Monday 8 September 2014

කැට්ලින් 04-1


"අපට තව පැයක් ඇතුළත කින්ග්ස් ලෑන්ඩින්ග් වලට ගොඩ බහින්ට පුළුවන් උත්තමාවනි."

ගරාදි වැටෙන් මෑත් වී ආපසු හැරුනු කැට්ලින් ආයාසයෙන් මුවට සිනහවක් නගා ගත්තා ය. "ඔබේ හබල්කාරයො බොහොම හොඳට අපට සේවය කලා කපිතාන්. මගේ කෘතඥතාව වෙනුවෙන් ඒ හැමදෙනාටම රිදී කාසියක් පිරිනමන්ට මම අදහස් කරගෙන ඉන්නවා."

කපිතාන් මොරියෝ ටර්නිටිස් දුන්නක් මෙන් දෙකට නැමී ඇයට ආචාර කලේ ය. "ඔබතුමී ඕනවටත් වඩා ත්‍යාගශීලීයි ස්ටාර්ක් ආර්යාවනි. ඔබතුමී වගේ උසස් උත්තමාවක් කැටුව යන්ට ලැබිච්ච ගෞරවේම ඇති එවුන්ට තෑග්ගක් විදියට."

"ඒ වුනත් එයාලා මේ රිදී කාසි බාරගනියි."

මොරියෝ සිනහවක් පෑවේ ය. "ඔබතුමී කියනවානං." ඔහු ව්‍යක්ත අන්දමින් පොදු භාෂාව කතා කල අතර එහි යාන්තමට මෙන් ටයිරෝෂි උච්චාරණයක් තැවරී තිබින. ඔහු ඇයට පැවසූ අන්දමට නම් හබල්කරුවෙකු, සුක්කානම හසුරුවන්නෙකු හා අන්තිමේදී තමාගේම වෙ‍ළෙඳ නෞකාවක් හිමි කපිතාන්වරයෙකු වශයෙන් ඔහු වසර තිහක් පුරාවට පටු මුහුද තරණය කර තිබින. කුඹගස් දෙකකින් හා හබල් සැටකින් යුක්ත හම්බානක් වූ 'ස්ටොන් ඩාන්සර්' ඔහු විසින් සතුකරගත් සිවුවන මෙන්ම වේගවත්ම නෞකාව විය.

නිසැක වශයෙන්ම කැට්ලින්ට හා සෙර් රඩ්‍රික් කසල්ට ධවල වරායෙන් සොයා ගත හැකි වූ වේගවත්ම නෞකාව එය විය. ටයිරෝෂිවරුන් ගේ මුදල් වලට ඇති කෑදරකම මනාව දැන සිටි සෙර් රඩ්‍රික් මුලින්ම එයට විරෝධය පල කර සිටියේ ය. ඒ වෙනුවට 'සොයුරියන් තිදෙනා' වෙතින් මසුන් මරන්නන් ගේ සුලුප්පුවක් කුලියට ගනිමුයැයි ඔහු යෝජනා කර සිටියේ ය. එනමුදු කැට්ලින් හම්බාන පිළිබඳ සිය මතයේම එල්බ ගෙන සිටි අතර ඒ අදහස ඵලදායක වූ බැව් පසුව ඔවුන්ට වැටහුනි. ගමන පුරාවටම පාහේ සුළඟ ඔවුන්ට එදිරිව සිටි අතර හම්බාන සතු හබල් නොමැති වී නම් ‍මේ වනවිටත් ඔවුන් අතැඟිලි සමීපයේ ගාටමින් සිටිනා බැව් නිසැක ය.

තමා කින්ග්ස් ලෑන්ඩින්ග් වලට කෙතරම් ලඟ දැයි කැට්ලින් කල්පනා කලා ය. ඇ‍ගේ අතැඟිලි වෙලා තිබුනු හණ ‍වෙලුම්පටිවලට යටින් තුවාල තවමත් පුපුරු ගැසුවේ ය. ඇගේ වමතේ අවසන් ඇඟිලි දෙක තව දුරටත් නවන්නට කොහෙත්ම නොහැකි වූ අතර සෙසු ඇඟිලිද නැවත කිසිදාකත් පෙර පැවති තරම් නම්‍යශීලි නොවනු ඇත. එනමුදු බ්‍රැන් ගේ ජීවිකය බේරා ගැනීම වෙනුවෙන් එය ඉතා සුළු මිලක් වනැයි ඇය සිතුවා ය.

ඒ මොහොතේ සෙර් රඩ්‍රික් නැවු තට්ටුව මත ප්‍රාදුර්භූත විය. "ම‍ගේ හොඳ මිත්‍රයා," ‍මොරියෝ සිය කොළ පැහැ ගැන්වූ රැවුල අතරින් කීවේ ය. "ඔබ මෙහෙම හොඳ සනීපෙන් ඉන්නවා දකින්නට ලැබීමත් සතුටක්."

"ඔවු." සෙර් රඩ්‍රික් එකඟ විය. "පහුගිය දවස් දෙකක් පුරාවටම මට මැරෙන්ට උවමනා නැති වෙලයි තිබුනෙ." ඔහු කැට්ලින් දෙසට හිස නැමී ය. "මගේ ආර්යාවනි."

සැබැවින්ම ඔහු ‍ගේ පෙනුම යහපත් විය. ඔවුන් ධවල වරායෙන් පිටත් වද්දී සිටියාට වඩා මඳක් කෙට්ටු වී තිබුනද ඔහු නැවතත් සුපුරුදු තත්ත්වයට පැමිණ තිබින. ඇමේ දැඩි සුළඟත් පටු මුහුදේ රළු බවත් ඔහුට ඔරොත්තු දී නොතිබින. ඩ්‍රැගන්ස්ටෝන් සමීපයේදී අනපේක්ෂිත අයුරින් කුණාටුවකට මුහුණ දීමට සිදු වූ මොහොතේ ඔහු නැවු තට්ටුව මතින් මුහුදට වැටෙන්නට ගිය අතර මොරියෝ ගේ මිනිසුන් තිදෙනෙකු විසින් බේරාගන්නා තෙක් කඹයක එල්ලී යන්තම් දිවි බේරා ගෙන සිටීමට ඔහුට හැකි විය.

"කපිතාන් මට කිය කියා හිටියෙ අපේ ගමන ඉවර වෙන්ට කිට්ටුයි කියලා." කැට්ලින් කීවා ය.

