Monday 21 July 2014

කැට්ලින් - 02-1


වින්‍ටර්ෆෙල්හි මහ බලකොටුවේ සියළුම කාමර අතරින් උණුසුම්ම කාමර පෙළ වූයේ කැට්ලින් ගේ නිදන කාමරය යි. මේ කාමරය උණුසුම් කිරීම සඳහා ගින්නක් දැල්වීමට සිදුවූයේ ඉතා කලාතුරකිනි. බලකොටුව තනා තිබුනේ ස්වභාවික උණු දිය උල්පත් මත වූ අතර එයින් නැගුනු උණුසුම් වතුර බලකොටුවේ බිත්ති අතරින් දිව ගියේ හරියටම මිනිසකු ගේ සිරුරේ රුධිරය ගලන්නාක් මෙනි. මේ උණු දිය මගින් ගලින් කල කාමර හා ශාලා බිත්තිවල සහ ගෙබිමේ සීතල පලවා හැරිනි. උණුසුම් ගිම්හාන‍යේ දී මෙය එතරම් වැදගත් දෙයක් නොවූවද ශීත කාලයේ දී එය ජීවිතයත් මරණයත් අතර වෙනස තීරණය කරන්නක් විය.

කැට්ලින් ගේ නාන බාල්දිය සෑම විටම උණු දි‍යෙන් පිරී තිබුනු අතර ඇගේ කාමරයේ බිත්ති ඇල්ලූ විට උණුසුම අතට දැනින. මේ උණුසුම ඇයට සිහිපත් කලේ රිවර්රන්හි හිරු එළියේ ලයිසා හා එඩ්මුයර් සමග ඈ ගතකල අතීතය යි. නමුත් නෙඩ් කිසිමදාක මේ උණුසුමට ඔරොත්තු දුන්නේ නැත. ස්ටාර්ක්වරුන් නිර්මිතව ඇත්තේ සීතල වෙනුවෙන් බව ඔහු ඈට නිතරම කී දෙයක් වූ අතර එවිට ඇය සිනාසෙමින් කියන්නේ එසේනම් ඔවුන් සිය බලකොටුව ගොඩනංවා ඇත්තේ වැරැදි භූමිභාගයක බවයි.

කැට්ලින් ගේ සිරුර මතින් ඉවත්ව ඇඳ මත රෝල් වී ගිය නෙඩ් එයින් බිමට බැස්සේ ය. කාමරය හරහා ඇවිද ගිය ඔහු ඝනකම් තිර රෙදි දෙපසට ඇද දමා උස් පටු කවුළු එකින් එක විවෘත කලේ රාත්‍රියේ සීතල වාතයට කාමරය තුළට වැදීමට අවකාශ සලසමිනි.

සීතය දුරු කරනු වස් සිය ලොම් පොරෝණාව නිකට තෙක් ඇදගත් කැට්ලින් නිහඬවම නෙඩ් දෙස බලා සිටින්නට විය. නිරුවතින් කවුළුව අසල සිට පිටත අන්ධකාරය දෙස බලා සිටි ඔහුව පෙනුනේ පමණට වඩා කුඩා දුර්වල පුද්ගලයකු, හරියටම මීට වසර පහළොවකට පෙර රිවර්රන්හි සප්තක දේවස්ථන‍යේ දී ඇගේ අතිනත ගත් තරුණයා මෙනි. ඔහු ගේ ඉක්මන් අනුරාගී හැසිරීම නිසා ඇගේ යටිකය තවමත් රිදුම් දුනි. එනමුදු එය මිහිරි වේදනාවක් විය. ඔහු ගේ දරුවකු කුස පිළිසිඳගන්නේ නම් යැයි ඇය ප්‍රාර්ථනා කලා ය. රිකන් ලැබී දැන් තුන් වසරකි. ඇය තවමත් වියපත් වී නැත. ඔහුට තවත් පුතෙකු ලබා දීමේ හැකියාව තවමත් ඇය සතුය.

"මං එයාගෙ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා." නෙඩ් පැවසූයේ ඇය දෙසට හැරෙමිනි.

කැට්ලින් ඇඳ මත වාඩි වූවා ය. "ඔයාට එහෙම කරන්ට බෑ. ඔයා එහෙම කරන්ට ඕනත් නෑ."

"මගේ රාජකාරි තියෙන්නෙ මේ උතුරේ. මට රොබර්ට් ගෙ අත වෙන්ට ඕනකමක් නෑ."

"එයා ඒක තේරුම් ගන්න එකක් නෑ. එයා දැන් රජ කෙනෙක්. රජවරු කියන්නෙ අනිත් මිනිස්සු වගේ ජාතියක් නෙවෙයි. ඔයා එයාගෙ යෝජනාව ප්‍රතික්ෂේප කලොත් එයා කල්පනා කරයි ඒ ඇයි කියලා. ඊට පස්සෙ එයා සැක කරන්ට පටන් ගනියි ඔයා එයාට විරුද්ධයි කියලා. ඔයාට පේන්නෙ නැද්ද එහෙම වුනොත් ඔයා අපි හැමෝවම කොච්චර ‍ලොකු අනතුරකටද ඇදලා දාන්නෙ කියලා?"

නෙඩ් හිස වැනුවේ ඇය කියන දේ විශ්වාස නොකරන අන්දමිනි. "රොබර්ට් කවදාවත් මට වත්, ඔයාට වත්, අපේ ළමයින්ට වත් හානියක් කරන්නෙ නෑ. අපි දෙන්නා සහෝදරයො දෙන්නෙකුටත් වඩා ළඟින් ආශ්‍රය කලේ. මිනිහා මට ආදරෙයි. මං ඒ යෝජනාව ප්‍රතික්ෂේප කලොත් මිනිහා පොඩ්ඩක් ගොරවයි, මට සාප කරයි. ඒත් සතියකට පස්සෙ මිනිහා මගෙත් එක්කම හිනාවෙයි වෙච්ච වැඩේට. මං මිනිහව දන්නවා."

"ඔයා ඒ මිනිහව දැනගෙන හිටියා. ඒ වුනාට රජතුමා කියන්නෙ ඔයා නොදන්න අමුත්තෙක්." උගුරේ ඇනුනු මුව අං කැබැල්ලක් සහිතව හිම මත මියගොස් සිටි ඝෝරවෘකයා ඇයට සිහි විය. ඔහුට සත්‍යය වටහා දීම ඇගේ යුතුකමයි. "ආත්මාඩම්බරය කියන්නෙ රජෙකුට බොහොම වටිනා දෙයක් මගෙ උතුමානෙනි. රොබර්ට් මෙච්චර දුරක් ‍ගෙවාගෙන ආවෙ ඔයාව දැකලා ඔයාට මේ ගෞරවය ලබාදෙන්ට. ඔයාට ඒක ආපහු එයාගෙ මූනට දමලා ගහන්ට බෑ."

