Wednesday 8 October 2014

එඩාර්ඩ් 05


"ඒරින් උතුමානන්ගෙ මරණය අපි හැ‍මෝටම කණගාටුවට කාරණයක් මගේ උතුමානනි." ප්‍රධාන මේස්ටර් පයිසෙල් කීවේ ය. "එතුමන්ගෙ මරණය ගැන දන්න ඕනම දෙයක් ඔබට කියන්ට මම බොහොම සතුටින් සූදාණම්. කරුනාකරලා වාඩිවෙන්ට. පුංචි සංග්‍රහයක් මොකුත් ගේන්ටද? රටඉඳි ටිකක්? මගේ ගාව හරි ෂෝක් පර්සිමොන් වගේකුත් තියෙනවා. සමාවෙන්ට, දැන් වයින් මගේ සෞඛ්‍යයට එච්චරම හොඳ නෑ. ඒ වුනත් මට පුළුවන් මී පැණි දාලා රස කරපු හොඳ සීතල කිරි කෝප්පයක් ගෙන්නන්ට. මේ රස්නෙ දවස්වල මට නං ඒක හොඳට අල්ලලා යනවා."

දැඩි උණුසුම පිළිබඳව නම් කිසිදු විවාදයක් නොවී ය. සිය සේද කබාය දහදිය නිසා පපුවට ඇලී ඇති අයුරු නෙඩ්ට දැනෙන්නට විය. ඝනකම්, තෙත්බරිත වාතය මුලු නගරයම වසා සිටියේ හරියටම තෙත් ලොම් ඇතිරිල්ලක් මෙනි. සිය උණසුම්, හුස්ම ගැනීමට අපහසු නිවාස හැර දමා සිසිල් වාතය ආශ්වාස කල හැකි එකම තැන වූ ගංගාව වෙත පිය මනින ජනයාගෙන් ගංඉවුරු පිරී තිබින. "බො‍හොම ස්තූතියි!" නෙඩ් කීවේ අසුනකට බර දෙමිනි.

කුඩා රිදී සීනුවක් එසවූ පයිසෙල් එය මිහිරි සරින් සෙලෙවුවේ ය. තරුණ සේවිකාවක් කාමරය තුළට පිවිසියා ය. "කරුනාකරලා රජතුමාගෙ හස්තයටයි මටයි සීතල කරපු කිරි අරන් එන්ට දරුවා. හොඳට රසකරන්ට."

දැරිය ඔවුන් ගේ පානයන් රැගෙන ඒමට පිටව ගිය අතර ප්‍රධාන මේස්ටර් උදරය මතින් දෑත් පටලා පුටුවේ හරිබරි ගැසුනේ ය. "සාමාන්‍ය මිනිස්සු කියන්නෙ ගිම්හානයේ අන්තිම අවුරුද්ද තමා උණුසුම් වැඩිම කියලා. ඒක එහෙම නෙවෙයි, ඒත් ගොඩක් වෙලාවට එහෙම තමා දැනෙන්නෙ. එහෙම නේද? මේ වගේ දවස්වලට මට ඇත්තටම ඊරිසියා හිතෙනවා ඔබලාගෙ උතුරුකරයේ ගිම්හාන හිම වැටෙන එක ගැන." ඔහු අසුනේ හැරෙන වාරයක් පාසා ගෙල වටා වූ මැණික් එබ්බවූ බරැති මේස්ටර් දම්වැල නද දුන්නේ ය. "ඇත්තටම බැලුවොත් මේකර් රජතුමාගෙ ගිම්හානය මීට වඩා රස්නෙ වුනා. ඒකත් මේ තරම්ම දිගයි. ඒ තමා මහා ගිම්හානය, කවදාවත් ඉවර වෙන්නෙ නැති ගිම්හානය කියලා විශ්වාස කරපු මෝඩයො සිටඩේල්වලත් හිටියා. ඒ වුනත් හත්වෙනි අවුරුද්දෙ ඒක එකපාරටම නැවතුනා. පොඩි සිසිරයක් ආවා, ඊට පස්සෙ බොහොම දරුණු දිග සීත කාලයක් ආවා. ඒ වුනත් ඒ රස්නෙ නම් බොහොම දරුණුවටම තිබුනා. ඕල්ඩ් ටවුන් දාඩියෙන් පෙඟිලා ගිහිල්ලායි තිබුනෙ. නගර වැසියො එළියට ආවෙ රෑ කාලෙ විතරයි. මට තාමත් මතකයි ඒ රෑ කාලෙ මගේ උතුමානනි - සුවඳ විලවුනුයි දාඩියයි, පුපරන්ට තරම් තදට ඉදිච්ච කොමඩු, පීච්, දෙළුම්. ඒ කාලෙ මම මගේ දම්වැලට පුරුක් එකතු කර කර හිටපු තරුණයෙක්. ඒ උණුසුම මේ තරම්ම මාව මරලා දැම්මෙ නෑ." පයිසෙල් ගේ ඇසිපිය අඩක් පියවී තිබුනු අතර ඔහු නිදා සිටින්නාක් මෙන් පෙනින. "මට සමාවෙන්ට එඩාර්ඩ් උතුමානනි. ඔබ මෙහාට ආවෙ ඔබතුමාගෙ තාත්තා ඉපදෙන්ටත් කලින් සිද්දවෙච්ච ගිම්හානයක් ගැන විකාර අහන්ට නෙවෙයි නෙ. මේ නාකි මනුස්සයාගෙ කල්පනාවලට සමාවෙන්ට. හිත කියන්නෙ හරියට කඩුවක් ව‍ගේ, පරණ ඒවා මලකඩ කනවා. ආහ්! මෙන්න එනවා අපේ කිරි." සේවිකාව ඔවුන් දෙදෙනා අතරින් බන්දේසිය තැබූ අතර පයිසෙල් ඇයට සිනාවක් පෑවේ ය. "හොඳ දරුවා." කුසලාන එසවූ ඔහු උගුරක් පානය කර හිස සැලීය. " බොහොම ස්තූතියි! ඔබට දැන් යන්ට පුළුවන්."

දැරිය නික්මී ගිය පසු පයිසෙල් සිය තෙත් මලානික දෑස්වලින් නෙඩ් දෙස බැලී ය. "හොඳයි! අපි කොයි හරියෙද හිටියෙ? ආ හරි, ඔබ අහ අහ හිටියෙ ඒරින් උතුමානන් ගැන..."

"ඔවු." නෙඩ් කිරි උගුරක් තොල ගෑවේ ය. එය ඉතා හොඳින් සිසිල් කර තිබුනු නමුදු උවමනාවටත් වඩා පැණි මුසු කර තිබින.

"ඇත්තම කිවුවොත්, ටික කාලෙක ඉඳන් එතුමා එච්චර හොඳින් නෙවෙයි හිටියෙ. අපි දෙන්නා රාජසභාවෙ අවුරුදු ගානක් එකට වැඩ කලා. ඒ සලකුණු ටික ටික මතු වෙමින් තබා තිබ්බෙ. ඒ වුනත් මම හිතුවා ඒ එතුමා ගොඩක් කල් ඉඳන් කරමින් හිටිය රාජකාරි කන්දරාව නිසයි කියලා. රාජධානියෙ ඔක්කොම බර ඒ උරහිස් උඩටයි වැටිලා තිබුනෙ. ඒත් එක්කම එයාගෙ පුතාත් හැම වෙලාවෙම අසනීපෙන් හිටියෙ. එතුමාගෙ ආර්යාව කොච්චර බය වෙලාද හිටියෙ කියනවා නම් කොයි වෙලාවකවත් ඒ දරුවව තමන්ගෙ ඇස් මානෙන් පිට යැවුවෙ නෑ. මේ ටික හොඳටෝම ඇති ඕනම ශක්තිමත් මිනිහෙක් වුනත් වට්ටන්ට. ජොන් උතුමානන් කියන්නෙ තරුණයෙක් නෙවෙයි. එතුමා වෙහෙසට පත්වෙලා උකටලී වෙලා ඉන්නවා දකින්ට ලැබුන එක පුදුමයක් නෙවෙයි. මම ඒ කාලෙ එහෙම තමා හිතුවෙ. ඒත් දැන් මට තේරෙනවා." ඔහු බරපතල ලෙස හිස සෙලවී ය.