සෙර් රඩ්‍රික් ආයාසයෙන් වියළි සිනහවක් මුවට නගා ගත්තේ ය. "මෙච්චර ඉක්මනට?" ඒ විභූතිමත් උඩු රැවුල නොමැති කල ඔහු ගේ මුහුණ විසුළු ‍පෙනුමක් ගෙන තිබින. එමෙන්ම වඩා කුඩා, සාහසික බවින් අඩු, වසර දහයකින් පමණ වැඩිමල් පෙනුමක් ඔහුට ලැබී තිබින. එනමුදු, ඇමේ වූ දැඩි සුළං නිසා අත්වැට මතින් නැමී මුහුදට ඔක්කාරය කරමින් සිටි තෙවතාවකදීම සිය රැවුළ වමනයෙන් තෙමා ගත්තාට පසුව සේලරුවකු ගේ දැලිපිහියට රැවුළ බිලි දෙනු හැර වෙනත් විකල්පයක් ඔහුට ඉතිරි වී නොතිබින.

"ඔබලාට කතා කරගන්ට ඉඩ දීලා මම යන්නම්." කපිතාන් මොරියෝ කිවේ ය. ඔවුන් දෙදෙනාට හිස නමා ආචාර කල ඔහු පිටව ගියේ ය.

නෞකාව මුහුදු ජලය මතින් බත්කූරෙකු මෙන් ඉගිල ගියා ය. ඇ‍ගේ හබල් රිද්මයානුකූල ලතාවකට මෙන් ඉහළ පහළ ගියේ ය. ගරාදි වැට දෑතින් අල්ලාගත් සෙර් රඩ්‍රික් ඔවුන් පසුකරමින් යන වෙරළ තීරය දෙස බලා සිටින්නට විය. "මට ඔබට නියම විදියේ ආරක්ෂකයෙක් වෙන්ට බැරි වුනා."

කැට්ලින් ඔහු ‍ගේ අත යන්තමින් ස්පර්ෂ කලා ය. "අපි අපට අවශ්‍ය තැනට පරිස්සමින් ඇවිල්ලා තියෙනවා. ඒකයි වඩා වැදගත් ‍සෙර් රඩ්‍රික්‍." සිය සළුව පසෙකින් අත දැමූ කැට්ලින් ඉණෙහි පැළඳ සිටි කිනිස්ස අත ගෑවා ය. ධෛර්යය වඩවා ගනු පිණිස වරින් වර එය අත ගා බැලීමට ඇය පසුගිය දින කිහිපය තිස්සේ පුරුදුව සිටියා ය. "දැන් අපට තියෙන්නෙ රජ මාළිගාවෙ ප්‍රධාන සටන් පුහුණුකාරයා මුනගැහෙන එකයි. එයා විශ්වාස කරන්ට පුළුවන් කෙනෙක් වෙන්ටයි කියලා අපි යාඥා කරමු."

"සෙර් ආරොන් සැන්ටගාර් කියන්නෙ හරිම අහංකාර මිනිහෙක්. ඒත් එයා අවංක මිනිහෙක්." සිය උඩුරැවුල අත ගෑම පිණිස ඔහු අත ඉහළට එසවූ නමුත් නැවත වතාවත් එය ඔහුට මතක් කර දුන්නේ ඔහු ගේ විභූතිමත් උඩුරැවුල තවදුරටත් ඔහු සතු නොවන බවයි. ඔහුගෙන් දිස් වූයේ අන්දුන් කුන්දුන් වූ ස්වභාවයකි. "එයාට සමහරවිට පුළුවන් වේවි මේ ආයුධය අඳුරගන්ට. ඔවු... ඒත්, ම‍ගේ ආර්යාවනි, වෙරළට ගොඩ බැහැපු ගමන් අපි ලොකු අවදානමක් ගන්නවා. අනික, රාජසභාවෙ ඉන්න සමහරුන්ට ඔබව දැක්ක ගමන් අඳුරගන්ට පුළුවන් වේවි."

කැට්ලින් ගේ මුව තදින් පියැවී ගියේ ය. "සුළැඟිල්ලා." ඇය මිමිනුවා ය. ඇය ඉදිරියේ ඔහු ගේ මුහුණ පෙනී නොපෙනී ගියේ ය. කුඩා ‍කොලුවකු ගේ මුහුණක්. එනමුදු ඔහු තව දුරටත් කුඩා කොලුවකු නොවී ය. ඔහු ගේ පියා මීට වසර කිහිපයකට පෙර මිය ගොස් තිබුනු අතර ඔහු දැන් බේලිෂ් උතුමානන් විය. එනමුදු තවමත් බො‍හෝ දෙනෙක් සුළැඟිල්ලා යනු‍වෙන් ඔහු හඳුන්වන්නට පුරුදුව සිටියහ. මීට බොහෝ කලකට පෙර රිවර්රන්හිදී ඇගේ සොයුරු එඩ්මුයර් විසින් ඒ නම ඔහුට තබා තිබින. ඔහු ගේ පවුල සතු වූ කුඩා බල‍කොටුව අතැඟිලිවල කුඩාම ඇඟිල්ලේ පිහිටා තිබුනු අතර පෙටයර්ද සිය වයසට වඩා ප්‍රමාණයෙන් කුඩා කොලුවකු විය. මේ නිසාම ඒ නම ඔහුට මැනවින් ගැලපුනි.

සෙර් රඩ්‍රික් උගුර පෑදුවේ ය. "බේලිෂ් උතුමානන් වරක්.. ආහ්!" කියාගන්නට සුදුසු වචනයක් සොයමින් ඔහු මඳක් තැතනුවේ ය.

කැට්ලින් මේ වනවිට ඒ සුකුමාලකමින් මිදී සිටියා ය. "එයා මගේ තාත්තගෙ ආරක්ෂාව යටතේ හැදුන දරුවෙක්. අපි හැමෝම රිවර්රන්වල එකටයි හැදු‍නෙ වැඩුනෙ. මම එයා ගැන හිතුවෙ සහෝදරයෙක් හැටියටයි. ඒත් එයාගෙ හිතේ මා ගැන... සහෝදරකමකට වඩා වැඩි දෙයක් තිබුනා. මාව බ්‍රැන්ඩන් ස්ටාර්ක්ට පොරොන්දු වුනා කියලා කිවුව ගමන් පෙටයර් මගේ අත ගන්ට එයාට ඇති අයිතිය වෙනුවෙන් සටන් කරන්ට සූදාණම් වුනා. ඒක මහ පිස්සුවක්. බ්‍රැන්ඩන්ට එතකොට විස්සක්, පෙටයර්ට යාන්තං පහ‍ළොව පිරුනා විතරයි. පෙටයර්ගෙ ජීවිතේ බේරන්ට කියලා බ්‍රැන්ඩන්ට බැගෑපත්වෙන්ට මට සිද්ධවුනා. ඉතින් බ්‍රැන්ඩන් එයාව නොමරා තුවාලයක් විතරක් කරලා එයාව ඉතුරු කලා. ඒ සිද්දියෙන් පස්සෙ මගෙ තාත්තා එයාව ආපහු යැවුවා. එදායින් පස්සෙ මම තාමත් එයාව දැකලා නෑ." පින්නක් මෙන් විසිරෙන මුහුදු දියට ඇය සිය මුහුණ එසෙවුවේ හමන සුළඟින් සියලු මතකයන් පලවා හැරිය හැකියැයි සිතන්නාක් මෙනි. "බ්‍රැන්ඩන් මැරුනට පස්සෙ එයා මට රිවර්රන් වලට ලියුමක් එවුවා. ඒත් මම ඒක කියවන්නෙවත් නැතුව පුච්චලා දැම්මා. ඒ වෙද්දි මම දැනගෙන හිටියා ‍නෙඩ් එයාගෙ සහෝදරයා වෙනුවට මාව කසාද බඳිනවා කියලා."

