Monday 30 June 2014

කැට්ලින් - 01-1


කැට්ලින් කිසිමදාක වින්ටර්ෆෙල් හි දෙව්වනය ප්‍රිය නොකලාය.

ඇය ඉපදුනේ ඈත දකුණේ, ගංගා ත්‍රිශූලයේ රතු ගංගාව අබියස පිහිටි, රිවර්රන් හි ටලී වරුන් අත‍රේය. ඔවුන්ට අයත් දෙව්වනය හිරුඑළියෙන් පිරුණු, මනා වාතාශ්‍රය ඇති උද්‍යානයක් විය. එහි උසැති රෙඩ්වුඩ් ගස් අතරේ කුඩා දිය පහරවල් කිංකිනි සරින් ගලා ගියේය. වාතය මල් සුවඳින් හා අතුපතර සැඟවී ගී ගයන සියොතුන්ගේ මිහිරි සරින් පිරී ගියේය.

නමුදු වින්ටර්ෆෙල් හි දෙව්වනය ඊට හාත්පසින්ම වෙනස්, අඳුරු, ආදිකල්පික අක්කර තුනක් පමණ වූ භූමියක් විය. මාලිගා බලකොටුව ඉදිකරද්දී නොකපා ඉතිරි කරන ලද, අවුරුදු දසදහසකටත් වඩා පැරණි වනාන්තරයේම කොටසක් වූ එහි දැනුනු එකම සුවඳ වූයේ තෙත් පසේ හා දිරාපත්වන කොළ රොඩු වල සුවඳ පමණි. එහි කිසිදු විටෙකත් රෙඩ්වුඩ් වැවුනේ ද නැති අතර ඒ තැන් අරක් ගෙන තිබුනේ ඉඳිකටු වැනි පත්‍රයෙන් සන්නද්ධ වූ මුරකරු වෘක්ෂ සහ රාජධානිය තරමටම පැරණි යැයි සිතිය හැකි දැවැන්ත ඕක් හා අයන්වුඩ් ගස් ය. දැවැන්ත ගස් කඳන් එකිනෙකට ඉතා කිට්ටුවෙන් අහස උසට නැගුනු අතර එකිනෙක බැඳුනු තුරු වියන නිසා හිරුඑළිය බිමට වැටුනේද නැති තරමි. ගැඹුරු නිශ්ශබ්දතාවයෙන් පිරුණු තැනක් වූ මෙහි වැඩ වාසය කල දෙවියන් ද නිර්නාමික අයවලුන් විය.

එනමුදු අද රෑ සිය සැමියා සොයාගත හැකි එකම තැන මේ දෙව්වනය බව කැට්ලින් දැන සිටියාය. මිනිසකුගේ දිවි තොර කල සෑම විටකම මෙම දෙව්වනයේ නිහඬතාව මැද්දේ කාලය ගතකරන්නට ඔහු පුරුදුව සිටියේය.

කැට්ලින් වනාහී රිවර්රන් හි සප්තක දේවස්ථානයේ දී සප්තාලේපනයෙන් අභිෂේක ලද්දියක් වූවාය. ඇගේ පියා ද, පියා ගේ පියා ද, ඔහු ගේ පියා ද මෙන් ඇය ද ඇදහූයේ සත්‍ය ලබ්ධියයි. ඇයගේ දෙවියන්ට නම් තිබුනු අතර ඔවුන් ගේ මුහුණු ඇගේ දෙමවුපියන් ගේ මුහුණු තරමටම ඇයට හුරුපුරුදු ඒවා විය. ඇයට අනුවනම් දෙවියන් යැදීම යනු දුම්කබලක් අතකින් ගත් පූජකයා ද, දවන ලද සුවඳ ද්‍රව්‍යයන්හි සුවඳ ද, ආලෝකමත් සප්තාශ්‍රාකාර පළිඟුව ද, ගීතිකාවන්ගෙන් නැගෙන හඬ ද යන සියල්ලේ එකතුවකි. රාජධානියේ අනිකුත් සියළුම වංශවත් පවුල් මෙන් ටලීවරුන්ද දෙව්වනයක් පවත්වාගෙන ගියද එය හුදෙක් ඇවිදීමටත් පොත් කියවීමටත් හිරු එළියේ වැතිරී සිටීමටත් පමණක් භාවිත කෙරුනකි. දෙවියන් යැදීමට ඔවුන් භාවිත කලේ සප්තක දේවස්ථානය යි.

ඇයට සිය දෙවියන්ගේ සප්තාකාරයට යැදීමට හා ගීතිකා ගැයීමට නෙඩ් විසින් කුඩා සප්තකයක් තනවා දී තිබින. එනමුදු ස්ටාර්ක්වරුන්ගේ නහර තුළ තවමත් ගලා ගියේ මුල් මිනිසුන් ගේ රුධිරය ය, ඔවුන් තවමත් වැඳුම් පිදුම් කලේ පුරාණ දෙවි දේවතාවන්ට ය, කාලයේ වැලි තලාවෙන් අතුරුදන් වූ වනාන්තරයේ දරුවන් ගේ නමක් හෝ මුහුණක් හෝ නොමැති දෙවියන්ට ය.

දෙව්වනය මධ්‍යයේ අඳුරු හා සීතල වතුරින් පිරි කුඩා පොකුණක් අසබඩ පෞරාණික වයර්වුඩ් වෘක්ෂයක් විය. නෙඩ් මෙය හැඳින්වූයේ 'හදවෘක්ෂය' යනුවෙනි. වයර්වුඩ් වෘක්ෂයේ පොත්ත ඇටකටුවක් මෙන් සුදු පැහැ වූ අතර එහි කොළ තද රතු පැහැයෙන් යුක්ත විය. ගස් ‍කඳේ කොටා තිබුනු මුහුණ උකටලී පෙනුමකින් යුක්ත විය. එහි වියළී ගිය යුෂයෙන් පිරුනු ගැඹුරු රතු පැහැ දෑස් හරියටම විමසිල්ලෙන් ඔබ දෙස බලා සිටිනවා වැන්න. මේ දෑස් වින්ටර්ෆෙල් මාලිගයටත් වඩා පෞරාණික විය. ප්‍රවාදවලට අනුව නම් මාලිගය ගොඩ නැංවීමට මුල් ගල තබන ලද්දේ මේ දෑස් ඉදිරියේ ය. ‍මේ මාලිගයේ ශෛලමය බිත්ති ඉහළට බැඳුනේ මේ දෑස් ඉදිරියේ ය. ප්‍රවාදවලට අනුව නම් වනාන්තරයේ දරුවන් විසින් ගස් වල මේ මුහුණු කැටයම් කරන ලද්දේ මුල්ම සියවස්වල එනම් මුල් මිනිසුන් පටු මුහුදෙන් එතෙර වී මෙහි එන්නටත් පළමුවය.

දකුණුකරයේ නම් අවසාන වයර්වුඩ් ගස් කපා බිම හෙලුවේ හෝ පුළුස්සා දමන ලද්දේ හෝ මෙයට වසර දහසකටත් පෙර නමුදු ‍මේ උතුරුකරයේ තත්ත්වය හාත්පසින්ම වෙනස් එකක් විය. සෑම බලකොටුවකම, මාලිගයකම ඊටම වෙන්වූ දෙව්වනයක් විය. මේ දෙව්වනය මධ්‍යයේ හදවෘක්ෂයක් හා ඒ හදවෘක්ෂයේ කැටයම් කෙරුනු මුහුණක් විය.

කැට්ලින්ට සිය සැමියා හමුවෙද්දී ඔහු හදවෘක්ෂය පාමුල පෙඳපාසියෙන් ගැවසීගත් ගලක් මත වාඩිවී සිටියේ ය. අයිස් නම් වූ දිගු අසිපත ඔහුගේ උකුල මත තිබුනු අතර ඔහු පොකුණේ කාලවර්ණ ජලයෙන් එහි තලය පිරිසිදු කරමින් සිටියේ ය. "නෙඩ්." ඇය මෘදු ස්වරයෙන් ඔහු ඇමතීය.

ඔහු හිස ඔසවා ඈ දෙස බැලීය. "කැට්ලින්. කෝ ළමයි?"

"කුස්සියේ. වෘක පැටවුන්ට දාන නම් ගැන වාද කර කර ඉන්නවා." සිය සළුව බිම ඇතිරූ ඇය පොකුණ අසබඩ වයර්වුඩ් ගසට පිට දී හිඳගත්තා ය. "ආර්යා දැනටමත් උන්ට ආදරේ කරන්ට පටන් අරන්. සන්සා වශී වෙලා ව‍ගේ. රිකන් තමා තාමත් දෙගිඩියාවෙන් වගේ ඉන්නෙ."

"එයා බයෙන්ද?"

"චුට්ටක්. එයාට තාම වයස තුනයි නෙ."

නෙඩ් දෙබැම ඇකිළු‍වේය. "එයා ඉගෙනගන්ට ඕන බයට මුහුණ දෙන්ට. එයා හැමදාමත් අවුරුදු තුනේ රැඳිලා ඉන්නෙ නෑ. ශීත කාලෙ එනවා."

"ඔවු." කැට්ලින් එකඟ විය. හැමදාමත් පුරුදු පරිදි ඒ වචන ඇගේ සිරුර සීතලෙන් ගල් කරවීමට සමත් විය. 'ශීත කාලය එනවා' යනු ස්ටාර්ක් වරුන්ගේ ආදර්ශ පාඨයයි.

"මිනිහා නිර්භීත විදියට මැරුනා. ඒක කියන්ට ඕන." තෙල් තැවරූ සම් කැබැල්ලක් අතට ගත් නෙඩ් අසිපත් තලය සෙමින් පිරිමදිමින් ඔප දමන්නට විය. "එතන බ්‍රැනුත් හිටිය නිසා මට ඒක එහෙම වුන එක ගැන සන්තෝසයි. ඔයා බ්‍රැන් ගැන ආඩම්බර ‍වෙන්ට ඕන."

"මං හැමදාමත් බ්‍රැන් ගැන ආඩම්බරයි." කැට්ලින් පිළිතුරු දුන්නේ ඔහු අසිපත පිරිමදින ආකාරය නරඹමිනි. කැට්ලින් අසිපත්වලට ආලය නොකලත් අයිස් යනු එයටම විශේෂිත සුන්දරත්වයකින් හෙබි අසිපතක් බැව් ඇයද පිළිගනියි. එය විනාශයට පෙර වැලීරියාවේ - කම්මල් කරුවන් මිටිය හා කිණිහිරය පමණක් නොව වශීකරණය හා මන්ත්‍ර ශාස්ත්‍රය ද යොදාගනිම්න් සිය ආයුධ වාත්තු කරන ලද කාලයේ - තනන ලද්දකි. වසර හාර සියයක් පැරණි මුත් එය අදටත් එදා මෙන්ම තියුණු බවකින් යුක්ත ය. එය දරන නාමය - අයිස් - ඊටත් වඩා පැරණි, ස්ටාර්ක්වරුන් උතුරේ රජවරුන් ව සිටි වීරයන් ගේ කාලයේ සිට පැවතෙන පුරාවෘත්තයකි.

"මේ අවුරුද්දේ පැනලා යන්ට ගිහින් අහුවුන හතර වෙනියා මේ. ඒ මිනිහා බාගෙට පිස්සු වැටිලා වගෙයි හිටියෙ. මොකක් හරි දෙයක් නිසා මිනිහා හොඳටම බය වෙලා තියෙනවා. මං කිවුව කිසිම දෙයක් මිනිහට දැනුනෙවත් නෑ‍." ඔහු සුසුමක් හෙලී ය. "බෙන් ලියලා එවලා තියෙනවා නිශා රැක්මේ බලය දැන් මිනිස්සු දාහකටත් වඩා අඩු වෙලා තියෙනවා කියලා. පැනලා යන එවුන් විතරක් නෙවෙයි. මුර සංචාර නිසාත් මිනිස්සු නැති වෙනවා."

"වනචාරීන් ද?" ඇය ඇසීය.

"වෙන මොක්කුද?" අසිපත එසවූ නෙඩ් එහි දිගු තලය දෙස බැලීය. "තත්ත්වෙ එන්න එන්නම දරුණු වෙනවා. ළඟදිම දවසක් එනවා, එදාට මට යටත් රදළයො එක්කහු කරන් උතුරට ගිහිල්ලා ප්‍රාකාරෙන් එහා රජ්ජුරුවොත් එක්ක හැප්පෙනවා ඇර වෙන විකල්පක් ඉතුරු වෙන්නෙ නෑ."

"ප්‍රාකාරෙන් එහා පැත්තට?" මේ සිතුවිල්ල නිසා කැට්ලින් වෙවුලන්නට විය.

ඇගේ මුහුණේ පිළිබිඹු වූ භීතිය නෙඩ් දිටී ය. "මැන්ස් රේඩර් කියන්නෙ අපි එච්චර බයවෙන්ට ඕන දෙයක් නෙවෙයි."

"ඊට වඩා භයානක දේවල් ප්‍රාකාරෙන් එහා තියෙනවා."

ඔහු මෘදු සිනහවක් පෑවේය. "ඔයා නාකි ආයම්මගෙ කතාවලට ඕනවටත් වඩා ඇහුම්කණ් දෙනවා. අනික් එවුනුත් වනාන්තරයේ දරුවො වගේම අවුරුදු අටදාහකට එහා නැති වෙලා ගියා. මේස්ටර් ලුවින්ගෙන් ඇහුවොත් කියයි එහෙම එවුන් කවදාවත් හිටියෙ නෑ කියලා. කිසිම මිනිහෙක් කවදාවත් එහෙම එකෙක් දැකලා නෑ."

