Friday 22 August 2014

ටිරියන් - 02


ප්‍රාකාරය කරා යන ගමන ඉතා දිගු වෙහෙසකාරී එකක් විය.

ටිරියන් ලැනිස්ටර් අන් ඕනෑම කෙනෙකු මෙන් භූමි සිතියම් ගැන දැන සිටියේ ය. නමුත් තව දුරටත් රජමාවතක් නොව පටු කැලෑ පාරක් වූ මේ 'රජමාවතේ' දෙසතියක් ගත කල පසු ඔහු අවබෝධ කරගත් කරුණක් වූයේ සිතියම් යනු එක් දෙයක් වන අතර එයින් නිරූපනය වන සැබෑ භූමිය යනු ඊට ඉඳුරාම වෙනස් දෙයක් බවයි.

ඔවුන් වින්ටර්ෆෙල්වලින් පිටත් වූයේ රජතුමා දකුණ බලා පිටත් වූ දිනයේමය. එදින සිහින් හිම වර්ෂාවක් වැටුනු අතර බලකොටුවට හා ඊට පිටින් වූ නගරයට ඔබ්බෙන් රජමාවතේදී සියළුම ධජ දරන්නන්, නයිට්වරුන්, අනිකුත් අශ්වාරෝහකයින් හා බඩු පැටවූ කරත්ත සැවොම දකුණු දෙසට හැරුනු අතර ටිරියන් සිය ගමන් සගයින් වූ බෙන්ජින් ස්ටාර්ක් හා ඔහු ගේ බෑනනුවන් සමග උතුරු දෙසට හැරුනි.

එතැන් පටන් කාලගුනය ක්‍රමයෙන් සීතල වන්නට පටන්ගත් අතර අවට පරිසරය වඩ වඩාත් නිහඬ වන්නට විය.

පාරේ බටහිර දෙස අඳුරු රළු මිටි කඳුගැටවලින් සමන්විත වූ අතර එම කඳු මුදුන් උසැති ආරක්ෂක මුරකුළුණු වලින් ගැවසී ගත්තේ ය. නැගෙනහිර දෙසට වූ භූමිය ක්‍රමයෙන් පහළට බෑවුම් වී ගොස් ඉමක් නොපෙනෙන තැනිතලාවකින් කෙලවර විය. පටු ගංගාවල වේගයෙන් ගලා යන දිය පහරට ඉහළින් ගලින් බැඳුනු පාලම් විසින් ඉවුරු දෙපස යා කෙරින. ගලින් හා දැවයෙන් නිමවූ බලකොටු වටා කුඩා ගොවිබිම් හා ගම්මාන විසිර තිබින. පාරේ ගමනාගමනය යහපත් තත්ත්වයක පැවති අතර රාත්‍රිය ගත කිරීමට ග්‍රාමීය මට්ටමේ තානායමක් සොයාගැනීම අසීරු කරුණක් නොවී ය.

එනමුදු වින්ටර්ෆෙල් සිට දවස් තුනක ගමනකින් පසු මෙම ගොවිබිම් තුනී වී ගොස් ඒ වෙනුවට වනාන්තරය මතුවන්නට විය. ඔවුන්ට අමතරව රජමාව‍තේ ගමන් කරන්නෙකු සොයාගැනීම උගහට විය. ගෙවෙන සෑම සැතපුමක් පාසාම කඳු වල උස ක්‍රමයෙන් වැඩි වන්නට වූ අතර පස් වන දවස වෙද්දී ඒවා හිමෙන් වැසුනු මුදුන් සහිත දැවැන්ත කඳු බවට පරිවර්තනය වී තිබින.

රජමාවත මේ වන විට වනාන්තරය මැද්දෙන් වැටී තිබුනු අතර ටිරියන් කිසිදා නොදුටු තරම් පැරණි අඳුරු පැහැ වූ ඕක් සහ සදාහරිත ගස් වලින් ද, කටුපඳුරු හා ගොකටුවෙන්ද මේ වනය ගැවසී ගත්තේ ය. බෙන්ජින් එය නම් කලේ 'වෘක කැලෑව' ලෙසිනි. එම නමටම ගැලපෙන පරිද්දෙන් රාත්‍රිය පුරාවටම ඔවුනට වෘක රංචුවල උඩුබුරලෑම අසන්නට ලැබින. ජොන් ස්නෝව් ගේ ඇලි වෘකයා මේ උඩුබුරලෑම් හඬට තියුණුව සවන් දුන්නද කිසි විටෙකත් පිළිතුරු හඬක් නගන්නට උත්සාහයක් නොදැරී ය. මේ සතා ගේ කිසියම් අපූර්වත්වයක් ඇතැයි ටිරියන්ට හැඟෙන්නට පටන්ගෙන තිබින.

මේ වන විට ඔවුන් ගේ කණ්ඩායමේ සාමාජිකයින් ගණන අටක් දක්වා වැඩි වී තිබින. ටිරියන් සිය සහය පිනිස ලැනිස්ටර් මිනිසුන් දෙදෙනෙකු කැඳවාගෙන ගිය අතර බෙන්ජින් ස්ටාර්ක් සතුව සිය බෑනා හා නිශා රැකුම් බලකාය වෙනුවෙන් නව අශ්වයින් කිහිප දෙනෙක් සිටියහ. නමුත් වෘක කැලෑව ආසන්නයේ වූ කුඩා වනගත බලකොටුවක් සමීපයේ දී ඔවුන්ට තවත් කළු සොහොයුරෙක් එකතු විය. සිය ගත දැවටුනු ඇඳුම් තරමටම කළු පැහැ වූ රැවුලකින් මුව වසාගත් යොරේන් වක ගැසුනු, අප්‍රසන්න මිනිසකු වුවද ගලක් මෙන් දැඩි දරදඬු මිනිසකු විය. ඔහු සමග පැමිණි පිටිසර කොල්ලන් දෙදෙනා ස්ත්‍රී දූෂණය වෙනුවෙන් වරදකරුවන් වී ලද කප්පාදු කිරීමේ දඬුවම වෙනුවට නිශා රැකුමට සේවය කිරීම තෝරාගත්තවුන් වූහ.

මිනිසුන් පස්දෙනෙක්, කොල්ලන් තිදෙ‍නෙක්, ඝෝරවෘකයෙක් හා අශ්වයන් විසිදෙනෙක්. මේස්ටර් ලුවින් විසින් බෙන්ජින් ස්ටාර්ක් හට ලබා දුන් කපුටන් පිරි කූඩුවද සමගින් ගත් විට රජමාවතේ ගමනට එක් වූ අපූරුතම පිරිසක් මෙසේ ඉදිරියට ඇදෙන්නට වූහ.

ජොන් ස්නෝව් විසින් කැළඹුනු මුහුණින් යුතුව වරින් වර යොරේන් සහ ඔහු ගේ බුම්මාගත් ගමන් සගයින් දෙදෙනා දෙසට හෙලනු ලබන බැල්ම ටිරියන් නිරීක්ෂණය කර තිබින. යොරේන් ගේ එක් උරහිසක් ඇඹරී තිබුනු අතර ඔහු වෙතින් දැඩි දුගඳක් වහනය විය. ඔහු ගේ කොණ්ඩය හා රැවුල හැඩපළු ගෙතී තිබුනු අතර එහි උකුණන් පිරී තිබින. ඔහු ගේ අණ්ඩ දැමූ පරණ ඇඳුම් කලාතුරකින්වත් සේදූ බවක් පෙ‍නෙන්නට නොතිබින. ඔහු ගේ තරුණ ගමන් සගයින් දෙදෙනා වෙතින් ඔහුටත් වඩා දුගඳ වහනය වූ අතර ඔවුන් ගේ ක්‍රෑර මුග්ධ භාවය පැහැදිලිවම දකින්නට හැකි විය.

නිශා රැකුම සෑදී තිබෙන්නේ සිය මාමා වැනි පුද්ගලයින්ගෙන් බවට මේ කොළුවා වැරැදි උපකල්පනයක් කර ඇති බවට කිසිදු සැකයක් නොවී ය. එසේ නම් යොරේන් සහ ඔහු ගේ ගමන් සගයින් දෙදෙනා ඔහුව ඒ සිහිනයෙන් අවදි කිරීමක් බඳු විය. ටිරියන්ට සැබැවින්ම මෙම කොළුවා ගැන කණගාටුවක් දැනෙන්නට විය. ඇත්තෙන්ම ඔහු තෝරාගෙන තිබුනේ දුෂ්කර ජීවිතයකි... එසේ නැතහොත් කවුරුන් හෝ කෙනෙකු විසින් ඔහු වෙනුවෙන් මෙම දුෂ්කර ජීවිතය තෝරා තිබින.