සෙර් රඩ්‍රික් ගේ අතැඟිලි නැවත වතාවක් ඔහුට අහිමි උඩුරැවුල පිරිමදින්නට ඉහළට එසවුනි. "සුළැඟිල්ලා දැන් රාජසභාවෙ උපදේශකයෙක්."

"මම දැනගෙන හිටියා එයා දවසක ඉහළටම නගිනවා කියලා." කැට්ලින් පිළිතුරු දුනි. "එයා හරි සූරයි. පුංචි කොල්ලෙක් කාලෙ වුනත්. ඒ වුනත් සූරකම කියන්නෙ එකක්, ඥානවන්තකම කියන්නෙ තව එකක්. මට හිතාගන්ට බෑ මේ අවුරුදු ගාන ඇතුළත එයා කොච්චර වෙනස් වෙලා ඇද්ද කියලා."

ඔවුන්ට ඉහළින් කුඹගස මත රඳවා සිටි සේලරුවා නෞකාවේ ගමනාන්තය ළඟා වූ බව හඬ ගෑවේ ය. කඩිනම් ගමනින් නැවු තට්ටුව මතට පැමිණි කපිතාන් මොරියෝ සේලරුවන්ට විධාන නිකුත් කරන්නට විය. කුඩා කඳුගැට තුනක් මුදුනේ පිහිටි කින්ග්ස් ලෑන්ඩින්ග් කෙමෙන් කෙමෙන් ඔවුන් ගේ දර්ශන පථයට හසුවෙද්දී ඔවුන් වටා ස්ටොන් ඩාන්සර්හි නැවු තට්ටුව කඩිගුලක් මෙන් ඇවිස්සී ගි‍යේ ය.

වසර තුන්සීයකට පෙර මේ කඳු ගැට වැසී තිබුනේ වනාන්තරයෙන් බව කැට්ලින් දැන සිටියා ය. කළුදියදහර නම් වූ ඒ ගැඹුරු වේගවත් ගංගාව මුහුදට ගලාබසිනා මෝය කටේ උතුරු ඉවුරේ පදිංචි වී සිටි මසුන් මරන්නන් ස්වල්පයක් හැරෙන්නට එවකට එහි අන් කිසිවෙකුත් නොවී ය. ඩ්‍රැගන්ස්ටෝන්හි සිට නැවු නැගි ජයග්‍රාහක ඒගොන් සිය හමුදාවත් සමග ගොඩ බැස්සේ මෙතැනටය. දැවයෙන් හා මැටියෙන් නිමකල සිය පළමු බලකොටුව ඔහු විසින් ගොඩනංවන ලද්දේ මේ කඳුගැට තුනෙන් උසම කඳුගැටය මුදු‍නේ ය.

එනමුදු දැන් ‍මේ නගරය වෙරළ තීරයේ ඇසට හසුවන මානය ඉක්මවා පැතිර තිබින. මන්දිර හා ලතා මණ්ඩප හා ධාන්‍යාගාර, ගඩොලින් තැනූ ගබඩා හා දැවමුවා තානායම් හා වෙළෙඳුන් ගේ සල්පිල්, සුරාසල් හා සොහොන් පිටි හා ගණිකා මඩම් යනාදී මේ සියල්ල එකට වෙලී පැවතින‍. මාළු වෙළෙඳපළේ කලිකලහය මෙතරම් ඈතක සිටි කැට්ලින්ට පවා ඇසිය හැකි විය. මේ ගොඩනැගිලි මධ්‍යයේ ගස්වලින් සෙවන වුනු පුළුල් මාවත්, අතුරු වීථි හා ‍දෙදෙනෙකුට මාරු වීමට අසීරු තරම් පටුමං දසත විහිද පැවතින‍. විසෙන්යා ගේ කඳුගැටය මුදුනේ සිය පළිඟු කුළුණු හතෙන් විභූතිමත් වූ බේලර් ගේ සප්තකය පිහිටා තිබින. නගරයේ අනෙක් පස රේනිස් ගේ කඳුගැටය මුදුනේ කළු පැහැ බිත්තිවලින් යුත් 'මකරාවාටය' දැකිය හැකි විය. එහි දැවැන්ත ශිඛර ගෝලාර්ධය මේ වනවිට නටඹුන් වී තිබුනු අතර සියවසක් මුළුල්ලේ එහි ලෝකඩ දොරවල් වසා දමා තිබින. මේ දෙකට මැද්දෙන් පිහිටා තිබුනු 'සොයුරියන් ගේ වීථිය' ඊයක් ‍මෙන් හරි කෙලින් වැටී තිබින. මේ සියල්ල වට කල නගර ප්‍රාකාර උස්ව ශක්තිමත්ව නැගී සිටියේය.

වෙරළ තීරය පුරා තොටුපළ සිය ගණනක් විසිරී පැවති අතර වරාය නැවු වලින් තදබද වී පැවතින‍. ගැඹුරු දියේ මසුන් අල්ලන බෝට්ටු හා ගංදියේ දුවන බෝට්ටු මත නැගී සිටි හබල් කරුවන් කළුදියදහර හරහා සිය බෝට්ටු එහා මෙහා පැදවූහ. බ්‍රාවොස් හා පෙන්ටොස් හා ලයිස් වෙතින් පැමිණි වෙළෙඳ නෞකා සිය භාණ්ඩ ගොඩබාමින් සිටියහ. ඉබ්න් තොටමුණේ සිට පැමිණි තාර මෙන් කළු පැහැ බඳින් යුත් තල්මස් දඩයම් නැවක් සමීපයේ නැංගුරම් ලා තිබුනු රැජිණ ගේ අලංකාර විනෝද පාරුව කැට්ලින් නිරීක්ෂණය කලා ය. ගඟේ තරමක් ඉහළට වන්නට රුවල් ඇකිලූ රන්වන් පැහැ සිහින් බඳකින් යුතු යුධ නෞකා දුසිමක් පමණ නවතා තිබින.

