Monday 29 September 2014

ඩනේරිස් 03-1


"මේ තියෙන්නෙ ඩොත්රැකි මුහුද." සෙර් ජෝරා මෝර්මන්ට් පැවසූයේ කඳු වැටිය මුදුනේ සිටි ඇය අසලින් සිය අසු නතර කරමිනි.

ඔවුන්ට පහලින් වූ තැනිතලාව, අනන්තය දක්වා විහිදී පැතිරින. එය ඈතින් පෙනුනු ක්ෂිතිජය දක්වාත් ඉන් ඔබ්බටත් දිවගිය සුවිසල්, සමතලා ප්‍රදේශයක් විය. 'ඒක නම් ඇත්තටම මුහුදක් තමා‍' ඩැනී සිතුවා ය. මෙතැනින් එහාට කුඩා කඳු ගැට, කඳු වැටි, ගස්කොළන්, නගර හෝ පාරවල් වැනි කිසිවක් නොවීය. එහි තිබුනු එකම දෙය කෙළවරක් නොවූ තණබිම් පමණි. උසට වැඩුනු තණගස් සුළඟේ රිද්මයට අනුව එහා මෙහා පැද්දුනේ නගින බහින රළපෙලක් පරිද්දෙනි. "ඒක හරිම කොළපාටයි" ඇය පැවසුවා ය.

"දැනට නම් කොළපාටයි තමා." සෙර් ජෝරා එකඟ විය. "ඒ වුනත් මෙතන බලන්ට තියෙන්නේ මල් පිපෙන කාලෙට. අර කොණේ ඉඳන් මේ කොණ වෙනකම්ම තද රතුපාට මල් පිපිලා. හරියට ලේ පිරිච්ච මුහුදක් වගේ. පායන කාලෙ ආවහම මුලු ලෝකෙම තඹපාටට හැරෙනවා. අනික මෙතන තියෙන්නේ 'හ්රානා' තණකොළ විතරයි දරුවෝ. ඒත් ඇතුළට යන්ට යන්ට තව සිය ගානක් තණකොළ වර්ග තියෙනවා. ලෙමන් ගෙඩි වගේ කහ පාට තණකොළ, තද නිල්-දම් පාට තණකොළ, නිල් පාට, තැඹිලි පාට, දේදුන්නක් ව‍ගේ පාට පාට තණකොළ. මිනිස්සු කියනවා අෂයීවලට එහා සෙවණැලි දේශයේ තියෙනවාලු සාගරයක් තරම් පැතිරිච්ච 'හොල්මන් තණකොළ' කියලා තණකොළ වර්ගයක්. ඒවා අසරුවෙකුටත් වඩා උසට වැවෙනවලු. ඒවායේ තල වීදුරුවලටත් වඩා සුදුමැලිලු. මේවා ශාපලත් ආත්ම වගේ අඳුරේ දිලිසෙනවලු. මේ හොල්මන් තණකොළ අනිත් තණකොළ ජාති ඔක්කොම මරාදාමින් ඒවා යට කරගෙන පැතිරෙනවලු. ඩොත්රැකියෝ කියන්නේ කවදාහරි මේ තණකොළවලින් ලෝකයම වැහිලා යනවලු. එදාට මේ මුලු ලෝකයමත්, ඒකෙ ඉන්න ජීවීන් හැමෝමත් විනාස වෙලා යනවලු."

ඒ සිතුවිල්ල ඩැනීගේ සිරුර සලිත කරවීය. "මට ඒ වගේ දේවල් ගැන දැන් කතා කරන්ට උවමනා නෑ." ඇය කීවා ය. "මෙතන හරිම ලස්සනයි. මේ හැමදේම මැරිලා යනවා කියලා හිතන්ට මට උවමනා නෑ."

"ඔබ කැමැති විදියක් ඛලීසි." සෙර් ජෝරා ගරුසරු ඇතිව කීය.

ඔවුන්ට පිටුපසින් කටහඬවල් ඇසුනෙන් ඇය ආපසු හැරී බැලුවා ය. මෝර්මන්ට් හා ඇය විසින් පසුකර ආ ඔවුන්ගේ කණ්ඩායමේ ඉතිරි පිරිස ඔවුන් සිටි කඳු ගැටය නගිමින් සිටියහ. ඇගේ සේවිකාව වූ ඉරී සහ අනෙක් තරුණ දුනුවායෝ නරාශ්වයන් තරම් මටසිළුටු අන්දමින් සිය අසුන් මෙහෙයවමින් සිටියහ. එහෙත් විසේරිස් සිටියේ තවමත් ඔහුට නුහුරු කෙටි පා පටි හා කුඩා පැතලි සෑදලයත් සමගින් තරග වදිමිනි. ඇගේ සොයුරා ගේ පෙනුම අතිශයින්ම දුක්ඛිත විය. සැබැවින්ම නම් ඔහුට තිබුනේ මෙම ගමන නෑවිත් සිටින්නට ය. ඔහුට පෙන්ටොස් වල නවතින්නට යැයි මැජිස්ටර් ඉල්ලීරියෝ බල කර කියා සිටියේ ය. ඔහුට තමාගේ මන්දිරයේ ආගන්තුක සත්කාර පුද කර සිටියේ ය. එහෙත් ඒ කිසිවකට කණ් දුන්නේ විසේරිස් නොවේ. තම ණය පියවෙන තුරු, තමාට පොරොන්දු වූ සිහසුන හිමිවන තුරු අත් නොහරින සෙවනැල්ලක් මෙන් ඩ්‍රෝගෝ පසුපස යාමට ඔහුට උවමනා විය. "ඌ මට බොරු කලොත් මකරා නැගිට්ටවීමේ විපාක ඌ දැනගනීවි." විසේරිස් දිවුරා පොරොන්දු වූයේ මැජිස්ටර්ගෙන් ඉල්ලාගත් අසිපත මත අත තබාගෙන ය. වේගයෙන් ඇසිපිය ගැසූ ඉල්ලීරියෝ ඔහුට වාසනා වේවා යැයි සුබ පැතීය.

මේ සුන්දර මොහොතේ තම සොහොයුරාගේ නොනවතින කන්දොස්කිරියාවට සවන්දීමට තමාට නුවුමනා බව ඩැනීට වැටහින. එය කදිම දවසක් විය. අහස තද නිල් පැහැ වූ අතර ඈත ඉහළ දඩයම් උකුස්සකු රවුමට රවුමට පියාඹනු පෙනින. හමන සුළඟේ සෑම හුස්මක් පාසාම තෘණ සාගරය රිද්මයකට මෙන් එහා මෙහා පැද්දුනේ ය. ඇගේ මුහුණ මත ගැටුනු වාතය උණුසුම් විය. ඇයට දැනුණේ සැනසීමකි. මේ ශාන්ත බව විනාශ කිරීමට විසේරිස්ට ඉඩ නොදිය යුතුය.

"මෙතන ඉන්ට." ඩැනී සෙර් ජෝරාට කීවාය. "හැමෝටම මෙතන නවතින්ට කියන්ට. මම අණ කලා කියලා කියන්ට."

නයිට්වරයා සිනාසුනේ ය. සෙර් ජෝරා කඩවසම් මිනිසෙකු නොවී ය. ඔහුට ගවයකුට මෙන් මසින් පිරුනු ගෙලක් හා උරහිස් පිහිටා තිබින. ඔහුගේ පපුව හා දෑත් පුරාම රළු මවිල් පිරී තිබුනු අතර හිසේ එක කෙස් ගසකුදු ඉතිරි වී නොතිබින. එනමුදු ඔහුගේ සිනහව ඩැනී තුල ඇතිකලේ සතුටකි. "ඔබ රැජිණක් වගේ කතා කරන්ට ඉගෙන ගන්නවා ඩනේරිස්."

"රැජිණක් නෙමේ. ඛලීසි කෙනෙක්." තමාගේ අසු හරවාගත් ඇය තනිවම ගැටිය පහලට පිම්මේ අසු පැන්නුවා ය.

බැස්ම අධික බෑවුම් සහිත හා ගල්කුලු පිරුනු එකක් විය. එහෙත් ඈ නොබියව අසු මෙහෙයවූවා ය. එහිවූ බියමුසු සතුට ඇගේ හදෙහි ගී රාව නැංවී ය. ඇගේ මුලු ජීවිත කාලය පුරාම විසේරිස් පැවසුවේ ඇය කුමාරිකාවක බවය. එහෙත් සිය වෙළඹ වන සිල්වර් පිටෙහි නැගී යනතුරු කුමරියක් යනු කවරාකාරයේ කෙනකුදැයි ඩනේරිස් නොදැන සිටියා ය.

මුලදී නම් එය එතරම් පහසු කාර්යයක් නොවීය. මංගලෝත්සවයට පසුදින ඛලසාරය සිය කඳවුර ගැලවූයේ, නැගෙනහිර දෙසට එනම් වයෙස් ඩොත්රාක් දෙසට යන දීර්ඝ සවාරිය ඇරඹී ය. ගමනේ තෙවැනි දිනය වන විට ඩැනී සිතුවේ තමා මියයෑමට ආසන්න බවකි. ඇගේ පසු පෙදෙසෙහි සෑදලය නිසා තුවාල හටගති. ඒවා ලේ තැවරුණු ඉතා අප්‍රසන්න ඒවා විය. අනවරතයෙන් අසු ‍ගේ ගොරෝසු පිට මත ඇතිල්ලීම නිසා ඇගේ කලවා මහත් වේදනා දුනි. තෝන් ලණුව නිසා ඇගේ දෑත්වල කරගැට නැගින. කකුලේ මස්පිඬු හා පිට පැත්ත වේදනාවෙන් පිරී තිබූ අතර, ඇයට හිඳගැනීමට පවා අපහසු විය. අඳුරු වැටී එද්දී අසුපිටින් බැසීමට ඇගේ සේවිකාවන් ගේ සහාය අවශ්‍ය විය.

එනමුදු රාත්‍රී කාලයන්ද ඇයට සැනසීමක් ගෙන නොආවේ ය. මඟුල් දිනයේදී මෙන් ගමන පුරාවටම පාහේ ඛාල් ඩ්‍රෝගෝ ඇයව නොතකා හැරියේ ය. ඔහු ගේ සැඳෑ කාලයන් ගෙවී ගියේ සිය යුධ භටයින් සහ රුධිරාක්ෂකයින් සමග එක්ව මත්පැන් පානයෙනි. තමාගේ වටිනා අසුන් පැදීමෙනි. ගැහැනුන් ගේ නැටුම් හා පිරිමින් මියයන සැටි බැලීමෙනි. ඔහුගේ ජීවිතයේ මෙම අංශයන්හි ඩැනීට තැනක් නොතිබින. ඇය තනිවම හෝ සෙර් ජෝරා සහ ඇගේ සොහොයුරා සමග හෝ රාත්‍රී ආහාරය ගත්තා ය. ඉන්පසු අඬමින් නින්දට වැටුනා ය. එහෙත් සෑම රාත්‍රියකම හිරු උදාවට හෝරා කිහිපයකට පෙර ඩ්‍රොගෝ ඇගේ කූඩාරම වෙත පැමිණුනේ, අඳුරේම ඇයව අවදි කර, තම අසු පදින තරම් නිර්දය අයුරින් ඇය හා එක්වූවේ ය. ඩොත්රැකි ක්‍රමයට අනුව ඔහු සෑමවිටම ඇය හා එක්වූයේ පසුපසිනි. ඩැනී මීට බෙහෙවින් කෘතඥවූයේ සිය සැමියාට කඳුළෙන් තෙමුනු මුහුණ නොපෙන්වීමටත්, වේදනාවෙන් නැගෙන කෙඳිරීම් කොට්ටය මත මුහුණ ඔබා මැඩලීමටත් හැකිවූ බැවිනි. එය නිමාවු පසු දෑස් පියාගන්නා ඔහු සිහින් හඬින් ගොරවන්නට පටන් ගන්නා අතර ඩැනී ඔහු අසලින් වැතිරගන්නී ය. එහෙත් ඇගේ සිරුර කෙතරම් තදින් තැලී පොඩිවී රිදුම් දුන්නේ ද යත් බොහෝ වේලාවක් යන තෙක් නින්ද ඇය සොයා නොආවේ ය.

මෙසේ දිනෙන් දින හා රාත්‍රියෙන් රාත්‍රිය ගෙවී ගිය අතර අන්තිමේදී එක්තරා රාත්‍රියක් එලඹුනේ තව එක් මොහොතකටවත් මෙය උහුලාගත නොහැකි බව ඇයට අවබෝධ කරවමිනි. මෙසේ සිටිනවාට වඩා දිවි හානිකර ගැනීම මැනැවැයි ඇය තීරණය කලාය.

එහෙත් එදා රෑ නින්දේදී ඇය නැවතත් සිය මකර සිහිනය දුටුවා ය. මෙවර එහි විසේරිස් නොවූ අතර ඇය හා මකරා පමණක් එහි සිටියහ. උගේ කොරපොතු රැය මෙන් කළු පැහැ විය. රුධිරයෙන් - ඇගේ රුධිරයෙන් - තෙත්ව ලිස්සන සුලු විය. ඒ දෑස් ගිනිගෙන දැවෙන ලාවා විල් දෙකක් මෙන් බැබලුනේ ය. ඌ සිය මුව විවර කල විට උණුසුම් වායු දහරා මෙන් ගිනිදලු පිටවී ය. ඒවා තමාට ගී ගයන්නාක් මෙන් ඇයට හැඟින. දෑත් දිගුකොට ගිනිදලු වැළැඳගත් ඇය ඊට තමාව මුලුමනින් ගිල ගැනීමට, තමාව පිරිසිදු කිරීමට, තමාව පණ ගැන්වීමට, තමාව ශුද්ධ කිරීමට ඉඩ දුන්නාය. සිය සිරුරේ මාංශය පිලිස්සී කළු පැහැ වී හැව ඉවත්වනු ද, ලේ උණු වී නටමින් වාෂ්ප බවට පත්වනු ද ඇයට දැනින. එහෙත් එහි කිසිදු වේදනාවක් නොතිබින. තම සිරුර ශක්තිමත් බවකින්, නවතාවයකින් හා නිර්භීත බවකින් වෙලී යනු ඇයට දැනින.

පුදුමයකට මෙන් ඊලඟ දිනයේ ඇයට පෙර තරම් වේදනාවක් නොදැනින. හරියටම දෙවියන් ඇගේ දුකට සවන් දී, ඇය ගැන අනුකම්පා කලාක් මෙනි. ඇගේ සේවිකාවන්ට පවා මේ වෙනස විද්‍යමාන විය. "ඛලීසි, මොනවද ඔබට වෙලා තියෙන්නේ? ඔබට අසනීපයක්වත්ද?" ජික්වි ඇසුවා ය.

"අසනීප වෙලා හිටියා. ඒත් දැන් සනීපයි." ඇය පිළිතුරු දුන්නේ සිය මඟුල් දිනයේ ඉල්ලීරියෝ විසින් තෑගි දුන් මකර බිත්තර අබියස සිටගනිමිනි. ඈ ඒ තුනෙන් විශාලම බිත්තරය ස්පර්ශ කලා ය. අනතුරුව එහි කටුව මත සෙමින් අත ගෙන ගියාය. 'කළු සහ ලේ රතු පාට, හරියට මගේ සිහිනයේ මකරා වගේ' ඇය කල්පනා කලා ය. ඇගේ අතැඟිලිවලට යටින් මේ ගල් වී ගිය බිත්තරය පුදුමාකාර අයුරින් උණුසුම් බවක් දැනවී ය... නැතහොත් ඇය තවමත් ඉන්නේ සිය සිහිනය තුළ ද? කලබලයෙන් මෙන් ඇය වහා තම අත ඉවතට ඇදගත්තා ය.

එදා ඒ පැයේ සිට ගෙවුනු සෑම දවසක්ම කලින්දාට වඩා පහසු විය. ඇගේ දෙපා වඩා ශක්තිමත් විය. දෑත්වල වූ කරගැට පිපිරී ගොරෝසු විය. ඇගේ මුදු කලවා පෙදෙස් රළු වී සමක් මෙන් සුනම්‍ය විය.

ඩැනීට ඩොත්රැකි ක්‍රමයට අසුන් පිට යෑම උගන්වන මෙන් ඛාල් විසින් ඇගේ සේවිකාවක වූ ඉරීට අණ කර තිබින. එහෙත් ඩැනීගේ සැබෑම ගුරුවරයා වූයේ ඇගේ වෙළඹ විය. ඈ ඩැනීගේ වෙනස්වෙන ඉරියව් හොඳින් දැන සිටියේ හරියටම දෙදෙනාටම එකම මනසක් තිබුනාක් මෙනි. දින ගෙවී යත්ම ඩැනීට තම අසුන් ධාවනය ගැන වඩ වඩාත් විශ්වාසය තැබිය හැකි විය. ඩොත්රැකියන් යනු හැඟීම් දැනීම් නොමැති රළු මිනිසුන් පිරිසක් වූ අතර තමන්ගේ සතුන්ට නම් තැබීමේ පුරුද්දක් ඔවුනට නොවී ය. එනිසා ඩැනී තම වෙළඹ ගැන සිතුවේ 'සිල්වර්' යන සරල වදනිනි. ඇය පෙර කිසි දිනෙක අන් කිසිදු දෙයකට මෙතරම් ආදරය කර නොතිබින.

අසුපිට යාම බරපතල කාර්යයක් නොවූ දා සිට තමා පෙර නොදුටු වටපිටාවේ සුන්දරත්වය ඇයට පෙනෙන්නට පටන් ගති. ඇය ඛලසාරය පෙරමුණේ ඩ්‍රෝගෝ හා ඔහු ගේ රුධිරාරක්ෂකයින් සමගින් ගමන් කල බැවින් සැමවිටම සැමතැනටම නැවුම්ව හා නවමුව ඇතුළු වීමේ භාග්‍යය වින්දා ය. ඔවුන් පිටුපසින් ගමන් කල සුවිසල් සතුන් රංචුව විසින් මහ පොළොව තලා, ගංගාවන් මඩකොට, හුස්ම හිරකරවනසුළු ධූලි වලාවන් ඉහල නැංවූවද ඔවුනට ඉදිරියෙන් වූ භූමිය නිතරම කොළ-නිල් පැහැයෙන් නෑවී තිබින.

ඔවුන් නොර්වොස්හි කඳු පන්තීන් තරණය කර නිමක් නැති ‍හෙල්මළු ගොවිබිම් හා කුඩා ගම්මාන පසු කල අතර ඒවායේ විසූ මිනිස්සු සිය සුදු පැහැ ප්‍රාකාර පසුපස සැඟවී ඔවුන් දෙස තැවිලි සහගත බැලුම් හෙලූහ. ඔවුහු නිසල පුළුල් ගංගාවන් ත්‍රිත්වයක් හා පටු ප්‍රචණ්ඩ දිය පහරින් යුත් සිවුවන ගංගාවක්ද තරණය කලහ. නිල් පැහැ උස් දිය ඇල්ලක් සමීපයේ කඳවුරු ලා ගත්හ. කළු පැහැ කිරිගරුඬින් කල කුළුණු අස්සේ මළවුන් ගේ අඳෝනා නැගෙතැයි කියැවෙන අතහැරදමන ලද පාළු විසල් නගරයක් අද්දරින් ගමන් කලහ. ඩොත්රැකි ඊයක් මෙන් හරි කෙලින් විහිදුනු වසර දහස් ගණනක් පැරැණි වැලීරියන් මාවත් ඔස්සේ පිම්මේ අසුන් විහිදූහ. කොහෝර් හි වනාන්තරය පසු කිරීමට ඔවුනට අඩ මසක් ගතවී තිබින. මෙහි වූ වෘක්ෂ නගර ද්වාර තරම් උත්තුංග කඳන් සහිත වූවන් වූ අතර ඔවුනට බොහෝ ඉහළින් සිය අතුපතර එකට වියා රන්වන් පැහැ තුරු වියනක් නිමකර තිබින. මේ වනාන්තරයේ එල්ක් ගෝනන්, දිවියන් සහ විසල් දම් පැහැ දෑසින් හා රජතමය ලොමින් වැසුනු උණහපුළුවන් වෙසෙතැයි කියුවද ඉදිරියට එන ඛලසාරය හමුවේ ඒ සැවොම බියෙන් සැඟව පලා ගිය අතර ඩැනීට ඔවුන්ව දැකගැනීමේ භාග්‍යය අහිමිව ගියේ ය.