"ගෞරවය?" නෙඩ් කටුක සිනහවක් පෑවේ ය.

"එයාට පේන විදියට ඒක ගෞරවයක් තමා."

"ඔයාට පේන්නෙ?"

"මටත් එහෙම තමා පේන්නෙ." කැට්ලින්ට මේ වනවිට කේන්ති එන්නට පටන් ගෙන තිබින. ඔහු මෙය හරිහැටි නොදකින්නේ ඇයි? "එයා එයාගෙ පුතා අපේ දුවට විවාහ කරලා දෙන්ට යෝජනා කරනවා. ඔයාට ඒක ගෞරවයක් වගේ නෙවෙයිද පේන්නෙ? සන්සා දවසක මේ රාජධානියෙ රැජිණ වෙයි. එයාගෙ පුතාලා දවසක මේ රාජධානිය පාලනය කරයි උතුරේ ප්‍රාකාරෙ ඉඳන් දකුණේ ඩෝර්න්වලට යනකං. මොකක්ද ඒකෙ තියෙන වැරැද්ද?"

"දෙයියම්පා කැට්ලින්, සන්සාට තාම එකොළහයි. අනික ජො‍ෆ්රි... ජොෆ්රි කියන්නෙ..."

ඇය ඔහු වෙනුවෙන් වාක්‍යය සම්පූර්ණ කලාය. "ඔටුන්න හිමි කුමාරයා. යකඩ සිංහාසනයේ උරුමක්කාරයා. අනික මගේ තාත්තා මාව ඔයාගෙ සහෝදරයා බ්‍රැන්ඩන්ට පොරොන්දු වෙනකොට මට යාන්තං අවුරුදු දොළහයි."

මේ මතකය ඔහු ගේ මුවට තිත්ත රසක් ගෙන ආවේය. "බ්‍රැන්ඩන්. හරි බ්‍රැන්ඩන් නං දන්නවා මොකක්ද දැන් කරන්ට ඕන කියලා. එයා හැමදාමත් දැනගෙන හිටියා මොකක්ද කරන්ට ඕන කියලා. මේ හැම දෙයක්ම එයාටයි ලැබෙන්ට තිබුනෙ. ඔයා, වින්ටර්ෆෙල්, මේ හැම දෙයක්ම. එයා ඉපදුනේම රජෙකුගෙ හස්තය වෙන්ට, රැජිණකට තාත්තා කෙනෙක් වෙන්ට. මං කවදාවත් ඉල්ලුවෙ නෑ මේ කුසලාණ මට දෙන්ටයි කියලා."

"සමහරවිට නොඉල්ලන්ට ඇති. ඒත් දැන් බ්‍රැන්ඩන් මැරිලා. කුසලාණ ඔයාගෙ අතට ලැබිලා. ඔයා කැමැති වුනත් නැතත් දැන් ඒකෙන් බොන්ට ඕන."

නෙඩ් ඇයගෙන් ඉවතට, නැවතත් රාත්‍රිය දෙසට හැරුනේ ය. එසේ සිටගත්වනම පිටත අන්ධකාරය දෙස - සමහරවිට සඳ, තරු හෝ පවුරු මත සිටින මුර සෙබළුන් දෙස හෝ - බලා සිටින්නට විය.

ඔහු පෙලන වේදනාව තේරුම්ගත් කැට්ලින් ගේ සිත මොලොක් විය. චාරිත්‍රය විසින් නියම කෙරුනු අන්දමට බ්‍රැන්ඩන් වෙනුවට එඩ්ඩාර්ඩ් ස්ටාර්ක් ඈ හා විවාහ වූවද තවමත් ඔවුන් දෙදෙනා අතරට ඔහු ගේ මියගිය සොයුරා ගේ සෙවනැල්ල වැටී තිබින. ඔහු ගේ සෙවනැල්ල සහ අනෙක් කාන්තාව‍ ගේ, ඔහු කිසිදා නම නොපවසන කාන්තාව‍ ගේ, ඔහුට සිය අවජාතක පුත්‍රයා ලබා දුන් කාන්තාව ගේ සෙවනැල්ල වැටී තිබින.

ඔහු වෙතට යාමට ඇය සිතනවාත් සමග දොරට තට්ටු කරන අනපේක්ෂිත හඬ ඇසින. නෙඩ් රවාගත් මුහුණින් ආපසු හැරුනේ ය. "මොකක්ද ඒ ගමන?"

දොරට පිටින් ඩෙස්මන්ඩ් ගේ කටහඬ ඇසින. "මගේ උතුමානෙනි, මේස්ටර් ලුවින් ඇවිල්ලා ඉන්නවා ඉතාම ලොකු හදිසියකට ඔබතුමාව බැහැ දකින්ට අවශ්‍යයි කියලා."

"උඹ එයාට කිවුවද මට බාධා කරන්ට එපයි කියලා නියෝගයක් දීලා තියෙන්නෙ කියලා?"

"එහෙමයි මගෙ උතුමානෙනි. ඒත් එයා බල කර සිටිනවා."

"හොඳයි. එයාව ඇතුළට එවන්ට."

ඇඳුම් අල්මාරිය වෙත ගිය නෙඩ් ඝනකම් ලෝගුවක් හැඳ ගත්තේ ය. ශීතය කෙතරම් අධික වීදැයි හදිසියේ තේරුම් ගත් කැට්ලින් ඇඳ මත හිඳගෙන සිය ලොම් පොරෝණය නිකට තෙක් උස්සා ගත්තා ය. "අර ජනෙල් ටික වැහුවොත් හොඳ නැද්ද?" ඇය යෝජනා කලාය.

ඔහු නිහඬවම හිස සැලූ අතර මේස්ටර් ලුවින් කාමරය තුළට පිවිසියේ ය.

තමා පසුපසින් දොර වැසෙන තෙක් මේස‍්ටර් වදනකුදු තෙපලූයේ නැත. "මගේ උතුමා‍නෙනි. ඔබතුමාගෙ විවේකයට බාධා කලාට සමාවෙන්ට. මට පණිවුඩයක් ලැබිලා තියෙනවා."