"එයාගෙ අන්තිම අසනීපය ගැන ඔබට මොනවද කියන්ට පුළුවන්?"

පයිසෙල් සිය පිළිසරණක් නොමැති අයුරින් සිය දෑත් දෙපසට විහිදී ය. "එයා එක දවසක් ආවා මාව හම්බවෙන්ට මොකක්දෝ පොතක් හොයාගෙන. බොහොම සෞඛය සම්පන්නව, බොහොම ශක්ති සම්පන්නව. ඒ වුනත් මට පෙනුනා මොකක්දෝ දෙයක් එයාට බොහොම ගැඹුරින් වදදෙනවා. පහුවෙනිදා උදේ එයා ඇඳෙන් නැගිටගන්ටත් බැරි තරම් අමාරුවෙන් තමයි අවදි වුනේ. මේස්ටර් කෝල්මන් හිතුවෙ ඒක මොකක් හරි බඩේ සීතල ගතියක් කියලයි. මේ රස්නෙ වැඩිකම නිසා එතුමා නිතරම වගේ එයාගෙ වයින් සීතල කරලා ගන්ට පුරුදු වෙලා හිටියා. ඒක සමහර වෙලාවට ආහාර දිරවන එකට බාධා කරනවා. ඒත් ‍ජොන් උතුමානන් දිගින් දිගටම දුර්වල වෙද්දී මමත් ගියා එයාව බලන්ට. ඒ වුනත් දෙවියන් මට අවස්ථාවක් දුන්නෙ නෑ එයාව බේරගන්ට."

"මට අහන්ට ලැබුනා ඔබ මේස්ටර් කෝල්මන්ව ඉවත යැවුවා කියලා."

ප්‍රධාන මේස්ටර් සෙමින් හිස සැලී ය. "මම එහෙම කලා. මම දන්නවා ලයිසා ආර්යාව මට ඒකට කවදාවත් සමාව දෙන්නෙ නෑ. සමහරවිට මම වැරැදි වෙන්ට ඇති. ඒ වුනත් ඒ වෙලාවෙ මම හිතුවා ඒක තමා කරන්ට ඕන හොඳම දේ කියලා. මේස්ටර් කෝලමන් කියන්නෙ මට පුතෙක් වගේ. අනික එයාගෙ හැකියාව ගැන මට කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ වුනත් එයා තරුණයි. තරුණයො සමහර වෙලාවට තේරුම් ගන්නෙ නෑ මහලු සිරුරක තියෙන දුර්වලකම. එයා ඒරින් උතුමානන්ට එක එක බෙහෙත් දියර ජාති පොව පොවා හිටියා. මට බය හිතුනා එයා මේ මනුස්සයාව මරලා දාවි කියලා මේ බෙහෙත් ජාති පොවලාම."

"ඒරින් උතුමානන් එයාගෙ අන්තිම පැය කීපයෙදි ඔබට මොනවා හරි කිවුවද?"

පයිසෙල් නළල රැළි කලේ ය. "අන්තිම කාලෙ එයා රොබර්ට් කියන නම කීප විටක්ම කිවුවා. ඒක් එයා ඒකෙන් අදහස් කලේ එයාගෙ පුතා ද නැත්තම් රජතුමා ද කියන එක මට හරියටම කියන්ට බෑ. ලයිසා ආර්යාව දරුවාට අසනීප කාමරේට යන්ට ඉඩ දුන්නෙම නෑ. එයා බයවුනා ඒකෙන් ඒ දරුවත් අසනීප වෙයි කියලා. ඒ වුනත් රජතුමා ආවා. ඇවිල්ලා ඇඳ ගාවින් වාඩි වෙලා පැය ගණන් ගත කලා, ඉස්සර කාලෙ සිද්දවෙච්චි දේවල් ගැන කතා කර කර විහිළු කර කර. එතුමාට ඕන වුනා ජොන් උතුමානන්ගෙ හිත හොඳින් ශක්තිමත්ව තියාගන්ට."

"වෙන කිසිම දෙයක් නැද්ද? අවසාන වචනයක් මොකුත්?"

"ඔක්කොම බලාපොරොත්තු වතුරෙ ගියා කියලා දැනගත්තම මම එතුමාට පොපි යුෂ දුන්නා. එයාගෙ වේදනාව අඩුවෙන්ටයි, දුක් විඳින එක අඩුවෙන්ටයි කියලා. අන්තිම වතාවට ඇස් පියාගන්ට කලින් එතුමා රජතුමාටයි එතුමගෙ ආර්යාවටයි මොනවද මිමිනුවා. දරුවට මොකක් හරි ආශීර්වාදයක්. 'බීජය බොහොම ශක්තිමත්' එයා එහෙමයි කිවුවෙ. අන්තිම වෙද්දි එතුමාගෙ වචන තේරුම්ගන්ට අමාරු තරම් පැටලිලි සහගත වුනා. පහුවෙනිදා උදේ වෙනකම් මරණය ළඟා වුනෙ නෑ. ඒ වුනත් එතුමා බොහොම ශාන්තව නිදාගත්තා. ආයෙමත් කතා කලේ නෑ."

නෙඩ් තවත් කිරි උගුරක් බීවේ එහි ඇති අමිහිරි පැණි රස නොතකා හරින්නට වෑයම් කරමිනි. "ඒරින් උතුමානන්ගෙ මරණය ගැන මොකුත් අසාමාන්‍ය දෙයක් ඔබ දැක්කෙ නැද්ද?"

"අසාමාන්‍ය?" මහලු මේස්ටර් ගේ කටහඬ කෙඳිරියක් තරම් සිහින් විය. "නෑ. මට එහෙම මොකුත් කියන්ට බෑ. ඇත්තටම කණගාටුවට කාරණයක් තමා. ඒත්, මරණය කියන්නෙ බොහොම සාමාන්‍ය දෙයක් එඩාර්ඩ් උතුමානනි. ජොන් ඒරින් සමාදානයේ සැතපෙනවා. එයාගෙ දුක් කරදර ඔක්කොම අන්තිමේදී අහක් කරලා."

"එයාගෙ මේ අසනීපය. ඒ වගේ දෙයක් ඔබ මීට කලින් දැකලා තියෙනවද?"

"අවුරුදු හතලිහක් පුරාවට මම රාජධානි සප්තකයේ ප්‍රධාන මේස්ටර් වෙලා හිටියා. අ‍පේ රොබර්ට් රජතුමා යටතේ, ඊට කලින් ඒරිස් ටාර්ගේරියන් යටතේ, ඊටත් කලින් එයාගෙ තාත්තා දෙවෙනි ජහරිස් යටතේ. ඒ ඔක්කොටම කලින් මාස කීපයක් එයාගෙත් තාත්තා පස්වෙනි ඒගොන් යටතෙත්. මට මතක තියාගන්ටවත් බැරි තරම් ලෙඩ රෝග කන්දරාවක් මම දැකලා තියෙනවා මගේ උතුමානනි. මම ඔබට කියන්නෙ, හැම ලෙඩක්ම එකිනෙකින් වෙනස්, ඒත් හැම ලෙඩක්ම එකිනෙකට සමානයි. ජොන් උතුමානන්ගෙ මරණය වෙන මරණයකට වඩා අසාමාන්‍ය වුනේ නෑ."