මේ වෙද්දී ඇගේ වේදනාවන් හා දුක්ඛ දෝමනස්සයන් අතු ගෑවී යන මතකයන් පමණක් වී තිබින. අසු පිට යාම නිසා තවමත් දිනය අවසානයේ ඇගේ සිරුර රිදුම් දුන්නද එය දැන් මිහිරි වේදනාවක් පමණක්ම විය. එමෙන්ම සෑම උදෑසනකම ඇය කැමැත්තෙන්ම සෑදලයට ගොඩ වූයේ අද දිනයේ කවර නම් ආශ්චර්යයන් ඈ එනතෙක් බලා සිටී දැයි යන බලාපොරොත්තුවෙනි. සිය රාත්‍රී කාලයන්හි පවා සතුට උකහා ගැනීමට දැන් ඇය පුරුදු වී සිටියා ය. ඩ්‍රෝගෝ පෙර පරිද්දෙන්ම නිර්දය අයුරින් ඈ හා එක්වූවද, ඒ සෑමවිටම ඇය කඳුළු සලා හැඩූවද ඒ වැළැපීම් වේදනාවෙන් කල වැළැපීම් පමණක්ම නොවී ය.

කඳු වැටියේ පහළින් වූ තණකොළ ඇය වටා උස්ව හා සුනම්‍ය ලෙස නැගී සිටියේ ය. ඩැනී වෙළඹට හැල්මේ යාමට සන් කර ඇයව තැනිතලාව තුළට මෙහෙයූවේ තනිකමේ ආශිර්වාදය ද ඇතිව නිල්වන් තෘණ සාගරයේ කිමිද ගියා ය. ඛලසාරය තුළදී ඇයට කිසිවිටෙකත් තනිවීමට ඉඩක් නොවින. ඛාල් ඩ්‍රෝගෝ ඇය වෙත පැමිණියේ හිරු බැස ගිය පසු මුත් ඇගේ සේවිකාවෝ සෑමවිටම ඇය හා සිටියහ. ඔවුහු ඇයට කවා පොවා නහවා ඇගේ කූඩාරම් දොරටුව අසල නිදාගත්හ. ඩ්‍රෝගෝ ගේ රුධිරාරාක්ෂකයින් හා අනෙකුත් සෙබළුන් නිතරම අතේ දුරින් ගැවසුනහ. එමෙන්ම ඇගේ සොහොයුරා දිවා රැයේ ඈ අත්හැර නොයන අප්‍රියජනක සෙවණැල්ලක් මෙන් විය. මේ වනවිට කඳුවැටිය මුදුනට ළඟා වී සිටි ඔහු කේන්තියෙන් සෙර් ජෝරාට බැනවදින කටුක හඬ ඇයට ඇසින. වෙළඹට සන් කල ඇය ඩොත්රැකි මුහුදේ තව තවත් ගැඹුරට කිමිදුනා ය.

තණබිම ඇයව ගිලගත්තේ ය. ඇය අවට වාතය පස් හා තෘණ සුවඳ, අශ්ව ගඳ, ඩැනීගේ දහදිය ගඳ හා ඈ හිසේ ගැල්වූ තෙල් සුවඳ එක්ව තැනූ අමුතුමු පුසුඹකින් පිරී තිබින. එය ඩොත්රැකියන්ටම පමණක් වෙන් වූ ඩොත්රැකි සුවඳක් විය. එය අන් කිසි තැනකට නොව මෙතැනට, මේ ඩොත්රැකි මුහුදට පමණක් අයත් සුවඳක් විය. ඩැනී සිනාසෙමින් ඒ සියල්ල ගැඹුරු හුස්මකින් තමා තුළට ඇද ගත්තාය. තමාට පහළින් වූ පොළොව අල්ලා බැලීමට, ඒ තද කළු පසෙහි සිය පා ඇඟිලි තුඩු රිංගවා ආස්වාදනය කිරීමට ඈ තුළ හදිසි ආශාවක් පැන නැංගේ ය. සෑදලයෙන් බිමට බට ඇය සිල්වර් තණ කෑම සඳහා මුදා හැර සිය උස් බූට්ස් සපත්තු කුට්ටම ගලවා දැමුවා ය.

විසේරිස් ඇය වෙත කඩා පැන්නේ අනපේක්ෂිත ගිම්හාන කුණාටුවක් මෙනි. තෝන්ලණුව තදින් ඇදීම නිසා ඔහුගේ අසු මිරිකී ගොස් තිබින. "උඹ මට තර්ජනය කරනවා?" ඔහු කෑගැසී ය. "උඹ මට අණ දෙනවා? මේ මට?" නුහුරු ලෙස අසු පිටින් බැසීමට තැත් කරද්දී ඔහු පය පැකිල ඇද වැටුනේ ය. අමාරුවෙන් මෙන් නැවත සිට ගනිද්දී ඔහුගේ මුහුණ කේන්තිය නිසා රතු වී ගොස් තිබින. ඔහු කේන්තියෙන් ඇයව තදින් අල්ලා සෙලවී ය. "උඹට අමතක වුනාද උඹ කවුද කියන එක? බලපං උඹ දිහා. බලපං උඹේ හැටි!"

ඩැනීට ඈ දෙස බැලීමට අවශ්‍යතාවක් නොවීය. ඇය පාවහන් රහිතව, තෙල් ගෑ හිසකෙසින් යුතුව, ඩොත්රැකියන් අසුන් පැදීමේදී භාවිත කරන සමින් හා මනාළි තෑග්ගක් වශයෙන් ලද වර්ණවත් බැනියමක් හැඳ සිටියා ය. ඇය දිස්වූයේ එම පරිසරයට අයත් එකියක විලසිනි. විසේරිස් හැඳ සිටි සේද හා මුදු දම්වැල් සන්නාහයෙන් සැදි නාගරික ඇඳුම කිලුටුව පැල්ලම් ගැසී තිබිණි.

"උඹට බෑ මකරාට අණදෙන්ට. උඹට තේරුණාද? මම තමා රාජධානි සප්තකයේ අධිපතියා. මේ කොහෙවත් ඉන්න අශ්ව හොරෙකුගෙ වේස බැල්ලියකගෙන් අණ ලබන්ට මම සූදාණම් නෑ. උඹට ඇහුනද?" ඔහු ගේ අතැඟිලි ඇගේ බැනියම යටින් රිංගූයේ ඇගේ පියයුරු පහුරු ගා ඇයට රිද්දුවේ ය. "උඹට මාව ඇහෙනවද?"

ඩැනී වෙර යොදා ඔහුව තල්ලු කර දැමුවා ය.

විස්මයට පත් විසේරිස් සිය එළ-නිල් පැහැ දෑසින් ඇය දෙස බලා සිටියේ ය. ඇය මින් පෙර කිසිදා ඔහුට විරෝධය පා නොතිබින. මින් පෙර කිසිදා පෙරලා සටන් කොට නොතිබින. කෝපය නිසා ඔහුගේ මුහුණ විකෘති වී ගියේ ය. දැන්නම් ඔහු ඇයට තදින්ම රිදවන්නට යන බැව් ඇයට තේරුම් ගියේ ය.


Jorah Mormont: “The common people pray for rain, healthy children, and a summer that never ends, It is no matter to them if the high lords play their game of thrones, so long as they are left in peace.”

Friday 26 September 2014

ආර්යා 02


ඇගේ පියා නැවතත් රාජසභාව සමග ගැටුම් ඇති කරගෙන තිබින.

පසුගිය දිනවලදී ඔහු නිතරම කරන්නට පුරුදුව සිටි අන්දමින් අද දිනයේ ද ප්‍රමාද වී කෑම මේසයට පැමිණි ඔහු ගේ මුහුණින් ආර්යා මේ බැව් අවබෝධ කරගත්තා ය. නෙඩ් ස්ටාර්ක් කුඩා ශාලාවට ඇතුළුවෙද්දී භෝජනයේ පළමු වටය මේ වනවිටද මේසයෙන් අස් කොට තිබින. මෙයට කුඩා ශාලාව කියා නම් තබා තිබුනද එය මිනිසුන් දෙසීය දෙනෙකුට කිසිදු අපහසුවකින් තොරව අසුන් ගත හැකි, උස් ආරුක්කුමය  සහිත දිගු ශාලාවක් විය.

"මගේ උතුමානනි." ජොරී කීවේ අසුනෙන් නැගිටිමිනි. අනිකුත් සෙබළුන්ද ඔහු අනුව සිය අසුන්වලින් නැගී සිටියහ. මේ සෙබළුන් සියළුදෙනාම තම නව නිළ ඇඳුම වන සුදු පැහැ පට රෙද්දෙන් කල වාටියක් ඇති තද අළු පැහැ ලොම් සළු පැළැඳ සිටියහ. රිදියෙන් නිමකල අතක හැඩය ගත් හාරිච්චියක් මගින් උරහිස අසලින් මෙම සළුවල දෙපට එක්කර තිබුනේ ඔවුන් ‍ගේ තනතුර වන රජතුමා ගේ හස්ත‍යේ නිවාසාරක්ෂකයින් බව උපුටා දැක්වීමට ය. එහි සිටි‍යේ සෙබළුන් පනස් දෙනෙකුන් පමණක් වූ නිසා ශාලාවේ වූ අසුන් බොහොමයක් හිස් ව තිබින.

"වාඩි වෙන්ට." එඩාර්ඩ් ස්ටාර්ක් කීවේ ය. "මට පේනවා ඔබලා මම නැතුවම කෑම කන්ට පටන් අරන් කියලා. මේ නගරේ තාමත් සිහි කල්පනාව තියෙන මිනිස්සු ටික දෙනෙක් හරි ඉතුරුවෙලා ඉන්න එක ගැන සන්තෝසයි." ආහාර ගෙන එන්නැයි ඔහු සන් කල අතර සේවකයින් විසින් සුදුලූණු හා සුවඳකාරක යොදා පළහන ලද බැටළු මස් සහිත දීසි ඔසවාගෙන පැමිණෙන්නට විය.

"සෙණ්ඩුවාලුවේ කෙරෙන කතාවල හැටියට නං තරගාවලියක් තියන්ටයි යන්නෙ මගේ උතුමානනි." ජොරී කීවේ සිය අසුනේ නැවත වාඩි වෙමිනි. "එයාලා කියනවා ඔබතුමාගෙ පදවි ප්‍රාප්තියට කෙරෙන ගෞරවයක් විදියට රාජධානිය පුරාම ඉන්න නයිට්වරු ඇවිල්ලා සටන්වලට සහභාගි වෙන්ට යනවලු."

සිය පියා ඒ සමබන්ධයෙන් කිසිදු කැමැත්තක් නොපෙන්වූ බැව් ආර්යාට ඔහු ‍ගේ මුහුණින් පැහැදිලි විය. "එයාලා කියන්නෙ නැද්ද මේක තමා පදවි ප්‍රාප්තිය වෙනුවෙන් මට මේ ලෝකෙ උවමනා කරන්නෙ නැතිම දේ කියලා?"

සන්සා ගේ දෑස් විසල් විය. "තරගාවලියක්!" ඇය හුස්මක් ඉහළට ඇදගත්තා ය. ඇය ආර්යාගෙන් හැකිතරම් ඈත්ව සෙප්ටා මෝර්ඩේන් හා ජේන් පූල් අතරින් අසුන් ගෙන සිටියා ය. "අපටත් යන්ට පුළුවන්ද තාත්තෙ?"

"ඔයා දන්නවනෙ මම කොහොමද මේ ගැන හිතන්නෙ කියලා, සන්සා. පේන විදියටනම් මම රොබර්ට් වෙනුවෙන් විකාර සෙල්ලම් ලෑස්ති කරලා ඒකෙන් මට ගෞරවයක් ලැබෙනවා කියලා ලෝකෙට පෙන්නන්ට ඕන. ඒකෙන් කියැවෙන්නෙ නෑ මගේ දුවලත් ඔය විකාරවලට සහභාගි වෙන්ට ඕනයි කියලා."

"අනේ! මට ඒක බලන්ට ඕන." සන්සා අයැදුවා ය.

සෙප්ටා මෝර්ඩේන් ද කතාවට සහභාගි විය. "මර්සෙලා කුමාරිත් ඒකට සහභාගි වෙයි මගේ උතුමානනි. එයා සන්සා ආර්යාවටත් වඩා ලාබාලයි. මේ වගේ විශාල උත්සවයකට රාජසභාවෙ හැම වංශාධිපතිනියක්ම සහභාගි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අනික, මේ තරගාවලිය පවත්වන්නෙ ඔබතුමාට ගෞරව කරන්ට නිසා ඔබතුමාගෙ පවුලෙ උදවිය ඒකට සහභාගි වුනේ නැත්තං ඒක ටිකක් හොඳ මදි නේද?"

පියා ගේ මුහුණේ වූ වේදනාව පැහැදිලිවම දිස් විය. "ඒකත් ඇත්ත තමා. බොහොම හොඳයි. මම ඔයා වෙනුවෙන් තැනක් වෙන් කරන්ටයි කියලා කියන්නම් සන්සා." පසෙකින් සිටි ආර්යා දුටු ඔහු මෙසේ එකතු ක‍ලේ ය. "ඔයාලා දෙන්නටම."

"මට ඔය මලඉලවු තරගාවලියෙන් වැඩක් නෑ." ආර්යා කීවා ය. ජොෆ්රි කුමරා එහි සිටිනු ඇති බව ඇය දැන සිටියා ය. ඇය මේ වනවිට ජොෆ්රිට වෛර කරන්නට පටන් ගෙන තිබින.

සන්සා හිස එසෙවුවා ය. "ඒක හරිම ලස්සන තේජාන්විත උත්සවයක් වෙයි. ඔයාව කො‍හොමත් ඕන වෙන එකක් නෑ."

පියා ගේ මුහුණ කේන්තියෙන් පිරී ගියේ ය. "ඇති! සන්සා. ඔයා තව දුර ගියොත් මම මගේ අදහස වෙනස් කරගන්නවා. ඔය දෙන්නගෙ ඔය කෙලවරක් නැති යුද්ධෙ නිසා මට දැන් එපා වෙලයි තියෙන්නෙ. ඔයාලා දෙන්නා සහෝදරියො. ඔයාලා සහෝදරියො වගේ හැසිරෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. තේරුනාද?"

සිය තොල සපාගත් සන්සා හිස වැනුවා ය. ආර්යා හිස පහත් කරගත්තේ බුම්මා ගත් මුහුණින් සිය කෑම පිඟාන දෙස බැලුවා ය. සිය දෑසට කඳුළු පුරා එනු ඇයට දැනින. ඇයට හැඬීමට කිසිසේත්ම අවශ්‍ය නොවුනු අතර කේන්තියෙන් මෙන් පිටි අත්ලෙන් කඳුළු පිස දා හැරියා ය.

මේසයෙන් නැගුනු එකම ශබ්දය වූයේ හැඳි ගෑරුප්පු ගැටෙන හඬ පමණි. "මට සමාවෙන්ට." ඇගේ පියා නැගිට සිටියේ ය. "මට අද රෑ කන්ට පිරියක් නෑ." ඔහු ශාලාවෙන් පිටතට ඇවිද ගියේ ය.

ඔහු පිටව ගිය පසු සන්සා රහසින් එහෙත් උද්‍යෝගිමත් ස්වරයෙන් ජේන් පූල් හා කොඳුරන්නට පටන් ගත්තා ය. ‍මේසය එහා කොණේ හුන් ජොරී කාගේ හෝ විහිළුවකට සිනාසුනි. හලන් අශ්වයින් ගැන කතා කරන්නට පටන් ගති. ඔවුන් සැ‍වොම ඔහු ගේ මේ කතා සියල්ලම කලින් අසා පුරුදු නිසා ඩෙස්මන්ඩ්, ජැක්ස් හා හලන් ගේ පුත් හාර්වින් ඔහුට බාධා කරන්නට වන්හ. තවත් වයින් ගෙනෙන ලෙස පෝර්තර් සේවකයින්ට අණ කලේ ය.

එනමුදු කිසිවෙකුත් ආර්යාට කතා කිරීමට උනන්දු නොවිනි. ඇය ඒ ගැන තැකීමක් ද නොකලා ය. ඇත්තෙන්ම ඇය ඒ විදියට වඩාත් කැමැති විය. ඔවුන් ඇයට ඉඩ දෙන්නේ නම් සිය කුටියට වී තනිවම ආහාර ගැනීමට ඇය වැඩියමත් ඇළුම් කලා ය. පියා රජතුමා සමග හෝ වෙනයම් වංශාධිපතියකු සමග හෝ භෝජන සංග්‍රහවලට සහභාගි වූ විට ඔවුහු ඇයට ඒ වෙනුවෙන් ඉඩ දුන්හ. අනිත් වේලාවට ඔවුහු - ඔහුත් ඇයත් සන්සාත් පමණක් - පියා ‍ගේ කුටියට වි ආහාර ගත්හ. මෙවැනි වෙලාවට ආර්යාට සිය සොහොයුරන් නැති අඩුව අන් කවර මොහොතකදීටත් වඩා වැඩියෙන් දැනින. බ්‍රැන්ට සරදම් කරන්නට, පුංචි රිකන් සමග සෙල්ලම් කරන්නට, රොබ් තමා දෙස බලා සිනාසෙන'යුරු දකින්නට. මේ හැමටත් වඩා ජොන් 'පුංචි නංගී' කියා තමා ගේ කෙහෙරැළි අවුල් කර දමනු විඳින්නට. ඇයත් සමග එකතුව වාක්‍යයක් අවසන් කරන්නට. එහෙත් ඔවුන් සියල්ලන්ම නැතිව ගොසිනි. ඇයට ඉතිරිව ඇත්තේ සන්සා පමණි. එනමුදු පියා බලකරනු ලැබුවහොත් හැරෙන්න‍ට සන්සා දැන් ඇය හා වදනකුදු නොදොඩයි.

වින්ටර්ෆෙල්වලදී නම් ඔවුන් බොහෝ විට ආහාර ගත්තේ ප්‍රධාන ශාලාවේ සිටය. ඇගේ පියා පැවසූ අන්දමට වංශාධිපතියකු සිය පිරිස තමා වෙතම රඳවා ගැනීමට අදහස් කරන්නේ නම් ඔවුන් සමග එක්ව ආහාර ගත යුතු විය. "ඔයාගෙ පිටිපස්සෙන් එන මිනිස්සු අඳුරගන්ට." ඔහු වරක් රොබ්ට පවසනු ඇය අසා සිටියා ය. "ඒ වගේම එයාලට ඉඩ දෙන්ට ඔයාව අඳුරගන්ට. ඔයාගෙ මිනිස්සුගෙන් බලාපොරොත්තු වෙන්ට එපා එයාලා නාඳුනන මිනිහෙක් වෙනුවෙන් එයාලා ජීවිතේ දෙන්ට ලෑස්තියි කියලා." වින්ටර්ෆෙල්හිදී ඔහු ගේ මේසයේ සෑම දිනකම අතිරේක අසුනක් වෙන් වී තිබුනු අතර ඔහු සෑම දිනකම සිය මිනිසුන්ගෙන් කෙනෙකුට ඔහුත් සමග ආහාර ගැනීමට ආරාධනා කලේ ය. එක් රැයක ඒ වයොන් පූල් වූ අතර එදින කතා බහ මුදල් පාලනය හා පාන් හා සේවකයින් ගැන විය. ඊළඟ දිනයේ ඒ මික්කෙන් වූ අතර ඔහු අතොරක් නැතුව කඩු හා සන්නාහ ගැනත්, වානේ පදම් කල යුතු හොඳම ආකාරය ගැනත් දොඩවන අයුරු පියා අසා සිටියේ ය. තවත් දිනෙක ඒ සිය නිමක් නැති අශ්ව කතා සමගින් පැමිණි හලන් හෝ ෂේය්ල් පූජකතුමා හෝ ජොරී හෝ සෙර් රඩ්‍රික් හෝ නාකි ආයම්මා හෝ ඕනෑම අයෙක් විය.

සිය පියා පසෙකින් අසුන් ගෙන මොවුන් ‍ගේ කතාබහට සවන් දීමට ආර්යා බෙහෙවින් ප්‍රිය කලා ය. එ‍සේම බංකු අතරේ හිඳ අනිකුත් සෙබළුන් අතරේ කෙරෙන කතාබහට සවන් දීමටද ඇය ප්‍රිය කලා ය. දරදඬු අශ්වාරෝහකයින්, ආචාර සම්පන්න නයිට්වරුන් හා තරුණ සහචරයින්, තෙම්පරාදු වූ මහළු සෙබළුන්. ඇය ඔවුන් සමග හිමබෝල සෙල්ලම් කල අතර කුස්සියෙන් පොඩි පොඩි කෑම සොරකම් කිරීමට ඔවුන්ට සහාය වූවා ය. ඔවුන් ගේ බිරින්දන් ඇයට කැවිලි පිරිනැමූහ. ඇය ඔවුන් ගේ බිළිඳුන්ට නම් තැබීමට උදවු වූ අතර ඔවුන් ගේ කුඩා දරුවන් සමගින් සෙල්ලම් කලා ය. මහත ටොම් ඇයට කීවේ 'කකුල යට ඉන්නා ආර්යා' කියා ය. 'අශ්ව මුහුණක් ඇති ආර්යා' ට වඩා ඇය මේ නමට කැමැති විය.

