Monday 22 September 2014

ටිරියන් 03-1


"ඔබට හොඳටම විශ්වාසද මෙච්චර ඉක්මනට අපිව දාලා ආපහු යන්ට ඕනයි කියලා?" ප්‍රධාන අණදෙන නිළධාරිතුමා ඇසුවේ ය.

"කාලෙ පහුවෙලා මෝර්මන්ට් උතුමානනි." ටිරියන් පිළිතුරු දුනි. "මගේ සහෝදරයා ජේමි කල්පනා කරනවා ඇති මට මොකද වුනේ කියලා. එයා හිතයි නිශා රැකුමට බැඳෙන්ටයි කියලා ඔබ මට ඒත්තු ගැන්නුවා කියලා."

"මට එහෙම කරන්ට පුළුවන් නම් කොච්චර දෙයක්ද?" කකුළු අඬුවක් අතට ගත් මෝර්මන්ට් එය අතින් පොඩි කලේය. කෙතරම් මහලු මිනිසකු වුවද ඔහු තවමත් වලසෙකු මෙන් ශක්ති සම්පන්න විය. "ඔබ බොහොම උපාය දක්ෂ මනුස්සයෙක් ටිරියන්. ඔබ වගේ මිනිස්සු අපට ප්‍රාකාරෙට බොහොම තදින් උවමනා කරනවා."

ටිරියන් නියෙවුවේ ය. "එහෙමනම් මම රාජධානි සප්තකය පීරලා, කුරුමිට්ටො හොයලා, නැවක පටවලා ඔබලාට එවන්නම් මෝර්මන්ට් උතුමානනි." අවට සිටි සියල්ලන් සිනාසෙද්දී ඔහු කකුළු අඬුවක මාංසය සූප්පු කර තවත් එකක් ගැනීමට අත දිගු කලේ ය. මේ රසවත් මාංසල කකුළුවන් අද උදෑසන නැගෙනහිර කුළුණ වෙතින් ලැබුනකි.

මේසය වටා සිටි පිරිස අතරින් සිනාවක් නොපෑ එකම පුද්ගලයා සෙර් ඇලිසර් තෝර්න් විය. "ලැනිස්ටර් අපට සමච්චල් කරනවා."

"ඔබට විතරයි සෙර් ඇලිසර්." ටිරියන් කීවේ ය. මෙවර මේසය වටා නැගුනු සිනාහඬ වෙනස්ම එකක් විය.

තෝර්න් ගේ කළු පැහැ දෑස් පිළිකුල මුසු බැල්මකින් ටිරියන් දෙසට එල්ල වින. "මිනිහෙකුගෙන් බාගයක්වත් උස නැති වුනාට ඔබට බොහොම නිර්භීත දිවක් නම් තියෙනවා. කොහොමද අපි දෙන්නා සෙණ්ඩුවාලුව පැත්තෙ ගියොත්?"

"ඇයි? මෙතනනෙ කකුළුවො තියෙන්නෙ?"

මේ ප්‍රකාශය අන්‍යයන් වෙතින් තවත් කොක්හඬලෑම් මතුකරලන්නට සමත් විය. සෙර් ඇලිසර් නැගිට සිටිය අතර අමනාපය නිසා ඔහු ගේ මුව ඇද වී තිබින. "ආයුධයකුත් අතේ ඇතිව ඇවිල්ලා ඔය විහිළු කලොත් කොහොමද?"

ටිරියන් සිය සුරත දෙස බැලු‍වේ ය. "ඇයි! ඇත්තටම මගේ අතේ ආයුධයක් තියෙනවා සෙර් ඇලිසර්. අවාසනාවට ඒක ගෑරුප්පුවක් විතරයි. අපි දෙන්නා ද්වන්ද්ව සටනක් කරමුද?" සිය පුටුව මත සිටගත් ටිරියන් කුඩා ගෑරුප්පුවෙන් තෝර්න් ගේ පපුවට සෙමින් අනින්නට පටන් ගත්තේ ය. ශාලාව පුරා සිනා හඬින් පිරී ගියේ ය. සිනාව නිසා අණදෙන නිළධාරිතුමා ගේ ආහාර ඉස්මොල්ලේ ගිය අතර ඔහු ‍ගේ කපුටා ද කවුළුව උඩ සිට කරව් කරමින් මීට සහභාගි වන්නට විය. "ද්වන්ද්ව සටන! ද්වන්ද්ව සටන! ද්වන්ද්ව සටන!"

සෙර් ඇලිසර් තෝර්න් මෝල්ගසක් ගිල්ලාක් මෙන් දරදඬු අයුරින් කාමරයෙන් පිටතට ඇවිද ගියේ ය.

මෝර්මන්ට් තවමත් සිය හුස්ම අල්ලා ගැනීමට වෑයම් කරමින් සිටියේ ය. ටිරියන් ඔහු ‍ගේ පිට මතට වැරෙන් පහර කිහිපයක් එල්ල කලේ ය. "තරගයේ වාසිය ජයග්‍රාහකයාට යන්ට ඕන." ඔහු කීවේ ය. "ඒ නිසා තෝර්න්ගෙ කකුළුවො පංගුව මටයි අයිති වෙන්ට ඕන."

අන්තිමේදී අණදෙන නිළධාරිතුමා යථා තත්ත්වයට පත් වූ බැව් පෙනින. "ඔබ බොහොම නපුරු මනුස්සයෙක්. අපේ හොඳ සෙර් ඇලිසර්ව ඔහොම අවුස්සන්ට." ඔහු චෝදනා මුඛයෙන් පැවසී ය.

අසුනේ වාඩි වූ ටිරියන් වයින් උගුරක් බීවේ ය. "කෙනෙක් තමන්ගෙ පපුවෙ ඉලක්කයක් ඇඳ ගෙන එහා මෙහා යනවානම් එයා බලාපොරොත්තුවෙන් ඉන්ට ඕන කොයි වෙලාවක හරි කවුරුහරි කෙනෙක් එයාට ඊයකින් විදියි කියලා. ඔබලා ගේ ඔය සෙර් ඇලිසර්ට වඩා හාස්‍යය දකින්ට පුළුවන් මැරුන මිනිස්සු මම දැකලා තියෙනවා."

"එහෙමමත් නෙවෙයි." ප්‍රධාන නිවාස බාරකරු වූ බොවෙන් මාර්ෂ් සිය විරුද්ධත්වය ප්‍රකාශ කලේ ය. ඔහු දෙළුම් ගෙඩියක් මෙන් තර, රතු පුද්ගලයකු විය. "එයා පුහුණු කරන කොල්ලන්ට මිනිහා දාලා තියෙන විකට නම් ඔබ අහන්ට ඕන."