මේ සියල්ලටම ඉහළින් ඒගොන් ගේ කඳුගැටය මුදුනේ වූ රතු බලකොටුව පහතින් තිබෙන කලිකලහය දෙස රවාගත් බැල්මෙන් බලා සිටියේ ය. එහි වූ දැවැන්ත සිලින්ඩරාකාර කුළුණු සත, මුදුනේ තිබුනු යකඩින් තැනූ පවුරු හා අටලුවලින් ආරක්ෂා විය. සුවිසල් මුරකපොලු, කවාකාර ආරුක්කුවලින් හැඩවුනු ශාලා හා ආවරණය කෙරුනු පාලම්, බැරැක්ක හා දඟගෙවල් හා ධාන්‍යාගාර, දුනුවායන් ගේ අට්ටාලවලින් පිරුනු සද්දන්ත රැකවල් පවුරු යන මේ සියල්ලම රතු පැහැ ගලින් නිම කෙරුනේ විය. ජයග්‍රාහක ඒගොන් විසින් එය තැනවීම ආරම්භ කල අතර ඔහු ගේ පුත් ක්‍රෑර මේගර් විසින් එහි නිමාව දුටුවේ ය. බලකොටුව තනා නිමවීමෙන් පසු මේගර් විසින් එය තැනීමට දායකවුනු ගල් වඩුවන්, ලී වඩුවන් හා අනිකුත් සියලුම කම්කරුවන් ගේ හිස ගසා මරා දැමී ය. මකරාධිපතියන් විසින් නිමවුනු මෙම බලකොටුවේ රහස් දැනගත හැක්කේ මකර රුධිරය ඇත්තවුන්ට පමණක් බවට ඔහු සපථ කලේ ය.

එනමුදු දැන් මේ බලකොටුවේ පවුරු මුදුනේ දිදුලමින් තිබුනු ධජ කළු පැහැති ඒවා නොව රන් පැහැ ඒවා විය. කලෙකදී එහි සිටි ගිනිපිඹින හිස් තුනේ මකරා වෙනුවට එහි දැන් උඩඟු ලෙසින් බලා සිටින්නේ බරතියන් වංශයේ ලාංඡනය වන කිරුළ ලූ ගෝනා ය.

විසල් සුදු පැහැ රුවලින් යුතු, උස් කුඹගස් සහිත, ගිම්හාන දූපත්වලට අයත් හංස නෞකාවක් වරායෙන් පිටත් ‍වෙමින් තිබින. ඒ පසෙකින් වරායට ඇතුළු වූ ස්ටොන් ඩාන්සර් සිය නැවතුම් තොටුපළ වෙත ඇදෙන්නට වූවා ය‍‍‍‍.

"මගේ ආර්යවනි, අසනීපෙන් ඇඳට වෙලා ඉන්න දවස් ටිකේ මම ටිකක් කල්පනා කරලා බැලුවා කොහොමද මේ වැඩේ කරන්ට හොඳම විදිය කියලා. ඔබ බලකොටුවට ඇතුළුවෙන්ට එපා. ඒ වෙනුවට මම ගිහිල්ලා සෙර් ආරොන්ව මුනගැහිලා එයාව එක්කන් එන්නම් වෙන රහස් තැනකට."

කැට්ලින් මහළු නයිට්වරයා දෙස නිරීක්ෂණාත්මක බැල්මක් හෙලුවා ය. හම්බාන මේ වන විට ජැටිය ‍වෙත ළඟාවෙමින් තිබුනු අතර කපිතාන් මොරියෝ නිදහස් නගරවල භාවිත වන ග්‍රාම්‍ය වැලීරියන් බසින් බෙරිහන් දෙමින් සිය සේලරුවන්ට විධාන නිකුත් කරමින් සිටියේ ය. "ඔබත් මං තරම්ම අවදානමක් ගන්නවා නේ." ඇය කීවා ය.

සෙර් රඩ්‍රික් සිනහවක් පෑවේ ය. "මම හිතන්නෙ නෑ. අද උදේ වතුර තලියකින් මගේ මූන දැකපු වෙලාවෙ මටවත් ඒක අඳුරගන්ට බැරි වුනා. උඩුරැවුල නැතුව මාව දැකපු අන්තිම කෙනා මගේ අම්මා. එයා මැරිලා දැන් අවුරුදු හතලිහක් වෙනවා. මම විශ්වාස කරනවා මට පරෙස්සමින් මේ වැඩේ කරගන්ට පුළුවන් වෙයි කියලා මගේ ආර්යාවනි."

මොරියෝ ගේ හඬ නැවතත් ගිගුම් දුනි. එකාවන්ව ගංදියෙන් ඉහළට එසවුනු හබල් හැට ආපස්සට හබල් ගෑවේ නෞකාවේ වේගය අඩුකරලනු පිණිස ය. තවත් අණක් නිකුත් වුනු අතර එවර හබල් සියල්ල නැවු බඳ තුළට රූටාගෙන ගියේ ය. නෞකාව ජැටියේ පසෙක වදිද්දී ටයිරෝෂි සේලරුවන් කඹ ගැටගසනු පිණිස පිටතට පැන්නහ. මොරියෝ කලබල ගමනින් ඔවුන් වෙත පැමිණියේ මුව පුරා රුඳුනු විසල් සිනාවක්ද ඇතුව ය. "කින්ග්ස් ලෑන්ඩින්ග් මගේ ආර්යාවනි, ඔබතුමී අණදුන්නු විදියටම. කිසිම නැවක් මේ තරම් ඉක්මනින් මේ ගමන ඉවර කරන්ට නැතුව ඇති. ඔබතූමීගෙ බඩු බාහිරාදිය බල‍කොටුවට උස්සන් යන්ට මොකුත් උදවුවක් එහෙම ඕනද?"

"අපි බලකොටුවට යන්නෙ නෑ. ඔබට සමහරවිට කියන්ට පුළුවන් වෙයි අපට නවතින්ට හොඳ තානායමක් ගැන එහෙම. ගඟෙන් වැඩිය දුර නැති, නිදහස් පිරිසුදු සැපපහසු තැනක්."

ටයිරෝෂියා සිය කොළ පැහැ රැවුල පිරිමැද්දේ ය. "මං හිතනවා. ඔබතුමන්ලා ගේ උවමනාකම්වලට ගැලපෙන විදියේ තැන් දෙකතුනක්ම මං දන්නවා. ඒත් ඊට කලින්.. සමාවෙන්ට මං මෙහෙම කියනවට.. අපේ පොරොන්දු වෙච්චි ගාස්තුවෙ ඉතුරු බාගෙ ගෙවලා ඉන්නවද. ඒත් එක්කම ඔබතුමී අර පොරොන්දු වෙච්චි අමතර රිදි කාසි ටිකත්. රිදී කාසි හැටක් මං හිතන්නෙ."

"හබල්කාරයින්ට." කැට්ලින් ඔහුට මතක් කර දුන්නා ය.

