Monday, 25 August 2014

කැට්ලින් - 03-1


නෙඩ් සහ දරුවන් පිටව ගොස් දින අටකට පසු රාත්‍රියේ මේස්ටර් ලුවින් ඇය හමුවීම පිනිස පැමිණියේ ය. ඔහු ගේ එක් අතක පහනක් ද අනිත් අතේ ආදායම් වියදම් වාර්තාවක් ද විය. "මේ ගනන් මිනුම් ටික ගැන බලන්ට ඕන කාලෙ හොඳටම පහුවෙලා මගේ ආර්යාවනි. ඔබ සතුටු ඇති මේ රාජකීය සංචාරය නිසා අපට කොච්චර වියදම් වෙලා ති‍යෙනවද කියලා දැනගන්ට."

ලෙඩ ඇඳේ වැතිරී සිටිනා බ්‍රැන් දෙස බැල්මක් හෙලූ කැට්ලින් ඔහු ගේ නළලට වැටී තිබුනු කෙස් රොදක් අතින් පිසදා හැරියා ය. ඔහු ‍ගේ කොණ්ඩය දිගට වැවී තිබුනු අතර ඉක්මනින්ම එය කපා දැමිය යුතු යැයි ඇය සිතුවා ය. "මට ඔය ගනන් මිනුම් ගැන බලන්ට කිසිම ඕනකමක් නෑ මේස්ටර් ලුවින්." ඇය පිළිතුරු දුන්නේ බ්‍රැන් වෙතින් දෑස් මෑත් නොකර ය. "මම දන්නවා ඒ සංචාරය නිසා අපට මොනවද වියදම් වුනේ කියලා. ඔය පොත් ටිකත් අරන් යන්ට."

"මගේ ආර්යාවනි, රජතුමාගෙ පිරිවර සෑහෙන්න කාලා බීලා තියෙනවා. අපි ඉක්මනටම ආයෙමත් අපේ ගබඩා පුරවගන්ට ඕන-"

"මම කිවුවෙ ඔය පොත් ටිකත් අරන් මෙතනින් යන්ට කියලයි. නිවාස බාරකාරයා ඔය දේවල් ගැන හොයලා බලයි."

"අපට නිවාස බාරකාරයෙක් නෑ. පූල් දකුණට ගියා එඩාර්ඩ් උතුමානන් එක්ක කින්ග්ස් ලෑන්ඩින්ග්වල එතුමාගෙ නිවාස රාජකාරි බාරගන්ට."

"ආහ්! ඔවු. මට දැනුයි මතක් වුනේ." බ්‍රැන් බොහෝ සෙයින් සුදුමැලි වී ඇතැයි ඈ සිතුවා ය. ඔවුන් ඔහු ‍ගේ ඇඳ කවුළුව අසලට ගෙන ගියහොත් සමහරවිට ඔහුට උදා හිරු එළිය ලැබෙනු ඇත.

දොර අසල තිබුනු පහන් රඳවනයක සිය පහන රැඳවූ මේස්ටර් ලුවින් මඳක් තාවර වුනේය. "අපි හැකි ඉක්මනින් කරන්ට ඕන පත්කිරීම් වගයක් තියෙනවා මගේ ආර්යාවනි. නිවාස බාරකාරයාට අමතරව අපට ඕන ජොරී වෙනුවට මාලිගාරක්ෂක බලකායට අලුත් ප්‍රධානියෙක්. එතකොට, අස්හලට අලුත් ප්‍රධානියෙක්-"

"අස්හලට ප්‍රධානියෙක්?"

"එහෙමයි මගේ ආර්යාවනි. හලන් දකුණට ගියා එඩාර්ඩ් උතුමානන් එක්ක. ඒ නිසා-"

"මගේ පුතා මෙතන අත පය බිඳිලා මැරෙන්ට වැටිලා ඉන්නවා ලුවින්. ඒ අස්සෙ ඔබ එනවා අලුත් නිවාස බාරකාරයෙක් පත්කරන එක ගැන කතාකරන්ට. ඔබ හිතනවද ඉස්තාලවල මොකක් වුනත් ඒකෙන් මට වැඩක් ති‍යෙනවය කියලා? වින්ටර්ෆෙල්වල ඉන්න හැම අශ්වයෙක්ම මම බොහොම සන්තෝසයෙන් මගෙ අතින්ම මරලා දාන්නම් ඒ‍කෙන් බ්‍රැන්ට සනීප වෙනවනම්. ඔබට ඒක තේරුනාද?"

ඔහු හිස පහත් කලේ ය. "එ‍හෙමයි මගේ ආර්යාවනි. ඒ වුනත් මේ පත්කිරීම්-"

"මම ඒ පත්කිරීම් ගැන බලන්නම්." රොබ් කීවේ ය.

ඔහු ඇතුළුවන හඬ කැට්ලින්ට නොඇසුනද රොබ් දොරකඩ සිට ඈ දෙස බලා සිටියේ ය. තමා මහහඬින් ලුවින්ට කෑ ගැසුවා වන්නට ඇතැයි කැ‍ට්ලින් ලැජ්ජාවෙන් කල්පනා කලා ය. ඇයට මේ කුමක් සිදු වී ද? ඇයට නිතරම දැඩි විඩාවක් දැනෙන්නට වූ අතර සෑමවිටම දැඩි හිසරදයකින් ද පෙලුනා ය.

