Wednesday 29 October 2014

එඩාර්ඩ් 07-2

දඩබල්ලා - සැන්ඩෝර් ක්ලිගේන්

මේ සුබදායක සිතුවිලි විසින් අද උදෑසන ආහාරය එඩාර්ඩ් ස්ටාර්ක් බොහෝ කලකට පසු ගත් රසවත්ම අහර වේලක් බවට පත්කලේ ය. ඔහු‍ ගේ සිනාවද පෙරට වඩා ප්‍රබෝධවත් හා නිතර දැකිය හැක්කක් විය. අඩුම ගනනේ තරගාවලිය ඇරඹෙන තෙක් වත් එය එසේ විය.

නෙඩ් රජුත් සමග තරග පිටියට ඇවිද ගියේය. අවසන් සටන් කිහිපය නැරඹීමට ඇය හා එක්වන බවට ඔහු සන්සාට පොරොන්දු වී තිබින. සෙප්ටා මෝර්ඩේන් අසනීප තත්ත්වයෙන් සිටි අතර අසරු පොරයේ අවසානය කෙසේ හෝ නැරඹීමට සන්සා දැඩිව අදිටන් කරගෙන තිබින. රජතුමාව ඔහුට හිමි ආසනය වෙත කැඳවාගෙන යන අතර අද දිනයේ තරග නැරඹීමට සෙර්සි ලැනිස්ටර් පැමිණ නොමැති බැව් ඔහු නිරීක්ෂණය කලේය. රජු ගේ අසුනට අනිත් පසින් වූ අසුන හිස්ව තිබින. මෙයද නෙඩ් ගේ සිතේ යහපත් බලාපොරොත්තු ඇතිකරලීමට සමත් විය.

සෙනග පීරාගෙන සිය දියණිය අසුන් ගෙන සිටි ස්ථානයට පිවිසුනු නෙඩ් අසුනේ වාඩි වෙද්දීම වාගේ දිනයේ පළමු අසරු පොරය සඳහා හොරණෑ නාද විය. සන්සා ගේ සිත කෙතරම් දුරට තරගය කෙරෙහි ඇදී ගොස් තිබුනාදැයි කිවහොත් ඔහු ගේ පැමිණීම පවා ඇය නොදත්තා ය.

සැන්ඩෝර් ක්ලිගේන් පළමුව පිටියට අවතීර්ණ විය. සිය දැළි පැහැති සන්නාහයට උඩින් ඔහු ඔලිව් කොළ පැහැ සළුවක් පැළැඳ සිටියේ ය. එය සහ ඔහු ගේ සුනඛ හිස් ශිරස්කය හැරෙන්නට අන් කිසිදු අලංකරණ ආයිත්තමක් ඔහු පැළැඳ නොසිටියේ ය.

"රජුන් මරන්නා වෙනුවෙන් රන්කාසි සීයයි!" සිය උත්තුංග ලේ රතු පැහැ සෛන්ධවයා පිට නැගුනු ජේමි ලැනිස්ටර් තරග පිටියට ඇතුළුවෙද්දී සුළැඟිල්ලා මහහඬින් නිවේදනය කර සිටියේ ය. ඔහු ගේ සෛන්ධවයා රන් ආලේපිත මුදු දම්වැල් සන්නාහයකින් සරසා තිබූ අතර ජේමි හිසේ සිට දෙපතුල දක්වාම රන් පැහැයෙන් බැබලින. ඔහු ගේ ලන්සය පවා ගිම්හාන දූපත්වලින් ගෙන්වන ලද රන් පැහැ දැවයෙන් නිම කෙරුනක් විය.

"ඔට්ටුයි!" රෙන්ලි උතුමානන් අභියෝගය බාරගත්තේ ය. "දඩබල්ලාගෙ අද උදේ බොහොම බඩගිනිකාර පෙනුමක් තියෙන්නෙ."

"බඩගිනිකාර බල්ලො වුනත් දන්නවා තමන්ට කන්ට දෙන අත හපාකන්ට හොඳ නෑ කියලා." සුළැඟිල්ලා ඇනුම්පද ස්වරයෙන් පිළිතුරු දුන්නේ ය.

හඬක් නැගෙන අයුරින් සිය දෑස්වැස්ම පහත හෙලාගත් දඩබල්ලා සිය තරගාරම්භක ස්ථානයට ප්‍රවිශ්ට විය. නරඹන්නන් අතර සිටි කවු‍රුන් හෝ කෙල්ලකට චුම්බනයක් පා කර හැරි සෙර් ජේමි සෙමෙන් සිය දෑස්වැස්ම පහත් කරගත්තේ තමා ගේ අන්තය ගත්තේ ය. මිනිසුන් දෙදෙනාම සිය ලන්ස තිරස්ව හරවා ගත්තෝ ය.

