Monday 14 July 2014

එඩාර්ඩ් - 01-2


මඳ වේලාවකට පසු නෙඩ් නිහඬ බව බිඳී ය. "අපට ආපහු යන්ට වෙලාව හරි මගේ ස්වාමිනී. බිසව ඔබතුමා එනකං බලාගෙන ඇති."

"අනික් එවුං මගේ බිසව අරං ගියාවෙ." නොරිස්සුම් ස්වරයෙන් මෙසේ කීවද ආපසු හැරුනු රොබර්ට් ඔවුන් පැමිණි මග දිගේ පිය මනින්නට විය. "අනිත් එක, උඹ තව එකපාරක් හරි ඔය 'මගේ ස්වාමිනී' කතාව කියනවා මට ඇහුනොත් මං උඹේ බෙල්ල කපලා රිටක හිටවනවා. අපි දෙන්නගෙ ආශ්‍රය ඊට වඩා බොහොම ළඟයි."

"ඒ බව මට අමතක වෙලා නෑ." නෙඩ් සෙමින් පිළිතුරු දුනි. "මට කියන්ට ජොන් ගැන."

රොබර්ට් හිස වැනුවේ ය. "ඔය තරං ඉක්මනින් මිනි‍හෙක් ලෙඩින් වැටෙනවා මං කවදාවත් දැකලා නෑ. මගෙ පුතාගෙ උපන්දිනේ වෙනුවෙන් අපි තරගාවලියක් තිබ්බා.උඹ එදා ජොන්ව දැක්කනං සැකයක් නෑ උඹ කියයි '‍මේ මිනිහා තව අවුරුදු සීයක් ජීවත්වෙනවා' කියලා. සති දෙකකට පස්සෙ මෙන්න මිනිහා මැරුනා‍. අසනීපය හරියට ඇවිලෙන ගින්නක් වගේ මිනිහගෙ ඇඟ ඇතුළෙ පැතිරුනා." ඔහු කුළුණක් අසල මඳක් නැවතින. "මං ඒ නාකියට කොච්චර ආදරේ කලාද."

"අපි දෙන්නම එයාට ආදරේ කලා." ‍නෙඩ් මොහොතකට නිහඬ විය. "කැට්ලින් එයාගෙ සහෝදරී ගැන වද වෙනවා. ලයිසා කොහොමද එච්චර දුකක් දරාගත්තෙ?"

රොබර්ට් ගේ දෙ‍තොල් ඇඹරී ගියේය. "ඇත්තම කියනවනං එච්චර හොඳට නෙවෙයි. මං හිතන්නෙ ජොන් නැතිවුන එකෙන් ගෑනි පිස්සු වැටුනා නෙඩ්. එයා පුතාවත් අරන් ආයෙමත් ඉයරි වලටම ගියා. මගේ අකැමැත්තවත් සලකන්නෙ නැතුව. මං හිතාගෙන හිටියෙ ‍පොඩි එකා කාර්ස්ටලී රොක් වල ටයිවින් ලැනිස්ටර් ගාව හදාගන්ට යවන්ට. ජොන්ට වෙන සහෝදරයොත් නෑ වෙන පුතාලත් නෑ. ඒ පොඩි එකා ගෑනු අස්සෙ හැදෙන්ට අරින්ටද මට කියන්නෙ?"

කුඩා දරුවකු ටයිවින් ලැනිස්ටර් සමීපයේ හැදී වැඩෙන්නට යවනවාට වඩා විසකුරු පොළඟෙකු සමීපයට යැවීම මැනවැයි නෙඩ් දැන සිටි නමුත් තම සිතුවිලි වදනට පෙරලන්නට ඔහු තැත් කලේ නැත. සමහර පරණ තුවාල කිසිදා සුව නොවන අතර පුංචිම පුංචි වචන වැරැදීමකින් පවා ඒවා නැවත ඇවිස්සීමට පුළුවන. "එයාට සැමියා නැතිවුනා. එයා බයවෙන්ට ඇති ළමයත් නැති වෙයි කියලා. ඒ ළමයා තාම බොහොම පුංචියිනෙ."

"අවුරුදු හයයි. අනික ලෙඩ ගානෙ. ඉයරි වල වංශාධිපතියා‍. දෙයියොම බලාගන්ට ඕන." රජතුමා කීවේ ය. "ටයිවින් මීට කලින් කිසිමදාක ළමයෙක් හදාගන්ට බාර අරන් නෑ. ලයිසාට ඒක ඇත්තටම ගෞරවයක්. ලැනිස්ටර්ලා කියන්නෙ බොහොම උදාර වංශවත් පවුලක්. ඒ වුනාට මෙයා ඒ ගැන අහන්ටවත් සතුටු වුනේ නෑ. මෙන්න ඊට පස්සෙ එයා කාටවත් කියන්නෙවත් නැතුවම මහ රෑක පිටත් වෙලා ගිහිල්ලා. සෙර්සිට හොඳටම කේන්ති ගිහිල්ලයි හිටියෙ ඒ ගැන." රොබර්ට් ගැඹුරු සුසුමක් හෙලී ය. "උඹ දන්නවද? ඒ ළමයට තියලා තියෙන්නෙ මගෙ නමමයි. රොබර්ට් ඒරින්. එයාව ආරක්ෂා කරනවා කියලා මං දිවුරුම් දීලා පොරොන්දු වෙලා ඉන්නෙ. ඒත් දෙයියනේ මං කොහොමද ඒක කරන්නෙ අම්මා ළමයව හොරකං කරගෙන යන‍කොට?"

"ඔබ කැමැති නං මං ඒ ළමයව හදාගන්ට බාර ගන්නං." නෙඩ් කීය. "ලයිසා ඒකට එකඟ වෙයි. එයයි කැට්ලිනුයි එදා වගේම තාමත් හරිම සමීපයි. අනික එයාට ඕන වෙලාවක මෙහෙ ඇවිත් යන්ට පුළුවන්නෙ."

"ඒක නං හරිම කරුණාවන්ත ‍යෝජනාවක් යාළුවා‍." රජතුමා කීවේ ය. "ඒ වුනත් දැන් පරක්කු වැඩියි. ටයිවින් උතුමානන් දැනටමත් ඒකට කැමැත්ත දීලයි තියෙන්නෙ. ළමයව වෙන කොහේ හරි හදාගන්ට දෙන එක එයාට මූනට දමලා ගැහුවා වගේ වෙයි."

"ලැනිස්ටර්ලාගෙ ආඩම්බරේ ගැන වද වෙනවට වැඩිය මට වැදගත් මගේ බෑනගෙ සුබසිද්ධිය ගැන හිතන එක."