එනමුදු බෙන්ජින් ස්ටාර්ක් කෙරෙහි නම් ඔහු ගේ මේ අනුකම්පාව යොමු වූ‍යේ මඳ වශයෙනි. සිය සොහොයුරා මෙන්ම ලැනිස්ටර්වරුන් කෙරෙහි නුරුස්නා බවක් බෙන්ජින් තුළද තිබින. ප්‍රාකාරය වෙත යාමේ සිය අභිප්‍රාය ටිරියන් විසින් මුලින්ම හෙලි කල මොහොතේ ඔහු කිසිසේත්ම සතුටට පත් වූයේ නැත. "මම දැන්මම ඔබට අනතුරු අඟවනවා ලැනිස්ටර්. ප්‍රාකාරෙට ගිහින් තානායම් හොයන්ට ලෑස්ති වෙන්ට එපා." ඔහු ටිරියන් දෙස බලා කී‍වේ ය.

"ආහ්! මට නම් කිසිම සැකයක් නෑ ඔබ මට ඉන්ට ඔය කොහේ හරි තැනක් හොයලා දෙයි." ටිරියන් පිළිතුරු දුන්නේ ය. "ඔබට පේනවනෙ මම කොච්චර පොඩි එකෙක්ද කියලා."

කෙසේ වුවද රැජිණ ගේ සොහොයුරාට බැහැයි කියන්නට තරම් කිසිවෙකුත් එඩිතර නොවුනු අතර එම ගැටළුව එතැනම විසඳී ගියේ ය. එනමුදු මේ ඇතිවුනු තත්ත්වය ගැන ස්ටාර්ක් කොහෙත්ම සතුටු නොවී ය. "මම සහතිකයෙන්ම කියනවා, ඔබ මේ ගමන නිසා කිසිම වි‍නෝදයක් ලබන්නෙ නෑ කියලා." පැවසූ වදන් සනාථ කරන්නට මෙන් ගමන ඇරඹූ ‍මොහොතේ සිට ටිරියන්ට ගමන එපා කරවීමට කල හැකි සෑම දෙයක්ම සිදු කිරීමට බෙන්ජින් වග බලා ගත්තේ ය.

ගමනේ පළමු සතිය නිමා වන විට නිරන්තර අසු ධාවනය නිසා ටිරියන් ගේ කළවා හිරි වැටී තිබුනු අතර දෙපා ඇදුම් කමින් තිබින. මේ සියල්ලටත් වඩා ඔහු ඇටකටු වලට යන තෙක්ම සීතලෙන් මිදී තිබින. එසේ වතුදු ඔහු කිසිදු අවලාදයක් නොනගා සියල්ල උසුලා ගත්තේ බෙන්ජින් ස්ටාර්ක්ට සතුටු විය හැකි කාරණයක් ලබා නොදීමට තීරණය කරමිනි.

මේ සියල්ල අතරේ ටිරියන් විසින් ස්ටාර්ක්ට එරෙහිව සියුම් ජයක්ද ලබා තිබින. නිශා රැකුමේ නිර්භීත කම හා ආගන්තුක සත්කාරය නමින් ස්ටාර්ක් විසින් ඔහුට පරණ, පුස් ගඳ හමන, වලස් සමින් කල ඇතිරිල්ලක් පිරිනැමූයේ ඔහු එය ප්‍රතික්ෂේප කරතියි යන බලාපොරොත්තුවෙනි. වින්ටර්ෆෙල් සිට එන ගමනේ දී ටිරියන් සිය උණුසුම්ම ඇඳුම් රැගෙන විත් තිබුනද වැඩි දිනක් යන්නට මත්තෙන්ම ඔහුට අවබෝධ වූයේ ඒවා ප්‍රමාණවත් ‍නොවන බවයි. උතුරේ ශීතය අධික වූ අතර දිනෙන් දිනම එය තව තවත් වැඩි විය. රාත්‍රියේ උෂ්ණත්වය සෑමවිටම හිම මිදෙන මට්ටමෙන් පහත බැස තිබින. සුළං හමද්දී ශීතය ඇටමිදුළු පසා කරගෙන ගියේ හරියටම පිහියෙන් අනින්නාක් මෙනි. සිය ධීර වීර පරිත්‍යාගය ගැන ස්ටාර්ක් දැන් බෙ‍හෙවින් පසු තැවෙනවා නිසැක ය. ඔහු නොදැන සිටි පාඩම වූයේ ලැනිස්ටර්වරු කිසිදා දයාන්විතව හෝ වෙන මොනයම් අයුරකින් හෝ තමා වෙත පිදුනු දෙයක් ප්‍රතික්ෂේප කර නොමැති බවයි.

මෙසේ වෘක කැලෑව තුළින් උතුරට යද්දී බලකොටු හා ගොවිබිම් ක්‍රමයෙන් අඩු වී ගොස් අන්තිමේදී නැත්තටම නැති වී ගියේය. තවදුරටත් හිසට වහළක් වෙනුවෙන් ඔවුනට අනුන් මත යැපිය නොහැකි වූ අතර තමන් ගෙන ආ කූඩාරම් වල පිහිට පතන්නට සිදු විය.

මෙවැනි වේලාවට ස්ටාර්ක්, යොරේන් හා අනිකුත් මිනිසුන් විසින් කඳවුර ඉදිකර, අශ්වයින්ට සාත්තු කර අනිකුත් වැඩ කටයුතුවල නියැලෙද්දී අතකින් ගත් පොතක් හා වයින් බඳුනක් ඇතිව විවේක ගන්නට ටිරියන් පුරුදුව සිටියේ ය. ‍මේ දේවල් සඳහා අනිකුන් ඔහුගෙන් උදවු බලාපොරොත්තු නොවූ අතර එසේ කරන්නට ගියහොත් උදවුවලට වඩා තමාගෙන් ඔවුනට ලැබෙන්නේ බාධා බව ටිරියන් ද අත්දැකීමෙන් දැන සිටියේ ය. එඩාර්ඩ් ස්ටාර්ක් උතුමානන් ගේ අනුමැතිය යටතේ ඔහු වින්ටර්ෆෙල්හි පුස්තකාලයෙන් දුර්ලභ පොත් කිහිපයක් ඉල්ලාගෙන තිබින. ඉදින් අද දිනයේ දී මකරුන් ගේ ඉතිහාසය හා ගතිගුණ ගැන ලියැවුනු පොතක් ද ගිම්හාන දූපත්වල නිපදවන ලද සුමිහිරි වයින් බඳුනක් ද අතින් ගත් ටිරියන් කඳවුරේ කලිකලහයෙන් පිටමන් වී නිදහස් තැනකට පිය මැන්නේ ය.

හිම මෙන් සීතල සුපිරිසුදු දිය පහරක් අසබඩ පිහිටි පැරැණි ඕක් ගසක් සෙවනේ සිය වලස් සම් ඇතිරිල්ල එලු ටිරියන් වයින් උගුරක් පානය කර මකරුන් ගැන කියවන්නට විය.

------------------------------------------------

ටිරියන් තුළ මකරුන් කෙරෙහි කිසිදා නොසන්සිඳෙන ඇල්මක් තිබින. එය හරියටම වශීකරණයක් බඳු විය. සිය සොයුරිය හා රොබර්ට් බරතියන් ගේ විවාහ මංගලෝත්සවය වෙනුවෙන් මුල්ම වරට කින්ග්ස් ලෑන්ඩින්ග්වලට පැමිණි දා ඔහු ගේ ඒකායන බලාපොරොත්තුව වී තිබුනේ ටාර්ගේරියන් රාජසභාවේ බිත්තිවල එල්ලා තිබුනු මකර හිස්කබල් දැකගැනීම විය. එනමුදු ඒ වනවිට රොබර්ට් රජතුමා ඒ හිස්කබල් ඉවත් කර ඒ වෙනුවට ධජපතාක වලින් බිත්ති සරසා තිබින. කෙසේවුවද මාළිගයේ අඳුරු ගබඩා කාමරයක ගොඩගසා තිබුනු මකර හිස්කබල් රැස දෑසින් දකින තෙක් ටිරියන් සිය උත්සාහය අත් නොහැරියේ ය.