"ආහ්! ඔවු, අනිවාර්යයෙන්ම." මොරියෝ කීය. "ඒ වුනත් අපි ආපහු ටයිරොෂ්වලට යනකං ඒ ටික මගෙ බාරෙ තිබ්බනං හොඳයි කියලයි මං හිතන්නෙ. නැත්තං උංගෙ ගෑනුන්ටයි ළමයින්ටයි දෙවි පිහිට තමා. ඔය රිදී කාසි ටික උංට මෙහෙදිම දුන්නොත් මගේ ආර්යාවනි, උං එක රෑකින් ඒක නාස්ති කරගනියි, සූදු කෙලලා හරි ඔය ‍වෙන මොනාට හරි වියදං කරලා හරි."

"සල්ලි නාස්ති කරන්ට ඊටත් වඩා නරක ක්‍රම තියෙනවා." සෙර් රඩ්‍රික් කතාවට මැදිහත් විය‍. "සීත කාලෙ එනවා."

"මිනිහෙකුට පුළුවන් එයා වෙනුවෙන් තමන්ම තීරණ ගන්ට." කැට්ලින් කීවා ය. "මේ මිනිස්සු ඒ රිදී කාසි උපයගත්තා. උං ඒක කොහොම වියදම් කරනවද කියන එක මට අයිති වැඩක් නෙවෙයි."

"ඔබතුමී කියන විදියකට ම‍ගේ ආර්යාවනි." මොරියෝ ‍දෙකට නැවෙමින් සිනාමුවින් යුතුව පිළිතුරු දුන්නේ ය.

නිසැක වනු පිණිස හබල්කරුවන්‍ ‍ගේ රිදී කාසි කැට්ලින් විසින් සියතින්ම ඔවුන්ට ගෙවා දැමුවා ය. මොරියෝ විසින් විසෙන්යා ගේ කඳුගැටයේ මැදක පිහිටි තානායමක් ඔවුන්ට නිර්දේශ කර තිබින. එය ආඳ පටුමගෙහි වූ පැරණි ගොඩනැගිල්ලක් විය. එහි අයිතිකාරිය නොරිස්සුම් මුහුණකින් හෙබි මැහැල්ලක් වූ අතර ඇය සිය ආගන්තුකයින් දෙස සැකමුසු බැල්මක් හෙලුවා ය. එනමුදු ඇගේ කාමර හොඳින් වාතාශ්‍රය ලැබෙන විශාල ඒවා වූ අතර මොරියෝ දිවුරා කියූ පරිදි නම් ඇගේ මාළු ඉස්ටුව මුළු රාජධානි සප්තකයේම ඇති රසවත්ම ඉස්ටුව විය. මේ හැමටම වඩා වැදගත් වූයේ ඇය සිය ආගන්තුකයින් ගේ නම්ගම් විමසා නොසිටීම ය.

"ඔබ අමුත්තන් ගේ ශාලාවෙන් ඈත් වෙලා ඉන්න තරමට හොඳයි, මම හිතන්නෙ." කාමරය තුළ සිය බඩුබාහිරාදිය තැන්පත් කර අවසන් වූ පසු සෙර් රඩ්‍රික් කීවේ ය. "මේ වගේ තුට්ටු දෙකේ තැනක වුනත් අපි දන්නෙ නෑ කවුරු අපි දිහා බලාගෙන ඉන්නවද කියලා." ඔහු මුදු දම්වැල් වලින් සැදුනු සන්නාහයක් හැඳ කිනිස්සක් හා දිගු අසිපතක් පැළඳ සිටි අතර ඊට උඩින් හිස වැසිය හැකි අන්දමේ අඳුරු කබායක් හැඳ සිටියේ ය. "මම සෙර් ආරොන් එක්ක රෑ වෙන්ට ඉස්සෙල්ලා එන්නම්." ඔහු පොරොන්දු විය. "ඔබ දැන් ටිකක් විවේක ගන්ට මගේ ආර්යාවනි."

කැට්ලින්ට දැඩි විඩාවක් දැනෙන්නට විය. මුහුදු ගමන දිගු මෙන්ම වෙහෙස ගෙන දෙන්නක් විය. එමෙන්ම, ඇය දැන් පෙර සිටි තරුණිය ද නොවේ. කාමරයේ කවුළු පිටත පටුමගට හා පියැසි වලට විවර වූ අතර මඳක් ඈතින් ගංගාව දැකිය හැකි විය. තානායමෙන් පිට වූ සෙර් රඩ්‍රික් ඉක්මන් ගමනින් මාවතේ සෙනග අස්සේ නොපෙනී යන දෙස ඇය බලා සිටියා ය. ඉන්පසු ඔහු ‍දුන් උපදෙස අනුව කෙටි විවේකයක් ලබන්නට අදහස් කලා ය. ඇඳේ මෙට්ටය ඇය පුරුදුව සිටි අන්දමේ පිහාටු මෙට්ටයක් ‍නොව පිදුරු අතුරා සකස්කරන ලද්දක් වුවද සුව නින්දකට වැටෙන්නට එය කිසිසේත්ම බාධාවක් නොවී ය.

ඇය නැවත පිබිදුනේ කිසිවකු කාමරයේ දොරට මහ හයියෙන් තඩිබාන හඬිනි.


Catelyn Stark: “A wife is allowed to yearn for her husband, and if a mother needs her daughters close, who can tell her no?”

83 comments:

  1. මේක සම්පූර්ණ කලහම පොතක් ගහන්න.. එතකොට නම් මම අනිවාර්යයෙන් කියවනවා... එහෙන් මෙහෙන් කියෙව්වහම කියවන්නත් බැරි නැහැ.. ඒත් දැන් මුල ඉඳලා පටන් අරගෙන කියවන්න වෙලා නෑ...

    ReplyDelete
    Replies
    1. දැන් මුල ඉඳලා කියවන්ට වෙලා නැහැල්ලු.. පොතක් ගැහැවුවම මුල ඉඳන්ම කියවන්නම්ලු.. දැන් ඔතනින් කෝකද විශ්වාස කරන්ට ඕන? :-D

      Delete
    2. එක්ස්පීරියන්ස් දෙකක්නේ බූරෝ... කොටස් වශයෙන් යන ඒවා කාලයක් තිස්සේ මතක තියාගෙන මග නොහැර කියවනවා වගේද එක පාර පොතක් අතේ තියාගෙන, කියවගෙන කියවගෙන යන එක....

      Delete
    3. ඔව් ඔව්...එකපාර කියවගෙන, කියවගෙන යන එක හොඳයිලු... :)

      Delete
  2. අනේ පොඩ්ඩියේ.. මං මාසයක් විතර රවුමක් ගියා ඉතින් මට අතපසු උන එව්ව ගොඩයි.. මං බලං ඉන්නෙ කියවන්න ඉසිඹුවක් එනකල්.. කොටින්ම කිවුවොත් කියවපු එකත් අමතකයි.. හිමීට ඇවිත් කියවන්නං. මුල ඉඳං.. .