"උඹට එහෙම හිතෙන්නෙ උඹ ලැනිස්ටර් කෙනෙක් එක්ක නිදාගන්නෙ නැති නිසා." රොබර්ට් සිනාසුනි. "ආහ් නෙඩ්! උඹ තාමත් ඕවා බැරෑරුම් විදියට ගනන් ගන්නවානෙ." ඔහු සිය දැවැන්ත අතක් නෙඩ් ‍ගේ උරහිස වටා යැවී ය. "මං හිතන් හිටියෙ තව දවස් කීපයක් ගිහිල්ලා උඹට ‍මේක කියන්ටයි. ඒත් මට දැන් පේනවා එහෙම කරන එකේ තේරුමක් නෑ කියලා. යමු, මගෙත් එක්කම ඇවිදන් යමු."

ඔවුන් නැවතත් කුළුණු පේළි අතරින් ආපසු ගමන ඇරඹූ අතර රජතුමා සිය අත දිගටම නෙඩ් ගේ උරහිස මත රඳවාගෙන සිටියේ ය. "උඹ කල්පනා කරන්ට ඇති මං මෙච්චර කාලෙකට පස්සෙ වින්ටර්ෆෙල්වලට ආවෙ ඇයි කියලා?"

නෙඩ් ගේ සිතේ යම් යම් සැකයන් මතු වී තිබුන ද ඔහු මේ අවස්ථාවේ දී ඒවා ප්‍රකාශ කරන්නට සිතුවේ නැත. "අනිවාර්යයෙන්ම මාව මුන ගැහෙන්ට වෙන්ට ඕන." ඔහු සැහැල්ලු ස්වරයෙන් කීය. "අනික ප්‍රාකාරෙ. ඔබ ඒක දකින්ටම ඕන මගේ ස්වාමිනී. ඒකෙ බලකොටුවල පොඩ්ඩක් ඇවිදලා ඒ මිනිස්සුත් එක්ක ටිකක් කතා කරන්ට ඕන. නිශා රැකුම දැන් ඉස්සර තිබ්බ විදියෙන් බාගයක් වත් නෑ. බෙන්ජින් කියනවා-"

"කිසිම සැකයක් නෑ, මට උ‍ඹේ ස‍හෝදරයා කියන ඒවා ඉක්මනටම අහන්ට ලැ‍බෙයි." රොබර්ට් හරස් කැපී ය. "ප්‍රාකාරෙ අවුරුදු අටදාහක් කෙලින් තිබ්බා. ඒකට තව දවස් කීපයක් බලන් ඉන්ට පුළුවන්. මට ඊට වඩා වැදගත් කාරනා ගැන හිතන්ට වෙලා තියෙනවා. මේක හරිම අමාරු කාලයක්. මට ඕන මගේ වටේ හොඳ මිනිස්සු ටිකක්. ජොන් ඒරින් වගේ මිනිස්සු. එයා ‍සේවය කලා ඉයරිවල වංශාධිපතියා විදියට, නැගෙනහිර පලාතෙ ආරක්ෂකයා විදියට, රජ්ජුරුවන්ගෙ 'අත' විදියට. එයා වගේ කෙනෙක් හොයාගන්න එක ලේසි නෑ."

"එයාගෙ පුතා..." නෙඩ් කතාව ඇරඹී ය.

"එයා‍ගෙ පුතාට ඉයරියි, ඒකෙන් එන ආදායම ඔක්කොමයි උරුමයෙන් ලැබෙයි." රොබර්ට් පරුෂ ලෙසින් කීය. "එයාට ඊට වඩා ලැබෙන්නෙ නෑ."

නෙඩ් මෙයින් විමතියට පත් විය. තිගැස්සුනු ඔහු ගමන නවත්වා රජු දෙස බැලීමට හැරුනු අතර අනාරාධනාත්මකවම ඔහු ගේ මුවින් වචන ගලන්නට විය. "ඒරින්ලා තමා හැමදාමත් නැගෙනහිර ආරක්ෂක‍යො වුනේ. ඒක ඒ වසමත් එක්ක යන තනතුරක් නෙ."

"සමහරවිට ළමයා නිසි වයසට ආවහම එයාට ඒ ගෞරවේ දෙන්ට පුළුවන් වෙයි." රොබර්ට් කීවේ ය. "මට ඒ ගැන හිතන්ට මේ අවුරුද්දයි ඊළඟ අවුරුද්දයි තියෙනවා. අවුරුදු හයක දරුවෙක් කියන්නෙ යුධ නායක‍යෙක් නෙවෙයි නෙඩ්."

"සාම කාලෙදි ඒ තනතුර නිකංම නිකං ගෞරව නාමයක් විතරනෙ. ළමයට ඒක තියාගන්ට ‍දෙන්ට. එයා වෙනුවෙන් නෙවෙයි නං අඩුම ගානෙ එයාගෙ තාත්තා වෙනුවෙන්වත්. ජොන් කරපු සේවයට ඔබ ඒ තරම්වත් ණය ගැතියි."

මේ කතාව නිසා රජතුමා සතුටට පත් වූයේ නැත. ඔහු නෙඩ් ගේ උරහිස මතින් සිය අත ඉවතට ගත්තේ ය. "ජොන් ගෙ සේවය කියන්නෙ එයා එයා‍ගෙ රජතුමාට කරන්ට බැඳිලා තිබුන දෙයක්. මං කලගුණ නොසලකා ඉන්නෙ නෑ නෙඩ්. අනිත් මිනිස්සු හැමෝටම වඩා උඹ ඒ ගැන දැනගෙන ඉන්ට ඕන. ඒ වුනාට පුතා කියන්නෙ එයා‍ගෙ තාත්තා නෙ‍වෙයි. නිකංම නිකං පුංචි ළමයෙකුට බෑ නැගෙනහිර පාලනය කරන්ට." ඔහු ගේ ස්වරය මෘදු විය. "මේ ගැන කතා කලා ඇති දැන්. ඊට වඩා වැදගත් දේවල් තියෙනවා සාකච්ඡා කරන්ට. අනික මට උඹත් එක්ක වාද විවාද කරන්ට බෑ." ඔහු නෙඩ් ගේ වැළමිටෙන් අල්ලා ගත්තේ ය. "මට දැන් උඹේ උදවු ඕන නෙඩ්."

"ඔබට අවශ්‍ය දේ කියන්ට මගේ ස්වාමිනී. මම හැමදාමත් ඔබේ සේවයේ." නෙඩ් සැකමුසු වෙමින් පැවසී ය.