ටිරියන් මේ සමහර විකට නම් අසා තිබින. "මම කැට තියනවා ඒ කොල්ලොත් මිනිහට හොඳ හොඳ විකට නම් පදබැඳලා ඇති. ඔබලා ගේ ඇස් වල තියෙන දූවිලි පිහදාලා බලන්ට උතුමනි. සෙර් ඇලිසර් ගැලපෙන්නෙ ඔබලාගෙ ඉස්තාල සුද්ද කරන්ටයි. ඔබලාගෙ තරුණ සෙබළු පුහුණු කරන්ට නෙවෙයි."

"අපට ඉස්තාල කොල්ලන්ගෙන් කිසිම අඩුවක් නෑ." මෝර්මන්ට් උතුමා මැසිවිලි නැගුවේ ය. "මේ දවස්වල අපට එවන්නෙම ඒ වගේ අය විතරයි පේන හැටියට. ඉස්තාල කොල්ලොයි, හොරුයි, ස්ත්‍රී දූෂකයොයි. සෙර් ඇලිසර් කියන්නෙ නයිට්වරයෙක්. මම ප්‍රධාන අණදෙන නිළධාරියා වුනාට පස්සෙ නිශා රැකුමට බැඳිච්ච නයිට්වරු ටික දෙනාගෙන් එක්කෙනෙක්. එයා කින්ග්ස් ලෑන්ඩින්ග් සටනෙදි බොහොම නිර්භීතව සටන් කලා."

"වැරදි පැත්තෙ." සෙර් ජැරමි රයිකර් වියළි ඇනුම්පදයක ස්වරයෙන් කීවේ ය. "මමත් ඒ යුද්ධෙදි එයාගෙ පැත්තකින් සටන් කලා. ටයිවින් ලැනිස්ටර් අපට බොහොම හොඳ තෝරාගැනීමක් තමා දුන්නෙ. නිශා රැකුමට බැඳෙන්ට, නැත්තං හැන්දෑ වෙන්ට කලින් අපේ ඔළු ගෙඩි ටික රිටක අමුනනවා කිවුවා. මම මේ අමනාපයකින් කියනවා නෙවෙයි ටිරියන්."

"කිසිම ප්‍රශ්නයක් නෑ සෙර් ජැරමි. මගේ තාත්තා හරිම ආසයි රිටි වල ගහපු ඔළු ගෙඩිවලට. විශේෂයෙන්ම එයාව කොයියම්ම විදියකින් හරි අමනාපයට පත් කරපු අයගෙ ඔළු ගෙඩිවලට. අනෙක ඔබේ වගේ හරිම මහේශාක්‍ය මූනක්. එයා හිතන්ට ඇති ඒක රාජ ද්වාරයට ඉහළින් පවුරේ හයි කලාම හරි ලස්සනට තියෙයි කියලා."

"බොහොම ස්තූතියි!" සෙර් ජැරමි කර්කශ උපහාසාත්මක සිනාවකින් යුතුව පිළිතුරු දුන්නේ ය.

අණදෙන නිළධාරි මෝර්මන්ට් උගුර පෑදුවේ ය. "සමහර වෙලාවට මට හිතෙනවා සෙර් ඇලිසර් ඔබ ගැන කිවුව දේ ඇත්තක් කියලා ටිරියන්. ඔබ අපිවත්, මෙතන අපි කරන උදාර කාර්යයත් සමච්චලයට ලක් කරනවා."

ටිරියන් දෙවුර ඇකිළී ය. "අපි හැමෝම සැරින් සැරේ සමච්චලයට ලක්වෙන්ට ඕන මෝර්මන්ට් උතුමානනි. එහෙම නැත්තං අපි අපිව බොහොම බැරෑරුම් විදියට ගන්ට පටන් ගන්නවා. කරුනාකරලා තව වයින් ටිකක්." ඔහු සිය කුසලාන එසෙවුවේ ය.

රයිකර් ඔහු ගේ කුසලාන පුරවද්දී බොවෙන් මාර්ෂ් කතාව ඇරඹී ය. "පුංචි මිනිහෙක් වුනාට ඔබට ලොකු පිපාසයක් තියෙන්නෙ."

"ආහ්! මම නම් හිතන්නෙ ටිරියන් උතුමානන් බොහොම ලොකු මිනිහෙක් කියලා." මේස්ටර් ඒමන් මේසය ඈත කෙලවරේ වූ සිය අසුනේ හිඳ කීවේ ය. ඔහු මෘදු ස්වරයෙන් කතා කල අතර මහලු මිනිසා කියන දේ මැනැවින් ශ්‍රවනය කිරීම පිණිස නිශා රැකුමේ උසස් නිළධාරින් සැවොම නිහඬ වූහ. "මම හිතන්නෙ එයා මේ ලෝකාන්තයේ ඉන්න අපි අතරට ආපු යෝධයෙක් කියලා."

ටිරියන් ආචාරශීලී අයුරින් පිළිතුරු දුන්නේ ය. "මාව ගොඩක් නම්වලින් අමතලා තියෙනවා මගේ උතුමානනි. ඒ වුනත් යෝධයෙක් කියන එක නම් එහෙම ලේසියෙන් ඇහුන දෙයක් නෙවෙයි."

මේස්ටර් ඒමන් සිය අන්ධ, කිරි-සුදු පැහැ දෑස් ටිරියන් දෙසට හැරෙවුවේ ය. "ඒ කොහොම වුනත් මම හිතන්නෙ මම කියපු දේ ඇත්තක් කියලයි."

පළමු වතාවට මීට පිළිතුරු වශයෙන් කියා ගැනීමට සුදුසු යමක් නොමැතිව ටිරියන් වද වූයේ ය. අන්තිමේදී ඔහු ආචාරශීලී අයුරින් හිස නමා මෙසේ කීය. "ඔබ බොහොම කරුනාවන්තයි මේස්ටර් ඒමන්."

අන්ධ මිනිසා මඳ සිනාවක් පෑවේ ය. ඔහු වසර සියයකටත් වඩා වයසැති කුඩා, රැළි වැටුනු සිරුරින් හා තට්ට හිසකින් යුතු මහල්ලෙකු විය. ඔහු කර වටා පැළැඳි මේස්ටර් දම්වැල බුරුල් අයුරින් ගෙල වටා එල්ලුනි. "මාව ගොඩක් නම්වලින් අමතලා තියෙනවා මගේ උතුමානනි. ඒ වුනත් කරුනාවන්ත කියන එක නම් එහෙම ලේසියෙන් ඇහුන දෙයක් නෙවෙයි." මේ වතාවේ ටිරියන් කොක්හඬලෑම ඇරඹුවේ ය.