එනමුදු ඒ වින්ටර්ෆෙල් විය. ඒ වෙනමම ලෝකයක් විය. දැන් සෑම දෙයක්ම වෙනස් වී තිබින. කින්ග්ස් ලෑන්ඩින්ග්වලට පැමිණිමෙන් පසු සෙබළුන් සමග එක් වී ඔවුන් ආහාර ගත් පළමු අවස්ථාව මෙය විය. ආර්යා මෙය පිළිකුල් කලා ය. ඇය දැන් ඔවුන් ‍ගේ කටහඬවලට වෛර කලා ය. ඔවුන් සිනාසෙන ආකාරයට, ඔවුන් ගේ කතාවලට වෛර කලා ය. ඔවුහු ඇගේ මිතුරන්ව සිටියහ. ඔවුන් සමග සිටින විට ඇයට ආරක්ෂාවක් දැනින. එනමුදු ඒ සියල්ලක්ම බොරුවක් බව ඇය දැන් වටහාගෙන සිටියා ය. ඔවුහු රැජිණට ලේඩිව මරන්නට ඉඩ දුන්හ. එපමණක් ද? නැත. ඔවුහු දඩබල්ලාට මයිකාව මරා දමන්නට ඉඩ දුන්හ. ජේන් පූල් ආර්යාට පැවසූ අන්දමට දඩබල්ලා මයිකාව කෑලි කෑලිවලට කැපූ අතර ඔවුන්ට ඔහුව උරයක දමා ඔහු ගේ පියාට බාර දීමට සිදු විය. ඒ අසරණ මිනිසා මුලින්ම සිතුවේ ඒ කැබලි කරන ලද ඌරකු ගේ සිරුර කියා ය. එනමුදු කිසිවෙකුත් ඊට විරුද්ධව කතා කලේ හෝ අසිපතක් එසවූයේ හෝ නැත. හැමවිටම මහත් නිර්භීත ස්වරයෙන් කතා කල හාර්වින් හෝ නයිට්වරයකු වීමට සිතා සිටින ඇලන් හෝ සෙබළුන් ගේ ප්‍රධානියා වන ජොරී හෝ අන් කිසිවෙකු හෝ කිසිවක් නොකලහ. අඩුම ගනනේ ඇගේ පියාවත්!

"එයා මගේ යාළුවා." ආර්යා කිසිවෙකුටත් නොඇසෙන සේ සිය පිඟානට කොඳුලා ය. අතවත් නොගැසූ ඇගේ කෑම සීතල වෙමින් පිඟානේ එලෙසින්ම තිබින. ඒ දෙස බැලූ ආර්යාට අසනීප බවක් දැනින. පිඟාන පසෙකට තල්ලු කල ඇය මේසයෙන් නැගිට සිටියා ය.

"ඔයා ඔය කොහෙ යනවා කියලද හිතන්නෙ ආර්යාවනි?" සෙප්ටා මෝර්ඩේන් ඇසුවා ය.

"මට බඩගිනි නෑ." සිය ආචාරශීලීත්වයන් මතක් කර ගැනීමට ඇයට මඳ වේලාවක් ගතවිය. "කරුනාකරලා මට යන්ට අවසරද?" ඇය දරදඬු ලෙසින් ඇසුවා ය.

"ඔයාට යන්ට බෑ." සෙප්ටා පැවසුවා ය. "ඔයා කෑම එකට අත ගහලාවත් නෑ. ඔයා ඔය පුටුවෙ වාඩිවෙලා පිඟානෙ තියෙන කෑම ටික ඉවර කරන්ට ඕන."

"ඔයාට ඕන නං ඒක ඉවර කරන්ට." කිසිවෙකු ඇයව නැවැත්වීමට ප්‍රථම ඇය දොර දෙසට පියඹා ගියා ය. සෙප්ටා මෝර්ඩේන් ආපසු එන්නයැයි ඇයට කෑ ගැසූ අතර සෙබළු සිනහවෙන්නට පටන්ගති.

මහත ටොම් තමාට නියමිත ස්ථානය වන හස්තයේ කුළුණට ඇතුළුවන දොරකඩ මුරකරමින් සිටියේ ය. ආර්යා තමා දෙසට දිව එන ආකාරය ඔහු නිරීක්ෂණය කල අතර සෙප්ටා ‍ගේ හඬගෑමද ඇසී තිබින. "මෙහාට එන්ට පුංචි එකී. ඔහොම ඉන්ට." ඔහු පැවසූයේ ඇයව අල්ලාගැනීමට නැඹුරු වෙමිනි. එනමුදු දෙකට නැවී ඔහු ‍ගේ දෙපා අතරින් රිංගූ ආර්යා සර්පිලාකාර පඩිපෙළ දිගේ කුළුණ ඉහළට නැංගා ය. මහත ටොම් හති දමමින් තමා පසුපස ලුහුබැඳ එන හඬ ඇයට ඇසින.

කින්ග්ස් ලෑන්ඩින්ග්වල ඇය ප්‍රිය කල එකම ස්ථානය වූයේ ඇගේ නිදන කාමරයයි. කළු පැහැ යකඩින් පිරිද්දූ ඝනකම් ඕක් ලීයෙන් කල එහි දොරට ඇය විශේෂයෙන්ම කැමැති වූවා ය. ඒ දොර වසා දමා බරැති හරස් පොල්ල පහත දැමූ පසු කිසිවෙකුටත් ඇගේ කාමරයට ඇතුළු වීමට නොහැකි විය. සෙප්ටා මෝර්ඩේන් හෝ මහත ටොම් හෝ සන්සා හෝ ජොරී හෝ දඩබල්ලා හෝ අන් කිසිවෙකුටත්! අදත් ඇය දොර වසා හරස් පොල්ල පහත දැමුවා ය. අන්තිමේදී ඇයට හඬන්නට සුදුසු ආරක්ෂිත ස්ථානයක් ලැබී තිබින.

කවුළුව වෙතට ගිය ඇය එහි වූ අසුනේ වාඩි වී ඉකි බිඳින්නට වූවා ය. ඇය ඔවුන් සියලුදෙනාටමත්, ඒ සියල්ලන්ටම වඩා තමන්ටමත් වෛර කරන්නට වූවා ය. සිදුවූ සියලුම වැරැදිවලට මූලිකම හේතුව ඇයයි. සන්සා එසේ කියා තිබුනා ය. ජේන් ද එසේ කීවා ය.

මහත ටොම් දොරට තට්ටු කරන්නට විය. "ආර්යා, දරුවො. මොකක්ද ප්‍රශ්නෙ? ඔයා ඔහෙ ඉන්නවද?"

"නෑ." ඇය මහ හඬින් පිළිතුරු දුන්නා ය. දොරට තට්ටු කිරීම නැවතුනු අතර මොහොතකට පසු ඔහු පිටත්ව යන ආකාරය ඇයට ඇසින. ඔහුව මුලා කිරීම හැමවිටම පහසු දෙයක් විය.

ආර්යා ඇඳ පාමුල තිබුනු සිය ඇඳුම් පෙට්ටගම වෙතට ගියා ය. බිම දණ නැමූ ඇය පියන උස්සා පෙට්ටගම අවුස්සන්ට විය. දෝතින්ම ගත් සිය ‍සේද, පට රෙදි, විල්ලූද, ලොම් රෙදි සියල්ලක්ම බිම දසත විසිරුවා හැරිය ඇය අන්තිමේදී තමන්ට උවමනා වූ දෙය සොයා ගත්තා ය. එය පෙට්ටගම පතුලේ ඇය සැඟවූ තැන එලෙසින්ම සුරක්ෂිතව තිබින. ඉතා පරෙස්සමින් එය ඉහළට එසවූ ආර්යා පටු අසිපත් තලය හෙමිහිට කොපුවෙන් මෑත් කලා ය.

ඉදිකට්ට!

ඇයට නැවතත් මයිකා සිහි වූ අතර ඇගේ දෑසට නැවතත් කඳුළු පුරා එන්නට විය. ඒක ඇගේ වැරැද්ද! ඇගේ වැරැද්ද! ඇගේ වැරැද්ද! කඩුහරඹ පුහුණු වන්නට එන්න යැයි ඇය කිසිදා ඔහුගෙන් විමසා නොසිටියා නම්...

නැවතත් දොරට තඩිබාන හඬ ඇසින. මෙවර පෙරටත් වඩා සැරෙන්. "ආර්යා ස්ටාර්ක්! වහාම මේ දොර අරින්ට. ඔයාට මාව ඇහෙනවද?"

ඉදිකට්ට අතින් ගත් ආර්යා සැනින් ආපසු හැරුනා ය. "ඔයා ඇතුළට නෑවිත් ඉන්නවානං හොඳයි." ඇය දැඩිව අසිපත වැනුවා ය.

"ඔයාගෙ තාත්තාට මේක අහන්ට ලැබෙයි." සෙප්ටා මෝර්ඩේන් කේන්තියෙන් බෙරිහන් දුන්නා ය.

"මට කමක් නෑ." ආර්යා ද පෙරලා මුරගෑවා ය. "යනවා යන්ට මෙතනින්."

"ඔයාගෙ මේ නරක හැසිරීම ගැන ඔයාට බොහොම පසුතැවෙන්ට වෙයි ආර්යාවනි. මම පොරොන්දු වෙනවා ඔයාට එහෙම වෙනවයි කියලා."

සෙප්ටා ගේ පියවර හඬ මැකී යනතෙක් ඇය දොර දෙසට කණ් දුන්නා ය.

අසිපතත් අතැතිව නැවත කවුළුව වෙතට ගිය ඇය පහළ ඇති අංගනය දෙස බැලුවා ය. ඇයටත් බ්‍රැන්ට මෙන් නැගීමට පුළුවන්කමක් තිබුනා නම්, ඇය සිතුවා ය. එසේ නම් ඇයට මේ කවුළුවෙන් පැන, කුළුණ දිගේ පහතට බඩ ගා, මේ ජරා අසික්කිත ස්ථානයෙන් පිටව පලායන්නට තිබින. සන්සා, සෙප්ටා මෝර්ඩේන්, ජොෆ්රි කුමරා, මේ සියල්ලන්නේම මිදී පලායන්නට තිබින. කුස්සියෙන් කෑම ටිකක් සොරකම් කරගෙන, ඉදිකට්ට හා උණුසුම් ඇඳුම් ටිකක් හා ඇගේ හොඳ සපත්තු කුට්ටමද රැගෙන පලායන්නට තිබින. ගංගා ත්‍රිශූලය අසබඩ කැලෑවක සිටිනා නයිමේරියා ද ඇයට සොයා ගත හැකි වනු ඇත. එවිට ඔවුන් දෙදෙනාට එක්ව නැවත වින්ටර්ෆෙල්වලට යාමට හෝ ප්‍රාකාරයේ සිටින ජොන් වෙත පලායාමට හෝ හැක. ජොන් ඇයත් සමග මෙහි සිටියා නම්... එසේ නම් ඇයට මෙතරම් තනිකමක් නොදැනෙනු ඇත.

දොරට කෙරුනු මෘදු තට්ටු කිරීමක් නිසා ඇගේ සිහින ලොව බිඳවැටුනු අතර ඇය කවුළුව වෙතින් ආපසු හැරුනි. "ආර්යා." ඇගේ පියා ගේ කටහඬ ඇසින. "දොර අරින්ට දරුවො. අපි දෙන්නා කතා කරන්ට ඕන."

කාමරය හරහා පියමැන්න ආර්යා දොරේ හරස් පොල්ල එසවූවා ය. පියා එතැන තනිවම සිටගෙන සිටි‍යේ ය. ඔහු වෙතින් දිස්වූයේ කේන්ති ගිය පෙනුමකට වඩා දුක්මුසු බවකි. එය ආර්යා ගේ මනෝභාව තවත් නරක අතට පෙරලූයේ ය. "මම ඇතුළට එන්න ද‍?" හිස සැලූ ආර්යා ලැජ්ජාවෙන් බිම බලා ගත්තා ය. පියා ඔහුට පිටුපසින් දොර වැසී ය. "කාගෙද ඔය කඩුව?"

"මගේ." ඇයට අතේ ඇති ඉදිකට්ට මුළුමනින්ම පාහේ අමතකව තිබින.

"ඒක මට දෙන්ට."

ආර්යා සිය අසිපත අකැමැත්තෙන් මෙන් පියාට බාරදුන්නේ නැවත කිසිදා එය දකින්නට නොලැබේ යැයි දුක් වෙමිනි. ඇගේ පියා එය ආළෝකයට අල්ලා තලයේ දෙපසම පිරික්සා බැලී ය, එහි තුඩ මහපටැඟිලි අගින් පිරික්සා බැලී ය. "බ්‍රාවොස්වල පාවිච්චි කරන ජාතියෙ කඩුවක්. ඒ වුනත් මම හිතන්නෙ මට පුළුවන් ඒක හදපු කෙනාගෙ සලකුණ අඳුරගන්ට. මේක මික්කෙන්ගෙ වැඩක්."

ඔහුට බොරුවක් කියා ගත නුහුනු ඈ දෑස් බිමට හරවා ගත්තා ය.

එඩාර්ඩ් ස්ටාර්ක් උතුමානන් සුසුමක් හෙලී ය. "මගේ අවුරුදු නවයේ දුවට මට අයිති කම්මලේම හදාපු කඩුවක් තියෙනවා. ඒත් මම ඒ ගැන දන්නෙ නෑ. රජතුමාගෙ හස්තය රාජධානි සප්තකය පාලනය කරන්ට ඕන. ඒ වුනත් පේන හැටියට නම් මට මගේ ගෙදරවත් පාලනය කරගන්ට බෑ. ඔයා කොහොමද කඩුවක් අයිති කරගත්තෙ ආර්යා? ඔයාට කොහෙන්ද මේක ලැබුනෙ?"

කිසිවක් නොකී ආර්යා දෙතොල සපා ගත්තා ය. සිය පියාට වුව, ජොන් කල දේ පාවාදීමට ඇයට උවමනා නොවී ය.

මොහොතකට පසු පියා නැවතත් කතාව ඇරඹුවේ ය. "ඇත්තටම, මම හිතන්නෙ නෑ ඒක එච්චර වැදගත් වෙයි කියලා." ඔහු නැවත වරක් සිය අතේ ඇති අසිපත දෙස බැල්මක් හෙලී ය. "මේක පොඩි ළමයින්‍ට ගැලපෙන සෙල්ලම් බඩුවක් නෙවෙයි. විශේෂයෙන්ම ගෑණු ළමයින්ට. ඔයා කඩුත් එක්ක සෙල්ලම් කරනවා කියලා දැනගත්තොත් සෙප්ටා මෝර්ඩේන් මොනවා කියාවිද?"

"මම ඒකත් එක්ක සෙල්ලම් කලේ නෑ. මට සෙප්ටා මෝර්ඩේන් පේන්ට බෑ."

"ඔය ඇති." පියා ගේ ස්වරය දැඩි විය. "සෙප්ටා කරන්නෙ එයාගෙ රාජකාරිය. ඔයා නිසා ඒ අහිංසකීට ඒ රාජකාරිය කොච්චර එපාවෙලාද කියලා දෙයියොම තමා දන්නෙ. ඔයාගෙ අම්මයි මමයි එයාට කියලා තියෙන්නෙ ඔයාව ආර්යාවක් කරන්ට උගන්නන්ටයි කියලා."

"මට ආර්යාවක් වෙන්ට ඕන නෑ."

"මම හරිනං දැන් මේ කඩුව දණහිසේ ගහලා දෙකට කඩලා දාන්ට ඕන. මේ විකාර නවත්තන්ට ඕන."

"ඉදිකට්ට එහෙම ලේසියෙන් දෙකට කැඩෙන්නෙ නෑ." ආර්යා කීවද ඇගේ ස්වරයෙන් එය ඇත්තක් නොවන බැව් තහවුරු විය.

"ඒකට නමකුත් තියෙනවා එහෙනං ආ!" ඇගේ පියා නැවතත් සුසුමක් හෙලුවේ ය. "අනේ ආර්යා! ඔයාගෙ මහ පිස්සු දඩබ්බර ගතියක් තියෙනවා කෙල්ලෙ. 'වෘක ලේ' මගේ තාත්තා එහෙමයි ඕකට කිවුවෙ. ලියානාටත් ඕක චුට්ටක් විතර තිබුනා. මගේ අයියා බ්‍රැන්ඩන්ට ඊට වඩා ඕක තිබුනා. ඒ වුනත්.. ඒ නිසාම ඒ දෙන්නම බොහොම ඉක්මනට මිනීවලට ගියා." ඔහු ගේ ස්වරයේ ඇති දුක්මුසු බව ආර්යාට මැනවින් වැටහින. ඔහු සිය පියා ගැන කතා කලේ ඉතා කලාතුරකිනි. එමෙන්ම ඇය ඉපදීමටත් පෙර මියගිය සිය සොහොයුරා හා සොයුරිය ගැන කතා කලේ ද ඉතා අඩුවෙනි. "මගේ තාත්තා අවසර දුන්නානං ලියානාත් මේ වගේ කඩුවක් පාවිච්චි කරන්ට තිබුනා. ඔයා නිසා මට සමහර වෙලාවට එයාව මතක් වෙනවා. ඔයාගෙ පෙනුමත් එයාට සමානයි."

"ලියානා ලස්සනයි." ආර්යා කීවේ විස්මයෙනි. සෑමදෙනාම ඒ බැව් කියා තිබින. එනමුදු ඒ වචනය කිසිදා ආර්යා වෙනුවෙන් භාවිත නොවුනකි.

"එයා ලස්සනයි තමා." එඩාර්ඩ් ස්ටාර්ක් එකඟ විය. "ලස්සනයි. ඒ වගේම මුරණ්ඩුයි. ඒ වගේම නියමිත කාලෙට කලින් මිනීවලට ගියා." ඔහු අසිපත ඔවුන් දෙදෙනා මැදින් එසවූයේ ය. "ආර්යා. ඔයා මොකක්ද මේ... ඉදිකට්ටෙන් කරන්ට බලාපොරොත්තු වෙන්නෙ? ඔයා කාටද මේකෙන් අනින්ට බලාපොරොත්තු වෙන්නෙ? ඔයාගෙ අක්කටද? සෙප්ටා මෝර්ඩේන්ටද? ඔයා දන්නවද කඩු සටන්වල පළවෙනි පාඩමවත්?"

ඇයට සිතා ගත හැකි වුනු එකම දේ ජොන් විසින් ඇයට කියා දුන් දේ පමණි. "ඒකෙ උල් පැත්තෙන් තමා අනින්ට ඕන." ඇය කීවා ය.

ඇගේ පියා සිනාවක් මැඩගත්තේ ය. "මං හිතනවා ඒක තමා මූලිකම දේ කොහොම වුනත්."

ආර්යාට සියල්ල සිය පියාට විස්තර කිරීමට දැඩිව උවමනා විය. සිදූවු සියල්ලම ඔහුට පැහැදිලිව පෙන්නා දීමට උවමනා විය. "මම ඉගෙනගන්ට උත්සාහ කලා. ඒ වුනත්..." ඇගේ දෑසට නැවතත් කඳුළු පුරා ආවේ ය. "මම ඇහුවා මයිකාගෙන් මාත් එක්ක පුහුණුවෙන්ට කියලා." හදිසියේම නැවත අලුත් වූ දුක පිටාර ගලන්නට විය. ඇය ගැහෙමින් අනික් පසට හැරුනා ය. "මමයි එයාගෙන් ඇහුවෙ." ඇය හඬන්නට පටන් ගත්තා ය. "ඒක මගේ වැරැද්ද. ඒක මගේ..."

පියා ගේ දෑත් ඈ වටා ගියේ ය. ඔහු මෘදු ලෙසින් ඇයව බදා වැළඳගෙන සිටි අතර ආපසු හැරුනු ඇය ඔහු ගේ පපුවට තුරුළු වී වැළපෙන්නට වූවා ය. "නෑ මගේ රත්තරනේ." ඔහු මිමිනී ය. "ඔයාගෙ යාළුවා ගැන ඇතිතරම් දුක්වෙන්ට. ඒ වුනත් එයාට සිද්දවෙච්චි දේ ගැන වැරැද්ද ඔයා පිට පටවගන්ට එපා. ඔයා නෙවෙයි ඒ මස්කාරයගෙ පුතා මැරුවෙ. ඒ මිනීමැරීම වැටෙන්නෙ දඩබල්ලා පිටටයි. එයාටයි, එයා සේවය කරන අර නපුරු ගෑනි පිටටයි."

"මම එයාලට වෛර කරනවා." ආර්යා රතු වූ මුහුණින් යුතුව ඉකිබිඳිමින් පාපොච්චාරණය කලා ය. "දඩබල්ලයි, රැජිණයි, රජ්ජුරුවොයි, ජොෆ්රි කුමාරයයි. මම ඒ හැමෝටම වෛර කරනවා. ජොෆ්රි බොරු කිවුවා. ඒක සිද්ද වුනේ එයා කියපු විදියට නෙවෙයි. මම සන්සටත් වෛර කරනවා. එයාට හැම දෙයක්ම මතකයි. ඒත් එයා බොරු කිවුවා. එයා හිතුවා එතකොට ජොෆ්රි එයාට කැමැති වෙයි කියලා."

