Wednesday 15 October 2014

එඩාර්ඩ් 06-1

ජේනස් ස්ලින්ට්
ජේනස් ස්ලින්ට් - නගරාරක්ෂක බලකායේ ප්‍රධානී

"මේ හස්තයේ තරගාවලිය නිසා තමා මේ හැම අවුලක්ම ඇතිවෙන්නෙ මගේ උතුමනි." නගරාරක්ෂක බලකායේ අණදෙන නිළධාරියා රාජසභාවට පැමිණිලි ස්වරයෙන් කියා සිටියේ ය.

"රජතුමාගෙ තරගාවලිය." නෙඩ් ඔහුව නිවැරැදි කලේ ය. "මම බොහොම විශ්වාසයෙන් කියන්නෙ, රජතුමාගෙ හස්තයට ඔය මලඉලවුවත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ."

"ඔබතුමාට කැමැති විදියකට කියන්ට මගේ උතුමානනි. මේකට සහභාගිවෙන්ට රාජධානියෙ හතරදිග් බාගෙන්ම නයිට්වරු මෙහාට එන්ට පටන් අරන්. මේ එන හැම නයිට්වරයෙක් ගානෙම අපට එනවා නිදහස් අශ්වාරෝහකයො දෙන්නෙක්, ශිල්පියො තුන්දෙනෙක්, සෙබළු හයදෙනෙක්, වෙළෙන්දො දුසිමක්, වේස ගෑනු දුසිම් දෙකක්, තව ගනංකරන්ට බැරි තරම් හොරුයි ගැටකපන්නොයි රංචුවක්. මේ හෙණගහන රස්නෙ නිසා නගරවැසියො කොහොමත් ලේ රත් වෙලා වගෙයි හිටියෙ. දැන් මේ පිටින් එන අමුත්තො නිසා... ඊයෙ රෑ අපට වාර්තා වුනා දියේ ගිලීමක්, තැබෑරුමක රණ්ඩුවක්, පිහි ඇනුම් තුනක්, ස්ත්‍රී දූෂණයක්, ගිනි තැබීම් දෙකක්, හොරකම් බර ගානක්. ඒ මදිවට හොඳටම බීපු අශ්වයෙක් සහෝදරියන්ගෙ වීදිය මැද්දෙන් පිම්මේ දුවලා තියෙනවා. ඊට කලින්දා රෑ, මහා සප්තකයෙ දේදුනු පොකුණෙ පාවි පාවි තිබිලා හම්බවුනා ගෑනියෙකුගෙ ඔළුවක්. කවුරුවත් දන්නෙ නෑ කවුද මේ මැරිච්ච ගෑනි කියලාවත්, ඒක කොහොමද එතැනට ආවෙ කියලාවත්."

"කොච්චර භයංකාරද." වාරිස් වෙවුලමින් කීවේ ය.

රෙන්ලි බරතියන් උතුමානන් එතරම් අනුකම්පාසහගත වූයේ නැත. "උඹට රජතුමාගෙ සාමය රකින්ට බැරිනං ජේනස්, ඒ දේ කරන්ට පුළුවන් එකෙක්ව නගරාරක්ෂක බලකායෙ අණදෙන නිළධාරියා විදියට පත් කරන්ට සිද්දවෙනවා."

තරබාරු, මහත ගෙලකින් යුතු ජේනස් ස්ලින්ට් කේන්ති ගිය ගෙම්බෙකු මෙන් පිම්බේ ය. ඔහු ගේ තට්ට හිස් මුදුන රත් පැහැ වී තිබින. "මකරාධිපති ඒගොන්ටවත් මේ නගරෙ සාමය රකින්ට බෑ රෙන්ලි උතුමානනි. මට තව මිනිස්සු උවමනායි."

"කොච්චර ඕනද?" නෙඩ් ඉදිරියට නැඹුරුවෙමින් ඇසු‍වේ ය. සුපුරුදු පරිදිම මෙම රාජසභා රැස්වීමට සහභාගිවීමට රජතුමා කරදර වූයේ නැත. එමනිසා ඔහු වෙනුවෙන් කතා කිරීමට ඔහු ගේ හස්තයට සිදු වී තිබින.

"හොයාගන්ට පුළුවන් හැකි උපරිමයෙන්, හස්තයේ උතුමානනි."

"අලුතෙන් මිනිස්සු පනහක් බඳවගන්ට." නෙඩ් ඔහුට කීය. "බේලිෂ් උතුමානන් වග බලා ගනියි උඹට උවමනා සල්ලි හොයලා දෙන එක."

"මම එහෙම කරයිද?" සුළැඟිල්ලා ඇසුවේ ය.

"අනිවාර්යයෙන්ම. තරගාවලියෙ ජයග්‍රාහකයාට තෑගි දෙන්ට රන්කාසි හතලිස්දාහක් හොයාගත්ත ඔබට රජතුමාගෙ සාමය වෙනුවෙන් තව තඹ කාසි ටිකක් හූරගන්ට බැරිවෙන එකක් නෑ." නෙඩ් නැවතත් ජේනස් ස්ලින්ට් දෙසට හැරුනි. "මම උඹට මගේ ගෘහාරක්ෂක බලකායෙන් තව හොඳ සෙබළු විසිදෙනෙක් දෙන්නම්. තරගාවලිය ඉවරවෙලා මිනිස්සු විසිරිලා යනකම් උන්ට පුළුවන් නගරාරක්ෂක බලකායට උදවු කරන්ට."

"ඔබතුමාට බොහොමත්ම ස්තූතියි හස්තයේ උතුමානනි." ස්ලින්ට් දෙකට නැවෙමින් කීය‍. "මම ඔබතුමාට පොරොන්දු වෙනවා එයාලව බොහොම හොඳින් පාවිච්චි කරනවා කියලා."