බොහෝ වේලාවකට පසු, ආහාර අනුභවයෙන් අනතුරුව පිරිස පිටව ගිය පසු, මෝර්මන්ට් හා ටිරියන් ගිනිඋඳුන සමීපයෙහි අසුන් ගෙන උණුසුම් මත්පැන් බඳුනක් පානය කරමින් උන්හ. "මේ උතුරෙදි රජමාවත කියන්නෙ ටිකක් පරෙස්සම් මදි තැනක්." මෝර්මන්ට් කීවේ ය.

"මගෙත් එක්ක ජයික්, මොරෙක් දෙන්නම යනවනෙ. අනිත් එක යොරේනුත් ආපහු දකුණට යනවා."

"යොරේන් කියන්නෙ එක මිනිහෙක් විතරයි. නිශා රැකුම ඔබව වින්‍ටර්ෆෙල්වලට යනකම් පිරිවරා යන්ට ඕන." මෝර්මන්ට් කිසිදු වාදයකට ඉඩක් නොමැති ස්වරයෙන් කීවේ ය. "මම ඔබට මිනිස්සු තුන්දෙනෙක් දෙන්නම්."

"ඔබ බලකරනවා නම් ඉතින් කමක් නෑ මගේ උතුමානනි. අර ස්නොව් කොල්ලව එවුවොත් මොකද? එයා සතුටුවෙයි සහෝදරයො ටික දැකගන්ට අවස්ථාවක් ලැබුනොත්."

මෝර්මන්ට් දෙබැම ඇකිළී ය. "ස්නොව්? ආහ්! ස්ටාර්ක් අවජාතකයා. මම හිතන්නෙ නෑ. අලුත් කොල්ලො එයාලා කලින් ගතකරපු ජීවිතෙයි, සහෝදරයොයි, අම්මලායි හැමදේම අමතක කරලා දාන්ට පුරුදුවෙන්ට ඕන. ආයෙමත් ගෙදර ගියා කියන්නෙ ඒ මතක ඔක්කොම අලුත් වෙනවා. මම දන්නවා මේ දේවල් ගැන. මගේම ලේ නෑයො පවා... මගේ පුතා අපකීර්තියට පත්වුනාට පස්සෙ මගෙ නංගි මේජ් තමා දැන් වලස් දූපත පාලනය කරන්නෙ. මට ඉන්නවා මම කවදාවත් දැකලා නැති ලේලිලා." ඔහු මත්පැන් උගුරක් තොලගෑවේ ය. "අනිත් එක, ජොන් ස්නෝව් කියන්නෙ තාම පොඩි කොල්ලෙක්. ඔබව ආරක්ෂාකාරීව එක්කරන් යන්ට උවමනා කරන්නෙ ශක්තිමත් සෙබළු තුන්දෙනෙක්."

"ඔබේ මේ සැලකිල්ල මට හරියට හිතට වැදුනා මෝර්මන්ට් උතුමානනි." සැර මධ්‍යසාරය නිසා ටිරියන් ගේ හිස බමන්නාක් මෙන් දැනින. එනමුදු නාකි වලහා ඔහුගෙන් යමක් බලාපොරොත්තු වන බව වටහා නොගැනීමට තරම් ඔහු බීමත් නොවී ය. "මම හිතනවා ඔබේ මේ කරුනාවට ප්‍රතිඋපකාර කරන්ට මට අවස්ථාවක් ලැබෙයි කියලා."

"ඔබට පුළුවන්." මෝර්මන්ට් ඍජුවම පැවසී ය. "ඔබේ සහෝදරිය රජතුමාගෙ බිසව. ඔබේ සහෝදරයා උසස් මට්ටමේ නයිට්වරයෙක්. ඔබේ තාත්තා තමා මේ රාජධානි සප්තකයෙ ඉන්න බලවත්ම වංශාධිපතියා. අපි වෙනුවෙන් එයාලට කතා කරන්ට. එයාලට කියන්ට අපට උවමනා වෙලා තියෙන දේ. ඔබ ඔබේ දෑහින්ම දැක්කනෙ මගෙ උතුමානනි. නිශා රැකුම ටිකෙන් ටික පණ අදිමිනුයි ඉන්නෙ. අපේ ශක්තිය දැන් මිනිස්සු දාහකටත් අඩුයි. මෙතන හයසීයක් විතර, සෙවනැලි කුළුණෙ දෙසීයක් විතර, නැගෙනහිර කුළුණෙ ඊටත් අඩුවෙන්. එයිනුත් තුනෙන් එකක් විතර තමා සටන් කරන්ට පුළුවන් සෙබළු ඉන්නෙ. ප්‍රාකාරය ලීග සීයක් දිගයි. පොඩ්ඩක් හිතන්ට ඒ ගැන. බැරිවෙලාවත් ප්‍රහාරයක් ආවොත් ප්‍රාකාරෙ හැම හැතැප්මකටම මිනිස්සු තුන්දෙනයි ඉන්නෙ."

"තුනයි තුනෙන් එකයි." ටිරියන් ඈනුමක් යවමින් පැවසී ය.

මෝර්මන්ට්ට ඔහු කී දේ ඇසුනු බවක් නොපෙනින. මහලු මිනිසා සිය දෑත් ගිනිඋඳුන දෙසට දිගු කොට උණුසුම් කරගත්තේ ය. "මම බෙන්ජින් ස්ටාර්ක්ව යැවුවා යොන් රොයිස්ගෙ පුතාව හොයාගන්ට. ඒ කොල්ලා එයාගෙ පළමුවෙනි මුරසංචාරයෙදිම අතුරුදහන් වුනා. එයා නවකයෙක්. ඒත් එයා බලකරලා ඉල්ලලා හිටියා එයාට අණ දෙන්ට ඉඩදෙන්ටය කියලා, නයිට්වරයෙක් විදියට ඒක එයාගෙ අයිතිය කියලා. මට එයාගෙ තාත්තව තරහ කරගන්ට ඕන වුනේ නෑ. ඉතින් ඒ නිසා මම ඒකට ඉඩ දුන්නා. මම එයත් එක්ක බලකායෙ හිටපු හොඳම සෙබළු දෙන්නෙක්ව යැවුවා. ඒක තමා මම කරපු ලොකුම මෝඩ වැ‍ඩේ."