එම හිස්කබල් සිත්ගන්නාසුළු හා තැතිගන්වනසුළු වෙතැයි ටිරියන් බලාපොරොත්තු වුවද ඒවා මෙතරම් අලංකාර වෙතැයි ඔහු කිසිදා සිතා නොතිබින‍. අගත්ති මෙන් කළු පැහැ වූ ඒවා කෙතරම් සිනිඳුවට ඔප දමා තිබිනි ද යත් පන්දම් එළියේ දීප්තියෙන් බබලන්නට විය. ඔහු‍ට හැඟුනු අන්දමට නම් ඒ හිස්කබල් ගින්දර ප්‍රිය කලා වන්නට ඇත. විශාල හිස්කබලක දත් විලිස්සාගත් මුව තුළ සිය පන්දම බලා ලූ ටිරියන් තමාට පසුපසින් වූ බිත්තිය මත ඒ ‍සෙවනැලි නටන'යුරු දෙස බලා සිටියේ ය. මකර දත් කළු දියමන්තියෙන් තැනුනු දිගු උල්පිහියා මෙන් දිලිසුනු අතර පන්දමේ ගිනිදල්ල ඒවාට නොදැනුනු තරම් විය. ඒවා මීට වඩා සියදහස් ගුණයකින් ප්‍රබල අග්නි ජාලාවන්ට මුහුණ දී පුරුදු ඇතියවුන් විය. ඔහු පිටව යන ආකාරය දෙස ඒ හිස් දෑස් කුහර බලා සිටි බව ටිරියන්ට දිවුරා කියත හැකි විය.

එහි හිස්කබල් දහනවයක් තිබුනි. වයස්ගතම ඒවා වසර තුන්දහසකට වඩා පැරැණි වූ අතර ලාබාලම ඒවා යාන්තම් සියවස් එකහමාරක් වයස් විය. ‍මේ ලාබාලම හිස්කබල් දෙක යාන්තම් මැස්ටිෆ් බල්ලකුගේ හිස්කබලක් තරම් විශාල වූ අතර අස්වාභාවික අයුරින් විකෘති වී තිබින. ඩ්‍රැගන්ස්ටෝන්හි ඉපැදුනු අවසාන මකර පැටවුන් දෙදෙනා - සමහරවිට ‍මේ මුලු ලෝකයේම අවසාන මකර පැටවුන් ‍දෙදෙනා - එතරම් දිගුකලක් ජීවත්වන්නට වාසනාව ලද්දවුන් නොවූහ.

එතැන් පටන් ක්‍රමයෙන් විශාල වී ගිය මකර හිස්කබල් පේළීය අවසාන වූයේ අනවරත කතන්දර හා සැහැලිවලට මුල් වූ දැවැන්තයින් තිදෙනෙකුගෙනි. මේ වනාහි ජයග්‍රාහක ඒගොන් හෙවත් ඒගොන් ටාර්ගේරියන් සිය සොයුරියන් දෙදෙනා හා එක්ව රාජධානි සප්තකයට එදිරිව මෙහෙය වූ මකරුන් තිදෙනා විය. කවීන් විසින් ඔවුන්ට දෙවිවරුන් ගේ නම් තමා තිබින. බැලේරියන්, මෙරැක්සිස් හා වේගාර්. විදහාගත් ඒ දැවැන්ත හණු මධ්‍යයේ ටිරියන් සිටගෙන සිටියේ විස්මය හා බිය නිසා වදනකුදු දොඩා ගත නොහැකිව ය. වේගාර් ගේ උගුර දිගේ යමෙකුට අසෙකු පිට නැගී ගමන් කල හැකි වූ අතර මෙරැක්සිස් ඊටත් වඩා විශාල විය. එනමුදු ඒ හැමටම වඩා විශාල වූ බැලේරියන් හෙවත් කළු රෞද්‍රයා, ඔරොක්සයකු නැතහොත් ඉබ්න් තොටමුණට එහායින් සැරිසරතියි කියැවෙන මැමතයකු එක උගුරට ගිලිය හැකි තරමේ දැවැන්තයකු විය.

බැලේරියන් ගේ මේ දැවැන්ත හිස්කබල දෙස බලාගත්වනම සිටි ටිරියන් සිය පන්දමේ එළිය අඩු වී යන තෙක් බොහෝ ‍වේලාවක් ඒ අඳුරු ගොහොරු ගබඩාවේ ගත කලේ ය. ඌ පණපිටින් සිටියා නම් කෙසේ වන්නට ඇත්දැයි සිතමින්, සිය දැවැන්ත කළු අත්තටු විදහා අහසේ පියාඹමින් මුවින් ගිණිදැල් විහිදමින් සිටි අයුරු මනසේ ඇඳගන්නට තැත් කරමින් ඔහු බොහෝ වේලාවක් ගත කලේ ය.

ඔහු ගේ පුරාණ මී මුත්තා, කාර්ස්ටලී රොක්හි ලොරේන් රජතුමා ඒ බව සියැසින්ම දැක තිබින. රීච්හි රජතුමා වූ මර්න් හා එක්ව ටාර්ගේරියන් ආක්‍රමණයට විරුද්ධව සටන් කල ඔහු ඒ ගිනිදැල්වල බලය අත් විඳ තිබින. ඒ වනාහි මීට වසර තුන්සියයකට පෙර, රාජධානි සප්තකය යනු විශාල රාජ්‍යයක ප්‍රාන්තයන් නොව සත්‍ය රාජධානි සප්තකයක් වූ කාලය විය. මේ රජවරුන් දෙදෙනා යටතේ වංශවතුන් හයසියයක්, අශ්වාරෝහක නයිට්වරුන් පන්දහසක් හා එමෙන් දසගුණයක් පමණ වූ සෙබළුන් පිරිසක් යුධට බැස තිබින. ප්‍රවාදවලට අනුව මකරාධිපතියන් සතුව සිටියේ එයින් පහෙන් එකකටත් අඩු හමුදාවක් විය. එයිනුත් වැඩි පිරිස ඒගොන් විසින් ඊට පෙර මරාදමන ලද රජතුමා ‍ගේ සෙබළුන් වූ අතර මකරාධිපතියන් ‍කෙරෙහි ඔවුන් ගේ පක්ෂපාතීත්වය අවිනිශ්චිත විය.

රීච්හි සුවිසල් තැනිතලා භූමියේ රන්වන් කරළින් පිරි තිරිඟු යායවල් මධ්‍යයේ මේ හමුදා දෙක එකිනෙක සම්මුඛ වූහ. රජුන් දෙදෙනා සිය ඒකාබද්ධ ප්‍රහාරය එල්ල කල විට තැතිගත් ටාර්ගේරියන් හමුදා සීසීකඩ දුවන්නට පටන් ගත්හ. ප්‍රවාද වලට අනුව එක් ස්වල්ප මොහොතකට ඒකාබද්ධ හමුදා සටනින් ජයගත් බැව් පෙනින. ඒගොන් ගේ ආක්‍රමණයේ අවසානය එය වූ බැව් පෙනින. එහෙත් ඒ එක් මොහොතකට පමණි. ඊළඟ මොහොතේ ඒගොන් ටාර්ගේරියන් සිය සොයුරියන් දෙදෙනා සමග සටන් බිමට පිළිපන්නේ ය.

වේගාර්, මෙරැක්සිස් හා බැලේරියන් මකරුන් තිදෙනාම එකවර සටනක් වෙනුවෙන් යෙදවූ මුල්ම හා එකම අවස්ථාව එය විය. කවීන් විසින් එය 'ගිනිගත් කෙත' යනුවෙන් හඳුන්වනු ලබන අතර ඒ වෙනුවෙන් ගී හා සැහැලි රැසක් බිහිවී ඇත.