අණදෙන නිළදාරියා පිටව ගිය පසු එඩාර්ඩ් නැවත සෙසු රාජසභිකයින් දෙසට හැරුනි. "මේ විකාරෙ ඉක්මනට ඉවරවෙන තරමට මම බොහොම කැමැතියි." වියදම් සහ සාමය බිඳවැටීම් නිසා පැන නැගී ඇති ගැටළුවලට අමතරව ඔහුට තව දුරටත් රිද්දන්නට මෙන් නගරයේ සෑමදෙනාම මීට 'හස්තයේ තරගාවලිය' කියා අමතන්නට පුරුදු වී සිටියේ හරියටම එය ඔහු ගේ උවමනාවට සිදු වූ දෙයක් ලෙස සලකා මෙනි. අනිත් අතට රජතුමා අවංකවම සිතුවේ මේ සියල්ල ඔහුට කරන ගෞරවයක් ලෙසිනි.

"මේ වගේ උත්සව නිසා රාජධානිය සමෘධිමත් වෙනවා මගේ උතුමානනි." ප්‍රධාන මේස්ටර් පයිසෙල් කීවේ ය. "මේ දේවල් නිසා උසස් පන්තියට පුළුවන් වෙනවා තමන්ගෙ කීර්තිය, සම්මාන, පාරට්ටුව වැඩි කරගන්ට. අනිත් අතට පහත් පෙළේ එවුන්ට තමන්ගෙ දුක් කරදරවලින් මොහොතකට හරි විරාමයක් ලැබෙනවා."

"අනිත් එක සාක්කු ගොඩකට කාසි වැටෙනවා." සුළැඟිල්ලා එක් ‍කලේ ය. "නගරෙ හැම තානායමක්ම පිරිලා ඉතිරිලා ගිහිල්ලා. වේස ගෑනුන්ට කොච්චර වැඩ වැඩිද කියනවානම් උං ඇවිදින්නෙ බකල ගගහ. උං තියන තියන අඩියක් ගානෙ සාක්කුවල කාසි සිලිං බිලිං ගානවා."

රෙන්ලි බරතියන්
රෙන්ලි බරතියන්

රෙන්ලි උතුමානන් සිනාසුනේ ය. "මගේ අයියා ස්ටැනිස් මෙහෙ නැති එක අපට හරිම වාසනාවක්. මතකද මිනිහා ගනිකා මඩම් නීතිවිරෝධි කරන්ටයි කියලා යෝජනාවක් ගෙනාපු වෙලාව? රජතුමා එයාගෙන් ඇහුවා එතකොට එයාට කෑම කන එක, වැසිකිලි යන එක, හුස්ම ගන්න එක එහෙමත් නීතිවිරෝධී කරන්ට උවමනායිද කියලා. ඇත්තම කියනවා නම්, මම සමහර වෙලාවට පුදුමෙන් වගේ කල්පනා කරනවා එයාගෙ අර පුංචි කැත දෝණියන්දෑ හම්බවුනේ කොහොමද කියලා. මිනිහා ඇඳට යන්නෙ හරියට සෙබළෙක් යුද්ධෙට යනවා වගෙයි."

මේසය වටා සිටියවුන්ගෙන් සිනහවට සහභාගි නොවූයේ නෙඩ් පමණි. "මමත් ඔබේ සහෝදරයා ස්ටැනිස් ගැන කල්පනා කරනවා. මම කල්පනා කරන්නෙ එයා කවදා ඩ්‍රැගන්ස්ටෝන්වල සංචාරය ඉවරකරලා ආයෙමත් රාජසභාවෙ වාඩිවෙන්ට එයිද කියලයි."

"අපි අර වේස ගැනූ ටික ඔක්කොම මුහුදට තල්ලු කරලා දාපු දාට එයා ආපහු එයි, කිසිම සැකයක් නෑ." සුළැඟිල්ලා කීවේ තවත් සිනා වටයක් අරඹමිනි.

"අද දවසට මට වේස ගෑනු ගැන අහන්ට ලැබුනා හොඳටම ඇති." නෙඩ් කීවේ අසුනෙන් නැගිටිමිනි. "හෙට හම්බවෙමු."

නෙඩ් නැවත හස්තයේ කුළුණ වෙත පැමිණෙන විට හාර්වින් දොරකඩ මුරකාවලෙහි යෙදී සිටියේ ය.

"ජොරීට මගේ කාමරේට එන්ට කියන්ට. උඹේ තාත්තට කියන්ට ම‍ගේ අශ්වයට සෑදල දාන්ටයි කියලා."

"එහෙමයි මගේ උතුමානනි."

රතු බලකොටුව හා හස්තයේ තරගාවලිය නිසා තමා නිතරම කෝපයෙන් ඇවිස්සෙන බව පඩිපෙළ නගින අතරේදී නෙඩ් කල්පනා කලේ ය. කැට්ලින් ගේ දෑතේ නැවත වෙලෙන්නට, රොබ් හා ජොන් අංගනයේ කඩු සරඹ පුරුදුවන හඬ නැවත අසන්නට, උතුරුකරයේ සිසිල් දිවා කාලයන් හා සීතල රාත්‍රින් නැවත විඳින්නට ඇත්නම් යැයි ඔහු මහත් ආශාවෙන් හූල්ලන්නට විය.