කැට්ලින් දෙසින් හිස හැරවූ මේස්ටර් ලුවින් රොබ් දෙස බැලී ය. "මම ලැයිස්තුවක් හැදුවා, මේ තනතුරුවලට අලු‍තෙන් පත් කරන්ට සුදුසුයි කියලා මම හිතපු." ඔහු කීවේ සාක්කුවකින් ගත් කොළ කැබැල්ලක් රොබ් වෙතට පිරි නමමිනි. ඇ‍ගේ පුතා ඒ ලැයිස්තුව දෙස බැල්මක් හෙලී ය. "මේ අය හොඳ මිනිස්සු. අපි මේ ගැන හෙට කතා කරමු." ඔහු ලැයිස්තුව නැවත මේස්ටර් අතට බාර දුනි.

"බො‍හොම හොඳයි මගෙ උතුමානනි."

"ඔබ දැන් පිටවෙලා යන්ට." රොබ් කීය. හිස නැමූ මේස්ටර් ලුවින් පිටවී ගියේ ය. ඔහුට පිටුපසින් දොර වැසූ රොබ් ඈ දෙසට හැරුනේ ය. ඔහු ඉණ පැළැඳි අසිපත ඇය නිරීක්ෂණය කලා ය. "අම්මා! ඔයා මොකක්ද මේ කරන්නෙ?"

රොබ් ‍ගේ විලාසය තමා වැනිම වී යැයි කැට්ලින් සෑමවිටම කල්පනා කලා ය. ඔහුටත් ටලී වරුන්ට මෙන් රතු-දුඹුරු කෙස් හා නිල් ඇස් තිබින. එනමුදු සිය දිවි‍යේ ප්‍රථම වරට අද දින ඈ ඔහු ගේ මුහුණුවර තුළින් එඩාර්ඩ් ස්ටාර්ක් දිටී ය. උතුර මෙන්ම දැඩි පරුෂ මුහුණක්! "මම මොකක්ද කරන්නෙ? ඔයා කොහොමද එහෙම දෙයක් අහන්නෙ? ඔයා මොකක්ද හිතන්නෙ මම මොනවා කරනවා කියලා? මම ඔයාගෙ සහෝදරයා ගැන හොයා බලනවා. මම බ්‍රැන් ගැන හොයා බලනවා."

"ඔයා හිතන්නෙ ඔයා එහෙම කරනවා කියලද? බ්‍රැන්ට තුවාල වුන දවසෙ ඉඳන් ඔයා මේ කාමරෙන් පිටවුනේ නෑ. තාත්තලයි නංගිලයි දකුණට පිටත්වෙලා යද්දී ඔයා අඩු ගානෙ ගේට්ටුව ගාවට ආවෙවත් නෑ."

"මම එයාලට මෙතන ඉඳන් ආයුබෝවන් කිවුවා. එයාලා පිටත් වෙලා යන හැටි කාමරේ ජනේලෙන් බලන් හිටියා." දකුණුකරය බලා පිටත් වී නොයන්නැයි ඇය නෙඩ් ‍ගෙන් බැගෑපත්ව අයැද සිටියා ය. විශේෂයෙන්ම මේ සිදුවීමෙන් පසු සෑම දෙයක්ම වෙනස් නොවී ද? ඔහු එය නොදකින්නේ මන්ද? එනමුදු තමා ගත් තීරණය වෙනස් කල නොහැකි බවත් තමාට වෙනත් විකල්පයක් ‍නොමැති බවත් නෙඩ් ඇයට කියා සිටියේ ය.

"මට එයාව තනියම මෙතන දාලා යන්ට බෑ. මොහොතකටවත් බෑ. ගතවෙන හැම මොහොතක්ම එයාගෙ අන්තිම මොහොත වෙන්ට පුළුවන්. මට මෙතන ඉන්ට ඕන එයා.. එයා.." සිය පුත්‍රයා ගේ අප්‍රාණික අත සිය සුරතින් ගත් ඇය එහි ඇඟිලි අතර සිය ඇඟිලි රුවා ගත්තා ය. ඔහු කෙතරම් කෙට්ටුද. කෙතරම් දුර්වලද. ඔහු ගේ සිරුරේ ශක්තිය බිඳක්වත් ඉතිරිව නැත්තා සේ ය. එනමුදු ඔහු ගේ සම තුළින් ගලා එන ජීවයේ උණුසුම ඇගේ අතට දැනින.

රොබ් ගේ ස්වරය මෘදු විය. "එයා මැරෙන්ට යන්නෙ නෑ අම්මෙ. මේස්ටර් ලුවින් කිවුවනෙ අනතුරුදායක කාල සීමාව පහුකරලයි තියෙන්නෙ කියලා."

"මේස්ටර් ලුවින් වැරැදිනම් මොකද කරන්නෙ? බ්‍රැන්ට මාව ඕන වුන වෙලාවක මම මෙතන නොහිටියොත් මොකද වෙන්නෙ?"

