Monday 20 October 2014

කැට්ලින් 05


කැට්ලින් හා සෙර් රඩ්‍රික් කසල්

"මගේ ආර්යාවනි. ඔබ ඔළුව වහගන්නවා නම් හොඳයි." සිය අසුන් සෙමින් සෙමින් උතුරු දෙසට ඇදෙන අතරේ සෙර් රඩ්‍රික් ඇයට කීවේය. "ඔබට හෙම්බිරිස්සාවක්වත් හැදෙයි."

"ඒ නිකංම වතුර විතරයි සෙර් රඩ්‍රික්." කැට්ලින් පිළිතුරු දුන්නා ය. ඇගේ හිසකෙස් තෙත් බරිතව ඇඟට ඇලී තිබින. තමා කෙතරම් අශිෂ්ට අන්දමින් කෙනෙකුට පෙනිය හැකිදැයි ඇයට සිතාගත හැකි වුවද ඇය ඒ ගැන තැකීමක් නොකලා ය. දකුණුකරයේ වර්ෂාව යනු උණුසුම් හා සෞම්‍යදායක දෙයක් විය. මවක ගේ උණුසුම් චුම්බනයන් මෙන් වැහිබිඳු ඇගේ මුහුණ සිපගන්නා විට දැනෙන හැඟීමට ඇය ප්‍රිය කලාය. එය ඇගේ ළමා කාලය, රිවර්රන්හි ගෙවුනු අඳුරු වැහිබර දිනයන් ඇගේ මතකයට ගෙන ඒමට සමත් විය. රිවර්රන්හි දෙව්වනය, වැස්සෙන් තෙත්බරිත වූ ගස්වල අතුරිකිළි, තෙත් කොළ ගොඩවල් මතින් ඇයව ලුහුබැඳ එන ඇගේ සොයුරා ගේ සිනා හඬ. ඇගේ සොයුරිය ලයිසා සමග එක්ව මැටි කේක් සැදූ හැටි, ඔවුන් ගේ ඇඟිලිකරු අතරින් පෙරී ආ දුඹුරු පැහැ මඩ. ඔවුන් දෙදෙනා එක්ව කැකිරි පලමින්, සාදාගත් මැටි කේක් සුළැඟිල්ලාට පිරිනැමූ අතර, ඔහු ඒවා කෑම නිසා සතියක් තිස්සේ අසනීපයෙන් පසුවන්නට සිදු විය. ඔවුන් සැවොම කෙතරම් ලාබාලව, කෙතරම් වගකීම් විරහිතව සිටියාද?

මේ හැම දෙයක්ම කැට්ලින්ට මුළුමනින්ම පාහේ අමතකව ගොස් තිබින. උතුරුකරයේ වර්ෂාව යනු දැඩි, සීතල දෙයක් වූ අතර ඇතැම්විට රාත්‍රියේදී එය අයිස් බවට පත් විය. එය වගාවන් පෝෂණය කිරීමට මෙන්ම වගාවන් නසා දැමීමටද එකලෙස හැකියාවක් ඇත්තෙක් විය. එය වැඩුනු මිනිසුන් ළඟම ඇති ආවරණ සොයා දුවවන්නට සමතෙක් විය. එය කුඩා දැරියන්ට තෙමෙමින් ක්‍රීඩා කිරීමට සුදුසු ආකාරයේ වර්ෂාවක් නොවීය.

"මාව මුළුමනින්ම තෙමිලා ගිහිල්ලා." සෙර් රඩ්‍රික් පැමිනිල්ලක ස්වරයෙන් කීය. "මගේ ඇටකටු හිටන් තෙමිලා වගේ." ඔවුන් ගේ දෙපසින්ම වනාන්තරය නැගී සිටි අතර ගස්වල කොළ මතට වැහිබිංදු වැටෙන රිද්මයානුකූල හඬ හා අසු කුර මඩ වූ පොළොව මත ගැටෙන හඬ හැරෙන්නට අන් කිසිදු හඬක් ඇසෙන්නට නොවීය. "අද රෑට නම් අපට ගිනිමැලයක් ඕන වෙනවා මගේ ආර්යාවනි. ඒකයි උණුසුම් කෑම වේලකුයි තිබ්බා නම් අපි දෙන්නටම හොඳයි."

"ඉස්සරහ හතරමං හන්දියෙ තානායමක් තියෙනවා." ඇගේ තරුණ කාලයේ සිය පියා සමග ගමන් යද්දී ඇය අනන්ත වූ රාත්‍රින් එහි ගතකර තිබුනා ය. ඒ කාලයේ හස්ටර් ටලී උතුමානන් ජවයෙන් පිරුනු, නිතරම ගමන් බිමන්වල යෙදුනු වංශාධිපතියෙකු විය. ඇයට තවමත් එහි තානායම්පතිනිය මතකයට නගා ගත හැක. මාෂා හෙඩ්ල් නම් වූ ඒ තරබාරු ගැහැණිය දිවා රෑ නොබලා විට සපමින් සිටි අතර කුඩා දරුවන් සමග සිනාසෙමින්, ඔවුන්ට කේක් දුන්නා ය. මේ කේක් මී පැණි වලින් නහවා තිබුනු අතර දිවට සුමිහිරි රසයක් ගෙන ආවේය. එනමුදු නිතරම විට සැපීම නිසා ඇගේ දත් තද රතු පැහැයක් ගෙන තිබුනු අතර ඇය සිනාසෙන විට බැලීම භයංකාර විය.

"තානායමක්." සෙර් රඩ්‍රික් කල්පනාවෙන් බර වූ ස්වරයෙන් කීවේය. "ඒ වුනත්‍‍‍... අපි අවදානමක් ගන්න එක හොඳ නෑ නේද? කාටවත් ඇහැ නොගැහී ඉන්ට ඕන නම් හොඳම වැඩේ පුංචි බලකොටුවක් හොයාගන්න එකයි..." පාරේ ඉදිරියෙන් ඇසුනු ශබ්දයක් නිසා ඔහු කතාව අතරමග නැවැත්වීය. වතුර කැලැත්තෙන හඬ, මුදු දම්වැල්වල ක්ලින්ක් හඬ හා අශ්වයෙකු ගේ හේෂාරවය ඔවුන්ට ඇසින. "අශ්වාරෝහකයො." ඔහු ගේ අත සිය අසිපත් මිට වෙත නිතැනින් ඇදී ගියේය. රජමාවතේදී වුව පෙර ප‍රිස්සම වටී.

පාරේ වංගුවකින් හැරුනු ඔවුන්ට ශබ්දයට හේතුව දැක ගත හැකි විය. ආයුධ සන්නද්ධ අශ්වාරෝහකයින් පිරිසක් වැසි දියෙන් පිරී ඉතිරී ගිය කුඩා දොළ පහරකින් එතෙර වෙමින් සිටියහ. ඔවුන්ට පාර ඉඩ දීම සඳහා කැට්ලින් සිය අසු නතර කර ගත්තා ය. පළමුවෙන්ම පැමිණි අශ්වාරෝහකයා අත තිබුනු ධජය වැසි දියෙන් පෙඟී පහළට බරවී තිබුනු නමුදු සෙබළුන් සැවොම දම් පැහැ සළු පැළඳ සිටි බවත් ඔවුන් ගේ උරහිසේ තිබුනු සීගාර්ඩ්හි රිදී පැහැති රාජාලියා ගේ සලකුණත් ඔවුන්ට පැහැදිළිව දැකිය හැකි විය. "මැලිස්ටර්ලා." සෙර් රඩ්‍රික් ඇයට කෙඳිරුවේ ය. "මගේ ආර්යාවනි. ඔබ සළුව ඇදලා ඔළුව වහගත්තා නම් හොඳයි."

කැට්ලින් ඊට කිසිදු උත්සාහයක් නොදැරුවා ය. සිය තරුණ පුත්‍රයා වන පැට්‍රික් මැලිස්ටර් පසෙකින් ඇතිව, පසුපසින් පැමිණෙන ඔවුන් ගේ සහචරයන් හා නයිට්වරුන් පිරිවැරූ ජේසන් මැලිස්ටර් උතුමානන් මෙම පිරිසේ නායකත්වය දැරීය. ඔවුන් හස්තයේ තරගාවලියට සහභාගි වීම පිණිස කින්ග්ස් ලෑන්ඩින්ග්වලට යමින් සිටින බැව් ඇය තේරුම් ගත්තා ය. පසුගිය සතිය පුරාවටම රජමාවත මෙවැනි මිනිසුන්ගෙන් පිරී තිබින. නයිට්වරුන් සහ නිදහස් අසරුවන්, සිය නලා හා බෙර ඔසවාගෙන යන ගායකයින්, බීර හෝ ඉරිඟු හෝ මී පැණි පීප්ප හෝ පැටවූ බර කරත්ත, වෙළෙන්දන් සහ ශිල්පීන් සහ වෙසඟනන්, මේ සැවොම දකුණුකරය බලා යමින් සිටියහ.