"අපි දෙන්නා ඉයරිවල ගතකරපු කාලෙ... දෙයියම්පා ඒක නං නියමම කාලයක් තමා. උඹ ආයෙමත් මගේ පැත්තකින් ඉන්නවා මට දකින්ට ඕන නෙඩ්. මට ඕන උඹ කින්ග්ස් ලෑන්ඩින්ග්වලට එනවා දකින්ට. උඹ මේ ඈත කෙලවරකට වෙලා ඉන්නවා කාටවත් වැඩක් නැති විදියට." රොබර්ට් අන්ධකාරය දෙසට බැල්මක් හෙලී ය. "මං දිවුරන්නං, සිංහාසනයක් දිනනවට වඩා දාස් ගුණයක් අමාරුයි ඒකෙ දිගටම වාඩි වෙලා ඉන්න එක. නීති ක්‍රියාත්මක කරනවා කියන්නෙ ඔළුවෙ කැක්කුම හැ‍දෙන වැඩක්. රට කරවන්ට සල්ලි හොයනවා කියන්නෙ ඊටත් වඩා අමාරු දෙයක්. එතකොට මිනිස්සු... මිනිස්සුන්ගෙ ඕනෑඑපාකම්වල කෙලවරක් නෑ. මං අර මලමගුල් යකඩ පුටුවෙ වාඩිවෙලා පස්ස හිරි වැටෙනකං, මොළේ කොලොප්පං වෙනකං මිනිස්සුන්ගෙ පැමිණිලි අහන් ඉන්ට ඕන. ඒ හැමෝටම මොකක් හරි දෙයක් ඕන, සල්ලි නැත්තං ඉඩකඩම් නැත්තං යුක්තිය. ඒ මදිවට උං කියන බොරු... මගේ වංශාධිපතියොයි ආර්යාවොයි ඊට හපන්. මාව වටකරන් ඉන්නෙ චාටුකාරයො යි මෝඩයො යි. මේ දේවල් ඇති මිනිහෙක්ව පිස්සු වට්ටන්ට නෙඩ්. උංගෙන් බාගෙට බාගයක් මට ඇත්ත කියන්ට බයයි, අනිත් බාගෙට ඇත්ත මොකක්ද කියලා හොයාගන්ට බෑ. සමහර දාට රෑට  මට හි‍තෙනවා අපි ත්‍රිශූලෙ ළඟ යුද්ධෙ පැරදුනානං කියලත්. ඇත්තටම ඒ විදියටම නෙවෙයි, ඒ වුනත්...."

"මට ඔබව තේරෙනවා." නෙඩ් මෘදු ස්වරයෙන් පැවසී ය.

රොබර්ට් ඔහු දෙස බැලීය. "මං හිතනවා උඹට තේරෙනවා කියලා. උඹට තමා මාව හරියටම තේරුම් ගන්ට පුළුවන්. මගේ පරණ මිත්‍රයා." ඔහු සිනාසුනේ ය. "එඩ්ඩාර්ඩ් ස්ටාර්ක් වංශාධිපතියා‍නනි, මම ඔබව 'රජතුමාගේ හස්තය' ලෙසින් පත් කරමි."

නෙඩ් දණ බිම නැමීය. මේ පිරිනැමීම ඔහු බලාපොරොත්තු නොවූවක් නොවීය. රොබර්ට් මේ තාක් දුර ගෙවා ඔහු බැහැ දැකීමට පැමිණීමට වෙනත් හේතුවක් ඇද්ද? රජතුමා ගේ හස්තය යනු රාජධානි සප්තකයේ සිටිනා දෙවෙනි බලවත්ම පුද්ගලයා ය. ඔහු රජු ගේ නමින් ජනතාවට කතා කරයි, රජු ගේ හමුදාවන්ට අණ දෙයි, රජු ගේ නීති කෙටුම්පත් කරයි. සමහර අවස්ථාවලදී - රජතුමාට පැමිණීමට නොහැකි වූ විට, රජතුමා අසනීප වූ විට, රජතුමා පැමිණීමට අකැමැති වූ විට - ඔහු යකඩ සිංහාසනයේ වාඩි වී රජතුමා ගේ යුක්තිය පවා පසිඳලයි. රොබර්ට් මේ ඔහුට පවරන්නේ රාජධානිය තරමටම විශාල වගකීමකි.

මුළුමහත් ලෝකයෙන්ම නෙඩ්ට උවමනා වන අවසානම දෙය මේ තනතුර යි.

"මගේ ස්වාමිනී, මම ‍මේ ගෞරවයට සුදුසු නෑ."

රොබර්ට් නොඉවසිල්ලෙන් මෙන් නමුත් හාස්‍යජනක අන්දමින් ගෙරෙවුවේ ය. "මට ඕන නං උඹට ගෞරවයක් දක්වන්ට, මං කරන්නෙ උඹව විශ්‍රාම යවන එකයි. මට ඕන කරන්නෙ උඹ මං වෙනුවට මේ රට පාලනය කරන්ට යි මගේ යුද්ධ මෙහෙයවන්ට යි. එතකොට මට පුළුවන් මං කැමැති විදියට කාලා බීලා ගෑනු පස්සෙ ගිහිල්ලා මගේ ජීවිතේ විඳින්ට." සිය උදරයට අල්ලෙන් පහරක් දුන් ඔහු සිනහවක් පෑවේ ය. "උඹ දන්නවනෙ, රජ්ජුරුවොයි එයාගෙ අතයි ගැන තියෙන කියමන."

"රජතුමා සිහින දකිද්දී රජතුමාගේ හස්තය ඒ සිහින සැබෑ කරයි."

"එක පාරක් මගෙත් එක්ක ඇඳට නැග්ග මාළු කාරයෙක්ගෙ ගෑනියෙක් ඔයිට වඩා හොඳ විදියකට මට ඕක කියලා දුන්නා. උං කියන විදියට 'රජතුමා කද්දී රජතුමාගෙ අත පස්ස හෝදයි'." රොබර්ට් හිස පසුපසට ඇළ කර කොක් හඬලා සිනාසුනේ ය. අන්ධකාරය පුරා ඔහුගේ සිනා හඬ රැවු දුන් අතර ඔවුන් වටා සිටි වින්ටර්ෆෙල්හි මලගිය මී මූත්තෝ සීතල නොපහන් දෑසින් ඔවුන් දෙස බලා සිටියහ.