ඔවුන් දෙදෙනාම පරදිනු දැකීම තරම් අන් සතුටක් නෙඩ් ගේ සිතේ නොවීය. එනමුදු සන්සා තෙත් වූ දෑසින් හා දැවෙන උද්‍යෝගයකින් යුතුව සටන දෙස ඇසිපිය නොහෙලා බලා සිටියා ය. සෛන්ධවයින් දෙදෙනා කෙමෙන් සිය වේගය වැඩිකර ගනිමින් පිම්මේ ඉදිරියට ඇදෙද්දී සිය අසුන් අග්ගිස්සෙහි කෙලින් වාඩි වී, නිය සපමින් නොසන්සුන්ව බලා හුන් ප්‍රේක්ෂක ජනතාව අතර වෙවුලීමක් පැතිර ගියේය. නොසැලෙන දැඩි අතකින් සිය ලන්සය තිරස්ව තබා ගත් දඩබල්ලා මඳක් ඉදිරියට නැඹුරු වූ මුත් ගැටුමට ඔන්න මෙන්න කියා තිබියදී ජෙමී සිය අසු මත මඳක් එහා මෙහා වූයේය. ක්ලිගේන් ගේ ලන්සය කිසිදු අනතුරක් නොකොට සිංහ රුවකින් සැරසුනු පලිහ මතින් ලිස්සා යද්දී ජේමි ගේ ලන්සය හරි ඉලක්කයටම වැදුනේ ය. දැවයෙන් නිම වූ තරග ලන්සය කීතු කීතු වී යද්දී සිය අසු මත රැඳී සිටීම සඳහා දඩබල්ලාට මහත් වෙහෙසක් දැරීමට සිදු විය. සන්සා අමාරුවෙන් හුස්මක් අල්ලාගත් අතර සාමාන්‍ය ජනයා අතර ඔල්වරසන් හඬ පැතිර ගියේය.

"මම මේ කල්පනා කරන්නෙ කොහොමද ඔබේ රන්කාසි ටික වියදම් කරන්නෙ කියලා." සුළැඟිල්ලා රෙන්ලි උතුමානන්ට ඇසෙන්නට කීවේය.

කෙසේ වුවද සිය අසු මත රැඳී සිටීමට දඩබල්ලා සමත් විය. වැරෙන් සිය අසු හරවාගත් ඔහු දෙවන වටය සඳහා තරගාරම්භක ස්ථානයට ප්‍රවිශ්ට විය. කැඩුනු ලන්සය වීසිකර දැමූ ජේමි ලැනිස්ටර් සිය සහචරයා සමග විහිළු කරමින් අලුත් ලන්සයක් ලබා ගත්තේ ය. දඩබල්ලා මෙවර වේගවත් පිම්මකින් අසු ඉදිරියට මෙහෙයවීය. ලැනිස්ටර් ඔහු හමුවීමට ඉදිරියට ගියේය. මෙවර ජේමී සිය අසුනේ එහා මෙහා වූ විට දඩබල්ලා ඒ අනුව සිය ලන්සයද එහා මෙහා කලේය. ලන්ස දෙකම එකිනෙක ඉලක්කය මත හැප්පුනේ මහත් හඬක් නැගීය. අසු කුර මගින් නැගුනු දුහුවිල්ල මැකී යද්දී දක්නට ලැබුනේ ලේ රතු පැහැ අසෙකු ඉවතට දිවයද්දී සෙර් ජේමි ලැනිස්ටර් බිම වැතිර සිටින ආකාරයයි.

"මම දැනන් හිටියා දඩබල්ලා දිනනවා කියලා." සන්සා උද්දාමයෙන් කෑගැසුවා ය.

සුළැඟිල්ලාට මෙය ඇසින. "ඔබ දන්නවානම් කවුද දෙවෙනි තරගෙන් දිනන්ට යන්නෙ කියලා, දැන්ම කියන්ට. නැත්තං රෙන්ලි උතුමානන් මාව සුද්ද කරයි." ඔහු ඇයට කීවේය. නෙඩ් සිනහවක් පෑවේය.

"පුංචි යකා අද මෙතැන නැති එක කණගාටුවට කාරණයක්." රෙන්ලි උතුමානන් කීය. "එහෙමනං මට දෙගුණයක් සල්ලි හොයන්ට තිබුනා."

ජේමි ලැනිස්ටර් දෙපයින් නැගිට සිටියේ ය. එනමුදු වැටීම නිසා ඔහු ගේ සිංහ හිස්  ශිරස්කය තැලී ඇදවී ගොස් තිබුනු අතර එය ගලවාගැනීම කල හැක්කක් නොවීය. සාමාන්‍ය ජනතාව එදෙසට ඇඟිලි දිගුකරමින් හූ තලමින් සිනාසුනු අතර වංශාධිපතීන් හා වංශාධිපතිනියන් සිය සිනා මැඩගැනීමට අසාර්ථක උත්සාහයක නිරත වූහ. මේ සියලු හඬවල් අභිබවමින් රොබර්ට් රජතුමා කොක්හඬලා සිනාසෙන අන්දම නෙඩ්ට අසන්නට ලැබින. අන්තිමේදී ඔවුන්ට ලැනිස්ටර් සිංහයා කම්මල්කරුවකු වෙත කැඳවාගෙන යාමට සිදුවිය.

මේ වනවිට සෙර් ග්‍රෙගර් ක්ලිගේන් සිය තරගාරම්භක ස්ථානයට වාර්ථා කර තිබින. ඔහු දැවැන්ත, එඩාර්ඩ් ස්ටාර්ක් මෙතෙක් කලකට දැක ඇති දැවැන්තම මිනිසා විය. රොබර්ට් බරතියන් හා ඔහු ගේ සොයුරන් සැවොම දැවැන්ත මිනිසුන් වූහ. දඩබල්ලාද දැවැන්තයෙකු විය. වින්ටර්ෆෙල්හි සිටින හොඩෝර් නමැති මන්දමානසික ඉස්තාල කොලුවා මේ සැවොම පරදවන දැවැන්තයකු විය. එනමුදු 'අසු පිට යන කන්ද' යන නමින් හැඳින්වෙන මේ නයිට්වරයා හොඩෝර්ටද වඩා උසැති යෝධයකු විය. ඔහු අඩි අටකට ආසන්න උසකින් යුතු, උත්තුංග දසරුවකින් හා ගස් කඳන් සිහි ගන්වන අන්දමේ අතපය ඇති යෝධයකු විය. ඔහු ගේ ප්‍රමාණය කෙතරම්ද යත් ඔහු නැග සිටි යුධ සෛන්ධවයා පෝනියකු මෙන් දිස් වූ අතර සුරතේ රැඳි ලන්සය කොසුමිටක් මෙන් දිස් විය.