ඇය බිය සැක නැති අයුරින් ජේසන් උතුමානන් දෙස හොඳින් බැලුවා ය. අවසාන වරට ඇය විසින් ඔහුව දකින ලද්දේ ඇගේ විවාහ මංගලෝත්සව භෝජන සංග්‍රහයේදී සිය මාමා වන බ්‍රින්ඩන් ටලී හා අල්ලාප සල්ලාපයෙන් සිටියදී ය. මැලිස්ටර්වරුන් වනාහී ටලීවරුන් ගේ ධජ ඔසවාගෙන යන්නවුන් වූහ. කාලය විසින් ඔහු ගේ දුඹරු පැහැ හිසකෙස් තැනින් තැන සුදු පැහැ කර තිබුනු අතර මුහුණ වෑරී ගොස් තිබින. එනමුදු එය ඔහු ගේ ආත්මාඩම්බරයට කිසිදු හානියක් සිදු කර නොතිබුනු අතර ඔහු කිසිදු බියක් සැකක් නොමැති සාහසික බවකින් සිය අසු මෙහෙයවීය. අසරුවන් ඔවුන්ව පසු කර යද්දී ජේසන් උතුමානන් දරදඬු අයුරින් කැට්ලින් හා සෙර් රඩ්‍රික් දෙසට හිස නැමීය. එනමුදු එය උසස් වංශාධිපතියකු විසින් මඟතොටදී හමුවන නන්නාඳුනන්නෙකුට පෙන්වන ආචාරශීලිත්වයක් පමණක්ම විය. ඒ සාහසික දෑස්වල කිසිදු හඳුනාගැනීමේ සංඥාවක් නොවූ අතර ඔහු ගේ පුත්‍රයා ඔවුන් දෙස බැලීමටවත් පමා වූයේ නැත.

"එයා ඔබව අඳුරගත්තෙ නෑ." සෙර් රඩ්‍රික් විමතියෙන් මෙන් කීවේය.

"එයා දැක්කෙ පාර අයිනෙ ඉන්න මඩ නාපු ආගන්තුකයො දෙන්නෙක් විතරයි. එයා හීනෙන්වත් සැක කරන්ට නැතුව ඇති ඒ දෙන්නගෙන් එක්කෙනෙක් තමන්ගෙ වංශාධිපති උතුමානන්ගෙ දුව කියලා. මම හිතන්නෙ අපි තානායමේ නවතින එක එච්චරම ප්‍රශ්නයක් වෙන එකක් නෑ සෙර් රඩ්‍රික්."

ගංගා ත්‍රිශූලයේ දෙමෝදරට උතුරින් සතරමංසන්ධියක පිහිටි තානායමට ඔවුන් ළඟා වන විට සන්ධ්‍යාව එළඹ තිබින. මාෂා හෙඩ්ල් කැට්ලින්ට මතක තිබුනාටද වඩා තරබාරු වී සිටි අතර ඇය පුරුදු පරිදි විට සපමින් සිටියා ය. එනමුදු ඇය ඔවුන් දෙසට හෙලූයේ එක් නොසැලකිලිමත් බැල්මක් පමණි. "පඩිපෙළ උඩම කාමර දෙකක් තියෙනවා. එච්චරයි අපට දැනට තියෙන්නෙ. ඒවා තියෙන්නෙ ඝණ්ඨා කුළුණට පහළින්. සමහරු නම් කියන්නෙ ඒ කාමරවල සද්දෙ වැඩියි කියලා. ඒ වුනත් ඔබලට කෑම වෙලාව මඟහැරෙන එකක් නෑ. කරන්ට දෙයක් නෑ. අපි කට ගාවටම පිරිලා. ඒ කාමර දෙක ගන්ට, නැත්තං පාරෙ තමා ඉන්ට වෙන්නෙ."

මංසන්ධි තානායම
පඩිපෙළට ඉහළින් වූ කුඩා, පහත් සිවිලමකින් යුතු ඒ කාමර දෙක ඔවුන් වෙනුවෙන් වෙන් කෙරින. "ඔබලාගෙ සපත්තු මෙහෙන් තියලා යන්ට." මුදල් ගැනීමෙන් පසු මාෂා කියා සිටියා ය. "වැඩකාර කොල්ලා ඒවා සුද්ද කරලා තියයි. මට ඕන නෑ ඔබලා මගේ පඩිපෙළ දිගේ මඩ ගාගෙන යනවට. ඝණ්ඨා සද්දෙ අහගන්ට. කෑම වෙලාව පරක්කු වුනොත් කෑම නැතුව තමා ඉන්ට වෙන්නෙ." කැට්ලින්ට මතක තිබුනු ආකාරයේ සිනහවක් හෝ කේක් ගැන හෝ සඳහනක්වත් නොවීය.

ඔවුන් ගේ සවන් බිහිරි කරවන තරමේ මහ හඬකින් රාත්‍රී ආහාරය සඳහා වූ සීනුව නාද වන්නට විය. කැට්ලින් මේ වන විට සිය තෙත් ඇඳුම් මාරු කර තිබින. ඇය කවුළුව අසල අසුනක වාඩි වී ජනෙල් පියන හරහා දිය බිඳු ගලා යන ආකාරය දෙස බලා සිටියා ය. වැහි බිඳු නිසා වීදුරුවෙන් පිටත දිස් වූයේ බොඳවුනු සිත්තමක් මෙනි. පිටත අන්ධකාරය බෝ වෙමින් තිබුනු අතර ප්‍රධාන මාර්ග දෙක හමුවන ස්ථානයේ සතරමංසන්ධිය ඇයට යාන්තමින් මෙන් හඳුනාගත හැකි විය.

මේ මංසන්ධිය ඇගේ සිතේ දෙගිඩියාවක් ඇති කරලන්නට සමත් වී තිබින. ඔවුන් මෙතැනින් බටහිර දෙසට හැරුනහොත් එය රිවර්රන් දක්වා වූ පහසු ගමනක් විය. ඇගේ පියා ඕනෑම අසීරු අවස්ථාවකදී ඇයට මහඟු ඔවදන් දුන් පුද්ගලයකු විය. එමෙන්ම ඇයට මේ මොහොතේ ඔහුත් සමග කතා කිරීමට හා ඉදිරියේදී පැමිණිය හැකි අන්තරායදායක තත්ත්වය ගැන ඔහුට අනතුරු ඇඟවීමට බලවත් උවමනාවක්ද ඇති වී තිබින. වින්ටර්ෆෙල්වලට යුද්ධය පිණිස සූදාණම් වීම අවශ්‍ය නම් මේ කින්ග්ස් ලෑන්ඩින්ග් අතේ දුරින් පිහිටි, බටහිර දෙසින් කාස්ටර්ලී රොක්හි දැවැන්ත සෙවනැල්ල හිස මත වැටී ඇති රිවර්රන්වලට එමෙන් දසගුණයක සූදාණමක් අවශ්‍ය විය. ඇගේ පියා තවමත් පෙර මෙන් ශක්ති සම්පන්නව සිටියා නම් ඇය සමහරවිට ඒ තීරණය ගැනීමටත් ඉඩ තිබින. එනමුදු, හස්ටර් ටලී උතුමානන් දැන් වසර දෙකක සිට අසනීපයෙන් ඇඳට වැටී ඇති අතර සිය දුක් කරදර කියා පෑමෙන් ඔහුව තවත් අවුල් කරන්නට ඇයට සිත දුන්නේ නැත.

නැගෙනහිර දෙසට විහිදුනු මාවත වඩා වනගත හා වඩා අන්තරායදායක ගමනක් විය. එම මාවත ගිරිදුර්ග, වනාන්තර, කඳුකර මුරකපොලු හා ගැඹුරු නිම්න භූමි මැද්දෙන් ඒරින් මිටියාවත දක්වාත්, එතැනින් එහාට ගල්කුළුවලින් ගහන අතැඟිලි දක්වාත් විහිද තිබින. මේ මිටියාවත මැද්දේ, උත්තුංග, කිසිවෙකුටත් තරණය කල නොහැකි අහස උසට නැගුනු කුළුණුවලින් යුත් ඉයරි බලකොටුව පිහිටා තිබින. එහිදී ඇයට ඇගේ සොයුරිය සොයාගත හැකි වනු ඇත... ඇගේ සොයුරිය මෙන්ම නෙඩ් විසින් හඹා යන ප්‍රශ්න රැසකට පිළිතුරු එහිදී ‍සොයාගත හැකිවනු ඇත. ඇයට එවා තිබුනු ලිපියේ සඳහන් කල නොහැකි මට්ටමේ බොහෝ කරුණු ලයිසා නිසැකයෙන්ම දැන සිටිනවා විය හැක. ලැනිස්ටර්වරුන්ව බිඳ දැමීම සඳහා නෙඩ්ට උවමනා කරන ප්‍රධානම සාක්ෂි ඇය සතුව පවතිනවා ඇත. එමෙන්ම, යුද්ධයක් ඇතිවීමට යන්නේ නම් ඒරින්වරුන් හා ඔවුන්ට යටත් නැගෙනහිරදිග වංශාධිපතියන් ගේ සේවය ඔවුන්ට තදින්ම උවමනා වනු ඇත.