"අද උදේ වෙනකං කිසිම මිනිහෙක් ඝෝරවෘකයෙක් දැකලා තිබ්බෙත් නෑ‍." කැට්ලින් ඔහුට සිහිපත් කර දුන්නා ය.

"ටලී කෙනෙක් එක්ක වාද කරන එ‍කේ තේරුමක් නෑ කියලා මං දන්නවා." ඔහු අයිස් නැවත එහි කොපුවේ ලෑවේ ය. "ඔයා මෙතනට ආවෙ මට ඔය පුංචි එවුන්ගෙ කතා කියන්ට නෙවෙයි. ඔයා මෙතනට කැමැති නෑ කියලා මං දන්නවා. මොකක්ද ඔයාගෙ හිතේ තියෙන්නෙ?"

කැට්ලින් ඇ‍ගේ සැමියාගේ අත අල්ලාගත්තා ය. "අද හරිම කණගාටුදායක පනිවුඩයක් ලැබුනා ම‍‍ගෙ උතුමානෙනි. ඔයා පිරිසිදු වෙනකං ඔයාට කරදර කරන්ට මට ඕන වුනේ නෑ. මට බොහොම කණගාටුයි මගෙ වස්තුවෙ. ජොන් ඒරින් මැරිලා."


Catelyn Stark: “There are darker things beyond the Wall.”

Friday 27 June 2014

බ්‍රැන් - 01-2


පාලමට උතුරින් ගංඉවුරේ ඉන්නා රොබ් ද, ඒ අසලම තවමත් අසු පිට සිටින ජොන් ද ඔවුන්ට හමුවිය. මෙවර ගිම්හානන්තයේ හිම වෙනදාට වඩා වැඩියෙන් වැටී තිබින. දණක් උසට වැටුනු හිම ගොඩ අතරේ සිට ගෙන සිටි රොබ් කුමක්දෝ දෙයක් පපුවට තුරුළු කරගෙන සිටියේ ය. ඔවුන් දෙදෙනා උද්‍යෝගිමත් එහෙත් මැඩගත් ස්වරයෙන් කතා කරනු පැමිණි පිරිසට ඇසුනි.

පිරිමි ළමුන් දෙදෙනාට මුලින්ම සමීප වූයේ පිරිසේ ඉදිරියෙන්ම සිටි ජොරී කසල් හා තියන් ග්‍රේජෝයි විය. මෙතෙක් වේලා සිනාසෙමින් විහිළු කරමින් පැමිණි ග්‍රේජෝයි ගේ මුවින් විස්මයාකෘත හඬක් නැංවෙනු බ්‍රැන්ට ඇසුනි. "දෙයියනේ!" ඔහු කෑගැසුවේ තම අසු පාලනය කරගැනීමට යත්න දරන අතරේ අසිපත වෙතට අත යවමිනි.

ජොරීගේ අසිපත මේ වනවිටත් කොපුවෙන් පිටතට පැමිණ තිබිනි. "රොබ් උගෙන් ඈත් වෙන්ට." ඔහු කෑ ගැසීය.

තමා අතේ තිබුනු පොදියෙන් දෑස් ඉවතට ගත් රොබ් ඉහළ බලා විරිත්තුවේය. "ඌට අපට හානියක් කරන්ට බෑ. ඒකි මැරිලා ජොරී."

මේ වන විට කුතුහලය විසින් බ්‍රැන් ගිනිගෙන දැවෙමින් තිබිනි. ඔහුට සිය පෝනියා ඉදිරියට මෙහෙයවීමට උවමනා වුවත් පාලම අසල අසුන් නවතා පා ගමනින් යන්නැයි පියා ගෙන් විධානයක් ලැබිනි. අසුගෙන් බිමට පිනූ බ්‍රැන් ඉදිරියට දිව ගියේය.

ඒ වනවිට ජොන්, ජොරී හා තියන් යන සියල්ලෝම අසුන්ගෙන් බිමට බැස තිබින. "මොන අපා හතෙන් එකක්ද ඒ?" තියන් ඇසුවේය.

"වෘකයෙක්." රොබ් පිළිවදන් දුනි.

"විකෘතියක්. බලන්ට උගේ ලොකු."

ඉණ තෙක් උසැති හිම ගොඩ අතරින් තම සොයුරන් වෙත ලංවෙද්දී බ්‍රැන් ගේ හදවත මුවින් එළියට පනින තරමේ වේගයකින් ගැහුනේය.

රුධිරයෙන් රතු පැහැ වූ හිම ගොඩේ දැවැන්ත අඳුරු පැහැති වස්තුවක් අඩක් එරී තිබුනි. එහි අළු පැහැති දළ ලෝමයන් මත හිම මිදී තිබූ අතර එයින් යාන්තමට කුණුගඳක් වහනය විය. දෑස් වල ඉහඳ පනුවන් පිරී තිබුනු අතර විශාල මුවේ කහ පැහැති දත් දෙපෙලක් දැකිය හැකි විය. නමුත් ඔහු තිගැස්සුනේ මේ කිසිවක් නිසා නොව එහි විශාලත්වය නිසාය. එය ඔහුගේ පෝනියාටත් වඩා විශාල විය, සිය පියාගේ දඩයම් බල්ලන් අතරින් විශාලතම එකාටත් වඩා දෙගුණයක් විශාල විය.

"ඌ විකෘතියක් නෙවෙයි." ජොන් සන්සුන් ස්වරයෙන් කීය. "ඌ ඝෝරවෘකයෙක්. උං සාමාන්‍ය වෘකයින්ට වඩා ලොකුවට හැදෙනවා."

"ප්‍රාකාරයෙන් මෙපිට ඝෝරවෘකයෙක් දැකලා නෑ අවුරුදු දෙසීයකින් මෙහා." තියන් කීය.

"මං දැන් ඉන්නෙ උං එකෙක් දිහා බලාගෙන තමා." ජොන් පිළීවදන් දුනි.

මේ රාක්ෂයාගෙන් දෑස් ඉවතට ගත් බ්‍රැන් පළමු වර‍ට රොබ් ගේ අතේ ඇති පොදිය පැහැදිලිව දුටුවේය. සතුටින් හඬක් නැගූ ඔහු රොබ් වෙතට සමීප විය. තවමත් දෑස් නෑරිය වෘක පැටවා පුංචි කළු-අළු පැහැ බෝලයක් මෙන් දිස් වුනි. ඌ සිහින් කෙඳිරියක් නගමින් තව තවත් රොබ්ට තුරුළු වී ඉව ඇල්ලුවේ හරියට ඔහුගෙන් කිරි බොන්නට තැත් කරන්නාක් මෙනි. බ්‍රැන් ආශාවෙන් එහෙත් දෙගිඩියාවෙන් එදෙසට අත දිගු කලේය. "එන්ට." රොබ් කීය. "ඔයාට ඌව අල්ලන්ට පුළුවන්."

වෘක පැටවා යාන්තමට අත ගෑ බ්‍රැන් ආපසු හැරුනේ ජොන් ගේ කටහඬ ඇසීමෙනි. "මෙන්න." ඔහුගේ අර්‍ධ-සොහොයුරා ඔහු අත තැබුවේ තවත් වෘක පැටවෙකි. එතැනම බිම හිමගොඩේ වාඩිවුනු බ්‍රැන් පැටවා තම මුහුණට තුරුළු කර ගති. උගේ ලෝම සිනිඳු උණුසුම් බවකින් යුතුව ඔහුගේ කම්මුලට දැනුනේය.

"අවුරුදු ගානකට පස්සෙ ආයෙමත් ඝෝරවෘකයො නිදැල්ලෙ යන්ට පටන් අරන්." හලන් - අසුන් බාරකරුවා - කටුකුටු ගෑවේය. "මං එච්චර කැමති නෑ මේ වැඩේට."

"ඒක සලකුණක්." ජොරී කීය.

"මේ මැරිච්ච සතෙක් ජොරී." පියා රැවුම් මුහුණකින් යුතුව කීවේය. එනමුත් ඔහුගෙන් දිස් වූයේ කරදරයකට පත් වූ පෙනුමකි. ඔහු පරීක්ෂාකාරී බැල්මෙන් සතා ගේ දේහය වටා ඇවිද්දේය. "අපට හොයාගන්ට පුළුවන්ද ඇයි මේකි මැරිලා තියෙන්නෙ කියලා?"

"උගේ උගුරෙ මොකක්දෝ ඇනිලා තියෙනවා." රොබ් කීය. "අර තියෙන්නෙ, යටි හනුවට පොඩ්ඩක් පහතින්..."

බිම දණ ඇනගත් පියා සතාගේ බෙල්ලට යටින් අත රිංගෙවුවේය. ඊළඟ මොහොතේ අත ගස්සා ඉස්සූ ඔහු සැමට පෙනෙන පරිද්දෙන් එය ඉහළට එසවීය. ඒ රුධිරය නිසා රත් පැහැ වූ, අඩියක් පමණ දිග මුව අං කැබැල්ලකි. පිරිස අතරේ පැතිර ගියේ හදිසි නිහඬතාවකි. සියළුදෙනාම නොසන්සුන් අයුරින් මුව අං කැබැල්ල දෙස බලාසිටිය මුත් එකෙකුවත් කතා කිරීමට කට ඇරියේ නැත. බ්‍රැන්ටත් ඔවුන්ගේ භීතිය හැඟුනත් ඒ ඇයි කියන්නට ඔහුට නොතේරින.

මුව අං කැබැල්ල ඉවතට වීසි කර දැමූ පියා හිමෙන් දෑත පිසදා ගත්තේය. "මට පුදුම මේකි පැටවු දානකං ජීවත් වෙච්ච එක ගැනයි."

"සමහරවිට එහෙම නොවෙන්ටත් පුළුවන්." ජොරී කීය. "මං කතා අහලා තියෙනවා.... සමහරවිට පැටවු එළියට එනකොටත් මේකි මැරිලා වෙන්ට ඇති."

"මළමිනියකින් ඉපදුන එවුන්." තවකෙකු කීවේය. "ඒක නරක ලකුණක්."

"මොනා වුනත් කමක් නෑ. උනුත් ඉක්මනටම මැරෙන්ටයි යන්නෙ." හලන් කීවේය.

බ්‍රැන් කැළඹුනු සිතින් අව්‍යක්ත හඬක් නැගීය.

"ඉක්මන් කරපු තරමට හොඳයි." තියන් ග්‍රේජෝයි අසිපත ඇදගත්තේය. "ඔය සතාව මෙහා‍ට දෙන්ට බ්‍රැන්."

පැවසූ වදන් තේරුනාක් මෙන් පුංචි පොදිය නොසන්සුන්කමින් දැඟලුවේය. "බෑ!" බ්‍රැන් සැඩපරුෂ ස්වරයෙන් කෑ ගැසීය. "ඌ මගේ."

"උඹේ කඩුව පැත්තකට දාපං ග්‍රේජෝයි." රොබ් පැවසීය. මොහොතක‍ට ඔහුගෙන් පළවුනේ පියාගේ බඳු විධානාත්මක ස්වරූපයකි. "අපි මේ පැටවු තියාගන්නවා."

"ඔයාට ඒ වැඩේ කරන්ට බෑ දරුවො." මෙසේ කීවේ හලන් ගේ පුතා හාර්වින්ය.

"උංව මරලා දාන එක උංට කරන උදවුවක්." හලන් කීය.

සහනයක් පතා බ්‍රැන් සිය පියා දෙස බැලූ මුත් ඔහුට හිමිවූයේ රැවුම් මුහුණක් පමණි. "හලන් කියන්නෙ ඇත්ත පුතා. උංට බඩගින්නෙයි සීතලෙයි මැරෙන්ට අරිනවට වඩා හොඳයි එකපාරින් මරලා දාන එක."

"නෑ!" තම දෑස් පුරා කඳුළු ගලා එන බව දැනුනු බ්‍රැන් ඉවත බලාගත්තේය. සිය පියා ඉදිරිපිට හැඬීමට ඔහුට අවශ්‍ය වූයේ නැත.

රොබ් මුරණ්ඩු අයුරින් විරුද්ධත්වය පෑවේය. "සෙර් රඩ්‍රික් ගෙ රතු බැල්ලි ගිය සතියෙ ආයෙමත් පැටවු දැම්මා. පැටවු දෙන්නයි ජීවත්වෙලා ඉන්නෙ. ඒකිට ඇතිවෙන්ට කිරි තියෙනවා."

"ඒකි මුංව කෑලි කෑලිවලට ඉරලා දායි."

"ස්ටාර්ක් උතුමානෙනි." ජොන් කීවේය. ඔහු සිය පියාට මෙසේ චාරිත්‍රානුකූලව අමතනු ඇසීම නුහුරු දෙයකි. බ්‍රැන් ඔහු දෙස බැලුවේ බලාපොරොත්තු සහගත දෑසිනි.

"මෙතන පැටවු පස් දෙනෙක් ඉන්නවා. පිරිමි තුන්දෙනයි, ගෑණු දෙන්නයි."

"මොකක්ද එතන තියෙන විශේෂත්වය ජොන්?"

"ඔබට සහජාත දරුවො පස්දෙනෙක් ඉන්නවා. පුත්තු තුන්දෙනයි, දුවලා දෙන්නයි. ඝෝරවෘකයා කියන්නෙ ඔබේ වංශයේ සලකුණ. මේ පැටවු ඇවිල්ලා තියෙන්නෙ ඔබේ දරුවන්ට හිමි වෙන්ටමයි මගෙ උතුමානෙනි."