"රිකන්ටත් ඔයාව ඕන." රොබ් තියුණු හඬින් කීවේ ය. "එයාට තවම අවුරුදු තුනයි. එයාට මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ මොනවද මේ වෙන්නෙ කියලා. එයා හිතන්නෙ හැමෝම එයාව දාලා ගිහිල්ලා කියලයි. ඉතින් එයා දවස තිස්සෙම මා පස්සෙන් එල්ලීගෙන එනවා, අඬ අඬා මගෙ කකුලෙන් ඇද ඇද. මම දන්නෙ නෑ එයත් එක්ක මොනා කරන්ටද කියලා." මඳකට නැවතුනු ඔහු යටි තොල හපාගත්තේ ය. "ඒ විතරක් නෙවෙයි අම්මෙ, මටත් ඔයාව ඕන. මම උත්සාහ කරනවා. ඒත් මට බෑ.. මට බෑ මේ හැම දෙයක්ම තනියෙන් කරන්ට." හැඟුම්බර වීම නිසා ඔහු ගේ හඬ බිඳී ගියේ ය. ඔහු තවමත් අවුරුදු දහහතරක ‍කොළු ගැටයෙකු බව කැට්ලින්ට සිහිපත් විය. නැගිට ඔහු වෙතට යාමට උවමනා වුවත් ඇගේ අතැඟිලි බ්‍රැන් ගේ අතැඟිලි හා පැටලී තිබින.

කවුළුවට එපිටින් වෘකයෙකු උඩුබුරලන්නට විය. එක් තත්පරයකට කැට්ලින් වෙවුලා ගියා ය.

"ඒ බ්‍රැන්ගෙ එකා." කවුළුව විවර කල රොබ් සීතල රාත්‍රී වාතයට කාමරය තුළට ඒමට අවකාශ සලසා දුන්නේ ය. උඩුබුරලෑම වඩාත් වැඩි හඬකින් නැගෙන්නට විය. එය තනිකම, සීතල, දුක හා බලාපොරොත්තු විරහිත බව යන සියල්ල එකට කැටි වූ හඬක් විය.

"අනේ එපා. බ්‍රැන්ට උණුසුම තියෙන්ට ඕන."

"උං සින්දු කියන හඬ එයාට ඇහෙන්ට ඕන." රොබ් කීවේ ය. වින්ටර්ෆෙල්හි කොහේදෝ සිට තවත් වෘකයෙක් පළමුවැන්නා ගේ හඬ ගෑමට එක් විය. ඊළඟට තුන්වැන්නෙක්. "ෂැගි ඩෝගුයි ග්‍රේ වින්ඩුයි. ඔයා පරිස්සමෙන් අහන් හිටියොත් ඔයාට වෙනස තේරෙයි."

කැට්ලින් වෙවුලන්නට විය. දුක, සීතල හා වෘකයින් ගේ උඩුබුරලෑම විසින් ඇයව අඩපණ කොට තිබින. ගතවුනු සෑම රැයක් පාසාම මේ උඩුබුරලෑමත්, සීත සුළඟත්, හිස් අඳුරු බලකොටුවත් විසින් ඇගේ පීඩනය මුව විට තෙක් පුරවා තිබින. ඇගේ කොළු පැටියා සිඳී බිඳී ගොස් මැ‍රෙන්නට වැටී සිටියි. ඇ‍ගේ දරුවන් අතරින් ආදරණීයම හා කරුනාවන්තම දරුවා. සිනාසෙන්නටත් ඉහළ නගින්නටත් ආසා කල බ්‍රැන්. නයිට්වරයකු වීමට සිහින මැවූ බ්‍රැන්. මේ හැම දෙයක්ම දැන් ඉතින් නැති වී ගොසිනි. ඔහු සිනාසෙන හඬ ඇයට නැවත කිසිදා අසන්නට නොලැ‍බෙනු ඇත. ඉකි බිඳිමින් සිය දෑත් බ්‍රැන් ගේ දෑතින් මුදා ගත් කැට්ලින් උඩුබුරලෑම් නෑසෙන සේ සිය දෙසවන් දෑතින් වසා ගත්තා ය. "උංව නවත්තන්ට." ඇය හඬමින් කීවා ය. "අ‍නේ උංව නවත්තන්ට. මට ඒක උහුලන් ඉන්ට බෑ. උං ඔක්කොම මරලා දැම්මත් කමක් නෑ. කොහොම හරි කරලා උංව නවත්තන්ට."

ඇය බිම ඇද වැටෙනු කැට්ලින් නොදත්තා ය. ඊළඟ මොහො‍තේ රොබ් සිටියේ ඇයව ඔසවා කාමරය කෙලවර වූ ඇගේ ඇඳ වෙතට රැගෙන යමිනි. "බය ‍වෙන්ට එපා අම්මා. උං එයාට අනතුරක් කරන්නෙ නෑ. ඔයාගෙ ඇස් දෙක පියාගන්ට. පොඩ්ඩක් විවේක ගන්ට. මේස්ටර් ලුවින් මට කිවුවා බ්‍රැන් වැටුනට පස්සෙ ඔයා නිදා ගත්තෙම නෑ කියලා."

"මට බෑ." ඇය හඬා වැටුනා ය. "දෙයියො මට සමාව දෙන්ට ඕන රොබ්. මට නිදාගන්ට බෑ. මම නිදි අතරෙ එයා මැරු‍නොත්? එයා මැරුනොත්, එයා මැරුනොත්..." වෘකයෝ තවමත් උඩුබුරලමින් සිටියහ. ඇය යටි ගිරියෙන් කෑ ගසමින් නැවතත් දෙසවන් වසා ගත්තා ය. "අනේ! දෙයියන්ගෙ නාමෙට ජනේලෙ වහන්ට."