අන්තිමේ දී සිනා හඬ නතර විනි. නෙඩ් තවමත් දණ බිම ඇන හිස ඔසවා ඉහළ බලා සිටියේ ය. "උඹ නං යකාට යන්ට ඕන නෙඩ්. පොඩ්ඩක් හිනා වෙයංකො."

"අපේ කියමනක් තියෙනවා, මේ උතුරේ සීත කාලෙ කොච්චර දරුණුද කියනවනං මිනිහෙක්ගෙ හිනාව උගුරෙම ගල් වෙලා ඒ මිනිහා හුස්ම හිර වෙලා මැරෙන්ට පුළුවන් කියලා." නෙඩ් කීය. "සමහරවිට ඒක වෙන්ට ඇති ස්ටාර්ක්වරු එච්චර හිනාවෙන්නෙ නැත්තෙ."

"මාත් එක්ක දකුණට වරෙන්. මං උඹට උගන්නන්නං කොහොමද ආයෙමත් හිනාවෙන්නෙ කියලා." රජතුමා පොරොන්දු විය. "උඹ මට උදවු කලා මේ මලඉලවු සිංහාසනේ දිනන්ට. දැන් මට උදවු කරපං ඒක පාලනේ කරන්ට. අපි දෙන්නා ඉපදිලා ඉන්නෙ එකට එක්කහු වෙලා පාලනේ කරන්ටයි. ලියාන්නා ජීවත් වෙලා හිටියානං අපි මේ වෙනකොට ලේ වලින් එකට බැඳිච්ච සහෝදරයො නෙඩ්. අනිත් එක අපි තවම ඒකට එච්චරම පරක්කුත් නෑ. උඹට දුවෙක් ඉන්නවා. මගේ ජොෆුයි උඹේ සන්සායි අපේ පෙළපත් දෙක එකට එක්කහු කරයි, හරියට මායි ලියාන්නායි එක පාරක් කරන්ට හිටියා වගේ."

මේ යෝජනාව ඔහුව පුදුමයට පත් කලේය. "සන්සාට තාම එ‍කොළහයි."

රොබර්ට් නොඉවසිල්ලෙන් අතක් වැනී ය. "විවාහ ගිවිසගන්ට තරම් ඒ හොඳටම වයස ඇති. විවාහ උත්සවය තව අවුරුදු කීපෙකට කල්දාන්ට පුළුවන්. දැන් වත් දෙයියංගෙ නාමෙට නැගිටලා 'ඔවු' කියලා කියපං."

"මීටත් වඩා සතුටක් මට තවත් නෑ මගේ ස්වාමිනී." නෙඩ් පිළිතුරු දුනි. ඔහු මඳක් තැතනුවේ ය. "මේ ගෞරව හැම එකක්ම මං කොහෙත්ම බලාපොරොත්තු නූන එකක්. මට ‍මේ ගැන හිතා බලන්ට පොඩි කාලයක් දෙන්ට පුළුවන්ද? මට මගේ බිරිඳට මේ ගැන කියන්ට...."

"ඔවු ඔවු. අනිවාර්යයෙන්ම. කැට්ලින්ට කියන්ට. උඹට ඕන තරං ඒ ගැන හිතා බලපං." පහතට නැඹුරු වූ රජතුමා නෙඩ් ගේ අතකින් අල්ලා ඇද ඔහුව දෙපයින් සිටවී ය. "හැබැයි මට ගොඩක් කල් බලන් ඉන්ට සිද්ධ කරන්ට එපා. මං ‍එච්චර ඉවසිලිවන්ත මිනිහෙක් නෙවෙයි."

එක් මොහොතකට එඩාර්ඩ් ස්ටාර්ක්ට අනතුරක පෙර නිමිත්තක් පෙනී නොපෙනී ගියේ ය. වින්ටර්ෆෙල් යනු ඔහුට හිමි ස්ථානය යි. තමා වටා නැගී සිටින ශෛලමය පිළි රූ දෙස මොහොතක් බලා සිටි ඔහු සොහොන් ගැබ තුළ සීතල නිහඬතාව මධ්‍යයේ ගැඹුරු හුස්මක් ඉහළට ඇද්දේය. මලගිය මුතුන් මිත්තන් ගේ සීතල දෑස් ඔහු දෙස බලා සිටින ආකාරය ඔහුට දැනුනි. ඔවුන් සියල්ලෝම කණ් දී ගෙන සිටිති. ශීත කාලය පැමිණෙයි.


Robert Baratheon: "I swear to you, sitting a throne is a thousand times harder than winning one."

89 comments:

  1. කතාව හරි ම ලස්සණ යි, පොඩ්ඩි අක්කේ ^_^ මුල දී හරියට ම තේරුණේ නැතත් දැන් නං පිස්සු වැටිලා ඉන්නේ. දිගට ම මේ විදියට ම රසවත් ව පරිවර්තනය කරන්න ලැබේවා! ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ධාරා!

      (මං හිතන්නෙ පොඩ්ඩි අක්කා ඔයාට දිග reply එකක් දායි) :-)

      Delete
    2. ධාරා, මූණු පොතේ ඔයාලගේ සංවාදේ කියෙව්වා...ගොඩක් වටිනා සංවාදයක්. විවිධ අයගේ විවිධ මත දැක්කා.ඔයාට ගොඩක් ස්තූතියි...:)

      ඒකේ කට්ටිය කියලා තිබුණා සමහර වචන භාවිතය හරි නෑ වගේ එකක්. ඒ එක්කම කතාව ගලාගෙන යෑමේ ප්රශ්නයක් වගේ දේවල්. එයාලා ඒ දේවල් ඒ, ඒ වෙලාවට මෙතනට ඇවිත් කියනවා නම්, අපිට ඒ වැරදි ලේසියෙන් හදාගන්ට පුලුවන්.

      පුලුවන් නම් එහෙම දෙයක් කීවා නම් හොඳයි කියලා හිතුණා...