"ඒ වුනත් එයාගෙ බිරිඳ හිතන්නෙ වෙන විදියකට."

පයිසෙල් හිස වැනී ය. "මට දැන් මතක් වෙනවා. එතුමිය ඔබතුමාගෙ ආර්යාවගෙ සහෝදරී නේද. මේ නාකි මනුස්සය‍ගෙ මොට්ට කතාවලට සමාවෙන්ට. ඒ වුනත් මම කියන්නෙ ශක්තිමත්ම, හොඳින්ම පාලනය කරපු මනසක් වුනත් දුක නිසා වැරැදි තීරණ ගන්ට පුළුවන්. ලයිසා ආර්යාව කියන්නෙ ඒ දෙකටම අයිති නැති එක්කෙනෙක්. එයාගෙ අන්තිම මළදරු උපතින් පස්සෙ එයා හැම හෙවනැල්ලකම සතුරො දකින්ට පටන්ගත්තා. එයාගෙ සැමියගෙ මරණය නිසා එයා කෑලිවලට බිඳිලා අතරමං වෙලා ගියා."

"එහෙනම් ඔබට හොඳටම විශ්වාසයි ජොන් ඒරින්ගෙ මරණය සිද්දවුනේ මේ හදිසි අසනීපය නිසයි කියලා?"

"ඇත්තෙන්ම. අසනීපය නෙවෙයි නම් මගේ උතුමානනි, වෙන මොකක්ද ඒකට හේතු වෙන්ට පුළුවන්?"

"වස."

පයිසෙල් ගේ නිදිමත දෑස් සැනෙන් විවර විනි. මහලු මේස්ටර්වරයා අපහසුවට පත් වූ අයුරින් සිය අසුනේ ඒ මේ අත ඇඹරුනේ ය. "බොහොම භයානක සිතුවිල්ලක්. අපි මේ ඉන්නෙ නිදහස් නගරවල නෙවෙයි. එහෙ තමා මේ වගේ දේවල් සිද්දවෙන්නෙ. ප්‍රධාන මේස්ටර් ඇල්තමුයර් ලියලා තියෙනවා 'හැම මනුස්සයෙක්ම තමන්ගෙ හදවතේ මිනීමැරීමට ඇති රහස් ආසාවක් හංගගෙන ඉන්නවයි' කියලා. ඒ වුනත්, වස දෙනවා කියන්නෙ බොහොම අවඥාසහගත දෙයක් නෙ." ඔහු මොහොතක් නිහඬව සිතුවිල්ලේ ගැලී සිටියේ ය. "ඔබ ඔය කියන දේ වෙන්ට බැරි දෙයක් නෙවෙයි මගේ උතුමානනි. ඒ වුනත් මම හිතන්නෙ නෑ එහෙම වුනයි කියලා. ඕනෑම අඩුම මට්ටමේ මේස්ටර් කෙනෙක් වුනත් දන්නවා එදිනෙදා පාවිච්චි කරන සාමාන්‍ය වස ජාති ගැන. ඒරින් උතුමානන් ඒ වගේ රෝග ලක්ෂණ මොකුත් පෙන්නුම් කලේ නෑ. අනිත් එක එතුමාට හැමෝම වගේ ආදරේ කලා. මොන ව‍ගේ අමනුස්සයෙක්ද ඒ ව‍ගේ උදාර වංශාධිපතියෙකුට වස දෙන්නෙ?"

"මම අහලා තියෙන විදියට නම් වස කියන්නෙ ගෑනුන්ගෙ ආයුධයක්."

පයිසෙල් කල්පනාකාරීව සිය රැවුල පිරිමදින්නට විය. "එහෙම කියනවා. ගෑනු, බයගුල්ලො... නපුංසකයො." ඔහු උගුර පෑදුවේ ය. "ඔබ දන්නවද? වාරිස් උතුමානන් ඉපදුනේ ලයිස්වල, වහලෙක් විදියට. මකුළුවන්ව විශ්වාස කරන්ට එපා මගේ උතුමානනි."

මෙය නෙඩ්ට අමුතුවෙන් කිවයුත්තක් නොවී ය. වාරිස් ගැන මතක්වන වාරයක් පාසා ඔහු ගේ ඇඟේ මාළු නටන්නාක් මෙන් දැනින. "මම ඒක මතක තියාගන්නම් මේස්ටර්. ඔබේ උදවුවලට බොහොම ස්තූතියි! මම දැනටමත් ඔබේ වටිනා කාලයෙන් ඕනෑවටත් වඩා අරන් තියෙන්නෙ." ඔහු නැගිට සිටියේ ය.

සෙමින් සිය අසුනෙන් නැගී සිටි ප්‍රධාන මේස්ටර් නෙඩ්ව දොර වෙත‍ට කැඳවාගෙන ගියේ ය. "මම හිතනවා මම කියපු දේවලින් ඔබට පුංචි හරි උදවුවක් වෙන්ට ඇති කියලා. තවත් මොනවා හරි වෙන්ට ඕන නම් ඔබට අහන පරක්කුව විතරයි තියෙන්නෙ."

"ඇත්තටම එක දෙයක් තියෙනවා. ජොන් ඒරින් අසනීපෙන් වැටුන දව‍සේ එයා ඔබෙන් ඉල්ලන් යන්ට ආපු පොත පොඩ්ඩක් බලන්ට මම සතුටුයි‍."

"ඒක එච්චරම වැඩකට ඇති පොතක් කියලා මම හිතන්නෙ නෑ. ඒක මේ ප්‍රධාන මේස්ටර් මැලියන් ලියපු වංශාධිපති පවුල්වල ඉතිහාසය ගැන කියැවෙන පොතක්."

"ඒ වුනත් මම කැමැතියි ඒක පොඩ්ඩක් බලන්ට."

මහලු මිනිසා දොර හැරියේ ය. "ඔබේ කැමැත්තක්. ඒක මේ කොහේ හරි ඇති. ඒක හොයාගත්තු හැටියෙම මම ඔබේ නවාතැනට එවන්නම්..."

"ඔබ බොහොම කාරුණිකයි." නෙඩ් කීය. ඔහු ගේ සිතට හදිසි සිතුවිල්ලක් පහළ විය. "ඔබ අහිතක් හිතන්නෙ නැත්තම් තව එක ප්‍රශ්නයක්. ඔබ කිවුවා ‍ජොන් ඒරින් මැරෙද්දි රජතුමා ඇඳ ගාව හිටියයි කියලා. මම මේ කල්පනා කලේ, එතන රැජිණත් හිටියද?"

"අපොයි නෑ. එතුමියයි, දරුවනුයි කාර්ස්ටලී රොක්වලට යමිනුයි හිටියෙ එතුමියගෙ තාත්තත් එක්ක. ටයිවින් උතුමානන් එතුමගෙ පිරිවරත් එක්ක නගරෙට ඇවිල්ලා හිටියෙ ජොෆ්රි කුමාරයගෙ උපන්දිනේ වෙනුවෙන් තිබුන තරගාවලිය බලන්ට. කිසිම සැකයක් නෑ එතුමා බලාපොරොත්තු වෙන්ට ඇති එතුමාගෙ පුතා, සෙර් ජේමි ඒ තරගාවලියෙ ශූරයා වෙයි කියලා. ඒත් එතුමාට බලාපොරොත්තු කඩ කරගන්ට සිද්ද වුනා. ඒරින් උතුමානන්ගෙ හදිසි මරණය ගැන එතුමියට පණිවුඩේ යවන්ට වුනේ මටයි. ඒ තරම් දුකින් පිරිච්ච හදවතක් ඇතුව මම වෙන කිසිම පණිවුඩයක් යවලා නෑ."