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි වෙනුවට:

      හරි හරි.. හෙමිහිට කියවන්ටකො..

      බැරි වෙලාවත් තව ටික කාලෙකින් ආයෙමත් රවුමක් ගියොත්, ආයෙමත් මුල ඉඳන් කියවන්ට වෙයිද දන්නෑ නේද? :-D

      ඒක නෙවෙයි, කෝ අද 'ට'යන්න?

      Delete
    2. හප්පේ දැකපු කල්...:)

      දකින්ටත් ආසාවේ හිටියේ...හිමිහිට කියවන්ටකෝ සරත්. ඇයි අනේ ටයන්න හැලුවේ. දුකේ බෑලු. :(

      Delete
  3. කවුද දන්නේ නෑ ආවේ නේද ? :P

    ReplyDelete
    Replies
    1. තානායමේ අයිතිකාරි එයාගෙ ඉස්තරම්ම මාලු ඉස්ටුව කන්න කතාකරන්න ආවද දන්නෙ නැහැ :)

      Delete
    2. ඒ ඇවිත් තියෙන්නෙ 'අනික් එවුන්‍', කැට්ලින් මිරිස් කෑවද බලන්ට.. :-D

      Delete
    3. කවුද අප්පේ කැට්ලින්ට මිරිස් කන්න කිවුවේ.. පොඩ්ඩි අක්ක වෙන්න ඇති..

      Delete
    4. වෙන කවුදෑ ඉතින්. උන්දෑ පුළුවන්නම් මකරුන්ටත් මිරිස් කවයි. ;-)

      Delete
    5. පොඩ්ඩි මිරිස් කරල් ටික තියාගෙන දොරෙන් එහා පැත්තෙ ඉන්නවලු කැට් ට අමුමිරිස් චැලෙන්ජ් එක දෙන්ට.

      Delete
    6. ඔව් , වොව් ඉන්න ගමන් " සේ..සේ.."කියලත් කියනව "ලූ"

      Delete
    7. කවදහරි මෙතන ඉන්න ඔක්කොමලාටම දැවිල්ල හැදෙන්ටම මිරිස් කවලලු පොඩ්ඩි පස්ස බලන්නේ. :P

      Delete
    8. අපි නම් ඔය මාලිගාවේ හිටියත් මිරිස් එහෙම කන බොන කොල්ලෝ ලු :P

      Delete
    9. මිරිස් බොන්නෙ බ්ලෙන්ඩර් එකට දාලා යුෂ හදලා වෙන්ටෑ.. මං මේ අහන්ට කියලා හිටියෙ, එහෙම දානකොට මිරිස් නැටි පිටින්ම දානවද? ;-)

      Delete
    10. මිරිස් අරිෂ්ටයක් වෙනම හදනවා සීතල කාලෙට බොන්ට. :P

      නැටි විතරක් නෙවෙයි මිරිස් ගහෙ පස් පංගුවම දානවා.

      Delete
    11. ඇයි දෙයියනේ මට එක පාරක් කැවුව මදිද ආයේ කවන්න හදන්නේ... :(

      Delete
  4. මේ පොත නම් පුදුම ලස්සනක් , කියලා වැඩක් නැහැ......

    ReplyDelete
    Replies
    1. මේ, ඔයා අද සිල් ගත්තෙ නැද්ද අනේ?

      Delete
    2. නැහැ අනේ වෙඩිමකට ගිහින් බඩේ අමාරුවක් හැදිලා , වැරදියට හිතන්න එපා "ගැස්ට්‍රයිටිස්" වැඩිවෙලා.. :P

      Delete
    3. වෙඩිමකට ගියාම ගැස්ට්‍රියිටිස් වැඩිවෙන්නෙ කොහොමද අනේ?

      Delete
    4. මෙච්චර කල් ඇහුවෙ උපාසක බලල්ලු ගැන. ඔයා උපාසක සිංහයෙක්ද?

      Wedimata gihin kaaama diha balagana hitiyada oya?

      Delete
    5. මොකද මන්දා හිටපු ගමන් මයෙ කට කහන්න ගත්තෙ :) මාත් දසසිල් උපාසක. දානෙ ගෙවල් අරින්නෙ නෑ

      ඉස්සර කාලෙ සෙල්ලමක් තිබ්බලු ෆොක්ස් හන්ටිං කියලා. උන්දලට සෙල්ලං වුනාට අපිට ඔව්වා ලෙල්ලං. මයෙ හිතේ නරින්ගෙ බූල් කෝට් හරි ඩිමාන්ඩ්. දැනුත් ඒ හැටි වෙනසක් නෑ.

      ඔය අනුන්ගෙ ගෑස් මෙව්වා ගැන කියන්න ගිහිල්ලා ,මං මොකටෑ බුල් කෝට් එක නැතිකරගන්නෙ?

      Delete
    6. මට මේ කථන්දර කීමේ හැකියාව සහ පරිකල්පනය ගැන ඉරිසියා හිතෙන තරම්..

      Delete
    7. ඔව් ඔව් රෙඩ් & වයිට් කට කහනව නම් ප්ලාස්ටර් එකක් අලෝගත්තොත් හොඳයි. නැත්නම් ඔය ලස්සන හමෙන් තොප්පියක් හදා ගන්නව මන් :) ඇයි අනේ වෙඩින් වල තියෙන කෑම ජාතිවලට ගැස්ට්‍රයිටිස් හැදෙනවනෙ සමහර වෙලාවට . ඔය මිරිස්, තෙල් එහෙම තියෙන කෑම මට කන්න අමාරුයි.

      Delete
    8. lady poddi and lady sinhasonya බොලා දෙන්නට කන්ට පින නෑ අප්පා. මිරිස් කන්ට බැරිලු තෙල් කන්ට බැරිලු. සිකේ

      Delete
  5. හ්ම්ම්ම් කියෙවුවා.. බලමු කවුද ආවේ මොකද වෙන්නේ කියලා...

    ReplyDelete
    Replies
    1. කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ...

      Delete
  6. ඉස්ටුව මෝර මාළු ඉස්ටුවක් වෙන්ට ඇති නේද අර මෝබි ඩික් කතාවෙ වගේ.

    ReplyDelete
    Replies
    1. මෝබි ඩික් එකේ මෝර මාළු ඉස්ටුවක් ගැන කියැවෙනවද? පොත කියෙවුවෙ අනාදිමත් කාලෙකට කලින්, ආයෙමත් හොයාගෙන කියවන්ට ඕන.

      හැලපෙ මේ දවස්සල ෆුල් බිසී වගේ නේද? ටික දවසකින් පෝස්ට් එකක්වත් නෑ..

      Delete
    2. හෑ, හැලපෙ මෝබි ඩික්ව ඉස්‍ටු දැම්මද?