ග්‍රෙගර් ක්ලිගේන්

සෙර් ග්‍රෙගර් ඔහු ගේ සොයුරු සැන්ඩෝර් මෙන් රාජසභාවේ දිවි ගෙවූවකු නොවීය. යුද්ධ හා තරගාවලින්ට සහභාගි වීම පිණිස හැර සිය වතුපිටිවලින් බැහැර නොගිය ඔහු හුදෙකලා මිනිසකු විය. කින්ග්ස් ලෑන්ඩින්ග් වැටෙද්දී ඔහු ටයිවින් උතුමානන් සමීපයේ සේවය කල දහහත් හැවිරිදි නවක නයිට්වරයකු වූ අතර ඒ වනවිටද සිය ශරීර ශක්තිය, ශරීර ප්‍රමාණය හා සාහසික රෞද්‍රභාවය නිසා නමක් දිනා සිටියකු විය. ‍රේගාර් ගේ බිළිඳු පුත් කුමරුවා වූ ඒගොන් ටාර්ගේරියන් දෙකකුලින් ගෙන බිත්තියක ගසා හිස සුනුවිසුනු කර දැම්මේ ග්‍රෙගර් බව මිනිසුන් අතර පැවැති කතාබහ විය. එයින් පසු රේගාර් ගේ බිරිඳ හා කුඩා කුමරුවා ගේ මව වූ ඩෝර්නිෂ් කුමරියක වන ඊලියා මාර්ටෙල්ව දූෂණය කල ඔහු ඇගේ ගෙල කපා මරා දැමූ බවද මිනිසුන් අතර කතාකෙරුනු පොදු ඕපාදූපයක් විය. කෙසේ වුවද මේ කිසිවක් ග්‍රෙගර්ට ඇසෙන මානයේ දී කතානොකිරීමට මිනිස්සු පරෙස්සම් වූහ.

මේ මිනිසා සමග තමා කිසිදා කතාබහ කර ඇති බවක් නෙඩ් ගේ මතකයේ නොවීය. බේලන් ග්‍රේජෝයි ගේ කැරැල්ල සමයේ ඔවුන් එක්ව යුධ පිණිස ගොස් තිබුනද ග්‍රෙගර් යනු දහසක් නයිට්වරුන් අතරින් එක් අයකු පමණක් විය. ඔහු ග්‍රෙගර් දෙස නොඉවසිලිවන්ත බැල්මක් හෙලීය. නෙඩ් සාමාන්‍යයෙන් ඕපාදූපවලට සවන් දෙන්නකු නොවූවද සෙර් ග්‍රෙගර් සම්බන්ධයෙන් පැවසූනු බොහෝ දේ සාමාන්‍ය අසුභ කතාවලට වඩා වැඩි දෙයක් විය. ඔහු නුදුරු අනාගතයේදීම තෙවන වතාවටද විවාහ වීමට නියමිතව සිටි අතර ඔහු ගේ මුල් බිරින්දෑවරුන් දෙදෙනා ගේ මරණ පිළිබඳ නපුරු රහස් කෙඳිරීම් රැසක් අසන්නට ලැබී තිබින. ඔහු ගේ බලකොටුව ක්‍රෑර භයානක ස්ථානයක් වූ අතර එහි විසූ සමහර සේවකයින් හදිසියේම අතුරුදන් වීම සාමාන්‍ය දෙයක් විය. ඔහු ගේ ප්‍රධාන ශාලාවට ඇතුළුවීමට නිවැසි සුනඛයින් පවා බිය වූහ. ඔහු ‍ගේ සොයුරිය ලාබාල වියේදීම මියගොස් තිබුනේ අස්වාභාවික තත්ත්ව යටතේ විය. එමෙන්ම ඔහු ගේ බාල සොයුරාව විරූපී කල ඒ ගින්න ගැන මෙන්ම ඔවුන් ගේ පියා මියගිය, දඩයම් සවාරියක් අතරතුරේදී සිදු වූ ඒ අනතුර ගැනද සැක මතුවී තිබින. පියා ගේ වියොවත් සමගින් ග්‍රෙගර්ට බලකොටුවද, රත්රන්ද, වතුපිටි සියල්ලද උරුම විය. එදිනම සිය නිවෙසින් පිට වූ ඔහු ගේ බාල සොයුරා සැන්ඩෝර් ලැනිස්ටර්වරුන් සමීපයේ සේවයට බැඳුනේ ය. එදා එදායින් පසු ඔහු මේ වනතෙක්, අඩුම තරමේ සංචාරයක් සඳහාවත් සිය නිවෙසට ගොඩ නොවැදුනු බව ප්‍රසිද්ධ රහසකි.