"අපි හැමෝම බොරු කියනවා." ඇ‍ගේ පියා කීවේ ය. "ඔයා හිතනවද මම ඇත්තටම විශ්වාස කරනවා කියලා නයිමේරියා පැනලා ගිය කතාව?"

ආර්යා වරදකාරී අයුරින් රතු වූවා ය. "ජොරී පොරොන්දු වුනා කාටවත් ඒ ගැන කියන්නෙ නෑ කියලා."

"ජොරී එයාගෙ පොරොන්දුව රැක්කා." ඇගේ පියා සිනාවක් රැඳුනු මුවින් යුතුව කී‍වේ ය. "සමහර දේවල් තියෙනවා, මට නොකිවුවත් තේරුම් ගන්ට පුළුවන් දේවල්. ඒ වෘකයා එයාගෙ තනි කැමැත්තෙන් ඔයාව අත ඇරලා පැනලා යන්ට හිතන්නෙවත් නෑ කියලා අන්ධයෙකුට වුනත් පේනවා."

"අප‍ට සිද්ද වුනා එයාට ගල්වලින් ගහන්ට." ඇය දුක්ඛිත ස්වරයෙන් කියා සිටියා ය. "මං කිවුවා එයාට දුවන්ටයි කියලා. නිදහස් වෙලා යන්ටයි කියලා. මං එයාට කිවුවා මට එයාව ආයෙමත් ඕන නෑ කියලා. එයාට තව ඕන තරම් වෘකයො කැලේ ඉන්නවා සෙල්ලම් කරන්ට. අපට ඇහුනා උං උඩුබුරලන සද්දෙ. ජොරී කිවුවා කැලේ ඕන තරම් සත්තු ඉන්නවා කියලා. ඒ නිසා එයාට පුළුවන් මුවෝ දඩයම් කරන්ට. ඒ වුනත් එයා ඒ කියන කිසිම දෙයක් අහන්නෙ නැතුව අපි පස්සෙන්ම එන්ට ගත්තා. ඉතින් අන්තිමේදි අපට සිද්ද වුනා එයාට ගල්වලින් ගහලා එලවලා දාන්ට. මම එයාට දෙපාරක්ම ගැහුවා. එයා ඒ වුනත් කෙඳිරි ගගා මා දිහාම බලන් හිටියා. මට හරි ලැජ්ජා හිතුනා මම කරපු දේ ගැන තාත්තෙ. ඒ වුනත් ඒක හරි නේද? එහෙම නේද? එයා හිටියානං රැජිණ එයාව මරලා දායි."

"ඔයා කරපු දේ හරි." ඇගේ පියා කීවේ ය. "ඒ කිවුව බොරුව වුනත්.. ගෞරවනීය බොරුවක්." ඇයව වැළඳගැනීම පිණිස පසෙකින් තබන ලද ඉදිකට්ට නැවත අතට ගත් ඔහු කවුළුව වෙතට ඇවිද ගොස් එහි සිට මඳ වේලාවක් පහත අංගනය දෙස බලා සිටින්නට විය. ඔහු නැවත හැරුනු විට ඒ දෑසේ කල්පනාකාරී බැල්මක් තිබින. කවුළුව අසල වූ අසුනේ වාඩි ගත් ඔහු ඉදිකට්ට උකුළ මත තබා ගත්තේ ය. "ආර්යා වාඩිවෙන්ට. මට ඔයාට පුංචි පුංචි දේවල් කීපයක් විස්තර කරලා දෙන්ට තියෙනවා."

ආර්යා තැවිලි සහගත සිතින් ඇඳ අද්දර වාඩි වූවා ය. "මගේ හිතේ තියෙන දුක් කරදර ඔක්කෝම කියන්ට තරං ඔයා පුංචි වැඩියි. ඒ වුනත් ඔයා වින්ටර්ෆෙල්වල ස්ටාර්ක් කෙනෙක්. ඔයා දන්නවනෙ අපේ වචන."

"සීත කාලය එනවා." ආර්යා මිමිනුවා ය.

"නරක නපුරු කාලෙ‍.‍ අපට ඒකෙ හැටි කොහොමද කියලා පොඩ්ඩක් විතර විඳින්ට සිද්ද වුනා ත්‍රිශූලයේදි. ඒ වගේම බ්‍රැන් වැටුන වෙලාවෙ. ඔයා ඉපදුනෙ දිග ගිම්හාන කාලෙක මැද්දෙ රත්තරනේ. ඔයා වෙන කිසිම දෙයක් ගැන දැනගන්ට විදියක් නෑ. ඒ වුනත් දැන් ඇත්තටම සීත කාලෙ එනවා. ඔයාට මතකයිනෙ අපේ වංශ සලකුණ ආර්යා."

"ඝෝරවෘකයා." ඇය පිළිතුරු දුන්නේ නයි‍මේරියා ගැන කල්පනා කරමිනි. ඇය සිය දණහිස් පපුවට තද කර ගත්තා ය. ඇයට හදිසියේම දැඩි බියක් දැනෙන්නට විය.

"මං ඔයාට කියලා දෙන්නං දරුවො වෘකයො ගැන පොඩි දෙයක්. හිම වැටෙන්ට පටන් ගත්තම, සීතල හුළං හමන්ට පටන් ගත්තම තනිවෙච්ච වෘකයා මැරෙනවා. ඒ වුනත් වෘක රංචුව පණ බේරගන්නවා. ගිම්හාන කාලෙදි පුංචි පුංචි රණ්ඩු දබර කරගත්තට කමක් නෑ. ඒ වුනත් සීත කාලෙදි අපි එකිනෙකාව ආරක්ශා කරගන්ට ඕන. එකිනෙකාව උණුහුමට තියාගන්ට ඕන. අපේ ශක්තිය බෙදාහදා ගන්ට ඕන. ඉතින් ඒ නිසා වස්තුවෙ, ඔයාට වෛර කරන්ටම ඕන නං අපට ඇත්තටම නපුරක් කරන අයට විතරක් වෛර කරන්ට. සෙප්ටා මෝර්ඩේන් කියන්නෙ හොඳ ගෑනු කෙනෙක්. එතකොට සන්සා... සන්සා කියන්නෙ ඔයාගෙ අක්කා. ඔයාලා දෙන්නා ඉරයි හඳයි වගේ වෙනස්ම දෙන්නෙක් වෙන්ට පුළුවන්. ඒ වුනත් ඔයාලා දෙන්නගෙම හදවත්වලින් ගලන්නෙ එකම ලේ. ඔයාට එයාව ඕන, එයාට ඔයාව ඕන... දෙයියො මට පිහිටවෙන්ට, මට ඔයාලා දෙන්නවම ඕන."

ඔහු ගේ ස්වරයේ කෙතරම් දැඩි වෙහෙසක් තිබිනද යත් ආර්යාට ඔහු ගැන දුකක් දැනින. "මම සන්සාට වෛර කරන්නෙ නෑ. ඇත්තටම නෑ." එය අර්ධ-බොරුවක් විය.

"මම මේ ඔයාව බය කරන්ට යනවා නෙවෙයි. ඒ වුනත් මට ඔයාට බොරුවක් කියන්ටත් ඕන නෑ. අපි මේ ඇවිල්ලා ඉන්නෙ බොහොම අඳුරු, බොහොම භයානක තැනකට දරුවො. මේ වින්ටර්ෆෙල් නෙවෙයි. අපට නපුරක් කරන්ට බලාඉන්න සතුරො මෙහෙ ඉන්නවා. ඒ නිසා අපට අපි අතරෙම යුද්ධයක් කරන්ට බෑ. ඔයාගෙ මේ මුරණ්ඩුකම්, පැනලා යන ඒවා, තරහෙන් බනින ඒවා, අකීකරුකම්... ගෙදරදි නම් ඒවා පොඩි දරුවෙකුගෙ ගිම්හාන කාලෙ සෙල්ලම් කියලා අමතක කරලා දාන්ට පුළුවන්. ඒ වුනත් මෙතැන, මේ කාලෙ, සීත කාලෙ අපි උඩට වැටිලා තියෙන කාලෙ ඒක වෙනමම ප්‍රශ්නයක්. දැන් ඔයාට ලොකු දරුවෙක් වෙන්ට කාලෙ හරි."

"මම එහෙම කරන්නම්." ආර්යා පොරොන්දු විය. මේ මොහොතේ සිය පියා ගැන ඇගේ සිතේ ඇතිවුනු ආදරය බඳු ආදරයක් මින් පෙර කිසිදා ඇතිවී නොතිබින. "මට ශක්තිමත් වෙන්ටත් පුළුවන්. මට පුළුවන් රොබ් තරම්ම ශක්තිමත් වෙන්ට."

ඔහු මිට ඉදිරියට සිටින සේ ඉදිකට්ට ඇය දෙසට දිගු කලේ ය. "මෙන්න.. අරගන්ට.."

ඇය විස්මය මුසු වූ දිදුලන දෑසින් අසිපත දෙස බැලුවා ය. මොහොතකට ඇයට එයට අත ගැසීමට බියක් දැනින. ඇය එයට අත ගැසුවහොත් නැවතත් එය ඇගෙන් උදුරා ගනු ඇතැයි බියක් දැනින. එනමුදු ඇගේ පියා නැවත කතා කලේ ය. "ඒක ගන්ට. ඒක ඔයාගෙ." ඇය අසිපත අතට ගත්තා ය.

"මට ඒක තියාගන්ට පුළුවන් ද?" ඇය ඇසුවා ය. "ඇත්තටම ද?"

"ඇත්තටම ඇත්ත." ඔහු සිනා මුවින් යුතුව කීවේ ය. "මේක ඔයාගෙන් අරගත්තොත්, කිසිම සැකයක් නෑ තව සති දෙකක් යන්ට කලින් මට ඔයාගෙ කොට්ටෙ යට තිබිලා කටු යගදාවක් හම්බවෙයි. ඔයාගෙ අක්කට ඕකෙන් අනින්නෙ නැතුව ඉන්න උත්සාහ කරන්ට. එයා කොච්චර ඔයාව ඇවිස්සුවත්."

"මම එහෙම කරන්නෙ නෑ. මම ‍පොරොන්දු වෙනවා." පියා කාමරයෙන් නික්මෙද්දී ඇය අසිපත පපුවට තුරුළු කරගත්තා ය.

පසුදා උදෑසන ආහාරය අතරතුරේදී ඇය සිදුවූ දේ සම්බන්ධයෙන් සෙප්ටා මෝර්ඩේන්ගෙන් සමාව අයැද සිටියා ය. සෙප්ටා ඇය දෙසට සැකමුසු බැල්මක් හෙලුවද ඇගේ පියා එකඟතාව පලකරන බැල්මකින් හිස සැලුවේ ය.

---------------------------------

දින තුනකට පසු මධ්‍යහ්නයේදී නිවාස බාරකරු වූ වයොන් පූල් විසින් ආර්යාව කුඩා ශාලාව වෙත පිටත් කර හරින ලදී. ශාලාවේ මේස සියල්ල අකුලා තිබුනු අතර බංකු බිත්තිය අයිනේ අසුරා තිබින. ශාලාව මුළුමනින්ම හිස්ව තිබින. එනමුදු නුහුරු කටහඬක් ඇයව ඇමතී ය. "ඔයා ප්‍රමාදයි කොල්ලො." තට්ට හිසකින් හා උකුස්සකු ගේ මෙන් වක් වූ දිගැටි නාසයකින් හෙබි කෙට්ටු මිනිසෙක් සෙවනැලි මුවාවේ සිට ඉදිරියට පිය මැන්නේ ය. ඔහු ගේ අතේ ලීයෙන් කල අසිපත් දෙකක් තිබින. "හෙට ඔයා හරියටම මද්දහනේ මෙතනට එන්ට ඕන." ඔහු ගේ උච්චාරණය අනුව ඔහු නිදහස් නගරවලින්, සමහරවිට බ්‍රාවොස් හෝ ම(ර්)වලින් පැමිණියකු වන්නට ඇතැයි ආර්යා අනුමාන කලා ය.

"ඔයා කවුද?" ආර්යා ඇසුවා ය.

"මම තමා ඔයා‍ගෙ නැටුම් ගුරුවරයා." ඔහු එක් අසිපතක් ඇය දෙසට වීසි කලේ ය. ඇය එය අල්ලා ගැනීමට නැඹුරු වූවද අතින් ගිලිහී ගිය එය හඬක් නගමින් බිම පතිත විය. "හෙට ඔයා ඒක අල්ලගන්ට ඕන. දැන් ඒක අහුලගන්ට."

එය නිකංම නිකං ලී දණ්ඩක් නොව මනාව හැඩගසන ලද, මිටකින් හා ආවරණයකින් යුක්ත වූ නියම ලී අසිපතක් විය. එය අහුලා ගත් ආර්යා සැකසහිත අයුරින් එය දෑතින්ම අල්ලාගෙන තමාට ඉදිරියෙන් එසවූවා ය. එය පෙනුනාට බර විය. ඉදිකට්ටටද වඩා බර විය.

තට්ට මිනිසා දත් එකට වද්දා 'ටික් ටික්' හඬක් නැංවී ය. "ඔහොම නෙවෙයි ඕක අල්ලන්නෙ කොල්ලො. මේක අත්දෙකින්ම අල්ලගන්ට ඕන දිග කඩුවක් නෙවෙයි. ඒක එක අතකින් අල්ලගන්ට."

"ඒක හරි බරයිනෙ."

"ඒක බරකරලා තියෙන්නෙ ඒක සමබර වෙන්ට ඕන නිසා. අනික ඔයාව ශක්තිමත් කරන්ට ඕන නිසා. ඒක ඇතුළෙ හිලක් විදලා ඊයම් පුරවලයි තියෙන්නෙ. හරි දැන්, එක අතකින් අල්ලගන්ට."

සිය දකුණත මිටෙන් ඉවත් කල ආර්යා දහදිය වැකි අත්ල කලිසමේ පිසදා හැර වමතින් අසිපත ඔසවාගත්තා ය. මිනිසා එයින් සතුටු වූ බවක් පෙනින. "වමත වඩා හොඳයි. හැමදේම අනිත් පැත්ත ගැහෙනවා. ඒක ඔයාගෙ සතුරන් තවත් ව්‍යාකූල කරනවා. දැන් ඔයා ඔය හිටගෙන ඉන්න විදිය වැරැදියි. ඔයාගෙ ඇඟ පැත්තට හරවන්ට. අන්න හරි. ඔයා දන්නවද, ඔයා හරියට හෙල‍්ලක් වගේම කෙට්ටුයි. ඒකත් හරිම හොඳ දෙයක්. ඒ කියන්නෙ සතුරාගෙ ඉලක්කය පොඩියි. හොඳයි, දැන් මිට. කෝ බලන්ට." ළඟට පැමිණි ඔහු අසිපත් මිට අල්ලාගෙන සිටින ඇගේ ග්‍රහණය නිවැරැදි කලේ ය. "ආන්න හරි. එහෙම තමා. ඒක මිරිකන්ට එපා. බුරුලට අල්ලන්ටත් එපා. නියම ගානට අල්ලන්ට."

"ඒක වැටුනොත් මොකද වෙන්නෙ?" ආර්යා ඇසුවා ය.

"කඩුව ඔයාගෙ අතේම කොටසක් වෙන්ට ඕන. ඔයාට ඔයා‍ගෙ අතේ කොටසක් වට්ටන්ට පුළුවන් ද? බෑ. සිරියෝ ෆොරල් අවුරුදු නවයක් බ්‍රාවොස්වල පුධාන නැවු හිමියගෙ නායක සෙබලා වෙලා හිටියා. එයා දන්නවා මේ දේවල් ගැන. ඒ නිසා එයා කියන දේවල් අහන්ට කොල්ලො."

ඒ ඔහු ඇයට කොල්ලා කියා ඇමතූ තෙවන අවස්ථාව විය. "මම කෙල්ලෙක්." ආර්යා විරෝධාත්මක ස්වරයෙන් කීවා ය.

"කොල්ලෙක්. කෙල්ලක්. ඔයා කඩුවක්. එච්චරයි වැදගත්." ඔහු නැවතත් දත් එකට වද්දා ටික් ටික් හඬ නැංවී ය. "කොහොම හරි, එහෙම තමා කඩුව අල්ලගන්ට ඕන. ඔයා ඔය පොරවක් නෙවෙයි උස්සගෙන ඉන්නෙ. ඔයා උස්සගෙන ඉන්නෙ-"

"ඉදිකට්ටක්." ආර්යා ඔහු වෙනුවෙන් වාක්‍යය අවසන් කලා ය.

"කොහොම හරි. දැන් අපි නැටුම පටන් ගමු. මතක තියාගන්ට දරුවො, වෙස්ටෙරොස්වල නයිට්වරු නටන විදියෙ යකඩ නැටුමක් නෙවෙයි අපි මේ පුරුදුවෙන්ට යන්නෙ. ඒකෙ කැපිලි කෙටිලි නෑ. මේකට කියන්නෙ බ්‍රාවොස් නැටුම කියලා. දිය නැටුම. වේගවත්, ක්ෂණිකයි. ඔයා දන්නවද, හැම මිනිහෙක්ම හැදිලා තියෙන්නෙ වතුරවලින්. ඔයා එයාලට ඇනලා පසාරු කලොත් ඒ වතුර කාන්දු වෙලා එයාලා මැරෙනවා." අඩියක් පසුපසට ගත් ඔහු සිය අසිපත එසවී ය. "හොඳයි, දැන් ඔයා උත්සාහ කරන්ට මට පහරදෙන්ට..."

ආර්යා ඔහුට පහරදීමට උත්සාහ කලා ය. පැය හතරක් පුරා උත්සාහ කලා ය. අන්තිමේදී ඇගේ සිරුරේ සෑම මාංශපේෂියක්ම වේදනාවෙන් ඇදුම් කන්නට පටන් ගති. සිරියෝ ෆොරල් සෑම විටකම සිය ටික් ටික් හඬ නංවමින් කුමක් කලයුතු දැයි ඇයට උපදෙස් දුන්නේ ය.

ඊළඟ දිනයේ ඔවුන් ගේ පුහුණුවීම් සැබෑවටම ඇරඹින.


Eddard Stark: “When the snows fall and the white winds blow, the lone wolf dies, but the pack survives.”

Wednesday 24 September 2014

ටිරියන් 03-2


පිටත අතිශයින්ම සීතල විය. සිය ලොම් කබාය තදින් ඇඳගත් ටිරියන්, අත්වැසුම් දමාගෙන පිටත මුරකාවලෙහි ශීතයෙන් වෙවුලමින් සිටි මුර සෙබළුන්ට හිස වැනී ය. ඉන්පසු තම බකල දෙපාවලට හැකි උපරිම වේගයෙන් අංගනය හරහා සිය නවාතැන පිහිටි රජතුමා ගේ කුළුණ වෙත පිය මනින්නට විය. ඔහු ගේ සපත්තුවලට පෑගුනු අලුතින් වැටුනු හිම කර කර හඬින් බිඳී ගියේ ය. ඔහු ගේ ප්‍රාශ්වාසය මුහුණ ඉදිරියෙන් මිදී ගි‍යේ ය. ඔහු කිසිලිවලට යටින් සිය දෑත් යවා ගමන තවත් ඉක්මන් ක‍ලේ මොරෙක්ට සිය ඇඳ උණුසුම් කිරීමට අමතක නොවේවායි පතමිනි.

රජතුමා ගේ කුළුනට පිටුපසින් ප්‍රාකාරය සඳ එළියේ බැබලෙමින් තිබින. එය උත්තුංග මෙන්ම ගුප්ත දර්ශනයක් විය. ටිරියන් මොහොතක් නැවතී ඒ දෙස බලා සිටි අතර සීතය නිසා ඔහු ගේ දෙපා ඇදුම් කන්නට විය.

හදිසි‍යේම මෙන් ඔහු ගේ සිතේ විකාර සිතුවිල්ලක් පැනනැගින. ප්‍රාකාරයට නැඟ තව එකම එක වතාවක් ලෝකාන්තය දෙස බලන්නට ඇත්නම් යැයි ඔහුට සිතින. මේ ඔහු ගේ අවසාන අවස්ථාව බව ඔහුට දැනින. හෙට උදෑසන ඔහු දකුණුකරය බලා පිටත්ව යන අතර නැවත කිසිදා මේ සීතල ජනශූන්‍ය අපාය වෙත පැමිණිමේ උවමනාවක් ඇතිවෙතැයි සිතිය නොහැක. ඉදින් රජතුමා ගේ කුළුණේ උණුසුම හා සිය සැපදායක ඇඳ මොහොතකට අමතක කර දැමූ ඔහු ප්‍රාකාරය දෙසට පිය නැගී ය.