සිය පියාගේ මුහුණ වෙනස් වී යනුත් අන්‍යයන් එකිනෙකා ගේ මුහුණු බලාගනුත් බ්‍රැන්ට පෙනුනි. ඒ මොහොතේ ඔහු තුළ ජොන් පිළිබඳ මුළු ලෝකයටත් වඩා ආදරයක් පහළ විය. වසර හතක් වැනි කුඩා වයසක දී වුවත් ඒ මොහොතේ තම අර්‍ධ-සොහොයුරා කල පරිත්‍යාගය ඔහුට තේරුනි. වෘක පැටවුනුත් ස්ටාර්ක් දරුවනුත් හරියටම සමපාත වූයේ ජොන් තමා විසින්ම තමාව පවුලෙන් ඉවත් කල බැවිනි. ඒ වෙනුවට ඔහු ගැහැණු දරුවන් හා පුංචි අත දරුවකු වන රිකන් පවා ඊට ඇතුළත් කලේය. එහෙත් ස්නෝව් වාසගම - අවජාතකයින්ට උතුරුකරයේ දී පොදුවේ ලැබෙන වාසගම - හිමි තමාව එයින් ඉවත් කලේය‍.

ඔවුන් ගේ පියා මේ සියල්ලම තේරුම්ගත් බවක් පෙනුනි. "ඔයාට පැටියෙක් ඕන නැද්ද ජොන්?" ඔහු මෘදු අයුරින් ඇසීය.

"ඝෝරවෘකයා සරසන්නෙ ස්ටාර්ක් වංශයෙ කොඩිය. මං ස්ටාර්ක් කෙනෙක් නෙවෙයි තාත්තෙ."

ජොන් පැවසූ දේ ගැන පියා ගැඹුරින් සිතා බලන බව පෙනෙන්න‍ට විය. රොබ් ඒ නිහඩතාව බිඳ දැම්මේය. "මේ පැටියට මමම සාත්තු කරන්නං තාත්තෙ. මං පොඩි තුවා කෑල්ලක් උණු කිරිවලින් පොඟවලා මූට උරන්ට දෙන්නං." ඔහු පොරොන්දු විය.

"මාත් එහෙම කරනවා." බ්‍රැන් ප්‍රතිරාව නැංවීය.

වංශාධිපතියා දිගු වේලාවක් සිය දෑසින් තම පුතුන් දෙදෙනා කිරා මැන බලන්නට විය. "කියන්ට ලේසියි, කරන්ට අමාරුයි. ඔයාලා මේ සත්තු වෙනුවෙන් සේවකයන්ගෙ කාලෙ නාස්ති කරනවා දකින්ට මට ඕන නෑ. ඔයාලට මේ පැටවු ඕන නං ඔයාලම උංට සාත්තු කරන්ට ඕන. තේරුනාද?"

බ්‍රැන් උනන්දුවෙන් හිස සැලීය. ඔහුගේ දෑත තුළ එහා මෙහා වුන පැටවා තම උණුසුම් දිවෙන් ඔහුගේ මුහුණ ලෙව කෑවේය.

"ඒ වගේම ඔයාලා උංව පුරුදු කරන්ටත් ඕන. ඔයාලා විසින්ම උංව පුරුදු කරන්ට ඕන. බල්ලො බලාගන්න කෙනාව මේකට ගාවගන්ට බෑ. ඔයාලා උංව නොසලකා ඇරියොත් හරි උංට වද දුන්නොත් හරි උංව නරක විදියට පුරුදු කලොත් හරි මං ඒකත් බලාගන්නං. මුං බල්ලො නෙවෙයි. ඒක නිසා බල්ලො වගේ කෑමකට නැට්ට වනන්ටයි පයින් පාර කාලා දුවන්ටයි මුංව පුරුදු කරන්ටත් බෑ. සාමාන්‍ය බල්ලෙක් මීයෙක් මරලා දානවට වැඩිය ලේසියෙන් ඝෝරවෘකයෙකුට පුළුවන් මිනිහෙකුගෙ අතක් උරහිස ළඟින් වෙන් කරන්ට. ඔයාලට හොඳටම විශ්වාසද මුංව ඕන කියලා?"

"ඔවු තාත්තෙ." බ්‍රැන් පැවසීය.

"ඔවු." රොබ් එකඟ විය.

"ඔයාලා කොහොම මොනා කලත් මේ පැටවු මැරෙන්ටත් පුළුවන්."

"උං මැරෙන්නෙ නෑ." රොබ් කීය. "අපි උංට මැරෙන්ට දෙන්නෙ නෑ."

"එහෙමනං උංව තියාගන්ට. ජොරී, ඩෙස්මන්ඩ්, අනිත් පැටවු ටික එකතු කරගන්ට. අපට වින්ටර්ෆෙල්වලට යන්ට කාලෙ හරි."

පාලමේ මැදක් හරිය පසුකරද්දී ජොන් හදිසියේම නැවතුනි.

"මොකක්ද ජොන්?" ඔවුන්ගේ පියා ඇසීය.

"ඔයාලට ඒක ඇහෙන්නෙ නැද්ද?"

සුළඟට ගස් සෙලවෙන හඬත්, පාලමේ අසු කුර ගැටෙන හඬත් තම වෘක පැටවා කුසගින්න නිසා නගන කෙඳිරියත් බ්‍රැන්ට ඇසුනි. නමුත් ජොන් කණ් දුන්නේ ඒ කිසිවකට නොවේ, වෙන මොන යම් හෝ දෙයකටය.

"අන්න අතන." ජොන් කීය. අසු ආපසු හරවාගත් ඔහු නැවතත් පැමිණි දිසාවටම පිම්මේ ගියේය. ඝෝරවෘකයා මිය ගොස් සිටි ස්ථානයේදී ඔහු අසු පිටින් බසිනවාත් හිම ගොඩේ දණ බිම ඇනගෙන කුමක්දෝ සොයනවාත් ඔවුන්ට පෙනිනි. මොහොතකට පසු ඔහු නැවත ඔවුන් වෙතට පැමිණියේ සිනහවෙමිනි.

"ඌ අනික් පැටවුන්ගෙන් ඈතට ගාටගෙන ගිහිල්ලා."

"එහෙමත් නැත්තං අනික් පැටවු ඌව එලවලා දාලා." ඔවුන්ගේ පියා කීවේ සයවැනි වෘක පැටවා දෙස බලමිනි. අනිත් පැටවුන් අඳුරු පැහැති වූවද මූ හිම මෙන් සුදු පැහැ විය. උගේ දෑස් රතු පැහැයෙන් දිලිසුනේ හරියටම අද උදෑසන ගෙල කපා දැමූ මිනිසාගෙන් ගැලූ රුධිරය මෙනි. අනිත් පැටවුන් තාමත් දෑස් හැර නැති විට මේ පැටවා පමණක් දෑස් හැර තිබීම ගැන බ්‍රැන් ගේ සිතේ ඇති වූයේ කුතුහලයකි.

"ඇලි එකෙක්." තියන් ග්‍රේජෝයි කීවේ කුරිරු සතුටකිනි. "මූ මැරෙයි අනිත් එවුන් හැමෝටම කලින්."

ජොන් ස්නෝව් ඔහු දෙසට හෙලුවෙ ඇඟ සීතල කරවන අන්දමේ බැල්මකි. "මං හිතන්නෙ නෑ එහෙම වෙයි කියලා ග්‍රේජෝයි. මේ පැටියා අයිති මටයි."


Jon Snow: “The direwolf graces the banners of House Stark. I am no Stark, Father.”

Wednesday 25 June 2014

බ්‍රැන් - 01-1


එම උදෑසන කාලගුනය පැහැදිලි එමෙන්ම සීතල එකක් වූ අතර එහි තිබුනු ප්‍රසන්නභාවය ඉඟිකලේ ගිම්හානය නිමාවීමට ආසන්න බවය. පොළොවට හිරු එළිය පාත්වෙද්දී ඔවුන් පිටත්වුනේ මිනිසකුගේ හිස ගසා දමනු බැලීමටයි. විසිදෙනෙකුගෙන් යුක්ත වූ එම පිරිස අතරේ බ්‍රැන් ගමන් කලේ උද්‍යෝගය නිසා නොසන්සුන් වූ සිතිනි. රජතුමාගේ යුක්තිය ඉටුකරනු බැලීම් වස් තම වංශාධිපති පියා හා වැඩිමහලු සොහොයුරන් සමග පිටව යාමට ඔහුට අවසර ලැබුනු මුල්ම වතාව මෙයයි. මෙතෙක් කල් එවැනි දේකට මුහුණ දීමට තරම් ඔහු ලාබාල වැඩි යැයි පියා විසින් තීරණය කර තිබුනි‍. මේ ගෙවී යමින් තිබුනේ ගිම්හානයේ නව වැනි වසර වූ අතර බ්‍රැන්ගේ ජීවිතයේ සත් වැනි වසරයි.

මිනිසා අල්ලාගෙන තිබුනේ කඳුකරයේ වූ කුඩා බලකොටුවක් අසබඩදීය. රොබ් සිතුවේ ඔහු මැන්ස් රේඩර්ට - ප්‍රාකාරයට ඔබ්බෙන් වූ කැරැළිකාර රජතුමාට - පක්ෂපාතී වනචාරියෙකු බවයි. මේ ගැන සිතද්දී බ්‍රැන් ගේ ඇඟේ හී ගඩු පිපුනේ නාකි ආයම්මා කියා දුන් කතන්දර මතක් වූ බැවිනි. ඇය කියා දුන් ආකාරයට වනචාරියන් යනු කුරිරු මිනිසුන් කොට්ඨාසයක් වූ අතර හොරුන් හා වහල් වෙළෙඳුන්ද වූහ. ඔවුන් යෝධයන් හා වේතාලයන් සමග සම්බන්ධතා ඇති කරගත් අතර මහ රෑ යාමයේ පැමිණ කුඩා ගැහැණු දරුවන් හොරකම් කිරීමද කලහ. ඔවුන්ගේ ගැහැණුන් 'අනික් එවුන්' හා සබඳතා පවත්වා බිහිසුණු අර්‍ධ-මිනිස් දරුවන් මෙලොවට බිහි කලහ.

එසේ නමුත් බලකොටුවේ පිටත බිත්තියට බැඳ දමා රජතුමාගේ යුක්තියට මුහුණ දෙනු පිණිස බලා සිටි මිනිසා බ්‍රැන් අපේක්ෂා කල අන්දමේ තැනැත්තෙක් නම් නොවීය. ඔහු මහළු, කැහැටු, සිය සොයුරු රොබ්ටත් වඩා උසින් අඩු සාමාන්‍ය මිනිසකු විය. අධික ශීතයට නිරාවරණය වීම නිසා ඔහුගේ කණ් දෙකත් අතැඟිල්ලකුත් අහිමි වී ගොස් තිබුනු අතර ඔහු සැරසී සිටියේ නිශා රැකුම් බලකායේ සොයුරන් පළඳින අන්දමේ සම්පූර්ණ කළු පැහැ ඇඳුම් කට්ටලයකි. වෙනසකට තිබුනේ ඔහුගේ ලොම් ඇඳුම් වැරහැලි වී තෙල් ගෑවී තිබීම පමණකි.

සිය වංශාධිපති පියා විසින් බැඳ තිබුන බැමි කපා දමා ඒ මිනිසා ඇද‍ගෙන යද්දී තම අසුන් පිට නිසසලව බලා සිටින වැඩිමහලු සොයුරන් වන රොබ්ට හා ජොන්ට මැදිව තම පෝනියා මත සිටි බ්‍රැන් තම සත් වසරක වයසට වඩා වැඩිමහල් බැරෑරුම් පෙනුමක් මුහුණේ මවාගෙන බලා සිටියේ හරියටම ඔහු මීට පෙරත් මෙවැනි අත්දැකීම්වලට මුහුණ දී ඇති බව අන්‍යයන්ට පෙන්වන්නට මෙනි. බලකොටු ද්වාරය තුළින් මඳ සුළඟක් හමන්නට වූ බැවින් ඔවුන්ට ඉහළින් අහසේ වින්ටර්ෆෙල්හි ස්ටාර්ක් ධජය - සුදු පැහැයෙන් දිදුලන හිම මතින් දිවයන අළු පැහැ ඝෝරවෘකයා - මඳ සුළඟේ සැලෙන්නට විය.

බ්‍රැන් ‍ගේ පියා ගරු ගාම්භීර අයුරින් අසු අරා සිටි අතර ඔහුගේ දිගු දුඹුරු පැහැ කෙහෙරැළි මඳ සුළඟේ නටන්නට විනි. කෙටි කර කපන ලද ඔහුගේ රැවුල තැනින් තැන සුදු පැහැ වී තිබුනු බැවින් ඔහුගෙන් දිස්වූයේ වසර පන්-තිසකට වඩා වැඩිමහලු පෙනුමකි. ඔහුගේ අළු පැහැ දෑසේ මෙදින දකින්නට තිබු‍නේ සැරපරුස පෙනුමකි. බ්‍රැන්ට හැඟුනේ වෙනදාට හැන්දෑ වරුවේ ගිනිඋඳුන අසල වාඩී වී මෘදු ස්වරයෙන් ඔවුන්ට වීරයන් ගැනත් වනාන්තරයේ දරුවන් ගැනත් කතා කියා දෙන පියා වෙනුවට අමුතුම මිනිසකු එතන පහළ වී ඇති බවකි. හරියට ඔහු පියාගේ මුහුණ ගලවා දමා වින්ටර්ෆෙල් බලකොටුවට අධිපති ස්ටාර්ක් උතුමානන්ගේ මුහුණ දමා ගත්තාක් මෙනි.