සිය කාමරය තුළදී රාජසභාවට ඇඳි සේද ඇඳුම් ගලවා දැමූ නෙඩ් ජොරී එනතෙක් පොත අතට ගත්තේ ය. ප්‍රධාන මේස්ටර් මැලියන් විසින් ලියන ලද 'රාජධානි සප්තකයේ උදාර වංශවත් පවුල්වල ඉතිහාසය හා පෙළැන්තිය: බොහෝ උසස් වංශාධිපතියන්, කුලීන ආර්යාවන් හා ඔවුන් ගේ දරුවන් ගේ විස්තර සමගින්'. පයිසෙල් පවසා තිබුනේ සැබෑවකි. එය ඉතා බරපතළ පොතක් විය. එනමුදු ජොන් ඒරින් විසින් වෙසෙසින්ම මේ පොත ගැන විමසා තිබුනු එතර ඊට හේතුභූත වූ යම්කිසි කාරණාවක් තිබෙන්නට ඇතැයි නෙඩ් සැක කලේ ය. මෙහි, මේ කහගැසුනු, කැඩී බිඳී යනසුළු පොත් පිටු අතරේ කුමක් හෝ රහසක් සැඟවී තිබිය යුතු විය. එහෙත් ඒ රහස කුමක්ද? මේ පොත සියවසකටත් වඩා පැරැණි එකක් විය. මැලියන් විසින් මෙම උපත්, මරණ හා විවාහ ගැන කියැවෙන මහා පතරංගය ලියන කාලයේදී අද ජීවත්වන කිසිවකුත් ඉපදී තබා ඉපදෙන්නට සිතාවත් නොතිබින.

ලැනිස්ටර් වංශය ගැන ලියැවුනු කොටස නැවත වරක් පෙරලූ ඔහු සෙමින් සෙමින් පොත කියවන්නට වූයේ යම්කිසි දෙයක් ඔහු ගේ දෑස් ඉදිරියට පනිනු ඇතැයි ප්‍රාර්ථනා කරමිනි. ලැනිස්ටර්වරුන් වනාහී වසර දහස් ගණනක් අතීතයේ සිට පැවතෙන උදාර ප්‍රභූ වංශයක් විය. ඔවුන් ගේ මී මුත්තා ස්ටාර්ක් වංශයේ ආදිතමයා වන බ්‍රැන් දි බිල්ඩර් මෙන් 'වීරයින් ගේ යුගයේ' විසූ, දක්ෂ ලැන් නමැති, ප්‍රවාදවල නම කියැවෙන ප්‍රයෝගකාරී කපටියෙකි. නිමක් නැති ගී හා සැහැලිවල කියැවෙන අන්දමට ඔහු කිසිදු ආයුධයක් අත නොමැතිව සිය බුද්ධිය හා බුහුටිකම පමණක් භාවිත කර කාර්ස්ටලී රොක්හි සිටි කාර්ස්ටලීවරුන් එයින් නෙරපා දමා ඇත. එමෙන්ම සිය අක්බමරු කෙහෙරැළි රන්වන් පාට කිරීම සඳහා හිරුගෙන් රත්රන් සොරාගෙන ඇත. මේ මලඉලවු පොතෙන් තමාට අවශ්‍ය සත්‍යය නෙරපාගැනීම සඳහා ඔහු මේ මොහොතේ තමා අසල සිටීනම් කෙතරම් අගනේදැයි නෙඩ් ප්‍රාර්ථනා කලේ ය.

දොරට පිටතින් ජොරී කසල් ගේ තට්ටු කිරීම ඇසින. පොත වසා දැමූ නෙඩ් ඔහුට ඇතුළුවන්නට අණ කලේ ය. "මේ තරගාවලිය ඉවරවෙනකම් නගරාරක්ෂක බලකායට සෙබළු විස්සක් දෙන්ට මම පොරොන්දු වුනා. උඹ තමා කට්ටිය තෝරන්ට ඕන. ඇලන්ට කණ්ඩායමේ නායකකම දෙන්ට. ඒ වගේම ඒ මිනිස්සුන්ට පැහැදිලිව කියන්ට උන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ ගැටුම් නවත්තන එක, ගැටුම් පටන්ගන්න එක නෙවෙයි කියලා." නැගී සිටිය නෙඩ් සීඩර් පෙට්ටගමක් විවෘත කර එතුළින් සැහැල්ලු හණ යටි කමිසයක් එළියට ගත්තේ ය. "උඹට අර ඉස්තාල කොලුවාව හොයාගන්ට පුළුවන් වුනාද?"

"දැන් ඌ මුරභටයෙක් මගේ උතුමානනි. ඌ දිවුරනවා 'ආයෙනං කවදාවත් අශ්වයින්ට අතක් වත් තියන්නෙ නෑ' යි කියලා."

"ඌට මොනාද කියන්ට තියෙන්නෙ?"

"ඌ කියනවා ඒරින් උතුමානන්ව ළඟින්ම දැනගෙන හිටියා කියලා. බොහොම කිට්ටු යාළුවො තරම් ළඟින්. ඌ කියනවා ඒරින් උතුමා කොල්ලන්ගෙ උපන්දිනේ දාට උන්ට සල්ලි දුන්නා කියලා. අශ්වයින්ට ආදරෙන් හිටියා, කවදාවත් උන්ට පීඩා වෙන විදියට අශ්වයො පැද්දෙ නෑ කියලා. උන්ට කැරටුයි ඇපලුයි ගෙනත් දෙන නිසා එතුමා එනකොට අශ්වයො පවා සතුටු වුනාලු."