      කොහොම වුනත් ධාරාට පොත් දෙකක් නොමිලේ. 'සැඳෑ අඳුර' සහ 'සිහසුනට තරග වැද' :D

      Delete
    3. මට මේක දැකලා තවම දවසක් දෙකක් විතර හින්දා දැන් මේ කතාව කියන එක සුදුසු නැද්ද මන්දා. ඒත් වචන භාවිතය ගැන කතාව ගිය හින්දා මේක කියන්න හිතුණා. කේ.ජි.කරුණාතිලක මහත්තයාගේ මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කියන පොත කියවලා එකේ චරිත වල නම ඉංග්‍රීසියෙන් දකිද්දී මර්සිදී, වලොන්තින් කියන්නේ මර්සිඩීස්, වැලන්ටින් කියලා දැක්කම අවුල් ගැහුවා. ඒත් සිංහල විදියට කියන්නේ එහෙමයි කියලා පස්සේ තේරුනා. ඒ විදියටම සර්සි,ලියානා විදියට කියවපු නම් ටිකක් වෙනස් වෙද්දීත් ඒකම දැනුණා. ඒත් එක සිංහල විදියට කියවෙන විදියනේ. ඒ වගේම Trident, Neck වගේ ඒවා ත්‍රිශුලය, බෙල්ල වගේ වෙද්දී පොඩ්ඩක් වෙනසක් දැනෙනවා. මොකද Kings Landing කියන එක ඒ විදියටම තියන්න පුළුවන් නම් අනිත් ස්ථාන නාමයනුත් ඒ වගේ තියන්න පුළුවන් නේද?

      Delete
    4. ඔතන ප්‍රශ්නෙ මේකයි. සමහර නම් ඉංග්‍රීසියෙන් තියෙද්දි කැතයි, සිංහලයට හරෝපුවහම ඊට වඩා හොඳයි. තව සමහර නම් තියෙනවා ඒවා සිංහලයට හරවනවට වඩා හොඳයි ඉංග්‍රීසියෙන්ම තියන එක.

      1. හිතන්ට 'බෙල්ලෙන් උඩ' කියන එක 'නෙක් එකෙන් උඩ' කිවුවහම කෘත්‍රිමයි නේද?
      2. කින්ග්ස් ලෑන්ඩින්ග් වලට 'රජා බැහැපු තැන' කිවුවහමත් කෘත්‍රිමයි නේද?

      මේක හරියට අපි 'වර්ල්ඩ්ස් එන්ඩ්' කියන එකට 'ලෝකාන්තය' කිවුවට ‍'නක්ල්ස්' වලට 'අත්මිට' කියන්නෙ නෑ වගේ දෙයක්. නම කියන්ට පහසුවීම හා කටට හුරු වීම තමා වැදගත්.

      Delete
  2. මේක හිමිං හිමිං ඇදෙනවා බලං ඉන්ට බැරිම තැන.. මෙගා බයිට් පල යකාට කියලා හිතලා ඔන්න මාත් මේ උලව්ව බලන්ට ගත්තා.. යන්තං පලවෙනි කොටස් දහය පහුගිය දවස් කීපය ඇතුලත පලවෙනි කොටස් දහය බලලා ඉවර කලා... ඒ ඉවර වෙද්දි යක්ෂයා වැහෙනවා.. මොන මගුලක්ද.. කාටවත් කවදාවත් සැනසිල්ලක් ඇති වෙන කතාවක් නෙවෙයි.. එක කරදරයක් ඉවර වෙන්නේ එයිට එහා ගිය මගුලක් පැටලිලා.. දැන්නං කරගත්ත මෝඩකමක් කියලා හිතෙන්නේ මේක බලන්ට අරං.. බලලත් බැහැ ලේ පිච්චෙනවා.. නොබලත් බැහැ නිකං කිචි කිචි වගේ... :D

    ReplyDelete
    Replies
    1. මේ මාරයියා ගිය පාර දීපු ලින්කුව වැඩ නෑනේ ... ඕක එවන්න බැරිද?

      Delete
    2. ඈ බොල තෝ හිතුවද මං ඔය අවලං වීඩියෝ වල ලින්ක් සේව් කරං ඉන්නවා කියලා...? :P

      ( මට මතක නැහැ බං කෝකද කියලා.. නිකං ඉන්නවට “game of thrones daenerys“ කියලා ගූගල් සර්ච් කරලා වීඩියෝ කෑල්ලට පලයං.. අර තියෙන්නේ තොග ගානට... :D :D :D )

      Delete
    3. ආ මෙහෙමම ගහලා ගූග් සර්ච් වලින් වීඩියෝ චෙක් කොරහං.. සොයන්නාට සම්බ වේ.. සොයා දෙන්නාට කෙල වේ...

      “Love in Game of Thrones: Daenerys & Drogon“

      මුලටම වගේ එයි විනාඩි 10 යි තත්පර 20ක්ද කොහේද තියෙන එකක්...

      (මං දන්නවා දැන් කොයි වෙලේ හරි අර ලී කොට ඇඩ්ඩියා මාව බ්ලොක් කරනවා මේකේ කොමෙන්ට් දාන්න නොදී... පොඩි උන් නරක් කොරනවා කියලා :D )

      Delete
    4. හප්පේ ..ඔය වීඩියෝ අවලං කියලා අපි කිව්වයි ඉතිං. අර ඉතිං අපේ ලොකු අයියගෙන් ඔහොම දෙයක් ඉල්ලන්නේ නැතුව වෙන කාගෙන් ඉල්ලා ගන්ට කියලද?

      ඔන්න කිව්ව විදිහටම සර්ච් කළා ..අප්පේ ගුරු පඬුරු එවන්නැයි ...? :P

      Delete
    5. අනේ බං, මක්කටැයි බොලාව බ්ලොක් කරන්නෙ!? ඔය ඕන මඟුලක් දාගනිං. :-D

      Delete
    6. @මාරයා,

      පොඩි එවුන්? ඉවාන්ටද කීවේ?? :D

      Delete
    7. හොය හොයා බලන්න දෙයක් නෑ ඉවාන් අයියේ, ටීවී සිරිස් එක බැලුවා නම් ඉතින් දිගටම එහෙම වගේ තමයි. මිනි මැරුමක්, 18+ කොටසක් නැතිනම් ඒ කොටස වැඩක් නැති එකක් කියලා කියන්නේ

      Delete
  3. හපොයි... අර පිස්සු රජ්ජුරුවො.. නොඩ් ලොක්ක ටත් පිස්සු හැද්දුවෙ නැත්තං එච්චරයි

    ReplyDelete
    Replies
    1. රජා පිස්සා වුනාම ජනතාවටත් බලෙන් පිස්සු හදාගන්ට වෙනවා. නැත්තං කොහොමෙයි රජාත් එක්ක ඉන්නෙ? ;-)

      Delete
  4. From today onwards, for about a month, I won't be able to type in Sinhala, so will comment in English..
    Maintaining a post is thousand times difficult than winning it, whatever the post may be. Certified truth..

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකක් පටන්ගැනීමට වඩා එය පවත්වාගෙන යාම අසීරුය - සෙර් අඟහරුවා

      Delete
  5. Replies
    1. දැන් අර වෙඩි තියාගත්ත එකේ තුවාලෙ සනීපද? :-)

      Delete
    2. හී හී...හැබෑට ගොඩක් තුවාල වුනාද?