"ඔයා මට පොරොන්දු වෙන්ට ටිකක් නිදාගන්නවා කියලා." රොබ් කවුළුව වෙතට ගියේ ය. නමුත් ඒ මොහොතේ වෘකයින් ගේ උඩුබුරලෑමට තවත් හඬක් එකතු විය. "බල්ලො." ඔහු කීවේ ඊට සවන් දෙමිනි. "ඔක්කොම බල්ලො බුරනවා. මේක කවදාවත් වෙලා නැති ‍දෙයක්..." ඔහු අමාරුවෙන් හුස්මක් අදිනු ඇයට ඊළඟ මොහොතේ ඇසිනි. "ගින්නක්." ඔහු මිමිනු‍වේ ය.

ගින්නක්? බ්‍රැන්! "අනේ මට උදවු කරන්ට." ඇය ඇඳ මත හිඳගත්තා ය. "බ්‍රැන්ව බේරගන්ට මට උදවු කරන්ට."

රොබ්ට ඇයව ඇසුනු බවක් නොපෙනිනි. "පුස්තකාල කුළුණ ගිනි ගන්නවා." ඔහු කීවේ ය.

විවර වූ කවුළුව තුළින් බුර බුරා නැගෙන ගිනි දළු වල රත් පැහැ ආළෝකය කැට්ලින් දුටුවා ය. ඇය සැනසුම් සුසුමක් හෙලුවා ය. බ්‍රැන්ට අනතුරක් නැත. පුස්තකාලය ඇත්තේ තාප්පයට එහායිනි. ගින්න මේ දෙසට පැතිරීමට අවස්ථාවක් නැත. "දෙයියන්ට ස්තූති වේවා!" ඇය මිමිනුවා ය.

රොබ් ඇය දෙස බැලුවේ ඇයට පිස්සු හැදීගෙන එනවාදැයි වැනි බැල්මකිනි. "අම්මෙ, මෙතනම ඉන්ට. මම ඉක්මනටම එනවා ගින්න නිවපු ගමන්ම." කාමරයට පිටතින් සිටි ආරක්ෂක භටයින්ට කෑගසමින් කාමරයෙන් පිටවූ රොබ් අඩියට දෙකට පඩිපෙළ බැස අතුරුදන් විය.

පිටත අංගනයේ කෑගැසීම් ඇසෙන්නට විය. කෑගැසීම්, දිව යන අඩි ශබ්ද, බියපත් වූ අශ්වයින් ගේ හේෂාරවය, බල්ලන් ගේ බිරුම් හඬ. එනමුදු මේ කලබැගෑනිය අස්සේ යම් දෙයක් මග හැරී ඇති බව ඇයට දැනුනි. වෘකයින් සිය උඩුබුරලෑම නවතා තිබින.

දෙවියන් ගේ සප්තාකාරයට ස්තූතිපූර්වක යාඥාවක් මිමිනූ ඈ කවුළුව වෙතට ගියා ය. තාප්පයට එහායින් පුස්තකාල කුළු‍ණේ කවුළු තුළින් ගිනිදැල් විහි‍දෙමින් තිබින. සියවස් ගනනාවක් තිස්සේ ස්ටාර්ක්වරුන් විසින් එකතු කරන ලද පොත් සම්භාරය ගැන ඇය දුකින් කල්පනා කලා ය. ඉන්පසු කවුළුව වසා දැමුවා ය.

ඇය කවුළුව වෙතින් ආපසු හැරුනු විට මිනිසකු කාමරය තුළ සිටගෙන සිටියේ ය.

"උඹ මෙතන ඉන්ට විදියක් නෑ." ඔහු නොරිස්සුම් මුහුණින් මිමිනී ය. "මෙතන කිසිම කෙනෙක් ඉන්ට විදියක් නෑ."

ඔහු වැරහැලි හැඳගත් අපිරිසුදු කුඩා මිනිසකු වූ අතර ඔහු වෙතින් දැඩිව අශ්ව ගඳ හැමී ය. ඉස්තාලවල වැඩකරන සියළුම මිනිසුන් කැට්ලින් දැන සිටි මුත් මේ එයින් එකෙකු නොවන බව ඇයට සහතික විය. ඔහුට තඹවන් කෙස් කළඹක් ද වැහැරුනු කෙට්ටු සිරුරක්ද හිමිව තිබූ අතර ඇට පෑදුනු මුහුණේ මලානික ගිලී ගිය ඇස් යුගලක් දැකිය හැකි විය. මේ සියල්ලටම අමතරව ඔහු ගේ අ‍තේ කිනිස්සක් තිබින.

කිනිස්ස දෙස එක්වරක් බැලූ කැට්ලින් බ්‍රැන් දෙස බැලීය. "නෑ." ඇය කීවා ය. එනමුදු ඒ වදන් ඇගේ උගුරේ හිරවුනු අතර පිටතට ඇසුනේ කෙඳිරියක් පමණි.

ඔහුට ඇය ඇසුනා වන්නට ඇත. "ඒක සහනයක් ‍වේවි. ඌ දැනටමත් මැරිලයි ඉන්නෙ."