"කැරටුයි ඇපලුයි." පෙනෙන හැටියට නම් මේ කොලුවාගෙන් ලැබෙන විස්තර අනිත් සැමටම වඩා නොවටින්නේ ය. සුළැඟිල්ලා පැවසූ සිවුදෙනාගෙන් මේ කොලුවා අන්තිමයා විය. ජොරී මේ සිවුදෙනාටම කතා කර තිබින. සෙර් හියු දඩබ්බර, අලුත ලැබුනු නයිට් පදවිය නිසා අහංකාරයෙන් ඔළුව උදුම්මාගත් අයකු වූ අතර ඔහුගෙන් කිසිදු තොරතුරක් ලබාගැනීම උගහට විය. 'රජතුමා ගේ හස්තයට ඔහු සමග කතා කිරීමට උවමනා නම් මුන ගැසීමට සූදාණම් නමුදු මේ නිකංම නිකං දෙකයි පණහේ ආරක්ෂක බලමුළුවක කපිතාන් කෙනකු ගේ ප්‍රශ්නකිරීම් වලට මුහුණ දීමට තමා සූදාණම් නැත' යි ඔහු වහසිබස් දොඩා තිබින... එතෙකුදු වුවත් මේ දෙකයි පණහේ කපිතාන්වරයා නයිට්වරයාට වඩා වසර දහයකින් වැඩිමහල් වූ අතර ඔහුට වඩා සිය ගුණයකින් දක්ශ කඩු සරඹ ශූරයෙකු විය. වැඩකාර කෙල්ල ඇත්තෙන්ම ඊට වඩා සුහදශීලී විය. ඇය පැවසූ පරිදි ජොන් උතුමානන් ඔහුට දරාගත නොහැකි තරමට පොත් කියෙවුවේ ය. සිය පුත්‍රයා‍ ගේ අසනීප තත්ත්වය හා දුර්වලකම නිසා ඔහු දුකින් සිටියේ ය. සිය ආර්යාව කෙරෙහි කර්කශ විය. වැඩකාර කොලුවා කිසිදිනෙක ජොන් උතුමානන් සමග වදනකුදු දොඩා නොතිබුනු නමුදු කුස්සි‍යේ ඇසුනු ඕපාදූප රැසක් දැන සිටියේ ය. උතුමානන් රජතුමා සමග නිතරම දබර කලේ ය. එතුමා ආහාර පිඟන්වලට යන්තම් අත ගැසුවා පමණි. එතුමන් සිය පුතණුවන්ව ඩ්‍රැගන්ස්ටෝන්හි හදාවඩා ගැනීමට යැවීමට සිතමින් සිටියේ ය. එතුමා දඩයම් බල්ලන් බෝ කිරීම ගැන විශේෂ උනන්දුවක් දැක්වී ය. නව සන්නාහයක් සාදාගැනීමේ අරමුණින් එතුමා ප්‍රධාන ආයුධ තනන්නෙකු හමුවීමට ගොස් තිබින. මේ සන්නාහය රිදියෙන් තැනූවක් වූ අතර එහි පපු තහඩුව නිල් පැහැ උකුස්සකු හා මුතුවලින් කල අඩ සඳකින් අලංකාර විය. මෝස්තරය තෝරාගැනීමට උදවු වනු පිණිස රජතුමා ගේ සොහොයුරාද උතුමානන් සමග ගිය බව මේ කොලුවා කියා සිටියේ ය. නැත නැත.. ඒ රෙන්ලි උතුමානන් නොවේ, අනිත් කෙනා, ස්ටැනිස් උතුමානන් විය.

"මේ කොලුවා තව මොනවා හරි වැදගත් දෙයක් කිවුවද?"

"කොලුවා දිවුරලා කියනවා ජොන් උතුමානන් එයා‍ගෙ වයසෙන් බාගයක් වයසැති මිනිහෙක් තරම් හොඳ ශරීර සෞඛ්‍යයෙන් ශක්ති සම්පන්නව හිටියලු. ඌ කියනවා එතුමා නිතරම ස්ටැනිස් උතුමානන් එක්ක අශ්වයො පිටේ එහෙ මෙහෙ ගියාලු."

'ආයෙමත් ස්ටැනිස්!' නෙඩ් කල්පනා කලේ ය. මෙය ඔහු ගේ සිතේ කුතුහලයක් ඇති කිරීමට සමත් විය. ජොන් ඒරින් හා ස්ටැනිස් එකිනෙකාට ආචාර සම්පන්න වුවද කිසි දිනෙකත් මිතුරන් නොවූහ. අනිත් අතට රොබර්ට් උතුර බලා, වින්ටර්ෆෙල් බලා ගමන් ගනිද්දී ස්ටැනිස් ඩ්‍රැගන්ස්ටෝන් වෙත, සිය සොයුරා ගේ නමින් තමා දිනූ ටාර්ගේරියන් බලකොටුව වෙත ස්වයං පිටුවහල් වීමක් සිදුකර තිබින. නැවත කවදා කින්ග්ස් ලෑන්ඩින්ග්වලට එන්නේ දැයි ඔහුගෙන් කිසිදු වදනක් ලැබී නොතිබින. "මේ සංචාරවලදී මෙයාලා කොහෙටද ගිහිල්ලා තියෙන්නෙ?" නෙඩ් ඇසීය.

"කොලුවා කියනවා මෙයාලා එක ගනිකා මඩමකට ගියා කියලා."

ස්ටැනිස් බරතියන්
ස්ටැනිස් බරතියන්
"ගනිකා මඩමකට? ඉයරිවල වංශාධිපතියයි රජතුමාගෙ හස්තයයි වුන ජොන්, ස්ටැනිස් බරතියන් එක්ක ගනිකා මඩමකට ගියා?" ඔහු විමතියෙන් හිස වැනීය. මේ බව ඇසුවහොත් රෙන්ලි උතුමානන් කුමක් කියනු ඇත්දැයි ඔහු කල්පනා කලේ ය. රොබර්ට් ගේ ආදර කතා හා ප්‍රේමාලිංගන රාජධානිය පුරා නිමක් නැති ඕපාදූපවල මුලයන් වූ නමුදු ස්ටැනිස් වනාහි වෙනස්ම පුද්ගලයකු විය. ඔහු රජතුමාට වඩා යාන්තම් වසරකින් බාල වූ නමුදු රොබර්ට්ට වඩා හාත්පසින්ම වෙනස්, තදපරුෂ, කිසිදු හාස්‍යයක් නොහඳුනන, සමා නොදෙනසුළු, දරුණු ලෙස රාජකාරියට කැපවූවෙකු විය.