"මෝඩයා." කපුටා ද පුනරුච්චාරණය කලේ ය. ටිරියන් ඉහළ බැලුවේ ය. කපුටා ද පිහාටු පුම්බමින් සිය කළු පැහැ දෑසින් ඔහු දෙස බලා සිටියේ ය. "මෝඩයා." ඌ නැවතත් කෑ ගැසුවේ ය.

මෝර්මන්ට්ට කපුටා ගේ හිරිහැරය දැනුනු බවක් නොපෙනින. "ගැරඩ් මටත් වඩා නාකියි. මටත් වඩා කල් ප්‍රාකාරෙ ඉඳලා තියෙනවා." ඔහු දිගටම කතා කරගෙන ගියේ ය. "ඒ වුනත් පේන විදියට නම් මිනිහා දිවුරුම අත ඇරලා පැනලා ගිහිල්ලා. ඒ මිනිහා එහෙම දෙයක් කරයි කියලා මට නම් විශ්වාස කරන්ටත් බෑ. ඒ වුනත් එඩාර්ඩ් උතුමානන් වින්ටර්ෆෙල්වල ඉඳන් ඒ මිනිහගෙ ඔළුගෙඩිය එවලා තිබුනා. රොයිස් ගැන කිසිම ආරංචියක් නෑ. එකෙක් පැනලා ගිහිල්ලා, දෙන්නෙක් අතුරුදන් වෙලා. දැන් බෙන් ස්ටාර්කුත් ආගිය අතක් නෑ." ඔහු ගැඹුරු සුසුමක් හෙලී ය. "එයාව හොයාගෙන එන්ටයි කියලා මම කාවද යවන්නෙ? තව අවුරුදු දෙකකින් මට හැත්තෑවක් වෙනවා. මම මේ උහුලන බර උහුලන්ට බැරි තරම් මම නාකි වැඩියි, දුර්වල වැඩියි. ඒ වුනත් මම මේක පැත්තකින් තිබ්බොත් කවුද ඒක බාරගන්නෙ? ඇලිසර් තෝර්න් ද? බොවෙන් මාර්ෂ් ද? එයාලා මොන විදියෙ පුද්ගලයොද කියන එක නොදැක ඉන්ට නම් මම මේස්ටර් ඒමන් තරමටම අන්ධයෙක් වෙන්ට ඕන. නිශා රැකුම දැන් බුම්මගත්ත කොල්ලන්ගෙයි වෙහෙසට පත්වෙච්ච නාකින්ගෙයි හමුදාවක් වෙලයි තියෙන්නෙ. අද රෑ මගේ මේසෙ වටේ හිටිය කට්ටිය අත ඇරියම මට තව ඕනනං අකුරු කියවන්ට පුළුවන් මිනිස්සු විස්සක් හොයාගන්ට පුළුවන් වෙයි. හිතන්ට පුළුවන්, සැලසුම් කරන්ට පුළුවන්, නායකත්වය දෙන්ට පුළුවන් මිනිස්සු ඊටත් අඩුයි. කාලයක් තිබ්බා නිශා රැකුම මුළු ගිම්හානෙ පුරාවටම ගොඩනැගීම් කලා, හැම අණදෙන නිළධාරියෙක්ම ප්‍රාකාරෙ තිබ්බට වඩා උඩට උස්සන්ට මහන්සි ගත්තා. දැන් අපට ජීවිකේ රැකගන්ට නම් එච්චර තමා කරන්ට වෙන්නෙ."

ඔහු මේ කතා කරන්නේ අතිශය බැරෑරුම් ස්වරයෙන් බැව් ටිරියන්ට වැටහින. ඔහු‍ට මේ මහලු මිනිසා පිළිබඳ සියුම් කණගාටුවක් දැනෙන්නට විය. මෝර්මන්ට් උතුමානන් සිය දිවියෙන් සෑහෙන කලක් ප්‍රාකාරය මත ගත කර තිබින. එමෙන්ම ඒ ගතකල කාලය අර්ථවත්ව ගතවිනැයි ඔහුට විශ්වාස කරන්නට උවමනා වී තිබින. "මම පොරොන්දු වෙනවා රජතුමාට ඔබ කියාපු දේවල් අහන්ට සලස්සනවා කියලා." ටිරියන් බැරෑරුම් හඬින් කීවේ ය. "ඒ වගේම මම මගේ තාත්තටයි සහෝදරයා ජේමිටයි කතා කරන්නම්." ඔහු සැබෑවටම ඒ බව කතා කරන්නට සිතා ගත්තේ ය. ටිරියන් ලැනිස්ටර් සැබෑවටම අවංක පුද්ගලයකු විය. එනමුදු ඔහු සෙසු කොටස නොකියා ගිලගත්තේ ය. රොබර්ට් රජතුමා ඔහුව නොතකා හරිනු ඇත, ටයිවින් උතුමානන් ඔහුට පිස්සු හැදී ඇත්දැයි විමසනු ඇත, ජේමි ඔහුට සිනාසෙනු ඇත. එපමණකි.

"ඔබ තරුණ මිනිහෙක් ටිරියන්. ඔබ ශීත කාල කීයක් දැකලා තියෙනවද?"

ටිරියන් දෙවුර ඇකිළී ය. "අටක්. නවයක්. මට හරියටම මතක නෑ."

"ඒ ඔක්කොම බොහොම කෙටි ඒවා?"

"ඔවු මගේ උතුමානනි." ඔහු මෙලොවට බිහි වූයේ තුන් වසරක් පුරා පැවැති, දරුණු, ක‍ටුක ශීත කාලයක් මධ්‍යයේ විය. එනමුදු ටිරියන් ගේ මුල්ම මතක වසන්තය ගැන විය.

"මම පොඩි කාලෙ අහලා තියෙන විදියට දිග ගිම්හානයක් කියන්නෙ ඊට පස්සෙ දිග ශීත කාලයක් එනවා. මේ ගිම්හානය අවුරුදු නවයක් තිබ්බා ටිරියන්. දහවෙනි අවුරුද්දත් ලං වෙනවා. ඒ ගැන පොඩ්ඩක් හිතන්ට."

"මම පොඩි කාලෙ මගේ ආයම්මා කිවුවා, මිනිස්සු හොඳට හිටියොත් දෙවිවරු ඒ ගැන පැහැදිලා ලෝකෙට කවදාවත් ඉවර වෙන්නෙ නැති ගිම්හානයක් දෙනවා කියලා. සමහරවිට අපි හිතුවට වඩා අපි හොඳට හැසිරෙන්ට ඇති. දෙවිවරු අපට ඒ මහා ගිම්හානෙ දීලද දන්නෙ නෑ අන්තිමේදී." ටිරියන් නියෙවුවේ ය.