      ඒක ඇරිච්චාවෙකො. බැයිද හැලපෙ මාළු ඉස්‍ටු රෙසිපියක් දෙන්න. ඔය ඉඳලා හිටලා රෙසිපියක් දෙකක් දැම්මට මොකක් වෙනවද? අපිත් හොඳට කන බොන නරි :)

      Delete
    3. කොහෙද අෆ්ෆා ඔය මෝර මාළු කතන්දරේ තියෙන්නේ?

      Delete
    4. හප්පද බොල! දැන් නරි, මාළු කන්නෙ ඉස්ටු දාලා ඈ.. මුන්ට ගිය කල.. හා මස් කන්නෙ රෙඩ් වයින් බොන ගමන් වෙන්ටැ නේද?

      Delete
    5. අපිට මාළු ඉස්‍ටු තහනං , ඇයි අපි ඔ‍ටුවොද? :)

      ඔය මස් කනකොට රෙඩ් වයින් බොන එක , කාලා වතුර බොන්නැති සුද්දන්නෙ වැඩක් කියල තමා හැලපෙ නං කිව්වෙ.

      Delete
    6. ඔටුවොන්ට නම් මාලු ඉස්ටු තහනම් තමා.

      ඒක නම් ඇත්ත නරි පැට්ටෝ. අපිත් කාලා වයින්ම තමා බොන්නේ. වතුර බීලා පුරුද්දක්ම නෑලු. :P

      Delete
    7. අරිශ්ටේ පොඩ්ඩක් දෙන්ටද පොඩ්ස්. යේ වයින් දිහා බලන්නේවත් නැල්ලු මේක බීවහම. :D

      Delete
    8. මාලු ඉස්ටු එක්ක නම් වයිට් වයින් වෙන්නැති බොන්නෙ... පෝට් ද? ඩෝර්න් ද?

      Delete
    9. නෑ රෙඩ් වයින්.. ආර්බර් ෆයිනස්ට්! :-)

      Delete
    10. ආර්බර් ගෝල්ඩ් ද? මටත් ෂොට් එකක් තියපල්ලා.

      Delete
    11. රෙඩ් නං මට ශතෝ.පොඩි මාළු කෑල්ලක් එක්ක ශතෝ ටිකක් ඉතුරු කරපල්ලා.

      Delete
  7. කියවන්න ට්‍රයි කරා, ම්හු, හරියන්නෙම නෑ. හරියට හමක් කනව වගේ බං. මගේ කරුමෙ මිසක් බොලාගෙ ලිවිල්ලෙ අඩුවක් නෙමෙයි.

    ඒ හින්ද කමෙන්ට් ටික බලල, දිගටම කොරගෙන යන්න සුභ පතල ගියා!

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ බං. එක එක්කෙනාගෙ රුචිකත්වය එක එක ආකාරයි නොවැ. ආවට ස්තූතියි!

      Delete
    2. මටත් ඕකම තමා බන්ස්ලා වුනේ.. මටත් දිරවන්නෑ මේ ටයිප් එකේ කතා. මමත් මෙහෙ එන්නෙ කමෙන්ට් ටික කියවලා පොඩ්ඩක් ලේ පිරිසිදු කරන් යන්න.. :D

      Delete
    3. ඇති යන්තං. ඔන්න දැන් හිත හෑල්ලුයි :D

      Delete
    4. හිත බර කරගන්ට එපා පින්වත.. අවුලක් කරගන්ට එපා පින්වත..

      Delete
    5. කට්ටිය ඉතින් බර සැහැල්ලු කරගන්ට මෙතන්ට එන එකත් කොච්චර ලොකු දෙයක්ද? හී...හී...මට හිනාගියා...

      Delete
    6. @Pods, ඒකියන්නෙ To let වචන දෙක අතරට i එකක් ?

      Delete
    7. හිතෙන දේවල් නොකියම ඉම්මු නේද ? :P

      Delete
    8. බර හෑල්ලු කරගන්න එන තැනක් කියල කීවම හිනා ගියා!!!????

      Delete
    9. චැහ්! බලහං ඉතිං මං නැති අතරෙ කරගෙන තියෙන විනාසෙ..

      Delete
    10. ඔව් ඔව්, ඔය පොම් පොම් එහෙම තම නිශ්පාදනය පාවිච්චි කල වෙලාවක බර හෑල්ලු වෙන්න ඕනැවුනොත් මෙතන

      Delete
    11. අන්න නාසි-බුරං උඹටයි ටයනිටයි අර තිසරය මාර කෝචෝක් එකක් දාල. මෙන්න ඔත්තුව ඔන්න මම ගින්න දුන්න.

      ක්‍රිපටො වරෙන් පැට්‍රල් අරං...:D

      Delete
    12. හෙහ් හෙහ්! අපි අහුවෙයි ඕවට... :-P

      Delete
  8. ඉස්සරෝම දුක...
    ඇයි අහන්නෙ අද මුල දිම කොමෙන්ට් කරන්න එන්න බැරිවුනානෙව...
    මේ සතියම මහ මාන්දමික විදියට ගෙවුනෙ...

    දොරට ගැහුවෙ සෑර් රෙඩ්ඩික්...
    නැත්තං...
    ඔව්...
    ඔබ ඒ පුල පුලා බලා සිටි කැටලිං ගේ මාරයා...

    බුහ් හහ් හා.............

    ReplyDelete
    Replies
    1. සතියම මාන්දමිකයි කිවුවා? ඕක හරියනවා නෙවැ අර prince pom pom ගෙ අරිෂ්ඨෙ චුට්ටක් ගත්තනං..

      Delete
    2. අප්පෝ ඊට වඩා හොදා වහ ටිකක් කාල කැලේ පයිනව..
      ඕක බීවට පස්සෙ පිස්සං කොටුවටවත් ගන්නෑ කියල ඊයෙ කව්දෝ මංද කියනව මං අහගෙන

      Delete
    3. අඩොව්
      කවුද බොල මගේ රෝයල් අරිස්ටේට පද හදන්නේ.
      නරියට පොවලා එවන්නේ බලාගනිල්ලා :p

      Delete
    4. ඕක බිව්වහම නරි පියාඹනවලු..

      Delete
  9. මා හිතනවා ඔබට මෙය පොතක් ලෙස එළිදක්වන්නටත් අවකාශ ඇතැයි කියා.

    ReplyDelete
    Replies
    1. පොතක් විදියට එළි දක්වන්ට අදහසක් නම් තියෙනවා.. බලමු බලමු නේ..

      Delete
    2. ඔය තියෙන්නේ.. බලපං පොතක් ගහපු දවසට මම කියවලා හෙන මඤ්ඤං විචාරයක් දෙන්නෙ නැද්ද කියලා....