"නෑ." කැට්ලින් පෙරට වඩා උස් ස්වරයෙන් කීවාය. "උඹට එහෙම කරන්ට බෑ." සැනෙන් ආපසු හැරුනු ඇය කවුළුව වෙතට දිවු‍‍වේ උදවු ඉල්ලා කෑගසනු පිනිසය. එනමුදු ඇය සිතුවාටත් වඩා වේගයෙන් මිනිසා ක්‍රියාත්මක විය. මුව වටා තරයේ සිරවී ගිය අතක් විසින් ඇගේ හිස පිටුපසට ඇද්ද අතර අනිත් අතේ වූ කිනිස්ස ඇගේ උගුරුදණ්ඩ කරා පැමිණියේ ය. මිනිසා වෙතින් හැමූ දුර්ඝන්ධය ඉවසිය නොහැකි තරම් විය.

දෑත් විහිදා කිනිසි තලය අල්ලාගත් කැට්ලින් සිය මුළු වැර යොදා එය උගුරෙන් ඈතට තල්ලු කලා ය. කැපුනු අතැඟිලි වලින් සිය දෑත් තෙත්වී යනු දැනුනද ඇය සිය ග්‍රහණය බුරුල් නොකලා ය. මුව වටා සිරවුනු අත තව තවත් තද වුනු අතර ඇයට හුස්ම ගැනීම අසීරු වන්නට විය. හිස පසෙකට හැරවූ ඈ මුව අයා සිය දත් අතරට අ‍තේ මාංසය සිරකරගෙන තදින් සැපුවා ය. මිනිසා වේදනාව නිසා උගුරෙන් හඬක් පිට කලේය. කැට්ලින් සිය දත් ‍දෙපෙළ තවත් තද කල අතර ඊළඟ මොහොතේ ඔහු අත අත්හැරියේ ය. මුවට දැනුනු ලේ රස අතරින් ලය පුරා හුස්මක් ගත් කැට්ලින් මහ හඬින් කෑ ගැසුවා ය. ඇගේ කෙස් කළඹින් අල්ලා ගත් මිනිසා ඇයව තමා වෙතින් ඉවතට ඇද්ද අතර පා පැකිළුනු කැට්ලින් බිම ඇද වැටින. මිනිසා තදින් හුස්ම ගනිමින් වෙවුලමින් ඇය අසලින් සිටගෙන සිටි‍ අතර ‍ලෙයින් පෙඟී ගිය තලයෙන් යුතු කිනිස්ස තවමත් ඔහු ගේ සුරතේ සිරවී තිබින. "උඹ මෙතන ඉන්ට විදියක් තිබුනෙ නෑ." ඔහු නැවත නැවතත් කීය.

ඔහුට පිටුපසින් ‍දොර වෙතින් මෑත් වූ සෙවනැල්ල කැට්ලින් දුටුවා ය. එය සිහින් කෙඳිරියක් බඳු කණට නෑසෙන තරමේ සියුම් ගෙරවීමක් වූ නමුදු මිනිසාට යමක් ඇසුනා වන්නට ඇත. මක්නිසාද යත් වෘකයා සිය පිම්ම පනින මොහොතේදීම ඔහු ආපසු හැරුනු බැවිනි. ඔවුන් දෙදෙනා බිම වැටී සිටි කැට්ලින් ගේ සිරුරට උඩින් එක පොදියට පෙරලී ගියහ. යටිගිරියෙන් කල මිනිසා ගේ කෑගැසීම තත්පරයකින් මොහොතක් පමණ ඇසුනු නමුදු ඊළඟ මොහො‍තේ වෘකයා හිස ගස්සා පස්සට ඇද්දේ මිනිසාගේ උගුරින් අඩක් රැඳි මුවින් යුතුව ය.

ඔහුගෙන් විසිරුනු රුධිරය උණුසුම් වර්ෂාවක් මෙන් සිය මුහුණ තෙමනු කැට්ලින්ට දැනුනා ය.

වෘකයා ඈ දෙස බලා සිටියේ ය. උගේ හොම්බ රත් පැහැ වී තිබුනු අතර මඳ අඳුරු කාමරය තුළ ඒ දෑස් රන්වන් පැහැයෙන් බැබලින. මේ බ්‍රැන් ගේ වෘකයා බව ඇය හඳුනා ගත්තා ය. "උඹට ස්තූතියි!" ඇය සෙමින් මිමිනුවා ය. ඉන්පසු වෙවුලමින් සිය දෑත් ඉහළට එසෙවුවා ය. සෙමින් සෙමින් ඇය වෙතට පැමින ඇගේ අතැඟිලි ඉව කර බැලූ වෘකයා සිය රළු තෙත් දිවෙන් අතැඟිලිවල වූ රුධිරය ලෙව කන්නට විය. ඇ‍ගේ අතැඟිලිවල වූ සියළු රුධිරය ලෙව කා පිරිසිදු කල ඌ නිහඬවම ආපසු හැරී බ්‍රැන් නිදන ඇඳට නැග ඔහු පසෙකින් වැතිරු‍නේ ය. කැට්ලින් උන්මාදයකින් මෙන් සිනා‍සෙන්නට පටන් ගත්තා ය.


Rob Stark: “I need you too. I’m trying but I can’t do it all by myself.”

66 comments:

  1. හම්මේ හරි වෙලාවටම ඈ...
    මං හිතුවෙ කැට්ලින් ටයි බ්‍රැන් ටයි බබා හම්බුණා කියල..
    හිහි

    ReplyDelete
    Replies
    1. වෙලාව හොඳයි නේද?

      Delete
    2. 'අම්මේ හරි වෙලාවටම ඈ' කියනකොට මම මුලින් හිතුවේ වෙලාවටම පබ්ලිෂ් කරලා කියලනේ...:D

      Delete
  2. හම්මෝ කැට්ලින් බේරුණ බේරිල්ලක්.මං හිතුවෙ ඉවරයි කියල.