නෙඩ් ගේ මුහුණේ වූයේ පීඩාකාරී පෙනුමකි. "ලැබිලා තියෙනවා? කාගෙන්ද? අශ්වාරෝහකයෙක් ආවද? මට කවුරුවත් කිවුවෙ නෑ."

"අශ්වාරෝහක‍යෙක් ආවෙ නෑ මගේ උතුමානෙනි. මට පොඩි නින්දක් ගිහින් තියෙන අතරේ මගේ නිරීක්ෂණාගා‍රෙ මේසයක් උඩ කැටයම් කපපු ලී පෙට්ටියක් දාලා ගිහිල්ලා තියෙනවා. මගේ සේවකයො කවුරුවත් එනවා දැකලත් නෑ. ඒ වුනත් ඒක ගෙනල්ලා තියෙන්නෙ රජතුමාගෙ පිරිවරත් එක්ක ආපු කවුරු හරි වෙන්ට ඕන. අපට දකුණුකරෙන් වෙන අමුත්තො කවුරුවත් ආවෙ නෑ."

"ලී පෙට්ටියක්?" කැට්ලින් ඇසුවා ය.

"ඒක ඇතුළෙ තිබුනෙ නිරීක්ෂණාගාරයට උවමනා කරන අලුත් වීදුරු කාචයක්. පේන හැටියට නං ම(ර්) වලින් ගෙනාපු එකක්. ම(ර්) වල කාච හදන්නො තමා දැනට ඉන්න සුපිරිම වීදුරු වැඩකරුවො."

"කාචයක්? මොකක්ද මට ඒකෙන් ඇති වැඩේ?" නෙඩ් ඇසී ය.

"මාත් ඒ ප්‍රශ්නෙම ඇහුවා." මේස්ටර් ලුවින් පැවසී ය. "පැහැදිලිවම මේ‍කෙ මතුපිටින් පේන දේට වඩා යමක් තියෙනවා."

ඝණකම් ලොම් රෙද්ද යට සිටියදී පවා කැට්ලින් වෙවුලුවා ය. "කාචයක් කියන්නෙ අපට බලන්ට උපකාරී වෙන ‍දෙයක්."

"අනිවාර්යයෙන්ම." මේස්ටර් සිය කබා‍යේ කර වටා ඇඟිල්ල කරකැවී ය. සිය නිකායේ සම්ප්‍රදායට අනුව එකිනෙකට වෙනස් ලෝහ වර්ග ගනනාවකින් සැදුනු පුරුක් ඇමිනූ ඝනකම් දම්වැලක් ඔහු ගේ ගෙල වටා විය.

සිය සිරුර පුරා භීතිය දිව යනු නැවතත් කැට්ලින්ට දැනින. "අපි මොකක් දිහා පැහැදිලිව බලන්ටද එයාලට ඕන?"

"ඒකම තමා මාත් ඇහුවෙ." මේස්ටර් සිය කබා අතේ රහස් සාක්කුවකින් දැඩිව රෝල් කල කඩදාසියක් පිටතට ගත්තේ ය. "ඒ කාචය දාපු පෙට්ටියෙ රහස් පතුලක හංගලා තිබිලා ඇත්ත පණිවුඩේ මට හම්බවුනා. ඒත් ඒක ම‍ගේ ඇස්වලට නෙවෙයි."

නෙඩ් අත දිගු කලේය. "මෙහෙ දෙන්ට ඒක."

මේස්ටර් සෙලවුනේ නැත. "සමාවෙන්ට ම‍ගෙ උතුමානෙනි. ඒත්, ඒ පණිවුඩය ඔබටත් නෙවෙයි‍. ඒකෙ සටහන් කරලා තියෙන්නෙ කැට්ලින් ආර්යාවගෙ ඇස්වලට පමණයි කියලා. මම ඒක දෙන්ටද ආර්යාවෙනි?"

වචනයක්වත් කියා ගත නුහුනු කැට්ලින් හිස වැනුවා ය‍. ඇඳ අසල වූ කුඩා මේසය මත පණිවුඩය තැබූ මේස්ටර් ඇයට හිස නමා නැවත පිටව යාමට සැරසුනේ ය. පණිවුඩය මුද්‍රා තබා තිබුනේ නිල් පැහැ ඉටි වලින් බව කැට්ලින් දුටුවා ය.

"නවතින්ට." මේස්ටර්ට කී නෙඩ් කැට්ලින් දෙස බැලී ය. "මොකක්ද ඒක? මගේ ආර්යාවෙනි, ඔයා වෙවුලනවා."

"මට බයයි!" කැට්ලින් කීවා ය. මේසය දෙසට නැඹුරු වූ ඈ වෙවුලන ඇඟිලි තුඩින් පණිවුඩය ගත්තා ය. නිල් පැහැ ඉටි මත මුද්‍රා තබා තිබුනු ඒරින් වංශයේ සලකුණ වන අඩ සඳ හා උකුස්සා දුටු ඈ සිය සැමියා දෙස බැල්මක් හෙලුවා ය. "ඒක ලයිසාගෙන්. මේක අපට සතුටුවෙන්ට පුළුවන් දෙයක් නෙවෙයි. මේ පණිවුඩයෙ බොහොම කණගාටුදායක දෙයක් හැංගිලා තියෙනවා නෙඩ්. මට ඒක දැනෙනවා."

නෙඩ් ගේ දෙබැම ඇකිළුනි. ඔහු ගේ මුහුණ අඳුරු විය. "ඒක කඩන්ට."

කැට්ලින් මුද්‍රාව කැඩුවා ය. වදන් පේළි අතර ඇගේ දෑස් දිවුවත් මුලදී ඒ කුමක්දැයි ඇයට වටහා ගත නොහැකි විය. ඊළඟ මොහොතේ ඇයට සියල්ල මතක් විය. "ලයිසා කිසිම අවදානමක් අරන් නෑ. අපි දෙන්නා පොඩි ළමයි කාලෙ අපට තිබුනා අපේම රහස් බාසාවක්, අපි දෙන්නට විතරක් තේරෙන බාසාවක්."

"ඔයාට ඒක කියවන්ට පුළුවන්ද?"

"ඔවු."

"ඉතිං එහෙනං අපට කියන්ට ඒ මොකක්ද කියලා."

"සමහරවිට මං මෙතනින් ගියා නං හොඳ වෙයි." මේස්ටර් ලුවින් කීය.

"නෑ. අපට ඔබේ අනුශාසනා ඕන මේ ‍වෙලාවෙ‍." සිය පොරෝණය පසෙකට දැමූ කැට්ලින් ඇඳෙන් බැස්සා ය. සොහොන් ගැබක මෙන් සීතල සුළං සිය නිරුවත් සම මත දැවටෙනු ඇයට දැනුනි.