"කොලුවා දිවුරලා කියනවා ඒක ඇත්තක් කියලා. ජොන් උතුමානන් එයත් එක්ක සෙබළු තුන්දෙනෙක් අරන් ගියා. ඉතින් මේ කොලුවා එවුන්ගෙ අශ්වයො ගන්ට ගියාම උන් මේ ගැන විහිළු කතා කියනවා ඌට ඇහිලා තියෙනවා."

"මොන ගනිකා මඩමද?"

"කොලුවා ඒක දන්නෙ නෑ. ඒ ගිය සෙබළු දන්නවා ඇති."

"ලයිසා මේ හැමෝම මිටියාවතට එක්කරන් ගිය එක හරිම අපරාධයක්." නෙඩ් අමිහිරි හඬින් කීවේ ය. "දෙවියො අපට පීඩා කරන්ට පුළුවන් උපරිම උත්සාහය දරනවා. ලයිසා ආර්යාව, මේස්ටර් කෝල්මන්, ස්ටැනිස් උතුමානන්... ජොන් ඒරින්ට ඇත්තටම මොකක්ද වුනේ කියලා දන්න හැමදෙනාම අපට ලීග් දාස්ගානක් දුරින් ඉන්නෙ."

"ස්ටැනිස් උතුමානන්ව ඩ්‍රැගන්ස්ටෝන්වලින් ආපහු කැඳවන්ටද ඔබතුමා යන්නෙ?"

"තාම නෑ. හැමදෙයක් ගැනම හොඳට තේරුම් ගන්නකම්, එයා මේ කතා‍වෙ කොතනටද සම්බන්ධ වෙන්නෙ කියලා හරියටම දැනගන්නකම් එයාව ගෙන්නන එකේ තේරුමක් නෑ." මේ ප්‍රශ්නය දිගින් දිගටම ඔහුට පීඩා කලේ ය. ස්ටැනිස් හදිසියේම පිටව ගියේ මන්ද? ජොන් ඒරින් ගේ මිනීමැරුම සම්බන්ධයෙන් ඔහුත් යම් කාර්යභාරයක් ඉටුකලාද? එසේත් නැතිනම් ඔහු බිය වූවාද? ස්ටැනිස් බරතියන් වැනියකු බියපත් කල හැකි තරමේ හේතුවක් සිතාගැනීම නෙඩ්ට උගහට විය. ඔහු වරක් සතුරු හමුදාවල වටලෑම හමුවේ වසරක් පුරාවට ස්ටෝර්ම්ස් එන්ඩ් බලකොටුව රැකගෙන සිටියේ ය. ඔහු ගේ ප්‍රාකාරවලට පිටතින් වටලාගත් ටිරල් හා රෙඩ්වින් උතුමන් ගේ හමුදා, භෝජන සංග්‍රහ පවත්වද්දී ඔහුට ආහාරය පිණිස තිබුනේ බලකොටුවේ සිටි මීයන් හා සපත්තු හම් පමණි. ස්ටැනිස් එවැනියකු විය.

"මගේ ‍පිට කබාය ගේන්ට. අර අළු පාට එක. ඝෝරවෘකයා ගේ සලකුණ තියෙන එක. මේ ආයුධ වෙළෙන්දා දැනගන්ට ඕන මම කවුද කියන එක. එතකොට මිනිහගෙ දිව තව හොඳට බුරුල් වෙයි."

ජොරී ඇඳුම් අල්මාරිය වෙත ගියේ ය. "රෙන්ලි උතුමානන් කියන්නෙ රජතුමාගෙ ව‍ගේම ස්ටැනිස් උතුමානන්ගෙත් සහෝදරයා."

"ඒ වුනත් පේන විදියට නම් එයාට මේ සංචාරවලට ආරාධනා ලැබිලා නෑ." පහසුවෙන් සිනාසෙන, මිත්‍රශීලී රෙන්ලි කවරාකාරයේ පුද්ගලයකුදැයි නෙඩ්ට තවමත් සිතාගත නොහැකිව තිබින. දින කිහිපයකට පෙරාතුව නෙඩ්ව පසෙකට කැඳවාගෙන ගිය ඔහු උත්කෘෂ්ට, කනකමය මාල‍ පෙත්තක් පෙන්වා සිටියේ ය. එය විවර කල විට එතුළ වූයේ මුව ඇස් හා සිනිඳු දුඹුරු පැහැ හිසකෙසින් යුත් රූමත් තරුණ දැරියක ගේ කුඩා සිතුවමකි. මේ රුව ඔහු දන්නා හඳුනන කෙනෙකුට සමානදැයි දැනගැනීම රෙන්ලි ගේ මහත් අභිලාෂය විය. එහෙත් පිළිතුරක් නොමැති නෙඩ් දෙවුර ඇකිළූ විට ඔහු ගේ බලාපොරොත්තු සුන් වූ බැව් පෙනින. මේ යුවතිය සෙර් ලෝරාස් ටිරල් ගේ බාල සොයුරිය වන මාර්ජරී බැව් ඔහු පාපොච්චාරණයක් කලේ ය. එමෙන්ම සමහර මිනිසුන් විසින් ඇගේ පෙනුම ලියානාට සමාන යැයි පවසන බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේ ය. "නෑ. කොහෙත්ම නෑ." නෙඩ් විමතියෙන් කීවේය. රොබර්ට් ගේ තරුණ කල පෙනුමට බෙහෙවින් සමාන රෙන්ලි උතුමානන් ලියානා ගේ පෙනුමට සමාන යැයි ඔහු විසින් සිතන යුවතියක් හා පෙමින් වෙලුනාවත්ද? මෙය සාමාන්‍ය විකාරයකට වඩා වැඩි දෙයක් මෙන් නෙඩ් ගේ සිතට වැදුනේ ය.