    ReplyDelete
    Replies
    1. දෙයියො බැලුවා නේද?

      Delete
  3. "තාවර" වුනා කියන්නෙ මොකක්ද? ඒකත් ටයනුදේශයට විශේෂිත වචනයක්ද?

    ReplyDelete
    Replies
    1. තාවරවුනා කියල කියන්නෙ ( මම හිතන විදිහට ) ඔය ලතැවි ලතැවි ඉන්නෙ අපි උනත් සමහර වෙලාවට , ගිහිල්ලත් බැහැ නොගිහිල්ලත් බැහැ වගේ :)

      Delete
    2. හිතා මතාම ප්‍රමාද වෙවී කල් මරනවට කියනවා තාවර වෙනවා කියලා. ඒක ට යනු කුමාරිගේ පැත්තේ විතරක් නෙවෙයි අපේ පැත්තෙත් නිතර භාවිත උන වචනයක් දැනට දශක දෙකකට විතර කලින්.. දැන් නම් මං හිතන්නේ භාවිතයනේ ඉවත් වෙමින් පවතින වචනයක්.

      “තාවර වෙවී ඉන්නේ නැතිව වරෙං බං යන්න තව වැඩ තියෙනවා“

      Delete
    3. තවර තවර ගෑවි ගෑවි ඉන්නව ? සිංහසොන්යාවියත් ටයනුරට ද? Time keeper of Hades කොහෙද?

      බුර් ශ්‍රීමතාණන් හෝ ටයනුකුමාරිකාව විසින් අවසාන වියත් දේශනය දෙන්න ඉස්සෙල්ල ලොම් හැලිච්ච, තටු නැවිච්ච, ඇට දියවුනු කාගෙවත් කොන්ට්‍රිබියුශන් එකක් නැද්ද?

      Delete
    4. මමත් ඔය වචනය නම් අසා ඇත.

      Delete
    5. මාරෙ කියන දේ හරි...
      පාවිච්චි වෙවී වෙවී තිබිල හැලෙන්න යන වචනයක්... ඒත් තාම කුරුණෑගලින් එහට්ට පොඩි භාවිතයක් තියේ...

      Delete
    6. Thanks.
      MR කිව්වට පස්සෙ තව මොනවද මෙහෙ? :-D

      Delete
    7. හහ්, ලොං හැලිච්ච, න‍ටු නැවිච්ච?
      මයෙ යස අගේට තිබ්බ වලිගෙයි , බූල් කෝට් එකයි සවුත්තු වුනේ අලින්ට උදව් කරන්න ගිහිල්ලා නෙවෙයි, ඔය කොන්ට්‍රිබියුෂන් වලට ගිහිල්ලම තමා.

      ඉතුරු වෙච්චි ඇට ක‍ටු ටිකත් දියවෙන්න ගෑස් චේම්බරේකට ඔබන්න ඉස්සෙල්ලා හිමීට ලුහුටලා මාරු වෙන එක ඇඟට ගුණයි :)

      Delete
    8. ආං දැක්ක නේද පදේ පෙරලලාගහපු හැටි? දැං කොහේද මේකෙ " තවර, තවර ගෑවි,ගෑවි ඉන්න" කතාවක් තියෙන්නෙ? ඔව්වට උත්තර බැන්දෝත් අපි නිකම්ම වල් නරි වෙනවා :)

      ඔය " තාවර" කියල දාලා තියෙන්නෙ ඇම? හහ්, අපි අහුවෙයි ඔව්වට?

      Delete
    9. දැන් ලොං නැත්නම් ඉතින් තාර වත් ගාගන්න වෙයි ගොඩ දොස්තරට කියල

      Delete
    10. හපොයි දෙයියනේ අර druid Getafix වගේ ඉන්න අපේ ජීවකයට නේද අර "ගොඩ වෙදා " කියල කිව්වෙ? :)

      Delete
    11. ගෝඩා වෙදා නොකියා ගොඩවෙදා කිව්වෙ මගෙ අහිංසක බව නිසා.
      Go get a fix from him Foxie

      Delete
    12. ස්තූතියි හැමෝටම! තාවර වෙනවා කියන්නෙ ඔය 'තැවරි තැවරි ඉන්නවා', 'ලතැවෙවී ඉන්නවා', 'හිතාමතාම නිකං බොරුවට කල්මරනවා' කියන අදහස දෙන වචනයක්. අපේ පැරැන්නන්ගෙ මරු වචන සෙට් එකක් තිබුනා. ඒත් අවාසනාවට දැන් දැන් ඒවා අභාවයට යනවා. ඒකමයි ඔය වචනය මගේ හිතට ආපු වෙලාවෙ වෙනසක් නොකර එහෙම්මම දැම්මෙ.

      ඕකටම තමා මම හිතන්නෙ 'දෙකට දෙවාරෙ ඉන්නවා' කියන්නෙත්.

      Delete
    13. ටැග් ගැහෙනවා කියන්නෙත් මේකටද අනේ...දන්නේ නැති හින්දයි ඇහුවේ. කට්ටිය එහෙම ලියනවා දැකලා තියෙනවා...:D :D

      Delete
    14. ගොඩ වෙදා , ගෝඩා වෙදා දෙකම එකයිනේ...:P

      Delete
    15. ටැග් ගැහෙන්නේ fb එකේනේ බොලන්

      Delete
    16. ගොඩ වෙදකම් සහ ගෝඩා වෙදකම් දෙකම දනිමි.