මේස්ටර් ලුවින් සිය දෑස් ඉවතට හරවා ගත්තේය. නෙඩ්ගෙන් පෙනුනේ ද තිගැස්සුනු බවකි. "ඔයා මොකක්ද ඔය කරන්නෙ?" නෙඩ් ඇසී ය.

"ගිනි මැලයක් ගහන්ටයි යන්නෙ." රාත්‍රී නිදන ඇඳුමක් සොයාගෙන එය තුළට රිංගාගත් ඇය උඳුන අසල බිම දණ නමා ගත්තා ය.

"මේස්ටර් ලුවින්-" නෙඩ් පටන් ගත්තේ ය.

"මේස්ටර් ලුවින් තමා මගේ හැම දරු ප්‍රසූතියක්ම කලේ. මේක බොරු ලැජ්ජාවට වෙලාවක් නෙමේ." කැට්ලින් කීවා ය. කුඩා දර පතුරු අතරේ පණිවුඩය ලියූ කඩදාසිය  ඇතිරූ ඈ ඊට උඩින් ලොකු දර කොට කිහිපයක් තැබීය. කාමරය හරහා ගිය නෙඩ් ඇගේ අතින් අල්ලා ඇද ඇයව දෙපයින් සිටවී ය. ඇගේ බාහුවලින් අල්ලා ගත් ඔහු ඇගේ මුහුණට අඟල් කිහිපයක් ලං වන තෙක් එබුනේ ය. "මගේ ආර්යාවෙනි. මට කියන්ට. මොකක්ද මේ පණිවුඩය?"

"අනතුරු ඇඟවීමක්." ඇය සෙමින් තෙපලා ය. "අපට ඒක අහන්ට තරම් ධෛර්යයක් තියෙනවානං."

ඔහු ගේ දෑස් ඇගේ මුහුණ පුරා දිවගියේ ය. "කියන්ට."

"ලයිසා කියනවා ජොන් ඒරින්ගෙ මරණය මිනීමැරුමක් කියලා."

ඇගේ බාහු වටා වූ ඔහු ගේ අතැඟිලි තද විනි‍. "කවුද මිනීමරුවා?"

"ලැනිස්ටර් ලා. රැජිණ."


Eddard Stark: “My father went south once, to answer the summons of a king. He never came home again.”

106 comments:

  1. මෙහෙම කොටසක් TV series එකේ තිබුණද කියලා මතක නෑනේ... ඊළඟ කොටස අවධානෙන් බලන්න වෙනවා....

    ReplyDelete
    Replies
    1. TV series එක මම බලලා නැහැ. ඒත් ඒකෙ පොතේ තියෙන හැම කොටසක්ම නැති බව නං දන්නවා.

      Delete
  2. හරියන්නෑ මාත් ටී.වී. සීරීස් එකත් හොයාගන්න ඕන

    ReplyDelete
    Replies
    1. better read books i think

      Delete
    2. pls read the books fst

      Delete
    3. @ බස්සි

      TV series!? චෑහ්! පොත් ටික කියවන්ට මෙයා. PDF version එක නෙට් එකෙන් බාගන්ට පුළුවන් ලේසියෙන්ම.

      Delete
    4. මගේ නම් අදහස මුලින්ම ටීවී සිරිස් එක බලලා පොත බලන්න ඕනේ කියන එක. එතකොට අපිට මුලින්ම අහසක් එනවා. ඒ වගේම උහුලාගන්න බැරි අවස්ථා ( ඉස්සරහට එන්න තියන) ඒවා නියමෙටම වදිනවා. ඊට පස්සේ පොත කියවද්දී අපිට අහු උනේ නැති ටිකත් දැන ගන්න පුළුවන්. පොත බලලා ටීවී සිරිස් එක බලද්දී කොටස් අඩු හින්දා ආකර්ශනීය බව අඩුයි. මොකද ටීවී සිරිස් එකේ තියනවා ඒ ඒ චරිත වල තියන ආකර්ශනිය බව. පීටර් ඩින්ක්ලේජ්, ජැක් ග්ලීසන්, ලීනා හේඩේ වගේ අයගේ හැකියාවන් හින්දා පොතේ චරිත තවත් තාත්වික වෙනවා කියලා හිතෙන්නේ

      Delete
  3. He never came home again ... yes never.. and I don't like Catelyn.

    ReplyDelete
    Replies
    1. @ Dimuthu
      අපි පොත කියෙව්වට මෙතනට එන ගොඩක් අය පොත කියවලා නෑනේ. ඒ හන්දා කතාව කියන්නේ නැතුව ඉමු නේද. its unfair to the readers and to the translators.

      Delete
    2. @ Dimuthu,

      Me neither. She is a bitch නේ. :-)

      @ Kasun'

      Thanks 'The Golden Prince of Goda'! :-)

      Delete
    3. @ Lord Bura

      wats so wrong with her ? :P

      Delete
    4. ඒක හරි.. කලින් කියන්ට හොද නැහැ... මාත් මේ කට පරිස්සං කොරං ඉන්නේ බොහෝම අමාරුවෙන්... නැත්තං මුංදලා දෙන්නගේ මහන්සිය වතුරේ...
      ( නැති අමාරු හදවනවට හැබැයි එහෙම අවලං වැඩක්ම තමා කරන්නත් ඕන.. :D )

      Delete
    5. Sorry I did't mean to be a spoiler...just quoted the quote you quoted :) sorry again

      Delete
    6. @ Prince KG,

      She is so selfish and only think about her kids, her family. Also, she's not a Stark by heart, she is still a Tully. :-)

      @ Dimuthu,

      Thanks for understanding mate! It's not fair for those readers who do not know the story. :-)

      Delete
    7. Isn't it a bit mean to call her a 'bitch'?? cercei - yes. but Cat? srsly? So she thinks about her kids, but so does every mother in the entire world!

      Yes she's not very kind to Jon, but its not as if she plots to have him poisoned or anything, given that, to her, Jon is a living proof of her husband's infidelity.
      //Also, she's not a Stark by heart, she is still a Tully//
      Uhh and not being Stark makes her a bad person? ;P its not as if the Starks are totally blameless in what follows.

      Delete
    8. there is something about her thoughts that i really don't like. It's not about the Jon. She is not the lady for Ned.

      Delete
    9. hehe I dont like her much either...but I wouldn't say she's a bad person. She's just human.