ජොරී කබාය ඔසවා අල්ලාගෙන සිටින අතර නෙඩ් එතුළට දෑත් රිංගෙවුවේ ය. "සමහරවිට ස්ටැනිස් උතුමානන් රොබර්ට්ගෙ තරගාවලියට සහභාගි වෙන්ට එයි." නෙඩ් කීවේය.

"ඒක බොහොම ‍ලොකු වාසනාවක් වෙන්ට ඕන මගේ උතුමානනි."

නෙඩ් සිය දිගු අසිපත සහිත පටිය තද කරගත්තේ ය. "ඒ කියන්නෙ ඒක වෙන්ට පුළුවන් දෙයක් නෙවෙයි." ඔහු කර්කශ සිනාහවක් පෑවේය.

නෙඩ් ගේ සළුව උර වටා දැවටූ ජොරී එහි පොට දෙක එක්කර හස්තයේ සලකුණ සහිත හාරිච්චියක් ගැසුවේ ය. "ආයුධ වෙළෙන්දා ජීවත්වෙන්නෙ එයාගෙ සාප්පුව උඩුමහලෙ. ඒක වානේ වීදියෙ තියෙන ලොකු ගෙයක්. ඇලන් පාර දන්නවා මගේ උතුමානනි."

නෙඩ් හිස සැලීය. "මේ කොල්ලා මාව මිරිඟුවක් පස්සෙ නම් යවන්නෙ ඌට දෙයියන්ගෙම පිහිටයි." මෙය එල්ලෙන්නට සිතාගත නොහැකි තරම් කුඩා පිදුරු ගසක් විය. එනමුදු නෙඩ් ස්ටාර්ක් විසින් දැන සිටි ජොන් ඒරින් වනාහි රිදියෙන් කල, මාණික්‍යයෙන් වැඩ දැමූ සන්නාහ පැළැඳියෙකු නොවීය. වානේ යනු වානේ වූ අතර සන්නාහ යනු ආරක්ෂාව පිණිස පළඳින දෙයක් මිස ආභරණයක් නොවේ. අනිත් අතට ඔහු සිය දැක්ම වෙනස් කරගත්තා වන්නටද පුළුවන. රාජසභාවේ රාජකාරි සඳහා පැමිණීමෙන් පසු වසර කීපයක් තුළ වෙනස්ම මිනිසකු බවට පත්වූ පළමුවැන්නා ඔහු නොවේ... එනමුදු එසේ වී නම් මේ වෙනස නෙඩ්ට පුදුමයෙන් කල්පනා කරන්නට බලකරන අන්දමේ වෙනසක් විය.


Tobho Mott: “The boy is crude as new steel, and like new steel would profit from some beating.”

57 comments:

  1. හුටා මේක පොල්ලෙන් ගහන්නැහෙ ඉවර කොරලනෙ...
    සැර් බූර ටත් ට යන්න එනව වගේ දැං දැං...
    මදි අද නං හොදටම

    ReplyDelete
    Replies
    1. අපිත් කැමැතියි දවසට එක පරිච්ඡේදෙ ගානෙ දාලා හරි මේක ඉක්මනට ඉවර කරන්ට ම‍හේෂ්. ඒත් අනිත් වැඩ රාජකාරි අස්සෙ මේක ටයිප් කරන්ට කාලෙ හොයාගන්ටත් එපායැ. :-D

      අද පින්තූරු ටික ගැන මොකද කියන්ට ති‍යෙන්නෙ?

      Delete
    2. පොඩි කික් එකක් තියෙනව නමු එහෙමත් දාල
      හෑ....
      හොදයි හොදයි....
      අපිත් කැමැතියි දවසට එක පරිච්ඡේදෙ ගානෙ දාලා හරි මේක ඉක්මනට ඉවර කරන්ට ම‍හේෂ්///
      නෝක්කාඩු කියන්ට කාරි නැතුවා... හිතට ආපු දේ ලවක් දෙවක් නැතිව කියල දාන එක මගෙ තියෙන මහ නරක පුරුද්දක්...

      Delete
    3. කිසිම නෝක්කාඩුවක් නෑ මහේෂ්.

      මම හිතන විදියට නම්, හිතට එන දේ එ‍හෙම කෙලින්ම කියන එක නරක පුරුද්දක් නෙවෙයි, හොඳ පුරුද්දක්! :-D

      Delete
    4. හිතට එනදේ කිව්වහම මොකද නේද බුරෝතුමා, මේ අපි නිකම්ම කටට එනදේ කියල (ලියල ) පිස්සු කෙලින මේ ශුද්ධ භූමියෙ?

      Delete
    5. මාටින් ගොයියට හොඳ නම් හිතට එන දේවල් ලියන්ට අපි ටිකක් ලියුවහම මක් වෙනවද?

      Delete
  2. Eddard stark , Sherlock Holmes of westeros :P

    ReplyDelete
    Replies
    1. He's trying to be... But, he doesn't have that one main aspect of a detective... He doesn't suspect people, enough... :-)

      Delete
    2. Heh, might end up looking more like Frank Drebin of Westeros?

      Delete
    3. Chief Inspector Jacques Clouseau ??
      my favorite detective of all time.

      Delete
    4. Clouseau is in Pink Panther
      Drebin in The Naked Gun ( more appropriate for Bur's blog, don't u think?)

      Delete
    5. I personally prefer Poirot or Columbo... :-)

      Delete
    6. Sorry, Bur, either of those wouldn't suit this blog.
      Ace Ventura maybe?

