Friday 26 September 2014

ආර්යා 02


ඇගේ පියා නැවතත් රාජසභාව සමග ගැටුම් ඇති කරගෙන තිබින.

පසුගිය දිනවලදී ඔහු නිතරම කරන්නට පුරුදුව සිටි අන්දමින් අද දිනයේ ද ප්‍රමාද වී කෑම මේසයට පැමිණි ඔහු ගේ මුහුණින් ආර්යා මේ බැව් අවබෝධ කරගත්තා ය. නෙඩ් ස්ටාර්ක් කුඩා ශාලාවට ඇතුළුවෙද්දී භෝජනයේ පළමු වටය මේ වනවිටද මේසයෙන් අස් කොට තිබින. මෙයට කුඩා ශාලාව කියා නම් තබා තිබුනද එය මිනිසුන් දෙසීය දෙනෙකුට කිසිදු අපහසුවකින් තොරව අසුන් ගත හැකි, උස් ආරුක්කුමය  සහිත දිගු ශාලාවක් විය.

"මගේ උතුමානනි." ජොරී කීවේ අසුනෙන් නැගිටිමිනි. අනිකුත් සෙබළුන්ද ඔහු අනුව සිය අසුන්වලින් නැගී සිටියහ. මේ සෙබළුන් සියළුදෙනාම තම නව නිළ ඇඳුම වන සුදු පැහැ පට රෙද්දෙන් කල වාටියක් ඇති තද අළු පැහැ ලොම් සළු පැළැඳ සිටියහ. රිදියෙන් නිමකල අතක හැඩය ගත් හාරිච්චියක් මගින් උරහිස අසලින් මෙම සළුවල දෙපට එක්කර තිබුනේ ඔවුන් ‍ගේ තනතුර වන රජතුමා ගේ හස්ත‍යේ නිවාසාරක්ෂකයින් බව උපුටා දැක්වීමට ය. එහි සිටි‍යේ සෙබළුන් පනස් දෙනෙකුන් පමණක් වූ නිසා ශාලාවේ වූ අසුන් බොහොමයක් හිස් ව තිබින.

"වාඩි වෙන්ට." එඩාර්ඩ් ස්ටාර්ක් කීවේ ය. "මට පේනවා ඔබලා මම නැතුවම කෑම කන්ට පටන් අරන් කියලා. මේ නගරේ තාමත් සිහි කල්පනාව තියෙන මිනිස්සු ටික දෙනෙක් හරි ඉතුරුවෙලා ඉන්න එක ගැන සන්තෝසයි." ආහාර ගෙන එන්නැයි ඔහු සන් කල අතර සේවකයින් විසින් සුදුලූණු හා සුවඳකාරක යොදා පළහන ලද බැටළු මස් සහිත දීසි ඔසවාගෙන පැමිණෙන්නට විය.

"සෙණ්ඩුවාලුවේ කෙරෙන කතාවල හැටියට නං තරගාවලියක් තියන්ටයි යන්නෙ මගේ උතුමානනි." ජොරී කීවේ සිය අසුනේ නැවත වාඩි වෙමිනි. "එයාලා කියනවා ඔබතුමාගෙ පදවි ප්‍රාප්තියට කෙරෙන ගෞරවයක් විදියට රාජධානිය පුරාම ඉන්න නයිට්වරු ඇවිල්ලා සටන්වලට සහභාගි වෙන්ට යනවලු."

සිය පියා ඒ සමබන්ධයෙන් කිසිදු කැමැත්තක් නොපෙන්වූ බැව් ආර්යාට ඔහු ‍ගේ මුහුණින් පැහැදිලි විය. "එයාලා කියන්නෙ නැද්ද මේක තමා පදවි ප්‍රාප්තිය වෙනුවෙන් මට මේ ලෝකෙ උවමනා කරන්නෙ නැතිම දේ කියලා?"

සන්සා ගේ දෑස් විසල් විය. "තරගාවලියක්!" ඇය හුස්මක් ඉහළට ඇදගත්තා ය. ඇය ආර්යාගෙන් හැකිතරම් ඈත්ව සෙප්ටා මෝර්ඩේන් හා ජේන් පූල් අතරින් අසුන් ගෙන සිටියා ය. "අපටත් යන්ට පුළුවන්ද තාත්තෙ?"

"ඔයා දන්නවනෙ මම කොහොමද මේ ගැන හිතන්නෙ කියලා, සන්සා. පේන විදියටනම් මම රොබර්ට් වෙනුවෙන් විකාර සෙල්ලම් ලෑස්ති කරලා ඒකෙන් මට ගෞරවයක් ලැබෙනවා කියලා ලෝකෙට පෙන්නන්ට ඕන. ඒකෙන් කියැවෙන්නෙ නෑ මගේ දුවලත් ඔය විකාරවලට සහභාගි වෙන්ට ඕනයි කියලා."

"අනේ! මට ඒක බලන්ට ඕන." සන්සා අයැදුවා ය.

සෙප්ටා මෝර්ඩේන් ද කතාවට සහභාගි විය. "මර්සෙලා කුමාරිත් ඒකට සහභාගි වෙයි මගේ උතුමානනි. එයා සන්සා ආර්යාවටත් වඩා ලාබාලයි. මේ වගේ විශාල උත්සවයකට රාජසභාවෙ හැම වංශාධිපතිනියක්ම සහභාගි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අනික, මේ තරගාවලිය පවත්වන්නෙ ඔබතුමාට ගෞරව කරන්ට නිසා ඔබතුමාගෙ පවුලෙ උදවිය ඒකට සහභාගි වුනේ නැත්තං ඒක ටිකක් හොඳ මදි නේද?"

පියා ගේ මුහුණේ වූ වේදනාව පැහැදිලිවම දිස් විය. "ඒකත් ඇත්ත තමා. බොහොම හොඳයි. මම ඔයා වෙනුවෙන් තැනක් වෙන් කරන්ටයි කියලා කියන්නම් සන්සා." පසෙකින් සිටි ආර්යා දුටු ඔහු මෙසේ එකතු ක‍ලේ ය. "ඔයාලා දෙන්නටම."

"මට ඔය මලඉලවු තරගාවලියෙන් වැඩක් නෑ." ආර්යා කීවා ය. ජොෆ්රි කුමරා එහි සිටිනු ඇති බව ඇය දැන සිටියා ය. ඇය මේ වනවිට ජොෆ්රිට වෛර කරන්නට පටන් ගෙන තිබින.

සන්සා හිස එසෙවුවා ය. "ඒක හරිම ලස්සන තේජාන්විත උත්සවයක් වෙයි. ඔයාව කො‍හොමත් ඕන වෙන එකක් නෑ."

පියා ගේ මුහුණ කේන්තියෙන් පිරී ගියේ ය. "ඇති! සන්සා. ඔයා තව දුර ගියොත් මම මගේ අදහස වෙනස් කරගන්නවා. ඔය දෙන්නගෙ ඔය කෙලවරක් නැති යුද්ධෙ නිසා මට දැන් එපා වෙලයි තියෙන්නෙ. ඔයාලා දෙන්නා සහෝදරියො. ඔයාලා සහෝදරියො වගේ හැසිරෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. තේරුනාද?"

සිය තොල සපාගත් සන්සා හිස වැනුවා ය. ආර්යා හිස පහත් කරගත්තේ බුම්මා ගත් මුහුණින් සිය කෑම පිඟාන දෙස බැලුවා ය. සිය දෑසට කඳුළු පුරා එනු ඇයට දැනින. ඇයට හැඬීමට කිසිසේත්ම අවශ්‍ය නොවුනු අතර කේන්තියෙන් මෙන් පිටි අත්ලෙන් කඳුළු පිස දා හැරියා ය.

මේසයෙන් නැගුනු එකම ශබ්දය වූයේ හැඳි ගෑරුප්පු ගැටෙන හඬ පමණි. "මට සමාවෙන්ට." ඇගේ පියා නැගිට සිටියේ ය. "මට අද රෑ කන්ට පිරියක් නෑ." ඔහු ශාලාවෙන් පිටතට ඇවිද ගියේ ය.

ඔහු පිටව ගිය පසු සන්සා රහසින් එහෙත් උද්‍යෝගිමත් ස්වරයෙන් ජේන් පූල් හා කොඳුරන්නට පටන් ගත්තා ය. ‍මේසය එහා කොණේ හුන් ජොරී කාගේ හෝ විහිළුවකට සිනාසුනි. හලන් අශ්වයින් ගැන කතා කරන්නට පටන් ගති. ඔවුන් සැ‍වොම ඔහු ගේ මේ කතා සියල්ලම කලින් අසා පුරුදු නිසා ඩෙස්මන්ඩ්, ජැක්ස් හා හලන් ගේ පුත් හාර්වින් ඔහුට බාධා කරන්නට වන්හ. තවත් වයින් ගෙනෙන ලෙස පෝර්තර් සේවකයින්ට අණ කලේ ය.

එනමුදු කිසිවෙකුත් ආර්යාට කතා කිරීමට උනන්දු නොවිනි. ඇය ඒ ගැන තැකීමක් ද නොකලා ය. ඇත්තෙන්ම ඇය ඒ විදියට වඩාත් කැමැති විය. ඔවුන් ඇයට ඉඩ දෙන්නේ නම් සිය කුටියට වී තනිවම ආහාර ගැනීමට ඇය වැඩියමත් ඇළුම් කලා ය. පියා රජතුමා සමග හෝ වෙනයම් වංශාධිපතියකු සමග හෝ භෝජන සංග්‍රහවලට සහභාගි වූ විට ඔවුහු ඇයට ඒ වෙනුවෙන් ඉඩ දුන්හ. අනිත් වේලාවට ඔවුහු - ඔහුත් ඇයත් සන්සාත් පමණක් - පියා ‍ගේ කුටියට වි ආහාර ගත්හ. මෙවැනි වෙලාවට ආර්යාට සිය සොහොයුරන් නැති අඩුව අන් කවර මොහොතකදීටත් වඩා වැඩියෙන් දැනින. බ්‍රැන්ට සරදම් කරන්නට, පුංචි රිකන් සමග සෙල්ලම් කරන්නට, රොබ් තමා දෙස බලා සිනාසෙන'යුරු දකින්නට. මේ හැමටත් වඩා ජොන් 'පුංචි නංගී' කියා තමා ගේ කෙහෙරැළි අවුල් කර දමනු විඳින්නට. ඇයත් සමග එකතුව වාක්‍යයක් අවසන් කරන්නට. එහෙත් ඔවුන් සියල්ලන්ම නැතිව ගොසිනි. ඇයට ඉතිරිව ඇත්තේ සන්සා පමණි. එනමුදු පියා බලකරනු ලැබුවහොත් හැරෙන්න‍ට සන්සා දැන් ඇය හා වදනකුදු නොදොඩයි.