හාරදහසකට ආසන්න පිරිසක් එදින පිළිස්සී මියගියහ. රීච්හි මර්න් රජතුමා ද ඒ මියගියවුන් අතර විය. පැරැදී පළා ගිය ලොරේන් රජතුමා ටාර්ගේරියන්වරුන්ට යටත් භාවය ප්‍රකාශ කර සිටියේ තව බොහෝ කලක් - තම වංශය ‍නොනැසී පවත්වාගෙන යාමට පුතකු ලබන තෙක් - යටත් පාලකයකු වශයෙන් කාර්ස්ටලී රොක්හි අධිපති බව දැරීය. ඒ වෙනුවෙන් ටිරියන් සිය මී මුත්තාට බෙහෙවින් කෘතඥ විය.

------------------------------------------------

"ඇයි ඔබ ඔච්චර පොත් කියවන්නෙ?"

හිස ඔසවා බැලූ ටිරියන් දුටුවේ අඩි කිහිපයක් දුරින් සිටගෙන තමා දෙස කුතුහලයෙන් බලා සිටිනා ජොන් ස්නෝව් ය. "මා දිහා බලලා කියහං බලන්ට උඹට මොනවද පේන්නෙ කියලා."

කොළුවා ඔහු දෙස සැකමුසු බැල්මක් හෙලීය. "මේක මොකක් හරි විහිළුවක්ද? මට ඔබව පේනවා. ඔබ ටිරියන් ලැනිස්ටර්."

ටිරියන් සුසුමක් හෙලී ය. "උඹ බොහොම ආචාරසම්පන්නයි ස්නෝව්. උඹට පේන්නෙ කුරුමිට්ටෙක්. උ‍ඹේ වයස කීයද? දොලහක්?"

"දාහතරයි."

"දාහතරයි. හරි. උඹ දැනටමත් මට වඩා උසයි. මට කවදාවත් යන්න බැරි තරම් උසයි. මගේ කකුල් කොටයි, බකලයි. මට ඇවිදින්ට අමාරුයි. මගේ අශ්වයගෙ පිටෙන් නොවැටී ඉන්ට මම විශේෂයෙන් හදපු සෑදලයක් පාවිච්චි කරන්ට ඕන. උඹට ඇත්තම කියනවානම් ඒකත් මගේම සැලසුමකට අනුව හදවගත්ත එකක්. එහෙම කලේ නැත්තම් මට ‍පෝනියෙක් පිටේ තමා යන්ට වෙන්නෙ. මගේ අත් දෙක ශක්තිමත් තමා, ඒත් ඒවත් කොටයි. මට කවදාවත් කඩු හරඹ කාරයෙක් වෙන්ට බෑ. මම පිටිසර ගැමියෙක් විදියට ඉපදුනානම් උං මාව මැරෙන්ට ඇරලා කොහේ හරි දාලා යන්ට තිබ්බා. එහෙමත් නැත්තම් මිනිස්සුන්ට විනෝදය සපයන්ට කියලා වහල් වෙළෙන්දුන්ට විකුණන්ට තිබ්බා. ඒත් අවාසනාවට මම ඉපදුනේ කාර්ස්ටලී රොක්වල ලැනිස්ටර් කෙනෙක් විදියට. ඉතිං මිනිස්සු මගෙන් යමක් බලාපොරොත්තු වෙනවා. මගේ තාත්තා අවුරුදු විස්සක් රජ්ජුරුවන්ගෙ හස්තය විදියට සේවය කලා. මගේ සහෝදරයා පස්සෙ ඒ රජ්ජුරුවන්ව මරලා දැම්මා. මගේ සහෝදරී අලුත් රජ්ජුරුවන්ව කසාද බැන්දා. මගේ කැත බෑනා ඊළඟට රජ වෙයි. ඉතිං උඹට හිතෙන්නෙ නැද්ද මමත් මගේ පරම්පරාවෙ ගෞරවය වෙනුවෙන් යමක් කරන්ට ඕනැයි කියලා? ඒත් කොහොමද? ම‍ගේ කකුල් දෙක පොඩි වුනාට මගෙ ඔළුව ලොකුයි. මට හොඳ පැහැදිලි අවබෝධයක් තියෙනවා මොනවද මගෙ හැකියාවන්, මොනවද මගෙ දුර්වලකම් කියන එක ගැන. ම‍ගේ මනස තමා මගේ ප්‍රධානම ආයුධය. මගේ සහෝදරයට එයාගෙ කඩුව තියෙනවා. ‍රොබර්ට් රජ්ජුරුවන්ට එයාගෙ යගදාව තියෙනවා. මට මගේ මනස තියෙනවා... කඩුවක් මුවහත් කරන්ට ගිනිගලක් තියෙන්ට ඕන වගේ මනසක් මුවහත් වෙන්ට පොත් තියෙන්ට ඕන." ටිරියන් සිය අතේ ඇති පොතේ සමින් බැඳුනු කවරයට තට්ටුවක් දැම්මේ ය. "අන්න ඒකයි මම මෙච්චර පොත් කියවන්නෙ ජොන් ස්නෝව්."

කොළුවා මේ සියල්ල නිශ්ශබ්දව අවබෝධ කරගත්තේ ය. ඔහුට ස්ටාර්ක් නාමය ලැබී නොතිබුනු නමුදු ඒ දිගැටි, සන්සුන් ස්ටාර්ක් මුහුණුවර ලැබී තිබින. සිත ඇතුළේ ඇත්තේ කුමක්දැයි පිටතට නො‍පෙන්වා සියල්ල සඟවාගන්නා මුහුණක්! ඔහු ගේ මව කවරෙකු වුනත් ඇ‍ගෙන් ඔහුට කිසිවක් ලැබී නැතිවා සේ ය. "ඔබ මොකක් ගැනද ඔය කියවන්නෙ?" ඔහු ඇසීය.

"මකරුන් ගැන."

"මොකක්ද ඒ ගැන කියවන එකෙන් ඇති වැඩේ? මේ ලෝකෙ තවදුරටත් මකරු ඉතිරිවෙලා නෑ."

"මිනිස්සු එහෙම තමා කියන්නෙ." ටිරියන් පිළිතුරු දුනි. "හරිම දුකයි, එහෙම නේද? මම උ‍ඹේ වයසෙ ඉන්නකොට හීන දැක්කා මගේම මකරෙක් අයිති කරගැනීම ගැන."

"ඔබ එහෙම කලාද?" කොළුවා සැකමුසු ස්වරයෙන් ඇසීය. සමහරවිට ටිරියන් ඔහුට විහිළු කරනවා වනැයි ඔහු සිතන්නට ඇත.

"ඇත්තටම. කුරු, බකල ගැහිච්ච, කැත කොල්ලෙකුට වුනත් මකරෙකුගෙ පිටේ නැග්ගහම ලෝකය දිහා උඩ තැනක ඉඳන් බලන්ට පුළුවන්." පොරවාගෙන සිටි ඇතිරිල්ල පසෙකට කල ටිරියන් නැගිට සිටියේ ය. "මම කාර්ස්ටලී රොක් ඇතුළෙ ගිනි ගොඩවල් ගහලා ඒ දිහා පැය ගනන් බලා ඉන්ට පුරුදුවෙලා හිටියා. මම හිතුවා ඒ තියෙන්නෙ මකරාග්නිය කියලා. සමහර වෙලාවට මම හිතේ මවාගත්තා මගේ තාත්තා ගිනිගන්න විදිය. සමහර වෙලාවට මගේ සහෝදරී." ජොන් ස්නෝව් ඔහු දෙස බලාගෙන සිටියේ අඩක් භීතිය හා අඩක් විමතිය මුසු වූ බැල්මකිනි. ටිරියන් කොක්හඬලා සිනාසුනේ ය. "ඔය විදියට මා දිහා බලන්ට එපා කොල්ලො. මම දන්නවා උ‍ඹේ රහස. උඹත් මේ විදියෙ හීන දකින්ට පුරුදුවෙලා හිටියා නේද?"

"නෑ! මම එහෙම...."

"නෑ? කවදාවත්ම?" ටිරියන් ඇහි බැම ඉස්සී ය. "කිසිම සැකයක් නෑ එහෙමනම් ස්ටාර්ක්ලා උඹට බොහොම හොඳට සලකලා තියෙනවා. මට විශ්වාසයි ස්ටාර්ක් ආර්යාව උඹට එයාගෙම දරුවෙක් විදියට සලකන්ට ඇති. එතකොට උ‍ඹෙ සහෝදරයා රොබ්, උඹට හැම තිස්සෙම කරුනාවන්ත වෙන්ට ඇති. එහෙම වෙන්ට එපැයි. එයාට වින්ටර්ෆෙල් හිමිවෙනවා, උඹට ප්‍රාකාරෙ හිමිවෙනවා. එතකොට උඹෙ තාත්තා... එයාට බොහොම හොඳ හේතුවක් තියෙන්ට ඇති උඹව මෙහෙම නිශා රැකුමට පටවලා එවලා අත පිහිදගන්ට."