උදෑසන සීතල මධ්‍යයේ ප්‍රශ්න ඇසීම් හා පිළිතුරු දීම් රැසක් සිදුවූවත් අසන්නට ලැබුනු කිසිදු දෙයක් බ්‍රැන්ගේ මතකයේ රැඳුනේ නැත. අන්තිමේදී ඔහුගේ පියා විධානයක් දුන් අතර ‍සෙබලුන් දෙදෙනෙකු විසින් වැරහැලි ඇඳගත් මිනිසාව චතුරස්‍රය මැද තිබුනු කපා දමන ලද අයන්වුඩ් කොටයක් වෙත ඇදගෙන යන ලදී. මිනිසාගේ හිස පහතට සිටින සේ කොටය මත තැබූ ඔවුහු ඔහුට සෙලවීමට නොහැකි වන පරිද්දෙන් තර කොට අල්ලා ගත්හ. එඩ්ඩාර්ඩ් ස්ටාර්ක් උතුමානන් සිය අසු පිටින් බසිද්දී තියන් ග්‍රේජෝයි විසින් හිස ගසා දැමීම සඳහා භාවිත කරන දිගු අසිපත ඔහු වෙත ගෙන එන ලදී. 'අයිස්' යනුවෙන් නම් ලැබූ එම අසිපත මිනිසකුගේ අතක් තරම් පළල් වූ අතර රොබ්ටත් වඩා උසින් වැඩි විය. අසිපත් තලය නිමවී තිබුනේ දුම මෙන් අඳුරු පැහැ වූ වලීරියන් වානේ වලිනි. වලීරියන් වානේ තරම් වෙන කිසිවක් මුවහත් නැති බව බ්‍රැන් දනියි.

සිය අත්වැසුම් ගලවා තම ගෘහාරක්ෂක බලකායේ ප්‍රධානියා වූ ජොරී කසල් අතට දුන් ඔහුගේ පියා දෑතින්ම අයිස් ඔසවාගෙන මරණ දන්ඩණය ලබාදීමට සූදානම් විය.

"අන්දාල් වරුන්ගේ ද, රයිනාර් වරුන්ගේ ද, මුල් මිනිසුන්ගේ ද රජු වන, රාජධානි සප්තකයේ ස්වාමියා හා ආරක්ෂකයා වන, බරතියන් වංශයේ රොබර්ට් නම් වූ එම නමින් යුත් පළමු රජතුමාගේ නාමයෙන්, වින්ටර්ෆෙල්හි අධිපති හා උතුරේ ආරක්ෂකයා වන ස්ටාර්ක් වංශයේ එඩ්ඩාර්ඩ් වන මම නුඹට මරණීය දන්ඩණය ප්‍රකාශ කරමි."

ඊළඟ මොහොතේ ඔහු දිගු අසිපත හිසට ඉහළින් එසවීය.

බ්‍රැන් ගේ අවජාතක සොහොයුරා වූ ජොන් ස්නෝව් ඔහු දෙසට නැඹුරු විය. "පෝනියාව හයියෙන් අල්ල ගන්ට." ඔහු කෙඳිරුවේය. "අනික අහක බලන්ට එපා. එහෙම කලොත් තාත්තා දැනගන්නවා."

බ්‍රැන් තම පෝනියාව දැඩිව අල්ලාගෙන සිටි අතර අහක බැලුවේද නැත.

ඔහුගේ පියා එකම එක තිර පහරකින් මිනිසාගේ හිස කඳින් වෙන් කලේය. හිම මත රුධිරය විසිර ගියේ හරියටම රතු පැහැ වයින් පරිද්දෙනි. බ්‍රැන්ට ඒ වෙතින් සිය දෑස් ඉවත් කර ගැනීමට අසීරු බවක් දැනුනු අතර ඔහු බලා සිටිද්දී එම රුධිරය උරා ගත් හිම රතු පැහැයෙන් බබලන්නට විය.

ගසේ මුලක් මත පතිත වූ හිස පෙරැලී අවුත් ග්‍රේජෝයි ගේ දෙපා අසල නතර විය. හැම දෙයක්ම සැහැල්ලුවෙන් හා විහිළුවෙන් බාරගන්නා හීන්දෑරී අඳුරු පැහැ දහනව හැවිරිදි තරුණයෙකු වූ තියන් සිනාසී එම හිසට පා පහරක් එල්ල කලේ ඈතට විසි වී යන පරිද්දෙනි.

"බූරුවා." ජොන් සිහින් හඬින් මිමිනුවේ ග්‍රේජෝයිට නෑසෙන පරිද්දෙනි. ඔහු බ්‍රැන් ගේ උරහිස මත අතක් තැබූ අතර බ්‍රැන් සිය අවජාතක සොහොයුරා දෙස බැලුවේය. "ඔයා බොහොම හොඳට කලා." ජොන් සන්සුන් හඬින් කීය.

ඉර පෙරට වඩා අහසේ මුදුන් වී සුළඟද නැවතී තිබුනු නමුත් වින්ටර්ෆෙල් බලා ආපසු යන ගමනේදී බ්‍රැන්ට පෙරට වඩා සීතලක් දැනෙන්නට විය. ඔහු සිටියේ අනිත් පිරිසට පෙරාතුව යන තම සොයුරන් දෙදෙනාගේ අශ්වයන් හා තම කුඩා පෝනියා සමපාත කරගන්නට වෑයම් කරමිනි.

"මිනිහා බයනැතුව මරණයට මුහුණ දුන්නා." රොබ් කීවේය. ඔහු එන්න එන්නම ලොකු මහත් වෙන, ඔහු ගේ මව ගේ විලාසයන් - රිවර්රන් හි ටලීවරුන්ගේ පැහැපත් සම, රතු-දුඹුරු කෙස් හා නිල් පැහැ දෑස් - ඇති යෞවනයෙකි. "ඌට අඩුම ගානෙ නිර්භීතකමක් තිබුනා."

"නෑ." ජොන් ස්නෝව් සෙමින් කීය. "ඒක නිර්භීතකමක් නෙවෙයි‍. මිනිහා මැරෙන තරමට බය වෙලයි හිටියෙ. උඹට ඒක මිනිහගෙ ඇස් දෙකෙන් දකින්ට තිබුනා ස්ටාර්ක්." ජොන් ගේ දෑස් කෙතරම් තද අළු පැහැතිද කිවහොත් ඒවා කළු පැහැයට වඩා ආසන්නය. නමුත් ඒ දෑසට කිසිදු දෙයක් මග නොහැරේ. ඔහු වයස දහහතරක් වූ රොබ් හා සම වයසේ වූවත් ඔවුන් දෙදෙනා අතරේ පෙනුමෙන් නම් කිසිදු සමානකමක් නොතිබිනි. රොබ් ගේ වැඩුනු මස්පිඩු සහිත සිරුරට සාපේක්ෂව ඔහු හීන්දෑරී ය, රොබ් පැහැපත් සමකින් යුක්ත වෙද්දී ඔහු අඳුරු පැහැයට හුරුය, රොබ් ශක්තිමත් හා වේගවත් වෙද්දී ඔහු සුන්දර හා ක්ෂණික විය.

මේ අදහස රොබ් ගේ සිතට කා වැදුනු බවක් පෙනුනේ නැත. "අනික් එවුං උගෙ ඇස් දෙක කාපුවාවෙ. ඌ හොඳට මැරුනා. මොකද කියන්නෙ, තරගයක් තියමුද? පාලම ගාවට යනකං."

"හරි." ජොන් කීවේ පයින් ඇන තම අසු ඉදිරියට මෙහෙයවන ගමන් ය. මැසිවිල්ලක් ගුවනට මුසු කල රොබ් ඔහු පසුපසින් පැන්නුවේය. මොහොතකින් ඔවුන් දෙදෙනා පාරේ වේගයෙන් ඉදිරියට අසුන් මෙහෙයවද්දී - රොබ් සිනාසෙමින් හූ කියමිනුත්, ජොන් නිහඬවම එහෙත් උනන්දුවෙනුත් - අසු කුරවලට හසු වූ හිම වර්ෂාවක් මෙන් පසුපසට විසි විය.

බ්‍රැන් ඔවුන් පසුපසින් යාමට උනන්දුවක් නොදැක්වූයේ තම කුඩා පෝනියාට එවන් වික්‍රමයක් කල නොහැකි බැව් ඔහු හොඳාකාරවම දන්නා බැවිනි. ඔහු මියගිය මිනිසාගේ දෑස් දැක තිබූ අතර මේ මොහොතේ ඒ ගැන සිතන්නට විය. මොහොතකට පසු රොබ් ගේ සිනා හඬ වියැකී ගිය අතර හාත්පස වන පෙත නැවතත් නිහඬ විය.

කෙතරම් තදින් කල්පනාවේ ගැලී සිටියාද කිවහොත් සෙසු පිරිස ඔහු අසලටම ළඟා වී ඇති බැව් බ්‍රැන් දැනගත්තේ සිය පියා ඔහුට සමගාමීව සිය අසු මෙහෙයවන්නට පටන් ගත් විටය. "ඔයා හොඳින්ද බ්‍රැන්?" ඔහු ඇසීය.

"ඔවු තාත්තේ." ඔහු ඉහළ බලා කීවේය‍‍. ලොමින් හා සමින් සැරසී සුවිසල් යුධ අසු අරා සිටි පියා ඔහුට පෙනුනේ යෝධයෙකු පරිද්දෙනි. "රොබ් කියනවා ඒ මිනිහා නිර්භීත විදියට මැරුන ලු. ජොන් කියනවා මිනිහා බයෙන් ලු හිටියෙ."

"ඔයා මොකක්ද හිතන්නෙ?"

බ්‍රැන් මොහොතක් සිතා බැලීය. "මිනිහෙකුට පුළුවන්ද බයවෙච්ච වෙලාවක නිර්භීත වෙන්ට?"

"ඒ තමා මිනිහෙකුට නිර්භීත වෙන්ට පුළුවන් එකම වෙලාව. බයවෙච්ච වෙලාව. ඔයා තේරුම් ගත්තද ඇයි මං ඒක කලේ කියලා?"

"ඌ වනචාරියෙක්." බ්‍රැන් පිළිවදන් දුනි‍. "උං ගෑනු උස්සන් ගිහිල්ලා 'අනික් එවුංට' විකුණනවා."

ඔහුගේ පියා සිනාසුනි. "නාකි ආයම්මා ආයෙමත් ඔයාගෙ ඔළුවට එක එක මනස්ගාත දානව වගේ. ඇත්තම කියනවානං, ඒ මිනිහා පොරොන්දු කඩකරපු එකෙක්. නිශා රැකුම් බලකායෙන් පැනල ආපු එකෙක්. වෙන කිසිම මිනිහෙක් ඌ තරම් භයානක නෑ. පැනලා යන එකා දන්නවා ආපහු අහුවුනොත් මිනිහගෙ ජීවිතේ එතනින් ඉවරයි කියලා. ඒ නිසා ඌ අහු නොවී ඉන්ට ඕනම අපරාධයක් කරන්ට ලෑස්තියි. ඒ වුනත් ඔයා මගේ ප්‍රශ්නෙ හරියට තේරුම් අරන් නෑ. මං ඇහුවෙ 'ඇයි ඒ මිනිහට මැරෙන්ට වුනේ' කියලා නෙවෙයි, 'ඇයි මමම ඒ මිනිහව මරන්ට තීරණය කලේ. කියලයි."

එම ප්‍රශ්නයට බ්‍රැන් ට පිළිතුරක් නොවීය. "රොබර්ට් රජ්ජුරුවන්ට අළුගෝසුවෙක් ඉන්නවා." ඔහු අතීරණාත්මක හඬින් කීය.

"ඔවු, ඒක ඇත්ත." ඔහු ගේ පියා එකඟ විනි. "ඒ විතරක් නෙවෙයි, එයාට කලින් හිටපු ටාර්ගේරීයන් රජවරුන්ටත් හිටියා. ඒ වුනත් අපේ විදිය පුරාණයේ ඉඳන් එන විදියයි. ස්ටාර්ක්වරුන්ගේ නහරවල තාමත් මුල්ම මිනිස්සුන්ගේ ලේ දුවනවා. අපි විශ්වාස කරන්නෙ මරණ දන්ඩණය ප්‍රකාශ කරන කෙනාම ඒක ක්‍රියාත්මක කරන්ටත් ඕන කියලයි. ඔයා මිනිහෙකුගෙ ජීවිතය නැති කරන්ට යනවානං ඒ මිනිහගෙ ඇස් දෙක දිහා බලලා එයාගෙ අන්තිම වචන ටික අහන්ට ඔයා බැඳිලා ඉන්නවා. ඔයාට ඒ දේ දරාගන්ට බැරි නං ඒකෙන් කියවෙන්නෙ එයා මැරෙන්ට සුදුසු නෑ කියලයි."

"එක දවසක් එනවා බ්‍රැන්, එදාට ඔයා තමා රොබ්ගෙ කොඩිය උස්සන් යන්නෙ. ඔයා එදාට ඔයාගෙ සහෝදරයගෙ නමිනුයි ඔයා‍ගෙ රජ්ජුරුවන්ගෙ නමිනුයි බලකොටුවක් පාලනය කරාවි. අන්න එදාට ඔයාට සිද්ධවෙනවා යුක්තිය ඔයා අතට ගන්ට, මිනිස්සුන්ට දඬුවම් කරන්ට. එදාට ඔයාට අහක බලන්ට බෑ. ඒ වගේම ඔයා ඒ කරන දෙයින් සතුටක් ලබන්ට හදන්ටත් එපා. සල්ලි ගෙවලා අළුගෝසුවො තියාගෙන ඒ පිටිපස්සෙ හැංගිලා ඉන්න රජවරුන්ට ඉක්මනටම අමතක වෙනවා මරණය කියන්නෙ මොකක්ද කියලා."