වින්ටර්ෆෙල්වලදී නම් ඔවුන් බොහෝ විට ආහාර ගත්තේ ප්‍රධාන ශාලාවේ සිටය. ඇගේ පියා පැවසූ අන්දමට වංශාධිපතියකු සිය පිරිස තමා වෙතම රඳවා ගැනීමට අදහස් කරන්නේ නම් ඔවුන් සමග එක්ව ආහාර ගත යුතු විය. "ඔයාගෙ පිටිපස්සෙන් එන මිනිස්සු අඳුරගන්ට." ඔහු වරක් රොබ්ට පවසනු ඇය අසා සිටියා ය. "ඒ වගේම එයාලට ඉඩ දෙන්ට ඔයාව අඳුරගන්ට. ඔයාගෙ මිනිස්සුගෙන් බලාපොරොත්තු වෙන්ට එපා එයාලා නාඳුනන මිනිහෙක් වෙනුවෙන් එයාලා ජීවිතේ දෙන්ට ලෑස්තියි කියලා." වින්ටර්ෆෙල්හිදී ඔහු ගේ මේසයේ සෑම දිනකම අතිරේක අසුනක් වෙන් වී තිබුනු අතර ඔහු සෑම දිනකම සිය මිනිසුන්ගෙන් කෙනෙකුට ඔහුත් සමග ආහාර ගැනීමට ආරාධනා කලේ ය. එක් රැයක ඒ වයොන් පූල් වූ අතර එදින කතා බහ මුදල් පාලනය හා පාන් හා සේවකයින් ගැන විය. ඊළඟ දිනයේ ඒ මික්කෙන් වූ අතර ඔහු අතොරක් නැතුව කඩු හා සන්නාහ ගැනත්, වානේ පදම් කල යුතු හොඳම ආකාරය ගැනත් දොඩවන අයුරු පියා අසා සිටියේ ය. තවත් දිනෙක ඒ සිය නිමක් නැති අශ්ව කතා සමගින් පැමිණි හලන් හෝ ෂේය්ල් පූජකතුමා හෝ ජොරී හෝ සෙර් රඩ්‍රික් හෝ නාකි ආයම්මා හෝ ඕනෑම අයෙක් විය.

සිය පියා පසෙකින් අසුන් ගෙන මොවුන් ‍ගේ කතාබහට සවන් දීමට ආර්යා බෙහෙවින් ප්‍රිය කලා ය. එ‍සේම බංකු අතරේ හිඳ අනිකුත් සෙබළුන් අතරේ කෙරෙන කතාබහට සවන් දීමටද ඇය ප්‍රිය කලා ය. දරදඬු අශ්වාරෝහකයින්, ආචාර සම්පන්න නයිට්වරුන් හා තරුණ සහචරයින්, තෙම්පරාදු වූ මහළු සෙබළුන්. ඇය ඔවුන් සමග හිමබෝල සෙල්ලම් කල අතර කුස්සියෙන් පොඩි පොඩි කෑම සොරකම් කිරීමට ඔවුන්ට සහාය වූවා ය. ඔවුන් ගේ බිරින්දන් ඇයට කැවිලි පිරිනැමූහ. ඇය ඔවුන් ගේ බිළිඳුන්ට නම් තැබීමට උදවු වූ අතර ඔවුන් ගේ කුඩා දරුවන් සමගින් සෙල්ලම් කලා ය. මහත ටොම් ඇයට කීවේ 'කකුල යට ඉන්නා ආර්යා' කියා ය. 'අශ්ව මුහුණක් ඇති ආර්යා' ට වඩා ඇය මේ නමට කැමැති විය.

එනමුදු ඒ වින්ටර්ෆෙල් විය. ඒ වෙනමම ලෝකයක් විය. දැන් සෑම දෙයක්ම වෙනස් වී තිබින. කින්ග්ස් ලෑන්ඩින්ග්වලට පැමිණිමෙන් පසු සෙබළුන් සමග එක් වී ඔවුන් ආහාර ගත් පළමු අවස්ථාව මෙය විය. ආර්යා මෙය පිළිකුල් කලා ය. ඇය දැන් ඔවුන් ‍ගේ කටහඬවලට වෛර කලා ය. ඔවුන් සිනාසෙන ආකාරයට, ඔවුන් ගේ කතාවලට වෛර කලා ය. ඔවුහු ඇගේ මිතුරන්ව සිටියහ. ඔවුන් සමග සිටින විට ඇයට ආරක්ෂාවක් දැනින. එනමුදු ඒ සියල්ලක්ම බොරුවක් බව ඇය දැන් වටහාගෙන සිටියා ය. ඔවුහු රැජිණට ලේඩිව මරන්නට ඉඩ දුන්හ. එපමණක් ද? නැත. ඔවුහු දඩබල්ලාට මයිකාව මරා දමන්නට ඉඩ දුන්හ. ජේන් පූල් ආර්යාට පැවසූ අන්දමට දඩබල්ලා මයිකාව කෑලි කෑලිවලට කැපූ අතර ඔවුන්ට ඔහුව උරයක දමා ඔහු ගේ පියාට බාර දීමට සිදු විය. ඒ අසරණ මිනිසා මුලින්ම සිතුවේ ඒ කැබලි කරන ලද ඌරකු ගේ සිරුර කියා ය. එනමුදු කිසිවෙකුත් ඊට විරුද්ධව කතා කලේ හෝ අසිපතක් එසවූයේ හෝ නැත. හැමවිටම මහත් නිර්භීත ස්වරයෙන් කතා කල හාර්වින් හෝ නයිට්වරයකු වීමට සිතා සිටින ඇලන් හෝ සෙබළුන් ගේ ප්‍රධානියා වන ජොරී හෝ අන් කිසිවෙකු හෝ කිසිවක් නොකලහ. අඩුම ගනනේ ඇගේ පියාවත්!

"එයා මගේ යාළුවා." ආර්යා කිසිවෙකුටත් නොඇසෙන සේ සිය පිඟානට කොඳුලා ය. අතවත් නොගැසූ ඇගේ කෑම සීතල වෙමින් පිඟානේ එලෙසින්ම තිබින. ඒ දෙස බැලූ ආර්යාට අසනීප බවක් දැනින. පිඟාන පසෙකට තල්ලු කල ඇය මේසයෙන් නැගිට සිටියා ය.

"ඔයා ඔය කොහෙ යනවා කියලද හිතන්නෙ ආර්යාවනි?" සෙප්ටා මෝර්ඩේන් ඇසුවා ය.

"මට බඩගිනි නෑ." සිය ආචාරශීලීත්වයන් මතක් කර ගැනීමට ඇයට මඳ වේලාවක් ගතවිය. "කරුනාකරලා මට යන්ට අවසරද?" ඇය දරදඬු ලෙසින් ඇසුවා ය.

"ඔයාට යන්ට බෑ." සෙප්ටා පැවසුවා ය. "ඔයා කෑම එකට අත ගහලාවත් නෑ. ඔයා ඔය පුටුවෙ වාඩිවෙලා පිඟානෙ තියෙන කෑම ටික ඉවර කරන්ට ඕන."

"ඔයාට ඕන නං ඒක ඉවර කරන්ට." කිසිවෙකු ඇයව නැවැත්වීමට ප්‍රථම ඇය දොර දෙසට පියඹා ගියා ය. සෙප්ටා මෝර්ඩේන් ආපසු එන්නයැයි ඇයට කෑ ගැසූ අතර සෙබළු සිනහවෙන්නට පටන්ගති.

මහත ටොම් තමාට නියමිත ස්ථානය වන හස්තයේ කුළුණට ඇතුළුවන දොරකඩ මුරකරමින් සිටියේ ය. ආර්යා තමා දෙසට දිව එන ආකාරය ඔහු නිරීක්ෂණය කල අතර සෙප්ටා ‍ගේ හඬගෑමද ඇසී තිබින. "මෙහාට එන්ට පුංචි එකී. ඔහොම ඉන්ට." ඔහු පැවසූයේ ඇයව අල්ලාගැනීමට නැඹුරු වෙමිනි. එනමුදු දෙකට නැවී ඔහු ‍ගේ දෙපා අතරින් රිංගූ ආර්යා සර්පිලාකාර පඩිපෙළ දිගේ කුළුණ ඉහළට නැංගා ය. මහත ටොම් හති දමමින් තමා පසුපස ලුහුබැඳ එන හඬ ඇයට ඇසින.

කින්ග්ස් ලෑන්ඩින්ග්වල ඇය ප්‍රිය කල එකම ස්ථානය වූයේ ඇගේ නිදන කාමරයයි. කළු පැහැ යකඩින් පිරිද්දූ ඝනකම් ඕක් ලීයෙන් කල එහි දොරට ඇය විශේෂයෙන්ම කැමැති වූවා ය. ඒ දොර වසා දමා බරැති හරස් පොල්ල පහත දැමූ පසු කිසිවෙකුටත් ඇගේ කාමරයට ඇතුළු වීමට නොහැකි විය. සෙප්ටා මෝර්ඩේන් හෝ මහත ටොම් හෝ සන්සා හෝ ජොරී හෝ දඩබල්ලා හෝ අන් කිසිවෙකුටත්! අදත් ඇය දොර වසා හරස් පොල්ල පහත දැමුවා ය. අන්තිමේදී ඇයට හඬන්නට සුදුසු ආරක්ෂිත ස්ථානයක් ලැබී තිබින.

කවුළුව වෙතට ගිය ඇය එහි වූ අසුනේ වාඩි වී ඉකි බිඳින්නට වූවා ය. ඇය ඔවුන් සියලුදෙනාටමත්, ඒ සියල්ලන්ටම වඩා තමන්ටමත් වෛර කරන්නට වූවා ය. සිදුවූ සියලුම වැරැදිවලට මූලිකම හේතුව ඇයයි. සන්සා එසේ කියා තිබුනා ය. ජේන් ද එසේ කීවා ය.