කුසුම් නයිට්වරයා සිය තරග අන්තය වෙත අසු මෙහෙයවද්දී නරඹන්නන් අතර මුනුමුනුවක් පැතිර ගියේය. "අනේ! එයා හරිම ලස්සනයි!" සන්සා ගේ උද්‍යෝගීමත් මිමිනීමද නෙඩ්ට ඇසින. සෙර් ලෝරාස් ටිරල් බටගසක් මෙන් හීන්දෑරී වූ අතර එකට ගෙතුනු වයින් රිකිලි හා කුඩා ෆොර්ගෙට්-මී-නොට් මල්වලින් අලංකාර කල අනන්තයටම ඔප දැමූ සුන්දර රජතමය සන්නාහයකින් සැරසී සිටියේ ය. මේ නිල් පැහැ මල් සැදී තිබුනේ සිය ගණනක් ඉඳුනිල් මිණෙන් බැව් නෙඩ් මෙන්ම අනිකුත් ජනයාද එකවර වටහාගත්තේ දහසක් මුවින් එකවර අසීරු හුස්මක් ඉහළට ඇදින. මේ කොලුවා ගේ උරහිසේ දැවටී තිබුනු බරැති සළුව නිමාවී තිබුනේ ඝනකම් ලොම් රෙද්දකට තබා මසන ලද සිය ගණනක් වූ සැබෑ ෆොර්ගෙට්-මී-නොට් මල්වලිනි.

ඔහු නැගී සිටියේද අසරුවා මෙන්ම හීන්දෑරී, වේගය වෙනුවෙන්ම නිර්මානය කෙරුනු, සුන්දර අළු පැහැ වෙළඹක් මත විය. ඇගේ ඉව වැටුනු සෙර් ග්‍රෙගර් ගේ දැවැන්ත යුධ සෛන්ධවයා මහ හඬින් හේෂාරවය කරන්නට විය. හයිගාර්ඩ්න්හි සිට පැමිණි කොලුවා වෙළඹට පයින් ඇන සන් කල අතර ඇය සුන්දර නර්තන ලීලාවකින් උජාරු අඩි තබමින් පැත්තෙන් පැත්තට ඇවිද යන්නට වූවාය. සන්සා නෙඩ් ගේ සුරතේ එල්ලුනා ය. "අනේ තාත්තෙ, සෙර් ග්‍රෙගර්ට එයාට හානියක් කරන්ට දෙන්ට එපා." ඇය කීවාය. සෙර් ලෝරාස් විසින් ඇයට පුදදුන් රතු රෝසමල ඇය අද දිනයේ පැළැඳගෙන සිටින බැව් ඔහු නිරීක්ෂණය කලේය. ජොරී මේ සෑම විස්තරයක්ම ඔහුට පවසා තිබින.

"මේවා තරගවලට පාවිච්චි කරන ලන්ස. ඒවා හැප්පුනාම පතුරු යන්ටයි හදලා තියෙන්නෙ. ඒ නිසා කාටවත් හානියක් වෙන්නෙ නෑ." එනමුදුඅද උදෑසන කරත්තයේ බහා තිබුනු, අඩසඳ හැඩ‍වලින් හැඩ කෙරුනු සළුවකින් වැසුනු, තරුණයා ගේ මළකඳ ඔහුට සිහිපත් වූ අතර වදන් උගුරේ සිරවී ගියේය.

සෙර් ග්‍රෙගර් මේ වනවිට සිය අසු පාලනය කරගැනීමේ අසීරුතාවකින් පෙළෙමින් සිටියේ ය. සෛන්ධවයා මහහඬින් හේෂාරවය කරමින්, හිස දෙපසට වනමින්, කුරයෙන් බිම පහුරුගාමින් සිටියේ ය. නයිට්වරයා සිය අසුට සන්නාහය ලූ පයින් වැරෙන් පහරක් දුන් අතර අසු ඇකිළී ගියේ ඔහුව පිටමතින් වීසිකර දැමීමට තැත් කලේය.

රජුට ආචාර කල කුසුම් නයිට්වරයා තරගපිටියේ ඈත කොණට ගොස් සිය ලන්සය පහත් කරගත්තේ ය. සෙර් ග්‍රෙගර් තවමත් සිය අසු පාලනය කරගන්නට දඟලමින් උන්නේ ඌව සටන් පථයට රැගෙන ආවේය. ඊළඟ මොහොතේ සටන ඇරඹින. ග්‍රෙගර් ගේ සෛන්ධවයා චණ්ඩ අයුරින් පිම්මේ ඉදිරියට පිනූ අතර ලෝරාස් ගේ වෙළඹ සේද මෙන් සුමුදුව අඩි තබමින් පියාඹා ආවාය. සෙර් ග්‍රෙගර් සිය පලිහ නියමිත අයුරින් ස්ථානගත කරගෙන ලන්සය ඉදිරියට දිගු කරගෙන හුන් නමුදු සිය වියරු වැටුනු අසු තනි රේඛාවක ධාවනය කරවීමට නොතිත් උත්සාහයක් දරමින් හුන්නේ ය. ඊළඟ මොහොතේ ලෝරාස් ටිරල් ඔහු මත කඩාපැන්නේ සිය ලන්ස තුඩ හරියටම නියමිත ඉලක්කය මත ස්ථානගත ක‍ල අතර ඇසිපිය ගසන පමාවෙන් කන්ද කඩා හැලෙන්නට විය. සෙර් ග්‍රෙගර් කෙතරම් විසල් දැවැන්තයෙකු වීද යත් ඔහු බිම වැටුනේ තනිවම නොවීය. ඒ සමගින් ඔහු ගේ අසුද සන්නාහය හඬ නංවමින් දැවැන්ත මාංශ පොදියක් මෙන් බිම පතිත විය.