      Delete
    3. මේ මොනව අහනවාද? අර (Y) කියල දාල තියෙන්නෙ. තාම යන්නෙ කිහිලි කරුවෙන්. කාගෙ නමුත් දරුවෙක් නෙව

      Delete
  6. Replies
    1. මිස් කරගන්ට එපා. සතියට තුනයි. හැමදාම නෑ හැමතැනම නෑ. :-)

      Delete
  7. "සිංහාසනයක් දිනනවාට වඩා දාස් ගුණයක් අමාරුයි එකේ දිගටම වාඩි වෙලා ඉන්න එක " ඕක මෙහෙනම් එච්චර අමාරු නෑ ... ඕනේ නම් අපේ රජවරු ලව්වා ටියුෂන් දුන්න හැකි ...

    ReplyDelete
    Replies
    1. මෙහේ ඉතින් කොහොමහරි සිංහාසනේට නැග ගන්න එක කරගත්තොත් ආයේ ඒකෙන් බස්සනව බොරු :)

      Delete
    2. එකනේ අපේ රජවරු ඒ අතින්නම් කොයි තරම් දියුණුද අනෙක් ඒවායෙන් කෙසේ වෙතත්...:D

      Delete
    3. ආශ්චර්යය... නංගි, මල්ලි!

      Delete
    4. @ඉවාන්,

      අපි ඔක්කොම රජවරු කියලා එහෙනං කට්ටියම ඔහේ එක්කගෙන එමු...:D

      Delete
    5. @මනෝජ්,

      හ්ම්ම් හ්ම්ම්....:D

      Delete
  8. A thousand apologies සෙර් බුර්,
    ග්ලොසරි එකට යන වචනවල පාට පේනව මදි. සුදු පාට වචන අතර ක්‍රීම් පාට පේනව හොරයිනේ.

    තව දෙයක්, මේක කියවන්න කැමති සෙන්නා දැන් කියවන්නෙ නැහැ ඩාක් බැක්ග්‍රවුන්ඩ් එකක සුදු අකුරු අමාරුයි කියල

    ReplyDelete
    Replies
    1. ඔය චෝදනාව කලිනුත් ආවා‍ PJ. මේකට පිළියමක් යොදන්නම්.

      Delete
    2. උතුමාණන්ට පිලියමක් වහාම යොදන්ට වෙනවා. සෙන්නාගෙන් මට මේල් කීපයක්ම තිබුණා...

      Delete
  9. Friday එන්න බැරි උනා. අද ඇවිල්ල 2ම කියෙව්ව. සමහර වචන වලට help text එකක් දීල තියන එක නම් නියමයි.

    ReplyDelete
    Replies
    1. කලින් කොටසෙදි අහන්න ඕනි ප්‍රශ්නයක් මෙතන ඇහුවට කමක් නෑ නේද? රේගාර් සහ ලියාන්නා ගැන තමා ප්‍රශ්නෙ. මෙතන රේගාර් කියන්නෙ ඩැනීගෙ අයියනෙ. ඩනේරිස් 1 කොටසේ තිබ්බෙ තමා ආදරය කල කාන්තාව වෙනුවෙන් රේගාර් දිවි පිදුව කියල. එතකොට ඒ කාන්තාව ලියාන්නා ද? ලියාන්නා මැරුනේ අසනීප වෙලා නෙවෙයිද? පොතේවත් නැති දේවල් අහනව නම් සමා වෙන්ඩෝ :D

      Delete
    2. ලියාන්නා තමයි රේගාර් ආදරය වෙනුවෙන් දිවි පිදූ(?) කාන්තාව.

      ලියාන්නා මැරුනෙ කොහොමද කියලා පොතේ කොතනකවත් පැහැදිලිවම කියලා නෑ. එහෙන් මෙහෙන් ඉඟි තමා දීලා තියෙන්නෙ. පාඨකයො හිතාගන්ට ඕන.

      Delete
    3. මේකේ ඉඟියක් කසුන් දීලා තිබ්බා එක පෝස්ට් එකක. කොයි එකද කියලා මතක නෑ. එයා දැක්කොත් කියයි.

      Delete
    4. ටර්ගේරියන් ලට අනුව නම් ඉතින් ලියානා ආදරය වෙනුවෙන් පන දුන් කෙනෙක්. මොකද රේගා ටාර්ගේරියන් කෙනෙක් නේ :පී .
      රොබට් කියන විදිහට නම් රේගා ලියානාව පැහැරගන ගියා.

      we really don't know hat happened. and i cannot give my full theory without spoiling the fun for the first time readers.
      but if any one wants to explore more, please search R+L= J in google. i am strongly pro this theory because eddard stark is a man of honour. he would die before dishonouring is lady wife, or breaking an auth. The only honourable man in the realm i think .
      we have to consider the marriage laws of valerya ( targaryens followed them) and the character of lyanna, duty of the kingsguard, death of the sword of the morning. non of which is seen until the book three.

      did i confuse you more ? :D

      Delete
    5. implications and repercussions of this claim that rhaegar die for love and lyanna loved him back would be like an atom bomb. shaking the very foundation of claims to the iron throne and the myth of a three headed dragon.

      Delete
    6. you are confusing her more :D :D

      Delete
    7. if i were her, id be intrigued.
      better confused than spoiled. people used to avoid fb for days when the tv show was online. for the fear of spoilers.

      Delete
    8. ස්පොයිලර් වලට සිංහලෙන් කියන්නේ මොකක්ද? මේක වෙන තැනක එහෙම දැම්මා නම් හොදට අහගන්න වෙනවා ස්පොයිලර් දානවා කියලා.

      Delete
    9. spoiler වලට හිංගලෙන් කියන්නෙ " කෙලිය නේද පාත්තරේටම?" කියලයි.

      එහෙම කිව්වට මයෙ නං ආයෙ spoil වෙන්න දෙයක් නෑ. කස්ටියම එකතු වෙලා සායම ඇරල ඉවරයි . ඕං දැං අර පැරේඩ් එකෙත් යවන්න ලෑස්තිවෙනවා, පිංතූරෙ යා..න්තමට රෝස පාටක් තියේ කියල :)

      Delete
  10. මෙය මාගේ අවසන් ඉපදීමයි.. මින්මතු ඉපදීමක් නොමැත.. යනුවෙන් උදාන වාක්‍යයක් ප්‍රහර්ශයෙන් දක්වා දේශකයා නික්ම ගියේය..

    ReplyDelete
    Replies
    1. දේශක, ටිකක් විතර උදේ වැඩි නැද්ද?
      Anyway, Cheers!