මහත ටොම් දොරට තට්ටු කරන්නට විය. "ආර්යා, දරුවො. මොකක්ද ප්‍රශ්නෙ? ඔයා ඔහෙ ඉන්නවද?"

"නෑ." ඇය මහ හඬින් පිළිතුරු දුන්නා ය. දොරට තට්ටු කිරීම නැවතුනු අතර මොහොතකට පසු ඔහු පිටත්ව යන ආකාරය ඇයට ඇසින. ඔහුව මුලා කිරීම හැමවිටම පහසු දෙයක් විය.

ආර්යා ඇඳ පාමුල තිබුනු සිය ඇඳුම් පෙට්ටගම වෙතට ගියා ය. බිම දණ නැමූ ඇය පියන උස්සා පෙට්ටගම අවුස්සන්ට විය. දෝතින්ම ගත් සිය ‍සේද, පට රෙදි, විල්ලූද, ලොම් රෙදි සියල්ලක්ම බිම දසත විසිරුවා හැරිය ඇය අන්තිමේදී තමන්ට උවමනා වූ දෙය සොයා ගත්තා ය. එය පෙට්ටගම පතුලේ ඇය සැඟවූ තැන එලෙසින්ම සුරක්ෂිතව තිබින. ඉතා පරෙස්සමින් එය ඉහළට එසවූ ආර්යා පටු අසිපත් තලය හෙමිහිට කොපුවෙන් මෑත් කලා ය.

ඉදිකට්ට!

ඇයට නැවතත් මයිකා සිහි වූ අතර ඇගේ දෑසට නැවතත් කඳුළු පුරා එන්නට විය. ඒක ඇගේ වැරැද්ද! ඇගේ වැරැද්ද! ඇගේ වැරැද්ද! කඩුහරඹ පුහුණු වන්නට එන්න යැයි ඇය කිසිදා ඔහුගෙන් විමසා නොසිටියා නම්...

නැවතත් දොරට තඩිබාන හඬ ඇසින. මෙවර පෙරටත් වඩා සැරෙන්. "ආර්යා ස්ටාර්ක්! වහාම මේ දොර අරින්ට. ඔයාට මාව ඇහෙනවද?"

ඉදිකට්ට අතින් ගත් ආර්යා සැනින් ආපසු හැරුනා ය. "ඔයා ඇතුළට නෑවිත් ඉන්නවානං හොඳයි." ඇය දැඩිව අසිපත වැනුවා ය.

"ඔයාගෙ තාත්තාට මේක අහන්ට ලැබෙයි." සෙප්ටා මෝර්ඩේන් කේන්තියෙන් බෙරිහන් දුන්නා ය.

"මට කමක් නෑ." ආර්යා ද පෙරලා මුරගෑවා ය. "යනවා යන්ට මෙතනින්."

"ඔයාගෙ මේ නරක හැසිරීම ගැන ඔයාට බොහොම පසුතැවෙන්ට වෙයි ආර්යාවනි. මම පොරොන්දු වෙනවා ඔයාට එහෙම වෙනවයි කියලා."

සෙප්ටා ගේ පියවර හඬ මැකී යනතෙක් ඇය දොර දෙසට කණ් දුන්නා ය.

අසිපතත් අතැතිව නැවත කවුළුව වෙතට ගිය ඇය පහළ ඇති අංගනය දෙස බැලුවා ය. ඇයටත් බ්‍රැන්ට මෙන් නැගීමට පුළුවන්කමක් තිබුනා නම්, ඇය සිතුවා ය. එසේ නම් ඇයට මේ කවුළුවෙන් පැන, කුළුණ දිගේ පහතට බඩ ගා, මේ ජරා අසික්කිත ස්ථානයෙන් පිටව පලායන්නට තිබින. සන්සා, සෙප්ටා මෝර්ඩේන්, ජොෆ්රි කුමරා, මේ සියල්ලන්නේම මිදී පලායන්නට තිබින. කුස්සියෙන් කෑම ටිකක් සොරකම් කරගෙන, ඉදිකට්ට හා උණුසුම් ඇඳුම් ටිකක් හා ඇගේ හොඳ සපත්තු කුට්ටමද රැගෙන පලායන්නට තිබින. ගංගා ත්‍රිශූලය අසබඩ කැලෑවක සිටිනා නයිමේරියා ද ඇයට සොයා ගත හැකි වනු ඇත. එවිට ඔවුන් දෙදෙනාට එක්ව නැවත වින්ටර්ෆෙල්වලට යාමට හෝ ප්‍රාකාරයේ සිටින ජොන් වෙත පලායාමට හෝ හැක. ජොන් ඇයත් සමග මෙහි සිටියා නම්... එසේ නම් ඇයට මෙතරම් තනිකමක් නොදැනෙනු ඇත.

දොරට කෙරුනු මෘදු තට්ටු කිරීමක් නිසා ඇගේ සිහින ලොව බිඳවැටුනු අතර ඇය කවුළුව වෙතින් ආපසු හැරුනි. "ආර්යා." ඇගේ පියා ගේ කටහඬ ඇසින. "දොර අරින්ට දරුවො. අපි දෙන්නා කතා කරන්ට ඕන."

කාමරය හරහා පියමැන්න ආර්යා දොරේ හරස් පොල්ල එසවූවා ය. පියා එතැන තනිවම සිටගෙන සිටි‍යේ ය. ඔහු වෙතින් දිස්වූයේ කේන්ති ගිය පෙනුමකට වඩා දුක්මුසු බවකි. එය ආර්යා ගේ මනෝභාව තවත් නරක අතට පෙරලූයේ ය. "මම ඇතුළට එන්න ද‍?" හිස සැලූ ආර්යා ලැජ්ජාවෙන් බිම බලා ගත්තා ය. පියා ඔහුට පිටුපසින් දොර වැසී ය. "කාගෙද ඔය කඩුව?"

"මගේ." ඇයට අතේ ඇති ඉදිකට්ට මුළුමනින්ම පාහේ අමතකව තිබින.

"ඒක මට දෙන්ට."

ආර්යා සිය අසිපත අකැමැත්තෙන් මෙන් පියාට බාරදුන්නේ නැවත කිසිදා එය දකින්නට නොලැබේ යැයි දුක් වෙමිනි. ඇගේ පියා එය ආළෝකයට අල්ලා තලයේ දෙපසම පිරික්සා බැලී ය, එහි තුඩ මහපටැඟිලි අගින් පිරික්සා බැලී ය. "බ්‍රාවොස්වල පාවිච්චි කරන ජාතියෙ කඩුවක්. ඒ වුනත් මම හිතන්නෙ මට පුළුවන් ඒක හදපු කෙනාගෙ සලකුණ අඳුරගන්ට. මේක මික්කෙන්ගෙ වැඩක්."

ඔහුට බොරුවක් කියා ගත නුහුනු ඈ දෑස් බිමට හරවා ගත්තා ය.

එඩාර්ඩ් ස්ටාර්ක් උතුමානන් සුසුමක් හෙලී ය. "මගේ අවුරුදු නවයේ දුවට මට අයිති කම්මලේම හදාපු කඩුවක් තියෙනවා. ඒත් මම ඒ ගැන දන්නෙ නෑ. රජතුමාගෙ හස්තය රාජධානි සප්තකය පාලනය කරන්ට ඕන. ඒ වුනත් පේන හැටියට නම් මට මගේ ගෙදරවත් පාලනය කරගන්ට බෑ. ඔයා කොහොමද කඩුවක් අයිති කරගත්තෙ ආර්යා? ඔයාට කොහෙන්ද මේක ලැබුනෙ?"

කිසිවක් නොකී ආර්යා දෙතොල සපා ගත්තා ය. සිය පියාට වුව, ජොන් කල දේ පාවාදීමට ඇයට උවමනා නොවී ය.

මොහොතකට පසු පියා නැවතත් කතාව ඇරඹුවේ ය. "ඇත්තටම, මම හිතන්නෙ නෑ ඒක එච්චර වැදගත් වෙයි කියලා." ඔහු නැවත වරක් සිය අතේ ඇති අසිපත දෙස බැල්මක් හෙලී ය. "මේක පොඩි ළමයින්‍ට ගැලපෙන සෙල්ලම් බඩුවක් නෙවෙයි. විශේෂයෙන්ම ගෑණු ළමයින්ට. ඔයා කඩුත් එක්ක සෙල්ලම් කරනවා කියලා දැනගත්තොත් සෙප්ටා මෝර්ඩේන් මොනවා කියාවිද?"

"මම ඒකත් එක්ක සෙල්ලම් කලේ නෑ. මට සෙප්ටා මෝර්ඩේන් පේන්ට බෑ."

"ඔය ඇති." පියා ගේ ස්වරය දැඩි විය. "සෙප්ටා කරන්නෙ එයාගෙ රාජකාරිය. ඔයා නිසා ඒ අහිංසකීට ඒ රාජකාරිය කොච්චර එපාවෙලාද කියලා දෙයියොම තමා දන්නෙ. ඔයාගෙ අම්මයි මමයි එයාට කියලා තියෙන්නෙ ඔයාව ආර්යාවක් කරන්ට උගන්නන්ටයි කියලා."

"මට ආර්යාවක් වෙන්ට ඕන නෑ."

"මම හරිනං දැන් මේ කඩුව දණහිසේ ගහලා දෙකට කඩලා දාන්ට ඕන. මේ විකාර නවත්තන්ට ඕන."

"ඉදිකට්ට එහෙම ලේසියෙන් දෙකට කැඩෙන්නෙ නෑ." ආර්යා කීවද ඇගේ ස්වරයෙන් එය ඇත්තක් නොවන බැව් තහවුරු විය.