අත්පොළසන්, ඔල්වරසන්, ප්‍රීත්‍රිඝෝෂා, සියුරුහඬලෑම්, මිමිනීම් මේ සියල්ලෙන් තරගපිටිය වැසී ගියේය. එනමුදු මේ සැමට ඉහළින් දඩබල්ලා ගේ ගොරෝසු සිනාහඬ පැහැදිලිව ඇසෙන්නට විය. කුසුම් නයිට්වරයා පිටියේ සිය තරග අන්තයේ අසු නවත්වා නරඹන්නන්ට ආචාර කලේය. ඔහු ගේ පහරදීම කෙතරම් හුරුබුහුටි වීද යත් පහර නිසා ලන්සයට කිසිදු හානියක් සිදු වී නොතිබින. ඔහු සිනාසෙමින් සිය දෑස් ආවරණය ඉවත් කරද්දී ගත පැළැඳි ඉඳුනිල් මිණි හිරු එළියේ බැබලින. සාමාන්‍ය ජනතාව වියරුවෙන් මෙන් ඔහුට සුබ පතන්නට, ඔහු වෙනුවෙන් ජයඝෝෂා නගන්නට වූහ.

තරග පිටිය මැද්දේ අසුට යටවී සිටි සෙර් ග්‍රෙගර් අසුගෙන් සිය දෙපා මුදවා ගත්තේ නැගිට සිටියේ ය. සිය ශිරස්කය ගැලවූ ඔහු එය වැරෙන් බිම ගැසීය. ඔහු ගේ මුහුණ ක්‍රෝධය නිසා කළු පැහැ ගැන්වී තිබින, ඔහු ගේ කෙහෙරැළි වියරු වෙසින් දෑස වසමින් මුහුණට වැටී තිබින. "මගේ කඩුව ගෙනෙං." ඔහු සිය සහචරයාට කෑගැසූ අතර කොලුවා අසිපතත් රැ‍ගෙන ඔහු වෙත දිව ගියේය. මේ වනවිට බිම වැටුනු ඔහු ගේ යුධ සෛන්ධවයාද නැවත සිවුපා මතින් නැගිට සිටියේ ය.

ග්‍රෙගර් ක්ලිගේන් සිය අසුට එල්ල කල එකම එක පහර කෙතරම් දරුණු කෙතරම් ප්‍රබල එකක් වීද යත් අසු ගේ ගෙල අඩක් කැපී වෙන්වී ගියේය. එක් හදගැස්මක කාලය තුල ප්‍රීතිඝෝෂා සියල්ල භීතියෙන් කල කෑගැසීම් වලට පෙරැලින. අසු දණින් වැටුනේ වේදනාවෙන් කෑගසමින් මියයන්නට විය. ඒ වනවිටත් සෙර් ග්‍රෙගර් ලේ වැකුනු අසිපත සුරතින් දරා දිගු පියවර තබමින් සෙර් ලෝරාස් ටිරල් වෙත යමින් සිටියේ ය. "ඌව නවත්තපල්ලා!" නෙඩ් කෑගැසීය. එනමුදු පිටිය පුරා නැගෙමින් තිබුනු ඝෝෂාව මධ්‍යයේ ඔහු ගේ හඬ ගිලී ගියේය. සෑමදෙනාම කෑගසන්නට පටන්ගෙන තිබින. සන්සා හඬන්නට පටන් ගත්තාය.

සෑම දෙයක්ම විදුලි වේගයෙන් සිදු විය. කුසුම් නයිට්වරයා සිය අසිපත ඉල්ලා කෑගසද්දී ඔහු ගේ සහචරයා පසෙකට වීසිවන සේ පහරක් දුන් සෙර් ග්‍රෙගර් වෙළඹ ගේ තෝන් ලණුව අල්ලාගැනීමට උත්සාහ කලේය. ලේ ගඳ දැනුනු සත්ත්වයා පස්සෙන් පස්සට ගියාය. ලෝරාස් ටිරල් තවමත් සිය වෙළඹ මත රැඳී සිටියද තත්ත්වය අවදානම් විය. දෑතින්ම සිය අසිපත එසවූ සෙර් ග්‍රෙගර් දරුණු පහරක් එල්ල කල අතර කොලුවා ගේ පපුවට වැදුනු එම පහරින් ඔහු අසු පිටින් විසි වී බිම පතිත විය. සෙර් ලෝරාස් තෝන්තුවාවෙන් මෙන් බිම වැටී සිටියදී ඔහු ගේ වෙළඹ තැතිගත්තී ඉවත දිව ගියාය. මාරාන්තික පහර එල්ල කිරීම සඳහා සෙර් ග්‍රෙගර් අසිපත එසවීය.

"ඌට ඉන්ට දීපං." ගොරෝසු හඩක් කෑගැසීය. සන්නාහයෙන් වැසුනු හස්තයක් විසින් සෙර් ග්‍රෙගර්ව ලෝරාස් වෙතින් ඇද ඉවත දැමීය.

කන්ද, උතුරාගිය වියරුවෙන් වටයක් කරකැවුනේ, සිය සිරුරේ මුලුමහත් අමානුෂික ශක්තිය යොදවා මාරාන්තික අසිපත් ප්‍රහාරයක් එල්ල කලේය. එනමුදු පහර වැළැකූ දඩබල්ලා ප්‍රති පහරක් එල්ල කලේය. අනන්තයක් මෙන් දිස් වූ කාලාන්තරයක් තුළ සොයුරන් දෙදෙනා එකිනෙකා සමගින් මෙසේ ඇනකොටා ගනිද්දී කිහිපදෙනෙක් එකතුව තෝන්තුවාවෙන් වැටී සිටි ලෝරාස් ටිරල්ව ආරක්ෂිත ස්ථානයක් කරා රැගෙන ගියහ. තෙවතාවක්ම සෙර් ග්‍රෙගර් විසින් දඩබල්ලා ගේ ශිරස්කයට දරුණු පහර එල්ල කලද සැන්ඩෝර් එක්වරක් වත් සිය සොයුරා ගේ අනාරක්ෂිත හිසට පහර එල්ල කිරීමට තැත්කරනු නෙඩ් නොදිටී ය.