"කළු පියාපත්, නපුරු පණිවුඩ." නෙඩ් මිමිනී ය. ඒ ඔහු කුඩා කල නාකි ආයම්මා කියා දුන් ප්‍රස්ථා පිරුළකි.

"එහෙම තමා මාළුකාරයන්ගෙ ගෑනු කියන්නෙ." පයිසෙල් එකඟ විය. "ඒ වුනත් අපි දන්නවා හැම වෙලාවෙම එහෙම නෙවෙයි කියලා. මේස්ටර් ලුවින්ගෙ කපුටා බ්‍රැන් ගැන අර සතුටුදායක ආරංචිය අරන් ආපු වෙලාවෙ අපි හැමෝටම ඒකෙන් ලොකු සන්තෝසයක් දැනුනා. එහෙම නේද?"

"ඇත්ත තමා මේස්ටර්."

"දෙවියන් කරුනාවන්තයි." පයිසෙල් හිස නැමී ය. "ඔබට උවමනා ඕනෑම වෙලාවක මෙහාට එන්ට එඩාර්ඩ් උතුමානනි. මම මෙතන ඉන්නෙ සේවය කරන්ට."

'ඔවු.' දොර වැසෙද්දී නෙඩ් කල්පනා කලේ ය. 'ඒ වුනත් උඹ කාටද සේවය කරන්නෙ නාකියො?'

සිය කාමර කරා ආපසු යන ගමනේදී පඩිපෙළ ඉහළ සිටි ආර්යා ඔහුට මුනගැසින. එක් පයකින් සිටගෙන සිටි ඈ දෑත් දෙපසට විහිදමින් සමබරතාව රැකගන්නට වෑයම් කරමින් හුන්නා ය. නැවතුනු නෙඩ් ඈ දෙස බැලී ය. "ආර්යා, ඔයා මොකක්ද ඔය කරන්නෙ?"

"සිරියෝ කියනවා දිය නැට්ටුවෙකුට කකුලෙ ඇඟිල්ලකින් පැය ගානක් වුනත් හිටගෙන ඉන්ට පුළුවන් කියලා." සමබරතාව රැකගැනීමට වෑයම් කරමින් ඇගේ දෑත් එහා මෙහා පියෑඹී ය.

නෙඩ්ට සිනහවක් පහළ විය. "කොයි ඇඟිල්ලෙන්ද?" ඔහු සරදම් ස්වරයෙන් ඇසීය.

"ඕන ඇඟිල්ලකින්." මේ ප්‍රශ්නය නිසා ඇගේ කේන්තිය ඇවිස්සුනු බවක් පෙනින. උඩ පැන දකුණු කකුලෙන් වම් කකුලට මාරු වුනු ඈ භයානක ලෙස වැනෙන්නට වූ නමුදු සිය සමබරතාව රැකගැනීමට සමත් වූවා ය.

"ඉතින් ඔයාට ඒ වැඩේ මෙතන ඉඳන්ම කරන්ට ඕනද? වාරු නැතුව ගියොත් ඔයා මේ පඩිපෙළ පහළට පෙරලිලා වැටෙයි. බලන්ට ඒක කොච්චර උසද කියලා."

"සිරියෝ කියනවා දිය නැට්ටුවෙක් කවදාවත් වැටෙන්නෙ නෑ කියලා." ඇය සිය දකුණු පාදය පහත් කර දෙපයින් සිට ගත්තා ය. "තාත්තෙ, දැන් බ්‍රැන්ට පුළුවන්ද ඇවිත් අපිත් එක්ක නවතින්ට?"

"තව ගොඩක් කල් යනකම් එයාට එහෙම කරන්ට බැරි වෙයි වස්තුවෙ. එයාගෙ ඇඟේ ශක්තිය ආපහු ලබාගන්ට ඕනනෙ."

ආර්යා තොල සපා ගත්තා ය. "එයා වැඩුන මිනිහෙක් වුනාම එයාට මොකක්ද කරන්ට වෙන්නෙ?"

නෙඩ් ඇය පසෙකින් බිම දණ ඇන ගත්තේ ය. "ඒකට උත්තරේ හොයාගන්ට එයාට තව අවුරුදු ගානක් තියෙනවා ආර්යා. එයා ජීවත්වෙන්ට යනවා කියන එක දැනගෙන හිටියාම දැනට හොඳටම ඇති." සුබ පණිවුඩය රැගත් කපුටා වින්ටර්ෆෙල්වල සිට පැමිණි දිනයේ නෙඩ් දැරියන් දෙදෙනාද කැටුව බලකොටුවේ දෙව්වනය වෙත ගියේ ය. එය ගඟට මුහුණ ලා පිහිටි එල්ම්, ඇල්ඩර් හා වෙනත් නොයෙක් ගස් පිරුනු අක්කරයක පමණ භූමි භාගයක් විය. මෙහි මධ්‍යයේ වූ හදවෘක්ෂය සිය පැරණි අතුපතර පුරා බෙරි වැල් එල්ලා ගත් දැවැන්ත ඕක් ගසක් විය. වයර්වුඩ් ගසක් ඉදිරිපිට මෙන් ඔවුන් එය ඉදිරිපිට දණින් වැටුනේ දෙවියන්ට සිය කෘතඥපූර්වක බව දැක්වීමට ය. සඳ නැග එද්දී සන්සා නින්දට වන් අතර පැය කීපයකට පසු ආර්යාද තණ බිස්සේ සිය පියා ගේ සළුව යට වකුටු විය. එනමුදු නෙඩ් මුලු රෑ පුරාම නිදි වර්ජිතව කල් ගෙවී ය. අරුණළු පැතිරෙද්දී සන්සා සිනාමුසු මුවින් යුතුව නැගිට සිටියා ය. "මම බ්‍රැන්ව හීනෙන් දැක්කා." ඇය ඔහුට කොඳුලා ය. "මම දැක්කා එයා හිනාවෙනවා."

"එයා හිතාගෙන හිටියෙ නයිට්වරයෙක් වෙන්ට." ඔහු ගේ සිතුවිලි බිඳ දමමින් ආර්යා කීවා ය. "රාජ්‍යාරක්ෂක බලකායට බැඳෙන්ට. එයාට තාමත් නයිට්වරයෙක් වෙන්ට පුළුවන් ද?"

"බෑ මගෙ වස්තුවෙ." නෙඩ් කීය. ඇයට බොරු කියා තේරුමක් නොමැති බව ඔහුට වැටහින. "ඒත් දවසක එයා ලොකු බලකොටුවක උසස් වංශාධිපතියෙක් වෙලා රජතුමාගෙ උපදේශක සභාවෙ වාඩි වෙයි. එයත් බ්‍රැන්ඩන් දි බිල්ඩර් වගේ ලොකු බලකොටු ගොඩනගයි. එහෙමත් නැත්තම් නැවක නැගලා මුහුදු තරණය කරයි. නැත්තම් ඔයාගෙ අම්මගෙ සත්‍ය ලබ්ධියට බැඳිලා උසස් පූජකයෙක්, සමහරවිට නායක පූජකයා වෙයි." එනමුදු ඔහුට කෙදිනකවත් සිය වෘකයා සමගින් දිව යා නොහැකි වනු ඇත; ගැහැණියක හා යහන් ගතවීමට නොහැකි වනු ඇත; තමාගේම දරුවකු දෝතින් ගෙන සුරතල් කිරීමට නොහැකි වනු ඇත; නෙඩ් දුකින් කල්පනා කලේ ය.

