ඔය දෙකේම අන්තිමට තියෙන්නේ එකම සුවඳ තමයි. උන් හැමෝම මෙහාට ආවෙත් නෑ . සමහර එවුන් පිම්මේ ගියා කාස්ටර්ලි රොක්වලට. ඒක අත ළඟමයි තියෙන්නෙ. මෙලහටත් ටයිවින් උතුමානන්ට ආරංචිය ලැබිල ඇති. ඒකෙ දෙකක් නෑ."

"මොකද්ද දැන් ඔය ආරංචිය?"

යොරේන් ආර්යා දෙස බැලුවේ ය. "මට සමාවෙන්ට උතුමානනි. මේවා ප්‍රසිද්ධියේ කියන්ට පුළුවන් කතා නෙවෙයි."

"ඔබ කියන එක හරි. ඩෙස්මන්ඩ්, මගේ දුවව එයාගේ කාමරේට එක්ක යන්ට." ඔහු ඇගේ නළල සිපගති. "අපි අපේ කතාව හෙට ඉවර කරමු."

ආර්යා සිටි තැන මුල් ඇද්දාක් මෙන් නැවතී සිටියා ය. "ජොන්ට මොකුත් නරකක් වෙලා නෑ නේද?" ඇය යොරේන්ගෙන් ඇසුවාය. "බෙන්ජින් බාප්පට?"

"ස්ටාර්ක් ගැන නම් මම කියන්ට දන්නේ නෑ . ස්නොව් කොල්ලා නම් මම එනකොට හොඳින් හිටියා. මේ කාරණාව එයාලා ගැන නෙවෙයි.

ඩෙස්මන්ඩ් ඇගේ අතින් අල්ලා ගත්තේ ය. "එන්ට ආර්යාවෙනි, තාත්තා කියපු දේ ඇහුන නේද?"

ඔහුත් සමග යාම හැර වෙනත් විකල්පයක් ආර්යා සතු නොවීය. 'ඩෙස්මන්ඩ් වෙනුවට ටොම් සිටියා නම්' යැයි ඇය සිතුවා ය. ටොම් සිටියානම් කිසියම් උපායක් යොදා දොර අසල දැවටී යොරේන් කියන්නක් අසා ගන්නට තිබින. එහෙත් ඩෙස්මන්ඩ් එසේ පහසුවෙන් රැවටිය හැක්කෙක් නොවීය. "මගේ තාත්තට කොච්චර ආරක්ෂකයෝ ඉන්නවද?" නිදන කුටිය වෙත පිවිසෙන පියගැටපෙළ බසින අතර ඇය ඇසුවාය.

"කිංග්ස් ලෑන්ඩින්ග් වල ද? පනස් දෙනෙක් ඉන්නවා."

"කාටවත් එයාව මරන්ට ඔයාලා ඉඩ දෙන්නේ නෑ නේද?"

ඩෙස්මන්ඩ් සිනාසුනේ ය. "බය වෙන්ට එපා පුංචි ආර්යාවෙනි. එයාට කිසිම දෙයක් වෙන්ට ඉඩ දෙන්නේ නෑ. අපි එඩාර්ඩ් උතුමානන්ව රෑ දවල් දෙකේම රැකගෙන ඉන්නේ."

"ලැනිස්ටර්ලට සෙබළු පනහකට වඩා ඉන්නවා." ආර්යා පෙන්වා දුන්නා ය.

"ඔව් ඒක හරි. ඒත් උතුරේ එක මිනිහෙක් මේ වැඩකට නැති දකුණුකරේ උන් වගේ දහයක් වටිනවා. ඔබතුමී බය නැතුව නිදාගන්ට."

"එයාව මරන්ට මන්තරකාරයෙක් එහෙම එවුවොත්?"

"එහෙම උනොත් නේද?"  සිය දිගු අසිපත කොපුවෙන් අදින අතර ඩෙස්මන්ඩ් පිළිතුරු දුන්නේ ය. "ඔළුව කපල දාපුවහම අනික් මිනිස්සු වගේම මන්තරකාරයොත් මැරිලා වැටෙනවා."


Eddard Stark: “My door is always open to the Night’s Watch.”

62 comments:

  1. Smell of blood or gold. :) things are getting interesting

    ReplyDelete
  2. ආර්යා හොදයි අර ගෝත ස්ටාර්ක් මැට්ටට වඩා ඕ යේස්

    ReplyDelete
    Replies
    1. ආර්යාත්, ස්ටාර්ක් තමා... ;-)

      Delete
    2. ඒ වුනාට ස්ටාර්ක් කෙල්ලෙක්නේ...:P

      Delete
  3. මේ පිස්සු යකා හස්තය කරං අර රජා කරගත්ත විපතක්... මෙච්චර පැහැදිලිව පොත ගැනයි අවජාතකයා ගැනයි කියද්දි ඉතිරි ටික ගැනත් අවධානය දෙන්න එපෑ.. ගොං තඩියා.