ප්‍රාකාරයේ ඉහළ නැගීම පිණිස දැවයෙන් තැනූ පඩිපෙළක් අයිස් තුළට කාවද්දා සවි කර තිබින. කළු සොයුරන් විසින් එය පෙනෙනවාට වඩා ශක්තිමත් බව ඔහුට ඒත්තු ගන්වා තිබුනද මේ මොහොතේ ඔහු ගේ දෙපා කෙතරම් රිදුම් දුන්නේ දැයි යත් ඔහු ඉහළ නැගීමක් ගැන සිතන්නටවත් අකැමැති විය. ඒ වෙනුවට ඔහු පසෙකින් තිබුනු යකඩ කූඩුව වෙතට ගොස්, එයට ඇතුළු වී දොර වසාගෙන සීනු ලණුව තෙවරක් තදින් ඇද්දේ ය.

ඔහුට අනන්තය මෙන් දැනුනු වේලාවක් ඒ තුළ ගත කරන්නට සිදු විය. මෙසේ ප්‍රාකාරයට පිටුපා සීතල යකඩ කූඩුව තුළ තුළ බලා සිටියදී තමා මේ මොන විකාරයක් කරන්නේ දැයි ටිරියන්ට විමතියක් දැනින. අන්තිමේදී සිය හදිසි ආසාව අමතක කර දමා ඇඳට යන්නට ඔහු සිතනවාත් සමගින් හදිසි ගැස්සීමක් සමගින් කූඩුව ඉහළ නගින්නට විය.

පළමුව මඳක් ගැස්සෙමිනුත් ඉන්පසු වඩා මෘදුවත් ඔහු කෙමෙන් ඉහළ නගින්නට විය. කූඩුව එහා මෙහා පැද්දෙන්නට වූ අතර ඔහු යකඩ කූරු වටා දෑත් යවා තදින් අල්ලා ගත්තේ ය. සිය අත්වැසුම් අතරින් පවා යකඩ කූඩුවේ ලෝහවල සීතල ඔහු ගේ අත්වලට දැනෙන්නට විය. මොරෙක් විසින් සිය කාමරයේ ගින්නක් දල්වා තිබුනු නමුදු අණදෙන නිළධාරිතුමා මේ වන විටද නින්දට ගොස් ඇති බැව් ඔහු ‍ගේ අඳුරු කාමරය දෙස බැලූ ටිරියන් වටහා ගත්තේ ය.

ඊළඟ මොහොතේ ඔහු කුළුණුවලට ඉහළින් උඩට ඇදෙමින් සිටියේ ය. ඔහුට පහළින් සඳ එළියේ නෑවුනු කළු බලකොටුව පැහැදිලිව දර්ශනය විය. එය කෙතරම් දරදඬු ද, කෙතරම් හිස් ද යන්න මෙහි සිට මනාව නිරීක්ෂණය කල හැකි විය. කවුළු නොමැති මුර අට්ටාල, බිඳ වැටෙමින් පවතින බිත්ති, කැඩී බිඳී ගිය ගල්වලින් පිරුනු අංගන ආදී මේ සියල්ලක්ම ඔහු හොඳින් දුටුවේ ය. ඈතින්, රජමාවතේ ලීග බාගයක් දුරින් පිහිටි මෝල්ස් ටවුන් නම් කුඩා ගම්මානයේ එළි ඔහු දුටුවේ ය. සඳ එළියේ රිදී පැහැයෙන් දිදුලන අතරින් පතර කඳු මුදුන්වලින් ඇරඹී පහළට ගලා යන දියදහරා ඔහු දුටුවේ ය. මේ හැරුනු විට අන් සියල්ල සීතල සුළං හමන කඳුවලින් හා ගලින් පිරීගිය භූමියෙන් යුතු වූ අතර ඒ සියල්ල හිමෙන් වැසී තිබින.

අන්තිමේදී ඔහුට පිටුපසින් ගොරෝසු කටහඬක් ඇසින. "දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ! ඒ කුරුමිට්ටා." කූඩුව ඉහළ නැගීම නැවතුනු අතර සුළඟ නිසා ඉදිරියටත් පසුපසටත් පැද්දෙමින් නැවතී තිබින.

"ඉතින් එයාව එළියට ගනිං මෝඩයෝ." අමනාපයෙන් කල ගෙරවිල්ලක් හා මහත් ශබ්ද රැසකින් පසු කූඩුව පැත්තකට ගමන් කර ප්‍රාකාරය මත නතර විය. කූඩුවේ සෙලවීම නතර වූ පසු දොර ඇරිය ටිරියන් හිම මතට පිනී ය. කළු ඇඳුමින් සැරසුනු රුවක් දබරය වෙතට බර වී සිටි අතර තවත් කෙනෙක් කූඩුව අල්ලාගෙන සිටියේ ය. ඔවුන් ගේ මුහුණු ලොම් රෙදි කඩකින් වැසී තිබුනු අතර දෑස් පමණක් පිටතට දිස් විය. "ඔබට මොකක්ද ඕන කරලා තියෙන්නෙ මේ මහ රෑ ජාමෙ?" දබරය අසල සිටි තැනැත්තා ඇසී ය.

"අන්තිම පාරට ප්‍රාකාරය බලන්ට."

මිනිසුන් දෙදෙනා බැල්මක් හුවමාරු කරගත්හ. "ඕන දෙයක් ඕන තරමක් බලාගන්න එකයි ඇත්තෙ. ඒ වුනාට පරෙස්සමින් පුංචි මිනිහෝ! වැරදිලාවත් පහළට වැටෙන්ටනං එපා. නාකි වලහා අපේ හම ගලවයි." විශාල දොඹකරය පාමුල දැවයෙන් නිම කල කුඩා මඩුවක් විය. මිනිසුන් විසින් එහි දොර ඇරිය විට ගිනිකබලකින් නික්මුනු දීප්තියක් නොමැති ආළෝකයක් දිස් වූ අතර කුඩා උණුසුම් සුළං රැල්ලක් පිටතට හමා ආවේ ය. ඊළඟ මොහොතේ ඔවුන් දෙදෙනා මඩුව ඇතුළට ගිය අතර ප්‍රාකාරය මත ඉතිරිව සිටියේ ටිරියන් පමණි.

ප්‍රාකාරය මුදුනේ අත්‍යන්තයෙන්ම සීතල වූ අතර සුළඟ ද අතිශයින් දැඩි විය. එය රජමාවතටද වඩා පුළුල් වූ නිසා බිමට වැටීම ගැන ටිරියන්ට බිය වීමට හේතුවක් නොවීය. එනමුදු එය ලිස්සන සුළු වූ අතර අනතුරුදායක විය. කළු සොයුරන් විසින් ඇවිදීම පහසු වීම පිණිස ගල් කැබලිති ඒ මත අතුරා තිබුනු නමුදු අනවරත පිය ගැටීම නිසා ඒවා ගිලා බැස ගොස් ඒ මත අයිස් බැඳී තිබින. එසේ වුවද එය ඇවිදීමට නොහැකි තරමේ නරක තත්ත්වයක් නොවී ය. යා යුත්තේ කවර පැත්තකටදැයි නිශ්චය කරගනු වස් ඔහු වරක් නැගෙනහිර දෙසත් ඉන්පසු බටහිර දෙසත් බැලුවේ ය. ඒ දෙපසටම ප්‍රකාරය අගක් මුලක් නැති සුදු පැහැති මාවතක් මෙන් අනන්තය දක්වා ඇදී ගොස් දෑස් මානයෙන් නොපෙනී ගියේ ය. කිසිදු විශේෂිත හේතුවක් නැතිවුවද බටහිර දෙසට යාම ‍තෝරා ගත් ටිරියන් උතුරු පැත්තට බරව අලුතින් ගල් අතුරා තිබුනු අඩි පාර ඔස්සේ සෙමින් පිය මැනී ය.

අධික ශීතය නිසා ඔහු ගේ නිරාවරණ දෙකම්මුල් රත් පෑ වූ අතර තබන තබන පියවරක් පාසා දෙපා කෙඳිරිලි හඬ නගන්නට විය. එනමුදු ටිරියන් එය නොතකා හැරියේ ය. හිටිහැටියේම කටහඬක් හඬගෑවේ ය. "කවුද ඔය යන්නෙ? ඔහොම නවතිනවා."

"ටිරියන් නැවතුනේ ය. "ගොඩක් වෙලා මෙහෙම නැවතිලා හිටියොත් මාව මෙතනම ගල් වෙයි ජොන්." ඔහු කීවේ ය. අඳුරු පැහැ පොදියක් නිහඬවම ඔහු දෙසට පිය මැන ඔහුව ඉව කර බැලී ය. "හෙලෝ ගෝස්ට්!"

ජොන් ස්නොව් ඉදිරියට ආවේ ය. සිරුර වටා ඔතන ලද සම් හා ලොම් ඇඳුම් නිසා ඔහු වඩා විශාල මිනිසකු ලෙසින් පෙනින. "ලැනිස්ටර්." ඔහු කිවේ මුව වසා සිටි රෙදි කඩ පහළට අදිමිනි. "මේ තමා මම ඔබව දකින්ට බලාපොරොත්තු නොවෙච්චම තැන." ඔහු තමන්ටත් වඩා උසැති හෙල්ලක් අතින් දරා සිටි අතර ඉණෙහි අසිපතක් ද පැළඳ සිටියේ ය. ඔහු ගේ පපුව හරහා කළු පැහැ යුධ හොරණෑවක් එල්ලා තිබින.

"මේ තමා මමත් මාව දකින්ට බලාපොරොත්තු වෙන අන්තිම තැන. මට හදිසි ආසාවක් ආවා උඩට ඇවිල්ලා බලන්ට. මම ගෝස්ට්ව ඇල්ලුවොත් ඌ මගේ අත හපයි ද?"

"මම මෙතන ඉන්න නිසා එහෙම වෙන එකක් නෑ."

ටිරියන් වෘකයාගේ කණ පිටුපසින් වූ සුදු පැහැ ලොම් අතගෑවේ ය. ඒ රතු පැහැ දෑස් උදාසීන අයුරින් ඔහු දෙස බලා සිටියේ ය. මේ සතා මේ වන විට ඔහු ගේ පපුව තරම් උසට වැඩී තිබින. තවත් අවුරුද්දක් ගිය තැන ඌ දෙස බැලීමට තමාට උඩ බැලීමට සිදු වනු ඇතැයි ටිරියන් කල්පනා කලේ ය. "උඹ මොනාද මේ මහ රෑ මේක උඩට වෙලා කරන්නෙ?" ඔහු ඇසී ය.

"මට මුර සංචාර කරන්ට සිද්දවුනා. ආයෙමත්. සෙර් ඇලිසර් මට බොහොම ආදරෙන් ඒ ගැන හොයලා බලනවා. එයා හිතනවා ඇති මම රැයෙන් බාගයක් ඇහැරිලා හිටියහම උදේ සරඹ පුරුදු වෙද්දී නිදා කිරා වැටෙයි කියලා. තවම නං මට එයාගෙ බලාපොරොත්තු ඉෂ්ට කරන්ට බැරි වුනා."

ටිරියන් නියෙවුවේ ය. "ගෝස්ට් තාම සර්කස් ඉගෙන ගත්තෙ නැද්ද?"

"නෑ." ජොන් සිනාසුනේ ය. "ඒ වුනත් අද උදේ ග්‍රෙන්ට පුළුවන් වුනා හෝල්ඩර් එක්ක සටන් කරද්දී තනියම අල්ලන් ඉන්ට. අනික පිප් ඉස්සර වගේ දැන් නිතරම එයාගෙ කඩුව වට්ටගන්නෙ නෑ."

"පිප්?"

"එයාගෙ ඇත්ත නම පිපර්. අර ලොකු කණ් දෙකක් තියෙන පුංචි කොල්ලා. එයා දැක්කා මම ග්‍රෙන්ට උදවු කරන හැටි. ඉතිං එයා මගෙන් උදවු ඉල්ලුවා. තෝර්න් එයාට උගන්නලා නෑ කොහොමද හරියට කඩුවක් අල්ලන්නෙ කියලවත්." ඔහු උතුරු දෙස බැලුවේ ය. "මට හැතැප්මක් මුර කරන්ට තියෙනවා. ඔබට පුළුවන්ද මගෙත් එක්ක ඇවිදින්ට?"

"උඹ හෙමින් ඇවිදිනවා නං."

"මුරේ අණදෙන නිළධාරියා කිවුවා මම අනිවාර්යයෙන්ම ඇවිදින්ට ඕනයි කියලා. ඒකෙන් මගේ ලේ මිදෙන්නෙ නැතුව තියෙනවලු. හැබැයි එයා කිවුවෙ නෑ කොච්චර හයියෙන් ඇවිදින්ට ඕනද කියලා."

සුදු පැහැ සෙවනැල්ලක් මෙන් පසෙකින් පිය මනිනා ගෝස්ට් ද සමගින් ඔවුහු ඇවිදින්නට වූහ. "මම හෙට උදේ යනවා." ටිරියන් කීවේ ය.

"මම දන්නවා."

"දකුණට යන අතරමගදි වින්ටර්ෆෙල්වල නවතින්ට මම හිතාගෙන ඉන්නවා. ඔබට මොනා හරි පණිවුඩයක් එහෙම දෙන්ට තියෙනවා නං..."

"රොබ්ට කියන්ට මම නිශා රැකුමෙ අණදෙන නිළධාරියා වෙලා එයාව ආරක්ෂා කරනවා කියලා. ඒක නිසා එයාට පුළුවන් ගෑනු ළමයි එක්ක එකතුවෙලා මැහුම් ගෙතුම් වැඩ කරගෙන ඉන්ට. මික්කෙන්ට පුළුවන් එතකොට එයාගෙ කඩුව උණු කරලා අශ්ව ලාඩං හදන්ට."

"උඹේ සහෝදරයා මට වඩා ගොඩක් විශාලයි." ටිරියන් සිනා මුසු මුහුණින් යුතුව කීවේ ය. "මට මරණය ගෙන දෙන්ට පුළුවන් විදියේ පණිවුඩ බාර දෙන එක මම ප්‍රතික්ෂේප කරනවා."

"රිකන් අහයි මම කවදද ආපහු එන්නෙ කියලා. ඔබට පුළුවන් නම් එයාට තේරුම් කරලා දෙන්ට මම කොයි වගේ තැනකටද ගිහින් තියෙන්නෙ කියලා. එයාට කියන්ට මම නැති නිසා එයාට මගේ දේවල් හැම එකක්ම ගන්ට පුළුවන් කියලා. එයා ඒකට කැමැති වෙයි."

අද දිනයේ මිනිසුන් ඔහුගෙන් බොහෝ දේ ඉල්ලා සිටින බව ටිරියන්ට සිතින‍. "උඹ දන්නවද? උඹට පුළුවන් ඔය ඔක්කොම ලියුමක ලියන්ට."

"රිකන්ට තාම අකුරු කියවන්ට බෑ. බ්‍රැන්..." ඔහු හදිසියේම නැවතින. "මට තේරෙන්නෙ නෑ බ්‍රැන්ට මොන වගේ පණිවුඩයක්ද යවන්ට ඕන කියලා. එයාට උදවු කරන්ට ටිරියන්."

"මම කොහොමද එයාට උදවු කරන්නෙ? එයාගෙ වේදනාව නැති කරන්ට මම මේස්ටර් කෙනෙක් නෙවෙයි. එයාගෙ කකුල් දෙක ආපහු දෙන්ට මම මන්තර දන්නෙ නෑ."

"මට උදවු ඕන වුන වෙලාවෙ ඔබ මට උදවු කලා."

"මම උඹට මොකුත් දුන්නෙ නෑ. වචන විතරයි."

"එහෙමනං ඉතිං, බ්‍රැන්ටත් ඔබේ වචන වලින් උදවු කරන්ට."

"උඹ ඔය කියන්නෙ කොර ගහන මිනිහෙකුට ගිහිල්ලා අබ්බගාතයෙකුට නැටුම් පුරුදු කරන්ට කියලයි. පාඩම කොච්චර අවංක වුනත් බලන් ඉන්න එකාට පේන්නෙ ඒක හරි විකාරයක් කියලා. කොහොම වුනත් මම දන්නවා සහෝදරයෙක් ගැන තියෙන ආදරේ කොහොම එකක් ද කියලා ස්නොව් උතුමානනි. මට පුළුවන් විදියේ හැම උදවුවක්ම මම බ්‍රැන්ට දෙන්නම්."

"බොහොම ස්තූතියි ලැනිස්ටර් උතුමානනි." සිය අත්වැසුම ගැලවූ ජොන් අත දිගු ක‍ලේ ය. "යාළුවො." ටිරියන්ට සිය සිතේ කුමක්දෝ අනුකම්පාවක් ඇති වෙනු දැනින. "මගේ නෑයො ගොඩක් එවුන් අවජාතකයො තමා. ඒ වුනත් උඹ තමා මගේ පළවෙනි අවජාතක යාළුවා." දතින් සපා සිය අත්වැසුමක් ගැලවූ ටිරියන් ස්නොව්ට අතිනත දුන්නේ ය.

ඔවුන් දෙදෙනා නැවත ඇවිදින්නට පටන් ගත්හ.

ප්‍රාකාරයේ සිට අඩ මයිලයක දුරක් යන තෙක් උතුරු දෙසට වූ වනාන්තරය කළු සොයුරන් විසින් ආරක්ෂාව උදෙසා සුද්ද කිරීම සිරිතක් විය. සියවස් ගණනාවක් තිස්සේ අයන්වුඩ්, මුරකරු හා ඕක් වදුලු කපා බිම හෙලා තිබුනෙන් කිසිදු සතුරෙකුට නොපෙනී පැමිණිය නොහැකි හිස් අවකාශයක් නිර්මානය වී තිබින. එනමුදු ප්‍රධාන බලකොටු තුන අතරතුර මේ හිස් අවකාශය වනාන්තරය විසින් නැවත ආක්‍රමණය කෙරෙමින් පවතින බැව් ටිරියන්ට අසන්නට ලැබී තිබින. එසේ වුවද කළු බලකොටු‍වේ දැව අවශ්‍යතාව අතිමහත් වූ නිසා කළු සොයුරන් ගේ පොරෝ පහරින් වනාන්තරය තව දුරටත් ප්‍රමාණවත් තරමින් මැඩී තිබින.

කෙසේ වුවද වනාන්තරය එතරම් ඈතක නොවී ය. ප්‍රකාරය මුදු‍නේ සිටි ටිරියන්ට විවෘත අවකාශයෙන් එහා තවත් ප්‍රාකාරයක් මෙන් නැගී සිටි අඳුරු තුරුලතා පේළිය මනාව දැකගත හැකි විය. ඒ අඳුරු වනාන්තරය තුළ පොරොවක් ලෙල දී තිබුනේ ඉතා කලාතුරකිනි. එය කෙතරම් ඝනකම් තුරු වියනක් සැදුවේද යත් සඳඑළියට පවා එය පසා කර යා නොහැකි විය. මේ දැවැන්ත වෘක්ෂයෝ කිසිදිනෙකත් මිනිසකු දැක සිටියවුන් හෝ දැන සිටියවුන් හෝ නොවූහ. නිශා රැකු‍මේ සෙබළුන් එය හොල්මන් කැලෑව යනුවෙන් නම් කලේ නිකමට නොවේ.

ප්‍රාකාරය මුදුනේ සිට මේ කිසිදු ආලෝක පුංජයක් නොමැති, ඉදිකටු තුඩු වැනි සීත සුළං හමනා අන්ධකාර වනාන්තරය දෙස බලා සිටි ටිරියන්ට සිතුනේ අනික් එවුන් පිළිබඳ කියැවෙන කතන්දර මුළුමනින්ම අසත්‍ය විය නොහැකි බවකි. යක්ෂයන් හා පිශාචයන් ගැන ඔහු කරන ලද විහිළු තවදුරටත් කවට බස් නොවන බැව් ඔහුට හැඟුනි.

"මගේ බාප්පා එහෙ කොහෙ හරි ඉන්නවා." ජොන් ස්නොව් මෘදු ස්වරයෙන් තෙපලේ හෙල්ලයට වාරු වී අන්ධකාරය දෙස නෙත් යොමා සිටිමිනි. "එයාලා මුර කරන්ට මේක උඩට මාව එවපු පළවෙනි රෑ මම හිතුවා, 'අද රෑ බෙන්ජින් බාප්පා ආපහු එයි. මම තමා එයාව මුලින්ම දැකලා හොරණෑව පිඹින්නෙ' කියලා. ඒ වුනත් එයා කවදාවත් ආපහු ආවෙ නෑ. එදා රෑ ආවෙත් නෑ. වෙන කිසිම රෑක ආවෙත් නෑ."

"එයාට තව ටික කාලයක් දෙන්ට." ටිරියන් තෙපලේ ය.