ආර්යා හිස පසෙකට ඇල කලා ය. "මටත් පුළුවන්ද රජතුමාගෙ උපදේශකයෙක් වෙන්ට? බලකොටු හදන්ට? නායක පූජකයා වෙන්ට?"

"ඔයා." ඔහු කීවේ සෙමින් ඇගේ නළලත සිප ගනිමිනි. "රජ කෙනෙක්ව කසාද බැඳලා එයාගෙ මාලිගාව පාලනය කරයි. ඔයාගෙ පුත්තු නයිට්වරු වෙයි, කුමාරයො වෙයි, වංශාධිපතියො වෙයි. සමහරවිට නායක පූජකයා වෙන්ටත් පුළුවන්."

ආර්යා කට ඇද කලාය. "නෑ... ඒවා ගැලපෙන්නෙ සන්සාට." නැවතත් දකුණු කකුල නමාගත් ඇය සිය සමබරතා අභ්‍යාසය පටන් ගත්තා ය. සුසුමක් හෙලූ නෙඩ් ඇයව එතැන තනි කර දමා ඉදිරියට පිය මැන්නේ ය.

කාමරය තුළදී දහදියෙන් පෙඟුනු සේද කමිසය ගලවා වීසි කල නෙඩ් ඇඳ අසල බේසමක තිබුනු සිසිල් දියෙන් මුහුණ අතපය සෝදා ගත්තේ ය. ඔහු මුහුණ පිස දමමින් සිටින අතරතුරේදී ඇලන් කාමරයට ඇතුළු විය. "මගේ උතුමානනි. බේලිෂ් උතුමානන් ඇවිත් ඔබතුමාව මුනගැහෙන්ට ඕනයි කියනවා."

"එයාව මගේ පුස්තකාල කාමරයට එක්කන් යන්ට." නෙඩ් කීවේ සැහැල්ලු හණ රෙද්දෙන් කල අලුත් කමිසයක් වෙත අත යවමිනි. "මම ඉක්මනට එන්නං කියන්ට."

නෙඩ් කාමරයට ඇතුළු වන විට සුළැඟිල්ලා කවුළුව අසල අසුනකට බර දී පහළ අංගනයේ රාජ්‍යාරක්ෂක බලකායේ සෙබළුන් සරඹ පුහුණු වන අයුරු බලා සිටියේ ය. "නාකි සෙල්මිගෙ හිතත් එයාගෙ කඩුව වගේ කඩිසර නම් රාජසභා රැස්වීම් මීට වඩා රසවත් වෙන්ට තිබුනා." ඔහු උකටලී ස්වරයෙන් කීය.

"සෙර් බැරිස්ටාන් කියන්නෙ මේ කින්ග්ස් ලෑන්ඩින්ග්වල ඉන්න අනික් ඕනෑම කෙනෙක් තරම්ම වික්‍රමාන්විත, ගෞරවාන්විත මනුස්සයෙක්." රාජ්‍යාරක්ෂක බලකායේ ප්‍රධානියා වූ සුදු පැහැ හිසකෙසින් යුත් මේ මහල්ලා කෙරෙහි නෙඩ්ගේ සිතෙහි වූයේ ගැඹුරු ගෞරවාදරයකි.

"ඒ වගේම හරිම හිරිහැරදායකයි. ඒ වුනත් මම හිතන්නෙ මේ එන තරගාවලියෙදි එයා හොඳට සෙල්ලම් කරයි කියලයි. පහුගිය අවුරුද්දෙ එයා දඩබල්ලාව පැරැද්දුවා. අවුරුදු හතරකට කලින් එයා තමා ශූරයා වුනේ."

තරගාවලියේ ශූරයා කවුරුන් විය හැකිදැයි යන්න නෙඩ් ගේ සිටත කිසිසේත්ම වද දුන් කරුණක් නොවී ය. "මේ පැමිණීමට මොකුත් හේතුවක් තියෙනවද පෙටයර් උතුමානනි? එහෙම නැත්තම් ඔබ ආවෙ නිකංම මගෙ කවුළුවෙන් පේන දර්ශනය රස විඳින්ට ද?"

සුළැඟිල්ලා සිනාසුනි. "මම පොරොන්දුවක් වුනා කැට් ට ඔබේ පරීක්ෂණවලට උදවු කරනවා කියලා. ඉතින් ඔන්න මම කලා."

මෙය නෙඩ් ගේ සි‍තේ විමතියක් ඇති කලේ ය. පොරොන්දුවක් වූවා හෝ නොවූවා හෝ පෙටයර් ‍බේලිෂ් උතුමානන් යනු විශ්වාස කටයුතු පුද්ගලයකු නොවන බැව් ඔහු මනාව දැන සිටියේ ය. ඔහු උවමනාවටත් වඩා ශූර පුද්ගලයකු බවද නෙඩ් දැන සිටියේ ය. "ඔබ මොකක් හරි දෙයක් හොයා ගත්තද?"

"කෙනෙක්." සුළැඟිල්ලා නිවැරැදි කලේ ය. "ඇත්තම කියනවා නම් හතර දෙනෙක්. ඔබ හිතුවාද ඒරින් උතුමානන්ගෙ සේවකයින්ගෙන් ප්‍රශ්න කරන්ට?"

නෙඩ් බැම ඇකිළී ය. "මට ඒක කරන්ට පුළුවන් නම් කොච්චර දෙයක්ද. ඒරින් ආර්යාව එයාගෙ සේවක කණ්ඩායමේ හැමෝම ඉයරිවලට අරන් ගියානෙ." ලයිසා ඔහු ගේ කාර්යය කිසිසේත්ම පහසු කොට නොතිබින. ඇය කින්ග්ස් ලෑන්ඩින්ග් වලින් පලා යද්දී සිය සැමියාට කිට්ටුවන්ත සැවොම ඇයත් සමග රැගෙන ගොස් තිබින. ජොන් ගේ මේස්ටර්වරයා, නිවාස බාරකරු, ආරක්ෂක බලකායේ ප්‍රධානියා, නයිට්වරුන් හා අනිකුත් සෙබළුන්, මේ සැවොම රැගෙන ගොස් තිබින.

"හැමෝම වගේ අරන් ගියා." සුළැඟිල්ලා කීය. "ඒත් හැමෝම නෙවෙයි. කීපදෙනෙක් නැවතුනා. රෙන්ලි උතුමානන්ගෙ සේවකයෙකුට කඩිමුඩියේ බන්දලා දුන්න බඩදරු කුස්සි අම්මා කෙනෙක්, නගරාරක්ෂක බලකායට බැඳුන ඉස්තාල සේවකයෙක්, හොරකමකට අහුවෙලා සේවයෙන් නෙරපුව වැඩකාර කොල්ලෙක්, ඒරින් උතුමානන්ගෙ සහචරයා."

"එයාගෙ සහචරයා?" නෙඩ් සැබැවින්ම විමතියට පත් විය. කෙනෙකු ගේ සහචරයා යනු ඔහු ගේ ගමන් බිමන් ගැන මනාව දැන සිටින පුද්ගලයෙකි.

"මිටියාවතේ සෙර් හියු. රජතුමා ඒරින් උතුමානන්ගෙ මරණයෙන් පස්සෙ ඒ කොල්ලව නයිට්වරයෙක් කලා."