"ඕක නවත්තන්ට!" ‍ජොන් ස්නෝව් කේන්තිය නිසා රතු වූ මුහුණෙන් යුතුව පැවසී ය. "නිශා රැකුම කියන්නෙ බොහොම උදාර දෙයක්."

ටිරියන් මහ හඬින් සිනාසුනේ ය. "ඒ කියමන විශ්වාස කරන්ට තරම් උඹ මෝඩයෙක් නෙවෙයි. නිශා රැකුම කියන්නෙ රාජධානි‍යෙ ඉන්න ඔක්කොම නරක එවුන් එකට එකතු වෙන තැනක්. මම දැක්කා උඹ යොරේනුයි උගෙ අර කොල්ලො දෙන්නයි දිහා බලන විදිය. ඔය තමා උඹෙ අලුත් සහෝදරයො ජොන් ස්නෝව්. උඹට මොකක්ද ඒ ගැන හිතෙන්නෙ? බුම්මගත්ත ගැමියොයි, ණයකාරයොයි, හොර දඩයක්කාරයොයි, ස්ත්‍රී දූෂකයොයි, හොරුයි, උඹ වගේ අවජාතකයොයි. මේ හැමෝම ප්‍රාකාරෙ එකතු වෙලා යක්කුයි, පිශාචයොයි උඹලගෙ ආයම්මලා කියලා දීපු අනිත් භූතයො හැම එකාමයි එනකං රැක ගෙන ඉන්නවා. එක හොඳකට තියෙන්නෙ ඔය යක්කුයි පිශාචයොයි ඇත්ත එවුන් නෙවෙයි. ඒක නිසා ඒ රාජකාරිය එච්චර භයානක එකක් නෙවෙයි. නරකකට තියෙන්නෙ උඹලා හීතලෙන් ගල් වෙලා මැරිලා යන එකයි."

"ඕක නවත්තපං!" කොළුවා බෙරිහන් දුන්නේ ය. මිට මොලවා ගත් දෑතින් හා හැඬුම්බර මුහුණින් යුතුව ඔහු අඩියක් ඉදිරියට තැබීය. ටිරියන්ට වරදකාරී හැඟීමක් දැනෙන්නට විය. ඔහු ද පෙරට පියවරක් තැබුවේ සැනසුම් සහගත වදනක් කියා කොළුවාව අස්වැසීමේ අරමුනිනි.

ඔහු කිසිවිටෙකත් වෘකයාව නොදිටී ය. ඌ සිටියේ කොහේද, ඔහු වෙතට පැමිණියේ කෙසේද යන්න නොදත්තේ ය. එක් මොහොතක ඔහු ස්නෝව් දෙසට පිය මනිමින් සිටි අතර ඊළඟ මොහො‍තේ බිම උඩු බැල්ලෙන් වැටී සිටියේ ය. අතින් පොත විසිවී ගිය අතර හදිසි කම්පනය නිසා හුස්ම හිරවී ගියේ ය. ඔහු ගේ මුව පස්, ලේ හා වියළි කොළ වලින් පිරී ගියේ ය. ටිරියන් නැගී සිටීමට උත්සාහ කල නමුත් වේදනාත්මක අයුරින් ‍කොන්ද ඇදුම් කන්නට විය. වැටීම නිසා කොන්ද උළුක්කු වුනා වන්නට ඇත. දත්මිටි කමින් ගසක මුලක් අල්ලාගත් ටිරියන් අඩක් ඉස්සුනේ ය. "මට උදවු කරන්ට." ඔහු කීවේ කොළුවා දෙසට අතක් දිගු කරමිනි.

එසැනින් වෘකයා ඔවුන් දෙදෙනා මැදට පැන්නේ ය. ඌ ගෙරෙවුවේ නැති අතර දත් විලිස්සා සිය දීප්තිමත් රතු පැහැ දෑසින් ඔහු දෙස බලා සිටියා පමණි. අමනාපයෙන් උගුරෙන් හඬක් පිටකල ටිරියන් නැවත ‍පොළොවේ දිගා වුනේ ය. "හරි හරි. මට උදවු කරන්ට ඕන නෑ. උඹ මෙතනින් යනකං මම මෙහෙමම ඉන්නම්."

ජොන් ස්නෝව් සිනාසෙමින් ගෝස්ට් ගේ සුදු පැහැ ලොම් පිරිමැද්දේ ය. "උදවු ඕන නම් හොඳින් අහන්ට."

සිත තුළ කේන්තිය නැග එනු ටිරියන්ට දැනුනු මුත් ඔහු මහත් වෑයමකින් එය යටපත් කර දැමීය. සිය ජීවිතයේ මෙසේ අවඥාවට භාජනය වූ මුල්ම අවස්ථාව මෙය නොවන අතර අවසන් අවස්ථාවද මෙය නොවනු ඇත. සමහරවිට ඔහු මීට සුදුසු වන්නට ඇත. "ඔබ මට කරුනාවෙන් උදවු වෙනවා නම් මම කෘතඥ වෙනවා ජොන්." ඔහු මෘදු ස්වරයෙන් කී‍වේ ය.

"ගෝස්ට්. වාඩිවෙන්ට." කොළුවා කීවේ ය. ඝෝරවෘකයා සිය පසුපස දෙපා මතින් වාඩි වූ මුත් ඒ රතු පැහැ දෑස් කිසිවිටෙකත් ටිරියන් වෙතින් මෑත් වූයේ නැත. ඌ වටා පැමිණි ජොන් ටිරියන් ගේ කිහිලි යටින් දෑත් දමා ඔහුව දෙපයින් නැගිට්ටෙවුවේ ය. ඉන්පසු බිම වැටී තිබුනු පොත අහුලා දුන්නේ ය.

"ඇයි ඌ මට පහර දුන්නෙ?" ටිරියන් ඇසුවේ වෘකයා දෙස හොරෙන් බැල්මක් හෙලමිනි. ඔහු සිය පිටි අත්ලෙන් මුවේ තැවරී තිබුනු පස් හා ලේ පිස දැමී ය.

"සමහරවිට ඌ හිතුවද දන්නෙ නෑ ඔබ පිශාචයෙක් කියලා."

"දෙයියම්පා! මම හිතන්නෙ මාව පිශාචයෙක් වගේ තමා පේනවා ඇත්තෙ. ඌ යක්කුන්ට මොකක්ද කරන්නෙ?"

 ඔබට ඒක දැනගන්ට ඕන වෙන එකක් නෑ." වයින් පිරුනු සම් මල්ල අහුලාගත් ජොන් එය ටිරියන්ට දිගු කලේ ය.

මූඩිය විවර කල ටිරියන් හිස ඇල කර දීර්ඝ වයින් උගුරක් බීවේ ය. සීතල වයින් උගුර කිති කවමින් පහළට ගලා ගොස් උදරය උණුසුම් කලේ ය. ඔහු මල්ල ජොන් දෙසට දිගු කලේ ය. "පොඩ්ඩක් ගන්නවද?"

මල්ල අතට ගත් කොළුවා පරිස්සමෙන් උගුරක් බීවේ ය. "ඒක ඇත්ත. එහෙම නේද? ඔබ නිශා රැකුම ගැන කියාපු දේ."

ටිරියන් හිස වැනී ය.

ජොන් ස්නෝව් කට ඇද කලේ ය. "ඒක එහෙම නම්, ඒක එහෙම වෙච්චාවෙ."

ටිරියන් ඔහු දෙස බලා විරිත්තී ය. "ඒක හොඳයි කොල්ලො. ගොඩක් මිනිස්සු කැමැතියි ඇත්තට මූන දෙන්නෙ නැතුව හැංගෙන්ට. ඒක බොරුයි කියලා කියන්ට."

"ගොඩක් මිනිස්සු. ඒත් ඔබ එහෙම කරන්නෙ නෑ."