අන්තිමේදී මේ සටනට නැවැතීමේ තිත තැබීමට රජු ගේ අණට හැකිවිය... රජ අණට හා තවත් අසිපත් විස්සකට හැකිවිය. ජොන් ඒරින් වරක් ඔවුන්ට උගන්වා තිබුනු පරිදි හොඳ අණදෙන නිළධාරියකුට සුපිරි මට්ටමේ යුධබිම් හඬක් තිබිය යුතු විය. රොබර්ට් ඒ බැව් ගංගා ත්‍රිශූලයේදී ඔප්පු කර තිබින. ඔහු මේ මොහොතේද ඒ සුපිරි හඬ භාවිතයට ගත්තේ ය. "මේ විකාරෙ නවත්තපියවු දැන්මම!" ඔහු ගිගුම් දුන්නේ ය. "තොපේ රජතුමායි මේ අණ කරන්නෙ."

දඩබල්ලා අඩදණින් වැටුනේ ය. සෙර් ග්‍රෙගර් එල්ල කල පහර ඔහු ගේ හිසට ඉහළින් වාතය කපාගෙන ඇදී ගියේය. අන්තිමේදී කන්දට ප්‍රකෘති සිහිය ලැබින. සිය අසිපත පහත් කල ඔහු රාජ්‍යාරක්ෂක බලකාය හා තවත් දුසිමක් පමණ නයිට්වරුන් සහ සෙබළුන් පිරිවරා සිටි රජතුමා දෙස රවා බැලීය. වදනකුදු නොදෙඩූ ඔහු අනිත් පස හැරී සෙර් බැරිස්ටාන් සෙල්මි ගේ සිරුරේ හැපීගෙන ඉක්මන් ගමනින් එතැනින් ඉවත් වූයේය. "ඌට යන්ට දීපල්ලා." රොබර්ට් කීය. එතැනින් ඒ නාටකය හමාර විය.

"දැන් එතකොට දඩබල්ලාද තරගාවලියෙ ජයග්‍රාහකයා වෙන්නෙ?" සන්සා නෙඩ්ගෙන් ඇසුවා ය.

"නෑ. තව අවසාන වටයක් තියෙනවා. දඩබල්ලයි ලෝරාසුයි අතරේ."

එනමුදු සන්සා නිවැරැදි වූවාය. මඳ වේලාවකට පසු සාමාන්‍ය ඇඳුමින් සැරසී පිටියට බට සෙර් ලෝරාස් ටිරල් දඩබල්ලා වෙත ගමන් කලේය. "මම ඔබට මගේ මුලු ජීවිතයෙන්ම ණයගැතියි. අද දවසේ ජයග්‍රාහකයා ඔබයි සෙර්."

"මම සෙර් කෙනෙක් නෙවෙයි." දඩබල්ලා පිළිතුරු දුනි. එනමුදු ඔහු ජයග්‍රහනය බාරගත් අතර ජයග්‍රාහකයා ගේ තෑගි මල්ලද ඔහුට හිමිවිය. එමෙන්ම - සමහරවිට ඔහු ගේ දිවියේ පළමුවරට - ඔහුට පොදුජනයා ගේ ආදරයද හිමිවිය. ඔහු තරග පිටියෙන් නික්ම සිය මණ්ඩපය බලා යද්දී සාමාන්‍ය ජනයා ඔහු වෙනුවෙන් ජයඝෝෂා නැගූහ.

නෙඩ් සන්සාත් සමග දුනුපිටිය වෙත ගමන් කරද්දී සුළැඟිල්ලා, ‍රෙන්ලි උතුමානන් හා තවත් කිහිප දෙනෙක් ඔවුන්ට එක් වූහ. "ටිරල් අනිවාර්ය‍යෙන්ම දැනගෙන ඉන්ට ඇති ඒ වෙළඹ මදකිපෙන කාලෙ ඉන්න එකියක් කියලා." සුළැඟිල්ලා පැවසීය. "මම දිවුරලා කියන්නම්, ඒ කොල්ලා මේ හැමදේම සැලසුම් කරලයි කරන්ට ඇත්තෙ. ග්‍රෙගර් හැමවෙලාවෙම වගේ සිහිබුද්ධිය තියෙන අශ්වයින්ට වඩා ප්‍රචණ්ඩ අශ්වයින්ට කැමැතියි."

සෙර් බැරිස්ටාන් සෙල්මි මෙයින් සතුටට පත් වූයේ නැත. "වංචා කරලා දිනන එකේ කිසිම ගෞරවනීය බවක් නෑ." ඔහු දරදඬු ස්වරයෙන් කීය. "ගෞරවයක් නැතිවුනාට එතන රන්කාසි විසිදාහක් තියෙනවනෙ." රෙන්ලි උතුමානන් සිනාසුනේ ය.