"ඒකට නමකුත් තියෙනවා එහෙනං ආ!" ඇගේ පියා නැවතත් සුසුමක් හෙලුවේ ය. "අනේ ආර්යා! ඔයාගෙ මහ පිස්සු දඩබ්බර ගතියක් තියෙනවා කෙල්ලෙ. 'වෘක ලේ' මගේ තාත්තා එහෙමයි ඕකට කිවුවෙ. ලියානාටත් ඕක චුට්ටක් විතර තිබුනා. මගේ අයියා බ්‍රැන්ඩන්ට ඊට වඩා ඕක තිබුනා. ඒ වුනත්.. ඒ නිසාම ඒ දෙන්නම බොහොම ඉක්මනට මිනීවලට ගියා." ඔහු ගේ ස්වරයේ ඇති දුක්මුසු බව ආර්යාට මැනවින් වැටහින. ඔහු සිය පියා ගැන කතා කලේ ඉතා කලාතුරකිනි. එමෙන්ම ඇය ඉපදීමටත් පෙර මියගිය සිය සොහොයුරා හා සොයුරිය ගැන කතා කලේ ද ඉතා අඩුවෙනි. "මගේ තාත්තා අවසර දුන්නානං ලියානාත් මේ වගේ කඩුවක් පාවිච්චි කරන්ට තිබුනා. ඔයා නිසා මට සමහර වෙලාවට එයාව මතක් වෙනවා. ඔයාගෙ පෙනුමත් එයාට සමානයි."

"ලියානා ලස්සනයි." ආර්යා කීවේ විස්මයෙනි. සෑමදෙනාම ඒ බැව් කියා තිබින. එනමුදු ඒ වචනය කිසිදා ආර්යා වෙනුවෙන් භාවිත නොවුනකි.

"එයා ලස්සනයි තමා." එඩාර්ඩ් ස්ටාර්ක් එකඟ විය. "ලස්සනයි. ඒ වගේම මුරණ්ඩුයි. ඒ වගේම නියමිත කාලෙට කලින් මිනීවලට ගියා." ඔහු අසිපත ඔවුන් දෙදෙනා මැදින් එසවූයේ ය. "ආර්යා. ඔයා මොකක්ද මේ... ඉදිකට්ටෙන් කරන්ට බලාපොරොත්තු වෙන්නෙ? ඔයා කාටද මේකෙන් අනින්ට බලාපොරොත්තු වෙන්නෙ? ඔයාගෙ අක්කටද? සෙප්ටා මෝර්ඩේන්ටද? ඔයා දන්නවද කඩු සටන්වල පළවෙනි පාඩමවත්?"

ඇයට සිතා ගත හැකි වුනු එකම දේ ජොන් විසින් ඇයට කියා දුන් දේ පමණි. "ඒකෙ උල් පැත්තෙන් තමා අනින්ට ඕන." ඇය කීවා ය.

ඇගේ පියා සිනාවක් මැඩගත්තේ ය. "මං හිතනවා ඒක තමා මූලිකම දේ කොහොම වුනත්."

ආර්යාට සියල්ල සිය පියාට විස්තර කිරීමට දැඩිව උවමනා විය. සිදූවු සියල්ලම ඔහුට පැහැදිලිව පෙන්නා දීමට උවමනා විය. "මම ඉගෙනගන්ට උත්සාහ කලා. ඒ වුනත්..." ඇගේ දෑසට නැවතත් කඳුළු පුරා ආවේ ය. "මම ඇහුවා මයිකාගෙන් මාත් එක්ක පුහුණුවෙන්ට කියලා." හදිසියේම නැවත අලුත් වූ දුක පිටාර ගලන්නට විය. ඇය ගැහෙමින් අනික් පසට හැරුනා ය. "මමයි එයාගෙන් ඇහුවෙ." ඇය හඬන්නට පටන් ගත්තා ය. "ඒක මගේ වැරැද්ද. ඒක මගේ..."

පියා ගේ දෑත් ඈ වටා ගියේ ය. ඔහු මෘදු ලෙසින් ඇයව බදා වැළඳගෙන සිටි අතර ආපසු හැරුනු ඇය ඔහු ගේ පපුවට තුරුළු වී වැළපෙන්නට වූවා ය. "නෑ මගේ රත්තරනේ." ඔහු මිමිනී ය. "ඔයාගෙ යාළුවා ගැන ඇතිතරම් දුක්වෙන්ට. ඒ වුනත් එයාට සිද්දවෙච්චි දේ ගැන වැරැද්ද ඔයා පිට පටවගන්ට එපා. ඔයා නෙවෙයි ඒ මස්කාරයගෙ පුතා මැරුවෙ. ඒ මිනීමැරීම වැටෙන්නෙ දඩබල්ලා පිටටයි. එයාටයි, එයා සේවය කරන අර නපුරු ගෑනි පිටටයි."

"මම එයාලට වෛර කරනවා." ආර්යා රතු වූ මුහුණින් යුතුව ඉකිබිඳිමින් පාපොච්චාරණය කලා ය. "දඩබල්ලයි, රැජිණයි, රජ්ජුරුවොයි, ජොෆ්රි කුමාරයයි. මම ඒ හැමෝටම වෛර කරනවා. ජොෆ්රි බොරු කිවුවා. ඒක සිද්ද වුනේ එයා කියපු විදියට නෙවෙයි. මම සන්සටත් වෛර කරනවා. එයාට හැම දෙයක්ම මතකයි. ඒත් එයා බොරු කිවුවා. එයා හිතුවා එතකොට ජොෆ්රි එයාට කැමැති වෙයි කියලා."

"අපි හැමෝම බොරු කියනවා." ඇ‍ගේ පියා කීවේ ය. "ඔයා හිතනවද මම ඇත්තටම විශ්වාස කරනවා කියලා නයිමේරියා පැනලා ගිය කතාව?"

ආර්යා වරදකාරී අයුරින් රතු වූවා ය. "ජොරී පොරොන්දු වුනා කාටවත් ඒ ගැන කියන්නෙ නෑ කියලා."

"ජොරී එයාගෙ පොරොන්දුව රැක්කා." ඇගේ පියා සිනාවක් රැඳුනු මුවින් යුතුව කී‍වේ ය. "සමහර දේවල් තියෙනවා, මට නොකිවුවත් තේරුම් ගන්ට පුළුවන් දේවල්. ඒ වෘකයා එයාගෙ තනි කැමැත්තෙන් ඔයාව අත ඇරලා පැනලා යන්ට හිතන්නෙවත් නෑ කියලා අන්ධයෙකුට වුනත් පේනවා."

"අප‍ට සිද්ද වුනා එයාට ගල්වලින් ගහන්ට." ඇය දුක්ඛිත ස්වරයෙන් කියා සිටියා ය. "මං කිවුවා එයාට දුවන්ටයි කියලා. නිදහස් වෙලා යන්ටයි කියලා. මං එයාට කිවුවා මට එයාව ආයෙමත් ඕන නෑ කියලා. එයාට තව ඕන තරම් වෘකයො කැලේ ඉන්නවා සෙල්ලම් කරන්ට. අපට ඇහුනා උං උඩුබුරලන සද්දෙ. ජොරී කිවුවා කැලේ ඕන තරම් සත්තු ඉන්නවා කියලා. ඒ නිසා එයාට පුළුවන් මුවෝ දඩයම් කරන්ට. ඒ වුනත් එයා ඒ කියන කිසිම දෙයක් අහන්නෙ නැතුව අපි පස්සෙන්ම එන්ට ගත්තා. ඉතින් අන්තිමේදි අපට සිද්ද වුනා එයාට ගල්වලින් ගහලා එලවලා දාන්ට. මම එයාට දෙපාරක්ම ගැහුවා. එයා ඒ වුනත් කෙඳිරි ගගා මා දිහාම බලන් හිටියා. මට හරි ලැජ්ජා හිතුනා මම කරපු දේ ගැන තාත්තෙ. ඒ වුනත් ඒක හරි නේද? එහෙම නේද? එයා හිටියානං රැජිණ එයාව මරලා දායි."

"ඔයා කරපු දේ හරි." ඇගේ පියා කීවේ ය. "ඒ කිවුව බොරුව වුනත්.. ගෞරවනීය බොරුවක්." ඇයව වැළඳගැනීම පිණිස පසෙකින් තබන ලද ඉදිකට්ට නැවත අතට ගත් ඔහු කවුළුව වෙතට ඇවිද ගොස් එහි සිට මඳ වේලාවක් පහත අංගනය දෙස බලා සිටින්නට විය. ඔහු නැවත හැරුනු විට ඒ දෑසේ කල්පනාකාරී බැල්මක් තිබින. කවුළුව අසල වූ අසුනේ වාඩි ගත් ඔහු ඉදිකට්ට උකුළ මත තබා ගත්තේ ය. "ආර්යා වාඩිවෙන්ට. මට ඔයාට පුංචි පුංචි දේවල් කීපයක් විස්තර කරලා දෙන්ට තියෙනවා."

ආර්යා තැවිලි සහගත සිතින් ඇඳ අද්දර වාඩි වූවා ය. "මගේ හිතේ තියෙන දුක් කරදර ඔක්කෝම කියන්ට තරං ඔයා පුංචි වැඩියි. ඒ වුනත් ඔයා වින්ටර්ෆෙල්වල ස්ටාර්ක් කෙනෙක්. ඔයා දන්නවනෙ අපේ වචන."

"සීත කාලය එනවා." ආර්යා මිමිනුවා ය.

"නරක නපුරු කාලෙ‍.‍ අපට ඒකෙ හැටි කොහොමද කියලා පොඩ්ඩක් විතර විඳින්ට සිද්ද වුනා ත්‍රිශූලයේදි. ඒ වගේම බ්‍රැන් වැටුන වෙලාවෙ. ඔයා ඉපදුනෙ දිග ගිම්හාන කාලෙක මැද්දෙ රත්තරනේ. ඔයා වෙන කිසිම දෙයක් ගැන දැනගන්ට විදියක් නෑ. ඒ වුනත් දැන් ඇත්තටම සීත කාලෙ එනවා. ඔයාට මතකයිනෙ අපේ වංශ සලකුණ ආර්යා."

"ඝෝරවෘකයා." ඇය පිළිතුරු දුන්නේ නයි‍මේරියා ගැන කල්පනා කරමිනි. ඇය සිය දණහිස් පපුවට තද කර ගත්තා ය. ඇයට හදිසියේම දැඩි බියක් දැනෙන්නට විය.