      Delete
    10. //She is not the lady for Ned.//
      maybe..but its not as if she had a say in if she was the lady for him or not. The marriage was arranged by their parents for political reasons. Cat was first intended for Ned's brother. Then when he died they just made her marry Ned.
      Don't you feel sorry for both of them?

      Delete
    11. niRo,

      මට කියන්ට ඕන වුනු දේ හරියට කියැවිලා නෑ මම හිතන්නෙ. එයා පොදු යහපත උ‍දෙසා තීරණ ගන්ට ඕන තැන්වලදි මුලින්ම හිතන්නෙ තමන්ගෙ පවුල, ළමයි ගැන. ඒක ආත්මාර්ථකාමීයි. පස්සෙ වෙන දේවල් බොහොමයකට හේතු වෙන්නෙත් කැට්ගෙ ඒ දුරදිග නොබලා ගන්න ආත්මාර්ථකාමී තීරණ නෙවෙයිද?

      මම දිමුතුත් එක්ක එකඟයි. She is not the lady for Ned!

      Delete
    12. කැට් නෙඩ්ව බැන්දෙ ‍(හෝ බ්‍රැන්ඩන්ව බඳින්ට හිටියෙ) පොලිටිකල් රීසන්ස් වලටද? නෑ, මම හිතන්නෙ. ඔන්න ලයිසා ජොන් ඒරින්ව බැන්දෙ නම් පොලිටිකල් රීසන් එකකට.

      Delete
    13. පොලිටිකල් හේතු වලට තමයි නේද? මම කියන්නේ කැට් ට එයාගේ තාත්තා කිව්වා. නෙඩ් ට එයාගේ අයියගේ තැන ගන්න උනා. නැතිව දෙන්නට දෙන්න කැමැත්තෙන් හිටියේ නෑනේ. නෙඩ් අශාරා ට කැමැත්තෙන් හිටියා කියලත් කියනවානේ.
      අර අන්තිම පොත් වල ඔය ගැන පොඩි ඉඟි දෙනවා මම හිතන්නේ. නෙඩ් ගේ තාත්තා ගේ 'southron ambitions' ගැන බුරාට මතකද?

      ඔව් ලයිසා ජෝන් ඇරින් ව බඳින්න හේතු ගොඩයි නේද...පොලිටිකල් ඒවාට අමතරව ඇරින් ට ළමයෙක් ඕනි උනා. ලයිසාට ළමයි හදන්න පුළුවනි කියලා ඔප්පුත් වෙලා තිබුණා.

      වංශාධිපති පවුල් හැම එකකම වගේ කසාද සිද්ද උනේ පොලිටිකල් හේතු වලට නේ. :(

      Delete
    14. sure cat has her faults, but is she a "bitch" ?
      im not so sure she deserves that title, i can think of several others.

      sure she married ned for political reasons but its kind of the main function of a high borne daughter isnt it?
      she came to love ned and the north. no one can blame a mother for thinking about her children first, what mother wouldnt. ? actually she would be a despicable person if she didnt think of her family and children first.

      lysa and her marriage to jon arryn, can go much deeper without spoiling a lot, but i believe its a combination of reasons mostly to do with the tully army.

      Delete
    15. SPOILERS!!!!!!!!!!!!!!!!!!!! :D:D

      Delete
    16. The only time I felt a real dislike for characters (mostly about Sansa for stupidity, and some for Joffery and his mom who anyway are not likeable) was when a pet animal was killed because of them.
      ( I tried to avoid a spoiler there)

      Delete
    17. I do not blame her for loving her children..මෙහෙමයි නෙඩ් කියන්නෙ සාමාන්‍යයෙන් අපි කථාවක වැඩියෙන්ම කැමතිවෙන විදියෙ චරිතයක්. විශේෂයෙන් මාටින් ස්ටාර්ක්ලව ගොඩනංවල තියෙන්නේ අපිට එයාල ගැන ආදරේ හිතෙන විදියට (සන්ස ගැන කියන්න තියෙන්නෙ ඉතින් අම්මගෙ දුව කියල තමයි :D) එතනදි ඉතින් අපි බලාපොරොත්තු වෙනව කැට් ගෙන් ඔයිට වඩා පූර්ණත්වයක්. සෙර්සි එයාගෙ චරිතයෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් දේ කරනවනෙ. කොහොම උනත් අර බුරා කිව්ව වගේ එයාගෙ මෝඩ තීරණ නිසා ගොඩක් දේවල් වෙනවා.

      Delete
    18. BTW my fav is Tyrion lannister

      Delete
    19. එයා මෝඩ තීරණ ගන්නවා තමයි...
      ඒ උනත් ඉතින් නෙඩ් උනත් මොළේ කල්පනා කරන්නේ නෑනේ...
      සන්සා විතරද? එතකොට රොබ් මෝඩ තීරණ ගන්නේ නැතිද? මේ කතාවේ මෝඩ තීරණ ගන්නේ නැත්තේ කවුද අනේ... :P
      //සන්ස ගැන කියන්න තියෙන්නෙ ඉතින් අම්මගෙ දුව කියල තමයි//
      මේ කතාවට නම් ආස නෑ හොන්ද :( සංසා මෝඩ වැඩ කරද්දී අම්මගේ දුව විතරක් උනේ ඇයි? තාත්තා ත් ඉතින් honourable උනාට තැනට සුදුසු නුවණ මෙහෙයෙව්වේ නෑනේ.

      //කොහොම උනත් අර බුරා කිව්ව වගේ එයාගෙ මෝඩ තීරණ නිසා ගොඩක් දේවල් වෙනවා//
      එයාගේ මෝඩ තීරණ නිසා වෙනවද, නැත්නම් අර පුංචි ඇඟිලි කාරයා සහ තට්ටස් ගේ නුල් සුත්තර වලට හැමෝම අහුවෙනවද?

      //BTW my fav is Tyrion lannister //
      ආන්න එයාට නම් මාත් කැමතියි. ඒ මනුස්සයා තමයි මෝඩ වැඩ අඩුවෙන්ම කරන්නේ...

      Delete
    20. Dont get me wrong though..I love Ned. He is a good man. He is an honest man. But maybe he is too honest and not smart enough. GRRM does build his character to be lovable. But loveable does not mean infallible. In fact I believe that most of us love Ned for his greatest strength and greatest weakness - his honest heart.

      Delete
    21. yeah
      we all love tyrion. poor fello.