      Delete
    3. බලමු බලමු කියලා බෑ මෙයා. දක්වමු. දක්වමු...කියලා කමෙන්ට් එකක් කෙටුවා විතරයි තිසර ඇවිත්...:)

      Delete
  10. ඊයේ සිල්නේ,එක නිසා ඕපා දුප හොයන්න හොඳ නැති නිසා අහන්නේ නැතුව හිටියේ ඇත්තට අර කීවාත් වගේ මොකාද එන්න ඇත්තේ ?

    ReplyDelete
    Replies
    1. ඉවසන්ට පින්වත් උපාසක, ඉවසන්ට.. හෙට කියනවා කවුරුද ආවේ කියලා.. එතෙක් ඉවසන්ට..

      Delete
  11. අද උදේ හිස්බඩම අපේ පොං පොං ගෙ අරිෂ්ථෙ ගත්තා. මාත්‍රාව පොඩ්ඩක් ඉතර වැඩි වුනා. මෙන්න මගේ නරි මොලේට ආව කල්පනාව:

    මාටිය ඕය පොත් ලියන්න ඉස්සෙල්ලා ඉන්තේරුවෙන්ම අපේ ජාතක කතා කියවල තියනවා. ඔය සැට් එක වාඩිවෙන්න මරා ගන්න පු‍ටුව තියනව නේද? ඕක හදල තියෙන්නෙ කඩු වලින් කියල කියන්නෙ. ඔය වගේ කිට්‍ටුවෙන්වත් යන සැප පහසු පු‍ටුවකට තියෙන්නෙ අපේ සැක්කරයගෙ පාණ්ඩු කම්බල සයිලාසනේ ඉතරමයි. මාටිය ඔය අයිඩියා එක කොපි කරන්න ඇත්තෙ ඒකෙන්. හැබැයි මාටියගෙ පු‍ටුව වගේද අපේ සැක්කරයගෙ පු‍ටුව? පුහ්! තනිකරම කලු ගල. ඒ මදිවට හීටර් එහෙමත් හයි කරල නෙව තියෙන්නෙ. මට මේ මැවිල පෙනිච්ච දේ:

    ඕං සැක්කරයා එනවා පු‍ටුවෙ වාඩිවෙන්න. පස්ස තියපු ගමන් , නිකං කරන්ට් එක වැදුනා වගේ නිකම්ම නැගිටෙනවා. ආයි ඉඳගන්නවා , නැගිටිනවා. බලාගෙන ගියාම දිවිය සැප විඳින එකත් පණ යන වැඩක් නෙව?

    ReplyDelete
    Replies
    1. ජාතක කතා කියෙවුවද නැත්තං මහාවංශය කියෙවුවද දන්නෙ නෑ.. ඒකෙත් තියෙන්නෙ ඔය මාමයි බෑණයි මැණික් පුටුවකට මරාගත්ත ඒවයි, incest වලින් ළමයි හැදුනු ඒවයි (අඩේ හැබෑට ඒකෙත් ඉන්නෙ සිංහයෙක් නේද?), පිරිවරත් එක්ක නැවු නැගලා රටින් පිටවෙච්චි ඒවයි, තව ඔය ව‍ගේ රටේ නැති ඒවයි නෙව... :-D

      Delete
    2. (අඩේ හැබෑට ඒකෙත් ඉන්නෙ සිංහයෙක් නේද?)

      so what?

      Delete
    3. ඕකනෙ කියන්නෙ.. කතාව කියවන්නෙත් නෑ.. ඊට පස්සෙ කොණකින් අල්ලන් අහනවා so what? කියලා.. "සිංහයොත් එක්ක බෑ!"

      FYI: මේ කතාවෙත් incest කරන කපල් එකක් ඉන්නවා.. එයාලගෙ වංශ ලාංඡනෙත් සිංහයා!

      Delete
    4. චැහ්, ඒකනෙ මම ඔය කතාව බලන්නෙ නැත්තෙ. බලහන් ඕකෙ තීන කැත වැඩ. ( ඒ අඹ හැර වෙනත් අඹ එහෙම තියෙද? තියෙනං ඒ කොයි ඇපිසෝඩයේද - හොරාට කියාපිය )

      Delete
    5. ඒ කෑල්ල පහුවුනා උපාසක.. බලන්ට බ්‍රැන් 02-2.

      (ආන්න දැක්කද නරි මොටෝ අංක දැමීමේ වැදගත් කම. ටක් ගාලා රෙෆර් කරන්ට පුළුවන්)

      Delete
  12. මාටියගෙ පුටුවෙ ඉඳගෙන නැගිටින කොට සමහර කෑලි තාම පුටුවෙ වෙන්න චෑන්ස් එකකුත් තියනව!!

    ReplyDelete
    Replies
    1. හැබෑටම අර නිකැලැල් භටයො හදන්න ඔය පු‍ටුව පංකාදුයි නෙව? වාඩිවෙන්න ඉස්සෙල්ල කැලැල්, වාඩිවෙලා නැගිටින කොට නිකැලැල්

      Delete
    2. ඇයි බොලං කමෙන්ට් එක මැකුවෙ? මම එකක් මැකුවෙ එකම කමෙන්ට් එක දෙපාරක් වැටිලා නිසා නෙව..

      උඹ බයවුනාය 'නිකැළැල් වෙන්ට' වෙයි කියලා?

      Delete
    3. බය වුනාදත් අහනව? ඉස්පොයිලර් දැම්මය කියල අල්ලල නිකැලැල් කොලා, මොන දෙයියට කියන්නද? පරම්පරාවෙ සායම නේද යන්නෙ?

      Delete
    4. දැන් අනික් උන් ඔක්කොම කැලැල් ද එතකොට?

      ශක්‍රයගෙ තත්වෙ කොහොමද දන්නෙ නෑ නේද? :p

      Delete
    5. මට පුරස්නයක් ආවා බොලවු.. ඇයි ඔවුන්ට නිකැළැල් කියන්නෙ? ඕක කපලා දැම්මහමනෙ ඒ කපලා දාපු තැන තුවාල කැළලක් ඇති වෙන්නෙ. එතකොට කපපු නැති එවුන් නෙව නිකැළැල් වෙන්ට ඕන...

      Delete
  13. @ පොං
    සැක්කරයද? එයැයිගෙ පස්චාත් බාගෙ නිකැළැල්. තාම පත්තු බඳිනවා

    @ බුරා
    ඔතන නිකැළැල් කියන්නෙ , තාම් පැකින්වත් කඩල නෑ කියන අර්ථයෙන් නෙව


    ReplyDelete
  14. අනේ නිකං ඉන්ට බුරා මල්ලි.. සෙල්ලමක් නෙවෙයි.. ඊයෙ ඉඳල ජුනි මැද ඉඳන් කියවාගෙන කියවාගෙන ආවෙ.. තේ එකක් බොන්ටම ඕනෙ ඊලඟ එකට යන්ට ඉස්සරින්..

    ReplyDelete