"මං ඔයාට කියලා දෙන්නං දරුවො වෘකයො ගැන පොඩි දෙයක්. හිම වැටෙන්ට පටන් ගත්තම, සීතල හුළං හමන්ට පටන් ගත්තම තනිවෙච්ච වෘකයා මැරෙනවා. ඒ වුනත් වෘක රංචුව පණ බේරගන්නවා. ගිම්හාන කාලෙදි පුංචි පුංචි රණ්ඩු දබර කරගත්තට කමක් නෑ. ඒ වුනත් සීත කාලෙදි අපි එකිනෙකාව ආරක්ශා කරගන්ට ඕන. එකිනෙකාව උණුහුමට තියාගන්ට ඕන. අපේ ශක්තිය බෙදාහදා ගන්ට ඕන. ඉතින් ඒ නිසා වස්තුවෙ, ඔයාට වෛර කරන්ටම ඕන නං අපට ඇත්තටම නපුරක් කරන අයට විතරක් වෛර කරන්ට. සෙප්ටා මෝර්ඩේන් කියන්නෙ හොඳ ගෑනු කෙනෙක්. එතකොට සන්සා... සන්සා කියන්නෙ ඔයාගෙ අක්කා. ඔයාලා දෙන්නා ඉරයි හඳයි වගේ වෙනස්ම දෙන්නෙක් වෙන්ට පුළුවන්. ඒ වුනත් ඔයාලා දෙන්නගෙම හදවත්වලින් ගලන්නෙ එකම ලේ. ඔයාට එයාව ඕන, එයාට ඔයාව ඕන... දෙයියො මට පිහිටවෙන්ට, මට ඔයාලා දෙන්නවම ඕන."

ඔහු ගේ ස්වරයේ කෙතරම් දැඩි වෙහෙසක් තිබිනද යත් ආර්යාට ඔහු ගැන දුකක් දැනින. "මම සන්සාට වෛර කරන්නෙ නෑ. ඇත්තටම නෑ." එය අර්ධ-බොරුවක් විය.

"මම මේ ඔයාව බය කරන්ට යනවා නෙවෙයි. ඒ වුනත් මට ඔයාට බොරුවක් කියන්ටත් ඕන නෑ. අපි මේ ඇවිල්ලා ඉන්නෙ බොහොම අඳුරු, බොහොම භයානක තැනකට දරුවො. මේ වින්ටර්ෆෙල් නෙවෙයි. අපට නපුරක් කරන්ට බලාඉන්න සතුරො මෙහෙ ඉන්නවා. ඒ නිසා අපට අපි අතරෙම යුද්ධයක් කරන්ට බෑ. ඔයාගෙ මේ මුරණ්ඩුකම්, පැනලා යන ඒවා, තරහෙන් බනින ඒවා, අකීකරුකම්... ගෙදරදි නම් ඒවා පොඩි දරුවෙකුගෙ ගිම්හාන කාලෙ සෙල්ලම් කියලා අමතක කරලා දාන්ට පුළුවන්. ඒ වුනත් මෙතැන, මේ කාලෙ, සීත කාලෙ අපි උඩට වැටිලා තියෙන කාලෙ ඒක වෙනමම ප්‍රශ්නයක්. දැන් ඔයාට ලොකු දරුවෙක් වෙන්ට කාලෙ හරි."

"මම එහෙම කරන්නම්." ආර්යා පොරොන්දු විය. මේ මොහොතේ සිය පියා ගැන ඇගේ සිතේ ඇතිවුනු ආදරය බඳු ආදරයක් මින් පෙර කිසිදා ඇතිවී නොතිබින. "මට ශක්තිමත් වෙන්ටත් පුළුවන්. මට පුළුවන් රොබ් තරම්ම ශක්තිමත් වෙන්ට."

ඔහු මිට ඉදිරියට සිටින සේ ඉදිකට්ට ඇය දෙසට දිගු කලේ ය. "මෙන්න.. අරගන්ට.."

ඇය විස්මය මුසු වූ දිදුලන දෑසින් අසිපත දෙස බැලුවා ය. මොහොතකට ඇයට එයට අත ගැසීමට බියක් දැනින. ඇය එයට අත ගැසුවහොත් නැවතත් එය ඇගෙන් උදුරා ගනු ඇතැයි බියක් දැනින. එනමුදු ඇගේ පියා නැවත කතා කලේ ය. "ඒක ගන්ට. ඒක ඔයාගෙ." ඇය අසිපත අතට ගත්තා ය.

"මට ඒක තියාගන්ට පුළුවන් ද?" ඇය ඇසුවා ය. "ඇත්තටම ද?"

"ඇත්තටම ඇත්ත." ඔහු සිනා මුවින් යුතුව කීවේ ය. "මේක ඔයාගෙන් අරගත්තොත්, කිසිම සැකයක් නෑ තව සති දෙකක් යන්ට කලින් මට ඔයාගෙ කොට්ටෙ යට තිබිලා කටු යගදාවක් හම්බවෙයි. ඔයාගෙ අක්කට ඕකෙන් අනින්නෙ නැතුව ඉන්න උත්සාහ කරන්ට. එයා කොච්චර ඔයාව ඇවිස්සුවත්."

"මම එහෙම කරන්නෙ නෑ. මම ‍පොරොන්දු වෙනවා." පියා කාමරයෙන් නික්මෙද්දී ඇය අසිපත පපුවට තුරුළු කරගත්තා ය.

පසුදා උදෑසන ආහාරය අතරතුරේදී ඇය සිදුවූ දේ සම්බන්ධයෙන් සෙප්ටා මෝර්ඩේන්ගෙන් සමාව අයැද සිටියා ය. සෙප්ටා ඇය දෙසට සැකමුසු බැල්මක් හෙලුවද ඇගේ පියා එකඟතාව පලකරන බැල්මකින් හිස සැලුවේ ය.

---------------------------------

දින තුනකට පසු මධ්‍යහ්නයේදී නිවාස බාරකරු වූ වයොන් පූල් විසින් ආර්යාව කුඩා ශාලාව වෙත පිටත් කර හරින ලදී. ශාලාවේ මේස සියල්ල අකුලා තිබුනු අතර බංකු බිත්තිය අයිනේ අසුරා තිබින. ශාලාව මුළුමනින්ම හිස්ව තිබින. එනමුදු නුහුරු කටහඬක් ඇයව ඇමතී ය. "ඔයා ප්‍රමාදයි කොල්ලො." තට්ට හිසකින් හා උකුස්සකු ගේ මෙන් වක් වූ දිගැටි නාසයකින් හෙබි කෙට්ටු මිනිසෙක් සෙවනැලි මුවාවේ සිට ඉදිරියට පිය මැන්නේ ය. ඔහු ගේ අතේ ලීයෙන් කල අසිපත් දෙකක් තිබින. "හෙට ඔයා හරියටම මද්දහනේ මෙතනට එන්ට ඕන." ඔහු ගේ උච්චාරණය අනුව ඔහු නිදහස් නගරවලින්, සමහරවිට බ්‍රාවොස් හෝ ම(ර්)වලින් පැමිණියකු වන්නට ඇතැයි ආර්යා අනුමාන කලා ය.

"ඔයා කවුද?" ආර්යා ඇසුවා ය.

"මම තමා ඔයා‍ගෙ නැටුම් ගුරුවරයා." ඔහු එක් අසිපතක් ඇය දෙසට වීසි කලේ ය. ඇය එය අල්ලා ගැනීමට නැඹුරු වූවද අතින් ගිලිහී ගිය එය හඬක් නගමින් බිම පතිත විය. "හෙට ඔයා ඒක අල්ලගන්ට ඕන. දැන් ඒක අහුලගන්ට."

එය නිකංම නිකං ලී දණ්ඩක් නොව මනාව හැඩගසන ලද, මිටකින් හා ආවරණයකින් යුක්ත වූ නියම ලී අසිපතක් විය. එය අහුලා ගත් ආර්යා සැකසහිත අයුරින් එය දෑතින්ම අල්ලාගෙන තමාට ඉදිරියෙන් එසවූවා ය. එය පෙනුනාට බර විය. ඉදිකට්ටටද වඩා බර විය.

තට්ට මිනිසා දත් එකට වද්දා 'ටික් ටික්' හඬක් නැංවී ය. "ඔහොම නෙවෙයි ඕක අල්ලන්නෙ කොල්ලො. මේක අත්දෙකින්ම අල්ලගන්ට ඕන දිග කඩුවක් නෙවෙයි. ඒක එක අතකින් අල්ලගන්ට."

"ඒක හරි බරයිනෙ."

"ඒක බරකරලා තියෙන්නෙ ඒක සමබර වෙන්ට ඕන නිසා. අනික ඔයාව ශක්තිමත් කරන්ට ඕන නිසා. ඒක ඇතුළෙ හිලක් විදලා ඊයම් පුරවලයි තියෙන්නෙ. හරි දැන්, එක අතකින් අල්ලගන්ට."

සිය දකුණත මිටෙන් ඉවත් කල ආර්යා දහදිය වැකි අත්ල කලිසමේ පිසදා හැර වමතින් අසිපත ඔසවාගත්තා ය. මිනිසා එයින් සතුටු වූ බවක් පෙනින. "වමත වඩා හොඳයි. හැමදේම අනිත් පැත්ත ගැහෙනවා. ඒක ඔයාගෙ සතුරන් තවත් ව්‍යාකූල කරනවා. දැන් ඔයා ඔය හිටගෙන ඉන්න විදිය වැරැදියි. ඔයාගෙ ඇඟ පැත්තට හරවන්ට. අන්න හරි. ඔයා දන්නවද, ඔයා හරියට හෙල‍්ලක් වගේම කෙට්ටුයි. ඒකත් හරිම හොඳ දෙයක්. ඒ කියන්නෙ සතුරාගෙ ඉලක්කය පොඩියි. හොඳයි, දැන් මිට. කෝ බලන්ට." ළඟට පැමිණි ඔහු අසිපත් මිට අල්ලාගෙන සිටින ඇගේ ග්‍රහණය නිවැරැදි කලේ ය. "ආන්න හරි. එහෙම තමා. ඒක මිරිකන්ට එපා. බුරුලට අල්ලන්ටත් එපා. නියම ගානට අල්ලන්ට."

"ඒක වැටුනොත් මොකද වෙන්නෙ?" ආර්යා ඇසුවා ය.

"කඩුව ඔයාගෙ අතේම කොටසක් වෙන්ට ඕන. ඔයාට ඔයා‍ගෙ අතේ කොටසක් වට්ටන්ට පුළුවන් ද? බෑ. සිරියෝ ෆොරල් අවුරුදු නවයක් බ්‍රාවොස්වල පුධාන නැවු හිමියගෙ නායක සෙබලා වෙලා හිටියා. එයා දන්නවා මේ දේවල් ගැන. ඒ නිසා එයා කියන දේවල් අහන්ට කොල්ලො."