    හා හා ඊ ළඟ...

    ReplyDelete
    Replies
    1. ගොං තඩියාව ගත්ත එකාත් ගොං තඩියා තමා නේද? :-D

      Delete
    2. @මාරයා,

      වෘෂභ රාජයෙක්නේ. හා හා ඊලඟ වෘෂභලු.:P

      Delete
  4. එඩා.... උඹ හොඳ එක බං... ගණන් ගන්න එපා අනිත් එවුන් කියන කතා... ප්ලෑනක් ගහලා දෙමු උන්ට දුවන්න...

    ReplyDelete
    Replies
    1. අනිවා! මමත් එක පයින්... :-D

      Delete
    2. මිනිහෙක් කොයි වගේද කියලා හරියට අදුනගන්න බැරි එකා ගහයි ප්ලෑන් ම මේන් කියලා.....

      ඔන්න ඔතන නෙඩ් වෙනුවට කොටා වත් උන්න නම් පොඩ්ඩක් හරි විශ්වාසයක් තියන්ට තිබ්බා...

      Delete
    3. චුලාගේ කතාව ඇත්ත.

      Delete
  5. නෙඩ් ආර්යා කියන ඒවා විශ්වාස කරන්නෙ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ඒකනෙ වැඩේ... :-O

      Delete
    2. කෙල්ලෝ කියන ඒවා පිරිමි වැඩිය ගණන් ගන්නේ නෑලු සෝන්යා...:P

      Delete
  6. දැන්,දැන් නියමයි. බලකොටු අස්සේ කුමන්ත්‍රණ වැහි වැහැලා නේ.
    අපේ එකෙක් උන්ගේ දහයක් කියන උන් දැන් ඔහොම කිව්වත් පස්සේ ලැනිස්ටර්ලා දෑත් ශක්තිමත් කරන්ට බැරිත් නැහැ.:D

    ReplyDelete
    Replies
    1. එවුවා කියන්ට බෑ.. වෙස්ටෙරෝස්වලටත් ආශ්චර්යය පහල වුනොත් එහෙම.. :-D

      Delete
    2. මට ගියපාර මනෝජ්ට කියන්ට බැරි වුනා. කෙල්ලෙක් දැක්ක හැටියේ හිත වෙනස් වෙනවනේ. එක වෙලාවකට ඩැනී. එක වෙලාවකට සන්සා. අනික් වෙලාවට ආර්යා. :D:D

      Delete
    3. හෙහේ,ඒ මේකනේ පොඩ්ඩියේ ඔය කෙල්ලන්ට තියෙනවා කියනවානේ මායම්ම ගෙඩි පිටින් හැට හතරක්.ඉතින් ඔව්වාගෙන් එකක්,දෙකක් දැම්මාම අපි වගේ හුදී ජනයාගේ සිත් පහන් වෙලා ඔය වගේ වෙනවා.

      අනිත් එක ඔය එක,එක කෙල්ලෝ ගැන තියෙන්නේ එකම විදියේ කැමත්තක් නෙමේ..:D

      Delete
    4. මායම් හැට හතරෙන් එකක් දෙකක් දැම්මාම, ඔහොම සිත් පහන් වෙනවා නම්, හැටක් විතර එකපාර දැම්මොත් කොහොම තියෙයිද? :P

      Delete
  7. මොකක් හරි කෙලියක් ඉක්මනටම වෙයි වගේ...

    ReplyDelete
    Replies
    1. මාර කෙලියක් වෙයිද දන්නෙ නෑ..

      Delete
    2. මේ කමෙන්ට්ස් නම් මාර ලස්සණයි. :D

      Delete
  8. කියෙව්වා.. හෙටින් පස්සෙ දාන එව්ව කියවන්න වෙන්නෙ සති දෙකකින්..

    ReplyDelete
    Replies
    1. සති දෙකක් කතාව නොදා ඉන්ටද? ;-)

      Delete
    2. සරත් කොහෙ හරි යනවද? අපිත් නෑලු. කතාව ඕනි නම් නොදා ඉන්ටත් පුලුවන්ලු. :)

      Delete
  9. පට්ටයි කතාව..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කසුන්!

      Delete
    2. @කසුන්,

      වැඩ තියාගෙනත් කසුන් ඇවිත් නේ. ඔයා මේ පොත කලින් කියවලා තියෙනවද? නැත්නම් පරණ කොටස් ඔක්කොම කියෙව්වද?