      Delete
  4. දැන් එතකොට නෙඩ් දකුණට ගිහිල්ලද.රුපවාහිනී කතාමාලාවේදී මට මතක විදියට ඔයට වඩා සිදුවීම් වගයක් වෙනවා නේ.රජතුමා වින්ටර්ෆෙල් වල ඉදිද්දී.ඉස්පොයිලර්ද මංදා.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න පෝලින් පනිනවා , රූපවාහිනී කතා මාලාව අපි බලල නැහැ අනේ :) පොතට වඩා කතාව වෙනස්කරල නේද ෆිල්ම් කරනකොට කරන්නෙ.

      Delete
    2. ඒවුනාට රූපවාහිනී කතමාලවෙත් පොඩි ගතියක් තියෙනවා.පොඩිමත් නෑ,ත්‍රාසජනක ඇග මෙව්වා වෙලා යන කොටස් තියෙනවා. :) ඒත් පොතට වඩා රුපවාහිනී කතා මාලාව වෙනස් විදියට හදලනම් ලොකු වෙනසක් ඔතනදි කරලා තියෙන පාටයි.

      Delete
    3. ඇඟ නම් මෙව්වා වෙනවා තමා. :P

      Delete
    4. පොතට වඩා ටීවී වෙනස්. දෙකටම වඩා බ්ලොග් එක වෙනස් වුනා නම් හොඳයි කියල ඉඳල හිටල හිතෙනව. ඒත් දැන් කියන්නෙ නෑ මොකද මේකෙ අවසානය ආසන්නයකටවත් ජීවත්වීමේ ආසාව තියන නිසා

      @DD of DD, ඇඟ මෙව්වවෙන්නෙ තාම තම නිශ්පාදනය පාවිච්චි කරේ නැද්ද , මොටානෝත් එක්ක?

      Delete
    5. ඇග මෙව්වා වෙනවා කියන්නේ..:D

      Delete
    6. මේ පොඩි එවුන්ට මෙව්වා කියන එක හොඳද මන්දා?

      ඔය කියන්නෙ ලමයෝ. හැන්දෑවට වැඩිහිටියො ඇඟේ පතේ අමාරුවට ගන්න අරිෂ්ඨයක් ගැන. ලඟ, ලඟ නමනව කියලත් කියනවා. හප්පා ඒක දිවිය අවුසදේ. අපේ දිලිසෙන වෙද මතත්තයා තමා ඕක පත අට ,එකට හින්ඳලා පෙරන්නෙ.

      Delete
    7. එන්ට එන්ට අරිශ්ටේ නවල දෙන්නම් :D
      funny thing is i do actually make medicines/solutions by පත අට එකට හිඳුවීම. wonder how මොටනෝ knows

      Delete
    8. Animal instincts Herr ගොඩDoktor, animal instincts !

      Delete
    9. TV series එකයි පොතයි දෙකක් දිමුත්. ඇත්තටම කියනවානං මමත් TV series එක බලලා නෑ. බලන්ට ආසාවකුත් නෑ.

      Delete
    10. @ප්‍රා,

      බ්ලොගේ වෙනස් තමා දෙකටම වඩා. පොඩ්ඩක් බලා ඉන්ටකෝ මෙයා..:P

      Delete
    11. Poddi is going to write an ending where jon marries a "high born foreign lady". She is said to have a peculiar propensity to pronounce some words in a weird way :O :P

      Delete
  5. කැට්ලින් නම් ඕනම නැහැ...

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං. සමහර වෙලාවට එයා ගැන කේන්ති එනවා. සමහර වෙලාවට දුක හිතෙනවා.

      Delete
    2. කැට්ලින් එපානම් වෙන කෙනෙක් තෝරගන්න.. හැබැයි ඩනේරිස් ඇරෙන්න... ;-)

      Delete
  6. කැට්ලින් හරි , ලෝකෙ විනාශ වෙනවා කිව්වත් තමුන්ගේ අසනීප වුන දරුවා ගැන හිතන එක අම්ම කෙනෙක්ගෙ ආදරණීය හැඟීමක්නෙ. බ්‍රැන්ගෙ වෘකයා වගේ සතෙක් ආරක්ෂාවට හිටිය නම් හොඳයි කියල හිතෙනවා....

    ReplyDelete
    Replies
    1. කැට්ලින්ට ඕනැ විදිහටම වැඩ වුනා නම් එතන වුර්කයක් ඉන්නෙ නෑ අම්මවයි පුතාවයි ආරක්ෂා කරන්න

      Delete
    2. අම්ම ලා කොහෙත් එකයි.හැබැයි කැට්ලින්ට මෙයට වඩා වගකීමක් තියෙන්න ඕනේනේ.දැන් නෙඩ් නැති එකේ ඒ වගකීම් පවා දරන්න ඇය හැඩ ගැහෙන්න ඕනේනේද ?

      Delete
    3. අම්මලා ඔය වෙලාවට තර්කානුකූලව කල්පනා කරනවා අඩුයි තමා නේ. අසනීපෙන් ඉන්න දරුවා ගැන තමා වැඩිය වදවෙන්නෙ.