එනමුදු මේ කඳුකර මාර්ගය බෙහෙවින් උපද්‍රව සහිත එකක් විය. කපොලුවල කඳු සිංහයින් ගැවසුනු අතර නාය යෑම්ද සුලබ විය. ඒ හැමටම වඩා කඳුකරයේ ම්ලේච්ඡ ගෝත්‍ර වැසියන් බෙහෙවින්ම අන්තරායදායක විය. කඳුකරයෙන් පහළට බැස මං‍කොල්ලකෑම් හා මිනීමැරීම් සිදුකරන ඔවුහු තමා සොයා මිටියාවත දෙසින් සෙබළුන් එන විට සැඟව ගැනීමේ අති දක්ෂයන් වූහ. ජොන් ඒරින් වැනි උසස්ම ගනයේ ප්‍රභූවරයකු පවා මේ මාවතේ යන විට ආරක්ෂාව පතා සෙබළුන් රැසක් පිරිවරා යාමට පුරුදුව සිටියේ ය. එහි යන්නේ නම් කැට්ලින්ට ඇති එකම ආරක්ෂාව වනු ඇත්තේ ලැදි බව පමණක් සන්නාහය කොට ගත් මහලු නයිට්වරයකු පමණි.

නැත. මේ මොහොතේ රිවර්රන් හා ඉයරි වෙනුවෙන් ඇගේ කාලය වැය කල නොහැක. ඇගේ මාවත විහිදෙනු ඇත්තේ උතුරු දෙසට, වින්ටර්ෆෙල්වලට, ඇ‍ගේ පුතුන් හා ඇගේ වගකීම් ඇය එන තෙක් බලා සිටින ස්ථානය දෙසටය. ආරක්ෂාකාරීව බෙල්ල පසුකල පසු ඇගේ සැමියා ගේ යටත් වංශාධිපතියෙකු හමුවී ඒ මගින් රජමාවත හරහා පණිවුඩ යැවීම වඩාත්ම සුදුසු ක්‍රියාමාර්ගය වනු ඇත.

සතරමංසන්ධියෙන් එහා වූ භූමිය වැස්ස නිසා පැහැදිලිව නොපෙනුනද කැට්ලින්ට එය මනාව සිය සිතේ ඇඳ ගත හැකි තරමට ඇය ඒ ගැන දැන සිටියා ය. පාරට එපිටින් වෙළෙඳපළ පිහිටා තිබුනු අතර ඊට සැතපුමක් පමණ ඈතින් ගම්මානය පිහිටියේ ය. එකල එහි වූ ගලින් කල කුඩා සප්තක දේවස්ථානය වටා සුදු හුණු පිරියම් කල කුඩා පැල්පත් පනහක් පමණ තිබුනු අතර පැවැති දිගු සාමකාමී ගිම්හානය නිසා ඒවා දැන් ඊට වඩා වැඩි වී ඇති බැව් නිසැකය. මෙතැනින් උතුරේදී රජමාවත ගංගා ත්‍රිශූලයේ කොළ ගංගාව හා සමගාමීව වැටී තිබින. ඒ වනාහි සාරවත් මිටියාවත් හා නිල්වන් වනාන්තරයෙන් වැසුනු, ඉමක් නැති ජනාකීර්ණ නගර හා ගංගා නිම්නයේ වසන වංශාධිපතීන් සතු ශක්තිමත් මාලිගා බලකොටුවලින් පිරුනු සුන්දර දේශයක් විය.

කැට්ලින් මේ සියල්ලක්ම අතැඹුලක් මෙන් දැන සිටියා ය. සදා එකිනෙකාට එරෙහිව යුද වැදී සිටි බ්ලැක්වුඩ්වරුන් හා බ්‍රැකන්වරුන්. හැරෙන්හෝල්හි ඇගේ හොල්මන් ගුහාවේ තනිව දිවිගෙවන, සිය වංශයේ අවසාන පුරුක වන වෙන්ට් ආර්යාව. තමා හා විවාහ වූ භාර්යාවන් සත්දෙනෙකුටම වඩා වැඩි කලක් ජීවත්වීමේ භාග්‍යය හිමි කරගත්, සිය බලකොටු යුග්මය අනන්ත දරුවන්, මුණුබුරන්, මී-මුණුබුරන්, අවජාතකයන් හා අවජාතක මුණුබුරන්ගෙන් පුරවා ලූ වහා කිපෙනසුළු ෆ්‍රේ උතුමානන්. මේ සියලුදෙනාම ටලී ධජ දරන්නන් වූ අතර අවශ්‍ය ඕනෑම අවස්ථාවක රිවර්රන්හි සේවය පිණිස ප්‍රතිඥා දී සිටියවුන් වූහ. එනමුදු යුද්ධයක් ඇති වුවහොත් මේ සහාය ප්‍රමාණවත් වනු ඇත්දැයි කැට්ලින් කල්පනා කලාය. ඇගේ පියා මිහිමත වෙසෙන දැඩිම මිනිසා වූ අතර අවශ්‍යතාවක් ඇති වුවහොත් ඔහු නොපැකිලවම සිය වංශාධිපතියන් කැඳවනු ඇති බැව් ඇය ඉඳුරා දැන සිටියා ය‍... එහෙත් මේ කැඳවීමට පිළිතුරු වශයෙන් මේ වංශාධිපතීන් පැමිණෙනු ඇත්ද? ඩැරීවරුන්, රයිගර්වරුන් හා මූට්න්වරුන් රිවර්රන්වලට පක්ෂපාතී පවුල් වුවද ගංගා ත්‍රිශූලයේ යුද්ධයේදී ඔවුන් රේගාර් ටාර්ගේරියන් ගේ පාර්ශ්වය ගෙන සටන් වැද තිබින. එමෙන්ම ෆ්‍රේ උතුමානන් සිය සෙබළුන් කැටුව යුදට බටුයේ සටන් නිමා වී බොහෝ වේලාවකට පසුව විය. මේ ක්‍රියාව මගින් ඔහු කුමන හමුදාවක් හා සම්බන්ධ වීමේ අරමුණින් පැමිණියාදැයි යන කහට බොහෝ දෙනෙකු‍ ගේ සිතේ සැක උපදවන්නට සමත්ව තිබින. තමා පැමිණියේ ඔවුන් හා එක්වීමට යැයි යුද්ධයේ ජයග්‍රාහකයින්ට ඔහු දිවුරා සපථ කලද එදායින් පසු ඇගේ පියා ඔහුව හැඳින්වූයේ 'පරක්කු වෙන ෆ්‍රේ උතුමානන්' යන නමිනි. යුද්ධයක් ඇති නොවනු ඇතැයි කැට්ලින් උනන්දුවෙන් ප්‍රාර්ථනා කලාය. එවැන්නක් ඇති වීමට කොහෙත්ම ඉඩ දිය නොහැක.

සීනු නාදය මැකී යද්දී සෙර් රඩ්‍රික් ඇය අසලට ආවේය. "අපට අද රෑ කන්ට ඕන නම් ඉක්මන් කරලා යන්ට වෙයි මගේ ආර්යාවනි."

"අපි බෙල්ල පහු කරනකම් ඔය නයිට්-ආර්යාව කතාව නැවැත්තුවොත් හොඳයි. සාමාන්‍ය සංචාරකයො විදියට ගියාම අවධානය ලැබෙන්නෙ අඩුවෙනුයි. අපි කියමු පවුලේ මොකක් හරි වැඩකට ගමනක් යන තාත්තෙකුයි දුවෙකුයි කියලා. මොකද කියන්නෙ?"

"ඔබ කැමැති විදියක් මගේ ආර්යාවනි." සෙර් රඩ්‍රික් එකඟ විය. එනමුදු කැට්ලින් ගේ සිනාහඬ නිසා තමා සිදු කල අත්වැරැද්ද ඔහුට අවබෝධ විය. "පරණ පුරුදු එහෙම ලේසියෙන් නැතිවෙලා යන්නෙ නෑ මගේ- මගේ දුවේ." සුපුරුදු ලෙස සිය උඩුරුවුල අතගෑමට ගියද එය දැන් අහිමිව ගිය බැව් මතක් වූයෙන් ඔහු කෝපයෙන් මෙන් සුසුමක් හෙලීය.

කැට්ලින් ඔහු ගේ බාහුව යටින් අතක් දැමුවා ය. "එන්ට තාත්තෙ‍. ඔයාට දකින්ට පුළුවන් වෙයි මාෂා හෙඩ්ල් බොහොම රහ කෑම මේසයක් ලෑස්ති කරලා තියෙන විදිය. හැබැයි වැඩිය එයාට ප්‍රශංසා කරන්ට යන්ට එපා. එයා හිනාවෙන විදිය දකින්ට ඔයා ආසා නැති වෙයි."