ඒ මොහොතේ ඔවුන් ඉදිරියේ වූ කුඩා කඳුගැටය මුදුනෙන් ජොන් මතු විය. ඔහු පහළ බලා ඔවුන්ට අත වනා හඬ ගෑවේය. "තාත්තේ, බ්‍රැන්. ඉක්මනට එන්ට. ඇවිත් බලන්ට රොබ් මොකක්ද හොයාගත්තෙ කියලා." ඊළඟ මොහොතේ ඔහු නැවත නොපෙනී ගියේය. තම අසු විහිදූ ජොරී ඔවුන් අසලට පැමිණියේය. "මොකක් හරි ප්‍රශ්නයක්ද මගෙ උතුමානෙනි?"

"කිසිම සැකයක් නෑ. එන්ට ගිහිං බලමු මගේ පුතාලා මෙදා පාර මොකක්ද නටපු ජරමරේ කියලා." ඔහු අසුට හැල්මේ දුවන්නට සන් කල අතර ඒ පිටුපසින් බ්‍රැන්, ජොරී හා සෙසු පිරිස අසුන් විහිදූහ.


Theon Greyjoy: “There’s not been a direwolf sighted south of the Wall in two hundred years.”
Jon Snow: “I see one now.”

*වේතාලයන් = මළ මිනී කන භූතයන්, පිශාචයන්

Monday 23 June 2014

ප්‍රස්තාවනාව - 03


"දෙයියම්පා!" ඔහුට පිටුපසින් ඇසුනි. අසිපත අතකින් ගත් සෙර් වේමාර් රොයිස් සුළඟේ ලෙලදෙන සළුවත් සහිතව තරු එළියේ බබලමින් මුරකරු වෘක්ෂය පසෙකින් සිටගෙන සිටින්නේ හරියට මුළු ලෝකයටම පේන්නට මෙනි.

"පාත් වෙන්ට." විල් ඉක්මන් ස්වරයෙන් කෙඳිරුවේය. "මොකක් හරි වැරැද්දක් තියෙනවා."

රොයිස් සෙලවුනේවත් නැත. පහතින් ඇති හිස් භූමිය දෙස බැලූ ඔහු සිනාසුනි. "උඹේ මැරිච්ච මිනිස්සු වාඩිය අස්කරන් ගිහින් වගේ විල්."

විල් ආයාසයකින් තතන තතනා වචන සොයන්නට උත්සාහයක් දැරීය. අත් හැර දමන ලද වාඩියේ එහා මෙහා ගිය ඔහුගේ දෑස් බිම වැටී තිබුනු පොරොව මත නතරවිනි. විශාල, තල දෙකක් ඇති, සටනට භාවිත කරන පොරොවක්, ඔහු කලින් දුටු තැනම තවමත් එලෙසින්ම තිබේ. මෙවැනි වටිනා පොරොවක් අත්හැර දමන්නට....

"නැගිටපං විල්." සෙර් වේමාර් අණ දුනි. "මෙතැන මොකෙක්වත් නෑ. උඹ මොකක්ද ඔය පඳුරක් අස්සෙ හැංගිලා කරන්නෙ?"

විල් අකැමැත්තෙන් නමුදු ඒ අණට කීකරු විය.

සෙර් වේමාර් ඔහු දෙස බැලුවේ පැහැදිලිවම පෙනුනු අප්‍රසාදයකිනි. "මගේ පළමුවෙනි මුර සංචාරයම අසාර්ථක එකක් කරගෙන ආපහු කළු බලකොටුවට යන්ට මට ඕනකමක් නෑ. අපි කොහොම හරි මේ මිනිස්සු හොයාගන්ට ඕන." ඔහු වටපිට බැලීය. "නැගපං මේ ගහ උඩට. ඉක්මනට නැගලා බලපං කොහෙ හරි ගින්නක් එහෙම පේන්ට තියෙනවද කියලා."

වචනයක්වත් කතා කර ගත නුහුනු විල් ආපසු හැරුනි‍. වාද කිරීමෙන් පලක් නැත. හමන සීතල සුළඟ ඔහුගේ ඇටමිදුළු පසා කලේය. මුරකරු වෘක්ෂය වෙතට ළඟා වූ ඔහු ගසට නගින්නට පටන් ගති. වැඩි වේලාවක් යන්නට පෙර ගසේ යුෂය නිසා ඔහුගේ දෑත් ඇලෙන්නට වූ අතර ඉදිකටු වන් කොළ අතරේ ඔහු සැඟවී ගියේය. බිය විසින් ඔහුගේ උදරය පුරවා දැමූයේ දිරවා ගත නොහැකි අහරක් මෙනි. වනාන්තරයේ නම නොදන්නා සියළුම දෙවියන්ට නිහඬ යාඥාවක් කල විල් තම කිරිච්චිය කොපුවෙන් මෑත් කර ගෙන දත් අත‍රේ රඳවා ගත්තේ ගසට නැගීමට පහසුවන පරිදි දෑත් නිදහස් කරගැනීම පිනිසය. සීතල යකඩය නිසා මුවට දැනුනු සිසිලස ඔහුට යම් සහනයක් ලබා දුනි.

පහළින් එකවරම ඇසුනේ උතුමානන් ගේ හඬගෑමයි. "කවුද ඔය යන්නේ?" ඒ කටහඬේ තිබුනු අවිනිශ්චිත බව විල්ට මැනවින් හැඟුනි. ඉහළ නැගීම නවතා දැමූ ඔහු ඇහුම්කණ් දෙන්නටත්, වටපිට පිරික්සා බලන්නටත් පටන්ගති.

උතුමානන්ගේ හඬගෑමට පිළිතුරු ලැබුනේ වනාන්තරයෙනි. කොළ වල සර සර ගෑමත්, දොළ පාරේ හඬත්, ඈතින් ඇසුනු හිම බස්සෙකුගේ නාදයත් ඒ පිළිතුරු විය.

එනමුදු 'අනෙක් එවුන්' කිසිම ශබ්දයක් නොකලහ.

විල් දෑස් කොනින් කිසියම් චලනයක් දුටු‍වේය. හරියටම කිවහොත් වනාන්තරය මැද්දෙන් පාවී එන අඳුරු ඡායාවන් රැසක් වැනි යමක්. හිස හරවා බැලූ ඔහුගේ ක්ෂණික දර්ශනයට හසු වූයේ අන්ධකාරය මැද්දේ සුදු පැහැ සෙවනැල්ලකි. නමුත් ඊළඟ මොහොතේ එය නැතිව ගියේය. අනතුරු ඇඟවීමක් සඳහා විල් මුව විවර කලත් වචන ඔහුගේ උගුරේ මිදී ගියාක් මෙනි. සමහරවිට ඔහුට වැරැදීමක් වෙලාවත්ද? සමහරවිට ඒ කුරුල්ලෙක් වෙන්ට ඇති, හිම උඩ පරාවර්තනය වූ මොකක් හෝ දෙයක්? සඳ එළිය නිසා ඇති වුනු මොකක් හෝ දෘෂ්ටි මායාවක්? ඇත්තෙන්ම ඔහු දුටුවේ මොකක්ද?

"විල් උඹ කොහෙද?" සෙර් වේමාර් උඩ බලා ඇසුවේය. "උඹට මොනා හරි පේනවද?" ඔහු අසිපතත් අතැතිව පරීක්ෂාකාරී ලෙස සෙමින් වටයක් කැරකුනේය. විල්ට 'උංව' දැනුනා මෙන් ඔහුටත් උංව දැනුනාවත්ද? පෙනෙන්නට නම් කිසිම දෙයක් නැත. "මට උත්තර දීපං. ඇයි මෙච්චර සීතල?"

ඇත්තෙන්ම ඔහුටත් දැඩි සීතලක් දැනෙන්නට විය. සීතලේ ගැහෙන්නට වූ විල් තවත් තදින් තමා නැග සිටි අත්ත බදා ගෙන මුහුණ ගසේ කඳට තදින් තෙරපා ගති.

වනයේ අන්ධකාරයෙන් මෑත් වූ ඡායාවක් රොයිස් ඉදිරියේ සිට ගති. උස්, පැරණි ඇටකටුවක් මෙන් දැඩි එහෙත් වෑරුනු ඔහුගේ මාංසය කිරි මෙන් සුදු පැහැ විය. ඔහු තබන තබන පියවරක් පාසා පැළැඳ සිටි සන්නාහයේ පැහැය වෙනස් වූයේ වරෙක අලුත වැටුනු හිම මෙන් සුදු පැහැයටත්, තවත් වරෙක සෙවනැල්ලක් මෙන් කළු පැහැයටත් ඒ අතරේ ගස්වල අඳුරු කොළ පැහැයටත් හැරෙමිනි.

සෙර් වේමාර් රොයිස් සර්පයෙකු පිඹින්නාක් මෙන් හුස්මක් පිට කරනු විල්ට ඇසුනි. "ඔයිට වඩා අඩියක්වත් ඉස්සරහට තියන්ට එපා." උතුමානන් අණක් දුන්නත් ඒ හඬ බිඳී ගියේ කුඩා කොල්ලෙකු ගේ මෙනි. සළුව උරහිසින් පස්සට පීරා හැර අත නිදහස් කරගත් ඔහු අසිපත දෑතින්ම ගෙන සටනට සැරසුනි. සුළඟ නැවැතී තිබුනු මුත් සීතල අධික විය.

'අනිකා' නිශ්ශබ්ද පියවරින් ඉදිරියටම ඇදුනි. ඔහුගේ අතේ තිබුනු දිගු අසිපත වැන්නක් විල් කිසිදා දැක නොතිබූ අතර මේ නම් මිනිස් අතකින් නිමැවූවක් නොවන බව ඔහුට ප්‍රත්‍යක්ෂ විය. සඳ එළියේ එම අසිපත පෙනුනේ හරියටම සජීවී වස්තුවක් ලෙසිනි. විනිවිද පෙනෙන පළිඟු වැනි යමකින් නිර්මානය වී තිබුනු එය කෙතරම් තුනී දැයි කිවහොත් පැත්තෙන් බැලූ විට නොපෙනෙන තරම් විය. අසිපත් තලය දිදුලමින් තිබුනේ ලා නිල් පැහැයකිනි. මේ අසිපත අන් කිසිම අසිපතකට වඩා තියුණු බව විල්ට තේරුම් ගියත් එය දැන ගත්තේ කෙසේ දැයි ඔහුට කිසිදා විස්තර කර දීමට බැරි වනු ඇත.

සෙර් වේමාර් නිර්භීත අයුරින් ඔහුට මුහුණ දුනි. "වරෙන් එහෙනම් සටනට." ඔහු අසිපත දෑතින්ම හිසට ඉහළින් ඔසවා ගත්තේය. අසිපතේ බර නිසා හෝ අධික සීතල නිසා හෝ ඒ දෑත් වෙවුලනු විල්ට පෙනුනි‍. නමුදු ඒ එකම එක මොහොතේ ඔහු තවදුරටත් කොළුවකු නොව නිශා රැකුමට අයත් මිනිසකු බව විල්ට සිතුනි.

අනිකා නැවතුනු අතර විල් ඔහුගේ දෑස් දිටීය. නිල් පැහැයක්, මිනිස් ඇසක දැකිය හැකිවාට වඩා වෙනස්ම හා ගැඹුරුම නිල් පැහැයක්, හිම මෙන් දැවෙනා නිල් පැහැයක්. නැවැතුනු ඒ දෑස් බලා සිටියේ ඉහළට එසවී වෙවුලමින් තිබුනු දිගු අසිපත දෙසයි. එකම එක හදගැස්මක මොහොතකට විල්ට බලාපොරොත්තුවේ සේයාවක් පෙනුනි.

ඊළඟ මොහොතේ අන්ධකාරය තුළින් තවත් සේයාවන් මතු විය. දෙදෙනෙක් මුලින්ම.. තුන් දෙනෙක්.. සිවු දෙනෙක්. ඔවුන්ගේ පැමිණීම සෙර් වේමාර් නොදුටු නමුත් නොඇසූ නමුත් ඔවුන් සමග පැමිණි සීතල ඔහුට හොඳින්ම දැනුනි. හදිසියේම විල්ට මතක් වූයේ ඔහුගේ රාජකාරිය කෑ ගසා තම අණ දෙන නිළධාරියාට අනතුරු ඇඟවීම බවය. නමුත් ඒ සමගම ඔහුට තේරුම් ගියේ එසේ කලොත් ඔහුගේ මරණයත් නියත බවය. ඉතින් ඔහු දිගටම ගසේ කඳ බදාගෙන වෙවුලමින් දිගටම නිහඬතාව රැක්කේය.

සුදුමැලි අසිපත වාතය තුළ ප්‍රකම්පනය වෙමින් පහළට ඇදුනි.

සෙර් වේමාර් එයට මුහුණ දුන්නේ තම වානේ අසිපතිනි. අසිපත් තල දෙක එකිනෙක ගැටුනු විට සුපුරුදු ලෝහ මත ලෝහ ගැටෙන හඬ වෙනුවට ඇසුනේ කණට නෑසෙන අන්දමේ තියුණු ශබ්දයකි. හරියටම සතෙක් වේදනාවෙන් කෑ ගසන්නාක් වැනි හඬකි‍. පහරවල් දෙකක් තුනක් වැලකූ රොයිස් අඩියක් පස්සට ගති. තවත් දරුණු පහර කිහිපයකට පසු ඔහු තවත් අඩියක් පස්සට ගත්තේය.