මෝර්මන්ට් මෙයින් විමතියට පත් වුනු බවක් නොපෙනින. "ඒ කතාව විශ්වාස කරන්ට තරම් ඔබ මෝඩයෙක් නෙවෙයි ම‍ගේ උතුමානනි. දැනටමත් දවස් කෙටි වෙන්ට පටන් අරන්. ඒකෙ කිසිම සැකයක් නෑ. ඒමන්ට සිටඩේල්වලින් ලියුම් ලැබුනා. ඒවා එයාගෙ සොයාගැනීම් එක්ක ගැලපෙනවා. ගිම්හානයේ අවසානය තමා මේ තියෙන්නෙ." සිය අත දිගු කල මෝර්මන්ට් ටිරියන් ගේ අත තදින් ග්‍රහනය කරගත්තේ ය. "ඔබ ඔවුන්ට අවබෝධ කරලා දෙන්ට ඕනමයි. මම ඔබට කියන්නෙ මගේ උතුමානනි, අන්ධකාරය එනවා. වනාන්තරයේ බොහොම නරක, භයානක දේවල් තියෙනවා. ඝෝරවෘකයො, මැමත්ලා, ඔරොක්ස්ලා තරම් ලොකු හිම වලස්සු. ම‍ගේ හීනවලදි මට අඳුරු ඡායා පේනවා."

"ඔබේ හීනවලදි." ටිරියන් පුනරුච්චාරණය කලේ තවත් සැර මත්පැන් වඩියක් තිබුනා නම් කෙතරම් අගේ දැයි සිතමිනි.

ඔහු ගේ වදන්වල තිබුනු ගනන් නොගන්නා ස්වරය මෝර්මන්ට් නොතකා හැරියේ ය. "නැගෙනහිර කුළුණ ළඟ ඉන්න මාළුකාරයො දැකලා තියෙනවා මුහුදු වෙරළෙ ඉන්න ධවල යාත්‍රිකයො."

මේ වතාවේ නම් ටිරියන්ට කට පියාගෙන සිටීමට බැරි විය. "ලැනිස්පෝර්ට්වල ඉන්න මාළුකාරයො නිතරම දකිනවා දියකිඳුරො."

"ඩෙනිස් මැලිස්ටර් ලියලා එවලා තියෙනවා කඳුකරයේ ඉන්න මිනිස්සු දකුණට යනවා කියලා. වෙන කවදාටත් වැඩියෙන් සෙවනැලි කුළුණ පහුකරන් පහළට යනවා කියලා. ඒ මිනිස්සු පැනලා යනවා මගේ උතුමානනි... ඒ වුනත් මේ මිනිස්සු පැනලා යන්නෙ මොකකට බයේද?" කවුළුව වෙතට පිය නැගූ මෝර්මන්ට් උතුමානන් පිටත රාත්‍රිය දෙස බලා සිටින්නට විය. "මේවා බොහොම නාකි ඇටකටු ලැනිස්ටර්. ඒ වුනත් ඒවට කවදාවත් මෙහෙම සීතලක් දැනිලා නෑ. මම ඔබෙන් ඉල්ලා සිටිනවා, කරුනාකරලා රජතුමාට කියන්ට මම කියාපු දේවල්. සීත කාලෙ එනවා. දිග රෑ කාලෙ එළඹුනාම ඈත උතුරෙන් එන නපුරු බලවේගයි රාජධානියයි අතරෙ ඉන්න එකම දේ නිශා රැකුම විතරයි. අපි ඒ වෙනකොට ලෑස්ති වෙලා හිටියෙ නැත්තං අපට දෙයියන්ගෙම පිහිට තමා."

"අද රෑ මට නිදාගන්ට බැරිවුනොත් මටත් දෙයියන්ගෙම පිහිට තමා. යොරේන් හිතාගෙන ඉන්නෙ යාන්තමට එළිය වැටිච්ච ගමන්ම පිටත් වෙන්නයි." ටිරියන් නැගිට සිටියේ ය. වයින් නිසා ඔහුට නිදිමතක් දැනෙමින් තිබින‍. "මට කරපු ආගන්තුක සත්කාර හැමදේටම බොහොමත්ම ස්තූතියි මෝර්මන්ට් උතුමානනි."

"එයාලට කියන්ට ටිරියන්. එයාලට විශ්වාස කරන්ට සලස්සන්ට. ඒ තමා ඔබට මා වෙනුවෙන් කරන්ට පුළුවන් ලොකුම ස්තූතිය." ඔහු සියුරුහඩ ලෑ අතර කපුටා පියාඹා විත් ඔහු ගේ දසරුවෙහි වැසුවේ ය. මඳ සිනහවක් පෑ මෝර්මන්ට් සිය සාක්කුවකින් ගත් ඉරිඟු ඇට ඌට කවන්නට විය. ඒ ටිරියන් ඔහුට සමුදෙද්දී ඔහු දුටු අවසාන දර්ශනය විය.


Tyrion Lannister: “Most of my kin are bastards, but you're the first I've had to friend.”

58 comments:

  1. මේ පින්තූර ගන්නේ මේ කතාවට අදාළ චිත්‍රපටි වලින්ද?

    අණදෙන නිලශාරියෝ සහ අනික් නිලධාරියෝ එකතුවෙලා හොඳ රාත්‍රී කෑමක් ගන්නවා කියන්නේ බොහොම ලස්සන සංවාද ඇතිවෙන අවස්ථාවක්. අත්දැකීමෙන් කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔවු විචාරක, මේ පින්තූර හැම එකක්ම Game of Thrones TV series එකෙන් ගත්තු ඒවා..

      ඔය රෑ කෑම අතරතුරේදී සිද්දවෙන රසවත් කතා ටිකක් දාලා පෝස්ට් එකක් ලියන්ටකෝ.. හැබැයි ඒක 18+ වෙයිද? :-D

      Delete
  2. හ්ම්...
    ටිරියන් එහෙට යද්දි මං හිතන්නෙ බොහොම නරක දේකට මූන දෙන්න සූදානං වෙනන වෙයි...
    ඒ වගේමයි අර නාකි උන්නැහේට සෑහෙන්න දුක හිතෙයි එයාට ඕන දේ නොලැබෙද්දි...
    හෙක් හෙක්

    ReplyDelete
    Replies
    1. ටිරියන් කල්පනා කාරයා, බලමු එයා මොකක්ද කරන්නෙ කියලා නේද..