ඩෝරිනිෂ් වගුරුබිම් වලින් පැමිණි, මින් පෙර කිසිදා කිසිවෙකු නම අසා නොතිබුනු, ඇන්ගයි නම් වූ සාමාන්‍ය තරුණයෙක් දුනුවායන් ගේ තරගය ජයග්‍රහනය කලේය. අන්තිම වටයට පැමිණි අනිත් තරගකරුවන් දෙදෙනා වූ සෙර් බේලන් ස්වෝන් හා ජලබාර් ෂෝ ඉක්මවා පියවර සියයක දුරකින් තරගය දිනන්නට ඔහුට හැකිවිය. නෙඩ් විසින් හස්තයේ ආරක්ෂක බලමුළුවේ තනතුරක් වෙනුවෙන් ඔහුව බඳවාගනු පිණිස ඇලන්ව ඔහු සොයා පිටත්කර හැරිය නමුදු වයින් මතින් හා ජයග්‍රහනයෙන් උද්දාම වී සිටි මේ කොළුවා ඔහුව නොතකා හැරියේ ය.

මිශ්‍ර සටන තුන් පැයක් පුරා ඇදීගියේය. හතලිහක් පමණ වූ නිදහස් අසරුවන්, දෙවන පෙළ නයිට්වරුන් සහ අලුත පත්කෙරුනු සහචරයින් සිය වාසනාව උරගාබැලීමේ හා තමන් ගේ නම පතළ කරගැනීමේ අරමුණින් යුධ වැදී සිටියහ. ඔවුහු මොට්ට ආයුධ රැගෙන, වරෙක කුඩා කණ්ඩායම් සාදාගෙන අන් කණ්ඩායම්වලට විරුද්ධව ද, ඉන්පසු එකම කණ්ඩායමේ සාමාජිකයින් අතර ද වශයෙන් ‍නොනවතින සටනක නියෑලී හුන්හ. ඔවුහු මිත්‍ර සන්ධාන ඇතිකර ගනිමින්, නැවත ඒවා බිඳ දමමින් අන්තිමේදී එක් මිනිසකු ඉතිරිවන තුරු එකාට එකා මරාගත්හ‍. මේ තරගයේ ජයග්‍රාහකයා වූයේ හිස මුඩුකොට, ජ්වලිත අසිපතක් රැගෙන උමතුවෙන් මෙන් සටන් වැදි රණකාමී රතු පූජකයකු වූ මර්හි තො‍රෝස් විය. ඔහු මීට පෙරද මිශ්‍ර සටන් දිනා පුරුදු ඇත්තෙකු විය. ඔහු ගේ ගිනිඇවි‍ලෙන අසිපත නිසා අන් තරගකරුවන් ගේ අසුන් බිය වූ අතර ඔහු කිසිවෙකුටත් බිය නැත්තෙකු විය. කැඩුනු ඉළඇට තුනක්, බිඳුනු අකුඇටයක්, තැලී පොඩිවී ගිය අතැඟිලි දුසිමක් පමණ, තුවාල සිදුවීම නිසා මරාදැමිය යුතු වූ අසුන් දෙදෙනෙක් සහ ගිනිය ‍නොහැකි තරම් වූ කැපුම්, කෙටුම්, තැලීම් පෙලීම්, සීරීම් උළුක්කු වීම් මේ සට‍නේ අවසාන ගණනය විය. රජතුමා මේ සටනට සහභාගි නොවීම නෙඩ් ගේ ඉමහත් අස්වැසිල්ලට හේතු විය.


Varys: “The Red Keep shelters two sorts of people, those who are loyal to the realm, and those who are loyal only to themselves.”

37 comments:

  1. මේ තියෙන්නේ පයිට්

    ReplyDelete
    Replies
    1. කෑම -
      //කැඩුනු ඉළඇට තුනක්, බිඳුනු අකුඇටයක්, තැලී පොඩිවී ගිය අතැඟිලි දුසිමක් පමණ, තුවාල සිදුවීම නිසා මරාදැමිය යුතු වූ අසුන් දෙදෙනෙක් සහ ගිනිය ‍නොහැකි තරම් වූ කැපුම්, කෙටුම්, තැලීම් පෙලීම්, සීරීම් උළුක්කු වීම්//

      Delete
    2. තව මැරිච්ච අස්සයෙකුත් හිටියා නේද??

      Delete
    3. මැරිච්ච අස්සයෙකුයි, අස්සයා මැරිච්ච කවුබෝයි කෙනෙකුයි දෙන්නෙක්ම හිටියා.. :-D

      Delete
    4. සුප් එකක් නං හදාගත්තැකි අගේට.

      Delete
    5. කටුවක් දැක්ක හැටියේ හැලපේ සුප් හදන්ට නේද යන්නේ? :D

      Delete
  2. ඕයේ
    මියුරු සටන් ඇග කිළිපොලන ත්‍රාසජනක ගීත මධුර කුනුහරුප සහිත අලුත්ම චිත්තර පටිය දැන් නිකුත් වුණා...
    හුරේ...

    ReplyDelete
    Replies
    1. එන්ට එන්ට.. අදම පැමිණ නරඹන්ට.. :-)

      Delete
    2. මියුරු සටන්, ත්‍රාසජනක ගීත, මධුර කුණුහරුප? හීඊඊඊඊඊඊ

      එන්ට, එන්ටම මහේෂ්ගේ කමෙන්ට්ස් ලස්සණ වෙනවා....

      Delete
  3. හ්ම්ම්.. තවත් මිනිසෙකු පැරදවීමට හැකියාව ඇති නපුරුම ආයුධය ඔහු පාවිච්චි කලා. පේම‍තෝ ජායතී සෝකෝ කියල අස්සයා මලා.

    ReplyDelete
    Replies
    1. මටනම් තේරුනේ නෑලු..

      Delete
    2. ඔය පේම‍තෝ කතා කියන්නෙ පොංටද?

      Delete
    3. අස්සයා පවු නේද..