      Delete
    3. පරණ කොටස් ටික

      Delete
  10. අන්න අද නම් නෙඩ් වැඩේ නාගත්තා... සමාවෙන්න පරක්කු උනාට.. මම අද හිඟමනේ ගියා..

    ReplyDelete
    Replies
    1. අද විතරද බුවා නාගත්තෙ!?

      හිඟමනේ ගියා කිවුවා?

      Delete
    2. ඇයි අඟහරු ලෝකේ මුකුත් ප්‍රශ්නයක්ද?

      Delete
  11. කුරුල්ලොන්ට වේකන්සි තියනවා කිව්ව නේද? මාත් ඇප්ලිකේෂන් එකක් එවන්නද?

    ReplyDelete
    Replies
    1. ඕන කිවුවෙ හැබැයි ලාබාල එවුන්. :-P

      Delete
    2. ලාබාල? ?

      ah, right, ආන්ටි පොඩ්ස් වගේ !!

      Delete
    3. @බස්,

      අනේ එවන්ට බස්සෝ. ඔයා කොච්චර ලාබාලද කියලා මේ අය දන්නේ නෑනේ...හැම තිස්සෙම නිදන්නේ බබාලනේ?

      Delete
    4. @ප්‍රා,

      නෑ අත්තේ ඔයා වගේ...:P

      Delete
    5. //අත්තේ//?

      කුරුල්ලො වහන අත්තේද?

      Delete
    6. නෑ අත්තේ, ඔයා වගේ අත්තලා ගැන කීවේ...හී හී...

      Delete
    7. අනේ මං දන්නෙ නෑ ආන්ටි
      ඔය ආතරයිටිස් ඔස්ටියෝපොරෝසිස් ආදී වයිවාරණ වියාධි තියාගෙන ආන්ටිට අතුවලට නගින්න හොඳද මංදා. D

      පොංගේ වියෝවීම අතලඟ. ඒ අස්සෙ මේ ආන්ටිත් අත්තෙන් අත්තට පන්නින්න ගියොත් :-DDD

      (I wrote my last will before this comment , so feel free !! )

      Delete
    8. As they say in podsland " no worries mate , I have medicine for osteoporosis. Just wait till I get the patent " :P

      Delete
    9. @ප්‍රා,

      බයවෙන්ට එපා අත්තේ. ඔය අත්තට පනින්නේ නෑ.:P

      පොම් වියෝ වෙනවා. කොහාටද? Mt Fuji? :D:D

      Delete
  12. ගැහැණියකගේ අභියෝගය, විටක ලෝකයක් හොල්ලන තරමට බලවත්. දරුණුයි, නිර්දයයි, වහා ඇවිලෙන සුළුයි.

    ReplyDelete
    Replies
    1. නිකං න්‍යෂ්ටික බෝම්බ වගේ නේද? :-D

      Delete
    2. ඇහුනද පොම් ? Mt Fuji?

      Delete
    3. @විචාරක,

      විචාරකට යන්තම් තේරිලා. :)

      Delete
    4. @පොම්,

      කවුද අනේ මේ Mt Fuji ? :O

      Delete
    5. //කවුද අනේ මේ Mt Fuji //

      heh, heh, now this is getting interesting. Wrote the last will PoM? When is the funeral? What's the menu for daane?

      Delete
    6. Mt fuji is a very pretty volcano.

      Delete
    7. She reads this right ?
      Yes yes, PoM always says Mt Fuji is very pretty, very kind, very clever, very nice, very big ...oops... very delicate exotic beauty. I mean !!

      Delete
    8. very wise PoM very wise.
      Not using words is the secret for preservation of life here. (I hope it's not too late to stem the eruption though)

      Delete
    9. @ප්‍රා,

      //Mt Fuji is very pretty, very kind, very clever, very nice, very big ...// :O

      දානේ ගැන නම් බයවෙන්ට දෙයක් නෑ. සෝන්යා ඔක්කොම බලාගනී. පොම් කැමති කෑම ලිස්ට් එකක් එයාට යවලා තිබ්බානම් හරි. :D

      Delete
  13. මේ කෙල්ල කියන දේත් පොඩ්ඩක් ඇහුව නම් මොකද වෙන්නෙ. යෝරේන් කියන්න එන දේ ආර්යට කියන්න අමතක උනා වගේ. අපරාදෙ කියල තිබ්බ නම් අනික්වත් විස්වාස කරයි තාත්තා.

    ReplyDelete
  14. මේ පොඩි එකාට තේරෙන දෙයක් වත් මහ එකාට නොතේරෙන හැටි.. බලමුකෝ ඉස්සරහට..

    ReplyDelete
    Replies
    1. ඒක තමා දිනේශ්. මේ පිටින් බලන් ඉන්න අපිට තේරෙන තරම් එයාලට තේරෙන්නේ නෑලු.

      Delete