      Delete
  3. ටිරියන් ලැනිස්ටර්, the giant who fought with a fork. මම අර කලින් කියුව නේද මේකේ අත්තක් කියන්නේ ටිරියන් සහ තව දෙතුන් දෙනෙක් විතරයි කියල ? තෝර්න් ගැන කියපු ටිකෙන්ම තේරෙනවා ටිරියන් කොහොම මනුස්සයෙක්ද කියල. love him :D

    ReplyDelete
    Replies
    1. ඒ වුනත් කොට ඩයල් විශ්වාස කරන්ට බැහැයි කියා ඇත. :D

      Delete
    2. දාන්ට මල්ලි පහක්. :D

      Delete
    3. ඒ වුනත් එයා කියන දේවල් අහන්නෙ කීයෙන් කී දෙනාද?

      ඇයි පහක්? මෙන්න අයියා දහයක්ම.. :-D

      Delete
    4. ටිරියන් වගේම මම කියන ඒවත් කවුරුත් අහන්නේ නෑනේ . ඕකා සරපයා. :D

      Delete
    5. සර්පයෙක් කියන්නේ කොයි වගේ එකෙක්ද?ගැරඩියෙක් වගේ එකෙක් නම් ඔය භුමි තෙල් ටිකක් මදැයි.:D

      ඔන්න අයියා මගෙනුත් පහට දහයක්ම..:D

      Delete
    6. මම කියුවනේ මලේ, ඕකා බ්ලැක් මාම්බා වගේ තමා. ලංකාවෙනම් ඉතින් තිත් පොළඟා වගේ කියමුකෝ. ලඟින් ගියත් ඇති.

      Delete
  4. ටිරියන් කොටා ලෝක අන්ඩපාලයෙක් බවයි මාගේ නිරීක්ෂන නිගමන වලින් පෙනි යන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔබේ නිරීක්ෂණ හා නිගමන නිවැරැදියි උතුමානනි.. :-)

      Delete
  5. මෙහෙම ගොඩාක් නම් වලින් අමතන්න පුළුවන් කාන්තාවක්නෙ පොඩ්ඩි !

    ReplyDelete
    Replies
    1. (රහසින්:- සුලිසුළඟක්, භූමිකම්පාවක්, සුනාමියක් වගේ නම්වලින් ද?)

      මේකට උන්දෑම ඇවිල්ලා උත්තර දුන්නානම් හොඳා.. But, එයැයි මේ දවස්සොල බිසී ලු.. :-)

      Delete
    2. එතකොට Twister?

      එයා බිසී නිසා නොකියවතැයි අපේක්ශාවෙන් බුරෝධිපතිතුමාගේ වචනය විස්වාසකර පවසන ලදී , දැන් හිතෙනව එතුමාව විශ්වාස කරන්නෙ සන්සා වගේ අය විතරයි කියල. ඒත් කමක් නෑ death wish එකක් ටිකක් මට තියන නිසා

      Delete
    3. ඒයි, නාසි-ගුරා,

      මොකෝ මේ දකුණට පේටන්ට් තීන වචන ඌවෙ එකා උස්සල තියෙන්නෙ?

      Delete
    4. අපි ඇවිල්ලා සර්‍වකාලීන සර්‍වදේශ පොරවල් නෙව අයියා.. අර මක්කටැයි ඔහෙ ඕකට ඔයහැටි කේන්චි ගන්නෙ? ;-)

      Delete
  6. ටිරියන් කොහොම වුනත් මොලේ තියන ඩයල් එක.ඒ වගේම මිනිහ සාධාරණ කොටා.

    ReplyDelete
    Replies
    1. සාධාරණ කොටා පිළිබඳ න්‍යාය..

      Delete
  7. ම්ම්ම්ම්ම්ම්ම් කකුළුවෝ :D

    ReplyDelete
  8. උණුසුම් මත්පැන් බඳුනක් කිව්වොත් පැහැදිලිවම වයින් වෙන්න ඕනෑ.රත්කරල බොන සමහර වයින් වර්ග තිබෙනවා.වයින් කියල නොදා මත්පැන් කියල දැම්මෙ ඇයි?

    ReplyDelete
    Replies
    1. මෙතැන කියලා තියෙන්නෙ mulled spirits කියලයි හැලපෙ.. අනිත් තැන්වල කෙලින්ම mulled wine කියලා තියෙනවා.. අනික මේක ටිකක් සැරයි කියලාත් තියෙනවා.. ඉතින් මම කල්පනා කලා සමහරවිට මෙයාලා වෙන වෙන ජාතිත් රත් කරලා බොනවද දන්නෙ නෑ කියලා.. අමුතු රටක් නෙවැ.. ඉතිං ඒක එහෙම්ම සිංහලට හැරෙවුවා.. :-D

      Delete
    2. How can someone "mull" spirits ??

      Delete
    3. PoM ඇහුව නිසා මම පොඩි සර්ච් එකක් කලා.. මේ වැඩේට රෙඩි වයින් විතරක් නෙවෙයි, සීතල වැඩි ස්කැන්ඩිනේවියන් රටවල වොඩ්කා, බ්‍රැන්ඩි වගේ ඒවාත් පාවිච්චි කරනවය කියලා විකියෙ තිබුනා.. ඇල්කොහොලික් නොවන පානයන්ටත් මේ වැඩේ කරන්ට පුළුවනිලු..

      මෙච්චර කලක් නොදැන හිටිය දෙයක් දැනගන්ට හෙලුප් කලාට තැන්කූ! :-)

      Delete
    4. බ්‍රැන්ඩි එහෙම රත් උනාම වාෂ්ප වෙලා යන්නේ නැද්ද හැබෑවට?

      දන්නා chemistry වල හැටියට නම් රත් කරපු ස්පිරිට් වල ඇල්කොහොල් අඩු වෙන්ට ඕනේ. :D

      Delete
    5. alcohol percentage එක වැඩි එවුවා ගන්නවද දන්නෑ නේද? ඔය 75% polish vodka වගේ එවුවා.. :-)

      Delete
    6. ඕක සුවර් එකටම අපේ බස් තුමා දන්නවා ඇති.. ඕකා වින්ටර් එකට ඔය වගේ අමුතු අරිෂ්ඨ ගහන්ට සූරයා.. :-D

      Delete
    7. බුර් ඉන්න රටේ සුපර් මාකට්වලත් ඕන තරම් තියනවනේ Mulled wine (Spiced wines) උනුසුම් විතරක් නෙමේ ස්පයිසස් ඕන

      Mulled spirits සමහරවිට ඩිස්ටිල්ඩ් ( බ්‍රැන්ඩි වගේ) ඩ්‍රින්ක් එකකට ස්පයිස් එකතුකරල වෙන්න ඇති

      Delete
    8. නියම, භාණ්ඩයක් කියලා දවසක් ඔහොම "ස්පයිස් ස්ප්‍රීට්" එකක් දුන්නා බොන්න - බ්‍රැන්ඩි එකක්. බල්ලෙකුට කටේ තියන්න බෑ, සූදුරු රහයි, හරියට තුනපහ අහුරක් කාලා දෙකක් දා ගත්තා වගේ. මට නං හරි ගියේ නෑ.