ඔහුට පිටුපසින්, ඔහුට දකුණින්, ඔහුට වමින්, ඔහු වටාම මුහුණු නැති නරඹන්නන් නිශ්ශබ්දව, ඉවසිලිවන්තව බලා සිටියහ. ඔවුන්ගේ සන්නාහ මත ඇඳුනු රටාවන් නිසා වනාන්තරය තුළ ඔවුන් දැකීම අසීරු කටයුත්තක් විය. කෙසේ නමුදු ඔවුන් මේ සටනට සහභාගි වීමට කිසිදු උනන්දුවක් පෙන්වූයේද නැත.

නැවත නැවතත් අසිපත් එකිනෙක හා ගැටුනු අතර අන්තිමේදී තවදුරටත් ඒ හඬට සවන් දීමට නොහැකි වූ විල්ට තම දෙසවන් දෑතින් වසා ගැනීමට සිත් විය. නමුත් මේ වන විට සෙර් වේමාර් විඩාව නිසා හති දමමින් සිටියේය. ඔහුගේ අසිපත බැඳුනු හිම නිසා සුදු පැහැ වී තිබුනු අතර අනිකාගේ අසිපත නිල් පැහැ දීප්තියක් විහිදුවමින් එහා මෙහා නැටුවේය.

ඊළඟ මොහොතේ ප්‍රතිවාදියා එල්ල කල පහර වැළැකීමට ‍රොයිස් දැරූ යත්නය තත්පරයකින් බිඳක් ප්‍රමාද විය. සුදුමැලි අසිපත ඔහුගේ බාහුවට යටින් සන්නාහය කපාගෙන ඇතුළට කිඳා බැස්සේය. තරුණ වංශාධිපතියා වේදනාවෙන් කෑ ගසද්දී මුදු යකඩ දම්වැල් අතරින් රුධිරය ගලා ආවේය. සීතල නිසා ඒ ගලා ආ රුධිරයෙන් වාෂ්පයක් පිටවූ අතර හිම මත වැටුනු රුධිර බින්දු ගින්දර මෙන් රතු පැහැයෙන් දිදුලන්නට විනි. සෙර් වේමාර් තම ළපැත්ත පිරිමැදි මුත් ඔහුගේ අත නැවත පැමිණියේ රුධිරයෙන් තෙත් බරිත වූ ලොම් අත්වැස්මත් සමගිනි.

අනිකා තම සගයින්ට විල් නොහඳුනන බසකින් යමක් පැවසු අතර, ඒ කටහඬ ඇසුනේ හරියටම ශීත කාලයේ මිදුනු විලක හිම පුපුරන හඬක් ලෙසිනි. පැවසූ වදන් නොතේරුනත් එහි ගැබ්වී තිබුනු සමච්චලය විල්ට පැහැදිලිවම දැනුනි.

සෙර් වේමාර් රොයිස්ගේ වියරුව උපරිමයට නැංවුනි. ඔහු "රොබර්ට් වෙනුවෙන්!" යි කෑ ගසා ගොරවාගෙන ඉදිරියට පැන්නේ, අසිපත දෑතින්ම ඔසවා තම සිරුරේ මුලු ශක්තියම යොදවා ප්‍රතිවාදියාට මාරාන්තික පැති ප්‍රහාරයක් එල්ල කලේය. අනිකා ඉතාම අලස ආකාරයෙන් එම පහර වැළැක්වීමට තම අසිපත එසවීය.

අසිපත් යුගල එකට ගැටුනු ඊළඟ මොහොතේ වානේ අසිපත කැබලි වලට බිඳී ගියේය.

වනය සිසාරා පැතිරී ගිය දෝංකාරයක් මැද්දේ වානේ අසිපත සිය ගණනක් කුඩා කැබලි වලට බිඳී යද්දී ඉදිකටු වැනි සියුම් වානේ කැබලි වර්ෂාවක් දසත පැතිරී ගියේය. රොයිස් මරහඬක් නගමින් දණින් වැටුනේ දෑතින් තම දෑස් වසා ගති. ඔහුගේ අතැඟිලි අතරින් රුධිරය විදින්නට විය.

ඊළඟ මොහොතේ නරඹන්නන් සියල්ල එකා වන්ව ඉදිරියට ඇදුනේ නිශ්ශබ්ද අණකට කීකරු වූ ලෙසිනි. මාරාන්තික නිහඬතාවකින් යුතුව අසිපත් ඉහළ පහළ ගිය අතර එය තනිකරම සීතල මනුශ්‍ය ඝාතනයක් විය. සුදුමැලි අසිපත් වානේ සන්නාහයේ මුදු දම්වැල් කපාගෙන බැස්සේ හරියටම ඒවා සේදවලින් නිමවූ තරම් පහසුවකිනි‍. තවත් බලා හිඳිය නොහැකි වූ විල් දෑස් පියාගත් අතර ඔහුට පහළින් කටහඬවල් හා සිනහාවල් ඇසුනේ හිම කැට පුපුරන්නාක් මෙනි.

තම දෑස් විවර කරන්නට තරම් ධෛර්‍යයක් උපදවාගන්නට ඔහුට තවත් සෑහෙන වේලාවක් ගතවූ අතර ඒ වනවිට පහළ කඳු වැටිය හිස් වී තිබින.

අඩ සඳ අඳුරු අහ‍සේ සෙමින් සෙමින් ඇදී යද්දී ඔහු තවදුරටත් ගස උඩම රැඳී සිටියේ හුස්ම හෙලන්නට පවා නොහැකි තරමේ බියකිනි. අන්තිමේදී මස්පිඩු වේදනා ගෙන දෙන්නට පටන්ගත්විට හා අතැඟිලි සීතලෙන් හිරි වැටී ගිය විට ඔහු ගසෙන් බැස්සේය.

රොයිස්ගේ මලකඳ හිම මත මුනින්තලා වැටී තිබුනු අතර එක් අතක් ඉදිරියට විහිදී තිබුනි. මුගටි සමින් කල ඝනකම් සළුව හරහා කැපුම් පහරවල් දුසිමක් පමණ දකින්නට හැකි විය. රොයිස් මිය ගොස් සිටින අයුරු දුටු යමෙකුට සිතෙනු ඇත්තේ ඔහු කෙතරම් තරුණ කුඩා කොලුවෙක්ද යන්නයි.

අඩි කිහිපයක් දුරින් වැටී තිබුනු බිඳුනු අසිපත් කැබැල්ල විල්ට හමුවිය. එහි අග්‍රය කැඩී බිඳී ඇඹරී ගොස් තිබුනේ හරියටම අකුණු පහරකට ලක් වූ ගසක කඳක් මෙනි. බිම දණ ගැසූ විල් පරීක්ෂාවෙන් වට පිට බලා හනික එය ඇහිඳ ගත්තේය. මේ කැඩුනු අසිපත ඔහු‍ට තිබෙන හොඳම සාක්ෂියයි. මෙයින් කියැවෙන්නේ මොකක්දැයි වටහා ගන්නට ගැරඩ්ට හැකිවෙනවා ඇත. ඔහුට බැරි වුවහොත් අනිවාර්යයෙන්ම නාකි වලහා - මෝර්මන්ට් හෝ මේස්ටර් ඒමන් එය වටහා ගනු ඇත. ගැරඩ් තවමත් අශ්වයින් සමග ඔවුන් වෙනුවෙන් බලා සිටිනු ඇත්ද?

නැගී සිටිය විල් දුටුවේ සෙර් වේමාර් රොයිස් ඔහු පසෙකින් සිටගෙන සිටින ආකාරයයි.

ඔහුගේ වටිනා ඇඳුම් සියල්ල ඉරී වැරහැලිව ගොසිනි, ඔහුගේ මුහුණ නටඹුන් වී විරූපව ගොසිනි. ඔහුගේ අසිපතෙන් බිඳී විසිවී ගිය කැබලිත්තක් වම් ඇසේ කණිනිකාව පසා කරගෙන ගොසිනි.

එනමුදු ඔහුගේ දකුණු ඇස විවරව ඇත. එහි කණිනිකාව නිල් පැහැ දීප්තියකින් බබලයි. ඔහු ඒ ඇසින් දකියි.

අකර්මන්‍ය වූ අතැඟිලිවලින් ගිලිහී ගිය අසිපත් කැබැල්ල බිම වැටුනි. විල් දෑස වසා ගත්තේ දෙවියන්ට යාඥා කිරීමටය. දිගැටි ශෝබන අතැඟිලි ඔහුගේ කම්මුල් ස්පර්ශ කරමින් ගෙල වටා යදඬු මෙන් හිරවෙන බව ඔහුට දැනුනි. මේ අතැඟිලි වැසී තිබුනේ උසස්ම තත්ත්වයේ ලොමින් නිමවූ අත්වැසුම් වලින් වුවත්, ඒවා උණුසුම් රුධිරයෙන් තෙත්ව තිබුනත් විල්ට දැනුනේ තම ගෙල වටා හිම මෙන් වූ දැඩි සීතලක් ස්පර්ෂ කරනවා පමණි.

Thursday 19 June 2014

ප්‍රස්තාවනාව - 02


"මේ මිනිස්සු මැරෙන්ට ඇත්තෙ මොකක් නිසා කියලද උඹ හිතන්නෙ ගැරඩ්?" රොයිස් ඇසීය.

"ඒ හීතල හන්දා වෙන්ට ඕන." ගැරඩ් පිළිතුරු දුන්නේ දැඩි විශ්වාසයකිනි. "මං දැකලා තියෙනවා මිනිස්සු හීතලෙන් ගල් වෙලා මැරෙන හැටි පහුගිය සීත කාලෙදි. ඊට කලින් තිබ්බ සීත කාලෙත්, එතකොට මං පුංචි එකෙක්. හැමකෙනාම කතා කරන්නෙ අඩි හතලිහක් උස හිම ගොඩවල් ගැන, උතුරෙන් හමා ගෙන එන හිම කුණාටු ගැන. ඒ වුනාට හීතල තමා නියම හතුරා. මුලින්ම අපි වෙවුලනවා, දත් කිටි කිටි ගානවා. අපි අඩි එකට හප්ප හප්පා කල්පනා කරනවා උණු වයිනුයි ගිනි ගොඩවලුයි ගැන. ඊට පස්සෙ දැනෙනවා නිකං දැවෙනවා වගේ. හීතල තරං වෙන කිසිම දේකින් එහෙම දැවෙන්නෙ නෑ. ඒත් ඒ ටික වෙලාවකට විතරයි. ඊට පස්සෙ හීතල ටිකෙන් ටික අපේ ඇඟ ඇතුලට රිංග ගන්නවා. ටික වෙලාවකින් අපේ ඇඟට ඒකත් එක්ක සටන් කරන්ට තරං ශක්තියක් නැතුව යනවා. සටන් කරනවාට වඩා ලේසියි එතනම ඉඳගෙන නින්දට යන එක. මිනිස්සු කියන්නෙ අන්තිම වෙද්දි අපට කිසිම වේදනාවක් දැනෙන්නෙ නෑ කියලයි. ඉස්සෙල්ලාම අපි දුර්වල වෙනවා, නිකං මත්වෙනවා වගේ වෙනවා, හැමදේම බොඳ වෙලා යන්ට පටන් ගන්නවා. හරියට අපි උණුසුම් කිරි මුහුදක කිමිදෙනවා වගෙයි. හරිම ශාන්තයි."

"උඹ කතාවට හරිම සූරයෙක් නෙ ගැරඩ්." සෙර් වේමාර් පැවසීය. "මං දැනගෙන හිටියෙ නෑ උඹට එච්චර හැකියාවක් තියෙනවා කියලා."

"හීතල හන්දා මාත් දුක් විඳලා තියෙනවා උතුමානෙනි." ගැරඩ් හිස වසා සිටි සළුව ඉවත් කලේ කලක් තම දෙකණ් පිහිටි තැන්වල දැන් තිබෙන ඉතිරිව හිස් කුහර දෙක සෙර් වේමාර්ට හොඳින් පෙනෙනු පිනිසය. "කණ් දෙකයි, කකුලේ ඇඟිලි තුනයි, වම් අතේ සුලැඟිල්ලයි. මං මේ තරමින් බේරුනා. අපි මගේ සහෝදරයව හොයාගන්නකොට මිනිහා හිටියෙ රෑ මුරකාවලේදීම හීතලෙන් දරදඬු වෙලා, මූනෙ හිනාවකුත් එක්ක."

සෙර් වේමාර් දෙවුර ඇකිළුවේය. "උඹ මීට වඩා උණුසුමට ඇඳුම් අඳින්ට ඕන ගැරඩ්."

ගැරඩ් වංශාධිපතියා දෙස රවා බැලූ අතර ඔහුගේ කණ් කුහර දෙක වටා වූ තුවාල කැළැල් කේන්තියෙන් රතු වී ගියේය. "සීත කාලෙ ආවහම ඔබට කොච්චර උණුහුමට ඇඳුම් අඳින්ට පුළුවන්ද කියලා අපි බලමු." ඔහු නැවතත් සළුවෙන් හිස වසාගෙන කර බා ගති.

"ගැරඩ් කියනවානං ඒ හීතල හින්දා කියලා....." විල් කතාව ඇරඹීය.

"උඹ පහුගිය සතිය ඇතුළත මුරකාවල් කලාද විල්?"