ඈත උතුරේ කොහේදෝ තැනක සිටි වෘකයෙක් උඩුබුරලෑමට පටන් ගති. මඳ වේලාවකින් තවකෙක් ඊට එක් විය. ඉන්පසු තවත් එකෙක්. ගෝස්ට් සිය හිස ඇල කර ඒ හඬට සවන් දුන්නේ ය. "එයා ආයෙමත් ආවෙම නැත්තං, ගෝස්ටුයි මමයි යනවා එයාව හොයන්ට." ජොන් ස්නොව් සිය වෘකයා ගේ හිස අතගාමින් පැවසී ය.

"මම විශ්වාස කරනවා උඹ එහෙම දෙයක් කරයි කියලා." ටිරියන් පැවසී ය. 'ඒත් ඊට පස්සෙ කවුද යන්නෙ උඹව හොයන්ට?' ඔහු වෙවුලමින් තමාටම කියා ගත්තේ ය.


Jeor Mormont: “The Night’s Watch has become an army of sullen boys and tired old men.”

Monday 22 September 2014

ටිරියන් 03-1


"ඔබට හොඳටම විශ්වාසද මෙච්චර ඉක්මනට අපිව දාලා ආපහු යන්ට ඕනයි කියලා?" ප්‍රධාන අණදෙන නිළධාරිතුමා ඇසුවේ ය.

"කාලෙ පහුවෙලා මෝර්මන්ට් උතුමානනි." ටිරියන් පිළිතුරු දුනි. "මගේ සහෝදරයා ජේමි කල්පනා කරනවා ඇති මට මොකද වුනේ කියලා. එයා හිතයි නිශා රැකුමට බැඳෙන්ටයි කියලා ඔබ මට ඒත්තු ගැන්නුවා කියලා."

"මට එහෙම කරන්ට පුළුවන් නම් කොච්චර දෙයක්ද?" කකුළු අඬුවක් අතට ගත් මෝර්මන්ට් එය අතින් පොඩි කලේය. කෙතරම් මහලු මිනිසකු වුවද ඔහු තවමත් වලසෙකු මෙන් ශක්ති සම්පන්න විය. "ඔබ බොහොම උපාය දක්ෂ මනුස්සයෙක් ටිරියන්. ඔබ වගේ මිනිස්සු අපට ප්‍රාකාරෙට බොහොම තදින් උවමනා කරනවා."

ටිරියන් නියෙවුවේ ය. "එහෙමනම් මම රාජධානි සප්තකය පීරලා, කුරුමිට්ටො හොයලා, නැවක පටවලා ඔබලාට එවන්නම් මෝර්මන්ට් උතුමානනි." අවට සිටි සියල්ලන් සිනාසෙද්දී ඔහු කකුළු අඬුවක මාංසය සූප්පු කර තවත් එකක් ගැනීමට අත දිගු කලේ ය. මේ රසවත් මාංසල කකුළුවන් අද උදෑසන නැගෙනහිර කුළුණ වෙතින් ලැබුනකි.

මේසය වටා සිටි පිරිස අතරින් සිනාවක් නොපෑ එකම පුද්ගලයා සෙර් ඇලිසර් තෝර්න් විය. "ලැනිස්ටර් අපට සමච්චල් කරනවා."

"ඔබට විතරයි සෙර් ඇලිසර්." ටිරියන් කීවේ ය. මෙවර මේසය වටා නැගුනු සිනාහඬ වෙනස්ම එකක් විය.

තෝර්න් ගේ කළු පැහැ දෑස් පිළිකුල මුසු බැල්මකින් ටිරියන් දෙසට එල්ල වින. "මිනිහෙකුගෙන් බාගයක්වත් උස නැති වුනාට ඔබට බොහොම නිර්භීත දිවක් නම් තියෙනවා. කොහොමද අපි දෙන්නා සෙණ්ඩුවාලුව පැත්තෙ ගියොත්?"

"ඇයි? මෙතනනෙ කකුළුවො තියෙන්නෙ?"

මේ ප්‍රකාශය අන්‍යයන් වෙතින් තවත් කොක්හඬලෑම් මතුකරලන්නට සමත් විය. සෙර් ඇලිසර් නැගිට සිටිය අතර අමනාපය නිසා ඔහු ගේ මුව ඇද වී තිබින. "ආයුධයකුත් අතේ ඇතිව ඇවිල්ලා ඔය විහිළු කලොත් කොහොමද?"

ටිරියන් සිය සුරත දෙස බැලු‍වේ ය. "ඇයි! ඇත්තටම මගේ අතේ ආයුධයක් තියෙනවා සෙර් ඇලිසර්. අවාසනාවට ඒක ගෑරුප්පුවක් විතරයි. අපි දෙන්නා ද්වන්ද්ව සටනක් කරමුද?" සිය පුටුව මත සිටගත් ටිරියන් කුඩා ගෑරුප්පුවෙන් තෝර්න් ගේ පපුවට සෙමින් අනින්නට පටන් ගත්තේ ය. ශාලාව පුරා සිනා හඬින් පිරී ගියේ ය. සිනාව නිසා අණදෙන නිළධාරිතුමා ගේ ආහාර ඉස්මොල්ලේ ගිය අතර ඔහු ‍ගේ කපුටා ද කවුළුව උඩ සිට කරව් කරමින් මීට සහභාගි වන්නට විය. "ද්වන්ද්ව සටන! ද්වන්ද්ව සටන! ද්වන්ද්ව සටන!"

සෙර් ඇලිසර් තෝර්න් මෝල්ගසක් ගිල්ලාක් මෙන් දරදඬු අයුරින් කාමරයෙන් පිටතට ඇවිද ගියේ ය.

මෝර්මන්ට් තවමත් සිය හුස්ම අල්ලා ගැනීමට වෑයම් කරමින් සිටියේ ය. ටිරියන් ඔහු ‍ගේ පිට මතට වැරෙන් පහර කිහිපයක් එල්ල කලේ ය. "තරගයේ වාසිය ජයග්‍රාහකයාට යන්ට ඕන." ඔහු කීවේ ය. "ඒ නිසා තෝර්න්ගෙ කකුළුවො පංගුව මටයි අයිති වෙන්ට ඕන."

අන්තිමේදී අණදෙන නිළධාරිතුමා යථා තත්ත්වයට පත් වූ බැව් පෙනින. "ඔබ බොහොම නපුරු මනුස්සයෙක්. අපේ හොඳ සෙර් ඇලිසර්ව ඔහොම අවුස්සන්ට." ඔහු චෝදනා මුඛයෙන් පැවසී ය.

අසුනේ වාඩි වූ ටිරියන් වයින් උගුරක් බීවේ ය. "කෙනෙක් තමන්ගෙ පපුවෙ ඉලක්කයක් ඇඳ ගෙන එහා මෙහා යනවානම් එයා බලාපොරොත්තුවෙන් ඉන්ට ඕන කොයි වෙලාවක හරි කවුරුහරි කෙනෙක් එයාට ඊයකින් විදියි කියලා. ඔබලා ගේ ඔය සෙර් ඇලිසර්ට වඩා හාස්‍යය දකින්ට පුළුවන් මැරුන මිනිස්සු මම දැකලා තියෙනවා."

"එහෙමමත් නෙවෙයි." ප්‍රධාන නිවාස බාරකරු වූ බොවෙන් මාර්ෂ් සිය විරුද්ධත්වය ප්‍රකාශ කලේ ය. ඔහු දෙළුම් ගෙඩියක් මෙන් තර, රතු පුද්ගලයකු විය. "එයා පුහුණු කරන කොල්ලන්ට මිනිහා දාලා තියෙන විකට නම් ඔබ අහන්ට ඕන."

ටිරියන් මේ සමහර විකට නම් අසා තිබින. "මම කැට තියනවා ඒ කොල්ලොත් මිනිහට හොඳ හොඳ විකට නම් පදබැඳලා ඇති. ඔබලා ගේ ඇස් වල තියෙන දූවිලි පිහදාලා බලන්ට උතුමනි. සෙර් ඇලිසර් ගැලපෙන්නෙ ඔබලාගෙ ඉස්තාල සුද්ද කරන්ටයි. ඔබලාගෙ තරුණ සෙබළු පුහුණු කරන්ට නෙවෙයි."

"අපට ඉස්තාල කොල්ලන්ගෙන් කිසිම අඩුවක් නෑ." මෝර්මන්ට් උතුමා මැසිවිලි නැගුවේ ය. "මේ දවස්වල අපට එවන්නෙම ඒ වගේ අය විතරයි පේන හැටියට. ඉස්තාල කොල්ලොයි, හොරුයි, ස්ත්‍රී දූෂකයොයි. සෙර් ඇලිසර් කියන්නෙ නයිට්වරයෙක්. මම ප්‍රධාන අණදෙන නිළධාරියා වුනාට පස්සෙ නිශා රැකුමට බැඳිච්ච නයිට්වරු ටික දෙනාගෙන් එක්කෙනෙක්. එයා කින්ග්ස් ලෑන්ඩින්ග් සටනෙදි බොහොම නිර්භීතව සටන් කලා."

"වැරදි පැත්තෙ." සෙර් ජැරමි රයිකර් වියළි ඇනුම්පදයක ස්වරයෙන් කීවේ ය. "මමත් ඒ යුද්ධෙදි එයාගෙ පැත්තකින් සටන් කලා. ටයිවින් ලැනිස්ටර් අපට බොහොම හොඳ තෝරාගැනීමක් තමා දුන්නෙ. නිශා රැකුමට බැඳෙන්ට, නැත්තං හැන්දෑ වෙන්ට කලින් අපේ ඔළු ගෙඩි ටික රිටක අමුනනවා කිවුවා. මම මේ අමනාපයකින් කියනවා නෙවෙයි ටිරියන්."

"කිසිම ප්‍රශ්නයක් නෑ සෙර් ජැරමි. මගේ තාත්තා හරිම ආසයි රිටි වල ගහපු ඔළු ගෙඩිවලට. විශේෂයෙන්ම එයාව කොයියම්ම විදියකින් හරි අමනාපයට පත් කරපු අයගෙ ඔළු ගෙඩිවලට. අනෙක ඔබේ වගේ හරිම මහේශාක්‍ය මූනක්. එයා හිතන්ට ඇති ඒක රාජ ද්වාරයට ඉහළින් පවුරේ හයි කලාම හරි ලස්සනට තියෙයි කියලා."

"බොහොම ස්තූතියි!" සෙර් ජැරමි කර්කශ උපහාසාත්මක සිනාවකින් යුතුව පිළිතුරු දුන්නේ ය.

අණදෙන නිළධාරි මෝර්මන්ට් උගුර පෑදුවේ ය. "සමහර වෙලාවට මට හිතෙනවා සෙර් ඇලිසර් ඔබ ගැන කිවුව දේ ඇත්තක් කියලා ටිරියන්. ඔබ අපිවත්, මෙතන අපි කරන උදාර කාර්යයත් සමච්චලයට ලක් කරනවා."

ටිරියන් දෙවුර ඇකිළී ය. "අපි හැමෝම සැරින් සැරේ සමච්චලයට ලක්වෙන්ට ඕන මෝර්මන්ට් උතුමානනි. එහෙම නැත්තං අපි අපිව බොහොම බැරෑරුම් විදියට ගන්ට පටන් ගන්නවා. කරුනාකරලා තව වයින් ටිකක්." ඔහු සිය කුසලාන එසෙවුවේ ය.

රයිකර් ඔහු ගේ කුසලාන පුරවද්දී බොවෙන් මාර්ෂ් කතාව ඇරඹී ය. "පුංචි මිනිහෙක් වුනාට ඔබට ලොකු පිපාසයක් තියෙන්නෙ."

"ආහ්! මම නම් හිතන්නෙ ටිරියන් උතුමානන් බොහොම ලොකු මිනිහෙක් කියලා." මේස්ටර් ඒමන් මේසය ඈත කෙලවරේ වූ සිය අසුනේ හිඳ කීවේ ය. ඔහු මෘදු ස්වරයෙන් කතා කල අතර මහලු මිනිසා කියන දේ මැනැවින් ශ්‍රවනය කිරීම පිණිස නිශා රැකුමේ උසස් නිළධාරින් සැවොම නිහඬ වූහ. "මම හිතන්නෙ එයා මේ ලෝකාන්තයේ ඉන්න අපි අතරට ආපු යෝධයෙක් කියලා."

ටිරියන් ආචාරශීලී අයුරින් පිළිතුරු දුන්නේ ය. "මාව ගොඩක් නම්වලින් අමතලා තියෙනවා මගේ උතුමානනි. ඒ වුනත් යෝධයෙක් කියන එක නම් එහෙම ලේසියෙන් ඇහුන දෙයක් නෙවෙයි."

මේස්ටර් ඒමන් සිය අන්ධ, කිරි-සුදු පැහැ දෑස් ටිරියන් දෙසට හැරෙවුවේ ය. "ඒ කොහොම වුනත් මම හිතන්නෙ මම කියපු දේ ඇත්තක් කියලයි."

පළමු වතාවට මීට පිළිතුරු වශයෙන් කියා ගැනීමට සුදුසු යමක් නොමැතිව ටිරියන් වද වූයේ ය. අන්තිමේදී ඔහු ආචාරශීලී අයුරින් හිස නමා මෙසේ කීය. "ඔබ බොහොම කරුනාවන්තයි මේස්ටර් ඒමන්."

අන්ධ මිනිසා මඳ සිනාවක් පෑවේ ය. ඔහු වසර සියයකටත් වඩා වයසැති කුඩා, රැළි වැටුනු සිරුරින් හා තට්ට හිසකින් යුතු මහල්ලෙකු විය. ඔහු කර වටා පැළැඳි මේස්ටර් දම්වැල බුරුල් අයුරින් ගෙල වටා එල්ලුනි. "මාව ගොඩක් නම්වලින් අමතලා තියෙනවා මගේ උතුමානනි. ඒ වුනත් කරුනාවන්ත කියන එක නම් එහෙම ලේසියෙන් ඇහුන දෙයක් නෙවෙයි." මේ වතාවේ ටිරියන් කොක්හඬලෑම ඇරඹුවේ ය.

බොහෝ වේලාවකට පසු, ආහාර අනුභවයෙන් අනතුරුව පිරිස පිටව ගිය පසු, මෝර්මන්ට් හා ටිරියන් ගිනිඋඳුන සමීපයෙහි අසුන් ගෙන උණුසුම් මත්පැන් බඳුනක් පානය කරමින් උන්හ. "මේ උතුරෙදි රජමාවත කියන්නෙ ටිකක් පරෙස්සම් මදි තැනක්." මෝර්මන්ට් කීවේ ය.

"මගෙත් එක්ක ජයික්, මොරෙක් දෙන්නම යනවනෙ. අනිත් එක යොරේනුත් ආපහු දකුණට යනවා."

"යොරේන් කියන්නෙ එක මිනිහෙක් විතරයි. නිශා රැකුම ඔබව වින්‍ටර්ෆෙල්වලට යනකම් පිරිවරා යන්ට ඕන." මෝර්මන්ට් කිසිදු වාදයකට ඉඩක් නොමැති ස්වරයෙන් කීවේ ය. "මම ඔබට මිනිස්සු තුන්දෙනෙක් දෙන්නම්."

"ඔබ බලකරනවා නම් ඉතින් කමක් නෑ මගේ උතුමානනි. අර ස්නොව් කොල්ලව එවුවොත් මොකද? එයා සතුටුවෙයි සහෝදරයො ටික දැකගන්ට අවස්ථාවක් ලැබුනොත්."

මෝර්මන්ට් දෙබැම ඇකිළී ය. "ස්නොව්? ආහ්! ස්ටාර්ක් අවජාතකයා. මම හිතන්නෙ නෑ. අලුත් කොල්ලො එයාලා කලින් ගතකරපු ජීවිතෙයි, සහෝදරයොයි, අම්මලායි හැමදේම අමතක කරලා දාන්ට පුරුදුවෙන්ට ඕන. ආයෙමත් ගෙදර ගියා කියන්නෙ ඒ මතක ඔක්කොම අලුත් වෙනවා. මම දන්නවා මේ දේවල් ගැන. මගේම ලේ නෑයො පවා... මගේ පුතා අපකීර්තියට පත්වුනාට පස්සෙ මගෙ නංගි මේජ් තමා දැන් වලස් දූපත පාලනය කරන්නෙ. මට ඉන්නවා මම කවදාවත් දැකලා නැති ලේලිලා." ඔහු මත්පැන් උගුරක් තොලගෑවේ ය. "අනිත් එක, ජොන් ස්නෝව් කියන්නෙ තාම පොඩි කොල්ලෙක්. ඔබව ආරක්ෂාකාරීව එක්කරන් යන්ට උවමනා කරන්නෙ ශක්තිමත් සෙබළු තුන්දෙනෙක්."

"ඔබේ මේ සැලකිල්ල මට හරියට හිතට වැදුනා මෝර්මන්ට් උතුමානනි." සැර මධ්‍යසාරය නිසා ටිරියන් ගේ හිස බමන්නාක් මෙන් දැනින. එනමුදු නාකි වලහා ඔහුගෙන් යමක් බලාපොරොත්තු වන බව වටහා නොගැනීමට තරම් ඔහු බීමත් නොවී ය. "මම හිතනවා ඔබේ මේ කරුනාවට ප්‍රතිඋපකාර කරන්ට මට අවස්ථාවක් ලැබෙයි කියලා."

"ඔබට පුළුවන්." මෝර්මන්ට් ඍජුවම පැවසී ය. "ඔබේ සහෝදරිය රජතුමාගෙ බිසව. ඔබේ සහෝදරයා උසස් මට්ටමේ නයිට්වරයෙක්. ඔබේ තාත්තා තමා මේ රාජධානි සප්තකයෙ ඉන්න බලවත්ම වංශාධිපතියා. අපි වෙනුවෙන් එයාලට කතා කරන්ට. එයාලට කියන්ට අපට උවමනා වෙලා තියෙන දේ. ඔබ ඔබේ දෑහින්ම දැක්කනෙ මගෙ උතුමානනි. නිශා රැකුම ටිකෙන් ටික පණ අදිමිනුයි ඉන්නෙ. අපේ ශක්තිය දැන් මිනිස්සු දාහකටත් අඩුයි. මෙතන හයසීයක් විතර, සෙවනැලි කුළුණෙ දෙසීයක් විතර, නැගෙනහිර කුළුණෙ ඊටත් අඩුවෙන්. එයිනුත් තුනෙන් එකක් විතර තමා සටන් කරන්ට පුළුවන් සෙබළු ඉන්නෙ. ප්‍රාකාරය ලීග සීයක් දිගයි. පොඩ්ඩක් හිතන්ට ඒ ගැන. බැරිවෙලාවත් ප්‍රහාරයක් ආවොත් ප්‍රාකාරෙ හැම හැතැප්මකටම මිනිස්සු තුන්දෙනයි ඉන්නෙ."

"තුනයි තුනෙන් එකයි." ටිරියන් ඈනුමක් යවමින් පැවසී ය.

මෝර්මන්ට්ට ඔහු කී දේ ඇසුනු බවක් නොපෙනින. මහලු මිනිසා සිය දෑත් ගිනිඋඳුන දෙසට දිගු කොට උණුසුම් කරගත්තේ ය. "මම බෙන්ජින් ස්ටාර්ක්ව යැවුවා යොන් රොයිස්ගෙ පුතාව හොයාගන්ට. ඒ කොල්ලා එයාගෙ පළමුවෙනි මුරසංචාරයෙදිම අතුරුදහන් වුනා. එයා නවකයෙක්. ඒත් එයා බලකරලා ඉල්ලලා හිටියා එයාට අණ දෙන්ට ඉඩදෙන්ටය කියලා, නයිට්වරයෙක් විදියට ඒක එයාගෙ අයිතිය කියලා. මට එයාගෙ තාත්තව තරහ කරගන්ට ඕන වුනේ නෑ. ඉතින් ඒ නිසා මම ඒකට ඉඩ දුන්නා. මම එයත් එක්ක බලකායෙ හිටපු හොඳම සෙබළු දෙන්නෙක්ව යැවුවා. ඒක තමා මම කරපු ලොකුම මෝඩ වැ‍ඩේ."

"මෝඩයා." කපුටා ද පුනරුච්චාරණය කලේ ය. ටිරියන් ඉහළ බැලුවේ ය. කපුටා ද පිහාටු පුම්බමින් සිය කළු පැහැ දෑසින් ඔහු දෙස බලා සිටියේ ය. "මෝඩයා." ඌ නැවතත් කෑ ගැසුවේ ය.