"නෑ. මම එහෙම කරන්නෙ නෑ." ටිරියන් බිම වැටී තිබුනු සම් ඇතිරිල්ල අහුලා ගත්තේ ය. "යමු. උඹේ මාමා අපිව හොයන්ට එන්ට කලින් කඳවුරට යමු."

කඳවුර දැකීමම ඇසට සතුටක් ගෙන ආවේ ය. අත්හැර දැමූ පැරැණි බලකොටුවක බිඳ වැටුනු තාප්පයට එදිරිව කඳවුරු ගසා තිබුනු නිසා එයට සීත සුළඟින් මුවාවක් ලැබින. අශ්වයින්ට සාත්තු කර තිබුනු අතර ගින්න බුර බුරා ඇවිළුනි. යො‍රේන් ගලක් අසල වාඩි වී සිටියේ ලේනෙකු හම ගසමිනි. කටට කෙල උනන ඉස්ටුවක සුවඳ ටිරියන් ගේ නැහැ පුඩුවලට දැනුනි.

බෙන්ජින් ස්ටාර්ක් සිය කූඩාරම තුළින් පිටතට ආවේ ය. "මේ ඉන්නෙ. ‍ජොන් උඹ නං යකාට යන්ට ඕන. ඔහොම තනිපංගලමේ යන්ට එපා. මම හිතුවෙ අනික් එවුන් උඹව අරන් ගිහින් කියලා."

"අනික් එවුන් නෙවෙයි, පිශාචයො." ටිරියන් සිනාසෙමින් කීවේ ය. ජොන් ස්නෝව් මඳ සිනාවක් මුවට නගා ගත්තේ ය. ස්ටාර්ක් අන්දමන්ද වූ බැල්මක් යොරේන් දෙසට හෙලූ අතර මහළු මිනිසා උගුරෙන් හඬක් නිකුත් කර, දෙවුර අකුලා නැවතත් කරමින් සිටි කාර්යයට ඇස යෙදවී ය.

ඒ රැයේ ගිනිමැලය වටා වාඩි වූ ඔවුහු ඉස්ටුවත් සමග කළු පාන් හා දැඩි චීස් අනුභව කලහ. ටිරියන් සිය වයින් සම් මල්ල සියල්ලන් සමගම හුවමාරු කරගත්තේ ය. ඉන්පසු රාත්‍රියේ පළමු මුරකිරීම භාර වී තිබුනු ජොන් ස්නෝව් පමණක් අවදිව සිටිද්දී එකින් එකා නින්දට වැදීම පිනිස සිය කූඩාරම් තුළට වන්හ.

සුපුරුදු පරිදි සියල්ලන්ටම පසුව නින්දට ගියේ ටිරියන් වූ අතර සිය කූඩාරම වෙතට පිය මනිද්දී ඔහු මො‍හොතක් නැවතී ජොන් දෙස බැල්මක් හෙලී ය. ගිනිමැලය අසල සිටගෙන සිටි කොළුවා බුර බුරා නැගෙන ගිනි දැල් දෙස දැඩි කරගත් මුහුණින් හා ගැඹුරු බැල්මක් ඇති දෑසින් බලාගෙන සිටි‍යේ ය.

දුක්මුසු සිනහවක් පහළ කල ටිරියන් ලැනිස්ටර් නින්දට වන්නේ ය.


Tyrion Lannister: “Most men would rather deny a hard truth than face it.”

77 comments:

  1. හ්ම්...
    එතකොට ජොන් අය්ය මාන්දමික තත්වෙට පත්තුනා යොරේන් වයි උගේ පිස්සුබුලට් දෙකයි දැක්කම ඈ...
    හෙහ් හෙහ්..

    උඩ අගත්ති නෙවෙයි අගස්ති යෙන්න ඕන නේද

    ReplyDelete
    Replies
    1. ඒක තමා මචෝ මාත් ඇහුවෙ...
      ඉංගිරිස් තේරුම නං දන්නෙ නැතුවා...
      මට හිතෙන විදියට අගත්ති නෙවී අගස්ති තමා හරි

      Delete
    2. අගත්ති වර්ගයක් කියල තමා මලලසේකර උන්නැහේ කියන්නෙ..
      පොඩ්ඩි අක්ක හරි වෙන්නැ...

      Delete
    3. @ M R (( ලස්සන ඉනීශල්ස් මහේෂ් හරිය !) වෙස්ටේරෝස් ( සහ කැන්ඩියන් ) වංශාධිපතීන් අගස්ති වලට කියන්ටෙ අගත්ති වෙන්ට ඇති

      Delete
    4. අහුවමද කොහෙද ඔය වචනේ

      Delete
    5. සෙර් බූරා තමා ඔය වචන දෙන්නේ. :)

      කැන්ඩියන් වංශාධිපතීන් පාවිච්චි කරන්නේ 'අගත්ති' කියලා තමාලු. ඔය කුමාරයෙක්ම ඉන්නේ. අහගත්තා නම් එයාගෙන්.

      dictionary එකේ තියෙන්නෙත් 'අගත්ති' කියලා..ලු. ඒකේ මොනා තිබුණත් ඉතින් අපි භාවිතා 'කරන' වචනෙම පාවිච්චි කරන්ට එපායැ..නේ...:P

      Delete
    6. අපේ මාලිගාවේ නම් කියන්නේ අගස්ති කියල තමයි "ලු"

      Delete
    7. 'අගත්ති' - මැණික් ගල් විශේෂයක නාමය. මේවා කාන්තාවන්ගේ කර පලඳින ඇට මාල සෑදීමට භාවිතා කරන ලද මඳක් රක්ත වර්ණ විදේශීය මැණික් විශේෂයකි.

      (නිරුක්ති සහිත සිංහල ශබ්ද කෝෂය- සිරි ලියනගේ)

      අගස්ති කියන්නේ ටිකක් තැඹිලි පාට හුරු ගෙඩි මාලවලටනේ. ඒවා එච්චර මිල අධික වෙන්ට බෑ. අත්තම්මාගෙන් අහන්ට ඕනි. දෙකම එක වෙන්ටත් පුලුවන්. භාවිතේදී වෙනස් වුනා වෙන්ටත් බැරි නෑ.

      Delete
  2. උඩුබැල්ලෙන් වැටෙනකොට කොහොමද කටට පස් යන්නෙ?
    (මේවගේ පිස්සු ප්‍රශ්න සඳහා ශ්‍රීමත් බුර් ගේ කාලය නාස්ති නොකර Drunken Duke of Double distillation a.k.a. PoM වගේ කෙනෙක් පිලිතුරුදෙයි නේ?)

    ඒක නෙමෙයි ශ්‍රීමත් බුර්, pedantic/pedant ට සින්හල වචනෙ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. hmmmmm i have no idea :(

      පණ්ඩිතමානී "ලු"

      Delete
    2. උදේ පාන්දරම තමන්ගේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරල වගේ. :-)
      කටේ පස් ගැන ඔබතුමා දන්නෙ නැත්නම් අන්දරේ කෙනෙක් ගෙන් අහන්නවෙයි. Mr. Fox?

      Delete
    3. නරියයි මමයි තමා භාවිතා කලේ. ඌ මඩ වලක නිදි. මඩ ටිකක් ගවුනේ නැත්තම් නින්ද යන්නේ නෑ "ලු" නේ :D

      Delete
    4. 'pendant' ' ලොවාදුව' ලු....:D

      Delete
    5. pendant නෙවෙයි pedant "ලු"

      Delete
    6. Oops... 'පණ්ඩිතමානී' තමානේ. හරියට ඔය ඇත්තා වගේ. උත්තර දෙන්ට සෙර් බූරා එනකල් ඉමු. අද මගේ අත ටයිප් කරලම රිදෙනවලු. :(

      Delete
    7. Fussy බවට (විශේෂයෙන්ම වචන භාෂාව ගැන) ඒ වචනෙ ගැලපෙනවද?


      එතකොට කටේ පස් ගැන පැහැදිලි කිරීමටත් ශ්‍රීමතාණන් එනකන් ඉන්න ඕනැද? ඒක ටයනුකුමාරිට බැරිද?

      Delete
    8. පණ්ඩිතමානී කියුවේ මටද?