      මේ කතාවේ සම්පූර්ණ බුද්ධිමත් හරි සම්පූර්ණ මෝඩ හරි කවුරුත් නෑ .සම්පූර්ණ හොඳ හෝ සම්පූර්ණ නරක කවුරුත් නෑ .
      හැමෝම කැට් එක්ක තරහ වෙන තැන තාම ආවේ නෑ . මම හිතන්නේ හර් ලේඩිෂිප් එහෙම නම් එයත් එක්ක හොඳටම තරහ ඇති.
      අනික් අයත් එක්ක සංසන්දනය කරනකොට කැට් එච්චර මෝඩත් නෑ . සනසා මෝඩත් නැති බව ඊළඟ පොතෙන් පෙනෙයි.

      Delete
    22. සන්සා ගැන නම් කිව්වෙ විහිළුවට...පොඩි ළමයෙක නේ.හැමෝම මෝඩ වැඩ කරනවා තමයි ඒත් ඒ තීරණ ගන්න හේතුවෙන කාරණා ගැන හිතද්දී කැට්ව කැපිල පේනව වගේ හිතෙන්නෙ නැත්ද? සාධාරණ නෑ වගේ ගතියක්. කොහොම උනත් ඉතින් මාටින් මේ චරිත මේ විදියට නොලිව්ව නම් කථාව වෙන කථාවක් වෙනවනෙ :)

      Delete
    23. Family Duty Honour ටලි ලගේ වංශයේ වචන උනේ බොරුවට නෙවේනේ. කැට්ලන් ගෙන් අපිට ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. කැට්ලයින් ගැන වෙලාවකට තරහා ගියාට අහක දාන්න පුළුවන් චරිතයක් නෙවේ. වැඩිය නෙවේ වෙලාවකට සරසි උණත් සාධාරණයි කියලා හිතෙනවා. ඒ සේරම ඉතින් GRRM ගේ වැඩ තමයි

      Delete
  4. අම්මෝ...
    දැං නං කුතුහලය ලෙල්ලටම නගින වෙලාව...
    ඊළග එකත් ඉක්මණටම ඕනේ...

    ReplyDelete
  5. සෙර් බුර්, මේක කියවනකොට තමයි මට තේරුනේ "රෝල්" කියන එක දැන් සින්හලට ඇවිල්ල කියල (රෝල් වී ගිය ).
    මේකෙ ඒක යොදල තියන තැනට 'පෙරලී' කියල දාන්න පුලුවන් වුනාට 'රෝල්' තරම් හරි නෑ නේද?

    ReplyDelete
    Replies
    1. මට සමයන් ප්‍රලාඵ ද මොනවද කියන්න එපා කියල ඉස්සසෙල්ල පෝස්ට් එකේදි වාරණයක් පනවමින් වෙස්ටේරෝස් කථානායක Bura the Bald විසින් කල විධානය නිසා ගෝඩාකුමාර, බස්සන්කුමාර, Ivan the Terrible, ටයනුකුමාරි ආදීන් සමග කතා නොකර භාෂාමය කරුණු ගැන පමණක් යටහත් පහත්ව එතුමාට කරුණු දක්වා සිටීමට විය හැක.

      Delete
    2. Opinions expressed by the lord in this place are not necessarily those of the management. :D:D

      Delete
    3. Your Poddness seems to be managing the lord on quite a tight leash.

      Delete
    4. පුවර් ෆෙලෝ. :D

      Delete
    5. Pra - Ivan the Terrible(or Horrible) නම් සම්පප්‍රලාප හැර වෙන දේවල් දන්නේ නැත

      Delete
    6. Guys, That's what she thinks. And let her think that way... ;-)

      @ සෙර් PJ,

      ඔබතුමාත් හරියට සිරස TV ව‍ගේ. මම කියාපු දේ වෙන පැත්තකට හරෝලා තමා දාන්නෙ. :-D

      Delete
    7. //වෙන පැත්තකට හරෝල//?
      හරෝපු පැත්ත හොඳයි කියල ටයනුකුමාරි (or the High Priestess of Ta ) ගේ විධානවලට අනුකූලවීම අපි ඔක්කොටම හොඳයි වගේ!

      Delete
    8. ටයනුකුමාරි :D

      Delete
    9. @ඉවාන්,

      ඔයා ' Ivan the Great ' අනේ... :D

      Delete
    10. @රන්,

      බලන්ට අහගන්ට වෙලා තියෙන නම් ගොඩ...ජීවිතේට මේ වගේ නම් අහලා නෑ. :D

      Delete
    11. ලේඩි පොඩ්ඩි ඔෆ් පොඩින්ශයර්

      ලෝඩ් ප්‍රා ජේ, ද ඩීමිස්ටිෆයර් :D

      Delete
  6. කුතුහලය ඇවිස්සෙනව දැන් නම් කතාව බලනකොට. හැබැයි මේ කතාවේ ශෘංගාරයට තැනක් දෙන්නෙ නැද්ද කියල මට හිතෙනව වෙලාවකට :)

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ අර ඇඳෙන් රෝල්වී ගිය එක, සීත සුලං නිරුවත් සමට වදින එක ඔය කියන ගාරෙට අයිති නැද්ද? :D:D

      Delete
    2. අයියෝ මදි මදි හොඳටෝම මදි .

      Delete
    3. ඇඳෙන් රෝල්වී ගිය එකයි , ඇඟට සීතල සුළං වදින එකයි ශෘංගාරයනම් ශෘංගාරය ලබා ගන්න කැමති අය හයියෙන් ෆෑන් එකක් දාලා ඇඳේ රෝල් වෙවී හිටියාම හරිනේ :P

      Delete
    4. හී හී...අද කට්ටිය ෆෑන් දාගෙන රෝල් වෙවී ඉඳී...මට මැවිලා පේනවවගේ.

      Delete
    5. @ සොන්යා,

      නිකංම ඇඳේ රෝල් වුනාට මදි. නිරුවතින් රෝල් වෙන්ට ඕන. :-P

      අනිත් එක, කවුද කිවුවෙ මේක ශෘංගාරාත්මක කතාවක් කියලා. මට පේන්නෙ ඔයා TV series එක බලලා වැරැදි අවබෝධයක් ඇති කරගෙන වගේ. :-P

      Delete
    6. හරි දැන් ඇත්තටම කීදෙනෙක් රෝල් උනාද හැබෑට :p

      Delete
    7. හෙට උදේ වෙනකොට සෝන්යා ඔයාට පණිවිඩයක් එවයි...:P

      Delete
    8. පොඩ්ඩක් ඉන්ටලා. සොන්යා තාම ඇඳේ ‍රෝල් වෙනවලු. :-D

      Delete
    9. මං හිතුවෙ ඇඳ දිග මදි නිසා බිම දිගේ රෝල් වෙන්න කියලා :D

      Delete
    10. බිම දිගේ.!? මාර ශෘංගාරාත්මක ඇති නේ... :-D

      Delete
    11. මං රෝල් වෙච්චි පාර ඇඳෙං බිම !!!