      ඔය Mulled wine හදන කොට සමහර කුළුබඩු දානව තමා. කරදමුංගු, කරාබු නැටි යාන්තමට දැම්මට කාරි නෑ. ඒත් වැඩිය රත් කරන්න ඕනෙ නෑ, යන්තමට. නැත්නම් ඇල්කොහොල් ටික වාෂ්ප වෙයි. බ්‍රැන්ඩි නම් දොඩම්, අන්නාසි වගේ ජූස් එක්ක කලවම් කරන්නත් පුළුවනි. හොඳම විදිහ පලතුරු යුෂ ස්පයිසස් එක්ක රත් කරලා, බ්‍රැන්ඩි පස්සෙ දාන එකයි

      Delete
    9. වයින් පමණක් නෙවෙයි බුරා කිව්වැහේ බ්‍රැන්ඩිත් රත් කරලා බොනවා... වොඩ්කා ස්කොච් ගැන නොදනිමි...

      Delete
    10. @ බස්සා,

      මොකද බොලං mulled wine වැඩිය රත් කරන්නෙ නැත්තෙ.? ස්පයිසස් ටික දාලා ඒක නටවලා ගන්ට ඕන.. නැත්තං නියම රහ එන්නෙ නෑ..

      අනික mulled wine වලට ඕන ස්පයිසස් වෙනම ගන්ට ඕන නෑ.. වයින් ගන්නකොට ඒකත් එක්කම පොඩි පෙට්ටියක් ගන්ට තියෙනවා ඔය ඔක්කොම ස්පයිසස් තියෙන..

      Delete
    11. ඔය කියන්නෙ බකුසු මෙතඩ් එක වෙන්ටෑ? යන්තං මුට්ටිය රත් වෙන කොටම , බකුස් නටනව"ලු" මුට්ටිය වටේ :)

      Delete
    12. වයින් නටවලා බීල වැඩක් තියනවද? අංශක 73 විතර වෙනකොට ඇල්කොහොල් වාශ්ප වෙලා යන්ට ඔනේ පොතේ හැටියට නම්.

      Delete
    13. අන්න බස්තුමා පෝස්ට් එකක් දාල. ඔය පින්තූරෙ බෝතලෙ අඩිය දැකල තමයි ලියල තියෙන්නෙ

      බස්සන් මෙසේ නම් නරි ගැන කවර කතාද?

      Delete
    14. අම්මපා පිංතූරු දෙක නං මසුරං. හරියට පණ පිහිටෝල වගේම තියනවා :)

      Delete
  9. කපුටන්ට කතා කරන්න පුලුවන්ද? ටිරියන් ගොයිය කිව්වට නම් කවුරුවත් අහන්නෙ නැති වෙයි

    ReplyDelete
    Replies
    1. අපේ ගිරවු වගේ ඒ රටේ කපුටන්ට කතා කරන්ට උගන්නන්ට පුළුවන් ලු.. ;-)

      Delete
    2. ඉස්සර මෙතන බස්සන්ටත් කතා කරන්න පුලුවන්කම තිබුන. කසිප්පුකාරයන් හා නරි ආස්සරය නිසා නැතිවුනා

      Delete
    3. මං හිතන් හිටියෙ මෙහෙ - ලෑන්ඩ් ඔෆ් ඕල්වේස් වින්ටර්, කපුටො නෑ කියලයි. පහුගිය දොහක මං කපුටෙක්ව දක්කා. හම්මේ හරියට බාප්පව දැක්කා වගේ. මං හිතුවෙ , ඌ මට කඩුවෙන් කොටයි කියලයි. මොන? බොහොම නිහතමානි විදිහට " කාක්" කියලම කිව්වා

      Delete
    4. බස්සගෙ බාප්ප කපුටලු

      Delete
    5. ඔය කපුටොන්ට , විරිදු කියල කටේ තියන කේජු කෑල්ලට විද්දෙ කව්ද? වෙන කව්ද, නරියෙක් :)

      Delete
  10. ඔන්න අද මම එකක් මුල ඉඳලා අගට යනකම්ම කියෙව්වා... කුචුහලය පොඩ්ඩක් වැඩීගෙන වැඩීගෙන ආවා.. බලමුකෝ ඉස්සරහට... මෙක්ක මේ කෑල්ලට ඉතා කැමතියි...

    "අපි හැමෝම සැරින් සැරේ සමච්චලයට ලක්වෙන්න ඕනේ උතුමාණෙනි. එහෙම නැත්නම් අපි අපිව බොහොම බැරෑරුම් විදිහට සලකන්න ගන්නවා"

    යකෝ ඒකත් අතින්ම ටයිප් කරන්න වුණානෙ...

    ReplyDelete
    Replies
    1. @ thisara,
      අපි මෙතන ඔය පෝස්ට් එක ගැන වැඩිය කතා නොකර වෙනම පිස්සු කෙලින්න එක හේතුවක් ඔය උපුටා ගැනීමේ අපහසුතාවය.

      අනික් හේතුවනම් අපේ මානසික ආබාධ තමයි ඉතින් !!

      Delete
    2. Pra,

      මම හිතුව, මේ මං වගේ පෝස්ට් එක අතෑරල කමෙන්ට් විතරක් බලන නිසා කියල.

      Delete
    3. ඒකත් ආබාධයක් තමයි ඉන්දික :-D

      ( ෂ් ෂ් මෙතන කවුරුවත් normal අය ඉන්නවද ඇත්තට? )

      Delete
    4. එහෙම උං එයිද බං මේ විකාර බලන්(ට )

      Delete
    5. ස්තූතියි තිසර!

      හරි ළමායි, ඔන්න මම ඒ අවහිරතාව ඉවත් කලා. දැන් ඉතින් කැමැති කැමැති විදියට උපුටාගන්න එකයි ඇත්තෙ.. :-)

      Delete
    6. බුරා, මේ පොත සිංහලට නැගෙන පළවෙනි අවස්ථාව සමහර විට මේක වෙන්න ඇති. අහක ඉන්න හොරු ටිකක් මේක උස්සං ගියොත් කියලා නම් එහෙම කොපි කරන එක ඩිසේබල් කරලා තිබ්බේ, මගේ විරුද්ධත්වයක් නෑ.