      :O

      Delete
    9. ඕකට හරියන වචනෙ ඇණේ . පරාල ඇණේ කියන එක තමා හරියටම හරියන්නෙ :)

      Delete
    10. වයින් බොන ගමන් පස් කකාලු ඉඳල තියෙන්නෙ...

      Delete
    11. මට මෙතන උත්තර දෙන්ට දෙයක් ඉතුරුවෙලා නෑ නේද? Pra Jay ට ඕන කරන ඔක්කොම උත්තර ලැබිලා තියෙන්නෙ. ;-)

      Delete
    12. @ප්‍රා,

      ටයනු කුමාරිට පුලුවන්ලු. මුනින් අතට වැටුනාම කටේ තියෙනවා එලියටලු එන්නේ. මාටින් එයාව උඩු බැල්ලෙන් දැම්මේ ඒ හන්දලු...:P

      Delete
    13. ඉස්සර නම් අන්දරේගේ කටේ තමයි පස් තිබුණේ. දැන් ටිරියන් ගේ කටෙත් පස් "ලු" ද ?

      Delete
  3. තාප්පෙට නැඟලා පහළට චූ කරන්න මූ කන කට්ටක්.... :)

    ඇටමැස්සා පොතත් මතක්වුනා... මේ ටිරියන් ලැනිස්ටර්ට පෙම්වතියක් ඉඳීද දන්නෑ..? ස්පොයිලර් දාන උන්වයි, ස්ත්‍රී දූෂකයින්වයි කප්පාදු කිරීමකට ලක්වෙන හින්දා මට උත්තර ලැබෙන එකක් නෑ... බලාගෙන ඉන්නම්...

    ReplyDelete
    Replies
    1. ටිරියන්ට පෙම්වතියො අම්බානක ඉන්නවා. ඕකා හෙන කුකුළා.

      ඇටමැස්සා පොතේ කොයි හරියද මතක් වුනේ?

      Delete
    2. පොත තිබුණානම් පිටුවත් එක්කම කියන්න තිබුණා... මගේ මතකය තාම හොඳනම් අර ආතරුත් ජෙමාත් සර්කස් එකක් බලලා ඒකේ විහිළුකාර කුරුමිනිහාට මිනිස්සු හිනාවුන හැටි විවේචනය කරන තැන... ජෙමා කියනවා මිනිහෙකුගේ ශරිරයේ අඩුපාඩු වලට හිනාවෙන එකට එයා කැමති නෑ... මිනිහෙකුගේ ශරීරය කියන්නේ එයාට පුජනීය දෙයක් කියලා... ආතර් අහනවා එතකොට ඒ කුරුමිනිහාගේ ආත්මය ගැන ඔයා මොකද හිතන්නේ කියලා... යනාදී වශයෙනි... :)

      Delete
    3. මතකයි ඒ කෑල්ල.. :-)

      Delete
    4. @බූරා,

      SPOILER..... :D :D

      Delete
  4. අද කොටස දිග නිසා සෑහෙන්න රසවින්දා. කෙටිකතාවක් තරමට දිගයිනෙ.ජොන් ගැන නම් හරි දුකයි මට....

    අර // කප්පාදු කිරීමේ දඬුවම // කියන්නෙ මොකක්ද ?අත් හිටවූ සිර දඬුවම වගේ එකක්ද?

    ReplyDelete
    Replies
    1. අහිංසකබවත් පෙන්නගෙනම මේකට උත්තරදෙන්න පුලුවන් නරියන්ටත් වඩා කපටි බස්සෙකුට තමයි. දැන් වැඩිය පේන්න නෑ. ප්‍රොෆයිල් පික්චර් වැඩක් වෙන්න ඇති

      Delete
    2. අනේ මන්ද ඉතින්

      Delete
    3. @ සොන්යා,

      කප්පාදු කරලා තමා නපුංසකයො හදන්නෙ. දැන් තේරෙනවය ඔයාට? :-)

      Delete
    4. @සෝන්යා,

      අනේ මන්දා කප්පාදු කරනවා කීවාම මොන විදියටද දන්නේ නෑ කියලා ඒ පාර හිතෙනවා ...:(

      Delete
    5. බොහොම ස්තූතියි නොදන්න දෙයක් කියල දුන්නට. ස්ත්‍රී දූෂකයන්ට නේද එහෙම කරන්නෙ , හොඳම දඬුවම. දැන් කාලෙත් ඒ විදිහෙ දඬුවම් දුන්නොත් නියමයිනේ...

      Delete
    6. @ පොඩ්ඩි ,

      ( රහසින් ) ඔය එක එක ඒවා ආයෙත් අහන්න යන්න එපා අනේ :)

      Delete
  5. Replies
    1. අම්මපා මෙයාට තියෙන හදිස්සියක්..

      Delete
    2. වැඩක් නෑ කියලා. මෙයාගෙ ඉල්ලීම අනුව අද කො‍ටස දිග..........ට දැම්මා. ඒ ගැන කිසි සද්දක් නෑ.

      Delete
    3. ඊළඟ කෑල්ල තවත් දික් කළා නම් හරි කියල හිතෙන්නෙ නැද්ද මෙහෙම කතන්දර අහන්නෙ නැතුව.. :P

      Delete
    4. එහෙනං කට්ටිය පොඩ්ඩිත්තක් ඉවසලා ඉන්නවද මාස 3-4ක්? මුළු පොතම පරිවර්තනය කරලා එක පාර දාන්නම්. :-P

      Delete
    5. ඇයි දැන් ඊයේ එහෙම නේද කතා වුනේ? first season ඉවරයි මාස දෙක තුනක් සද්ද නැතුව ඉමු කියලා...:P

      Delete
    6. ෂ් ෂ්... ඔයත් එක්ක බෑ මෙයා. ඔයා company secrets පිටට දෙනවනෙ..

      Delete
    7. දීලත් වැඩක් නෑනේ...කට්ටියට ගානක්වත් නෑ හී හී...

      Delete
  6. * චැප්ටර් එක අනුව පසුබිම වෙනස් කරන එක මාරයි.. හැබැයි ඔය ලැනිස්ටර් සිංහයට නම් මම පොඩ්ඩක් වත් කැමති නෑ . මට තාම හිතා ගන්න බෑ මේ අනික් එවුන්ට මේ කථාවෙ තියෙන රාජකාරිය

    ReplyDelete
    Replies
    1. 'අනික් එවුන්' කතාවෙ තව ගොඩක් ඉස්රහදි එයි කියලා හිතනවා.

      Delete
  7. ඇති තරං ලියලා තියනවා අද නම්..ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. කට්ටිය හැමදාම කියනවානේ මදි කියලා. හැමදාම බැනුං අහන්ටත් බෑ නෙව. :-)

      Delete
  8. හම්මේ අද නම් නිවාඩු දවස් දෙකටම ඇති වෙන්න මදි නොකියන්න ලියලා තියෙනවා.. සංතෝසේ බෑ..

    මාත් ටිරියන් වගේ මකරව මවා ගන්න ට්‍රයි කලා.. මට නම් ඔළුවට ආවේ හොබිට් ෆිල්ම් එකේ ඉන්න මකරව.. කෝම හරි කමක් නෑ මකරෙක් ඔළුවට ආවනේ..

    ReplyDelete
    Replies
    1. කට්ටිය කියනවානේ හැමදාම මදි මදි කියලා. ඔන්න අද මදි නොකියන්ට දුන්නා. :-)

      Delete
    2. i am fire, i am death
      මීට ෂර්ලොක් හෝම්ස්

      Delete
    3. Well, thief. Where are you? Come now, don't be shy. Step into the light! he...he...

      Delete
    4. Oh Watson, what are you doing sneaking around in my golden hall eh ?

      Delete
    5. මෙයා ඒ අස්සේ හොබිට් එකේ දෙබස් කියනව....

      Delete
  9. හරි බිසී මේ දවස් වල. අලුත් තානාන්තරයක් ලැබුණා නෙව - "රජතුමාගෙ කකුල" කියලා. නයිට් ඩියුටි ප්‍රාකාරෙ උඩ, ඒකයි එන්න පරක්කු වුනේ.

    ඉස්සෙල්ලාම අද කතාව දිගට ලිව්වාට ස්තූති කරලා ඉන්න එපැයි.