      Delete
    2. එතකොට මේ ඉස්සරහට තියෙන හොඳ හොඳ කෑලි බලාගන්නෙ කොහොමද :p

      Delete
    3. දේශක, මොනවැයි උදේම බිවුවෙ?

      Delete
    4. එන ආත්මේ බ්ලොග් නොලීවට, නොකියෙව්වට කමක් නෑ දේශකයෝ...මේ ආත්මේ නම් ගැලවෙන්ට බෑ හොඳේ.:D

      Delete
  11. අද නම් ටිකක් බැරෑරුම් කොටසක් , බොහොම හෙමින් සැරේ කියෙව්වේ. අදහස් පැහැදිලිව ගලාගෙන යනවා. පොතක් වශයෙන් කියවන්න නම් හරි ආසයි .

    ReplyDelete
    Replies
    1. එහෙනම් දැනට නොකියවා ඉන්ට. පොත ආවහම එකක් එවන්නං ඔයාට. :-P

      Delete
    2. ඒවා නම් හරියන්නෙ නැහැ ඔන්න , දිගට දිගට කතාව දාන්නකෝ :)

      Delete
  12. ආයේ මොනවා කියලා කියන්නද?හරිම ලස්සනයි.කතාව කියවන් යනකොට මැවිලා පේනවා.
    බුරාන් උතුමාණෙනි,පොඩ්ඩි ආර්යාවනි ස්තුතියි මේ රසස්වාදය අපිට බෙදනවාට..:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්!

      Delete
  13. ගොඩක් හොඳ වැඩක්. දිගටම කරගෙන යන්න.

    ReplyDelete
  14. සෙර් බුර්,
    Lyanna -ලියාන්නා කියන්න ඕනැද? ලියානා කිව්වහම මදිද?

    ReplyDelete
    Replies
    1. එ(ඩ්)ඩාර්ඩ් කියනවා වගේ ලියා(න්)නා කියලා කියන්ට. :-)

      Delete
    2. OK, Buddy බ(ඩ්)ඩී

      Delete
    3. ඔබ කියන කතාව ඇත්ත තමා PJ. ඒක ඊළඟ ‍කොටසෙ ඉඳලා එඩාර්ඩ්, ලියානා කියලා හදන්නම්. පබ්ලිෂ් කරපු ටික දැනට ඔහොම තිබුනාවෙ. ඒවා පස්සෙ edit කරන්නම්.

      Delete
    4. ඉස්සරවෙලාම ලියන්නා කියල තියෙනකොට මාත් බැලුවා එකපාරටම ලියන්නෙක් කොහොමද ආවෙ කියල

      ලියානා කිව්වම ලස්සනයි තමා.

      Delete
    5. මාත් කියන්ටම කියලා හිතාගෙන හිටපු එකක්. මටත් දැන් හැමදේම අමතකවෙනවනේ.:)

      Delete
    6. ඒ උනාට ලියන්නා එඩ්ඩාර්ඩ් කියෙල කියවෙන කොට පොඩි මෙවුවා එකක් තියෙනව නේද? කතාවා හා එහි කාලවකවානුවත් එක්ක ගන්න කොට.
      මන් නම් හිතන්නෙ ඔය තියෙන විදිහ හොඳා කියලා.

      Delete
    7. හුටා! දැන් මක්කැයි කොරන්නෙ? හදන්ටද, තියන්ටද?

      (නිශ්ට රහසින් - අපි මොනා කිවුවත් අන්තිමට ආර්යාව කියන දේ තමා කරන්ට වෙන්නෙ බං) ;-)

      Delete
    8. Poddi ට පොඩ්ඩි කිව්වට Buddy ට කියන්නෙ බඩී , Attention ට ඇට්ටෙන්ශන් කියන්නේ නෑ.
      ඒත් නම් (names) නිසා සෙර් බුර් ට නිදහස තියනව (ලේඩි පොඩ් දෙන තරමට )

      මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ "ලියාන්න" කිව්වහම අර ලේඩි පොඩ් ආදරෙන් ලියාන්න' කිව්වහම සෙර් බුර් ලියනව වගේ

      Delete
    9. මම නම් ඉතින් ඔය ඉන්ගිරිසි එච්චර දන්නෙ නෑ. නිකන් පොඩි මෙවුවා එකක් තිබ්බ නිසා කිව්වේ.
      බලමුකො ආර්යාවගේ තීරනේ

      ( බුරාට රහසින් - හපොයි මගෙ මිත්‍රයා බොට වෙච්ච සංගදියක්....:P )

      Delete
    10. (මහ හඬින්) ඔය Ser Pra කියල තියෙනදේ තමා හරි. ඒක කෙරුවානම්...:D:D

      Delete
  15. මම මේ ඇහුවමයි තමන්ට බලය වැඩියි කියලා ඒක තව කෙනෙක් එක්ක බෙදා ගන්න හදන පාලකයෙක්.. එක අතකට ඉතින් මේ රජකාලෙනේ.. ඒ හන්දා එහෙම වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. මේක බලය බෙදා ගැනීමක් නෙවෙයි දිනේශ්. රජතුමාගෙ හස්තය කියන්නෙ තියෙන ඔක්කොම කුණු කන්ට ඕන තනතුරක්. රජයට ආදායම හොයාගන්නෙ කොහොමද, අරයගෙ හිත රිද්දන්නෙ නැතුව අරක කරන්නෙ කොහොමද, රජතුමා ගත්ත ණය ගෙවන්නෙ කොහොමද, මිනිස්සුන්ව අවුස්සන්නෙ නැතුව බදු වැඩි කරන්නෙ කොහොමද, වගේ සාටර් ප්‍රශ්නවලට උත්තර හොයන්ට ඕන. රජාගෙ නම යනවා මෙයාගෙ හම යනවා.

      රජතුමාට තියෙන්නෙ මෙයා හොයන සල්ලිවලින් හොඳට ජොලි කරලා ඉන්න එක තමා. :-)

      Delete
    2. as someone would say later, "the king shits and the hand wipes"

      Delete
  16. අද කොටස ටිකක් දිග වැඩිද? අර නම ජොන් ද ජෝන් ද? අද ටිකක් කලබලෙන් කියෙව්වේ.

    ReplyDelete
    Replies
    1. පරිච්ඡේදය කොටස් දෙකකට කැඩුවෙ විචාරක. දිග වැඩියි වගේද?

      ඒ නම ජොන් (Jon).