"මම එයාට එන්ටයි කියලා පණිවුඩයක් යවන්ට ඕන. එයාටයි අර අනිත් අයටයි."

සුළැඟිල්ලා වේදනාවෙන් මෙන් ඇකිළුනි. "මගේ උතුමානනි, කරුනාකරලා මේ කවුළුව ගාවට පොඩ්ඩක් එන්ට."

"ඇයි?"

"එන්ට. එතකොට මම පෙන්නන්නම්."

රවාගත් මුහුණින් යුතු නෙඩ් කවුළුව සමීපයට ගියේ ය. පෙටයර් බේලිෂ් ඕනෑවට එපාවට මෙන් ඇඟිල්ල දිගු කලේ ය. "අතන, අංගනයෙන් එහා පැත්තෙ, අර යුද්ධායුධ ගබඩාවෙ දොර ළඟ. ඔබට පේනවද අර කොල්ලෙක් පඩිපෙළේ වාඩි වෙලා තෙල්ගලකින් කඩුවක් මුවහත් තිය තියා ඉන්නවා?"

"ඉතින්?"

"ඌ රපෝර්තු කරන්නෙ වාරිස්ට. මකුළුවා ඔබ ගැනයි ඔබ කරන දේවල් ගැනයි බොහොම ලොකු උනන්දුවකින් බලාගෙනයි ඉන්නෙ." ඔහු අසුනේ හැරුනේ ය. "දැන් බලන්ට ප්‍රාකාරෙ දිහා. තව බටහිර පැත්තට, ඉස්තාලවලට ඉහළින්. පේනවද අර ප්‍රාකාරෙන් එබිලා බලන් ඉන්න මුරභටයා?"

නෙඩ් ඔහුව දුටුවේ ය. "නපුංසකයාගෙ තවත් ඔත්තුකාරයෙක්ද?"

"නෑ. මූ අයිති රැජිණට. පේනවනෙ. ඌට බොහොම හොඳට පේනවා මේ කුළුණට ඇතුළුවෙන දොර. ඇතුළුවෙන්නෙ, පිටවෙන්නෙ කවුද කියලා ඌ හොඳට ඇහැ ගහගෙනයි ඉන්නෙ. තවත් උන් ඉන්නවා. ඒ සමහරු ගැන මංවත් දන්නෙ නෑ. රතු බලකොටුවෙ හැමතැනම ඇස් තියෙනවා. මම කැට්ව ගනිකා මඩමක හැංගුවෙ ඇයි කියලද ඔබ හිතන්නෙ?"

මෙවැනි රහස් කුමන්ත්‍රණ සම්බන්ධයෙන් නෙඩ් ගේ සිතේ කිසිදු ඇල්මක් නොවී ය. "අපා හතටම පලයං!" නෙඩ් කවුළුව අසලින් මෑත් විය. "මේ සාපලත් නගරෙ ඉන්න හැම එකාම තවත් කාගෙ හරි ඔත්තුකාරයෙක්ද?"

"එහෙම නැති අය බොහොම හිඟයි." ඔහු සිය අතැඟිලි නවමින් ගණන් කරන්නට වන්නේ ය. "ඇයි මම ඉන්නවා. ඔබ ඉන්නවා. රජතුමා... ඒත්, කල්පනා කරලා බැලුවොත්, රජතුමා රැජිණට හැමදේම වගේ කියනවා. ඕන එකයි එපා එකයි හැමදේම. අනික මට ඔබ ගැනත් හරියටම විශ්වාස නෑ." ඔහු නැගිට සිටියේ ය. "ඔබේ සේවයේ ඉන්නවද මිනිහෙක් ඔබට මුලුමනින්ම වගේ විශ්වාස කරන්ට පුළුවන්?"

"ඔවු." නෙඩ් කීවේ ය.

"ඒක ඇත්තනම් ඉතින් මට තියෙනවා වැලීරියාවෙ මාළිගාවක්, මම බොහොම කැමැත්තෙන් ඉන්නවා ඒක ඔබට විකුණන්ට." ඔහු සමච්චල් සිනහවකින් යුතුව කීවේ ය. "ඒ ප්‍රශ්නෙට ඥානවන්ත උත්තරේ 'නෑ' කියන එකයි මගේ උතුමානනි. හරි කොහොම වුනත් කමක් නෑ. ඔබේ මේ බොහොම වටිනා පුද්ගලයාව යවන්ට සෙර් හියුවයි අනිත් අයවයි මුන ගැහෙන්ට. ඔබේ ගමන් බිමන් ගැන ඇහැ ගහගෙනයි ඉන්නෙ. ඒ වුනත් වාරිස්ටවත් බෑ ඔබේ සේවයේ ඉන්න හැම කෙනෙක් ගැනම දවස පුරාම ඇහැ ගහගෙන ඉන්ට." ඔහු දොර දෙසට පියවර මැන්නේ ය.

"පෙටයර් උතුමානනි." නෙඩ් ඔහු ඇමතී ය. "මම... බොහොම ස්තූතිවන්ත වෙනවා ඔබ කරපු උදවුවට. සමහරවිට මම වැරැදි වෙන්ට ඇති ඔබව මෙහෙම අවිශ්වාස කරන එක."

සුළැඟිල්ලා සිය පුංචි උල් රැවුල අතගෑවේ ය. "ඔබ මොනවා හරි දෙයක් තේරුම් ගන්ට බොහොම ප්‍රමාද වෙනවා එඩාර්ඩ් උතුමානනි. ඔබ මේ නගරෙට ඇවිල්ලා අශ්වයා පිටින් බැස්සට පස්සෙ කරපු ඥානවන්තම දෙයක් තමා මාව අවිශ්වාස කරන එක."


Grand Maester Pycelle: “Death is the most natural thing of all.”

77 comments:

  1. අපොයි මේ නෙඩ් තුමා වගේ මැටි තුමෙක් :(

    ReplyDelete
    Replies
    1. නෙඩ්ට අනම් මනම් කියන්න එපා අරී?

      Delete
    2. The man is too honorable that he cant believe there are spies. Such a noble fool. He should have stayed in his ice castle

      Delete
    3. Noble fool? He is a dedicated husband and father, a loyal friend and an honorable lord.

      Season 3 පව් අප්පා... :(

      Delete
    4. @Pods,
      //dedicated husband and father, a loyal friend and an honorable lord//

      None of those things will preclude one from being an utter fool if so inclined.

      Delete
    5. @ PK
      wats this abt an S3

      of course he is a good husband and a father, best in westeros may be. but a fool nevertheless.

      Delete
    6. //wats this abt an S3 //

      can't tell LU :)

      Delete
    7. නෙඩ් නම් ගොනාම තමා....
      පොරට යුද්ද කරන්න පුළුවන් ඇති හැබැයි අත විදියට නම් අන්තිම සවුත්තුයි......

      ඕක හරියන්නේ අර කොටා වගේ සිරා මිටරේකට.... :)

      Delete
    8. මෙයාගේ බඩේ තව මොලයක් තියනවද කොහෙද :D

      Delete
  2. හලපයියාට අද විශේෂ

    කන්ට
    පුපරන්ට තරම් තදට ඉදිච්ච කොමඩු, පීච්, දෙළුම්, ඉඳි , හරි ෂෝක් පර්සිමොන්
    බොන්ට
    සීත කල කිරි පැණි සමග
    (කිංග්ස් ලෑන්ඩින්ග් යන්ට හිතෙනවා අෆ්ෆා)

    කෝ අද ගොරිල්ලා?
    බස්සා ඩක් ටේප් ගහලවත් ද?