      Delete
    7. Come on man Poirot , really?
      the man cannot detect a murder even if it danced in front of him wearing dobbys tea cosy :P

      Delete
    8. Poirot ?????? eeeww.................:D

      Delete
    9. Yeah. I'd prefer Clouseau over poirot. At least Clouseau is fun.

      Delete
  3. //ඔහුට ආහාරය පිණිස තිබුනේ බලකොටුවේ සිටි මීයන් හා සපත්තු හම් පමණි.//

    අර බෝදිලිම්පටිතාරාබස්ස තුමාට නම් නියම ආහාරෙ
    ඒත් ඉතින් හැලපේශ්වර තුමාටනම් ......

    ReplyDelete
    Replies
    1. මී මසුත් නරකම නැල්ලු නේද?

      Delete
    2. මී මස් - බෝතාරබස්ට
      මී කිරි - හැලපේශ්වරට

      Delete
    3. මෙදා සැරේ කන්න ඇහැකි කෑමක් දීල තියෙන්නෙ අස්සයින්ට විතරයිනෙ.ඉතිං අපි මොනවටෙයි මේ පැත්තෙ කැරකෙන්නෙ.තල තෙලට වේලේ මී බෙටි කුමට වේලේ කිව්වලු.

      Delete
    4. එහෙම තමා ඉතින් කෑම ති‍යෙන දාට මදි නොකියන්ට තියෙනවා.. නැතිදාට ඉතින් මී මස්වත් කාලා ඉන්ට අප්පා..

      Delete
  4. මෙච්චර වේස ගෑණු ගැන කියවෙන කොටසක් වෙලත් ආසාවට පොටෝ එකක් දාලා නෑනේ.

    ReplyDelete
    Replies
    1. ඔය අහිංසක ආසාව PoM ඉස්ට කරල දෙයි

      Delete
    2. බුරා වේස ගෑනුන්ගෙ පිංතුර ගන්න ලෑස්ති වෙද්දි කට්ටිය කියල තියෙනව මුදට තල්ලු කරන්ට ඉන්න උන්ගෙ මොකට පිංතුර ගන්නවද කියල.ඒ ගමන නිකං හිටියලු.

      Delete
    3. ආන්න හැලපෙට තේරුනා... :-D

      Delete
    4. ඒ අයව මූදට තල්ලු කලාද?

      ආ... ඊට පස්සෙද //සෑමදෙනාම මීට 'හස්තයේ තරගාවලිය' කියා අමතන්නට// වුනේ?

      Delete
    5. Pay Jay, lol
      හස්තයේ තරඟයට ඉඳලා ඔච්චර ලොකු ගානක් දිනන්න පුළුවන් ද? පැරදුනොත් ?

      Delete
    6. //පැරදුනොත්//
      එතකොට කියනවද ගෙදර ගිහින් පුහුණු වෙලා නිදාගනින් කියල?

      මං අහිංසකයි ඕව දන්නෙ නෑ, ඒකයි අර ඉහත ප්‍රශ්නෙත් ඇහුවෙ. PoM කියල දෙයි හරියටම

      Delete
    7. අර Pra Jay ගෙ නම Pay Jay කියලා වෙනස් වෙලා තියෙන්නෙ කාට pay කරලාද?

      අ‍නේ මන්දා, මාත් හරි අහිංසකයි! නොදන්නා කමටමයි ඇහැවුවෙ? :-P

      Delete
    8. Pay Jay? අප්පට සිරි මට නෙමෙයිනෙ කියල තියෙන්නෙ. සොරි.

      තිසර කියන්නෙ Jayne කියල කෙනෙකුට ගෙවන්න කියලද (මූදට තල්ලු කරන්න ඉස්සෙල්ල ) ?

      Delete
    9. "හස්තයේ තරගාවලියට" එතකොට ඒ ගැණුන්ට සහභගී වෙන්ට බැරිව ඇති නේද ?
      මාත් මේ නොදන්නා කමට ඇහුවේ ඈ ..:D

      Delete
    10. @MF. එතකොට කියන්නෙ...... සොරි අහිංසක බව අමතක විය. (වෙන කවිරුහරි කියන්නකො)

      Delete
    11. P.S. පීටර් බේලිශ් දන්නව ඒක

      Delete
    12. @PJ අපිටත් බැරිලු මොනවත් කියන්ට අද.

      මේ MF අහන ප්‍රශ්න හැබෑට.

      Delete
    13. අපිට නම් ඕනි එකක් කීව හැකි. රෙන්ලි හැන්ඩ්සම් නේ? :P

      Delete
    14. අනේ ඉතින් අපි නොදන්නා කමට අහන දේවල් කියා දෙන්ට කෙනෙක් නැති හැටි.:P

      Delete
  5. "මේ එන හැම නයිට්වරයෙක් ගානෙම අපට එනවා නිදහස් අශ්වාරෝහකයො දෙන්නෙක්, ශිල්පියො තුන්දෙනෙක්, සෙබළු හයදෙනෙක්, වෙළෙන්දො දුසිමක්, වේස ගෑනු දුසිම් දෙකක්, තව ගනංකරන්ට බැරි තරම් හොරුයි ගැටකපන්නොයි රංචුවක්. මේ හෙණගහන රස්නෙ නිසා නගරවැසියො කොහොමත් ලේ රත් වෙලා වගෙයි හිටියෙ. දැන් මේ පිටින් එන අමුත්තො නිසා... ඊයෙ රෑ අපට වාර්තා වුනා දියේ ගිලීමක්, තැබෑරුමක රණ්ඩුවක්, පිහි ඇනුම් තුනක්, ස්ත්‍රී දූෂණයක්, ගිනි තැබීම් දෙකක්, හොරකම් බර ගානක්. ඒ මදිවට හොඳටම බීපු අශ්වයෙක් සහෝදරියන්ගෙ වීදිය මැද්දෙන් පිම්මේ දුවලා තියෙනවා. ඊට කලින්දා රෑ, මහා සප්තකයෙ දේදුනු පොකුණෙ පාවි පාවි තිබිලා හම්බවුනා ගෑනියෙකුගෙ ඔළුවක්. කවුරුවත් දන්නෙ නෑ කවුද මේ මැරිච්ච ගෑනි කියලාවත්, ඒක කොහොමද එතැනට ආවෙ කියලාවත්."