ආහාර ගන්නා ප්‍රධාන ශාලාව දිගු එකක් වූ අතර එහි එක් කෙලවරක දැවැන්ත පීප්ප රැසක් ද අනික් පස ගිනිඋඳුනක් ද විය.. වැඩකාර කොලුවෙක් දුම් දමන මස් දීසි ඔසවාගෙන එහාට මෙහාට දිව ගිය අතර මාෂා විට සපමින් පීප්ප වලින් බීර පුරවමින් සිටියා ය. නගර වැසියන්, ගැමියන් හා සියලුම ආකාරයේ සංචාරකයන්‍‍ගෙන් සැදි ජන සමූහයකින් බංකු පිරී ඉතිරී ගොස් තිබින. මෙවැනි මංසන්ධි තානායම් සෑමවිටම පාහේ විවිධාකාරයේ මිනිසුන් එකට හමුවන අපූරු ස්ථාන විය. කළු දම් පැහැ දෑත්වලින් යුතු රෙදි වර්ණ ගන්වන්නන් හා පිළි ගඳ හමන මාළුකාරයින්, හැඩිදැඩි මාංශපේශීන්ගෙන් හෙබි කම්මල්කරුවෙක් හා කෙට්ටු මහලු පූජකයෙක්, දරදඬු කුලී හේවායින් හා තරබාරු වෙළෙන්දන්, මේ සැවොම බංකු මත තෙරපී අසුන් ගෙන එකිනෙකා වෙත ඕපාදූප හුවමාරු කරගනිමින් උන්හ.

කැට්ලින් බලාපොරොත්තූ වූවාටද වඩා වැඩි සෙබළුන් ප්‍රමාණයක්ද එහි අසුන් ගෙන සිටියහ. ගිනිමැලය අසල අසුන්ගෙන සිටි තිදෙනෙක් බ්‍රැකන් නිළ ලාංඡනය වන රතු පැහැ සෛන්ධවයාගේ සලකුණ පළඳා සිටියහ. නිල් පැහැ මුදු දම්වැල් සන්නාහයෙන් සැරසී රිදී පැහැ වානේ ශිරස්ක පැළැඳ සිටි විශාල කණ්ඩායමක් තවත් පසෙක වූහ. ඔවුන් ගේ උරහිසේ වූයේ තවත් සුපුරුදු සලකුණක් වූ ෆ්‍රේ වංශයේ ද්විත්ව බලකොටුව විය. ඇය පරීක්ෂාවෙන් ඔවුන් ගේ මුහුණු පිරික්සා බැලුවද ඇයව හඳුනා ගැනීමට තරම් ඔවුන් ලාබාල වැඩි විය. ඇය උතුරට යද්දී ඔවුන් අතර සිටි ජ්‍යේෂටතම සෙබළා යාන්තම් බ්‍රැන් ගේ වයසේ වන්නට ඇත.

සෙර් රඩ්‍රික් විසින් කුස්සිය අසලට වන්නට පිහිටි මේසයක හිස් ඉඩක් සොයාගෙන තිබින. මේසයේ අනිත් පස වූ කඩවසම් තරුණයෙක් වීණාවක් සුසර කරමින් හුන්නේ ය. "ඔබලාට සප්තකයේම පිහිටයි! මගේ හොඳ මගියනි." ඔවුන් අසුන් ගනිද්දී තරුණයා කීවේය. ඔහුට ඉදිරියෙන් මේසය මත හිස් වයින් වීදුරුවක් විය.

"ඔබටත් එසේම වේවා!" කැට්ලින් පිළිතුරු දුන්නා ය. සෙර් රඩ්‍රික් පාන්, මස් හා බීර ගෙන එන්නැයි ඉල්ලා සිටියේ ය. ගායකයා, වසර දහඅටක පමණ වූ තරුණයා, ඔවුන් දෙස කෙලින් බලා ප්‍රශ්න රැසක් එකවර විචාලේ හරියට ඔහු ඒ කිසිවකට පිළිතුරක් බලාපොරොත්තු නොවන්නාක් තරම් ඉක්මනිනි. ඔවුන් පැමිණියේ කොහේ සිටද? ඔවුන් යන්නේ කොහේද? ඔවුන් දන්නා නවතම පුවත් මොනවාද? "අපි මීට සති දෙකකට විතර කලින් තමා කින්ග්ස් ලෑන්ඩින්ග්වලින් පිටත් වුනේ." කැට්ලින් මේ අතරින් පහසුම පැණයට මුලින්ම පිළිතුරු දුන්නා ය.

"මම එහාට තමා යන්නෙ." තරුණයා කීවේය. ඇය සැකකල පරිද්දෙන්ම ඔහු අනුන් ගේ විස්තර ඇසීමට වඩා තමන්‍ ගේ විස්තර පැවසීමට වැඩි අභිරුචියක් දැක්වූවකු විය. ගායකයින් වනාහි අන් සියලුම දෙයට වඩා තමන් ගේ කටහඬ ඇසීමේ ආශාවෙන් පෙලෙන්නෝ වෙති. "හස්තයේ තරගාවලිය කියන්නෙ හොඳට සල්ලි තියෙන උසස් වංශාධිපතියන් එක් රැස් වෙන තැනක්. අන්තිම වතාවෙ මම එහෙන් පිටවෙලා ආවෙ උස්සන් යන්ටත් බැරි තරම් රිදී කාසි තොගයක් පුරවගෙනයි... ඇත්තෙන්ම කියනවා නම් මට එහෙම අරන් එන්ට තිබුනා මම ඒ ඔක්කොම රජුන් මරන්නා වෙනුවෙන් ඔට්ටු ඇල්ලුවෙ නැත්තං."

"සූදු කෙලින එකා දිහා දෙයියොවත් බලන්නෙ නෑ." සෙර් රඩ්‍රික් දැඩි ස්වරයෙන් කීවේය. ඔහු උතුරේ මිනිසකු වූ අතර ස්ටාර්ක්වරුන්ට මෙන්ම ඔහුටද තරගාවලීන් යනු අපථ්‍ය දෙයක් විය.

"දෙයියො මං දිහා රැවුවා තමා. ඒකනං ඇත්ත. ඔබේ නපුරු දෙයියොයි, කුසුම් නයිට්වරයායි තමා මගේ දවස කෑවෙ."

"කිසිම සැකයක් නෑ ඒක උඹට හොඳ පාඩමක් වෙන්ට ඇති." සෙර් රඩ්‍රික් කීය.

"ඇත්තෙන්ම. මම ඒකෙන් හොඳ පාඩමක් ඉගෙනගත්තා. මෙදා පාර මම ඔට්ටු අල්ලන්නෙ සෙර් ලෝරාස්ට."

සෙර් රඩ්‍රික් නැවත වතාවත් තමන්ට තවදුරටත් අහිමි උඩුරැවුල අතගෑමට තැත් කලේය. නමුදු මේ මොහොතේදී වැඩකාර කොලුවා කෑම දීසිද සමගින් ඔවුන් අභිමුවට පැමිණියේ ය. පාන් කැබලි සහිත පිඟන් ඔවුන් ඉදිරියෙන් තැබූ ඔහු ඒ මතට උණුසුම් මස් හා හොදි බෙදුවේ ය. තවත් දීසියක ලූණු, ගම්මිරිස් හා බදින ලද බිම්මල් විය. ඔවුන්ට බීර රැගෙන එන්නට කොලුවා නැවත පිටව ගිය අතර සෙර් රඩ්‍රික් මහත් අභිරුචියෙන් වැඩට බැස්සේ ය.

මැරිලියන්
"මගේ නම මැරිලියන්." ගායකයා කීවේ සිය වීණාවේ තතක් පිරිමදිමිනි. "කිසිම සැකයක් නෑ, ඔබලා මීට කලින් මම සෙල්ලම් කරනවා අහලා ඇති."

ඔහු ගේ මේ විසුළු කතා ස්වරූපය කැට්ලින්ව සිනා ගැන්වීමට සමත් විය. වින්ටර්ෆෙල් වැනි ඈත උතුරට ගායකයින් පැමිණියේ ඉතා කලාතුරකින් නමුදු රිවර්රන්හි ගෙවූ ළමා කාලය නිසා මෙවැනි ඉබාගා‍තේ යන ගායකයින් කෙබඳු අයදැයි මනා දැනුමක් ඈ සතු විය. "කනගාටුයි. අපට අහන්ට ලැබිලා නෑ."

ඔහු වීණාවේ තතක් පිරිමැද මෘදු රාවයක් නැංවීය. "ඒක බොහොම අවාසනාවන්ත දෙයක්. ඔබලා අහලා තියෙන හොඳම ගායකයා කවුද?"