ඒ ඔහු ඇයට කොල්ලා කියා ඇමතූ තෙවන අවස්ථාව විය. "මම කෙල්ලෙක්." ආර්යා විරෝධාත්මක ස්වරයෙන් කීවා ය.

"කොල්ලෙක්. කෙල්ලක්. ඔයා කඩුවක්. එච්චරයි වැදගත්." ඔහු නැවතත් දත් එකට වද්දා ටික් ටික් හඬ නැංවී ය. "කොහොම හරි, එහෙම තමා කඩුව අල්ලගන්ට ඕන. ඔයා ඔය පොරවක් නෙවෙයි උස්සගෙන ඉන්නෙ. ඔයා උස්සගෙන ඉන්නෙ-"

"ඉදිකට්ටක්." ආර්යා ඔහු වෙනුවෙන් වාක්‍යය අවසන් කලා ය.

"කොහොම හරි. දැන් අපි නැටුම පටන් ගමු. මතක තියාගන්ට දරුවො, වෙස්ටෙරොස්වල නයිට්වරු නටන විදියෙ යකඩ නැටුමක් නෙවෙයි අපි මේ පුරුදුවෙන්ට යන්නෙ. ඒකෙ කැපිලි කෙටිලි නෑ. මේකට කියන්නෙ බ්‍රාවොස් නැටුම කියලා. දිය නැටුම. වේගවත්, ක්ෂණිකයි. ඔයා දන්නවද, හැම මිනිහෙක්ම හැදිලා තියෙන්නෙ වතුරවලින්. ඔයා එයාලට ඇනලා පසාරු කලොත් ඒ වතුර කාන්දු වෙලා එයාලා මැරෙනවා." අඩියක් පසුපසට ගත් ඔහු සිය අසිපත එසවී ය. "හොඳයි, දැන් ඔයා උත්සාහ කරන්ට මට පහරදෙන්ට..."

ආර්යා ඔහුට පහරදීමට උත්සාහ කලා ය. පැය හතරක් පුරා උත්සාහ කලා ය. අන්තිමේදී ඇගේ සිරුරේ සෑම මාංශපේෂියක්ම වේදනාවෙන් ඇදුම් කන්නට පටන් ගති. සිරියෝ ෆොරල් සෑම විටකම සිය ටික් ටික් හඬ නංවමින් කුමක් කලයුතු දැයි ඇයට උපදෙස් දුන්නේ ය.

ඊළඟ දිනයේ ඔවුන් ගේ පුහුණුවීම් සැබෑවටම ඇරඹින.


Eddard Stark: “When the snows fall and the white winds blow, the lone wolf dies, but the pack survives.”

76 comments:

  1. මගෙ ජනප්‍රියම චරිතය ආර්යා නිසා මං මේක බොහොම රුචියෙන් කියෙව්වෙ..

    ReplyDelete
    Replies
    1. ආර්යා තමා මේ පොත් සෙට් එකේ පොත් පහේම ඉන්න එකම PoV character එක..

      Delete
  2. අපේ ජනප්‍රියම චරිත කිහිපය තාම ඇවිල්ල නෑ- hungover?

    ReplyDelete
    Replies
    1. කලුවර කුමාරයා සිරි යහන යට නිදනබවත්, බස්සා තටු නැතුව ගබඩා කාමරයේ වැටී සිටින බවත්, නරි මොටා කැලෑ වදුනු බවත්, ගෝඩා රජ මාලිගයේ නිවේදකයෙක්, විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.:P

      Delete
    2. එයි, එයි තව ටිකකින් උදැල්ලත් කරේ තියාගෙනම :p

      Delete
    3. හෆ්ෆෝ එපා උණා ජීවිතේ . if someone say PCR again today and ill kill him.

      සිරි යහන යට ??
      :O

      Delete
  3. මගෙත් ප්‍රියතම කෑම වත් බීමවත් තාම නෑ.

    ReplyDelete
    Replies
    1. ඇයි අර පැළහූ බැටළු මස් තිබ්බෙ.. බයිට් එකටවත් ගන්ට බැරිද? :-D

      Delete
    2. පැලහු බැටළු මස් රසයැයි සිතා සිටියද එය එසේ නොවේ.බයිට් එකටද නොවටී.

      Delete
    3. මං හදන බැටළු මස් කරිය කෑවානං හැලපෙ ඔහොම කියන්නෙ නෑ..

      Delete
    4. මෙයාට මෙච්චර උයන්ට පුලුවන් කියලා අපි දන්නේ නෑනේ. බැටලු මස් කරිය? අර පහල එක්කෙනෙක් කියලා තියෙන්නේ ටොමෙටෝ දමා පොටේටෝ කරි හදනවලු....හැබෑට? :P

      Delete
    5. මටත් බැටළු මස් කන්ට හිතෙනවා දැන් නම්. වෙට් එකේ ඉන්නව. හවස් කොරේ යන්ට ඕනේ ඒ පැත්තේ.

      Delete
  4. හරියට කෙටි නවකතාවක් වගේ . එක පාරක් නම් කියවල මදි .....

    ReplyDelete
    Replies
    1. ඒකනෙ.. තව පාරක් කියවන්ටකො එහෙනං.. :-)

      Delete
  5. ඔන්න සුභ ආරංචියක් තියනවා කියන්න.... මම මුල ඉඳලම කියවගෙන කියවගෙන ඇවිත් ඔන්න මෙතනටම ආවා...

    වැරිම වැරි ගුඩ් ජොබ් පොඩ්ඩී සහ බුරා.... මම හිතුවා මේක අර හැරී පොට්ටයා, ලෝඩ් ඔෆ් ද මුදු වගේ අති සුපර්නැචුරල් එකක් කියලා... එහෙම නැහැනේ... කොටා මහත්තයගෙ කොටසක් කියවලා තමයි මට වැඩේ අල්ලලා ගියේ... ඔන්න දැන් අනිත් උදලු ගොඩට මුල්ලුවකුත් එකතුවෙනවා...

    මට කියවගෙන යනකොට දැනුණ ලොකුම අපහසුව තමයි නම් මතක තියාගන්න එක. ඔය නිශා රැකුමෙ ඉන්න කස්ටියගෙ නම් එහෙම බ්ලොග් එකේ තියන චරිත ලැයිතුවේ නැහැ නේද? මට හිතුණා මීට වඩා ඩීටේල් ලිස්ට් එකක් තිබ්බොත් හොඳා කියලා...

    තව එකක්... මේකෙ භාවිතාවෙන දඩබල්ලා, අතැඟිලි, අනිත් එවුන් වගේ ඒවා නම් නේද? ඉංගිරිසියෙන් නම් ඒක අඟවන්න පුළුවන්නේ the others නැතුව The Others කියලා. සිංහලට දානකොට ඒකට මොකක් හරි ඇඟවුමක් තිබ්බා නම් හොඳයි... එක්කෝ අයිටැලික්, නැත්නම් ක්වෝට්ස් දාලා හරි...

    සාමාන්‍යයෙන් මම කැමතියි මේ වගේ කතාවලදි පුද්ගල නාම, ස්ථාන නාම වෙනස් නොකර තියාගන්නවා නම්. වින්ටර්ෆෙල්, කින්ග්ස් ලෑන්ඩ්ං එහෙමම තියාගැනීම හොඳයි. මට හිතෙන හැටියට ඒක වෙනස්කරනවා නම් ඒක සංඥා නාමයක් කියන එක ඇඟවෙන විදිහට වෙනස් කරන්න ඕනේ. ඒ අතින් The Trident ගංගා ත්‍රිශූලය වීම නියමයි. හැබැ‍යි The Neck බෙල්ල වීම නිකං මොකද්ද වගේ.. Fingers අතැඟිලි වීමත් එහෙමයි. ඒවා ස්ථාන හඳුන්වන නම් කියන ඇඟවීම දැනෙන්නේ නෑ ඒ යෙදුම් වල. එක්කෝ කලින් කිව්ව වගේ ඒවා ෆොන්ට් ෆෝමැට් කරලා ඒක අඟවන්න ඕනේ... නැත්නම් ගංගා ත්‍රිශූලේ වගේ ක්‍රියේටිව් නම් හොයාගන්න ඕනේ. The Neck වලට නම් ගෙල වගේ එකකුත් නරක නැද්ද මන්දා. දැනට මේවා තියාගෙන යං... ඉක්මනින් ලියන්න කියලා අර මාරයා තර්ජනය කරද්දි බෙල්ල ගැන වැඩිය හිත හිත ඉන්නත් බැහැනේ... පොතක් ගහන කාලෙට ඒවා බලමු... අමතක වෙන නිසා ලියලා දැම්මේ...

    තව ඉංග්‍රීසියෙන් the last thing I want කියන යෙදුම 'උවමනා කරන අවසාන දේ' කිව්වහම අයිඩියාව එන්නේ නෑ කියන්න හැදුවේ.. නමුත් මම දැක්කා මේ පෝස්ට් එකේ ඊට වඩා හොඳට පරිවතනය වෙලා තියනවා. "උවමනා කරන්නෙ නැතිම දේ". බුරාම කියලා තිබ්බා වගේ මේක වේගෙන් කරන්න ඕනේ දෙයක් නිසා ඔහොම යං... පොතක් කරන කාලෙට කට්ටියට පෙන්නලා අදහස් ගන්න පුළුවන්නේ...

    අහ්හ් තව එකක් (මූ මොකට මේක කියවන්න ගත්තද මන්දා නේද?)... බරතියන් සහ තියන් කියන නම් දෙක... අනේ මන්දා සිංහලෙන් දකිනකොට නම් නෙමෙයි වගේ.. දැන් මාටිං ලොක්කත් කියලා තියන එකේ ඕනෙ විදිහකට කියාගන්න කියලා මම ආසයි 'බැරතියන්' , 'තියොන්' වගේ දකින්න... හැබැයි මගේ හිතළුවක් විතරයි..

    මෙතෙක් මගේ ෆේවරිට් කොටස බ්‍රැන් ට සිහිය එක කොටස.. මාව මේකෙන් තහනම් කරන්න කලින් ඔන්න දැම්මා මෙන්න ගියා....