"එහෙමයි, මයෙ උතුමානෙනි." මුරකාවල් දුසිමක්වත් නැති සතියක් විල්ට කවදාවත් නොතිබුනි. මේ මිනිහා මොකාටද මේ එන්ට හදන්නෙ?

"ප්‍රාකාරෙ කොහොමද තිබ්බෙ?"

"අඬනවා." අයිස් වලින් හැදුනු සුවිසල් ප්‍රාකාරය මත හිරු එළියේ උණුසුම නිසා ජලවාෂ්ප බැඳී ඇති ආකාරය ඔවුන් විග්‍රහ කලේ 'ප්‍රාකාරය අඬනවා' යන වැකිය යොදා ගනිමිනි. වංශාධිපතියා කියන්න‍ට උත්සාහ කරන්නෙ කුමක්දැයි දැන් විල්ට වැටහේ. "ඒ මිනිස්සු හීතලෙන් ගල් වෙලා වෙන්ට බෑ. ප්‍රාකාරෙ අඬනවා කියන්නෙ ඒ තරං හීතලක් තියෙන්ට විදියක් නෑ."

රොයිස් හිස වැනුවේය. "මොළේ තියෙන කොල්ලා. පහුගිය සතියෙ එහෙං මෙහෙං හිම ටිකක් වැටුනා තමයි. ඒත් වැඩුනු මිනිස්සු අට දෙනෙක් මරලා දාන්ට තරං හීතලක් ඒකෙන් ඇති වෙයි කියලා හිතන්ට බෑ. හොඳට උණුහුමට ඇඳුම් ඇඳගත්ත මිනිස්සු, ඉහට උඩින් වහලක් තියෙන මිනිස්සු, ගිනිමැලයක් අවුලවා ගන්ට පුළුවන් මිනිස්සු." නයිට්වරයා විශ්වසනීය සිනහවක් පෑවේය‍‍. "විල්, අපිව එතනට එක්කං පලයං. මට මේ මැරිච්ච මිනිස්සු මගේ දෑහින් බලාගන්ට ඕන."

ඉතින් තවත් කල හැක්කක් නොවීය. අණක් නිකුත් කර ඇති අතර ඊට අවනත වීම හැර වෙනතක් බලන්නට ඔවුන් බැඳී ඇති නීති රීති විසින් ඉඩක් නොදෙයි.

තමන්ගේ කඳුකර අශ්වයා පිට නැගුනු විල් පෙර පෙළ ගත්තේය. පෙරදා යාන්තමට වැටුනු හිම නිසා බිම ඇති කිසිදු දෙයක් - ගල්, මුල්, වල ගොඩැලි - නොපෙනේ. ගමන යා යුත්තේ බොහෝ පරෙස්සමිනි. සුවිසල් කළු පැහැ යුධ අශ්වයා පිට නැගුනු සෙර් වේමාර් රොයිස් ඒ පසුපසින් වැටිනි. මෙවැනි මුර සංචාර සඳහා මේ අශ්වයා නොගැලපෙන නමුත් ඒ ගැන නයිට්වරයාට කියා පලක් නැති බව කවුරුත් දනී‍. ගැරඩ් පසුපස්සෙන්ම පැමිණියේ තමන්ටම කටු කුටු ගාමිනි.

සැඳෑ අඳුර දැඩි වුනි. වළාකුළක්වත් නැති අහස පළමුව තද දම් පැහැයටත්, ඊට පසුව කළු පැහැයටත් හැරුනි‍. තරු එකින් එක මතු වන්නට විය. අඩ සඳක්ද නැග ආ අතර මේ ලැබුනු එළිය නිසා විල්ගේ සිතේ ඇති වූයේ සතුටකි.

"අපට මීට වඩා හයියෙන් යන්ට බැරිද?" රොයිස් ඇසීය.

"මේ අශ්වයත් එක්ක බෑ." විල් පිළිවදන් දුනි. බිය විසින් ඔහු ගරු සරු නැත්තෙකු බවට පත් කර තිබේ. "සමහරවිට මගෙ උතුමානන් කැමැති ඇති පෙර පෙළ ගන්ට?"

මෙයට පිළිතුරක් දීමට සෙර් වේමාර් රොයිස් උත්සාහයක් දැරුවේ නැත.

වනාන්තරයේ කොහේදෝ අස්සක සිට වෘකයෙක් උඩු බුරලන හඬ ඇසුනි.

ගැට සහිත පුරාණ අයන්වුඩ් ගසක් අසල නැවතුනු විල් තම අසු පිටින් බැස්සේය.

"උඹ මොකටද නැවතුනේ?" සෙර් වේමාර් ඇසීය.

"ඉතුරු ටික පයින් යන එක හොඳයි මයෙ උතුමානෙනි. ඒක අර පේන කඳුවැටියෙන් එහා."

රොයිස් මොහොතක් නැවතී සිටියේ ඈතට යොමු වුනු දෑසින් යුතුවය. මුහුණෙන් පෙනෙන්නේ ඔහු යමක් කල්පනා කරන බවකි. ගස් අතරින් සීතල සුළඟක් හමා ආ අතර නයිට්වරයාගේ සළුව සුළඟේ ලෙලදුන්නේ හරියට පණ ඇති වස්තුවක් මෙනි.

"මෙතැන මොකක්දෝ වැරැද්දක් තියෙනවා." ගැරඩ් කටු කුටු ගෑවේය.

තරුණ නයිට්වරයා ඔහු වෙත අවඥාසහගත සිනහවක් පෑවේය. "එහෙම එකක් තියෙනවද?"

"ඔබට ඒක දැනෙන්නෙ නැද්ද?" ගැරඩ් ඇසුවේය. "අන්ධකාරයට කණ් දීලා බලන්ට."

විල්ටත් කුමක්දෝ අමුතු හැඟීමක් දැනෙන්නට විය. අවුරුදු හතරක නිශා රැක්මේ ඔහු මෙතරම් බියපත් වූ වෙනත් අවස්ථාවක් නැති තරම්ය. ඔවුන්ව මෙතරම් බියපත් කරන ඒ අමුතු දේ මොකක්ද?

"හුළඟ. ගස් හෙලවෙනවා. වෘකයෙක් කෑ ගහනවා. ඔතනින් මොන සද්දෙ හින්දද උඹ මෙච්චර බය වෙලා ඉන්නෙ ගැරඩ්?" ගැරඩ්ගෙන් මීට පිළිතුරක් නොලද තැන රොයිස් තම අසු පිටින් බැස්සේය. අනිත් අසුන් දෙදෙනාගෙන් වෙන්ව ගසේ පහත අත්තක තම අශ්වයා ගැට ගැසූ ඔහු තම දිගු අසිපත කොපුවෙන් එළියට ගත්තේය. අසිපත් මිටෙහි වූ මැණික් දිදුලන්නට වූ අතර සඳ රැස් වැටීමෙන් අසිපත් තලය කාන්තිමත්ව බබලන්නට විය. පෙනුනු හැටියට නම් එය බලකොටුවක කම්මල්කරුවකු විසින් තැනූ තේජාන්විත අසිපතකි. මීට පෙර කිසිම විටෙක සටනක් සඳහා මේ අසිපත පාවිච්චී වී ඇත්දැයි විල් කල්පනා කරන්නට විය.

"මේ හරියෙ ගස් බොහොම ළඟින් ළඟින් තියෙන්නෙ." විල් අනතුරු ඇඟවීය. "කඩුව පැටලෙන්ට පුළුවන් මයෙ උතුමානෙනි. පිහියක් ගත්තොත් හොඳ නැද්ද?"

"මට උඹේ උපදෙස් ඕන වුනාම මං උඹෙන් අහන්නං." තරුණ වංශාධිපතියා පිළිතුරු දුනි. "ගැරඩ්, උඹ මෙතන ඉඳන් අශ්වයො ටික බලාගනින්."

ගැරඩ් අසු පිටින් බැස්සේය. "අපට ගින්නක් ඕන. මං ගිනි අවුළුවන්නං."

"උඹ කොච්චර ලොකු මෝඩයෙක්ද නාකියො? මේ කැලේ සතුරො ඉන්නවනං ගින්නක් තමා අපට ඕන නැතිම දේ."

"ගින්නෙන් එලවන්ට පුළුවන් සතුරොත් ඉන්නවා." ගැරඩ් පැවසීය. "වලස්සු, ඝෝරවෘකයො.... තවත් දේවල්...."

සෙර් වේමාර්ගේ දෙතොල තදින් ඇදී ගියේය. "ගිනි අවුළුවන්ට එපා."

හිස වැසූ සළුව නිසා ගැරඩ්ගේ මුහුණ පැහැදිලිව නොපෙනුනත්, නයිට්වරයා දෙස දැඩි බැල්මෙන් බලා සිටින ඔහුගේ දෑසේ ඇති දීප්තිය - කේන්තිය නිසා ඇති වූ දීප්තිය - විල් දිටීය. ඔහු මොහොතකට බිය වූයේ මහළු හේවායා තම අසිපත ඇදගනු ඇතැයි යන සිතුවිල්ලෙනි. එය කෙටි, අසෝබන, පාවිච්චිය නිසාම ගෙවී ගිය ආයුධයක් වුවත් ගැරඩ් තම අසිපත ඇදගතහොත් උතුමානන්ගේ ජීවිතය බොහොම කෙටි එකක් වනු ඇති බව විල් හොඳාකාරවම දනී.

නමුත් අන්තිමේදී ගැරඩ් බිම බලාගති. "ගිනි අවුළුවන්නෙ නෑ." ඔහු සෙමින් කෙඳිරුවේය.

එය තමාගේ තීරණය අනුමත කිරීමක් ලෙස පිලිගත් රොයිස් ආපසු හැරුනි. "පාර පෙන්නපං." ඔහු විල්ට පැවසීය.

අකුලින් ගැවසීගත් වනලැහැබ තුළින් විල් පහත් කඳුවැටිය දක්වා වූ නැග්ම තරණය කරන්නට විය. වැටුනු හිම නිසා බිම ලිස්සනසුළු මඩ සහිත වූ අතර සැඟවුනු ගස් මුල් ගල් ආදිය ඕනෑම වෙලාවක පා පැකිලවීමකට සූදානමින් බලා සිටියහ. තරණය අතරේදී විල් කිසිම ශබ්දයක් ඇති නොකල නමුදු ඔහුට පිටුපසින් උතුමානන්ගේ සන්නාහයේ මුදු දම්වැල් එකට ඇතිල්ලීමෙන් නැගෙන හඬත්, ගස් අතු පතරේ තම සළුව හා අසිපත පැටලීම නිසා කටුකුටු ගාමින් ඔහු සාප කරන හඬත් විල්ට ඇසේ.

කඳුවැටිය මුදුනේ වූ දැවැන්ත මුරකරු වෘක්ෂය පුරුදු පරිදිම එතන විය. එහි පහතම අතු වූයේ පොළොවට යාන්තම් අඩියක් උසිනි. ඊට යටින් පොළොවේ හිම හා මඩ මතින් වැතිරුනු විල් පහතින් තිබුනු හිස් භූමිය නිරීක්ෂණය කරන්නට විය.

එසැනින් ඔහුට දැනුනේ තම හදවත නතරවුනාක් මෙනි. තැතිගැන්ම කොපමනද යත් මොහොතකට ඔහුට හුස්ම ගැනීමත් අසීරු විය. සඳ එළිය නිසා පහතින් තිබුනු හිස් භූමිය බබළන්නට විය. ගිනිමැලයේ ඉතිරිවුනු අළු ගොඩ, හිමෙන් වැසුනු පියස්ස, ගල් පර්වතය, බාගෙට මිදුනු පුංචි දොළ පාර. මේ සියල්ලම මීට පැය කිහිපයකට පෙර තිබුනු පරිද්දෙන්ම ඒ ඒ තැන්වලම තිබේ.

නමුත්, ඔවුන් ගොසිනි. මලකඳන් සියල්ලම යන්ට ගොසිනි.

Monday 16 June 2014

ප්‍රස්තාවනාව - 01


"අපි ආපහු යන්ට පටන් ගත්තනම් හොඳයි වගේ නේද?" ගැරඩ් ආයාචනාත්මක ස්වරයෙන් කීවේ ඔවුන් වටා වනාන්තරයේ අන්ධකාරය දැඩිවෙද්දීය. "වනචාරියො ඔක්කොම මැරිලා."

"උඹ මැරිච්ච මිනිස්සුන්ට බයද?" සෙර් වේමාර් රොයිස් ඇසුවේ කට කොනකට නැගුනු සියුම් සිනහවක්ද ඇතුවය.

ඒ ඇමට අසුවීමට තරම් ගැරඩ් මෝඩයෙක් නොවේ. වසර පනහකටත් වඩා වැඩි තම ජීවිත කාලය තුලදී මෙවැනි වංශාධිපතියන් ඇති පදම් යනු එනු ඔහු දැක තිබේ. "මැරිච්ච එවුන් මැරිලා. අපට මොකක්ද එවුන්ගෙන් ඇති වැඩේ?"

"උං ඇත්තටම මැරිලද?" රොයිස් මෘදු ස්වරයෙන් ඇසීය. "උඹට කොහොමද ඒ ගැන ඔච්චර සහතිකයෙන් කියන්ට පුළුවන්?"

"විල් උංව දැක්කා. ඒ සහතිකය මට හොඳටම ඇති."