"බ්‍රාවොස්වල ආලියා." සෙර් රඩ්‍රික් සැනෙන් කීවේය.

"ආහ්! ඒ නාකි හෝන්තුවට වඩා මම බොහොම ඉස්සරහින් ඉන්නෙ. ඔබලා ළඟ රිදී කාසියක් හෙම තියෙනවා නම් මට ඒක ඔප්පු කරලා පෙන්නන්ට පුළුවන්."

"මගේ ගාව තඹ කාසි කීපයක් නං ඇති. ඒත් උඹේ උඩුබිරීම් අහන්ට ඒක වියදම් කරනවාට වඩා ළිංපතුලකට වීසි කරලා දාන එක හොඳයි." සෙර් රඩ්‍රික් නෝක්කඩු ස්වරයෙන් කීවේය. ගායකයින් කෙරෙහි ඔහු තුළ ඇති අමනාපය ප්‍රකට කරුණක් විය. සංගීතය වනාහි ගැහැණු දරුවන්ට ගැලපෙන දෙයක් වන අතර මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන ඕනෑම තරුණයෙක් අසිපතක් වෙනුවට වීණාවක් අතට ගන්නේ මන්දැයි යන්න ඔහුට සිතා ගත නොහැකි කරුණක් විය.

"ඔබේ සීයාට හරිම ඉක්මනට තරහ යනවනෙ." මැරිලියන් කැට්ලින්ට කීවේය. "මම හැදුවෙ ඔබට ගෞරවයක් කරන්ටයි. ඔබේ ලස්සන රූපයට පූජාවක් කරන්ටයි. ඇත්තෙන්ම කියනවා නම් මම ගැලපෙන්නෙ රජවරුන්ටයි උසස් වංශාධිපතීන්ටයි සිංදු කියන්ට."

"අපොයි! ඇත්තෙන්ම. මටත් ඒක පේනවා." කැට්ලින් කීවාය. "මං අහලා තියෙනවා ටලී උතුමානන් සිංදු අහන්ට හරිම මනාපයි කියලා. කිසිම සැකයක් නෑ ඔබ රිවර්රන්වලට ගිහිල්ලා ඇති."‍‍

"සියපාරක් විතර ගිහිල්ලා තියෙනවා. එයාලා එහෙ මං වෙනුවෙන් කාමරයක් වෙන් කරලා තියාගෙන ඉන්නෙ. තරුණ උතුමානන් හරියට මගේ සහෝදරයෙක් වගේ මට ආදරෙයි."

කැට්ලින්ට සිනා ගියේය. මේ කියමන ගැන එඩ්මුයර් කුමක් කියනු ඇත්දැයි ඇයට සිතුනි. ඇගේ සොයුරා ආදරය කල කාන්තාවක වරක් ගායකයෙකු විසින් සිය වසඟයට ගෙන තිබුනු අතර එදා සිට ඔහුට සියලුම ගායකයින් අරහං විය. "එතකොට වින්ටර්ෆෙල්?" ඇය ඇසුවා ය. "ඔබ උතුරේ සංචාරය කරලා නැද්ද?"

"ඒ මොකටද? එහෙ පිරිලා තියෙන්නෙ හිම කුණාටුවලිනුයි, වලස් හම් පොරවගත්තු මිනිස්සුන්ගෙනුයි විතරයි. වෘකයින්ගෙ උඩුබිරීම්වලට වඩා හොඳ සංගීතයක් රස විඳින්ට ස්ටාර්ක්ලා දන්නෙ නෑ."

කාමරයේ අනිත් පස වූ දොර මහ හඬක් නගමින් ඇරෙනු ඇයට යාන්තමින් මෙන් ඇසින.

"තානායම්කාරයො." ඇයට පිටුපසින් සේවකයකු ගේ හඬක් නැගින. "අපේ අශ්වයින්ට ඉස්තාලෙ සූදාණම් කරන්ට. මගේ ස්වාමියා, ලැනිස්ටර් උතුමානන්ට කාමරේකුයි හොඳ උණුසුම් නාන බාල්දියකුයි ලෑස්ති කරන්ට."

"අනේ දෙයියනේ!" සෙර් රඩ්‍රික් ගේ මුවින් පිටවුනු අතර කැට්ලින් වහා අතක් විහිදා ඔහුව නිහඬ කලාය. ඇගේ අතැඟිලි ඔහු ගේ යටි බාහුව තදින් බදාගත්තේ ය.

මාෂා හෙඩ්ල් දෙකට නැවෙමින් සිනාසෙමින් ඉදිරියට ආවාය. "මට සමාවෙන්ට මයේ උතුමානනි. ඇත්තෙන්ම අපි සම්පූර්ණයෙන්ම පිරිලා. හැම කාමරයක්ම ගිහිල්ලා ඉවරයි."

එතැන මිනිසුන් සිවුදෙනෙකු සිටි බැව් කැට්ලින් දුටුවා ය. නිශා රැදුමේ කළු ඇඳුමින් සැරසුනු මහලු මිනිසෙක්, සේවකයින් දෙදෙනෙක්... සහ ඔහු. සිරුරින් කුඩා වුවද නිර්භීතව සිටගෙන සිටි ඔහු. "මගේ මිනිස්සුන්ට පුළුවන් උඹේ ඉස්තාලෙ නිදාගන්ට. මං ගැන බැලුවොත්, ඇත්තෙන්ම උඹට පේනවනෙ, මට එච්චර ලොකු ඉඩක් යන්නෙ නෑ." ඔහු සමච්චල් සහගත ස්වරයෙන් නියවී ය. "ගින්න උණුසුම් නං, පිදුරු මෙට්ටෙ මකුණෝ නැත්තං මට ඒ හොඳටම ඇති."

මාෂා හෙඩ්ල් මේ වන විට කැට්ලින් සමීපයෙන් සිටගෙන උන්නා ය. "මයෙ උතුමානනි. කිසිම ඉඩක් නෑ. ඒක මේ තරගාවලිය හන්දා. මම මොනවා කරන්නද?ආහ්..."

සිය පසුම්බියෙන් කාසියක් ඇදගත් ටිරියන් ලැනිස්ටර් එය හිසට ඉහළින් උඩ දමා නැවත අල්ලා ගත්තේ ය. කැට්ලින් අසුන් ගෙන සිටි මේ ඈත අන්තයේ වුව රන්කාසියේ දිස්නය පැහැදිලිව දිස් විය.

ගෙවී ගිය නිල් පැහැ සළුවක් පැළැඳසිටි නිදහස් අසරුවෙක් නැගිට සිටියේ ය. "ඔබතුමාව මගේ කාමරේට සාදරයෙන් පිළිගන්නවා මයෙ උතුමානනි."

"අන්න ඉන්නවා මොළේ තියෙන මනුස්සයෙක්." රන්කාසිය කාමරය හරහා පියාඹා ගිය අතර නිදහස් අසරුවා අත දිගුකර එය අල්ලා ගත්තේ ය. "ඒ වගේම බොහොම කඩිසර මිනිහෙක්." කුරුමිට්ටා නැවත මාෂා හෙඩ්ල් දෙසට හැරුනි. "මම විශ්වාස කරනවා උඹට කෑම සපයන එක ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා?"

"ඔබතුමා කැමැති ඕනෑම දෙයක් මයෙ උතුමානනි. ඕනෑම දෙයක්." තානායම්පතිනිය පොරොන්දු වූවාය.

ලැනිස්ටර් යාබද මේස දෙස බැල්මක් හෙලුවේ ය. "උඹ මේ මිනිස්සුන්ට දෙන දේවල්ම මගේ මිනිස්සුත් කයි. දෙගුණයක් වැඩියෙන් ගෙනෙං. අපි බොහොම දුරකතර ගෙවාගෙනයි එන්නෙ. මට ගෙනෙං බැදපු වළිකුකුළෙක්, තාරාවෙක්, පරෙවියෙක් ඔය ඕන දෙයක්. ඒත් එක්කම උඹේ තියෙන හොඳම වයින් ගුරුලේත්තුවකුත් එවපං. යොරේන්, උඹ මගෙත් එක්ක වාඩිවෙලා කෑම කනවද?"

"එහෙමයි මයෙ උතුමානනි." කළු සොයුරා පිළිවදන් දුනි.

කුරුමිට්ටා ඔවුන් අසුන් ගෙන සිටි කාමරයේ ඈත කෙලවර දෙස බැලීමටවත් පමා නොවීය. තමන් දෙදෙනා අතර මිනිසුන්ගෙන් පිරුනු මේස කිහිපයක් පිහිටා තිබීම ගැන ඇය දෙවියන්ට පින් දෙද්දී මැරිලියන් හදිසියේම නැගිට සිටියේ ය. "මගේ ලැනිස්ටර් උතුමානනි." ඔහු කෑ ගැසුවේ ය. "ඔබතුමා කෑම කන අතරේ ඔබතුමාව පිනවන්ට මට අවසර දෙන්ට. ඔබතුමාගෙ පියාණන් කින්ග්ස් ලෑන්ඩින්ග්වලදි ලබපු ජයග්‍රහණය ගැන කියැවෙන සිංදුවක් මම ගයන්නං."