    බොහොම හොඳට රසවින්දා. දැං කතාව හොඳට ගලාගෙන යනවා. එහෙන් මෙහෙන් ප්‍රින්ටින් බිස්ටේක් එකක් දෙකක් තිබ්බා උනත්, ඒක කතාව රස විඳින්න බාදාවක් උනේ නෑ

    කටේ පස් කතාව ගැන මාටින් ලොක්කා කිව්වෙ මෙහෙමයි:

    කතාවෙ ටිරියන් වැ‍ටුන හැටි හරියටම කියන්නෙ නෑ නෙව. වෘකයා තමයි ටිරියන්ට කැරකිල්ල වැටෙන්න පයින් ගහල තියෙන්නෙ. ඉස්සෙල්ලා මූණ බිම වැදුනා -උන්දැගෙ කටේ පස්. ඊට පස්සෙ කැරකියා උඩුබැලි අතට වැ‍ටුනා

    ReplyDelete
    Replies
    1. 'රජතුමාගෙ කකුල' කිවුවෙ නිකං කකුල ද නැත්තං ලේන්සු කකුල ද?

      ඔය නයිට් ඩියුටි කරන ගමන් ප්‍රාකාරෙන් එහා පැත්තෙ කරක් ගහන නරිමොටෙක් එහෙම දැක්කෙ නෑ? කවුදෝ කිවුවා උන්දෑ ගියා කියලා අර ඝෝරවෘක ලොකු අයියා බලලා එන්ට කියලා.

      Delete
    2. @බස්සා,

      හී හී...මට බස්සා එක කකුලක ලේන්සුවක් බැඳගෙන ඉන්න හැටි මොකට පේනවද මන්දා...

      හොඳම වැඩේ ප්‍රාජේව වෘකයෙක් ඉස්සරහට ගෙනත් වට්ටවන එක. අඩුම ගානේ නරි මොටෙක් ඉස්සරහටවත්. :D

      Delete
    3. @බුරා
      දැක්කා, දැක්කා . ඌ මේ දවස්වල ගෙවල් රෙපයාර් කරනවා. අර ඉන්නෙ පරාල ඇණේකුත් අතේ තියාන.

      @පොඩ්ඩි
      හපොයි දෙයියනේ අහිංසක ප්‍රාජේ. එහෙනං උන්දැගෙ කටෙත් පස් තමා :)

      Delete
  10. හිම මෙන් සීතල සුපිරිසුදු දිය පහරක් අසබඩ පිහිටි පැරණි ඕක් ගසක් සෙවනේ ඉඳන් සිහසුනට තරග වැද කියවන්න තිබ්බ නම්...............................
    අද දිගාආආආආආආආආආආආආයි..... නියමායි

    ReplyDelete
    Replies
    1. ස්තූ.................................තියි! :-)

      Delete
  11. අද නං බඩ පිරෙන්නම කියවන්න ලියල තියෙන්නං,මකරා මවා ගන්න ගිහිං මගෙ මතකෙට ආවෙ තලගොයෙක් හරි කටුස්සෙක් හරි වාගෙ සතෙක්නෙ.ලංකාවෙ චීන හෝටල්වල මකරු දැකල පුරුද්දට වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මකරු හිතේ මවාගන්ට හරි ලේසියි. T-රෙක්ස් කෙනෙක් හිතේ ඇඳගන්ට. ඌට ටෙරොඩැක්ටිල්ට ව‍ගේ දිග පියාපත් දෙකක් දාන්ට. ඔන්න මකරා. :-D

      Delete
    2. හැලපෙට ඔය මවාගත්තු 'මකරු' ගැන පෝස්ට් එකක් දැම්ම හැකි. :D

      Delete
    3. දැන් එතකොට බඩේ ගෑස් ටැංකියකුයි . කටේ ලයිටරේකුත් දාගන්ට ඕනෙද , ගිනි පිඹින්න :)

      Delete
    4. ටැංකි ඕනැන්නෙ නෑ. බඩේ ගෑස් තියෙනවනෙ‍‍. ලයිටරයක් තමා ඕන. හැබැයි ඉතිං ගිනි පිඹින්ට වෙන්නෙ කටෙන් නෙවෙයි. ;-)

      Delete
  12. කියවිමෙන් "ටිරියන්"සම්පුර්ණ වේ (ද)?

    ReplyDelete
    Replies
    1. එකම පවුලේ වුණත් සහෝදර,සහෝදරියෝ කොච්චර වෙනස්ද නේ..?

      Delete
    2. කොටා තමා බුවා! :-)

      එකම පවුලෙ සහෝදර-සහෝදරියො මරාගන්නෙ දේපල බෙදාගන්ට බැරුව.

      Delete
  13. ඔය මකරා හිතේ මවා ගන්නවා කියනව එකත් හරි අපූරු වැඩක්.

    කාලෙකට ඉස්සර මං වැඩ කරපු පලාතෙ, හතු පිපෙන්නැහේ චයිනීස් හෝටල් ඇරෙන්න ගත්තා. හෝටල් කිව්වාට , මෙව්වා හෝටල්මත් නෙමෙයි, ටේක් එවේ ජොයින්ට්ස්. ඔය හැම එකකම තිබ්බ පොදු ලක්ෂණය තමා නමට යටින් ඇඳපු මකරෙක් හිටිය එක. අපි මෙව්වට කිව්වෙ " පැදුරෙ මකරා" කියලයි. ඇයි, ගත්තා උණ පැනලි පැදුරක්, ඇන්දා මකරෙක්, ඔන්න හෝටලයක්.

    අර හැලපෙ කිව්වැහෙ, අපේ පැදුරු සිත්තරාගෙ හිතේ ඇඳුනු මකරා , T-රෙක්ස් එකෙකුට වඩා සමාන වුනේ ලොකු කබර හූනෙකුට, නැත්නම් තලගොයෙකුට. ඌගේ ඇඟේ තිබුණ පිහා‍ටු වලින් මේ කපේට ඌට ඉගිලෙන්න නං බෑ. වතුරකට දැම්මොත් යාන්තං පීන ගන්න නං පුළුවන් වෙයි.

    හවස වැඩ ඉවර වෙලා, අපි කස්ටිය සෙට් වුනේ ඔයින් තැනක. පස්සෙ ඒකටත් කෙලවුනා, කව්ද අලුගුත්තේරුවෙක්, අපේ ගෙදරට " ආං , පුතංඩියා යාළුවොත් එක්ක සෙට් වෙලා කරටි කැඩෙන්න ගහනවා" කියල තිබ්බ නිසා. ඔහෙලට ඇත්තම කියන්න, මං බිව්වෙ අර සැර වැඩි ඉස්ටවුට් බෝතලයක් විතරමයි, එහෙව් අහිංසකයෙක්ට නෙව මේ ඊරිසියාකාරයො කෙලෙව්වෙ.

    ReplyDelete
    Replies
    1. උඹ කිවුවට පස්සෙ මම මේ කල්පනා කලේ. හැබෑටම චීන මකරුන්ට පියාපත් නෑ නෙවද?

      Delete
    2. මකරා T rex වගේ කියල කියුවේ කවුද?
      ලෝකේ හැම සංස්කෘතියකම වගේ මකරු ඉන්නවා. ලංකාවේ උනත් එක්තරා විදිහක මකර රූපයක් තියනවා. ඔය කියන T rex මකරා ඉන්නේ යුරෝපේ කතන්දර වල. චීන මකරා ගොඩක් දිව්‍යමය සතෙක් "ලු", පියාඹන්ට තටු ඕනේ නැල්"ලු"

      Bak me up her PJ

      Delete
    3. බස්සා නම් කියන්නේ 'දෙකක් නවා ගත්තාම' පියාඹන්ට පුලුවන් කියලා. බස්සෝ පියාඹන්නේ එහෙම වෙන්ටෑ...:P

      Delete
    4. බලහල්ලකො ඉතින්, අර JR පප්පාටවත් කොරන්ට බැරිවෙච්චි දේ මේ PoM එක වාක්‍යයෙන් කලා නෙවැ. නේද 'her PJ'? ;-)

      Delete
    5. වෙරිමතේ ටයිප් කරනකොට ඔහොම දේවල් වෙනවලු

      Delete
    6. @ Prince

      ඔව් , වොව් kick some butts Herr PJ :)

      Delete
    7. His Pods මොකද කියන්නෙ?

      BTW, මකරු කියන්නෙ Hisssss !

      Delete