    ReplyDelete
    Replies
    1. වැඩාක් නෑ.. ඔය මොනා තිබුනත් එහෙ අරිෂ්ටෙ නැහැල්ලු...

      Delete
    2. ගෝරිල්ලා අද සිල් ගන්ට ගෙහුන් ලු.. මංදන්නෙ නෑ, ඕං ඔය බස්සෙක් තමා කියාගෙන ගියෙ..

      Delete
    3. මොන සිල් ද?

      කොට්න් ගොරිල්ලා අදත් වැටිලා කියල තමා ආරංචිය. මගේ වාඩියේ නෙවෙයි එහා රටේ අපේ ලොකු අයියගේ වාඩියේ.

      Delete
    4. අද දවල් දානයක් තිබ්බා මං එහෙ ගියා.ඩෙසර්ට් එකට කිරි පැණි,කෙසෙල් ගෙඩි,අයිස්ක්‍රීම්,ග්‍රේප්ස්,ඇපල්,පකිස්තාන් අඹ,කොමඩු,ස්වීට්ස් එහෙම තිබුණා.සැපට කෑවා සැපට කෑවා.

      Delete
    5. හැලපෙට දාන වේලක් දෙන එක , මහප්ඵල මහානිසංස දෙන පිංකමක්, පිංවතුනි

      Delete
    6. @හැලපේ,

      හපොයි හොඳටම මදි. අර සෝන්යාගෙන් අහලා බලන්ට එයා දානවලට ගිහින් කන ජාති.

      Delete
    7. මට දානෙට තිබුනෙ බොම්බේ ඩක්.
      ඒක නෙමෙයි අර පක්සියා කෝ ( මොන පක්සියාද කියල අහන්න එපා මං නම දන්නෙ නෑ බස්සෙක් හෝ බෝදිලිමෙක් හෝ උලමෙක් හෝ පටි සහිත තාරාවෙක් වෙන්න ඕන )

      Delete
    8. //පටි සහිත තාරාවෙක්// ???

      සෑර් දෙන්න බැරිද පින්තූරු පැහැදිලිකිරීමක්??

      Delete
    9. @Choolow,
      පින්තූර සඳහා පොං කුමරු දඩයම නිමවා සම්ප්‍රාප්තවිය යුතුයි.

      පටි නැත්නම් අඩුගන්නෙ පටි පණුවන්වත් ඇති ඩක් ටේප් පක්සියට,

      Delete
    10. @ප්‍රා.

      කුමරුවා කැමැත්තෙන් පසුවූයේ යම් ධේනුවකගේ දඩයමක් වීමට නොවේද, එසේ ඌ කලැ ඔහු පෙරලා පැමිණේ යැයි ඔබට කැට තැබිය හැකිද??

      Delete
    11. //ඔහු පෙරලා පැමිණේ යැයි ඔබට කැට තැබිය හැකිද//

      එයා පෙරලගෙන තමයි සාමාන්යයෙන් එන්නෙ
      කැට වලට වඩා එයා කරන්න ද්‍රාවණවල වැඩ

      Delete
    12. මේ කුමරුවා නම් කිසිදු ධෙනුවකගේ ගොදුරක් වීමට නොකැමැතිය .

      Delete
    13. හුටා, ගෝරිල්ලා උන්නාන්සෙ පටි ගලෝගන ඇවිල්ලා නේද? ඒ මදිවට මයෙ පටි රෝල් කරලත් තියෙන්නෙ:). ඊළඟ සැරේ දෙඤ්ඤං ඩක් ටේප් පාර , මමියක් ඔතන තාලෙට

      හිංගලෙන් එව්වට කියන්නෙ ඩක් ටේප් තමා. කොහොමත් මං ඔය "ට" යන්න ලොප් කරන්න තමා කැමති. "ට" යන්න හැලුවට මාව උල තියාවිද?

      Delete
  3. කමෙන්ට් නොදැම්මත් පහුගිය කොටස් කියෙව්වා. පුලුවන්නම් ඡේද දෙක තුනකට වරක් පොඩි පින්තූරයක් දාන්න. එතකොට තවත් ආකර්ෂණය වැඩි වෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචාරක!

      පින්තූරු වැඩේ හොඳ අදහසක් තමා.. මීට පස්සෙ පෝස්ට්වලදි ඒ වැඩේ කරන්ට බලන්නම්..

      Delete
    2. ඇත්තටම හොඳ වැඩක් තමා විචාරක. ඇස්වලටත් හොඳයි. ලස්සණ ගෑනු ලමයින්ගේ ෆොටෝ දාමු අර ඩැනීගේ වගේ. :D

      Delete
    3. ලස්සන ගෑණු ළමයින්ගේ පොටෝ විතරක් දාන්ට ගියොත් ඒ හැටි ෆොටෝ ගානක් දාන්ට වෙන එකක් නෑ මයේ හිතේ....

      Delete
    4. ඒක නම් හොඳ අදහසක් තමා

      Delete
    5. ඒ කියන්නේ ඔය චූලාගේ අදහස හරි කියන එකද? :P

      Delete
    6. ඇයි චූලෝ ඔය ඉන්නේ ලස්සන ලස්සන කස්ටිය.
      සන්සා , ඩේනි, මාජරින්, සේර්සි etc etc. ඉඳ හිට ඔය කුණාටුවක ෆොටෝ එකක් උනත් දාන්ට බැරිය :P

      Delete
    7. සන්සා හෙන ගොන් ගහක් අනේ....

      ඩෙනි, මාජරින් අන්න කෙල්ලෝ...... දුටු මතින් ආදරේ හිතෙනවා....

      සෙර්සි ඈක්කා මතක් වෙද්දීත් වමනෙට එනවා...

      තවනම් ලස්සන ගෑණු ළමෝ ඕකේ ඉන්නවා... අර.. අර.. එක්කොත් ඕන නැහැ...ඕව කියවන්න ගිහිං අහක තියෙන බඩට දෙකක් ඇනගන්න ඕනෑ යැ අර නහය දික්වෙන මහත්තයා ගෙන්...

      Delete
  4. It's a long episode today.. And I also suspect poison as the reason for the death of that man...

    ReplyDelete
    Replies
    1. ඒක එහෙමනං ප්‍රශ්නෙ තියෙන්නෙ කවුද වස දුන්නෙ? ඇයි වස දුන්නෙ කියන එකයි.. :-)

      Delete
    2. අඟහරුවා දිගට කියවන්ට අකැමතී වගේ. අර වැඩේ හොයාගත්තද අඟහරුවෝ?

      Delete
  5. ස්ටාක් මහ එකත් එකයි උගේ ගෑණිත් එකයි... උං දෙන්නම හරියන්නේ අර හීතල පැත්තට වෙලා වලස්සු වගේ බුදියගෙන ඉන්ට...

    හා හා ඊ ළඟ...

    ReplyDelete
    Replies
    1. නෙඩ් කරපු ලොකුම මෝඩකම තමා දකුණට ආපු එක.. අවංක මිනිස්සුන්ට දේශපාලනය කරන්ට බෑ කියලා මිනිහා මුලදිම තේරුම්ගන්ට තිබුනා..

      හා හා අනිද්දට එන්ට... :-D

      Delete
    2. අවංක කමයි , දේශපාලනයයි එකට යන්නෙම නැහැනේ :)

      Delete
    3. අඬන්න ඕනලු කිරි එරෙන්න.

      Delete
    4. හී හී මාරයාව අරින්ට තිබුණේ උතුරට...

      Delete
  6. //තදට ඉදිච්ච කොමඩු, පීච්, දෙළුම්//

    හ්ම් මැවිල පේනවා......