"මගේ රෑ කෑම වේල විනාශ කරලා දාන්ට ඊට වඩා හපන් තවත් දෙයක් නෑ." කුරුමිට්ටා වියළි ස්වරයෙන් කීය. ඔහු ගේ අසමාන දෑස් මේ ගායකයාව මොහොතක් මැන බැලූයේ ඉවතට හැරී යන්නට ගොස්... කැට්ලින් මත නතර විය. ඔහු ප්‍රහේලිකාවකට මැදි වුනු ස්වරූපයෙන් මොහොතක් ඈ දෙස බලා සිටියේ ය. ඇය වහා සිය මුහුණ ඉවතට හරවා ගත්තද ඒ වන විට පමා වැඩි විය. කුරුමිට්ටා සිනහවක් පෑවේය. "ස්ටාර්ක් ආර්යාවනි. මේකනං කොහෙත්ම බලාපොරොත්තු නොවිච්ච සතුටක්." ඔහු කීය. "ඔබ වින්ටර්ෆෙල්වල හිටියෙ නෑ කියලා දැක්කම මට බොහොම කණගාටු දැනුනා."

මැරිලියන් මුව අයාගත්වන ඈ දෙස බැලුවේ ය. කැට්ලින් හෙමින් සීරුවේ සිය දෙපයින් සිට ගනිද්දී ඔහු ගේ මුහුණේ වූ ව්‍යාකූල බව නැතිව ගොස් ඒ වෙනුවට කෝපය එතැනට පැමිණියේ ය. සෙර් රඩ්‍රික් අවලාද ස්වරයෙන් මුමුනනු ඇයට ඇසින. 'මේ මිනිහා ප්‍රාකාරයේම නැවැතී සිටියානම්...' ඇය සිතුවේ ය.

"ස්ටාර්ක්... ආර්යාව...?" මාෂා හෙඩ්ල් ගොත ගැසුවා ය.

"මම අන්තිම වතාවෙ මෙහෙ නිදාගනිද්දි මට කිවුවෙ කැට්ලින් ටලී කියලා." ඇය තානායම්පතිනියට කීවා ය. සෙනඟ අතරින් නැගුනු කටුකුටුවත්, තමා දෙසට එල්ල වූ දෑස් සමූහයත් ඇයට දැනින. කැට්ලින් කාමරය පුරා බැල්මක් හෙලුවා ය. නයිට්වරුන් හා අනිකුත් සෙබළුන් ගේ මුහුණු පරීක්ෂාවෙන් විමසා බැලුවා ය. සිය හද ගැහෙන වේගය අඩුකරලීමට මෙන් ගැඹුරු හුස්මක් ගත්තා ය. ඇයට එම අවදානම ගැනීමට අවශ්‍ය ද? ඇය ඊට සූදාණම් ද? ඒ ගැන සිතා මතා කල් මැරීමට තරම් දැන් කාලයක් නොමැත. ඇයට ඇත්තේ මොහොතක් පමණි. ඇගේම කටහඬ සිය දෙසවන් තුළ රැවු දෙනු ඇයට ඇසින. "ඔබ, ඔය කෙලවරේ වාඩි වෙලා ඉන්න කෙනා." ඇය මෙතෙක් වේලා නොදුටු පසෙක සිටි මහලු මිනිසකු ඇමතුවා ය. "ඔබේ කබායෙ ඔය ගෙත්තම් කරලා තියෙන්නෙ හැරෙන්හෝල්වල කළු වවුලාද සෙර්?"

මහලු මිනිසා නැගිට සිටියේ ය. "එහෙමයි මගේ ආර්යාවනි."

"වෙන්ට් ආර්යාව තවමත් මගේ තාත්තගෙ, රිවර්රන්වල හස්ටර් ටලී උතුමානන්ගෙ අවංක මිතු‍රියක්ද?"

"අනිවාර්යයෙන්ම." මිනිසා නිර්භීත තිර ස්වරයෙන් පිළිතුරු දුනි.

නිහඬවම නැගිට සිටි සෙර් රඩ්‍රික් සිය අසිපත කොපුවෙන් බුරුල් කලේ ය. කුරුමිට්ටා කිසිවක් සිතා ගත නොහැකි බැල්මෙන් ඇසිපිය ගසමින් ඔවුන් දෙස බලා සිටියේ ය. ඔහු ගේ අසමාන දෑස්වල ඇති ප්‍රහේලිකාත්මක බැල්ම ඇය දුටුවා ය.

"රතු සෛන්ධවයා කියන්නෙ රිවර්රන්වලට බොහොම ආදරයෙන් පිළිගන්න සලකුණක්." ඇය ගිනිමැලය අසල අසුන්ගෙන සිටි තිදෙනා අමතා කීවාය. "මගේ තාත්තා, ජේනස් බ්‍රැකන්ව පිළිගන්නෙ එයාගෙ බොහොම පැරණි, බොහොම පක්ෂපාතී යටත් වංශාධිපතියෙක් විදියටයි."

මිනිසුන් තිදෙනා අවිනිශ්චිත බැලුම් හුවමාරු කරගත්හ. "එතුමන්ගෙ විශ්වාසය ගැන අපේ උතුමානන් බොහොම සතුටු වේවි ආර්යාවනි." ඔවුන්ගෙන් එකෙක් අතීරණාත්මක ස්වරයෙන් පැවසී ය.

"ඔබේ තාත්තට මේ වගේ හොඳ යාළුවො ගොඩක් ඉන්න එක ඇත්තටම ඊරිසියා හිතෙන වැඩක්." ටිරියන් උපහාසාත්මක ස්වරයෙන් කීය. "ඒ වුනත් ඔබ මේ කරන්ට යන්නෙ මොකක්ද කියලානම් මට තේරෙන්නෙ නෑ ස්ටාර්ක් ආර්යාවනි."

ඔහුව නොතකා හැරි ඇය නිල්-අළු පැහැයෙන් සැරසී සිටි කණ්ඩායම වෙත හැරුනා ය. වඩාත්ම වැදගත් වන්නේ ඔවුන් බව ඇය දැන සිටියා ය. එතැන මිනිස්සු විස්සකට වඩා සිටියහ. "ඔබේ සලකුණත් මම හොඳට අඳුරනවා. ෆ්‍රේ උතුමානන්ගෙ ද්විත්ව බලකොටුව. ඔබලාගෙ උතුමානන් හොඳින්ද මහත්වරුනි?"

කණ්ඩායමේ කපිතාන් නැගිට සිටියේ ය. "වෝල්ඩර් උතුමානන් බොහොම හොඳ සනීපෙන් මගේ ආර්යාවනි. එතුමන්ගෙ අනූ වෙනි උපන්දිනේට අලුත් භාර්යාවක් සරණපාවා ගන්ටයි එතුමගෙ අදහස. ඒකට ඔබේ පියාටත් ආරාධනා කරලයි තියෙන්නෙ. එතුමා විවාහ මංගල උත්සවයට සහභාගි වෙලා අපට ගෞරව දක්වයි කියලා අපි බලාපොරොත්තු වෙනවා."

ටිරියන් ලැනිස්ටර් අවඥාවෙන් මෙන් හිකි හිකි ගා සිනාසුනි. ඔහු තමාට අයත් වූ බැව් කැට්ලින් ඒ මොහොතේ වටහා ගත්තා ය. "මේ මිනිහා ආගන්තුකයෙක් වගේ මගේ ගෙදරට ආවා. ඊට පස්සෙ, එහෙ ඉන්න ගමන් මගේ පුතාව, අවුරුදු හතක පොඩි කොල්ලාව මරන්ට කුමන්ත්‍රණය කලා." ඇය ටිරියන් දෙසට අතක් දිගුකරගෙන මුලු කාමරයටම ඇසෙන සේ නිවේදනය කලා ය. සෙර් රඩ්‍රික් අසිපත අතැතිව ඇය පසෙකින් සිට ගත්තේ ය. "රොබර්ට් රජතුමාගෙ නාමයෙන් හා ඔබලා සේවය කරන වංශාධිපති උතුමන්ගේ නාමයෙන් මම ඉල්ලා හිටිනවා, එයාව අත්අඩංගුවට අරන්, රජතුමාගෙ යුක්තිය ඉෂ්ට කරන්ට, වින්ටර්ෆෙල්වලට එයාව ආපහු අරන් යන්ට මට උදවු කරන්ටයි කියලා."

ඒ මොහොතේ ඇයට වඩාත්ම සතුට ගෙනාවේ එකාවන්ව කොපුවෙන් පිටතට ඇදුනු අසිපත් දුසිමක නාදය ද නොඑසේ නම් ටිරියන් ලැනිස්ටර් ගේ මුවේ ඇඳී තිබුනු බැල්ම ද යන්න ඇයට සිතා ගත නොහැකි විය.