      හැබැයි ඉතින් කැට්ලින් නිකම්ම අම්මා කෙනෙක් විතරක් නෙවෙයි. වං‍ශාධිපතියෙකුගෙ ආර්යාවක්. මේ වගේ දේට මුහුණ දෙන්ට එයා පුරුදුවෙලා ඉන්ට ඕන. සාමාන්‍ය අම්මා කෙනෙකුට වඩා වැඩියි එයාගෙ වගකීම්. තමන්ගෙ දරුවෙක් මැරුනා කියලවත් එයාට වගකීම් පැහැර හරින්ට බෑ.

      Delete
    4. Family, Duty Honour "ලු" නේ

      Delete
    5. මට මේක දැක්කාම ඉස්සර කාලේ කුමාරිහාමිලා ජාතිය, රට වෙනුවෙන් අර බඩ මහත නිලමෙලා එක්ක ගිය හැටි මතක් වෙලා පපුව නිකං මෙව්වා වෙලා ගියා. ('මෙව්වා' --- ඉහත කමෙන්ට් වලින් උපුටා ගන්නා ලදී... )

      Delete
    6. ඔය කොයි කාලේ වගේද?

      Delete
  7. ඉතා අවාසනාවන්ත ජිඟිබිරිස් එකක් නිසා මා සතුව දැනට mint condition A Feast for Crows පොත් දෙකක් ඇත. :(
    A Storm of Swords හෝ A Dance With Dragons සමඟ එය හුවමාරු කරගැනීමට කැමති පින්වතෙක් වෙතොත් POM අමතන්න.

    ReplyDelete
    Replies
    1. ඇයි බොලේ මේ බ්ලොග් එකේ දැන් පොත් විකුණන්ටත් පට්ටාන් අරන් නෙවැ. තෝන් කාසි, service charges එහෙම ගෙවනවයැ. ;-)

      Delete
    2. තරහ අවසර my lord, මේවා කියන්ට වෙන තැනක් නෑනේ :(

      Delete
    3. තරහ නෑ. අවසර දෙනවා. :-)

      නරකද ඒ ගමන්ම ikman.lk එකෙත් පොඩි advert එකක් දැම්මොත්? FB එකෙත් දාන්ට පුළුවන්. අර FB පේජ් එකක් තියෙනවා මම දැක්කා "සිහසුනට තරග වැද" කියලා.

      Delete
    4. @PoM,

      පිංවත් රාජ කුමාරය එහි යමක් දැමීමට නම් ඔබට මගෙන් අවසර ගත යුතුව ඇත. :D

      Delete
    5. පින්වත් අර්යාවනි, කොහෙද ? :P

      Delete
  8. දැන් එහෙනම් කැට්ලින්ට වෘකයගේ අගය හොදට තේරේවි.. බලමුකෝ ඉස්සරහට,

    ReplyDelete
    Replies
    1. වෘකයා කිවුවලු, "Well Rabbit, u just wait!" කියලා. :-)

      Delete
  9. රොබ් ට අවුරුදු 14 ද? ශිහ් !!! මම crush වෙලා හිටියෙ. ඒකත් ඉවරයි

    ReplyDelete
    Replies
    1. ඔයා තාම බැන්දේ නැද්ද ? :D

      Delete
    2. බැන්ද නම් තමයි........

      Delete
  10. අම්මෝ..! ඇති අතක් පයක් නොකැඩී ඔයින් ගියා...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. ඇඟිලි ටිකක් කැපුනා විතරයි නෙ... :-)

      Delete
  11. මෙවැනි කතා අධ්‍යයනය කිරීම පොත් ලියන්නට හිතාගෙන ඉන්න අයට ඉතා ප්‍රයෝජනවත්. සිද්ධි විස්තර කිරීම සහ ඒවා කතාවේ කාලත්‍රයටම සම්බන්ධ කිරීම ඉතා දක්‍ෂ ලෙස කරතිබෙන බව පෙනෙනවා.

    ReplyDelete
    Replies
    1. මමත් හරි ආසයි මේ පොතේ ආකෘතිය ගොඩ නංවලා තියෙන විදියට. ප්‍රධාන චරිත කීපයක් අරගෙන එයාලගෙ ඇහින් දකින විදියට. සමහර වෙලාවට ‍මේ චරිත ඉන්නෙ හැතැප්ම දාස් ගානක් ඈත. සමහර වෙලාවට ස්ථාන කීපයක සමාන්තරව යන සිදුවීම් කිහිපයක් එක් එක්කෙනාගෙ දෘෂ්ටියෙන් කියනවා. ඒවා එක එක තැන්වලදි එක්කහු වෙනවා. මාර ලොකු ව්‍යායාමයක්.

      Delete
  12. හපෝයි මං හිතුවෙ කැට්ලින් ඉවරයි කියලා.!

    ReplyDelete
  13. මමත් හිතුවේ කැත්ලින්ට ෂොට් එක හම්බුනා කියල.. බලන් ගියහම කතාව සෑහෙන දුර ගිහිල්ල මම නොහිටි ටිකේ.. රයිට් අනික් කොටස් ටික ඔක්කොම කියවල එන්නම් ආපහු මුල ඉඳල... නැත්තම් හොල්මන්. අර ග්ලොසරි එකටත් වඩා කාගේ කවුද කියල දාපු එක නම් නියමයි..

    ReplyDelete
  14. කොන්දේසි විරහිත ආදරය... හරියටම බව්වෙක්ගෙ වගේ..

    ReplyDelete