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ අර මර්ඩර් හවුස් එක ඉවරද මෙයා.? දානෙ වැළැඳුවද.?

      එතකොට ඔය උපාසිකා මාතාව අද සිල්ගන්ට ගියේ නැතෙයි..!?

      Delete
    2. මළගේ නම් ඉවරයි අප්පා , සිල් ගන්නෙ මම ප්‍රධාන පෝය වලට විතරයි අනේ. යාලුවෙක්ගෙ බර්ත්ඩේ එකකුත් ලඟදි එනවා ..............

      Delete
    3. ඉතිං යාළුවගෙ බර්ත්ඩේ එකට සිල්ගන්ටද යන්නෙ.?? :-D

      Delete
    4. ඔයා ඉන්න රටේ (අප්‍රිකාවේ කියල තමා හිතාගන ඉන්නේ) අප්‍රධාන පෝයවලුත් තියනවද අප්පා?
      පුර අටවක, අමාවක එහෙමද?

      Delete
    5. මාත් බැලුවේ මොනාද මේ ප්‍රධාන පෝයවල් කියන්නේ කියලා..

      Delete
    6. සෝන්යා කොහෙද ඉන්නේ කියලා දැනගන්ට කට්ටියටම ඕනි වෙලා වගේ...කියමුද? :P

      Delete
    7. යාළුවා ග්‍රෑන්ඩ් පාටියක් දෙයිද දන්නෙ නෑ ?
      ඉරිදා නිවාඩු දවස.......................:P

      Delete
    8. @Pods,
      //කට්ටියටම// ද? එහෙම නැත්නම් අර //අමාවක//ට හිනාව විතරක් පෙනෙන ... මේ......අර ...... යූ නෝ හූ !
      ( හූ කිව්වට අර අහිංසක මොට්ස් නෙමෙයි හරි,)

      Delete
    9. //අමාවක//ට හිනාව විතරක් පෙනෙන ...

      ඔය එළිවෙන්නේ :P

      Delete
    10. ප්‍රධාන පෝයවල් කියන්නේ පින්වත්නි , වෙසක්, පොසොන් සහ ඇසළ .

      Delete
    11. @SS, එළිවෙන ජාමෙට තමයි ඔය කුමාරවරු......

      @ පොං පොං, ඉක්මනට ඇවිල්ල දඩයම් කරන්න/ ගොදුරුවෙන්න. පහුවෙලා අර කුණාටුව හැමුවොත් එහෙම මෙතන ඔබතුමාට ක්‍රීඩා කිරීමට අපහසුවිය හැක.

      Delete
    12. // මේ......අර ...... යූ නෝ හූ ! //

      යූ නෝ හූ කියන්නෙ ලෝඩ් වොල්ඩර්මෝට් ට නේද?

      Delete
    13. නැත. වොල්ඩර්මොර්ට් අවසන්ගමන් ගොස් ඇත.
      දැන් හොඳට නරකට දෙකටම අපට ඉන්නේ ........ලෝඩ් ගෝඩමූන් !!!

      Delete
    14. ප්‍රධාන පෝයවල් වලට විතරක් නිවාඩු දෙන්න ගත්තොත් තමයි වැඩේ වෙන්නේ පින්වතිය.

      Delete
    15. //ලෝඩ් ගෝඩමූන් !!!//
      හුහ් . im a prince, like the half blood one :P

      දඩයම සහ ගොදුරුවීම (බොහොම කැමැත්තෙන්) අත් හැරදමා ඇත . :D
      FYI , අමාවකට පමණක් නොව සියලුම "වක" වලට පෙනෙන්නේ දත් පමණි :P

      Delete
    16. "දත්" යනු සිංහ වර්ගයා ඉතා අගය කරන දෙයකි.

      "නිය" ත් තියනවනම් ගෝඩාකුමරු ගොඩ තමයි ඉතින්.

      Delete
    17. @සෝන්යා,

      හී හී...දැන් මේ එළිවෙලා තියෙන්නේ මොනවද? අමාවකට පහුවදාද?

      Delete
    18. @නිශ්,

      ඔයාගේ යාලුවෙක්ගේ වෙඩිමක්වත් මේ ඉරිදා තියෙනවද නිශ්? :P

      Delete
    19. //දැන් මේ එළිවෙලා තියෙන්නේ මොනවද//

      @ අප්පට සිරි මෙන්න ඇවිල්ටා. දැන් දඩයං හමාරයි. යංට යමං පොං,

      Delete
    20. අනේ නෑ කැමති දඩයමක් කරගන්ටලා අපේ මොකෝ?

      මම මේ කල්පනා කලේ... Gorilla + lioness =Nittaewo :P

      Delete
    21. # පොඩ්ඩි

      උදේ පාන්දරම නෝටිෆිකේසමක් දැක්ක යාලුවෙක්ගෙ
      බර්ත් ඩේ එක ඉරිදා කියලා

      කොත්තමල්ලි ටිකක් වත් බොන්න සැට් වෙයි................:):):)

      Delete
    22. Lioness + Moonshine =
      http://edition.cnn.com/2013/02/05/travel/gallery/lion-dance-cny/index.html

      Delete
    23. @PJ
      දන් බෙදද්දී හමුරුවෝ කියුවලු අර නමට බෙදන්ට, අර නමට බෙදන්ට කියලා :P

      Delete
    24. කව්ද, කව්ද බොල හූ කියන්නෙ. හූව අපේ ජාතික ගීය නෙව? මාත් දෙන්නද හූවක්?

      Delete
  7. සීඩ් ඊස් ස්ට්‍රෝන්ග් ලු නෙහ්??

    ReplyDelete
  8. පෝයට මේවා කියවන්න හොඳ නැහැ ලු.එක නිසා අද තමයි කියෙව්වේ ලු

    ReplyDelete
    Replies
    1. අන්න සැදැහැවත් පින්වතුන්.. පෝයදාට 'සීල් ටිකක්' අරන්, බණපොතක් කියවගෙන ඉන්ට ඕන.. ;-)

      Delete
    2. එහෙම නෙමේ. එදාට විතරක් පව් නොකර ඉන්ට ඕනි. ඒකනේ මනෝජ් පෝස්ට් කියවලා නැත්තේ...:P

      Delete
  9. පොපි යුෂ දෙන්න වෙනව කියන්නෙ මරණයෙන් බේර ගන්න බෑ කියන එකද?

    ReplyDelete
    Replies
    1. පොපි යුෂ දෙන්නේ වේදනාව නැතිවෙන්ට නේද?

      Delete
    2. Papaver somniferum හෙවත් පොපි මලේ යුෂ (ඇත්තටම කියුවොත් කිරි) වලින් තමයි morphine, heroin, codeine, paramorphine (thebine), Narcotine වගේ වේදනා නාශක මත්ද්‍රව්‍ය හදන්නේ.

      Delete
  10. "ඔබ මොනවා හරි දෙයක් තේරුම් ගන්ට බොහොම ප්‍රමාද වෙනවා එඩාර්ඩ් උතුමානනි. ඔබ මේ නගරෙට ඇවිල්ලා අශ්වයා පිටින් බැස්සට පස්සෙ කරපු ඥානවන්තම දෙයක් තමා මාව අවිශ්වාස කරන එක."

    මේක මාර කෝට් එක නේ..? මම ඉංග්‍රීසි පොත කියවලා නෑ... සිංහල පරිවර්තනයේ මම මෙතෙක් කියවපු ලස්සනම දෙබස... ඉංග්‍රිසියෙන් කොහොමද මේක තියෙන්නේ..?

    ReplyDelete