Ser Rodrik Cassel: “I might have a copper or two, but I’d sooner toss it down a well than pay for your howling.”

79 comments:

  1. කෙළියා නේද? කැට්ලින් හිතාගෙන ඉන්නේ අර කඩුව මුගේ කියලනේ... පව් අහිංසක කොටා... බ්‍රැන් ට සෑදලයක් හදන්න ප්ලෑනකුත් දීලානෙ අවේ....

    ReplyDelete
    Replies
    1. කොහොමත් තිසර ලැනිය නං ඕකෙන් බේරෙනව...
      හෙක් හෙක්

      Delete
    2. සමහර වෙලාවට කොටා පවු කියලත් හිතෙනවා තමා. ඒ වුනාට මූ ගල් ආඳා.. ;-)

      Delete
    3. Moray නම් කන්ට හරි පුළුවන්. මූව කන්ටත් බෑ නෙව. අර කිවුවෙ එක පාරක් 'කෑවොත් දිරවන්නෙ නැතිවෙයි' කියලා..

      Delete
    4. //මූව කන්ටත් බෑ නෙව.//

      හැලපෙ වෙස්ටේරොස් නැති නිසා එහෙම හිතා ගම්මු

      Delete
    5. හැලපෙ ගාව තියනවා ඕකට ඕනෙ රෙසිපිය.

      එයා වරායෙ ඉන්න කාලෙ කිටිය තමා දීලා තියෙන්නෙ. ඉස්සෙල්ලම ඔලුව කපලා අයින් කරනවා. ඊට පස්සෙ හොඳට ලුණු, ගොරකා, අබ, විනාකිරි දාලා තියලා පත අට එකට හින්දලා ගල් බාගයක් එක්ක ගත්තාම විස නැසෙනවා"ලු"

      Delete
    6. ඔය හැලපය වරායේ මොනවලු ද කරේ?
      අරිෂ්ට සම්බන්ද වැඩ වගේ තම පෙන්නේ නම් :P

      Delete
    7. මොනවා හරි ඉඳි කිරීම් සම්බන්ධව කියලයි, මයෙ හිතේ. ගල් ලෝඩ් බාපු කතාවක් කියල තිබුනෙ :P

      Delete
    8. වරායේ water breaker එක හැදුවේ ඔය ගල් ලෝඩ් වලින් වෙන්ටෑ එහෙනම්. :O

      Delete
  2. Menu for හැලපෙ- ලූණු, ගම්මිරිස් හා බදින ලද බිම්මල් දුම් දමන මස් දීසි බීර හෝ ඉරිඟු හෝ මී පැණි & අද විශේෂ -මැටි කේක් !!

    ReplyDelete
    Replies
    1. එතකොට .. //බැදපු වළිකුකුළෙක්, තාරාවෙක්, පරෙවියෙක්// එක්කෝ ඒ කාලේ පරවියෝ ලොකුවට ඉන්න ඇති... නැත්නම් උන්ගේ මොනවා කන්නද?

      Delete
    2. @තිසර, දැනුත් pigeon pie ජනප්‍රිය dish එකක්නෙ?

      ඒත් අපේ ෆේවරිට් මැටි කේක් !

      Delete
    3. අද මොකුත් කියන්න දෙයක් ඉතුරුවෙලා නෑ,කෑම සරුවටම තියෙනවා.ටැන්කිව් බුරාස්.මම නාගෙනම එඤ්ඤං.

      Delete
    4. තිසර, quail පරෙය්යක් තරංවත් නෑනෙ. ඒත් ඔය තීන්නෙ යසට මස්!

      මෙහෙ ඉන්න ඊජිප්තු කාරයො පාරෙ ඉන්න පරෙය්යොන්ව හොරාට අල්ලල රෝස්ට් කරගන්නව.

      Delete
    5. මම කාලම නෑනෙ, පරෙයියෙක්... වටුවා නම් සැරයක් කාලා තියනවා.

      Delete
    6. හැලපෙ තාම නානවද? ඔය හයියෙන් හයියෙන් ඇහෙන්නෙ කුණු අතුල්ලන සද්දෙ වෙන්ටෑ..

      ඇනුවල් බාත් එක දාලා එනකොට කෑම ඉතුරුවෙලා තියෙයිද දන්නෙ නෑ. මෙන්න මෙහෙ කට්ටිය වටවෙලා ගුනාගුන විශ්ලේෂණය කරමින් කොටාබානවා.. :-D

      Delete
    7. //ගුනාගුන විශ්ලේෂණය කරමින් කොටාබානවා//

      කොටා? ඒ කියන්න ආඳත් menu එකේ?

      Delete
    8. යකෝ කෑම ටික දැක්කම මාෂා හෙඩ්ල් ගාව මටත් නතර වෙන්ට හිතයි.

      Delete
    9. පරෙස්සමින් ඈ.. ඔය තානායම හරි භයානක තැන.. හැමදාම වලි..

      Delete
    10. @තිසර,

      ඔය පැත්තේ අර කොට්ට ගෙඩි වගේ පරෙයියෝ නැද්ද? පව් අප්පා මම කීවේ පරෙයියොන්ට.:P

      Delete
  3. // හැරෙන්හෝල්වල කළු වවුලාද සෙර්?"//
    මේ PoM, වවුලා කියන්නෙ බෝදිලිං විශෙෂයක් නේද?
    අර රජකකුලධුරන්දර බස් සත්වවිද්යාඥතුමාට මේ දවස්වල පටි fetish එකක් තියන නිසා අහගන්න කෙනෙක් නෑනෙ. කියයිද ?

    ReplyDelete
    Replies
    1. වවුලා කියන්නෙ මී වර්ගයක්නෙ. අහල නැද්ද වවුල්ලු බදු කලෙක්ටර්ලගෙන් බේරුනු විදිය?

      Delete
    2. ටැක්ස් කලෙක්ටර්ලට ඔව්ව කියල බේරෙන්න පුලුවන් ඉන්දික ඒත් මෙතන මීයෙක් කිව්වොත් වෙනදේ දන්නවනෙ. තාරා බෝදිං වෙස්ගත් අහිංසක බස්.............

      Delete
    3. වෙස්ටෙරෝස්වල රෑට පණීවුඩ යවන්නෙ වවුලො අතේද දන්නෙ නෑ නේද? කපුටොනං රෑට දොයියනවනෙ. බස්සො අතේ යවන්ට විශ්වාස නෑ නෙ. ;-)

      Delete
    4. අපෝ ඔය බශ්ෂ නම් මෙලෝ විස්වායක් තියන්ට බැරි සතා. අරිෂ්ට ණයම තියනවා බර ගානක්

      Delete
    5. චැ, චැ ඒම කියාන්ට එපා , සෑර් . එව්වා සතේට බේරනවා පඩි ලැබිච්ච ගමන්.

      ඔහෙලට කියන්න මේ ගොං රජා පාටි දාලම භාණ්ඩාගාරෙ හිස්. ඉතිං පඩි පරක්කුයි.

      හා, අද නං කෑම,බීම දීලා ඇදලා තියනවා ලෙසටම :)

      Delete
    6. මේ බස්සා විශ්වාස කරන්ට බෑලු...:P

      Delete
  4. හිහික්...
    මං හිතුවෙ අද කතාව බොහොම බෝරං වෙයි කියල..
    ඒත් කැට්ලිංට පිං සිද්ද වෙන්න එහෙම අවුලක් නෑ...
    මෙලෝ රහක් නං නෑ තමා...
    ඒත් අද දවසෙ හැටියට...
    අයි ලෙව් කැට්ලිං

    ReplyDelete
    Replies
    1. මෙලෝ රහක් නෑ කිවුවෙ තානායමේ කෑම වේල වෙන්ටෑ.. :-D

      Delete
    2. //අයි ලෙව් කැට්ලිං//

      හැබෑට? :P

      Delete
  5. හපොයි මේ වගේ ගොන් බඳින කණුවක්

    ReplyDelete
    Replies
    1. Pra Jay ට ප්‍රසිද්ධියේ එහෙම කියන්ට එපා. හරි නෑ නෙ... ;-)

      Delete
    2. මිනිස්සු (සහ කුමාරවරු ) විරුද්ධ ලිංගිකයින් ( ධේනුවන්ද ඇතුලත්ය ) ඉම්ප්‍රෙස් කරන්න කියන දේවල හොඳ නරක් හොයන්න යන්න එපා. Let the Prince hunt or be hunted !

      (මට තේරෙන්නෙ නැත්තේ මං වගේ සුවච කීකරු යටත්වැසියන් ගැන මේ බුරෝදිපතිතුමාට තියන තරහ)

      Delete
    3. What happens when the hunter being hunted?

      තරහ!?

      Delete
    4. What happens when the hunter being hunted?