කොයි වෙලාවක හෝ තමනුත් මේ විවාදයට ඈඳෙන බව විල් දැන ‍නොසිටියා නොවේ. නමුත් මේ තරම් වේලාසනින් එය සිදුවීම ඔහුගේ සතුටට හේතු වූයේ නැත. "මගේ අම්මා මට කිවුවෙ මැරිච්ච මිනිස්සුන්ගෙන් අපට කිසිම හානියක් වෙන්නෙ නෑ කියලයි."

"මගේ ආයම්මත් ඔය කතාවම කිවුවා විල්." රොයිස් පිළිවදන් දුනි. "ඔය ගෑනුන්ගෙ ඔඩොක්කුවෙ ඉඳන් අහන කතා කවදාවත් විශ්වාස කරන්ට එපා. මැරිච්ච මිනිස්සුන්ගෙනුත් අපට ඉගෙන ගන්ට පුළුවන් පාඩම් තියෙනවා." සැඳෑ අඳුරින් පිරෙන වනාන්තරය මැද්දේ ඔහුගේ කටහඬ දෝංකාර දුනි.

"අපට බොහොම දුර ගමනක් යන්ට තියෙනවා." ගැරඩ් තවත් උත්සාහයක් දැරීය. "දවස් අටක් නැත්තං නවයක්. කළුවරත් වැටෙනවා."

සෙර් වේමාර් අහස දෙස උනන්දුවකින් තොර බැල්මක් හෙලීය. "හැමදාම මේ වෙලාවට එහෙම වෙනවා. උඹ කළුවරට බයද ගැරඩ්?"

ගැරඩ්ගේ දෙතොල් තදින් පියවී යනුත්, හිස වැසූ කළු පැහැ සළුවට යටින් වූ දෙනෙතේ පැන නැගුනු, අමාරුවෙන් යටපත් කරගත් කේන්තියත් විල් පැහැදිලිවම දිටීය. ගැරඩ් මේ ගෙවා දමන්නේ 'නිශා රැකුම් බලකායට' එක්වී ගෙවන හතලිස් වන වසරයි. අනෙක් අතට ඔහු කියන දේ සැහැල්ලුවට ගන්නා අය ගැරඩ් විසින් නොඉවසන බවද විල් දනී. නමුත් මේ මහලු මිනිසා පෙලන්නේ ඒ කිසිවක් නොව වෙනත් කුමක් හෝ දෙයක් බවත්, බිඳවැටුනු ආත්මාභිනයට යටින් ඇත්තේ නොසන්සුන්කමක් හා බියක් බවත් ඔහුට දැනුනි.

මේ නොසන්සුන්කම විල් විසින්ද හඟින ලද්දකි. මේ ඔහු ප්‍රාකාරයේ ගෙවන සිවුවන වසරයි. ප්‍රාකාරයෙන් එහා ගිය මුල්ම වතාවේ පැරණි ජනකතා සියල්ල මතක් වී ඔහුගේ ඇඟේ ලේ වතුර වූ නමුත් ඔහු දැන් ඒ ගැන සිනාසෙයි. දැන් ඔහු මුර සංචාර සියයකට වඩා වැඩි පළපුරුද්දක් ඇති ප්‍රවීනයෙකි. දකුණුකරයේ වැසියන් විසින් 'හොල්මන් කැලෑව' නමින් හඳුන්වනු ලබන ඉමක් කොනක් නොපෙනෙන මේ මහා වනාන්තරය තවදුරටත් ඔහුව තැති නොගන්වයි.

එහෙත් අද රාත්‍රිය? අද රාත්‍රියේ කුමක්දෝ වෙනසක් තිබේ. දින නවයක් තිස්සේ ඔවුන් උතුරු හා වයඹ දෙසට - ප්‍රාකාරයෙන් ඈතට - මේ හඹායන්නේ වනචාරී ආක්‍රමණිකයන් පිරිසකගේ මං සලකුණුය. ගෙවුනු සෑම දිනයක්ම පෙරදාට වඩා අසීරු එකක් වූ මුත් අද අනිත් හැමදාටම වඩා අසීරු වූ දිනයකි. උතුරින් හමා ආ සීතල සුළඟ නිසා අවට ගස් සෙලවුනේ හරියටම පණ පිටින් සිටින්නාක් මෙනි. දවස පුරාම විල්ට දැනුනේ මොකක්දෝ දෙයක් තමන් දිහා විපරමෙන් බලා සිටින්නාක් වැනි හැඟීමකි. ගැරඩ්ටද මෙලෙසින්ම හැඟුනු බවත් ඔහු දනියි. මේ මොහොතේ විල්ට උවමනා වෙන කිසිත් නොව හැකි ඉක්මනින් නැවතත් ප්‍රාකාරයේ ආරක්ෂාව වෙත දිව යාමටය. නමුත් එය තමන්ගේ අණ දෙන නිළධාරියා සමග සාකච්ඡා කල හැකි අන්දමේ අදහසක් නොවේ.

විශේෂයෙන්ම මෙවැනි අණ දෙන නිළධාරියකු සමග.

සෙර් වේමාර් රොයිස් යනු උරුමක්කාරයන් බොහෝ ගණනක් සිටින පුරාණ වංශවත් පෙළපතක ලාබාලම පුත්‍රයා විය. ඔහු අඳුරු පැහැ දෑසක් හිමි, දහඅටවන වියේ වූ, හීන්දෑරී කඩවසම් තරුණයෙකි. තමන්ගේ කළු පැහැ සුවිසල් යුධ අශ්වයා පිට නැගුනු නයිට්වරයා කුඩා, කඳුකර අශ්වයන් දෙදෙනෙකු පිට නැගුනු විල් සහ ගැරඩ් අභිබවා දැවැන්ත පර්වතයක් මෙන් නැගී සිටියේය. ඔහු සැරසී සිටියේ කළු පැහැ ලොම් කලිසමකින්, කළු පැහැ ලොම් කමිසයක් මතින් හැඳි දිදුලන කළු පැහැ සන්නාහයකින් හා ඊටම ගැලපෙන අන්දමේ සමින් නිම වුනු කළු පැහැ උස් සපත්තු කුට්ටමකින් සහ අත්වැසුම් යුගලයකිනි‍. සෙර් වේමාර් නිශා රැකුම් බලකායට එක්වී තවමත් වසරකින් අඩක්වත් ඉක්ම ගොස් නැතත් ඔහු තම රාජකාරියට හොඳින් සූදානම් වූවකු බව - අඩුම තරමේ ඇඳුම් පැළැඳුම් වලින් හෝ - නොපිළිගෙන සිටිය හැක්කෙකු නොවේ.

මේ හැම එකකටම වඩා ඔහු සතු දැකුම්කළුම වස්තුව වූයේ ගත දවටාගත් දිගු සළුවයි. සිනිඳු, කළු පැහැ මුගටි ලොමින් නිමවූ එය බැරැක්කයේ සෙබළුන් සියළුදෙනාගේම කතාබහට ලක්වූ වස්තුවකි. "මං ඔට්ටුවක් දානවා මිනිහා ඔය මුගටියො ඔක්කොම මිනිහගෙ අතින්ම බෙල්ල කරකවලා මරලා දාන්ට ඇති කියලා. මිනිහා මහ රණශූරයා." මේ ගැරඩ් වයින් කෝප්පයක් පානය කරන අතරතු‍රේදී තම සහචර සෙබළුන් හා නිතර පැවසූ විහිළුවකි. ඔවුන් සැවොම එම විහිළුවට එක ලෙස සිනාසුනහ.

'තමන් විසින් විහිළුවට ලක් කරනා අණ දෙන නිළධාරියකු විසින් දෙනු ලබන අණ පිළිපැදීම අසීරුය.' විල් මෙසේ සිතුවේ සීතලේ ගැහෙමින් තම අශ්වයා පිට ගමන් කරන අතරතුරේදී ය. ගැරඩ් ද මෙලෙසම සිතනා බව ඔහු දනියි.

"මෝර්මන්ට් කිවුවෙ අපට උංව ලුහුබඳින්ට කියලා. අපි ඒක කලා." ගැරඩ් පැවසීය. "උං මැරිලා. උං තවත් අපට කරදර කරන්නෙ නෑ. අපට ඉස්සරහට ‍බොහොම අමාරු ගමනක් තියෙන්නෙ. මේ කාලගුනේට මං කොහෙත්ම කැමැති නෑ. මෙහෙම හිම වැටුනොත් අපට ආපහු යන්ට සති දෙකක් වත් යයි. ඔබතුමා කවදාවත් හිම කුණාටුවක් දැකලා තියෙනවද මගෙ උතුමානෙනි?"

උතුමානන්ට ඔහු කී දේ ඇසුනු බවක් පෙනුනේ නැත. සෙර් වේමාර් දැඩිවෙමින් පවතින සැඳෑ අන්ධකාරය අධ්‍යයනය කරමින් සිටියේ උදාසීන බැල්මක් දෑසේ ඇතිවය. ඔහු මෙසේ සිටිනා විට බාධා නොකල යුතු බව දිගු කලක් නයිට්වරයා සමග ගමන් කොට පළපුරුද්දක් ඇති විල් අත්දැකීමෙන්ම දනියි. "මට ආයෙමත් කියපං උඹ දැකපු දේ විල්. හැම දෙයක්ම. කිසිම දෙයක් මග අරින්නෙ නැතුව."

නිශා රැකුම් බලකායට බැඳෙන්නට පෙර විල් දඩයක්කරුවෙකු - ඇත්තෙන්ම කිවහොත් හොර දඩයක්කරුවෙකු - වූ අතර මැලිස්ටර් වංශාධිපතියාගේ සෙබළුන්ට ඔහුව හසු වූයේ මැලිස්ටර් වනාන්තරය තුළ ඔවුන්ට අයත් මුවෙකු මරා මස් කරමින් සිටියදී ය. අතක් අහිමි කරගැනීම හෝ නිශා රැකුමට බැඳීම යන දෙකෙන් එකක් තෝරාගැනීමට ඔහුට සිදු විය. ඔහු තරම් නිශ්ශබ්දව වනාන්තරය තුළ ගමන් කල හැකි වෙනෙකෙකු නොවුනු අතර වැඩි කලක් යාමට මත්තෙන් ඔහුගේ මේ දක්ශතාව අනාවරනය කරගැනීමට 'කළු සොයුරන්ට' හැකි විය.

"උංගෙ වාඩිය තිබුනෙ මීට හැතැප්ම දෙකකට එහා, අර කඳුවැටියෙන් එපිට දොළ පාරක් අයිනෙ." විල් පැවසීය. "මං පුළුවන් තරම් උංට ලං වුනා. උංගෙ අට දෙනෙක් හිටියා, ගෑනුයි පිරිමියි දෙගොල්ලොම. ළමයි ඉන්නවානං මං දැක්කෙ නෑ. උංගෙ වාඩිය හදලා තිබුනෙ ගල් පර්වතයට හේත්තු කරලා. දැන් නං ඒක හිමෙන් වැහිලා ගිහිල්ලා ඇති, ඒ වුනත් මට ඒක හොයාගන්ට පුළුවන්. ගිනිමැලයක් පත්තු වුනෙත් නෑ. කිසිම කෙනෙක් එහා මෙහා වුනෙත් නෑ. මං සෑහෙන වෙලාවක් බලාගෙන හිටියා. කිසිම පණ තියෙන මිනිහෙකුට එහෙම හෙලවෙන්නැතුව ඉන්ට බෑ."

"උඹ දැක්කද ලේ පැල්ලම් මොකුත්?"

"එහෙමනං දැක්කෙ නෑ."

"උං ගාව ආයුධ මොකුත් තියෙනවා උඹ දැක්කද?"

"කඩු දෙක තුනකුයි, දුනු කීපෙකුයි. එක මිනිහෙක් ගාව පොරොවක් තිබුනා. දෙපැත්තටම තල තියෙන, බොහොම බර එකක් වගෙයි පෙනුනෙ. ඒක මේ යකඩින් හදාපු ගමේ ගොඩේ බාණ්ඩයක්. ඒක තිබුනෙ මිනිහගෙ පැත්තකින් බිම, අතේ දුරින්."

"මළකඳන් තිබුනු විදිය ගැන එහෙම උඹ සැලකිල්ලෙන් බැලුවද?"

විල් දෙවුර ඇකිළුවේය. "දෙන්නෙක් පර්වතේට හේත්තු වෙලා වාඩි වෙලා හිටියා. අනිත් අය හැමෝම බිම වැතිරිලයි හිටියෙ. හරියට බිම වැටිලා වගේ."

"නිදාගෙන වෙන්ටත් පුළුවන්."

"මැරිලා." විල් තිර කොට කීය. "එක ගෑනියෙක් හිටියෙ අයන්වුඩ් ගහක් උඩ නැගලා, අතු අත‍රේ බාගෙට හැංගිලා වගේ. ඈත බලාගෙන හිටියෙ." ඔහු මඳ සිනාවක් පෑවේය. "ඒකිට නොපෙනෙන්ට තමා මම වාඩියට ලං වුනේ. ඒත් ලංවුනාට පස්සෙ තමා මං දැක්කෙ ඒකිත් හෙල්ලෙන්නෙවත් නෑ කියලා." විල් වෙවුලා ගියේය.

"උඹට හීතලද?"

"ටිකක්. ඒ මේ හුළඟ හින්දා මයෙ උතුමානෙනි."

තරුණ නයිට්වරයා නැවතත් තම ‍හේවායා දෙසට හැරුනි. ඔවුන් වටා සෑම තැනම හිමෙන් වැසුනු ගස්වල කොළ සර සර හඬින් සුළඟේ ලෙල දුන් අතර රොයිස්ගේ යුධ අශ්වයා නොසන්සුන් ගමනකින් ඉදිරියට ඇ‍දෙන්නට විය.