      Delete
    7. පොත වෙන උන් උස්සලා ප්‍රින්ට් කරයි කියලා හිතෙනවනං ඒකට පිළියමක් මං කියන්නං බුරා...

      පොතේ අවසාන පරිච්ඡේද ටික දැන්ම වෙලාව තියෙන හැටියට පරිවර්ථනය කරලා තියා ගනින්... අපි මෙහෙම කියමුකෝ.. පොතේ පරිච්ඡේද 10ක් තියෙනවා කියලා.. තාම උඹ ඉන්නේ පලවෙනි හෝ දෙවැනි පරිච්ඡේදේ කියලා... උඹ මේ වැඩේ මෙහෙම කරං යන ගමන්ම පොතේ නව වැනි දහවැනි පරිච්ඡේද ටිකත් වෙනමම පරිවර්ථනය කරලා තියා ගනින්... එතකොට උඹ මේ යන විදියට අටවැනි පරිච්චේදය අපිට පල කරන කාලය වෙද්දි උඹ ගාව සම්පූර්ණ පොතම තියෙනවා... බ්ලොග් එකේ කතාව අවසන් වෙන්න කලින් උඹට පුළුවන් පොත ප්‍රින්ට් කරන්න... එතකොට මේකේ කතාව අහවර වෙනකල් බලං ඉන්න කෙනෙකුට පොත එළියට දාන්න කලින් උඹට මේක එළියට දාතැකි...

      අනික එහෙම අටවැනි පරිච්ඡේදේ හරියට යද්දි මේක කියවලා ඉවර කරන්න තියෙන ආසාව හින්දා බ්ලොග් බලන උන් උනත් පොත ගන්න පෙළඹේවි.. හැබැයි අවසානය වෙනකල්ම මේකේ කතාව ක්‍රමානුකූලව දාහං පාඨකයින්ට සාධාරණයක් කරන්න ඕන නිසා... නැත්තං බාගයක් මේකේ මාකට් කරලා අනිත් බාගේ විකුණන සිස්ටම් එකට ගියොත් ඒක බ්ලොග් කියවන අයට කරන අසාධාරණයක්... කොහොම උනත් ලෝබකං කරන්නේ නැතිව බ්ලොග් කරුවන් වෙන අපිට උඹ අපිට මේක මෙහෙම දෙන එකට කලගුණ සැලකීමක් හැටියට අපෙනුත් වෙන්න ඕන උදව්වක් තියේනං කියහං.. පුළුවන් තරමින් කරන්නං... උඹේ යුතුකම උඹ කලාම අපේ යුතුකම් අපෙනුත් වෙන්ට එපෑ...

      Delete
    8. ස්තූතියි තිසර ඇන්ඩ් මාර්ස්!

      අපි එහෙම හිතලා තමා ඔය කොපි/ පේස්ට් කරන එක ඩිසේබ්ල් කරලා තිබ්බෙ.. ඒත් ඉතිං පස්සෙ මටම තේරුනා කොපි කරන එකා කොහොම වහලා තිබුනත් ඕක ගන්නවා කියලා.. (වැඩ දන්නවනං ඕවා මොනාද නේ. අනික ඉතිං මම වුනත් ඒ ව‍ගේ නූල් සූත්තර දානවා සමහර වෙලාවට).. :-D

      ඒ නිසා පාඨකයන්ට වැඩේ අමාරු නොකර අර බාධකේ අයින් කරන්ට තීරණය කලා..

      ඇත්තම කියනවා නම් මාරෙ, අපි කොහොමත් ගැප් එකක් තියාගෙන තමා ඉස්සරහට යන්නෙ.. දැනට පලකරන කොටසට වඩා පරිච්ඡේද කීපයක් ඉස්සරහට පරිවර්තනය කරලා තියාගෙන ඉන්නෙ හැමදාම, මොකද හදිසියකදි වත් අපි දෙන්නම බිසී වෙලා දවස් කීපයක් මේක කොටාගන්ට බැරිවුනොත් සුමානෙට කොටස් තුන ගානෙ කතාව යන රටාව බිඳ නොවැටී තියාගන්ට ඕන නිසා..

      Delete
    9. ප්‍රකාශයට පත් කරන්න අදහසක් තියනවනම් -

      ඔය මාටින්ගෙ පලමු පොතේත් පරිවර්තනය කොටස් දෙකකට පල කරන්න පුලුවන්.

      Delete
  11. බලාගෙන බොස් ඔය දෙන්නා මේක පරිවර්තනය කරල ඉවර වෙන්ට කලින් කවුරු හරි ගොබිලෙක් පොත ප්‍රින්ට් කරයි ලංකාවේ.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහෙ කරගත්තාවෙ බං.. කොපි කරන්ට ඕන එකා කොහොම කවර් කරලා තිබ්බත් කොපි කරනවා.. :-)

      Delete
    2. මේව මොනාද බං, ප්‍රින්ට් කරපු පොත් ආයි ටයිප් කරල හොරාට ගහන රටේ. ගහන එකා කොහොම කරත් ගහනවම තමා. ඒ නිසා අර මාරය කියපු දේ තමා හොඳම.

      Delete
    3. කොහොමවුනත් උඹලා හිරවෙන තැනක් එනවා නේද..? අර ජොලිසීයාට වුනාවගේ... හොඳයි කවුරුහරි හොරා කෑවා කියලා හිතමු... ඊටපස්සේ උඹලාට අයිතිය තහවුරු කරන්න ඉදිරිපත්වෙන්න වෙනවා...

      බුරා & පොඩ්ඩි : ඒයි ඒයි ඔයාලා මොකද අපි මහන්සියෙන් ට්‍රාන්ස්ලේට් කරපුවා හොරාකන්නේ
      හොරා 1 : ආ ඔයාලා කවුද..?
      බුරා : මම තමයි බුරා...
      පොඩ්ඩි : මම තමයි පොඩ්ඩි...
      හොරා 2 : ඒ මේන් මෙයා බුරාලු...
      හොරා 1 : මේන් මෙයා පොඩ්ඩිලු...
      හොරා 1 & හොරා 2 : බොරු කියන්නැතුව යන්න මෙයාලා යන්න...

      මේ ගැටලුවත් විසඳෙනවා මාරයාගේ ක්‍රමේට...

      Delete