      සුංගාරෙ හෝයියට …

      Delete
    12. අඩේ මම දැක්ක පාර දිගේත් කවුදෝ රෝල් වෙනවා. මේක කියවලාද දන්නේ නෑ :D

      Delete
    13. @සෝන්යා,

      පොඩ්ඩි ඊයේ රෑ ඇඳෙන් රෝල්වෙලා ගිහින් බිමට වැටුනා. අනේ එයාගේ නිරුවත් සම (අත් සහ කකුල් ) වලට සොහොන් ගැබක දැනෙන සීතල දැනුනා...:D:D

      අර පත්තරේ නම් දෙන්නම රෝල් වෙවී ගියා කියලා ආරංචියක් ආවා.:)

      Delete
    14. @ Prince Goda,

      හී... හී... දැක්ක හොඳම කමෙන්ට් එක. සුංගාරේ හොඳටම වැඩි වෙච්ච කෙනෙක් වෙන්ට ඇති. ෆෑන් එක තිබ්බේ එයා අතේද?

      Delete
    15. බලන්න සොන්යාගේ යෝජනවා කොයි තරම් වැදගත් සහා කාලීන එකක්ද කියලා.
      මමත් පොඩ්ඩක් රෝල් වෙලා බලන්න ඕනේ දැන් ගෙදර ගිය ගමන්ම....:D

      Delete
    16. සුන්ගාරය ඉල්ලලා සෝන්යා ගෙනියන සටනට මාත් සහයෝගය දෙනවා... අපි මේකට උද්ගෝසනයක් සංවිධානය කරලා ලිප්ටන් වට රවුමේ රෝල් වෙමු...

      Delete
  7. මේක කෑල්ල කෑල්ල බලද්දී කිසි ගතියක් නෑ එක දිගට කියවගෙන යන්න තියේනං කියල හිතෙනව.මිනීවළක තියෙන හීත්ගල හුළං ජීවත්වෙලා ඉන්න කෙනෙක් දන්නෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. එතන මිනීවලක කියනවට වඩා සොහොන් ගැබක කිවුවනං හොඳයි නේද? ඒක හදන්නම්.

      Delete
  8. සුපිරිම වීදුරු වැඩකරුවො :P
    අදත් සුපිරියි... එක නෙවේ මට කොපි කරන්න බෑ නෙ. restrictions දාලද? උපුටල දක්වන්න ගියාම ටයිප් කරන්නම වෙනව.

    ReplyDelete
    Replies
    1. මුං එක්කලා බැහැ.. අපි මේක උස්සලා පොත් අච්චු ගහයි කියලා බයට කොරන ජිල්මාට් වැඩ...
      (බ්‍රව්සරේ සෙටින්ටිග්ස් වලට ගෙහුන් ජාවා ස්ක්‍රිප්ට් ඩිසේබල් කොරලා උස්සන එකක් උස්සලා දාගන්ට) :D

      Delete
    2. මාරයා තමා මාරයා ඈ :D

      ඔන්න අපිත් එහෙම කළා කියමුකෝ.

      Delete
    3. @ මා‍ර්ස්,

      උඹලා නෙවෙයි. ඒත් ඒ වැ‍ඩෙත් බැරි අය නෙවෙයි ලංකාවෙ ඉන්නෙ. :-)

      මොකද කියන්නෙ? ජාවා ස්ක්‍රිප්ට් ඩිසේබ්ල් කලාම මුළු සයිට් එකම පේන්නෙ නැතිවෙන්ට හදන්ටද, "ජාවා ස්ක්‍රිප්ට් නැත්තං කියවලාත් හමාරයි" වෙන්ට? :-P

      Delete
    4. Jokes apart Buratheno, IP theft is a very real danger here. Your translation would be a godsend to someone who intends to publish a Sinhala translation in SL.

      Delete
    5. මාරෙත් දන්න දේවල්..... TanQ
      ඇත්තට එහෙම දෙයක් වෙන්නත් බැරි නෑ තමා :O කෝකටත් copy rights සම්බන්ධව හිතල බලන්න. නැත්නම් මෙච්චර මහන්සි වෙලා කරන වැඩේට හොර ඔප්පු හැදිල තියෙයි :(

      Delete
    6. //කෝකටත් copy rights සම්බන්ධව හිතල බලන්න. නැත්නම් මෙච්චර මහන්සි වෙලා කරන වැඩේට හොර ඔප්පු හැදිල තියෙයි //
      මේක නම් ඇත්ත කියලා හිතෙනවා... :(

      Delete
  9. දැන් ඉතිං ඔහේ කියවං ගියෑකි... වෙන්නේ මොනවද කියලා දන්න හින්දා.. නැත්තං මේ සතියට අගල් දෙකේ කෑලි තුන ගානේ බලලා කොහොමද අප්පා අපි සැනසීමෙන් ජීවත් වෙන්නේ... පලවෙනි කතා මාලා හතරම (කොටස් 40.. හප්පට පැයම හතලියක්..) බලලා ඉවර කලා... දැන් ඉතිං ඉතිරි ඒවා එනකල් “බයිස්කෝප් සිංහලෙන්“ එක දිහා බලං ඉදිල්ලක් තියෙන්නේ... :D

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කලින්ම කිවුවෙ, හෙමිහිට මේක කියවං යමං කියලා. කොහෙද බොලාට ඉවසීම කියලා දෙයක් නෑ නෙවැ. :-P

      Delete
  10. @ my lady of poddinshire.
    //ඔහු මෙය හරිහැටි නොදකින්නේ // tikak galapenne na wage neda? kind of sound like "swiss family robinson" (if my lady hath seen the tv show)
    ඔහු මෙය හරිහැටි නොදකින්නේ ඇයි ? kiuwoth narakada?

    ReplyDelete
    Replies
    1. ඔන්න හැදුවා. ස්තූතියි!

      Delete
  11. අදත් ආවෝ කියෙව්වෝ..

    ReplyDelete
  12. ලිපි කීපයක් මග හැරුනා පොඩ්ඩි.ඉඩ තියන වෙලාවක බලන්න ඔනෙ මුල ඉදලා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගිම්හානි!