    මේ දවස්වල ලංකාවෙත් ඔහොමයි..

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ නයිට්වරුත් ඉන්නවද!? හැබැයි රාජසභාවෙනං ඉන්නෙ හොරුයි, ගැටකපන්නොයි, වේසගෑනුයි විතරයි නේද? :-)

      Delete
    2. මේ මොනවා අහනවාද ? ගම් සභාවට එන එකාගෙ පටන් ලොක්කා දක්වා ඔක්කොම සෙර් ලානෙ..

      Delete
    3. ලංකාවේ ඔයිට හපන්.......

      Delete
  6. අද මේ කතාවේ චරිත වලට අදාළ පින්තූර දැමීම හුඟක් සාර්ථකයි. යුද්ධය සඳහා අඳින සන්නාහය කොපමණ පැරණිද කියලා මෙවැනි කතා වලින් පෙනෙනවා.

    ReplyDelete
    Replies
    1. අපරාදෙ! මට කලින් කල්පනා වුනෙ නෑ ‍නෙවැ කතාවෙ චරිත ඔහොම පින්තූර දාලා අඳුන්නලා දෙන්ට පුළුවන්ය කියලා. ස්තූතියි විචාරකට ඔය අයිඩියා එක දුන්නට.

      Delete
  7. පින්තුර තියෙන විදිය හොඳයි.තිසර උඩ කියලා තියෙන පින්තුරෙත් තියේනම් තවන් නියමයි...:D

    ReplyDelete
    Replies
    1. ඒ වගේ පින්තූරයක් ‍හොයාගත්තු ගමන් දාඤ්ඤං.. :-P

      Delete
  8. තිසර ඔය කියන ගෑණු ගැන කොයි හරියෙ වගෙද තීන්නෙ? නෑ මට ඒ ටික විතරක් කියෝල යන්න, වැඩ අස්සෙ වෙලා නැති හින්ද ඇහුවෙ.

    මේ කමෙන්ට් එක මාරය වෙනුවෙන්,

    "හා හා ඊළඟ"

    ප/ලි,

    අද මොකද මේ ඉස්තිරික්ක එකක්වත් කමෙන්ට් කරල නැත්තෙ? මේක "කැලේ යන" එපිසෝඩ් එකක්ද?

    ReplyDelete
    Replies
    1. ඉස්තිරික්කවලට වැඩලු අප්පා....:(

      Delete
    2. ස්තූතියි ඉන්දික.. :D

      Delete
    3. ඈ බං සිංහ‍යො, උඹ කවදා ඉඳන්ද මාරයා වෙනුවෙන් කමෙන්ට් කරන්ට පට්ටාං ගත්තෙ..!? :-P

      Delete
    4. මේදවස්වල හරියට වැඩ අනේ :(

      Delete
    5. @Bura, ඌ කමෙන්ට් කිරිල්ල නවත්තපු තැන ඉඳලනෙ ලොක්කා...

      ෂේ වැඩ කවද කරන්න බැරිද, කලින් කොමෙන්ට් කොරල ඉන්න.

      කොච්චර උනත් හිකි හිකි සද්දෙ එන කමෙන්ට් එකක් දෙකක් නැතුව පාලුවෙලා ගිහින්. අනික අර උඩ ගෝරිල්ලො බනිති, නරි බුරති, රජා මරති නිසා මේක නිකන් ආමි බැරැක්කයක් වගේ වෙලා.

      Delete
  9. රෙන්ලි බරතියන් හරි හැන්ඩියෙක්නේ :)

    ReplyDelete
    Replies
    1. හැන්ඩි කොල්ලෙක් දැක්කද, ඌ ඉවරයි.... :-P

      Delete
    2. යේස් යේස් මටත් සොන්යට හිතිච්චි එකමයි හිතුනේ :P

      Delete
  10. කතාව අතර මැදින් ෆොටෝ දාන වැඩේ නම් මම ඉහලින්ම අගේ කරනවා.. එතකොට ටිකක් චරිත මතක තියාගන්න පුළුවන්.. මම ඉතින් ඕක කලින්ම කිවුවනේ අෆ්ෆා මෙහෙම කරමු කියලා..

    බලමුකෝ නෙඩ් යන්නේ මිරිඟුවක් පස්සෙද කියලා..

    ReplyDelete
  11. "මේ වගේ උත්සව නිසා රාජධානිය සමෘධිමත් වෙනවා මගේ උතුමානනි." ප්‍රධාන මේස්ටර් පයිසෙල් කීවේ ය. "මේ දේවල් නිසා උසස් පන්තියට පුළුවන් වෙනවා තමන්ගෙ කීර්තිය, සම්මාන, පාරට්ටුව වැඩි කරගන්ට. අනිත් අතට පහත් පෙළේ එවුන්ට තමන්ගෙ දුක් කරදරවලින් මොහොතකට හරි විරාමයක් ලැබෙනවා."

    ඔය ගොඩදෙනෙක් බනින නයිට් රේස් හෙමත් ලංකාවේ තියනවා ඇත්තේ මේ මේස්ටර් පයිසෙල් කියන විදියට තමයි... :)

    ReplyDelete