      S becomes M

      Delete
    5. අපි නම් කියුවේ ඔය කැට් (පූස්) ආර්යාව ගැන.

      pj ට හැම වෙලාවේම ධේනුවෝ මතක් වෙනවා වගේ නේ?
      පූසෝ ගැන කියුවහමත් ධේනුවෝ ගැනමයි කතාව :P

      Delete
    6. සිංහයෝයි පුසොයි අයිතිවෙන්නේ එකම වංශේට ලු නේද??

      Delete
    7. ඔව් අනේ. එකම වංශෙට. මේ පොම් කැමතිම වංශේ අයලුනේ. :P

      Delete
    8. 'Cat'walk වලට කැමැති නැද්ද දන්නෙ නෑ නේ.. :-P

      Delete
  6. //හැරෙන්හෝල්වල කළු වවුලා//

    බස්තියන් ලොක්කගේ නේබර් කාරය ලු

    ReplyDelete
    Replies
    1. ඔය වව්ල්ලු එක්ක නෑ මයෙ ආස්සරයක්. මොකද, උන් කියනවා මං ඉන්න විදිහ වැරදිලු. අත්තෙ ඔලුව පහලට එල්ලෙන්න කියලා. අනික හරිම හොර යක්කු.

      මයෙ ගැන්සිය තමා, අල්ලපු ගහේ හැලි වඳුරා, නිතරම රා බොන උගුඩුවා . ඔය කෑව බිව්වට, විරිත්තුවට අනුන්ට කරදරයක් නෑ

      Delete
    2. අත්තෙ ඔළුව පහළට හිටින්ට එල්ලුනාම බ‍‍ඩේ තියෙන අරිෂ්ටෙ ටික ආයිමත් පල්ලං බහිනවනෙ, නේද බං..

      Delete
    3. බඩේ තියන අරිෂ්ට කටින් එන්ට නම් ඉතින් කොහෙවත් එල්ලෙන්ට ඕනේ නෑ නෙව. මම ඕකට delayed action edjective එකක් දාල තියෙන්නේ. බඩේ තියෙන්නේ හරියටම පැයයි :P

      Delete
  7. ටිරියන් කල දේවල් ගැන කැට්ලින් දන්නෙ නැහැ තමා , ඒත්

    නියමයි කැට්ලින් නියමයි , දැක්කද ඒ කාන්තාවගේ නිර්භීතකම ......

    ReplyDelete
    Replies
    1. නිර්භීතකම ද මෝඩකම ද මන්දා.. :-)

      Delete
    2. අවස්ථාවේ හැටියට ඔය මොංගල් හටන කරපු එකම හොඳ වැඩේ තමා ඔය.. අනිත් කරන වැඩනං මැටි මෝල් වැඩ...

      Delete
    3. මෝඩක නෙවෙයි නිර්භීතකම අනේ , වෙන කෙනෙක් නම් කලන්තෙ දානවා ඔය වගේ වෙලාවක ( මම ඇර ) :P

      Delete
    4. කාගෙද අනේ ..... ඔයාගෙද :D :D :D

      Delete
    5. හා හා අපි දන්නවා දෙන්නා රන්ඩු වෙන්නේ බොරුවටනේ. :P

      Delete
  8. උදේ ඉඳල වෙඩිමක හිටියේ , ඒත් මේ කතාව කියවන එක හරියට අබිං කාලා පුරුදු වුනා වගේ නේ. ගෙදර ආව ගමන්ම කියවන්න ගත්තා.

    ReplyDelete
    Replies
    1. මේ ඔයා මඟුල් ගෙවල්වල අෂ්ටක කියන්ටවත් යනවද අනේ.. අහන හැමදාම මඟුලක්.. :-P

      Delete
    2. ඔව් ඔව් අෂ්ඨක කියනව , ඔයාගෙ වෙඩිම ගන්නකොටත් මටම කියන්න හොඳේ :)

      Delete
    3. අපොයි ඔයා එදාට ජයමංගල ගාථා කියන්ට ඕන.. අෂ්ඨක කියන්ට බස්සාව ගන්ටයි හිතාගෙන ඉන්නෙ.. :-P

      Delete
    4. බස්සා අරිෂ්ඨ බීලා අෂ්ඨක කියන්න ගත්තොත් ???????

      Delete
    5. කෝ මේ පොම් පොම් ???

      මෙතන වෙන එව්වා පෙන්නේ නැත්ද මන්දා මේ යෝදයාට.....

      Delete
    6. Choolow,

      පොං පොං ට ලැජ්ජලු

      Delete
  9. කතාව අතරතුර මේ කැට්ලින් උන්දෑ ගැන මගේ හිතේ සංතෝෂයක් ඇති උන එකම අවස්ථාව තමා ඔය අවස්ථාව... හරියටම කිව්වොත් කතාවේ හිත් ගත්ම තැන දෙකෙන් එකක්.. අනික ඉතිං “valar morghulis“ සහ “valar dohaeris“ දෙබස යන තැන... (එකෙක් හරි බැනපල්ලකෝ බලන්න කතාවේ කෑලි කලින් කියනවා කියලා... අරිනවා උතුරට.. තාප්පේ පාප්ප ගගා පෝස්ටර් අලවන්ට.. හුහ් )

    හා හා ඊළඟ... :D

    ReplyDelete
    Replies
    1. high valyrian තේරෙන්නේ නැති හින්දම හොඳයි කාටවත්.

      Delete
    2. හැබෑට ඒ කිවුවහමයි මතක් වුනේ.. ඔය තාප්පෙ සිරා නේ පෝස්ටර් අලවන්ට එහෙම.. ඡන්ද කා‍ලෙට ඕක වැහෙන්ට ගහනවා ඇති "අපි රොබර්ට් ට - රොබර්ර්ට් අපිට" කියලා පත පෝස්ටර් නේ.. :-D

      Delete
    3. මේ මොනවා කියනවද... පාප්ප අන අන දුක් විඳින්න ඕනත් නැහැ.. කෙලින්ම තාප්පෙට ඉස්සා පාන් පිටි... තිබ්බා පෝස්ටරේ.. බඩු ඇලවෙලා...

      කොහොමද රොබට් වැඳගෙන හිනාව දාගෙන ඉන්න පින්තූරේ එහෙම.. නිකං හිතෙං මවාගෙන බලහංකෝ... ඌරෙක් පිඟානට එන්න අහන්නැහේ.. :D

      Delete
    4. ඔය තාප්පේ පෝස්ටර් ගහල අහැවල් එකෙක් බලන්ටද?
      අනික් උන්ට චන්දෙවත් තිබ්බ නම් ඉතින් හරි.

      රොබර්ට්, ස්ටැනිස් , රෙන්ලි, නෙඩ් , සුළඟිල්ලා, ටිරියන් චන්දෙ ඉල්ලුවොත් ඔයාලා කාටද චන්දෙ දෙන්නේ හැබෑට?
      අපි නම් කොටාට. :D

      Delete
    5. අපිනං ස්ටැනිස්ට... :D උවමනාම වෙලාවේ උවමනාම දේ කරන බුවා... පොඩි පොඩි අස්පැට් කේස් තිබුනට... :D
      කොටා හොඳා... ඒත් රජකමට නෙවෙයි හස්තයට...

      Delete
    6. මාත් ස්ටැනිස්ට තමා. මිනිහා සාධාරණ බුවා...

      Delete
    7. ස්ටැනිස් ලොක්කා හොදයි ඒත් නානවා නේ සමහර වෙලාවට...

      නාගන්නේ නැත්තේ කොටා විතරද මන්දා... ඒත් ඌ රජකමට හරියන එකෙක් නෙවේ..

      Delete
    8. අපෝ ස්ටැනිස් ගේ නල්ලමලේ සාදාරණේ. the man has no compassion. and a major hypocrite. unsuitable IMHO

      Delete
    9. අපි නම් ජොන්ට. :D

      Delete
    10. යෑස් ... හී නෝව්ස් නතිංග්..

      චන්දේ ඉල්ලනවානම් මං දෙන්නේ අර ටාගේරියන් නංගිට.... මාර්ජරී උනත් වරදක් නෑ..

      Delete
  10. මට නම් සුළඟිල්ලා ගැන හෙන දුකක් ආවා අයියෝ

    ReplyDelete
  11. ට්වින් ටවර්ස් ලොක්කා : වොල්ඩර් ෆ්‍රේ උතුමාණන් ව මතක තියාගන්න ඕන. :D

    ReplyDelete
    Replies
    1. ඔව්වොව් හොඳඅඅඅඅ ට
      The North Remembers :D

      Delete
  12. බලමුකො ඊලඟට වෙන්නෙ මොකක්ද කියල.. ලියාපු එකක් ගැන අනුමාන කිරීම මහ මෝඩ වැඩක්නෙ..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ.. බලමු බලමු කොටා මොනවා කරගනීද කියලා..

      Delete