      Delete
    2. දිග වැඩියි ?
      මේ පිස්සු නම් කෙලින්න හදන්න එපා සෙර් බුරා ද බෝල්ඩ්..:D

      Delete
  17. මෙදා මට කියවන්න පරක්කු වුණා.. පහුගිය දොහේ පොඩ්ඩක් පිට හිටියේ ඒ නිසා

    ReplyDelete
    Replies
    1. ඒකට කමක් නෑ නලීන්. පහුවෙලා හරි ආවනේ. :)

      Delete
  18. මේ අර කලින් තිබ්බ ටෙම්පෙල්ට් එක හොඳයිනේ,එකේ මහා අද්භූත ගතියක් තියෙනවානේ.එක නිසා කතාවත් එක්ක නියමෙට ගැලපෙනවා.එත් ඉතින් අපේ මාමලා,නැන්දලා ටිකට ඒ ටෙම්ප්ලේට් එකේ කියවන්න අමරුයිලුනේ...:(
    මේ පොස්ට් එකේ අකුරු ටිකක් ලොකු කෙරුවොත් නරකද උතුමාණෙනි,ආර්යවනි...:D

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ. මට මේක පේන්නේ මාලිගාවෙන් එලියට ඇදලා දැම්මා වගේ ගතියක්. හිස්...හිස්...හිස්....:(

      Delete
  19. මදැයි කියන්න තිබ්බ ටික කට්ටියගේ ඒවාට දාලා දැන් මට කියන්න දෙයක් ඉතුරු නෑ. කඩ්ඩෙන් කියවද්දී මෙච්චර වදින්නේ නෑ. කමක් නෑ දෙපාරක් කියවද්දී හොදට වදිනවා

    ReplyDelete
    Replies
    1. ඒ කීවේ දෙපාරක් කියවද්දි කඩුවෙන් වදිනවද? :D

      Delete
  20. අයන්වුඩ් ගහක තනි තට්ටෙන් එල්ලලා බොසින් ගැහැව්වත් ,ඇත්තම කියල දානවා :)

    මේ කතාවට වගේම , මං බොහොම අගේකල දෙයක් තමා කලින් තිබ්බ ටෙම්ප්ලේට් එක. පාලු, හුදකලා , අත්භූත , මුස්ප්පේන්තු පෙනුමක් වගේම, ඒකටම ආවේනික මොකක්දෝ කියන්න බැරි ලස්සනකුත් ඒකෙ තිබුනා. ඒ තිබුණු පිංතූර කතාවේ පරිසරයත් එක්ක ලස්සනට ගැලපුනා. ඒත් දැන්? නිකං , සුනාමියකට අහුවෙලා ගානයි.

    දැන් මේ අනිත් චෝදනාව බලමුකො. කලු පසුබිමේ- සුදු අකුරු කියවන්න අමාරු තමා. මට තියෙන පුරස්නෙ පාට මාරු කරපු එකම නෙමෙයි. ඇත්ත, කලුපාටෙ එන ගතියට අළුපාටට අලගු තියන්නවත් බෑ තමා. ඒත් මට වැඩියෙන්ම මිස් වෙන්නෙ. අර පසුබිමේ පේන නොපෙනෙන ගාණට තිබ්බ පිංතූර සෙට් එක. අයුස් වෝල් එක, අර ධජ-පතාක වගේ එව්වා.

    ඈ බුරෝ, බැරිවෙයිද එව්වා ටික ආයෙ පසුබිමට ඔබා "ගන්ට"

    ReplyDelete
    Replies
    1. ඔන්න හැදුවා. ආයෙනම් කියන්ට එපා අරක හරි නෑ මේක හරි නෑ කියලා. මම මේ නාස්ති කරන්නෙ තව පරිච්ඡේදයක් පරිවර්තනය කරන්ට යොදාගන්ට පුළුවන් කාලය. :-)

      Delete
    2. අර කලින් එකට වඩා මේකනම් හොඳයි තමයි ඈ...:)

      Delete
    3. උන්න හැටියට මලා මදැයි!

      ලෙඩා මලත් මොකද බඩ සුද්ද වුනා නෙව!

      :D :P

      Delete
    4. නොකියා කොහොමද? ටිකක් ගිහින් බලාපං කලින් පෝස්ට් එකට. අර මවුස් හූවර් ගැජමැටික් එක තියෙන තැන්වල මොනවදෝ තියනව වගේ , මයෙ හිතේ ? හැබෑටම , උඹ එහෙම දැම්මෙ අපිට අන්වීක්ශයකින් බලන්න නේද?

      මෙන්න තට්ට. හා, දැන් ඉතිං එල්ලපං මාව :)

      Delete
    5. ඉතින් බොලාගෙ screen resolution එක චුට්ටක් අඩුකරගනිල්ලාකො. ඇයි යකඩෝ 1920x1080 කිවුවහම චීනක්කණ්නාඩියක් දාලා එපැයි බලාන්ට. :-P

      බොලාගෙ අර 768x1024 iPad එකෙන් බැලුවහමත් එහෙමද පේන්නෙ? ;-)

      Delete
    6. මම බැලුවේ බ්ලොග් එක වෙනස් වෙනවත් එකක්ම, බස්සාගේ රූපේ වෙනස් වෙලා තියෙන හැටි. :)

      Ser Buraට ගොඩක් ස්තූතියි අපි වෙනුවෙන් මහන්සිවෙලා මේක හැදුවට.

      Delete
    7. @බුරා

      හුටා! බුදු අම්මෝ කාගෙන් නැතත් මුගෙන් පර්ස්සං වෙන්ට ඕනෙ. ඔහොම ගිහිල්ලා මයෙ මුළු පැටිකිරියම හොයා ගන්නත් බැරි නෑ :)

      Delete
  21. background එක වෙනස් කරලා, හොඳයි! හැබැයි පරණ එකේ අමුතු ගතියක් තියනවා පොඩ්ඩි..:)
    මේ කොටස කියවන්න ටිකක් පමා උනා.

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා හරි ආව එක ලොකු දෙයක්...Reeza :)

      Delete
  22. "රජතුමා සිහින දකිද්දී රජතුමාගෙ හස්තය ඒ සිහින සැබෑ කරයි" අපේ රටටත් ඇත්ත... වෙනස අත් ගොඩක් තියෙන එක විතරයි ..කොයි අත කෝක කලාද කියල හිතන්ට බැරි තරමයි..

    ReplyDelete
    Replies
    1. සරත් කියලතියන දේශපාලන එක නෙමෙයි වෙන එකක් කියන්න පුලුවන්.

      ඒත් මං අහිංසක නිසා... බෑ.

      Delete