    ReplyDelete
    Replies
    1. << මම හිතුවා මේක අර හැරී පොට්ටයා, ලෝඩ් ඔෆ් ද මුදු වගේ අති සුපර්නැචුරල් එකක් කියලා... >>
      ඉතින් මාත් හිතන් හිටියෙ එහෙමනෙ ! එතකොට එහෙම නෙමේද ?

      (දැන්නම් කොපි පේස්ට් කිෂි කිෂි ගාලා වැඩ )

      Delete
    2. // අති සුපර්නැචුරල් එකක් කියලා..//
      . කොහෙත්ම "අති" සුපර්නැචුරල් නම් නැහැ. ඒත් මං පුද්ගලිකව කැමතියි තියන සුපර්නැචුරල් කෑලිවලටත් පැහැදිලි කිරීමක් තියනවනම්. "බැරතියන්" වැඩිය හොඳයි තමයි.
      ඔන්න ආයිත් මට අමතකවීගෙන එනවා මගෙ රෝල් එක. උලතියන අවදානම මතක තියා ගන්න ඕනැ ඔය සීරියස් විචාර නොකරන්න
      කෝ මේ අනිත් පිස්සො ටික නැතිනිසා මාත් නොමඟ යනව.

      Delete
    3. ප්‍රා, ඔය සුපර්නැචුරල් කියන එකට සිංහලෙන් කියන්නෙ මොකක්ද ( තනි වචනයකින් ) කියලා කියන්න ඔය අනිත් පිස්සො ටිකට පුළුවන් වෙයිද ? :)

      Delete
    4. කට්ටියට වචන ලිස්ට් එකක් දෙන්ටද? :D

      Delete
    5. සෙන්නා.. අද්භූත වගේ එකක් කිව්ව නම් හරි

      Delete
    6. සෙන්නා.... ආශ්චර්යවත්, අලෞකික...???

      Delete
    7. අධිස්වාභාවික ??

      Delete
    8. සෙන්නා ඇත්තටම බොහෝම සුළු මට්ටමෙන් තියෙන්නේ දැනට... ඔය ප්‍රාකාරයෙන් එහා පැත්තේ ඉන්න එවුන් මොනවගේද කියන එක තමා වැඩිය පැහැදිලි නැත්තේ... නමුත් කිසිසේත්ම මැජික් වලින් වැඩගන්න කතාවක් නෙමෙයි...

      Delete
    9. අධිස්වාභාවික = supra-natural.
      Super natural එකටත් ඒක හරියනව. ඔය අනිත් වචනත් එක එක වෙලාවට හරි යනව. ඒත් සමහර අවස්ථාවල (contexts )හරි නොයන වෙලාවලුත් තියනව.එතකොට පරිවර්තකයො එරෙනව.

      හෙහ් හෙහ්, සෙන්නා කාගෙන් හරි වැඩක් ගන්න තමයි බලන්නෙ නේ?
      තව වචන තියන්වද? :-D

      @Thisara
      ,//මැජික් වලින් වැඩගන්න කතාවක් නෙමෙයි...// ..... තවම !!


      Delete
    10. තිසර ඇතුළු වචන යෝජනා කළ හැමෝටම ස්තූතියි.. අනිත් අයත් කිව්වනම් ෂෝක්.. ( ෂෝක් කියන්නෙ සිංහල වචනයක්ද ? ඉංග්‍රීසි වචනයක්ද ? ? :) )

      ප්‍රා, නැතුව නැතුව තැටිය රත් වෙච්ච වෙලාවට රොටිය පුච්ච ගන්න ඕනා. එහෙම නැත්නම් කළ දුටු කල වල ඉහ ගන්න ඕනා.. :)

      Delete
    11. මට මෙතන දැක්කාම මතක් වෙන්නේ ලංකාවේ බීම පාටියක්. කට්ටිය නිකං ඒ වගේ. වගේ. :P

      Delete
    12. //තැටිය රත් වෙච්ච වෙලාවට රොටිය පුච්ච ගන්න ඕනා.//

      බලාගෙන අත පිච්චෙයිලු හොඳේ. :P

      Delete
    13. //කළ දුටු කල//
      සෙන්නා, "Feral" කියන්න මොකක්ද? :-D

      @Pods,
      //ලංකාවේ බීම පාටියක්// ??????
      මේ තිසර , සෙන්නා දිමුතු වගේ වියත් අය ඉන්න තැන ඔබතුමීගෙ පින් බරම දෑසට එහෙම පේනවනම්, අපි (ගෝඩා, නරි, කුරුල්ලන් සහ පිරිස ) ඉන්න තැන් කොහොම පෙනෙයිද?

      Delete
    14. පොඩ්ඩි, කවුද මෙයා අතින් රොටි පුච්චන්නෙ... ඒකට තමා බළල්ලු ඉන්නෙ... :)

      ඔන්න ඔහේ නිකන් ඉන්න එකේ මෙන්න මේ ප්‍රාට Feral කියන එක හරෝලා දීලා යන්න මෙයා... :)

      ප්‍රා, මෙතන, මම කිව්වේ මේ කතාවෙ Feral උන් නැද්ද ?

      Delete
    15. බොහොම ස්තූතියි තිසර!

      නම් ගම් හදන්ට නම් දැන් ටිකක් පරක්කු වැඩියි වැඩියි වගේ.. අර කිවුවත් ව‍ගේ පොතකට යද්දි ඒ ටික හදාගන්ට බලමු..

      චරිත ලැයිස්තුවට තව චරිත එකතු කරන්නම්.. දැනට ඒකෙ ඉන්නෙ වැදගත්ම කට්ටිය විතරයි.. දිගට දැම්මොත් චරිත වැඩිවෙලා පැටලෙයි කියලා හිතුනා.. ඒක හදන්නම්..

      Delete
    16. /හැබැ‍යි The Neck බෙල්ල වීම නිකං මොකද්ද වගේ./ හැබැයි අර බෙල්ලෙන් උඩ බෙල්ලෙන් යට කිව්වම පොඩි ගතියක් තියේ නේද? නෙක් කියල තිබුණ නම් ඒ ගතිය එන එකක් නෑ.

      Delete
    17. @ සෙන්නා,

      කළ නැත්තං මොකෙන්ද වල ඉහින්නෙ? :-P

      Delete
    18. බූරා, බටයක් දාලා බැරි වෙයිද ? :D

      Delete
    19. මේ වගේ සාරඝර්භ සංවාදයකට හොම්බ දාන්න අපි වගේ නරින්ට බැරි වුනත්, මොනවා හරි කිව්වෙ නැහ්නං හරි නෑ නෙව?

      බෙල්ල කියන එක කැතයි වගේ නං , මගේ ගාණෙ දාගන්ටකො "බෙල්ලන්විල" කියලා

      Delete
    20. "බෙල්ලන්විල" කියලා හරි යන්නේත් නැතිනම් දා ගන්ට "බෙල්ලන්තොට"කියලා :D

      Delete
    21. Feral = චණ්ඩ or තිරිසන් ????

      යකඩෝ මේවනේ උදලු. :O

      Delete
    22. @ පොඩ්ඩි

      වලව්වේ බීම පාටි හෙම යනවාද ?
      හ්ම්ම්ම්ම්ම්
      මගේ බිසිනොස් කාඩ් එක දෙන්ටද ?
      best quality අරිෂ්ටේ in all the world.

      Delete
    23. Double Helix එකකට හිර වෙලා හිටිය ටිකට වෙලා තියන දේවල්. :O

      Delete
    24. බොහොම හොඳට ලියපු විචාරයක්, කොටින්ම විචාර කරන්න බයේ විකාර පමණක් කරන "The Other" විචාරකතුමා පවා අද බැබළෙනවා.

      මේක දැකලා මටත් හිතුනා බැබළෙන්න ට්‍රයි එකක් දෙන්න.

      තිසරගෙ කමෙන්ට් එකෙන් , ගන්න බොහොදේ ඇතත්, දැනටමත් පාවිච්චි වෙන නම් වෙනස් කරනවා නං පරිස්සෙමෙන් කරන්න වෙයි. බර-තියං, බැරතියන් වීම සහ තියන්, තියෝන් වීමේ ප්‍රශ්ණයක් නැත.

      එයත් "ජොලි ගුඩ්" රටේ ටොමෙටෝ දමා පොටේටෝ කරි හදන සේර්බුරා මෙය ඇමරිකන් කුමන්ත්‍රණයක් ලෙස නොසලකනවා නං පමණි.

      "බෙල්ල" , "ගෙල" කිරීම බොහොම හොඳ යෝජනාවක් වුවත් එය බෙල්ල ගහලා යන වැඩකි. ( හා , නැත්ද PJ).හිටපු ගමන් සුදු ගෝනා, මිමින්නා වීම හුදී ජන පාථකයා පඹ ගාලක පැටලවීමක් යන චෝදනාවේත් යම් සත්‍යයක් ඇත.

      දැන් මයෙ බූල් කෝට් එකේ පොඩි දිලිසෙන ගතියක් තියේද, ඈ?

      Delete
    25. පඹගාලක පැටලුනු ගතියක් නම් පේනවා මොටෝ....:D:D

      Delete
    26. අර කුළු මීමා කෙස් එක එයි නේද එහෙම කලොත්?

      @ නරි
      ඇයි උබ සන්සිල්ක් ගාල නෑවවත් ද?

      Delete
    27. ඒක තමා මමත් කිවුවෙ නම්-ගම් ‍වෙනස් කරන්ට දැන් පරක්කු වැඩියි.. පොතකට එද්දි ඒ ගැන සලකා බලමු කියලා.. දැනට ඔය තියෙන යෝජනා චෝදනා එකතුකරලා ලැයිස්තු ගත කරලා තියාගෙන ඉන්ටලා.. කමෙන්ට්ස් හැටියට දැම්මට කමක් නෑ, ඒත් ඒවා දැන්ම ක්‍රියාත්මක වීම ගැන වගකියනු නොලැබේ.. :-D

      Delete
  6. කකුල යට ඉන්න ආර්යා??????? අපොයි ඒකට වඩා හොඳයි නෙව අශ්ව මුහුණක් ඇති ආර්යා

    ReplyDelete
    Replies
    1. කකුලට පෑගුණු ආර්යා

      Delete
    2. underfoot කියන එකට "කකුල යට" ට වඩා තේරුම් ඇත. "කරදරකාරී "වගේ තේරුමකුත්

      Delete
    3. යෑස් ප්‍රාජේ... මට තේරුණේ පෙණුම ගැනයි මේ කියන්නේ කියලා... හැබැ‍යි ආර්යා ගැන හිතුවහම "කරදරකාරී / වාත ආර්යා" වෙන්නත් පුළුවන්.