      Delete
    4. @ප්‍රා,

      ජායතෝ කියන්නේ ඔයාටලුද? :P

      Delete
  4. අර රෙන්ලි උතුමා මල් කොල්ලා ගැන දන්නවා වැඩියි කියලා හිතෙන්නෙ නැද්ද??

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්... :-D

      Delete
    2. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

      Delete
    3. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් :)

      Delete
  5. පයිට් ටික ෂෝක්.
    දඩබල්ලා එළ කොල්ලෙක්නේ.

    ReplyDelete
    Replies
    1. එළදත් අහනවා.. :-)

      Delete
    2. එළ කියන්නේ මී කියන එකේ අනික් පැත්ත නේ මනෝජ්? :P

      Delete
  6. මව් වගේ සටන් අතීතයේදී ඇත්තටම වෙද්දී කොහොම තියෙන්න ඇද්ද? මිනිස්කම/පිරිමිකම තියෙන්නේ මුහුණට මුහුණලා සටන් කිරීමේදී විතරද?

    බලන්න මේ චරිතාංග නළුවන් තෝරාගැනීමේදී ඔවුන්ගේ පෞරුෂය ගැන කොතරම් සැලකිල්ලක් දක්වා තිබෙනවාද කියා.

    ReplyDelete
    Replies
    1. 'මේ වගේ' යනුවෙන් නිවැරදි වියයුතුයි.

      Delete
    2. ඒ කාලෙ තමා ෆයිට් තිබ්බෙ.. නැද්ද.. දැන් නිකං ඈත ඉඳන් හැංගිලා ඩිෂුම් ඩිෂුම් නේ..

      Delete
    3. ඔව්වොව් විචාරක තුමාගෙන්ම ඉගෙන ගත් පරිදි කිලෝමීටර් ගණන් දුර සිට ඩිශුම්

      Delete
    4. ඒ කාලේ විචාරක හිටියා නම් කොහොම තියෙයිද? කැට්ලා, ඩැනීලා ඔක්කොම මෙයා වෙනුවෙන් ෆයිට් කරයිනේ? :D

      Delete
  7. //ඔහු ගේ ප්‍රමාණය කෙතරම්ද යත් ඔහු නැග සිටි යුධ සෛන්ධවයා පෝනියකු මෙන් දිස් වූ අතර සුරතේ රැඳි ලන්සය කොසුමිටක් මෙන් දිස් විය.//


    ඒක නම් බලන්නම වටින දර්ශනයක් :)

    ෆයිට් ඕනේ කට්ටියට හරි සතුටු ඇති නේද .


    දැන් ඔන්න ඊළඟට එන්නේ සිංදුවක් :P

    ReplyDelete
    Replies
    1. කවුද ඔයාද සින්දුව කියන්නෙ? :-P

      Delete
    2. අර ගස් අස්සෙන් සිංදුවක් කියාගෙන දුවගෙන එන්නේ සෝන්යා නේද? හින්දි සිංදු කියන්ට එපා. ඔක්කොලාටම හින්දි සිංදු බෑලු. :D

      Delete
  8. හප්පේ මෙව්වා දැකලා බඩගින්නකුත් ආවා. හා . මට ගෙනෙල්ලා කලු පාන් බාගෙකුයි , පරිප්පු එකකුයි. තව හොඳට බැදපු සොසේජස් දෙකක්, තාරා බිත්තර ඔම්ලට් දෙකක් එක්ක. තව වයින් පූකුරුවකුත් එහෙම ගෙනාවට කාරි නෑ.

    මං මේ කම්පානා කොලේ අර වෙළඹ "ලැසි" ගමනෙන් ආපු එක ගැන. ඔයිට කලිනුත් තිබ්බා නෙව නයිමේරියා ලැසි ගමනින් බේකන් කාපු හැටි එහෙම. දැන් අපි හිතමුකො ව්‍යාග්‍ර දෙනක්, නරියෙක් පස්සෙ "ලැසි" ගමනෙන් පන්නන් ආව කියලා. එතකොට අපිත් දුවන්න ඕනෙ ලැසි ගමනෙන්ද?

    ReplyDelete
    Replies
    1. මේ නරිමොටාට නං මඤ්ඤං හොඳ එක.. ලැසි ගමනින් කොහොමද බොල බේකන් කන්නෙ? බේකන් කෑවෙ කෝමල අන්දමින්.. අහපං අර බස්සා කෝමල අන්දමින් අරිෂ්ට වඩියක් බීලා ගැසි ගමනින් පියාඹනවද කියලා.. :-P

      Delete
    2. කොහොම දිව්වත් වැඩක් නෑ නරි මොටෝ. ව්‍යඝ්‍ර ධේනුව ලැසි ගමනින් ආවත් අල්ලගෙන ගිල දානවලු. :P

      Your Days Are Numbered ලු :D

      Delete
    3. මොටා වැඩිපුර කැමති ව්‍යඝ්‍ර ධේනුවක් පස්සෙන් එනවටද සිංහ ධේනුවක් පස්සෙන් එනවටද??

      Delete
    4. @බුරා
      ආ හරි කෝමල අන්දමින් තමා බේකන් කෑවෙ.අපි නං මෙලෝ සිහියක් නැතිව චව්, චව් ගාලා තමා ගිලින්නෙ :)

      @ පොඩ්ඩි
      හුටා!

      @ චූලා

      බුදු සන්තෝ සිංහ එපා. කොටි හොඳා :)

      Delete
  9. මේ ටිරල් තාම පොඩි කොල්ලා නේද?

    ReplyDelete