මෝර්මන්ට්ට කපුටා ගේ හිරිහැරය දැනුනු බවක් නොපෙනින. "ගැරඩ් මටත් වඩා නාකියි. මටත් වඩා කල් ප්‍රාකාරෙ ඉඳලා තියෙනවා." ඔහු දිගටම කතා කරගෙන ගියේ ය. "ඒ වුනත් පේන විදියට නම් මිනිහා දිවුරුම අත ඇරලා පැනලා ගිහිල්ලා. ඒ මිනිහා එහෙම දෙයක් කරයි කියලා මට නම් විශ්වාස කරන්ටත් බෑ. ඒ වුනත් එඩාර්ඩ් උතුමානන් වින්ටර්ෆෙල්වල ඉඳන් ඒ මිනිහගෙ ඔළුගෙඩිය එවලා තිබුනා. රොයිස් ගැන කිසිම ආරංචියක් නෑ. එකෙක් පැනලා ගිහිල්ලා, දෙන්නෙක් අතුරුදන් වෙලා. දැන් බෙන් ස්ටාර්කුත් ආගිය අතක් නෑ." ඔහු ගැඹුරු සුසුමක් හෙලී ය. "එයාව හොයාගෙන එන්ටයි කියලා මම කාවද යවන්නෙ? තව අවුරුදු දෙකකින් මට හැත්තෑවක් වෙනවා. මම මේ උහුලන බර උහුලන්ට බැරි තරම් මම නාකි වැඩියි, දුර්වල වැඩියි. ඒ වුනත් මම මේක පැත්තකින් තිබ්බොත් කවුද ඒක බාරගන්නෙ? ඇලිසර් තෝර්න් ද? බොවෙන් මාර්ෂ් ද? එයාලා මොන විදියෙ පුද්ගලයොද කියන එක නොදැක ඉන්ට නම් මම මේස්ටර් ඒමන් තරමටම අන්ධයෙක් වෙන්ට ඕන. නිශා රැකුම දැන් බුම්මගත්ත කොල්ලන්ගෙයි වෙහෙසට පත්වෙච්ච නාකින්ගෙයි හමුදාවක් වෙලයි තියෙන්නෙ. අද රෑ මගේ මේසෙ වටේ හිටිය කට්ටිය අත ඇරියම මට තව ඕනනං අකුරු කියවන්ට පුළුවන් මිනිස්සු විස්සක් හොයාගන්ට පුළුවන් වෙයි. හිතන්ට පුළුවන්, සැලසුම් කරන්ට පුළුවන්, නායකත්වය දෙන්ට පුළුවන් මිනිස්සු ඊටත් අඩුයි. කාලයක් තිබ්බා නිශා රැකුම මුළු ගිම්හානෙ පුරාවටම ගොඩනැගීම් කලා, හැම අණදෙන නිළධාරියෙක්ම ප්‍රාකාරෙ තිබ්බට වඩා උඩට උස්සන්ට මහන්සි ගත්තා. දැන් අපට ජීවිකේ රැකගන්ට නම් එච්චර තමා කරන්ට වෙන්නෙ."

ඔහු මේ කතා කරන්නේ අතිශය බැරෑරුම් ස්වරයෙන් බැව් ටිරියන්ට වැටහින. ඔහු‍ට මේ මහලු මිනිසා පිළිබඳ සියුම් කණගාටුවක් දැනෙන්නට විය. මෝර්මන්ට් උතුමානන් සිය දිවියෙන් සෑහෙන කලක් ප්‍රාකාරය මත ගත කර තිබින. එමෙන්ම ඒ ගතකල කාලය අර්ථවත්ව ගතවිනැයි ඔහුට විශ්වාස කරන්නට උවමනා වී තිබින. "මම පොරොන්දු වෙනවා රජතුමාට ඔබ කියාපු දේවල් අහන්ට සලස්සනවා කියලා." ටිරියන් බැරෑරුම් හඬින් කීවේ ය. "ඒ වගේම මම මගේ තාත්තටයි සහෝදරයා ජේමිටයි කතා කරන්නම්." ඔහු සැබෑවටම ඒ බව කතා කරන්නට සිතා ගත්තේ ය. ටිරියන් ලැනිස්ටර් සැබෑවටම අවංක පුද්ගලයකු විය. එනමුදු ඔහු සෙසු කොටස නොකියා ගිලගත්තේ ය. රොබර්ට් රජතුමා ඔහුව නොතකා හරිනු ඇත, ටයිවින් උතුමානන් ඔහුට පිස්සු හැදී ඇත්දැයි විමසනු ඇත, ජේමි ඔහුට සිනාසෙනු ඇත. එපමණකි.

"ඔබ තරුණ මිනිහෙක් ටිරියන්. ඔබ ශීත කාල කීයක් දැකලා තියෙනවද?"

ටිරියන් දෙවුර ඇකිළී ය. "අටක්. නවයක්. මට හරියටම මතක නෑ."

"ඒ ඔක්කොම බොහොම කෙටි ඒවා?"

"ඔවු මගේ උතුමානනි." ඔහු මෙලොවට බිහි වූයේ තුන් වසරක් පුරා පැවැති, දරුණු, ක‍ටුක ශීත කාලයක් මධ්‍යයේ විය. එනමුදු ටිරියන් ගේ මුල්ම මතක වසන්තය ගැන විය.

"මම පොඩි කාලෙ අහලා තියෙන විදියට දිග ගිම්හානයක් කියන්නෙ ඊට පස්සෙ දිග ශීත කාලයක් එනවා. මේ ගිම්හානය අවුරුදු නවයක් තිබ්බා ටිරියන්. දහවෙනි අවුරුද්දත් ලං වෙනවා. ඒ ගැන පොඩ්ඩක් හිතන්ට."

"මම පොඩි කාලෙ මගේ ආයම්මා කිවුවා, මිනිස්සු හොඳට හිටියොත් දෙවිවරු ඒ ගැන පැහැදිලා ලෝකෙට කවදාවත් ඉවර වෙන්නෙ නැති ගිම්හානයක් දෙනවා කියලා. සමහරවිට අපි හිතුවට වඩා අපි හොඳට හැසිරෙන්ට ඇති. දෙවිවරු අපට ඒ මහා ගිම්හානෙ දීලද දන්නෙ නෑ අන්තිමේදී." ටිරියන් නියෙවුවේ ය.

මෝර්මන්ට් මෙයින් විමතියට පත් වුනු බවක් නොපෙනින. "ඒ කතාව විශ්වාස කරන්ට තරම් ඔබ මෝඩයෙක් නෙවෙයි ම‍ගේ උතුමානනි. දැනටමත් දවස් කෙටි වෙන්ට පටන් අරන්. ඒකෙ කිසිම සැකයක් නෑ. ඒමන්ට සිටඩේල්වලින් ලියුම් ලැබුනා. ඒවා එයාගෙ සොයාගැනීම් එක්ක ගැලපෙනවා. ගිම්හානයේ අවසානය තමා මේ තියෙන්නෙ." සිය අත දිගු කල මෝර්මන්ට් ටිරියන් ගේ අත තදින් ග්‍රහනය කරගත්තේ ය. "ඔබ ඔවුන්ට අවබෝධ කරලා දෙන්ට ඕනමයි. මම ඔබට කියන්නෙ මගේ උතුමානනි, අන්ධකාරය එනවා. වනාන්තරයේ බොහොම නරක, භයානක දේවල් තියෙනවා. ඝෝරවෘකයො, මැමත්ලා, ඔරොක්ස්ලා තරම් ලොකු හිම වලස්සු. ම‍ගේ හීනවලදි මට අඳුරු ඡායා පේනවා."

"ඔබේ හීනවලදි." ටිරියන් පුනරුච්චාරණය කලේ තවත් සැර මත්පැන් වඩියක් තිබුනා නම් කෙතරම් අගේ දැයි සිතමිනි.

ඔහු ගේ වදන්වල තිබුනු ගනන් නොගන්නා ස්වරය මෝර්මන්ට් නොතකා හැරියේ ය. "නැගෙනහිර කුළුණ ළඟ ඉන්න මාළුකාරයො දැකලා තියෙනවා මුහුදු වෙරළෙ ඉන්න ධවල යාත්‍රිකයො."

මේ වතාවේ නම් ටිරියන්ට කට පියාගෙන සිටීමට බැරි විය. "ලැනිස්පෝර්ට්වල ඉන්න මාළුකාරයො නිතරම දකිනවා දියකිඳුරො."

"ඩෙනිස් මැලිස්ටර් ලියලා එවලා තියෙනවා කඳුකරයේ ඉන්න මිනිස්සු දකුණට යනවා කියලා. වෙන කවදාටත් වැඩියෙන් සෙවනැලි කුළුණ පහුකරන් පහළට යනවා කියලා. ඒ මිනිස්සු පැනලා යනවා මගේ උතුමානනි... ඒ වුනත් මේ මිනිස්සු පැනලා යන්නෙ මොකකට බයේද?" කවුළුව වෙතට පිය නැගූ මෝර්මන්ට් උතුමානන් පිටත රාත්‍රිය දෙස බලා සිටින්නට විය. "මේවා බොහොම නාකි ඇටකටු ලැනිස්ටර්. ඒ වුනත් ඒවට කවදාවත් මෙහෙම සීතලක් දැනිලා නෑ. මම ඔබෙන් ඉල්ලා සිටිනවා, කරුනාකරලා රජතුමාට කියන්ට මම කියාපු දේවල්. සීත කාලෙ එනවා. දිග රෑ කාලෙ එළඹුනාම ඈත උතුරෙන් එන නපුරු බලවේගයි රාජධානියයි අතරෙ ඉන්න එකම දේ නිශා රැකුම විතරයි. අපි ඒ වෙනකොට ලෑස්ති වෙලා හිටියෙ නැත්තං අපට දෙයියන්ගෙම පිහිට තමා."

"අද රෑ මට නිදාගන්ට බැරිවුනොත් මටත් දෙයියන්ගෙම පිහිට තමා. යොරේන් හිතාගෙන ඉන්නෙ යාන්තමට එළිය වැටිච්ච ගමන්ම පිටත් වෙන්නයි." ටිරියන් නැගිට සිටියේ ය. වයින් නිසා ඔහුට නිදිමතක් දැනෙමින් තිබින‍. "මට කරපු ආගන්තුක සත්කාර හැමදේටම බොහොමත්ම ස්තූතියි මෝර්මන්ට් උතුමානනි."

"එයාලට කියන්ට ටිරියන්. එයාලට විශ්වාස කරන්ට සලස්සන්ට. ඒ තමා ඔබට මා වෙනුවෙන් කරන්ට පුළුවන් ලොකුම ස්තූතිය." ඔහු සියුරුහඩ ලෑ අතර කපුටා පියාඹා විත් ඔහු ගේ දසරුවෙහි වැසුවේ ය. මඳ සිනහවක් පෑ මෝර්මන්ට් සිය සාක්කුවකින් ගත් ඉරිඟු ඇට ඌට කවන්නට විය. ඒ ටිරියන් ඔහුට සමුදෙද්දී ඔහු දුටු අවසාන දර්ශනය විය.


Tyrion Lannister: “Most of my kin are bastards, but you're the first I've had to friend.”

Friday 19 September 2014

එඩාර්ඩ් 04-2


අන්තිමේදී සුළැඟිල්ලා දැවයෙන් නිමකල, ගරාවැටුනු, තුන්මහල් ගොඩනැගිල්ලක් සමීපයේ සිය අසු නැවැත්වීය. වැඩිවන අඳුර මධ්‍යයේ එහි කවුළු පහන් එළියෙන් දීප්තිමත්ව බැබලින. සංගීතය හා රළු සිනහ හඬ එයින් පිටතට ඇසෙන්නට විය. දොර පසෙකින් අලංකාර පහනක් දම්වැලකින් එල්ලා තිබින.

නෙඩ් ස්ටාර්ක් කෝපයෙන් යුතුව සිය අසු පිටින් බැස්සේ ය. "ගනිකා මඩමක්." ඔහු කීවේ සුළැඟිල්ලාව උරහිසෙන් අල්ලා රළු අයුරින් තමා දෙසට හරවමිනි. "උඹ මෙච්චර දුර මාව එක්කන් ආවෙ ගනිකා මඩමකටද?"

"ඔබේ බිරිඳ ඇතුළෙ ඉන්නවා." සුළැඟිල්ලා කීවේ ය.

ඒ අවසාන අවමානය විය. "බ්‍රැන්ඩන් උඹට කරුනාවන්ත වුනා වැඩියි." නෙඩ් කීවේ කුඩා මිනිසාගේ ගෙලින් ඔසවා වැරෙන් බිත්තියේ ගසමිනි. සිය කිනිස්ස ඇදගත් ඔහු එහි තුඩ කුඩා එළු රැවුලට පහළින් ගෙලට තද කලේ ය.

"ම‍ගේ උතුමානනි එපා." කටහඬක් කෑ ගැසුවේ ය. "එයා ඇත්ත කියන්නෙ." ඔහුට පිටුපසින් අඩි ශබ්දයක් ඇ‍සෙන්නට විය.

කිනිස්ස අතේ ඇතිව ආපසු හැරුනු නෙඩ් තමා දෙසට ඉක්මනින් එන සුදු පැහැ හිසකෙසින් යුතු මහලු මිනිසකු දුටුවේ ය‍. දුඹුරු පැහැ රළු ඇඳුමක් හැඳ සිටි ඔහු දුවන අත‍රේ ගෙලට යටින් වූ රැළි ලෙළ දුන්නේ ය. "මේක උඹට අයිති වැඩක් නෙවෙයි." නෙඩ් කී‍වේ ය‍. එනමුදු ඊළඟ මොහොතේ ඔහු ඒ පුද්ගලයාව හඳුනා ගත්තේ මවිතයට පත්ව කිනිස්ස පහත් කලේ ය‍. "සෙර් රඩ්‍රික්?"

රඩ්‍රික් කසල් හිස වැනුවේ ය‍‍. "ඔබතුමාගෙ ආර්යාව උඩුමහලේ බලන් ඉන්නවා."

නෙඩ් ට මුළා වූ සෙයක් දැනින. "කැට්ලින් ඇත්තටම මෙහෙ ඉන්නවා? මේක සුළැඟිල්ලාගෙ විහිළුවක් නෙවෙයිද එහෙනම්?" ඔහු කිනිස්ස නැවත කොපු‍වේ ලෑවේ ය.

"ඒක එහෙම වුනා නම් කොච්චර හොඳද නේද ස්ටාර්ක්?" සුළැඟිල්ලා කීය. "මගෙ පස්සෙන් එන්ට. පුළුවන් තරං රජතුමාගෙ අත නෙවෙයි, නිකං සාමාන්‍ය ගෑනු සොඬෙක් වගේ පේන්ට ඉන්ට. ඒ කාටවත් ඔබව අඳුරගන්ට බැරිවෙන්ටයි. සමහරවිට ඔය යන ගමන් කෙල්ලෙක්ගෙ තනයක් දෙකක් මිරිකුවත් කමක් නෑ."

ඔවුහු ගොඩනැගිල්ල තුළට වැදුනහ. මිනිසුන්ගෙන් පිරී ගිය ප්‍රධාන ශාලාවේ මහත ගැහැණියක් ග්‍රාම්‍ය ගීත ගයමින් සිටියා ය. හන හා සේද රෙද්දෙන් සැරසුනු ලස්සන තරුණ කෙල්ලෝ සිය ආදරවන්තයින් ගේ උකුළු මතට වී තොඳොල් වෙමින් උන්හ. කිසි කෙනෙක් නෙඩ් වෙත සුළු හෝ අවධානයක් නොදැක්වූහ. සෙර් රඩ්‍රික් පහත මාලයේ නතර වූ අතර නෙඩ් ව තෙවන මහලට කැඳවා ගෙන ගිය සුළැඟිල්ලා බරාඳය දිගේ ගොස් දොරක් විවර කලේ ය.

කාමරය තුළ කැට්ලින් බලාපොරොත්තුවෙන් සිටියා ය. ඔහු දුටු ඈ කෑ ගසමින් ඔහු වෙත දිව විත් ඔහුව දැඩිව බදා ගත්තා ය.

"මගේ ආර්යාවනි." නෙඩ් විස්මයෙන් කොඳුලේ ය.

"ආහ්! බොහොම හොඳයි. ඔබ එහෙනම් එයාව අඳුරගත්තා." සුළැඟිල්ලා කීවේ කාමරයේ දොර වසමිනි.

"මම බයේ හිටියෙ ඔයා කවදාවත් එන එකක් නෑ කියලා මගේ උතුමානනි." ඔහු ගේ පපුවට හේත්තු වී ඇය මිමිනුවා ය. "පෙටයර් මට හැම විස්තරයක්ම ගෙනාවා. එයා මට කිවුවා ආර්යායි කුමාරයායි අතර සිද්දවෙච්ච ප්‍රශ්න ගැන. ම‍ගේ කෙල්ලො දෙන්නා කොහොමද?"

"දෙන්නම තවම දුක් වෙනවා. ඒ වගේම දෙන්නම තවම තරහින් ඉන්නෙ. කැට් මට තේරෙන්නෙ නෑ. ඔයා මොනවද මේ කින්ග්ස් ලෑන්ඩින්ග්වල කරන්නෙ?මොකක්ද සිද්දවුනේ? ඒ බ්‍රැන් ද? එයා..." ඔහු ගේ මුවට නැගුනු වචනය 'මැරිලාද' යන්න වුවද ඔහුට එය කියා ගත නොහැකි විය.

"ඒ බ්‍රැන් ගැන තමා. ඒත් ඔයා හිතන දේ නෙවෙයි."

නෙඩ්ට අතරමං වූ සෙයක් දැනින. "එහෙනම් මොකක්ද? ඇයි ඔයා මෙහෙ ඉන්නෙ මගෙ වස්තුවෙ? මොකක්ද මේ තැන?"

"ඔබට පේන දේම තමා." සුළැඟිල්ලා කීවේ කවුළුව අසල වූ පුටුවකට බරවෙමිනි. "ගනිකා මඩමක්. ඔබට හිතාගන්ට පුළුවන්ද කැට්ලින් ටලී වගේ කෙනෙක් හංගන්ට මීට වඩා හොඳ තැනක්? කවුරුවත් විශ්වාස කරන්නෙ නෑ එයාව දැක්කත්. ඇත්තම කියනවා නම් මට තමා මෙතැන අයිති. ඒක නිසා ඒ වැඩ ටික සූදානම් කරන එක එච්චර අමාරුවක් වුනේ නෑ. මට වැඩියක්ම ඕන වුනේ කැට් මෙහෙ කින්ග්ස් ලෑන්ඩින්ග්වල ඉන්නවා කියන එක ලැනිස්ටර්ලාගෙන් වසන් කරන්ටයි."

"ඇයි?" නෙඩ් ඇසුවේ ය. ඊළඟ මොහොතේ ඔහු ඇයගේ දෑත් දුටුවේ ය. ඇය ඔහුව බදා සිටින නුහුරු විලාසය, ඇඟිලි වල ඇති ගැඹුරු රතු පැහැ තුවාල කැළැල්, වම‍තේ නැමිය නොහැකි අවසාන ඇඟිලි දෙක, මේ සියල්ල දුටුවේ ය. "ඔයාට තුවාල වෙලා." ඇගේ දෑත් සිය සුරතින් ගත් ඔහු ඒවා හරවා බැලී ය. "දෙයියනේ! මේවා බොහොම ගැඹුරු කැපුම්... කඩු පාරකින් වෙච්චි එකක්ද නැත්තං... කොහොමද මේක වුනේ මගේ ආර්යාවනි?"

සිය සළුව තුළින් කිනිස්සක් ඇද ගත් කැට්ලින් එය ඔහු ගේ අත්ල මත තැබුවා ය. "මේ කිනිස්ස එවලා තිබුනෙ බ්‍රැන්ගෙ උගුරු දණ්ඩ කපලා දාන්ට."

"ඒත්... කවුද... ඇයි එහෙම..."

ඇය ඔහු ගේ දෙතොල් මත ඇඟිල්ලක් තැබුවා ය. "ඉන්ට මම ඔක්කොම විස්තරේ කියන්නම් මගෙ වස්තුවෙ. ඔයා අහගෙන ඉන්ටකො. එතකොට ඉක්මන්."

ඉදින් ඔහු නිහඬව අසා සිටියදී ඇය සම්පූර්ණ විස්තරයම කීවා ය. පුස්තකාල කුළුණේ ගින්න, වාරිස්, සෙබළුන්, සුළැඟිල්ලා මේ හැම දෙයක්ම කීවා ය. ඇය කතාව නිම කල පසු තෝන්තු වී ගිය හිසින් යුතු එඩාර්ඩ් ස්ටාර්ක් කිනිස්සද අතැතිව මේසය අසලින් වාඩි විය. 

'එහෙනම් බ්‍රැන් ගේ වෘකයා දරුවාගේ ජීවිතය බේරුවා' ඔහු නොපැහැදිළි මනසින් යුතුව කල්පනා කලේ ය. හිම මත වෘක පැටවුන් සොයාගත් දිනයේ ජොන් පැවසූයේ කුමක් ද? 'මේ පැටවු ඇවිල්ලා තියෙන්නෙ ඔබේ දරුවන්ට හිමි වෙන්ටමයි මගෙ උතුමානෙනි.' ඒත් ඔහු සන්සා ගේ පැටවා මරා දැම්මේය. ඌ කුමන වරදක් කලාට ද? ඔහුට මේ දැනෙන්නේ වරදකාරී හැඟීමක් ද නැතිනම් බියක් ද? මේ වෘක පැටවුන් සැබැවින්ම එවන ලද්දේ දෙවියන් විසින් නම් ඔහු මේ සිදු කර ඇත්තේ කවර නම් මුග්ධ ක්‍රියාවක් ද?