      Delete
    4. මේ underfoot කියන එකෙන් අදහස් වෙන්නෙ 'කකුල තියන තියන තැන ඉන්න, ඒ නිසා හරිම පරිස්සමින් අඩියක් අඩියක් ගානෙ වදවෙන්ට ඕන, හරිම වාතයක්' කියන තේරුම නෙවෙයිද?

      තිසර කියාපු 'වාත ආර්යා' කියන එක හොඳටම ගැලපෙනවා මම හිතන්නෙ..

      Delete
    5. මගේ උදැල්ල වෙන කවුදෝ දාලා. අයියෝ ඉඳල වැඩක් නෑ

      වාත ආර්යා :D

      Delete
    6. සුපුරුදු උදැල්ල කරේ තබාගෙන
      ෂෝටකි ඇඳ ගත්තේ...
      පසුදා අළුයම කෙටුවා කෙටුවා
      කර ගැට පොං දෑතේ...//

      ඔහොමයි කල් ගෙවුනේ....

      Delete
  7. කොපි ප්‍රොටෙක්ට් අයින් කලාද...
    කොපි වෙනව හෝ ගාල....
    හොරුන්ට හොරකං කරන්න ලේසි වැඩි

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ හොරකං කොරගත්තාවෙ බං.. පිනක් සිද්දවෙන්නෙ නැතෑ.. :-)

      Delete
    2. හොරකං කෙරුවාම පිං සිද්ද වෙන්නේ හොරටද ? එහනම් මාත් හොරකම් කරන්ට ගන්ට ඕන.:D

      Delete
  8. අදනං ඔන්න යන්තං ටිකක් විතර කොටට නැතිව ලියලා තියෙනවා...
    හා හා ඊ ළඟ... :D

    ReplyDelete
    Replies
    1. මීට පස්සෙ එහෙනං කොටාගෙ චැප්ටර්ස් විතරක් කොට....................ට දාන්නං. :-P

      Delete
  9. වාත ආර්යා මාත් කැමතිම කෙළි පොඩ්ඩක් හින්දා කොටලා යන්ට හිතුවා...

    අනික මේ කොටාට කොටා කොටා කියන්ට එපා අපිටත් මල පනිනවා හරිය..

    ReplyDelete
    Replies
    1. හැබෑ නේන්නන්, කොටාට " කොටා" කියන එක ඉන්තේරුවෙන්ම වැරදියි නෙව? කොහොමද "මොටා" කියල කිව්වොත් ? ඕන්නං බැරියෑ ඉස්සරහට විසේසන පදේකුත් දාගන්ට :P

      Delete
    2. එසේය චූලෝදරතුමනි.. මින්පසු කොටාට කොටා කොටා නොකියා සිටීමට තීරණය කලෙමු.. එනමුදු පැණයක් ඇතිවිය.. කොටාට කො‍ටා නොකියන්නේ නම් කොටාට කියන්නේ කුමක්ද.? එමෙන්ම එවිට කොටා කියන්නේ කාටද.? මේ පැණවලටද විසඳුම් ලබාදෙන්නේ නම් කුරුතඥ්ඥ වෙමු.. මහෝදරතුමාත් සැපෙන් වෙසෙන්නේ යැයි සිතමු.. ඔබතුමාටත් සැප වවා!! :-D

      Delete
    3. පැණවලට විසදුම් පහත පරිදි වේ........

      ///කොටාට කො‍ටා නොකියන්නේ නම් කොටාට කියන්නේ කුමක්ද.?// කොටා ට ටිරියන් ලැනිස්ටර් උතුමාණෝ වගේ එකක් කියන්ට.

      //එමෙන්ම එවිට කොටා කියන්නේ කාටද.?// කොටා ට

      Delete
  10. අද විසේස:
    කතාව කුට්ටි නොකිරීම වෙනුවෙන් සේර් බුරාට, චිකන් කොත්තුවක් පිරිනමනවා. අනුග්‍රහය - ගමරාළගෙ කුකුල් කො‍ටුව

    ReplyDelete
    Replies
    1. අරිශ්ටේ මගේ ගානේ. :D

      Delete
    2. චිකන් කොත්තුයි අරිෂ්ටෙයි විතරද? හපොයි! දිගට ලිවුවටත් පාඩුයි නෙව.. :-D

      Delete
    3. මදිද බොල ?
      Johnny Walker, Jack Daniels, Smirnov එහෙමත් පෙරන්නේ මගෙන් කොපි කරගන දැනගන් . හුහ්

      Delete
  11. Syrio Forel , great dude.

    //බ්‍රාවොස්වල පුධාන නැවු හිමියගෙ නායක සෙබලා // = //first sword to the Sealord of Braavos//

    sealord ට ලස්සන නමක් නොදැමීම ගැන විරෝධය.
    first sword ට මුල් කඩුව නොකීම පිලිබඳ මගේ උපහාරය .



    ReplyDelete
    Replies
    1. // Syrio Forel , great dude //

      Yes, indeed...

      ඔය යෝජනා චෝදනා ඔක්කොම එකතුකරලා තියාගන්ටකො.. පොතක් ගහන දාට බලමුකො.. :-)

      Delete
  12. ඔන්න තිසර කියාපු විදියට චරිත ලැයිස්තුවට තව චරිත එකතු කරලා ලැයිස්තුව දික් කලා.. තාම 100%ක් ඉවර කරගන්ට බැරිවුනා.. හෙට ඉතුරු ටික හදන්නම්.. :-)

    ReplyDelete
    Replies
    1. කොහෙටද බං දැම්මේ?

      Delete
    2. ඇයි බං අර තියෙන්නෙ දකුණු පැත්තෙ ලින්ක් එකක්, 'වංශාධිපති පවුල් හඳුනාගමු' කියලා..

      Delete
  13. මේ කොටස දිග වුනත් බොහොම රසයි.කොච්චර රස කියනවානම් මේක රස විඳින්න ගිහින් ඊයේ අපේ ඔෆිස් එකේ වුන් මට හිනා වුනත් එක්ක.

    1)//"මගේ උතුමානනි."ජොරී කීවේ අසුනෙන් නැගිටිමිනි.//
    ඔන්න ඔය කොටස කියවන කොට "මගේ උතුමානනි"කියන එක මුමුණමින් මමත් පුටුවෙන් නැගිට්ට වාඩි වුනා.

    2)//සන්සාගේ දෑස් විසල් විය."තරගාවලියක්!" ඇය හුස්මක් ඉහළට ඇදගත්තාය.//
    ඔන්න දැන් මමත් "තරගාවලියක්"කියලා මුමුණාගෙනම හුස්මක් ඇද්දා.සන්සා වගේ.

    3)//සිය තොල සපාගත් සන්සා හිස වැනුවාය//
    ඔන්න මමත් තොල හපාගෙන ඔලුව වනනවා.
    //බුම්මා ගත් මුහුණින් සිය කෑම පිඟාන දෙස බැලුවාය//මම දැන් බුම්මගෙන ආර්යා වගේ කී බෝඩ් එක දිහා බලනවා. පිටි අත්ලෙන් කඳුළුත් පිහිදා ගත්තා.

    4)ආර්යා පිඟානට කොඳුරනවා වගේ මමත් ඔන්න ඒ දෙබස් කි බෝඩ් එකට මුමුනවා.

    දැන් කඩු පයිට් :D
    ඔෆිස් එකේ ඉන්න අපිට කොහේද කඩු.හොයාගත්තා ආදේශකයක්.ගත්තා පෑනක්.

    5)//එක් අසිපතක් ඇය දෙසට වීසි කලේය//
    ඔන්න පෑන විසික් කෙරුවා මෙසේ උඩට.පස්සේ එක ඇහිද ගත්තා මුලින්ම අත්දෙකෙන්.ඊට පස්සේ තනි අතට ගත්තා ආර්යා වගේ.

    6)දැන් තට්ට මිනිහා එක්ක කඩු පයිට්.ගත්තා අනික් අතටත් පෑනක්.තට්ට මිනිහා වගේ ටික්,ටික් කියලා දත් ටිකත් එකට වැද්දුවා.

    මේ ඔය වගේ තව,තව සෙල්ලම් දැම්මා මේක කියවන ගමන්.මගේ එක පුද්ගල රංගනයන් බලාගෙන හිටපු ප්‍රේක්ෂකයින් අවසානයේ මගෙන් ඇහුවේ එක ප්‍රශ්නයයි.
    "උඹට පිස්සුද?" කියලායි.එක අතකට පිස්සු වෙන්න ඇති නේ නැතිනම් ඔහොම කතාව කියවලා එකේ ඇතුලේ ජිවත් වෙන්න යාවියැයි ...:D

    ReplyDelete
    Replies
    1. ෂුවර් එකට ආණ්ඩුවෙ කන්තෝරුවක්... :)

      Delete
    2. හු හු වැරදියි...:D මේක පුද්ගලික එකක්.වේලාවට අපේ ලොක්කා බ්ලොග් බලන්නේ නැහැ.
      මාගේ බ්ලොග් කෙරුවාව උදෙසා සාදර අනුග්‍රහය එහෙන් තමයි...:D

      Delete
    3. ලොක්කාටත් බ්ලොග් බලන්ට පුරුදු කෙරුවොත් මොකද? එතකොට කට්ටියටම බියෙන් සැකෙන් තොරව කතාව කියවන්ට පුළුවන්.. :-D

      Delete
  14. හුටා මේකෙ කමෙන්ට් කතාවට වඩා මෝල් වගේ ඒ පාර. හේනං අපි ගියා!! බොලා දිගටම කොරගෙන පලයල්ලා...ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ආන්න අර තිසරට නම් සත්‍යාවබෝධය ලැබිලා.. දැන් බුවා දිගටම මේක කියවනවලු.. උඹටත් කවදාහරි සත්‍යාවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. :-P

      Delete