      ඔයා කලින් කමෙන්ට්ස් වගයක් දැම්මා කිවුවා කියලා පොඩ්ඩි දැනුම් දුන්නා. ඒත් ඒ එකක්වත් ඇවිල්ලා තිබුනෙනම් නෑ. මම ඊමේලුත් චෙක් කලා.

      Delete
  13. ඇයි මේ කොටස කැට්ලින් 1 උනේ? මේක 3 නෙමේද?

    ReplyDelete
    Replies
    1. මට තාම හිතාගන්ට බැරුව ඉන්නෙ කොහොමද මේවට නොම්මර දාන්නෙ කියලා. ඔයා කියන ක්‍රමය හොඳා වගේ.

      Delete
    2. ඒත් පරිච්ඡේද වලට අංක නැති නිසා ඒක ප්‍රශ්නයක් වෙයි ද? අනික බ්ලොග් එ‍කේදි එක පරිච්ඡේදයක් කොටස් 2-3කට කැ‍ඩෙනවා. එතකොට කැට්ලින් 1-1, කැට්ලින් 2-1 කියලා දැම්මොත් මොකද?

      Delete
    3. ඕ ..මම හිතුවේ ඔයාලා POV දාන්නේ 1, 2 අනුපිලිවෙලට කියලා ... මෙතන 1 දැම්මේ typo එහෙකින් කියල හිතුවේ. ම්ම් ඒක කියවනකොට ලේසි විදිහක් මොකක් හරි...ඔව් "කැට්ලින් 1-1, කැට්ලින් 2-1 " හොඳයි වගේ...අනික් කට්ටිය මොකද හිතන්නේ?

      Delete
    4. 1-1,1-2, 2-1, 2-2 kiyala dana eka hondai neda?

      mokada passe discuss karanakota apita kelimma kiyanna puluwan "ara jon 3-1 thibba eka" kiyala ehema.

      Delete
    5. ඔව්, වොව් එහෙම හොඳා. එතකොට අපිට කියන්න බැරියෑ:
      "All dwarfs may be bastards, yet not all bastards need be dwarfs.ආමේන්"

      -Jon 1.1 -
      කියලම?

      Delete
    6. like in the bible. excellent

      Delete
    7. @සෙර් බස්තියන්,

      හිනාගස්සන්ට එපා අප්පා...:D

      Delete

    8. @නිරෝ,

      අපි කියන දේවල් සමහරු අහන්නේ නෑලු. :P

      Delete
    9. @ සෙර් බස්

      ආමෙන්....!!!

      Delete
  14. I sense that this is the real starting point of the story.. Getting interesting.. A murder in a royal family leads to nothing but.....

    ReplyDelete
    Replies
    1. අඟහරුවෝ, විභාගේ තියෙනවනම් පැත්තේ එන්ට එපා හොඳේ. ඒ වැඩ ටික හොඳින් කරගන්ට.

      Exams are one of the hardest and difficult things in one’s life but you are an intelligent boy and will do in a best way. Wish you best of luck for your exams :)

      Delete
  15. කියෙවුවා.. දැන් ඉතින් කුතුහලේ.. බැරිද දන්නේ නෑ හෙටම අනික් කොටස දාන්න...

    ReplyDelete
    Replies
    1. අපි මේ කියවන අය ගැන සලකලා දවස ගානේ දාන්නේ නැතුව ඉන්නේ... :D

      Delete
  16. දැන්,දැන් කතාව ගැන වැටහීමක් එනවා.ලස්සනයි හොඳේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්!

      Delete
  17. මචන් සේර් බුරා මාරම හැපී දැනෙනවා වෙලාවකට, මේ විදියට වරු ගණන් GOT ගැන කතා කරන්න කට්ටිය සෙට් වෙන තැනක් හම්බුනේ උඹ හින්දා. මම කවදාවත් හිතුවේ නෑ සිංහලෙන් අපිට මෙහෙම තැනක් හම්බෙයි කියලා

    ReplyDelete
    Replies
    1. හප්පා... රටකට ගිය කල කිව්වළු... :D :D :D

      Delete
    2. එහෙම තමයි පිස්සුව හොදටම තද උණාම

      Delete
    3. ස්තූතියි යක්ෂයෝ!

      Delete
    4. හැපී නැතෑ යකෙකුත් සෙට්වෙච්ච කොට? මචෝ, ලෝඩ් වෙසමුනිව මතක්කලා කියපං

      ඔය බුරා නං HBO එකට බනිනව තමා. ඒත් මං නං කියන්නෙ මේ හැම එකක්ම දම්වැලක පුරුක් වගේ එකකට එකක් සම්බන්ධයි කියලයි.

      දැන් බලාන්ට. මාටින් ලොක්කා කතාව ලිව්ව. එහෙමයි කියල මේ අපි වගේ හුදී ජනයා ඔව්ව කියවන්න යනවැයි. ? අර ටිකාක් මඤ්ඤං සන්සා නගා ඔරෝගෙන ඉන්න පිංතූරයක් දැකලා , කව්ද බොලේ මේ ඇලිස් කියලා බලන්න ගියා මිසක්කා. එහෙම ගිහින් බැලුවෙ HBO එක TV සීරිස් එක හදල තිව්ව නිසා නෙව?

      හරි TV සීරීස් එක, පොතට සම කරන්න බෑ තමා. ඉතිං ඒක නෙව මේක කියවන්නෙ?

      කොහොම උනත්, යකාගෙ අදහසට මාත් එකඟයි. අපිට මේ වගේ තැනක් හදල දුන්නට උඹල දෙන්නටම ස්තූතියි. ඕං පොඩි නෝනෙ "දෙන්නා" කියලම දැම්මා :) ( නැත්නම් ඉතිං කඩු පාර තමා )

      Delete
  18. මම මේ අඩවිය කියවන්නේ අනික් ඔක්කොම අඩවි බලලා ඉවර වුනාට පස්සෙයි. මේක නිස්කලංකව කියෙව්වේ නැත්නම් නියම රසය විඳගන්න අමාරුයි. අදත් චිත්තරූප මවාගනිමින් ලොකු රසයක් වින්දා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරක!

      Delete
  19. ආ , අර අලුත් පක්සියාව සාදරයෙන් පිලිගන්නව

    ReplyDelete
  20. "ඔයා ඒ මිනිහව දැනගෙන හිටියා . ඒ වුනාට රජතුමා කියන්නෙ ඔයා නොදන්න අමුත්තෙක්" කොච්චර ඇත්තක්ද ? අපි අත්දකිනවානෙ..

    ReplyDelete