අසීරුවෙන් මුත් නෙඩ් කිනිස්ස හා එහි කතාව ගැන සිය සිත යොමු කලේ ය. "පුංචි යකාගෙ කිනිස්ස." නමුත් ඔහුට කිසිදු දෙයක් තේරුම් ගත හැකි වූයේ නැත. ඔහු ‍ගේ අතැඟිලි මකරාස්ථියෙන් කල සිනිඳු මිට වටා තදින් එතුනි. ඔහු එයින් වැරෙන් මේසයට ඇන්න අතර තලය ලීය තුළ ගැඹුරට ඇනී ගියේ ය. "ඇයි ටිරියන් ලැනිස්ටර්ට බ්‍රැන්ව මරන්ට ඕන? ඒ දරුවා එයාට කිසිම හානියක් කරලා නෑ?"

"ස්ටාර්ක්ලාගෙ කණ් දෙක මැද්දෙ හිම ඇරෙන්ට වෙන මොකුත් නැද්ද?" සුළැඟිල්ලා ඇසී ය. "පුංචි යකා මේක තනියෙන් කලා වෙන්ට බෑ."

නැගිට සිටි නෙඩ් කාමරය තුළ එහා මෙහා සක්මන් ක‍ලේ ය. "රැජිණට මේකෙ සම්බන්ධයක් තියෙනවා නම්, නැත්තම් රජතුමාට... දෙයියන්ටම පෙනිච්චාවෙ. මට ඒක විශ්වාස කරන්ට බෑ." එනමුදු මේ වදන් පවසද්දී ඔහුට සිහිපත් වූයේ එක්තරා දිනෙක, උතුරුකරයේ සීතල උදෑසනකදී රොබර්ට් පැවසූ වදන් ය. ටාර්ගේරියන් කුමරිය ඝාතනය කිරීමට මිනීමරුවකු යැවීම ගැන ඔහු නෙඩ් හා දොඩා තිබින. ඔහුට රේගාර් ගේ බිළිඳු කුමරා මතක් විය. සුනුවිසුනු වී ගිය හිස්කබලෙන් යුතු කුඩා කුමරා සහ රජතුමා ඒ නොදුටුවාක් මෙන් ඉවත හැරුනු අයුරු. ඒ විලසින්ම එදා ඩැරී උතුමානන් ගේ සභා ශාලාවේදී ඔහු ඉවත හැරුනු අයුරු. අතීතයේ එක්තරා දිනෙක ලියානා බැගෑපත්ව ආයාචනා කල පරිද්දෙන්ම එදා සන්සා ආයාචනා කල අයුරු ඔහුට මේ දැනුත් ඇසෙන්නාක් මෙනි.

"ගොඩක් වෙලාවට අපට හිතන්ට පුළුවන් රජතුමා මේ ගැන දන්නෙ නෑ කියලා." සුළැඟිල්ලා කීය. "මේ පළමුවෙනි වතාව නෙවෙයි. අපේ හොඳ රොබර්ට් පුරුදුවෙලා ඉන්නවා එයාට දකින්ට ඕන නැති දේ දැක්කෙ නෑ වගේ අහක බලන් ඉන්ට."

මීට දිය යුතු පිළිතුරත් නෙඩ් සතුව නොවී ය. දෙපළු කර දමන ලද මස්කාරයා ගේ පුතා ගේ අහිංසක මුහුණ ඔහු ඉදිරියේ මැවී පෙනෙන්නට විය. රජතුමා මේ ගැන වදනකුදු නොදෙඩී ය. නෙඩ් ගේ හිස බමන්නට විය.

සුළැඟිල්ලා අලස ගමනින් මේසය අසලට අවුත් ලීයේ ඇමිනී තිබුනු කිනිස්ස ගලවා ගත්තේ ය‍. "අනිත් එක, මේ සැක කිරීම වුනත් රාජද්‍රෝහී ක්‍රියාවක්. රජතුමාව සැක කරනවා කියන්නෙ, ඔබේ කටින් වචන ටික පිටවෙන්ටත් කලින් ඔබට සිද්දවෙනවා ඉලියන් පේය්න් එක්ක හැප්පෙන්ට. රැජිණ... ඔබට සාක්කි හොයාගන්ට පුළුවන් වුනොත්.. ඔබට පුළුවන් වුනොත්, රොබර්ට් ඔබට ඇහුම්කන් දුන්නොත්.. එහෙම වුනොත් සමහරවිට.."

"අපට සාක්කි තියෙනවා." නෙඩ් කීය. "අපට මේ කිනිස්ස තියෙනවා."

"මේක? බොහොම ලස්සන වානේ කෑල්ලක්. ඒ වුනාට මේක දෙපැත්තම කැපෙනවා මගේ උතුමානනි. කිසිම සැකයක් නෑ පුංචි යකා දිවුරයි එයා වින්ටර්ෆෙල්වල ඉන්දැද්දි මේක නැතිවුනා නැත්තං හොරකම් කලා කියලා. එයා කුලියට ගත්ත මිනීමරුවාත් මැරිච්ච එකේ කවුද ඉන්නෙ එයා කියන්නෙ බොරුයි කියලා කියන්ට? මම දෙන උපදේශය මේක ගඟට විසිකරලා දාලා එහෙම එකක් තිබුනා කියලා අමතක කරලා දාන්ට කියලයි."

නෙඩ් ඔහු දෙස සීතල බැල්මක් හෙලුවේ ය. "බේලිෂ් උතුමානනි. මම වින්ටර්ෆෙල්වල ස්ටාර්ක් කෙනෙක්. මගේ පුතා අබ්බගාතයෙක් වෙලා වැටිලා ඉන්නවා. සමහරවිට එයා මැරෙන්ට වැටිලා ඉන්නවා වෙන්ටත් පුළුවන්. අපට හිම ගොඩක ඉඳලා හම්බවුන වෘක පැටියෙක් නොවෙන්ට එයයි කැට්ලිනුයි දෙන්නම මෙලහට මැරිලා. ඔබ ඇත්තටම විශ්වාස කරනවානම් මට ඒක අමතක කරලා දාන්ට පුළුවන්ය කියලා, මට කියන්ට තියෙන්නෙ ඔබ එදා මගේ සහෝදරයත් එක්ක සටන් කරන්ට ආ දවසේ වගේම තාමත් මෝඩයි කියලයි."

"මම මෝඩයෙක් වෙන්ට පුළුළුන් ස්ටාර්ක්... ඒ වුනත් මම තාමත් ජීවතුන් අතර ඉන්නවා. ඔබේ සහෝදරයා දැන් අවුරුදු දාහතරක් තිස්සෙ එයාගෙ සීතල මිනී වලේ දිරාපත් වෙනවා. ඔබටත් ඕන නම් එයාගෙ පැත්තකට වෙලා දිරාපත් වෙන්ට, මම ඒක වළක්වන්ට යන්නෙ නෑ. ඔබට ඕන ඒක නම්, බොහොම ස්තූතියි, මම ඔබේ පැත්තට නෑවිත් ඉන්නම්."

"මම, ම‍ගේ කැමැත්තෙන්, මගේ පැත්තට එක්කහු කරගන්න අවසානම කෙනා ඔබයි බේලිෂ් උතුමානනි."

"ඔබ මට බොහොම තදින් රිද්දනවා." සුළැඟිල්ලා හදවත මතුයෙහි අතක් තැබී ය. "මට හැමදාමත් දැනුන දෙයක් තමා ස්ටාර්ක්ලා කියන්නෙ හරිම හිරිහැරදායක කට්ටියක් කියන එක. ඒ වුනත් මට තේරුම් ගන්ට බැරි මොනවදෝ මන්දා හේතු ගොඩක් නිසා කැට් ඔබට ආදරය කරනවා. එයා වෙනුවෙන් මම ඔබව පණ පිටින් තියාගන්ට උත්සාහ කරන්නම්. මට පිළිගන්ට වෙනවා ඒක මහ මෝඩ උත්සාහයක්. ඒ වුනත් මට කිසිමදාක ඔබේ බිරිඳට කිසිම දේකට බෑ කියන්ට බෑ."

"ජොන් ඒරින්ගෙ මරණය ගැන අපට තියෙන සැකය මම පෙටයර්ට කිවුවා." කැට්ලින් කීවා ය. "එයා පොරොන්දු වුනා ඇත්ත මොකක්ද කියලා හොයාගන්ට ඔයාට උදවු කරන්ට."

මේ ප්‍රවෘත්තිය එඩාර්ඩ් ස්ටාර්ක් ‍ගේ සිතට සතුටක් ගෙන ආ‍වේ නැත. එනමුදු සත්‍යවශයෙන්ම බැලුවහොත් ඔවුන්ට උදවු උවමනා වී තිබුනු අතර එක් කලෙකදී සුළැඟිල්ලා කැට්ලින්ට සහෝදරයකු තරම් කිට්ටුවන්තයකු වී සිටියේ ය. තමා විසින් ගර්භා කොට සලකනු ලබන මිනිසුන් සමග එකට එක්වී වැඩ කිරීමට නෙඩ්ට බලකෙරුනු පළමු අවස්ථාව මෙය නොවේ. "හොඳයි." ‍නෙඩ් කීවේ කිනිස්ස සිය බඳපටියේ රුවා ගනිමිනි. "ඔයා වාරිස් ගැනත් කිවුවා. ඒ නපුංසකයත් මේ හැම දෙයක් ගැනම දන්නවද?"

"මගේ කටින් නම් දැනගන්ට ලැබුනේ නෑ." කැට්ලින් කීවා ය. "ඔයා කසාද බැන්දෙ මෝඩයෙක් නෙවෙයි එඩාර්ඩ් ස්ටාර්ක්. ඒ වුනාට වාරිස්ට තියෙනවා අරුම පුදුම හැකියාවක් අනිත් මිනිස්සු නොදන්න දේවල් දැනගන්ට. එයාට මොකක් හරි මායා බලයක් තියෙනවා නෙඩ්. මම දිවුරනවා."

"එයාට හැමතැනම ඔත්තුකාරයො ඉන්නවා. ඒක කවුරුත් දන්න දෙයක්නෙ." නෙඩ් කීවේ ඇගේ මතය බැහැර කරමිනි.

"ඒක ඊට වඩා වැඩි දෙයක්." කැට්ලින් තිර ස්වරයෙන් කීවා ය. "සෙර් රඩ්‍රික් සෙර් ආරොන් සැන්ටගාර්ව හොර රහසෙම මුනගැහිලා කතා කලා. ඒ වුනත් මකුළුවා කොහොමහරි දැනගත්තා ඒ කතා වුන දේ ගැන‍. මට බයයි ඒ මිනිහා ගැන."

සුළැඟිල්ලා සිනාසුනේ ය. "වාරිස් උතුමානන් ගැන වද වෙන එක මට බාරදෙන්ට ආර්යාවනි. මට පුළුවන් මිනිහව අල්ලෙ නටවන්ට. මම ඔබ නම් වාරිස්ට වඩා මම වදවෙන්නෙ ලැනිස්ටර්ලා ගැනයි."

ඒ බව නෙඩ්ට කියාදීමට සුළැඟිල්ලා අවශ්‍ය නොවිනි. ගංගා ත්‍රිශූලයේදී ආර්යාව සොයා ගත් දිනය ඔහු ගේ සිහියට නැගින. 'අපට වෘකයෙක් ඉන්නවා' යැයි මෘදු ස්වරයෙන් තෙපලද්දී රැජිණගේ මුහුණේ තිබුනු බැල්ම, මස්කාරයා ගේ පුතා වූ මයිකා, ජොන් ඒරින් ගේ හදිසි මරණය, බ්‍රැන් වැටී සිටි ආකාරය, පිස්සු රජා ඒරිස් ටාර්ගේරියන් සිය සිහසුන් කාමරය තුළම මියගොස් සිටි අන්දම යන මේ සියල්ල ඔහු ගේ සිහියට නැගින. "මගේ ආර්යාවනි." ඔහු කැට්ලින් දෙසට හැරෙමින් කීවේ ය. "ඔයාට තවදුරටත් මෙහෙ කරන්ට දෙයක් ඉතුරුවෙලා නෑ. මට ඕන ඔයා ඉක්මනින්ම වින්ටර්ෆෙල්වලට ආයෙමත් පිටත් වෙලා යන්ටයි. එක මිනීමරුවෙක් ආවා කියන්නෙ තව මිනීමරුවො එන්ට පුළුවන් කියන එකයි. බ්‍රැන් මැරෙනවා දකින්ට ඕන වුනේ කාට වුනත් එයාලා ඉක්මනටම දැනගනීවි දරුවා තාමත් ජීවතුන් අතර කියලා."

"මම හිතාගෙන හිටියෙ මගේ කෙල්ලො දෙන්නව බලන්ට..."

"ඒක ලොකු මෝඩ වැඩක්." සුළැඟීල්ලා කීවේ ය. "රතු බලකොටුවෙ හැමතැනම ඇස් තියෙනවා. අනික දරුවො දන්නෙ නෑ මොනාද කියන්ට ඕන මොනාද කියන්ට ඕන නැත්තෙ කියලා."

"එයා කියන්නෙ ඇත්ත මගේ වස්තුව." නෙඩ් කීවේ ඇයව වැළඳගනිමිනි. "සෙර් රඩ්‍රික් එක්ක ආපහු වින්ටර්ෆෙල්වලට යන්ට. මම කෙල්ලො දෙන්නව බලාගන්නම්. ඔයා ගෙදර ගිහිල්ලා අපේ පුතාලව පරෙස්සමින් බලාගන්ට."

"ඔබ කියන විදියට මගේ උතුමානනි." ඇය හිස එසවූ අතර නෙඩ් ඇගේ දෙතොල් සිප ගත්තේ ය. ඇ‍ගේ තුවාල වුනු අතැඟිලි දැඩිව ඔහුගේ පිට බදාගත්තේ සදහටම සිය දෑත් තුළ ඔහුව සඟවා රැකවරණය දීමට මෙනි.

"උතුමානනුයි ආර්යාවයි කැමතිද නිදන කාමරයක් පාවිච්චි කරන්ට?" සුළැඟිල්ලා ඇසුවේ ය. "ඒ වුනත් මම ඔබට අනතුරු අඟවන්ට කැමතියි ස්ටාර්ක්. මෙහෙදි අපි ඒ වගේ දේ වෙනුවෙන් ගාස්තුවක් අය කරනවා."

"අපට ටික මොහොතක් තනිවෙන්ට දෙන්ට. එච්චරයි මම ඉල්ලන්නෙ." කැට්ලින් කීවා ය.

"හොඳයි." සුළැඟිල්ලා දොර දෙසට ගියේ ය. "ගොඩක් වෙලා ගන්ට එපා. රජතුමාගෙ අතයි මමයි බලකොටුවෙ නැහැයි කියලා කවුරුහරි දැනගන්ට කලින් අපි පිටත් වෙන්ට ඕන."

ඔහු වෙත ගිය කැට්ලින් සිය දෑතින් ඔහු ගේ දෑත් අල්ලා ගත්තා ය. "ඔබ මට කරපු උදවු මම අමතක කරන්නෙ නෑ පෙටයර්. ඔබේ සෙබළු මාව හොයාගෙන ආපු වෙලාවෙ මම දැනගෙන හිටියෙ නෑ මම යන්නෙ යාළුවෙක් ගාවටද නැත්තම් සතුරෙක් ගාවටද කියලවත්. මට මුනගැහුනෙ යාළුවෙක්. නෑ, මට මුනගැහුනෙ මට නැතිවුනයි කියලා මම හිතාගෙන හිටපු සහෝදරයෙක්."

පෙටයර් බේලිෂ් මඳ සිනහවක් පෑවේ ය. "මට ඇඬුම් යන්ට එනවා වගේ මගේ ආර්යාවනි. කාටවත් කියන්ට එපා. මම අවුරුදු ගානක් රාජසභාවට ඒත්තු ගන්නන්ට හැදුවෙ මම බොහොම නපුරු, ක්‍රෑර කෙනෙක් කියලයි. ඒ ඔක්කොම උත්සාහය වතුරෙ යනවා දකින්ට මට ඕන නෑ."

ඔහු ගේ මේ වදන්වලින් බිඳක්වත් නෙඩ් විශ්වාස නොකලේ ය. එනමුදු සිය ස්වරය ආචාරශීලී මට්ටමක පවත්වා ගැනීමට ඔහු උත්සාහ කලේ ය. "ඔබට ම‍ගෙත් ස්තූතිය බේලිෂ් උතුමානනි."

"ආහ්! අන්න ඒක නම් හරිම වටිනා දෙයක්." සුළැඟිල්ලා කීවේ දොරින් පිටවෙමිනි.

ඔවුන්ට පිටුපසින් දොර වැසුනු පසු නෙඩ් සිය බිරිඳ දෙසට හැරුනේ ය. "ඔයා ගෙදර ගිය ගමන්ම මගේ මුද්‍රාව යටතේ පනිවුඩ යවන්ට හෙල්මන් ටෝල්හාර්ට්ටයි, ගැල්බට් ග්ලවර්ටයි. ඒ දෙන්නම දුනුවායො සීය ගානෙ එකතු කරලා මෝට් කේය්ලින් බලකොටුවට යවන්ට ඕන. හොඳ මුරණ්ඩු දුනුවායන් දෙසීයකට පුළුවන් හමුදාවක් ආවත් 'බෙල්ල' අල්ලන් ඉන්ට. මැන්ඩර්ලි උතුමානන්ට දන්වන්ට ධවල වරායෙ තියෙන ලොකු පොඩි බලකොටු හැම එකක්ම අලුත්වැඩියා කරලා ආරක්ෂාව තර කරන්ටයි කියලා. ඒත් එක්කම මට ඕන අද ඉඳන් තියන් ග්‍රේජෝයි ගැන ඇහැ ගහගෙන ඉන්ට. යුද්ධයක් ඇතිවුනොත් අපට එයාගෙ තාත්තාගෙ නැවු ටික උවමනා වෙනවා."

"යුද්ධයක්?" කැට්ලින් ගේ මුහුණේ ඇඳුනු බිය පැහැදිලිව විද්‍යමාන විය.

"ඒක එහෙම නොවෙන්ටත් පුළුවන්." නෙඩ් ඇයට පොරොන්දූ වූයේ එසේ නොවේවායැයි පතමිනි. ඔහු නැවතත් ඇයව සිය දෝතට මැදිකර ගත්තේ ය. "දුර්වල තැනක් දැක්කොත් ලැනිස්ටර්ලාගෙන් කිසිම සමාවක් හම්බවෙන්නෙ නෑ. ඒරිස් ටාර්ගේරියන් ඒක තේරුම් ගත්තා, ඒත් අවාසනාවට එතකොට පරක්කු වැඩියි. ඒ වුනත් මම හිතන්නෙ නෑ රාජධානියෙ බලය ඔක්කොම තමන් අතට ගන්නකම් එයාලා උතුරට පහරදෙන්ට ලෑස්ති වෙයි කියලා. ඒක එයාලට නොලැබෙන තැනට තමා අපි වැඩ කරන්ට ඕන. කිසිම දෙයක් වෙනස් නොවිච්ච ගානට මම දිගටම මේ කෝලම නටන්නම්. අමතක කරන්ට එපා ඇයි මම මෙහාට ආවෙ කියලා මගේ වස්තුව. ජොන් ඒරින්ව මරලා දැම්මෙ ලැනිස්ටර්ලායි කියලා මට සාක්කි හොයාගන්ට පුළුවන් වුනොත්..."

සිය දෑත් තුළ කැට්ලින් වෙවුලනු නෙඩ්ට දැනින. "එහෙම වුනොත්?" ඇය ඇසුවා ය. "ඊට පස්සෙ මොකක්ද කරන්නෙ මගෙ වස්තුව?"

වඩාත්ම අන්තරාදායක කොටස එය වනු ඇති බව නෙඩ් දැන සිටියේ ය. "හැම යුක්තියක්ම ගලන් එන්නෙ රජතුමාගෙනුයි." ඔහු ඇයට කීවේ ය. "ඇත්ත මොකක්ද කියලා මම හොයාගත්තට පස්සෙ මම රොබර්ට් මුනගැහෙන්ට යන්ට ඕනමයි." ඒත් එක්කම මම ප්‍රාර්ථනා කරන්ට ඕන රොබර්ට් තාමත් මම දැනගෙන හිටපු මිනිහමයි කියලා. මම ප්‍රාර්ථනා කරන්ට ඕන මම හිතා ඉන්න අන්දමට රොබර්ට් වෙනස් වෙලා නැහැයි කියලා. ඔහු නිහඬවම තමාටම තෙපලුවේ ය.


Petyr Baelish: “The master of coin finds the money. The king and the Hand spend it.”